සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

 


පෙරෙයිදා (05.03.2024) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් මහ බැංකු පාලක මණ්ඩලය පරීක්ෂණය කිරීම පිළිබඳ ඊයේ (06.03.2024) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී, මෑත දී පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවට ප්‍රදානය කොට ඇති ස්වාධීනත්වය පිළිබඳ ව විවිධාකාරයේ මැසිවිලි ඉදිරිපත් වන ලදි. 

එහි දී, ප්‍රකාශ වූයේ මහ බැංකුව දේශපාලනික මැදිහත්වීම්වලින් මුදා ගැනීම පිණිස ඇමෙරිකානු මහ බැංකුවට වැනි ස්වාධීනත්වයක් ප්‍රදානය කළ බව යි. එම ස්වාධීනත්වය යනු හුදෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙන් (එනම්, රාජ්‍ය අයවැය) නිදහස්ව මහ බැංකුවට මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස දී ඇති ස්වාධීනත්වය ලෙස දැක්වින.

එයින් ගම්‍ය වන්නේ, ශ්‍රී ලංකා ආර්ථිකය ද ඇමෙරිකාවේ ආර්ථිකයට සහ මූල්‍ය ක්‍රමයට සමාන බව පාර්ලිමේන්තුව විශ්වාස කරන බව යි. ඊට හේතුව, ඇමෙරිකානු මහ බැංකුවට සමාන ලෙස ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ හැක්කේ එවැනි ආර්ථිකයක් තුළ පමණක් බැවිනි. එසේ නොවේ නම්, සිදු වන්නේ මහ බැංකු අධිකාරීන් විසින් එම ස්වාධීනත්වය අයතා ලෙස භාවිතා කිරීම යි.

පෙරෙයිදා මුදල් කාරක සභාව සහ මහ බැංකු පාලක මණ්ඩලය යන දෙපිරිසේම හැසිරීම ඇමෙරිකාවේ මෙන් නොව ඉතාම නොදියුණු ස්වරූපයක් විදහා දැක්විණ. ඒ බව, ඊයේ ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් ඇමෙරිකානු මහ බැංකු අධිපති වරයා පැය 3 ක පමණ කාලයක් තුළ පරීක්ෂා කළ ආකාරයෙන් පැහැදිලි වෙයි.

ඇමෙරිකානු මුදල් කාරක සභා පරීක්ෂණ ක්‍රමවේදය

  • මාස 06 කට වරක් මහ බැංකු අධිපති මුදල් කාරක සභාවට කැඳවීම. ඔහු ඊට සහභාගී වන්නේ තනිවම, සාක්ෂි කරුවකු වශයෙනි. එබැවින්, ඔහුගේ පෙනී සිටීම සාක්ෂි දීමක් ලෙස සැලකේ.

  • සභාපති ඇතුළු කාරක සභාවේ සෑම සාමාජිකයෙකුට (එහි සමාජිකයන් 52 ක් වෙයි) මහ බැංකු අධිපතිගෙන් ප්‍රශ්න ඇසීම සඳහා විනාඩි 05 ක් ලැබේ. එය හරියටම විනාඩි 05 න් අවසාන කෙරේ.

  • සෑම සාමාජිකයෙකුම විනාඩි 05 ට හොඳින් සුදානම් වී පැමිණේ. බොහෝ දෙනා නිසි සටහන් මත ප්‍රශ්න ඉදිරිපත් කෙරේ. ඒ ඒ සාමාජිකයාට මනාප පරිදි මහ බැංකුවේ ඕනෑම විෂයක් පිළිබඳ ව ප්‍රශ්න ඇසීම, අදහස් දැක්වීම සහ යෝජනා ඉදිරිපත් කිරීම කළ හැකිය. එම විනාඩි 05 කාලයට එහා යන අතිරේක ප්‍රශ්න ලිඛිතව සතියක් ඇතුළත සභාවේ සභාපති වෙත යොමු කළ යුතුය.

  • සාක්ෂිය ආරම්භ වන්නේ මහ බැංකු අධිපති විසින් මහ බැංකුවේ පරමාර්ථයන් ඉටුකර ගැනීමේ ප්‍රගතිය දැක්වෙන කෙටි ඉදිරිපත් කිරීමකිනි.

  • මහ බැංකු අධිපති විසින් සෘජු පිළිතුරු දෙන අතර නොදන්නා කරුනු පසුව ලිඛිතව ඉදිරිපත් කිරීමට පොරොන්දු වෙයි. එසේම, රාජ්‍ය ප්‍රතිපත්ති කිසිම දෙයක් පිළිබඳ ව ඇසෙන ප්‍රශ්නවලට පිළිතුරු දීම හෝ අදහස් දැක්වීම හෝ රජය අවලාද නැගීම හෝ ප්‍රතික්ෂේප කෙරේ. ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ, එය රජයේ වැඩක් බවත්, පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවට පවරා ඇති කාර්යයන්ට ඒවා අයත් නොවන බවත් ය.

  • ප්‍රශ්න අසන විට සාමාජිකයන් අතර බහින්බස් වීම් හෝ මැදට පැනීම් හෝ සිදු නොවේ. සභාපති විසින් කිසිම සාමාජිකයෙකු මෙහෙය වීමක් හෝ මැදිහත් වීමක් සිදු නොකරන අතර ඔහු අධීක්ෂණය කරනු ලබන්නේ කාලය පමණි.

  • මහ බැංකු අධිපති විසින් කිසිම සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න නොඅසන අතර ඔවුන්ගේ අදහස් විවේචනය කිරීමක් හෝ මත ගැටුම් හෝ ඇති කර නොගනී. ඔහු විසින් නිරන්තරයෙන් දක්වන්නේ මහ බැංකුවේ මතයන් ය. මෙහි දී, කිසිම ආර්ථික විද්‍යා න්‍යායන් ඉදිරිපත් නොකෙරේ.

  • මහ බැංකුවේ ප්‍රතිපත්ති පිළිබඳ ව පුළුල් පරාසයක ප්‍රශ්න සහ අදහස් ඉදිරිපත් කෙරේ. ඒවා, ප්‍රතිපත්ති යෝග්‍යතාවය, කාර්යසාධනය, සීමාවන්, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අභ්‍යන්තර ක්‍රමවේදයන්, අයහපත් බලපෑම වැනි අංශ කෙරෙහි යොමු වෙයි. බොහෝ සාමාජිකයන් විසින් මහ බැංකු ප්‍රතිපත්ති හේතු කොට ආර්ථිකයේ තමන් නියෝජනය කරන විවිධ ප්‍රදේශ, නිෂ්පාදන අංශ, පරිභෝජන අංශ සහ ජන කොටස් කෙරෙහි හට ගෙන ඇති අහිතකර බලපෑම සහ විෂමතාවයන් පිළිබඳ ව ප්‍රශ්න සහ කරුනු ඉදිරිපත් කෙරේ. එහි දී, මහ බැංකු අධිපති වරයා පවසන්නේ, එවැනි තෝරාගත් අංශයන් කෙරෙහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට බලයක් නොමැති බවත්, එය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ කාර්යයක් බවත් ය. 

  • ඔහුගේ නිරන්තර පිළිතුර වනුයේ, පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවට ලබා දී ඇති මහජන වගකීම වන්නේ ආර්ථිකයේ මිල ස්ථායිතාවය රැකීම සහ උපරිම සේවා නියුක්තිය ඇති කිරීම බවත්, ඒ සඳහා ලැබී ඇති මෙවලම පොලී අනුපාතය පමණක් බවත්, ඒ අනුව ක්‍රියා කරන බවත්, එය මොට මෙවලමක් බවත් ය. ඒ අනුව, ඔහු විසින් පැහැදිලි කරන්නේ සමස්ත ආර්ථිකයේ මිල, උද්ධමනය සහ රැකියා ජනනය කෙරෙහි ඇති කෙරෙන බලපෑම තුළින් සමස්ත මහජනයා කෙරෙහි ඇති කෙරෙන ප්‍රතිඵල පිළිබඳ සංකල්පීය අදහස් ය. එබැවින්, ඔහු ඉදිරිපත් කෙරෙන සියළු කරුනු ආර්ථික වර්ධන අනුපාතය, උද්ධමන අනුපාතය සහ සේවා වියුක්ති අනුපාතය පිළිබඳ ඉලක්කම්වල හැසිරීම මත පදනම් වෙයි.

  • මහ බැංකුවේ බැංකු නියාමන ප්‍රතිපත්ති සහ බැංකු බන්කොලොත්වීම් හේතු කොට විවිධ මහජන සහ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි ඇති කෙරෙන බලපෑම පිළිබඳ ව නැගෙන ප්‍රශ්නවලට දෙන සාමාන්‍ය පිළිතුර වන්නේ, බැංකු පද්ධතිය ශක්තිමත් බවත්, ප්‍රතිපත්ති දුර්වලතාවයන් නිවැරදි කිරීමට පියවර ගන්නා බවත්, බැංකු නියාමනයන් අදාළ පාර්ශවයන් සමඟ සම්මුතියෙන් ක්‍රියාත්මක කරන බවත් ය. බොහෝ සාමාජිකයන් විසින් මහ බැංකුව විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත බාසල් III ප්‍රාග්ධන නියාමනයේ අහිතකර බලපෑම පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ලදි.

  • දැනට ආර්ථිකය කෙරෙහි දැඩි ලෙස බලපාන ඉතා ඉහළ මට්ටමක (5.5% ක) පවතින මහ බැංකු පොලී අනුපාතයන් පහළ දැමීමේ හැකියාව ගැන බොහෝ සාමාජිකයන් විමසූ අතර දැනට උද්ධමනය පහළ ගොස් ඇති බැවින් එය මෙම වසරේ දී පහළ දැමීමේ විශ්වාසයක් පවතින බවත්, ඒ සඳහා හදිසි නොවන බවත්, මහ බැංකු අධිපති විසින් පවසන ලදි.

ඇමෙරිකානු ආර්ථිකයේ වෙළෙඳපොළ පද්ධතියේ පවතින දියුණුව සහ ඒ කෙරෙහි මහ බැංකු පොලී ප්‍රතිපත්තියේ බලපෑම හේතු කොට මහ බැංකු අධිපති සාක්ෂි දෙන අතරතුර සහ සාක්ෂි දීමෙන් පසුව, එම අදහස් පදනම් කරගෙන මූල්‍ය වෙළෙඳපොළවල් විවිධ සමපේක්ෂණයන්ට යොමු වන බව දැකිය හැකිය.

සමස්තයක් ලෙස ගත් විට, කලින් කලට ආර්ථිකයට මහ බැංකුවෙන් ඉටු විය යුතු විශේෂිත කාර්යයන් පැන නගින විට, රජය කරනු ලබන්නේ, මහ බැංකු පනත සංශෝධනය නොකොට, විශේෂ පනත් හරහා මහ බැංකුව වෙත විශේෂ වගකීම් පැවරීම යි. උදාහරණ ලෙස ගෝලීය වසංගත සමයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ආරක්ෂා කිරීම සඳහා බැංකු හරහා විශේෂ ප්‍රතිමූල්‍ය ණය ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස කෙයාර්ස් පනත මගින් මහ බැංකුවට නියම කරන ලදි. ආර්ථිකයේ ප්‍රමුඛ අංශයන් සඳහා බැංකු ණය සැපයීමේ ප්‍රතිපාදනයන් රැසක් දැනටම ඇමෙරිකානු මහ බැංකු පනතේ ඇතුළත් වෙයි. එහෙත්, යම් පුද්ගලයන් හෝ ව්‍යාපාරයන් ඉලක්ක කොට ණය සැපයීමේ බලය මහ බැංකුවට නොමැත.

මහ බැංකු වැටුප් පිළිබඳ ශ්‍රී ලංකා මුදල් කාරක සභා පරීක්ෂණ ක්‍රමවේදය

එහෙත්, පෙරෙයිදා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් මහ බැංකුව පරික්ෂා කිරීමේ දී මාධ්‍යය හරහා දුටු හැසිරීම හුදෙක් දේශපාලනික වේදිකාවකි. එහි සිදුවීම්වල සාරාංශයක් පහත දැක්වෙයි.

  • මහ බැංකු සහ අදාළ ආයතන නිලධාරීන් විශාල පිරිසක් සභාවට කැඳවා තිබීම.

  • සාමාජිකයන් විසින් එකිනෙකාට මැදිහත් වෙමින් සහ වලක්වමින් අදහස් ඉදිරිපත් කිරීම.

  • සභාපති විසින් සාමාජිකයන් සමඟ නිරන්තරයෙන් තර්ක විතර්ක ඇති කර ගැනීම සහ සාමාජිකයන් හෙළි කර ගන්නා කරුනු පිළිබඳ ව සභාපති විසින් නිගමනයන් දීම. සමහර අවස්ථාවල මහ බැංකුවට පක්ෂග්‍රාහී ලෙස සභාපති ක්‍රියා කරන බවට සමහර සාමාජිකයන් විසින් චෝදනා කිරීම.

  • සභාපති විසින් නිරන්තරයෙන් මැදිහත් වී අදහස් දැක්වීමත්, මූල්‍ය ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වය පිළිබඳ ප්‍රාථමික ආර්ථික දේශනයන් පැවැත්වීමට උත්සාහ කිරීම.

  • සභාපති සහ මහ බැංකු අධිපති විසින් මෙම වැටුප් ඉහළ දැමීමේ තීරණය සහ අදාළ මුදල්, විවට වෙළෙඳපොළ කටයුතු වැනි මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම්වල ස්වාධීනත්වයට බද්ධ කිරීමට උත්සාහ කිරීම.

  • රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යනු පටු එකක් බවත්, මූල්‍ය ප්‍රතිපත්තිය ඉන් එහා ගිය පුළුල් එකක් බවත් දක්වමින් මහ බැංකුව යනු ආර්ථිකය පිළිබඳ ව රජයත් ඉක්මවා පවතින ආයතනයක් බවට කිසිම රටක නොමැති නව්‍ය අදහසක් මහ බැංකු අධිපති විසින් ඉදිරිපත් කරන ලදි.

  • මහ බැංකු අධිපති ද කාරක සභා සමාජිකයන් විලාශයෙන් හැසිරීම. එහි දී, ඔහු සාමාජිකයන්ගෙන් ප්‍රශ්න අසමින් විවාද කිරීමත්, සමහර සාමාජිකයන්ගේ අදහස් අසත්‍ය බව ප්‍රකාශ කිරීමත් සිදු විය.

  • මහ බැංකු අධිපති සහ සභාපති විසින් පරීක්ෂණයට යටත් වූ මහ බැංකු වැටුප් වර්ධක විෂය ඉක්මවා ගොස්, වැටුප් විෂය මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වයට බද්ධ කිරීමට උත්සාහ කළ අතර වැටුප් වර්ධකයට හේතු ලෙස ඔහු දැක්වූ සියළු කරුනු සාවද්‍ය බව තහවුරු විය.

  • මහ බැංකු අධිපති විසින් මෙම වැටුප් වර්ධකයට හේතු ලෙස දැක්වූයේ, ත්‍රෛවාර්ෂික වෘත්තීය සංගම් ගිවිසුම, මහ බැංකු සේවකයන් රට හැර යාම වැලැක්වීම, තරගකාරීව විද්වතුන් මහ බැංකුවට බඳවා ගැනීම සහ තමන්ට කැමති පරිදි සේවකයන් බඳවා ගැනීම සහ වැටුප් සහ ප්‍රදානයන් ලබා දීමට මහ බැංකු පනතින් ලැබී ඇති මූල්‍ය සහ මෙහෙයවුම් ස්වාධීනත්වය යනාදිය යි.

  • තම වැටුප් වර්ධක තීරණය සනාථ කිරීම පිණිස මහ බැංකු අධිපති විසින් දැක්වූයේ, මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ එන අවස්ථාවේ සියළු දෙනා තමන්ට හැකි පරිදි වැටුප් ඉහළ දැමිය යුතු බව යි. එහෙත්, වෙනත් ආයතනයන්ට මෙන් නොව ඕනෑම ප්‍රමාණයකින් වැටුප් වැඩි කිරීමේ හැකියාව මහ බැංකුවට ලැබෙන්නේ මුදල් මුද්‍රණයෙන් බව ඔහු විසින් හෙළි කළේ නැත.

  • සියළුම සාමාජිකයන් විසින් ඉදිරිපත් කළ අදහස වූයේ මහ බැංකුවේ මුදල් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 යටතේ පාර්ලිමේන්තුවේ පාලනයට යටත් රාජ්‍ය මුදල් වන බැවින් මෙම වැටුප් වර්ධකය ද මුදල් ලේකම්ගේ චක්‍ර ලේඛනයන් අනුව සිදු කළ යුතු බවයි. එහෙත්, මහ බැංකු අධිපති ඊට විරෝධය පාන ලදී. ඔහු විසින් දැක්වුයේ රාජ්‍ය මුදල් යනු ඒකාබද්ධ අරමුදලට අයත් මුදල් වන අතර මහ බැංකු මුදල් ඒකාබද්ධ අරමුදලේ මුදල් නොවන බවත් ය. එහෙත්, මහ බැංකුව ද රාජ්‍ය ප්‍රාග්ධනය මත පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක් බවත්, ඒ අනුව විගණකාධිපති වරයාගේ විගණනයට සහ පාර්ලිමේන්තුවට වගකියන රාජ්‍ය ආයතනයක් බවත් පිළි ගැනින.

  • මෙහි දී, මහ බැංකුවට මුදල් ලැබෙන්නේ රජය විසින් මහ බැංකුවට ලබා දී ඇති මුදල් මුද්‍රණ ඒකාධිකාරය යටතේ සිදු කෙරෙන මුදල් මුද්‍රණයෙන් මිස මහ බැංකු පාලක මණ්ඩලය විසින් නිවසින් ගෙනෙන පෞද්ගලික කොටස් මුදල්වලින් නොවන බව කිසිවෙකු විසින් සඳහන් කළේ නැත.

  • සමහර සාමාජිකයන් විසින් මහ බැංකු වැටුප් වර්ධකය නීති විරෝධී බවට සාක්ෂි මත තහවුරු කළ ද, සභාපති විසින් උත්සාහ කරනු ලැබුවේ, එහි ඇත්තේ නීති කැඩීමක් නොව සදාචාර විරෝධී බවක් ලෙසට අදහස් ඉදිරිපත් කිරීම යි.

  • සමහර සාමාජිකයන් විසින් රාජ්‍ය අනුමැතියක් නොමැතිව මෙම වැටුප් ඉහළ දැමීම නීති විරෝධී බවට සනාථ කිරීම සඳහා කෙටුම්පත් අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයක් අනුව සිදු කළ වගන්ති සංශෝධනයක් ගෙන හැර දක්වන ලදි. එනම්, 23 වගන්තිය අනුව "රටේ වෙනත් කුමන නීතියක් පැවතිය ද, මහ බැංකුවට සේවකයන් පත් කිරීම, ඉවත් කිරීම සහ වැටුප් ලබා දීම" පිළිබඳ ව පාලක මණ්ඩලයට කෙටුම්පතේ දී තිබූ බලය වෙනස් කිරීම යි. එහි දී, "රටේ වෙනත් කුමන නීතියක් පැවතිය ද" යන කොටස ඉවත් කිරීමෙන් මහ බැංකු පාලක මණ්ඩලය විසින් එවැනි නීතිවලට ද අනුකූල වෙමින් ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙන ලදි. එබැවින්, මහ බැංකුව විසින් කම්කරු නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යානා දී නීතිවලට අනුකූල විය යුතු අතර පාලක මණ්ඩලයට අභිමත පරිදි ක්‍රියා කිරීමේ ස්වාධීනත්වයක් නොමැති වීමෙන්, රාජ්‍ය අවසරයක් නොමැතිව කළ මෙම වැටුප් වර්ධකය නීති විරෝධී බව දැක්වින.

  • එහෙත්, මහ බැංකු අධිපති වරයා දිගින් දිගටම ප්‍රකාශ කළේ මෙම වැටුප් වර්ධකය සඳහා පාලක මණ්ඩලයට වගන්ති 23 යටතේ බලය පවතින බවත්, ඔහු විසින් සභාවෙන් ප්‍රශ්න කරනු ලැබුවේ සදාචාර නොවන්නේ මෙම වැටුප් වැඩිවීම ද? නැත්නම් වැටුප් වැඩිවීමේ ප්‍රමාණය ද? යන්න යි. එයට සභාපතිගේ තනි පිළිතුර වූයේ වැටුප් වැඩිවීමේ ප්‍රමාණය සදාචාර නොවන බව යි. එහෙත්, බොහෝ සාමාජිකයන් දැක්වූයේ මෙම අවස්ථාවේ වැටුප් වැඩිවීම නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී බව යි. සමහර සාමාජිකයන් විසින් අනතුරු ඇඟවූයේ, මහ බැංකුව අනුව යමින් සමස්ත රාජ්‍ය අංශය පූරා වැටුප් වැඩිවීමේ රැල්ලක් හට ගෙන මහ බැංකුව විසින් පාලනය කිරීමට උත්සාහ කරන උද්ධමනය ද ඉහළ යාම හරහා මෙය මහ බැංකුවටම පාරාවල්ලක් විය හැකි බව යි.

  • මහ බැංකුව විසින් විභාග දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදයට පරිබාහිරව මහ බැංකුව විසින්ම පාලනය කෙරෙන බැංකු කරුවන්ගේ ආයතනය හරහා මහ බැංකුවට නවක සේවකයන් බඳවා ගැනීමේ විභාග පැවැත්වීම සහ සම්මුඛ සාකච්ඡා ප්‍රතිඵලයන් මත බඳවා ගැනීම යනාදියේ අක්‍රමිකතාවයන් පිළිබඳ ව ද මෙහි දී චෝදනාවන් ඉදිරිපත් විය.
ඒ අනුව, ඇමෙරිකානු මුදල් කාරක සභාවේ ක්‍රමවේදයට හාත් පසින් වෙනස් ක්‍රමවේදයක් ශ්‍රී ලංකා මුදල් කාරක සභාවේ දැකිය හැකිය. එය හුදෙක් පක්ෂ දේශපාලන වේදිකාවක් පමණක් විය.

මහ බැංකු වැටුප් ඉහළ දැමීම පිළිබඳ මෙතෙක් පාර්ලිමේන්තු පරීක්ෂණයේ ප්‍රතිඵල

මාධ්‍යයේ පළ වූ කරුනු අනුව පහත දැක්වෙන ප්‍රතිඵලයන් හඳුනා ගත හැකිය.

  • 05.03.2024 දින මහ බැංකු පාලක මණ්ඩලය අමාත්‍ය මණ්ඩලය වෙත කැඳවා කරනු ලැබූ පරීක්ෂණයේ දී, මෙම වැටුප් ඉහළ දැමීමේ ප්‍රතිපත්තියට අමාත්‍ය මණ්ඩලයේ විරෝධය පළ කිරීම.

  • පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් 06.03.2024 දින පැවති පරීක්ෂණයේ දී ද, නීති විරෝධී සහ සදාචාර විරෝධී පදනම මත සාමාජිකයන් විසින් ඊට විරෝධය පළ කිරීම.

  • මහ බැංකු වැටුප් විෂය පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාවක් මත නැවත කාරක සභා පරීක්ෂණයක් කිරීම.

  • කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව එය සලකා බැලීමට තීරණය කිරීම.

  • 07.03.2024 දින පැවති පාර්ලිමේන්තු විවාදයේ දී මහ බැංකු වැටුප් ඉහළ දැමීම නීති විරෝධී නම් අධිකරණයට ගොස් තීරණයක් ලබා ගන්නා ලෙස ප්‍රකාශ වීම.

  • මහ බැංකුවට 14.09.2023 දී සම්මත නව පනතින් ලබා දී ඇති ස්වාධීනත්වය නැවත සලකා බැලීමට යෝජනා කිරීම.

පාර්ලිමේන්තු පරීක්ෂණය තවමත් පවතින බැවින් මෙම විෂය පිළිබඳ කතුවරයාගේ අදහස් මෙම අවස්ථාවේ ඉදිරිපත් කිරීමෙන් වැළකේ.

මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ නිරීක්ෂණය 

සමස්තයක් ලෙස ගත් විට මහ බැංකු වැටුප් ඉහළ දැමීම වත්මන් රාජ්‍ය ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියට අනුකූල නොවන බව පොදු මතය වී ඇත. එහෙත්, රාජ්‍ය ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියා කිරීම පිළිබඳ ව මහ බැංකු පාලක මණ්ඩලයට එරෙහිව පියවර ගැනීමට හැකි නීතිමය ප්‍රතිපාදනයන් නව මහ බැංකු පනතේ නොමැති බව රජය නිකන් බලා සිටීමෙන් පැහැදිලි ය. එබැවින්, පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් සහ පරීක්ෂණ කිරීමෙන් ඇති ඵලයක් නොමැත.

එහෙත්, 1950 සිට 2023 සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක වී රජය විසින් අවලංගු කරන ලද මහ බැංකු මුදල් නීති පනත යටතේ මෙවැනි අවස්ථාවල ක්‍රියාකාරී වීම සඳහා රජයට බලතල ලබා දී තිබිණ. එය දෙයාකාරය.

  • පළමුව, මහ බැංකු ප්‍රතිපත්තියක් මහජනතාවගේ පොදු සුබසාදනයට හිතකර නොවන බවට රජයේ මතය වන අවස්ථාවේ දී, රජයේ මතය ක්‍රියාත්මක කරන ලෙස මහ බැංකු පාලක මණ්ඩලයට විධානය කිරීමට බලය මුදල් ඇමති වෙත පැවතීම.

  • දෙවනුව, මහ බැංකු අධිපති හෝ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වංචනික හෝ නීති විරෝධී හෝ මහ බැංකු අරමුණු හෝ අභිලාෂයන්ට එරෙහිව ක්‍රියා කොට ඇති බවට ජනාධිපති විසින් විශ්වාස කෙරේ නම්, මුදල් ඇමතිගේ නිර්දේශය මත ඔවුන් ඉවත් කිරීමේ බලය.

අතීතයේ කිහිප වරක් මෙම ප්‍රතිපාදනයන් රජය විසින් භාවිතා කොට ඇත. ඒ අනුව, පහත දැක්වෙන නිරීක්ෂණයන් ඉදිරිපත් කළ හැකිය.

  • පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡා අනුව මෙම වැටුප් වර්ධකය නීති විරෝධී, සදාචාර විරෝධී සහ රාජ්‍ය ප්‍රතිපත්ති විරෝධී බවට තීරණය වී ඇත. එබැවින්, ඉහත දැක්වූ නෛතික ප්‍රතිපාදනයන් පැවතියා නම්, මේ පිළිබඳ ව නිසි පියවර ගැනීමට රජයට හැකියාව  තිබිණ. එසේම, මහ බැංකු පාලක මණ්ඩලය විසින් මෙතරම් අවිනීත සහ අත්තනෝමතික වැටුප් හෝ වෙනත් තීරණයන් නොගනු ඇත. මෙම වැටුප් වර්ධකය සඳහා මසකට අවශ්‍ය මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 232 ක් පමණ වන බව දැක්වෙයි.

  • එහෙත්, වත්මන් මහ බැංකු පාලක මණ්ඩලයට ඇමෙරිකානු මහ බැංකුවේ ස්වාධීනත්වයට ද එහා ගිය ස්වාධීනත්වයක් පැවරී ඇති බැවින් මහ බැංකුව ඉදිරියේ මහජන රජය අනාථයෙකු වී ඇත. එබැවින්, ශ්‍රී ලංකා රජයේ ප්‍රජාතන්ත්‍ර වාදය සහ යහපාලනය කුමක් ද? යන්න ගැටළුවක් පැන නගී.

  • එබැවින්, මෙය නීතියෙන් විසඳා ගැනීමේ වගකීම පවතින්නේ මහජන නියෝජිතයන්ට අධිකරණයේ පිහිට පැතීමෙන් පමණි. ඊට හේතුව, වත්මන් මහ බැංකු පනත කඩි මුඩියේ සංශෝධනය කිරීමේ ස්වාධීනත්වය IMF වැඩසටහන යටතේ රජයට නොමැති වීමත්, ඒ සඳහා මහ බැංකුවේ තාක්ෂණික සහාය නොලැබීමත් ය. ඇමෙරිකාවේ නම්, මෙය පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් ස්වාධීනව කරනු ඇත. එබැවින්, ශ්‍රී ලංකා රජයේ ස්වෛරීත්වය මහ බැංකුව සහ IMF යන ජාත්‍යන්තර ආයතනයන් දෙක ඉදිරියේ අනාථ වී ඇත.

  • එබැවින්, අධිකරණ තීරණයක් ලැබෙන තුරු මහ බැංකු වැටුප් වර්ධකය බලපැවැත්වෙනු ඇත. ඊට හේතුව, මුළු රටම විරුද්ධ වුවත් මහ බැංකු පාලකයන් විසින් පොදුජන ආර්ථික හිත සුව පිණිස තමන්ට හරි යයි සිතෙන තීරණයන් ක්‍රියාත්මක කළ යුතු බවට පවතින මතය යි. පසුගිය කාලයේ ආර්ථිකය කඩා වැටෙද් දී, රාජ්‍ය ණය පැහැර හැරීමත්, පොලී අනුපාතයන් 30% මට්ටමට ඉහළ දැමීමත්, කරනු ලැබුවේ එම මතවාදය අනුව ය.

  • එහෙත්, රාජ්‍ය සහ මහජන පාර්ශවයන්ගේ බලපෑම සහ මැදිහත්වීම සැලකිල්ලට ගෙන මහ බැංකු පාලක මණ්ඩලය විසින් මෙම වැටුප්වල යම් සංශෝධනයක් කළ හොත්, එය පාලක මණ්ඩලය විසින් තම නෛතික ස්වාධීනත්වය රජයට පාවා දීමක් වනු ඇත. ඊට හේතුව, මහ බැංකු පනතේ වගන්ති 5 සහ 23 උල්ලංඝනය වීම යි. 

  • ඉන් මහජනතාවට සහ නීති සම්පාදකයන්ට සනාථ වන්නේ, වත්මන් පාලක මණ්ඩලය එම ස්වාධීන මහජන තනතුරු දැරීමට අයෝග්‍ය සහ නුසුදුසු පුද්ගලයන් වන බව යි. එබැවින්, එවැනි අවස්ථාවක දී ඔවුන් වහාම තම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුය. මෙවැනි තත්ත්වයක් ඇමෙරිකානු මහ බැංකුවේ සිදු වී නම්, ඔවුන් විගසින් ඉල්ලා අස්වනු ඇත.

එබැවින්, රජය විසින් වහාම තීරණය කළ යුත්තේ, මෙවැනි පාර්ලිමේන්තු කාරක සභාවන්ගෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට සහ යහපාලනයට දේශපාලන වේදිකාවලින් පිට සැබෑ ප්‍රතිඵලයක් තිබේ ද? යන්න යි. එය ලිපට පොල්ලෙලි පමණක් දමා කෑම පිස ගැනීමට උත්සාහ කිරීමට සමාන බැවිනි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)




Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි