නව ස්වාධීන මහ බැංකුව මළ දරු උපතක් ද? කෘතීම ස්වසනයෙන් ප්‍රාණය දිය හැකි ද? තනතුරු රැකීමට කළ ඝාතනයක් ද?

 

පසුගිය දිනක මාධ්‍යය වාර්තා කරනු ලැබුවේ, මහ බැංකු වැටුප් වර්ධකය පිළිබඳ ව මුදල් කාරක සභාපති විසින් මාර්තු 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශයන්ට මහ බැංකු අධිපති වරයා එකඟ බව මුදල් කාරක සභාවට දන්වා ඇති බව යි. එම මාධ්‍ය ප්‍රවෘත්තිය මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කොට නොමැති බැවින්, එය සත්‍ය ප්‍රවෘත්තියක් බවත්, එය මහ බැංකු පාලක මණ්ඩලයේ එකඟතාවය බවත්, සලකා මෙම ලිපිය ඉදිරිපත් කරමි.

මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ ව 1949 එක්ස්ටර් වාර්තාවේ සඳහන 

2013 සැප්තැම්බර් 14 දින පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවට ප්‍රදානය කළ ස්වාධීනත්වය යනු ශ්‍රී ලංකා මහ බැංකු නිර්මාතෘ ජෝන් එක්ස්ටර් මහතා විසින් යෝජනා කොට පාර්ලිමේන්තුව විසින් 1949 මුදල් නීති පනතින් දෙන ලද ස්වාධීනත්වයට එහා ගිය එකකි. මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ ව එක්ස්ටර් වාර්තාවේ සඳහන් වූ ඓතිහාසික කරුනු කිහිපයක් පහත දැක්වෙයි. 

මෑත දී වාර්තා වූ මහ බැංකු වැටුප් තීරණය සහ ඒ පිළිබඳ අන්දෝලනාත්මක සිද්ධි දාමය දෙස බලන විට, ජෝන් එක්ස්ටර් මහතා විසින් 1949 දී, එනම්, මීට අවුරුදු 74 කට පෙර, දැක්වූ අදහස් තවමත් ශ්‍රී ලංකාවට ගැලපෙන බව මොනවට පැහැදිලි වෙයි.

  • මහ බැංකුවක් මුහුණ දෙන ප්‍රශ්න අසාමාන්‍ය ලෙස තාක්ෂණික වන අතර ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගෙන් නිතර අපේක්ෂා නොකෙරෙන මට්ටමේ විද්වත් භාවයක් සහ විශේෂීකරණයක් අවශ්‍ය වෙයි. එසේම, මහ බැංකුවක පරිපාලනය වෙනස් වන ආර්ථික තත්ත්වයන්ට ක්ෂණිකව අනුගත විය යුතුය. එබැවින්, මහ බැංකුවක් දේශපාලනික නොවී, සැලකිය යුතු ස්වාධීනත්වයකින් ක්‍රියා කිරීම හිතකර වෙයි.
  • රටට වැදගත් රාජ්‍ය ප්‍රතිපත්තියකට එරෙහිව ක්‍රියා කිරීමට මහ බැංකුවට නොහැකිය. රජයේ කිසිම ආයතනයකට පූර්ණ ස්වාධීනත්වයක් දිය නොහැකිය. රජය විසින් මුදල් වැනි නියාමන ක්ෂේත්‍රයක පුළුල් අභිමතයක් සහිත ස්වාධීනත්වයක් මහ බැංකුවට ප්‍රදානය කිරීමට මනාප වුව ද, අවසානයේ දී වෙනත් රාජ්‍ය ප්‍රතිපත්තිවල මෙන් මූල්‍ය ප්‍රතිපත්තියේ වගකීම ද රජය විසින් දැරිය යුතුය. කිසිම පාර්ලිමේන්තුවකට පසු කාලයේ පත්වන නියෝජිතයන් බන්දනය කොට තැබිය නොහැකි බැවින් යෝජිත නීතිය තුළ මුදල් මණ්ඩල සාමාජිකයන්ගේ ස්වාධීනත්වය සහ සේවාකාලය අනාගතයේ දී නීතිය වෙනස් කිරීම සඳහා රජයට ඇති බලය මගින් සිමා වෙයි.

  • මහ බැංකුවේ ස්වාධීනත්වය කලින් කලට වෙනස් වනු ඇත. යුද්ධ සහ ආර්ථික අර්බුද කාලවලට වඩා, ස්ථායී සහ සාමකාමී කාලවල වඩාත් ස්වාධීන ලෙස ක්‍රියා කිරීමට මහ බැංකුවට අවස්ථාව පවතී.

  • යෝජිත මුදල් නීතිය මගින් අපේක්ෂා කෙරෙන්නේ, රජය සහ මහ බැංකුව අතර නිරන්තර සහ නිර්මාණාත්මක සහයෝගයකි. ඒ සඳහා වන ප්‍රධාන මෙවලම වන්නේ, මුදල් අමාත්‍යංශයේ ලේකම් මුදල් මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කිරීම යි.

  • රජය සහ මුදල් මණ්ඩලය අතර පවතින සහයෝගය සහ සම්බන්ධීකරනයේ ඵලදායිත්වය රඳා පවතින්නේ, හුදු නීතිමය ප්‍රතිපාදනයකට වඩා, ඒ ඒ කාලයේ දී  ප්‍රධාන තනතුරු හොබවන පුද්ගලයන් මත ය.

  • එය කොතරම් දක්ෂ ලෙස කෙටුම්පත් කළ පූර්ණ නීතියකින් ස්ථාපිත කළ නොහැකි සංකීර්ණ සහ සියුම් සබඳතාවයක් වන අතර එය බොහෝ රටවල බොහෝ කාලයක් තුළ අත්දැකීම් තුළින් ගොඩ නැගෙනු ඇත.

එහෙත්, අවාසනාව වන්නේ ශ්‍රී ලංකාවේ වසර 73 කට පසුව හදිසියේ කිහිප දෙනෙකු අතර ඇමෙරිකාවටත් එහා ගිය මහ බැංකු ස්වාධීනත්ව උන්මාදයක් හට ගෙන, ආපසු පටන් ගත් තැනටම පිය නැගීම යි. එහි ආදීනව මාස 06 ක් යාමට පෙර දැනටමත් පොදු මහජනයා සහ පාර්ලිමේන්තු නියෝජිතයන්  අත්විඳීමට පටන් ගෙන ඇති බව මෙම මහ බැංකු වැටුප් දුෂණ ආන්දෝලනයෙන්  හොඳටම අනාවරණය වෙයි.

මහ බැංකු ස්වාධීනත්වය එළිපිට නීති ගත කිරීම සහ අවභාවිතා කිරීම 

නව පනතින් මහ බැංකුවට ස්වාධීනත්වය නීති ගත කොට, ඒ අනුව, මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සමාන්තරව ස්වාධීන මුදල් මුද්‍රණය හරහා මහ බැංකු සේවක බඳවා ගැනීම සහ ප්‍රතිලාභ ප්‍රදානය පිළිබඳ විශේෂ ප්‍රතිපාදනයන් අනුමත කොට ඇත. ඒවා පහත දැක්වෙයි. මෙහි දී, මහ බැංකු සේවකයන්ට ඕනෑ තරම් ණය ප්‍රදානය කිරීමේ අභිමතය ද මහ බැංකු පාලක මණ්ඩලය සතුය. එහෙත්, වෙනත් ප්‍රතිපාදනයන් හරහා රජයට සෘජු හෝ වක්‍ර ලෙස ණය දීම මහ බැංකුවට තහනම් කොට ඇත.

ඒ අනුව, මහ බැංකු පාලක මණ්ඩලය විසින් ප්‍රදානය කරන ලද ආන්දෝලනාත්මක පළමු වැටුප් වර්ධකය පිළිබඳ ව පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ, පාර්ලිමේන්තුව විසින් ඉහත ලෙස දෙන ලද ස්වාධීනත්වය තුළ මෙම වැටුප් ඉහළ දැමීම තම අභිමතය පරිදි ගන්නා ලද නෛතික ප්‍රතිපත්තියක් බව යි. එය, මහ බැංකුව වැනි අති ආර්ථික විද්වත් බවට සැලකෙන රාජ්‍ය ආයතනයකින් අපේක්ෂා කළ නොහැකි ප්‍රතිචාරයකි.

  • පළමුව, පාර්ලිමේන්තුවේ බහුතර අදහස් අනුව මෙම වැටුප් ඉහළ වර්ධකයේ අධිකත්වය සදාචාර විරෝධී  වෙයි. ඊට හේතුව, වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ අනෙකුත් අංශවල සේවකයන් මුහුණ දෙන රැකියා, ආදායම් සහ ජීවන දුෂ්කරතාවන් අබ මල් රේණුවකටවත් නොසලකා, මහ බැංකු සේවකයන්ට ලොකු හැන්දෙන් මුදල් මුද්‍රණය කොට බෙදීම ගැනීම යි.

  • දෙවනුව, මුදල් කාරක සභාපතිගේ වාර්තාව අනුව මෙම වැටුප් වර්ධකය ආර්ථිකයේ උද්ධමන පිඩනයට ද හේතු වනු ඇත. එය, ජාතික ආර්ථික ප්‍රතිපත්ති විරෝධී ක්‍රියාවකි.

  • තෙවනුව, මුදල් කාරක සභාපතිගේ වාර්තාවට මෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර අදහස් අනුව මෙම වැටුප් වර්ධකය ව්‍යවස්ථා විරෝධී වෙයි. ඊට හේතුව, පුළුල් අර්ථය අනුව මහ බැංකු මුදල් ද ව්‍යවස්ථාවේ 148 සහ 149 වගන්ති යටතේ පාර්ලිමේන්තුවේ පාලනයට යටත් රාජ්‍ය මුදල් කාණ්ඩයට අයත් වන බැවිනි.

  • සිවුවනුව, රාජ්‍ය ආයතනයකට මහජන බලය ක්‍රියාත්මක කිරීම සඳහා නෛතික අභිමතය සහ ස්වාධීනත්වය පැවරෙන්නේ, මහජන විශ්වාසය ආරක්ෂා කිරීමේ කොන්දේසියට යටත්ව ය. එනම්, එම මහජන බලය දුෂිත ලෙස භාවිතා නොකළ යුතුය. එබැවින්, අදාළ රාජ්‍ය ආයතන සහ අධිකාරීන් විසින් තීරණ ගැනීමේ දී, විනය ගරුක සහ විනිවිද ආයතනික රාමුවක් භාවිතා කළ යුතුය. එය, රාජ්‍ය අධිකාරීන්ට මහජන බලය ලැබූ විගස අමතක වන කරුනකි. එබැවින්, නෛතික ස්වාධීනත්වයක් ඇති බව පැවසීම හුදු නිදහසට කරුනක් නොවේ. මෙම අධිවැටුප් වර්ධකය සදාචාර විරෝධී බවට සමස්ත පාර්ලිමේන්තුව සහ මහජනයා විසින් සැලකීමෙන් සක්සුදක් සේ තහවුරු වන්නේ, මහ බැංකු පාලක මණ්ඩලය විසින් එවැනි ආයතනික රාමුවක් නොමැතිව තම ස්වාධීනත්වය දුෂිත ලෙස අවභාවිතා කොට ඇති බව යි. එය, වත්මන් IMF ආර්ථික ගැලවුම් පැකේජය පදනම් වන යහපාලනය සහ දුෂණ වැලැක්වීමේ මූලධර්මයන් සහ ප්‍රතිපත්තිය ද උල්ලංඝණය කිරීමකි.

  • පස්වනුව, මහ බැංකු පාලක මණ්ඩලය විසින් මුදල් කාරක සභාපතිගේ වාර්තාවේ නිර්දේශයන්ට කොන්දේසි විරහිත ලෙස එකඟ වීමෙන්, දෙවැනි වරට ද නව මහ බැංකු නෛතික ස්වාධීනත්වය අවභාවිතා කොට ඇත. එය, දේශපාලනික සහ  මහජන විරෝධය හමුවේ තම නිල ආසන සහ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමේ පෞද්ගලික අභිලාශය පෙර දැරි කර ගැනීමක් බව නොරහසකි.

නිගමනය

වත්මන් මහ බැංකු අධිපති විසින් තම මහජන තනතුර භාර ගැනීමේ සිට මෙම වැටුප් අර්බුදය දක්වා මධ්‍යයෙන් වාර්තා වූ අදහස් අනුව පෙනී ගියේ, ඔහු, සියළු පැරණි වාර්තාවන් නොතකා, ශ්‍රී ලංකා මහජනතාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට පැමිණි දේව නියෝජිතයෙකු බව යි. එනම්, මුළු රටම විරුද්ධ වූවත්, නිවැරදි සහ දැඩි තීරණ ස්වාධීනව ක්‍රියාත්මක කිරීම තුළින් ආර්ථිකය සහ මහජනයා මෙම අර්බුදයෙන් ගොඩ දැමීමට හැකි අති විද්වතෙකු බව යි. 

වර්ෂ 74 ක් අඛණ්ඩ ක්‍රියාත්මක වූ එක්ස්ටර් වාර්තාව ද ඉවත ලා, රජය විසින් ඔහුට අවශ්‍ය පරිදි නව ස්වාධීන මහ බැංකුවක් ප්‍රදානය කරනු ලැබුවේ, එම අනගි ජාතික කර්තව්‍යය ඉටු කිරීම සඳහා ය. රජය විසින් දැක්වූයේ ඇමෙරිකානු මහ බැංකුව වැනි මහ බැංකුවලට සමාන ස්වාධීනත්වයක් ලබා දුන් බව යි (ඇමෙරිකානු මහ බැංකුව සමඟ සැසඳුමක් මෙතනින් කියවන්න).

එහෙත්, අඩවසරක් ඉක්මීමට ද පෙර, එම නව මහ බැංකු ස්වාධීනත්වය එළිපත්තේ දී ම නව මහ බැංකු පාලක මණ්ඩලය විසින්  දෙවරක් ඝාතනය කොට ඇත.

  • පළමුව, සදාචාර නොවූ සහ ජාතික ප්‍රතිපත්ති විරෝධී අධිවැටුප් වර්ධකයක් තම සේවකයන්ට ප්‍රදානය කිරීම. 

  • දෙවනුව, ඊට විරුද්ධව පාර්ලිමේන්තුව විසින් කරනු ලැබූ නිර්දේශයන්ට එක පාදයෙන් එකඟ වීම.

මෙය, හුදෙක් අත්වැරැද්දක් නොව, පිළිකාවක් මෙන් රට පුරා ඔඩු දුවා පවතින බවට මහජන මැසිවිලි නැගෙන ආර්ථික අවපාලනය සහ දුෂණයේම කොටසක් බව රහසක් නොවේ. එබැවින්, මහ බැංකු අධිපති සහ පාලක මණ්ඩලය කියන තරම් දිව්‍ය විද්වතුන් නම්, ඔවුන් මේ වන විට දෙවරක් තම මහජන අසුන්වලින් ඉල්ලා අස් වී සිටිය යුතුය.

මෙම තත්ත්වය තුළ, නව ස්වාධීන මහ බැංකුව ද පොදුජන උදහසට පත් වී ඇති වත්මන් දේශපාලනික පද්ධතියේම තවත් සුළු පුරුකක් පමණක් වන බැවින් ස්වාධීන මහ බැංකු ජාතික මෙහෙවරක් වත්මන් පාලක මණ්ඩලයෙන් කිසිසේත් බලපොරොත්තු විය නොහැකි බව කිව යුතු නැත.

එබැවින්, වසර 74 කට පෙර ජෝන් එක්ස්ටර් මහතා විසින් කරන ලද මහ බැංකු ස්වාධීනත්ව නිර්දේශය සලකා බලා, ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි කළමනාකරණය නැවත ප්‍රතිසංවිධානය කිරීමට රජය තවමත් ප්‍රමාද නැත. එහෙත්, විද්වත් ස්වාධීනත්වය, ඒකාග්‍රතාවය සහ පොදුජන මෙහෙවර පිළිබඳ ව චෛතසික වර්ධනයක් සහිත විද්වතුන් සොයා ගන්නා තෙක්, එය හුදෙක් තවත් දේශපාලනික කථා පිටුවක් පමණකි.

තමන් සත්ගුණවත් ජාතික මෙහෙවරක් කිරීමට IMF සමඟ පැමිණි බවත්, එහෙත්, දේශපාලනික කුමන්ත්‍රණ කරුවන් ඊට ඉඩ නොදෙන බවත් පවසා ඉල්ලා අස්වීමට මහ බැංකු අධිපති ඇතුළු පාලක මණ්ඩලයට තවමත් අවස්ථාව පවතී. එසේ නැත්නම්, ඔවුන්ට ඇති ඊළඟ විකල්පය වන්නේ, සෑම දේශපාලන නායකයෙකුම සතුටු කිරීම සඳහා මහ බැංකුවේ මුදල් මුද්‍රණය සහ මුදල් නියාමනය යොදවමින් තම තනතුරු ටික කලකට ආරක්ෂා කර ගැනීම යි. ඔවුන් මෙම විකල්පයට යන බව දැන් පැහැදිලි ය. ඊට හේතුව, ඔවුන්ට හිමි බව පැවසූ විද්වත් කොන්දය නැවත අලුත්වැඩියා කළ නොහැකි පරිදි මෙම වැටුප් ප්‍රතිපත්ති සිද්ධියෙන් බිඳී ගොස් ඇති බැවිනි.

එබැවින්, එදිනෙදා මාධ්‍යය හරහා හමායන මෙවැනි සිදුවීම්වලින් ගහණ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආර්ථික කළමනාකරණ පොතට මෙය තවත් වැකියක් පමණි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි