ස්වාධීන මහ බැංකු මහ වැටුප් දුෂණය. රජය බල රහිත ද? මහජනයාට අධිකරණයේ පිහිට පමණ ද?

ලිපියේ පසුබිම 

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවති විවාද සහ පරීක්ෂණවල දී, මහ බැංකුවේ අධික වැටුප් වර්ධකය කෙරෙහි පාර්ලිමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ විරෝධය පළ වී ඇත. එම විරෝධයට පදනම ලෙස මෙම වැටුප් වර්ධකය නීති විරෝධී, සදාචාර විරෝධී සහ රාජ්‍ය ප්‍රතිපත්ති විරෝධී යන්නට කරුනු ඉදිරිපත් වී ඇත.

එහෙත්, දැන් පොදු මහජනතාව මුහුණ දෙන ගැටළුව වන්නේ, එවැනි වැටුප් ප්‍රතිපත්තියක් තීරණය කළ මහ බැංකු අධිපති ඇතුළු පාලක මණ්ඩලය තවදුරටත් එම මහජන ආසනවල සිටීම සහ එම වැටුප් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වැලැක්වීමට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මහජනයා විසින් පත් කොට ඇති රජය හෙවත් ව්‍යවස්ථාදායකය සහ විධායකය තවමත් අපොහොසත් වන බව යි. එවිට, මහජනයාට ඉතිරි වී ඇති ඊළඟ නෛතික විකල්පය වන්නේ, පවත්නා නීති යටතේ අධිකරණයේ පිහිට පැතීම යි.

පසුගිය 06 දින පාර්ලිමේන්තුවේ දී පැවති කෙටි විවාදයේ දී වාර්තා වූයේ, මෙම වැටුප් ප්‍රශ්නයේ දී විපක්ෂය විසින් මහ බැංකු අධිපති වරයා ඉවත් කිරීමට ක්‍රියා කිරීම වෙනුවට, පාර්ලිමේන්තු මුදල් කාරක සභාපති ඉවත් කිරීමට ක්‍රියා කරන බවත්, ඇමෙරිකාව වැනි රටවල මෙන් මහ බැංකුවට ස්වාධීනත්වය ප්‍රදානය කොට ඇති බැවින් මෙම වැටුප් ප්‍රශ්නය පිළිබඳ ව අධිකරණයට යාමේ අවස්ථාව විපක්ෂයට පවතින බවත් ය. තව ද, ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළට ස්වාධීනත්වයක් ප්‍රදානය කොට ඇත්නම්, මහ බැංකුවට එවැනි ස්වාධීනත්වයක් ප්‍රදානය කිරීමේ යෝග්‍යතාවය ද ප්‍රකාශ විය.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ මහ බැංකු අධි වැටුප් අක්‍රමිකතාවයට එරෙහිව පියවර ගත හැකි නීතිමය පසුබිම පිළිබඳ ව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කිරීම යි.

මෙහි යෝජනා කෙරෙන පියවරයන් කිහිපයකි. එනම්,

  • මහ බැංකු පාලක මණ්ඩලය ඉල්ලා අස්වීම.

  • එසේ ඉල්ලා අස් නොවේ නම්, පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් මහ බැංකු පාලක මණ්ඩලය  ඉවත් කොට ජනාධිපති විසින් නව පාලක මණ්ඩලයක් කඩිනමින් පත් කිරීම.

  • ඉහත එකක් වත් සිදු නොවේ නම්, අනීතික ලෙස සීමාව ඉක්මවා මහජන අභිමතය භාවිතා කිරීම පිළිබඳ මූලික අයිතිවාසිකම් පැමිණිල්ලක් ගොනු කිරීම, රාජ්‍ය/මහජන  මුදල් වංචා සම්බන්ධ පොදු දේපල, අල්ලස් සහ දුෂණ සහ විශ්වාසය කඩකිරීම පිළිබඳ ව අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසීම. 

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතාවන්ට එරෙහිව
රාජ්‍ය අධීක්ෂණ අධිකාරීන් සතු බලතල 

බොහෝ රාජ්‍ය ආයතනවලින් වාර්තා වන විෂමාචාර ක්‍රියාකාරකම්වලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා රාජ්‍ය අධික්ෂණ අධිකාරීන් සතුව පවතින සෘජු බලතල ඒ ඒ පනත්වල අඩංගු වෙයි. මෙහි දී, පාලක මණ්ඩලයන් ඉවත් කොට නව පාලක මණ්ඩලයන් පත් කොට, ඉවත් කළ විෂමාචාර පාලක මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයන් කිරීම සාමාන්‍ය ක්‍රමවේදය යි. ඕනෑම ආයතනයක කළමනාකරණය පාලක මණ්ඩලයේ වගකීම වන බැවින් ආයතන මට්ටමේ විෂමාචාර සහ අක්‍රමිකතාවන් වැලැක්වෙන ලෙස ක්‍රියා නොකිරීම පිළිබඳ ව චෝදනාවන් පාලක මණ්ඩලය වෙත නැගෙනු ඇත. එහි දී, දැන හෝ නොදැන පාලක මණ්ඩලයේ අනුමැතිය මත ඒවා සිදු වී ඇත්නම්, ඊට පාලක මණ්ඩලයේ වගකීම පිළිබඳ ව සැකයක් නොමැත.

එහෙත්, IMF ණය වැඩසටහන යටතේ 2023 සැප්තැම්බර් 14 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහ බැංකු පනත යටතේ, මහ බැංකුවට මෙහෙයවුම් සහ මුදල් ස්වාධීනත්වය ප්‍රදානය කොට ඇති අතර ඒ ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතාවන්ට එරෙහිව ක්‍රියා කිරීමේ සෘජු බලතල රාජ්‍ය අධිකාරීන්ට ලබා දී නැත. 1950 සිට එතෙක් මහ බැංකුව පාලනය වූ මුදල් නීති පනත යටතේ එවැනි බලතල රැසක් පැවතින. ඒවා සියල්ල දැන් අතීතයක් පමණි.

එබැවින්, මෙම දුෂිත වැටුප් තීරණයට එරෙහිව ක්‍රියා කිරීමේ වගකීම මහජනයාට සහ මහජන නියෝජිතයන් මත පමණක් පැටවී ඇත. එනම්, රජය මහ බැංකුව ඉදිරිපිට අනාථයෙක් බවට දිස්වෙනු ඇත. මෙය ඉදිරි මැතිවරණයේ දී රජයට එරෙහි මහජන ව්‍යාපාරයක් බවට පත් වීමේ අවදානම ඉහළ වෙයි. 

එබැවින්, රජය විසින් නිකන් බලා නොසිට තම ව්‍යවස්ථාදායක සහ විධායක බලතල කඩිනමින් භාවිතා කොට මෙම මහජන ගැටළුව විසඳිය යුතුය. ඊට හොඳම උදාහරණය සේපාල ඒකනායක විසින් ගුවන් යානයක් පැහැර ගැනීමේ සිද්ධියේ දී එවක රජය විසින් ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය යි.

මහ බැංකු පාලක මණ්ඩලයේ සහ 
මුදල් ප්‍රතිපත්ති විද්වත් මණ්ඩලයේ වගකීම්

මූල්‍ය ප්‍රතිපත්තියට අයත් නොවන සියළුම මහ බැංකු කළමනාකරණය භාර වී ඇත්තේ පාලක මණ්ඩලයට යි. එබැවින්, මහජන උදහසට ලක් වී ඇති මෙම වැටුප් වර්ධකය පාලක මණ්ඩලය විසින් අනුමත කොට ඇති බැවින් ඊට පාලක මණ්ඩලය වගකිව යුතුය. ඒ පිළිබඳ ව කිසිම නීතිමය තර්කයක් නොමැත. මෙහි දී, මහ බැංකු අධිපති ඇතුළු සියළු පාලක මණ්ඩල සාමාජිකයන් ඇතුලත් වෙයි. එබැවින්, පාර්ලිමේන්තුවේ දී සඳහන් වූ පරිදි මහ බැංකු අධිපති වරයාට එරෙහිව පමණක් ක්‍රියා කිරීමට ඉඩක් නීතියේ නැත. මහ බැංකු අධිපති වරයා විසින් පාලක මණ්ඩලය නොමඟ යවා වැටුප් අනුමැතිය ලබා ගෙන ඇත්නම්, එය වැටුප් පරීක්ෂණයේ විශේෂිත චෝදනාවක් පමණි.

මෙම අධි වැටුප් වර්ධකය හේතු කොට වැටුප් ගෙවීමට පමණක් මාසිකව රුපියල් මිලියන 232 ක පමණ අතිරේක මුදලක් වැය වන බව මධ්‍යයෙහි පළ විය. එසේම, වැටුප මත පදනම් වී කෙරෙන අතිකාල දීමනා, වාර්ෂික ප්‍රසාද දීමනා, අර්ථ සාධක සහ විශ්‍රාම ප්‍රතිලාභ දායකවීම් වැනි අතිරේක වියදම් සැලකිල්ලට ගත් විට, මහ බැංකුවට දැරීමට සිදු වන සත්‍ය වියදම මීට වඩා බොහෝ ඉහළ යනු ඇත. එය, මහ බැංකුව අනාගතයේ වසා දමන අවස්ථාව තෙක් වාර්ෂිකව ඉහළ යනු ඇත.

මෙම සියළු වියදම් දරනුයේ මහ බැංකු විසින් මුදල් මුද්‍රණය හරහා ය. මුදල් මුද්‍රණය හරහා සිදුවන මුදල් මැවීම පිළිබඳ මහ බැංකු මතවාදය අනුව මෙම අතිරේක වියදම හේතු කොට කාලයාගේ ඇවෑමෙන් රටතුළ මහජනයා අතැති මුදල් ප්‍රමාණය කිහිප ගුණයකින් ඉහළ යනු ඇත. වර්තමානයේ එම මුදල් ගුණකය 8 ක් පමණ වෙයි. මාසික වැටුප් ආශ්‍රිත වියදම රුපියල් මිලියන 300 ක් නම්, වාර්ෂික වියදම රුපියල් මිලියන 3,600 කි. එනම්, වර්ෂයකට රුපියල් මිලියන 28,800 ක අතිරේක මුදල් ප්‍රමාණයක් මහජනයා අතට ලැබීමේ සහ උද්ධමන පීඩනයක් හට ගැනීමේ හැකියාවක් උදා වී ඇත.

පාර්ලිමේන්තු විවාද සහ සාකච්ඡාවල දී සඳහන් වූයේ මහ බැංකු වැටුප් වර්ධකය පූර්වාදර්ශයට ගෙන, අනෙක් රාජ්‍ය වෘත්තීය සමිති ව්‍යාපාරය හරහා රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ යාම තුළින් උද්ධමනකාරී පීඩනයක් හට ගැනීමේ අවදානමක් පවතින බවත්, එය මහ බැංකුවේ ප්‍රතිපත්ති කෙරෙහිත් බලපාන බවත් ය. 

එබැවින්, මෙම වැටුප් ප්‍රතිපත්තියට  මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විද්වත් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වෙයි. මහ බැංකුවේ වියදම් තීරණය කිරීමේ දී, එමගින් ආර්ථිකයේ මුදල් තත්ත්වය කෙරෙහි කෙරෙන බලපෑම විශේෂ සැලකිල්ලට ලක් කෙරේ. එබැවින්, එය නව මහ බැංකු පනත යටතේ 2024 මහ බැංකු අයවැයේ විමර්ශනයට භාජනය වී තිබිය යුතුය.

මුදල් ප්‍රතිපත්ති විද්වත් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් නොකොට මෙය ක්‍රියාත්මක කොට ඇත්නම්, එය ප්‍රතිපත්ති වංචාවකි.

මහ බැංකු පාලක මණ්ඩල අනුමැතියේ ක්‍රමවේදය

මහ බැංකු අධිපති සහ පාලක මණ්ඩල සාමාජිකයන් විසින් පාර්ලිමේන්තුවේ දී දැක්වූ සාක්ෂි අනුව මෙම වැටුප් වර්ධකය මූලික සාධක හතරක් මත තීරණය කොට ඇත. එනම්,

  • ත්‍රෛවාර්ෂික වෘත්තීය සමිති ගිවිසුම් ක්‍රමවේදය 

  • මහ බැංකු පනතේ 5 වගන්තිය යටතේ ස්වාධීනත්වය

  • මහ බැංකු පනතේ 23 වගනිතිය යටතේ සේවක ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ ස්වාධීන අභිමතය

  • මහ බැංකුවේ විද්වත් කාර්යමණ්ඩලය මහ බැංකුව හැර යාම වැලැක්වීම සහ තරගකාරී ලෙස විද්වතුන් බඳවා ගැනීමේ අවශ්‍යතාවය 

මෙහි දී, මෙම කරුනු නිසි ලෙස විග්‍රහ කරමින් පාලක මණ්ඩල ලේකම් විසින් යෝජිත වැටුප් වර්ධකය පාලක මණ්ඩලයට ලිඛිතව ඉදිරිපත් කර ඇත් ද? පාලක මණ්ඩලය ඒ පිළිබඳ ව ප්‍රතිපත්ති සාකච්ඡාවක් සිදු කර ඇත් ද? ඒ පිළිබඳ නෛතික මාණ්ඩලික සටහන් පත්‍රය පවතී ද? යන්න තහවුරු කර ගත යුතුය. ඉන් පාර්ලිමේන්තුවේ දී දැක්වූ කරුනු සනාථ නොවේ නම්, වැටුප් වර්ධක තීරණය බල රහිත වෙයි.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවති කාලයේ බොහෝ විට සිදු වූයේ, වෘත්තීය සංගම් සමඟ එකඟතාවයෙන් පසු සංශෝධිත වැටුප් පරිමාණ ලේඛනය මුදල් මණ්ඩලය වෙත රැස්වීම අවස්ථාවේ ඉදිරිපත් කිරීම යි. එහි දී, අනුමත කිරීම හැර වෙනත් විකල්පයක් මුදල් මණ්ඩල සාමාජිකයන්ට නොමැත. ඊට හේතුව, වැටුප් සංඛ්‍යා තුළ අඩංගු තාක්ෂණික කරුනු සහ පසුගිය වසර තුනේ සේවක ප්‍රගතිය පිළිබඳ කිසිම තොරතුරක් ඉදිරිපත් නොවන බැවිනි. මෙම වැටුප් වර්ධකයේ දී ද එවැනි තත්ත්වයක් පෙනේ නම්, සියළුම පාලක මණ්ඩල සාමාජිකයන් තම මහජන වගකීම සහ විශ්වාසය පැහැර හැර ඇත.

එසේම, මහ බැංකු පාලක මණ්ඩලය විසින් ඉහත දැක්වූ සාධක හතරේම නීත්‍යනුකුල සහ රාජ්‍ය ප්‍රතිපත්ති සදාචාරයක් නොමැති බව පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ, පාර්ලිමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ බහුතර මතය වී ඇති බව වාර්තා වෙයි.

එබැවින්, මහ බැංකු පාලක මණ්ඩලයට එරෙහිව අධිකරණ සහ විමර්ශන ක්‍රියාමාර්ගයකට යාමට මෙන්ම පාලක මණ්ඩලය ඉවත් කොට නව පාලක මණ්ඩලයක් පත් කිරීම හරහා මෙම ගැටළුව කඩිනමින් විසඳීමට හැකියාව පාර්ලිමේන්තුවට පවතින බවට ප්‍රමාණවත් ලිඛිත සාක්ෂි දැනටමත් පවතින බව පෙනේ.

පාර්ලිමේන්තු යෝජනාවක් මගින් පාලක මණ්ඩලය ඉවත් කොට ජනාධිපති විසින් නව පාලක මණ්ඩලයක් පත් කිරීම

මේ සඳහා ඇති නෛතික සහ සදාචාර පදනම ඉතා සෘජු වෙයි.
  • වත්මන් මහ බැංකු පනත සහ මහ බැංකුව පිහිටුවා ඇත්තේ IMF ණය වැඩසටහනට අයත් කොන්දේසියක් මත ය.

  • IMF ණය වැඩසටහන යනු ශ්‍රී ලංකා ආර්ථිකය වත්මන් අර්බුදයෙන් සහ බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම සඳහා ඇති එකම විකල්පය බවට රජය සහ පාර්ලිමේන්තුව විසින් තීරණය කොට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් ක්‍රියාත්මක කරන සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය යි. එය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන අධිකාරීන් වනුයේ මහ බැංකුව, මුදල් අමාත්‍යංශය සහ අමාත්‍ය මණ්ඩලය යි.

  • එහි මූලික අංගයක් වන්නේ ශ්‍රී ලංකාවේ යහපාලනය සහ දුෂණය මැඩලීම යි.

  • පාර්ලිමේන්තුවෙන් සහ මාධ්‍යයෙන් වාර්තා වන පරිදි මෙම මහ බැංකු වැටුප් වර්ධකය දුෂිත මුදල් ප්‍රතිපත්තියකි.

  • එබැවින්, පාර්ලිමේන්තුවෙන් අනුමත කොට ඇති IMF ණය වැඩසටහනේ දුෂණ පිටුදැකීමේ කොන්දේසි මහ බැංකුව විසින්ම උල්ලංඝනය කොට ඇත.

  • එබැවින්, IMF ණය වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ කැපවීමක් පාර්ලිමේන්තුවට තිබේ නම්, මෙම වැටුප් දුෂණයට වගකිව යුතු මහ බැංකු පාලක මණ්ඩලය යෝජනා සම්මතයෙන් ඉවත් කළ යුතුය.

  • එවිට, නව පාලක මණ්ඩලයක් කඩිනමින් පත්කිරීම හරහා මෙම වැටුප් ප්‍රතිපත්තිය අවලංගු කොට IMF ණය වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාව රජයට සහ පාර්ලිමේන්තුවට ලැබෙනු ඇත. මෙය ඉතා සරල දින කිහිපයකින් ගත හැකි පියවරකි.
එසේ නොවේ නම්, මහජනයාට අධිකරණයේ පිහිට පැතීමට සිදු වනු ඇත. ඒ සඳහා වැදගත් වන නෛතික පරිසරය පහත ලෙස දැක්විය හැකිය.

මූලික අයිතිවාසිකම් පැමිණිල්ලක් ගොනු කිරීම 

ඉහත දැක්වූ වැටුප් ඉහළ දැමීමේ ක්‍රමවේදයේ ගැටළු සහ මහ බැංකු මෙහෙයවුම් සහ මූල්‍ය ස්වාධීනත්වයේ නෛතික ගැටළු මත පදනම් වී මෙම ක්‍රියාමාර්ගය ගත හැකිය. මහ බැංකු පනත අනුව වැටුප් ස්වාධීනත්වය පහත දැක්වෙයි.

එහෙත්, මුදල් කාරක සභා සහ පාර්ලිමේන්තු විවාදයේ දී ඉදිරිපත් වූයේ, මහ බැංකු සේවක සහ වැටුප් පිළිබඳ ව රටේ පවතින වෙනත් නීතිවලින් නිදහස් වූ ස්වාධීනත්වයක් මෙම පනතින් ප්‍රදානය නොකළ බව යි.

ඊට හේතුව ලෙස දැක්වූයේ, මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම් පත් අවස්ථාවේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයක් අනුව කළ 23 වගන්ති සංශෝධනය යි. එනම්, 23 වගන්තිය අනුව යෝජනා වූ "රටේ වෙනත් කුමන නීතියක් පැවතිය ද, මහ බැංකුවට සේවකයන් පත් කිරීම, ඉවත් කිරීම සහ වැටුප් ලබා දීම" පිළිබඳ ව පාලක මණ්ඩලයට කෙටුම්පතේ දී තිබූ පරම බලය "රටේ වෙනත් කුමන නීතියක් පැවතිය ද" යන කොටස ඉවත් කිරීමෙන් සංශෝධනය කිරීම යි. එය ව්‍යවස්ථාවේ 12(1) යටතේ නීතියේ සමාන ආරක්ෂාව ප්‍රතිපාදනයට එරෙහි බැවින්, එය සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය විය. එබැවින්, නීතිපති වරයාගේ යෝජනාවක් අනුව එම කොටස ඉවත් කොට සාමාන්‍ය බහුතරයෙන් මහ බැංකු පනත සම්මත කරන ලදි.

ඒ අනුව, මහ බැංකු පාලක මණ්ඩලයට සේවක සහ වැටුප් පිළිබඳ ව පරම ස්වාධීනත්වයක් හෝ අභිමතයක් ලබා දීමේ අරමුණක් හෝ අභිලාශයක් නීති සම්පාදකයන් වෙත නොතිබූ බව හැන්සාඩ් වාර්තා සාක්ෂි මගින් තහවුරු කළ හැකිය. නීතිමය ප්‍රතිපාදනයන් අපැහැදිලි විට, නිවැරදි අර්ථ නිරූපනය සඳහා අධිකරණය විසින් හැන්සාඩ් සාක්ෂි සලකා බැලීම දැකිය හැකිය.

මෙම තර්කයම මත මහ බැංකුවට ලබා දී ඇති මෙහෙයවුම් සහ මූල්‍ය ස්වාධීනත්වය ද රටේ පවතින අනෙක් නීතිවලට යටත් විය යුතු බව පැහැදිලි ය. එසේ නොවේ නම්, මහ බැංකුව අධිකරණ විමර්ශනයෙන් ද ස්වාධීන බවට මහ බැංකු පාලක මණ්ඩලය විසින් තර්ක කළ හැකිය. ඊට හේතුව, අධිකරණය ක්‍රියාත්මක වන්නේ ද රටේ පවතින බොහෝ නීති යටතේ බැවිනි. එබැවින්, මහ බැංකු ස්වාධීනත්වය යනු හුදු පුස් වෙඩිල්ලකි.

තවත් කරුනක් වන්නේ, රාජ්‍ය අධිකාරියකට සීමාවන් නොදක්වා දෙනු ලබන නෛතික අභිමතය භාවිතා කළ යුත්තේ  මහජන විශ්වාසය රැකෙන පරිදි ය. එය සනාථ කළ හැක්කේ තීරණ ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන අභ්‍යන්තර පාලන ක්‍රමවේදය හරහා ය. එසේ නොමැතිව, නෛතික අභිමතය තිබූ පමණින් පාලක මණ්ඩලයට හෝ අධිකාරියට හිතෙන හිතෙන තීරණයන් ගැනීම කළ නොහැකිය.

උදාහරණ වශයෙන් කාලයක් තිස්සේ නියෝජ්‍ය අධිපති වරුන් පත් කිරීම මහ බැංකු මුදල් මණ්ඩලය විසින් රහසේ කරන ලදි. ඊට විරුද්ධව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් නඩුවේ දී, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පත්වීම අවලංගු කොට, නියෝජ්‍ය අධිපති වරුන් පත් කිරීම සඳහා විනිවිද ක්‍රමවේදයක් අනුගමනය කොට අභිමතය පාවිච්චි කරන ලෙස නියෝග කරන ලදි. එසේම, ප්‍රමුඛ බැංකුවේ බලපත්‍රය අවලංගු කොට බැංකුව ඈවර කිරීමට මුදල් මණ්ඩලය විසින් ගත් තීරණය අභියාචනා අධිකරණය විසින් අවලංගු කොට, මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව එම තීරණය ගන්නා ලෙස නියම කරන ලදි.

මෙම වැටුප් තීරණය ද මහ බැංකුව විසින් දශක කිහිපයක් සිදු කළ ආකාරයටම වෘත්තීය සමිති ගිවිසුම හරහා ගත් බව මහ බැංකු පාලක මණ්ඩලය විසින් පුන පුනා ප්‍රකාශ කරන ලදි. එහෙත්, එය කම්කරු නීති අනුගමනය නොකොට කර ඇති බව පාලක මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ දී පිළි ගන්නා ලදි. මෙහි ඇති වගකීම් විරහිත භාවය වන්නේ, 2023 සැප්තැම්බර් මස 14 දින සිට මුදල් නීති පනත අහෝසි වී ඇති බැවින් එම පැරණි ක්‍රමවේදය ද බල රහිත වන බැවිනි.

එබැවින්, පාලක මණ්ඩලය විසින් වැටුප් වර්ධකය සඳහා තම අභිමතය පදනම් විරහිත ලෙස භාවිතා කොට ඇති බව පාර්ලිමේන්තුව සහ මහජන මැසිවිලිවලින් සනාථ වෙයි. එනම්, පාලක මණ්ඩලය විසින් මහජන විශ්වාසය බිඳෙන පරිදි ක්‍රියා කොට ඇති බව යි.

මහ බැංකු මුදල් කෙරෙහි රාජ්‍ය මුදල් සහ පොදු දේපල අර්ථකථනයන්ගේ අදාළත්වය හඳුනා ගැනීම 

මෙම වැටුප් අක්‍රමිකතාවය පිළිබඳ ව නීතිමය ක්‍රියා මාර්ගයන් ගැනීමේ දී, මහ බැංකු මුදල් යනු රාජ්‍ය මුදල් සහ පොදු දේපල යන නීතිමය අර්ථ නිරූපනයන්ට අයත් ද? යන්න නිගමනය කළ යුතුය. 

රාජ්‍ය මුදල් 

ව්‍යවස්ථාවේ 148 වගන්තිය යටතේ රාජ්‍ය මුදල් පාලනය පාර්ලිමේන්තුව යටතේ පවතී. මුදල් කාරක සභාවේ බහුතර මතය වූයේ, මහ බැංකු මුදල් යනු ව්‍යවස්ථාවේ 148 යටතේ රාජ්‍ය මුදල් බව යි. එහෙත්, මහ බැංකු පාලක මණ්ඩලය විසින් පුන පුනා තර්ක කරනු ලැබුවේ, රාජ්‍ය මුදල් යනු රජයේ ඒකාබද්ධ අරමුදලට අයත් මුදල් අතර මහ බැංකු මුදල් ඊට අයත් නොවන බැවින් පාලක මණ්ඩලයට අභිමත පරිදි මහ බැංකු මුදල් භාවිතා කළ හැකි බව යි. මෙහි දී, වැටුප් ද මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී කෙරෙන මුදල් ගනුදෙනුවලට සමාන බව දැක්වින. මෙහි දී, සැලකිය යුතු නෛතික කරුනු කිහිපයකි.

  • පළමුව, ව්‍යවස්ථාවේ 148 යටතේ රාජ්‍ය මුදල් හෝ මහ බැංකු පනත යටතේ මහ බැංකු මුදල් හෝ අර්ථ නිරූපනය කොට නොමැත. එබැවින්, මෙම මුදල් ගැටළුව විසඳා ගැනීමට මුදල් පිළිබඳ රාජ්‍ය බලය ආශ්‍රිත නෛතික මූලධර්මයන්ගේ පිහිට පැතිය යුතුය. එය නීති විද්වතුන් විසින් අධිකරණයේ දී කළ යුතු කාර්යයකි. එතෙක්, කිසිවෙකුගේ අර්ථ නිරූපනයන් වලංගු නොවේ.

  • දෙවනුව, මුදල් නීති පනතේ මෙන් නොව, මහ බැංකු පනත යටතේ ශ්‍රී ලංකාවේ සම්මත/නිල මුදල් ඒකකයක් හෝ වටිනාකම් මාධ්‍යයක් නොමැත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් යනු මහ බැංකුව විසින් නිකුත් කරන කාසි සහ නෝට්ටු හෙවත් නෛතික ගෙවුම් මාධ්‍යය වන ව්‍යවහාර මුදල් ය. මුදල් නීති පනතේ මෙන් නොව, ගෙවුම් මාධ්‍යයක් ලෙස මහ බැංකු සහ බැංකු ජංගම ගිණුම් ශේෂයන් අර්ථ කථනය කොට නොමැත. එබැවින්, මහ බැංකු මුදල් යනු මහ බැංකුව විසින් ගෙවීම් කිරීමේ දී භාවිතා කෙරෙන ව්‍යවහාර මුදල් සැලකිය යුතුය. 

  • තෙවනුව, මෙහි දී මුහුණ දෙන නෛතික ගැටළුවක් වන්නේ, මහ බැංකුව විසින් තම සේවකයන්ට වැටුප් ගෙවන්නේ ව්‍යවහාර මුදලින් නොව, ලංකා ක්ලියර් ආයතනය විසින් මෙහෙයවන අන්තර් බැංකු ගෙවුම් පද්ධතිය හරහා ගිණුම් මුදල් පැවරුම් ලෙස ය. එම මුදල් ඒ ඒ බැංකු විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන ජංගම ගිණුම්වලට බැර කෙරේ. එහෙත්, මෙම ගිණුම් මුදල් මුදල් නීති පනතේ මෙන් නොව, ගෙවුම් මාධ්‍යයක් ලෙස මහ බැංකු පනතේ අර්ථ නිරූපනය කොට නැත. එසේම, රුපියල් යනු රටේ නිල මුදල් වටිනාකම් ඒකකය ලෙස ද නියම කොට නොමැත. එබැවින්, මහ බැංකු සේවකයන්ට වැටුප් ගෙවන ගිණුම් මුදල්වල වලංගු භාවය ද ප්‍රශ්නයකි. ඒ අනුව, මෙම වැටුප් ව්‍යවහාර මුදලින් ගෙවීමට සිදු වනු ඇත.

  • සිවුවනුව, ව්‍යවහාර මුදල් යනු ශ්‍රී ලංකාවේ ගෙවුම් සඳහා වලංගු මුදල් මිස, මහ බැංකු පාලක මණ්ඩලය විසින් තම පෞද්ගලික වත්කම්වලින් මහ බැංකුවට සැපයෙන කොටස් මුදල් නොවේ. මහ බැංකු වැටුප් ගෙවීම සඳහා භාවිතා කෙරෙන්නේ, එම ව්‍යවහාර මුදල් ය. එහෙත්, ව්‍යවහාර මුදල් නිකුත් වීමෙන් පසු, ඒවා මහ බැංකුවේ කිසිම මූර්ත වගකීමක් නොමැති පෞද්ගලික වත්කම් බවට පත් වෙයි. එබැවින්, මහ බැංකු මුදල් යනු ගෙවීම් කරන තෙක් මහ බැංකුවේ සේප්පුවල පවතින මුදල් ය. ඒවා රාජ්‍ය මුදල් බවට නෛතික අර්ථ කථනයක් සැපයිය යුතුය.

පොදු දේපල

පොදු දේපල පනත යටතේ රාජ්‍ය ආයතන සතු චංචල දේපල පොදු දේපල වෙයි. පුද්ගලයන් විසින් පොදු දේපල අවභාවිතා කිරීම පිළිබඳ විමර්ශනය කොට අධිකරණය හරහා දඬුවම් පැමිණ විය හැකිය. 

මහ බැංකුව රාජ්‍ය අරමුදල්/ප්‍රාග්ධනය මත පිහිටුවා ඇති බැවින් මහ බැංකුව ද රාජ්‍ය සංස්ථාවක් හෝ ආයතනයක් වෙයි. එබැවින්, මහ බැංකු මුදල් අවභාවිතය පොදු දේපල පනත යටතේ පුද්ගලයන්ට දඩුවම් දිය හැකි වරදකි. එබැවින්, පාලක මණ්ඩලය සහ වෘත්තීය සමිති එකතු වී වෙනත් නීතිවලට අනනුකූල ලෙස මෙසේ වැටුප් ඉහළ දමා ගැනීමේ වරද සඳහා ඊට අදාළ පුද්ගලයන්ට දඬුවම් පැවරිය හැකිය.

වත්මන් අධිකරණ අර්ථ කථනයන් අනුව රාජ්‍ය ආයතනවල මුදල් වුවත්, වාණිජ ගිවිසුම් මගින් බාහිර පාර්ශවයන් සමඟ ගනුදෙනු වන මුදල් පොදු දේපල නොවේ. එබැවින්, එන්ට්‍රස්ට් සිකියුරිටීස් ආයතනයේ ආයෝජනය කොට පැහැර හැරීමට ලක් වූ මහ බැංකුවේ මුදල් පොදු දේපල ලෙස නොසැලකින. එහෙත්, මෙම මහ බැංකු වැටුප් ගිවිසුමට අදාළ මුදල් බාහිර පාර්ශවයන් සමඟ තරගකාරී ලංසු හරහා එකඟ වී ඇති ගිවිසුම් මුදල් නොවේ. එබැවින්, මෙම වැටුප් වර්ධකය පිළිබඳ ව පොදු දේපල පනත යටතේ අධිකරණ ක්‍රියාමාර්ගයන් ගත හැකිය.

අල්ලස් හෝ දුෂණ විමර්ශනය 

අල්ලස් හෝ දුෂණ විමර්ශන සඳහා පදනම වන්නේ, රජයට ලැබිය යුතු මුදල් වැලැක්වීම හෝ එම මුදල් තම ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීම යි. පාර්ලිමේන්තු විමර්ශනයේ දී හෙළි වූයේ, මහ බැංකු ලාභය අවසානයේ රජයේ ඒකාබද්ධ අරමුදලට ප්‍රේෂණය විය යුතු බව යි. එසේම, මහ බැංකුව යනු රාජ්‍ය ප්‍රග්ධනයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය සංස්ථාවක් වන අතර මහ බැංකු පනත අනුව මහ බැංකු බුන්වත් විමක දී, එය පියවීමට අවශ්‍ය අරමුදල් රජය විසින් වහාම ඒකාබද්ධ අරමුදලින් සැපයිය යුතුය. 

එබැවින්, අනෙක් රාජ්‍ය ආයතනයන් මෙන් මහ බැංකුවේ මූල්‍ය ක්‍රියාකාරකම් ද ඒකාබද්ධ අරමුදල සමඟ බැඳී ඇත. එබැවින්, මෙම අනීතික සහ සදාචාර නොවූ වැටුප් වර්ධකය තුළින් සිදු වන්නේ, රජයට ප්‍රේෂණය කෙරෙන මහ බැංකු ලාභය පහළ යාම හෝ ඒකාබද්ධ අරමුදලට බරක් වීම යි. එබැවින්, මෙම මූල්‍ය අක්‍රමිකතාවය අල්ලස් හෝ දුෂණ විමර්ශනයට විෂය වන චෝදනාවකි.

මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ද පදනම් විරහිතව ක්‍රියාත්මක කිරීමෙන් හට ගන්නා පාඩු ද රහසක් නොවේ.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම

ඉහත දැක්වූ කරනු අනුව පාලක මණ්ඩලය විසින් මහජන විශ්වාසය කඩ කරමින් තම නෛතික අභිමතය නොසැලකිලිමත් සහ වගකීම් විරහිත ලෙස භාවිතා කර ඇති බව සක්සුදක් සේ පැහැදිලි ය. එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම පිළිබඳ ව රාජ්‍ය නිලධාරීන්ට චෝදනා එල්ල කළ හැකි වරදකි. මෙහි දී, පාලක මණ්ඩලය ඇතුළු සියළුම මහ බැංකු සේවකයන් දණ්ඩ නීති සංග්‍රහයට යටත් රාජ්‍ය සේවකයන් ලෙස මහ බැංකු පනතේ අර්ථ නිරූපනය කොට ඇත.

නිගමනය

  • රාජ්‍ය අංශය විසින් නිරන්තරයෙන් මුහුණ දෙන පාලන සහ දුෂණ චෝදනාවන් දෙස බලන විට, එවැනි චෝදනාවන් හට ගත් විගස අදාළ පාලක මණ්ඩලයන් හෝ වගකිව යුතු නිලධාරීන් ඉල්ලා අස්වීම යහපාලන මූලධර්මයකි. එය පෞද්ගලික අංශයේ ද දැකිය හැකිය. ඒ මගින් විමර්ශනයන් කිරීමට ද නිසි අවකාශය ලැබේ. එහෙත්, අදාළ නිලධාරීන් තමන් නිවැරදි බවට නීති තර්කයන් ඉදිරිපත් කරමින් තම ආසනවල රැඳී සිටීමට උත්සාහ කිරීමෙන් සිදු වනුයේ, දුමාරය වන ගින්න කෂනිකව පැතිරී යමින් රජයන් මෙන්ම බොහෝ නිර්දෝෂී පාර්ශවයන් ද ගින්නට හසු වී විනාශ වීම යි. 
    • මීට හොඳම නිදසුන වන්නේ, මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව චෝදනාව හමුවේ ස්වයං නිවාඩු ගත් අධිපති වරයා විමර්ශනයන් පවතිද්දීම නැවත පැමිණ සේවය කිරීමෙන් පැතිරී ගිය දේශපාලනික සහ මාධ්‍ය ගින්නෙන් රජය පමණක් නොව මහ බැංකුවේ ද ඒකාග්‍රතාවය සහ මහජන විශ්වාසය බිඳී යාම යි. 

    • එබැවින්, වත්මන් මහ බැංකු පාලක මණ්ඩලයට ගත හැකි ඉතා ඥානවන්ත පියවර වන්නේ, ගින්න පැතිරීමට පෙර ඉල්ලා අස්වීම යි. එය, තම පෞද්ගලික අභිලාෂයන්ට වඩා මහජන අභිලාෂයන්ට තැන දීමකි. ඒ සඳහා දැනටමත් ප්‍රමාද වැඩිය. 

    • 2011 වර්ෂය අවසාන කාලයේ දී, ස්විට්සර්ලන්ත මහ බැංකු අධිපතිට එරෙහිව නැගුන චෝදනාවේ දී, ඔහු 2012 ජනවාරි මස 9 දින ක්ෂණිකව ඉල්ලා අස්වීම නිසා ඔහුගේ මූල්‍ය වෘත්තීය බේරා ගැනීමට හැකි විය. එසේ ඉල්ලා අස්වීමේ දී ඔහු විසින් ද දැක්වූයේ, මහජන අභිලාෂයන්ට ප්‍රමුඛතාවය දී ඉල්ලා අස්වන බව යි. ඊට හේතුව වූයේ මහ බැංකුවේ නව විනිමය අනුපාත ප්‍රතිපත්තිය තුළින් ඔහුගේ භාර්යාවගේ විනිමය වෙළෙඳාමකට හදිසියේ අධික ලාභයක් හිමි වීම යි. ඔහු විසින් පැවසූයේ රාජ්‍ය සේවය යනු තමන් පිළිබඳ නොව, තම ආයතනය සහ රට පිළිබඳ ව බැවින් එවක ආර්ථිකයේ පවතින අස්ථායී තත්ත්වය තුළ මෙවැනි ගැටුම් පැවතීම අහිතකර බව යි. මෙය අභිලාෂයන්ගේ ගැටුමකි. මහ බැංකු වැටුප් වර්ධකය ද එවැන්නකි.

    • එසේ නොමැතිව, පාලක මණ්ඩලය විසින් මෙම වැටුප් තීරණය සංශෝධනය කිරීම හරහා තම ආසනවල පහස බුක්ති විඳීමට උත්සාහ කිරීම යනු මහ බැංකු පනත් මගින් ලබා දී ඇති වෘත්තීය ස්වාධීනත්වය කෙළෙසීමකි. මෙම ස්වාධීනත්වයේ අරුත වන්නේ, නිවැරදි තීරණයන් ගැනීමත්, මුළු රටම එරෙහි වුවත් එසේ ගත් තීරණයන් ක්‍රියාත්මක කිරීමත් ය. මහ බැංකු අධිපති විසින් නිරන්තරයෙන් දක්වා ඇත්තේ ජනප්‍රිය නොවන තීරණයන් නොබියව ගැනීමට සිදුවන බව යි.

  • මහ බැංකු අධිපතිට පමණක් එරෙහිව මාධ්‍යය පුරා චෝදනා පැතිරී ගිය ද, පාලක මණ්ඩලය ගෙන ඇති මෙම තීරණය පිළිබඳ ව අධිපති/සභාපතිට පමණක් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා නෛතික පදනමක් නොමැත. යම් පාලක මණ්ඩලයේ සමාජිකයන් විරුද්ධ වූ බවට ලිඛිත සාක්ෂි නොමැති නම්, සියළු සාමාජිකයන් ඊට වගකිව යුතුය. මෙහි දී, මහ බැංකුවේ අභ්‍යන්තර පාලනය අධිපති සතු බැවින් පාලක මණ්ඩලයට නිවැරදි තොරතුරු ඉදිරිපත් නොකොට ඇති විටක, එම අතිරේක චෝදනාව අධිපතිට එරෙහිව නැගෙනු ඇත. 

  • මහ බැංකුවේ දුෂණ චෝදනාවන්ට නිරන්තරයෙන් අධිපති ගොදුරු වන්නේ, මෙම පාලන අධිකාරිය හේතුවෙනි. බොහෝ පාලක මණ්ඩල සාමාජිකයන්ට අභ්‍යන්තර සහ විෂය දැනුම නොමැති බැවින් ඔවුන් නිරන්තරයෙන් අධිපතිගේ අදහස අනුමත කරමින් නිෂ්ක්‍රීය කාර්යයක් ඉටු කිරීම සාමාන්‍ය කරුනකි. බොහෝ විට අදාළ කළමනාකරණ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන සංකීර්ණ තාක්ෂණික වාර්තාවන් අධ්‍යයනය කොට තම අදහස් ඉදිරිපත් කිරීමට හැකි දැනුමක් බොහෝ පාලක මණ්ඩල සාමාජිකයන්ට නොමැත.

  • මේ දිනවල IMF පරීක්ෂණ කණ්ඩායම රටේ සිටින බැවින් මෙම දුෂණ චෝදනාව IMF ණය වැඩසටහන කෙරෙහි ද අයහපත් ලෙස බලපෑ හැකිය. එබැවින්, වඩාත්ම යෝග්‍ය ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුව මගින් පාලක මණ්ඩලය ඉවත් කිරීම යි. එමගින්, IMF යහපාලන සහ දුෂණ විරෝධී මූලධර්මයන්ට රජයේ ක්‍රියාකාරී අනුකූලතාවය සනාථ කළ හැකිය. ඊට හේතුව, ශ්‍රී ලංකාව එම චෝදනාවට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් හංවඩු ගැසී ඇති බැවිනි.

  • ඉදිරියේ දී මහ බැංකුවට පත් වන පාලන අධිකාරීන්ට මෙවැනි සිද්ධිවලින් උගත හැකි පාඩම වන්නේ, අධි මහජන බලයෙන් උදම්ව ක්‍රියා කිරීමේ විනාශකාරී බව යි. විශේෂයෙන්, මහ බැංකු අධිපතිගේ මහජන බලයේ පවතින අසීමිත භාවය හේතු කොට ඔහු බොහෝ ගරුබුහුමන්වලට පාත්‍ර වෙයි. එය හුදෙක් නෛතික ගරු භාවයක් නොවේ. එහෙත්, දකින දකින ගසට කොට කොටා යන කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටීමේ අවස්ථාව පිළිබඳ අප අතර පවතින ප්‍රස්ථා පිරුලේ ප්‍රයෝගික වැදගත්කම මින් දැක්වෙයි.

  • මෙම වැටුප් දුෂණය මහ බැංකු පනතේ දුර්වලතාවයේ ප්‍රතිඵලයකි. ආර්ථිකය සහ රාජ්‍යය අර්බුදයකට පත් කළ හැකි තවත් එවැනි ව්‍යුහාත්මක දුර්වලතාවන් රැසක් මහ බැංකු පනතෙහි පවතී. සමස්තයක් ලෙස ගත් විට නව මහ බැංකුව යනු රජයෙන් මෙන්ම ආර්ථිකයෙන් ද ස්වාධීන කොට පුද්ගලයන් කිහිප දෙනෙකුට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය හැකි තොග බැංකුවකි. නිල මුදල් ඒකකයක් මත පදනම් වූ මුදල් ක්‍රමයක නියාමනය, රජයට ණය සැපයීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම, ආර්ථිකයට අවශ්‍ය ණය සැපයීම, ආර්ථිකයට අවශ්‍ය ආකාරයට බැංකු ණය නියාමනය, අවසාන ණය දෙන්නාගේ සේවය සහ ආර්ථික අරමුණු මත විදේශ විනිමය ගනුදෙනු සහ නියාමනය යන මූලික මහ බැංකු ක්‍රියාකාරකම් තහනම් කොට ඇති ලෝකයේ එකම මහ බැංකුව වත්මන් ශ්‍රී ලංකා මහ බැංකුව යි. මෙය, IMF විසින් දියුණු වන රටවල ක්‍රියාත්මක කිරීම සඳහා පරීක්ෂණ මට්ටමින් ශ්‍රී ලංකාව යොදා ගැනීමකි. මෙහි සාර්ව ආර්ථික සහ සමාජීය ආදීනව නුදුරු අනාගතයේ දී අප අත් දකිනු ඇත. IMF යනු රටවල බිම් මට්ටමින් සාර්ව ආර්ථික කළමනාකරණ අත්දැකීම් නොමැති, එහෙත්, ආර්ථික දත්ත පර්යේෂණ පලපුරුද්ද ඇති බොහෝ කාර්යමණ්ඩලයක් සහිත ජාත්‍යන්තර ආයතනයකි. අර්බුදයෙන් කඩා වැටෙන ආර්ථිකයන් ස්ථායිකරණය සඳහා ඒවා තවත් හැකිලීමේ ප්‍රතිපත්ති කොන්දේසි පනවන්නේ එබැවිනි. එම ප්‍රතිපත්තිවලින් සංවර්ධනය වූ කිසිම රටක් ලෝකයේ දැකිය නොහැකිය.
සමස්තයක් ලෙස ගත් විට, ඉහත දැක්වූ නෛතික පියවරයන් හරහා මහ බැංකු වැටුප් දුෂණයට කඩිනම් විසඳුමක් නොලැබේ නම්, මහ බැංකුව සහ රජය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීම හරහා වත්මන් ආර්ථික අර්බුදය උග්‍ර වීමේ අවදානමක් පවතී.

ශ්‍රී ලංකා මහ බැංකු නිර්මාතෘ සහ ප්‍රථම අධිපති ජෝන් එක්ස්ටර් මහතා විසින් මහ බැංකුව පිහිටුවීමේ තම වාර්තාවේ මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ ව විග්‍රහ කොට ඇත. එබැවින්, මෙම මහ බැංකු ස්වාධීනත්වය නව්‍ය IMF අදහසක් නොවේ. ජෝන් එක්ස්ටර් මහතා දැක්වූ වර්ෂ 73 කට පසුවත් තවමත් ගැලපෙන එම අදහස් මෙසේය.

  • රජයේ කිසිම ආයතනයකට පූර්ණ ස්වාධීනත්වයක් දිය නොහැකිය.

  • රටට වැදගත් රාජ්‍ය ප්‍රතිපත්තියකට එරෙහිව ක්‍රියා කිරීමට මහ බැංකුවට නොහැකිය.

  • අවසානයේ දී වෙනත් රාජ්‍ය ප්‍රතිපත්ති මෙන් මූල්‍ය ප්‍රතිපත්තියේ වගකීම ද රජය විසින් දැරිය යුතුය.

  • මහ බැංකුවේ ස්වාධීනත්වය කලින් කලට වෙනස් වනු ඇත. යුද්ධ සහ ආර්ථික අර්බුද කාලවලට වඩා, ස්ථායී සහ සාමකාමී කාලවල වඩාත් ස්වාධීන ලෙස ක්‍රියා කිරීමට මහ බැංකුවට අවස්ථාව පවතී.

  • යෝජිත මුදල් නීතිය මගින් අපේක්ෂා කෙරෙන්නේ, රජය සහ මහ බැංකුව අතර නිරන්තර සහ නිර්මාණාත්මක සහයෝගයකි. ඒ සඳහා වන ප්‍රධාන මෙවලම වන්නේ, මුදල් අමාත්‍යංශයේ ලේකම් මුදල් මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කිරීම යි.

  • රජය සහ මුදල් මණ්ඩලය අතර පවතින සහයෝගය සහ සම්බන්ධීකරනයේ ඵලදායිත්වය රඳා පවතින්නේ, හුදු නීතිමය ප්‍රතිපාදනයකට වඩා, ඒ ඒ කාලයේ දී  ප්‍රධාන තනතුරු හොබවන පුද්ගලයන් මත ය.

  • එය කොතරම් දක්ෂ ලෙස කෙටුම්පත් කළ පූර්ණ නීතියකින් ස්ථාපිත කළ නොහැකි සංකීර්ණ සහ සියුම් සබඳතාවයක් වන අතර එය බොහෝ රටවල බොහෝ කාලයක් තුළ අත්දැකීම් තුළින් ගොඩ නැගෙනු ඇත.

එහෙත්, අවාසනාව වන්නේ ශ්‍රී ලංකාවේ වසර 73 කට පසුව හදිසියේ කිහිප දෙනෙකු අතර ඇමෙරිකාවටත් එහා ගිය මහ බැංකු ස්වාධීනත්ව උන්මාදයක් හට ගෙන ආපසු පටන් ගත් තැනටම පිය නැගීම යි. එහි ආදීනව මාස 06 ක් යාමට පෙර දැනටමත් පොදු මහජනයා විඳීමට පටන් ගෙන ඇති බව මෙම මහ බැංකු වැටුප් දුෂණයෙන් අනාවරණය වෙයි.

නව මහ බැංකු පනත අධ්‍යයනය කිරීමේ දී සක්සුදක් සේ පැහැදිලි වන්නේ, ශ්‍රී ලංකාවේ පොදු මහජනයාගේ ආර්ථික අභිලාෂයන් ඉටු කිරීම සඳහා වසර 73 ක් ක්‍රියාන්විත වූ මහ බැංකුව, මෙම මහ බැංකු ස්වාධීනත්ව දුහුළු සළුවට මුවා වී අවලංගු කොට, පුද්ගලයන් කිහිප දෙනෙකුට හිතවාදී තොග මුදල් බැංකුවක් පිහිටුවා දී ඇති බව යි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ මහ බැංකුව නොව, කිහිප දෙනෙකුගේ මහ බැංකුව ලෙස හැඳින්විය හැකිය.

එබැවින්, ඉහත දැක්වූ නෛතික පියවරයන් හරහා වත්මන් මහ බැංකු පාලක මණ්ඩලය ඉවත් කොට මෙම වැටුප් දුෂණය නිරාකරණය නොකළ හොත්, ඔවුන්ගේ දුෂිත ස්වාධීන ප්‍රතිපත්ති හේතු කොට ජාතියට සහ ආර්ථිකයට නුදුරු අනාගතයේ මුහුණ දීමට සිදුවන අර්බුදයන් වත්මන් ආර්ථික අර්බුදයට ද වඩා කටුක විය හැකිය. 

එහෙත්, දැනට සතුටු විය හැකි එකම කරුණ වන්නේ, බොහෝ මහජන නියෝජිතයන්ට මෙය දැනටමත් තරමක් අවබෝධ වී, මහ බැංකු පනතට සංශෝධනයන් ඉදිරිපත් කරන ලෙස අදාළ බලධාරීන්ට යෝජනා කිරීම යි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි