බැංකු හිඟ ණය අර්බුදය - ණය කරුවන්ට නත්තල් සහ අවුරුදු සතුට වැසේ. ආර්ථිකය දිගු අවපාතයකට තල්ලු කෙරේ.

 

ලිපියේ පසුබිම 

නත්තල් සහ නව අවුරුදු සමරා සතුටු විය හැක්කේ, ගෙවී යන වර්ෂය තුළ පුද්ගලයන් සහ කුටුම්බයන් ලද ආදායම් සහ ආර්ථික දියුණුව යහපත් නම් ය. එබැවින්, ලබන්නා වූ නව වසර ද ආර්ථික වශයෙන් තවත් දියුණු විය හැකි වසරක් වේවා යි ප්‍රර්ථනා කිරීම සැමගේ පුරුද්ද යි. මේ අතර, ගෙවෙන වසරේ මහජනතාවගේ සැබෑ ආර්ථික සහ ජීවන තත්ත්වය කුමක් වුව ද, මහජනයා වෙත නත්තල් සහ නව අවුරුදු සුභ පැතුම් වැපිරීමට දේශපාලන නායකයන් ද පුරුදු වී ඇත. එහෙත්, තම පණිවුඩ හරහා මහජනතාව වෙත නත්තල් සහ නව අවුරුදු සතුට නොඑන බව ඔවුන් දනී.

එහෙත්, මෙම අවස්ථාවේ බහුතර ශ්‍රී ලාංකික ජනතාවට නත්තල් සහ නව අවුරුදු සතුට විඳීමටත්, 2024 වසර ඉසුරුමත් වසරක් වේවා යි පතා ගැනීමටත්, සුදුසු ආර්ථික තත්ත්වයක් නොමැති බව කිව යුතු නැත. ඊට හේතුව, 2020 වර්ෂය ආරම්භයේ සිට ගෝලීය කොරෝනා වසංගතයෙන් සහ ඒ ආශ්‍රිත ආර්ථික අර්බුදයෙන් කඩා වැටී ඇති බහුතර මහජනයාගේ ජීවන තත්ත්වය යි.  එය පැහැදිලි කිරීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. එය, රැකියා හිඟය, අහස උසට නැග ඇති ජීවන වියදම, ආදායම් මාර්ග අහිමි වීම, දිනෙන් දින බදු ඉහළ යාම, රාජ්‍ය සේවාවන් පහළ යාම, ජීවත් වීමේ ගුණාත්මක භාවය පහළ බැසීම සහ තරුණ සහ වැඩිහිටි ශ්‍රම හමුදාව රට හැර යාම යනාදියෙන් නිරූපනය වෙයි.

එහෙත්, තවමත් හරිහැටි නොපෙනෙන බියකරු ජීවන ගැටළුවක් වනුයේ, තම ණය ආපසු ගෙවීම සඳහා මහජනතාව මුහුණ දෙන අර්බුදය යි. මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් 2022 අප්‍රේල් මස සිට පොලී අනුපාතයන් 20%-35% මට්ටමට ඉහළ නැංවීම හේතු කොට, පැරණි ණය ද නව පොලී අනුපාතයන්ට සංශෝධනය වීම හරහා තම ණය ආපසු ගෙවීමේ පිරිවැය අධික ලෙස ඉහළ යාම ද අර්බුදයේ එක් පැත්තකි. 

මෙම ආර්ථික අර්බුදය තුළ රජය විසින් මුහුණ දෙන ණය ආපසු ගෙවීමේ පහසු කර ගැනීම සඳහා රාජ්‍ය නීති භාවිතා කරමින් බදු ඉහළ දැමීම සහ ණය ප්‍රතිසැකසීම වැනි ක්‍රියා මාර්ගයන්ට එළඹී ඇත. එහෙත්, රැකියා සහ ආදායම් අහිමි වීම සහ ජීවන වියදම කිහිප ගුණයකින් ඉහළ යාම තුළ මහජනයා මුහුණ දෙන ණය ගැටළුව නිරාකරණය කිරීම කෙරෙහි කිසිම රාජ්‍ය පියවරක් තවමත් දැකිය නොහැකිය. 

නූතන ආර්ථිකයන් ණය මත ක්‍රියාත්මක වන බැවින් ආර්ථික අර්බුදයකින් නැවත ගොඩ ඒම සඳහා රජයේ ණය පමණක් නොව මහජනයාගේ ණය ගැටළුව ද නිරකරණය කළ යුතුය. එසේ නොවුව හොත්, නව ණය ප්‍රසාරණය දුර්වල වීමෙන් ආර්ථිකය සහ ජීවන තත්ත්වය දිගු කාලීන අවපාතයකට තල්ලු වනු ඇත.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ ආර්ථික අර්බුදය හේතුවෙන් මහජනයා මුහුණ දෙන ණය ගැටළුව නිරාකරණයට අවශ්‍ය මග පෙන්වීම යි.

ණය ගැටළුව පිළිබඳව නිල තොරතුරු බිඳක්

  • මෑත දී නිකුත් කොට ඇති මහ බැංකු දත්ත අනුව, වාණිජ බැංකු පද්ධතිය විසින් පෞද්ගලික අංශය වෙත නිකුත් කොට ඇති මුළු ණය තොගය රුපියල් ට්‍රිලියන 7 ක් පමණ වෙයි. එය වාණිජ බැංකු පද්ධතියේ මුළු දේශීය මුදල් වත්කම් මෙන් 37% ක් ද, දේශීය පෞද්ගලික අංශයේ වාණිජ බැංකු තැන්පතු මෙන් 59% ක් ද පමණ වෙයි.

  • බැංකු පද්ධතියෙහි (වාණිජ බැංකු සහ විශේෂිත බැංකු) ගෙවීම් අතපසු වී ඇති ණය ප්‍රතිශතය 2000 දශකය ආරම්භයේ දී 19% පමණ ඉහළ මට්ටමක සිට 2016 දී 4% ක පමණ පහළ මට්ටමකට බැස ඇත. එය ආර්ථිකයේ බැංකු ණය විනයේ පැහැදිලි ප්‍රවර්ධනයකි. එය මූලික වශයෙන් පෞද්ගලික අංශයේ ණය වෙයි. එම ප්‍රතිශතය 2020 දී 6.5 දක්වා ඉහළ ගොස් ඇත. මෙම ඉහළ යාමට පසුකාලයේ දී ආර්ථිකය මුහුණ දුන් අස්ථායිතාවයන් ද හේතු වන්නට ඇත.

  • එහෙත්, මෑතක දී වර්ගීකරණය කළ බැංකු සංඛ්‍යාවන් අනුව බැංකු පද්ධතියේ ආපසු ගෙවීම් අතපසු වී ඇති ණය ප්‍රතිශතය 2023 මැද දී 13.3% ක් වැනි ඉහළ මට්ටමක් විය. එම ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.4 ක් පමණ විය. එය වර්ෂයක් තුළ රුපියල් බිලියන 358 ක හෝ 34% ක පමණ ඉහළ යාමකි. මෙය ආර්ථික අර්බුදයේ සැබෑ වපසරිය නිරූපනය කිරීමකි. ඊට හේතුව, ණය නොගෙවීම ප්‍රධාන වශයෙන් ණය කරුවන්ගේ ආදායම් සහ රැකියා අහිමි වීමේ සහ ජීවන වියදම අධික ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් බැවිනි. එබැවින්, වත්මන් බැංකු ණය ආපසු ගෙවීමේ තත්ත්වය දශක දෙකකට පෙර පැවති දුර්වල තත්ත්වයට ආපසු ගොස් ඇති බව පෙනේ. එබැවින්, මෙය ආර්ථිකය මුහුණ දෙන නව ව්‍යුහාත්මක ගැටළුවකි.

  • මෑත දී, පාර්ලිමේන්තුව වෙත වාර්තා වූ පරිදි බැංකු විසින් තම පරාටේ නෛතික බලය යොදාගෙන, හිඟ ණය අයකර ගැනීමේ ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇත. ඒ අනුව, මෙම වසරේ පළමු මාස 11 තුළ බැංකු විසින් ණය ගෙවීම අතපසු වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 1,183 කට පමණ අයත් දෙපළ පවරා ගෙන, හිඟ ණය අයකර ගැනීම පිණිස වෙන්දේසියේ විකුණා ඇති බව වාර්තා විය.

පරාටේ නෛතික බලය යනු ණය පැහැර හැර ඇති ණය කරුවන් විසින් එම ණය සඳහා බැංකුව වෙත උගස් කොට ඇති වත්කම් අධිකරණ ක්‍රියාමාර්ගයෙන් පිටත පවරා ගෙන, ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම හරහා හිඟ ණය සහ පොලිය අයකර ගැනීම පිණිස පාර්ලිමේන්තුව විසින් බැංකු වෙත ලබා දී ඇති බලය යි. මෙම බලය 1990 බැංකු විසින් ණය අයකර ගැනීමේ (විශේෂ ප්‍රතිපාදන) පනත යටතේ වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත ලබා දී ඇත.

මෙම පනත වාණිජ බැංකුවල මූල්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම පිණිස මහ බැංකුවේ ද අනුග්‍රහය යටතේ ණය කරුවන්ගේ මූලික අයිතිවාසිකම් ද ඉක්මවා සපයන ලද විශේෂ ප්‍රතිපාදනයකි. මෙම බලය විශේෂිත බැංකු වෙත ද ලබා දීම සඳහා පසු කලක පනත සංශෝධනය කිරීමට උත්සාහ කිරීමේ දී, ණය කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පදනම මත ඊට ශ්‍රේෂ්ඨාධිකරණය විරුද්ධ වන ලදි.

ඒ. එස්. ජයවර්ධන අධිපති වරයාගේ උපදෙස් මත බැංකු විසින් පරාටේ බලය ක්‍රියාත්මක කිරීමේ දී අනුගමනය කළ යුතු ප්‍රමිතීන් මාලාවක් සඳහා මහ බැංකුව සහ බැංකු අතර සම්මුතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වුව ද, එතුමාගේ නික්මීම හේතු කොට ඒ පිළිබඳ අවධානය ගිලිහී යන ලදි. මෙය එවක බැංකුවලට එරෙහිව ඉදිරිපත් වූ නොයෙකුත් මහජන මැසිවිලි සැලකිල්ලට ගෙන ඉදිරිපත් වූ යෝජනාවකි. එම මහජන මැසිවිල්ල නැවතත් මතු වී ඇති බව පෙනේ.

2022 අවසානයේ දී බැංකු නොවන මූල්‍ය ආයතන අංශය විසින් දෙන ලද මුළු ණය තොගය රුපියල් ට්‍රිලියන 1.2 ක් පමණ වූ අතර ඉන් හිඟ ණය ප්‍රතිශතය 17.5% ක් පමණ විය. එනම්, රුපියල් බිලියන 210 ක් පමණ. 2018 දී 7.7% ක් වූ හිඟ ණය ප්‍රතිශතය මෙතරම් ඉහළ යාම තුළින් එම ආයතන සහ ගනුදෙනුකාර පද්ධතිය මුහුණ දෙන අධික අවදානම විදහා දැක්වෙයි. 

ඊට ප්‍රධාන හේතුව, බැංකු මෙන් ගිණුම් සටහන් හරහා ණය මැවීමට ඔවුන්ට හැකියාවක් නොමැති වීමත්, එම ණය ප්‍රදානය කෙටි කාලීන තැන්පතු සහ පොරොන්දු නෝට්ටු ණය ගැනීම හරහා සිදු කිරීමත්, ඔවුන් මුහුණ දෙන සංකේන්ද්‍රන අවදානම ඉතා අධික වීමත් ය. තව ද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සහ කුටුම්බ ප්‍රාග්ධන උපකරණ මූල්‍යකරණය මෙම අංශය විසින් සැපයෙන කල්බදු පහසුකම් හරහා සිදු වන බැවින් මූල්‍ය ආයතන සහ ණය කරුවන් යන දෙපාර්ශවයම මුහුණ දෙන පීඩනය ඉතා අධික වෙයි.

පරාටේ පවරා ගැනීම පිළිබඳ ව ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ නිවේදනය

මෑත දී පළ වූ මාධ්‍ය වාර්තාවක් අනුව ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය විසින් මේ පිළිබඳ ව පැහැදිලි කිරීමක් සිදු කොට ඇත. එනම්, ණය අයකර ගැනීමේ අවසන් පියවර ලෙස නීතියෙන් ලබා දී ඇති පරාටේ බලය බැංකු විසින් භාවිතා කරන බවත්, එහි අරමුණ වනුයේ ණය කරුවන්ට ලබා දී ඇති තැන්පතු හිමියන්ගේ මුදල් ආරක්ෂා කිරීම බවත් ය. එබැවින්, හිතාමතා ණය පැහැර හරින්නන්ගේ සහ බංකොලොත් ව්‍යාපාරයන්ගේ උගස් දේපලවලින් ණය අයකර ගැනීමේ ඉලක්කය මත මෙම බලය ක්‍රියාත්මක කරන බව තහවුරු කොට ඇත.

පරාටේ බලය ලබා දීමේ පසුබිම - ආර්ථිකයෙහි බැංකු ණය විනය ඉහළ නැංවීම

මෙම පරාටේ බලය අතීතයේ බැංකු ණය කළමනාකරණ විනය ඉහළ නැංවීමේ අරමුණින් ගන්නා ලද ප්‍රතිපත්ති සමූහයෙන් එකකි. අනෙක් ප්‍රතිපත්ති වූයේ ණය තොරතුරු කාර්යාංශය පිහිටු වීම, ණය අවදානම් පාලනය පිළිබඳ බැංකු නියාමනය සහ අධීක්ෂණය සහ බාසල් ප්‍රාග්ධන සම්මතය ක්‍රියාත්මක කිරීම යනාදිය යි. මේවායේ අරමුණ වූයේ බැංකුවල මූල්‍ය තත්ත්වය ආරක්ෂා කරමින් ආර්ථිකයේ සංවර්ධනය සඳහා බැංකු ණය ව්‍යාප්තිය පුළුල් කිරීමට අවශ්‍ය අවකාශය සැපයීම ය. ඊට හේතුව, නූතන මුදල් ආර්ථිකයන්හි කඩිනම් ආර්ථිකය සංවර්ධනය සඳහා බැංකු ණය ව්‍යාප්තිය සහ ප්‍රසාරණය අත්‍යාවශ්‍ය සාධකයක් වීම යි. ඒ අනුව, ණය කරුවන් සහ බැංකු කරුවන් යන දෙපාර්ශවයෙහිම ණය විනය ඉහළ යන ලදි. 

  • එහි ප්‍රතිඵලයක් වශයෙන් බැංකු පද්ධතියෙහි අතපසු වූ හෝ අක්‍රීය ණය ප්‍රතිශතය 2000 දශකය ආරම්භයේ දී 19% පමණ ඉහළ මට්ටමක සිට 2016 දී 4% ක් පමණ දක්වා පහළ ගොස් ඇත. 

  • තව ද, පෞද්ගලික අංශයේ බැංකු ණය පරිමාව 2000 වර්ෂයේ දී රුපියල් බිලියන 364 සිට 2020 දී රුපියල් බිලියන 6,170 දක්වා රුපියල් බිලියන රුපියල් බිලියන 5,806 කින් හෝ 17 ගුණයකින් ඉහළ ගොස් ඇත. එහෙත්, එය බැංකු පද්ධතියෙහි ශුද්ධ දේශීය වත්කම් පරිමාවෙන් 88% සිට 64% දක්වා පහළ යාමකි. එම පහළ යාමට හේතුව, රාජ්‍ය ණය ප්‍රසාරණය වේගයෙන් ඉහළ යාම යි. එනම්, එම කාලය තුළ රාජ්‍ය අංශයේ ණය පරිමාව රුපියල් බිලියන 185 සිට රුපියල් බිලියන 5,550 දක්වා රුපියල් බිලියන 5,365 කින් හෝ 30 ගුණයකින් ඉහළ යාම යි. 

එහෙත්, මෙහි දී ඉහළ රාජ්‍ය බැංකු ණය ප්‍රසාරණය ආර්ථිකයට අහිතකර වී ඇති බව කිව නොහැකිය. ඊට හේතුව, එම රාජ්‍ය ණය ප්‍රසාරණය තුළින් රටේ මූල්‍ය සහ ආර්ථික පද්ධතියට ඉටු කළ මෙහෙය මෙම දත්තවලින් නිරූපනය නොවන බැවිනි. මෙහි දී, ඉදිරිපත් කෙරෙන ප්‍රධාන කරුන වන්නේ, බැංකු ණය විනය සහ පරිසරය සහ සාර්ව ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යාම තුළින් පෞද්ගලික අංශයේ බැංකු ණය ප්‍රසාරණය යහපත් ආර්ථික ප්‍රවණතාවයක් බව යි.

රාජ්‍ය බැංකු විසින් රාජ්‍ය අංශයට දෙන ලද ණය අවදානම් රහිත ණය ලෙස සැලකෙන බැවින් එම ණය බැංකු ණය නියාමනයෙන් බොහෝ සේ පරිබාහිර වෙයි.

බැංකු සහ ණය කරුවන් අතර ණය විනය ඉහළ යාම හේතු කොට බැංකු ණය නියාමනයන් ළිහිල් කිරීමේ හැකියාව පවතී. උදාහරණ වශයෙන් බැංකු හිඟ ණය වර්ගීකරණය සහ ණය අලාභ සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳ මහ බැංකු නියාමනයන් ළිහිල් කොට, වෙළෙඳපොළ ගණකාධිකරණ සම්මතයන් පිළි ගැනීමට මහ බැංකුව පසු කාලයේ දී පෙළඹී ඇත.

තැන්පතු මුදල්වලින් බැංකු ණය ප්‍රදානය කෙරෙන බවට මිත්‍යා මතය

බැංකු කරුවන්ගේ ආයතනය විසින් දක්වා ඇත්තේ, තැන්පතු හිමියන්ගේ මුදල් ආරක්ෂා කිරීම පිණිස පරාටේ බලය භාවිතා කරන බව යි. මහ බැංකුව සහ රජය විසින් ද බැංකු ණය නියාමනය සහ බැංකු ආරක්ෂාව සපයන්නේ බැංකු ණය අවදානම්වලින් මහජනයාගේ තැන්පතු මුදල් ආරක්ෂා කිරීමේ අරමුණ මත ය. එහෙත්, මෙය මිත්‍යා මතයකි.

ඊට හේතුව, බැංකු ණය යනු තැන්පතුවල ප්‍රතිඵලයක් නොව, තැන්පතු යනු බැංකු ණයවල ප්‍රතිඵලයක් වන බැවිනි. ලෝකයේ මුදල් සහ බැංකු ක්‍රමය ආරම්භයේ සිට බැංකු ණය ප්‍රදානය හුදෙක් ගිණුම් සටහනකි. එනම්, බැංකු ණය දීමේ දී කරනු ලබන්නේ, ප්‍රදානය කෙරෙන ණය මුදල් බැංකුවේ වත්කමක් ලෙස ද, ණය කරුගේ බැංකු ගිණුමෙහි තැන්පතු වගකීමක් ලෙස ද එකවර ගිණුම් සටහන් තැබීම යි (වැඩි විස්තර සඳහා කියවන්න)

එබැවින්, බැංකු විසින් ණය දීමේ දී, බැංකුව වෙත දැනට පවතින තැන්පතු වගකීම් මුදල් ශේෂ හෝ අතිරික්ත මුදල් සංචිත තිබේ ද? යන්න ගණනය නොකෙරේ. එබැවින්, දෙන ලද ණය මුදල් සඳහා බැංකු විසින් අරමුදල් සපයා ගන්නේ, ණය කරු විසින් තම තැන්පතු ගිණුමෙන් මුදල් ඉවත් කොට වියදම් කිරීමේ දී, එය නිෂ්කාශනය කිරීම සඳහා ය. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම අන්තර් බැංකු වෙළෙඳපොළෙන් සහ මහ බැංකුවෙන් ණය ගැනීමෙන් හෝ බැංකුවේ ද්‍රවශීල මූල්‍ය වත්කම් අළෙවි කිරීමෙන් හෝ අතිරික්ත මුදල් සංචිත භාවිතා කිරීමෙන් හෝ සිදු කෙරේ. මෙහි දී, බැංකු අතර තැන්පතු සංසරණය වීම හෝ තරගය හේතු කොට එක් එක් බැංකුවල ද්‍රවශීලතාවය කෙරෙහි බලපෑව ද, නව ණය නිකුත් කරන තෙක් බැංකු පද්ධතියෙහි පවතින තැන්පතු පරිමාවේ වෙනසක් සිදු නොවේ. 

බැංකු විසින් ණය ප්‍රදානය කිරීමේ දී මැවෙන තැන්පතු බහුතරය බැංකු පද්ධතිය වෙත රැඳෙන බැවින් ඒවා ආරක්ෂා කිරීම සඳහා ණය පාලනය කිරීමේ තර්කය අදාළ නොවේ. එහෙත්, විවිධ සාධක මත බැංකු අතර තැන්පතු මාරු විය හැකිය. එබැවින්, ආර්ථික අර්බුදකාරී අවස්ථාවල බැංකු තැන්පතු ආරක්ෂා කිරීම සඳහා කළ යුත්තේ, බැංකු ණය ප්‍රවාහය සහ බැංකු ආදායම ප්‍රවර්ධනය කිරීම මිස ණය කරුවන්ට දඩුවම් දීම නොවේ.

බැංකු පද්ධතිය වෙත සැපයෙන පදනම් විරහිත අධි රාජ්‍ය ආරක්ෂාව

සංවර්ධිත රටවල ආර්ථික සංවර්ධන ඉතිහාසය මූලික වශයෙන් තරගකාරී මුදල් සහ බැංකු ව්‍යාපාරයෙහි ප්‍රතිඵලයකි. නූතන මුදල් ආර්ථිකයන්හි නව නිර්මාණයන්, ව්‍යාපාරික අවදානම් ගැනීම, සම්පත් ගවේෂණය, නිෂ්පාදන ප්‍රසාරණය සහ ඉහළ ජීවන තත්ත්වය යනාදිය තරගකාරී සහ අවදානම් ගන්නා බැංකු ණය ව්‍යප්තියෙහි ප්‍රතිඵලයකි. 

එම රටවල නිදහස් මුදල් සහ බැංකු ව්‍යාපාරික පද්ධතියක් පැවති බැවින් ප්‍රාදේශීය සහ ආංශීය නිෂ්පාදන සහ පරිභෝජන අවශ්‍යතාවන්ට සරිලන පරිදි ණය සැපයීම සඳහා ස්ථරයන් රාශියක බැංකු පද්ධතියක් ව්‍යාප්ත විය. ආර්ථිකයෙහි බැංකු ද තවත් ව්‍යාපාරික අංශයක් විය. බැංකුවල මූලික ව්‍යාපාරය වූයේ, ව්‍යාපාරික සහ පරිභෝජන කටයුතු සඳහා ණය මැවීම හෝ ප්‍රදානය යි. ආර්ථිකයන්හි මුදල් බිහි වූයේ බැංකු ණය හරහා ය. එබැවින්, ආර්ථිකයන් සහ මානව සංවර්ධනය දියුණු වූයේ බැංකු ණය, බැංකු අර්බුදයන් සහ දුර්වල බැංකු කඩා වැටීම හරහා ය. 2007/09 සංවර්ධිත රටවල බැංකු සහ මූල්‍ය අර්බුදය ද එවැන්නකි. 

20 වැනි සියවසේ දී, රාජ්‍ය මහ බැංකු බැංකු පිහිටුවීමත් සමඟ එම රටවල බැංකු සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය අරමුණු කොට බැංකු නියාමනය ආරම්භ විය. එහෙත්, බැංකු අවදානම් සහ තරගය සඳහා අඛණ්ඩව දිරි දෙන ලදි. ඊට හේතුව, නූතන ආර්ථිකයන්ට අවශ්‍ය විවිධ අවදානම්කාරී ණය සැපයීමට අවකාශය ලබා දීම සඳහා ය. එබැවින්, සංවර්ධිත රටවල වත්මන් ආර්ථික සහ මානව සංවර්ධනය මූලික වශයෙන් බැංකු සහ මූල්‍ය වෙළෙඳපොළ තරගය සහ නවීකරණය මත ගොඩ නැගී ඇත. රාජ්‍ය නියාමනය ව්‍යාප්ත වුව ද, තරගකාරීවය, ව්‍යාපාරික අවදානම් ගැනීම සහ නවීකරණය ප්‍රවර්ධනය කෙරින.

එහෙත්, ශ්‍රී ලංකාව වැනි අඩු දියුණු රටවල නිදහස ලැබීමෙන් පසු රාජ්‍ය මහ බැංකු සහ බලපත්‍ර ලාභි වාණිජ බැංකු පිහිටු වනු ලැබූ අතර බැංකු අර්බුදයන් වැලැක්වීමේ අරමුණින් ඒවා දැඩි ලෙස නියාමනය කෙරින. එසේම, බැංකු පද්ධතිය මූලික වශයෙන් රාජ්‍ය බැංකු කිහියකින් වැසී ගිය අතර පෞද්ගලික බැංකු බලපත්‍රයන් සීමිත ප්‍රමාණයක් පමණක් රාජ්‍ය හිතවතුන් වෙත ප්‍රදානය කෙරෙන ලදි. එබැවින්, මෙම රටවල ව්‍යාපාරික ප්‍රජාවට හිතවත් තරගකාරී ලෙස ව්‍යාපාරික අවදානම් ගන්නා ප්‍රාදේශීය බැංකු පද්ධතියක් දියුණු නොවීය. රාජ්‍ය තීරණයන් මත රාජ්‍ය බැංකුවලින් ණය ප්‍රදානය කිරීමේ දී ව්‍යාපාරික ණය විනය ප්‍රවර්ධනය නොවීය. ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ව්‍යාපාරික සංවර්ධනය පහළ මට්ටමක පැවතීමට මූලික හේතුවක් වන්නේ, තරගකාරී බැංකු සහ ණය පද්ධතියක් වර්ධනය වීමට ඉඩ නොදීම යි.

එහෙත්, ආර්ථිකය නොව බැංකු හිමිකරුවන් ආරක්ෂා වන පරිදි රාජ්‍ය නියාමනය තුළින් බැංකු වෙත අධිආරක්ෂාවක් සැපයින. මෙය හුදෙක් බැංකු පද්ධති ආරක්ෂාව සංකල්පය මත සිදු විය. බැංකු දැඩි ලෙස පාලනය කෙරේ නම්, බැංකු අර්බුදයන් හට ගත නොහැකිය. එවිට, ඕනෑම දුර්වල බැංකුවක් අඛණ්ඩව පවතිනු ඇත. එබැවින්, බැංකු සඳහා ඇඟවුන රාජ්‍ය වගකීමක් මහජනයා තුළ පවතී.

මෙම ආරක්ෂණය මූලික වශයෙන් දේශීය බැංකු බලපත්‍ර ප්‍රදානය දැඩි ලෙස සීමා කිරීම, බැංකු ශාඛා ව්‍යාප්තිය නියාමනය, මහ බැංකුවෙන් සැපයෙන දෛනික ද්‍රවශීලතා කළමනාකරණ මූල්‍ය පහසුකම්, බැංකු ණය, ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා නියාමනය, තැන්පතු රක්ෂණය, විදේශ විනිමය පාලනය සහ මුදල් විශුද්ධිකරණ විරෝධී නීති යනාදියෙන් යුක්ත විය. පරාටේ බලය ද බැංකුවලට සැපයූ අධි ආරක්ෂාවක් වෙයි. බැංකුවල අවම ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා අවශ්‍යතාවන් ඉහළ නංවන විට, මහ බැංකුව විසින් ඒ සඳහා වර්ෂ ගණනාවක සහන කාලයන් බැංකුවලට සැපයීම දැකිය හැකිය.

එසේම, මහා පරිමාණ ජාත්‍යන්තර බැංකු සඳහා නිර්දේශිත බාසල් බැංකු නියාමන සම්මතයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරේ. බාසල් III බැංකු ප්‍රාග්ධන සම්මතය ඇමෙරිකාවේ ක්‍රියාත්මක කිරීමට සලකා බැලෙන්නේ දැන් ය. එහෙත්, එය ශ්‍රී ලංකාවේ 2015 සහ 2016 දී ක්‍රියාත්මක කරන ලදි. එසේම, බැංකු ණය සහ අවදානම් නියාමනයන් සියල්ලම පහේ හුදු ගණකාධිකරණ මූලධර්මයන් සහ ඉලක්කම් මත පදනම් වන අතර බැංකුවලින් සැපයෙන ව්‍යාපාරික සහ ආර්ථික සේවාවන් සහ වෙළෙඳපොළ ප්‍රවර්ධනය කෙරෙහි සැලකිල්ලක් නොමැතිව සිදු කෙරේ. 

රජය විසින් යම් කාලවල සංවර්ධන බැංකු සහ සංවර්ධන ණය ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ ද, ඒවා පසුව අතහැර දමන ලදි. එසේම, මහ බැංකුව විසින් ද තම ප්‍රතිමූල්‍ය සංවර්ධන ණය සහ මෙහෙයවුම් ක්‍රියාකාරකම්වලින් ඉවත් වන ලදි. මෙහි දී, අප බැලිය යුත්තේ, නූතන මුදල් ආර්ථිකයන්හි ආර්ථික සහ මානව සංවර්ධනයට සහ ආර්ථික අර්බුදයන් නිරාකරණයට දායක නොවන බැංකු හිමියන් පමණක් රකින ආරක්‍ෂිත බැංකු පද්ධතියකින් ඇති ඵලය කුමක් ද? යන්න යි.

පුද්ගලික අංශයේ ණය කරුවන් සහ ආර්ථික ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීමේ කාලීන අවශ්‍යතාවය

සංවර්ධිත සහ වෙනත් රටවල ආර්ථික සහ මූල්‍ය අර්බුදවලින් පසුව ආර්ථිකයන් ගොඩ ගැනීම සඳහා අනුගමනය කළ රාජ්‍ය ප්‍රතිපත්ති දෙස බැලීමේ දී, ආර්ථික ප්‍රසාරණ බැංකු ණය සහ රාජ්‍ය මූල්‍ය උත්තේජන පැකේජයන් දැකිය හැකිය. මෙහි දී, හිඟ හෝ අර්බුදයට ලක් වී ඇති බැංකු ණය කළමනාකරණයට මෙන්ම නව ණය ප්‍රසාරණය ද සඳහා විවිධ ප්‍රතිපත්ති ගැනීම සිදු වී ඇත. 

උදාහරණ ලෙස 2020 දී කොරෝනා වසංගතයෙන් සිදු වූ ආර්ථික බලපෑමට පිළියමක් වශයෙන් ඇමෙරිකානු රජය විසින් බදු කුලිය ගෙවීම අතපසු වී ඇති නිවැසියන් එළියට ඇද දැමීම තහනම් කළ අතර බංකොලොත් වීමේ තර්ජනයට මුහුණ දී ඇති ව්‍යාපාරයන්ට ණය සැපයීම සහ මුදල් ප්‍රදානයන් සැපයීමේ පැකේජයන් ක්‍රියාත්මක කරන ලදි. මෑත දී, ශිෂ්‍ය ණය කපා හැරීමේ ජනාධිපති විධානයක් ද ක්‍රියාත්මක කරන ලදි. 

තවත් උදාහරණයක් වන්නේ 2007/09 බැංකු සහ මූල්‍ය අර්බුදය හේතු කොට අර්බුදයට ලක් වූ බැංකු ණය ඇමෙරිකානු රජය විසින් මිල දී ගෙන බැංකුවලට අවශ්‍ය හදිසි ද්‍රවශීල අරමුදල්  සැපයීමේ සහන  ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම යි. පසුව, රජය විසින් එම ණය කළමනාකරණය කොට මුදල් ආපසු රැස් කර ගන්නා ලදි. මෙය මහ බැංකුව විසින් අනුගමනය කළ මූල්‍ය ප්‍රතිපත්ති සහනයන්ට පරිබාහිරව ක්‍රියාත්මක කරන ලදි.

එසේ නැතිව, ණය ගනුදෙනු කරුවන් බැංකුවලින් පන්නා දැමුව හොත්, බැංකු හෝ තැන්පතු හිමියන්ගේ ආරක්ෂාවක් ගැන සිතිය නොහැකි වනු ඇත. ඊට හේතුව, බැංකු ව්‍යාපාරයේ සහ මුදල් ආර්ථිකයෙහි පදනම වන්නේ බැංකු ණය බැවිනි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයෙහි ව්‍යුහාත්මක මූලයන් සහ පරිමාණය දෙස බලන විට ඉන් ගොඩ ඒමට දශකයන් කිහිපයක් ගත වනු ඇත. එබැවින්, වෙළෙඳපොළ පද්ධතිය සහ ව්‍යාපාරික නවීකරණ අවදානම් දැරීම කෙරෙහි විශ්වාසය තැබෙන දිගු කාලීන ආර්ථික සංවර්ධන ක්‍රමෝපායන් අවශ්‍ය වන අතර ඒ සඳහා පුළුල් බැංකු සහ ණය ව්‍යාප්තියක උපකාරය අත්‍යාවශ්‍ය වනු ඇත. 

එය කළ හැකි වන්නේ, මහ බැංකු සහ බැංකු ව්‍යාපාරික සහ නියාමන පද්ධතිය ආර්ථික සංවර්ධන ඉලක්කයන්ට ගැලපෙන ලෙස කඩිනමින් ප්‍රතිසංවිධානය කිරීමෙන් පමණි. ඒ සඳහා බැංකු ව්‍යාප්තිය සහ තරගය ඉහළ දැමීම, බැංකු ණය නියාමනය ළිහිල් කිරීම, පරාටේ බලය වැනි අතිරේක අධිකරණ බලතල බැංකුවලින් ඉවත් කිරීම සහ ණය ව්‍යාප්තිය සහ ණය අවදානම් රක්ෂණය මෙහෙයවීම වැනි ප්‍රතිපත්ති අවශ්‍ය වනු ඇත.

එසේ නැතිව, තැන්පතු ආරක්ෂාව සහ බැංකු සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය ගැන පුරසාරම් දොඩමින්, දැනට දශක කිහිපයක සිට පවතින මහ බැංකු මූල්‍ය සහ බැංකු ලිපිගොනු සහ ක්‍රමවේදයන් ආරක්ෂා කිරීමෙන් සිදු වන්නේ, ආර්ථිකය සහ ජීවන තත්ත්වය දශක කිහිපයක අවපාතයකට තල්ලු වීම යි.

බැංකු සහ ණය ප්‍රවාහය ප්‍රතිසංවිධානය කිරීමට ඇති ප්‍රතිරෝධකයන්

  • නව මහ බැංකු පනතින් නිෂ්පාදන ප්‍රතිමූල්‍ය ණය සැපයීම, ආර්ථික ක්‍රියාකාරකම් පදනම් වූ බැංකු ණය ව්‍යාප්ති නියාමනය සහ අවසාන ණය දෙන්නා ලෙස මහ බැංකු කාර්යය යනාදිය මහ බැංකුවෙන් ඉවත් කොට තිබීම.

  • IMF වැඩසටහන යටතේ මූල්‍ය පද්ධති ස්ථායිතා සංකල්පය මත ක්‍ෂුද්‍ර විචක්ෂණ නියාමනයන්ට අමතරව සාර්ව/පද්ධති විචක්ෂණ නියාමන සංකල්පය ද ක්‍රියාත්මක කිරීම සඳහා බැංකු නියාමන ප්‍රතිපාදනයන් තර කොට තිබීම.

  • IMF වැඩසටහන යටතේ පිළි ගැනෙන ආර්ථික කළමනාකරණ සංකල්පයන් මත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපත්ති අවකාශයන් සීමා කිරීම. බදු ඉහළ දැමීම සහ රාජ්‍ය වියදම සහ ණය ප්‍රසාරණය සීමා කිරීම හේතු කොට ආර්ථිකයට රාජ්‍ය මූල්‍ය උත්තේජනයන් සැපයීම දැඩි ලෙස සීමා වී ඇත. එවිට, බැංකු ණය ප්‍රවාහය ඉහළ නැංවීම සහ හිඟ ණය නිරාකරණය කෙරෙහි මැදිහත් වීමට රජයට හැකියාවක් නොමැත.

  • මූල්‍ය/බැංකු ගනුදෙනු කරුවන් ආරක්ෂා කිරීමේ විශේෂ නීති ප්‍රතිපාදනයන් නොමැති වීම. මහ බැංකුව විසින් දැනට නිකුත් කොට ඇති විධානයන් හුදෙක් මූලධර්මයන් මත පදනම් වූ ප්‍රතිපත්ති මාලාවක් වන අතර දඬුවම් දීම ඇතුළු නිරාකරණයන් ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය මහ බැංකුව සතු නොවේ.

නිගමන සහ නිර්දේශයන්

  • සමස්තයක් ලෙස ගත් විට ණය කරුවන් ආරක්ෂා නොකොට තැන්පතු හිමියන් සහ බැංකු ස්ථායිතාවය ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම හුදු මිත්‍යා සංකල්පයකි. ඊට හේතුව, තැන්පතු යනු ණයවල අතුරු ඵලයක් වන බැවිනි. එනම්, බැංකු විසින්  ණය සහ වත්කම් මැවීම හරහා බැංකු පද්ධතිය තුළ තැන්පතු මැවෙන බව යි. එය හුදෙක් ගිණුම් සටහන් මගින් සිදු වෙයි. ආර්ථිකයේ සංසරණය වන මුදල් පරිමාවෙන් බහුතරය වන්නේ, මෙසේ බැංකු පද්ධතිය විසින් මවන ගිණුම් මුදල් ය.

  • එබැවින්, මූල්‍ය අර්බුදයකින් ආර්ථික ක්‍රියාකාරකම් සහ බැංකු ණය කරුවන් බංකොලොත් වී ඇති අවස්ථාවක, ආර්ථිකය සහ ජීවන තත්ත්වය නැවත ගොඩ ගත හැක්කේ, රාජ්‍ය මූල්‍ය, මූල්‍ය සහ නියාමන ප්‍රතිපත්ති ළිහිල් කිරීමේ පැකේජයක් හරහා හිඟ ණය නිරාකරණය කොට බැංකු ණය ප්‍රවාහය නැවත යාවත්කාලීන කිරීමෙන් පමණි. ඊට හේතුව, නූතන මුදල් ආර්ථිකයන් බැංකු ණය මත ක්‍රියාත්මක වන බැවිනි. මේ පිළිබඳ ඕනෑ තරම් විස්තර රටවල පවතී.

  • එහි සාර්ථකත්වය රඳා පවතින්නේ, කොතරම් දුරට ආර්ථිකයේ විවිධ නිෂ්පාදන අංශයන් සහ ක්‍රියාකාරකම් වෙත ණය ව්‍යාප්ත වන්නේ ද, ඒ සඳහා බැංකු අතර කොතරම් ව්‍යාපාරික තරගයක් සහ අවදානම් ගැනීම සිදු වන්නේ ද, සහ නව ව්‍යාපාර අවදානම් ගැනීම සඳහා මූල්‍ය පිරමීඩයේ ඡායා බැංකු ජාලය කොතරම් ව්‍යාප්ත වී ඇත් ද, යන්න මත ය. ඒ සඳහා යොමු වූ රාජ්‍ය ප්‍රතිපත්ති පැකේජයන් අවම වශයෙන් දශකයක පමණ කාලයක් පුරා අවශ්‍ය වනු ඇත. මෙහි දී, හුදෙක් හිඟ ණය ප්‍රතිලේඛන ගත කරන ලෙස බැංකුවලට උපදෙස් දීමෙන් ඵලක් නොමැත.

  • එබැවින්, වත්මන් රාජ්‍ය අධිකාරින්ගේ වගකීම වන්නේ නිසි අධ්‍යයනයක් කොට, එවැනි රාජ්‍ය ප්‍රතිපත්ති පැකේජයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම යි. එය දැනටමත් ප්‍රමාද වී ඇත.

  • එහෙත්, ඉදිරියේ දී රටේ ආර්ථික සහ මානව සංවර්ධන වගකීම භාර ගැනීමේ පොරොන්දු දෙන කිසිම නායකයෙක් එවැනි ව්‍යුහාත්මක ප්‍රතිපත්ති පැකේජයක් පිළිබඳ කිසිම අදහසක් ඉදිරිපත් කිරීම දැකිය නොහැක. ඒ වෙනුවට, රජය සහ ආර්ථිකය හැකිලීමේ වත්මන් IMF ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සහයෝගය දෙන අදහස් දක්වා ඇත. මෑත දී, මහ බැංකු අධිපති විසින් ද මහජනයාට අවවාද කොට ඇත්තේ, ඉදිරි මැතිවරණවල දී වත්මන් IMF වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන නායකයන් තෝරා ගන්නා ලෙස ය.

එබැවින්, මෙම ලිපියෙන් යෝජනා කෙරෙන දිගු කාලීන ව්‍යුහාත්මක ආර්ථික සහ මානව සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරියේ දී රජයන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි අතර ශ්‍රී ලංකා ආර්ථිකය සහ පොදුජන ජීවිතය ඉදිරි දශක කිහිපයක අවපාතයකට මුහුණ දෙන බවට අනුමාන කළ හැකිය.

රාජ්‍ය ණය ගැටළුව නිරාකරණය සඳහා රාජ්‍ය ණය කළමනාකරණ නිලධාරීන්ට රාජ්‍ය බැංකු හරහා මුදල් මැවීමේ සහ මුද්‍රණය කිරීමේ සහ බදු පැනවීමේ බලය පවතින බැවින් කිසිම ආතතියකින් තොරව නත්තල සහ නව අවුරුදු ප්‍රීතිය සැමරීමට ඔවුන්ට හැකියාව පවතී. 

එහෙත්, ආදායම්, රැකියා සහ ජීවන තත්ත්වය කඩා වැටී, තම ණය ආපසු ගෙවීම අතපසු වීමේ ගැටළු හේතු කොට, පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සහ කුටුම්බයන් අධික මානසික ආතතියකට මුහුණ දෙන බව රහසක් නොවේ. එබැවින්, ඉදිරි දශකයේ දී වත් නත්තල් සහ නව අවුරුදු ප්‍රීතියක් සැමරීමට සහ ප්‍රර්ථනා කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලැබේ ද? යන්න සැක සහිත ය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?