තැන්පතු නැතිව ණයත්, තැන්පතුත්, එකට මවන බැංකු - ණය මැවීමෙන් දුවන ආර්ථිකය.

 


පසුගිය දෙසැම්බර් 3 දින ලිපියෙන් (ලිපිය බලන්න මෙතනින්.) බැංකු මුදල් මවන ආකාරය පිළිබඳ ව අප බොහෝ දෙනා පාරම්පරිකව විශ්වාස කරන මිත්‍යා මතය කෙටියෙන් ඉදිරිපත් කොට, සැබෑ ලෝකයේ මුදල් මවන ආකාරය හඳුන්වා දෙන ලදි. එනම්, බැංකු විසින් මුදල් මවන්නේ තැන්පතුවලින් රැස් කර ගන්නා මුදල් ණයට දීමෙන් නොව, බැංකු ගිණුම්වල කෙරෙන ණය සටහන් හරහා ය. 

මෙහි දී, ගනුදෙනු කරුවෙකුගේ ණය යෝග්‍යතාවය අගයා, ණයක් අනුමත කිරීමෙන් පසු, ඔහුට ණය මුදල නිදහස් කිරීම හුදෙක් බැංකු විසින් තම ණය වත්කමක් ලෙස ගිණුම් ගත කෙරේ. එනම්, එම මුදල බැංකු ශේෂ පත්‍රයේ ණය වත්කමක් ලෙස ද, ණයකරුගේ  බැංකු තැන්පතු ගිණුමෙහි නව තැන්පතුවක් ලෙස ද ද්විත්ව සටහන් තැබීම යි. පසුව, එම ණයකරු විසින් තම තැන්පතුවෙන් මුදල් වැය කිරීම සහ බැංකුව විසින් ඊට අවශ්‍ය අරමුදල් සැපයීම යනාදිය ද්විතීය බැංකු ක්‍රියාකාරකම් ය.

මෙම ලිපියේ අරමුණ වනුයේ බැංකු විසින් එසේ මුදල් මවන මුදල් ව්‍යාපාරික ගනුදෙනු පරිසරය කෙටියෙන් පැහැදිලි කිරීම යි. ඊට හේතුව, එසේ ද්විත්ව ගිණුම් සටහන් මගින් ණය දෙන ආකාරය අවබෝධ කර ගැනීම සඳහා බැංකුවල මුදල් ගනුදෙනු සහ පියවුම් (නිෂ්කාෂණ) පද්ධති පිළිබඳ සරල දැනුමක් අවශ්‍ය වීම යි. 

ඒ අනුව, ආර්ථිකය පුරා මුදල් මැවෙන සහ ව්‍යාප්ත වන ආකාරය ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

බැංකු විසින් කෙරෙන මුදල් ගනුදෙනු

  • ණය දීම. මීට ණය අනුමත කිරිම සහ මුදල් මුදාහැරිම ඇතුලත් වෙයි.

  • තැන්පතු භාර ගැනීම. මෙය කිහිප ආකාරයකට සිදුවෙයි.

    • තැන්පතු ගිණුම් හිමියන් හෝ වෙනත් බලයලත් පුද්ගලයන් විසින් තැන්පතු ගිණුම් වෙත ව්‍යවහාර මුදල් හෝ චෙක්පත් මගින් බැංකු කවුන්ටරයන් තුළින් මුදල් තැන්පත් කිරීම.

    • ඔවුන් විසින් ATM යන්ත්‍ර තුළින් ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම.

    • එම බැංකුවේ හෝ වෙනත් බැංකුවල තැන්පතු හිමියන්ගේ ගිණුම්වලින් විද්‍යුත් සටහන් මගින් මුදල් ප්‍රේෂණය හෝ තැන්පත් කිරීම. වර්තමානයේ බොහෝ සේවක වැටුප් ගෙවීම මෙසේ බැංකු ප්‍රේෂණ හරහා සිදු වෙයි. විදේශ මුදල් ප්‍රේෂණ ද තවත් උදාහරණයකි.

  • ණය ගැනීම. මෙය කිහිප ආකාරයකින් සිදු වෙයි.

    • මහ බැංකුවෙන් නිත්‍ය පහසුකම හරහා එක් දින ණය ගැනීම, ප්‍රතිවිකුණුම් වෙන්දේසිවලින් දෛනික සහ කාලීන ණය ගැනීම, දිනය තුළ ආපසු ගෙවන ණය ගැනීම සහ හදිසි අවස්ථාවල බැංකු අනුපාතය යටතේ ණය ගැනීම.

    • අන්තර් බැංකු වෙළෙඳපොළෙන් එක් දින සහ කෙටිකාලීන ණය ගැනීම.

    • රාජ්‍ය සුරැකුම්පත් ප්‍රති මිල දී ගැනුම් ගිවිසුම් හරහා පුද්ගලයන්ගෙන් සහ ආයතනවලින් ණය ගැනීම. මෙහි දී සිදුවන්නේ බැංකු ආයෝජනය කොට ඇති රාජ්‍ය සුරැකුම්පත් ඇපයට තබා ණය ගැනීම යි.

    • බැංකු බැඳුම්කර හෝ ණයකර වෙළෙඳපොළේ නිකුත් කිරීම මගින් මැදි හා දිගුකාලීන ණය ගැනීම.

  • දෙන ලද ණයවල වාරික ආපසු ලැබීම

  • තැන්පතු සහ ණය ආපසු ගෙවීම. මෙහි දී, ණය ආපසු ගෙවීම නියමිත දිනවල සිදුවන අතර තැන්පතු ආපසු ගෙවීම ඉතාමත් පාවෙන ක්‍රියාවකි. ඊට හේතුව, තැන්පතු හිමියන් විසින් තම මුදල් ඕනෑම වෙලාවක කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් ඉල්ලා සිටිය හැකි බැවිනි.

  • ගෙවුම් සේවාවන්. මෙහි දී, තැන්පතු හිමියන්ගේ ගිණුම්වලින් හෝ වෙනත් පුද්ගලයන් ඉදිරිපත් කරන ව්‍යවහාර මුදල් භාර ගෙන, එම මුදල් වෙනත් බැංකුවල ගිණුම් හිමියන්ට මුදල් ප්‍රේෂණය කිරීම. එය විද්‍යුත් ප්‍රේෂණ හෝ බැංකු චෙක්පත්/අණකර නිකුත් මගින් සිදු කෙරේ. එසේම, එවැනි ප්‍රේෂණයන් බැංකුවේ ගිණුම් හිමියන්ගේ ගිණුම්වලට ලැබීම ද සිදු වෙයි.

  • විදේශ වෙළෙඳාම සම්භන්ධ ණයවර ලිපි සහ ගෙවුම් සේවාවන් සැපයීම 
  • විදේශ විනිමය වෙළඳාම. ඒ අනුව, විදේශ මුදල් සඳහා දේශීය මුදල් ලැබීම සහ ගෙවීම් සිදු කෙරේ.
  • රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනය සහ වෙළෙඳාම. මෙහි දී, බැංකු විසින් තම අරමුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීමත්, ඒවා වෙනත් ආයෝජකයන්ට අළෙවි කිරීමත්, ඔවුන්ගෙන් මිල දී ගැනීමත් සිදු කෙරේ. ඕනෑම බැංකුවක් විසින් රාජ්‍ය සුරැකුම්පත්වල මුදල් ආයෝජනය කිරීම සාමාන්‍යයෙන් ද්‍රවශීලතාවය පිළිබඳ ව බැංකු නියාමන කොන්දේසිය පිළිපැදීම සඳහා සිදු කෙරේ. ඊට හේතුව, ද්‍රවශීල වත්කම් ලෙස රාජ්‍ය සුරැකුම්පත් වර්ග කොට ඇති බැවිනි. ද්‍රවශීල වත්කම් යනු ක්‍රියාශීලි ද්විතීය වෙළඳපොළක් ඇති බැවින් හදිසි මුදල් අවශ්‍යතාවයක දී ඉක්මණින් අළෙවි කොට මුදල් ලබා ගත හැකි වත්කම් ය.
  • ගාස්තු අයකිරීම මත විවිධ බැංකු ඇපකර නිකුත් කිරීම.
  • විශ්වාසවන්ත ගනුදෙනු කරුවන්ට බැංකු අයිරා, ණයවර ලිපි සහ ණය කාඩ්පත් වැනි ණය සීමාවන් ප්‍රදානය කිරීම. මේවා මගින් ඉදිරියේ දී  අවශ්‍ය වුවහොත් බාහිර පාර්ශවයන්ට ගෙවීම් කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. මේවා වක්‍ර ණය ලෙස හැඳින්වෙයි. එබැවින්, මෙම ණය සීමාවන් බැංකු ගිණුම්වල ණය ලෙස සටහන් වන්නේ ඒවා භාවිතා කෙරෙන විට ය.
මෙම ගනුදෙනු තුළින් මුදල් ලැබීම් සහ ගෙවීම් ප්‍රවාහයකට බැංකු නිරන්තරයෙන් මුහුණ දෙනු ඇත. 

ගෙවුම් සහ පියවුම් පද්ධති

ඉහත දැක්වූ මුදල් ගනුදෙනු කිරීමේ දී බැංකුවක් තත්කාලීන ලෙස මුදල් ගෙවීම් සහ ලැබීම් ප්‍රවාහයකට මුහුණ දෙනු ඇත. ඒවා බැංකුව තුළ මෙන්ම බැංකුවේ පිටත පාර්ශවයන් (විදේශීය ඇතුළු) සමඟ සිදු වනු ඇත. ඉන් කොටසක් ව්‍යවහාර මුදලින් සිදුවන අතර බහුතරය විද්‍යුත් ගනුදෙනු හරහා ඉලක්කම් මුදල්වලින් සිදුවනු ඇත. මෙම මුදල් ගෙවීම් සහ ලැබීම් ගිණුම්වල සටහන් වල සටහන් කොට, බැංකුව තුළ මෙන්ම බැංකු අතර නිෂ්කාෂණය කිරීම සඳහා විද්‍යුත් පද්ධති රාශියක් පවතී. ඒවා කෙටියෙන් පහත දැක්වෙයි.
  • මූලික විද්‍යුත් බැංකු ගනුදෙනු පද්ධතිය

මෙහි දී, බැංකුවේ මුදල් ගනුදෙනු විද්‍යුත් ලෙජරයක තත්කාලීන ලෙස සටහන් වෙයි. ඒ අනුව, ඒ ඒ අවස්ථාවේ ශුද්ධ මුදල් ප්‍රවාහ තත්ත්වය වාර්තා වනු ඇත. උදාහරණ ලෙස තැන්පතු හිමියකු මුදල් ආපසු ගැනීමට හෝ තැන්පත් කිරීමට බැංකු කවුන්ටරයක් වෙත ගිය විට, ඔහු ඉදිරියේ සිටින විට බැංකු නිලධාරියා විසින් ගනුදෙනුව නිම කරන්නේ මෙම මූලික බැංකු පද්ධතිය හරහා ය. මෙහි දී, එම ගනුදෙනුව ගනුදෙනුකරුගේ ගිණුමෙහි සහ බැංකුවේ මුදල් ගිණුමෙහි එකවර සටහන් වනු ඇත. එසේම, මාර්ගගත බැංකු සේවාව හෝ ATM යන්ත්‍රයක් මගින් ගනුදෙනුව සිදු කළ ද, එවලේම ගනුදෙනුකරු ගේ ගිණුමේ ශේෂය දැක්වෙන්නේ එම සේවාවන් අන්තර් ජාලය හරහා බැංකුවේ මූලික බැංකු පද්ධතියට සම්භන්ධ වී ඇති බැවිනි.

මූලික බැංකු පද්ධතිය හඳුන්වා දීමට පෙර බැංකු ගනුදෙනු සටහන් වූයේ පැරණි ලෙජර් පිටුවල පෑන් භාවිතයෙනි. එබැවින්, ගනුදෙනු කරුවකු තම ගනුදෙනු පත්‍රය බැංකු කවුන්ටරයට භාර දී ටෝකනයක් ලබා ගෙන, පසුව ලෙජර් සටහන් නිම කොට නම් අඩගසන තෙක් බැංකුවේ තැනින් තැන සිටිය යුතු විය. එසේම, බැංකුවක ශාඛාවන් වෙන වෙනම කටයුතු කරන ලදි. 

එහෙත්, දැන් බැංකුවක සියළු ශාඛාවන් මූලික බැංකු පද්ධතිය හරහා සම්භන්ධ වී ඇති අතර බැංකුවේ ගනුදෙනු කරුවෙකුට ඕනෑම ශාඛාවකින් තම ගනුදෙනුව මිනිත්තු කිහිපයකින් කර ගත හැකිය. එසේම, මාර්ගගත බැංකු සේවය සහ ATM යන්ත්‍ර ජාලය හේතු කොට මූලික බැංකු ගනුදෙනු සඳහා බැංකු ශාඛාවකට යාම ද අවශ්‍ය නොවේ. ඊට අමතරව, මූලික බැංකු පද්ධතිය මගින් බැංකු අවදානම් කළමනාකරණයට අවශ්‍ය දත්ත ද සැපයෙනු ඇත.

  • අන්තර් බැංකු ගිණුම්
අන්තර් බැංකු ගිණුම් යනු බැංකු විසින් වෙනත් බැංකුවල තබා ගන්නා ජංගම ගිණුම් ය. ඒවා බැංකු අතර කෙරෙන පරිපාලන ගනුදෙනු පියවීම සඳහා භාවිතා කෙරේ. එබැවින්, ඒවා ඉතා සුළු ශේෂයන් ය.
  • මහ බැංකුවේ ගිණුම්

සෑම බැංකුවක්ම මහ බැංකුවේ ජංගම ගිණුමක් පවත්වා යයි. ව්‍යවස්ථාපිත සංචිත, අන්තර් බැංකු ගෙවුම් නිෂ්කාෂණය සඳහා අවශ්‍ය අතිරේක සංචිත, මහ බැංකුව සමඟ කෙරෙන නිත්‍ය පහසුකම් සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ ගනුදෙනු, අන්තර් බැංකු ගෙවීම් සහ ලැබීම් ගනුදෙනු සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ ගනුදෙනු මෙම ගිණුම් හරහා සිදු වෙයි. එසේම, රජයේ ජංගම ගිණුමක් ද මහ බැංකුවේ පවතී. මහ බැංකුව සහ බැංකු විසින් රජය සමඟ කරන ගනුදෙනු මෙම ගිණුම හරහා සිදු වෙයි.

බැංකුවල මෙම ජංගම ගිණුම් ශේෂයන් පදනම් මුදල්වල කොටසකි. පදනම් මුදල්වල අනෙක් කොටස වනුයේ මහජනතාව සහ බැංකු වෙතැති ව්‍යවහාර මුදල් ය. එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය සහ ගෙවුම් පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා මෙම ගිණුම් මගින් විශාල මෙහෙයක් සිදු වෙයි.

මහ බැංකුවේ ගිණුම් විවෘත කිරීමට මහජනයාට අවසර නොමැති අතර ඔවුන් බැංකු ගිණුම් හරහා තම මුදල් ගනුදෙනු කළ යුතුය.

  • තත්කාලීන දළ පියවුම් පද්ධතිය
මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන විද්‍යුත් ගෙවුම් වේදිකාවක් වන අතර බැංකුවල තොග හෝ විශාල ගෙවුම් මේ හරහා සිදු කෙරේ. එම සියළු ගෙවුම් ඒ ඒ වෙලාවට පියවෙයි. එම පියවීම් සිදු කෙරෙන්නේ, ඒ ඒ බැංකු විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන ජංගම ගිණුම් හරහා ය. 

  • නිර්ලේඛන සුරැකුම් නිෂ්කාෂණ පද්ධතිය

මෙය මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළෙඳ ගනුදෙනු පියවීම සඳහා ක්‍රියාත්මක කරන විද්‍යුත් වේදිකාව යි. මෙහි ප්‍රාථමික වෙළෙඳුන් සහ ආයෝජකයන් සඳහා සුරැකුම්පත් ගිණුම් පවතින අතර සුරැකුම්පත් වෙළෙඳාම එම ගිණුම් අතර හුවමාරු වීමෙන් සිදු වෙයි. එහෙත්, ඊට අදාළ මුදල් ගනුදෙනු මහ බැංකු ජංගම ගිණුම් සහ තත්කාලීන දළ පියවුම් වේදිකාව හරහා සිදු වෙයි.

උදාහරණ ලෙස මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසිවලින් පිළිගන්නා ලංසු සඳහා සුරැකුම්පත් අදාළ බැංකුවල මෙම සුරැකුම් ගිණුමට එකතු කරන අතර ඊට අදාළ මුදල් මහ බැංකුවේ ඇති එම බැංකුවල ජංගම ගිණුම්වලින් අයකර ගෙන රජයේ ජංගම ගිණුමට එකතු කෙරේ.

  • ලංකා ක්ලියර් අන්තර් බැංකු ගෙවුම් සහ පියවුම් පද්ධතිය

බැංකු චෙක්පත් නිෂ්කාෂණය, අන්තර් බැංකු ගෙවුම්, පොදු මාර්ගගත විද්‍යුත් මුදල් ප්‍රේෂණ සහ පොදු ATM වේදිකාව සම්භන්ධ මුදල් ගනුදෙනු මේ හරහා සිදු වෙයි. ඒවාට අදාළ ශුද්ධ මුදල් ශේෂයන් පියවීම තත්කාලීන දළ පියවුම් පද්ධතිය හරහා මහ බැංකු ජංගම ගිණුම් තුළින් සිදු වෙයි. උදාහරණ ලෙස අන්තර් බැංකු චෙක්පත් නිෂ්කාෂණයේ දී යම් බැංකුවකට ලැබී ඇති වෙනත් බැංකුවක චෙක්පත් සඳහා මුදල් ලැබීම ද, වෙනත් බැංකුවෙන් ඉදිරිපත් කොට ඇති එම බැංකුවේ චෙක්පත් සඳහා මුදල් ගෙවීම ද දැක්විය හැකිය. 

එබැවින්, ලැබීම් සහ ගෙවුම් අතර ශුද්ධ ශේෂය එම බැංකු දෙකේ මහ බැංකු ජංගම ගිණුම් හරහා පියවීම සිදු වෙයි. එනම්, ශුද්ධ ශේෂය ගෙවිය යුතු බැංකුවේ ජංගම ගිණුමින් මුදල් අඩු කොට, එය ලැබිය යුතු බැංකුවේ ජංගම ගිණුමට ලබා දෙයි. මෙම වේදිකාවල සමහර ගනුදෙනු එදිනම ද, තවත් සමහර ඒවා ඊළඟ දින ද පියවෙනු ඇත. උදාහරණ ලෙස යම් දිනක බැංකුවකට දවල් 12 ට පෙර චෙක්පත් එදිනම ද, ඊට පසුව තැන්පත් වන චෙක්පත් ඊළඟ දින ද නිෂ්කාෂණය වනු ඇත.

  • ජාත්‍යන්තර අන්තර් බැංකු මූල්‍ය සන්නිවේදනය
විදේශ රටවල බැංකු සමඟ කෙරෙන ගනුදෙනු මෙම විද්‍යුත් වේදිකාව හරහා සිදුවෙයි. එම ගනුදෙනු බැංකු විසින් විදේශීය රටවල නියෝජිත බැංකුවල පවත්වා ගන්නා ජංගම ගිණුම් හරහා සිදුවන අතර මෙම වේදිකාව මගින් හුදෙක් එම මුදල් ගනුදෙනු පිළිබඳ ආරක්‍ෂිත පණිවුඩ හුවමාරුව සිදුවෙයි.

  • ඩෙබිට් කාඩ්පත්
ඩෙබිට් කාඩ් යනු බැංකු ඉතුරුම් තැන්පතු හිමියන් වෙත ATM ගනුදෙනු සඳහා නිකුත් කොට ඇති විද්‍යුත් කාඩ්පත් ය. ඒවා අනුමත වෙළෙඳසැල්වලින් භාණ්ඩ හා සේවා මිල දී ගෙන ගෙවුම් කිරීම සඳහා භාවිතා කළ හැකිය. එවිට, අදාළ වෙළෙඳසැල වෙත මුදල් ගෙවීම ගිණුම් හිමියාගේ ඉතුරුම් ගිණුමින් සිදු කෙරේ.

  • ණය කාඩ්පත් 

ණය කාඩ්පත් යනු අනුමත උපරිම සීමාවකට යටත්ව භාණ්ඩ හා සේවාවන් ණය පදනමක් මත මිල දී ගැනීම සඳහා බැංකු විසින් ගනුදෙනු කරුවන්ට නිකුත් කොට ඇති විද්‍යුත් කාඩ්පත් ය. එසේ මිල දී ගැනීම් වෙනුවෙන් අදාළ මුදල් පළමු මිල දී ගැනීමේ සිට සාමාන්‍යයෙන් දින 30 ක් කාලයක් තුළ බැංකුවට ගෙවිය යුතුය. එසේ ගෙවීම ප්‍රමාද වූ විට ප්‍රමාද ගාස්තුවක් සහ පොලියක් අය කෙරේ. ණය කාඩ්පත් ණය මාසිකව ගෙවීම කාඩ්පත් හිමියාගේ ජංගම හෝ ඉතුරුම් ගිණුමින් ස්වයංක්‍රීයව සිදු කරන ලෙස බැංකුවට නිත්‍ය උපදෙසක් දිය හැකිය.

බැංකු ද්‍රවශීලතා කළමනාකරණය 

ඉහත දැක්වූ පරිදි බැංකුවල විවිධාකාර මුදල් ලැබීම් සහ ගෙවීම් ප්‍රවාහයක් නිරන්තරයෙන් පවතී. එසේම, බැංකු අතර ද එවැනි ප්‍රවාහයක් පවතී. ඒ අනුව, එහි ශුද්ධ ප්‍රවාහය අතිරික්තයක් (ධන) හෝ හිඟයක් (සෘණ) විය හැකිය. එය හිඟයක් වන විට බැංකුව ද්‍රවශීල ගැටළුවකට මුහුණ දෙනු ඇත. බැංකුවක ද්‍රවශීලතාවය යනු බැංකුව මුහුණ දෙන ගෙවීම් කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් පැවතීම යි. 

නූතන මුදල් සහ බැංකු පද්ධතිය තුළ මෙය හුදෙක් බැංකුවේ සේප්පුවල ව්‍යවහාර මුදල් ලෙස පැවතීම අවශ්‍ය නොවේ. අන්තර් බැංකු ගිණුම් ශේෂ, මහ බැංකුවේ සංචිත (ජංගම ගිණුම් ශේෂය), ද්විතීය වෙළෙඳපොළේ කඩිනමින් අළෙවි කොට මුදල් ලබා ගත හැකි රාජ්‍ය සුරැකුම්පත් වැනි ආයෝජන සහ ඉතා කෙටිකාලීන වත්කම් යනාදිය ද ද්‍රවශීලතාවයේ කොටසක් ලෙස භාවිතා කළ හැකිය. ඊට හේතුව, බැංකුවේ මුදල් හිඟයන් පියවීම සඳහා එම අරමුදල් කඩිනමින් භාවිතා කළ හැකි බැවිනි. එසේ ද්‍රවශීල වත්කම් පවත්වා ගැනීම ද්‍රවශීලතාවය සඳහා වත්කම් කළමනාකරණය ලෙස හැඳින්වෙයි. 

මහ බැංකුව විසින් බැංකුවල ද්‍රවශීලතාවය ආරක්ෂා කිරීම පිළිබඳ ව නියාමනයන් රැසක් පනවා ඇත. ඉන් ප්‍රධාන වන්නේ, බැංකුවක මුළු වත්කම් වටිනාකම මෙන් අවම වශයෙන් 20% ක ද්‍රවශීල වත්කම් පවත්වා ගත යුතු බව යි. 

එසේම, ක්ෂණික ණය ලබා ගැනීමෙන් ද ද්‍රවශීල ගැටළුව විසඳා ගත හැකිය. අන්තර් බැංකු ණය සහ මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම සහ ප්‍රතිවිකිණුම් ගිවිසුම් ණය ඒ අතර වැදගත් වෙයි. ද්‍රවශීල අර්බුදවල දී අවසාන ණය දෙන්නා ලෙස මහ බැංකුව විසින් ණය ප්‍රදානය කිරීමේ සම්ප්‍රදායික ක්‍රමවේදයක් පවතී. විශාල ව්‍යාපාරික සමාගම්වලින් රාජ්‍ය සුරැකුම්පත් ප්‍රති මිල දී ගැනුම් ගිවිසුම් (එනම්, බැංකුවක් සතු රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන උගසට තබා ණය ගැනීම) හරහා ණය ලබා ගැනීම තවත් ද්‍රවශීල මූයකි. මෙය ද්‍රවශීලතාවය පිළිබඳ වගකීම් කළමනාකරණය ලෙස හැඳින්වෙයි.

මහ බැංකුව විසින් විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් හරහා බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය කළමනාකරණයට උපකාරී වෙයි. එනම්, ද්‍රවශීල හිඟයක් දී ණය සැපයීමත්, ද්‍රවශීල අතිරික්තයක දී තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත් විකිණීම හරහා එය අවශෝෂණය කිරීමත් ය. මහ බැංකු නිලධාරීන්ට තම සුවපහසු කාර්යාල මන්දිරවල සිට කළ හැකි එකම කාර්යය වන්නේ, මූල්‍ය පද්ධතියේ විශ්වාසය රැකීම සඳහා එසේ බැංකු පද්ධතියට අවශ්‍ය සංචිත මුදල් සැපයීම පමණි. එසේ නැතිව, ආර්ථිකයේ මිල ගණන් හෝ පාරිභෝගික මිල දර්ශකය පාලනය කිරීම නොවේ.

බැංකුවල වත්කම්-වගකීම් කළමනාකරණය ලෙස හැඳින්වෙන්නේ මෙසේ ද්‍රවශීල අර්බුදයන් හට නොගන්නා පරිදි බැංකුවේ අරමුදල් කළමනාකරණය කිරීමේ ආයතනකික ක්‍රමවේදය යි. 

බැංකු ගනුදෙනු නිෂ්කාෂණය පිළිබඳ නිදසුන් කිහිපයක්

  • ලංකා බැංකුවේ ජංගම ගිණුම් හිමියෙකුට මහජන බැංකුවේ ජංගම ගිණුම් හිමියෙකුගෙන් රුපියල් මිලියන 10 ක චෙක්පතක් ලැබී, එය ලංකා බැංකුවේ තම ගිණුමේ තැන්පත් කිරීම.
    • ලංකා බැංකුව විසින් එය ලංකා ක්ලියර් චෙක්පත් නිෂ්කාෂණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මහ බැංකුවේ ඇති මහජන බැංකුවේ ජංගම ගිණුමෙන් රුපියල් මිලියන 10 ක් අඩු කොට, මහ බැංකුවේ ඇති ලංකා බැංකුවේ ජංගම ගිණුමට එකතු කෙරේ.

    • එසේම, එම මුදල මහජන බැංකුව විසින් තම ජංගම ගිණුම් හිමියාගේ ගිණුමින් අඩු කොට, තම ශේෂ පත්‍රයේ මහ බැංකු සංචිත වත්කම්වලින් අඩු කෙරේ.

    • එසේම, ලංකා බැංකුව විසින් එම මුදල තම තම ජංගම ගිණුම් හිමියාගේ ගිණුමට සහ තම ශේෂ පත්‍රයේ මහ බැංකු සංචිත වත්කම්වලට එකතු කෙරේ.

    • ඒ අනුව, ව්‍යවහාර මුදල් නොමැතිව, බැංකු ඉලක්කම් මුදල් හරහා ගනුදෙනුව සිදු වී ඇත.

    • දැන්, මහ බැංකුවේ ඇති මහජන බැංකුවේ ජංගම ගිණුමෙහි මුදල් නොමැති වූ බව සිතමු. එවිට, මහජන බැංකුව විසින් මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකමින් හෝ දින තුළ ද්‍රවශීල පහසුකම තුළින් රුපියල් මිලියන 10 ණය ණයක් ලබා ගනු ඇත. එය, මහ බැංකුවේ ඇති මහජන බැංකුවේ ජංගම ගිණුමට එකතු වන බැවින් ලංකා බැංකුවේ ගිණුමට මුදල් පැවරිය හැකිය.

    • එසේ මහජන බැංකුව ගත් රුපියල් මිලියන 10 ණය මුදල මහජන බැංකුවේ ශේෂ පත්‍රයේ මහ බැංකුවට ගෙවිය යුතු ණය වගකීමක් ලෙස ද, මහ බැංකුවේ ශේෂ පත්‍රයෙහි ණය වත්කමක් ලෙස ද සටහන් කෙරේ.

    • ඒ අනුව, පදනම් මුදල් හෝ මුදල් මුද්‍රණය රුපියල් මිලියන 10 කින් ඉහළ ගොස් ඇත.

  • ලංකා බැංකුව විසින් මහ බැංකුවේ ඇති තම ගිණුමින් රුපියල් මිලියන 100 ක් ව්‍යවහාර මුදල්වලින් ආපසු ගැනීම

    • මහ බැංකු ශේෂ පත්‍රයේ  බැංකු ජංගම ගිණුම් තැන්පතු වගකීම් ප්‍රමාණය රුපියල් මිලියන 100 කින් පහළ යන අතර ව්‍යවහාර මුදල් වගකීම් එම ප්‍රමාණයෙන් ඉහළ යයි. ඒ අනුව, මහ බැංකු ශේෂ පත්‍රයේ ප්‍රමාණය වෙනස් නොවේ.

    • ලංකා බැංකු ශේෂ පත්‍රයේ වත්කම්වල මහ බැංකු තැන්පතු රුපියල් මිලියන 100 කින් පහළ යන අතර එම ප්‍රමාණයෙන් අතැති ව්‍යවහාර මුදල් සංචිත ප්‍රමාණය ඉහළ යනු ඇත. ඒ අනුව, ලංකා බැංකු ශේෂ පත්‍රයේ ප්‍රමාණය වෙනස් නොවේ.

  • ලංකා බැංකුව අන්තර් බැංකු වෙළෙඳපොළේ මහජන බැංකුවෙන් රුපියල් මිලියන 500 ක ණයක් ගැනීම

    • මහ බැංකුවේ ඇති මහජන බැංකුවේ ජංගම ගිණුමෙන් රුපියල් මිලියන 500 අඩු කොට, එම මුදල මහ බැංකුවේ ඇති ලංකා බැංකුවේ ජංගම ගිණුමට එකතු කිරීම. ඒ අනුව, මහ බැංකුවේ මුළු වත්කම් හෝ වගකීම් වටිනාකම වෙනස් නොවේ.

    • එම මුදල ලංකා බැංකු ශේෂ පත්‍රයේ ණය වගකීමක් සහ මහ බැංකු සංචිත වත්කම් ඉහළ යාමක් ලෙස ද, මහජන බැංකු ශේෂ පත්‍රයේ ණය වත්කමක් සහ මහ බැංකු සංචිත වත්කම් පහළ යාමක් ලෙස ද සටහන් කෙරේ.

  • ලංකා බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රුපියල් මිලියන 500 ක භාණ්ඩාගාර බිල්පත් 10% ක වට්ටමකට මිල දී ගැනීම
    • මහ බැංකුවේ ඇති ලංකා බැංකු ජංගම ගිණුමින් රුපියල් මිලියන 450 ක මුදලක් අඩු කොට එම මුදල මහ බැංකුවේ ඇති රජයේ ගිණුමට එකතු කිරීම.

    • ලංකා බැංකු ශේෂ පත්‍රයේ මහ බැංකු සංචිත වත්කම් රුපියල් මිලියන 450 කින් පහළ ගොස්, ආයෝජන වත්කම් රුපියල් මිලියන 500 කින් ඉහළ යන අතර ප්‍රග්ධනයෙහි ලාභ සංචිත (වගකීම්) රුපියල් මිලියන 50 කින් (භාණ්ඩාගාර බිල්පත් ආයෝජන වට්ටම් ලාභය) ඉහළ යනු ඇත.

    • මහ බැංකුවේ නිර්ලේඛන සුරැකුම්පත් ගිණුම් පද්ධතියෙහි ලංකා බැංකු ගිණුමට රුපියල් මිලියන 500 ක භාණ්ඩාගාර බිල්පත් එකතු කරනු ඇත.

බැංකුවක් විසින් ගනුදෙනු කරුවකුට ණයක් ප්‍රදානය කෙරෙන ආකාරය 

මෙහි දී, බැංකුවක් විසින් කරනු ලබන්නේ, ණය මුදලක් ප්‍රදානය කිරීමේ දී, එම ණය මුදල බැංකු ශේෂ පත්‍රයෙහි නව ණය වත්කමක් ලෙස ද, ගනුදෙනුකරුගේ ඉතුරුම් හෝ ජංගම ගිණුමට නව තැන්පතුවක් ලෙස ද සටහන් කිරීම යි. ඒ අනුව, ශේෂ පත්‍රයේ වටිනාකම ණය මුදලේ ප්‍රමාණයෙන් ඉහළ ගොස් ඇත. එය ණය මැවීමේ ප්‍රතිඵලය යි. ඒ අනුව, මෙම ණය ප්‍රදානය සඳහා බැංකුව විසින් එතෙක් රැස් කොට ගෙන ඇති තැන්පතු මුදල් ප්‍රමාණවත් ද? යන්න ගණනය නොකෙරේ.

ඒ අනුව, ණය මුදල හුදු ඉලක්කමක් ලෙස බැංකු වත්කම් (ණය) සහ වගකීම්වල (තැන්පතු) සටහන් කෙරේ. ඒ අනුව, බැංකුව විසින් ද්විත්ව ගිණුම් සටහන් මගින් ණය මුදලක් මවා ඇත. මෙය අප විසින් ඉතිහාසය පුරා ඉගෙන ගෙන ඇති, තැන්පතු මුදල් මගින් බැංකු මුදල් මවන බවට මුලින් දැක්වූ මතයට ඉඳුරා වෙනස් ක්‍රියාවකි. එහෙත්, සැබෑ ලෝකයේ නූතන බැංකු සහ මුදල් ආරම්භයේ සිට සිදු වී ඇත්තේ මෙසේ ණය හරහා මුදල් මැවීම යි.

සෑම බැංකුවක්ම දෛනිකව මෙසේ ගිණුම් සටහන් මගින් ණය දෙන බැවින්, සෑම දිනක් අවසානයේ දී බැංකු පද්ධතිය තුළ විශාල ණය සහ තැන්පතු ප්‍රමාණයක් මැවී ඇත. එසේම, බැංකු ගනුදෙනු කරුවන් විසින් දෛනිකව දැනට ගෙන ඇති බැංකු ණය ගෙවීම ද සිදු කෙරේ.  ණය ආපසු ගෙවන විට එම ප්‍රමාණයෙන් මවා ඇති ණය සහ තැන්පතු ප්‍රමාණය පහළ යනු ඇත. එබැවින්, එදිනෙදා මුදල් මැවීම වනුයේ නව ණය සහ ගෙවන ලද ණය අතර ශුද්ධ ණය ප්‍රමාණය යි.

ඊළඟ ලිපියෙන් බැංකු විසින් මෙසේ මවන ණය මුදල් ආර්ථිකයේ ගනුදෙනු වන ආකාරය ඉහත දැක්වූ බැංකු ද්‍රවශීලතාවය සහ ගෙවුම් සහ පියවුම් පද්ධති හරහා පැහැදිලි කෙරෙනු ඇත.

සැබෑ ලොව බැංකු ණය මැවීමෙන් උගත හැකි ආර්ථික විද්‍යා පාඩම 

මින් ඉගෙනීමට ඇති මූලික ආර්ථික විද්‍යා පාඩම වන්නේ, ආර්ථිකයේ සම්පත් සහ නිෂ්පාදන ධාරිතාව වර්ධනයට සහ උපයෝජනයට අවශ්‍ය පරිදි ණය හරහා මුදල් මැවීමේ සහ ව්‍යාප්ත කිරීමේ හැකියාව බැංකුවලට ඇති බව යි. නූතන මූල්‍ය න්‍යායෙන් සහ නූතන සැපයුම් ආර්ථික විද්‍යාවෙන් නිර්දේශ කෙරෙන්න මෙය යි. පැරණි මුල්‍ය න්‍යය සහ මුදල් මැවීමේ මිත්‍යා මතය පදනම් කර ගෙන ණය මැවීම පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් විවිධ බැංකු නියාමනයන් පනවා තිබුණ ද, නූතන බැංකු සහ මුදල් ආර්ථිකයන්හි ඒවා ඉතා දුර්වල හෝ අකාර්යක්ෂම ණය පාලන මෙවලම් බව රහසක් නොවේ. එය හුදෙක් මූල්‍ය නිලධාරී ස්ථරයේ කොටසක් පමණි.

ගෝලීය කොරෝනා වසංගතය පැවති 2020/21 කාලයේ ලෝකයේ සියළුම මහ බැංකු විසින් මූල්‍ය ප්‍රතිපත්ති ළිහිල් කොට ණය ප්‍රසාරණයට උර දෙන ලද්දේ, වසංගතය හේතු කොට බිඳී ගිය සැපයුම් දාමයන් ගොඩ නැගීම සඳහා ය. ඒ සඳහා මහ බැංකු විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම සහ ප්‍රතිමූල්‍ය ණය හරහා මුදල් මුද්‍රණය අධික ලෙස ඉහළ දමන ලදි. එය නූතන මූල්‍ය සහ සැපයුම් ආර්ථික න්‍යායන් පදනම් කර ගෙන සිදු කරන ලදි. 

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති වරයා විසින් 2020 ජුනි මස 16 දින මහ බැංකු ඉහළ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දෝෂාරෝපනය කරන ලද්දේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා එවැනි ණය ප්‍රසාරණයක් සඳහා ක්‍රියා නොකළ බැවිනි. එවැනි ආර්ථික අර්බුද කාලවල මහ බැංකු ණය හරහා බැංකු ණය මැවීම ප්‍රසාරණය කිරීම අවශ්‍ය වන්නේ පහළ පොලී අනුපාතයන් මත ණය ලබා දීම සඳහා ය. එසේ නොවී නම්, මහ බැංකුව පසුපස නොගොස්, රාජ්‍ය බැංකුවල ගිණුම් සටහන් තුළින් ණය මැවීම හරහා ආර්ථිකයේ ප්‍රමුඛ අංශවලට අවශ්‍ය ණය ව්‍යාප්ත කිරීමට හැකියාව රජයට පැවතින. එබැවින්, හිටපු ජනාධිපති වරයාට මෙම විෂය සඳහා නිවැරදි උපදෙස් ලැබී තිබිණ. එහෙත්, ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ නිලධාරීන් වෙත නිසි සාර්ව ආර්ථික කළමනාකරණ දැනුමක් සහ ක්‍රමවේදයක් නොවීය.

එබැවින්, මහ බැංකුව විසින් එසේ ආර්ථිකයට හිතකර ලෙස ණය ප්‍රසාරණය ක්‍රියා නොකළ අතර 2021 වර්ෂය මැද සිට මහ බැංකුව විසින් පොලී අනුපාතයන් අධික ලෙස ඉහළ දමා බැංකු ණය මැවීම අධෛර්යමත් කරන ලදි. රාජ්‍ය සුරැකුම්පත් ඇතුළු ණය පොලී අනුපාතයන් 30%-40% ට ඉහළ යන ලදි. නූතන ණය මත පදනම් වූ ආර්ථිකයකට එතරම් ඉහළ පොලී අනුපාතයන්ට ඔරොත්තු දිය නොහැකිය. එබැවින්, ආර්ථිකයේ නිෂ්පාදනය සංකෝචනය වී අධිඋද්ධමනකාරී සහ සේවා වියුක්ති තත්ත්වයක් හට ගැනින. වත්මන් ආර්ථික අර්බුදයේ මෙන්ම රජය කඩා වැටීමේ ප්‍රධාන මූලය එය විය. එය අවබෝධ කර ගැනීම ගුවන් යානා විද්‍යාව මෙන් සංකීර්ණ දැනුමක් අවශ්‍ය නොවේ.

එබැවින්, සංවර්ධිත රටවල් අතීතයේ කළ ආකාරයට බැංකු ණය ව්‍යාප්තිය හරහා ආර්ථිකයේ මූල්‍ය අන්තර්ගත භාවය ප්‍රවර්ධනය නොකෙරේ නම්, ඉදිරි දශක කිහිපයක් පුරා ගෝලීය ආර්ථික ගාසා තීරයක ශ්‍රී ලංකාව අවතැන්ව සිටිනු ඇත. එහෙත්, පැරණි මිත්‍යා මූල්‍ය වාදයේ එල්බ සිටින වත්මන් මූල්‍ය නිලධාරිවාදයට හෝ දේශපාලන නායකත්වයට එවැනි සංවර්ධන ණය ව්‍යාප්තියක් ගැන කිසි අවබෝධයක් නොමැති අතර පහසුවෙන් මහජන අධිකාරී තනතුරුවල රැඳී සිටීම සඳහා එම පැරණි මතවාදයන් වන්දනා කිරීම දැකිය හැකිය.

එබැවින්, දැනට මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්ති හරහා ධනවත් ව්‍යාපාරිකයන් වෙත සංකේන්ද්‍රණය වී ඇති බැංකු ණය සහ මුදල් මැවීම පොදු ආර්ථිකය බලගැන්වෙන පරිදි ප්‍රජාතාන්ත්‍රික කරණය කිරීම යුගයේ අවශ්‍යතාවයකි. එය මානව සංවර්ධනය සඳහා දේශපාලනික ප්‍රජාතාන්ත්‍රික කරණයට නොදෙවෙනි රාජ්‍ය පරිපාලන ප්‍රතිපත්තියකි.


(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි