මුදල් මවන්නේ බැංකු ද? නැත්නම් රජය ද? මුදල් ද බංකොලොත් විය හැකි ද?

පසුගිය ලිපි දෙකින් බැංකු විසින් මුදල් මවන ආකාරය පිළිබඳ මිත්‍යා කථාන්දරය සහ සත්‍ය කථාන්දරය ඉදිරිපත් කළෙමි. මිත්‍යා කථාන්දරය වන්නේ මහ බැංකු මුදල් (පදනම් මුදල්) තැන්පතු හරහා වාණිජ බැංකුවලට ලැබී, බැංකු විසින් එම තැන්පතු මුදල් ණයට දීම හරහා මුදල් මැවෙන බව යි. එසේ මුදල් මැවෙන පරිමාව මුදල් ගුණකයෙන් දැක්වෙයි. එනම්, එක් පදනම් මුදල් ඒකකයක් කොතරම් මුදල් ඒකක  ගණනක් වේ ද? යන්නයි. එහෙත්, සත්‍ය සිද්ධිය වන්නේ බැංකු විසින් ණය දීමේ දී හුදෙක් ගිණුම් සටහනක් මගින් බැංකු පොත්වල ණයක් ද, ඊට සමගාමීව තැන්පතුවක් ද, ඉලක්කම්වලින් මුදල් මවන බව යි. එය මුදල් මැවීම යි. 

එහෙත්, ප්‍රයෝගිකව බලන විට ආර්ථිකයේ සංසරණය වන මුදල් යනු මහ බැංකුව, වාණිජ බැංකු සහ රජය විසින් මවන මුදල් ය. එබැවින් බැංකු මුදල් මවන බවට දැක්වෙන විග්‍රහය ද මිත්‍යා මතයකි.

එබැවින්, මෙම ලිපියෙන් ආර්ථිකයෙහි සත්‍ය වශයෙන් මුදල් මැවෙන ආකාරය බැංකු පද්ධතියේ සිදුවන ගනුදෙනු හරහා පැහැදිලි කෙරේ. ශ්‍රී ලංකාවේ මුදල් ගනුදෙනු හෙවත් ගෙවුම් සහ පියවුම් පද්ධතිය පසුගිය ලිපියෙන් ඉදිරිපත් කෙරින.

මහ බැංකුව විසින් මුදල් මැවීම

මුදල් මුද්‍රණය ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුව විසින් මුදල් මැවීම යි. ඒ පිළිබඳ විශේෂ ලිපියක් මෙම වෙබ් අඩවියේ පළ කොට ඇත (ලිපිය මෙතනින් කියවන්න). ආර්ථිකයේ සංසරණය වන ව්‍යවහාර මුදල් හෙවත් කාසි සහ නෝට්ටු යනු මහ බැංකුව විසින් මවන ලද මුදල්වලින් කොටසකි. අනෙක් කොටස බැංකු විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන ජංගම ගිණුම්වල තැන්පතු ය. මෙම මුදල් කොටස සංචිත ශේෂයන් ලෙස හැඳින්වෙයි. මෙසේ මවන මුදල් මහ බැංකු ශේෂ පත්‍රයේ වගකීම් ලෙස සටහන් වෙයි.

මහ බැංකුව විසින් මුදල් මැවීම ඉතාම සරල කාර්යයකි. එනම්, මුදල් මුද්‍රණය හරහා වත්කම් අත්කර ගැනීම යි. රජයට ණය දීම, බැංකුවලට ණය දීම සහ බැංකු සහ රජයෙන් විදේශ විනිමය මිල දී ගැනීම යනාදිය ප්‍රධාන වත්කම් වෙයි. මෙහි දී, මහ බැංකුව විසින් කරනු ලබන්නේ, අදාළ රුපියල් වටිනාකම් පරිගණක සටහන් මගින් මහ බැංකුවේ ඇති රජයේ සහ බැංකුවල ජංගම ගිණුම්වලට එකතු කිරීම යි.

මහ බැංකුව විසින් වෙනත් ගොඩනැගිලි සහ මෝටර් රථ වැනි වත්කම් මිල දී ගැනීමේ දී සහ පරිපාලන වියදම් කිරීමේ දී සිදු වන්නේ ද එය යි. උදාහරණ ලෙස මහ බැංකුව විසින් ටොයෝටා ලංකා සමාගමින් මෝටර් රථයක් මිල දී ගැනීමේ දී, අදාළ මුදල එම සමාගමේ බැංකුව විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන ජංගම ගිණුමට එකතු කෙරේ. ඊට සමගාමීව, එම මුදල එම බැංකුව විසින් ටොයෝටා ලංකා සමාගමේ ජංගම ගිණුමට එකතු කෙරේ.

ඒ අනුව, මහ බැංකුව විසින් වත්කම් මිල දී ගැනීමේ දී, එම වටිනාකමින් සංචිත ශේෂයන් ඉහළ යනු ඇත. එනම්, මහ බැංකුවේ වත්කම් සහ වගකීම් එම වටිනාකමින් ඉහළ යාම යි. එය මුදල් මුද්‍රණය ලෙස හැඳින්වෙයි.

ඊට පසුව, රජය සහ බැංකු විසින් මහ බැංකුවේ ඇති තම ජංගම ගිණුම්වලින් ව්‍යවහාර මුදල් ලෙස මුදල් ආපසු ගත හොත්, එම ප්‍රමාණයෙන් සංචිත ශේෂ මුදල් ප්‍රමාණය පහළ ගොස්, ආර්ථිකයෙහි ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඉහළ යනු ඇත. එසේ මුදල් ආපසු ගන්නේ ව්‍යවහාර මුදල්වලින් කළ යුතු ගනුදෙනු සඳහා ය. මෙය හුදෙක් මහ බැංකු ශේෂ පත්‍රයෙහි වගකීම් දෙකක් අතර ගිණුම් සටහන් හුවමාරු වීම පමණක් වන අතර මුළු මහ බැංකු වගකීම් ප්‍රමාණය වෙනස් නොවේ.

මහ බැංකුව විසින් මවන මුදල් ප්‍රමාණය ලෙස මහ බැංකු ශේෂ පත්‍රයෙහි මුළු වත්කම් හෝ වගකීම් වටිනාකම සැලකේ. පදනම් මුදල් හෝ සංචිත මුදල් ලෙස ගණනය කෙරෙන මුදල් මුද්‍රණය හුදෙක් තාක්ෂණික සංකල්පයකි.

වාණිජ බැංකු විසින් මුදල් මැවීම

වාණිජ බැංකු විසින් මුදල් මැවීම ද ඉහත දැක්වූ මහ බැංකු මුදල් මැවීමට සමාන ක්‍රියාවකි. එනම්, බැංකු විසින් වත්කම් අත් කර ගන්නා විට, එම වටිනාකම බැංකු ශේෂ පත්‍රයේ වත්කමක් ලෙස ද, ඊට සමාන වටිනාකම වගකීමක් ලෙස ද සටහන් කිරීම යි. 

බැංකු වත්කම් ලෙස මුදල් සංචිත, විදේශ මුදල්, දෙන ලද ණය, ආයෝජන සහ ස්ථාවර වත්කම් දැක්විය හැකිය. බැංකු වගකීම් ලෙස ප්‍රාග්ධනය, තැන්පතු සහ ගත් ණය දැක්විය හැකිය. 

එබැවින්, බැංකු ණය දීම යනු බැංකු විසින් මුදල් මැවීමේ එක් මෙවලමක් පමණි. එබැවින්, බැංකු විසින් ණය දීමෙන් මුදල් මැවෙන බවට දැක්වෙන විග්‍රහය සාවද්‍ය ය. එම විග්‍රහවල දී ණය උදාහරණය භාවිතා කෙරෙන්නේ, ණය යනු ප්‍රධාන බැංකු ව්‍යාපාරික අංශයක් මෙන්ම බැංකු ශේෂ පත්‍රයෙහි ප්‍රධාන වත්කමක් වන බැවිනි.

මහ බැංකුව විසින් මුදල් මැවීමේ ක්‍රියාව සහ බැංකු විසින් මුදල් මැවීමේ ක්‍රියාව අතර වෙනස වන්නේ, එහි දී බැංකු විසින් ද්‍රවශීලතාවය කළමනාකරණ ගැටළුවට මුහුණ දීම යි. එහෙත්, මහ බැංකුව ද්‍රවශීලතා ගැටළුවකට මුහුණ නොදේ.

බැංකු විසින් ද්‍රවශීලතා ගැටළුවට මුහුණ දෙන්නේ, වත්කම් අත් කර ගැනීම සඳහා ගනුදෙනු කරුවන්ගේ ගිණුම්වලට සටහන් කරන ලද වගකීම්වලින් ඔවුන් විසින් මුදල් ඉවත් කර ගැනීමේ දී ය. එනම්, ඊට අවශ්‍ය මුදල් සැපයීමට සිදු වීම යි. එහෙත්, මහ බැංකුවට එය ගැටළුවක් නොවේ. ඊට හේතුව, සංචිත ශේෂයන් සහ ව්‍යවහාර මුදල් යන ඕනෑම ආකාරයකින් සීමාවක් නැතිව තම ගනුදෙනු කරුවන් වන රජය සහ බැංකුවලට ඕනෑම මොහොතක මුදල් සැපයීමට මහ බැංකුවට හැකි වීම යි.

එබැවින්, බැංකු විසින් මුදල් මැවීමේ දී ද්‍රවශීලතා ගැටළුව කළමනාකරණය කර ගන්නා ආකාරය ඊළඟට විමසා බලමු.

බැංකු ද්‍රවශීලතාවය රැස් කර ගන්නා ආකාරය

ඉහත දැක්වූ පරිදි බැංකු විසින් ණය සහ වෙනත් වත්කම් අත් කර ගන්නේ, එම වත්කම් වටිනාකමට සමාන මුදල් වටිනාකමක් අදාළ ගනුදෙනු කරුවන්ගේ තැන්පතු ගිණුම්වලට එකතු කිරීමෙනි. එය හුදෙක් ගිණුම් සටහනකි. බැංකුවක් එසේ කරන්නේ ඊට සමාන මුදල් ප්‍රමාණයක් බැංකුවේ තිබේ ද? යන්න සනාථ කර ගෙන නොවේ. එබැවින්, බැංකු විසින් එසේ ගිණුම්වලට සටහන් කළ තැන්පතු සඳහා මුදල් සොයන්නේ, එම ගනුදෙනු කරුවන් විසින් එම තැන්පතු මුදල් ඉවත් කර ගන්නා විට ය. එය බැංකුව විසින් එක් එක් තැන්පතුවක් සඳහා වෙන වෙනම කෙරෙන දෙයක් නොවේ.

මෙහි දී, බැංකු විසින් කරනු ලබන්නේ සමස්ත බැංකුවේ මුදල් ප්‍රවාහය කළමනාකරණය කිරීම යි. එය බැංකුවේ භාණ්ඩාගාර මෙහෙයවුම් අංශය විසින් සිදු කරනු ඇත. බැංකුවලට එදිනෙදා මුදල් ලැබීම් ප්‍රවාහයක් සහ මුදල් ඉවත්වීම් ප්‍රවාහයක් පවතී. එය බැංකුවේ ඒකාබද්ධ පරිගණක පද්ධතිය තුළ වාර්තා වනු ඇත. එහි ශුද්ධ ලැබීම (ලැබීම් - ගෙවීම්) ධන අගයක් ගනී නම්, බැංකුවට ද්‍රවශීල අතිරික්තයක් පවතී. 

එම අතිරික්ත  මුදල් අතැති සංචිත, මහ බැංකුවේ ජංගම ගිණුමේ සංචිත සහ වෙනත් බැංකුවල ජංගම ගිණුම් සංචිත ලෙස පවතිනු ඇත. මෙහි දී, බැංකුවල ගණනය කිරීම් අනුව ප්‍රමාණයට වඩා අතිරික්ත සංචිත පවතී නම්, එම අතිරික්තය කෙටි කාලීන ආයෝජනවල යොදනු ඇත. උදාහරණ ලෙස රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන සහ අන්තර් බැංකු ණය දීම දැක්විය හැකිය.

මීට ප්‍රතිවිරුද්ධව, ශුද්ධ ලැබීම සෘණ හෝ හිඟයක් නම්, බැංකුව ද්‍රවශීල හිඟයකට මුහුණ දෙනු ඇත. එවිට, එය පියවීම සඳහා බැංකු මුදල් සෙවිය යුතුය. ඊට මූලයන් දෙකකි. එනම්, අන්තර් බැංකු වෙළෙඳපොළ සහ මහ බැංකුව යි.

  • අතැති සංචිත හෝ මහ බැංකුවේ ඇති සංචිත ශේෂයන් භාවිතා කළ හැකිය. එය ප්‍රමාණවත් නොවේ නම්, අන්තර් බැංකු ණය ගැනීම සහ රාජ්‍ය සුරැකුම්පත් ද්විතීය වෙළෙඳපොළේ අළෙවි කිරීමෙන් මුදල් සපයා ගත හැකිය. 

  • තවදුරටත් මුදල් හිඟ නම්, මහ බැංකුවෙන් ණය ගත හැකිය. නිත්‍ය ණය පහසුකම, ප්‍රතිවිකුණුම් ගිවිසුම් ණය සහ දින තුළ ද්‍රවශීල පහසුකම යනාදිය එදිනෙදා මහ බැංකුවෙන් ලබා ගත හැකි ණය වෙයි. දැඩි අරමුදල් හිඟයක දී බැංකු අනුපාතය මත මහ බැංකුවේ අවසාන ණය ලබා ගත හැකිය.

මෙම සියළු අරමුදල් මහ බැංකුවේ ඇති ජංගම ගිණුමට එකතු කෙරෙන අතර එම සංචිත ශේෂයන් අදාළ ගෙවුම් සඳහා භාවිතා කෙරෙනු ඇත. ඊට හේතුව, බැංකුවල ගෙවුම් සහ පියවුම් පද්ධති සංචිත ශේෂයන් හරහා තුලනය වන බැවිනි.

ඉන් එහා ද්‍රවශීල අර්බුදයකට බැංකුවක් මුහුණ දෙයි නම්, එම බැංකුව බේරා ගත හැක්කේ රජයේ මැදිහත් වීමෙන් පමණි.

මුදල් මැවීමේ උදාහරණ කිහිපයක්

ආර්ථිකයෙහි මුදල් ගනුදෙනු සහ මුදල් මැවීම සිදු වන ක්‍රියාකාරකම් විශාල සංඛ්‍යාවක් ඇත. එබැවින්, මුදල් මැවීම අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වන උදාහරණ කිහිපයක් පමණක් මෙහි ඉදිරිපත් කෙරේ.
  • ගනුදෙනුකරු විසින් තැන්පතු ගිණුමකින් මුදල් භාවිතා කිරීම

උදාහරණ ලෙස බැංකුවක් සමාගමකට ණයක් දෙන බව සිතමු. එම ණය මුදල එම සමාගමේ ජංගම ගිණුමට තැන්පතුවක් ලෙස සටහන් කරනු ඇත. ඒ අනුව, සමාගම විසින් තම වියදම් සඳහා චෙක්පත් නිකුත් කෙරෙන අතර එම චෙක්පත් නිෂ්කාෂණය මහ බැංකුවේ ඇති බැංකු සංචිත ශේෂයන් හරහා සිදුවනු ඇත.

ඉන් සමහර චෙක්පත් එම බැංකුවේම ගිණුම් හිමියන් වෙත ලැබී නැවත බැංකුව වෙත ලැබිය හැකිය. එවිට, බැංකුවෙන් අරමුදල් ඉවත් වීමක් සිදු නොවී, එම තැන්පතු මුදල බැංකුව තුළ ගිණුම් හිමියන් අතර හුවමාරු වනු ඇත. ඒ අනුව, දෙන ලද ණය මුදලට අදාළ මුල් තැන්පතු මුදල බැංකු පද්ධතිය තුළම පවතී.

ගනුදෙනු කරුවන් විසින් ව්‍යවහාර මුදල් වශයෙන් ඉවත් කර ගන්නා මුදල් ප්‍රමාණය පමණක් බැංකු පද්ධතියෙන් ඉවත් වෙයි. එහෙත්, එම ව්‍යවහාර මුදල් දැනටමත් මහ බැංකුව විසින් මවන ලද මුදලක් බැවින්, බැංකු පද්ධතිය විසින් මවන ලද සමස්ත මුදල් ප්‍රමාණයේ වෙනසක් නොවේ.

  • බැංකුවක් වෙන්දේසියකින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම

මෙහි දී, නියමිත මුදල් නිෂ්කාෂණ දිනයේ දී (වෙන්දේසියෙන් දෙවෙනි දින), බැංකු ශේෂ පත්‍රයේ රාජ්‍ය සුරැකුම්පත් වත්කමක් සටහන් වන අතර එම වටිනාකමින් මහ බැංකුවේ බැංකුව සතු සංචිත ශේෂය පහළ යනු ඇත. සමහර විට බැංකුව විසින් එම මුදල ආවරණය සඳහා ගනුදෙනු කරුවන්ට නිකුත් කෙරෙන සුරැකුම්පත් ප්‍රතිමිල දී ගැනීමේ ගිවිසුම් හරහා එදින හෝ පසුව අරමුදල් සපයා ගනු ඇත. 

එම ගනුදෙනු කරුවන් විසින් එම මුදල් තම බැංකු තැන්පතු ගිණුමින් හෝ වෙනත් බැංකුවල පවතින තැන්පතු ගිණුම්වලින් හෝ සැපයෙනු ඇත. එමගින්, බැංකුවේ මහ බැංකු සංචිත ශේෂය නැවත යාවත්කාලීන කරනු ඇත. රජය විසින් සුරැකුම්පත් මුදල් වියදම් කිරීම තුළින් එම මුදල් නැවත තැන්පතු ලෙස බැංකු පද්ධතිය වෙත ලැබෙනු ඇත. එබැවින්, බැංකු විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම තුළින් තැන්පතු සහ මුදල් මැවීම සිදුවනු ඇත.

  • බැංකුවක් අයෝජකයෙකුගෙන් රාජ්‍ය සුරැකුම්පතක් ද්විතීය වෙළෙඳපොළෙන් මිල දී ගැනීම

මෙහි දී, බැංකුවේ ශේෂ පත්‍රයට එම වටිනාකමින් රාජ්‍ය සුරැකුම්පත් වත්කමක් සටහන් වන අතර එම වටිනාකම ආයෝජකයාගේ බැංකු තැන්පතු ගිණුමට එකතු කෙරේ. එබැවින්, එය සෘජු මුදල් මැවීමකි.

  • බැංකුවක් මහ බැංකුවෙන් රාජ්‍ය සුරැකුම්පතක් ද්විතීය වෙළෙඳපොළෙන් මිල දී ගැනීම

මෙහි දී, බැංකුවේ ශේෂ පත්‍රයෙහි එම වටිනාකමින් රාජ්‍ය සුරැකුම්පත් වත්කමක් සටහන් වන අතර එම වටිනාකම මහ බැංකුවේ ඇති බැංකු සංචිත ශේෂයෙන් අඩු වෙයි. එබැවින්, මෙහි දී බැංකුවල මුදල් මැවීමේ වෙනසක් සිදු නොවේ. එහෙත්, මහ බැංකු සංචිත මුදල් හෙවත් මුද්‍රිත මුදල් මැවීම එම ප්‍රමාණයෙන් පහළ ගොස් ඇත.

  • බැංකුවක් රාජ්‍ය සුරැකුම්පතක් ද්විතීය වෙළෙඳපොළේ මහ බැංකුවට අළෙවි කිරීම

මෙහි දී, බැංකුවේ ශේෂ පත්‍රයෙහි එම වටිනාකමින් රාජ්‍ය සුරැකුම්පත් වත්කම් පහළ යන අතර එම වටිනාකමින් මහ බැංකුවේ ඇති බැංකු සංචිත ශේෂය ඉහළ යයි. ඊට හේතුව, මහ බැංකුව විසින් මිල දී ගත් රාජ්‍ය සුරකුම්පත් වටිනාකම බැංකුවේ ජංගම ගිණුමට එකතු කරන බැවිනි. එබැවින්, මෙහි දී බැංකුවල මුදල් මැවීමේ වෙනසක් සිදු නොවේ. එහෙත්, මහ බැංකු සංචිත මුදල් හෙවත් මුදල් මුද්‍රණය එම ප්‍රමාණයෙන් ඉහළ ගොස් ඇත.

  • බැංකුවක් අපනයන කරුවෙකුගෙන් විදේශ විනිමය ඩොලර් මිල දී ගැනීම

මෙහි දී, එම ඩොලර් ප්‍රමාණයේ රුපියල් වටිනාකම බැංකුවේ වත්කමක් ලෙස සටහන් වන අතර, ඊට අදාළ ගෙවීම අපනයනකරුගේ ජංගම ගිණුමට එකතු කෙරේ. ඒ අනුව, ඩොලර් මිල දී ගැනීම ගිණුම් සටහනක් මගින් සිදු වී ඇත. එම ඩොලර් වත්කම බැංකුව විසින් විදේශ බැංකු ගිණුමක හෝ විදේශ ආයෝජනයක තබා ගත හැකිය.

  • රාජ්‍ය බැංකුවක් විසින් රජයට ණය මුදලක් ලබා දීම

මෙහි දී, බැංකුවේ ණය වත්කමක් සටහන් වන අතර එම වටිනාකම බැංකුවේ ඇති රජයේ ජංගම ගිණුමට එකතු කෙරේ. රජය විසින් එම මුදල වියදම් කිරීමේ දී, එම මුදල් නැවත බැංකු පද්ධතියට නව තැන්පතු ලෙස ලැබෙනු ඇත. රාජ්‍ය බැංකු වන මහජන බැංකුව සහ ලංකා බැංකුව රටේ විශාලතම බැංකු දෙක බැවින් එහි ගනුදෙනුකාර පිරිස ඉහළ සංඛ්‍යාවක් වෙයි. එබැවින්, රාජ්‍ය බැංකු දෙක විසින් රජයට දෙන ණයවලින් බහුතරය නව තැන්පතු ලෙස එම බැංකු දෙකට ලැබෙනු ඇත.

  • බැංකු නොවන පෞද්ගලික අංශය විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම

මෙය දෙයාකාරයකට සිදු වෙයි. පළමුව, රජය පවත්වන වෙන්දේසිවලින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම. එනම්, ප්‍රාථමික වෙළෙඳපොළ. දෙවනුව, රජය විසින් දැනටමත් නිකුත් කොට ඇති රාජ්‍ය සුරැකුම්පත් ද්විතීය වෙළෙඳපොළේ බැංකුවලින් මිල දී ගැනීම. මෙම අවස්ථාවන් දෙකෙහි දී ම සිදු වන්නේ, මහජනයා විසින් බැංකුවල තබා ගෙන ඇති තම තැන්පතු මුදල් වැය කොට රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම යි. 

මෙහි දී, වෙන්දේසිවලින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීමේ දී ක්ෂණික ප්‍රතිඵලය වන්නේ මහජනයාගේ තැන්පතු වත්කම් පහළ ගොස්, එම මුදල් මහජනයාගේ තැන්පතුවලින් රජයේ බැංකු ජංගම ගිණුමට මාරු වීම යි. එසේම, රජය විසින් එම මුදල් ක්ෂණිකව වැය කරන බැවින් ඒවා රජයේ ජංගම ගිණුමින් ඉවත් වී, නැවත මහජනයාගේ තැන්පතු ලෙස බැංකුවලට ගලා එනු ඇත. එබැවින්, රාජ්‍ය සුරැකුම්පත් මහජනයා වෙත නිකුත් කිරීමේ දී බැංකු පද්ධතිය තුළ පවතින මුදල් ප්‍රමාණය වෙනස් නොවේ. 

එහෙත්, රාජ්‍ය සුරැකුම්පත් යනු ගනුදෙනු සඳහා ඉක්මනින් භාවිතා කළ හැකි මහජනයා අතැති මුදල් කොටසකි. එබැවින්, රාජ්‍ය සුරැකුම්පත් මහජනයා වෙත නිකුත් කිරීම හේතු කොට බැංකු පද්ධතියෙන් පිටත පවතින මුදල් ප්‍රමාණය ඉහළ යනු ඇත.

මහජනයා විසින් ද්විතීය වෙළෙඳපොළේ බැංකුවකින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීමේ දී බැංකුවේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන වත්කම් එම ප්‍රමාණයෙන් පහළ යන අතර ඒ සඳහා තම තැන්පතුවලින් මුදල් ගෙවන බැවින් තැන්පතු පහළ යනු ඇත. එබැවින්, බැංකු මුදල් මැවීම පහළ යනු ඇත. එහෙත්, ඉහත දැක්වූ පරිදි බැංකු පද්ධතියෙන් පිටත පවතින මහජනයාගේ මූල්‍ය වත්කමක් ඉහළ යන බැවින් ආර්ථිකයේ පවතින සමස්ත මුදල් ප්‍රමාණය වෙනස් නොවේ.

  • ප්‍රතිමිල දී ගැනීමේ ගිවිසුම් හරහා බැංකුවක් විසින් තම ආයෝජන කලඹින් මහජනයාට රාජ්‍ය සුරැකුම්පත් අළෙවි කිරීම

ප්‍රතිමිල දී ගැනීමේ ගිවිසුම් යනු කෙටි කාලයකින් නැවත මිල දී ගැනීමේ ගිවිසුම මත යමක් අළෙවි කිරීම යි. මෙහි දී, බැංකුවේ රාජ්‍ය සුරැකුම්පත් වත්කම් වටිනාකම වෙනස් නොවේ. ඒ සඳහා ආයෝජකයා ගෙවූ මුදල ඔහුගේ තැන්පතු ගිණුමෙන් අඩු කොට ප්‍රතිමිල දී ගැනීම් ණය ගිණුමට එකතු කෙරේ. එබැවින්, එම මුදල බැංකුවේ තැන්පතු වගකීමවලින් ණය වගකීම්වලට මාරුවීම පමණක් සිදු වෙයි. එබැවින්, මුදල් මැවීමේ වෙනසක් සිදු නොවේ. 

එහෙත්, එම සුරැකුම්පත් වටිනාකම මහ බැංකුවේ ඇති රාජ්‍ය සුරැකුම්පත් ගිණුම් පද්ධතියෙහි බැංකු සුරැකුම්පත් ගිණුමින් අඩු කොට ආයෝජකයාගේ සුරැකුම්පත් ගිණුමට එකතු කෙරේ. ඉන්, මුදල් මැවීමට බලපෑමක් නැත.

ප්‍රතිමිල දී ගැනීමේ ගිවිසුම කල් පිරීමේ දී, ඊට ප්‍රතිවිරුද්ධ ගිණුම් සටහන් තැබෙනු ඇත. මුදල් මැවීමේ වෙනසක් සිදු නොවේ.

මුදල් යනු කුමක් ද?

මුදල් යනු ගෙවුම් මාධ්‍යයක්, ද්‍රවශීල වත්කමක් හෝ වටිනාකම් සංනිධියක් සහ විලම්බිත ගෙවුම් මාධ්‍යයක් වශයෙන් පොදු පිළිගැනීමක් ඇති දේවල් ය. මෙම ගනුදෙනු සඳහා වටිනාකම මැනිය යුතු බැවින් මුදල් නිරන්තරයෙන් ගිණුම් ඒකකයක් ද වෙයි. ඉහත ආකාරයට මවන ලද මුදල් වනුයේ ව්‍යවහාර මුදල්, මහ බැංකු සංචිත, බැංකු තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත් යනාදිය යි. මෙම මුදල් වර්ග හතර එකිනෙක අතර ඉතා ආසන්න මුහුණත අගයට හුවමාරු වෙයි.

උදාහරණ ලෙස ක්‍රියාශීලී ද්විතීය වෙළෙඳපොළක් ඇති බැවින් රාජ්‍ය සුරැකුම්පත් ක්ෂණිකව බැංකු තැන්පතු හෝ ව්‍යවහාර මුදල් හෝ මහ බැංකු සංචිත බවට පත් කොට මුදලේ කාර්යයන් ඉටු කළ හැකිය. එසේම, මුදල් පැවරුම්, චෙක්පත්, ඩෙබිට් කාඩ්පත් සහ ATM වැනි මෙවලම් හරහා බැංකු තැන්පතු ගෙවීම් කිරීම සඳහා කාර්යක්ෂමව සහ ආරක්ෂිතව භාවිතා කළ හැකිය. ස්ථිර තැන්පතු වුවත් කල්පිරීමට පෙර ආපසු ගැනීම හෝ ඒ මත ණයක් ගැනීම හරහා මුදල් ලෙස භාවිතා කළ හැකිය.

එහෙත්, මෙහි දී, භෞතික මුදල් වන්නේ ව්‍යවහාර මුදල් පමණි. අනෙක් සියළු මුදල් වර්ගයන් හුදෙක් ගිණුම් හෝ ඉලක්කම් මුදල් වෙයි. එබැවින්, ඒවා ගනුදෙනු වන්නේ ද ගිණුම් හරහා ය.

එහෙත්, මහ බැංකුව විසින් මුදල් සැපයුම පිළිබඳ සංඛ්‍යාවන් නිකුත් කිරීමේ දී මහජනයා සතු ව්‍යවහාර මුදල් සහ බැංකු තැන්පතු පමණක් මුදල් සැපයුම ලෙස දැක්වෙයි. එය හුදෙක් සංකල්පීය පටු මුදල් ගණනය කිරීමකි. නූතන මූල්‍ය පද්ධතිවල ඉහත දැක්වූ පරිදි මුදල් ලෙස ක්‍රියා කරන මෙවලම් රාශියක් පවතී. ක්‍රියාකාරී වෙළෙඳපොළවල් පවතින ඕනෑම මූල්‍ය වත්කමක් මුදල් ලෙස සැලකිය හැකිය.

උදාහරණ ලෙස දියුණු මූල්‍ය වෙළඳපොළවල් පවතින ඇමෙරිකාව වැනි රටවල සමාගම් කොටස් සහ හුවමාරුවල වෙළෙඳාම් වන අරමුදල් වැනි ආයෝජන මෙවලම් ද මුදල් ලෙස සැලකිය හැකිය. එසේම, ක්‍රිප්ටො මුදල් වෙළෙඳපොළ ඉදිරියේ දී තවත් ප්‍රචලිත වන විට ක්‍රිප්ටො මුදල් ද මුදල් ලෙස සැලකිය හැකිය. ඒවා දැනට වටිනාකම් සංනිධියක් ලෙස ප්‍රචලිතය. අතීතයේ මුදල් ලෙස භාවිතා කල රත්‍රං ද වර්තමානයේ එවැනි වටිනාකම් සංනිධියක් ලෙස භාවිතා කෙරේ. මෙවැනි ඕනෑම වත්කමක් ක්ෂණිකව අලාභයක් නොමැතිව විනිමය මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට හැකි වෙළෙඳපොළක් පවතී නම් එය මුදල් ලෙස සැලකිය හැකිය.

සමස්තයක් වශයෙන් ගත විට මුදල් යනු මහජන විශ්වාසය මත ගනුදෙනු වන මූල්‍ය වත්කම් ය. එහි විශ්වාසය යනු එම වත්කම් ඕනෑම අවස්ථාවක ස්වෛරිත්ව මුදල් හෝ ව්‍යවහාර මුදල් බවට පත් කළ හැකි බවට ඇති විශ්වාසය යි. එය හුදෙක් විශ්වාසයක් පමණක් වන්නේ, එතරම් ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ආර්ථිකයේ නොමැති බැවිනි. යම් අවස්ථාවක ඊට වඩා ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට ලැබීමට නම්, මහ බැංකුව විසින් ණය දීම හරහා මුදල් මුද්‍රණය කළ යුතුය.

එබැවින්, මුදල් ක්‍රමයක් හෝ එහි ස්ථායිතාවය පවතින්නේ මුදල් පිළිබඳ මහජන විශ්වාසය පළුදු නොවී පවතී නම් පමණි. බැංකු හෝ මූල්‍ය අර්බුදයන් යනු එම විශ්වාසය පළුදු වන අවස්ථාවන් ය. එනම්, මහජනයා විසින් තම තැන්පතු ඇතුළු මූල්‍ය වත්කම් ලහි ලහියේ අළෙවි කොට  ව්‍යවහාර මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් බැංකු සහ මූල්‍ය ක්‍රමය අර්බුදයට පත්වීම යි. එනම්, මූල්‍ය ක්‍රමය බංකොලොත් වීම යි. එවැනි අවස්ථාවක මූල්‍ය ක්‍රමය බේරා ගත හැක්කේ රජය විසින් බැංකු සහ මූල්‍ය වෙළෙඳපොළවලට මුදල් විදීමෙනි. 

රජය විසින් මුදල් මැවීම - රාජ්‍ය ණය සහ මුදල් පද්ධතිය

ඉහත දැක්වූ පරිදි රජය බැංකු පද්ධතියෙන් ණය ගැනීමේ දී සහ වෙළෙඳපොළෙන් ණය ගැනීම සඳහා රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීමේ දී ද ආර්ථිකයට මුදල් මැවෙනු ඇත. එසේ ණය ගැනීමේ තීරණය රාජ්‍ය තීරණයක් බැවින් එසේ මුදල් මැවීම රාජ්‍ය ක්‍රියාවකි. තව ද, මුදල් පද්ධතිය කෙරෙහි විශාල කාර්යයක් ඉටු කෙරෙන මහ බැංකුව සහ විශාල වාණිජ බැංකු දෙක රාජ්‍ය බැංකු වෙයි. එම බැංකු විසින් මවන මුදල්වලට ද රජය වගකිව යුතු බැවින් එම මුදල් ද රාජ්‍ය මුදල් වෙයි. 

උදාහරණ වශයෙන් මහ බැංකුව විසින් මවන කාසි සහ නෝට්ටු රජය වෙනුවෙන් නිකුත් කෙරෙන ස්වෛරිත්ව මුදල් ය. මහජනයා විසින් මෙම කාසි සහ නෝට්ටු පිළි ගන්නේ, මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩල සාමාජිකයන් කෙරෙහි ඇති විශ්වාසය නිසා නොව, රජය කෙරෙහි ඇති විශ්වාසය නිසා ය. එසේම, වාණිජ බැංකු ද රජයේ බලපත්‍රය යටතේ පිහිටුවා රාජ්‍ය නියාමනය මත බැංකු ව්‍යාපාරික කටයුතු කෙරෙන මූල්‍ය ආයතනයන් ය.

රාජ්‍ය බලපත්‍රය සහ නියාමනය මගින් ඔවුන්ගේ බැංකු ව්‍යාපාරය ආරක්ෂා කොට ඇත. ඒ සඳහා, තැන්පතු රක්ෂණය සහ අවසාන ණය දීම වැනි විශේෂ ආරක්ෂණ ක්‍රමවේදයන් ද පවතී. දේශීය මුදල් ලෙස විදේශීය මුදල් භාවිතය ද රජයේ නීති මගින් තහනම් කොට ඇත. එබැවින්, සමස්තයක් ලෙස ගත් විට රටේ ගනුදෙනු කෙරෙන මුදල් යනු රාජ්‍ය ආරක්ෂාව ඇති රාජ්‍ය මුදල් ක්‍රමයකි.

තව ද, සංවර්ධිත රටවල් ඇතුළු ඕනෑම ආර්ථිකයක පවතින මුදල් ක්‍රමයේ කොඳු නාරටිය රාජ්‍ය ණය යි. එනම්, රජය විසින් තම අයවැය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා ගන්නා බැංකු ණය, විදේශ ණය සහ සුරැකුම්පත් ණය යි. එය හුදු ආර්ථික විද්‍යා මතයක් නොව මුදල් සැපයුම් සංඛ්‍යාවලින් ද සනාථ කෙරෙන සත්‍යයකි. මෑත සංඛ්‍යා අනුව තත්ත්වය පහත දැක්වෙයි.

  • ශ්‍රී ලංකාවේ මහ බැංකුව මවන මුදල්වලින් රුපියල් බිලියන 2,843 ක් රාජ්‍ය ණය සඳහා කළ මුදල් මුද්‍රණය යි. ශ්‍රී ලංකා ගෙවුම් ශේෂ ජංගම ගිණුමෙහි අතිරික්තයක් නොමැති බැවින් මහ බැංකුවේ විදේශ සංචිතය රුපියල් බිලියන 1,360 සම්පුර්ණයෙන්ම වගේ රජයට සම්බන්ධ විදේශ ණය සහ වත්කම් වෙයි. මහ බැංකුව විසින් එම විදේශ විනිමය මිල දී ගෙන රජයට මුදල් මුද්‍රණය කොට දී ඇත. මෙම රාජ්‍ය ණය එකතුව මහ බැංකුවේ මුළු වත්කම්වලින් 96% ක් පමණ වෙයි. එබැවින්, මුදල් මුද්‍රණය හුදෙක් රාජ්‍ය මුදල් වෙයි.

  • වාණිජ බැංකු පද්ධතිය මවන ණයවලින් රුපියල් බිලියන 6,453 ක් රජයට දෙන ලද ණය වෙයි.

  • ඒ හැර, රාජ්‍ය සුරැකුම්පත් හරහා රජය විසින් බැංකු නොවන පෞද්ගලික අංශයෙන් ලබා ගෙන ඇති ණය රුපියල් බිලියන 6,200 ක් පමණ වෙයි. 

  • ඉහත දැක්වූ ණයවල එකතුව, මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරන මුදල් සැපයුම (රුපියල් බිලියන 12,800 ක් පමණ) මෙන් 132% ක් පමණ වෙයි. 

  • එසේම, සමස්තයක් වශයෙන් රජය විසින් රාජ්‍ය මූල්‍ය ආර්ථික ප්‍රතිපත්තිය සඳහා භාවිතා කොට දැනට ගෙවීමට තිබෙන මුළු රාජ්‍ය ණය තොගය රුපියල් බිලියන 27,792 ක් පමණ වෙයි. එම මුදල් ආර්ථිකයේ මූර්ත සහ මූල්‍ය අංශයන්ගේ ක්‍රියාකාරිත්වයට ඒකාබද්ධ වී ඇත.

  • එබැවින්, ආර්ථිකයේ මුදල් මැවීමේ සහ පොදුජන යහපත සඳහා මුදල් ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන වාහකය වන්නේ රාජ්‍ය අයවැය සහ ණය යි. එම අයවැය සහ ණය කෙතරම් ඥාණාන්විතව කළමනාකරණය වී ද? යන්න වෙනත් විෂයකි.

මෙහි දී, තවත් ආර්ථික කරුනක් වන්නේ මහ බැංකු විසින් තම මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන මෙවලම ලෙස භාවිතා කරන්නේ රාජ්‍ය ණය යි. එහි දී, රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් සහ වෙළෙඳාම පදනම් කෙරේ. බැංකු ද තම ද්‍රවශීලතාවය කළමනාකරණයේ දී භාවිතා කෙරෙන මූල්‍ය වත්කම වන්නේ රාජ්‍ය ණය සුරැකුම්පත් ය. ඒ අනුව, රටක මුදල් ක්‍රමයේ පදනම රාජ්‍ය ණය සංඛ්‍යාවන් මෙන්ම විශ්වාසය තුළින් ගොඩ නැගී ඇත. එබැවින්, ආර්ථිකයේ රාජ්‍ය ණය කළමනාකරණය සහ මුදල් කළමනාකරණය කරනු ලැබුවේ මහ බැංකුව විසිනි.

එහෙත්, දේශපාලන නායකයන්, ආර්ථික විද්‍යාඥයන්, මහ බැංකු නිලධාරීන් සහ IMF මේ දිනවල ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය ණය නොතිරසරභාවය සහ රාජ්‍ය බංකොලොත්භාවය පිළිබඳ විවිධ භයංකාර විග්‍රහයන් ඉදිරිපත් කෙරේ. ණය තිරසරභාවය සහ රජය ගොඩ දැමීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සහ කථාවලින් ගෝලීය ආර්ථිකය පිරී ගොස් ඇත. 

මහ බැංකුව විසින් 2022 අප්‍රේල් 12 දින රාජ්‍ය විදේශ ණය ගෙවීම පැහැර හැරීම හේතු කොට, ශ්‍රී ලංකා රජය සහ ආර්ථිකය ද බංකොලොත් වී ඇති බව සැමගේ මුව පිරි අනුප්‍රාස කථාන්දරකි. රාජ්‍ය දේශීය ණය ද ගෙවිය නොහැකි බව පවසා, දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීම අරඹා ඇත. මෙය, මහජනතාව බිය ගන්වා, රාජ්‍ය වියදම් පාලනයටත්, බදු ඉහළ දැමීමටත්, පොලී අනුපාතයන් ඉහළ දමා බැංකු ණය සිමා කිරීමටත් මහඟු අවියක් ලෙස රාජ්‍ය අධිකාරීන් විසින් භාවිතා කෙරෙන බව නොරහසකි. 

IMF ණයක් ලබා ගැනීම සහ කොන්දේසි අනුගමනය කිරීම නිසා ආර්ථිකය බංකොලොත් භාවයෙන් ගොඩ ගැනීමට දැන් හැකි වී ඇති බව රාජ්‍ය අධිකාරීන් විසින් පුන පුනා දැක්වීම ද මේ දිනවල සුලභ දසුනකි. ණය ගැනීම හොඳ නැති බව මහජනයාට පවසන රාජ්‍ය අධිකාරීන් විසින් IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකු ණය හොඳ බව පවසති.

මෙහි දී, රාජ්‍ය අධිකාරීන්ගේ ආර්ථික නූගත්කම වන්නේ, එසේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයක් සහ බංකොලොත්වීමක් පවතී නම්, රාජ්‍ය ණය මත ගොඩ නැගී ඇති ආර්ථිකයේ මුදල් සහ බැංකු ක්‍රමය ද අර්බුදයක හෝ බංකොලොත් භාවයක පැවතිය යුතු බව යි. එහෙත්, රටේ මූල්‍ය අධිකාරීන් විසින් දක්වන්නේ ආර්ථිකයේ බැංකු සහ මූල්‍ය ස්ථායිතාවය ශක්තිමත් බවත්, කම්පනයන්ට ඔරොත්තු දෙන බවත් ය. එසේනම්, රාජ්‍ය ණය නොතිරසර භාවය, බංකොලොත් භාවය සහ බැංකු සහ මූල්‍ය ස්ථායිතාවය පිළිබඳ ව දැක්වෙන මතයන්වල යථාරූපී භාවය සැකයට භාජනය වෙයි.

එබැවින්, රාජ්‍ය ණය පිළිබඳ සත්‍ය කථාන්දරය ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

පදනම් මුදල්, මුදල් මැවීම සහ මුදල් ගුණකයේ මිත්‍යාව

ඉහත දැක්වූ ආකාරයට සැබෑ ලෝකයේ මුදල් මැවෙන ආකාරය දෙස බලන විට, සම්මතවාදී ආර්ථික විද්‍යාඥයන් සහ මහ බැංකු විසින් පවසන පරිදි පදනම් මුදල් (එනම්, මහ බැංකු මුදල්) මත මුදල් ගුණකයේ ක්‍රියාකාරීත්වය තුළින් මුදල් මැවීම සහ මුදල් සැපයුම තීරණය වන ආකාරයක් දැකිය නොහැකිය. එබැවින්, එම මුදල් මැවීමේ මතවාදය ප්‍රයෝගික වැදගත්කමක් නොමැති පැරණි මිත්‍යා සංකල්පයක් පමණි.

ඉහත දැක්වූ පරිදි ආර්ථිකයක සැබෑ මුදල් සැපයුම් කරුවන් හෝ මැවුම් කරුවන් වන්නේ මහ බැංකුව, වාණිජ බැංකු සහ රජය යි. එසේ සැපයෙන මුදල් වන්නේ කාසි සහ නෝට්ටු (ෆියට් මුදල්), මහ බැංකු සංචිත ශේෂයන්, බැංකු ණය ගැනීම් සහ තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත් යනාදිය යි. මහජනයා විසින් තම ආර්ථික ගනුදෙනු සඳහා මුදල් ලෙස භාවිතා කෙරෙන්නේ එම මුදල්  වත්කම් වර්ගයන් ය.

එබැවින්, මහ බැංකුව විසින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම කෙරෙහි බලපෑම සඳහා මුදල් ගුණකය මත පදනම් වූ මුදල් සැපයුම ඉලක්ක කොට මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අතිශයින් මිත්‍යා ක්‍රියාවකි.

එසේම, ඉහත දැක්වූ පරිදි ආර්ථිකයට සැපයෙන මුදල් ප්‍රමාණය හෝ සංසරණය පාලනය කිරීමට වත්මන් මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියට හැකියාවක් නොමැත. ඊට හේතුව, ව්‍යවහාර මුදල්, සංචිත ශේෂ, බැංකු ණය/තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත් යනාදියේ  ඉල්ලුම සහ සැපයුම පාලනය කිරීමට මහ බැංකුවට නොහැකි බැවිනි. ඒ පිළිබඳ ලිපි රාශියක් දැනටමත් මෙම වෙබ් අඩවියේ පළ කොට ඇත.

තව ද, මුදල් නීති පනත අවලංගු කොට මෑතක දී පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද නව මහ බැංකු පනත තුළ ආර්ථිකයෙහි මුදල් සංසරණය පාලනය පිළිබඳ අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති මෙවලම් රාශියක් ඉවත් වී ඇත. එක් උදාහරණයක් වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයෙහි නිල මුදල් වටිනාකම් ඒකකයක් නොමැති වීම යි. එහෙත්, මහ බැංකුව විසින් නිකුත් කෙරෙන රුපියල් කාසි සහ නෝට්ටු නෛතික ගෙවුම් මාධ්‍යයක් ලෙස පවතී. එබැවින්, අනාගතයේ දී, පෞද්ගලික මුදල් වටිනාකම් ඒකකයක් හඳුන්වා දීමත්, එම මුදල් ඒකකය මත කාසි සහ නෝට්ටු නිකුත් කොට ගනුදෙනු කිරීමටත්, පෞද්ගලික අංශයට හැකියාව පවතී. මහජනයා විසින් එම මුදල් පිළිගනී නම්, රුපියල් මුදල් සමඟ තරගකාරී මුදලක් ලෙස භාවිතා කළ හැකිය.

එසේම, බැංකු ද්‍රවශීල අර්බුදවල දී අවසාන ණය දෙන්නාගේ ස්වාධීන කාර්යය මහ බැංකුවෙන් ඉවත් කොට ඇත. මෙය මුදල් ක්‍රමයේ ස්ථායිතාවය පවත්වා ගෙන යාම සඳහා මහ බැංකුවල සම්ප්‍රදායික කාර්යයකි. එබැවින්, ඉදිරියේ දී බැංකු අර්බුදයන්ගෙන් ආර්ථිකය බේරා ගැනීමට හැකි වන්නේ බැංකුවලට ණය දීමට හැකියාවක් රජයට පවතී නම් පමණි. රජයට මහ බැංකුවෙන් ණය ලබා ගැනීම අත්හිටුවා ඇති බැවින් රජයට එසේ බැංකුවලට ණය දිය හැක්කේ මහජනයාගෙන් බදු ගැනීමෙන් හෝ ණය ගැනීමෙනි. බැංකු ද්‍රවශීල අර්බුදයක් පවතින විට එය කළ නොහැකිය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි