2021 ශ්‍රී ලංකා ආර්ථිකයට වැරදිකරු රජය පමණ ද? මහ බැංකුව නිදොස් ද?

 

මෙම ලිපියේ අරමුණ පසුගිය දා නිකුත් වූ 2021 මහ බැංකු වාර්ෂික වාර්තාවේ දත්ත අනුව 2021 වර්ෂයේ ආර්ථිකයේ වර්ධන තත්ත්වය පිළිබඳ ව කෙටියෙන් දැක්වීම යි.

ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයේ දැඩි බලපෑමට මුහුණ දුන්නේ 2021 වර්ෂයේ දී ය. සමාජ අගුළු දැමීම් සහ වසංගතයේ අධික පැතිරීම හේතු කොට ආර්ථික සහ ජන ජීවිතය දැඩි පසුබෑමකට ලක් වූ බව රහසක් නොවේ. 2020 ආරම්භයේ සිට පැතිරුණ මෙම ගෝලීය වසංගතය සහ පසුගිය වර්ෂය කිහිපය තුළ අනුගමනය කළ අක්‍රමවත් සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති හේතු කොට වර්ධනය වූ ආර්ථික පද්ධති අවදානම් 2020 වර්ෂය මැද සිට පුපුරා යාම සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස පොදු ජනයා මුහුණ දුන් ආර්ථික කම්කටොළු හේතු කොට ගෙන පැන නැගුණ මහජන විරෝධතාවන් වර්තමානය වන විට උච්ඡ වී ඇති බව නොරහසකි.

එබැවින්, ආර්ථික ඉලක්කම් කුමක් වුව ද, 2021 වර්ෂයේ දී ආර්ථිකය දැඩි අවපාතයකට මුහුණ දුන් බව ඉතා පැහැදිලි ය. දැනට පවතින තොරතුරු සහ ප්‍රවණතාවන් දෙස බලන විට ආර්ථිකය නැවත 2019 පැවති තත්ත්වයට ගොඩ නැගීම සඳහා අඩුම වශයෙන් දශකයක් ගත වනු ඇත.

2021 වර්ෂයේ දී ආර්ථිකයේ ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳ ව කෙටි ඉදිරිපත් කිරීමක් පහත දැක්වෙයි.

සමස්ත ආර්ථික අස්ථායීතාවය ඉහළ යාම

  • පහළ මට්ටමේ ආර්ථික වර්ධනය

2020 දී වාර්තා වූ 3.6% ක් වූ ආර්ථික හැකිලීම හෙවත් ඍණ ආර්ථික වර්ධනයට සාපේක්ෂව 2021 දී 3.7% ක ආර්ථික වර්ධනයක් වාර්තා වෙයි. එබැවින්, 2021 ආර්ථිකයයේ නිෂ්පාදන මට්ටම තවමත් 2019 වර්ෂයේ මට්ටමට වර්ධන වී නොමැත. උදාහරණ ලෙස 2019 දී සමස්ත නිෂ්පාදනය 100 ක් වී නම්, 2020 දී එය 96.4 ක ට (එනම් 3.6% කින්) පහළ යන ලදි. එබැවින්, 2021 දී 3.7% ක වර්ධනය යනු සමස්ත නිෂ්පාදනය 99.97 දක්වා ඉහළ යාමකි.

2021 දී වර්ධනයට ආර්ථිකයේ ප්‍රධාන අංශය වන සේවා අංශයේ දායකත්වය 53.6% ක් විය.  ඒ අනුව, ආර්ථික වර්ධනයට කර්මාන්ත අංශයේ දායකත්වය 42% ක් ද, කෘෂිකාර්මික අංශයේ දායකත්වය 4.4% ක් ද විය.

  • ඒක පුද්ගල ආදායමේ පහළ වර්ධනය

2019 දී ඩොලර් 3,848 ක් වූ වාර්ෂික ඒක පුද්ගල ආදායම 2020 දී ඩොලර් 3,695 දක්වා පහළ ගිය ද, 2021 දී එය නැවත ඉහළ යන ලද්දේ ඩොලර් 3,815 දක්වා ය. එබැවින්, ශ්‍රී ලංකාවේ මූර්ත නිෂ්පාදන සහ ආදායම් මට්ටම තවමත් 2019 මට්ටමට වඩා පහළ වෙයි.

  • ආයෝජන සහ ඉතුරුම් පරතරය ඉහළ යාම

ආර්ථිකයේ ආයෝජන අනුපාතය ද.දේ.නි. යෙන් 2020 දී 25.1% සිට 2021 දී 27.7% දක්වා ඉහළ යාම තුළින් ආර්ථික වර්ධනය ජනිත කිරීමට හේතු වී ඇත. එහෙත්, දේශීය ඉතුරුම් අනුපාතයයේ ඉහළ යාම 2020 දී 18.7%  සිට 2021 දී 20.1% දක්වා පමණි.

එබැවින්, ආයෝජන ඉතුරුම් පරතරය මූල්‍යකරණය සඳහා විදේශීය මුලාශ්‍රවලින් සපයා ගත් ඉතුරුම් අනුපාතය 2020 දී 6.4% සිට 2021 දී 7.6% දක්වා ඉහළ යන ලදි. ආර්ථිකයේ නිෂ්පාදන පසුබැසීමක් සහ උද්ධමනකාරී පීඩනයක් පවතින විට දේශීය ඉතුරුම් වර්ධනය ඉදිරියේ දී පහළ යනු ඇත.

  • සේවා වියුක්තියේ මන්දගාමී පහළ යාම 

සේවා වියුක්තිය පහළ යන ලද්දේ 2020 දී 5.5% සිට 2021 දී 5.1% දක්වා සුළු ප්‍රමාණයකිනි. කොරෝනා වසංගතයට පෙර වර්ෂවල සේවා වියුක්ති අනුපාතය සාමාන්‍යයෙන් 4% - 4.5% පමණ විය. එබැවින්, 2021 දී ආර්ථිකය මුහුණ දුන් දැඩි සැපයුම් අවහිරතාවන් හේතු කොට නිෂ්පාදන ධාරිතා උපයෝජනය 2019 මට්ටමට නොපැමිණීම හේතු කොට සේවා වියුක්ති අනුපාතයේ සැලකිය යුතු පහළ යාමක් සිදු නොවීය.

එසේම, ශ්‍රම බලකා සමික්ෂණයේ ව්‍යුහය අනුව සේවා වියුක්ති අනුපාතය අවතක්සේරු වී වාර්තා වෙයි. ඊට හේතුව, සමීක්ෂණ සතිය තුළ පුද්ගලයකු සේවා වියුක්ත වුව ද, ඔහුට යෙදීමට රැකියාවක් පවතී නම් එම පුද්ගලයා සේවා නියුක්ත ලෙස සැලකීම යි. උදාහරණ ලෙස කොරෝනා වසංගතය තුළින් හට ගත් නිෂ්පාදන සහ සැපයුම් අවහිරතාවන් හේතු කොට සංවිධානය නොවූ අංශයේ රැකියා අහිමි වූ පුද්ගලයන් ද සේවා නියුක්ත පුද්ගලයන් ලෙස වර්ගීකරණය කෙරේ.

  • උද්ධමන පීඩනය ඉහළ යාම

ආර්ථිකයේ උද්ධමන පීඩනය ඉහළ යාම පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමෙන් නිරූපනය විය. එනම්, 2020 දී 4.2% සිට 2021 දී 12.1% දක්වා ඉහළ යාමකි. මෙය ඉල්ලුම් සහ සැපයුම් සාධකවල ප්‍රතිඵලයකි. කොරෝනා වසංගතය හේතු කොට හට ගත් දේශීය සහ ගෝලීය සැපයුම් දාමයන්ගේ අවහිරතාවය, ගෝලීය ඉන්ධන මිල ගණන් ඉහළ යාම සහ දේශීය නිෂ්පාදන ක්‍රියාකාරකම් 2019 පැවති මට්ටමට ඉහළ නොයාම යනාදිය තුළින් සැපයුම් අංශයේ වර්ධනය පහළ මට්ටමක විය. 

මූලික වශයෙන් රාජ්‍ය ණය ප්‍රසාරණය හරහා මුදල් මුද්‍රණය සහ මුදල් සැපයුම ඉහළ යාම තුළින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම හෝ වියදම ඉහළ ගිය අතර සැපයුම් අවහිරතාවන් හේතු කොට සමස්ත ඉල්ලුමේ නිෂ්පාදන/ආදායම් ගුණක ක්‍රියාවලිය සිමාකාරී වී ඇත. එබැවින්, සමස්ත ඉල්ලුම් - සැපයුම් අසමතුලිතතාවන් සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතු කොට ආර්ථිකයේ උද්ධමනකාරී පිඩනයක් හට ගැනිණ. එය 2022 අප්‍රේල් මාසය අවසාන වන විට 29.8% දක්වා ඉහළ ගොස් ඇත.

එහෙත්, කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් වූ ආර්ථිකයේ සැපයුම් අවහිරතාවන් හේතු කොට නිෂ්පාදන ධාරිතාවයේ අව උපයෝජනයක් පවතී. එබැවින්, වත්මන් උද්ධමනකාරී පීඩනය විභව නිෂ්පාදනය/සැපයුම හෝ නිෂ්පාදන ධාරිතාවය ඉක්මවා සමස්ත ඉල්ලුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් නොවේ.

විදේශීය ගනුදෙනු මූල්‍ය වශයෙන් අවාසි වීම

  • වෙළෙඳ හිඟය ඉහළ යාම

වෙළෙඳ හිඟය හෙවත් භාණ්ඩ අපනයන ආදායම සහ ආනයන වියදම අතර හිඟය 2020 දී ඩොලර් බිලියන 6.0 සිට 2021 දී ඩොලර් බිලියන 8.1 දක්වා ඩොලර් බිලියන 2.1 කින් (එනම්, 34% කින්) ඉහළ යන ලදි. ඊට හේතුව, ආනයන වියදම අපනයන ආදායමට වඩා ඉහළ යාම යි. 2021 දී ආනයන වියදම ඩොලර් බිලියන 16.1 සිට ඩොලර් බිලියන 20.6 දක්වා ඩොලර් බිලියන 4.5 කින් ඉහළ ගිය අතර අපනයන ආදායම ඉහළ යන ලද්දේ ඩොලර් බිලියන 10.0 සිට ඩොලර් බිලියන 12.4 දක්වා ඩොලර් බිලියන 2.4 කිනි.

  • විදේශ සේවා නියුක්ති ප්‍රේෂණ පහළ යාම

2021 දී විදේශ ප්‍රේෂණ පහළ යාම ඩොලර් බිලියන 1.6 ක් පමණ විය. එනම්, 2020 දී ඩොලර් බිලියන 7.1 සිට 2021 දී ඩොලර් බිලියන 5.5 දක්වා පහළ යාම යි. මෙම පහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන්නේ බැංකු අංශයේ විනිමය අනුපාතය අවප්‍රමාණය වීමට ඉඩ නොදී මහ බැංකුව විසින් පාලනය කිරීම (ඩොලරය රුපියල් 200 මට්ටමේ) හේතු කොට තරගකාරී ඉහළ විනිමය අනුපාතයන්ට (ඩොලර රුපියල් 220-230) කළු කඩ විනිමය වෙළෙඳපොළ හරහා විදේශ ප්‍රේෂණ අළෙවි කිරීම යි. එය තවමත් සිදු වන බව නොරහසකි.

  • ගෙවුම් ශේෂ  ජංගම ගිණුමේ හිඟය ඉහළ යාම

වෙළෙඳ හිඟය ඉහළ යාම සහ විදේශ ප්‍රේෂණ පහළ යාම හේතු කොට ජංගම ගිණුමේ හිඟය 2020  දී ඩොලර් බිලියන 1.2 සිට 2021 දී ඩොලර් බිලියන 3.3 දක්වා 175% කින් ඉහළ ගොස් ඇත. මෙය පියවීම සඳහා බැංකු පද්ධතියේ විදේශ සංචිත කෙරෙහි දැඩි බරක් ඇති කෙරෙන ලදි.

  • ගෙවුම් ශේෂ සමස්ත හිඟය ඉහළ යාම

රටක ගෙවුම් ශේෂයේ සමස්ත හිඟයක් හට ගන්නේ, එහි ජංගම ගිණුමේ හිඟය පියවීමට ප්‍රමාණවත් ශුද්ධ විදේශ ප්‍රාග්ධන ප්‍රමාණයක් නොලැබීම හේතුවෙනි.

2020 සහ 2021 වර්ෂවල ඒ සඳහා ප්‍රමාණවත් විදේශ ණය සහ ආයෝජන (එනම්, විදේශ ප්‍රාග්ධනය) සපයා ගැනීමට නොහැකි වීමෙන් ගෙවුම් ශේෂයේ සමස්ත හිඟය (එනම්, ජංගම ගිණුමේ ශේෂය සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය අතර පරතරය) 2020 දී ඩොලර් මිලියන 2,328 සිට 2021 දී ඩොලර් මිලියන 3,967 දක්වා ඩොලර් මිලියන 1,639 කින් හෝ 70.4% කින් ඉහළ යන ලදි. එබැවින්, 2020 දී සහ 2021 දී ප්‍රාග්ධන ගිණුම ද විශාල හිඟයකට (එනම්, ප්‍රාග්ධනය රටින් ඉවත්ව යාම) මුහුණ දී ඇත.

එබැවින්, මෙම සමස්ත ගෙවුම් ශේෂ හිඟය පියවීමට මහ බැංකුවේ විදේශ සංචිතය යොදා ගැනීමට සිදු විය. එබැවින්, 2021 දී මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිතය (විදේශ වත්කම් - විදේශ වගකීම්) ඩොලර් මිලියන 3,967 කින්, එනම් සමස්ත ගෙවුම් ශේෂ හිඟයේ ප්‍රමාණයෙන්, පහළ යන ලදි.

සාර්ව ප්‍රතිපත්ති (රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය) කාර්යසාධනය

2021 වර්ෂයේ ආර්ථිකය සහ වත්මන් ආර්ථික අර්බුදය දෙස බලන විට ආර්ථිකය ස්ථායීකරණය සඳහා වත්මන් සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රමවේදය සම්පුර්ණයෙන් අසමත් වී ඇත. එබැවින්, එය ආර්ථිකයේ ප්‍රමුඛ අංශයන්හි වර්ධනය ඉලක්ක කොට ගෙන කඩිනමින් නවිකරණය කිරීම අත්‍යවශ්‍ය වෙයි. එසේ නොවුව හොත් වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉදිරි දශකය ද ප්‍රමාණවත් නොවනු ඇත.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති කාර්යසාධනය 

2021 වර්ෂය අවසන් වන විට රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ පැවති දුබලතාවයේ තරම 2022 වසරේ අප්‍රේල් 11 දින රාජ්‍ය විදේශ ණය පැහැර හැරීමට සිදු වීමෙන් පැහැදිලි වෙයි. එම දුබලතාවය මූලික වශයෙන් රාජ්‍ය වියදම් උපයෝජන සහ ආදායම් රැස් කිරීමේ දුර්වල කාර්යසාධනයේ ප්‍රතිඵලයකි. ණය ගැනීමේ අපහසුතාවය සහ ඉහළ පොලී පිරිවැය හේතු කොට 2022 සහ ඉදිරි වර්ෂවල රාජ්‍ය වියදම් කපා හැරීම සහ බදු ඉහළ දැමීම මෙන්ම වත්මන් දේශපාලනික අර්බුදය හේතු කොට ආර්ථිකය තව දුරටත් පහළ යාමේ දැඩි අවදානමක් පවතී.

  • අයවැය හිඟය ඉහළ දැමීම

ආර්ථිකය වෙත රාජ්‍ය අංශයේ මැදිහත් වීම නිරූපනය කෙරෙන රාජ්‍ය මූල්‍ය/අයවැය තත්ත්වය සැලකිය යුතු ලෙස පිරිහීම 2021 දී ද දැකිය හැකිය. ද.දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම පහළ යාම සහ වියදම ඉහළ යාම හේතු කොට අයවැය හිඟය 11.1% සිට 12.2% දක්වා තවත් ඉහළ යන ලදි. අයවැය හිඟයේ ඉහළ යාම 2020 දී රුපියල් ට්‍රිලියන 1.7 සිට 2021 දී රුපියල් ට්‍රිලියන 2.1 දක්වා 23.4% ක් විය.

  • රාජ්‍ය ණය තොගය ඉහළ දැමීම

2020 වර්ෂයේ මෙන් 2021 වර්ෂය තුළ ද ශුද්ධ වශයෙන් විදේශ ණය ගෙවීම හේතු කොට අයවැය හිඟය පියවීම දේශීය ණය හරහා සිදු විය. එබැවින්, රාජ්‍ය ණය තොගය (ගෙවිය යුතු පොලී රහිතව) ද.දේ.නි.යෙන් 2020 දී 100.6% සිට 2021 දී 104.6% දක්වා ඉහළ ගොස් ඇත. එනම්, රුපියල් ට්‍රිලියන 2.5 ක පමණ ඉහළ යාමකි (රුපියල් ට්‍රිලියන 17.6 දක්වා).

ආර්ථිකයේ පැවති කොරෝනා වසංගතය හා බැදුන සැපයුම් අවහිරතාවන් හේතු කොට හිඟ අයවැයෙහි නිෂ්පාදන/ආදායම් ගුණක ක්‍රියාවලිය 2020 සහ 2021 වර්ෂවල පසුබෑ ඇති බව ආර්ථික වර්ධනය පහළ මට්ටමක පැවතීමෙන් පෙනේ.

මූල්‍ය ප්‍රතිපත්ති කාර්යසාධනය 

ආර්ථිකය කෙරෙහි මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්ති මැදිහත් වීමේ කාර්යසාධනය ඉතා අහිතකර බව මුදල් ප්‍රසාරණය පහළ යාම, පොලී අනුපාතයන් ඉහළ යාම, විදේශ සංචිත කඩා වැටීම සහ විනිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීම තුළින් පැහැදිලි වෙයි. සමස්තයක් ලෙස ගත් විට පොදුජනයා මුහුණ දෙන වත්මන් ඓතිහාසික ආර්ථික අර්බුදයේ මූලය ආර්ථිකයේ මූල්‍ය අංශයේ දුර්වල කළමනාකරණය (විශේෂයෙන් විදේශ විනිමය වෙළෙඳපොළ) හේතු කොට හට ගෙන ඇත.

2022 වර්ෂයේ මේ දක්වා මහ බැංකු පොලී අනුපාතයන් 8.5% කින් ඉහළ දැමීම සහ මාර්තු 7 දින එකවර විනිමය අනුපාතය පා කිරීම හේතු කොට විනිමය අනුපාතය මේ දක්වා 84% කින් පමණ අවප්‍රමාණය වී මහ බැංකුවේ පාලනයෙන් තොර අධි සමපේක්ෂණ අස්ථායීතාවයකට පත් වීම තුළින් සමස්ත ආර්ථිකය තවත් අර්බුදයකට පත් වී ඇත.

  • මුදල් මුද්‍රණය ඉහළ යාම

මුදල් මුද්‍රණය (සංචිත මුදල් තොගය) ඉහළ යාම 2020 දී 3.4% ට සාපේක්ෂව 2021 දී 34.4% කින් හෙවත් රුපියල් බිලියන 342 ක් විය. ඊට මූලික හේතුව, මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා රජයට සහ බැංකුවලට ණය සැපයීම යි.

  • මුදල් සැපයුමේ ප්‍රසාරණය

මුදල් මුද්‍රණය ඉහළ ගිය ද සමස්ත මුදල් සැපයුමේ/සංසරණයේ ප්‍රසාරණය 2020 දී 23.4% සිට 2021 දී 13.2% දක්වා සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත. ඊට ප්‍රධාන හේතුව වනුයේ රාජ්‍ය අංශය වෙත සැපයූ බැංකු ණය ප්‍රසාරණය 2020 දී 54.8% සිට 2021 දී 34.7% දක්වා පහළ යාම යි. පෞද්ගලික අංශයේ බැංකු ණය ප්‍රසාරණය 2020 දී 6.4% සිට 2021 දී 13.1% දක්වා ඉහළ ගිය ද, ආර්ථිකය යථා තත්ත්වයට වර්ධනය කිරීම සඳහා එය ප්‍රමාණවත් නොවීය.

  • පොලී අනුපාතයන් ඉහළ දැමීම

2021 දී මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 0.5% කින් (5% සහ 6% දක්වා), ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් (4% දක්වා) ඉහළ දැමීම සහ මහ බැංකුව විසින් බැංකු පද්ධතියෙන් මුදල් අවශෝෂණය කිරීම හේතු කොට ආර්ථිකයේ පොලී අනුපාතයන් සැලකිය යුතු ලෙස ඉහළ යන ලදි. උදාහරණ ලෙස, භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළෙඳපොළ පොලී අනුපාතයන් 3.19%-3.53% කින්, ප්‍රමුඛ බැංකු ණය අනුපාතය 1.1% කින් සහ බැංකු ස්ථිර තැන්පතු පොලී අනුපාතය 1.6% කින් ද පමණ ඉහළ යන ලදි.

තවද, 2022 වර්ෂයේ මේ දක්වා මහ බැංකු පොලී අනුපාතයන් 8.5% කින් ඉහළ දැමීම හේතු කොට ආර්ථිකයේ පොලී අනුපාතයන් සහ බැංකු ණය කෙරෙහි දැඩි කම්පනයක් හට ගෙන ඇත.

  • නිල විදේශ සංචිතය කඩා වැටීම

ඉහත දැක්වූ පරිදි ගෙවුම් ශේෂ සමස්ත හිඟය පියවීම හේතු කොට නිල විදේශ සංචිතය 2020 දී ඩොලර් මිලියන 5,664 සිට 2021 දී ඩොලර් මිලියන 3,139 දක්වා ඩොලර් මිලියන 2,525 කින් හෝ 44.6% කින් පහළ යන ලදි. ගෙවුම් ශේෂ සමස්ත හිඟයේ ප්‍රමාණයෙන් විදේශ සංචිතය පහළ නොයාමට හේතුව විදේශ මුදල් හුවමාරු ගිවිසුම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් මිලියන 787 ක් පමණ වටිනා නව එස්.ඩී.ආර්. සලාකයක් ලැබීම යි.

දැනට ද්‍රවශීල විදේශ සංචිතය ඩොලර් මිලියන 50 කට වඩා අඩු මට්ටමකට පත් වී ඇති බව මුදල් ඇමති විසින් මැයි මස 4 දින පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශ කොට ඇත. එබැවින්, විදේශ ණය ආධාර නොලැබුනොත් ආනයන කඩා වැටි ආර්ථික සහ ජන ජීවිතය තවත් කඩා වැටෙනු ඇත.

  • විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පාලනය

ඩොලරය සඳහා වූ විනිමය අනුපාතය 2020 අවසානයේ දී රුපියල් 186.41 සිට 2021 අවසානයේ දී රුපියල් 200.43 දක්වා 7.5% කින් අවප්‍රමාණය විය. ගෙවුම් ශේෂ සමස්ත හිඟය හෙවත් ඩොලර් අධි ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගිය ද ( 2020 දී ඩොලර් මිලියන 2,328 සිට 2021 දී ඩොලර් මිලියන 3,967 දක්වා ), ඩොලර් සඳහා විනිමය අනුපාතයේ අවප්‍රමාණය මෙසේ කුඩා ප්‍රමාණයක් වීමට හේතුව මහ බැංකුව විසින් විනිමය අනුපාතය රුපියල් 200 ක ස්ථාවර මට්ටමේ පාලනය කිරීම යි. එය 2021 මැයි මාසයේ සිට දැකිය හැකිය.

ඒ සඳහා මහ බැංකුව විසින් තම විදේශ සංචිතයෙන් බැංකු වෙත ඩොලර් අළෙවි කල අතර 2021 වර්ෂයේ දී ඩොලර් අළෙවිය ඩොලර් 3,967 ක්, එනම්, ශුද්ධ විදේශ සංචිතයේ පහළ යාම, පමණ විය. ඊට හේතුව, විනිමය අනුපාතය පාලනය යනු මිල පාලනයක් වන බැවිනි.

2022 මාර්තු 7 දින නිසි ප්‍රතිපත්ති පැකේජයක ආරක්ෂණය නොමැතිව මහ බැංකුව විසින් විනිමය අනුපාතය එකවර පා කිරීම හේතු කොට, එය මහ බැංකු පාලනයෙන් ඉවත් වී අධි සමපේක්ෂණ අස්ථායීතාවයකට පත් වීම තුළින් ආර්ථිකය නව අර්බුද රැල්ලකට හසු වී ඇත.

සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල වගකීම

ඉහත දැක්වූ ආර්ථික සාරාංශය දෙස බලන විට 2021 වර්ෂයේ දී අඛණ්ඩව පැවති ආර්ථික පසුබෑම ඉතා පැහැදිලිය. රටක ආර්ථිකයක් කම්පනයන්ගෙන් සහ අර්බුදයන්ගෙන් ස්ථායීකරණය කළ යුත්තේ ප්‍රතිපත්ති මැදිහත් වීමෙනි. ඊට හේතුව, ආර්ථික ස්ථායීකරණයට වෙළෙඳපොළවල් වෙත නිදහසක් නොමැති බැවිනි. එබැවින්, ආර්ථික ස්ථායීකරණයට යෝග්‍ය වන පරිදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය සුසංයෝගයෙන් ක්‍රියාත්මක කළ යුතුය. 

මෙහිදී, ගෝලීය කොරෝනා වසංගතය සහ ඉන් හට ගත් සැපයුම් දාම අවහිරතාවන් ප්‍රමුඛ ආර්ථික අස්ථායීතාවයන් පිළිබඳ ව ගෝලීය රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ට දැනුමක් සහ අත්දැකීම් නොතිබූ බැවින් ඔවුන් විසින් කරනු ලැබුවේ ආර්ථික අවපාතයන්ගෙන් ගොඩ ඒම සඳහා සාමාන්‍යයෙන් ගනු ලබන අති ළිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම යි.

එහෙත්, දියුණු වන රටවල ඉහළ මට්ටමේ ළිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමට නොහැකි වූයේ ආර්ථික ව්‍යුහයන්හි පැවති අවදානම් හේතු කොට ගෙන ය. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය විදේශ ණය මත පදනම් වූ විදේශ සංචිතයක් හරහා ආනයන මත පදනම් වූ ආර්ථිකය මූල්‍යකරණය කරන ලද අතර ආර්ථිකයේ දේශීය මූල්‍ය තත්ත්වය විදේශ සංචිතය සහ රාජ්‍ය ණය මත ක්‍රියාත්මක විය. එය මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති දුබලතාවයක් විය. කොරෝනා අර්බුදය හමුවේ විදේශ ණය රැස් කිරීම අඛණ්ඩව පවත්වා ගෙන යාමට රජයට අපහසු වූ බැවින් කොරෝනා මර්දනයට අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණය දේශීය බැංකු ණය ප්‍රසාරණය  තුළින් සිදු කරන ලදි. 

එබැවින්, මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති මොඩලයේ කඩා වැටීම සිදු විය. මෙම තත්ත්වය තුළ අපනයන සහ ආනයන ආදේශන ඇතුළු දේශීය ප්‍රමුඛ ආර්ථික අංශයන් ඉලක්ක කොට මූල්‍ය ප්‍රතිපත්තිය නව්‍යකරණය නොකිරීමත්, පැරණි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය අනුව විනිමය අනුපාතය පාලනය කරමින් විදේශ සංචිතය හරහා ගෙවුම් ශේෂ හිඟය පියවීමත් හේතු කොට ආර්ථිකයේ මූල්‍ය අංශය අර්බුදයට පත් විය. වත්මන් ඓතිහාසික ආර්ථික අර්බුදයේ මූල සාධකය මෙය යි.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ද කොරෝනා වසංගතයේ බලපෑමට ලක් වූ ආර්ථික අංශයන් ඉලක්ක කොට නව්‍යකරණය නොකළ බැවින් රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණය තුළින් ණය අර්බුදයකට මුහුණ දීමට සිදු විය. පැරණි මූල්‍ය සංකල්පයන් අනුව මහ බැංකුව විසින් 2021 අගෝස්තු මස මැද සිට මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළ රාජ්‍ය වියදම් පවත්වා ගෙන යාමට අවශ්‍ය දේශීය ණය රැස් කිරීමේ දැඩි ගැටළුවකට මුහුණ දී ඇත. එබැවින්, ආර්ථික පුනරුත්ථාපනය කෙරෙහි යොමු වූ ප්‍රතිපත්ති අතර කිසිම සුසංයෝගයක් දැකිය නොහැකිය.

සමස්තයක් ලෙස ගත් විට ආර්ථික අර්බුදයේ පළමු වරදකරු මහ බැංකුව වන අතර ආර්ථික ස්ථායීතාවයට යෝග්‍ය පරිදි සියළු ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කර ගැනීමට නොහැකි වීම හේතු කොට රජය ද වැරදිකරු වෙයි. එහෙත්, මහ බැංකුව විසින් තම වැරදි වසා ගැනීම සඳහා සියළු වැරදි රජයට පැවරීමේ උත්සාහයක නිරත වී ඇති බව මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් සහ මාධ්‍යය වෙත දක්වන අදහස්වලින් පැහැදිලි වෙයි.

වැරදි සහ නිවැරදි භාවය පිළිබඳ ව නොයෙකුත් සංකල්පීය වාද විවාද පැවැත්විය හැකි වුව ද, මෙහිදී, සිදු වන සමාජ අසාධාරණය වනුයේ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් තම මහජන අධිකාරිය නිසි ලෙස පොදු මහජන යහපත උදෙසා භාවිතා නොකිරීම හේතු කොට පරම්පරා කිහිපයක පොදුජනයාට මුහුණ දීමට සිදු වන ඓතිහාසික ආර්ථික අර්බුදය යි.

(2021 ආර්ථිකය පිළිබඳ ව ප්‍රතිපත්ති සම්පාදකයන්, වෘත්තීය වේදීන් සහ ආර්ථික විද්‍යා ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
 
(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

 





Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?