ඡන්ද පොරොන්දු රැකීමට මුදල් සෙවීමේ මග පෙන්වන, නව මුදල් පොතක්!


කතුවරයා - පි. සමරසිරි
ප්‍රකාශනය - සරසවි පොත් හළ
පිටු ගණන - 184
මිල - රුපියල් 850
(ළඟදීම නිකුත් වෙයි)

මුදල් පිළිබඳ න්‍යායාත්මක සම්ප්‍රදායික මිථ්‍යා මතයන් බිඳ දමා, ආර්ථික දියුණුව තුළින් මහජනයාගේ සංවර්ධනයට ඥාණාන්විත ලෙස මුදල් භාවිතා කිරීමට උපකාරී වන අත්වැළක් මෙම ග්‍රන්ථයෙන් සැපයෙයි. කිසිම දේශපාලනික බැඳීමකින් තොර මෙහි විශේෂත්වය වන්නේ, කිසිම ආර්ථික විද්‍යා න්‍යායක් හෝ සමීකරණයක් හෝ ප්‍රස්තාරයක් නොමැතිව, නව කථාවක් විලසින් සරල බසින් විෂය කරුනු ඉදිරිපත් කිරීම  යි.

මෙම ලිපියේ අරමුණ වන්නේ, එම කථාන්දරයේ ඉතාමත් කෙටි සාරංශයක් ඉදිරිපත් කිරීම යි.

මුදල්වල ආර්ථික මෙහෙවර 

  • ලෝකයේ ඉතාමත් වැදගත් සොයා ගැනීමක් වන්නේ මුදල් ය. එය මිනිස් ශිෂ්ටාචාරයන් ආරම්භයේ සිට වසර දහස් ගණනක් පුරා පරිණාමය වී ඇත. භාණ්ඩ හුවමාරුව, භාණ්ඩ මුදල්, ලෝහ මුදල්, කඩදාසි මුදල් සහ නූතන විද්‍යුත් හෝ ඩිගිටල් මුදල් යනු එහි විවිධ අවධීන් ය. ඊළඟ මුදල් අවධිය වන්නේ මාර්ගගත ඩිගිටල් මුදල් ය. 

  • සමස්තයක් ලෙස මුදල් යනු ආර්ථික ක්‍රියාකාරකම්වල වටිනාකම මැනීම, වටිනාකම ගබඩා කිරීම සහ වටිනාකම හුවමාරු කිරීම සඳහා නිෂ්පාදිත මෙවලමකි. ගිණුම් ඒකකයක්, විනිමය මාධ්‍යයක්, වටිනාකම් සංනිධියක් සහ  විලම්බිත ගෙවුම් මාධ්‍යයක් යානා දී ලෙස මුදලේ ආර්ථික කාර්යයන් දැක්වෙන්නේ ඒ මත ය.

  • බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කිරීම හරහා ආර්ථිකයට මුදල් ලැබෙන බවත්, මුදල් මගින් උද්ධමනය හට ගන්නා බැවින්, උද්ධමනය පාලනය වන අයුරින් මුදල් මුද්‍රණය සිදු කළ යුතු බවත් ය. මෙය හුදෙක් මිථ්‍යා විශ්වාසයකි.

  • මුදල් ද භාණ්ඩ හා සේවා මෙන් මිනිසා විසින් නිෂ්පාදනය කෙරෙන ආර්ථික සම්පතකි. ඒ අනුව, ශ්‍රමය, භුමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය සහ මුදල් යන නිෂ්පාදන සම්පත් උපයෝජනය තුළින් නිෂ්පාදන සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සිදු වෙයි. එම සියළු සම්පත් සඳහා පිරිවැයක් සහ මිලක් පවතී. මෙහි දී, මුදල්වල විශේෂ වැදගත්කම වන්නේ, අනෙක් සියළු නිෂ්පාදන සම්පත් ඒකරාශී කිරීම සඳහා මුදල් අවශ්‍ය වීම යි.

  • සමහරුන්ට අනුව ආර්ථිකයක් මූර්ත හෙවත් භාණ්ඩ හා සේවා නිෂ්පාදන අංශය සහ මුදල් අංශය ලෙස කොටස් දෙකකට බෙදේ. සියළු නිෂ්පාදන ක්‍රියාකාරකම් මුදල් ගනුදෙනු හරහා සිදු වන බැවින් මුදල් අංශය පාලනය හරහා ආර්ථිකය මෙහෙයවීමේ හැකියාව රජයට පවතී. එහෙත්, මුදල් සඳහා ද වෙළෙඳපොළවල පවතින බැවින් රජයට හිතෙන ආකාරයට මුදල් පාලනය කිරීම අසීරු වෙයි.
මුදල් නිෂ්පාදනයේ ස්වරූපය 

  • මුදල් නිෂ්පාදනය හුදෙක් ණය හරහා සිදු වෙයි. එය රජය, බැංකු සහ මහ බැංකුව විසින් සිදු කෙරේ. රජය විසින් නිපදවන මුදල් රාජ්‍ය සුරැකුම්පත් ය. බැංකු විසින් නිපදවන මුදල් බැංකු තැන්පතු සහ ණය වගකීම් ය. මහ බැංකුව විසින් නිපදවන මුදල් යනු  සංචිත මුදල් හෙවත් කාසි සහ නෝට්ටු සහ සංචිත ගිණුම් ශේෂයන් ය. කාසි සහ නෝට්ටු හැර ඉතිරි මුදල් සියල්ල ඩිගිටල් හෙවත් ගිණුම් මුදල් ය. මෙම මුදල් වර්ගයන් එකෙනෙක සමඟ මිලක් හෝ පිරිවැයක් මත හුවමාරුවීම හරහා මුදලේ කාර්යයන් ඉටු කෙරේ. එබැවින්, ආර්ථිකයේ ණය පාලනය කිරීම යනු මහජනයා අතර සංසරණය වන මුදල් ප්‍රමාණය පාලනය කිරීමකි.

  • ඊළඟට අප විමසිය යුතු වන්නේ, ආර්ථිකයේ ණය ප්‍රවාහයක් පවතින්නේ ඇයි ද? යන්න යි. එය, රාජ්‍ය අයවැය හිඟය සහ පෞද්ගලික අයවැය හිඟය හේතුවෙන් පවතී. විදේශ මුදල් හිඟය ද එහි අන්තර් ගත වෙයි. එනම්, විදේශ ණය හරහා ලැබෙන විදේශ මුදල් මහ බැංකුව විසින් මිල දී ගෙන මුදල් මුද්‍රණය කිරීම ද විදේශ මුදල් සුරැකුම් මත ණය දීමකි. ඊට හේතුව, නැවත විදේශ මුදල් අවශ්‍ය විට සැපයීම මහ බැංකුවේ වගකීම වන බැවිනි. එය පැහැර හැරිය හොත්, විනිමය අනුපාතය රැකීමට මහ බැංකුවට නොහැකි වනු ඇත. 2022 මාර්තු මස ශ්‍රී ලංකාවේ සිදු වූයේ එය යි.

  • ඒ අනුව, ආර්ථිකයක සිදු වන මුදල් නිෂ්පාදනය පහත ලෙස බිම් සටහනකින් හඳුනා ගත හැකිය.


මුදල් ක්‍රමය සහ විශ්වාසය 
  • මෙම සියළු මුදල් නිෂ්පාදකයන් සහ මුදල්, රාජ්‍ය නීති හරහා නියාමනය වෙයි. නෛතික මුදල් ඒකකය සහ ඒ මත නිකුත් කෙරෙන කාසි සහ නෝට්ටු එහි පදනම යි. ඒ අනුව, රටක මුදල් ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ, තමා සතු මුදල් ඕනෑම වෙලාවක කාසි සහ නෝට්ටු ලෙස ලබා ගත හැකි බවට ඇති මිථ්‍යා මහජන විශ්වාසය මත ය. එබැවින්, සියළු මුදල් ගනුදෙනු කරුවන් විසින් යම්කිසි කාසි හා නෝට්ටු හෝ සංචිත මුදල් ප්‍රමාණයක් තබා ගැනීම මත මුදල් ගනුදෙනු කෙරේ. 

  • එබැවින්, නූතන මුදල් ක්‍රමයන් සංචිත මුදල් අනුපාතික ක්‍රමයන් ලෙස හැඳින්වෙයි. ශ්‍රී ලංකාවේ මුදල් ක්‍රමය 5% ක පමණ සංචිත අනුපාත ක්‍රමයක් වෙයි. එබැවින්, ඕනෑම රටක බැංකු සහ මූල්‍ය අර්බුදයන් හට ගන්නේ, මුදල් පිළිබඳ මෙම මහජන විශ්වාසය පළුදු වීම හේතුවෙන් සංචිත මුදල් ඉල්ලුම හදිසියේ ඉහළ යාමෙනි. බැංකු ද්‍රවශීල අර්බුදයක් ලෙස දැක්වෙන්නේ එම තත්ත්වය යි. එබැවින්, මූල්‍ය අර්බුදයන් විසඳිය හැකි වන්නේ, මහ බැංකුව විසින් බැංකුවලට ණය දීම හරහා හදිසි මුදල් මුද්‍රණය කොට, සංචිත අනුපාතික මුදල් ක්‍රමය පිළිබඳ ව මහජන විශ්වාසය නැවත ගොඩ නැගීමෙනි.
මුදල් ප්‍රතිලාභ, අවදානම් සහ මූල්‍ය අර්බුද 

  • වෙනත් සම්පත්වල මෙන් ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදීමේ දී මුදල් සඳහා ද ප්‍රතිලාභ සහ අවදානම් පවතී. මුදලේ මිල හෙවත් පොලී අනුපාතය තීරණය වන්නේ, එම ප්‍රතිලාභ සහ අවදානම් මිශ්‍රණය මත ය. එම ප්‍රතිලාභ සහ අවදානම්වල බහුතරය සාර්ව ආර්ථිකය සහ පොදුජන ජීවිතය අශ්‍රිතව පවතී. එය, පොලී අනුපාතයෙන් හෝ වෙනත් සූත්‍රයකින් ඇස්තමේන්තු කළ නොහැකි අතර අවබෝධ කර ගැනීම කළ හැකිය. එබැවින්, මුදල්වල සමස්ත ප්‍රතිලාභ සහ අවදානම් තුලනය කිරීම සඳහා හොඳ විනයකින් මුදල් කළමනාකරණය කළ යුතුය. 

  • කුටුම්බයන්, පුද්ගලයන්, ව්‍යාපාරයන්, රජයන් මෙන්ම ආර්ථිකයන් ද මූල්‍ය අර්බුදයන්ට මුහුණ දෙන්නේ, එම මුදල් කළමනාකරණ විනය පිරිහී ගොස් ඇති අවස්ථාවල ය. එම තත්ත්වය බංකොලොත්වීම ලෙස දැක්වෙයි. එවිට, ණය ප්‍රවාහය සංකෝචනය වීමෙන් මුදල් ක්‍රමය සහ ආර්ථිකය සංකෝචනය වී, මහජන ජීවන මට්ටම කඩා වැටෙනු ඇත. ඊට හේතුව, ආර්ථිකයේ සියළු ඒකකයන්, එනම්, කුටුම්බ, ව්‍යාපාරික සහ රජය, මුදල් ගනුදෙනු හරහා එක් දාමයක ගැට ගැසී ඇති බැවිනි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රාශියක් 2022 වර්ෂයේ සිට මුහුණ දෙන ආර්ථික අර්බුදය එය යි. මෙහි පුදුමය වන්නේ, මූල්‍ය අර්බුදයන් වැලැක්වීමේ විශේෂිත නෛතික වගකීම භාර මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශයන් බලා සිටිය දී, මහ දවල් අර්බුදයන් පතිත වීම යි. එබැවින්, ආර්ථික අර්බුදයකින් පසු, ඉන් ගොඩ ඒම සඳහා ණය මෙන්ම නිෂ්පාදන ක්‍රියාකාරකම් මොඩලය ද ප්‍රතිසැකසිය යුතුය. ඒ සඳහා දශයකට වැඩි කාලයක් ගත වනු ඇත.

    • ලෝකයේ වත්මන් මානව සංවර්ධනය කෙරෙහි මිනිස් අවශ්‍යතාවන් ඉටු කිරීම පිණිස නිෂ්පාදන ක්‍රියාකාරකම් පවත්වා ගැනීම සඳහා මුදල් නිෂ්පාදනය සහ ව්‍යාප්තිය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති බොහෝ සේ දායක වී ඇත. එහි පදනම ලෙස රාජ්‍ය අයවැය, මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය සහ බැංකු නියාමනයේ මනා සම්බන්ධීකරණය දැකිය හැකිය. එසේම, මුදල් කළමනාකරණ විනය පිරිහීම හේතුවෙන් සෑම රටකම වාගේ කලින් කලට මූල්‍ය සහ ආර්ථික අර්බුදයන් පතිත වී ඇති අතර රජයේ උපකාරයෙන් සහ ශක්තියෙන් නැවත ඉන් ගොඩ පැමිණ ඇත. එය, හුදෙක් රජය, අයවැය සහ ආර්ථිකය සංකෝචනය කරන බාහිර ආර්ථික IMF ණය වැඩසටහන් මගින් කළ නොහැකි බව රටවල අත්දැකීම්වලින් තහවුරු වෙයි.

    • මූල්‍ය අර්බුදයන් යනු යම් කාලයක් තුළ ආර්ථිකයෙහි ආදායම් වර්ධනයට වඩා අධික ණය බුබුලක් ප්‍රසාරණය වී පුපුරා යාම බව පිළි ගැනේ. එය කලින් හඳුනා ගැනීම සඳහා මහ බැංකු විසින් මූල්‍ය ස්ථායිතා දත්ත ලෝකයක් භාවිතා කළ ද, ණය බුබුල පිපිරී, යම් කාලයක් යන තෙක්ම, එය හඳුනා ගැනීමට කිසිම මහ බැංකුවක් මෙතෙක් සමත් වී නැත. ඊට හේතුව, මූල්‍ය පද්ධතිය ශක්තිමත් සහ ස්ථායී බව දැක්වීම මහ බැංකුවල නිරන්තර පුරුද්ද වීම යි. ඒ සඳහා යම් යම් ඉලක්කම් ද ඉදිරිපත් කෙරේ. මහ බැංකු විසින් කුමන දත්ත භාවිතා කළ ද, මෙහි මූලික ගැටළුව වන්නේ, ණය ප්‍රසාරණයක් කුමන මට්ටමේ දී අවදානම්කාරී ණය බුබුලක් වේ ද? යන්න නිගමනය කිරීමට කිසිම නිර්නායකයන් මහ බැංකු සතු නොවීම යි.

    • ඊට හොඳම උදාහරණය වත්මන් ශ්‍රී ලංකා මූල්‍ය අර්බුදය යි. 2021 ආරම්භයේ සිට මූල්‍ය අර්බුදයේ සංඥාවන් දුටුව ද, 2022 අප්‍රේල් මස ආරම්භ වන විට ද මහ බැංකුව කිසිම ප්‍රකාශයක් කළේ නැත. වත්මන් මහ බැංකු අධිපති විසින් තනතුර භාර ගත් විගස ප්‍රකාශ කළේ, පසුගිය රජයේ මැදිහත්වීම මත රුපියල් බිලියන 200 ක් මුද්‍රණය කළ බැවින් අර්බුදය හට ගත් බව යි. ඔහු විසින් 2022 අප්‍රේල් 12 දින විදේශ ණය පැහැර හරිණු ලැබුවේ, IMF සමඟ එකතු වී මාස හතරකින් ණය ප්‍රතිව්‍යුහගත කොට IMF ණය ලබා ගෙන, නැවත ආර්ථිකය යාවත්කාලීන කරන බව පවසමිනි. ඒ සඳහා ආර්ථිකයේ පොලී අනුපාතයන් ද 30% දක්වා ඉහළ නංවන ලදි. 

    • එසේම, IMF ණය වැඩසටහන තුළින් දැන් ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බවත්, මෙම වැඩසටහන වෙනස් කළොත්, නැවත අර්බුදය හට ගන්නා බවත් ඔහු විසින් දේශපාලනික ස්වරූපයේ ප්‍රකාශයන් නිකුත් කොට ඇත. එහෙත්, එවැනි අවස්ථාවක් පිළිබඳ ව දත්ත හෝ එය නිරාකරණයට මහ බැංකුව විසින් ගනු ලබන කිසිම ක්‍රියා මාර්ගයක් හෝ පිළිබඳ ව ප්‍රකාශයක් හෝ තහවුරුවක් තවම ඉදිරිපත් කොට නොමැත. එවැනි අවදානමක් පවතී නම්, රජයට දෝෂාරෝපණය කිරීම නොව, එය වැලැක්වීමේ මූල්‍ය ස්ථායිතා ප්‍රතිපත්ති ගැනීම මහ බැංකුවේ වගකීම යි. එය, මුදල් ක්‍රමය පිළිබඳ ව මහජන විශ්වාසය අරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය ය. එසේ නැතිව, මහ බැංකු ආර්ථික මතයන්ට ගැලපෙන පරිදි රාජ්‍ය ප්‍රතිපත්තිවලට මැදිහත්වීමේ අධිකාරියක් මහ බැංකුවට නොමැත. ඊට හේතුව, මහ බැංකු ආර්ථික මතයන් ආර්ථික දෙවියන් විසින් නිර්දේශ කරන ඒවා නොවන බැවිනි. ආර්ථිකයක් යනු විශ්වාසය මත ක්‍රියාත්මක වන වෙළෙඳපොළ පද්ධතියක් වන බැවින් යම් යම් පුද්ගලයන්ගේ අදහස් අනුව එක්වර ආර්ථික අර්බුදයන් හට නොගනී. මුලින් දැක්වූ පරිදි අර්බුදයක් එසේ නිවැරදිව පුරෝකතනය කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැත.

    • සංවර්ධිත රටවල දැකිය හැකි ඉහළ ජීවන තත්ත්වය, එසේ කාර්යක්ෂම ලෙස මුදල් ක්‍රමය භාවිතා කිරීමේ සෘජු ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකාව වැනි රටවල පහළ සංවර්ධන සහ නොදියුණු ජීවන තත්ත්වය ද, මුදල් ක්‍රමය එසේ භාවිතා නොකිරීමේ සෘජු ප්‍රතිඵලයකි. මීට හොඳම උදාහරණය ලෙස රාජ්‍ය විදේශ ණය හරහා මුදල් ක්‍රමය ඩොලර්කරණය වීම හේතුවෙන් 2022 දී පතිත වූ රාජ්‍ය ණය සහ විදේශ මුදල් අර්බුදය දැක්විය හැකිය. එහි ආදීනව පිළිබඳ ව විශේෂයෙන් කිව යුතු නැත.

    ග්‍රන්ථයේ අන්තර්ගතය  

    මෙම ග්‍රන්ථය තුළින් දිග හැරෙන්නේ, ශ්‍රී ලංකාව පිළිබඳ වූ එම කථාන්දර යි. එය පහත දැක්වෙන ලෙස බෙදා ඉදිරිපත් කෙරේ.

    කතුවරයාගේ පණිවුඩය

    01 අත්වැල - මුදල් පරිසරය: පැහැදිලි ?

    ආර්ථික සම්පතක් ලෙස මුදල් භාවිතය, මුදල් නිෂ්පාදනය සහ නවීකරණය, මුදලක ආර්ථික මෙහෙවර, මුදල් නිෂ්පාදන ව්‍යුහය, මුදල් ගනුදෙනු පද්ධතිය, මූල්‍ය පද්ධතිය, මුදල් ගනුදෙනු අවදානම්, මුදල් සහ උද්ධමනය

    02 අත්වැල - මුදල් හඳුනා ගැනීම: පහසු ද?

    මුදල් ආර්ථික සම්පතකි, මුදල්වල ආර්ථික කාර්යයන්, මුදල් ගවේෂණය සහ පරිණාමය, නූතන මුදල් වර්ගයන්

    03 අත්වැල - මුදල් නිෂ්පාදනය: ඵල දායක ද?

    ශ්‍රී ලංකා බැංකු සහ මූල්‍ය ආයතන පද්ධතිය, මහ බැංකුව විසින් මුදල් නිෂ්පාදනය, වාණිජ බැංකු විසින් මුදල් නිෂ්පාදනය, රජය විසින් මුදල් නිෂ්පාදනය, ඡායා බැංකු විසින් මුදල් නිෂ්පාදනය, මුදල් නිෂ්පාදනය ඇස්තමේන්තු කිරීම, මුදල් නිෂ්පාදනයෙහි වත්මන් ව්‍යුහාත්මක අවදානම්

    04 අත්වැල - මුදල් ගෙවුම් සහ පියවුම්: විශ්වාස දායක ද?

    ගෙවුම් පද්ධතියක ස්වරූපය, ශ්‍රී ලංකාවේ ගෙවුම් පද්ධතීන්, මුදල් ගෙවුම් පද්ධතිවල ආර්ථික වැදගත්කම

    05 අත්වැල - මූල්‍ය වෙළෙඳපොළ: කාර්යක්ෂම ද?

    මූල්‍ය වෙළෙඳපොළවල ස්වරූපය, මුදල් වෙළෙඳපොළ, ප්‍රාග්ධන වෙළෙඳපොළ, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ

    06 අත්වැල - මූල්‍ය අවදානම්: වැළැක්විය හැකි ද?

    අවදානම් මිල කිරීම, මූර්ත වටිනාකම් අවදානම, පැහැර හැරීමේ අවදානම, ද්‍රවශීල අවදානම, වෙළෙඳපොළ අවදානම, වංචා අවදානම, මෙහෙයවුම් අවදානම, පද්ධති අවදානම, බංකොලොත් භාවය, අවදානම් වැලැක්වීම සහ කළමනාකරණය

    07 අත්වැල - මූල්‍ය නියාමනය: ප්‍රයෝජනවත් ද?

    නියාමනයේ මූලික අරමුණු, ශ්‍රී ලංකාවේ මූල්‍ය නියාමන අධිකාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නියාමනය, රාජ්‍ය මූල්‍ය නියාමනය, මූල්‍ය නියාමන වගකීම, ණය, මූල්‍ය සහ ආර්ථික අර්බුදයන්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල 2022 රාජ්‍ය ණය සහ විදේශ මුදල් අර්බුදය

    අත්වැල් අතිරේකය - බිම් සටහන් 09

    මුදලේ ආර්ථික මෙහෙවර, මුදල් ගවේෂණය සහ පරිණාමය, මුදල් නිෂ්පාදනය, මුදල් නිෂ්පාදන මූලයන්, සංචිත මුදල් නිෂ්පාදනය, ගෙවුම් සහ පියවුම් පද්ධතිය, මූල්‍ය වෙළෙඳපොළ, මූල්‍ය අවදානම්, මූල්‍ය නියාමනය

    ඡන්ද පොරොන්දු ඉටු කිරීමට මුදල් සෙවීම 

    • මෙම කථාන්දරය පියවි සිහියෙන් කියවන ඕනෑම කෙනෙකුට අවබෝධ විය යුතු කරුන වන්නේ, මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති සියළු ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හි කිසිම සාර්ව ආර්ථික වටිනාකමක් නොමැති බව යි. ඊට හේතුව, මහජනයා සිහිනයකින් පවා නොදකින තරම් ඉහළ ආර්ථික සංවර්ධනයක් සහ ජීවන මට්ටමක් ඉදිරි පස් අවුරුද්ද තුළ ලබා දීමට, වත්මන් මුදල් ක්‍රමය තුළ මුදල් සොයා ගන්නා ආකාරය නොදැක්වෙන බැවිනි. 

    • එසේ පොරොන්දු වන සංවර්ධනය, ඇමෙරිකාවේ ජීවන මට්ටමටත් එහා යන සුහුරු ලෝකයකි. සමහර පොරොන්දු මේ දිනවල ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා විසින් ඉදිරිපත් කරන ඡන්ද පොරොන්දුවලට ද සමරුපී වෙයි. එහෙත්, වසර 76 ක් ඡන්ද පොරොන්දු දන්නා බහුතර ජනයා රජයකින් බලා පොරොත්තු වන්නේ, සහල්, සීනි, පිටි, පොහොර වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩයන් සහන මිලකට ගැනීමත්, අසනීපයට රජයේ ආරෝග්‍යශාලාවලින් බෙහෙත් ටිකක් ගැනීමත්, හොඳින් උගන්වන රජයේ පාසලකට ළමයින් යැවීමත් වැනි එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්නා සහන ටිකක් සමඟ දේශපාලනික බියෙන් තොරව ජීවත්වීම පමණි. පොරොන්දු පරිදි එවැනි සංවර්ධිත රටක් සැපයූවත්, සිහිනයකින් වත් නොදකින එවැනි සුවපහසු ජීවිතයකට හුරු වීමට බොහෝ දෙනාට බොහෝ කාලයක් ගත වනු ඇත. 

    • එහෙත්, එම සංවර්ධනයට අවශ්‍ය මුදල්, ණය හෝ ප්‍රදාන ලෙස දෙවියන් විසින් සපයන්නේ නැත. උද්ධමනය භීතිකාවෙන් පෙළෙන ස්වාධීන මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කරන්නේ ද නැත. එසේ මුදල් මුද්‍රණයට නෛතික බලයක් ද වර්ෂයක් පිරෙන වත්මන් නව මහ බැංකුවට නොමැත. දැනට මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කරන්නේ, බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ගේ එදිනෙදා මුදල් ව්‍යාපාරයන්ට අවශ්‍ය හිඟ සංචිත සැපයීම සඳහා පමණි. වත්මන් රජය විසින් 2022 අප්‍රේල් 12 දින සිට නීති විරෝධී ලෙස විදේශ ණය පැහැර හැරීම නිසා සුපුරුදු විදේශ ණය රෝල නැවත පණ ගැන්වීම ද පහසු නොවේ. සමස්තයක් ලෙස ගත් විට, ශ්‍රී ලංකාවේ ආර්ථික සහ පොදුජන සංවර්ධනය පසුගිය දශක කිහිපය පුරා වළකා ඇති වත්මන් මුදල් ප්‍රශ්නය කුමක් ද? යන්න පවා කිසිම අවබෝධයක් ඔවුන්ට නොමැති බව, එම ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ගෙන් මනාව පැහැදිළි වෙයි.

    • එම මුදල් ප්‍රශ්නය යනු දශක ගණනාවක් පුරා රජය විසින් විනිමය අනුපාතය පාලනය කිරීමට, රාජ්‍ය විදේශ ණය මගින් ඩොලර් සෙවීම හරහා මුදල් ක්‍රමය ඩොලර්කරණය කොට, ස්වෛරිත්ව  මුදල් බලය අක්‍රීය කිරීම යි. ආර්ථික සංවර්ධනයට අවශ්‍ය ලෙස මුදල් නිපදවීම සහ ව්‍යාප්ත කිරීමට ඇති මූලික බාධකය හෝ විෂම මුදල් චක්‍රය හෝ මුදල් උගුල එය යි (විශේෂ ලිපිය මෙතනින් කියවන්න). එහෙත්, සෑම මැතිවරණ ප්‍රකාශයකම දැක්වෙන්නේ, IMF හරහා විදේශ ණය යාවත්කාලීන කිරීම තුළින් ඩොලර්කරණය අඛණ්ඩව පවත්වා ගැනීමේ උත්සාහයකි. 

    • මැතිවරණ පොරොන්දුවල දක්වෙන සංවර්ධන ක්‍රියාකාරකම් පරිමාව දෙස බලන විට, ඒ සඳහා ඇමෙරිකානු මහ බැංකුව විසින් මේ දක්වා නිකුත් කොට ඇති ඩොලර් ට්‍රිලියන 5.7 ක් පමණ වූ සංචිත මුදල් ප්‍රමාණයෙන්, 25% ක් වත් ශ්‍රී ලංකාවට අවශ්‍ය විය හැකිය. එය සැපයීමට IMF කළමනාකරණ අධ්‍යක්ෂක වරියට හෝ ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් වරියට හෝ හැකියාවක් නොමැත. ඇමෙරිකානු රජය හෝ  IMF සමඟ කිසිම ප්‍රතිපත්ති ගනුදෙනුවලට ඇමෙරිකානු මහ බැංකු අධිපති සහභාගී නොවන බැවින් ඇමෙරිකානු මහ බැංකුව කෙරෙහි ද කිසි බලාපොරොත්තුවක් තැබිය නොහැකිය. ඉන් පෙනී යන්නේ, මුදල් හිඟය හේතු කොට සියළු මැතිවරණ ප්‍රකාශයන් අසමත් වන බව යි.

    • මහජන සංවර්ධනය ඉහළ දැමීමට ප්‍රතිපත්ති, ඉලක්ක, පොරොන්දු සහ දේශපාලනික දැක්මන් මහජනයාට නිකුත් කිරීමේ කිසිම වැරද්දක් නොමැත. එහෙත්, ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පමණින් මුදල් සපයා ගැනීම සඳහා ආර්ථිකයේ මුදල් නිෂ්පාදන අංශය නවීකරණයට, මෙහෙයවීමට සහ යහකළමනාකරණයට නොහැකි නම්, රාජ්‍ය ප්‍රතිපත්ති සහ සැලසුම්වල විශ්වාසනීයත්වය බිඳී යනු ඇත. එසේ මුදල් සපයා ගැනීමට නව ණය ප්‍රසාරණය කළ යුතුය. බදු ඉහළ දැමීමෙන් මුදල් සපයා ගැනීමටද ආර්ථිකයේ නව මුදල් මුද්‍රණයක් අවශ්‍ය ය. එබැවින්, පැරණි උද්ධමන මතවාදයන්ට භක්තිමත්ව, මුදල් අංශයට සහ මහ බැංකුවට බිය වී, රාජ්‍ය අයවැය සහ ණය කපා හැරීම මගින් එවැනි සංවර්ධනයක් මහජනයාට ලබා දිය නොහැකිය. එවිට, මහජන විශ්වාසය බිඳී යාමෙන්, පවතින දේශපාලන ක්‍රමය බිඳ වැටෙනු ඇත. දැනට ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලබන්නේ, එවැනි දේශපාලනික අර්බුදයකටය. එය රාජ්‍යයක පැවැත්මට, ආරක්ෂාවට සහ අනන්‍යතාවයට තර්ජනයකි.

    එබැවින්, මෙම නව ග්‍රන්ථය තුළින් තම නිෂ්පාදන ක්‍රියාකාරකම්වලට අවශ්‍ය මුදල් අවබෝධයෙන් කළමනාකරණය කර ගැනීමට  ප්‍රයෝජනවත් අත්වැළක් සියළු මහජනයාට සැපයෙන බව මගේ විශ්වාසය යි.

    එය, මුදල් පිළිබඳ න්‍යායාත්මක දැනුමක් ඇති අයට ප්‍රයෝගික දැනුමක් ලැබීමට ද, ප්‍රයෝගික දැනුමක් ඇති අයට තම දැනුම සැක හැර සනාථ කර ගැනීමට ද මහත් රුකුලක් වනු ඇත.

    පි සමරසිරි

    [ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

    හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

    (හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරැකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

    Comments

    Popular posts from this blog

    මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

    සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

    රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස