මහ බැංකු මහ වැටුප් සහ පාර්ලිමේන්තු ගැටුම - පාලක මණ්ඩලය ඉල්ලා අස්වෙයි ද? නැත්නම්, ස්වාධීනත්වය කප්පාදු වෙයි ද?

 

ලිපියේ පසුබිම 

මේ දිනවල මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ ව විවිධ මතිමතාන්දර දැකිය හැකිය. එය, IMF කොන්දේසි මත පදනම් වූ වර්තමාන රාජ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියට පිටින් සිදු කොට ඇති මහ බැංකුවේ අධි වැටුප් වර්ධකය ඇසුරින් හට ගෙන ඇත. 

මහ බැංකු පාලක මණ්ඩලය පවසන්නේ, IMF කොන්දේසි යටතේ 2023 සැප්තැම්බර් 14 දින පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවට ප්‍රදානය කොට ඇති ස්වාධීනත්වය අනුව මහ බැංකුවේ මුදල් ගනුදෙනු රජයේ අනුමැතියක් නොමැතිව කළ හැකි බැවින් මෙම වැටුප් වර්ධකය නිත්‍යානුකූල බව යි. පාර්ලිමේන්තු විවාදවල දී මෙම ශ්‍රී ලංකා මහ බැංකු ස්වාධීනත්වය ඇමෙරිකාවේ මහ බැංකු ස්වාධීනත්වයට සමාන බව ද ප්‍රකාශ විය.

ලෝකයේ බලවත්ම මහ බැංකුව වන්නේ ඇමෙරිකානු මහ බැංකුව යි. ඊට හේතුව, ලෝකයේ ජනප්‍රියම මුදල වන්නේ ඇමෙරිකානු මහ බැංකුව විසින් පාලනය කෙරෙන ඩොලර් මුදල වීම යි. ලෝකයේ මහ බැංකුවල විදේශ සංචිතවලින් 60% ක් පමණ ඩොලර් මුදලින් සංයුක්ත වෙයි. ලෝකයේ සිදු වන වෙළෙඳාම සහ ආයෝජනවලින් බහුතරය ඩොලර් මුදල්වලින් සිදු වෙයි. 

එබැවින්, ලෝකයේ ඉතාම නොවැදගත් මුදලක් සහ දුප්පත් ආර්ථිකයක් පාලනය කරන ශ්‍රී ලංකා මහ බැංකුවට ඇමෙරිකානු මහ බැංකුවට සමාන ස්වාධීනත්වයක් කුමකට ද? යන්න සරල ගැටළුවකි. ශ්‍රී ලංකා ආර්ථිකයත්, රුපියලත්, ඇමෙරිකා ආර්ථිකය  සහ ඩොලර් වැනි ලෝක ප්‍රචලිත තත්ත්වයට නුදුරු අනාගතයේ දී පත් කිරීමේ අරමුණින් එවැනි ස්වාධීනත්වයක් ලබා දුන්නා විය හැකිය.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, වත්මන් මහ බැංකු වැටුප් අර්බුදය තුළ ඇමෙරිකානු මහ බැංකුවේ මුදල් ගනුදෙනු වපසරිය සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ කෙටි සැසඳීමක් ඉදිරිපත් කිරීම යි.

මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ මුදල් කාරක සභාවේ නිගමනය

මුදල් කාරක සභා සභාපති විසින් අද දින (20 මාර්තු 2024) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටි වාර්තාවේ අන්තර්ගතය පහත දැක්වෙයි (වීඩියෝව මෙතැනින් බලන්න) .

  • මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුව වෙත ප්‍රදානය කරන ලද මුදල් සහ මෙහෙයවුම් ස්වාධීනත්වය යටතේ තම සේවක ප්‍රතිලාභ තීරණය කිරීමේ පූර්ණ ස්වාධීනත්වය මහ බැංකුවේ පාලක මණ්ඩලය සතුය.

  • මහ බැංකුවේ ලාභ රජයට ප්‍රේෂණය කළ යුතු බැවින් ව්‍යවස්ථාවේ 139 වගන්තියේ පුළුල් අර්ථය අනුව 138 වගන්තිය යටතේ රාජ්‍ය මුදල් යන්නට මහ බැංකුවේ මුදල් ද අයත් වෙයි.

  • එබැවින්, මහ බැංකුව අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට සහ මහජනයාට වගකිව යුතුය.

  • ආර්ථිකයේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය තුළ පොදුජනයා මුහුණ දෙන ජීවන ගැටළු දෙස බලන විට, මෙතරම් ඉහළ වැටුප් වර්ධකයක් මහ බැංකු සේවකයන්ට ප්‍රදානය කිරීම අසාධාරණ බැවින් ඊට දැඩි පොදුජන විරෝධයක් එල්ල වී ඇත.

  • මෙතරම් අධික ප්‍රමාණයක මහ බැංකු වැටුප් වර්ධකය තුළින් ආර්ථිකයෙහි උද්ධමන පීඩනයක් හට ගනු ඇත.

  • එබැවින්, මෙම වැටුප් වර්ධකය අත්හිටු විය යුතුය.

  • මුදල් ඇමති විසින් මහ බැංකුවේ සහ පිටත සාමාජිකයන්ගෙන් පත් කරන ලද ස්වාධීන කොමිටියක් මගින් මහ බැංකුවේ සේවකයන් සඳහා වැටුප් ප්‍රතිපත්තියක් තීරණය කොට, ඒ අනුව මෙවර වැටුප් වර්ධකය නිර්දේශ කළ යුතු අතර අනාගතයේ කෙරෙන වැටුප් වර්ධකයන් ද ඒ මත පදනම් විය යුතුය.

පාර්ලිමේන්තුව විසින් මෙම වාර්තාව සහ නිර්දේශයන් පිළි ගන්නේ ද? යන්න ඉදිරි කාලයේ දී දැන ගත හැකිය.

මෙතෙක් මාධ්‍යය හරහා ප්‍රසිද්ධ වූ කරුනු සහ ඉහත වාර්තාවේ කරුනු දෙස බලන විට නිගමනයන් තුනක් දැක්විය හැකිය.

  • 2023 සැප්තැම්බර් 14 දින පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවට ප්‍රදානය කරන ලද ස්වාධීනත්වයට පාර්ලිමේන්තුව ඇගිලි ගැසීම සහ බාධා කිරීම.

  • වත්මන් ආර්ථිකයට නොගැලපෙන ලෙස අසාධාරණ වැටුප් වර්ධකයක් මහ බැංකු පාලක මණ්ඩලය විසින් මහ බැංකු සේවකයන්ට ප්‍රදානය කොට ඇති බව පොදුජන මතය වන බැවින් මහ බැංකු පාලක මණ්ඩලය විසින් මහ බැංකු ස්වාධීනත්වය තම පෞද්ගලික අභිලාෂයන් සංතර්පණය සදහා දුෂිත ලෙස අවභාවිතා කිරීම තුළින් මහජන විශ්වාසය කඩ කිරීම.

  • මහ බැංකු මුදල් රාජ්‍ය මුදල් බවට කෙරෙන පාර්ලිමේන්තු නිගමනය හේතු කොට අල්ලස් සහ දුෂණ, පොදු දේපල සහ දණ්ඩ නීති සංග්‍රහය වැනි නීති යටතේ රාජ්‍ය අපරාධ විමර්ශනයන් ආරම්භ වීමේ අවදානම.

පොදුජනතාවගේ ආදායම් මට්ටම සහ ජීවන තත්ත්වය පිළිබඳ හැඟීමක් නොමැතිව මෙතරම් අධික වැටුප් වර්ධකයන් තම සේවක මණ්ඩලයට ප්‍රදානය කළ මහ බැංකු පාලක මණ්ඩලයට වත්මන් රජය සහ ආර්ථිකය බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට තරම් දැනුමක් හෝ ඕනෑකමක් නැති බව පැහැදිලි ය. එසේම, මෙය IMF ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රධාන කුළුණක් වන යහපාලනය සහ දුෂණය වැලක්වීමේ ක්‍රමවේදයට ද තර්ජනයකි.

එබැවින්, මහ බැංකු පාලක මණ්ඩල සාමාජිකයන් තම පෞද්ගලික අභිලාෂයන් පසෙක ලා පොදුජන අභිලාෂයන් සහ විශ්වාසයට ගරු කෙරෙන විද්වතුන් නම්, ඔවුන් වහාම තම මහජන තනතුරුවලින් ඉල්ලා අස් වී තම ඉදිරි නම්බුව ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතුය. 

එසේ නොවුව හොත්, ඉදිරියේ දී මහ බැංකුවේ මහජන කාර්යයන් ඉටු කිරීම කෙරෙහි දැඩි අභ්‍යන්තර සහ බාහිර කම්පනයන් හට ගනු ඇත. එය, ඉදිරි මැතිවරණ දේශපාලනික වාසි අපේක්ෂාවන් තුළ, 2015 පෙබරවාරි 27 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධ අර්බුදයට වඩා වැඩි අර්බුදයක් වත්මන් රජය කෙරෙහි ඇති වීමේ අවදානමක් පවතී. එහි මූලය, මුදල් කාරක සභාව විසින් යෝජනා කරන ලද මහ බැංකු වැටුප් කොමිටිය විය හැකිය.

මෙය බැඳුම්කර සිද්ධිය මෙන් සෘජු ඥාති සංග්‍රයක් සම්බන්ධ ප්‍රතිපත්ති දුෂණ චෝදනාවක් නොවූව ද, මහ බැංකු අධිපති විසින් තමන්ට එරෙහිව නැගී එන අභ්‍යන්තර සේවක විරෝධය සමහන් කිරීම සඳහා මහජන මුදලින් දෙන ලද අල්ලසක් බවට තොරතුරු ඉදිරිපත් විය හැකිය.

මෑත කාලීන මහ බැංකු ප්‍රතිපත්ති සහ මූල්‍ය අක්‍රමිකතාවන් පිළිබඳ ව තොරතුරු මාධ්‍යය පුරා පවතින බැවින් මෙම වැටුප් අක්‍රමිකතාවය ද එම ලේඛනයට එක් වීම ඉතා පහසුවෙන් සිදු වනු ඇත. එබැවින්, නව මහ බැංකු ස්වාධීනත්වය හුදෙක් පුස් වෙඩිල්ලක් පමණක් වනු ඇත.

ඇමෙරිකානු මහ බැංකු ස්වාධීනත්වය සැසඳීම 

  • අද දින ඇමෙරිකානු මහ බැංකුව ගත් මූල්‍ය ප්‍රතිපත්ති තීරණය 

ඇමෙරිකානු මහ බැංකුව විසින් අද දින තම ප්‍රතිපත්ති පොලී අනුපාතය 5.25%-5.50% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගනිමින්, වත්මන් දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගැනීමට තීරණය කරන ලදි. ඊට හේතුව ලෙස දැක්වූයේ, මෑත මාසවල උද්ධමනය ඉලක්ක 2% මට්ටම දෙසට පහළ ගිය ද, එය තිරසාර ලෙස 2% මට්ටමට ලඟා වේ ද? යන්න පූර්ණ විශ්වාසයක් නොමැති බව යි. මෙහි දී, ආර්ථික වර්ධනය ඉහළ යාමත්, සේවා වියුක්තිය පසුගිය අඩසියවසේ පහළම මට්ටමක පැවතීමත් උද්ධමනයට අවදානමක් බව පැවසිණ (මෙම මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ කෙටි ලිපියක් පසුව ඉදිරිපත් කෙරේ).

මෙම තීරණයට කිසිම රාජ්‍ය අධිකාරියක මැදිහත් වීමක් නොමැත. එහෙත්, මහ බැංකු සභාපති සහ භාණ්ඩාගාර ලේකම් අතර වරින්වර නිල මට්ටමේ ආර්ථික සාකච්ඡාවන් පැවැත්වෙන බැවින් මහ බැංකුව විසින් තම මූල්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීමේ දී, රජයේ පුළුල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමවේදය පිළිබඳ ව ප්‍රයෝගිකව සැලකිලිමත් වනු ඇත. 

උදාහරණ ලෙස 2018 වර්ෂයේ දී මහ බැංකුව විසින් වේගයෙන් පොලී අනුපාතය ඉහළ දමමින්, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම කෙරෙහි උරණ වූ එවක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මහ බැංකු සභාපති නිර්දය ලෙස විවේචනය කරන ලදි. ඔහු විසින් මහ බැංකු සභාපති ඉවත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදනයන් ද ප්‍රසිද්ධියේ ගවේෂණය කරන ලදි. ඒ අනුව, මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම 2019 මැද දී අත් හිටවූ අතර පසුකාලයේ මාධ්‍ය හමුවක දී මහ බැංකු සභාපති විසින් ප්‍රකාශ කරනු ලැබූවේ, මූල්‍ය ප්‍රතිපත්තිය එසේ දැඩි කිරීම වැරදි තීරණයක් බව යි.

  • ඇමෙරිකානු මහ බැංකු ස්වාධීනත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනත්වය දීම සඳහා පාර්ලිමේන්තුව ඇතුළු බහුතර ජනතාව එක හඬින් මනාපය දුන්න ද, ස්වාධීනත්වය එළිපත්තේම සිට කරන ලද මෙම අධි වැටුප් දුෂණය හේතු කොට, ඉදිරියේ දී මහ බැංකු කළමනාකාරිත්වය විසින් කුමන රාජ්‍ය මූල්‍ය දුෂණයන් කෙරේ ද? යන්න මහජනතාව කම්පාවට පත් වී ඇති බව නොරහසකි.

ඇමෙරිකානු මහ බැංකුවට සමාන ස්වාධීනත්වයක් ශ්‍රී ලංකා මහ බැංකුවට ද ප්‍රදානය කළ බව පාර්ලිමේන්තුවෙන් වාර්තා වන බැවින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නව බලතල සහ කාර්යාවලිය කොතරම් දුරට ඇමෙරිකානු මහ බැංකුවට සමානකම් පවතී ද? යන්න මෙම අවස්ථාවේ විමර්ශනය කිරීම ජාතික කර්තව්‍යයක් වනු ඇත. ඊට හේතුව, එය මෙවැනි අනාගත මහජන මැසිවිලි වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිසංවිධානය කිරීමට උපකාරී වන බැවිනි.

එහෙත්, මෙම විමර්ශනය ඉතා සංකීර්ණ සහ විස්තීර්ණ විද්වත් කාර්යයක් වනු ඇත. ඊට උපකාරයක් ලෙස ඇමෙරිකානු මහ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ශිර්ෂ 18 ක් යටතේ මාගේ දැනුම මත කරන ලද ඉතාම කෙටි සැසඳීමක් වගුවක ආධාරයෙන් මෙහි ඉදිරිපත් කරමි.

මහ බැංකු ශිර්ෂ 18 ක සැසඳීම 

නිගමනය 

  • ඒ අනුව, නව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය සහ එය කොතරම් දුරට ජාතික ආර්ථිකයට හිතකර වේ ද? යන්න පාඨකයා විසින් තීරණය කරන ලෙස යෝජනා කරමි. ඒ පිළිබඳ අදහස් රැසක් මා විසින් පසුගිය ලිපි රැසකින් ඉදිරිපත් කොට ඇත. මෙහි දී, විමසිය යුත්තේ ඇමෙරිකානු මහ බැංකුව ඇමෙරිකානු ආර්ථිකයට කරන ලද දායකත්වය මෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවට ද මෙරට සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා රටේ මූල්‍ය සහ බැංකු පද්ධතිය මෙහෙයවීමට අවශ්‍ය බලය සහ හැකියාව තිබේ ද? යන්න යි. ඒ සඳහා දැනට අවලංගු කොට ඇති මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් සහ ඒ හරහා අතීතයේ වර්ෂ 73 ක කාලයක් පුරා මහ බැංකුව විසින් ආර්ථිකයට කරන ලද විශේෂ සේවාවන් ද ඇගයීම යෝග්‍ය වනු ඇත.

  • මෙහි දී, වැදගත් වන්නේ, හුදෙක් නීතිමය ස්වාධීනත්වය නොව, මහ බැංකුවේ කළමනාකාරිත්වයට පත්වන පුද්ගලයන් කොතරම් දුරට ඇමෙරිකානු මහ බැංකුවේ පුද්ගලයන් මෙන් විද්වත් දැනුමකින් සහ ඒකාග්‍රතාවයකින් යුක්ත වන්නේ ද? යන්න යි. උදාහරණ ලෙස මෙවැනි වැටුප් දුෂණ තත්ත්වයක් ඇති වූවා නම්, ඇමෙරිකානු මහ බැංකු පාලක මණ්ඩලය ඉල්ලා අස්වීමට තරම් විනය ගරුක වනු ඇත. එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අධිපති සහ බොහෝ සාමාජිකයන් එවැනි විද්වත් ඒකාග්‍රතාවයකින් යුක්ත නොවන පුද්ගලයන් බවට ප්‍රසිද්ධ සාක්ෂි නොඅඩුව පවතී.

  • මහ බැංකුව සහ පාර්ලිමේන්තුව අතර හට ගෙන ඇති මෙම වැටුප් ගැටුම නිරාකරණයට පාර්ලිමේන්තු පනත්/යෝජනා සම්මතයක් සිදු නොවේ නම්, මුදල් කාරක සභා සභාපතිගේ පාද සටහන් සහිත වාර්තාවේ ප්‍රයෝගික වැදගත් කමක් නොමැත. එසේ නම්, මෙය නිරාකරණය සඳහා මහජන හිතකාමී නියෝජිතයන්ට ඇති එකම විකල්පය වනුයේ අධිකරණයේ පිහිට පැතීම යි. එය, මහජන වගකීම පිළිබඳ ව වත්මන් රජය දරන දුර්වල ආකල්පය පිළිබිඹු කරන්නකි.

  • සමස්තයක් වශයෙන් ගත් විට නව ශ්‍රී ලංකා මහ බැංකුව යනු ඇමෙරිකානු මහ බැංකුව මෙන් මූල්‍ය අංශය හරහා පුළුල් ජාතික ආර්ථික කාර්යභාරයක් ඉටු කළ හැකි මහ බැංකුවක් නොව, හුදෙක් මූල්‍ය වෙළෙඳුන් කිහිප දෙනෙකුට එදිනෙදා අවශ්‍ය ද්‍රවශීල අරමුදල් සැපයීම සඳහා තොග මුදල් මුද්‍රණයෙහි යෙදෙන මහ බැංකුවක් බව කිව හැකිය. එබැවින්, වෙනත් රටවල මෙන් සම්මත මහ බැංකු කාර්යයන්හි නිරත විය හැකි මහ බැංකුවක් නව මහ බැංකු පනතින් රටට අහිමි කොට ඇති බව කිව හැකිය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි