රාජ්‍ය මුදල් අර්බුදය තවත් ඉහළට …ඉහළ ගිය මහ බැංකු ලාභයත් රජයට අහිමි වෙයි

 


මේ දිනවල රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මුදල් මුද්‍රණය කිරීමේ චෝදනාව සමාජ මාධ්‍යයන් හරහා පැතිරෙන අතර මෙම මාසයේ දී රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සහ අත්‍යාවශ්‍ය මහජන සේවා සැපයුම සඳහා මෙම අවස්ථාවේ මුදල් මුද්‍රණය කිරීමට සිදු වන බව නිල වශයෙන් ප්‍රකාශ කොට ඇත.

මහ බැංකුව විසින් සතිපතා පැවැත්වෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිවලට අමතරව මුදල් නීති පනත උල්ලංඝණය කරමින් රාජ්‍ය මුදල් අවශ්‍යතාවන් පිරිමැසීම සඳහා වරින් වර විශේෂ භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව වෙත නිකුත් කොට මුදල් මුද්‍රණය හරහා ණය සැපයීමට පසුගිය සතියේම පටන් ගෙන ඇති බව මහ බැංකු වාර්තාවලින් පෙනේ.

මෙසේ මුදල් මුද්‍රණයට හේතුව, දැනට ආර්ථිකයේ රුපියල් බිලියන 11,000 ක පමණ මුදල් ප්‍රමාණයක් සංසරණය වුව දවත්මන් දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට ආර්ථිකයේ පවතින ඉහළ පොලී අනුපාතයන් තුළින් රාජ්‍ය ණය පිරිවැය අධික ලෙස ඉහළ යාම යි.

මුදල් මුද්‍රණය යනු මහ බැංකුව වෙත භාණ්ඩාගාර බිල්පත් නිකුත් කොට ණය ලබා ගැනීම යි. ඒ සඳහා භාණ්ඩාගාර බිල්පත් හරහා ණය ගැනීමේ සීමාව රුපියල් දැනට බිලියන 3,000 සිට රුපියල් බිලියන 4,000 දක්වා ඉහළ දැමීමට ද ක්‍රියා කෙරෙන බව වාර්තා වෙයි. පවතින රාජ්‍ය මුදල් අර්බුදය දෙස බලන විට එම සීමාව ද ප්‍රමාණවත් නොවිය හැකි අතර එම සීමාව බිඳ දමා ණය ගත්ත ද කළ හැකි දෙයක් නොමැත. මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය හරහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ ද මුදල් නීති පනත උල්ලංඝණය කිරීමෙනි.

රජය මෙසේ ණය පසුපස යාමට හේතුව රාජ්‍ය ආදායම නිසි ලෙස නොලැබීම හේතු කොට හට ගෙන ඇති රාජ්‍ය මුදල් අර්බුදය බවට විවාදයක් නොමැත. රාජ්‍ය ආයතනවලින් නිසි ලාභාංශ නොලැබීම ද මීට එක් සාධකයකි. රාජ්‍ය ආයතනවල ව්‍යාපාරික සහ මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවන් මීට හේතු වෙයි. සමහර අවස්ථාවල රාජ්‍ය ආයතනවල ලාභය ද ගිණුම් තුළ සඟවා ගෙන රජයට ලාභාංශ නොදීම ද දැකිය හැකිය. මීට හොඳම උදාහරණය 2021 වර්ෂයේ මහ බැංකු ලාභාංශ කොටසක් රජයට නොලැබීම යි.

මෙම ලිපියෙන් ඒ පිළිබඳ ව කෙටි ඉදිරිපත් කිරීමක් කෙරේ.

ව්‍යාපාරික ගිණුම් ප්‍රමිති සහ ලාභාංශ බෙදීම

ඕනෑම ආයතනයක ලාභය ගණනය කරනුයේ ආයතනය විසින් අනුගමනය කෙරෙන ගිණුම් ප්‍රමිතීන් අනුව ය. ගිණුම් ප්‍රමිති සහ ව්‍යාපාරික මූලධර්මයන් අනුව ආයතනයක ශුද්ධ ලාභය එහි අයිතිකරුවන්ට හිමි වෙයි. මෙම ලාභය දෙයාකාරයකට අයිතිකරුවන් අතර බෙදා හැරේ.

  • පළමුව, ලාභයෙන් කොටසක් ආයතනයේ ප්‍රසාරණයට අවශ්‍ය වියදම් සහ ආයතනය මුහුණ දෙන අවදානම් (ඉදිරි අලාභයන්) ආවරණයට අවශ්‍ය ප්‍රාග්ධනය ගොඩ නැගීම සඳහා ආයතනය තුළ සංචිත ලෙස තබා ගැනේ. ඒ අනුව, එම ප්‍රමාණයෙන් ආයතනයේ හිමිකාර ප්‍රාග්ධනය ඉහළ යනු ඇත.

  • දෙවනුව, ඉතිරි ලාභය ආයතනයේ අයිතිකරුවන්ට ලාභාංශ ලෙස බෙදා හැරේ. ඒ අනුව, එම ප්‍රමාණයෙන් ආයතනය වෙත ඇති මුදල් ශේෂ පහළ යනු ඇත.

2021 වර්ෂයේ මහ බැංකු ශුද්ධ ලාභය

අප්‍රේල් මස 29 දින නිකුත් වූ මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව 2021 වර්ෂයේ මහ බැංකු ශුද්ධ ලාභය රුපියල් මිලියන 158,163 ක වාර්තාගත ලාභයකි. එය 2020 වසරේ ශුද්ධ ලාභය වූ රුපියල් මිලියන 63,433 හා සැසදීමේ දී 184.4% ක ඉහළ යාමකි. මෙය 2001 වර්ෂයේ සිට මහ බැංකුව විසින් අනුගමනය කරන ලද ජාත්‍යන්තර මූල්‍ය/ගිණුම් ප්‍රමිතීන් අනුව ගණනය කොට ඇත.

එහෙත්, බෙදීමට ඇති ලාභය ගණනය කිරීම සඳහා මහ බැංකුව විසින් වෙනත් ගිණුම් ක්‍රමයක් භාවිතා කෙරේ. ඒ අනුව, 2021 වර්ෂයේ බෙදීමට ඇති මහ බැංකු ශුද්ධ ලාභය රුපියල් මිලියන 74,613 ක් වෙයි.

එබැවින්, ගිණුම් ප්‍රමිතීන් දෙකක් මත ලාභ ප්‍රකාශනයන් දෙකක් පිළියෙල කෙරෙන එකම ආයතනය මහ බැංකුව වන අතර ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිතීන් අනුව සැකසෙන මූල්‍ය ප්‍රකාශනයන්ගෙන් කිසිම ඵලක් නොමැත.

මහ බැංකුව විසින් ලාභ බෙදීම සඳහා ශුද්ධ ලාභය ගණනය කෙරෙන ආකාරය

මෙහිදී, ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිතීන් අනුව ගණනය කළ ශුද්ධ ලාභයෙන් මහ බැංකුවේ විදේශ වත්කම් මත නොඉපැයූ ලාභ/අලාභය (ගිණුම් ලාභ) අඩු කොට වෙනත් ගිණුම් ගැලපීමෙන් පසු වටිනාකම බෙදීමට ඇති ලාභය ලෙස ගණනය කෙරේ. නොඉපැයූ ලාභ යනු විදේශ මුදල් සඳහා රුපියලේ විනිමය අනුපාතයන් සහ මහ බැංකුවේ විදේශ වත්කම්වල විදේශ වෙළෙඳපොළ මිල ගණන් වෙනස් වීම හේතු කොට ඇති වන ගිණුම් ලාභ වෙයි. ඒවා අලාභයන් ද විය හැකිය.

එසේ ඒවා අඩු කෙරෙන්නේ එම ලාභ සත්‍ය වශයෙන් මුදල් ලෙස ගිණුම්වලට ලැබී නොමැති බැවිනි. එබැවින්, මහ බැංකු ලාභය ගණනය කිරීමේ දී විදේශ වත්කම් මත වූ මෙම ගිණුම් ලාභ ඇතුලත් නොකරන ලෙස මුදල් නීති පනතෙහි නියම කොට ඇත.

ඒ අනුව, 2021 වර්ෂය සඳහා එසේ ඉවත් කොට ඇති නොඉපැයූ ගිණුම් ලාභ ප්‍රමාණය රුපියල් මිලියන 83,680 ක් පමණ වෙයි. එය මහ බැංකු ප්‍රාග්ධන සංචිතවලට මාරු කෙරේ. මහ බැංකුව අදහන ගිණුම් ප්‍රමිතීන් අනුව එය ද ලාභයකි.

එබැවින්, 2021 වර්ෂයේ ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිති අනුව ගණනය කළ ශුද්ධ ලාභයෙන් නොඉපැයූ ගිණුම් ලාභ සහ වෙනත් ගිණුම් ගැලපුම් කිරීම ඇතුළුව රුපියල් මිලියන 83,550 ක් ඉවත් කොට බෙදීමට ඇති ලාභය ලෙස රුපියල් මිලියන 74,613 ක් ගණනය කොට ඇත.

මහ බැංකුව විසින් 2021 වර්ෂයේ ලාභ බෙදු ආකාරය

ඒ අනුව, ඉහත දැක්වූ රුපියල් මිලියන 74,613 ක ශුද්ධ ලාභය පහත දැක්වෙන ආකාරයට බෙදා ඇත.

ශීර්ෂය

මුදල, රුපියල් මිලියන

මුළු ලාභයෙන් %

මැදි හා දිගු කාලීන ණය අරමුදල

15,000

20.6

සේවක විශ්‍රාම ප්‍රතිලාභ අරමුදල

1,051

1.4

මහ බැංකු පොදු සංචිතය

27,526

36.9

රාජ්‍ය වගකීම් අය කිරීම 

1,036

1.4

රජයට ලාභාංශ

30,000

40.2

ශුද්ධ ලාභය

74,613

100

ඒ අනුව, රුපියල් මිලියන 74,613 ක ශුද්ධ ලාභයෙන් රජයට ලබා දී ඇති ලාභාංශය රුපියල් මිලියන 30,000 ක් පමණි. ඉතිරි රුපියල් මිලියන 44,613 ක මුදල පහත ලෙස මහ බැංකුව තුළ රඳවා ගෙන ඇත.

  • රුපියල් මිලියන 15,000 ක රඳවා ගැනීමට හේතුව මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ රජයේ ප්‍රාදේශීය සංවර්ධන ප්‍රතිමූල්‍ය අරමුදල් මහ බැංකුවට පැවරීම හේතු කොට එම මුදල් මහ බැංකුවේ ලාභයට  එකතු කොට තිබීම යි. එබැවින්, එම මුදල් මෙසේ නැවත මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය අරමුදලට වෙන් කොට ඇත. එහෙත්, එම මුදල් මහ බැංකුවේ ආදායම ලෙස ගිණුම් ගත කිරීම තාක්ෂණික ගිණුම් වරදකි.

  • මහ බැංකුවේ සංචිත ලෙස රුපියල් මිලියන 28,577 ක් මහ බැංකුවේ රඳවා ගෙන ඇති අතර රුපියල් මිලියන 1,036 ක් රාජ්‍ය වගකීම් වෙනුවෙන් අඩු කර ගෙන ඇත.

මෙම ලාභ බෙදීම මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් උල්ලංගණය කිරීමක් වන අතර රජයට ලැබිය යුතු මුදල් ගිණුම් හරහා සැඟවීමකි.

එසේම, ඉහත දැක්වූ සටහන් 2021 වර්ෂයේ මූල්‍ය වාර්තාවල ගිණුම් ගත කොට නොමැත.

මෙහිදී, කිවයුතු තවත් කරුණක් වන්නේ 2021 මහ බැංකු මූල්‍ය වාර්තාවන්වලට අත්සන තබා ඇත්තේ මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් ඇමති වෙත ඉදිරිපත් කළ වත්මන් මහ බැංකු අධිපති විසින් නොව ඊට පෙර සිටි මහ බැංකු අධිපති විසිනි. 

මහ බැංකු ලාභය ගණනය කිරීම සහ බෙදා හැරීම පිළිබඳ මුදල් නීතිය 

මුදල් නීති පනත අනුව මහ බැංකුවේ ලාභ ගණනය කළ යුත්තේ ශුද්ධ ආදායමින් මහ බැංකුවේ ඉදිරියේ දී අවශ්‍ය විය හැකි අවශ්‍යතාවන් සඳහා අරමුදල් වෙන් කිරීමෙන් (Allowances/Reserves) පසුව ය. මුදල් වර්ෂය අවසන් වී දින 30 ක් ඇතුලත එසේ ලාභය ගණනය කළ යුතු අතර තවත් දින 30 ක් ඇතුලත එම ලාභය පහත දැක්වෙන ආකාරයට බෙදා හැරිය යුතුය.

  • පළමුවමූල්‍ය ගැලපුම් ගිණුමේ ශේෂය (Monetary Adjustment Account පියවීම. මුල්‍ය ගැලපුම් ගිණුම යනු අති විශේෂ කාසි හා නෝට්ටු නිකුත් කිරීමේ වියදමමහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීමේ සහ පොලී ගෙවීමේ වියදම් සහ බැංකු ව්‍යවස්ථාපිත සංචිත සඳහා ගෙවන පොලිය යනාදිය වාර්ෂික වියදමට ඇතුලත් නොකොට එය තාවකාලිකව ඇතුලත් කෙරෙන අවිනිශ්චිත ගිණුම යි.

  • දෙවනුවඉතිරි මුදල මහ බැංකුවේ ප්‍රාග්ධනය දේශීය වත්කම් මෙන් 15% ක් වන තෙක් ප්‍රාග්ධන ගිණුමට මාරු කිරීම.

  • තෙවනුවඉතිරි මුදල මුදල් ඇමතිගේ උපදෙස් මත රජයෙන් මහ බැංකුවට අයවිය යුතු ගෙවීම්/ වගකීම් පියවීමට හෝ ඒකාබද්ධ අරමුදලට මාරු කිරීම.

මුදල් නීතිය උල්ලංගණය කොට ලාභ බෙදීම

වත්මන් මහ බැංකු මූල්‍ය වාර්තාවන් දෙස බලන විට ඉහත පළමු සහ දෙවන පියවරයන් පැන නොනගී. එබැවින්, සම්පුර්ණ ලාභය තෙවන පියවර අනුව රජයට දිය යුතුය. එහෙත්, ඉහත දැක්වූ පරිදි ලාභය ගණනය සහ බෙදීම මුදල් නීති පනත උල්ලංඝණය කොට ඇති බවට කරුණු කිහිපයක් දැක්විය හැකිය.

  • පළමුව, මහ බැංකුව විසින් ලාභය ගණනය කළ යුත්තේ මහ බැංකුවේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය සංචිත වෙන් කිරීමෙන් පසුව ය. එහෙත්, මෙහිදී එම වෙන් කිරීම් කොට ඇත්තේ ලාභය බෙදීමේ දී ය.

  • දෙවනුව, පොදු සංචිතය හරහා ප්‍රාග්ධනයට රුපියල් බිලියන 27,526 ක් වෙන් කිරීම හෝ රඳවා ගැනීම අත්තනෝමතික ක්‍රියාවකි. 2020 අවසාන වන විට මහ බැංකුවේ ප්‍රාග්ධන අනුපාතය 33.6% ක් (මුදල් නීති පනතේ නියමය වූ 15% ඉක්මවා) වූ බැවින් මෙතරම් විශාල මුදලක් රඳවා ගැනීම නීති විරෝධී වෙයි. එසේම, ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිති අනුව ලැබූ ලාභයෙන් ඉහත දැක්වූ පරිදි තවත් රුපියල් මිලියන 83,680 ක් ඉහත දැක්වූ පරිදි ප්‍රාග්ධනයට මාරු කොට ඇත.

  • තෙවනුව, මුදල් ඇමතිගේ උපදේශනය මත මහ බැංකු ලාභය රාජ්‍ය වගකීම් පියවීමට හෝ රජයට ලබා දීම කළ යුතු අතර ඒ දෙකම කළ නොහැකිය.

මෙහිදී, අප මතක තබා ගත යුත්තේ මහ බැංකුව ලාභ ලබන්නේ මුදල් මණ්ඩල සාමාජිකයන් හෝ මහ බැංකු අධිපති සහ ඉහළ නිලධාරීන්ගේ වෘත්තීය දක්ෂතාවය හෝ ඔවුන්ගේ මහජන පිළි ගැනීම නිසා නොව, රජය වෙනුවෙන් මුදල් නිකුත් කිරීම සහ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ලබා දී ඇති රාජ්‍ය බලපත්‍රය මත බව ය. මහ බැංකුවේ මුදල් මුද්‍රණය සහ ණය ගනුදෙනු මුළු මනින්ම වගේ රාජ්‍ය ණය සහ රාජ්‍ය සුරැකුම්පත් හරහා සිදු වෙයි.

මහජනයා විසින් ඇසිය යුතු ප්‍රශ්න

වත්මන් රාජ්‍ය මුදල් අර්බුදයට ප්‍රධාන හේතුවක් වනුයේ රාජ්‍ය මුදල් රැස් කිරීම සහ උපයෝජනය පිළිබඳ ව මහජනයා විසින් ප්‍රශ්න නොකිරීම යි. එබැවින්, මහ බැංකු ලාභය මහ බැංකුවේ හිමිකරු වන රජයට මෙම අර්බුදකාරී අවස්ථාවේ නොලැබීම ගැන ප්‍රශ්න කළ යුතුය.

  • පළමුව, මෙතරම් ලාභයක් ප්‍රාග්ධනයට රඳවා ගන්නේ ඇයි ද? යන්න මුදල් ඇමති වෙත වාර්තා කළා ද? යන්න සැකයක් මතු වෙයි. ඊට හේතුව, වර්තමානයේ රජය මුහුණ දෙන උග්‍ර අරමුදල් හිඟය දෙස බලන විට, ව්‍යවස්ථාපිත සිමාවන් ඉක්මවා මෙතරම් ලාභ ප්‍රමාණයක් අත්තනෝමතිකව මහ බැංකුවේ රඳවා ගැනීමට කිසිම මුදල් ඇමති කෙනෙකු විසින් මහ බැංකුවට ඉඩ නොදෙන බැවිනි. රාජ්‍ය ආයතන විසින් රජයට ගෙවිය යුතු ලාභාංශ මෙසේ ගිණුම්කරණය හරහා සඟවා ගැනීම රාජ්‍ය මූල්‍ය හිඟයට හේතුවක් වෙයි.

  • දෙවනුව, මහ බැංකුවේ ප්‍රාග්ධන සංචිතය අනවශ්‍ය ලෙස තර කිරීම තුළින් සදාචාර උවදුරු ගැටළුවක් මහ බැංකුව තුළ හට ගනු ඇත. එනම්, එම සංචිතවලින් අභ්‍යන්තර අලාභයන් පියවිය හැකි බැවින් අවදානම් ගැනීම සහ නොසැලකිල්ල ඉහළ යාම යි. 

  • තෙවනුව, මහ බැංකුවට මුදල් මුද්‍රණය මගින් වත්කම් අත්කර ගැනීම සහ ප්‍රාග්ධනය ඉහළ දැමීම කළ හැකි බැවින් මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රාග්ධන අනුපාතය සහ ලාභය වැනි ව්‍යාපාරික ගණකාධිකරණ සංකල්පයන් මහ බැංකුවලට අදාළ නොවේ.

මෙසේ මහ බැංකු ලාභ නිසි ලෙස රජයට නොදීම හේතු කොට මහ බැංකු සහ රජයන් අතර ගැටුම් හට ගැනීම දැකිය හැකිය. උදාහරණ ලෙස 2018 දී මෙසේ ඉන්දියානු මහ බැංකුව විසින් ලාභ රඳවා ගැනීමට උත්සාහ කිරීම හේතු කොට හට ගත් ආරවුල මහ බැංකු අධිපතිට නිලය අතහැර යාමට එක් සාධකයක් විය.

එසේම, 2012 දී එංගලන්ත මහ බැංකුව විසින් නොඉපැයූ ගිණුම් ලාභ තර්කය මත ලාභයෙන් කොටසක් රජයට නොදීම හේතු කොට පාර්ලිමේන්තුව සමඟ ආරවුලක් හට ගත් අතර පසුව එම රඳවා ගත් ලාභය රජයට දීමට සිදු විය. එහිදී, මහ බැංකු අධිපති පාර්ලිමේන්තුවට කැඳවා පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මහ බැංකුව විසින් අදාළ ගිණුම් ප්‍රමිතීන් අනුව ගණනය කෙරෙන ලාභය මහ බැංකුවේ අයිතිකරු වන රජයට පැවරිය යුතු බව යි. පසුව, එම මුදල් රජයට ප්‍රේෂණය කරන ලදි.

එබැවින්, නව මුදල් ඇමති විසින් වහාම රජයට හිමි විය යුතු මහ බැංකු ලාභාංශය ලබා ගත හොත් මෙම මාසයේ මුදල් මුද්‍රණය රුපියල් මිලියන 29,000 කින් පමණ අඩු කර ගත හැකිය. එසේම, අනෙක් රාජ්‍ය ආයතනවල ලාභ තත්ත්වය ද විමර්ශනය කොට රජයට ලැබිය යුතු ලාභාංශ උපරිම කිරීමට ක්‍රියා කළ යුතුය.

මේ සඳහා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ආදායම විමර්ශනය කිරීමේ විශේෂ කාරක සභාවක් පත් කොට තාක්ෂණික උපදෙස් මත අවශ්‍ය පසුවිපරම් කටයුතු කිරීම යෝග්‍ය වනු ඇත.

 (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)


පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 
(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි