නව වසර ඔබේ මුදල්වලට සුභ ද? අවදානම් තිබේ ද? 2024 නව අවුරුදු පණිවුඩය.

 


මුදල් යනු ඉතා සංකීරණ ආර්ථික විද්‍යා විෂයකි. මෙම සංකීර්ණත්වය මූලික වශයෙන් ආර්ථිකය තුළ මුදල් ජනිතවන හෝ සැපයෙන ආකාරය, ආර්ථිකය කෙරෙහි මුදල්වල බලපෑම සහ ආර්ථිකයට හිතකර ලෙස මුදල් පාලනය කිරීම පිළිබඳ ව දැකිය හැකිය. මහ බැංකු උද්ධමන පාලන කථාන්දරය එහි එක් කොටසක් පමණි. මුදල් පිළිබඳ කෙරෙන ආගමික සහ සමාජ විග්‍රහයන් තුළින් ද මුදල් විෂය තවත් සංකීර්ණ වී ඇත. 

පුද්ගලයන් විසින් තම ගනුදෙනු සඳහා මුදල් ලෙස රැස් කර ගන්නා විවිධ දේවල් හෝ මෙවලම් පවතී. එය හුදෙක් විශ්වාසය මත පදනම් වෙයි. මුදල් යන වචනය ඇසූ පමණින් අප සිහියට එන්නේ, අපට ලැබෙන සහ වියදම් කෙරෙන, මහ බැංකුව විසින් නිකුත් කොට ඇති කාසි සහ නෝට්ටු හෙවත් ව්‍යවහාර මුදල් ය. අප සැවොම අවධානය යොමු කරන්නේ එම මුදල් හොර නෝට්ටුවලින් සහ සොරුන්ගෙන් අරක්ෂා කර ගැනීමට යි. එහෙත්, ව්‍යවහාර මුදල් යනු ඉතාම ප්‍රාථමික මුදලකි. නූතන මුදල් පද්ධතිවල ගනුදෙනු කිරීමට ඉතා පහසු සහ කාර්යක්ෂම නවීන මුදල් වර්ගයන් රැසක් පරිණාමය වී ඇත. එසේම, ඒවායේ විවිධ අවදානම් ද පවතී.

සාර්ව ආර්ථිකය තුළ මුදල්වල ඇති විශේෂ වැදගත්කම වන්නේ, නූතන ආර්ථිකයන්හි නිෂ්පාදන සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් මුදල් ගනුදෙනු හරහා සිදුවන බැවින් ආර්ථිකයේ මූර්ත නිෂ්පාදන ක්‍රියාකාරකම් කෙරෙහි මුදල්වල ඇති අන්තර් බැඳීම සහ බලපෑම යි. එබැවින්, රජයන් විසින් සාර්ව ආර්ථික කළමනාකරණය සඳහා වෙළෙඳපොළවල් කෙරෙහි මැදිහත් වීමේ දී ආර්ථිකයෙහි සංසරණය වන මුදල් ප්‍රවාහය සහ එහි දිසාවන් පාලනය කිරීමට උත්සාහ කිරීම දැකිය හැකිය.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වන්නේ අප මුදල් ලෙස තෝරා ගන්නා දේවල් හෝ මෙවලම්වල ස්වරුපය, සංයුතිය සහ අවදානම් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම යි.

මුදල් යනු කුමක් ද?

මුදලකින් අපේක්ෂා කෙරෙන කාර්යයන් ඉටු කිරීමට පොදුවේ පිළි ගැනෙන ඕනෑම දෙයක් මුදල් වෙයි. ආර්ථිකයකට මුදල් අවශ්‍ය වන්නේ භාණ්ඩ හා සේවාවල වටිනාකම මැනීමේ මාධ්‍යය ලෙසත්, එම වටිනාකම රැස් කිරීමේ හෝ ගබඩා කිරීමේ මාධ්‍යය ලෙසත්, එම වටිනාකම ගනුදෙනු කිරීමේ අතරමැදි මාධ්‍යය ලෙසත් ය. ඒ අනුව, යම් භාණ්ඩයක වටිනාකම හෝ මිල රුපියල් මුදල් ඒකක 175 ක් ලෙස තීරණය කෙරේ නම්, රුපියල් 350 ක් ගෙවීමෙන් එම භාණ්ඩයෙන් ඒකක දෙකක් මිල දී ගත හැකිය. මුදල් කාර්යයන් දෙකක් වන ගිණුම් මාධ්‍යයක් සහ විනිමය මාධ්‍යයක් ලෙස දැක්වෙන්නේ මෙම කාර්යයන් දෙක යි.

වටිනාකම රැස් කිරීමේ මාධ්‍යයක් ලෙස මුදල්වල තවත් කාර්යයක් දැක්වෙයි. මුදල් විනිමය මාධ්‍යයක් වන බැවින් අනාගතයේ ගනුදෙනු කිරීම සඳහා මුදල් රැස් කොට තබා ගත හැකිය. මුදල් ඕනෑම අවස්ථාවක ගනුදෙනු කළ හැකි බැවින් මුදල් පූර්ණ ද්‍රවශීල වත්කමක් ලෙස සැලකේ. වටිනාකම රැස් කිරීම සඳහා භාවිතා කෙරෙන රත්රන් සහ ඉඩම් වැනි වෙනත් වත්කම් වර්ගයන් මුදල් මෙන් ද්‍රවශීල වත්කම් නොවේ. ඊට හේතුව, එම වත්කම් වටිනාකම අනාගතයේ දී ගනුදෙනු කිරීමට අවශ්‍ය වූ විට එම වත්කම් මුදල් බවට පත් කිරීමට කාලයක් ගත වන බැවිනි.

මුදල්වල තවත් කාර්යයක් වන්නේ ණය මත වටිනාකම ගනුදෙනු කිරීම යි. එනම්, විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස මුදල් භාවිතා කිරීම යි. මෙහි අදහස වන්නේ, යම් වටිනාකමක් මුදල්වලින් ණයට දීමටත්, එම මුදල් ප්‍රමාණයෙන් පසු කාලයේ දී ණය ගෙවීමටත් හැකි වීම යි. මෙහි දී, ණය මුදල මුහුණ දෙන අවදානම දැරීම සඳහා පොලියක් අය කිරීම අතිරේක කරුනකි.

සමස්තයක් ලෙස මුදලේ කාර්යභාරය වන්නේ වටිනාකම මැනීම, රැස් කිරීම සහ හුවමාරු කිරීම යි. මහජනයාට මුදල්වලින් ඉටු කෙරෙන කාර්යභාරය පහසු කිරීම සඳහා පුළුල් ආයතන සහ මෙවලම් දාමයක් නූතන මූල්‍ය පද්ධතිවල දැකිය හැකිය. උදාහරණ ලෙස වාණිජ බැංකු, ආයෝජන බැංකු සහ ගෙවුම් සහ පියවුම් මෙවලම් දැක්විය හැකිය. එසේම, මුදල් පිළිබඳ විශ්වාසය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය නියාමන ජාලයක් ද පවතී. එබැවින්, මුදල්වල කාර්යයන් ඉටු කිරීම සඳහා පිළි ගැනෙන මෙවලම් රාශියක් නූතන මූල්‍ය පද්ධති තුළ දැකිය හැකිය. ඒවා කාලයක් තුළ පරිණාමය වී ඇති මෙවලම් ය.

මුදල්වල පදනම - ස්වෛරීත්ව මුදල් ඒකකය 

නූතන ආර්ථිකයන්හි මුදල්වල පදනම වන්නේ රජය විසින් නියම කරන ලද නිල වටිනාකම් මැනීමේ ඒකකයයි. එය ස්වෛරීත්ව මුදල් ඒකකය වෙයි. එබැවින්, වටිනාකම මැනීම සඳහා වෙනත් මුදල් ඒකකයන් භාවිතා කිරීම තහනම් වෙයි. මහජනයා විසින් විවිධ වටිනාකම් සඳහා ගිවිසුම්වලට එකඟ විය යුත්තේ එම නිල මුදල් ඒකකය හරහා ය. උදාහරණ ලෙස ඇමෙරිකානු ඩොලරය, ඉන්දියානු රුපියල සහ බ්‍රිතාන්‍ය පවුම දැක්විය හැකිය.

ඊළඟට, එම වටිනාකම් ඒකකය ගෙවුම් මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම සඳහා රාජ්‍ය කාසි සහ නෝට්ටු (එනම්, ව්‍යවහාර මුදල්) රාජ්‍ය මහ බැංකුව හරහා නිකුත් කෙරේ. එම ව්‍යවහාර මුදල් රට තුළ ඕනෑම මුදල් ගෙවීමක් කිරීම සඳහා නීතියෙන් වලංගු නිල මුදල් වන අතර ඒ සඳහා වෙනත් පාර්ශවයන් විසින් සමාන ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සපුරා තහනම් වෙයි. එසේම, රජයේ හෝ මහ බැංකුවේ පූර්ව අවසරය නොමැතිව එම මුදල් ඒකකය මත වටිනාකම් ගනුදෙනු කිරීමේ වෙනත් මූල්‍ය මෙවලම් භාවිතා කිරීම ද තහනම් වෙයි. ඒ අනුව, රටක පවතින මුදල් ක්‍රමය ස්වෛරීත්ව මුදල් ක්‍රමයකි. 

එස්.ඩී. ආර්. යනු IMF විසින් සමාජික රටවල් සමඟ තම මුදල් ගනුදෙනු සඳහා නියම කොට ඇති වටිනාකම් ඒකකය යි. එය ව්‍යවහාර මුදල් ලෙස නිකුත් නොකෙරෙන අතර හුදෙක් ඉලක්කම් මුදල් ලෙස ගිණුම් හරහා ගනුදෙනු වෙයි. එසේම, බ්‍රිතාන්‍යය හැර යුරෝපිය හවුලේ රටවල් එකතු වී 1999 දී තම ස්වෛරීත්ව මුදල් ඉවත් ලා යුරෝපීය මහ බැංකුව සහ යුරෝ නම් පොදු මුදල ස්ථාපිත කරන ලදි. 2021 දී එල් සැල්වදෝර් රජය විසින් බිට් කොයින් එරට නෛතික ගෙවුම් මාධ්‍ය ලෙස නියම කරන ලදි. එසේම, නූතනයේ නෛතික හෝ ස්වෛරිත්ව මුදල්වලට අමතරව ප්‍රාදේශීය මුදල් වර්ගයන් දහස් ගණනක් ලෝකයේ දැකිය හැකිය. ඒවා ඒ ඒ සමාජයන්හි අනන්‍යතාවය සුරැකීම සඳහා නිර්මාණය වී ඇත.

එහෙත්, වර්තමානයේ ශ්‍රී ලංකාවේ නිල වටිනාකම් මැනීමේ මුදල් ඒකකයක් නොමැත. ඊට හේතුව, 2023 සැප්තැම්බර් 14 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද නව මහ බැංකු පනතින් ඊට පෙර 1950 සිට මුදල් නීති පනත මගින් නියම කොට තිබූ නිල මුදල් වටිනාකම් ඒකකය ඉවත් කිරීම යි. එහෙත්, නව මහ බැංකු පනත මගින් නිල ගෙවුම් මාධ්‍යය ලෙස මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් කාසි සහ නෝට්ටු නියම කොට ඇත. 

එබැවින්, ශ්‍රී ලංකාවේ රුපියල් නමින් නිල මුදල් ඒකකයක් නොමැති අතර රුපියල් නමින් ස්වෛරිත්ව ගෙවුම් මාධ්‍යක් පමණක් පවතී. එබැවින්, අනාගතයේ රුපියල් නොවන පෞද්ගලික මුදල් වටිනාකම් ඒකකයන් භාවිතා කිරීමට සමහරු පෙළඹිය හැකිය. මහ බැංකු පිහිටුවා ස්වෛරීත්ව මුදල් ඒකකයන් ස්ථාපිත කිරීමට පෙර රටවල පැවතියේ මෙවැනි බහුවිධ මුදල් ක්‍රමයන් ය.

මුදල් වර්ගයන්

නෛතික වශයෙන් ගත් විට, රටක මුදල් යනු ස්වෛරිත්ව මුදල් ය, එනම්, නිල වටිනාකම් ඒකකය සහ ව්‍යවහාර මුදල් ය. එමගින් මුදල්වල කාර්යයන් ඉටු කෙරේ. එහෙත්, බැංකු, මුදල් ආයෝජන මෙවලම් සහ ගෙවුම් සහ පියවුම් මෙවලම්වල දියුණුව හේතු කොට මුදල්වල කාර්යයන් ඉටු කිරීම සඳහා මෙවලම් රාශියක් බිහි වී ඇත. ඒවා එම මෙවලම් පිළි ගැනීමට කැමති පාර්ශවයන් අතර ගනුදෙනු කෙරේ. ඒ හරහා සිදු වන්නේ නිල මුදල් ඒකකය පදනම් වූ මුදල් ගනුදෙනු හෝ මුදල් ගෙවීම් සහ ලැබීම් ය. 

එම මෙවලම් මූලික වශයෙන් මූල්‍ය පද්ධතිය තුළ මුදල් රැස් කිරීමේ සහ ණය දීමේ කාර්යයන් පහසුවෙන් ඉටු කිරීම සඳහා නිර්මාණය වී ඇති මෙවලම් ය. ඒවා ජනප්‍රිය වීමට හේතුව ඒවා ඉතා පහසුවෙන් ව්‍යවහාර මුදල් බවට පත් කිරීමට සහ ගෙවුම් මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට ඇති පහසුව සහ විශ්වාසය යි. එය විශේෂයෙන් බැංකු පද්ධතිය සහ ගෙවුම් පද්ධතියේ දියුණුව මෙන්ම මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත රඳා පවතී.

එබැවින්, මෙවැනි මුදල් මෙවලම් ආසන්න මුදල් හෝ මුදල් ආදේශක ලෙස හැඳින්වෙයි. මීට ඉතා ද්‍රවශීල මූල්‍ය වත්කම් අයත් වෙයි. ඉතා ප්‍රචලිත ආසන්න මුදල් ලෙස බැංකු තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත් සැලකේ. ඇමෙරිකාව වැනි ඉතා දියුණු මූල්‍ය වෙළෙඳපොළවල් පවතින රටවල සමාගම් කොටස්, වාණිජ පත්‍ර, උගස් බැඳුම්කර, සුරැකුම්වල වෙළෙඳාම් වන අරමුදල් සහ හෙජ් අරමුදල් වැනි ආයෝජන වත්කම් ද මුදල් රැස් කිරීම සඳහා ඉතා ප්‍රචලිත වෙයි. ඒවා ඉතා ඉක්මනින් ගෙවුම් මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමේ ආයතනික පහසුකම් පවතින බැවින් ඒවා ද මුදල් ලෙස සැලකීමට එම ආයෝජකයන් පුරුදු වී ඇත.

එහෙත්, රාජ්‍ය ආරක්ෂාව, ගෙවුම් මාධ්‍යයක් බවට පත් කිරීමේ හැකියාව හෝ ද්‍රවශීලතාවය සහ මහජන විශ්වාසය යන සාධක සැලකීමේ දී මුදල් ලෙස සැලකිය හැකි මූල්‍ය වත්කම් කිහිපයක් හඳුනා ගත හැකිය.

  • ව්‍යවහාර මුදල් 

මේවා නිල මුදල් හෝ ස්වෛරිත්ව මුදල් බැවින් සාමාන්‍ය කාලවල මහජන විශ්වාසය සහ ද්‍රවශීලතාවය සියයට සියයක් පවතී.

  • මහ බැංකු සංචිත ශේෂයන් 

මේවා බැංකු සහ රාජ්‍ය ආයතන විසින් මහ බැංකුවේ තම ජංගම ගිණුම්වල තබා ගන්නා මුදල් ය.

  • වාණිජ බැංකු තැන්පතු 

මුදල් ලෙස සම්ප්‍රදායිකව සැලකෙන තැන්පතු වනුයේ බැංකු ජංගම ගිණුම් තැන්පතු ශේෂයන් ය. ඊට හේතුව, චෙක්පත් නිකුත් කිරීම හරහා එම මුදල් ව්‍යවහාර මුදල්වලට නොදෙවෙනුව ආරක්ෂාකාරී ලෙස ගනුදෙනු කළ හැකි බැවිනි. එහෙත්, නූතන බැංකු ගනුදෙනු දියුණුව හේතු කොට ඉතුරුම් සහ ස්ථාවර තැන්පතුවල ඇති මුදල් ද ඉක්මනින් ව්‍යවහාර මුදල් හෝ ගෙවුම් කිරීම සඳහා භාවිතා කළ හැකිය. 

උදාහරණ ලෙස ඩෙබිට් කාඩ් සහ මාර්ගගත බැංකු හරහා ඉතුරුම් තැන්පතු මුදල් ක්ෂණිකව වෙනත් පාර්ශවයන්ගේ බැංකු ගිණුම්වලට ප්‍රේෂණය කළ හැකිය. ස්ථාවර තැන්පතු මුදල් ද තැන්පතුව සුරැකුමක් ලෙස තබා බැංකුවෙන් ක්ෂණික ණයක් ගැනීමෙන් හෝ නියමිත දිනයට පෙර මුදල් ආපසු ගැනීමෙන් හෝ දිනක් තුළ ගෙවීම් සඳහා භාවිතා කළ හැකිය. වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් ක්ෂණික ණය ගැනීමේ හැකියාව පවතින බැවින් තම ණය සහ තැන්පතු ගනුදෙනුවල දී වාණිජ බැංකු විසින් එදිනෙදා මුහුණ දෙන ද්‍රවශීලතා ගැටළු නිරාකරණයට පහසුවක් පවතින බැවින් තැන්පතු මුදල් ආපසු ගෙවීමේ ගැටළු සාමාන්‍ය කාලවල දැකිය නොහැකිය.

  •  වාණිජ බැංකු විසින් ලබා ගෙන ඇති ණය 

    කෙටිකාලීන පොරොන්දු පත්‍ර සහ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රතිමිල දී ගැනීමේ ගිවිසුම් (රිපෝ) වැනි බැංකු විසින් ලබා ගෙන ඇති කෙටිකාලීන ණය ද මුදල් ලෙස සැලකිය හැකිය. ඊට හේතුව, එම මුදල් ද ඉක්මනින් තැන්පතු සහ ව්‍යවහාර මුදල් බවට පත් කොට වියදම් හෝ ගෙවීම් සඳහා භාවිතා කළ හැකි බැවිනි.
    • ඡායා බැංකු තැන්පතු 

    ඡායා බංකු යනු විශේෂිත බැංකු සහ මූල්‍ය සමාගම් වැනි තැන්පතු භාර ගැනීමේ සහ ණය දීමේ ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට අවසර ලබා ඇති බැංකු නොවන මූල්‍ය ආයතනයන් ය. මොවුන්ට වාණිජ බැංකු මෙන් ගිණුම් සටහන් මගින් ණය සහ තැන්පතු මැවීමේ හැකියාව නොමැත. එබැවින්, මොවුන් විසින් මහජනයාගෙන් තැන්පතු සහ ණය ගැනීම හරහා අතරමැදි මූල්‍ය ආයතනයන් ලෙස ව්‍යාපාරික කටයුතු සිදු කෙරේ. 

    සාමාන්‍ය කාලවල මෙම තැන්පතු ද එදිනෙදා ගෙවුම් මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමේ ඉහළ හැකියාවක් පවතී. නව මහ බැංකු පනත යටතේ ඡායා බැංකුවලට ද මහ බැංකුවේ ගිණුම් පවත්වා ගෙන යාම සහ ණය ගැනීමේ අවසරය පවතින බැවින් එය ද මෙම මූල්‍ය ආයතනවල විශ්වාසය සහ ද්‍රවශීලතාවය ඉදිරියේ දී ඉහළ යාමට හේතු වනු ඇත.

    • රාජ්‍ය සුරැකුම්පත් 

    රාජ්‍ය සුරැකුම්පත් යනු රජය විසින් වෙළෙඳපොළ හරහා ණය ගැනීමේ දී නිකුත් කෙරෙන වෙළෙඳාම් කළ හැකි පොරොන්දු පත්‍ර යි. ශ්‍රී ලංකාවේ ඒවා භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර යනාදියෙන් යුක්ත වෙයි. ක්‍රියාශීලී රාජ්‍ය සුරැකුම්පත් ද්විතීය වෙළෙඳපොළක් පවතින බැවින් ආයෝජකයෙකුට තම රාජ්‍ය සුරැකුම්පත් පවතින මිලට බැංකුවකට හෝ ප්‍රාථමික වෙළෙන්දෙකුට අළෙවි කොට එම මුදල් බැංකු තැන්පතු ගිණුමකට ප්‍රේෂණය කිරීමට හෝ ව්‍යවහාර මුදලින් ලබා ගැනීමට හෝ හැකියාව පවතී. එසේම, රාජ්‍ය සුරැකුම්පත් යනු පූර්ණ රාජ්‍ය ආරක්ෂාව ඇති ආයෝජන වත්කම් වෙයි.

    සමස්තයක් ලෙස ගත් විට ආර්ථිකයට මුදල් මවන්නේ හෝ සපයන්නේ මහ බැංකුව, රජය සහ බැංකු ය. ඉහත දැක්වූ මුදල් වර්ගවලින් ව්‍යවහාර මුදල්, මහ බැංකු සංචිත මුදල් ශේෂයන් සහ රාජ්‍ය සුරැකුම්පත් යනාදිය රාජ්‍ය මුදල් ය. ඊට හේතුව ඒවා රජය (මහ බැංකුව ද ඇතුළු) විසින් මැවීම හෝ සැපයීම කෙරෙන බැවිනි. 

    අනෙක් මුදල් යනු බැංකු විසින් නිල මුදල් ඒකකය සහ බැංකු බලපත්‍රය තුළ මවන ලද පෞද්ගලික බැංකු මුදල් ය. ඒවා බැංකු විසින් ණය දීමේ සහ වත්කම් අත්කර ගැනීමේ දී බැංකු පද්ධතිය තුළ මැවී ඇති හුදෙක් ගිණුම්වල පවතින ඉලකම් මුදල් ය. ඒවා මහජනයා විසින් මුදල් ලෙස සැලකීම හුදෙක් එම මුදල් ඕනෑම අවස්ථාවක ව්‍යවහාර මුදල් බවට පත්කළ හැකි බවටත්, රාජ්‍ය ආරක්ෂාව පවතින බවටත් ඇති විශ්වාසය මත රඳා පවතී.

    මෙහි දී, රජය විසින් මුදල් මැවීම සහ බැංකු විසින් මුදල් මැවීම අතර විශාල අරමුණු වෙනසක් පවතී. රජය මුදල් මවන්නේ මහජන සේවාවන් සැපයීමේ දී මුහුණ දෙන අයවැය හිඟය පියවීම සඳහා ය. එහෙත්, බැංකු මුදල් මවන්නේ හුදු පෞද්ගලික ලාභ ඉපැයීම සඳහා ය.

    බැංකු සහ මූල්‍ය අර්බුදයන් හට ගන්නේ බැංකු විසින් මවන ලද තැන්පතු මුදල් පිළිබඳ විශ්වාසය බිඳී යන අවස්ථාවල ය. තැන්පතුවලට සමාන ව්‍යවහාර මුදල් සහ මහ බැංකු සංචිත ප්‍රමාණයක් බැංකු සතු නොවන බැවින් බැංකු අර්බුදයන් විසඳිය හැක්කේ රජය සහ මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කොට බැංකුවලට සැපයීමෙන් පමණි. එහෙත්, රජය විසින් ස්වෛරිත්ව මුදලින් මවා ඇති මුදල් අර්බුදයට පත් වන්නේ නැත. ඊට හේතුව, රජයට ඇති බලතල සහ විශ්වාසය අනුව නව මුදල් මැවීම හරහා දේශීය මුදල් රාජ්‍ය ණය ආපසු ගෙවිය හැකි බැවිනි. ලෝකයේ සියළුම රජයන් විසින් පවතින ණය ගෙවන්නේ එසේ නව මුදල් මැවීම හරහා ය. එබැවින්, රාජ්‍ය දේශීය ණය තිරසාර නොවන බව මහ බැංකුව සහ IMF විසින් පැවසීම පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයකි.

    මහ බැංකුවල අවසාන ණය දෙන්නාගේ කාර්යය යනු මෙසේ මුදල් මුද්‍රණය කොට අර්බුදකාරී බැංකුවලට ණය දීම යි. එහෙත්, නව මහ බැංකු පනත යටතේ එම මුදල් බලය මහ බැංකුවෙන් ඉවත් කොට ඇති අතර එය රාජ්‍ය අයවැය කාර්යයක් බවට පත් කොට ඇත. එනම්, එවැනි අවස්ථාවල බැංකුවලට ණය දිය යුත්තේ රජය විසිනි. ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සහ තැන්පතු මුදල් අනාගතයේ දී මුහුණ දෙන දැඩි අවදානමක් වනුයේ මෙය යි. 

    ඊට හේතුව, එවැනි අවස්ථාවල බැංකුවලට ව්‍යවහාර මුදලින් ණය දීම සඳහා මුදල් රජයට නොමැති වීම යි. එවැනි බැංකු අර්බුද අවස්ථාවල දී රජය විසින් එසේ ණය සැපයිය හැක්කේ, ඒ සඳහා අවශ්‍ය මුදල් මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය හරහා රජයට ණය ලබා දේ නම් පමණි. ඊට හේතුව, සෘජුව මුදල් මුද්‍රණය කිරීමේ බලය රජයට හෝ මහා භාණ්ඩාගාරයට නොමැති බැවිනි. එම බලය ඇත්තේ රාජ්‍ය මහ බැංකුවට යි. එහෙත්, නව මහ බැංකු පනත යටතේ රජයට එසේ ණය දීමේ බලය පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවෙන් ඉවත් කොට ඇත.

    ශ්‍රී ලංකාවේ මුදල් සංයුතිය

    මහ බැංකුව විසින් විවිධ මුදල් වර්ගයන් හරහා රට තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය කොපමණ ද? යන්න විවිධ පටු සහ පුළුල් නිර්නායකයන් යටතේ ගණනය කොට ප්‍රසිද්ධ කෙරේ. එම සංඛ්‍යාවන් මුදල් සැපයුම් සංඛ්‍යා ලෙස දැක්වෙයි. ශ්‍රී ලංකාවේ එය  M1, M2, M2b සහ M4 ලෙස දැක්වෙයි. මෙහි දී, මහජනයා අත පවතින මුදල් වත්කම් ප්‍රමාණය ගණනය කෙරේ. එනම්, බැංකු පද්ධතිය විසින් මහජනයාට ඇති සෘජු මුදල් වගකීම් ය. එනම්, ව්‍යවහාර මුදල් සහ තැන්පතු මුදල් ය.

    එහෙත්, මා විසින් ඉහත දක්වා ඇති මුදල් වර්ගීකරණය සහ සංයුතිය ඊට වඩා පුළුල් සාර්ව ආර්ථික නිර්ණායකයක් වෙයි. එම ගණනය කිරීම පහත දැක්වෙයි. එමගින්, රජය සහ බැංකු විසින් සපයා බැංකු පද්ධතිය හරහා සංසරණයේ පවතින මුදල් ප්‍රමාණය දැක්වෙයි. ආර්ථික හෝ මූල්‍ය අර්බුදයක දී මෙම සියළු මුදල් වර්ගයන් අර්බුදයට පත් වනු ඇත.

    මහ බැංකුව විසින් නිකුත් කෙරෙන මුදල් සැපයුම් සංඛ්‍යාවන්ගෙන් නිරූපනය වන්නේ මහජනයා අතැති මුදල් පමණි. එනම්, ව්‍යවහාර මුදල් සහ ඔවුන් විසින් බැංකු සහ ඡායා බැංකුවල තබා ගන්නා තැන්පතු යනාදියෙහි එකතුව යි. එය හුදෙක් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම කෙරෙහි බලපාන මහජනයා අතැති ද්‍රවශීලතාවය කොපමණ ද? යන්න සංකල්පීය ගණනය කිරීමකි. ඊට අනුව, M4 මුදල් සැපයුම, එනම්, මහජනයා සතු ව්‍යවහාර මුදල් සහ බැංකු සහ ඡායා බැංකු තැන්පතුවල එකතුව, 2020 දෙසැම්බර් මස රුපියල් බිලියන 11,462 ක් ද, 2023 සැප්තැම්බර් මස රුපියල් බිලියන 14,540 ක් ද විය.

    එහෙත්, ඉහත වගුවෙහි දක්වා ඇත්තේ රට තුළ සියළු පාර්ශවයන් විසින් තම මුදල් ගනුදෙනු සඳහා තබා ගන්නා ව්‍යවහාර මුදල්, මහ බැංකු සංචිත, බැංකු සහ ඡායා බැංකු තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත් යනාදියෙහි එකතුව යි. එය ආර්ථිකයෙහි සමස්ත මූල්‍ය තත්ත්වය නිරූපනය කෙරේ. එබැවින්, මෙය ඉතා පුළුල් මුදල් වර්ගීකරණයක් වන බැවින් මෙම මුදල් සැපයුම M4 මුදල් සැපයුම මෙන් තෙගුණයක් පමණ ඉහළ වෙයි.

    • මුළු මුදල් සංයුතිය තුළ ව්‍යවහාර මුදල් ප්‍රමාණය 3.5% කි. එය 2020 දී 4.3% ක සිට පහළ බැස ඇත. 

    •  එනම්, සංසරණයේ පවතින මුළු මුදල් ප්‍රමාණය ව්‍යවහාර මුදල් ප්‍රමාණය මෙන් 29 ගුණයකි. එය 2020 දී 23 ගුණයක් විය.

    • මුළු මුදල් සංයුතිය තුළ බැංකු තැන්පතු මුදල් 47.6% ක් ද, රාජ්‍ය සුරැකුම්පත් 48.5% ක් ද වෙයි. මෙහි දී, 2020 සිට මේ දක්වා බැංකු තැන්පතු ප්‍රතිශතය 10% කින් සැලකිය යුතු ලෙස පහළ යාමත්, ඊට සමානව රාජ්‍ය සුරැකුම්පත් ප්‍රතිශතය ඉහළ යාමත් විශේෂ ලක්ෂණයකි. 

    • එසේම, ආර්ථිකයේ ගනුදෙනු සඳහා භාවිතා වූ මුදල් ප්‍රමාණය 2020 සිට මේ දක්වා 65.5% කින් ඉහළ ගොස් ඇත. ඊට ප්‍රධාන හේතුව, රජය විසින් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම හරහා මුදල් මැවීම ඉහළ යාම යි.

    මුදල් මුහුණ දෙන අවදානම්

    • සෑම මුදල් වර්ගයක්ම උද්ධමනය හේතු කොට මූර්ත වටිනාකම පහළ යාමේ අවදානමට මුහුණ දෙයි. ඊට හේතුව, කිසිම මුදල් වර්ගයක් කිසිම භෞතික වත්කමකින් ආවරණය නොවන බැවිනි. එබැවින්, සියළු මුදල් වර්ගයන් කිසිම නෛසර්ගික වටිනාකමක් නැති හුදු ඉලක්කම් වටිනාකම් ය. එහෙත්, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත්වලින් උද්ධමන අපේක්ෂාවන් මත පදනම් වූ පොලී ආදායමක් ලැබෙන බැවින් යම් දුරකට ඒවායේ මූර්ත වටිනාකම ආරක්ෂා වෙයි. එහෙත්, ව්‍යවහාර මුදල් සහ ජංගම තැන්පතු උද්ධමන අවදානමට සෘජුව මුහුණ දෙනු ඇත.

    • ව්‍යවහාර මුදල් සහ මහ බැංකු සංචිත මුදල් හැර අනෙක් සෑම මුදල් වර්ගයන් පැහැර හැරීමේ අවදානම මුහුණ දෙනු ඇත. 

      • මේ දිනවල මහ බැංකුව විසින් රාජ්‍ය ණය ගෙවීමට අපහසු වී ඇති බැවින් රාජ්‍ය සුරැකුම්පත් ප්‍රතිව්‍යුහගත කරන බව නිරන්තරයෙන් ප්‍රකාශ කිරීම දැකිය හැකිය. එහෙත්, මීට ටික කලකට පෙර මහ බැංකුව විසින් රාජ්‍ය ණය කළමනාකරු වශයෙන් උදම් ඇනුවේ, රාජ්‍ය ණය කවදාවත් පැහැර හැර නොමැති බවත්, එය ඉදිරියටත් එසේම බව යි. 

      • බැංකු සහ ඡායා බැංකුවල වත්කම්හි ඉහළ ගුණාත්මක භාවයක් නොමැති නම්, ඒවා නිසි ලෙස අය නොවී බැංකු ආදායම පහළ යන විට තැන්පතු අවදානම්කාරී වනු ඇත. ඊට හේතුව, තැන්පතු ආපසු ලබා ගැනීම ඉහළ ගිය හොත්, තැන්පතු ගෙවීම සඳහා බැංකුවල පවතින සංචිත ප්‍රමාණවත් නොවීම නිසා තැන්පතු හිමියන් සහ බැංකු ද්‍රවශීල අර්බුදයකට මුහුණ දීම යි. මේ දිනවල බැංකු විසින් තම පරාටේ නෛතික බලය යොදා, හිඟ ණය සඳහා උගස් කොට ඇති වත්කම් අත්පත් කර ගෙන වෙන්දේසියේ අළෙවි කරන්නේ, තැන්පතු හිමියන්ගේ මුදල් ආරක්ෂාව සඳහා බව පැවසෙයි. රාජ්‍ය ණය සහ විදේශ මුදල් අර්බුදය තුළින් හට ගත් ආර්ථික අර්බුදය හේතුවෙන් බැංකු ණය සහ වත්කම් කෙරෙහි ඇති වී ඇති අහිතකර බලපෑම නිරාකරණයට කිසිම විශේෂ ප්‍රතිපත්තියක් නොගන්නා මහ බැංකුව ද එසේ පරාටේ බලය යෙදීම සාධාරණය කොට ඇත. මෙහි දී, බැංකු තැන්පතු යනු හුදෙක් ණයවල පමණක් නොව බැකු මුළු වත්කම්වල ප්‍රතිඵලයක් බව අමතක නොකළ යුතුය.

      • මහ බැංකුව විසින් බැංකු සහ ඡායා බැංකු තැන්පතු සඳහා තැන්පතු රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කළ ද, එමගින්, ආපසු ගෙවිය හැකි වන්නේ කලින් කළට බුන්වත් වන කුඩා බැංකුවල තැන්පතු පමණි. ඊට හේතුව, බැංකු විසින් ගෙවන රක්ෂණ වාරිකයෙන් ගොඩ නැගී ඇති රක්ෂණ අරමුදල තැන්පතුවලට සාපේක්ෂව ඉතා සුළු වීම යි. උදාහරණ ලෙස 2022 අවසානයේ දී මෙම රක්ෂණ අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 69 ක් විය. එබැවින්, තැන්පතු රක්ෂණ ක්‍රමයෙන් තැන්පතු හිමියන්ගේ අවදානම ආවරණය වීමක් සිදු නොවේ.

    • සියළුම මුදල් වර්ග කෙරෙහි සොර සතුරු අවදානම පවතී. ව්‍යවහාර මුදල් සොරා ගැනීම පොදු සිද්ධියකි. මහජනයා විසින් තම ආදායම් සහ ඉතුරුම් ව්‍යවහාර මුදල් ලෙස නොව බැංකුවල තැන්පත් කිරීමේ මූලික අරමුණ වනුයේ මෙම අවදානම වලක්වා ගැනීම යි. එහෙත්, තැන්පතු මුදල් ද විවිධ ගිණුම් වංචාවන්ට ලක් වීම හේතු කොට මුදල් අහිමි වීම් වාර්තා වී ඇත. උදාහරණ ලෙස ඉන්දියානු මහ බැංකුව විසින් පසුගිය දෙසැම්බර් 27 දින නිකුත් කරන ලද බැංකු පිළිබඳ වර්තාවක සඳහන් කොට ඇත්තේ පසුගිය පස්වසර තුළ බැංකු ගනුදෙනු වංචාවන් සංඛ්‍යාව 93% කින් ඉහළ ගොස් ඇති බව යි. තව ද, 2015 දී බංගලාදේශ මහ බැංකුව විසින් ඇමෙරිකානු මහ බැංකුවේ පවත්වා ගෙන ගිය සංචිත ගිණුම් ශේෂයෙන් කොටසක් විද්‍යුත් පද්ධතිය හරහා සොරා ගත් අතර ඉන් ඩොලර් මිලියන 20 ක පමණ මුදලක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු ගිණුමකට ද ලැබී තිබිණ. 

    • උද්ධමනය හේතු කොට මුදල්වල මූර්ත වටිනාකම පහළ යාම ද මුදල් සොරා ගැනීමකි. මහජනයාගේ ආදායම ඉහළ යාමක් නොමැතිව භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමෙන් එය සිදු වෙයි.

    • අනපේක්ෂිත ලෙස පැනවෙන රාජ්‍ය බදු සහ ගාස්තු ද මහජනයාගේ මුදල් සොරා ගැනීමකි. පොලී ආදායමින් සහ ගෙවීම්වලින් බදු අය කිරීමෙන් සිදු වන්නේ මහජනයාගේ මුදල් ශේෂයන් පහළ යාම යි. එබැවින්, බදු යනු රජය විසින් මවා ඇති මුදල් කොටසක් නැවත ආර්ථිකයෙන් ඉවත් කර ගැනීමේ සෘජු මෙවලමක් ලෙස ද දැක්වෙයි. මහජනයාගේ ආදායම් වර්ධනයට වඩා ඉහළ ප්‍රමාණයකින් බදු අය කිරීමෙන් සිදු වන්නේ මහජනතාවගේ මුදල් මෙන්ම ජීවන තත්ත්වය ද පහළ යාම යි. මෙය මේ දිනවල ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් බවට විවාදයක් නොමැත.

    • බැංකු සහ මූල්‍ය පද්ධතිය දුර්වල වන විට බැංකු කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටී බැංකු අර්බුදයන් හට ගැනීමෙන් ද තැන්පතු මුදල් අහිමි විය හැකිය. මෙය පද්ධති අවදානම ලෙස හැඳින්වෙයි. පද්ධති අවදානමට මූලික හේතුව වනුයේ, බහුතර මුදල් සැපයුම මවන ලද ඉලක්කම් මුදල් වීමත්, ඉන් ව්‍යවහාර මුදල් ලෙස ඕනෑම අවස්ථාවක මුදල් ලබා ගත හැකි බවට ඇති මිත්‍යා විශ්වාසයත්, මුදල් හරහා බැංකු, කුටුම්බයන් සහ ව්‍යාපාරයන්  අන්තර් සම්බන්ධ වීමත් ය. මෙහි දී, මූල්‍ය පාලනය ශක්තිමත් බැංකු පවා ද්‍රවශීල අර්බුදයන්ට මුහුණ දිය හැකිය. ඊට හේතුව, එක්වර තැන්පතු විශාල ප්‍රමාණයක් ආපසු ගැනීමට තැන්පතු හිමියන් උත්සුක වීම යි. උදාහරණ ලෙස 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදයේ දී එංගලන්තයේ නොදර්න් රොක් බැංකුව කඩා වැටීමෙන් හට ගත් බැංකු අර්බුදයෙන් බැංකු පද්ධතිය බේරා ගැනීම සඳහා රජය විසින් බැංකු ජනසතු කරන ලදි. 

      • රටවල රජයන් සහ මහ බැංකු විසින් නිරන්තරයෙන් බැංකු සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත් බවත්, කම්පනයන්ට ඔරොත්තු දෙන බවත් නිරන්තරයෙන් ප්‍රකාශ කළ ද, බැංකු අර්බුදයන් පතිත වන තෙක් ඔවුන් නොදනී. ශ්‍රී ලංකා මහ බැංකුව ද මෙතරම් ණය සහ ආර්ථික අර්බුදයක් පැවතිය ද, බැංකු පද්ධතිය ඉතා ශක්තිමත් බව නිරන්තරයෙන් දක්වා ඇත. එය පදනම් විරහිත ප්‍රකාශයක් බව සමස්ත ආර්ථික දත්ත දෙස බැලීමේ දී පෙනේ. මහ බැංකු විසින් මෙවැනි අතිශයෝක්ති ප්‍රකාශනයන් කරනු ලැබෙන්නේ, හුදෙක් බැංකු හෝ මූල්‍ය පද්ධතිය තුළ වාර්තාවන සමස්ත ප්‍රාග්ධනය සහ ද්‍රවශීල වත්කම් ප්‍රතිශතක සංඛ්‍යාවන් පදනම් කර ගෙන ය. එහෙත්, එම සංඛ්‍යා මගින් පද්ධතිය තුළ ආයතනයන් අතර පවතින ගුණාත්මක විෂමතාවයන් නොපෙන්වන අතර බොහෝ අර්බුදයන් දුර්වල ආයතන හරහා හට ගන්නා බව සාමාන්‍ය අත්දැකීම යි. එවිට, ප්‍රාග්ධන සහ ද්‍රවශීල වත්කම් ප්‍රතිශතයන් බලා සිටිය දී කඩා වැටෙනු ඇත.

      • ඇමෙරිකානු මහ බැංකුව විසින් ද එසේ ප්‍රකාශ කළ ද, පසුගිය මාර්තු මස ඇමෙරිකාවේ බැංකු 5 ක් පමණ සතියක් තුළ හදිසියේ අර්බුදයට ලක් විය. එම අර්බුදයේ බලපෑම නිරාකරණය කරනු ලැබුවේ මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය හරහා ඩොලර් බිලියන 300 ක පමණ ණය කඩිනමින් බැංකු පද්ධතිය වෙත නිකුත් කිරීමෙනි. 

      • එබැවින්, කිසිම කිසිම ජගතෙකුට මේ දක්වා කිසිම බැංකු සහ මූල්‍ය අර්බුදයක් පුරෝකථනය කිරීමට නොහැකි වී අතර රජයන් සහ මහ බැංකුවලට කළ හැකි වන්නේ, අර්බුදයේ ආරම්භක සංඥාවන් තේරුම් ගෙන,  බැංකු පද්ධතිය වෙත කඩිනමින් නව මුදල් ලබා දී මහජන විශ්වාසය ගොඩ නැංවීමට ක්‍රියා කිරීම පමණි. එසේ නොමැතිව, නීති මගින් අර්බුදකාරී බැංකු වසා දමා, මුදල් අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීමට යාමෙන් සිදු වන්නේ අර්බුදය තවත් ව්‍යාප්ත වීම යි. ඊට හේතුව, මූල්‍ය පද්ධතිය හුදු මිත්‍යා විශ්වාසයන් මත ක්‍රියාත්මක වන බැවිනි.

    • මහ බැංකු අත්තනෝමතික මූල්‍ය ප්‍රතිපත්ති තුළින් සියළු මුදල්වර්ගයන් කම්පනයට සහ අස්ථායීතාවයට පත්වීම මුදල් මුහුණ දෙන තවත් අවදානමකි. මහ බැංකු විසින් පවසන්නේ උද්ධමනය පාලනය කොට ආර්ථිකයේ මිල ස්ථායිතාවය පවත්වා ගෙන යාම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව යි. එසේ මිල ස්ථායිතාවය ඇති කිරීමට බලාපොරොත්තු වන්නේ මහ බැංකුවේ එක් දින පොලී අනුපාතය වරින් වර වෙනස් කිරීමෙනි. ආර්ථිකයේ මිල ගණන් තීරණය වන්නේ වෙළෙඳපොළ පද්ධතිය මගින් වන අතර එය මහ බැංකු පොලී අනුපාතය මගින් පාලනය කළ හැකි බව කල්පනා කිරීම හාස්‍ය ජනකය. එසේම, මහ බැංකු පොලී අනුපාතය හරහා සෑම මුදල් වර්ගයකම ගිණුම් වටිනාකම කෙරෙහි ඇති කෙරෙන අහිතකර බලපෑම සහ අස්ථායීතාවය ඉතා පැහැදිලි ය. මෙහි දී, පොලී අනුපාත අවදානම සහ මූල්‍ය වත්කම් මිල ගණන් වෙනස් වීමේ අවදානම හරහා බැංකු සහ මූල්‍ය වෙළෙඳපොළවල ද්‍රවශීල අර්බුදයන් හට ගැනීම දැකිය හැකිය. උදාහරණ ලෙස 2023 මාර්තු මස ඇමෙරිකාවේ ප්‍රාදේශීය බැංකු රැසක් කම්පනයට පත් වූයේ මහ බැංකු පොලී අනුපාතය අධික ලෙස වේගයෙන් ඉහළ දැමීම හරහා හට ගත් ද්‍රවශීල අර්බුදය හේතුවෙනි. ශ්‍රී ලංකාවේ 2022/23 දී පොලී අනුපාතයන් 25%-35% අතර පරාසයකට ඉහළ යාම තුළින් රාජ්‍ය ණය (රාජ්‍ය සුරැකුම්පත් ඇතුළුව) සහ බැංකු ණය කරුවන් අර්බුදයට පත් වී ඇත. එබැවින්, තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත් මුදල්වල ගුණාත්මක භාවය පහළ වැටී ඇත. 

    නව වසරේ මහජනතාවට දෙන අවවාදය

    • ඉහත දැක්වූ කෙටි විග්‍රහය අනුව මහජනතාව විසින් ඉහත දැක්වූ මුදල් වර්ගයන් හැර මුදල් ලෙස තබා ගන්නා වෙනත් සියළු ආයෝජන වත්කම් මුදල් ලෙස සැලකීමේ පදනමක් නොමැත. ඊට හේතුව, එම වත්කම් වර්ගයන් මුහුණ දෙන අධිඅවදානම් ය. උදාහරණ ලෙස අනවසර තැන්පතු, පිරමීඩ ආයෝජන, කොටස් වෙළෙඳපොළ ආයෝජන සහ ක්‍රිප්ටෝ මුදල් දැක්විය හැකිය. එම මුදල් මුහුණ දෙන අවදානම් හේතු කොට ඉක්මනින් මුදල් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඉතා පහළ අතර මුදල් අහිමි වීමේ අවදානම ද ඉතා ඉහළ වෙයි.

    • ඉහත දැක්වූ මුදල් වර්ගයන් සාමාන්‍ය කාලවල මුදල් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ඉතා ඉහළ වෙයි. ඒවා රාජ්‍ය නියාමනයට යටත් වීම හේතු කොට විශ්වාසයේ ස්ථායී බවක් ද පවතී. එහෙත්, එම මුදල් ද ඉහත දැක්වූ අවදානම්වලට විවිධ මට්ටමින් මුහුණ දෙනු ඇත. එබැවින්, බැංකු සහ ණය අර්බුදයන්හි දී එම මුදල් අහිමි වීමේ අවස්ථාවන් ලෝකයේ රටවලින් වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගම්වල තැන්පතු අහිමි වීමේ වාර්තාවන් ද පවතී. අධිඋද්ධමනකාරී අවස්ථාවල රාජ්‍ය මුදල් වුව ද, ව්‍යවහාර මුදල්වල වටිනාකම අහිමි වනු ඇත. වත්මන් සිම්බාබ්වේ, ආජන්ටිනාව සහ වෙනිසියුලාවේ එවැනි තත්ත්වයක් දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ ආදායම කඩා වැටී, පොදු පාරිභෝගික මිල මට්ටම 2019 සිට මේ දක්වා 100% කින් පමණ ඉහළ ගොස් ඇති බැවින් ව්‍යවහාර මුදල්වල මූර්ත වටිනාකම කඩා වැටී ඇති බව අප සියළු දෙනා අත් දකින කරුනකි. එසේම, රාජ්‍ය බදු ඉහළ දැමීම හේතු කොට පෞද්ගලික ගනුදෙනු සඳහා යොදා ගත හැකි මුදල් ප්‍රමාණය ද පහළ ගොස් ඇත. උද්ධමනය සහ බදුවලට සාපේක්ෂව මහජනයාගේ ආදායම ඉහළ ගොස් නොමැති බැවින් ඔවුන් දරිද්‍රතාවය දෙසට තල්ලු වනු ඇත. 

    • වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද මුදල් සැපයුම් කරුවන් වන්නේ, මහ බැංකුව, රජය සහ බැංකු යි. එම සියළු මුදල් ණය ප්‍රමුඛ වත්කම් ගනුදෙනු හරහා මැවෙනු ඇත. ව්‍යවහාර මුදල්, තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත් යනු එහි ප්‍රතිඵලයකි. එබැවින්, ආර්ථිකයේ ණය ප්‍රසාරණය සහ ණය විශ්වාසය පහළ යන විට, ආර්ථිකයේ ගනුදෙනු සඳහා සැපයෙන මුදල් ප්‍රසාරණය ද පහළ යනු ඇත. එබැවින්, කඩා වැටීමට හෝ අවපාතයකට ලක් වී ඇති ආර්ථිකයක් නැවත ගොඩ ගැනීම ණය සීමා කිරීමෙන් කළ නොහැකිය. ඉන් සිදු වන්නේ ණය විශ්වාසය බිඳී ගොස් බැංකු සහ මූල්‍ය අර්බුදයක් හට ගැනීමේ අවදානමට මුහුණ දීම යි. එබැවින්, IMF උපදේශනය මත රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති අඛණ්ඩව දැඩි කිරීම හේතු කොට ආර්ථිකයට සැපයෙන මුදල් ප්‍රමාණය සීමා වීමෙන් හෝ හිඟ වීමෙන් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ ජීවන මට්ටම කෙරෙහි තවත් අතුරු අබාධයන් ඉදිරි වර්ෂවල දී හට ගනු ඇත.

    එබැවින්, ආර්ථිකය අඛණ්ඩව මුහුණ දෙන අර්බුදය අවබෝධ කර ගෙන, නව වසරේ දී තම මුදල්වල ආරක්ෂාව සැලසෙන පරිදි තමන් මනාප මුදල් වර්ගයන් තෝරා ගැනීම සහ කළමනාකරණය කිරීමට විශේෂ අවධානය යොමු කිරීම දූරදර්ශී ක්‍රියාවක් වනු ඇත. ඊට හේතුව, එම මුදල් පිළිබඳ පූර්ණ වගකීමක් හෝ ආරක්ෂණ සහතිකයක් රජය හෝ මහ බැංකුව හෝ බැංකු විසින් නොසැපයෙන බැවිනි. එබැවින්, මුදල් සහ බැංකු පද්ධතිය දැඩි රාජ්‍ය නියාමනයට ලක් වුව ද, මුදල්වල වගකීම දැරීමට සිදු වන්නේ මහජනතාවට ය. ඊට හේතුව, කිසිම මුදලක් භෞතික වත්කමකින් හෝ රාජ්‍ය ඇපයකින් ආවරණය නොවන බැවිනි.

    සමස්තයක් ලෙස බලන විට, ඔබ අත ඇති මුදල් ඔබට ද්‍රවශීල වත්කමකට වඩා වගකීමක් විය හැකිය. ඊට හේතුව, ඔබගේ මුදල් සපයන රජය සහ බැංකු විසින් මුහුණ දෙන අවදානම් හරහා ඔබේ මුදල් ද අවදානම්කාරී වීම යි. 

    එබැවින්, නව වසරේ ආසිරි විඳීමට නම්, ඉහත දැක්වූ කරුනු අවබෝධ කර ගෙන තම මුදල් ආරක්ෂා කිරීම කෙරෙහි ප්‍රමුඛ සැලකිල්ලක් දක්වන ලෙස පොදු මහජනයාට අවවාද කෙරේ.

    මෙම විෂයට අදාළව මා විසින් මෙම වෙබ් අඩවියේ පළ කොට ඇති ලිපි කිහිපයක් පහත දැක්වෙයි.



    (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

    පි සමරසිරි

    [ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

    හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

    (හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)



    Comments

    Popular posts from this blog

    රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

    මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

    2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි