මහ වැටුප් ගෙවන්න මහ බැංකුවට මුදල් තිබේ ද? මහ බැංකුවට මුදල් කොහෙන් ද?

 

පසුගිය මාර්තු 5 දින පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් පැවැත් වූ මහ බැංකු අධි වැටුප් වර්ධකය පිළිබඳ පරීක්ෂණයේ දී, රජයේ මුදල්වලින් වෙනස් වූ මුදල් වර්ගයක් මහ බැංකුව සතු බව මහ බංකු පාලක මණ්ඩලය විසින් ප්‍රකාශ කරන ලදි. 

මෙම තර්කය මතු වූයේ මහ බැංකු මුදල් ගනුදෙනු ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 යටතේ පාර්ලිමේන්තුවේ පාලනයට යටත් රාජ්‍ය මුදල් බවට මුදල් කාරක සභා සාමාජිකයන් කිහිප දෙනෙකු විසින් ප්‍රකාශ කළ බැවිනි. මෙම මත ගැටුම හේතු කොට මහ බැංකු අධි වැටුප් වර්ධකයේ නිත්‍යානුකූල භාවය පිළිබඳ ව නිගමනයක් දීමට මුදල් කාරක සභාව අපොහොසත් විය. 

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ මහ බැංකුවට විශේෂ මුදල් වර්ගයක් නොමැති බවත්, මහ බැංකුව ගනුදෙනු කරන්නේ මුදල් මුද්‍රණය හරහා බවත් පිළිබඳ ව සරල පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම යි. එහෙත්, අප මතක තබා ගත යුත්තේ නුතන මුදල් ආර්ථිකයන් තුළ රජයට සහ බැංකුවලට ද මුදල් මුද්‍රණයට සමානව ගිණුම් තුළින් මුදල් මැවීම හෝ සැපයීම හරහා ගනුදෙනු කළ හැකි බව යි.

මහ බැංකු මතය කෙටියෙන්

ඒ අනුව, මහ බැංකුව විසින් තම ගනුදෙනු සඳහා භාවිතා කෙරෙන මුදල් යනු රාජ්‍ය මුදල් නොවේ. රාජ්‍ය මුදල් යනු රජයේ ඒකාබද්ධ අරමුදලේ පවතින මුදල් ය. මහ බැංකුව ගනුදෙනු කරන්නේ ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගන්නා මුදල්වලින් නොවේ. එබැවින්, මහ බැංකුවේ වැටුප් ඇතුළු කිසිම මුදල් ගනුදෙනුවක් පාර්ලිමේන්තුවේ මුදල් පාලනයට යටත් නොවේ.

ඒකාබද්ධ අරමුදල යනු කුමක් ද?

එනම්, මධ්‍යම රජයට අයත් මුදල් ප්‍රමාණය දැක්වෙන මහා භාණ්ඩාගාරයේ මුදල් ගිණුම යි. එහි මූලික ලක්ෂණ කිහිපයකි. 

  • එම මුදල් දෙකොටසකි. එනම්, අතැති කාසි හා නෝට්ටු සහ බැංකුවල රාජ්‍ය ගිණුම්වල ඇති තැන්පතු මුදල් යනාදිය යි. කාසි සහ නෝට්ටු යනු මහ බැංකුවෙන් ආර්ථිකයට නිකුත් කොට ඇති මුදල්වලින් රජයට ලැබී ඇති මුදල් කොටසකි. වර්තමානයේ රාජ්‍ය ගිණුම් පවතින්නේ රාජ්‍ය බැංකු වන මහ බැංකුව, මහජන බැංකුව සහ ලංකා බැංකුව වෙත ය. 

  • මින් අතැති කාසි හා නෝට්ටු ප්‍රමාණය ඉතාම සුළු මුදල් ප්‍රමාණයකි. තැන්පතු මුදල් ප්‍රමාණය ද ඉතා සුළු ප්‍රමාණයක් වන්නේ, රාජ්‍ය ඉතුරුම් ලෙස විශේෂ ක්‍රියාවක් නොමැති බැවිනි.  එබැවින්, රාජ්‍ය නායකයන් විසින් තමන්ට රජය ලැබෙන විට භාණ්ඩාගාරය හිස්ව තිබූ බව පැවසීම සත්‍යයකි. එසේම, රජය ඔවුන්ගෙන් අත හැරෙන විට ද, භාණ්ඩාගාරය එසේම ය. එහෙත්, ඈත අතීතයේ දී මුදල් ක්‍රමයෙහි පැවති ප්‍රාථමික භාවය හේතු කොට, රජ සමයේ භාණ්ඩාගාරයන් එකල භාවිතයේ පැවති මුදල්වලින් පිරී පැවති ඉතා ආරක්‍ෂිත ස්ථානයක් විය.

  • ඒකාබද්ධ අරමුදලට මුදල් ලැබෙන්නේ රජය විසින් බදු අය කිරීම, ණය ගැනීම සහ රජයට ලැබෙන ප්‍රදානයන් සහ වෙනත් ආදායම් හරහා ය. සියළු රාජ්‍ය වියදම් සඳහා භාවිතා කෙරෙන්නේ ඒකාබද්ධ අරමුදලට ලැබෙන මුදල් ය. එබැවින්, ඒකාබද්ධ අරමුදල යනු නිරන්තර මුදල් ලැබීම් සහ ගෙවීම් ප්‍රවාහයක් සිදුවන ගිණුමකි. එහි ශේෂය සෘණ යනු අයවැය හිඟය පියවීම සඳහා රජය ණය ගෙන ඇති බව යි.

  •  එබැවින්, පාර්ලිමේන්තුව විසින් අනුමත කෙරෙන වාර්ෂික හෝ අතිරේක අයවැය යනු මෙම ඒකාබද්ධ ගිණුමේ මුදල් ගනුදෙනු ප්‍රවාහය වෙයි.

  • මෙම සියළු ගනුදෙනු රටේ වලංගු මුදල් ඒකකය වන රුපියල් වටිනාකම හරහා සිදු වෙයි.

කුටුම්බ/පුද්ගල සහ ව්‍යාපාරික අංශය සතු මුදල් යනු කුමක් ද?

එනම්, ඔවුන්ට තම ගනුදෙනු හරහා ලැබී, අනාගත ගනුදෙනු සඳහා තබා ගන්නා මුදල් ය. ඒවා, කාසි සහ නෝට්ටු, බැංකු සහ මූල්‍ය ආයතන තැන්පතු, රාජ්‍ය සුරැකුම්පත් සහ කොටස් වැනි ආයෝජන වත්කම් ලෙස තබා ගැනේ. ඒවා දේශීය මුදල් මෙන්ම විදේශ මුදල්වලින් ද පවතී.

මහ බැංකු මුදල් යනු කුමක් ද? මහ බැංකුවට මුදල් තිබේ ද?

ඉහත දැක්වූ පරිදි රජය සහ පෞද්ගලික අංශය මෙන් නොව, මහ බැංකුව සතුව කාසි සහ නෝට්ටු ලෙස මුදල් වර්ගයක් නොමැත. එහෙත්, මහ බැංකුව සතු මුදල් වන්නේ, රාජ්‍ය සුරැකුම්පත්, බැංකුවලට ලබා දී ඇති ණය සහ විදේශ මුදල් වත්කම් ය. මහ බැංකු විදේශ සංචිතය ලෙස දැක්වෙන්නේ මෙම විදේශ මුදල් වත්කම් ය.

එහෙත්, මහ බැංකුවට වියදම් කිරීම සඳහා අවශ්‍ය වූ විට, මේවා විකුණා මුදල් ලබා ගත නොහැකිය. ඊට හේතුව, ඒවා විකිණීමෙන් සිදු වන්නේ, මහ බැංකුව සතු වූ එම වත්කම් වටිනාකම මහ බැංකු පොත්වලින් ඉවත්ව යාම හෝ ශුන්‍ය වීම පමණි.

උදාහරණ ලෙස රජය විසින් රාජ්‍ය සුරැකුම්පත් මහ බැංකුවට විකිණීම හරහා මහ බැංකුවෙන් ගෙන ඇති රුපියල් බිලියන 100 ක ණයක් ආපසු ගෙවන බව සිතමු. එය කිහිප ආකාරයකට කළ හැකිය.

  • කාසි සහ නෝට්ටු මහ බැංකුවට දීම. මෙහි දී, මහ බැංකුව විසින් අතීතයේ දී නිකුත් කොට ඇති එම කාසි හා නෝට්ටු ප්‍රමාණය නැවත මහ බැංකුවට ලැබී, මහ බැංකුවේ සේප්පුවලට යනු ඇත.

  • මහ බැංකුවේ ඇති රාජ්‍ය ගිණුමින් මුදල් ගෙවීම. මෙහි දී, රාජ්‍ය මහ බැංකු ගිණුමේ ශේෂය එම ප්‍රමාණයෙන් පහළ යනු ඇත.

බැංකු විසින් ණය ආපසු ගෙවීමේ දී හෝ මහ බැංකුව විසින් තම විදේශ මුදල් සංචිත බැංකුවලට විකිණීමේ දී හෝ සිදු වන්නේ ද මෙවැන්නකි.

මෙසේ වීමට හේතුව, මහ බැංකුව විසින් වත්කම් අත් කර ගන්නේ, මහ බැංකුවේ දැනට රැස් වී ඇති මුදලකින් නොව, හුදු මුදල් මුද්‍රණය කිරීම හරහා වීම යි. එසේ මුදල් මුද්‍රණය කිරීමේ සීමාවක් නීතියේ දක්වා නොමැත. 

එසේ, මුදල් මුද්‍රණය දෙයාකාරයකින් සිදු වෙයි.

  • කාසි සහ  නෝට්ටු ලෙස 

  • මහ බැංකුවේ ඇති රාජ්‍ය සහ බැංකු ගිණුම්වලට එකතු කෙරෙන තැන්පතු ලෙස

මෙය පහත ලෙස පැහැදිලි කළ හැකිය.

  • මහ බැංකුව විසින් මුදල් ගනුදෙනු කරනු ලබන්නේ, රජය සහ බැංකු සමඟ ඔවුන් මහ බැංකුවේ පවත්වා ගෙන යන ජංගම ගිණුම් හරහා ය. ඒවා පරිගණක ගත ගිණුම් ය.

  • රජය සහ බැංකු විසින් මහ බැංකුවෙන් ණයක් ගැනීමේ දී, මහ බැංකුව විසින් එම මුදල් ප්‍රමාණය අදාළ ජංගම ගිණුමට එකතු කෙරේ. එම මුදල් මහ බැංකුවේ ඇති වෙනත් ගිණුමකින් ලබා ගෙන දෙන මුදලක් නොවේ. නිකන්ම ගිණුමට මුදල් ඉලක්කමක් එකතු කිරීමකි. 

  • එබැවින්, රජයට සහ බැංකුවලට මහ බැංකුවේ ඇති තම ජංගම ගිණුමේ ශේෂයෙන් මුදල් ගෙවීම හරහා එම ණය මුදලින් මුදල් වියදම් කළ හැකිය. මීට විශේෂ හේතුව වන්නේ, ආර්ථිකයේ අන්තර් බැංකු ගෙවුම් පද්ධතිය මහ බැංකුව විසින් මෙම ජංගම ගිණුම් හරහා පවත්වා ගෙන යන බැවිනි. එම ගෙවුම් ගනුදෙනු විද්‍යුත් හෝ මාර්ගගත ක්‍රමයට සිදු වෙයි.

  • රජයට හෝ බැංකුවලට එම ණය මුදලින් කාසි සහ නෝට්ටු ලෙස මුදල් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඕනෑම කාර්යාල වෙලාවක මහ බැංකුවට පැමිණ තම ජංගම ගිණුමේ ශේෂයෙන් මුදල් කාසි සහ නෝට්ටු වශයෙන් ඉවත් කර ගෙන රැගෙන යා හැකිය. ආර්ථිකය තුළ අප අතර ගනුදෙනු සඳහා භාවිතා කෙරෙන කාසි සහ නෝට්ටු ප්‍රමාණය එසේ මහ බැංකුවෙන් ලබා ගෙන ඇති මුදල් ය.

  • මහ බැංකුව විසින් මෙවැනි ගෙවීම් සඳහා අවශ්‍ය විය හැකි බවට ඇස්තමේන්තු කෙරෙන යම්කිසි කාසි සහ නෝට්ටු මුදල් තොගයක් වේලාසනින් ඇනවුම් කොට මුද්‍රණයෙන් ලබා ගෙන, මහ බැංකුවේ සේප්පුවල ආරක්ෂිතව තබා ගැනීම සාමාන්‍ය ක්‍රමවේදය යි. එම තොගය මහ බැංකුවේ ගිණුම්ගත වී ඇති මුදල් ප්‍රමාණයක් නොවේ. මහ බැංකුව විසින් රජයට සහ බැංකුවලට අවශ්‍ය වෙලාවට කාසි සහ නෝට්ටු නිකුත් කෙරෙන්නේ එම තොගයෙනි. එසේම, රජය සහ බැංකු විසින් තම මහ බැංකු ගිණුමට කාසි සහ නෝට්ටු තැන්පත් කෙරෙන විට, එම මහ බැංකු තොගය ඉහළ යන අතර ආර්ථිකයේ පවතින කාසි සහ නෝට්ටු ප්‍රමාණය පහළ යනු ඇත.
එබැවින්, මහ බැංකු මුදල් කියා මුදල් වර්ගයක් මහ බැංකු ගිණුම්වල නොමැත. මහ බැංකුව විසින් කරනු ලබන්නේ, තම ගනුදෙනු සඳහා අවශ්‍ය වූ විට, ඒ සඳහා මුදල් මුද්‍රණය හෝ නිෂ්පාදනය කිරීම යි.  එය ඉහත දැක්වූ පරිදි කාසි සහ නෝට්ටු සහ ජංගම තැන්පතු වගකීම් ලෙස කළ හැකිය. මෙය මුද්‍රණාලයක් කරන ව්‍යාපාරයට සමානය. මහ බැංකු සේප්පුවල පවතින කාසි සහ නෝට්ටු තොගය යනු ගනුදෙනු කරුවන්ට මුදා හරින තෙක් මුද්‍රණයේ පවතින මුදල් තොගය යි.

මහ බැංකුව විසින් වැටුප් ගෙවන්නේ කුමන මුදල්වලින් ද?

සමහරු පවසන්නේ මහ බැංකුව විසින් තම ආදායමින් හෝ ලාභවලින් කොටසක් වැටුප් ලෙස ගෙවන බව යි. එබැවින්, මහ බැංකුවට ආදායම හෝ ලාභ පවතී නම්, ඊට සරිලන ඕනෑම ප්‍රමාණයක වැටුපක් ගෙවීමේ වරදක් නැත. මහ බැංකු අධිපති විසින් ද මුදල් කාරක සභාවේ දී පැවසුවේ, අනෙක් රාජ්‍ය ආයතනයන් ද මෙම අවස්ථාවේ තමන්ට හැකි හැකි පමණට වැටුප් ඉහළ දැමිය යුතු බව ය.

මෙහි දී, ඇති වෙනස වන්නේ අනෙක් රාජ්‍ය ආයතනයන් තම ආදායමින් හෝ රජයෙන් මුදල් සපයා ගැනීමෙන් එසේ වැටුප් ඉහළ දැමිය යුතු අතර මහ බැංකුවට මුදල් මුද්‍රණය හරහා ඕනෑම වැටුපක් ගෙවිය හැකි බව යි. මහ බැංකුව විසින් ආදායම සහ ලාභ උපයන්නේ ද මුදල් මුද්‍රණය හරහා අත් කර ගන්නා වත්කම්වලින් වන අතර එම ලාභ ද මුදල් මුද්‍රණයේ කොටසකි. ආදායම සහ ලාභ පදනම් කර ගෙන වැටුප් ගෙවීම මහ බැංකු පනතින් තහනම් කොට ඇත්තේ එබැවිනි.

වර්තමානයේ මහ බැංකුව වැටුප් ගෙවන්නේ, අතීතයේ දී මෙන් කාසි සහ නෝට්ටුවලින් නොව, සේවකයන්ගේ බැංකු ගිණුම්වලට ය. ඒ අනුව, ගෙවන වැටුප් මුදල් ප්‍රමාණය සේවක ගිණුම් ඇති බැංකුවල මහ බැංකුවේ ජංගම ගිණුම්වලට නව තැන්පතු ලෙස එකතු වෙයි. එය මුද්‍රණය කළ මුදල් ප්‍රමාණයකි.

සමහරුන් පවසන්නේ මහ බැංකු ලාභයෙන් වැටුප් ගෙවන නිසා ප්‍රශ්නයක් නැති බව යි. එහෙත්, මහ බැංකුව වැටුප් ගෙවන්නේ ලාභය ගණනය කොට නොව, හුදෙක් මුදල් මුද්‍රණය මගිනි. එසේම, ලාභය ද කිසිම මහන්සියක් හෝ අවදානමක් නොමැති මුදල් මුද්‍රණයෙන් ලැබේ.

ඒ අනුව, මහ බැංකුව විසින් වැටුප් ගෙවන්නේ, මහ බැංකුවේ පවතින මුදල්වලින් නොව, නව මුදල් මුද්‍රණයෙනි. 

මහ බැංකු මුදල් මුද්‍රණ ව්‍යුහය - මහ බැංකු වත්කම් සහ වගකීම්

මහ බැංකුව විසින් සමස්තයක් වශයෙන් මුද්‍රණය කොට ඇති මුදල් ප්‍රමාණය ඇස්තමේන්තු කිරීමේ විවිධ තාක්ෂණික නිර්වචනයන් පවතී. එහෙත්, මහ බැංකු ශේෂ පත්‍රයේ වටිනාකම, එනම්, වත්කම් සහ වගකීම්, මුදල් මුද්‍රණ වටිනාකම ලෙස සරලව භාවිතා කෙරේ (වැඩි විස්තර සඳහා කියවන්න.). 

  • මහ බැංකුවේ ප්‍රධාන වත්කම් යනු විදේශ මුදල් සංචිත සහ රජයට සහ බැංකුවලට ලබා දී ඇති ණය (රාජ්‍ය සුරැකුම්පත් ඇතුළුව) යි. එබැවින්, කාසි සහ නෝට්ටු ලෙස වත්කමක් මහ බැංකුව සතුව නැත.

  • මහ බැංකුවේ ප්‍රධාන වගකීම් වන්නේ නිකුත් කොට ඇති කාසි සහ නෝට්ටු, විදේශ මුදල් වගකීම් සහ රජයේ සහ බැංකු තැන්පතු /සංචිත මුදල් ශේෂයන් යනාදිය යි. ඒ අනුව, සංසරණයේ පවතින කාසි සහ නෝට්ටු මහ බැංකු ගිණුම්වල අර්ථ රහිත වගකීමකි. එය කිසිම මූර්ත වටිනාකමකින් ආවරණය නොවේ. කාසි සහ නෝට්ටු පිළිබඳ ව මහ බැංකුව සතු එකම වගකීම වන්නේ, කෙනෙකු විසින් තමන් වෙත ඇති යම් කාසි සහ නෝට්ටු ප්‍රමාණයක් එහි මුහුණත වටිනාකම ආපසු ගෙවන ලෙස මහ බැංකුවෙන් ඉල්ලා සිටිය හොත්, මහ බැංකුවට කළ හැකි එකම ගෙවීම වන්නේ, එම මුදල් ප්‍රමාණය ඔහු කැමති වෙනත් කාසි සහ නෝට්ටුවලින් මාරු කර දීම යි.

ඒ අනුව, මහ බැංකුව සතුව තම ගිණුම් පොත්වල ගනුදෙනු කෙරෙන මුදල් ප්‍රමාණයක් නොමැත. ගිණුම් පොත්වල සටහන් වන කාසි සහ නෝට්ටු සහ රාජ්‍ය සහ බැංකු ජංගම ගිණුම් තැන්පතු යනු මහ බැංකුවේ මුදල් නොවේ. ඒවා මහ බැංකුවේ වගකීම් වන අතර එම මුදල් අයිතිකරුවන් රැසක් ආර්ථිකයේ සිටී. ඒවා ගනුදෙනු කෙරෙන්නේ පවතින බැංකු සහ මුදල් නීතිවලට යටත්ව ඔවුන්ට ඕනෑ ආකාරයට ය.

ඉහත දැක්වූ පරිදි මහ බැංකු වත්කම් ද මහ බැංකුවේ ගනුදෙනු සඳහා මුදල් කර ගත නොහැකිය. ඊට හේතුව, මහ බැංකුව විසින් එම වත්කම් අළෙවි කළ විට, මහ බැංකුවට මුදල් නොලැබෙන බැවිනි. එවිට සිදු වන්නේ, මහ බැංකුවේ වගකීම් ලෙස දැක්වෙන සංසරණයේ පවතින කාසි සහ නෝට්ටු සහ මහ බැංකු ජංගම තැන්පතු ශේෂයන් පහළ යාම යි. එනම්, මහ බැංකුව විසින් මුද්‍රණය කොට ඇති මුදල් ප්‍රමාණයක් නැවත අවකාශයට යාම යි.

වත්මන් ඇමෙරිකානු මහ බැංකු අධිපති විසින් මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ, මහ බැංකු ලාභ සහ ශේෂ පත්‍ර කළමනාකරණය ඉතා සරල කාර්යයක් බව යි. ඊට හේතු දෙකක් ඔහු දැක්විය.

  • කාසි සහ නෝට්ටු වගකීම් සඳහා පොලී පිරිවැයක් නොමැතිව වත්කම් සඳහා ඉහළ පොලී ආදායමක් ලැබෙන විට මහ බැංකු ලාභය ගැටළුවක් නොවේ. මෙහි වත්කම් මිල ගණන් සහ පොලිය ද තීරණය කරන්නේ මහ බැංකුව විසිනි.

  • මහ බැංකුව විසින් කරනු ලැබෙන්නේ, මහ බැංකු වගකීම් සඳහා ආර්ථිකයෙන් කෙරෙන ඉල්ලුමට අවශ්‍ය පරිදි ඒවා සැපයීම යි.

එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව දක්වමින් මහ බැංකු ආර්ථික විශේෂඥයන් විසින් සිදු කෙරෙන්නේ, මහ බැංකුවට කිසිම අවදානමක් නොමැති සරල මුදල් මුද්‍රණ කාර්යයකි.

එබැවින්, මහ බැංකු වත්කම්, වගකීම්, ප්‍රාග්ධන සහ ලාභ පිළිබඳ සංඛ්‍යා ගැටළු යනු හුදෙක් මහ බැංකුව විසින් අනුගමන කරන මහ බැංකු ගනුදෙනුවලට නොගැලපෙන ව්‍යාපාරික ගිණුම් ප්‍රමිති ගැටළු මිස මහ බැංකු ක්‍රමයේ ගැටළු නොවේ.

මහ බැංකු වත්කම්, වගකීම් සහ ලාභ විග්‍රහයේ දී, අප විමසිය යුත්තේ මහ බැංකුව විසින් හුදෙක් මුදල් මුද්‍රණය කරනවා ද? නැත්නම්, ආර්ථිකයේ නිෂ්පාදනය සහ සංවර්ධනය දිගු කාලීන ඉලක්කයන් සඳහා මෙහෙයවීම පිණිස මුදල් මුද්‍රණය කරනවා ද? යන්න යි. ඒ ඒ දිනයට රජය සහ බැංකු විසින් ඉල්ලා සිටින මුදල් සැපයීම සඳහා මුදල් මුද්‍රණය කිරීමෙන් ආර්ථිකයේ දිගු කාලීන සංවර්ධනයට වැදගත් කමක් නොමැත. මීට හොඳම උදාහරණය යුරෝපීය මහ බැංකුව විසින් ආර්ථිකයට මුදල් මුද්‍රණය කෙරෙන කෙටි කාලීන සහ දිගු කාලීන නව ක්‍රමවේදය අද දින ඉදිරිපත් කිරීම යි. එය රජය විසින් නියම කොට අධීක්ෂණය කළ යුතු ප්‍රමුඛ සාර්ව ආර්ථික කළමනාකරණ විෂයකි.

නිගමනය

  • මහ බැංකු මුදල් කියා මුදල් වර්ගයක් මහ බැංකුවේ නොමැති අතර මහ බැංකු පනතේ ද එවැනි අර්ථ නිරූපනයක් නොමැත.

  • මහ බැංකු පනත අනුව රටතුළ ගෙවුම් සඳහා වන නිල මුදල වන්නේ මහ බැංකුව විසින් නිකුත් කොට ඇති කාසි සහ නෝට්ටු ය. එම මුදල් පවතිනේ මහ බැංකුවෙන් පිටත පෞද්ගලික අංශය සහ රජය වෙත ය. එබැවින්, ගෙවුම් කිරීම සඳහා මහ බැංකුව සතුව කාසි සහ නෝට්ටු මුදල් නොමැත.

  • මුදල් නීති පනතේ මෙන් නොව, මුදල් ගෙවුම් මාධ්‍යයක් ලෙස ජංගම ගිණුම් ශේෂයන් මහ බැංකු පනතේ අර්ථ නිරූපනය කොට නොමැත. පනතේ අර්ථ නිරූපනය කොට ඇති එකම ගෙවූම් මාධ්‍යය වන්නේ මහ බැංකුව විසින් නිකුත් කොට ඇති කාසි සහ නෝට්ටු ය. එබැවින්, මහ බැංකුව විසින් තම ගනුදෙනු සඳහා ජංගම ගිණුම් ශේෂ භාවිතා කිරීමේ නෛතික ගැටළුවක් පවතී. මහ බැංකු පනත මගින් නිල වටිනාකම් මැනීමේ මුදල් ඒකකයක් අර්ථ නිරූපනය නොකිරීම ද මෙම මුදල් ගනුදෙනු ක්‍රමය කෙරෙහි බලපාන පදනම් ගැටළුවකි.

  • මහජනයා විසින් මහ බැංකුව විසින් නිකුත් කොට ඇති කාසි සහ නෝට්ටු තම මුදල් ගනුදෙනු සඳහා පිළිගන්නේ රජය කෙරෙහි ඇති විශ්වාසය නිසා මිස, මහ බැංකු පාලක මණ්ඩල සාමාජිකයන් කෙරෙහි ඇති විශ්වාසය නිසා නොවේ. වර්තමානයේ සංසරණයේ පවතින සියළුම මුදල් නෝට්ටුවල සඳහන් වන්නේ, ඒවා ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නිකුත් කොට ඇති ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගු මුදල් නෝට්ටු බව යි.

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒකාබද්ධ අරමුදල පැහැදිලි වුව ද, රාජ්‍ය මුදල් යනු කුමක් ද? යන්න ද අර්ථ නිරූපනය කොට නොමැත. මහ බැංකුව විසින් වැටුප් ගෙවීම ඇතුළු තම ගනුදෙනු සඳහා මුද්‍රණය කෙරෙන මුදල්, රාජ්‍ය මුදල් නොවන බවට නෛතික තර්කයක් ඉදිරිපත් කරන්නේ, මෙම නෛතික අර්ථ නිරූපන ගැටළුව හේතුවෙනි.

  • ආර්ථිකයේ මෙම සියළු මුදල් ගනුදෙනු පාර්ලිමේන්තුව විසින් පනවා ඇති මහජන නීති හරහා සිදු වෙයි. නීති යනු ගණිතමය වාක්‍යයන් නොවේ. හොඳම නීතිය කියා නීතියක්  ද නොමැත. එබැවින්, තත්කාලීන සමාජයට සහ සංවර්ධනයට ගැලපෙන පරිදි නීති සංශෝධනය කළ යුතුය.

  • මුදල් යනු ආර්ථික සංකල්පයකි. එබැවින්, රටේ නිල මුදල් වටිනාමක් ඒකකය කුමක් ද? ඒ අනුව ගනුදෙනු කළ හැකි විවිධ මුදල් වර්ගයන් මොනවා ද? මහ බැංකුවට ස්වාධීනව වැටුප් සහ වෙනත් ගෙවීම් කිරීමට මුදල් බලයක් තිබේ ද? වැනි විවිධාකාර මුදල් ගනුදෙනු අර්ථ නිරූපනයන් තීරණය කිරීමට නීති වේදීන්ට සහ පුද්ගලික සංකල්පයන්ට ඉඩ දී බලා නොසිට, රජය විසින් පාර්ලිමේන්තුව හරහා මුදල් නීති අර්ථ නිරූපනයන් සැපයීම මෙම අවස්ථාවේ ආර්ථිකයට වඩාත් හිත කර වනු ඇත. 

  • ඊට හේතුව, මුදල් යනු රාජ්‍ය ආරක්ෂාව සහ විශ්වාසය මත ක්‍රියාත්මක වන ආර්ථික මෙවලමක් වන බැවිනි. එම විශ්වාසය බිඳී යන විට, ආර්ථිකයන් හදිසියේ අර්බුදයන්ට පත් වන ආකාරය පිළිබඳ ව ලෝක අත්දැකීම් එමට පවතී. මෙහි දී, පසුගිය මුදල් කාරක සභාවේ දී දුටු පරිදි, මහ බැංකුව රජය සමඟ ගැටුම්කාරී ලෙස තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හොත්, මහජනයා විසින් පත් කර ගන්නා රජයන් පවා අනතුරට ලක් වීමේ විශාල අවදානමක් පවතී. එනම්, රටක් තුළ රජයට පරිබාහිර වෙනම පෞද්ගලික මූල්‍ය අධිරාජ්‍යයක් පැවතීමේ අවදානම යි.
ඊළඟ ලිපියෙන් මහ බැංකුව විසින් මුදල් කාරක සභාව වෙත පැහැදිලි කළ මහ බැංකු ලාභය පිළිබඳ කෙටි විග්‍රහයක් ඉදිරිපත් කෙරේ.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි