ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි අගාධය වලක්වා ගත හැක්කේ කෙසේ ද?


මෙම ලිපියේ අරමුණ වන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ ඉහළ යන දැඩි අස්ථායීතාවයන්, ගෝලීය අධි උද්ධමන රැල්ල සහ සංවර්ධිත රටවල මහ බැංකු විසින් අනුගමනය කෙරෙන මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමේ ප්‍රවණතාවය හමුවේ ශ්‍රී ලංකාවේ පොදුජන ජීවිතය ඉදිරියේ දී තවත් අගාධයට පත් වීමේ අවදානම ඉතා ඉහළ බැවින් එය වැලැක්වීම සඳහා ප්‍රතිපත්ති අත්වැලක් සැපයීම යි.

මේ දිනවල ලෝකය පුරා දැඩි උද්ධමන රැල්ලක් පැතිරෙමින් පවතී. එය පසුගිය වර්ෂයේ මැද සිට සංවර්ධිත රටවලින් හට ගෙන ඇත. ඒ අනුව2022 මාර්තු මාසය අවසන් වන විට වාර්ෂික උද්ධමන වේගය ඇමෙරිකාවේ 8.5% ක් දඑංගලන්තයේ 7.0% ක් දයුරෝපයේ 7.4% ක් ද දක්වා ඉහළ ගොස් ඇත. එය සංවර්ධනය වන රටවල් අතර 2022 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ 29.8 % ක් දතුර්කියේ 70 ක් දපකිස්ථානයේ 13.4% ක් ද දක්වා ඉහළ ගොස් ඇත.

වත්මන් ගෝලීය අධි උද්ධමන පීඩනයේ පදනම් සාධක

මෙම අධි උද්ධමන කතාන්දරය ලෝකය පුරා එකම ස්වරුපයක් ගනී. එනම්, ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට ගෝලීය සැපයුම් දාමයන් අවහිර වීම හරහා හට ගත් සැපයුම් අවහිරතාවන්, වසංගතයෙන් පසු ආර්ථිකයන් විවෘත කිරීමේ දී හට ගත් නාවික ප්‍රවාහන සහ වරාය අපහසුකම් සහ ගාස්තු ඉහළ යාම සහ ඉල්ලුම ඉහළ යාම හේතු කොට ඉන්ධන සහ වෙළෙඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යාම යනාදිය නව ගෝලීය උද්ධමන රැල්ලේ මූල සාධකය වෙයි. මෙම සැපයුම් අවහිරතාවන් කෙටිකාලීන විය හැකි බවට ආරම්භයේ අපේක්ෂා කළ ද, එම අවහිරතාවන් අඛණ්ඩව පවතී.

ඊට අමතරව,  2022 පෙබරවාරි 24 දින රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමඟ ඉන්ධන මිල ගණන් තවත් ඉහළ ගිය අතර සංවර්ධිත රටවල් විසින් රුසියාවට එරෙහිව වෙළෙඳ සහ මූල්‍ය තහංචි පැනවීම හේතු කොට ගෝලීය සැපයුම් දාමයන් අවහිර වීම තවත් ඉහළ යන ලදි. මෙය සංවර්ධිත රටවල මෙන්ම ගෝලීය උද්ධමන පීඩනය වේගවත් කිරීමට හේතු විය. ඊට හේතුව, රුසියාව යනු ගෝලීය ඉන්ධන නිෂ්පාදනයේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන රටක් වන බැවිනි. යුක්‍රේනය ලෝකයේ ප්‍රධාන තිරිගු අපනයන කරුවෙකි.

මේ අතර, 2022 මාර්තු මස දී චීනයේ හට ගත් නව කොරෝනා රැල්ල මර්දනය සඳහා ශුන්‍ය කොරෝනා අසාදන ප්‍රතිපත්තිය මත නැවත සමාජ අගුළු දැමීම හේතු කොට ගෝලීය වෙළෙඳ භාණ්ඩ සැපයුමට දැඩි බාධාවන් හට ගෙන ඇත. එබැවින්, රටවල භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම සෑම භාණ්ඩ හා සේවා අංශයන්/වෙළෙඳපොළවල් වෙත ව්‍යාප්ත වී ඇති අතර ඉහළ යන ජීවන වියදමට සරිලන ලෙස වැටුප් ඉහළ යාම ද ආරම්භ වී ඇත. එමගින්, මිල-වැටුප් දඟරය හරහා දෙවන වටයේ උද්ධමන පීඩනයක් ද හට ගෙන ඇත. එය විශේෂයෙන් සංවර්ධිත රටවල දැකිය හැකිය. ඊට හේතුව, එම රටවල සේවා වියුක්තිය ඓතිහාසික ලෙස පහළ වැටී ඇති බැවින් ශ්‍රම කේවල් කිරීමේ හැකියාව ඉහළ ගොස් ඇති බැවිනි.

ශ්‍රී ලංකාව වැනි බොහෝ සංවර්ධනය වන රටවල් විදේශ මුදල් සංචිත හිඟයකට මුහුණ දීම හේතු කොට එම රටවල මුදල් දැඩි ලෙස අවප්‍රමාණය වීම හරහා ආනයනවල දේශීය මිල ගණන් තවත් ඉහළ යාමෙන් උද්ධමන පීඩනය තවත් සැලකිය යුතු ලෙස ඉහළ යන ලදි. ඊට හේතුව, මෙම රටවල් ආනයනිත අමුද්‍රව්‍ය, ආයෝජන භාණ්ඩ සහ පරිභෝජන භාණ්ඩ කෙරෙහි දැඩි ලෙස රැඳීම යි. ඒ අනුව, මෙම රටවල උද්ධමන පීඩනය ඉහළ යාම කෙරෙහි ලෝක වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යාම සහ මුදල් අවප්‍රමාණය යන සාධකයන් දෙකෙහිම විශේෂ දායකත්වයක් විය.

සමස්තයක් ලෙස කොරෝනා වසංගතය හා බැඳුන අනපේක්ෂිත සැපයුම් අවහිරතාවන් සහ ඉන්ධන මිල ඇතුළු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම තුළින් වත්මන් ගෝලීය උද්ධමන රැල්ල හට ගෙන ඇති බව පොදු වේ පිළි ගැනේ.

උද්ධමනය පිළිබඳ ව මූල්‍ය වාදී පිළි ගැනීම

ආර්ථික විද්‍යාවේ ඉතා සරල න්‍යායක් වන භාණ්ඩයක හෝ සේවයක සැපයුම සහ ඉල්ලුමේ අන්‍යෝන්‍ය බලපෑමෙන් එහි මිල තීරණය වන බව දැක්වෙන සංකල්පය ආර්ථිකයක සමස්ත භාණ්ඩ හා සේවා සැපයුම සහ ඉල්ලුම පිළිබඳ ව අදාළ කිරීම ඇසුරින් උද්ධමනය විග්‍රහ කෙරේ.

උදාහරණයක් ලෙස සහල් සැපයුමට වඩා වේගයකින් සහල් ඉල්ලුම ඉහළ යන විට සහල් මිල ඉහළ යනු ඇත. එලෙසම, ආර්ථිකයේ සමස්ත භාණ්ඩ හා සේවා සැපයුමට වඩා සමස්ත ඉල්ලුම ඉහළ යන විට භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල හෙවත් පොදු මිල මට්ටම ඉහළ යනු ඇත. උද්ධමනය යනු ආර්ථිකයේ පොදු මිල මට්ටම ඉහළ යාමේ තත්ත්වය යි. එබැවින්, මෙම සංකල්පයට අනුව ආර්ථිකයේ සමස්ත සැපයුමට වඩා සමස්ත ඉල්ලුම ඉහළ යාම හෙවත් අතිරික්ත ඉල්ලුම හේතුවෙන් උද්ධමනය හට ගනී. ඒ අනුව, ආර්ථිකයේ සමස්ත සැපයුම සහ සමස්ත ඉල්ලුම සමාන වන විට ආර්ථිකය සමතුලිත වන අතර පොදු මිල මට්ටම ස්ථාවරව පවතී.

ආර්ථික විද්‍යාවේ පැරණි සංකල්පයක් වන මුදල් ප්‍රමාණවාදයට අනුව මෙම උද්ධමනය යනු සැම විටම මූල්‍ය සංසිද්ධියකි. එනම්, ආර්ථිකයේ පවතින සමස්ත භාණ්ඩ හා සේවා සැපයුම් පරිමාව ගනුදෙනු කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් මුදල් සංසරණය හෙවත් මුදල් සැපයුම ඉහළ යාම හේතු කොට උද්ධමනය හට ගනී. ඊට හේතුව, එම අතිරික්ත මුදල් ප්‍රමාණය හරහා භාණ්ඩ හා සේවා සඳහා නව හෝ අතිරික්ත ඉල්ලුමක් හට ගන්නා අතර කෙටි කාලයේ දී සමස්ත සැපයුම ස්ථාවර බැවින් පොදු මිල මට්ටම ඉහළ යාම යි.

මූල්‍ය න්‍යායට අනුව ආර්ථිකයක් කෙරෙහි මුදල්වල බලපෑම සිදු වන්නේ මුදල් වියදම් කිරීම හරහා ආර්ථිකයේ සමස්ත ඉල්ලුම වෙනස් වීම තුළිනි. ඒ අනුව, මුදල් සැපයුම ඉහළ යන විට එම මුදල් භාවිතා කිරීම තුළින් සමස්ත ඉල්ලුම ඉහළ යන අතර මුදල් සැපයුම පහළ යන විට භාවිතයට ඇති මුදල් ප්‍රමාණය අඩු බැවින් සමස්ත ඉල්ලුම පහළ යනු ඇත. මෙහිදී, සමස්ත ඉල්ලුම ලෙස පරිභෝජන සහ ආයෝජන වියදම/ඉල්ලුම ඇතුලත් වෙයි.

උද්ධමනය ඉහළ යන විට රජය විසින් මුදල් මුද්‍රණය කිරීම හේතු කොට එසේ සිදු වී ඇති බවට ලෝකය පුරා රජයන්ට විරුද්ධ දේශපාලන නායකයන් විසින් රජයන් විවේචනය කිරීම සඳහා භාවිතා කෙරෙන්නේ මෙම සරල මූල්‍ය න්‍යාය යි.

මූල්‍ය ප්‍රතිපත්ති සහ උද්ධමනය කෙරෙහි මහ බැංකු ප්‍රතිචාරය

මූල්‍ය ප්‍රතිපත්තිය යනු ආර්ථිකයේ ගනුදෙනු අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස ආර්ථිකයේ මුදල් සංසරණය සහ තත්ත්වය පවත්වා ගැනීම සඳහා රජය විසින් මහ බැංකුව වෙත පවරා ඇති මුදල් නියාමන ප්‍රතිපත්තිය යි. මෙහිදී, මුදල් මුද්‍රණය, මුදල් සැපයුම, බැංකු ණය පරිමාව සහ ව්‍යුහය, පොලී අනුපාතයන් සහ ව්‍යුහය සහ විදේශ විනිමය සහ විනිමය අනුපාතය යනාදිය නියාමනය තුළින් ආර්ථිකයේ මුදල් තත්ත්වය අවශ්‍ය පරිදි පවත්වා ගැනීම මූල්‍ය ප්‍රතිපත්තියට අයත් වෙයි. ඒ අනුවමහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ මුදල් සහ මුදල් වෙළෙඳපොළ දැඩි නියාමනයකට යටත් වෙයි.

මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී මහ බැංකු විසින් ඉහත දැක්වූ මූල්‍ය වාදී න්‍යාය පිළි ගැනීම සාමාන්‍යයෙන් දැකිය හැකිය. එබැවින්, උද්ධමනය ඉහළ යන විට ඊට හේතූන් කුමක් වුව ද, මහ බැංකු විසින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. මෙහිදී ගනු ලබන මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් මුදල් මුද්‍රණය පහළ දැමීම, ණය ප්‍රසාරණය පහළ දැමීම, පොලී අනුපාතයන් ඉහළ දැමීම සහ විනිමය අනුපාතය අවප්‍රමාණය හෝ ඉහළ දැමීම යනාදිය කෙරෙහි යොමු වෙයි.

එහි සමස්ත අරමුණ වනුයේ ණය පිරිවැය ඉහළ දැමීම සහ ණය ප්‍රසාරණය පහළ දැමීම තුළින් ආර්ථිකයේ මුදල් සැපයුමේ ප්‍රසාරණය පහළ දැමීම හෙවත් මූල්‍ය තත්ත්වය දැඩි කිරීම යි. එමගින්, වක්‍රාකාරව ආර්ථිකයේ සමස්ත ඉල්ලුම් ප්‍රසාරණය පහළ දැමීම තුළින් අනාගතයේ දී උද්ධමනය පහළ යාම අපේක්ෂා කෙරේ. මීට ප්‍රතිවිරුධව, ආර්ථිකයේ නිෂ්පාදනය සහ සේවා නියුක්තියේ පසුබැසීමක් පවතින විට ආර්ථිකයේ මූල්‍ය ප්‍රසාරණය ඉහළ දැමීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කෙරේ. එවිට, සමස්ත ඉල්ලුම ඉහළ යාම තුළින් නිෂ්පාදනය දිරි ගැන්වී ආර්ථිකයේ වර්ධනය ඉහළ යාම අපේක්ෂා කෙරේ. එබැවින්, උද්ධමන පීඩනය පහළ දැමීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ දී ආර්ථික වර්ධනය පහළ යාමක් ද සිදු වෙයි.

මෙහිදී, මහ බැංකු විසින් ප්‍රකාශ කරන්නේ උද්ධමනය කෙරෙහි සමස්ත සමස්ත සැපයුම් සාධකයන් ද දායක වුව ද, ආර්ථිකයේ සමස්ත සැපයුම් අංශය ඍජුව වෙනස් කිරීමට හැකි ප්‍රතිපත්ති මෙවලම් මූල්‍ය ප්‍රතිපත්තිය හෝ මහ බැංකු සතුව නොමැති බව යි. එබැවින්, ඉහත දැක්වූ පරිදි වත්මන් උද්ධමනකාරී පීඩනය ප්‍රධාන වශයෙන් සැපයුම් සාධක හේතු කොට ගෙන පැවතිය ද, උද්ධමනය පහළ දැමීම සඳහා මහ බැංකු විසින් සිදු කරන්නේ සමස්ත ඉල්ලුම පහළ දැමීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම යි. 

එබැවින්, වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය දැඩි ව්‍යුහාත්මක දුබලතාවයෙන් පෙළෙන ප්‍රතිපත්තියකි. ඊට හේතුව, ආර්ථිකයේ මිල ස්ථායීතාවය මෙන්ම සේවා නියුක්තිය සහ නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි ද මූල්‍ය ප්‍රතිපත්තිය වෙත වගකීම් පවතින අතර මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී එම වගකීම් අතර ගැටුම් හට ගැනීම හේතු කොට ප්‍රතිපත්ති මෙවලම් තෝරා ගැනීමේ දී දැඩි අපහසුතාවන්ට මුහුණ දීම යි.

එහෙත්, මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියේ කාර්යසාධනය මූල්‍ය සංකල්පීය විශ්වාසය හැර ආර්ථික පර්යේෂණ දත්තවලින් තහවුරු වී නොමැත. ඊට හේතුව, ආර්ථිකයක ගතික ක්‍රියාකාරිත්වය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ද ආර්ථික වර්ධනය, සේවා නියුක්තිය සහ උද්ධමනය කෙරෙහි බලපාන අතර මූල්‍ය ප්‍රතිපත්තියේ බලපෑම වෙන් කොට හඳුනා ගත නොහැකි වීම යි.

තවද, මූල්‍ය ප්‍රතිපත්තියේ බලපෑම රටවල් අතර වෙනස් වෙයි. පොලී අනුපාතයට සංවේදී මූල්‍ය වෙළෙඳපොළවල් සහ ඉල්ලුම්/වියදම් හැසිරීමක් පවතින සංවර්ධිත රටවල එම බලපෑම ඉහළ වෙයි. එහෙත්, සංවර්ධනය වන රටවල පොලී අනුපාත සංවේදීතාවය ඉතා පහළ බැවින් මූල්‍ය ප්‍රතිපත්තියේ ආර්ථික බලපෑම ඉතා සීමිත වෙයි. එසේම, ඉල්ලුමේ පොලී අනුපාත සංවේදීතාවය පිළිබඳ පර්යේෂණ තොරතුරු ද සීමිත වෙයි. එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි සංකල්පීය අභිමතය මත ක්‍රියාත්මක කෙරේ.

වත්මන් සංවර්ධිත රටවල මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමේ රැල්ල

2021 තෙවන කාර්තුවේ සිටම සංවර්ධිත රටවල මහ බැංකු විසින් ඉහළ යන උද්ධමනය පාලනය සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රමිකව දැඩි කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන ලදි. ඔවුන්ගේ විශ්වාසය වනුයේ 2020 ආරම්භයේ සිට කොරෝනා ආර්ථික අවපාතය වැලැක්වීම පිණිස ක්‍රියාත්මක කළ අතිළිහිල් මූල්‍ය ප්‍රතිපත්ති (පොලී අනුපාතය ශුන්‍යය ආසන්නයට පහළ දමා අති විශාල ලෙස මුදල් මුද්‍රණය කිරීම) හේතු කොට ඉහළ ගොස් ඇති සමස්ත ඉල්ලුම සංකෝචනය කිරීම තුළින් උද්ධමනය පහළ හෙළීමට දායක විය හැකි බව යි.

  • මෙහි ප්‍රථම පියවර වශයෙන් කොරෝනා වසංගතය ආශ්‍රිත ආර්ථික අවදානම් පාලනය සඳහා ආර්ථිකයට අවශ්‍ය නව මුදල් මුද්‍රණය සහ මුදල් ප්‍රසාරණය කිරීම පිණිස අනුගමනය කළ මහ බැංකු විසින් වත්කම් මිල දී ගැනීමේ ක්‍රමවේදයන් ක්‍රමයෙන් අවලංගු කරන ලදි.

  • දෙවනුව, මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීම දැනට ආරම්භ කොට ඇත (පහත දැක්වෙන වගුව බලන්න).

මහ බැංකුව 

පොලී අනුපාතය ඉහළ දැමීම

වත්මන් පොලී අනුපාතය

ඇමෙරිකානු මහ බැංකුව 

 2022 මාර්තු මස 0.25% කින් සහ මැයි මස 0.50% කින් 

 0.50%-0.75%

එංගලන්ත මහ බැංකුව

 2021 දෙසැම්බර් මස 0.15% කින්2022 ජනවාරි 0.25% කින්, 2022 පෙබරවාරි 0.25% කින් සහ මැයි මස 0.25% කින් 

  1%

කැනේඩියානු මහ බැංකුව

 2022 මාර්තු 0.25% කින් සහ අප්‍රේල් මස 0.50% කින්

  1%

ස්ට්‍රේලියනු මහ බැංකුව

 2022 මැයි මස 0.10% කින්

 0.35%

ඒ අනුව, පසුගිය සතිය තුළ සංවර්ධිත රටවල මහ බැංකු 3 ක් විසින් පොලී අනුපාතයන් ඉහළ දමන ලදි.  එම සතියේ තවත් මහ බැංකු 3 ක් විසින් පොලී අනුපාතයන් ඉහළ දමන ලදි. එනම්, ඉන්දියානු මහ බැංකුව විසින් 0.40% කින්, බ්‍රසීල මහ බැංකුව විසින් 1% කින්, චිලී මහ බැංකුව විසින් 1.25% කින් ලෙස ය.

ඇමෙරිකානු මහ බැංකුව විසින් එක් වරක දී 0.50% ක් වැනි ඉහළ ප්‍රමාණයකින් පොලී අනුපාතය ඉහළ දැමීම වසර 22 කින් පසු සිදු වූ දෙයක් බව දැක්වෙයි. යුරෝපා මහ බැංකුව විසින් ජූලි මාසය යේ දී පොලී අනුපාතයන් ඉහළ දැමීම ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. පොලී අනුපාතයන් මෙසේ කිහිප වරක් ඉදිරි වර්ෂ කිහිපය තුළ ඉහළ දැමීම අපේක්ෂා කෙරේ. උදාහරණ ලෙස ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය 3%-4% මට්ටමට ඉහළ යන බවට පුරෝකතනය කෙරේ.

  • තෙවැනි පියවර ලෙස මහ බැංකු විසින් දැනට ආර්ථිකයට නිකුත් කොට ඇති නව මුදල් ප්‍රමාණයෙන් කොටසක් නැවත ක්‍රමයෙන් අවශෝෂණය කර ගැනීමට සැලසුම් කොට ඇත. එනම්, මහ බැංකු සතු වත්කම් ප්‍රමාණය පහළ දැමීම යි. 

මෙහිදී, දැනට මහ බැංකු සතු රාජ්‍ය සුරැකුම්පත් වැනි මූල්‍ය වත්කම් ද්විතීය වෙළෙඳපොළේ වෙන්දේසි හරහා බැංකු වෙත අළෙවි කිරීම සිදු කෙරේ. මෙය ඇමෙරිකානු මහ බැංකුව විසින් ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් ප්‍රකාශයට පත් කොට ඇත. ඇමෙරිකානු මහ බැංකුව විසින් 2020 වර්ෂය ආරම්භයේ සිට 2022 අප්‍රේල් මාසය අවසාන වන විට ඩොලර් බිලියන 4,764 ක පමණ නව මුදල් මුද්‍රණය කොට ඇත. එනම්, 1913 දී මහ බැංකුව පිහිට වූ වර්ෂයේ සිට 2019 අවසාන වන විට මුද්‍රණය කොට තිබූ මුදල් ප්‍රමාණය (ඩොලර් බිලියන 4,174) මෙන් 114% ක ඉහළ යාමකි.

සංවර්ධිත රටවල මහ බැංකු විසින් පොලී අනුපාතයන් ඉහළ දැමීම ආරම්භ කිරීමට පෙර සිට උද්ධමනය සහ උද්ධමන අපේක්ෂාවන් ඉහළ යාමට අනුරූපව කෙටි කාලීන මූල්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතයන් ඉහළ යාම ආරම්භ විය. උදාහරණ ලෙස ඇමෙරිකානු දස වාර්ෂික රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතය 2021 අවසානයේ 1.5% සිට 2022 මාර්තු මස ආරම්භයේ දී 1.72% දක්වා ඉහළ ගොස් ඇත. 

මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ යන විට වෙළෙඳපොළ පොලී අනුපාතයන් ඉහළ යාම සෑම අංශයකටම පැතිරී යනු ඇත. ඒ අනුව, ඇමෙරිකානු දස වාර්ෂික රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතය 2022 මැයි මස පළමු සතිය අවසානයේ දී 3.13 % දක්වා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත. එසේම, ඉදිරියේ දී මුදල් මුද්‍රණය පහළ යන විට හට ගන්නා හිඟ මූල්‍ය තත්ත්වය සහ අස්ථායීතාවයන් හේතු කොට පොලී අනුපාතයන් තවත් ඉහළ යනු ඇත. එය වෙළෙඳපොළ අපේක්ෂණයන් සහ සමපේක්ෂණ මූල්‍ය වෙළෙඳාම හරහා සිදු ඇත.

සංවර්ධිත රටවල මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමේ රැල්ල තුළින් සංවර්ධනය වන රටවල් කෙරෙහි අහිතකර බලපෑම

සංවර්ධිත රටවල මුදල් ජාත්‍යන්තර සංචිත මුදල් ලෙස සංවර්ධනය වන රටවල් විසින් විදේශ සංචිතයන් සහ විදේශ වෙළෙඳාම සඳහා භාවිතා කෙරෙන බැවින් සංවර්ධිත රටවල මූල්‍ය ප්‍රතිපත්ති වෙනස්කම්වල බලපෑම සංවර්ධනය වන රටවල් කෙරෙහි ක්ෂණිකව පැතිරී යනු ඇත. උදාහරණ ලෙස දැනට ගෝලීය නිල විදේශ මුදල් සංචිතවලින් 58.8% ක් ඩොලර් ද, 20.6% ක් යුරෝ මුදල ද, 5.6% ක් යෙන් ද, 4.8% ක් බ්‍රිතාන්‍ය පවුම් ද,  2.4% ක් කැනඩා ඩොලර් ද, 1.8% ක් ඕස්ට්‍රේලියා ඩොලර් ද වෙයි. ඒ අනුව, මෙම රටවල දැඩි මූල්‍ය ප්‍රතිපත්තිවල අහිතකර බලපෑම මූලයන් කිහිපයකින් හඳුනා  හැකිය.

  • පළමුව, ගෝලීය ආයෝජකයන් විසින් ඉහළ පොලී අනුපාතයන් බලාපොරොත්තුවෙන් සංවර්ධනය වන රටවල පවත්වා ගෙන යන මූල්‍ය වෙළෙඳපොළ ආයෝජනයන් සංවර්ධිත රටවල පොලී අනුපාතයන් ඉහළ යන විට නැවත සංවර්ධිත රටවල ආයෝජනය සඳහා ප්‍රේෂණය කෙරේ. මෙය විශේෂයෙන් ඇමෙරිකානු මූල්‍ය වෙළෙඳපොළ ආයෝජනය සඳහා ඇදී යාම විශේෂයෙන් දැකිය හැකිය.

  • දෙවනුව, සංවර්ධනය වන රටවලින් විදේශ ආයෝජන ඉවත්ව යාම සඳහා විදේශ මුදල් ඉල්ලුම ඉහළ යන බැවින් එම රටවල විදේශ මුදල් හිඟයක් හට ගනී. එබැවින්, එම රටවල මුදල් අවප්‍රමාණය වීමට පටන් ගනී.

  • තෙවනුව, විදේශ ආයෝජනයන් රඳවා ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති හරහා පොලී අනුපාතය ඉහළ දැමීමට සිදු වෙයි. විදේශ ආයෝජන ඉවත්වී යාම තුළින් ඉහළ යන ගෙවුම් ශේෂ හිඟය හේතු කොට ආනයන අධෛර්යමත් කිරීම සඳහා ද පොලී අනුපාතයන් එසේ ඉහළ දැමීම සිදු කෙරේ. විදේශ ආයෝජන ඉවත්වීම හේතු කොට දේශීය මුදල් වෙළෙඳපොළේ ආයෝජන අරමුදල් සැපයුම පහළ යන බැවින් මහ බැංකු විසින් මුදල් මුද්‍රණයක් සිදු නොකළ හොත් වෙළෙඳපොළ පොලී අනුපාතයන් නිරායාසයෙන් ඉහළ යනු ඇත.

එබැවින්, සමස්තයක් වශයෙන් සංවර්ධනය වන රටවල ආර්ථික වර්ධනය පහළ යාමත්, උද්ධමන පීඩනය ඉහළ යාමත් (විශේෂයෙන් මුදල් අවප්‍රමාණය හරහා) සිදු වනු ඇත.

ඇමෙරිකානු මහ බැංකුව විසින් 2017-2018 කාලයේ දී මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ අමිහිරි ගෝලීය අත්දැකීම

මීට හොඳම මෑත උදාහරණය වනුයේ ඇමෙරිකානු මහ බැංකුව විසින් 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මාස 24 ක කාලය තුළ තම පොලී අනුපාතය 0.25% බැගින් අට වරක දී 0.25%-0.50% සිට 2.25%-2.50% දක්වා 2% කින් ඉහළ දැමීම යි. මේ මගින් අනපේක්ෂිත ගෝලීය ආර්ථික කම්පනයක් හට ගැනිණ. සංවර්ධනය වන රටවල් විසින් තම රටවල පැවති විදේශ ආයෝජනය ඇමෙරිකාවට ඉවත්ව යාම වැලැක්වීම සඳහා තරඟකාරී ලෙස පොලී අනුපාතයන් ඉහළ දැමීමේ රැල්ලක් හට ගත් අතර එසේ පොලී අනුපාතයන් ඉහළ දැමීමේ මුළු සංඛ්‍යාව 95 ක් පමණ විය.

සමහර මහ බැංකු විසින් දෙතුන් වතාවක් පොලී අනුපාතය ඉහළ දමන ලදි. සමහර රටවල විදේශ මුදල් අර්බුදයන් ද හට ගෙන විනිමය අනුපාතයන් දැඩි ලෙස අවප්‍රමාණය විය. ඊට හොඳම උදාහරණය තුර්කිය යි. 2018 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ද එසේ විදේශ ආයෝජනයන් ඉවත්ව යාම සහ  මුදල් අවප්‍රමාණය හේතු කොට දැඩි ආර්ථික කම්පනයකට මුහුණ දුනි. එබැවින්, මෙම ඇමෙරිකානු මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්ති කම්පනය හේතු කොට ඇමෙරිකාවේ පමණක් නොව ගෝලීය ආර්ථික වර්ධනය ද පහළ යන ලදි.

එබැවින්, ඇමෙරිකානු ජනාධිපතිගේ නිර්දය විවේචනයට ඇමෙරිකානු මහ බැංකුව ලක් වූ අතර මහ බැංකුව විසින් 2019 ආරම්භයේ දී පොලී අනුපාතය ඉහළ දැමීම අත්හිටුවා, 2019 ජුලි මාසයේ සිට නැවත පොලී අනුපාතය පහළ දමමින් මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කරන ලදි. ඇමෙරිකානු මහ බැංකු සභාපති විසින් මෑතක දී පැවසුවේ එසේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම අත්වැරැද්දක් බවත්, එම වරද මෙම අවස්ථාවේ සිදු නොකරන බවත් ය.

එසේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමට හේතුව වූයේ 2007-2009 මූල්‍ය අර්බුදය හේතු කොට දශකයක පමණ කාලයක් තුළ අනුගමනය කළ අති ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් නුදුරු අනාගතයේ දී උද්ධමනය ඉහළ යා හැකි බවට මූල්‍ය වාදී සංකල්පය මත ගොඩ නැගුන හුදු විශ්වාසය යි. එහෙත්, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමට පෙර 2015 සහ 2016 වර්ෂවල උද්ධමනය මහ බැංකු ඉලක්කය වූ 2% ට වඩා බොහෝ පහළ විය. 2017 සහ 2018 වර්ෂවල පොලී අනුපාතයන් ඉහළ දැමුව ද උද්ධමනය 1.6%-2.9% මට්ටමට ඉහළ යන ලදි. එබැවින්, මෙම මූල්‍ය ප්‍රතිපත්තිය පදනම් විරහිත එකක් විය.

එසේම, එම අවස්ථාවේ අනෙක් සංවර්ධනය වන රටවල මහ බැංකු විසින් ද අති ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළ ද ඒවා දැඩි කිරීම සිදු කළේ නැත.

එහෙත්, මෙවර ඇමෙරිකානු මහ බැංකුව විසින් 2022 මාර්තු මස 15 දින පොලී අනුපාතය ඉහළ දැමීම ආරම්භ කරනු ලැබුවේ උද්ධමනය 2021 මාර්තු මස සිට ඉලක්ක 2% ඉක්මවා අඛණ්ඩව ඉහළ ගොස් එය පෙබරවාරි මස 7.9% ට ද වඩා ඉහළ යාමෙන් පසුව ය. එසේම, අනෙක් සංවර්ධිත රටවල මහ බැංකු විසින් ද මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරන බවට සංඥාවන් නිකුත් කල අතර එංගලන්ත මහ බැංකුව විසින් 2021 දෙසැම්බර් මස 15 දින පොලී අනුපාතය 0.15% කින් ද, 2022 පෙබරවාරි 2 දින තවත් 0.25% කින් ද 0.50% දක්වා ඉහළ දැමීම කරන ලදි.

එබැවින්, මෙවර මූල්‍ය ප්‍රතිපත්තිය සංවර්ධිත රටවල් පුරා ක්‍රමිකව දැඩි කිරීම ඉදිරි වර්ෂ කිහිපය තුළ සිදු වනු ඇත. ඊට හේතුව, පසුගිය දශක හතර තුළ මුහුණ දෙන ඉහළම උද්ධමන රැල්ල ලෙස මෙය සැලකෙන බැවිනි.

එහෙත්, පසුගිය ඇමෙරිකානු මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ අත්දැකීම දෙස බලන විට වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම හේතු කොට ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වන අතර උද්ධමනය පාලනය කිරීමේ සහතිකයක් ද සැපයිය නොහැකිය.

ඉදිරි ආර්ථික අගාධය වැලැක්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගත යුතු කඩිනම් විකල්ප ප්‍රතිපත්ති නිර්දේශය

  • වත්මන් පොදුජනයා මුහුණ දෙන ආර්ථික දුක

දැනට ආර්ථිකය මුහුණ දෙන උග්‍ර විදේශ මුදල් හිඟයේ වත්මන් තත්ත්වය, ඊට හේතු වූ ව්‍යුහාත්මක ආර්ථික සහ සංචිත කළමනාකරණ දුබලතාවන් සහ විදේශ මුදල් හිඟය හේතු කොට ආර්ථිකය සහ පොදුජන ජීවිතයේ කඩා වැටීම පිළිබඳ ව දැන් මහජනතාවට හොඳ අවබෝධයක් ඇත. රජය විසින් චීනය, ඉන්දියාව, බංගලිදේශය වෙතින් දිගින් දිගට අතමාරු විදේශ ණය ලබා ගැනීම හරහා අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සහ ඖෂධ ආනයනය කිරීම පසුගිය මාස කිහිපය තුළ සිදු කළ අතර තවදුරත් ණය ලබා ගැනීමට නොහැකි සීමාවට දැන් පැමිණ ඇති බැවින් ඉදිරි මාස කිහිපය තුළ එම ආනයනවල දැඩි හිඟයක් හට ගනු ඇත.

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් මානුෂීය ආධාර ලබා ගැනීමට දැනට ක්‍රියා කොට ඇත. එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා ඇති මූල්‍ය වැඩසටහන රටේ පවතින උග්‍ර දේශපාලනික අස්ථායීතාවය/අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගත කොට ණය තිරසරභාවය ඇති කිරීමට කාලයක් ගත වීම හේතු කොට සෑහෙන කාලයක් ප්‍රමාද වනු ඇත. එබැවින්, මානුෂීය ආධාර ඉල්ලමින් ලෝකය පුරා යාමට රජයට සහ රාජ්‍ය නොවන සංවිධානවලට ඉදිරියේ දී සිදු වනු ඇත. මහ බැංකුව විසින් ද ආර්ථිකය ගොඩ නැංවීම සඳහා තම මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකොට මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ආනයනය සඳහා ආධාර දෙන ලෙස විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන් ආයාචනය කොට ඇත.

එබැවින්, පසුගිය දශක ගණනාවක් තුළ ඉහළ ජීවන තත්ත්වයක් ගොඩ නගා ගත් ශ්‍රී ලංකාව දැන් ලෝකයේ දිළිඳු ආධාර මත ජීවත් වන දුප්පත් ජාතියක් බවට පත් වී ඇත. වත්මන් දේශපාලනික සහ ප්‍රතිපත්ති අස්ථායීතාවය හේතු කොට ඉදිරියේ දී දේශීය ආහාර හිඟයක් ද හට ගෙන සාගතයක් හට ගැනීමේ දැඩි අවදානමක් ද පවතී. උග්‍ර ඉන්ධන හිඟය සහ 30% මට්ටම ද  ඉක්මවා යන නිල උද්ධමනය හේතු කොට ජන ජීවිතය කඩා වැටී දරිද්‍රතාවය ව්‍යාප්ත වෙමින් පවතී. විදේශ මුදල් හිඟය හේතු කොට විනිමය අනුපාතය මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති අතර කළුකඩ විනිමය අනුපාතය ඩොලරයක් රුපියල් 425 පමණ දක්වා අවප්‍රමාණය වී ඇත.

  • වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමෙන් හට ගෙන ඇති ආර්ථික අවපාතය

ආර්ථිකයේ පවතින සැපයුම් අවහිරතාවන්, ආනයන හිඟය, දැනට 80% ක පමණ බැංකු විනිමය අනුපාතය අවප්‍රමාණය (2022 මාර්තු 7 දින සිට) සහ දැඩි ආර්ථික අස්ථායීතා අපේක්ෂණයන් වැනි ව්‍යුහාත්මක සාධක හේතු කොට හට ගෙන ඇති අධි උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා ඉහත දැක්වූ පරිදි මූල්‍ය වාදය පිළි ගන්නා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය සීග්‍රයෙන් දැඩි කොට ඇත. 2021 අගෝස්තු මැද සිට මේ දක්වා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් ද, හතර වරක දී මහ බැංකු පොලී අනුපාතය 9% කින් ද ඉහළ දමා ඇති අතර බැංකු පද්ධතියෙන් විශාල මුදල් ප්‍රමාණයක් අවශෝෂණය කිරීම හේතු කොට මූල්‍ය වෙළෙඳපොළේ දැඩි මුදල් හිඟයක් හට ගෙන ඇත.

පසුගිය අප්‍රේල් 8 දින මහ බැංකු පොලී අනුපාතය එකවර 7% කින් ඉහළ දැමීම ආර්ථිකයට එල්ල කරන ලද මරු පහරක් වී ඇත. ඒ හේතු කොට රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් 25% දක්වා 12%-13% කින් ඉහළ ගිය අතර 2021 අගෝස්තු මස සිට ඉහළ යාම 19% ක් පමණ වෙයි. එබැවින්, ණය මත දුවන රජය පවත්වා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් හට ගෙන ඇත. මෙතරම් ඉහළ පොලී අනුපාතයන් මත ණය ගැනීමට සිදු වීමෙන් අපනයන ඇතුළු ව්‍යාපාරික කර්මාන්තයන් කඩා වැටෙන බව කිව යුතු නැත.

මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් ආර්ථික දැඩි අවපාතයට මුහුණ දීමට සිදු වන අතර අපනයන අංශය කඩා වැටීමෙන් දැනට පවතින විදේශ විනිමය ලැබීම ද කඩා වැටෙනු ඇත. එබැවින්, ආර්ථිකය ප්‍රතිසංවිධානය කොට ශ්‍රී ලංකාවට නැවත ගෝලීය මූල්‍ය වෙළෙඳපොළට ඇතුළු වී විදේශ ආයෝජන හරහා විදේශ මුදල් ප්‍රවාහයක් ඉදිරි වර්ෂයන් තුළ නැවත ගොඩ නැගීමේ අපේක්ෂාවන් බොඳ වී යනු ඇත. ඉහත දැක්වූ පරිදි සංවර්ධිත රටවල ඉදිරි වර්ෂ කිහිපය තුළ අපේක්ෂිත මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම තුළින් ජාත්‍යන්තර සංචිත මුදල් හිඟය සහ පොලී අනුපාතයන් ඉහළ යාම හේතු කොට ශ්‍රී ලංකාව වැනි රටවලට විදේශ ආයෝජන ලබා ගැනීම මෙන්ම දිළිඳු ආධාර පැතීම ද ඉතා දුෂ්කර වනු ඇත. එබැවින්, දැනට මෙන් ඉදිරි ආර්ථික අවපාතය ද විඳීමට සිදු වනුයේ පොදුජනයා ට ය.

  • කඩිනම් ඉලක්කගත රාජ්‍ය මුල්‍ය සහ මුල්‍ය ප්‍රතිපත්ති කට්ටලයක අවශ්‍යතාවය

එබැවින්, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් විදේශ ණය සහ ආධාර පසුපස යමින් මහජනයා රැවටීම නවතා, භුමියේ ඉදිරි සත්‍යය ප්‍රකාශ කොට, ආර්ථික අවපාතයට මුහුණ දීම සඳහා දේශීය සම්පත්වලින් නැගී සිටීමට උපකාරී වන කඩිනම් රාජ්‍ය මුල්‍ය සහ මුල්‍ය ප්‍රතිපත්ති කට්ටලයක් ක්‍රියාත්මක කිරීම කළ යුතුය. මෙහිදී, වගකීම පවතින්නේ විවිධ මහජන බලතල පැවරී ඇති රාජ්‍ය ආයතන සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් වෙත ය. එය සිදු නොවේ නම් ඔවුන්ට එරෙහිව ද ඉදිරියේ දී සමාජ විරෝධය සහ වෛරය හට ගත හැකිය.

ප්‍රතිපත්ති කට්ටලය සඳහා කෙටි මාර්ගෝපදේශයක් පහත දැක්වෙයි.

දැනටමත් අසමත් වී ඇති වත්මන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයන්ගෙන් ඉවත් වී දේශීය නිෂ්පාදන, ආනයන ආදේශන සහ අපනයන නිෂ්පාදන අංශයන් ඉලක්ක කොට උත්තේජනයන් සැපයීම කළ යුතුය. මෙහිදී, පහළ පොලී අනුපාතයන් යටතේ මැදි කාලීන ණය, බදු සහන සහ ප්‍රවර්ධන සේවාවන් සැපයීම අවශ්‍ය වෙයි. මෙය මූලික වශයෙන් දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම සහ ජාත්‍යන්තර වෙළෙඳ අතිරික්තය ඉලක්ක කොට ක්‍රියාත්මක කළ යුතුය.

සියළු මහා පරිමාණ ඉඳිකිරීම් අත්හිටුවා දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනය කඩිනමින් ඉහළ නැංවිය යුතුය. එමගින්, ආහාර උද්ධමනය පහළ දැමීම සහ සාගතය වලක්වා ගැනීම කළ හැකිය.

මෙතෙක් සිදු කළා මෙන් දේශපාලනික හිතවතුන් අතර ජාතික සහ ප්‍රාදේශීය නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ ආර්ථිකය බෙදා ගැනීමේ ප්‍රතිපත්තිවලින් ඉවත් වී පුළුල් වෙළෙඳපොළ තරගයට ඉඩ දිය යුතුය. එමගින්, රාජ්‍ය අයවැය විනය ඉහළ ගොස් පෞද්ගලික අංශයේ නවෝත්පාදනය සහ කාර්යක්ෂමතාවය ඉහළ යනු ඇත.

මීට හොඳම උදාහරණය චීනය යි. බොහෝ රටවල් උද්ධමනය පාලනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කළ ද, චීනය විසින් එය ලිහිල් කරමින් ආර්ථිකයේ ඉලක්ක නිෂ්පාදන අංශයන් වෙත සහන දා යී බැංකු ණය ව්‍යාප්ත කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරේ.

  • ඉහළ රාජ්‍ය නිලධාරීන් ඉල්ලා අස්වීමේ මානසික රෝගය

එහෙත්, සමහර ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් විසින් තම මහජන බලතල සහ පහසුකම් බුක්ති විඳීමෙන් පසුව රටේ පවතින දේශපාලනික අස්ථායීතාවය හේතු කොට තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොහැකි බව දක්වමින් තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවක් හට ගෙන ඇත. එය මහජන විරෝධී ක්‍රියාවක් වන අතර ඔවුන් ප්‍රතිපත්ති අභියෝගයන් දැරිය හැකි වෘත්තිකයන් නොවනු ඇත. සමහරු විසින් එම තනතුරු දේශපාලනික අස්ථායීතාවය තුළ ලබා ගෙන ජාතික වීරයන් ලෙස ඉදිරිපත් විය.

ශ්‍රී ලංකාවේ සිටින දේශපාලනික නායකයන්ගේ හැසිරීම් රටාව දෙස බලන විට වත්මන් දේශපාලනික අස්ථායීතාවය ඉවත් කිරීමට ඉදිරි වසර ගණනාවක් ගත වනු ඇත. දේශපාලනික ස්ථායීතාවය ඇති කළ දවත්මන් ගෝලීය ආර්ථිකය තුළ ආර්ථික ස්ථායීතාවය නැවත ඇති කිරීම සඳහා දේශපාලනික නායකයන් දෙවිවරුන් නොවේ. එබැවින්, පොදුජනයා මුහුණ දෙන ආර්ථික අගාධය වැලැක්වීමට එතෙක් බලා සිටිය නොහැකිය. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් විසින් ප්‍රතිපත්ති ගත යුතු අතර ඒ සඳහා නෛතික බලතල අදාළ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් හරහා ඔවුන් වෙත ලැබී ඇත.

මෙහිදී, මහ බැංකු වැනි ආයතනවලට තම මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ස්වාධීනව කළ හැකි බැවින් දේශපාලනික අස්ථායීතාවය ඔවුන්ට නිදහසට කරුණක් නොවේ. විශේෂයෙන් මහ බැංකුව විසින් ආර්ථිකයේ පවතින සියළු අවදානම් සහ අස්ථායීතාවයන් සැලකිල්ලට ගෙන ආර්ථික ස්ථායීතාවය සඳහා තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා පුර්ණ අභිමතය සහ සම්පත් මහ බැංකුව වෙත පවතී.

එබැවින්, පත්වීම ලබා මාසයකින් පසුව දේශපාලනික අස්ථායීතාවය ගෙන හැර දක්වමින් ඉල්ලා අස්වන බවට වත්මන් මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කිරීම විහිළු සහගත වෙයි. එසේම, මීට පෙර මාස 6 ක පමණ කාලයක් අධිපතිකම දැරීමෙන් පසු ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීමේ හේතුව දක්වා අධිපතිකමින් ඉල්ලා අස්වීම ද හාස්‍ය ජනක වෙයි.

මෙහිදී, අප අමතක නොකළ යුත්තේ "සොරා රා බීමට කිතුලට නැග්ග මිනිහටත් හේතුවක් තිබු" බව යි. එහෙත්, පොදුජනයා මෙවැනි ආර්ථික අගාදයකට පත් වීම ඉදිරියේ ඔවුන්ට අත්‍යවශ්‍ය මහජන සේවා සැපයීමෙන් ඉවත්වීම සඳහා එවැනි පෞද්ගලික හේතු වලංගු නොවේ. ඵබැවින්, මහජන මුදලින්  මොවුන්ට අධ්‍යාපනය ලබා දීම ද රටට පාඩුවක් බව කිව යුතු නොවේ.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)


පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 
(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

 

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි