2021 මහ බැංකු වාර්තාව - මුදල් අච්චු ගැසුවේ කෙසේ ද? මුදල් අච්චු ලාභයට සිදු වූයේ කුමක් ද?

 


මුදල් නීති පනත අනුව මුදල් මණ්ඩලය විසින් මුදල් වර්ෂයක් අවසාන වී මාස 4 ක් ඇතුලත එම මුදල් වර්ෂය තුළ මහ බැංකුවේ මූල්‍ය තත්ත්වය, මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගයන් පිළිබඳ විවරණයක් සහ එම ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට හේතු සාධක වූ ආර්ථික සහ මූල්‍ය තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණයක් ද ඇතුලත් වාර්තාවක් මුදල් මණ්ඩලය විසින් මුදල් ඇමති වෙත ඉදිරිපත් කළ යුතුය. මහ බැංකු වාර්ෂික වාර්තාව ලෙස හැඳින් වෙන්නේ මෙම වාර්තාව යි.

2021 වර්ෂය මෙන්ම ඊට පෙර බොහෝ වර්ෂවල ඉදිරිපත් කොට ඇති වාර්ෂික වාර්තාවල සැකැස්ම සහ අන්තර්ගතය දෙස බලන විට ඒවා හුදෙක් ආර්ථිකය පිළිබඳ ඉලක්කම්වලින් පිරි දිගු ආර්ථික විවරණයක් වන අතර මුදල් නීති පනතේ නියම කොට ඇති අන්තර්ගතය ආවරණය නොවේ. එනම්, මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගයන් පිළිබඳ විවරණය මුල් කොට, ඊට අතිරේකයක් ලෙස ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගයන් ගැනීමට හේතු සාධක වූ ආර්ථික සහ මූල්‍ය තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම යි.

එසේම, මහ බැංකුවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ව හුදෙක් සම්මත මූල්‍ය වාර්තාවන් ඉදිරිපත් කොට ඇති අතර මුදල් මණ්ඩලය විසින් ගන්නා ලද ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගයන් මහ බැංකු මූල්‍ය තත්ත්වය සහ ආර්ථිකය කෙරෙහි බලපෑ ආකාරය ගැන වචන බිදක් නොදැක් වේ. ඕනෑම ආයතනයක වාර්ෂික වර්තාවක ප්‍රමුඛත්වය දෙන්නේ එහි මූල්‍ය තත්ත්වයේ ප්‍රගතිය විවරණය කිරීම යි. තවද, මහ බැංකු වාර්ෂික වාර්තාව වෙළුම් දෙකකින් ඉදිරිපත් කිරීම ද අසාමාන්‍ය සිද්ධියකි. මූල්‍ය වාර්තාවන් අඩංගු වන්නේ ප්‍රධාන වෙළුමේ නොව දෙවැනි වෙළුමේ ය.

මුදල් මණ්ඩල ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගයන් සෘජුවම මහ බැංකුවේ මුදල් මුද්‍රණය, වත්කම් වගකීම් ව්‍යුහය සහ ලාභය කෙරෙහි බලපානු ඇත. එබැවින්, මහ බැංකු මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම් තුළින් මුදල් මණ්ඩල ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගයන්ගේ ස්වරූපය සහ දිසාව නිරූපනය කෙරේ.

එබැවින්, මෙම ලිපිය මගින් 2020 සහ 2021 වර්ෂවල මහ බැංකු මූල්‍ය තත්ත්වයේ ප්‍රධාන වෙනස් වීම් සහ වාර්තාකරණ ගැටළු පිළිබඳ ව කෙටි සටහනක් ඉදිරිපත් කෙරේ.

2020 සහ 2021 වර්ෂවල නව මුදල් මුද්‍රණය

මහ බැංකු ශේෂ පත්‍රයේ වාර්තා කෙරෙන මුළු වත්කම් වටිනාකම මුදල් මුද්‍රණයේ වටිනාකම ලෙස සැලකේ. ඊට හේතුව, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය මගින් වත්කම් අත්කර ගන්නා බැවිනි. මුදල් මුද්‍රණය ගණනය කිරීම සඳහා ආර්ථික විද්‍යාවේ භාවිතා කෙරෙන සංචිත මුදල්/මුදල් පදනම/අධි බලැති මුදල් යනු විකල්ප සංකල්පයකි (සංචිත මුදල් අනුව මුදල් මුද්‍රණය විග්‍රහ කෙරෙන විශේෂ ලිපියක් මෙම වෙබ් අඩවියේ පසුගිය අප්‍රේල් 12 දින පළ කරන ලදි).

යම්කිසි කාලයක් තුළ මහ බැංකු වත්කම් වටිනාකමේ ඉහළ යාම එම කාලය තුළ නව මුදල් මුද්‍රණය ලෙස සැලකිය හැකිය. ඒ අනුව,  2020 සහ 2021 කාලය තුළ නව මුදල් මුද්‍රණය රුපියල් බිලියන 1,127 ක් හෙවත් 2019 අවසානයේ පැවති මුදල් මුද්‍රණය මෙන් 58.7% ක ඉහළ යාමකි. එය 2020 වර්ෂයේ රුපියල් බිලියන 502 ක් ද, 2021 වර්ෂයේ රුපියල් බිලියන 625 ක් ද විය. ඒ අනුව, 2021 අවසන් වන විට මහ බැංකුව විසින් 1950 සිට මුද්‍රණය කොට ආර්ථිකයේ පැවති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 3,046 ක් පමණ විය (ලිපිය අවසානයේ දැක්වෙන සංඛ්‍යා සටහන් බලන්න).

නව මුදල් මුද්‍රණයට දායක වූ මහ බැංකු වත්කම් මොනවා ද?

  • විදේශ වත්කම් 

මෑත අතීතයේ 2019 දක්වා කාලය තුළ මහ බැංකුවේ මුදල් මුද්‍රණයට දායක වූ ප්‍රධාන වත්කම වුයේ විදේශ වත්කම් සංචිතය යි. එනම්, මුදල් මුද්‍රණයෙන් 70%-90% පමණ ප්‍රමාණයකි. එහෙත්, 2020-2021 කාලය තුළ රාජ්‍ය විදේශ ණය සේවාකරණය ඇතුළු ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා විදේශ සංචිතය භාවිතා කිරීම හේතු කොට එය ක්ෂය වී යාම නිසා එමගින් මුදල් මුද්‍රණයට කළ දායකත්වය 2019 දී 78.8% සිට 2021 දී 26.2% දක්වා ඓතිහාසික ලෙස පහළ ගොස් ඇත.

එය මහ බංකූ විදේශ වත්කම් වටිනාකම 2019 දී රුපියල් බිලියන 1,512 සිට 2021 දී රුපියල් බිලියන 799 දක්වා රුපියල් බිලියන 713 කින් හෙවත් 47.2% කින් පහළ යාමෙන් පෙනේ. එනම්, එම ප්‍රමාණයෙන් මුදල් මුද්‍රණය පහළ යාම යි. විදේශ වත්කම්වල ඩොලර් වටිනාකම 2019 දී ඩොලර් මිලියන 7,642.4 සිට 2021 දී ඩොලර් මිලියන 3,139.2 දක්වා ඩොලර් මිලියන 4,503.2 කින් හෝ 58.9% කින් පහළ යන ලදි. මුදල් මණ්ඩලය/මහ බැංකුව විසින් අනුගමනය කළ විනිමය අනුපාතය වෙළෙඳපොළෙන් පිටත කෘතීම ලෙස ප්‍රතිප්‍රමාණය කොට අධි අගයක ස්ථාවරව පවත්වා ගැනීමේ ප්‍රතිපත්තිය හේතු කොට මෙසේ විදේශ සංචිතය හීන වී මුදල් මුද්‍රණය කෙරෙහි දැඩි ඍණාත්මක බලපෑමක් ඇති විය.

  • දේශීය වත්කම්

එබැවින්, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය පවත්වා ගෙන යාම සඳහා දේශීය වත්කම් අත්කර ගැනීම කෙරෙහි නැඹුරු වී ඇත. එය මූලික වශයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම (රාජ්‍ය සුරැකුම්පත්) සහ විශේෂයෙන් 2021 වර්ෂයේ දී රාජ්‍ය සුරැකුම්පත් ඇපය මත බැකු වෙත ණය දීම මත සිදු විය.

ඒ අනුව, මුදල් මුද්‍රණය තුළ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රතිශතය 2019 දී 6.6% සිට 2021 දී 63.9% දක්වා ඓතිහාසික ලෙස ඉහළ යන ලදි. එනම්, මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය 2019 දී රුපියල් බිලියන 77 සිට 2021 දී රුපියල් බිලියන 1,378 දක්වා රුපියල් බිලියන 1,301 කින් හෙවත් 1,700% කින් ඉහළ යාම යි. මෙම ඉහළ යාමෙන් රුපියල් බිලියන 638 ක් 2020 දී ද, රුපියල් බිලියන 663 ක් 2021 දී ද සිදු විය. මෙය 2022 අප්‍රේල් 29 දින වන විට රුපියල් බිලියන 1,865 දක්වා ඉහළ ගොස් ඇත.

රාජ්‍ය සුරැකුම්පත් ඇපය මත බැංකු වෙත ණය දීම 2021 වර්ෂයේ දී විශේෂයෙන් ඉහළ යාම දැකිය හැකිය. එම ණය ප්‍රමාණය 2019 දී රුපියල් බිලියන 50 ක් පමණ වුව ද, එය 2020 දී රුපියල් බිලියන 3 දක්වා පහළ ගොස් පසුව 2021 දී රුපියල් බිලියන 568 දක්වා විශාල ලෙස ඉහළ යන ලදි. 2020 දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් පහළ දැමීම ඇතුළුව මූල්‍ය ප්‍රතිපත්තිය ඓතිහාසික ලෙස ලිහිල් කිරීම සහ කොරෝනා වසංගතය තුළ පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම පහළ යාම හේතු කොට මහ බැංකුවෙන් බැකු ණය ඉල්ලුම පහළ ගිය බැවින් 2020 දී බැංකු වෙත දෙන ණය පහළ යන ලදි. 

එහෙත්, 2021 අගෝස්තු මැද සිට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් ඉහළ දැමීම ඇතුළුව මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම සහ පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉහළ යාම හේතු කොට ආර්ථිකයේ අරමුදල් හිඟයක් හට ගැනීම තුළින් 2021 දී බැංකු ණය ඉල්ලුම රුපියල් බිලියන 568 දක්වා ඉහළ යාම දැකිය හැකිය. මෙය 2022 අප්‍රේල් 29 දින වන විට රුපියල් බිලියන 784 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව, වර්තමානයේ මහ බැංකුව විසින් ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සහ බැංකු වෙත දෛනික ණය දීම (නිත්‍ය ණය) තුළින් මුදල් මුද්‍රණය කෙරේ. එබැවින්, මහ බැංකුව විසින් මෑත දී  ප්‍රකාශ කොට ඇති පරිදි තම භාණ්ඩාගාර බිල්පත් වත්කම් කළඹ අඩු කළ හොත්, මුදල් මුද්‍රණය පහළ ගොස් පොලී අනුපාතයන් තවත් ඉහළ ගොස් ආර්ථිකය දැඩි අවපාතයකට  මුහුණ දෙනු ඇත. එබැවින්, ආර්ථිකයෙහි නැවත විදේශ මුදල් අතිරික්තයක් ජනිත වන තෙක්, ආර්ථිකයට අවශ්‍ය මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවට සිදු වන්නේ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම හරහා ය.

මහ බැංකු මුදල් (මුද්‍රිත මුදල්) සඳහා ඉල්ලුම

මහ බැංකුව විසින් මුද්‍රණය කෙරෙන මුදල් මහ බැංකු වගකීම් වෙයි. එම වගකීම් සඳහා ඉල්ලුමක් පවතින්නේ කාසි සහ නෝට්ටු සහ මහ බැංකුවේ තැන්පතු ලෙස මුදල් පවත්වා ගැනීමට යි. මූල්‍ය දත්ත අනුව පෙනී යන්නේ මුදල් මුද්‍රණයට සාපේක්ෂව සංසරණයේ පවතින කාසි හා නෝට්ටු ඉල්ලුම පහළ ගොස් ඇති අතර බැංකු සහ මූල්‍ය ආයතන විසින් මහ බැංකුවේ තබා ගන්නා තැන්පතු (ප්‍රති මිල දී ගැනුම් ගිවිසුම් ඇතුළු) ඉල්ලුම ඉහළ ගොස් ඇති බව යි.

ඒ අනුව, මුළු වත්කම්/වගකීම්වල ප්‍රතිශතයක් ලෙස කාසි සහ නෝට්ටු ප්‍රමාණය 2019 දී 35.3% සිට 2021 දී 33% දක්වා පහළ ගොස් ඇත. ඊට ප්‍රතිවිරුධව, බැංකු තැන්පතු ප්‍රතිශතය 16.1% සිට 22.5% දකවා ඉහළ ගොස් ඇත.

එසේම, විදේශ මූල්‍ය වගකීම් ප්‍රමාණය 32% සිට 37.2% දක්වා ඉහළ ගොස් ඇත. මෙම කාලය තුළ මුළු වත්කම්වලින් විදේශ වත්කම් ප්‍රතිශතය 78.8% සිට 26.2% දක්වා පහළ ගොස් ඇති බැවින් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් තොගය (එනම්, විදේශ වත්කම් - විදේශ වගකීම්) ඍණ බවට පත් වී ඇත. එනම්, රුපියල් බිලියන -334 ක් ලෙසඑය 2022 පෙබරවාරි අවසාන වන විට රුපියල් බිලියන -734 දක්වා පහළ ගොස් ඇත. එහි අදහස වන්නේ මහ බැංකුවේ විදේශ මූල්‍ය තත්ත්වය බංකොලොත් බව යි.

මුදල් මුද්‍රණය මගින් මහ බැංකුව ලැබූ ලාභය

  • නොඉපැයූ ගිණුම් ලාභ ඇතුලත් කිරීමේ ගැටළුව

මහ බැංකු ලාභය ගණනය කිරීම මහා පරිමාණයේ මූල්‍ය ව්‍යාපාරයන්ට අදාළ ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිතීන් අනුගමනය කොට සිදු කෙරේ. එබැවින්, විදේශ වත්කම්වල පවත්නා වෙළෙඳපොළ මිල මත වත්කම් වටිනාකම ගණනය කෙරේ. මෙහිදී, වත්කම්වල වෙළෙඳපොළ මිල ගණන් ඉහළ ගොස් ඇත්නම් එම ප්‍රමාණයෙන් වත්කම් වටිනාකම ඉහළ යන අතර එසේ වටිනාකමේ ඉහළ යාම නොඉපැයූ ප්‍රාග්ධන ලාභ (උපලබ්ධි නොවූ වාසි/පාඩු) (Unrealized Gain/Loss) ලෙස මහ බැංකුවේ ආදායමට එකතු කෙරේ.

උදාහරණ ලෙස ඩොලරයේ විනිමය අනුපාතය 2019 අවසානයේ දී රුපියල් 181.63 සිට 2021 අවසානයේ දී රුපියල් 200.43 දක්වා රුපියල් 18.80 කින් ඉහළ ගොස් ඇත. එබැවින්, ඩොලර්වලින් ඇති විදේශ වත්කම් සහ වගකීම්වල ශුද්ධ රුපියල් වටිනාකම සෑම ඩොලරයකටම රුපියල් 18.80 බැගින් ඉහළ යනු ඇත. මෙය ශුද්ධ විදේශ විනිමය ප්‍රතිගණන ලාභය ලෙස හැඳින් වෙයි. එසේම, ඇමෙරිකාවේ ඇති රාජ්‍ය සුරැකුම්පත් වැනි විදේශ වත්කම්වල වෙළෙඳපොළ ඩොලර් මිල ඉහළ ගිය හොත් මහ බැංකුව සතු ඩොලර් වත්කම්වල වටිනාකම ද ඒ අනුව ඉහළ යනු ඇත. මෙම ලාභයන්  මිල වෙනස්වීම්වල ලාභය හෙවත් ගිණුම් ලාභ (Unrealized/Book-keeping Profit or Loss) ලෙස හැඳින් වෙයි.

මහ බැංකු යනු ලාභ අපේක්ෂාවෙන් ක්‍රියා කෙරෙන ව්‍යාපාරික මූල්‍ය ආයතන නොවන බැවින් මෙසේ විනිමය අනුපාත සහ වත්කම් මිල ගණන් වෙනස් වීම් තුළින් හට ගන්නා ගිණුම් ලාභ තම ආදායමට එකතු නොකෙරේ. මහ බැංකුවට අවශ්‍ය නම් ආර්ථිකයේ විනිමය අනුපාතයන් සහ පොලී අනුපාතයන් තම මූල්‍ය ප්‍රතිපත්ති තුළින් වෙනස් කොට ලාභ ඉහළ දැමිය හැකිය. 

එබැවින්, මුදල් නීති පනතින් විදේශ විනිමය ප්‍රතිගණන ලාභ/අලාභ මහ බැංකුවේ ආදායමට/ලාභයට එකතු කිරීම තහනම් කොට ඇති අතර එම ලාභ/අලාභය විනිමය ප්‍රතිගණන ගිණුමකට (International Reserve Revaluation Account) ඇතුලත් කොට මහ බැංකුවේ ශේෂ පත්‍රයට ඇතුලත් කරන ලෙස නියම කොට ඇත. එසේම, ලාභ අරමුණු කොට විදේශ වත්කම් හෝ වෙනත් වත්කම් අත්කර ගැනීම හෝ වෙළෙඳාම ද තහනම් වෙයි. එහෙත්, මහ බැංකුව විසින් මුදල් නීති පනත උල්ලංඝණය කරමින් එම නොඉපැයූ ගිණුම් ලාභ මහ බැංකුවේ ආදායමට/ලාභයට එකතු කෙරේ. 

ඊට හේතුව, මහ බැංකු මූල්‍ය වේදීන් විසින් මහ බැංකුව යනු මූල්‍ය ව්‍යාපාරයක නිරත ආයතනයක් ලෙස සලකන අතර මූල්‍ය ප්‍රතිපත්ති, මුදල් මුද්‍රණ සහ බැංකු අධීක්ෂණ කාර්යයන් මත මහ බැංකුව ව්‍යාපාරික සංදර්භයෙන් වෙන් කොට සැලකීමට ඔවුන්ට හැකියාවක් නොමැති වීම යි. එබැවින්, ඔවුන්ගේ අභිලාශය වනුයේ තම වෘත්තීය ප්‍රමිතීන්, මූලධර්මයන් සහ පරිචය අනුගමනය කිරීම මිස, මහ බැංකු ක්‍රියාකාරකම් සඳහා යෝග්‍ය මූල්‍ය වාර්තාකරණයක් පර්යේෂණය කොට ඉදිරිපත් කිරීම නොවේ.

  • 2020 සහ 2021 වර්ෂවල ලාභය

ඒ අනුව, එම ගිණුම් ලාභ ද ඇතුලත් මහ බැංකු ලාභය 2019 දී රුපියල් බිලියන 55.6 සිට 2020 දී රුපියල් බිලියන 63.4 ක් ද, 2021 දී රුපියල් බිලියන 158.2 ක් ද දක්වා පුදුම ලෙස ඉහළ ගොස් ඇත. මෙය මුදල් මණ්ඩලය සහ මහ බැංකු නිලධාරීන් විසින් උදේ හවස මහන්සි වී උපයා ගත් ලාභයක් නොවේ. එය හුදෙක් මුදල් මුද්‍රණයෙන් සහ වෙළෙඳපොළ ප්‍රාග්ධන ලාභ හරහා නිරායාසයෙන් ලැබෙන ලාභයකි. 2017 දේශීය ආදායම් පනත සහ 2021 සංශෝධනයක් අනුව ආදායම් බදුවලින් මහ බැංකුව නිදහස් වීම හේතු කොට 2020 සහ 2021 වර්ෂවල මහ බැංකුව විසින් බදු ගෙවා නොමැත.

මෙම ලාභයට ඉහත දැක්වූ විදේශ වත්කම්වල නොඉපැයූ ගිණුම් ලාභ වන 2020 දී රුපියල් බිලියන 30.6 ක් ද, 2021 දී රුපියල් බිලියන 75.9 ක් ද අඩංගු වෙයි. එබැවින්, මෙම ගිණුම් ලාභ ඉවත් කළ විට සැබෑ වශයෙන් ලෑබූ මහ බැංකු ශුද්ධ ලාභය 2020 දී රුපියල් බිලියන 34.9 ක් ද, 2021 දී රුපියල් බිලියන 81.2 ක් ද වෙයි.

එසේම, මෙම ගිණුම් ලාභ විදේශ වත්කම් වටිනාකමට එකතු වී ඇති බැවින් මහ බැංකුවේ වත්කම් අධි ගණනය වී ඇත. එය ඉවත් කළ විට 2021 දී මහ බැංකුවේ විදේශ වත්කම් වටිනාකම වාර්තා වූ රුපියල් බිලියන 799 සිට රුපියල් බිලියන 723 දක්වා පහළ යනු ඇත.

2020 සහ 2021 වර්ෂවල ලාභය කෙරෙහි බලපෑ ප්‍රධාන සාධක

  • විදේශ වත්කම් මත ලැබූ පොලී ආදායම

ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවල පොලී අනුපාතයන් 2020 සහ 2021 වර්ෂවල ශූන්‍ය මට්ටමට පහළ දැමීම සහ මහ බැංකුවේ විදේශ වත්කම් හීන වීම හේතු කොට විදේශ පොලී ආදායම 2019 දී රුපියල් බිලියන 32.9 සිට 2021 දී රුපියල් බිලියන 11.8 දක්වා 64% කින් පහළ යන ලදි.

  • විදේශ වත්කම් මත ලැබූ වෙළෙඳ ලාභ

මහ බැංකුව විසින් විනිමය අනුපාතය ආරක්ෂා කිරීම සහ ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා විදේශ වත්කම් සංචිතය භාවිතා කිරීම/අළෙවි කිරීම හේතු කොට, ඒ මත ලැබූ වෙළෙඳ ලාභ 2019 දී රුපියල් බිලියන 1.1 සිට 2021 දී රුපියල් බිලියන 14.9 දක්වා 1,305%  කින් ඉහළ යන ලදි. ශූන්‍යයට ආසන්න විදේශ පොලී අනුපාතයන් හේතු කොට එම වත්කම්වල විදේශ මිල ගණන් ඉහළ යාම ද මීට දායක විය.

  • විදේශ වත්කම් මත ලැබූ නොඉපැයූ ගිණුම් ලාභ

විනිමය අනුපාතය සහ විදේශ වත්කම්වල මිල ගණන් ඉහළ යාම හේතු කොට නොඉපැයූ ගිණුම් ලාභ 2019 දී රුපියල් බිලියන 28.3 සිට 2021 දී රුපියල් බිලියන 75.9 දක්වා 167% කින් ඉහළ යන ලදි.

  • දේශීය මූල්‍ය වත්කම් මත ලැබූ පොලී ආදායම

මහ බැංකුව විසින් විශාල වශයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හේතු කොට දේශීය පොලී ආදායම 2019 දී රුපියල් බිලියන 17.9 සිට 2021 දී රුපියල් බිලියන 68.6 දක්වා 284% කින් ඉහළ යන ලදි. 2021 අගෝස්තු මැද සිට මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම හේතු කොට භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතයන් සැලකිය යුතු ලෙස ඉහළ යාම ද මිට දායක වී ඇත.

  • වෙනත් දේශීය මූල්‍ය ආදායම්

මහා භාණ්ඩාගාරය වෙනුවෙන් මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රති මූල්‍ය සහ ණය ඇපකරණ යෝජනාක්‍රමයන්හි පැවති රාජ්‍ය මුදල් ගිණුම් ශේෂයන් මහ බැංකුවට පැවරීම හේතු කොටඑම ගිණුම්වල ශේෂයන් වූ රුපියල් බිලියන 14.7 ක් පමණ 2021 වර්ෂයේ දී මහ බැංකුවේ වෙනත් දේශීය ආදායම් කාණ්ඩය යටතේ වාර්තා කළ බැවින්, එම අදායම් කාණ්ඩය 2019 දී රුපියල් බිලියන 1.7 සිට 2021 දී රුපියල් බිලියන 16.3 දක්වා 856% කින් ඉහළ ගොස් ඇත. එබැවින්, එය සැබෑ මුදල් මුද්‍රණ ආදායමක් නොවේ.

  • දේශීය පොලී පිරිවැය

2020 සහ 2021 වර්ෂවල පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය දැඩි ලෙස පහළ ගිය බැවින් බැංකු වෙත අතිරික්ත අරමුදල් විශාල වශයෙන් රැස් වූ අතර එම මුදල් මහ බැංකුවේ නිත්‍ය තැන්පතුවල ආයෝජනය කිරීම හේතු කොට මහ බැංකුවේ පොලී පිරිවැය 2019 දී රුපියල් බිලියන 3.8 සිට 2021 දී රුපියල් බිලියන 8.5 දක්වා 125% කින් ඉහළ යන ලදි. 

නිත්‍ය තැන්පතු යනු මුදල් නීති පනතේ ප්‍රතිපාදන නොමැති ක්‍රියාවක් වන අතර එම තැන්පතු සඳහා මහ බැංකුව විසින් ගෙවන පොලී ප්‍රමාණය 2020 වර්ෂයේ දී රුපියල් මිලියන 6,766 ක් ද, 2021 දී රුපියල් මිලියන 5,666 ක් ද වූ අතර එය මුළු දේශීය පොලී වියදමින් 2020 දී 81.3% ක් ද, 2021 දී 66.9% ක් විය. 2021 අගෝස්තු මස සිට මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ යාම සහ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රතිවිකුණුම් හරහා මහ බැංකුව විසින් ඉහළ පොලී අනුපාතයන් යටතේ බැංකුවලින් අරමුදල් ක්‍රියාශීලී ලෙස උකහා ගැනීම ද 2021 වර්ෂයේ දේශීය පොලී වියදම ඉහළ මට්ටමක පැවතීමට හේතු විය.

  • මහ බැංකුවේ මෙහෙයවුම් පිරිවැය

2021 වර්ෂයේ දී මහ බැංකුවේ මෙහෙයවුම් පිරිවැය රුපියල් බිලියන 16.3 දක්වා රුපියල් බිලියන 5.1 කින් ද (2020 ට සාපේක්ෂව), ඒ තුළ වූ කාර්යමණ්ඩල පිරිවැය රුපියල් බිලියන 10.7 දක්වා රුපියල් බිලියන 3.9 කින් ද ඉහළ යාම ලාභ කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කෙරින. ඒ අනුව, කාර්යමණ්ඩල පිරිවැය මුළු මෙහෙයවුම් පිරිවැයෙන් 2020 දී 57.1% සිට 2021 දී 65.8% දක්වා ඉහළ ගොස් ඇත. මහ බැංකු මෙහෙයවුම් පිරිවැය මුදල් මුද්‍රණය හරහා පියවීමට මුදල් නීති පනත යටතේ අවසර ලැබෙන බැවින් මෙසේ මෙහෙයවුම් පිරිවැය ඉහළ යාම ආර්ථිකයේ මූල්‍ය තත්ත්වයට ගැටළුවක් වනු ඇත.

මහ බැංකු ලාභයට සිදු වූයේ කුමක් ද?

  • මහ බැංකු ලාභය ගණනය කිරීම සහ බෙදා හැරීම පිළිබඳ නීතිය 

මුදල් නීති පනත අනුව මහ බැංකුවේ ලාභ ගණනය කළ යුත්තේ ශුද්ධ ආදායමින් මහ බැංකුවේ ඉදිරියේ දී අවශ්‍ය විය හැකි අවශ්‍යතාවන් සඳහා අරමුදල් වෙන් කිරීමෙන් (Allowances/Reserves) පසුව ය. මුදල් වර්ෂය අවසන් වී දින 30 ක් ඇතුලත එසේ ලාභය ගණනය කළ යුතු අතර තවත් දින 30 ක් ඇතුලත එම ලාභය පහත දැක්වෙන ආකාරයට බෙදා හැරිය යුතුය.

පළමුව, මූල්‍ය ගැලපුම් ගිණුමේ ශේෂය (Monetary Adjustment Account පියවීම. මුල්‍ය ගැලපුම් ගිණුම යනු අති විශේෂ කාසි හා නෝට්ටු නිකුත් කිරීමේ වියදම, මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීමේ සහ පොලී ගෙවීමේ වියදම් සහ බැංකු ව්‍යවස්ථාපිත සංචිත සඳහා ගෙවන පොලිය යනාදිය වාර්ෂික වියදමට ඇතුලත් නොකොට එය තාවකාලිකව ඇතුලත් කෙරෙන අවිනිශ්චිත ගිණුම යි.

දෙවනුව, ඉතිරි මුදල මහ බැංකුවේ ප්‍රාග්ධනය දේශීය වත්කම් මෙන් 15% ක් වන තෙක් ප්‍රාග්ධන ගිණුමට මාරු කිරීම.

තෙවනුව, ඉතිරි මුදල මුදල් ඇමති සමඟ සාකච්ඡා කිරීමෙන් පසු රජයෙන් මහ බැංකුවට අයවිය යුතු ගෙවීම් පියවීමට හෝ ඒකාබද්ධ අරමුදලට මාරු කිරීම.

  • මහ බැංකුව විසින් ලාභ රජයට බෙදන ආකාරය සහ ගැටළු

එහෙත්, මහ බැංකුව විසින් ලාභ බෙදීමේ දී මුදල් නීති පනතින් පිටත අත්තනෝමතික ක්‍රමවේදයක් අනුගමනය කෙරේ. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රමිතීන් අනුව ගණනය කළ මුලින් දැක්වූ වාර්ෂික ලාභයෙන් විදේශ වත්කම්වලින් ලැබූ නොඉපැයූ ලාභ/අලාභය (ගිණුම් ලාභ) අඩු කොට වෙනත් ගිණුම් ගැලපීමෙන් පසු වටිනාකම බෙදීමට ඇති ලාභය ලෙස ගණනය කෙරේ.

ඊට පසුව, එම ලාභයෙන් මහ බැංකුවේ අවශ්‍යතාවන් සඳහා වෙන් කිරීම් සහ ලාභ රඳවා ගැනීම් අඩු කොට, ඉතිරියෙන් රජයෙන් අයවිය යුතු ගෙවීම් පියවා ගෙන, ඉතිරිය රජයේ ඒකාබද්ධ අරමුදලට මාරු කෙරේ. මෙය මුල්‍ය වාර්තාවල ඇතුලත් ආදායම් ප්‍රකාශනයට අමතරව දෙවැනි ආදායම් ප්‍රකාශනයක් පිළියෙල කිරීමකි. එය ගිණුම් ප්‍රමිතිවලට එරෙහි වූ ගිණුම් අක්‍රමිකතාවයකි.

ඒ අනුව, බෙදීමට ඇති ලාභය ලෙස 2020 දී රුපියල් බිලියන 18.7 ක් ද, 2021 දී රුපියල් බිලියන 74.6 ක් ද ගණනය කොට ඇත. ඉන් ඒකාබද්ධ අරමුදලට හෙවත් රජයට බෙදා දුන් ලාභය 2020 දී රුපියල් බිලියන 15 ක් ද, 2021 දී රුපියල් බිලියන 30 ක් ද විය. එනම්, බෙදීමට ඇති ලාභයෙන් පිලිවෙලින් 80.2% ක් සහ 40.2% ක් වෙයි.  ඒ අනුව, 2021 දී මහ බැංකුව විසින් ලාභයෙන් රුපියල් බිලියන 43.6 ක් බලහත්කාරයෙන් රඳවා ගෙන ඇත. ඉන් රුපියල් බිලියන 27.5 ක් මහ බැංකුවේ පොදු සංචිතයට එක් කොට ඇත.

මහ බැංකුවේ ප්‍රාග්ධනය 2020 අවසානයේ දේශීය වත්කම් මෙන් 33.6% ක් (මුදල් නීති පනතේ නියමය වූ 15% ඉක්මවා) වූ බැවින් එතරම් ලාභයක් ප්‍රාග්ධනයට රඳවා ගන්නේ ඇයි ද? යන්න මුදල් ඇමති වෙත වාර්තා කළා ද? යන්න සැකයක් මතු වෙයි. ඊට හේතුව, වර්තමානයේ රජය මුහුණ දෙන උග්‍ර අරමුදල් හිඟය දෙස බලන විට, ව්‍යවස්ථාපිත සිමාවන් ඉක්මවා මෙතරම් ලාභ ප්‍රමාණයක් අත්තනෝමතිකව මහ බැංකුවේ රඳවා ගැනීමට මුදල් ඇමති විසින් මහ බැංකුවට ඉඩ නොදෙන බැවිනි. රාජ්‍ය ආයතන විසින් රජයට ගෙවිය යුතු ලාභාංශ මෙසේ ගිණුම්කරණය හරහා සගවා ගැනීම රාජ්‍ය මූල්‍ය හිඟයට හේතුවක් වෙයි.

2018 දී මෙසේ ඉන්දියානු මහ බැංකුව විසින් ලාභ රඳවා ගැනීමට උත්සාහ කිරීම හේතු කොට හට ගත් ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස මහ බැංකු අධිපතිට නිලය අතහැර යාමට සිදු විය. එසේම2012 දීඑංගලන්ත මහ බැංකුව විසින් නොඉපැයූ ගිණුම් ලාභ තර්කය අනුව ලාභයෙන් කොටසක් රජයට නොදීම හේතු කොට පාර්ලිමේන්තුව සමඟ ආරවුලක් හට ගත් අතර පසුව එම රඳවා ගත් ලාභය රජයට දීමට සිදු විය. එහිදී, පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මහ බැංකුව විසින් අදාළ ගිණුම් ප්‍රමිතීන් අනුව ගණනය කෙරෙන ලාභය මහ බැංකුවේ අයිතිකරු වන රජයට පැවරිය යුතු බව යි.

මෙහිදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ විශාල නොඉපැයූ ගිණුම් අලාභයන් සිදු වන වර්ෂවල ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිතීන් අනුව සැකසෙන මූල්‍ය වාර්තාවල විශාල වාර්ෂික අලාභයක් වාර්තා වන විට, ඉහත දෙවන ආදායම් ප්‍රකාශනය මත රජයට විශාල ලාභයක් ගෙවීමට සිදු වන අතර ඒ සඳහා මහ බැංකුවේ ප්‍රාග්ධන සංචිතයෙන් මුදල් භාවිතා කිරීමට සිදු වෙයි. සමහර අවස්ථාවල එසේ ලාභ ගෙවීම සඳහා ප්‍රාග්ධන සංචිතය ප්‍රමාණවත් නොවන විට, ගිණුම්වලින් පිටත මුදල් මුද්‍රණය කොට රජයට ලාභ දීමට සිදු වෙයි.

උදාහරණ ලෙස 2013 දී රුපියල් බිලියන 28 ක් ද, 2014 දී රුපියල් බිලියන 8.5 ක් ද රජයට ලාභ බෙදන ලද්දේ එසේය. තවද, 2013 සිට 2017 වර්ෂය දක්වා රජයට ලාභ බෙදීමේ දී, ඊට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා පෙර වර්ෂවල ප්‍රාග්ධන සංචිතවලට එකතු කරන ලද නොඉපැයූ ගිණුම් ලාභ භාවිතා කොට ඇත. එය නොඉපැයූ ගිණුම් ලාභ රඳවා ගැනීමේ මුලධර්මයට විරුද්ධ වෙයි.

ඒ හේතු කොට මහ බැංකු ප්‍රාග්ධනය 2013 සහ 2014 වර්ෂවල දැඩි ලෙස පහළ ගිය බැවින් සමහර ආර්ථික විද්‍යාඥයන් විසින් මහ බැංකුව ද ශ්‍රී ලංකා ගුවන් සේවය වැනි බංකොලොත් රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස හඳුන් වන ලදි. එහෙත්, එය වැරදි අදහසක් වන්නේ මහ බැංකුවට මුදල් මුද්‍රණය මගින් වත්කම් අත්කර ගැනීම සහ ප්‍රාග්ධනය ඉහළ දැමීම කළ හැකි බැවිනි. එබැවින්, මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ගණකාධිකරණ සංකල්පයන් මහ බැංකුවලට අදාළ නොවේ.

මහ බැංකුවේ ප්‍රාග්ධන සංචිතය අනවශ්‍ය ලෙස තර කිරීම තුළින් සදාචාර උවදුරු ගැටළුවක් මහ බැංකුව තුළ හට ගනු ඇත. එනම්, එම සංචිතවලින් අභ්‍යන්තර අලාභයන් පියවිය හැකි බැවින් අවදානම් ගැනීම සහ නොසැලකිල්ල ඉහළ යාම යි. එසේම, මහ බැංකුවේ වත්මන් ප්‍රග්ධනයෙන් බහුතරය විදේශ වත්කම්වල ගිණුම් ලාභ මත ගොඩ නැඟී ඇති බැවින් එම ප්‍රාග්ධනය භාවිතා කිරීම යනු නව මුදල් මුද්‍රණය කිරීමක් වෙයි.

මූල්‍ය වාර්තා සකස් කිරීමේ සහ විගණනය කිරීමේ දෝෂයන්

මහ බැංකු මූල්‍ය වාර්තා දෙස බැලීමේ දී නොඉපැයූ ගිණුම් ලාභ, ලාභ බෙදීම සහ රජයේ ප්‍රති මූල්‍ය සහ ඇපකරණ මුදල් ශේෂයන් මහ බැංකුව වෙත පැවරීම යනාදිය අදාළ වර්ෂවල ස්කන්ධය වෙනස් වීමේ මූල්‍ය ප්‍රකාශනයට (Changes in Equity Statement) ඇතුලත් කොට නොමැත. ඊට හේතුව, ඒවා ඊළඟ වර්ෂයේ ස්කන්ධය වෙනස් වීමේ මූල්‍ය ප්‍රකාශනයට ඇතුලත් කිරීමේ පුරුද්ද යි. එබැවින්,  මහ බැංකු ප්‍රාග්ධනය අවතක්සේරු වී ඇත. එසේම, මහ බැංකුව වෙත පැවරූ රජයේ ප්‍රති මූල්‍ය සහ ඇපකරණ මුදල් ශේෂයන් 2021 සඳහා මහ බැංකුවේ වෙනත් ආදායමක් ලෙස ගිණුම්ගත කිරීම ගිණුම් ප්‍රමිතිවලට අනුකූල නොවේ.

එසේම, විගණකාධිපතිගේ ස්ථිර කාර්යාලයක් මහ බැකුවේ පවත්වා ගෙන යන අතර මහ බැංකුවේ මූල්‍ය වාර්තාවන් විගණනය කිරීම සඳහා සේවා ගාස්තු මත විගණකාධිපති විසින් බාහිර විගණක වරයෙකු (KPMG සමාගම) පත් කොට ඇත. එහෙත්, විගණන වාර්තාව මහ බැංකු වාර්ෂික වාර්තාවේ අඩංගු නොවන අතර සම්ප්‍රදායික විගණක මතය පමණක් ඉදිරිපත් කොට ඇත. එහි, මහ බැංකුව විසින් අදාළ නීති උල්ලංඝනය කළ බවට තොරතුරු ලැබී නොමැති බව සඳහන් වුව ද, මහ බැංකු මූල්‍ය වාර්තා සැකසීම මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවීම ඉතා පැහැදිලි ය. තවද,  මුදල් මණ්ඩල උපදේශන විගණන කොමිටිය ද ඉහත දැක්වූ ගිණුම් දෝෂයන් හඳුනා ගෙන නොමැත.

මහ බැංකු මූල්‍ය වාර්තාවල ආර්ථික වැදගත්කම

ඉහත දැක්වූ මහ බැංකු ලාභය යනු මහ බැංකු ක්‍රියාකාරකම් මත ලබන/ඇස්තමේන්තු කෙරෙන ගණකාධිකරණ ලාභය යි. මහ බැංකු මූල්‍ය වත්කම් මත පොලී ආදායමක් ලබන අතර කාසි සහ නෝට්ටු සහ බැංකු ව්‍යවස්ථාපිත සහ අතිරික්ත සංචිත වැනි මහ බැංකු වගකීම් සඳහා පොලී ගෙවීමක් නොකරන බැවින් මහ බැංකු නිතරම ලාභ ලබනු ඇත. ඒ සඳහා මූල්‍ය කළමනාකරණ විශේෂඥයන්ගේ සහ ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයන්ගේ සේවය මහ බැංකුවට අවශ්‍ය නොවේ. එබැවින්මහ බැංකු ලාභ යනු මුදල් මුද්‍රණය තුළින් මහජනතාවගෙන් අය කරන ලද ශුද්ධ බද්දක් ලෙස සැලකිය හැකිය. එහෙත්, සමහරුන්ට අනුව මුදල් මුද්‍රණයේ ලාභය (Seigniorage) යනු මුද්‍රණය කරන ලද මුළු මුදල් ප්‍රමාණය යි. එනම්, මහ බැංකු මුළු වත්කම් වටිනාකම යි.

වත්මන් මූල්‍ය වාර්තාවල ප්‍රකාශිත ලාභය ලාභ බෙදීම සඳහා භාවිතා නොකිරීමත්ස්කන්ධ ප්‍රග්ධනය වෙනස්වීමේ ප්‍රකාශනය නිසි ලෙස වාර්තා නොකිරීමත් හේතු කොට මෙම මූල්‍ය වාර්තාවන්ගේ ප්‍රයෝගික වැදගත් කමක් නොමැත. එහෙත්, මෙම මූල්‍ය වාර්තාවල තොරතුරු මගින් මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියේ සහ වෙනත් බැංකු සහ මූල්‍ය පද්ධති අධික්ෂණ ක්‍රියාකාරකම් තුළින් ජනිත වන මූල්‍ය ප්‍රතිඵලයන් විමර්ශනය කිරීමටත්, ආර්ථිකයේ ඉදිරි ප්‍රවණතාවන් පිළිබඳව සංඥාවන් හඳුනා ගැනීමටත් උපකාරී වෙයි.

උදාහරණ ලෙස මුදල් මුද්‍රණය සහ ඊට බලපෑ සාධක හඳුනා ගැනීම ආර්ථිකය කෙරෙහි ඉතා වැදගත් වනු ඇත. ඊට හේතුව, එමගින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික තොරතුරු සැපයෙන බැවිනි. මේ අතර මහ බැංකු ශුද්ධ විදේශ වත්කම්, රජයට දෙන ලද ණය, බැංකු වෙත දෙන ලද ණය, කාසි නෝට්ටු සංසරණ ප්‍රමාණය සහ මහ බැංකුවේ ඇති බැංකු තැන්පතු  ප්‍රමාණය පිළිබඳ තොරතුරු ඉතා වැදගත් වෙයි. එම තොරතුරු මගින් ආර්ථිකයේ මූල්‍ය තත්ත්වයේ ප්‍රවණතාවයන් සහ ගැටළු හඳුනා ගෙන අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකිය.

තවදනොඉපැයූ ගිණුම් ලාභය ද ඇතුලත් කොට විදේශ වත්කම් වටිනාකම  ගණනය කෙරෙන බැවින් මුදල් මුද්‍රණය සහ ආර්ථිකයේ මුදල් තත්ත්වය අධි තක්සේරු වී පෙන්වයි. එබැවින්, මුදල් ගුණකයයේ අගය (මුදල් සැපයුම/මුදල් මුද්‍රණය) ද දෝෂ සහිත වනු ඇත. මුදල් නීති පනතේ ප්‍රතිපාදන අනුව නොඉපැයූ ගිණුම් ලාභය විදේශ වත්කම් වටිනාකමට එකතු නොකරන ලෙස නියම කොට ඇත්තේ මෙම බලපෑම වැලැක්වීම සඳහා ය. එහෙත්, 2022 වසරේ දී මහ බැංකු විදේශ වත්කම් ශුන්‍යයට කිට්ටු පහළ මට්ටමකට වැටී ඇති බැවින් නැවත විදේශ වත්කම් ඉහළ යන තෙක් මෙම නොඉපයූ ගිණුම් ලාභ මහ බැංකු මූල්‍ය වාර්තා කෙරෙහි බලපෑමක් නොකෙරෙනු ඇත.

එහෙත්, මහ බැංකුව/මුදල් මණ්ඩලය විසින් 2021 වර්ෂයේ දී මහ බැංකු විදේශ වත්කම් සංචිතය කඩා වැටී, ආර්ථිකය උග්‍ර විදේශ මුදල් හිඟයකට සහ ඓතිහාසික ආර්ථික අර්බුදයකට මුහුණ දෙන තෙක් බලා සිටීම තුළින් පෙනී යන්නේ මුදල් මණ්ඩලය සහ මහ බැංකු ඉහළ නිලධාරීන් විසින් මෙම මූල්‍ය වාර්තාවන් (මාසික සහ කාර්තු පදනමක් මත ද පිළියෙළ කෙරේ) කෙරෙහි නිසි අවදානයක් යොමු නොකරන බව යි. 2020 වර්ෂයේ මාසික මහ බැංකු මූල්‍ය වාර්තාවල ආර්ථිකය ඉදිරියේ දී විදේශ මුදල් ප්‍රමුඛ අර්බුදයකට මුහුණ දෙන බවට සංඥාවන් නොඅඩුව පැවති අතර එය වැළැක්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ගැනීමට ඕනෑ තරම් අවස්ථාව මහ බැංකුවට තිබිණ.




ආර්ථිකය කෙරෙහි මහ බැංකු මූල්‍ය ගනුදෙනු බලපාන ආකාරයත්, ඒ පිළිබඳ ව විමර්ශනය කිරීමත් පිළිබඳ ව ප්‍රතිපත්ති සම්පාදකයන්, වෘත්තීය වේදීන් සහ ආර්ථික විද්‍යා ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.


පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
 
(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?