රට ස්ථායී කිරීමට පළමුව මහ බැංකුව ස්ථායී කරමු. ඒ ඇයි?

 


මෙම ලිපියේ අරමුණ වනුයේ පසුගිය 11 දින මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති විසින් ආර්ථිකය නැවත ස්ථායීකරණය සඳහා මහ බැංකුවට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකි වන ලෙස රටේ දේශපාලනික ස්ථායිතාවය ඇති කර දෙන ලෙස ඉල්ලා සිටීමත්, ඉදිරි සති දෙක තුළ එය සිදු නොවුව හොත් තමාට ඉල්ලා අස්වීමට සිදු වන බවටත්, මෙම තත්ත්වය තුළ තමාට පමණක් නොව කිසිවෙකුට මෙම තනතුරේ කටයුතු කළ නොහැකි බවටත් දක්වන ලද අදහස්වල සාවද්‍යතාවය පරීක්ෂණ දත්ත මගින් කෙටියෙන් දැක්වීම යි.

දත්ත දෙස බැලීමේ දී රටේ වත්මන් අර්බුදයේ මූලය මහ බැංකුවේ ප්‍රතිපත්ති අස්ථායීතාවය සහ අසමත් වීම වන අතර වත්මන් මහ බැංකු අධිපතිගේ ක්‍රියාකලාපය හේතු කොට එය තවත් ත්‍රිවු වී ඇත. එබැවින්, රට ස්ථායී කිරීමේ පළමු පියවර වන්නේ තම ව්‍යවස්ථාපිත මහජන වගකීම් ඉටු කිරීමට හැකි වන පරිදි කඩිනමින් මහ බැංකුව ස්ථායී කිරීම යි. 

ඊට පසුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ අනෙක් රාජ්‍ය ආයතනවල ද සහයෝගය ඇතුව ආර්ථිකය ඉදිරි වසර කිහිපය පුරා ස්ථායී කළ හැකි අතර එමගින් අවස්ථාවාදී දේශපාලනික ස්ථායිතාවය නිතැතින් ඇති වනු ඇත.

මහ බැංකු අස්ථායීතාවය

මහ බැංකුවේ තීරණ ගැනීම මුදල් මණ්ඩලය වෙත සංකේන්ද්‍රණය වී ඇති අතර මහ බැංකුව සහ මූල්‍ය ආර්ථිකය පිළිබඳ ව ඒකාධිපති ස්වරුපයේ බලතල මහ බැංකු අධිපතිට ලැබී ඇත. අධිපතිගේ සහ මුදල් මණ්ඩලයේ නිල කාලය වසර 6 කි. එහෙත්, 2016 ජුලි මස ආරම්භ වූ වසර 6 යේ නිල කාලය තුළ අධිපති වරුන් 4 දෙනකු පත් වී ඇත. වත්මන් 4 වැනි අධිපති ද ඉවත් වීමට සැරසෙයි. එසේ වූවොත් අධිපතිවරුන් ලේඛනය 5 ක් දක්වා ඉහළ යනු ඇත.

අධිපති හැර ඉතිරි මුදල් මණ්ඩල සාමාජිකයන් 4 දෙනෙකු වන අතර මෙම කාලය තුළ මුදල් මණ්ඩල සාමාජිකයන් 7 දෙනෙකු ඉවත් වී ගොස් ඇත. එසේම, නියෝජ්‍ය අධිපතිවරුන් 7 දෙනෙකු විශ්‍රාම ගොස් ඇත. නියෝජ්‍ය අධිපතිවරුන් වෙත ප්‍රතිපත්ති බලතල නොමැති වුව ද, මහ බැංකුව තුළ වැදගත් ප්‍රතිපත්ති සහ පරිපාලන උපදේශන කාර්යයක් ඔවුන් විසින් ඉටු කෙරේ. ප්‍රතිපත්ති තීරණ ගන්නා දෙපාර්තමේන්තු ප්‍රධානීන් බොහෝ සංඛ්‍යාවක් විශ්‍රාම ගැනීම හෝ අධිපති තීරණයෙන් ස්ථාන මාරුකිරීම් නිරන්තරයෙන් සිදු වෙයි.

එබැවින්, වසර 6 ක කෙටි කාලය තුළ මෙතරම් ඉහළ නිල තල වෙනස් වන ආයතනයක අස්ථායීතාවය සහ එහි කාර්යසාධනය කුමක් ද? යන්න කිව යුතු නැත.

  • අප්‍රේල් මස 7 දින පත් වූ නව අධිපතිගේ හැසිරීම තුළින් හට ගත් අස්ථායීතාවය

මහ බැංකු අධිපති විසින් පසුගිය 11 දින, එනම් පත් වී යාන්තම් මාසයකට පසු, විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කරනු ලැබුවේ ඉදිරි සති දෙක තුළ රට තුළ දේශපාලනික ස්ථායීතාවයක් ඇති නොකළ හොත් තමා දුරයෙන් ඉවත්ව යන බව යි. ඔහු විසින් ආර්ථිකය තවත් අර්බුදයට පත් වී ඇති තත්ත්වය පිළිබඳ ව විදේශ මුදල් හිඟය, අත්‍යවශ්‍ය ආනයන හිඟය, ඉන්ධන හිඟය, ඉදිරියේ දී ඇති විය හැකි විදුලි කප්පාදුව වැනි අංශ හුවා දක්වමින් අදහස් දක්වා ඇත. එම බොහෝ අංශයන් මහ බැංකුවේ ප්‍රතිපත්ති විෂය පථයට අයත් ඒවා නොවන අතර එම ගැටළු සියල්ල මහ බැංකු ප්‍රතිපත්ති වැරදි නිසා හට ගෙන ඇත. එබැවින්, ඉදිරි විදුලි කප්පාදුව පිළිබඳ ව ඔහු විසින් කරන ලද  ප්‍රකාශනය දැනටමත් මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

මහ බැංකු අධිපති විසින් අප්‍රේල් මස 7 දින නව තනතුර භාර ගත්තේ වත්මන් අර්බුදය සහ එය ඉහළ යාමේ අවදානම් මැද බව ඕනෑම කෙනෙකුට තේරෙන නොරහසකි. එබැවින්, ඔහු විසින් රාජකාරි භාර ගැනීම සමාජ මාධ්‍ය ජාල වාර්තාවන්වල ව්‍යාප්ත වූයේ පොදුජනයා/ශ්‍රී ලංකාව මෙම ඓතිහාසික අර්බුදයෙන් බේරා ගැනීමට තවුතිසාවෙන් මෙරටට ගොඩ බසින ලද දෙවි කෙනෙකු ලෙස ය.

අප්‍රේල් මස 8 දින පැවැත් වූ මාධ්‍ය හමුවල දී ඔහු විසින් වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රථමයෙන් දොස් පැවරුවේ හිටපු මහ බැංකු අධිපති වරුන් සහ මුදල් මණ්ඩලයට යි. මෙහිදී, නූතන මූල්‍ය න්‍යාය සහ දේශීය ආර්ථික මොඩලයක් අනුව මුදල් මුද්‍රණය කිරීම හේතු කොට අධි උද්ධමනය සහ විදේශ මුදල් හිඟය හට ගෙන ඇති බවත්, ඉදිරියට මුදල් මුද්‍රණය පාලනය කරන බවත්, මුදල් මුද්‍රණය සඳහා මහ බැංකුව විසින් මෙතෙක් මිල දී ගෙන ඇති භාණ්ඩාගාර බිල්පත් තොගය ඉදිරියේ දී ක්‍රමයෙන් පහළ හෙළන බවත්, ස්වාධීනව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත් ඔහු විසින් දක්වන ලදි. එසේම, ඔහුගේ ජාත්‍යන්තර සබඳතාවන් මත IMF එකෙන් සීග්‍ර ණය වැඩසටහනක් ලබා ගෙන විදේශ මුදල්/සංචිත ප්‍රශ්නය ඉක්මනින් විසඳන බවට ද ඔහු විසින් මහජනයා වෙත විශ්වාසයක් ඇති කරන ලදි.

එහෙත්, මහ බැංකු අධිපති විසින් පසුගිය 11 දින කරන ලද ප්‍රකාශය අනුව පෙනෙන්නේ, මහ බැංකුවේ ව්‍යවස්ථාපිත පොදුජන වගකීම් සහ කාර්යසාධනය පිළිබඳ ව ඔහුට අවබෝධයක් නොමැති බවත්, පසුගිය මාසයක කාලය තුළ ඔහුගේ මහ බැංකු භූමිකාව අසාර්ථක වී ඇති බවත්, වත්මන් ශ්‍රී ලංකාවේ පොදුජන හිතසුව පිණිස ජාතික අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාවක් ඔහුට නොමැති බවත් ය.

එබැවින්, මෙවැනි අධිපති කෙනෙකු හරහා මහ බැංකුව හෝ ආර්ථිකය ස්ථායී  කළ හැකි බවට විශ්වාසයක් තැබිය නොහැකිය. සමස්තයක් ලෙස ගත් විට ඔහු ඉල්ලා අස්වීමට සැරසීමේ ප්‍රකාශය "සොරාට රා බීමට කිතුලට නැගි මිනිසා විසින් දැක්වූ හේතුව" ට නොදෙවෙනි වෙයි.

මහ බැංකුවේ ව්‍යවස්ථාපිත භූමිකාවට දේශපාලනය අවශ්‍ය ද?

මහ බැංකුවේ ව්‍යවස්ථාපිත අරමුණු වනුයේ රටේ ආර්ථික සහ මිල ස්ථායීතාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගෙන යාම යි. ඒ සඳහා මහ බැංකුව වෙත මුදල් මුද්‍රණය ඇතුළු මූල්‍ය ප්‍රතිපත්තිය සහ බැංකු, මූල්‍ය ආයතන සහ ගෙවුම් පද්ධති නියාමනය පැවරී ඇත. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් ඉමහත් ස්වාධීනත්වය මහ බැංකුව වෙත පවතින අතර මුදල් ඇමතිගේ අනුමැතිය අවශ්‍ය වන්නේ කළාතුරකිනි. මුදල් මුද්‍රණයට මුදල් පනතේ ප්‍රතිපාදනයන්ට යටත්ව පුර්ණ ස්වාධීනත්වය මහ බැංකුව සතු වෙයි.

ඒ අනුව, මහ බැංකුවේ භූමිකාව වන්නේ ආර්ථිකය මුහුණ දෙන විවිධාකාර ගැටළු සහ අවදානම් සැලකිල්ලට ගෙන ඊට සරිලන ලෙස ආර්ථිකයේ මූල්‍ය තත්ත්වය පවත්වා ගෙන යාම යි. ඊට හේතුව, ආර්ථිකය මුදල්/ණය මත ක්‍රියාත්මක වන බැවිනි. එබැවින්, මහ බැංකුවේ භූමිකාව පවත්වා ගෙන යාම සඳහා දේශපාලනික ස්ථායීතාවය අවශ්‍ය බව මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කිරීම පදනම් විරහිත ය. ශ්‍රී ලංකාවට වඩා දේශපාලනික ගැටුම් පවතින රටවල ද මහ බැංකු ක්‍රියාත්මක වෙයි.

උදාහරණ ලෙස රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව බටහිර රටවල් විසින් පනවා ඇති වෙළෙඳ සහ මූල්‍ය සම්බාදකයන් හේතු කොට රුසියානු ණය සහ මූල්‍ය ක්‍රමය අක්‍රීය වෙමින් පවතින අතර එය ස්ථායී කිරීමට හැකි වන ලෙස යුද්ධය නවත්වන ලෙස රුසියානු මහ බැංකු අධිපතිනිය විසින් ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා නැත. ඇය විසින් නව මූල්‍ය ගනුදෙනු පද්ධතියක් හඳුන්වා දීමට ක්‍රියා කරමින් පවතී.

එහෙත්, මහ බැංකුව විසින් ජනාධිපති, අගමැති සහ මුදල් ඇමති ඇතුළු දේශපාලන නායකයන්ගේ ප්‍රසාදය දිනා ගැනීම සඳහා ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීම සහ ඔවුන් ඇසුරු කිරීම කෙරේ නම්, දේශපාලන අස්ථායිතාවය මහ බැංකුවට ගැටළුවක් ලෙස පෙනෙනු ඇත. සමහර විට මහ බැංකු අධිපතිගේ ප්‍රකාශයට හේතුව මෙය විය හැකිය.

මීට පෙර අප්‍රේල් 4 දින ඉල්ලා අස්වූ මහ බැංකු අධිපති විසින් ඊට හේතුව ලෙස දැක්වූයේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම යි. එහෙත්, මහ බැංකු අධිපති යනු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු නොවේ. එබැවින්, සත්‍ය හේතුව වූයේ ඔහු විසින් ගන්නා ලද වැරදි මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට ගෙන දැල්වුන නව ආර්ථික අර්බුදයේ වගකීමෙන් පැන යාම යි.

වත්මන් ආර්ථික අර්බුදයේ මූල සාධකය - මහ බැංකුවේ විදේශ සංචිත සහ විනිමය අනුපාතය පිළිබඳ මූල්‍ය නීති උල්ලංඝනය

වත්මන් ආර්ථික, සමාජීය සහ දේශපාලනික අර්බුදයේ මූල සාධකය වනුයේ ප්‍රධාන වශයෙන් මහ බැංකුව විසින් තම මූල්‍ය ප්‍රතිපත්තියේ විදේශ මූල්‍ය ප්‍රතිපාදනයන් උල්ලංඝණය කිරීම යි. එනම්, විදේශ මුදල් සංචිතය කඩා වැටීම, විනිමය අනුපාතය අවකළමනාකරණය සහ රාජ්‍ය ණය අවකළමනාකරණය කිරීම යි. මේවා පිළිබඳ ව විශේෂ ප්‍රතිපාදනයන් සහ වගකීම් මුදල් නීති පනත යටතේ මහ බැංකුව වෙත පැවරී ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් ඓතිහාසික අර්බුදය විදේශ මුදල් සහ ණය අර්බුදයෙන් ජනිත වී ඇති බව ඕනෑම කෙනෙකු දනී. එනම්, මහ බැංකුව විසින් තම විදේශ මූල්‍ය නීති උල්ලංඝණය කිරීම යි.

එහෙත්, මහ බැංකුව විසින් තම වරද වසා ගැනීම සඳහා රජයට, ආනයන කරුවන්ට, අපනයන කරුවන්ට, විදේශ සේවා නියුක්තිකයන්ට සහ මහජනතාවට දොස් එල්ල කිරීම දැකිය හැකිය. එබැවින්, මහ බැංකුව විසින් මෙම අවස්ථාවේ කළ යුත්තේ එම දෝෂාරෝපයන් නවතා ස්වයං විවේචනයක් තුළින් වහාම තම වැරදි නිවැරදි කිරීම සඳහා නව්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ගැනීම යි. මහ බැංකු අධිපති ඉල්ලා අස් වන බවට මාධ්‍ය සංදර්ශනයන් පැවැත්වීම නව්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නොව පොදුජන වගකීම් විරහිත ප්‍රකාශයකි.

අප්‍රේල් 8 දින ප්‍රතිපත්ති පොලී අනුපාතය ඓතිහාසික ලෙස එකවර 7% කින් ඉහළ දැමීමෙන් ආර්ථිකයට වැදුන මරු පහර

පසුගිය අප්‍රේල් 8 දින මහ බැංකු පොලී අනුපාතය එකවර 7% කින් ඉහළ දැමීම ආර්ථිකයට එල්ල කරන ලද මරු පහරක් වී ඇත. මෙම ඉහළ දැමීම කරන ලද්දේ 2021 අගෝස්තු මැද සිට මේ දක්වා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් ද, තෙවරක දී මහ බැංකු පොලී අනුපාතය 2% කින් ද ඉහළ දමා, බැංකු පද්ධතියෙන් විශාල මුදල් ප්‍රමාණයක් අවශෝෂණය කොට ඇති දැඩි හෝ සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්ති තත්ත්වයක් තුළ ය.

මෙය ආර්ථිකයේ පවත්නා අධි උද්ධමන පීඩනය පාලනය කිරීම පිණිස පැරණි මූල්‍ය වාදය පිළි ගැනීම මත ගන්නා ලද ප්‍රතිපත්තියකි. එහෙත්, වත්මන් අධි උද්ධමන පිඩනයට සැබෑ හේතු වනුයේ ආර්ථිකයේ පවතින සැපයුම් අවහිරතාවන්, ආනයන හිඟය, අධික විනිමය අනුපාත අවප්‍රමාණය සහ දැඩි ආර්ථික අස්ථායීතා අපේක්ෂණයන් වැනි ව්‍යුහාත්මක සාධකයන් වන අතර මෙය දැනට ඉහළ යන ගෝලීය උද්ධමන පීඩනයේ පැතිරීමක් ලෙස හට ගෙන ඇත.

එබැවින්, මෙම දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට ණය මත දුවන රජය පවත්වා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් හට ගෙන ඇත. උදාහරණ ලෙස රාජ්‍ය ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ පොලී අනුපාතයන් මෙතෙක් 24% දක්වා 18% කින් පමණ ඉහළ ගොස් ඇත. මහ බැංකු දත්ත අනුව, රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි ලංසුවල පොලී අනුපාතයන් 24% සිට 37% දක්වා ඉහළ පරාසයක වාර්තා වෙයි.

මෙතරම් ඉහළ පොලී අනුපාතයන් මත ණය ගැනීමට සිදු වීමෙන් අපනයන ඇතුළු ව්‍යාපාරික කර්මාන්තයන් ද ඉදිරියේ කඩා වැටෙන බව කිව යුතු නැත. මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් ආර්ථිකය තවත් අගාධයට වැටෙන අතර අපනයන අංශය කඩා වැටීමෙන් දැනට පවතින විදේශ විනිමය ලැබීම ද කඩා වැටෙනු ඇත.  මෙතරම් ඉහළ පොලී අනුපාතයන් බංකොලොත් ආර්ථිකවල ලක්ෂණයකි.

අප්‍රේල් මස 11 දින රාජ්‍ය විදේශ ණය පැහැර හැරීම

අප්‍රේල් මස 11 දින මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් එදින සිට රාජ්‍ය විදේශ ණය සේවාකරණය අත්හිටුවන බව දැනුම් දෙන ලදි. මෙය මහ බැංකුවේ විදේශ සංචිතය කඩා වැටීම හේතු කොට විශේෂයෙන් ඉදිරියේ දී නියමිත ස්වෛරිත්ව බැඳුම්කර ණය සේවාකරණය මග හැරීම සඳහා කරන ලදි. පසුගිය වසර 72 ක කාලය තුළ රාජ්‍ය ණය කළමනාකරු, ෆිස්කල් නියෝජිත සහ මූල්‍ය උපදේශක ලෙස මහ බැංකුව ක්‍රියා කොට ඇත. 

ස්වෛරිත්ව බැඳුම්කර උගුලට රජය හසු කළේ මහ බැංකුව විසිනි. එනම්, මහ බැංකු සංචිතය රැස් කිරීමේ අරමුණින් වාර්ෂිකව ජාත්‍යන්තර ආයෝජන බැංකු සමඟ එකතු වී ස්වෛරිත්ව බැඳුම්කර අළෙවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වන අතර එහි පෙරමුණේ සිටියේ වත්මන් මහ බැංකු අධිපති ය. විදේශ සංචිත කළමනාකරණය (විනිමය අනුපාතය ඇතුළුව) ද පසුගිය  දශකයක පමණ කාලය පුරා පැවතියේ ඔහුගේ පාලනය යටතේ ය.

රාජ්‍ය ණය ගැනීම සහ සේවාකරණය රාජ්‍ය අයවැය යටතේ පාර්ලිමේන්තුවේ මුදල් පාලනයට යටත් වන අතර පාර්ලිමේන්තුවේ අවසරයක් නොමැතිව විදේශ ණය සේවාකරණය අත්හිටුවීම තුළින් මහ බැංකුව විසින් වත්මන් 2022 අයවැය ද උල්ලංඝණය කොට ඇත.

බැංකු ද්‍රවශීල අර්බුදයක පෙර සංඥාවන්

ඉහත දැක්වූ අතිශයින් දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට බැංකු සහ මූල්‍ය ආයතන පද්ධතිය අස්ථායී වීමේ පෙර ලකුණු පහළ වී ඇත. 

  • පළමුව, මූල්‍ය පද්ධතිය දැඩි ද්‍රවශීල අරමුදල් හිඟයකට මුහුණ දී ඇත. එබැවින්, බැංකු අතර පවතින ණය ගනුදෙනු විශ්වාසය කඩා වැටීම හේතු කොට පසුගිය දිනවල අන්තර් බැංකු වෙළෙඳපොළ දෛනික ණය පරිමාව ශුන්‍යය දක්වා පහළ ගොස් ඇත. එය 2022 මුල් මාස තුන තුළ සාමාන්‍යයෙන් දිනකට රුපියල් බිලියන 40-70 ක් පමණ විය. මෙසේ අන්තර් බැංකු වෙළෙඳපොළ පහළ යාම බැංකු ද්‍රවශීල අර්බුදයක විශ්වාසී පෙර නිමිත්තකි.

  • දෙවනුව, බැංකු විසින් රාජ්‍ය සුරැකුම්පත් ඇපය මත මහ බැංකුවෙන් දෛනික නිත්‍ය ණය ලබා ගැනීම රුපියල් බිලියන 700-800 පමණ දක්වා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත. එය 2022 මුල් මාස තුන තුළ සාමාන්‍යයෙන් දිනකට රුපියල් බිලියන 450-650 පමණ විය.

  • තෙවනුව, මහ බැංකුවේ ඉල්ලීම මත බැංකු විසින් ස්ථිර තැන්පතු සඳහා පොලී අනුපාතයන් 7% පමණ සිට 14%-16% දක්වා ඉහළ දැමීම හේතු කොට තැන්පතු හිමියන් විසින් පෝලිම්වල සිට තම තැන්පතු අවලංගු කොට නව තැන්පතු ආරම්භ කිරීම තුළින් බැංකුවල අරමුදල් පිරිවැය ක්ෂණිකව ඉහළ ගොස් ඇත.

උග්‍ර විදේශ මුදල් හිඟයකට බැංකු මුහුණ දෙන බව මහ බැංකු අධිපති විසින් ද මෑත දී ප්‍රකාශ කොට ඇති අතර විදේශ වත්කම් සහ වගකීම් අතර ශුද්ධ හිඟයක් පවතින විට දේශීය මුදල් හිඟයක් ද ඒ තුළින් හට ගැනීම සාමාන්‍ය කරුණකි.

මුදල් මුද්‍රණය අඛණ්ඩව ඉහළ දැමීම

මුදල් මුද්‍රණය පිළිබඳ ව මහ බැංකු අධිපති විසින් තනතුර භාර ගැනීමේ දී දේශපාලනික දෝෂාරෝපණයක් කොට මුදල් මුද්‍රණය පහළ දැමීම සඳහා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් කළඹ අඩු කරන බව ප්‍රකාශ කළ ද, ඔහු විසින් ද පැරණි ආකාරයටම මුදල් මුද්‍රණය කිරීම සිදු කෙරේ.

අප්‍රේල් මස 8 දින සිට මැයි 13 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සඳහා වරින් වර මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 88.6 ක් වෙයි. එසේම, මෙම දින දෙක අතර මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගයේ ඉහළ යාම රුපියල් බිලියන 61.3 කි. නූතන මූල්‍ය න්‍යාය අතහැර උද්ධමනය පාලනය කිරීමට කථා කළ ද, මෙසේ රජයට මුදල් මුද්‍රණය කිරීම නූතන මූල්‍ය න්‍යාය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමකි.

එහෙත්, මෙසේ වෙන්දේසිවලින් පිටත සහ ද්විතීය වෙළෙඳපොළෙන් පිටත මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මුදල් නීති පනතට විරෝධී ක්‍රියාවකි.

තවද, නිත්‍ය ණය සැපයීම සහ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රති විකුණුම් හරහා බැංකු වෙත ණය සැපයීම ද ඉහළ ගොස් ඇති බැවින් එමගින් ද මුදල් මුද්‍රණය ඉහළ ගොස් ඇත. එබැවින්මහ බැංකු අධිපති විසින් පිළි ගන්නා මූල්‍ය වාදී සංකල්පයට අනුව උද්ධමනය වත්මන් 30% මට්ටමට ද වඩා ඉහළ යාම සිදු වනු ඇත.

මූල්‍ය නීති උල්ලංඝනය කරමින් විශේෂ මුදල් මුද්‍රණය

මහ බැංකුව විසින් මැයි මස 6 සහ 13 දින මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම මත රජයේ හදිසි වියදම් සඳහා අරමුදල් සැපයීම පිණිස රුපියල් මිලියන 55,279 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්  තමන් වෙත විශේෂ නිකුතු දෙකක් කොට, ඒ සඳහා රුපියල් මිලියන 49,928 ක නව මුදල් මුද්‍රණය කළ බව වාර්තා කොට ඇත. මෙය සම්පුර්ණයෙන් මුදල් නීති පනතට විරෝධී නව මුදල් මුද්‍රණ ක්‍රියාවක් වන අතර මහජනයා වෙත එය දැන්වීමෙන් වැරැද්ද නිවැරදි නොවේ.

මුදල් නීති පනත යටතේ රජයට එවැනි හදිසි ණය සැපයීමට අවසර ඇත්තේ උපරිම මාස 6 ක් සඳහා රජයේ ඇස්තමේන්තුගත වාර්ෂික ආදායමෙන් 10% ක උපරිමයට යටත්ව තාවකාලික අත්තිකාරම් වශයෙනි. එහෙත්, එම අත්තිකාරම් උපරිම සිමාව තෙක් රජය විසින් ණය ලබා ගෙන ඇති බැවින් මෙසේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා නීති විරෝධී ලෙස මුදල් මුද්‍රණය කොට ණය ලබා දී ඇති බව පෙනේ.

මෙය ඉදිරියටත් මුදල් මුද්‍රණය කිරීමේ නව ක්‍රමයක් හෝ පුරුද්දක් වනු ඇත. එබැවින්, ඉදිරියේ දී රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතනවල හදිසි අරමුදල් හිඟයන් පියවීම සඳහා ද මහ බැංකු මුදල් මුද්‍රණ යන්ත්‍රය භාවිතා කොට, ඊට හේතුව ලෙස ආර්ථිකය තවත් කඩා වැටීම වැලැක්වීම දක්වනු ඇත. දැනටමත් සමහර බැංකුවලට එසේ ණය දෙන බව දත්තවලින් පෙනේ.

මූල්‍ය ගනුදෙනු තොරතුරු රහස්‍යභාවය උල්ලංඝනය

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසි සඳහා ඉදිරිපත් කෙරෙන එක් එක් ප්‍රාථමික වෙළෙඳුන්ගේ ලංසු මිල ගණන් මහජනයාට හෙළි කිරීම මහ බැංකුව විසින් පසුගිය දිනවල ආරම්භ කොට ඇත. එය වෙන්දේසි සඳහා මහ බැංකුව විසින් ඉදිරිපත් කෙරෙන මුදල් ප්‍රමාණය ලබා ගැනීමට සමත් නොවන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර පිළිබඳ ව සිදු කෙරේ.

මෙය මහ බැංකුව විසින් පුද්ගලයන්/ආයතන සමඟ සිදු කෙරෙන ගනුදෙනුවල රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු බවට මුදල් නීති පනතේ ඇතුලත් ප්‍රතිපාදනය උල්ලංඝණය කිරීමකි. මූල්‍ය වෙළෙඳපොළ තුළ සංවේදී විය හැකි එවැනි තොරතුරු විගණකාධිපති වෙත ද හෙළි නොකරන බවට නීතිපති උපදෙස් මත ප්‍රතිපත්තියක් මහ බැංකුවේ බොහෝ කාලයක සිට අනුගමනය කෙරේ.

එහෙත්, සේවක අර්ථසාධක අරමුදල විසින් ද වෙන්දේසි සඳහා ලංසු ඉදිරිපත් කළ ද, එම ලංසු මිල ගණන් මෙම හෙළි කිරීමට ඇතුලත් නොවේ. එම අරමුදල මහ බැංකුව යටතේ පාලනය වන බැවින් අරමුදලේ සාමාජිකයන්ගේ පාඩුව හරහා රජයට වාසි දායක වන පරිදි පහළ පොළී ලංසු ඉදිරිපත් කොට අරමුදල් ලබා ගැනීම මීට හේතුව විය හැකිය. සමහර භාණ්ඩාගාර බිල්පත් සඳහා වෙන්දේසියට ඉදිරිපත් කළ මුදලට වඩා කිහිප ගුණයක ලංසු පිළි ගැනීම ද දැකිය හැකිය.

නැවත ස්ථාවර විනිමය අනුපාතයක් බැංකු වෙත නියම කිරීම

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් ලෙස ඉල්ලුම සහ සැපයුම අනුව විනිමය අනුපාතය ක්‍රමයෙන් අවප්‍රමාණය වීමට ඉඩ නොදී, 2021 මැයි මස පමණ සිට ඩොලරය රුපියල් 200 මට්ටමේ ස්ථාවරව පවත්වා ගැනීමත්, ඒ සඳහා මහ බැංකු විදේශ සංචිතය විශාල වශයෙන් වැය කිරීමත් බව පොදු චෝදනාව යි.

ඊට පසුව, පසුගිය මාර්තු 7 දින කිසිම ප්‍රතිපත්ති පැකේජයක රැකවරණය නොමැතිව හදිසියේ විනිමය අනුපාතය පා කිරීම හේතු කොට, එය මාස දෙකක් තුළ 85% කින් පමණ අවප්‍රමාණය වීමෙන් උද්ධමනය අධි උද්ධමනයක් බවට පත් වූ අතර ආර්ථිකය නව අගාධයකට තල්ලු විය. මෙම ප්‍රතිපත්ති වැරැද්ද හිටපු මහ බැංකු අධිපති වෙත විශේෂයෙන් එල්ල වී ඇත.

එහෙත්, නව මහ බැංකු අධිපති විසින් ද නැවත විනිමය අනුපාතය ස්ථාවරව තබා ගත යුතු බවට විධානයක් අද දින (එනම්, මැයි 13 දින) බැංකු වෙත නිකුත් කොට ඇත. එනම්, අන්තර් බැංකු තැන් විනිමය මිල දී ගැනීමේ සහ අළෙවි කිරීමේ ගනුදෙනු සඳහා මධ්‍ය විනිමය අනුපාතය ලෙස ඩොලරය රුපියල් 360 ක් ලෙස ද, ගනුදෙනු කෙරෙන තැන් විනිමය අනුපාතය ඒ මත උපරිම රුපියල් 2.60 කින් ඉහළ හෝ පහළ යා හැකි බව යි.

මෙය ද ඉහත වරද දැන දැනත් නැවතත් සිදු කිරීමකි. ඊට හේතුව, විනිමය වෙළෙඳපොළට මැදිහත් වීම සඳහා මහ බැංකුව සතුව විදේශ සංචිතයක් නොමැතිව විනිමය අනුපාතය පාලනය කළ නොහැකි බව අ.පො.ස. උසස් පෙළ සිසුන් පවා දන්නා සරල ආර්ථික කරුණකි. බැංකු පද්ධතිය ද උග්‍ර විදේශ මුදල් හිඟයකට මුහුණ දෙන බැවින් මාර්තු 7 දිනට පෙර සිදු වූවාක් මෙන් මෙම විනිමය අනුපාතය ද හුදෙක් ගනුදෙනු නොවන රූකඩ විනිමය අනුපාතයක් ලෙස පවතිනු ඇත.

මාර්තු 7 දින සිට බැංකු විනිමය අනුපාතයන් මැයි 12 දින වන විට රුපියල් 364.20-377.50 (සාමාන්‍යය 377.86) දක්වා 85% කින් පමණ අවප්‍රමාණය විය. එහෙත්, ඉහත දැක්වූ අන්තර් බැංකු විනිමය අනුපාතය රුපියල් 360 විධානය හේතු කොට, මැයි මස 13 දින මහ බැංකුව විසින් තම වෙබ් අඩවියේ දක්වන ලද විනිමය අනුපාතය වුයේ රුපියල් 355.02-364.98 (සාමාන්‍යය 360) ය. ඒ අනුව, හදිසියේ විනිමය අනුපාතය 3% කින් ප්‍රතිප්‍රමාණය වූ බවට වාර්තා විය. ඵසේ නම්, හිටපු අධිපතිගේ රුපියල් 200 ප්‍රතිපත්තිය වඩා හොද බව කෙනෙකුට තර්ක  කළ හැකිය.  ඵබැවින්, මෙය හුදෙක් මහජනයා නොමඟ යැවීම සඳහා ඉලක්කම් භාවිතා කිරීමකි. 

ඊට හේතුව, මහ බැංකු විධානයේ දැක්වෙන අන්තර් බැංකු විනිමය අනුපාතයන් බැංකු විසින් මහජනයා සමඟ ගනුදෙනු කෙරෙන විනිමය අනුපාතයන්ට සමාන නොවන අතර මෙම විනිමය අනුපාතයන් මහ බැංකු විධානයට අනුකූල වන පරිදි කෘතීම ලෙස ඉදිරිපත් කොට තිබීම යි. එහෙත්, බැංකු වෙළෙඳපොළේ පවතින උග්‍ර විදේශ මුදල් හිඟය හේතු කොට එම මිල ගණන්වලට ඩොලර් මිල දී ගැනීමට ගනුදෙනු කරුවන්ට නොහැකි වන බැවින් මෙම විනිමය අනුපාතයන් ද රූකඩ විනිමය අනුපාතයන් වනු ඇත. එබැවින්, විදේශ ප්‍රේෂණ තව තවත් කළු කඩයේ රුපියල් 410-420 වැනි ඉහළ විනිමය අනුපාතයන්ට අළෙවි වන බව වාර්තා වෙයි.

විනිමය අනුපාතය ආරක්ෂා කිරීම සහ ස්ථාවර කිරීම සඳහා භාවිතා කිරීම හේතු කොට මහ බැංකු විදේශ සංචිතය ශුද්ධ වශයෙන් පහළ යාම 2020 දී ඩොලර් මිලියන 2,328 ක් ද, 2021 දී ඩොලර් මිලියන 3,961 ක් ද විය. මහ බැංකු විදේශ අංශ දත්ත අනුව 2022 ජනවාරි-පෙබරවාරි මාස දෙක තුළ ගෙවුම් ශේෂ හිඟය ඩොලර් මිලියන 5,663 ක් (එනම්, පසුගිය වර්ෂ දෙකේ සමස්ත හිඟයට කිට්ටු ප්‍රමාණයක්) පමණ වූ අතර නිල විදේශ සංචිතය 2021 අවසානයේ දී ඩොලර් මිලියන 3,139 ක් ද, 2022 පෙබරවාරි අවසානයේ දී ඩොලර් මිලියන 2,311 ක් ද වූ බැවින් මෙම විශාල හිඟය පියවූ ආකාරය මහ බැංකුව විසින් පැහැදිළි කළ යුතුය.

මූල්‍ය ප්‍රතිපත්තිය ආර්ථිකයේ ප්‍රමුඛ අංශ ආරක්ෂාවට සහ ප්‍රවර්ධනයට යොමු නොකිරීම

මුදල් නීති පනත අනුව මහ බැංකුව/මුදල් මණ්ඩලය වෙත පැවරී ඇති ජාතික මූල්‍ය ප්‍රතිපත්තිය කොටස් දෙකකින් යුක්ත ය. එනම්, දේශීය මූල්‍ය ස්ථායීකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය ස්ථායීකරණය ලෙස ය.

දේශීය මූල්‍ය ස්ථායීකරණයේ දී ආර්ථිකයේ විශේෂ අංශයන් සහ සමස්ත ආර්ථිකයේ මූල්‍ය අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන මුදලේ සැපයුම, බෙදා හැරීම සහ පිරිවැය නියාමනයට උත්සාහ කළ යුතුය. මෙහිදී, දේශීය-විදේශීය මිල අනුපාතයන්, ආනයන සහ අපනයන, ගෙවුම් ශේෂය සහ අවසානයේ ශ්‍රී ලංකාවේ ජංගම ගනුදෙනු සඳහා රුපියලේ ස්ථායිතාවය සහ නිදහසේ භාවිතා කිරීම පවත්වා ගැනීම යනාදිය තුළින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය තත්ත්වය කෙරෙහි ඇති කෙරෙන බලපෑම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය ස්ථායීකරණයේ දී ආර්ථිකයේ යටිදැරි ප්‍රවණතාවන්ට අනුකුලව සහ රුපියල ජංගම ජාත්‍යන්තර ගනුදෙනු සඳහා නිදහසේ යොදා ගැනීම තහවුරු වන පරිදි රුපියලේ විනිමය අනුපාතයන් පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුය. මේ සඳහා මහ බැංකුව විසින් විදේශ මුදල් සංචිතයක් පවත්වා ගත යුතු අතර එය නිර්ණය කෙරෙන ආකාරය ද මුදල් නීති ප්‍රතිපාදනවල දැක්වෙයි.

එසේම, ඒ සඳහා මහ බැංකුව විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති මෙවලම රැසක් මුදල් නීති පනතේ අඩංගු වෙයි.

එහෙත්, වත්මන් ශ්‍රී ලංකා අර්බුදය දෙස බලන විට මහ බැංකුව විසින් මුදල් නීති ප්‍රතිපාදනවලට අනුව තම මූල්‍ය ප්‍රතිපත්තිය ආර්ථිකයේ දේශීය මූල්‍ය සහ ජාත්‍යන්තර මූල්‍ය ස්ථායීකරණය සඳහා ක්‍රියාත්මක නොකළ බව හෝ එසේ කිරීමට අසමත් වී ඇති බව නොරහසකි. එනම්, මහ බැංකුව ඊට සමත් වී නම්, වත්මන් අර්බුදය හට ගත නොහැකිය. 

මහ බැංකු විදේශ සංචිතය කඩා වැටීම, උග්‍ර විදේශ මුදල් හිඟය, විනිමය වෙළෙඳපොළ සහ අනුපාතය මහ බැංකු පාලනයෙන් ගිලිහී යාම, බැංකු ද්‍රවශීල මුදල් හිඟය, අධික ණය පොලී, නිෂ්පාදන පසුබැසීම සහ අවහිරතාවන් සහ අධි උද්ධමනය යනාදිය තුළින් එය පැහැදිලි වෙයි. සමස්තයක් වශයෙන් පොදුජනයා විසින් දශක කිහිපයක් තුළ නගා ගෙන ඇති ජීවන තත්ත්වය කඩා වැටීම එමගින් සිදු වී ඇත.

එබැවින්, මහ බැංකුව විසින් සංවර්ධිත රටවල මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය අනුගමනය කරමින් උද්ධමන ඉලක්කකරණ (4%-6%) මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව දක්වෙන අතර එය මුදල් නීති පනත උල්ලංඝණය කිරීමකි. මුදල් නීති පනත අනුව ඉහත දැක්වූ පරිදි පුළුල් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළේ නම් වත්මන් අර්බුදය හට ගැනීමේ ඉඩ කඩක් නොමැත.

එහෙත්, වත්මන් මහ බැංකු අධිපතිට ආර්ථික දැක්මක් හෝ ක්‍රමවේදයක් නොමැති බවත්, මහ බැංකුවේ භාවිතා වන ලිපිගොනු එහාට මෙහාට යැවීමේ කාර්යයේ නිරත වන බවත් පැහැදිලි ය.

මහ බැංකුව ස්ථායී කිරීම සඳහා රජයට කෙරෙන නිර්දේශය

ඉහත දැක්වූ කරනු දෙස බලන විට එන ජුනි මස අවසානයේ දී වසර 6 ක නව නිල කාලයක් සඳහා අධිපති ලෙස මහ බැංකුව ස්ථායී කිරීම තුළින් ආර්ථිකය ස්ථායී කිරීමේ ජාතික කාර්යයට පෙරමුණ ගෙන අභියෝගයන් භාර ගැනීම කළ හැකි පුද්ගලයකු පත් කළ යුතුය. එම පත් කිරීමේ දී කොන්දේසි කිහිපයක් සැපිරිය යුතු බවට යෝජනා කෙරේ.

  • පළමුව, දේශපාලනික මාධ්‍ය සංදර්ශන නැවැත්විය යුතුය. සාමාන්‍යයෙන් මහ බැංකු අධිපතිවරු මාධ්‍යය ඉදිරි පිටට පැමිණෙන්නේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය මහජනයාට පැහැදිලි කිරීම සඳහා පමණි.

  • දෙවනුව, අධිපතිකමට පත් කිරීමට සලකා බැලීම සඳහා කෝප් කමිටුවට කැඳවා ප්‍රශ්න කළ යුතුය. එහිදී, ඉල්ලුම්කරු විසින් මහ බැංකුව සහ ආර්ථිකය ස්ථායී කිරීම පිණිස මහ බැංකුව හරහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන ප්‍රතිපත්ති සැලසුම සහ ඉලක්කයන් පිළිබඳ ව ලිඛිතව සහ වාචිකව කරුණු ඉදිරිපත් කළ යුතු අතර එය මාර්ගගත ක්‍රමයට මහජනයාට නැරඹිය හැකි විය යුතුය. පත්වීම භාර ගෙන ගිහිල්ල බලන්නම් කියන පුද්ගලයන්ට මෙවැනි අස්ථායී ආර්ථිකයක අස්ථායී මහ බැංකුවක් පාලනය කළ නොහැකිය.

  • තෙවනුව, මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩලය කෝප් කමිටුව වෙත කාර්තුමය පදනමක් මත කැඳවා ප්‍රතිපත්ති සැලසුම සහ ඉලක්කයන් ඇගයීම කළ යුතුය. එය පාර්ලිමේන්තුව වෙත වාර්තා කළ යුතුය.

  • සිවුවනුව, අගමැති සහ මුදල් ඇමති විසින් මාසික පදනමක් මත මහ බැංකුවේ ප්‍රතිපත්ති සහ කාර්යසාධනය ඇගයීම කළ යුතුය.

මෙවැනි පත් කිරීම් සහ ඇගයුම් ක්‍රමවේදයක් අනෙක් රාජ්‍ය ආයතන සඳහා ද ක්‍රියාත්මක කළ යුතුය. ඊට හේතුව, රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්ගේ විශේෂ කාර්යසාධනය නොමැතිව ආර්ථිකය නැවත ගොඩ නැගීම කළ නොහැකිය. දේශපාලන චරිතයන් වෙනස් කිරීම මගින් හෝ විදේශ රටවලින් ආධාර ටිකක් ඉල්ලා ගෙන මහජනතාව රැවටීමෙන් එය කළ නොහැකිය.

එබැවින්, නව රජය, දේශපාලන නායකයන් සහ සමාජ ක්‍රියාකරුවන් විසින් කළ යුත්තේ, මහ බැංකුව සහ අනෙක් රාජ්‍ය ආයතන විසින් තම ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කිරීම හෝ පැහැර හැරීම පිළිබඳ ව ප්‍රශ්න කොට, ඒවා කඩිනමින් ඉටු කරන ලෙස නියම කිරීම යි. රාජ්‍ය පහසුකම් බුක්ති විඳිමින් කාලය ගත කොට හදිසියේ ඉල්ලා අස්වීමට සැරසෙන නිලධාරීන් පිළිබඳ ව විශේෂ පරීක්ෂාවන් කළ යුතුය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 
(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි