මහ බැංකුව යනු ජාතික ආර්ථික මූල්‍ය කේන්ද්‍රය ද? නැත්නම්, ආර්ථික විහිළු මධ්‍යස්ථානයක් ද?

 


මෙම ලිපියේ අරමුණ වනුයේ පසුගිය 22 දින ලිපියෙන් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති පරිසරය තුළ වත්මන් මහ බැංකු ප්‍රතිපත්තිවලින් මෙම අවස්ථාවේ පොදුජන ආර්ථිකයට කිසිම දායකත්වයක් නොමැති බවට තාක්ෂණික කරුණු ඉදිරිපත් කිරීම යි.

මහ බැංකු ප්‍රතිපත්ති පෙරවදන

පසුගිය ලිපියෙන් 1950 දී මහ බැංකුව පිහිටු වීම තුළින් අපේක්ෂා කළ පොදුජන සංවර්ධන කුමක් ද? යන්න කෙටුම්පත් කෙරින. මහ බැංකුව පිහිටුවීම තුළින් 1949 දී යටත්විජිත පාලනයෙන් නිදහස් වූ ශ්‍රී ලංකාවට නිදහස් මුදල් ක්‍රමයක් හඳුන්වා දෙන ලදි.

එහි අරමුණ වූයේ මහ බැංකුව හරහා මුදල් ගනුදෙනු නියාමනය තුළින් පොදුජන සංවර්ධනය සඳහා ආර්ථිකය මෙහෙයවීම යි.

එම මුදල් නියාමනය මගින් අපේක්ෂා කෙරුනේ මූලික වශයෙන් ආර්ථිකයේ මුදල් සංසරණය, පොලී අනුපාතයන්, ණය ව්‍යාප්තිය සහ විදේශ විනිමය අනුපාතයන් හරහා ආර්ථිකයේ නිෂ්පාදන සම්පත්වල පූර්ණ සංවර්ධනය දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමක නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ මූර්ත ආදායම ප්‍රවර්ධනය කිරීම සහ පවත්වා ගෙන යාම යි.

මෙහිදී පිළි ගැනෙන මූලික සංකල්පය වනුයේ පොදුජන සංවර්ධන ඉලක්ක සඳහා ආර්ථිකයේ නිෂ්පාදනය, මූර්ත ආදායම, සේවා නියුක්තිය සහ පරිභෝජනය වැනි ආර්ථිකයේ නිෂ්පාදන සහ උපයෝජන ක්‍රියාකාරකම්වල පරිමාව මුදල් ගනුදෙනුවල පරිමාව සහ සංයුතිය තුළින් මෙහෙය විය හැකි බව යි. එනම්, නව මූල්‍ය ආර්ථික ක්‍රමය තුළ මූල්‍ය අංශය තුළින් ආර්ථිකයේ මුර්ත අංශය මෙහෙය වීම යි.

ඒ සඳහා මහ බැංකුව වෙත මූල්‍ය ප්‍රතිපත්ති සහ බැංකු නියාමන වගකීම් සහ බලතල පැවරෙන ලදි. මහ බැකුව වෙත රාජ්‍ය ණය කළමනාකරණය සහ රාජ්‍ය මූල්‍ය නියෝජිත වගකීම් පවරන ලද්දේ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි අවදානම් කළමනාකරණයට අවශ්‍ය සම්බන්ධීකරණ සිදු කිරීම සඳහා ය.

එබැවින්, මහ බැංකුව වෙත පාර්ලිමේන්තුව විසින් ලබා දෙන ලද මහජන වගකීම් සහ බලතල පරිමාව දෙස බලන විට ආර්ථිකය සහ පොදුජනයා මෙතරම් ඓතිහාසික ආර්ථික වසංගතයකට ඇද වැටීමත්, ඉන් ගොඩ ඒමට වත්මන් මහ බැංකුව විසින් පොදුජනයාට උපකාරී වන ලෙස තම අර්බුද විසඳුම්කරන ප්‍රතිපත්ති පැකේජයක් යුහුසුළුව ක්‍රියාත්මක නොකිරීමත් ශෝචනීය වෙයි. එහෙත්, මහ බැංකුව විසින් තමාට සුපුරුදු පැරණි මූල්‍ය වාදී උද්ධමන මානසික රෝගය තුළ එහෙන් මෙහෙන් දේශපාලනික මාධ්‍යයට ආර්ථික පදනමක් නොමැති ප්‍රවෘත්ති සැපයීමේ නිරත වන බව දැකිය හැකිය. ඒ බව පහත දැක්වෙන මහ බැංකු පුවත්වලින් මනාව පැහැදිලි වෙයි.

සමස්ත ඉල්ලුම් පීඩනය මැඩලීමට 2022 අප්‍රේල් මස 8 දින ගනු ලැබූ සැලකිය යුතු ප්‍රතිපත්ති පියවරයන් සහ වෙනත් පියවරයන් හේතු කොට තවදුරටත් උද්ධමන අපේක්ෂණයන් ඉහළ යාම පාලනය කොට ඉදිරි කාලයේ දී උද්ධමන පීඩනය ළිහිල් වීම අපේක්ෂා කිරීම

මෙය ශ්‍රී ලංකාවට ප්‍රයෝගික නොවන හුදු අර්ථ විරහිත ප්‍රකාශනයකි. ඊට හේතු කිහිපයකි. 

  • පළමුව, අප්‍රේල් මස 8 දින ගනු ලැබූ ප්‍රතිපත්තිය වන මහ බැංකු පොලී අනුපාතයන් 7% කින් ඉහළ දැමීම සැලකිය යුතු පියවරක් වුව ද, එය වත්මන් ආර්ථික අර්බුදය තුළ පවතින අධි උද්ධමන පීඩනය නිරාකරණයට උපකාරී වන සැලකිය යුතු පියවරක් නොවේ.

  • දෙවනුව, මෙම ආර්ථික අර්බුදය සහ උද්ධමනය සැපයුම් අංශයේ පහළ යාම සහ අවහිරතාවන් හේතු කොට හට ගෙන ඇති ගෝලීය සංසිද්ධියක් බැවින් එය රට තුළ නිරාකරණයට මෙම අවස්ථාවේ අවශ්‍ය වන්නේ පොලී අනුපාතයන් පහළ හෙළා නිෂ්පාදන ණය ප්‍රසාරණය ඉහළ දැමීම යි.

  • තෙවනුව, මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීම තුළින් ඉහළ යන උද්ධමනය හෝ මෙතරම් ඉහළ උද්ධමන මට්ටමක් පාලනය කල හැකි බවට ආර්ථික පර්යේෂණ තොරතුරු ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල හෝ නොමැත. එය, හුදෙක් උද්ධමනය යනු මූල්‍ය සංසිද්ධියක් බවට පිළි ගැනෙන පැරණි මූල්‍ය වාදී සංකල්පය මත පදනම් වී මූල්‍ය වෙළෙඳපොළ කාර්යක්ෂමතාවය පිළිබඳ විශ්වාසයෙන් ගනු ලබන එක් ප්‍රතිපත්ති පියවරකි.

  • සිවුවනුව, මූල්‍ය ප්‍රතිපත්ති පියවර මගින් මහජනතාවගේ උද්ධමන අපේක්ෂාවන් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය (ශ්‍රී ලංකාවේ 4%-6%) දෙසට හැරවීම හෝ නැංගුරම් ලෑම තුළින් අනාගත උද්ධමන පීඩනය පහළ දැමිය හැකි බව ප්‍රකාශ කිරීම හුදෙක් දියුණු මූල්‍ය වෙළෙඳපොළවල සහ මූල්‍ය සාක්‍ෂරතාවය ඉහළ සංවර්ධිත රටවල මහ බැංකු විසින් තම මූල්‍ය ප්‍රතිපත්තිවල නිරන්තරයෙන් දැක්වෙන ප්‍රකාශය අමු අමුවේ පිටපත් කිරීමකි. මෙහි යටිදැරි උපකල්පනය වනුයේ උද්ධමන පාලනය සඳහා මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියේ ශක්‍යතාවය පිළිබඳ ව මහජනයා තුළ විශ්වාසයක් පවතින බව යි.

එහෙත්, ශ්‍රී ලංකාවේ මුදල් වෙළෙඳුන් කිහිප දෙනෙකු හැර ඒ ඒ අවස්ථාවේ මහ බැංකුව විසින් ගන්නා මූල්‍ය ප්‍රතිපත්ති හෝ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය පිළිබඳ කිසිම දැනුමක් පොදුජනයා වෙත නොමැත. එසේම, සංවර්ධිත රටවල පවා එසේ මහ බැංකු ඉලක්කය (2%) තුළ උද්ධමනය පාලනය කිරීම පිළිබඳ ව දැනුමක් මහජනතාව තුළ නොමැති අතර සත්‍ය උද්ධමනය ඉලක්ක උද්ධමනයට වඩා බොහෝ වෙනස් වෙයි. 

ඊට හේතුව, ඉලක්ක උද්ධමනය හුදෙක් කිසිම ආර්ථික විද්‍යා පදනමක් නොමැති ඉලක්කමක් පමණක් වන අතර පොලී අනුපාතයන් වෙනස් කිරීම හරහා ආර්ථිකයේ සැබෑ උද්ධමනය එම ඉලක්කම වෙත ගෙන යාමේ පිළි ගත් ක්‍රමවේදයක් හෝ කාල නියමයක් මහ බැංකු විසින් ඉදිරිපත් නොකිරීම යි. එසේම, මහජනතාවගේ උද්ධමන අපේක්ෂණයන් මහ බැංකුවට අවශ්‍ය පරිදි ප්‍රතිපත්ති සංනිවේදනය හරහා පාලනය කිරීමට හැකි මනෝ විද්‍යාඥයන් මහ බැංකුවල නොමැත.

  • පස්වනුව, සංවර්ධිත රටවල මහ බැංකු විසින් මූල්‍ය වාදය අනුව තම පොලී අනුපාතයන් සෙමින් කාලයක් පුරා ඉහළ දමමින් එය ආර්ථිකයේ නිෂ්පාදනය සහ සේවා නියුක්තිය කෙරෙහි ඇති කෙරෙන අයහපත් ප්‍රතිඵල පිළිබඳ ව විපරම් කරමින් සිදු කෙරේ. උද්ධමනය 1% ට ආසන්නයේ සිට 7.8% දක්වා ඉහළ ගිය ද යුරෝපා මහ බැංකුව තවමත් තම පොලී අනුපාතයන් ඉහළ දැමීමට තීරණයක් ගෙන නොමැත.

පොලී අනුපාතයන් පළමුව 2021 දෙසැම්බර් සිට ඉහළ දැමීමට ක්‍රියා කරන ලද (දැනට මාස 5 ක් තුළ සිවු වරක්) එංගලන්ත මහ බැංකු අධිපති විසින් පසුගිය 23 දින සමුළුවක දී දැක්වූ අදහස වූයේ මෙවර අධික ලෙස ඉහළ යන උද්ධමනයට මහ බැංකුව වෙත දොස් කීම යෝග්‍ය නොවන බවත්, දැනට මුහුණ දෙන කම්පනයන්යන්ගේ ස්වභාවය දෙස බලන විට ඉහළ පොලී අනුපාතයන් තුළින් වසංගතයෙන් පසු සෙමින් යථා තත්ත්වය දෙසට වර්ධනය වන ආර්ථිකයට දැඩි හානියක් සිදු විය හැකි බවත්, පාරිභෝගික වියදම් පරිමාව පහළ හෙළීමට ඉහළ යන ඉන්ධන මිල ගණන්වලින් වැඩි කාර්යයක් ඉටු කෙරෙන බැවින් මහ බැංකුව විසින් පොලී අනුපාතයන් ඉහළ දැමීම පහළ මට්ටමේ ක්‍රියාශීලී එළඹුමක් සහිතව සිදු කෙරෙන බවත් ය. ඊට හේතුව, වත්මන් ගෝලීය උද්ධමන රැල්ල තුළ පොලී අනුපාතයන් පොදුවේ ඉහළ දැමීම හේතු කොට ආර්ථික පසුබැසීම් හට ගන්නා බවට අපේක්ෂා කෙරෙන බැවිනි.

ඉහළ පොලී අනුපාතයන් තුළින් ආර්ථිකයේ සංසරණය වන ව්‍යවහාර මුදල් ප්‍රමාණය පහළ ගොස් බැංකු තැන්පතු පරිමාව ඉහළ යන බව

මෙහි යටදැරි චින්තනය වනුයේ, එමගින් ආර්ථිකයේ වියදම් පරිමාව පහළ ගොස් උද්ධමන පීඩනය පහළ යන බව යි. මෙය මුදල් සැපයුම පිළිබඳ ව මූලික මූල්‍ය ආර්ථික විද්‍යා දැනුමක් නොමැතිව කෙරෙන සාවද්‍ය ප්‍රකාශනයකි. ඊට හේතු කිහිපයකි.

  • පළමුව, මුදල් සැපයුම් යනු ව්‍යවහාර මුදල් ප්‍රමාණයේ සහ බැංකු තැන්පතු ප්‍රමාණයේ එකතුව යි. මූල්‍ය ප්‍රතිපත්තියේ දී ආර්ථිකයේ සමස්ත වියදම් හෝ ඉල්ලුම් පරිමාව තීරණය කෙරෙන සාධකය ලෙස සැලකෙන්නේ මුදල් සැපයුම මිස එහි සංයුතිය නොවේ. බැංකු තැන්පතු පරිමාව ඉහළ යාමෙන් එම තැන්පතු අරමුදල් යොදා ගෙන බැංකුවල ණය ප්‍රසාරණය ඉහළ යාමෙන් ඉදිරියේ දී මුදල් මැවීම ඉහළ ගොස් වියදම් ඉහළ යාම තුළින් උද්ධමන පීඩනය ඉහළ යනු ඇත.

  • දෙවනුව, තැන්පතු ඉහළ යාමක් නොමැතිව වුව ද ණය මැවීමට බැංකුවලට හැකියාව පවතී. ඊට හේතුව, මූල්‍ය වෙළෙඳපොළවල පවතින දියුණුව හේතු කොට බැංකුවකට අතැති මුදල් ශේෂ නොමැති වුව ද, පළමුව ණය ඉල්ලුම් කරුගේ ගිණුමට ණය මුදල බැර කොට, දෙවනුව ඒ සඳහා අවශ්‍ය අරමුදල් මහ බැංකුවෙන් හෝ වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමෙන් පියවා ගත හැකි බැවිනි. එසේ දෙනු ලබන ණය ආර්ථිකයේ සංසරණය වීමෙන් දෙවැනි වටයේ දී නව බැංකු තැන්පතු ජනිත වී මුදල් සැපයුම ප්‍රසාරණය වනු ඇත.

  • තෙවනුව, මහ බැංකු අදහසට අනුව සංසරණයේ පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණය පහළ ගිය හොත් ආර්ථිකයේ ව්‍යවහාර මුදල්/බැංකු තැන්පතු අනුපාතය පහළ යනු ඇත. එහි ප්‍රතිඵලය වනුයේ බැංකු ණය මැවීමේ හැකියාව හෝ මුදල් මුදල් ගුණකය ඉහළ ගොස් ආර්ථිකයේ මුදල් සැපයුම සහ වියදම තවත් ප්‍රසාරණය වී උද්ධමන පීඩනය ඉහළ යාම යි.

  • සිවුවනුව, ආර්ථිකයේ සංසරණය වන ව්‍යවහාර මුදල් අනුපාතය එසේ පොලී අනුපාතයන් වෙනස් වන විගස වෙනස් නොවන අතර ඒ සඳහා මහජනතාවගේ මුදල් ගෙවුම් පුරුදු සහ ගෙවුම් පද්ධතියේ දියුණුව වැනි ව්‍යුහාත්මක සාධක බලපානු ඇත. එබැවින්, ඉහත දැක්වූ මහ බැංකුවේ අදහස පිළි ගත නොහැකිය.

බැංකු විසින් ප්‍රදානය කොට ඇති විදේශ මුදල් ණයවල රුපියල් වටිනාකම කෙරෙහි විනිමය අනුපාතය අවප්‍රමාණයේ බලපෑම

මුදල් සැපයුම ගණනය කිරීමේ දී බැංකු ශේෂ පත්‍රයේ විදේශ මුදල් ණය සහ විදේශ මුදල් තැන්පතුවල රුපියල් වටිනාකම භාවිතා කෙරේ. මාර්තු මස 7 දින විනිමය අනුපාතය හදිසියේ පා කිරීම හේතු කොට විනිමය අනුපාතය අධික ලෙස අවප්‍රමාණය වී ඇත. එහි බලපෑම හේතු කොට බැංකු තැන්පතු සහ ණය වටිනාකමේ සත්‍ය ඉහළ යාමක් නොමැතිව හුදෙක් ඉලක්කම්වලින් ඉහළ ගොස් ඇත.

එම වටිනාකම් බලපෑම ඉවත් කළ විට බැංකු පද්ධතියේ දේශීය ණය ප්‍රසාරණය මාර්තු මස අවසානයේ පහළ ගොස් ඇති බව මහ බැංකු පුවත්වල දැක්වෙයි. එහෙත්, සුපුරුදු  මහ බැංකු සංඛ්‍යා අනුව දේශීය ණය ප්‍රසාරණය පෙබරවාරි මස 18.4% සිට මාර්තු මස අවසානයේ 25.1% දක්වා ඉහළ ගොස් ඇත. මහ බැංකුව මාධ්‍යය හමුවේ කරනු ලැබූ විද්‍යුත් ඉදිරිපත් කිරීමට අනුව මාර්තු මස අවසානයේ එසේ ගැලපූ පුද්ගලික අංශයේ ණය පරිමාව රුපියල් බිලියන 18 කින් පහළ ගොස් ඇත. 

එබැවින්, මාර්තු මස අවසානයේ පුද්ගලික අංශයේ ප්‍රකාශිත ණය වර්ධනය 17.9% සිට විනිමය අනුපාතය ගලපන ලද සත්‍ය ණය වර්ධනය 10.8% දක්වා පහළ ගොස් ඇත. එහෙත්, සුපුරුදු/ප්‍රකාශිත මහ බැංකු සංඛ්‍යා අනුව පුද්ගලික අංශයේ ණය පරිමාව පෙබරවාරි මස සිට මාර්තු මස අවසානයේ රුපියල් බිලියන 478 කින් ඉහළ ගොස් ඇත. මීට අනුරූපව, සැබෑ තැන්පතු පරිමාවේ වර්ධනය ද සැලකිය යුතු ලෙස පහළ යා යුතුය.

තවද, උග්‍ර විදේශ මුදල්/වත්කම් හිඟය හේතු කොට පසුගිය මාසවල බැංකු ක්‍රමයේ ශුද්ධ විදේශ වත්කම් සෘණ වටිනාකමක් ගෙන ඇති අතර එමගින් ද මුදල් සැපයුම කෙරෙහි ඍණ බලපෑමක් ඇති කෙරෙනු ඇත.

එබැවින්, මාර්තු මස ආර්ථිකයේ සැබෑ මුදල් සැපයුමේ ප්‍රසාරණය සැලකිය යුතු ලෙස පහළ යා යුතු අතර එය ආර්ථිකයේ වියදම් සහ උද්ධමන පීඩනය පහළ යාම නිරූපනය කරන්නකි. එබැවින්, මෙම විනිමය අනුපාත බලපෑම හේතු කොට මහ බැංකු මුදල් සැපයුම් සංඛ්‍යාවන් පිළි ගත නොහැකි තත්ත්වයකට පත් වී ඇති බැවින් ඒ මත පදනම් වන මූල්‍ය ප්‍රතිපත්තිය ද පදනම් විරහිත වනු ඇත.

අප්‍රේල් 8 දින මූල්‍ය ප්‍රතිපත්ති තීරණයෙන් පසු පොලී අනුපාතයන් අනපේක්ෂිත පරිදි අධි විදීමකට ලක් වූ බව සහ එය ස්ථායීකරනයට ප්‍රාථමික සහ ද්වීතීය වෙළෙඳපොළ ප්‍රතිපත්ති මෙවලම් ඇති බව ප්‍රකාශ කිරීම

පොලී අනුපාත අධි විදීම යනු ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 7% ක ඉහළ යාමට සාපේක්ෂව ඊට වඩා වැඩි ප්‍රමාණයකින් රාජ්‍ය සුරැකුම්පත්, බැංකු තැන්පතු, බැංකු ණය පොලී අනුපාතයන් ඉහළ යාම යි. උදාහරණ ලෙස ලෙස අප්‍රේල් මස ආරම්භයේ සිට මේ දක්වා භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළෙඳපොළ පොළී අනුපාතයන් 9% කින් පමණ ද, බැංකු ස්ථිර තැන්පතු පොලී අනුපාතයන් 10%-12% ප්‍රමාණයකින් ද, බැංකු ප්‍රමුඛ ණය පොලී අනුපාතය 10% කින් පමණ ද ඉහළ ගොස් ඇත.

7% කින් එසේ මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දමන විට වත්මන් ආර්ථිකයේ පවතින අරමුදල් හිඟය, අධික රාජ්‍ය අරමුදල් අවශ්‍යතාවය සහ අධික ආර්ථික අස්ථායීතාවන් තුළ වෙළෙඳපොළ පොළී අනුපාතයන් ක්ෂණිකව ඉහළ යාම සාමාන්‍ය සිද්ධියකි. මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩලය එය නොදැන සිටීම පුදුමයකි. මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ නොදැමුව ද, උද්ධමනය ඉහළ යාමට අනුරූපව වෙළෙඳපොළ පොලී අනුපාතයන් ඉහළ යාම නිරායාසයෙන් සහ නිරන්තරයෙන් සිදු වෙයි. එබැවින්, මූල්‍ය ප්‍රතිපත්ති තීරණයන් ගත යුත්තේ එම අවබෝධය සහිතව බව කිව යුතු නොවේ.

ඉහළ යන උද්ධමනය පාලනයට සහ ගෙවුම් ශේෂ හිඟයට විසඳුම් ලෙස පොලී අනුපාතයන් ඉහළ දැමිය යුතු බව වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයේ පිළි ගැනීම යි. එහෙත්, එම ආර්ථික ප්‍රශ්නයන් පවතින අතර තුර පොලී අනුපාතයන් අධි විදීම හේතු කොට පොලී අනුපාතයන් ස්ථායීකරණය සඳහා ප්‍රාථමික සහ ද්වීතීය වෙළෙඳපොළ ප්‍රතිපත්ති මෙවලම් භාවිතා කිරීමට බලපොරොත්තු වන බව ප්‍රකාශ කිරීම විහිළු ජනකය. ඊට හේතු කිහිපයකි.

  • පළමුව, පොලී අනුපාතයන් නැවත පහළ දමා ස්ථායීකරණය පිණිස එම මෙවලම් හරහා මුදල් මුද්‍රණය කිරීමට සිදු වෙයි. එමගින් මුදල් සැපයුම ප්‍රසාරණය වී උද්ධමනය ඉහළ යාමට හේතු වන බැවින් එසේ පොලී අනුපාතයන් ස්ථායීකරණයට ක්‍රියා කිරීම තුළින් වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති අරමුණු සමඟ ගැටුමක් හට ගනී.

  • දෙවනුව, ප්‍රාථමික වෙළෙඳපොළ හරහා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන කෙටි කාලීන පොලී අනුපාතයන් පාලනය කිරීමට යාම නීති විරෝධී ක්‍රියාවකි. මුදල් නීති පනතේ එවැනි මූල්‍ය ප්‍රතිපත්ති මෙවලමක් දක්වා නොමැත. මහ බැංකුව දැනට නීතියට අවනත නොවී එසේ කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සිදු කළ ද, දිගු කාලීන (වර්ෂයකට වඩා) රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළෙඳපොළේ මිල දී ගැනීමට මහ බැංකුවට තහනම් වෙයි.

  • තෙවනුව, රාජ්‍ය සුරැකුම්පත් ඵලදා වක්‍රය පාලනය හරහා ආර්ථිකයේ පොලී අනුපාත ව්‍යුහය පාලනය කිරීම සඳහා ද්වීතීය වෙළෙඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම කිරීමට මහ බැංකුවට මුදල් නීති පනතේ අවසර තිබුණ ද, ඒ සඳහා නිසි අත් දැකීම් මහ බැංකුවට නොමැත. ඊට හේතුව, එම ප්‍රතිපත්ති මෙවලම පසුගිය දශක කිහිපය තුළ භාවිතා නොකිරීම යි. ඒ වෙනුවට, වෙළෙඳපොළ පොලී අනුපාත ව්‍යුහය පාලනය සඳහා මහ බැංකුව විසින් 2015 වර්ෂය ආරම්භය දක්වා භාවිතා කරනු ලැබූවේ පෞද්ගලික ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය බව වත්මන් මහ බැංකු අධිපති ඇතුළු එම බැඳුම්කර නිකුතුවේ යෙදුන නිලධාරීන් විසින් 2017 බැඳුම්කර කොමිසමට සැපයු සාක්ෂිවලින් පැහැදිලි වෙයි.

එම ක්‍රමවේදය අත්හිටුවීම හේතු කොට ප්‍රසිද්ධ වෙන්දේසි හරහා පමණක් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම තුළින් ආර්ථිකයේ පොලී අනුපාතයන් ඉහළ ගිය බවත්, ඵලදා වක්‍රයේ දිගු කාලීන පොලී අනුපාතයන් පාලනයට මහ බැංකුවට ප්‍රතිපත්ති මෙවලමක් නොමැතිව ගිය බවත්, 2016 මහ බැංකු වාර්ෂික වාර්තාවේ ද දැක්විණ. එමගින්, පෙනේනේ මහ බැංකුව විසින් නීති විරෝධී ලෙස මූල්‍ය ප්‍රතිපත්ති මෙවලමක් ලෙස පෞද්ගලික බැඳුම්කර නිකුතු භාවිතා කොට ඇති බව යි.

එය නිත්‍යානුකුල නම් දැනට අධි විදීමට ලක් වී ඇති පොලී අනුපාතයන් ස්ථායීකරනය සඳහා පෞද්ගලික බැඳුම්කර නිකුතු නැවතත් හඳුන්වා දීමට මහ බැංකු අධිපතිට හැකියාව පවතී. එහෙත්, එම ක්‍රමවේදය අක්‍රමිකතාවන්ගෙන් පිරි එකක් බව බැඳුම්කර කොමිසම විසින් තීරණය කොට, ඒ පිළිබඳ ව වෝහාරික විගණනයක් කරන ලෙස නියම කරන ලදි. එම විගණනයේ තොරතුරු තවමත් මහජනතාව වෙත ප්‍රසිද්ධ කොට නොමැත.

මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ යාමට සාපේක්ෂව වෙළෙඳපොළ පොලී අනුපාත ව්‍යුහයේ විෂමතාවන් පවතින බව ප්‍රකාශ කිරීම

මෙය කිසිම ආර්ථික පදනමක් නොමැති ප්‍රකාශනයකි. වෙළෙඳපොළේ පොලී අනුපාතයන්හි මට්ටම සහ වෙනස්වීම තීරණය වන්නේ ඊට අදාළ ණය ගනුදෙනුවල පවතින අවදානම් පදනම් කර ගෙන ය. මහ බැංකු පොලී අනුපාතයන් යනු මහ බැංකුවේ අවදානම් රහිත එක් දින ණය ගනුදෙනු සඳහා අදාළ පොලී අනුපාතයන් ය.

එබැවින්, මහ බැංකු පොලී අනුපාතයන් සහ වෙළෙඳපොළේ විවිධ පොලී අනුපාතයන් අතර නිශ්චිත පරතරයක් තිබිය යුතු බවට ප්‍රකාශ කිරීමට කිසිම ආර්ථික හෝ මූල්‍ය න්‍යායක් මහ බැංකුවට නොමැත. එබැවින්, මහ බැංකු පොලී අනුපාතයන් වෙනස් වීමට ප්‍රතිචාර ලෙස වෙළෙඳපොළ පොලී අනුපාතයන් වෙනස් වීම වෙළෙඳපොළ සාධක අනුව තීරණය වනු ඇත. එය යෝග්‍ය නොවේ නම් අවම බැංකු තැන්පතු පොලී අනුපාතයන් සහ උපරිම ණය පොලී අනුපාතයන් පමණක් නියම කිරීමේ බලය මහ බැංකුවට පවතී.

එසේම, මෙවර බැංකු තැන්පතු පොලී අනුපාතයන් ආරම්භයේ දී සුළු වශයෙන් ඉහළ ගිය ද, මහ බැංකුව විසින් නිල නොවන ලෙස බැංකුවලට අවවාද කිරීම හරහා තැන්පතු පොලී අනුපාතයන් 15%-20% දක්වා ඉහළ ගිය බවට තොරතුරු පවතී. උදාහරණ ලෙස මැයි මස 19 දින පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කරනු ලැබුවේ පුද්ගලයන් අතැති විදේශ මුදල් බැංකු වෙත මාරු කොට, එම මුදල් වර්තමානයේ 20% ක් පමණ වූ  ඉහළ පොලී අනුපාතයකට තැන්පත් කිරීම ඉතා වාසි දායක බව යි.

මැයි 13 දින මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ විනිමය අනුපාත මාර්ගෝපදේශය හේතු කොට වෙළෙඳපොළ විනිමය අනුපාතයේ ස්ථායීතාවයක් හට ගැනීම සහ නිල විනිමය වෙළෙඳපොළට සාපේක්ෂව අවිධිමත් වෙළෙඳපොළ විනිමය අනුපාතයන්ගේ අතිරික්තය පහළ ගොස් ඇති බව

පසුගිය මාර්තු 7 දින කිසිම ප්‍රතිපත්ති පැකේජයක රැකවරණය නොමැතිව හදිසියේ විනිමය අනුපාතය පා කිරීම හේතු කොට, එය මාස දෙකක් තුළ 85% කින් පමණ අවප්‍රමාණය වීමෙන් උද්ධමනය අධි උද්ධමනයක් බවට පත් වූ අතර ආර්ථිකය නව අගාධයකට තල්ලු විය. මෙම ප්‍රතිපත්ති වැරැද්ද හිටපු මහ බැංකු අධිපති වෙත විශේෂයෙන් එල්ල වී ඇත.

එහෙත්, නව මහ බැංකු අධිපති විසින් ද නැවත විනිමය අනුපාතය ස්ථාවරව තබා ගත යුතු බවට මාර්ගෝපදේශයක් මැයි 13 දින බැංකු වෙත නිකුත් කොට ඇත. එනම්, අන්තර් බැංකු තැන් විනිමය මිල දී ගැනීමේ සහ අළෙවි කිරීමේ ගනුදෙනු සඳහා මධ්‍ය විනිමය අනුපාතය ලෙස ඩොලරය රුපියල් 360 ක් ලෙස ද, ගනුදෙනු කෙරෙන තැන් විනිමය අනුපාතය ඒ මත උපරිම රුපියල් 2.60 කින් ඉහළ හෝ පහළ යා හැකි බව යි.

මාර්තු 7 දින සිට බැංකු විනිමය අනුපාතයන් මැයි 12 දින වන විට රුපියල් 364.20-377.50 (සාමාන්‍යය 377.86) දක්වා 85% කින් පමණ අවප්‍රමාණය විය. එහෙත්, ඉහත දැක්වූ අන්තර් බැංකු විනිමය අනුපාත මාර්ගෝපදේශ  විධානය වූ රුපියල් 360 හේතු කොට, මැයි මස 13 දින මහ බැංකුව විසින් තම වෙබ් අඩවියේ දක්වන ලද විනිමය අනුපාතය වුයේ රුපියල් 355.02-364.98 (සාමාන්‍යය 360) ය.

ඒ අනුව, හදිසියේම විනිමය අනුපාතය 3% කින් ප්‍රතිප්‍රමාණය වූ බවට වාර්තා වූ අතර මැයි 25 දින විනිමය අනුපාතය ලෙස රුපියල් 354.40-364.36 (සාමාන්‍යය 359.38) ලෙස වාර්තා වීම තුළින් මහ බැංකු වාර්තාවල සහ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ විනිමය අනුපාත මාර්ගෝපදේශය හේතු කොට ආර්ථිකයේ විනිමය අනුපාත ස්ථායීතාවයක් හට ගෙන ඇති බව යි. සමාජ මාධ්‍ය ජාලවල මෙය නව මහ බැංකු අධිපතිගේ හාස්කමක් ලෙස විදහා දැක්වෙයි.

මීට පෙර මහ බැංකු අධිපති විසින් විනිමය අනුපාතය මහ බැංකු විධානයක් හරහා රුපියල් 200 ක මට්ටමේ තබා ගන්නා විට ද මහ බැංකු වාර්තාවල දැක්වූයේ විනිමය අනුපාත ස්ථායීතාවයක් පවතින බව යි. එහෙත්, එය මෝඩ ආර්ථික ප්‍රතිපත්තියක් ලෙසත්, විනිමය අනුපාතය වෙළෙඳපොළ සාධක අනුව විචලනය වීමට ඉඩ දිය යුතු බවත් සමාජ මාධ්‍යවල දැක්විණ.

වත්මන් විනිමය වෙළෙඳපොළ සාධක දෙස බලන විට වත්මන් විනිමය අනුපාතය ද ඉහත දැක්වූ රුපියල් 200 මට්ටමේ අනුගමනය කළ පාලන ප්‍රතිපත්තියම  නැවත රුපියල් 360 මට්ටමේ දී අනුගමනය කිරීමකි. එකම වෙනස වනුයේ තාක්ෂණික වචන භාවිතයේ වෙනස යි.  එනම්, නව විනිමය අනුපාතය මාර්ගෝපදේශ අනුපාතයක් ලෙස අර්ථ නිරූපනය කෙරේ. මහ බැංකු අධිපති විසින් මාධ්‍ය සාකච්ඡාවේ දී දැක්වූයේ එය බැංකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවන් සැලකිල්ලට ගෙන එකඟතාවයක් මත හඳුන්වා දුන් බව යි. මෙය මහජනයා වුවමනාවෙන් නොමඟ යැවීමට කරනු ලබන ප්‍රකාශයකි. ඊට හේතු කිහිපයකි.

  • පළමුව, විනිමය අනුපාත ස්ථායීතාවයක් හට ගැනීමට නම් එම මාර්ගෝපදේශ අනුපාතය වෙළෙඳපොළ සමතුලිත විනිමය අනුපාතයට අනුරූපී විය යුතුය. එහෙත්, වත්මන් විනිමය වෙළෙඳපොළ අර්බුදය දෙස බලන විට රුපියල් 360 සමතුලිත විනිමය අනුපාතය නොවන බව අ.පො.ස. උසස් පෙළ සිසුන් පවා දනී.

  • දෙවනුව, ආර්ථික විද්‍යා විෂය ග්‍රන්ථවල එවැනි විනිමය අනුපාත ක්‍රමයන් නොමැත. මහ බැංකු විසින් විධානය කෙරෙන විනිමය අනුපාතයන් යනු පාලිත විනිමය අනුපාතයන් වන අතර එය පවත්වා ගෙන යන්නේ මහ බැංකු විදේශ සංචිතය හරහා වෙළෙඳපොළට විදේශ විනිමය සැපයිමෙනි. එහෙත්, මහ බැංකු විදේශ සංචිතය බින්දුවට බැස ඇති බැවින් එවැනි පාලන හැකියාවක් මහ බැංකුවට නොමැත.

  • තෙවනුව, මුදල් නීති පනත යටතේ මහ බැංකුවට බලය ඇත්තේ බැංකු විසින් මහජනයා සමඟ විදේශ විනිමය මිල දී ගැනීමේ අවම අනුපාතය සහ විකිණීමේ උපරිම අනුපාතය නියම කිරීමත්, මහ බැකුව විසින් බැංකු සමඟ විදේශ විනිමය ගනුදෙනු කෙරෙන විනිමය අනුපාතයන් නියම කිරීමත් ය. මෙවැනි මාර්ගෝපදේශ හෝ රුකඩ විනිමය අනුපාතයන් නියම කිරීමක් පිළිබඳ ව ප්‍රතිපාදන මුදල් නීති පනතේ අන්තර් ගත නොවේ.

  • සිවුවනුව, බැංකු වෙළෙඳපොළ විනිමය අනුපාතයන් සහ අවිධිමත් හෝ කළුකඩ වෙළෙඳපොළ විනිමය අනුපාතයන් අතර වෙනස අඩු වූ බවට ප්‍රකාශ කිරීමට සංඛ්‍යා දත්ත මහ බැංකුව වෙත නොමැත. නීති රීති මගින් අවිධිමත් හෝ කළුකඩ වෙළෙඳපොළ විනිමය වෙළෙඳපොළ හෝ වෙනත් වෙළෙඳපොළවල් පාලනය කිරීමට රාජ්‍ය අධිකාරීන්ට හැකියාවක් නොමැති බවත්, රාජ්‍ය නියාමනයන් තුළින් සිදු වන්නේ දුෂණය පමණක් බවත් පොදුජනයා හොඳින් දන්නා බව රහසක් නොවේ.

  • පස්වනුව, මෙම මාර්ගෝපදේශ අනුපාතය විනිමය අනුපාත ස්ථායීතාවය සඳහා නව මොඩලයක් නම් පකිස්තානය, තුර්කිය, ලෙබනනය, නේපාලය වැනි විනිමය වෙළෙඳපොළ අර්බුදයට මුහුණ දී ඇති බොහෝ රටවල් විසින් මෙය අනුගමනය කළ යුතු වෙයි. IMF විසින් එය නිර්දේශ කරනු ඇත. එහෙත්, එවන්නක් දැකිය නොහැකිය.

සමස්තයක් ලෙස ගත් විට මෙම මාර්ගෝපදේශ විනිමය අනුපාතය හුදු මාධ්‍ය සංදර්ශනයකි. මෙය පැරණි රුපියල් 200 විනිමය අනුපාතය මෙන් රුකඩ විනිමය අනුපාතයකි. ඊට හේතුව, එම විනිමය අනුපාතය සඳහා ක්‍රියාකාරී වෙළෙඳපොළක් නොමැති වීම යි. එහෙත්, මහ බැංකු අධිපති විසින් මැයි 19 දින මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කරනු ලැබුවේ දැනට රුපියල් 360-370 මට්ටමේ පවතින විනිමය අනුපාතය නුදුරේ දී රුපියල් 340-350 දක්වා පහළ යා හැකි බව යි. 

ගෙවුම් ශේෂ අතිරික්තයක් නොමැතිව එසේ විනිමය අනුපාතය පහළ යන බවට අදහස් දැක්වීම විහිළුවකි. මෙම වසරේ පළමු මාස තුනේ සමස්ත ගෙවුම් ශේෂ හිඟය ඩොලර් මිලියන 2,269 ක් වූ අතර එය අතිරික්තයක් කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක විදේශ ණය සහ ආයෝජන අවශ්‍ය වනු ඇත. වත්මන් ආර්ථික අර්බුදය තුළ එය සිහිනයකි.

විනිමය අනුපාතය ආරක්ෂා කිරීම සහ ස්ථාවර කිරීම සඳහා භාවිතා කිරීම හේතු කොට මහ බැංකු විදේශ සංචිතය ශුද්ධ වශයෙන් පහළ යාම 2020 දී ඩොලර් මිලියන 2,328 ක් ද, 2021 දී ඩොලර් මිලියන 3,961 ක් ද විය. මහ බැංකු විදේශ අංශ දත්ත අනුව ගෙවුම් ශේෂ හිඟය 2022 ජනවාරි-පෙබරවාරි මාස දෙක තුළ ඩොලර් මිලියන 5,663 ක් (එනම්, පසුගිය වර්ෂ දෙකේ සමස්ත හිඟයට කිට්ටු ප්‍රමාණයක්) ද, 2022 ජනවාරි-මාර්තු මාස තුන තුළ ඩොලර් මිලියන 2,269 ක් ද පමණ වූ අතර නිල විදේශ සංචිතය 2021 අවසානයේ දී ඩොලර් මිලියන 3,139 ක් ද, 2022 මාර්තු අවසානයේ දී ඩොලර් මිලියන 1,900 ක් ද වූ බැවින් මෙම විශාල හිඟය පියවූ ආකාරය මහ බැංකුව විසින් පැහැදිළි කළ යුතුය.

විදේශ ගමන්වල දී ඉතිරි වී ආපසු මෙරටට ගෙනෙන ලද විදේශ මුදල් නැවත බැංකු වෙත අළෙවි කිරීමට හෝ තැන්පත් කිරීමට දින 14 ක සමා කාලයක් ලබා දීම

පසුගිය 19 දින මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති  විසින් පැවසූවේ විදේශ ගමන් සඳහා බැංකුවලින් මිල දී ගෙන විදේශ ගමනින් පසු තබා ගත හැකි උපරිම විදේශ මුදල් ප්‍රමාණය ඩොලර් 15,000 කට සමාන බවත්, එය දින 90 ක් ඇතුලත නැවත බැංකු වෙත අළෙවි කිරීම හෝ තැන්පත් කිරීම කළ යුතු බවත් ය. එබැවින්, මෙතෙක් එසේ නොකරන ලද පුද්ගලයන්ට ඒ සඳහා දින 14 ක සමා කාලයක් දෙන බවත්, එසේ නොකරන පුද්ගලයන් අල්ලා ගෙන නඩු දැමීමට ක්‍රියා කරන බවත්, එසේ තබා ගත හැකි මුදල් ප්‍රමාණය ඩොලර් 10,000 දක්වා පහළ දැමීමට ක්‍රියා කරන බවත් ය.

මහ බැංකු අධිපති විසින් විශේෂයෙන් සඳහන් කරනු ලැබුවේ මෙවැනි විදේශ මුදල් වත්මන් විනිමය අනුපාතය වන රුපියල් 360-370 මත මාරු කොට එම මුදල් බැංකුවල රුපියල් තැන්පතු ලෙස තබා ගැනීමෙන් 20% ක් වැනි ඉහළ පොලී අනුපාතයක් ලබා ගත හැකි බවත්, ඉදිරියේ දී විනිමය අනුපාතය රුපියල් 340-350 දක්වා අඩුවීමෙන් ඇති විය හැකි අලාභය වලක්වා ගත හැකි බවත් ය. මෙය දැනට ශුන්‍ය වී ඇති මහ බැංකුවේ විදේශ සංචිතය නැවත ගොඩ නැගීමට ගන්නා නව පියවරක් විය යුතුය.

එහෙත්, පුද්ගලයන් විදේශ ගමන්වලින් පසු මෙසේ මුදල් ඉතිරි කර ගෙන එනවා ද? යන්න සැක සහිත ය. එසේ කළත් එම මුදල් ප්‍රමාණය මහ බැංකු විදේශ සංචිතය ගොඩ නැගීමට තරම් ඩොලර් බිලියන ගණනක් නොවනු ඇත. මෙම විනිමය පාලනය 2017 නොවැම්බර් මස 17 දින සිට ක්‍රියාත්මක කොට ඇති (එම අවස්ථාවේ උපරිම සිමාව ඩොලර් 10,000 කි) අතර විදේශ ගමන් සඳහා පුද්ගලයන් විසින් බැංකුවලින් මිල දී ගනු ලබන විදේශ විනිමය ප්‍රමාණයන් බැංකු විසින් මහ බැංකුව වෙත දැන්වීම් කෙරේ.  

එබැවින්, මහ බැංකුවට එම තොරතුරු හරහා යම් ඇස්තමේන්තුවක් කොට එම සියළු පුද්ගලයන්ගේ නිවෙස් පරික්ෂා කොට විදේශ මුදල් තිබේ දැයි විමසිය හැකිය. එහෙත්, මෙවැනි චන්ඩිකම් මහ බැංකුවකට කල නොහැකි අතර එසේ කළත් එමගින් අධිකරණ ක්‍රියාමාර්ගයන් හරහා රැස් කර ගත හැකි මුදල් ප්‍රමාණය ඒ සඳහා වූ වියදම පියවා ගැනීමටත් ප්‍රමාණවත් නොවනු ඇත.

එබැවින්, මෙවැනි උග්‍ර විදේශ විනිමය අර්බුදයක් විසඳීමට කරන්නන් වාලේ මෙවැනි සිල්ලර ප්‍රතිපත්ති තුළින් මහජනතාව රවටන්නේ නැතිව විදේශ ප්‍රේෂණ සහ අපනයන වැනි පද්ධති වැදගත් කමක් ඇති ආර්ථික කටයුතු කඩිනමින් වර්ධනය කිරීමේ විශේෂ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මහ බැංකු ආර්ථික විද්‍යඥයන් සමත් විය යුතුය.

රටේ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති නොවූවොත් සති දෙකකින් ඉල්ලා අස්වන බවට කළ ප්‍රකාශය

මහ බැංකු අධිපති විසින් පසුගිය මැයි 11 දින, එනම් පත් වී යාන්තම් මාසයකට පසු, විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කරනු ලැබුවේ ඉදිරි සති දෙක තුළ රට තුළ දේශපාලනික ස්ථායීතාවයක් ඇති නොකළ හොත් තමා දුරයෙන් ඉවත්ව යන බවත්, මෙම වාතාවරණය තුළ කිසිවෙකුට මෙම පුටුවේ රාජකාරි කළ නොහැකි බවත් ය. මෙහිදී, පාර්ලිමේන්තුවක් සහ මුදල් ඇමති කෙනෙක් නොමැතිව ක්‍රියාත්මක වීමට නොහැකි වීම විශේෂ හේතුවක් ලෙස දැක්වීය.

එහෙත්, මැයි 19 දින මාධ්‍ය හමුවේ දී ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබූවේ දේශපාලනික තත්ත්වයේ ප්‍රගතියක් සිදු වී ඇති බැවින් තමා ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් දැන් නොමැති බව යි. එහෙත්, ඒ වන විට ඇති වී තිබූ එකම ප්‍රගතිය වූයේ නව අගමැති කෙනෙක් පත් වී තිබීම පමණි. මුදල් ඇමති කෙකෙන් පත් වූයේ අද දිනය. රටේ පවතින වත්මන් මහජන විරෝධතාවන්, පාර්ලිමේන්තු රැස්වීම්වල ස්වරුපය, වරින් වර ඇමතිවරුන් පත් කිරීම් සහ මහජනයා මුහුණ දෙන දැඩි ආර්ථික අපහසුකම් දෙස බලන විට රටේ ඕනෑම කෙනෙකු පිළි ගන්නා සරල කරුන වන්නේ රටේ දේශපාලනික තත්ත්වයේ පවතින දැඩි අස්ථායීතාවය සහ නුදුරු අනාගතයේ එහි කිසිම ප්‍රගතියක් නොවන බව යි.

එසේම, එම මාධ්‍ය හමුවේ දී ඔහු පැවසුවේ මහ බැංකු කටයුතු මුදල් ඇමතිවරයෙකු නොමැතිව කළ හැකි බව යි. එහෙත්, මැයි 23 දින මාධ්‍ය හමුවක දී ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබූවේ මේ දිනවල IMF ණය වැඩසටහන පිළිබඳ ව නිලධාරී මට්ටමේ සාකච්ඡාවන් පැවැත්වෙන අතර වැඩසටහන සම්පුර්ණ කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කිරීම සඳහා මුදල් ඇමති ලෙස කවුරු හෝ පුද්ගලයකු අවශ්‍ය බව යි. එබැවින්, ඔහුගේ ප්‍රකාශයන් එකිනෙකට ගැටෙන අතර ඒවායෙන්  පෙනී යන්නේ "කන්න ඕන උනාම කබරයත් තලගොයා වනවා" යන කියමන ඔහු විසින් අනුගමනය කෙරෙන බව යි.

එසේම, ඉල්ලා අස්වන බවට කළ ප්‍රකාශය හුදෙක් දේශපාලනික අරමුණක් මත කළ දෙයක් බව මානව පැහැදිලි වෙයි. ඊට හේතුව, එම ප්‍රකාශනය කළ විගස නව රජයක් පිහිටු වීමට සිහින මවමින් සිටින දේශපාලන පක්ෂයක නායකයකු විසින් ඔහුගෙන් ඉල්ලා සිටියේ කලබල නොවී ටිකක් ඉවසා සිටින ලෙස ය.

මහ බැංකු අධිපති විසින් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ව අක්‍රමවත් ලෙස අදහස් පළ කිරීම

මෙය නිරන්තරයෙන් දැකිය හැකි ලක්ෂණයක් වන අතර එමගින් රජය තුළ දේශපාලනික ගැටුම් ඇති වීමට තුඩු දෙනු ඇත. රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ව අදහස් දැක්වීම මහ බැංකුවේ කාර්යයක් නොවේ. මෙය ඔහු විසින් තම සමාජ මාධ්‍ය ප්‍රසංශාව ව්‍යාප්ත කර ගැනීමේ මෙවලමක් ලෙස භාවිතා කිරීම දැකිය හැකිය. මුල දී දැක්වූ දේශපාලනික ස්ථාවරත්වය සහ ඉල්ලා අස්වීමට සුදානම් වීම එවැනි ප්‍රයත්නයකි.

මැයි මස 19 දින මාධ්‍ය හමුවේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා මහජනතාවගේ බදු මුදලින් දිරිදීම් දීම නොසුදුසු බවත්, තම යැපෙන්නන් සඳහා බැංකු පද්ධතිය හරහා ප්‍රේෂණ එවීම ඔවුන්ගේ වගකීම බවත් ඔහු විසින් ප්‍රකාශ කරන ලදි. ඊට ප්‍රතිචාර ලෙස විදේශ සේවා නියුක්තිකයන් විසින් බැංකුවලින් පිටතින් එවන ප්‍රේෂණ තවත් ඉහළ යන බව නිසැකය. එහෙත්, නව විදේශ රැකියා ඇමති විසින් පසුගිය 23 දින විදේශ ප්‍රේෂණ දිරිගැන්වීම සඳහා විශාල සහන පැකේජයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව වාර්තා විය.

මාධ්‍යය වෙත අක්‍රමවත් ලෙස ආර්ථිකය පිළිබඳ ව අදහස් ප්‍රකාශ කිරීම

මෙවැනි අදහස් නිරන්තරයෙන් සමාජ මාධ්‍යය හරහා විවිධාකාරයෙන් පැතිරීම රජයේ සහ මහ බැංකුවේ විශ්වසනීයත්වයට යෝග්‍ය නොවේ. එසේ දැක්වූ අදහස් දෙකක් පහත දැක්වෙයි.

  • මාස 6 කින් පමණ IMF ණය වැඩසටහන ලෑබූ විට ආර්ථික ස්ථායීතාවය ඇති වන බව. 

IMF ණය ප්‍රමාණය සහ කොන්දේසි තවමත් නොදන්නා අතර ඩොලර් බිලියන 3-4 ක් කොටස් වශයෙන් ලැබීමෙන් මෙතරම් උග්‍ර විදේශ මුදල් අර්බුදයකට මුහුණ දෙන රටකට එම මුදලින් නැවත ස්ථායීතාවය ලබා ගත හැකි බව ප්‍රකාශ කිරීම හාස්‍ය ජනක වෙයි. එසේම, ගෝලීය ආර්ථිකය ඉදිරියේ දී පසුබැසීමට ලක් වන බවට අපේක්ෂා කෙරෙන බැවින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථායී වීමට හැකියාවක් නොමැත.

  • ශ්‍රී ලංකාවේ උද්ධමනය 30%-40% මට්ටමේ පැවතිය හැකි අතර මේ දක්වා සිදු කොට ඇති මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම ප්‍රමාණවත් බව. 

එහෙත්, වත්මන් මූල්‍ය වාදී ප්‍රතිපත්ති ක්‍රමවේදය අනුව උද්ධමනය පහළ බැසීම ආරම්භ වන තෙක් ප්‍රතිපත්ති ක්‍රමිකව දැඩි කිරීම කළ යුතු බව පිළි ගැනේ. එබැවින්, වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රමාණවත් බව දැක්වීමට හෝ මෙතරම් දේශීය සහ ගෝලීය ආර්ථික අස්ථායීතාවන් පවතින විට උද්ධමනය පුරෝකතනය කිරීමට හෝ ආර්ථික විද්‍යා පදනමක් නොමැත.

IMF ණය වැඩසටහන පිළිබඳ ව විවිධ කාල නිර්ණයන් දැක්වීම

ඔහු විසින් අධිපති තනතුර භාර ගත්තේ IMF ණය වැඩසටහන ක්ෂණිකව ලබා ගැනීමේ පොරොන්දුව මත ය. එසේම, එම කාලය පිළිබඳ ව ඔහු විසින් වරින් වර විවිධ දින වකවානු ප්‍රකාශ කිරීම දැකිය හැකිය. උදාහරණ ලෙස අප්‍රේල් මස 29 දින ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබුවේ ඉදිරි මාස දෙක තුළ IMF නිලධාරී මණ්ඩලය සමඟ එකඟතාවයකට පැමිණිය හැකි බවත්, ඊට පසුව සති 2-3 ක කාලයක් තුළ IMF විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත හැකි බවත් ය.

හිටපු මුදල ඇමති විසින් මැයි මස 4 දින පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනු ලැබුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වුව හොත් අඩුම වශයෙන් මාස 6 කින් පමණ IMF ණය වැඩසටහනට එකඟ විය හැකි බව යි. එබැවින්, මහ බැංකු අධිපති විසින් IMF විකුණා තනතුර රැක ගැනීමේ ව්‍යාපෘතියක යෙදෙන බව පැහැදිලි ය.

කෙසේ වෙතත්, IMF විසින් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සහ ණය අර්බුදය සැලකිල්ලට ගෙන වෙනත් රටවල ද ඉදිරියේ දී මෙවැනි අර්බුද රැල්ලක් පැතිරිය හැකි බවට පුරෝකථනය කොට ඇති අතර එය වැලැක්වීමට විශේෂ සහ කඩිනම් ණය සැපයීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවට ප්‍රකාශ කොට ඇත. එබැවින්, ඒ යටතේ ශ්‍රී ලංකාවට ද ඉක්මනින් ණය වැඩසටහනක් ලැබීමේ සම්භාවිතාවක් ද පවතී. එසේම, නව රජය වෙත සංවර්ධිත රටවල අනුග්‍රහය ද මීට හේතුවක් විය හැකිය.

මුදල් මුද්‍රණය අඛණ්ඩව ඉහළ දැමීම

මුදල් මුද්‍රණය පිළිබඳ ව මහ බැංකු අධිපති විසින් තනතුර භාර ගැනීමේ දී දැඩි දේශපාලනික දෝෂාරෝපණයක් කොට මුදල් මුද්‍රණය පහළ දැමීම සඳහා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් කළඹ අඩු කරන බව ප්‍රකාශ කළ ද, ඔහු විසින් ද පැරණි ආකාරයටම මුදල් මුද්‍රණය කිරීම සිදු කෙරේ.

අප්‍රේල් මස 8 දින සිට මැයි 25 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සඳහා වරින් වර මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 173.8 ක් වෙයි. එසේම, මෙම දින දෙක අතර මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගයේ ඉහළ යාම රුපියල් බිලියන 124.4 කි.

ඊට අමතරව, මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම මත වෙන්දේසි නොපවත්වා මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කොට රජයට ණය ලබා දීමේ නව ක්‍රමවේදයක් මහ බැංකු අධිපති විසින් හඳුන්වා දෙන ලදී. ඒ අනුව, මෙතෙක් තෙවරක් රුපියල් මිලියන 62,928 ක් පමණ මුද්‍රණය කොට ඇත.  එබැවින්, නූතන මූල්‍ය න්‍යාය අතහැර උද්ධමනය පාලනය කිරීමට කථා කළ ද, මෙසේ රජයට මුදල් මුද්‍රණය කිරීම නූතන මූල්‍ය න්‍යාය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමකි.

එහෙත්, මෙසේ වෙන්දේසිවලින් පිටත සහ ද්විතීය වෙළෙඳපොළෙන් පිටත මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මුදල් නීති පනතට විරෝධී ක්‍රියාවකි.

තවද, නිත්‍ය ණය සැපයීම හරහා බැංකු වෙත ණය සැපයීමට මුද්‍රණය කෙරෙන දෛනික මුදල් ප්‍රමාණය ද රුපියල් බිලියන 700-800 පමණ දක්වා ඉහළ ගොස් ඇත.

අද පැවති කෝප් සභා රැස්වීමේ දී මහ බැංකු අධිපති විසින් දැක්වූ කරුණු 

එහිදී මහ බැංකු අධිපති විසින් වත්මන් ආර්ථික අර්බුදය, විදේශ මුදල් අර්බුදය, IMF සීග්‍ර මුල්‍යකරණ උපකරණය යටතේ ණය නොලැබීම, ස්වෛරිත්ව බැඳුම්කර නිකුතුව යනාදිය පිළිබඳ ව පසුගිය රාජ්‍ය නිලධාරීන්ට වැරදි පැටවීම කරන ලදි. එහෙත්, එම විෂයන් 2020 වර්ෂය අවසානය දක්වා අඛණ්ඩව වසර 8 ක් පමණ ඔහුගේ ඍජු අධික්ෂණය සහ මෙහෙයවීම යටතේ පැවතින. ස්වෛරිත්ව බැඳුම්කර නිකුතුව මුළු මනින්ම ඔහු විසින් මහ බැංකු විදේශ සංචිතය වර්ධනය කර පෙන්වීම සඳහා මෙහෙය වන ලදි. එහෙත්, මෑතකාලීන අනෙක් නියෝජ්‍ය අධිපති වරුන් උපරිම වසර 3 ක් හෝ ඊට පෙර විශ්‍රාම යාම දැකිය හැකිය.

IMF සීග්‍ර මුල්‍යකරණ උපකරණය යටතේ ණය ඉල්ලන ලෙසත්, එය කිසිම කොන්දේසියක් නොමැතිව ලබා දෙන බවත්,   IMF කළමනාකරණ අධ්‍යක්ෂක වරිය විසින් 2020 මාර්තු මාසයේ නිවේදන කළ අතර රටවල් ණය තිරසරභාවය වැනි කොන්දේසි ඇගයීමක් එහි දී සිදු නොවීය. ඊට හේතුව, එම ණය වැඩසටහනේ අරමුණ වනුයේ රටවල් මුහුණ දෙන හදිසි අර්බුදයන්ට තාවකාලික ණය ක්ෂණිකව ලබා දීම වන බැවිනි. ඒ අනුව, රටවල් 90 කට ඩොලර් බිලියන 170.6 ක පමණ හදිසි ණය මුදල් සපයා ඇත. රටවල් 31 කට ණය වාරික කල් දැමීම තුළින් ණය සේවාකරණ සහන ද ලබා දෙන ලදි.

එම රටවල් අතර ශ්‍රී ලංකාවට වඩා ණය බරින් මිරිකී ඇති දුප්පත් රටවල් වෙයි. මුදල් නීති පනත අනුව IMF වෙත රජය නියෝජනය කරනුවේ මහ බැංකුව වන අතර මහ බැංකු නිලධාරියෙකු IMF විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවය කෙරේ. වත්මන් මහ බැංකු අධිපති ද එම තනතුරේ වසර 3 ක් සේවය කොට ඇත. 

වත්මන් විදේශ මුදල් අර්බුදය සහ ආර්ථික අර්බුදය හුදෙක් ඔහු යටතේ වූ මහ බැංකු වගකීම් පැහැර හැරීම හේතු කොට හට ගත් බවට පර්යේෂණ සාක්ෂි පවතී. එහෙත්, කෝප් සභාවේ සාමාජිකයන්ට මහ බැංකු නිලධාරීන් පරීක්ෂා කිරීමේ විෂය දැනුමක් නොමැති බැවින් මහ බැංකු අධිපතිට මොනවා හෝ හරි පවසා කෝප් සභාව වික්ෂිප්ත කිරීමට හැකියාව පවතී. තවද, කෝප් රැස්වීම් ගමේ කෝපි කඩේ රැස්වීම්වලට දෙවැනි නොවන බව පෙනේ.

එබැවින්, කෝප් පරීක්ෂණයේ සටහන් මහජනයා වෙත ප්‍රසිද්ධ කොට අදහස් සහ තොරතුරු ලබා ගැනීමෙන් පරීක්ෂණය ඉදිරියට ගෙන යාම යෝග්‍ය වෙයි. එහෙත්, කෝප් පරික්ෂණයන් කල්ලි සාක්ෂි මේ දේශපාලනික මුහුණුවරක් ගන්නා අතර එමගින් දේශපාලනික වාසි හැර වෙනත් ගත හැකි පියවරක් නොමැත.

ඵබැවින්, ජනාධිපති කොමිසමක් හරහා ලේඛන සහ  දිවුරුම් සාක්ෂි මත පරීක්‍ෂණය කොට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම කාලෝචිත වනු ඇත.

මහ බැංකු අධිපති තනතුරේ ආර්ථික බලතල පිළිබඳ ව රජයට දෙන අවවාදය

මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් දෙස බලන විට මහ බැංකු අධිපතිගේ ආර්ථික ප්‍රතිපත්ති විධායක බලතල මුදල් ඇමතිගේ බලතලවලට වඩා ඉහළ වෙයි. මුදල් ඇමතිගේ බලතල බොහොමයක් අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ අනුමැතියට සහ අධීක්ෂණයට යටත් අතර මහ බැංකු අධිපතිගේ බලතල බොහෝ ස්වාධීන වෙයි. සමහර ප්‍රතිපත්ති සඳහා මුදල් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වුව ද, මහ බැංකු අධිපති එහි සභාපති වන අතර මුදල් මණ්ඩල සාමාජිකයන්ට මහ බැංකුවේ විෂයන් පිළිබඳ ව එතරම් තාක්ෂණික දැනුමක් නොමැති බැවින් මුදල් නීති පනත අනුව මහ බැංකු අධිපතිට අධිකාරී බලයක් ලැබී ඇත. එබැවින්, ආර්ථිකය ප්‍රවර්ධනය සහ ස්ථායීකරණය සඳහා මහ බැංකු අධිපතිගේ කාර්යභාරය ඉතා වැදගත් වනු ඇත. එසේම, ඔහු රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ ඉහළ සම්බන්ධීකරණයකින් ක්‍රියා කළ යුතුය.

එබැවින්, හිසේ කැක්කුමට කොට්ටය මාරු කරන්නාක් මෙන් අධිපති වරුන් වෙනස් නොවන ආකාරයට විශ්වාසනීය භාවයකින් යුතු පුද්ගලයකු අධිපති ලෙස පත් කිරීම අත්‍යවශ්‍ය ය. ඔහු හුදෙක් "හොඳ මිනිහෙක්" බවට හඳුනා ගන්නා පුද්ගලයකු නොව ඇගයිය හැකි කාර්යසාදනයක් සහිත මෙන්ම වත්මන් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගීම සඳහා ඉලක්ක ගත ප්‍රතිපත්ති ක්‍රමවේදයක් සහ එළඹුමක් ඉදිරිපත් කළ හැකි මෙන්ම වගකීමක් පැවරිය හැකි පුද්ගලයකු විය යුතුය. එසේම, ඔහු විසින් දේශපාලනික පිරිස් සමඟ එකතු වී තම ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැර ඇති විටක ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීම කළ හැකි වන මෙරට ජීවත් වන පුද්ගලයකු විය යුතුය.

 මහ බැංකු නිලධාරීන් තම ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කරන පරිදි අභ්‍යන්තර කළමනාකරණය කඩිනමින් ස්ථායී කිරීම අත්‍යවශ්‍ය අතර ඵ් සඳහා ව්‍යවස්ථාපිත බලතල මහ බැංකු අධිපති සතුව පවතී.

 (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)


පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?