අද ප්‍රකාශිත මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය - අනීතික යි. අනාර්ථික යි. පරීක්ෂා කරමු.


මහ බැංකු කළමනාකාරීත්වය විසින් තම නෛතික ස්වාධීනත්වය සහ විද්වත් කොන්ද පසුගිය සතියේ දී දේශපාලනයට පවා දීමෙන් පසු කළ පළමු  මුදල් ප්‍රතිපත්ති තීරණය අද (2024.03.26) ප්‍රකාශයට පත් විය (එය මෙතනින් කියවන්න). එනම්, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 0.50% කින් පහළ දමා මුදල් මුද්‍රණය තවදුරටත් ලිහිල් කිරීම යි. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 8.5% දක්වා ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 9.5 දක්වා ද අද දින පහළ යන අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවතී.

නව මහ බැංකු පනතේ ස්වාධීනත්වය සහ අනෙකුත් ප්‍රතිපාදනයන් යටතේ මහ බැංකුවේ අරමුණු ඉටු කිරීම සඳහා යොදවන සේවක මණ්ඩලය වෙත 2024-27 කාලය සඳහා පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද වැටුප් ප්‍රතිපත්තිය අනීතික සහ සදාචාර විරෝධී බවට පසුගිය සතියේ දී පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදි. 

එබැවින්, මහ බැංකු පාලක මණ්ඩලය විසින් මහ බැංකු ස්වාධීනත්වයට මුවා වී, තම නෛතික සීමාවන් ඉක්මවා මහජන විශ්වාසය කඩ වන ප්‍රතිපත්ති තීරණයන් ගන්නා බව සනාථ වී ඇත. 

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, මුදල් ප්‍රතිපත්ති තීරණයන් ද එසේ අනීතික සහ සදාචාර නොවීමේ හැකියාව අද දින ප්‍රකාශ වූ මුදල් ප්‍රතිපත්තිය ඇසුරින් ඉදිරිපත් කිරීම යි.

භාවිතා කෙරෙන මුදල් ප්‍රතිපත්ති මෙවලම්

2023 සැප්තැම්බර් 14 දින වත්මන් මහ බැංකු පනත සම්මත වීමේ සිට මහ බැංකුව විසින් අනුගමනය කළ මුදල් ප්‍රතිපත්ති මෙවලම් මෙසේ ය.

  • එක් දින නිත්‍ය ණය පහසුකම

  • එක් දින නිත්‍ය තැන්පතු පහසුකම

  • ප්‍රතිවිකුණුම් වෙන්දේසි

  • ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 

මේවා අවලංගු කළ මුදල් නීති පනත යටතේ අනුගමනය කරන ලදුව, නව පනතේ ප්‍රතිපාදනයන් නොසලකා එලෙසම අනුගමනය කෙරෙන මෙවලම් ය. එහෙත්, නව ප්‍රතිපාදනයන් අනුව එක් දින නිත්‍ය තැන්පතු පහසුකම සහ ප්‍රතිවිකුණුම් වෙන්දේසි යන මෙවලම් දෙක අනීතික වෙයි.

මෙවලම් අනීතිකත්වය 

  • එක් දින නිත්‍ය තැන්පතු පහසුකම
නව පනත යටතේ බැංකු සහ මූල්‍ය ආයතන සඳහා මහ බැංකුවේ ගිණුම් පැවැත්විය හැකි වුව ද, එම ගිණුම් ශේෂයන් සඳහා පොලී ගෙවීමට ප්‍රතිපාදනයක් නොමැත. එහෙත්, මහ බැංකුව විසින් අඛණ්ඩව එම ගිණුම් ශේෂයන් සඳහා පොලී ගෙවා ඇත. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය යනු එසේ ගෙවන පොලී අනුපාතය යි. එබැවින්, එය නීතියට පිටින් අනුගමනය කෙරෙන ප්‍රතිපත්තියකි. ඒ සඳහා ගෙවන පොලී පිරිවැය මගින් රජයට ප්‍රේෂණය කෙරෙන මහ බැංකු ලාභය අඩු වනු ඇත.

2024 ජනවාරි සිට මාර්තු 25 දින දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 3.7 ක පමණ තැන්පතු මුදල් එසේ පොලී ගෙවීමේ පදනම මත බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇත. ඒ සඳහා ගෙවූ පොළිය රුපියල් බිලියනයකට ආසන්න වෙයි.

  • ප්‍රතිවිකුණුම් වෙන්දේසි

    මෙය විවට වෙළෙඳපොළ කටයුතුවලට අයත් මෙවලමකි. විටට වෙළෙඳපොල  කටයුතු යනු මහ බැංකුව විසින් සුරැකුම්පත් විවෘත වෙළෙඳපොළේ මිල දී ගැනීම සහ අළෙවි කිරීම යි. ප්‍රතිවිකුණුම් යනු එක් දිනක් හෝ වෙනත් ගිවිස ගත් කාලයක් සඳහා මහ බැංකුව විසින් සුරැකුම්පත් මිල දී ගැනීම යි. එමගින්, මහ බැංකුව විසින් බැංකු සහ මූල්‍ය ආයතනවලට අවශ්‍ය කෙටි කාලීන අරමුදල් සැපයේ. දැනට එය රාජ්‍ය සුරැකුම්පත් හරහා සිදු කෙරේ. 

    එහෙත්, නව මහ බැංකු පනත යටතේ සෘජු හෝ වක්‍ර ලෙස රජයට ණය සැපයීම මහ බැංකුවට තහනම් වෙයි. මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම යනු වක්‍ර රාජ්‍ය ණය වෙළෙඳාම වෙයි. එබැවින්, වත්මන් ප්‍රතිවිකුණුම් වෙන්දේසි ක්‍රමය නීතියෙන් පිට ක්‍රියාවකි. නව පනත අනුව විවට වෙළෙඳපොළ කටයුතු කළ යුත්තේ පෞද්ගලික සුරැකුම්පත් හරහා ය. එම ලැයිස්තුව තවම ප්‍රකාශයට පත් කොට නැත.

    මෙම ප්‍රතිවිකුණුම් මෙවලමට අදාළ අරමුදල් ප්‍රමාණය ඉතා විශාල වෙයි. 2024 ජනවාරි සිට මාර්තු 25 දින දක්වා රුපියල් ට්‍රිලියන 4.1 ක පමණ ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වා, රුපියල් ට්‍රිලියන 3.2 ක පමණ මුදලක් බැංකු සහ මූල්‍ය ආයතනවලට සපයා ඇත.

    මෙවලම් සදාචාර ශීලී නොවීම

    • මුදල් ප්‍රතිපත්ති මෙහෙයවුම් ඉලක්කය

    නව මහ බැංකුව විසින් 2023 ජුලි මස නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති පොත් පිංචට අනුව මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති මෙහෙයවුම් ඉලක්කය ලෙස භාවිතා කරන්නේ එක් දින එක්ෂණ ණය හෙවත් අන්තර් බැංකු ණය පොලී අනුපාතය යි. මහ බැංකු නිත්‍ය මුදල් පහසුකම් ප්‍රදානය කෙරෙන නිත්‍ය තැන්පතු අනුපාතය සහ නිත්‍ය ණය අනුපාතය මගින් කෙරෙන්නේ එම එක් දින එක්ෂණ ණය පොලී අනුපාතය වෙනස්වීමට අවකාශය ඇති ප්‍රතිපත්ති පොලී කොරිඩෝවක් සැපයීම යි. මහ බැංකු නිත්‍ය මුදල් පහසුකම් ක්‍රියාත්මක වන බැවින් එම එක්ෂණ ණය පොලී අනුපාතය ප්‍රතිපත්ති පොලී කොරිඩෝවෙන් පිටත යා නොහැකිය (පහත රුප සටහන බලන්න).

    එබැවින්, මහ බැංකුව විසින් ප්‍රතිවිකුණුම් වෙන්දේසි හරහා බැංකු සහ මූල්‍ය ආයතනවලට ද්‍රවශීල අරමුදල් සැපයීම තුළින්  එක්ෂණ ණය පොලී අනුපාතය කෙරෙහි තවදුරටත් කෙරෙන මැදිහත්වීමේ ආර්ථික විද්‍යා සදාචාරත්වය කුමක් ද? යන්න පැහැදිලි නැත.

    • පහළ පොලියට ප්‍රතිවිකුණුම් අරමුදල් ණය සැපයීම

    මහ බැංකු එක් දින ප්‍රතිවිකුණුම් ණය සහ නිත්‍ය ණය පහසුකම අතර ණය ගුණාත්මක භාවයේ සහ පරිණත කාලයේ වෙනසක් නොමැත. ඊට හේතුව, මෙම මෙවලම් දෙකේ දී ම රාජ්‍ය සුරැකුම්පත් ඇපය මත එක් දිනක් සඳහා ණය සැපයීම යි. එබැවින්, පොලී අනුපාතයන් දෙක සමාන විය යුතුය.

    එහෙත්, මහ බැංකුව විසින් නිරන්තරයෙන් නිත්‍ය ණය පොලී අනුපාතයට වඩා පහළ පොලී අනුපාතයන්ට එක් දින ප්‍රතිවිකුණුම් වෙන්දේසි ණය සැපයීම පුරුද්දක් වී ඇත. එම පොලී වාසිය 0.40%-0.95% අතර ප්‍රමාණයකින් වෙන්දෙසිවල දී විචලනය වී ඇත. බොහෝ අවස්ථාවල අන්තර් බැංකු එක් දින ඒක්ෂණ පොලිය සහ එක් දින ප්‍රතිවිකුණුම් පොලියට ද වඩා පහළ පොලියකට මහ බැංකු එක් දින ප්‍රතිවිකුණුම් ණය සපයා ඇත (පහත රුප සටහන බලන්න).  එය අනාර්ථික ක්‍රියාවකි. 

    ඒ මගින්, බැංකු සහ මූල්‍ය ආයතනවලට පොලී වාසියක් ද, රජයට ප්‍රේෂණය කෙරෙන මහ බැංකු ලාභයේ පහළ යාමක් ද සිදු වෙයි. උදාහරණ ලෙස 2024 ජනවාරි සිට මාර්තු 25 දින දක්වා රුපියල් ට්‍රිලියන 3 ක පමණ ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වා, රුපියල් ට්‍රිලියන 3.4 ක පමණ මුදලක් බැංකු සහ මූල්‍ය ආයතනවලට සපයා ඇත. 

    මහ බැංකු නිත්‍ය ණය පොලී අනුපාතය සමඟ සැසඳීමේ දී, මෙම වෙන්දේසිවලින් මහ බැංකුවට සිදු වූ පොලී අවාසිය රුපියල් බිලියන 5.4 ක් පමණ වෙයි. මෙම ප්‍රතිවිකුණුම් මුදල් අක්‍රමිකතාවය ආරම්භ වූයේ 2023 ජනවාරි මස මුල ය. එකල සිට සිදු වූ මුළු පොලී පාඩුව රුපියල් බිලියන 16 ක් පමණ වෙයි.

    සමස්ත මුදල් ප්‍රතිපත්තිය අනීතික සහ අනාර්ථික වීම

    • මුදල් ප්‍රතිපත්ති සහ පුවත්පත් නිවේදන මොඩලය අනීතික සහ අනාර්ථික වීම

    මහ බැංකු පුවත් නිවේදනයට අනුව මෙම මුදල් ප්‍රතිපත්ති තීරණය ගෙන ඇත්තේ මිහිපිට සිදු වන සියළුම සාධකයන් සැලකිල්ලට ගෙන ය. ඒ අතර, ශ්‍රී ලංකා ආර්ථිකයේ හිතකර නිෂ්පාදන වර්ධනය, ගෙවුම් ශේෂ සහ විදේශ සංචිත තත්ත්වය, මුදල් වෙළෙඳපොළ පොලී අනුපතයන් පහළ යාමේ උපනතිය, උද්ධමනය කෙරෙහි බදු ව්‍යුහය වෙනස්වීමේ බලපෑම සහ අනාගත උද්ධමන ගතිකත්වය යනාදිය තුළින් ශ්‍රී ලංකාවේ උද්ධමනය 5% ක මැදි කාලීන ඉලක්කය තුළ පවත්වා ගැනීමේ හැකියාව සැලකිල්ලට ගත් බව දැක්වෙයි.

    • මෙය මුදල් නීති පනත යටතේ කරන ලද මුදල් ප්‍රතිපත්ති තීරණය දැනුම් දීමේ පුවත්පත් නිවේදන ශෛලිය එලෙසම අනුගමනය කිරීමකි. එකල මහ බැංකුවේ ව්‍යවස්ථාපිත කාර්යයන්ට සියළු සාර්ව ආර්ථික ප්‍රවණතාවන් ස්ථායිකරණය කිරීමේ වගකීම පැවති බැවින්, එවක මුදල් මණ්ඩලයට එම සියළු අංශයන් තුලනය කෙරෙන පරිදි මුදල් ප්‍රතිපත්ති තීරණයන් ගැනීමට සිදු වූ බැවින්, එවැනි සාර්ව ආර්ථික පුවත් නිවේදනයක් යෝග්‍ය විය.

    • එහෙත්, නව මහ බැංකුවේ කාර්යය වන්නේ හුදෙක් දේශීය මිල ස්ථායිතාවය ලඟා කර ගැනීම සහ පවත්වා ගැනීම යි. ආර්ථිකයේ විදේශ ගෙවුම් අංශය, නිෂ්පාදනය සහ සේවා නියුක්තිය, ආංශීය බැංකු ණය ව්‍යාප්තිය යනා දී අංශයන් ප්‍රවර්ධනය හෝ ස්ථායිකරණය කිරීමේ කිසිම කාර්යයක් මහ බැංකුවට පැවරී නැත. එබැවින්, මුදල් ප්‍රතිපත්තිය යොමු කිරීමේ එකම නිර්ණායකය වී ඇත්තේ මාසික පාරිභෝගික මිල දර්ශකයේ ප්‍රවණතාවය දෙස බලමින්, එහි මැදි කාලීන වාර්ෂික වර්ධනය 5% ක රඳවා ගැනීමට (දේශීය මිල ස්ථායිතාවය) හැකි වන පරිදි අන්තර් බැංකු ඒක්ෂණ ණය පොලී අනුපාතය මෙහෙයවීම සඳහා මහ බැංකු මුදල් මුද්‍රණය ගැලපුම් කිරීම යි. එහි අරමුණ වනුයේ, එසේ දේශීය මිල ස්ථායිතාවය පවත්වා ගැනීමට හැකි පරිදි ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පාලනය කිරීම යි. 

    • එබැවින්, පුවත්පත් නිවේදනයේ දැක්වෙන පරිදි මිහිපිට ඇති සියළු සාධක සහ සිදුවීම් විමසීමේ සහ පාලනය කිරීමේ වගකීමක් හෝ ප්‍රතිපත්ති මෙවලම් හෝ නව මහ බැංකුවට නොමැත. එබැවින්, මහ බැංකු මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මහ බැංකු පනතේ දැක්වෙන දේශීය මිල ස්ථායිතා වගකීමට සහ නෛතික ප්‍රතිපත්ති මෙවලම්වලට සරිලන ලෙස මුදල් ප්‍රතිපත්ති මොඩලයත්, පුවත්පත් නිවේදනයත් සකසා ගත යුතුය. එතෙක්, මුදල් ප්‍රතිපත්ති ක්‍රමවේදය අනීතික සහ අනාර්ථික වන බව කිව හැකිය. 

    වත්මන් පුවත්පත් නිවේදනයෙහි අඩංගු වචන, වාක්‍ය සහ ශෛලිය දෙස බලන විට, එය මුදල් ප්‍රතිපත්ති මණ්ඩල සාමාජිකයන්ට පමණක් නොව, එය කෙටුම්පත් කළ විද්වත් නිලධාරියාට ද නොතේරෙන බව පැහැදිලි ය.

    • පොලී අනුපාතය පහළ දැමීම අනීතික සහ අනාර්ථික වීම  

    සංවර්ධිත රටවල් ඇතුළු ගෝලීය මුදල් ප්‍රතිපත්ති ප්‍රවණතාවය දෙස බලන විට 2021 අවසානයේ සිට වේගයෙන් දැඩි කළ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ තිරසාර අදහසක් තවම දැකිය නොහැකිය. ඊට හේතුව, රටවල උද්ධමන අනුපාතයන් සැලකිය යුතු ලෙස පහළ ගිය ද, එය මැදි කාලීන ඉලක්ක මට්ටමේ තිරසාර වන බවට විශ්වාසයක් තවමත් මහ බැංකුවලට නොතිබීම යි.

    • එහෙත්, ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් වේගයෙන් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම ආරම්භ කරනු ලැබුවේ, වාර්තා වූ උද්ධමනය 35% දී 2023 මැයි මස අවසානයේ දී ය. එය හුදෙක් ආර්ථිකය නැවත ස්ථායිකරණය වී ඇති බවට සාවද්‍ය සංඥාවක් කිරීම සඳහා කළ බව රහසක් නොවේ. එබැවින්, 2023 නොවැම්බර් මාසයෙන් පසු ස්ථාවරව පවත්වා ගත් මුදල් ප්‍රතිපත්තිය මාස හතරකට පසු නැවත ළිහිල් කිරීමට මෙවර ගත් තීරණය ද, හුදෙක් මහ බැංකු වැටුප් ගැටුමෙන් පසු රජය සතුටු කිරීම සඳහා ගත් පියවරක් බව කිව යුතු නැත (පහත රුප සටහන බලන්න). 

    • මහ බැංකුවේ නිල පුරෝකථනය අනුව උද්ධමනය 2024-2025 කාලය තුළ 10% සහ 15% ක පමණ මට්ටමට ඉහළ යා හැකි ය. එබැවින්, මහ බැංකු වගකීම සහ මුදල් - උද්ධමන සංකල්පය අනුව මෙසේ පොලී අනුපාතයන් ලහි ලහියේ කපමින් මුදල් මුද්‍රණය ළිහිල් කිරීමට තවමත් කාලය පැමිණ නැති බව පැහැදිලි ආර්ථික කරුනකි (පහත රුප සටහන බලන්න).
     

    • එහෙත්, මහ බැංකු පොලිය පහළ දමා, ආර්ථිකය පිළිබඳ ව සතුටුදායක පුවත්පත් නිවේදනයක් ස්වාධීන මහ බැංකුව විසින් නිකුත් කිරීම රජයේ දේශපාලනික ස්ථායිතාවයට උර දෙන්නකි. එමගින්, මහ බැංකු වැටුප් ප්‍රතිපත්ති විරෝධය යම් දුරකට කළමනාකරණය කර ගෙන, මහ බැංකු පාලක මණ්ඩලයට තම අසුන් රැක ගැනීමට පිටුවහලක් වනු ඇත.

    එබැවින්, සමස්තයක් ලෙස ගත් විට මෙවර මූල්‍ය ප්‍රතිපත්ති තීරණය ද මහ බැංකු ස්වාධීනත්වය අනීතික සහ අනාර්ථික ලෙස පාවා දීමක් බව පැහැදිලි ය.

    මෙවැනි ස්වාධීන මුදල් ප්‍රතිපත්තියකින් ශ්‍රී ලංකාවේ පොදුජන ජීවන මටම්ට ඇති වැදගත්කම කුමක් ද? යන්න විමසීම රජයේ වගකීම යි. ඊට හේතුව, මුදල් ප්‍රතිපත්තියේ වගකීම ද අවසානයේ රජය විසින් ගත යුතු බැවිනි. නව මහ බැංකු පනත අනුව මහ බැංකුව සහ මුදල් ඇමති අතර එකඟ වී ඇති මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුම මහ බැංකු වෙබ් අඩවියේ නොමැති බැවින් ඒ පිළිබඳ ව අදහසක් ප්‍රකාශ කළ නොහැකිය.

    මහ බැංකු ආර්ථික විද්වතුන් විසින් තම සුවපහසු කාමරවල සිට ඉහළම රාජ්‍ය වැටුප් සහ ප්‍රතිලාභ බුක්ති විඳිමින් මාසික පාරිභෝගික මිල දර්ශක ඉලක්කම දෙස බලමින්, මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතය එහාට මෙහාට කරන විට, ඒ අනුව අන්තර් බැංකු ඒක්ෂණ ණය පොලී අනුපාතයත්, ආර්ථිකයේ සමස්ත ඉල්ලුමත් වෙනස් වී ආර්ථිකයේ මිල ස්ථායිතාවය හට ගන්නා බවත්, ඒ අනුව ආර්ථිකයේ සියළු දෝෂයන් සමනය වන බවටත් දක්වන කථාන්දරයන් විශ්වාස කරන දේශපාලන නායකයන්ට සහ විද්වතුන්ට නූතන සාර්ව ආර්ථික විද්‍යා මළ පොතේ අකුරුවත් නොදන්නා බව කිව යුතුය. ඊට හේතුව, මහ බැංකු පොලී අනුපාතය යනු ආර්ථිකයේ සෑම දිසාවකටම පහර දිය හැකි දේව ආයුධයක් නොව තවත් එක ආර්ථික ක්‍රියාවක් පමණක් වන බැවිනි.

    (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

    පි සමරසිරි

    [ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

    හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

    (හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

    Comments

    Popular posts from this blog

    රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

    මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

    2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි