මහ බැංකුවේ වත්මන් කාර්යාවලිය කුමක් ද? ජාතික ආර්ථිකය අර්බුදයෙන් ගොඩ ගැනීම ද? නැත්නම් පුද්ගල ප්‍රතිමුර්ති ගොඩ නැගීම ද?


මෙම ලිපියේ අරමුණ පසුගිය 19 දින පැවති මහ බැංකු මුල්‍ය ප්‍රතිපත්ති මාධ්‍ය හමුවේ දී ඉදිරිපත් වූ අදහස් සහ වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් දෙස බැලීමේ දී මෙම ඓතිහාසික ආර්ථික සහ පොදුජන වසංගත අවස්ථාවේ දී ජාතික ආර්ථිකය ගොඩ නැවීමට උපකාරී වීම සඳහා කිසිවක් කිරීමට හැකියාවක් නොමැති ශෝචනීය තත්ත්වයකට මහ බැංකුව පත් වී ඇති බවට අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය මහ බැංකු ප්‍රතිපත්ති පරිසරය හඳුනා ගැනීම යි.

පිහිටුවා වසර 72 කින් පසු මහ බැංකු කාර්යභාරය කඩා වැටීමේ ශෝචනීය තත්ත්වය

වෙනත් කාලවල මහ බැංකුව ඉතා කාර්ය බහුල වූ ජාතික මූල්‍ය ප්‍රතිපත්තිය, සංචිත සහ විනිමය අනුපාත කළමනාකරණය සහ රාජ්‍ය ණය කළමනාකරණය යන මහ බැංකු කාර්යයන් වත්මන් ආර්ථික වසංගතය හමුවේ පොදුජන ජීවිතයට නොදෙවෙනිව කඩා වැටී ඇත. එබැවින්, මහ බැංකුව විසින් දැන් කරනු ලබන්නේ මුදල් නීති පනත පසෙක තබා රජයට සහ බැංකුවලට අවශ්‍ය මුදල් එදිනෙදා මුද්‍රණය කොට අතමාරු ණය ලබා දී පොලී ආදායමක් ලබා ගැනීමේ මුදල් වෙළෙන්දෙකුගේ ව්‍යාපාරයක යෙදීමත්, පැරණි විනිමය පාලන ලිපි ගොනු විවෘත කොට එහෙන් මෙහෙන් විනිමය පාලනයන් පනවා ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව බිය ගැනීමට උත්සාහ කිරීමත් තුළින් තමන් විසින් මැදි හා දිගු කාලයේ (දින නියමයක් කිසිවෙකු නොදන්නා) දී අධිඋද්ධමනය පාලනය කොට විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීම තුළින් ආර්ථිකය ගොඩ ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කරන බවට මාධ්‍ය සංදර්ශනයන් පැවැත්වීම යි.

ඒවා මොනවා හරි සිදු කොට තමන් සතුටු කර ගැනීමට කෙරෙන උත්සාහයන් බව එම ක්‍රියාකාරකම් සහ ඒවායේ ප්‍රතිඵල දෙස බැලීමේ දී පෙනේ. ඊට හේතුව, එම ප්‍රතිපත්ති ඇගයීම සඳහා මැදි හා දිගු කාලයේ දී මහ බැංකු අධිපති සහ දේශපාලන නායකයින් ඇතුළු බොහෝ මහජනයා ජීවත් නොවන බැවිනි. එබැවින්, මෙම අතමාරු මුදල් මුද්‍රණය සඳහා ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි ලාභී ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් අවශ්‍ය නොවන අතර වෙනත් රාජ්‍ය ආයතන මෙන් රජයට මිතුරු ව්‍යාපාරිකයෙකුට මහ බැංකුව පැවරිය හැකිය. මුදල් මුද්‍රණය ලාභදායි ඒකාධිකාරයක් වන බැවින් ඕනෑම රාජ්‍ය නියෝජිතයෙකු එය භාර ගැනීමට එක පයින් ඉදිරිපත් වන අතර එහි ලාභය ද රජයට නොවරදවාම ලැබෙනු ඇත.

පසුගිය මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති විසින් තමා තෙවරක් අගමැති තුමා (අගමැති දුරයට පත් වී සතියක් ඇතුලත) හමු වූ බව ප්‍රකාශ කිරීමෙන් පෙනෙන්නේ මහ බැංකුව ද එවැනි දේශපාලනික නියෝජිතයකු වී ඇති බව යි. ඊට හේතුව, මහ බැංකුවට විධානයන් හෝ උපදෙස් නිකුත් කිරීමේ ව්‍යවස්ථාපිත බලතල අගමැති වෙත නොමැති බැවිනි.

එහෙත්, මහ බැංකු අධිපති ලෙස පත්වීමෙන් පසු පැවති පළමු මාධ්‍ය හමුවේ දී ඔහු විසින් පැවසුවේ වත්මන් අධි උද්ධමනයට හේතුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස තමාගේ විරුද්ධත්වය නොතකා එවක මුදල් මණ්ඩලය විසින් නූතන මූල්‍ය න්‍යාය අනුගමනය කරමින් මුදල් මුද්‍රණය කිරීම බවත්, තමන් විසින් ස්වාධීනව ක්‍රියා කරමින් එම මුදල් මුද්‍රණය නවතා උද්ධමනය පාලනය කිරීමට ක්‍රියා කරන බවත් ය. එබැවින්, ඔහුගේ බලපෑම මත මුදල් මණ්ඩලය විසින් උද්ධමනය පාලනය කිරීමේ දේව ආයුධයක් ලෙස මහ බැංකු පොලී අනුපාතයන් 7% කින් දේශීය පමණක් නොව ගෝලීය ඓතිහාසික සිද්ධියක් ලෙස ඉහළ දමන ලදි.

එහෙත්, මහ බැංකුව විසින් මුදල් නීති පනත අමු අමුවේ උල්ලංඝණය කරමින් එළිපිටම මුදල් මුද්‍රණය කිරීමේ නව්‍ය ක්‍රමයක් දින කිහිපයකට පෙර හඳුන්වා දී ඇති අතර දැනට අධි විදීමකට ලක් වී ඇති මූල්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතයන් ස්ථායී කිරීම සඳහා ද ඉදිරියේ මුදල් මුද්‍රණය කරන බවට සංඥාවන් කොට ඇත. එයින් පෙනේනේ අධිපතිගේ උද්ධමන පාලන මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වය හුදෙක් මාසයක් ඇතුලත විනාශ වී ඇති බව යි.

මෙම ශෝචනීය තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා 1950 දී මහ බැංකුව පිහිටුවීම පිළිබඳ වූ කතිකාවත දෙස බැලීම යෝග්‍ය වෙයි.

මහ බැංකු නිර්මාතෘ ජෝන් එක්ස්ටර් මහතාගේ මහ බැංකු මොඩලය

මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා මහ බැංකු නිර්මාතෘ ජෝන් එක්ස්ටර් මහතා ජීවත්ව සිටියේ නම් මෙම දුකට ඔහු එක්කෝ මානසික ලෙඩෙකු වීම හෝ සියදිවි නසා ගැනීම කරනු නිසැකය. ඊට හේතුව, එවක මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ඇමෙරිකානු මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයකු වූ එක්ස්ටර් මහතා විසින් ශ්‍රී ලංකාව සඳහා නිර්මාණය කරනු ලැබූවේ 1913 දී ඇමෙරිකාවේ පිහිටුවනු ලැබූ ඇමෙරිකානු මහ බැංකුවේ බලතලවලට අනුරූප මහ බැංකු මොඩලයක් වන බැවිනි. එබැවින්, ඔහුගේ චින්තනය වූයේ ඇමෙරිකාව ආර්ථික වශයෙන් දියුණු කිරීමට එහි මහ බැංකුව දායක වන ආකාරයට සමාන මහ බැංකුවක් 1948 දී දේශපාලනික නිදහස ලැබූ ආර්ථික සම්පත් පිරි ලංකාවේ ද පිහිටුවිය විය යුතු බව යි.

එහෙත්, සමහරු විසින් ශ්‍රී ලංකාවේ මෙම මහ බැංකුව නොව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමයේ පැවති ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය පැවතියේ නම් වඩා හොඳ බව මහ බැකුව පිහිටුවා වසර 72 කට පසුව ප්‍රකාශ කරනුයේ මහ බැංකුව පිහිට වූ මුදල් නීති පනතේ ඇතුලත් ප්‍රතිපාදනයන් සහ බලතල සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සම්පත් පරිමාව පිළිබඳ ව අවබෝධයක් නොමැති බැවිනි. මෙයට ඇමෙරිකාවේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු පෙරමුණ ගෙන ඇත. එවැනි පිරිස් විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයම පැවතියා නම් මෙවැනි ආර්ථික වසංගතයකට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි ද පැවසුව හොත් එය පුදුමයක් නොවේ.

මහ බැංකුව පිහිටුවීම වෙනුවෙන් පැවැත්වූ සරල උත්සවයේ දී එක්ස්ටර් මහතා පැවසූ වදන්

මෙම උත්සවයට අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක, මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන, සෞඛ්‍ය සහ පළාත් පාලන ඇමති එස්.ඩබ්ලිවු.ආර්.ඩී බණ්ඩාරනායක සහ කෘෂිකර්ම සහ ඉඩම් ඇමති ඩඩ්ලි සේනානායක යන මහතුන් ද සහභාගි විය.

එහිදී, එක්ස්ටර් මහතා පැවසූ වදන් දෙස බැලීමේ දී මේ දක්වා මහ බැංකුවට කොතරම් ආර්ථික උගතුන් පත් කළත්, එහි ජාතික ආර්ථික වගකීම ඉටු කිරීමට අසමත් වී ඇති බව තේරුම් ගැනීමට සාමාන්‍ය දැනුම ප්‍රමාණවත් ය. එම වදන් මෙසේ ය.

  • මෙසේ සරල උත්සවයක් පැවැත් වීමෙන් මෙම අවස්ථාවේ ඇති සුවිශේෂී වැදගත්කම ලඝු කිරීමට අප විසින් උත්සාහ නොකෙරේ. අපගේ මෙම සන්සුන් භාවයට හේතුව ලංකාවේ මහජනයා කෙරෙහි දැන් අප උර මත ඇති අධික වගකීම පිළිබඳ ආතතිය යි. මෙම වගකීම දැරීමට ඇති බැවින් කිසිම සැමරුමක් කිරීමට අපට හැකියාවක් නොමැත.

  • එසේ සැමරුම් කිරීමට වෙලාව එළඹෙන්නේ වසර 10 කට හෝ 15 කට ඔබ්බෙහි දී මහ බැංකුව විසින් තම ජයග්‍රහණයන් පිළිබඳ ව ආපසු හැරී බැලීමේ දී ය. එබැවින්, මෙම අවස්ථාවේ අපිට හැකියාව පවතින්නේ ඉහළ බලපොරොත්තු සහ අධිෂ්ඨානයන් ගෙන් පිරීමට පමණි.

  • මෙම අවස්ථාවේ මහ බැංකුවක් පිළිබඳ ව පුරසාරම් දෙඩිය හැකි රටවල් සුළු ගණනින් එකක් බවට ලංකාව පත් වන බව පැවසු එක්ස්ටර් මහතා, අද මහ බැංකුව පවතින්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුලපිරිම තුළින් බව පවසා ඔහුට උපහාර පිරිනමන ලදි.

එක්ස්ටර් මහතාගේ අදහස වූයේ යටත්විජිත ක්‍රමයේ දිගු කාලීන ලක්ෂණයක් වන ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය සතුව පටු සහ ස්වයංක්‍රීය බලතල හිමි බවත්නිදහස් මුදල් ක්‍රමයක් තුළ සමස්ත මුදල්, බැංකු සහ ණය පද්ධතිය පාලනය සහ නියාමනය කිරීමට පුළුල් බලතල මහ බැංකුව සතුව පවතින බවත් ය.

උත්සවයේ දී මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මහතා සහ අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා දැක්වූ අදහස්

එම මහතුන් දෙදෙනාගේ කථාවල දී ඉදිරිපත් කළ අදහස්  තුළින් වර්තමාන ලෝකයේ මහ බැංකුවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ව නැගෙන මැසිවිලි මෙන්ම මුදල්, මහ බැංකු සහ පොදුජන ජීවන තත්ත්වය පිළිබඳ ව ඔවුන් වෙත තිබූ දුර දක්නා නුවණ ද මැනවින් පැහැදිලි වෙයි.

ජේ.ආර්. ජයවර්ධන මහතා දැක්වූ අදහස්

  • අද අපි දකින්නේ ඉදිරි වර්ෂයන් තුළ ලංකාවේ මහජනයාගේ සතුට සහ සුභසාදනය කෙරෙහි ක්‍රියා කරනු ලබන විශිෂ්ඨ ආයතනයක උපත යි.

  • මිනිස් වර්ගයාට බොහෝ ප්‍රයෝජනවත් වන මුදල් ඔවුන්ට විනාශකාරී මුලයක් ද විය හැකිය. මිනිසා මුදල් සඳහා නොව මුදල් මිනිසා සඳහා බිහි කොට ඇති බව ඔබ සියළු දෙනා මතකයේ තබා ගන්නා බව මාගේ විශ්වාසය යි.

  • මෙම ආයතනය ලංකාවේ ආර්ථික සහ සමාජ සංවර්ධනයේ බිම් සලකුණක් වෙයි. ඔබ විසින් මෙරට මහජනයාට උදවු කරන බවටත්, මෙම ආයතනය පිහිටු වීමේ අරමුණු ඉටු කරන බවටත් ලොකු විශ්වාසයක් මට තිබේ.

අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා දැක්වූ අදහස්

  • අද වන තෙක් අපගේ මූල්‍ය කටයුතු බ්‍රිතාන්‍ය යටත්විජිතයන්ට පොදු වූ ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය වෙත පැවරී පැවතින. එහෙත්, ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය ඉතාමත් දෘඪ එකකි. එය යටතේ මුදල් පාලනය පිළිබඳ ව යටත්විජිතයකට ඇති බලය ඉංග්‍රීසි රටේ පුද්ගලයෙකු වෙත ඇති බලයට වඩා වැඩි නොවන බව දැක්වෙයි.  මහ බැංකුව පිහිටුවීම තුළින් අපගේ මූල්‍ය අනාගතය අප අතට ගැනීමේ ඉතාමත් අවංක පියවරක් අප විසින් ගැනේ. 

  • මා දන්නා සමහරු විසින් මහ බැංකුවක් පිහිටු විය නොතිබූ බවට කල්පනා කෙරේ. උසස් මුල්‍යනය පිළිබඳ ව අප සතු අත්දැකීම් ඉතා සුළු බව සත්‍යයකි. එහෙත්, මහ බැංකු ව්‍යාපෘතියට විරුද්ධ අය සිටින්නේ රට තුළ නොව පිටරටවල බව විශේෂ කරුණකි. අපගේ සහෝදර රටවලට සමාන ලෙස අපගේ මූල්‍ය කටයුතු පාලනය කිරීමේ හොඳ තීරණයන් ගැනීමට අපට හැකි වන බව මගේ විශ්වාසය යි.

  • බාහිර ආධාර මත අපට රැඳිය නොහැකි අතර එසේ නොරැදිය යුතුය. අපේ ප්‍රධාන කර්මාන්තයන්, විශේෂයෙන් තේ සහ රබර්, තවදුරටත් ප්‍රසාරණය වීමේ සීමාවට අප එළඹ ඇත.

  • අපගේ ජනයා වෙත නව රැකියා මාර්ගයක් සැපයීම සඳහා නව කර්මාන්තයන් සංවර්ධනය කළ යුතුය. මේ සඳහා ප්‍රධාන වශයෙන් අපගේම මුලපිරීම්, ව්‍යවසාය සහ ප්‍රාග්ධන සම්පත් මත රැඳිය යුතුය.

  • මහ බැංකුවේ කාර්යයන් පිළිබඳ ව බොහෝ වැරදි වැටහීමක් පවතින බව පෙනේ. මහ බැකුව යනු බැංකු කරුවන්ගේ බැංකුව වන අතර එමගින් මහජනයාට ණය ප්‍රදානය නොකෙරේ. මහ බැංකුව විසින් සංසරණයේ පවතින මුදල් ප්‍රමාණය, අපගේ ගෙවුම් ශේෂය, මිල ගණන්වල සාමාන්‍ය මට්ටම, පොලී අනුපාතයන් මෙන්ම රාජ්‍ය මූල්‍ය ප්‍රශ්න වැනි දේවල් ගැන සැලකිලිමත් වනු ඇත.

  • මුදල් නීති පනතට අනුව මහ බැංකුවේ අරමුණ වනුයේ නිෂ්පාදනය සහ සේවා නියුක්තිය ඉහළ දැමීමට සහ අපගේ සම්පත් සංවර්ධනයට දායක වන ආකාරයට ලංකාවේ මුදල්වල සැපයුම, පිරිවැය සහ ජාත්‍යන්තර හුවමාරුව නියාමනය කිරීම යි.

  • අප විසින් මහ බැංකුව පිහිටුවීමේ තීරණය හිතාමතා ගනු ලැබුවේ එහි අයහපත සහ යහපත යන සියළු අවස්ථාවන් පිළිබඳ ව පූර්ණ අවබෝධයකින් යුතුව ය.

  • අතීතයේ දී බොහෝ රටවල මහ බැංකු අපයෙදුමට ලක්වූ බව අප හොඳින් දනී. යුද්ධයට පසුව චීනය සහ ග්‍රීසිය වැනි රටවල මහ බැංකු ණයවල අධික භාවිතය තුළින් ව්‍යවහාර මුදලේ මූර්ත අගය පහළ ගොස් විදේශ මුදල් සංචිත විනාශ වීමට හේතු වූ බව අප මතක් කර ගැනීම අවශ්‍ය වෙයි.

  • එසේම, අප විසින් කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නව සීලන්තය වැනි රටවල සංවර්ධනයට මහ බැංකු විසින් ඉටු කළ විශාල දායකත්වය පිළි ගත යුතුය. මෙම රටවල මූල්‍ය කටයුතු කළමනාකරණයේ දී දැක්වූ ප්‍රඥාව එම රටවල ජීවන තත්ත්වයේ අඛණ්ඩ වර්ධනයට වැදගත් සාධකයක් විය.

මහ බැංකුවේ ආරම්භක අරමුණු හතර

ආර්ථිකයේ මුදල් ක්‍රමය, මුදල් මණ්ඩලය සහ මහ බැංකුව මුදල් නීති පනත යටතේ ස්ථාපිත කළ අතර පනතේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුවේ අරමුණු හතරක් නියම කරන ලදි. එනම්;

  • දේශීය මුදලේ වටිනාකම ස්ථායීකරණය කිරීම

  • රුපියලේ සම අගය සහ රුපියල ජාත්‍යන්තර ජංගම ගනුදෙනු සඳහා නිදහසේ භාවිතය ආරක්ෂා කිරීම

  • ලංකාවේ ඉහල මට්ටමක නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ මූර්ත ආදායම ප්‍රවර්ධනය කිරීම සහ පවත්වා ගෙන යාම

  • ලංකාවේ නිෂ්පාදන සම්පත් පූර්ණ සංවර්ධනය දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය

2002 වර්ෂයේ මුදල් නීති පනත සංශෝධනය තෙක් මෙම අරමුණු පැවතින. ඒ අනුව, මහ බැංකු නව අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සම්පත් සංවර්ධනය දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීමේ අභිලාශය ඇතිව ආර්ථික සහ මිල ස්ථායීතාවය සහ මූල්‍ය පද්ධති ස්ථායීතාවය සුරක්ෂිත කිරීම යි.

වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය දෙස බලන විට මෙම මහ බැංකු අරමුණ කැඩී බිඳී ගොස් අවසාන බව කිව යුතු නැත.

මහ බැංකුවේ ප්‍රතිපත්ති බලතල පිළිබඳ ව එක්ස්ටර් මහතා විසින් දැක්වූ මතය

1948 දී ලංකාවට නිදහස ලැබීමත් සමඟ ඉන්දියානු අධිකාරීන්ගේ ක්‍රියා කලාපයෙන් තොරව වටිනාකම නියම කෙරෙන ලංකා මුදල් ක්‍රමයක් අවශ්‍ය විය. එසේම, රටේ පවතින නිෂ්පාදන සම්පත් උපයෝජනය තුළින් නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ  ආර්ථික සංවර්ධනය දිරිමත් කිරීම සඳහා දේශීය මුල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය විය. 

එබැවින්, ජෝන් එක්ස්ටර් මහතා විසින් රටේ මූල්‍ය ක්‍රමය තුළින් ආර්ථික සංවර්ධනයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බලතල සහ අරමුණු සහිත මහ බැංකුවක් පිහිටුවීමට යෝජනා කරන ලදි. එම බලතල පිළිබඳ ව එක්ස්ටර් මහතා විසින් දැක්වූ අදහස මෙසේය.

  • නූතන ආර්ථික ක්‍රමය තුළ මුදල් සහ ණයවල වැදගත්කම පිළිබඳ ව තර්ක කිරීමේ අවශ්‍යතාවක් නැත. සමාජයක සුභසාදනය සහ වර්ධනය කෙරෙහි බලපාන ඉතාමත් වැදගත් තනි සාධකය මුදල් ප්‍රවාහය යි. එය රටක නිෂ්පාදනය සඳහා සම්පත් රාශිකරණය කෙරෙන යාන්ත්‍රණය වෙයි. එමගින්, මිල ගණන් සහ වැටුප්, ආදායම සහ සේවා නියුක්තිය නිශ්චය කිරීම කෙරෙහි අධිකාරි කාර්යභාරයක් ඉටු කෙරේ. ගිවිසුම් කාර්යසාදනය සහ සාධාරණ ලෙස ණය ඈවර කිරීම සඳහා ස්ථායී මුදල් අත්‍යවශ්‍ය වන අතර ස්ථායී මුදල් විදේශ වෙළෙඳාමේ ජීව රුධිරය යි.

  • එබැවින්, මහ බැංකුවක් විසින් විශාල වගකීමක් දරනු ලබන අතර ලංකාවේ මහ බැංකුවට ලබා දෙන ලද පුළුල් බලතල එහි වගකීම් පරිමාවට අනුරුප වනු ඇත. මහ බැංකුවේ අරමුණ ඉටු කිරීම වැලැක්වෙන දැඩි සීමාවලින් මහ බැංකුවට බාධා නොවිය යුතුය. නව මහ බැංකුවක් ස්ථාපිත කෙරෙන විට එහි ඉදිරි සංවර්ධන මාවත පුරෝකතනය කිරීම කළ නොහැකිය. එය මහ බැංකුව ක්‍රියාත්මක වන පරිසරය සහ එහි ප්‍රතිපත්ති නිශ්චය කරනු ලබන පුද්ගලයන් මත රැඳෙනු ඇත.

  • මහ බැංකුවේ බොහෝ බලතල විශේෂිත අවස්ථාවන් සඳහා නිර්මාණය කොට ඇති බැවින් ඒවා දිගු කාලයක් ප්‍රයෝජනයට නොගෙන පවතිනු ඇති අතර ඉන් සමහර බලතල භාවිතා කිරීමට කිසි දිනක සිදු නොවනු ඇත. අනෙක් බලතල අර්බුදවල දී හෝ අර්බුදයක් වැලැක්වීමට භාවිතා කිරීම සඳහා අදහස් කෙරෙන අතර විචක්ෂණභාවය වනුයේ ඒවා අවශ්‍ය වූ විට භාවිතා කිරීමට හැකි වන ලෙස දැන් ඇතුලත් කළ යුතු බව යි. 

  • යුද්ධය සහ පසුගිය තිස් වසරක පමණ කාලයක අවපාතය තුළින් හට ගත් ආර්ථික අර්බුදයන්ගේ වාර්තා දෙස බලන විට ලංකා ආර්ථිකය අනාගතයේ දී මෙවැනි අර්බුදයන්ගෙන් බේරේවි යයි උපකල්පනය කිරීම මෝඩ කමකි. එබැවින්, මෙම පනත කෙටුම්පත් කිරීමේ යටදැරි උපකල්පනය වනුයේ අවිනිශ්චිත ආර්ථික ලෝකයේ ඕනෑම සිදුවීමකට සුදානම් වීම වඩා හොඳ බව යි.

හදිසි ගොඩ බෑමකට මුහුණ දෙන ගුවන් යානයක් බවට වත්මන් පොදුජන ආර්ථිකය පත්වීමේ ශෝකාලාපය

ඉහත දැක්වූ අදහස් දෙස බලන විට මහ බැංකුව පිහිටුවා වසර 70 ක් ගත වීමත් සමඟ 2020 වර්ෂය මැද සිට ආර්ථිකය විදේශ මුදල් සහ ණය අර්බුදයකට මුහුණ දීම ආරම්භ වූ අතර එය වැලැක්වීමට මහ බැංකුව අසමත් වීම හේතු කොට හට ගෙන ඇති අර්බුදයෙන් සමස්ත ආර්ථිකය ජනජීවිතය කඩා වැටෙමින් පවතින බව නොරහසකි.

එබැවින්, දැන් ජාතික ආර්ථිකය යනු ගුවන් පාලන මැදිරියේ සහ එන්ජින්වල පාලනයෙන් තොරව කඩා වැටීමට යන ගුවන් යානයක් වැනි ය. එහි ගමන් කරන්නේ බහුතර පොදුජනයා ය. ගුවන් පාලන මැදිරිය වන පාර්ලිමේන්තුව විසින් ගුවන් යානයට අත්වන ඉරණම ගැන තමන්ගේ නිර්දෝෂය දක්වමින් එකිනෙකාට අවලාද කරමින් කාලය නාස්ති කරන අතර ගුවන් යානය ආරක්ෂිත ලෙස ගොඩ බෑමට ධාවන පථයක් සූදානම් කොට ගුවන් නියමුවාට අදාළ උපදෙස් දීමක් සිදු නොකෙරේ. ඔවුන්ගේ උත්සාහය වනුයේ ගුවන් යානය කඩා වැටීමෙන් පසු එහි සුන්බුන් අත් කර ගෙන වෙළෙඳාම් ව්‍යාපාරයක් කිරීම යි.

නව ගුවන් නියමුවා විසින් ගුවන් යානය සමඟ පක්ෂීන්ගේ ගැටීම බල බලා තනිවම එකම විකල්පය වන ගුවන් යානය මුහුදකට හෝ ජලාශයකට ආරක්ෂිතව ගොඩ බැස්ස වීමට අපේක්ෂා කරන අතර ගොඩ බෑමෙන් පසු මගීන් බේරා ගැනීම සඳහා තමාට හිතවත් ආධාර කණ්ඩායම් ගෙන්වා ගැනීමට තම ටෙලිපෝනය භාවිතා කෙරෙමින් උත්සාහ කරමින් සිටී. ඔහුට තවමත් සහකාර ගුවන් නියමුවා ලෙස මුදල් ඇමති කෙනෙක් නොමැති අතර හදිසි ගොඩ බෑමක දී සහන කණ්ඩායම් පැමිණෙන තෙක් මගීන් ගුවන් යානාවේ තටුවලට සහ ජීව ආරක්ෂක පාරුවලට ආරක්ෂිතව යොමු කිරීමට දැනුම ඇති ගුවන් සේවා කාර්ය මණ්ඩලයක් ද නොමැත.

මෙම ගුවන් යානය වර්ෂ 75 ක පමණ කාලයක් උපයෝජනය කොට වත්පොහොසත් වූ අපමණ පිරිස සහන සේවා සැපයීම සඳහා ඉදිරිපත් වන බවක් නොපෙනේ. අවශ්‍ය නම් ඔවුන් සතු දේශීය සහ විදේශ සම්පත් ඒ සඳහා යොමු කළ හැකි අතර ගුවන් පාලන මැදිරිය ද ඊට උනන්දුවක් නොදක්වයි. එබැවින්, ගුවන් නියමුවාට හිතවත් විදේශීය ආධාර කණඩායම ඉක්මනින් ගුවන් යානය නිරුප්‍රදිතව ගොඩ බෑමට උදවු නොකළ හොත් මගීන්ගේ ජීවිතවල ආරක්ෂාව ස්වභාධර්මයට භාර වනු ඇත.

ගුවන් යානා අනතුර විමර්ශනය 

ගුවන් යානා අනතුරකින් පසු ඊට හේතු විමර්ශනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වෙයි. ගුවන් නියමුවා බේරී සිටිය හොත් අනතුර වලක්වා නොගැනීම පිළිබඳ ව ප්‍රධාන චුදිතයා බවට ගුවන් නියමුවා පත් වෙයි. එහෙත්, ගුවන් යානය සේවයේ යෙදවීමට බොහෝ දෙනකුගේ විශේෂඥ ඥානය යොදා ගැනේ. මෙම ගුවන් යානය ක්‍රියා විරහිත වීමට මූලික හේතුවක් වූ විදේශ මුදල් හිඟය වැලැක්වීමට මහ බැංකුව අසමත් වීමත්, ගුවන් යානයේ මගීන් බේරා ගැනීමට කිසිම නව්‍ය මූල්‍ය සහන ප්‍රතිපත්තියක් නොගැනීමත් හේතු කොට ඇති වන පාඩුව ද මෙම විමර්ෂණයට ඇතුලත් විය යුතුය. ඒ සඳහා දැන්මම අධිකරණ විමර්ෂණයක් ආරම්භ කොට කළු පෙට්ටිය ලැබෙන තෙක් අනෙක් සාක්ෂි ලේඛනයන් විනාශ කිරීමට පෙර ආරක්ෂා කළ යුතුය.

එබැවින්, මිට පෙර සිටි සහායක ගුවන් නියමු මුදල් ඇමතිට අමතරව ගුවන් යානාවේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස මහ බැංකුවට ද අපරාද චෝදනා ගොනු කළ යුතුය. ඒ සඳහා පොදු චෝදනාව ලෙස විදේශ මුදල් සංචිතය කඩා වැටීම, වෙළෙඳපොළ විනිමය අනුපාතයේ ස්ථායීතාවය ගිලිහී යාම, ආර්ථිකයේ සමස්ත මිල මට්ටම ඉහළ යාම තුළින් රුපියලේ මූර්ත අගය දිනෙන් දින කඩා වැටීම, රාජ්‍ය විදේශ ණය ගෙවීම පැහැර හැරීම, පොලී අනුපාතයන් හෝ ණය පිරිවැය දැරිය නොහැකි ලෙස ඉහළ යාම සහ බැංකු පද්ධතියේ දැඩි අරමුදල් හිඟයක් හට ගැනීම යනාදියෙන් ගුවන් යානය ක්‍රියා විරහිත වී පොදුජනයාට විඳීමට සිදු වූ ආර්ථික පාඩුව සැලකිය හැකිය.

ගුවන් යානය ක්‍රියා විරහිත වී කඩා වැටීමේ අවදානමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මෙම යාන්ත්‍රීය දෝෂයන් ය. මේවා විසඳීමට නව්‍ය ප්‍රතිපත්ති ගැනීමේ සුදානමක් හෝ ප්‍රවණතාවයක් මහ බැංකුවෙන් වාර්තා නොවන අතර ඒ සඳහා ක්‍රියාත්මක වීමට රජයට සිදු වීම තුළින් 1950 දී ඉහත දැක්වූ පරිදි මහ බැංකුව පිහිටු වීමේ අරමුණු සහ අභිලාෂයන් වර්ෂ 72 කට පසුව බොඳ වී ඇති බවට විවාදයක් නොමැත.

වත්මන් ප්‍රධාන මහ බැංකු ඉංජිනේරු විසින් ගුවන් පාලන මැදිරියේ අස්ථායීතාවය හේතු කොට තමාට ක්‍රියාත්මක වීමේ ඇති අපහසුව දක්වමින් මැදි හා දිගු කාලයේ දී ගුවන් යානය ස්ථායී කෙරෙන තෙක් ප්‍රවේසමෙන් ජීවත් වන ලෙස ගුවන් මගීන්ට අවවාද කෙරෙන අතර යානයේ තත්ත්වය විමසීමට වරින් වර ගුවන් නියමුවා ඇමතීමට උත්සාහ කරමින් පසුවන බව ද වාර්තා වෙයි.

(ඊළඟ ලිපියෙන් මැයි මස 19 දින මහ බැංකුව විසින් එළි දක්වන ලද මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහ මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් පිළිබඳ ව මූල්‍ය ප්‍රතිපත්ති විග්‍රහයක් ඉදිරිපත් කෙරේ.)

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)


පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?