ආර්ථිකය ගොඩ ගැනීමට අවශ්‍ය තැන්පතු සහන ද? නැතහොත් ණය සහන ද? මහ බැංකු අධිපතිගේ මතය නිවැරදි ද?



මේ දිනවල මහ බැංකු අධිපති විසින් විවිධ මාධ්‍ය හමු සහ රැස්වීම්වල දී ප්‍රකාශ කරනු ලබන අදහස් දෙස බැලීමේ දී ඒවා බොහොමයක් මහ බැංකු කාර්යයන්ට බාහිර විෂයන් වන අතර බොහොමයක් අදහස් ආර්ථික සහ බැංකු විෂයන් තුළ පිළි ගත නොහැකි මහජනයා මුලා කිරීමට තුඩු දෙන ඒවා බව සමාජ මාධ්‍ය තොරතුරු දෙස බැලීමේ දී පෙනේ. ඒවා තුළින් දේශපාලනික වාසි ලබා ගැනීමේ උත්සාහයක් පැහැදිලිව දැකිය හැකිය.

එබැවින්, ඉදිරි ලිපි කිහිපය මගින් පසුගිය දා තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලය හමුවේ දී සහ කෝප් සභාවේ දී මහ බැංකු අධිපති විසින් දක්වන ලද අදහස් කිහිපයක් පිළිබඳ ව කතුවරයාගේ නිරීක්ෂණයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

මෙහි පළමු ලිපිය IMF ණය ප්‍රමාද වීම පිළිබඳ ව කෝප් සභාවේ හෙළි වූ කරුණු අළලා පසුගිය 27 දින මෙම වෙබ් අඩවියේ පළ කරන ලදි.

මෙම ලිපියේ අරමුණ වනුයේ තරුණ ලංකික ව්‍යවසායක මණ්ඩල රැස්වීමේ දී බැංකු ණය ආපසු ගෙවීමේ සහනයක් සැපයිය නොහැකි බවට මහ බැංකු අධිපති විසින් දැක්වූ හේතුව සහ මහ බැංකුව විසින් තැන්පතු පිළිබඳ ව දරනු ලබන වත්මන් මතයේ සාවද්‍යතාවය ඉදිරිපත් කිරීම යි.

ණය ආපසු ගෙවීමේ සහනයක් සැපයිය නොහැකි බවට මහ බැංකු අධිපති විසින් දැක්වූ අදහස්

එහිදී, පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතයේ බලපෑම් සලකා ලීසිං සහ ණය වාරික ආපසු ගෙවීමේ දී සහනයක් දිය හැකි දැයි ඇසූ ප්‍රශ්නයට මහ බැංකු අධිපති විසින් ඍජුවම නොහැකිය යන්න පිළිතුරු දී ඊට හේතු ලෙස පහත කරුණු දැක්වීය.

  • බැංකු සහ මූල්‍ය ආයතනවලින් දී ඇති ණය සඳහා සහනයන් දිය යුත්තේ බදු මුදලින් පියවෙන රාජ්‍ය සහනාධාරයන් තුළින් වන අතර එම සහනයන්ගේ පිරිවැය තැන්පතු හිමියන්ට දැරීමට සිදු වීම අසාධාරණයක් බව.

  • කොවිඩ් කාලයේ දී පොලී අනුපාතයන් පහළ මට්ටමක වූ අතර 4% පොලියට රුපියල් බිලියන 160 ක් පමණ ද, බැංකුවල පොලිය 4%-8% පැවැතිය ද ඊට වඩා අඩු පොලියට ද ණය ලබා දුන් අතර එම අවස්ථාවේ උද්ධමන අනුපාතය 5% ක් පමණ වූ බැවින් එහි වරදක් නොමැති බව.

  • කොවිඩ් කාලයේ අවුරුදු දෙකක් පමණ ව්‍යාපාරවලට 4%, 5%, 6% සහ  7% වැනි අඩු පොලියට දුන් ණය සඳහා ඇත්ත වශයෙන් වියදම දැරුවේ 3% සහ 4% වැනි පහළ තැන්පතු පොලී අනුපාතයන් ලැබූ බහුතර විශ්‍රාමිකයන්, ඊපීඑෆ් සහ අඩු ආදායම් ලාභී ඉතුරුම් හිමියන් බව.

  • වෙනත් රටවල ණය වාරික ගෙවීම කල් දැමීම වැනි සහනයන් ලබා දෙන්නේ පාර්ලිමේන්තුව විසින් අනුමත කෙරෙන බදු ගෙවනන්ගේ මුදලින් වන අතර ලංකාවේ බැංකු ණය සඳහා සැපයූ සහනයන්ගේ වියදම සම්පූර්ණයෙන්ම දැරුවේ තැන්පත් හිමියන්ගේ මුදල්වලින් බව. එනම්, තැන්පත් හිමියන්ට ලැබීමට තිබූ 6% සහ 7% පොලිය වෙනුවට 4% ක පොලියක් ලබා දී, එම අරමුදල් ණය කරුවන්ට අඩු පොලියට ලබා දීම. එය පසුගිය වසර දෙකක තුනක පමණ කාලයක සිදු වූ අතර එයට ඔහු පෞද්ගලිකව විරුද්ධ වූයේ එය සහනාධාරයක් ලෙස රජයෙන් ලබා දී ඉදිරියේ දී බදු ගෙවනන්ගෙන් අය කර ගත යුතු බැවින් බව.

  • දැන් පොලී අනුපාතය වැඩි වී ඇති අතර උද්ධමනයට ගැලපෙන ලෙස තවමත් ඉතිරි කරන්නන්ට ප්‍රමාණවත් පොලී මුදලක් නොලැබෙන බව.

  • බැංකුවල ඇති කොටස් හිමියන්ගේ මුදල් 10% ක් පමණක් වන බැවින් තැන්පතු හිමියන්ගේ මුදල්වලින් ණය දෙන අතර තැන්පත් මුදල් ආරක්ෂා කිරීම මහ බැංකුවේ වගකීම වන බැවින් බැංකු සහ මූල්‍ය ආයතන නියාමනය කරන බව.

මහ බැංකු අධිපති විසින් දැක්වූ අදහස් කෙරෙහි කතුවරයාගේ ප්‍රතිචාරය

ඉහත දැක්වූ අදහස් බැංකු ව්‍යාපාරික සහ මූල්‍ය ප්‍රතිපත්ති මූලධර්මයන් අනුව පිළි ගත නොහැකිය. ඊට හේතු කිහිපයකි.

  • පළමුව, මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් ණය පිරිවැය වන පොලී අනුපාතයන් සහ එමගින් ණය ප්‍රවාහය හරහා මූර්ත ආර්ථික කටයුතු කෙරෙහි සම්ප්‍රේෂණය වන අතර තැන්පතු ද ණයවල එක් කොටසකි. නූතන මූල්‍ය ආර්ථික විද්‍යා මතය අනුව තැන්පතු ද ණය ක්‍රියාවලිය තුළින් ජනිත වන අතුරු මූල්‍ය විචල්‍යයක් වන අතර මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් ඉලක්ක කෙරෙනුයේ ආර්ථිකයේ ණය ප්‍රවාහය යි. තැන්පතු ඇතුළු සියළු ණය ගනුදෙනුවල පොලී අනුපාතයන් තීරණය වන්නේ ඒ ඒ ණයවල ඇති අවදානම් මට්ටම් අනුව ය. එසේම, මූල්‍ය ප්‍රතිපත්තිය කලින් කලට මහ බැංකුවේ හුදු අභිමතය මත ලිහිල් හෝ දැඩි කෙරෙන විට ආර්ථිකයේ පොලී පදනම ද ඒ අනුව පහළ හෝ ඉහළ යන අතර අවදානම් අනුව විවිධ ණයවල පොලී අනුපාතයන් තවදුරටත් වෙනස් වනු ඇත.

උදාහරණ ලෙස කොවිඩ් කාලයේ මූල්‍ය ප්‍රතිපත්තිය ඓතිහාසික ලෙස ළිහිල් කළ බැවින් තැන්පතු ඇතුළු ණය පොලී අනුපාතයන් ද එසේ පහළ ගිය අතර 2021 අගෝස්තු මැද සිට සහ විශේෂයෙන් 2022 අප්‍රේල් 8 දින සිට මූල්‍ය ප්‍රතිපත්තිය ඓතිහාසික ලෙස දැඩි කළ බැවින් තැන්පතු ඇතුළු ණය පොලී අනුපාතයන් ද එසේ ඉහළ යමින් පවතී.

එබැවින්, කොවිඩ් කාලයේ 3%-4% වැනි පහළ තැන්පතු පොලී අනුපාතයන් තුළින් ණය කරුවන්ට වාසි වූ බව දැක්වීම පදනම් විරහිත ය. එය සනාථ කිරීමට මහ බැංකුව සතුව ආර්ථික පර්යේෂණ දත්ත නොමැත.

  • දෙවනුව, බැංකු සහ මූල්‍ය ආයතන විසින් ව්‍යාපාරික කටයුතු කළමනාකරණය අවදානම් මත පදනම් වූ පොලී අන්තිකය (සමස්ත ණය පොලී සහ තැන්පතු පොලි අතර පරතරය) (Interest Margin) සහ මූල්‍ය සේවා ගාස්තු ආදායමෙන් එහි මෙහෙයවුම් සහ අවදානම් පිරිවැය ආවරණය කොට ලාභ අන්තිකයක් (එනම්, වත්කම් මත ඵලදා අනුපාතය - Return on Assets- සහ ප්‍රාග්ධනය මත ඵලදා අනුපාතය - Return on Equity) පවත්වා ගෙන යාමේ ඉලක්කයන් මත සිදු කෙරේ. මෙහිදී, ණය පැහැර හැරීම් සහ බොල් සහ අඩමාන ණය අවදානම් වැනි හඳුනා ගත් අනාගත බැංකු අවදානම් ආවරණය සඳහා ශුද්ධ ආදායමින් මුදල් වෙන් කොට (Provisions and Impairments) ශුද්ධ ලාභය ගණනය කෙරේ.

එබැවින්, හොඳ මූල්‍ය සහ ව්‍යාපාරික කලමනාකරණයක් ඇති බැංකු විසින් තම පොලී අනුපාතයන් වෙනස් කරනු ලබන්නේ පොලී ආන්තිකයේ ස්ථායීතාවය පවත්වා ගනිමින් වන අතර ලාභ ඉලක්කයන් සඳහා බොහෝ විට බැංකු සේවා ගාස්තු සංශෝධනය කිරීම දැකිය හැකිය. මහ බැංකු තර්ජනයන්ට බියෙන් පොලී අනුපාතයන් වෙනස් කරන්නේ රාජ්‍ය බැංකු පමණි.

එබැවින්, ණය පොලී අනුපාතයන් ඉලක්ක කොට ණය කරුවන්ගේ සුභසාදනය සඳහා තැන්පතු පොලී අනුපාතයන් තීරණය කිරීමක් සිදු නොවන අතර ඒවා වෙළෙඳපොළ සාධක සහ අවදානම් අනුව තීරණය වෙයි. එසේම, 4% පොලියට දුන් ණය මුදල් නීති පනත යටතේ මහ බැංකු ප්‍රතිමූල්‍ය තුළින් ආවරණය වූ බැවින් එයට තැන්පතු පොලී අනුපාතයන්ගේ සබැඳියාවක් නොමැත.

එබැවින්, පසුගිය වසර දෙක තුළ 4%, 5%, 6% සහ  7% වැනි අඩු පොලියට ලබා දුන් ණය සහනයන්ගේ පිරිවැය තැන්පතු හිමියන් විසින් 4%-5% වැනි පහළ පොලී අනුපාතයන් තුළින් දැරූ බව දැක්වීම පදනම් විරහිත අදහසකි.

  • තෙවනුව, මහ බැංකු අධිපතිගෙන් අසන ලද ප්‍රශ්නය වූයේ කොවිඩ් සහ වත්මන් විදේශ සංචිත අර්බුදය වැනි ණය කරුවන්ගේ පාලනයෙන් තොරව සමස්ත ආර්ථිකය කෙරෙහි ඇති වූ කම්පනයන් හේතු කොට නිසි පරිදි ණය වාරික ගෙවීමට නොහැකි වී ඇති ව්‍යාපාරිකයන්ගේ ණය ආපසු ගෙවීමේ තාවකාලික අත්හිටුවීමක් හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් තුළින් සහනයක් මහ බැංකුවෙන් ලබා දිය හැකි ද? යන්න ය. එය මහ බැංකු අධිපති විසින් රාජ්‍ය විදේශ ණය සේවාකරණය තාවකාලිකව අත්හිටුවා ජාත්‍යන්තර මූල්‍ය සහ නීති උපදේශකයන් හරහා ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ණය හිමියන්ගෙන් කරන ලද ඉල්ලීමට සමාන ය. එබැවින්, මහ බැංකු අධිපති විසින් මෙහිදී ලබා දී ඇත්තේ "යන්නෙ කොහේ ද මල්ලෙ පොල්" පිළිතුරකි.

මුදල් මණ්ඩලය විසින් එසේ විවිධ බැංකු ණය කාණ්ඩයන් සඳහා කොවිඩ් සමය ඇතුළු විවිධ අවස්ථාවල ණය වාරික ගෙවීම තාවකාලික අත්හිටුවීමේ විධානයන් හෝ උපදෙස් බැංකු වෙත නිකුත් කොට ඇත. එහිදී, එම ණයවල කල්පසු වූ නව වාරික සහ පොලිය ආපසු අයකර ගැනීම පිණිස නිරායාසයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වෙයි. සමහර ණය නැවත ලේඛනගත කිරීමේ ක්‍රියාවලියක් පවතින ඒ සඳහා මහ බැංකු විෂණයන් ද නිකුත් කොට ඇත. එසේම, පසුව අයකර ගත නොහැකි ණය සඳහා බැංකුවේ ශුද්ධ ආදායමින් මුදල් වෙන් කොට නීති මගින් ණය අයකර ගැනීමේ පියවරයන් ගැනේ. වෙනත් රටවල සිදු වන්නේ ද එම ක්‍රියාවලිය යි. 1997/98 ආසියානු මූල්‍ය අර්බුදය සමයේ සහ 2007-2009 ගෝලීය මූල්‍ය අර්බුදය සමයේ සිදු වූයේ ද එය යි.

එවැනි අක්‍රීය ණය හේතු කොට බැංකු පද්ධතිය අර්බුදයට පත් වන අවස්ථාවක බැංකු/මූල්‍ය ස්ථායිතාවය ආරක්ෂා කිරීම සඳහා එම ණය පාඩු ආවරණය පිණිස රජය විසින් අරමුදල් ලබා දෙන විට පමණක් බදු ගෙවන්නන්ගේ මුදල් භාවිතා වෙයි. 2007-2009 ගෝලීය මූල්‍ය අර්බුදය නිරාකරණය සඳහා සංවර්ධිත රටවල රජයන් විසින් එවැනි ක්‍රමවේදයන් හෙවත් බැංකු බේරා ගැනීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන ලදි.

උදාහරණ ලෙස ඇමෙරිකාවේ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ඩොලර් බිලියන 700 ක් පමණ වූ Troubled Asset Relief Program (TARP) එවැන්නකි. එමගින්, බැංකුවල මූල්‍ය අර්බුදයට ඍජුව හේතු වූ කාණ්ඩ කිහිපයක ණය රජය විසින් මිල දී ගැනීම හරහා බැංකුවලට ද්‍රවශීලතාවය සැපයූ අතර එම ණය පසුකාලයේ දී අය කර ගැනීම තුළින් එසේ සැපයූ රාජ්‍ය අරමුදල් ප්‍රමාණය වර්තමානයේ ඩොලර් බිලියන 31 දක්වා පහළ ගොස් ඇත.

ආසියානු මූල්‍ය අර්බුදය සමයේ රාජ්‍ය අනුග්‍රහය සහිත වත්කම් කළමනාකරණ සමාගම් (Asset Management Companies) පිහිටුවා එම සමාගම්වල ප්‍රග්ධනයෙන් බැංකුවල බොල් ණය මිල දී ගෙන ඒවා අය කර ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කොට රාජ්‍ය මුදල් පසුව අයකර ගන්නා ලදි. ශ්‍රී ලංකාවේ ද 2007 දී එවැනි වත්කම් කළමනාකරණ සමාගමක් පිහිටු වීමේ නීති කෙටුම්පතක් සාකච්ඡා කළ ද එය ඉදිරියට ගියේ නැත.

  • සිවුවනුව, තැන්පතු හිමියන් ආරක්ෂා කිරීමේ මහ බැංකු වගකීම ඉටු කිරීම පිණිස බැංකු සහ මූල්‍ය ආයතනයන් නියාමනය කරන බවට දැක්වූ අදහස සාවද්‍ය වෙයි. එම නියාමනයේ මූලික අරමුණ වනුයේ බැංකු/මූල්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා කිරීම තුළින් බැංකු/මූල්‍ය පද්ධතියයේ ස්ථායීතාවය ආරක්ෂා කිරීම යි. ඒ සඳහා දායක වීම සඳහා මහ බැංකුව තුළ දෙපාර්තමේන්තු සහ නිලධාරී සභා රාශියක් පවතී. ඉහත දැක්වූ මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය නිවැරදි නම් 2008 සිට මේ දක්වා කඩා වැටී බංකොලොත් වී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතු පැහැර හැරීම පිළිබඳ ව වගකීම මහ බැංකුව භාර ගෙන එම මුදල් ඔවුන්ට ගෙවා දැමිය යුතුය.

  • පස්වනුව, ණය කරුවන්ට සහන සැපයීම සඳහා යන වියදම සම්පුර්ණයෙන් තැන්පතු හිමියන්ට දෙන පහළ පොලී අනුපාතයන් මගින් දරණ බව ප්‍රකාශ කිරීමෙන් තැන්පතු හිමියන් නොමඟ යැවීමත්, එමගින් බැංකු සහ මූල්‍ය ආයතන වෙත ඇති ඔවුන්ගේ විශ්වාසය යම්දුරකට පළුදු වීමටත් හේතු විය හැකිය. මහ බැංකුව විසින් පසුගිය අප්‍රේල් මස 8 දින මහ බැංකු පොලී අනුපාතයන් 7% කින් ඉහළ දැමීමෙන් පසුව මහ බැංකුව විසින් තැන්පතු පොලී අනුපාතයන් ඉහළ දැමීම පිණිස බැංකු වෙත ඍජු බලපෑම් කිරීම ආරම්භ කොට ඇත.

මහ බැංකු පොලී අනුපාතයන් 7% කින් ඉහළ දැමීමට අනුරූපව ක්ෂණිකව බැංකු තැන්පතු පොලී අනුපාතයන් ඉහළ නොගිය බවට උරණ වූ මහ බැංකුව විසින් අප්‍රේල් මස 21 දින විධානයන් හරහා බැංකු වෙත දැන්වූයේ මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමට අනුකූලව තැන්පතු වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම පිණිස තැන්පතු පොලී අනුපාතයන් ඉහළ දමන ලෙස යි. ඊට ප්‍රතිචාර ලෙස රාජ්‍ය බැංකු විසින් ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතයන් 13%-15% දක්වා ඉහළ දැමු අතර ක්‍රමවත් මූල්‍ය කළමනාකරණ පද්ධතියක් අනුගමනය කෙරෙන වාණිජ බැංකු විසින් ස්ථාවර තැන්පතු පොලී අනුපාතයන් ඉහළ දමා ඇත්තේ 10%-13% පමණ මට්ටමකට ය.

එහෙත්, මහ බැංකු අධිපති විසින් පසුගිය 19 දින පැවති මූල්‍ය ප්‍රතිපත්ති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කරනු ලැබූවේ විදේශ මුදල් තිබෙන පුද්ගලයන්ට ඒවා බැංකුවලට විකුණා තැන්පත් කිරීමෙන් 20% ක් වැනි ඉහළ පොලී අනුපාතයක් ලබා ගැනීමෙන් ඉහළ මූල්‍ය වාසියක් ලබා ගත හැකි බව යි. එහෙත්, මෙවැනි අධික තැන්පතු පොලී අනුපාතයන් ප්‍රදානය කරනු ලබන්නේ අරමුදල් හිඟයක් පවතින අවදානම්කාරී බැංකු විසින් විය යුතු අතර ශක්තිමත් විදේශ මුදල් වත්කම් හිමි අයට ඒවා අළෙවි කොට මෙවැනි අවදානම් අධික බැංකු තැන්පතුවලට යොමු වන ලෙස නිල උපදෙස් දීම පදනම් විරහිත වන අතර එය නීති විරෝධී අභ්‍යන්තරික වෙළෙඳ ජාවාරම්වලට අනුබල දීමක් ලෙස ද හඳුනා ගත හැකිය.

එබැවින්, සංවර්ධිත රටවල මෙන් වෙළෙඳපොළ සම්ප්‍රේෂණය මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයක් පවතින විට වෙළෙඳපොළ අවදානම් මත තීරණය වන පොලී අනුපාතයන්ගේ මට්ටම් පිළිබඳ ව මහ බැංකුව විසින් මතයන් සහ විධානයන් නිකුත් කිරීම මූල්‍ය ප්‍රතිපත්තියට විරුද්ධ වෙයි. මහ බැංකුවට එසේ බැංකු පොලී අනුපාතයන් කෙරෙහි ඍජු මැදිහත් වීමක් සිදු කිරීමට අවශ්‍ය නම් මුදල් නීති පනත අනුව සිදු කළ හැක්කේ තෝරා ගත් තැන්පතු සහ ණය කාණ්ඩයන් සඳහා උපරිම පොලී අනුපාතයන් නියම කිරීමේ බලය මුදල් මණ්ඩලය වෙත පවතී. එහෙත්, තැන්පතු දිරි ගැන්වීමට බැංකු විසින් ප්‍රදානය කෙරෙන අවම පොලී අනුපාතයන් හෝ ණය අධෛර්යමත් කිරීමට බැංකු විසින් ණය සඳහා අය කළ යුතු අවම පොලී අනුපාතයන් හෝ නියම කිරීමේ බලයක් මහ බැංකුවට නොමැත. ඊට මූලික හේතුව වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය එවැනි ඍජු ප්‍රතිපත්තිවලට යෝග්‍ය නොවීම යි.

මෙහිදී, මහ බැංකුව විසින් මෑත දී මෙසේ උපරිම පොලී අනුපාතයන් නියම කළ ද එය සාර්ථක නොවූ බව දැක්විය යුතුය. එනම්, වත්මන් මහ බැංකු අධිපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති සහ මූල්‍ය ප්‍රතිපත්ති සභාවේ සභාපති ලෙස ක්‍රියා කළ සමයේ 2019 අප්‍රේල් මස 29 දින බැංකු ණය පොලී අනුපාතයන් පහළ හෙළා ණය ප්‍රවාහය දිරිමත් කිරීමේ අරමුණින් බැංකු උපරිම තැන්පතු පොලී අනුපාතයන් නියම කළ අතර එය සාර්ථක නොවීම හේතු කොට 2019 සැප්තැම්බර් 24 දින සිට එය අවලංගු කොට සමහර ණය කාණ්ඩයන් සඳහා උපරිම පොලී අනුපාතයන් නියම කරන ලදි. එයද, පසුව ඉවත් කරන ලදි. 

  • සයවනුව, මහ බැංකුව විසින් තැන්පතු ගැන මෙතරම් වැදගත් කමක් දැක්වීමට හේතුව තැන්පතු ප්‍රසාරණය තුළින් සංසරණයේ පවතින කාසි හා නෝට්ටු පරිමාව අඩු වීම හේතු කොට ආර්ථිකයේ සමස්ත ඉල්ලුම/වියදම පහළ ගොස් උද්ධමනය පාලනය කිරීමට උපකාරී වන බව පිළි ගැනීම යි. මහ බැංකුවේ මෙම විශ්වාසට හේතුව මුදල් සැපයුම සහ මුදල් මැවීම පිළිබඳ ආර්ථික විද්‍යා දැනුමක් නොමැති වීම යි. ඊට හේතුව, ආර්ථිකයේ සමස්ත ඉල්ලුම/වියදම තීරණය කෙරෙන මුදල් සැපයුම යනු කාසි හා නෝට්ටු සහ තැන්පතු යන විචල්‍යයන් දෙකෙහි එකතුව වන අතර තැන්පතු ඉහළ යාම යනු මුදල් සැපයුමේ සංයුතිය වෙනස් වීමක් පමණි.

එසේම, ඉහළ තැන්පතු පොලී අනුපාතයන් හේතු කොට ආර්ථිකයේ කාසි හා නෝට්ටු ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහළ ගිය හොත්, මහජනතාවගේ කාසි හා නෝට්ටු/තැන්පතු අනුපාතය පහළ ගොස් බැංකු පද්ධතියේ ණය/මුදල් මැවීමේ හැකියාව (මුදල් ගුණකය) (Money Creation) ඉහළ ගොස් මුදල් සැපයුම ප්‍රසාරණය වී මහ බැංකුව පිළි ගන්නා පැරණි මූල්‍ය වාදී සංකල්පයට අනුව උද්ධමනය තවත් ඉහළ යාමට තුඩු දෙනු ඇත.

එබැවින්, වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය තුළ බැංකු තැන්පතු සහ බැංකු පොලී අනුපාතයන් පිළිබඳව මහ බැංකුව/මුදල් මණ්ඩලය විසින් දරණ මතය මූල්‍ය ප්‍රතිපත්ති පරිචය මෙන්ම බැංකු පරිචයට ද අනුකූල නොවේ.

එහෙත්, මහ බැංකු අධිපතිගේ ඉහත දැක්වූ ප්‍රකාශයන් හේතු කොට සමාජ මාධ්‍යය තුළ ඔහු තැන්පතු හිමියන් අතර ඉතා ප්‍රචලිත වී ඇති අතර සමහර යු ටියුබ්වල සංසරණය වන තැන්පතු ප්‍රවර්ධන වෙළෙඳ වැඩසටහන් ආරම්භ වන්නේ මහ බැංකු අධිපතිගේ පින්තුරය ප්‍රදර්ශනය කිරීමෙනි. 

එබැවින්, මෙසේ තැන්පතු හිමියන් පිළිබඳ ව අනවශ්‍ය වැදගත් කමක් දීම මහ බැංකු අධිපති විසින් දේශපාලනික නායකයෙකු මෙන් තමා බහුතර මහජනයා අතර ප්‍රචලිත වීමේ උපාය මාර්ගයක් ලෙස අනුගමන කිරීමක් ලෙස දැකිය හැකිය. එය දිගු කාලීන පදනමක් මත මධ්‍යස්තව මහ බැංකු කාර්යයන් කිරීමේ ප්‍රතිපත්තියට එරෙහි ක්‍රියාවකි.

මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති එළඹුම විය යුත්තේ බැංකු ණය ප්‍රදාන ක්‍රියාවලිය යි

නූතන මූල්‍ය ආර්ථිකයන්හි කොඳු නාරටිය වන්නේ ණය ප්‍රවාහය සහ ව්‍යුහය යි. ශ්‍රී ලංකාව වැනි රටවල මූල්‍ය වෙළෙඳපොළවල දුර්වල ක්‍රියාකාරිත්වය හේතු කොට ආර්ථිකයේ නිෂ්පාදන සහ උපයෝජන ක්‍රියාකාරකම් මූලික වශයෙන් බැංකු ණය ප්‍රවාහය, පරිමාව සහ ව්‍යාප්තිය මත රැඳී පවතී. එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය මූලික වශයෙන් බැංකු ණය හරහා ආර්ථිකය කෙරෙහි සම්ප්‍රේෂණය සිදු වෙයි. මෙහිදී, තැන්පතු යනු ණය කාසියේ අනෙක් පැත්ත යි.

එබැවින්, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බැංකු ණය පද්ධතියේ වැදගත්කම කිව යුතු නොවේ. ඉහත දැක්වූ පරිදි තරුණ ලංකික ව්‍යවසාය මණ්ඩලය විසින් බැංකු ණය සඳහා සහනයක් ඉල්ලා සිටියේ එබැවිනි. එහෙත්, මහ බැංකුවේ වත්මන් අන්තර් බැංකු එක් දින ණය වෙළෙඳපොළ මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය තුළ ආර්ථිකය සඳහා බැංකු ණය පද්ධතිය සහ ප්‍රවාහය කෙරෙහි කිසිම අවධානයක් යොමු නොකෙරේ. 

එබැවින්, වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය උද්ධමන පාලනයට ද යෝග්‍ය නොවන අතර පැරණි මූල්‍ය වාදී උද්ධමන සංකල්පය පිළි ගෙන මහ බැංකු පොළී අනුපාතයන් 9% කින් ඉහළ දමා ආර්ථිකයේ මූල්‍ය තත්ත්වය දැඩි කිරීමෙන් සිදු වී ඇත්තේ කඩා වැටෙමින් පවතින ආර්ථිකය බංකොලොත් කොට උද්ධමනය තවත් ඉහළ නැංවීම පමණි. මෙම ඉහළ පොලී අනුපාතයන් යටතේ රජයට ණය ගැනීමට නොහැකි වී ඇති බැවින් මහ බැංකුව විසින් තම පැරණි මූල්‍ය වාදී උද්ධමන සංකල්පයට එරෙහි වෙමින් තව තවත් මුදල් මුද්‍රණය කිරීමට පටන් ගෙන ඇත. 

තවද, විනිමය අනුපාතයේ 80% ක පමණ අධි අවප්‍රමාණය හේතු කොට විදේශ මුදල් තැන්පතු ගිණුම්වල රුපියල් වටිනාකම ඉහළ යාමෙන් තැන්පතු සහ මුදල් සැපයුම සංඛ්‍යාවන් කෘතීම ලෙස අධි ගණනය වීමෙන් මූල්‍ය ප්‍රතිපත්ති විචල්‍යයන් ද පිළි ගත නොහැකි තත්ත්වයට පත් වී ඇත.

එබැවින්, මහ බැංකුව විසින් ඉහත දැක්වූ පරිදි බැංකු තැන්පතු කෙරෙහි දක්වන විශේෂ අවධානය පදනම් විරහිත වෙයි. ඇත්ත වශයෙන් බැංකු තැන්පතු ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව විසින් කළ යුත්තේ බැංකු පද්ධතියේ ණය අවදානම අවම කිරීම යි. ඊට හේතුව, බැංකු පද්ධතියේ ශේෂ පත්‍රයෙන් 75% ක් පමණ වන බැංකු තැන්පතු ආපසු ගෙවීමේ හැකියාව තීරණය වන්නේ බැංකු ණයවල ගුණාත්මක භාවය මත වන අතර හුදෙක් ගිණුම් සටහනක් වන 8.7% ක් (මහ බැංකු අධිපති දැක්වූ පරිදි 10% ක් නොවේ) පමණ වූ බැංකු ප්‍රාග්ධනයෙන් ඊට පිටුවහලක් නොලැබෙන බැවිනි.

මෙම තත්ත්වය යටතේ වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණයට උපකාරී වීම සඳහා මුදල් නීති පනතේ දැක්වෙන ජාතික වගකීම් මහ බැංකුව විසින් ඉටු නොකරන බව ඉතා පැහැදිලි ය. එබැවින්, නව මුදල් ඇමති විසින් මුදල් නීති පනතේ 116(2) වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් පොදුජනතාවගේ යහපත පිණිස මෙම අවස්ථාවේ අනුගමනය කළ යුතු මූල්‍ය ප්‍රතිපත්තිය කුමක් ද? යන්න විධානයන් නිකුත් කළ යුතුය. එසේ නොකළොත් වත්මන් මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියට රජයේ එකඟතාවය අදහස් වන අතර වත්මන් ආර්ථික සහ මූල්‍ය අස්ථායීතාවයට නව රජය/නව මුදල් ඇමති  ද වගකිව යුතු වෙයි.

එහෙත්, වත්මන් පාර්ලිමේන්තු සහ දේශපාලන අස්ථායීතාවය තුළ මහ බැංකුව කෙරෙහි එවැනි ඓතිහාසික ප්‍රතිපත්ති මැදිහත් වීමක් බලාපොරොත්තු විය නොහැකිය. ආර්ථික අර්බුදය විසඳීම කෙරෙහි පාර්ලිමේන්තුවේ කිසිම දායකත්වයක් බලපොරොත්තු විය නොහැකිය. එබැවින්, සාර්ව ආර්ථික කළමනාකරණ වගකීම් ඇති ඉහළ රාජ්‍ය නිලධාරීන් පත් කිරීමේ දී පවතින ආර්ථික ප්‍රතිපත්ති නීති රාමුව තුළ මෙම ඓතිහාසික ආර්ථික අර්බුදය විසඳීම පිණිස ඉලක්කගත නව්‍ය ප්‍රතිපත්ති මෙවලම් හඳුන්වා දීමට හැකියාව ඇති පුද්ගලයන් තෝරා පත් කිරීම අවශ්‍ය වෙයි. 

එසේ නැතිව, ප්‍රතිපත්ති මූලධර්මයන් නොතකා සමාජ මාධ්‍යය හරහා රාජ්‍ය තනතුරු සහ වරප්‍රසාදයන් තුළින් තම පුද්ගල ප්‍රතිමුර්තිය ගොඩ නැගීමට උත්සාහ කරන පුද්ගලයන් එවැනි තනතුරුවලට පත් කිරීමෙන් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉදිරි දශකයක් හෝ ඊට වැඩි කාලයක් ගත වනු ඇත. එහි ආදීනව විඳීමට සිදු වන්නේ බහුතර පොදුජනතාව බව නොරහසකි. රාජ්‍ය නිලධාරීන් ද අර්බුදයේ දිග පළල පිළිබඳ ව දේශනා පවත්වමින් ඉන් දුක් විඳීමට සුදානම් වන ලෙස පොදුජනයාට අවවාද කිරීම යුගයේ ලොකුම විහිළුව ලෙස දැකිය හැකිය.


(ඉහත ව්‍යවසාය මණ්ඩලය හමුවේ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විදේශ ණය මත රැඳුන ආනයන ආර්ථික මොඩලය වෙනුවට අපනයන ආර්ථිකයට මාරු වීමේ අවශ්‍යතාවය, මැයි මස 25 දින කෝප් කමිටු රැස්වීමේ දී ඉදිරි මාස 3 තුළ ආර්ථිකය මුහුණ දෙන අභියෝගයන් සහ පසුගිය 28 දින ජනාධිපති හමු වී ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳ ව මහ බැංකු අධිපති විසින් දැක්වූ අදහස් කෙරෙහි තාක්ෂණික නිරීක්ෂණයන් ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.)

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)


පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

 

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි