ඡන්ද පොරොන්දුවල ආර්ථික විද්‍යාවක් තිබේ ද? කොතරම් විශ්වාසනීය ද?

 


ලිපියේ පසුබිම සහ අරමුණ 

මේ දිනවල ඉදිරිපත්වන ඡන්ද පොරොන්දුවල ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ස්ථායිකරණය සහ ඒ ආශ්‍රිත කථාන්දරයන් රාශියක් නිර්මාණය වී ඇත. ඒවා, පොදුජනයාට සතුටින් පිරුණ ඉහළ ජීවන මට්ටමක් සැපයීම කේන්ද්‍ර කොට ඉදිරිපත් වී ඇත. ආර්ථික විද්‍යා මූලධර්මයන් අනුව එවැනි ජීවන තත්ත්වයක් ලැබීම හුදෙක් ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාකාරකම් මත තීරණය වෙයි. නිෂ්පාදන ක්‍රියාකාරකම් යනු විවිධාකාර මිනිස් උවමනාවන් ඉටු කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පරිහරණය කිරීමේ මහජන හැසිරීම යි.

යම් කාලයක් තුළ කෙරෙන නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ස්වභාවය, ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ස්ථායිකරණය මත පදනම් වෙයි. එබැවින්, දේශපාලන අපේක්ෂකයන් විසින් ජීවන තත්ත්වය ඉහළ දැමීම පිළිබඳ පොරොන්දු දීමේ පදනම වන්නේ, ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ස්ථායිකරණය යනාදිය රජයේ ජීවන තත්ත්ව ඉලක්කයන්ට ගැලපෙන ලෙස පාලනයට සහ මෙහෙය වීමට රජයට හැකියාව පවතින බව යි. ඒ සඳහා රජයන් විසින් කෙරෙන උත්සාහයන් ආර්ථික කළමනාකරණය ලෙස හැඳින් වෙයි.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, එසේ ආර්ථික කළමනාකරණය කිරීමේ ආර්ථික විද්‍යා පදනම සහ ඡන්ද පොරොන්දුවල විශ්වාසනීයත්වය ඇගයීමට උපකාරී වන කෙටි සටහනක් ඉදිරිපත් කිරීම යි.

ආර්ථිකයක ස්වරූපය

ආර්ථිකයක් යනු රටේ මහජන උවමනාවන් සැපිරීම සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම් සිදුවන ව්‍යුහය යි. මෙය හුදෙක් වෙළෙඳපොළ පද්ධතියකි. එය වෙළෙඳපොළවල් රාශියක එකතුවකි. එනම්, භාණ්ඩ හා සේවා සහ ඒවා නිෂ්පාදනයට අවශ්‍ය නිෂ්පාදන සාධක වෙළෙඳපොළවල් ය. භූමිය, ශ්‍රමය, මූර්ත සහ මූල්‍ය ප්‍රාග්ධනය සහ ව්‍යවසාය සඳහා සාධක වෙළෙඳපොළවල් ක්‍රියාත්මක වෙයි. මෙම සෑම වෙළෙඳපොළක්ම ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය වන මිල ගණන් හරහා ක්‍රියාත්මක වෙයි. ඒ අනුව, ආර්ථිකයක් යනු එකිනෙකට සම්බන්ධිත වෙළෙඳපොළවල් රාශියක එකතුවකි.

ආර්ථිකයක සමස්ත ප්‍රතිඵලය වන්නේ, උවමනාවන් ඉටු කිරීම මගින් මහජනයා සතුටට පත් කිරීම යි. එහි පදනම වනුයේ, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, රැකියා, ආදායම් සහ ආදායම් උපයෝජන මට්ටම යි. උපයෝජනය යනු නිෂ්පාදන පරිමාව පරිභෝජනය, ඉතිරි කිරීම සහ ආයෝජනය කිරීම යි. ආර්ථිකයෙහි හෝ රටක ජීවන මට්ටම යනු එමගින් ලබන සතුටු මට්ටම යි.

මෙහි දී, කුමන උවමනාවන්, කුමන මට්ටමින් ඉටු කිරීමට ආර්ථිකය සමත් වෙයි ද? යන්න ආර්ථිකයෙහි නිෂ්පාදන සම්පත් හෝ සාධක තොගය සහ වෙළෙඳපොළ කාර්යක්ෂමතාවය මත තීරණය වෙයි. එය, විදේශ රටවල ජීවන මට්ටම් සමඟ ඉලක්ක කිරීම දැකිය හැකිය.

උදාහරණ ලෙස ප්‍රාථමික සභ්‍යත්වයන්වල සිදු වූ ස්වභාවික දරු උපත් සහ පෝෂණයෙන් නූතන මහජනයා සෑහීමකට පත් වන්නේ නැත. ඒ සඳහා නූතන විද්‍යාවේ පහසුකම් සෙවීමේ අවශ්‍යතාවන් පැන නැගී ඇත. අවම වශයෙන් වෛද්‍ය පරීක්ෂණ සහ රජයේ රෝහලක දී දරු ප්‍රශුතිය සඳහා වුවමනාවන් පවතී. එහෙත්, ප්‍රාථමික ලෙස නිවසේ සිදු කෙරෙන ස්වභාවික දරු උපත් ද වාර්තා වෙයි. ඇඳුම් පැළඳුම්, ආහාර පාන, නිවාස, ගමනාගමනය, සංනිවේදනය වැනි සෑම ජීවන වුවමනාවකම ඉහළ මට්ටමේ දිගු පරාසයක් පවතී. එය, ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ ජීවන මට්ටම් අතර වෙනස තුළින් පැහැදිළි වෙයි.

සමස්ත නිෂ්පාදන ව්‍යුහය 

ආර්ථිකයෙහි නිෂ්පාදන ක්‍රියාකාරකම් ආශ්‍රිත වෙළෙඳපොළවල් විශාල සංඛ්‍යාවක් පවතී. එහි සමස්ත ප්‍රතිඵලය යනු මුළු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ එය උපයෝජනය යි. මුළු නිෂ්පාදනය යනු සමස්ත සැපයුම යි. මුළු උපයෝජනය යනු සමස්ත සැපයුම සඳහා පවතින සමස්ත ඉල්ලුම යි. ඒ අනුව, සැපයුම සහ ඉල්ලුම මගින් තීරණය වන සමස්ත හෝ පොදු මිල මට්ටක් තුළින් ආර්ථිකය ක්‍රියාත්මක වනු ඇත. එම මිල මට්ටම යනු සියළු වෙළෙඳපොළවල මිල ගණන්වල ප්‍රතිඵලයකි.

ආර්ථිකයක සමතුලිතය ලෙස දැක්වෙන්නේ, සමස්ත සැපයුමට සමාන සමස්ත ඉල්ලුමක් පවතින ආර්ථික තත්ත්වය යි. ඉල්ලුම සහ සැපයුම අතර අසමතාවයක් පවතින විට මිල මට්ටම වෙනස් වනු ඇත. අධිඉල්ලුමක් පවතින විට, මිල මට්ටම ඉහළ යනු ඇත. උද්ධමනය ලෙස දැක්වෙන්නේ මෙම අධිඉල්ලුම් තත්ත්වය යි. අධිසැපයුම් තත්ත්වයක් පවතින විට, පොදු මිල මට්ටම පහළ යනු ඇත. මෙය අවධමනකාරි තත්ත්වයක් ලෙස දැක්වෙයි.

නිෂ්පාදන ව්‍යුහය සහ ක්‍රියාකාරකම් විශ්ලේෂණයේ දී ඉතා ප්‍රචලිත සංකල්පයක් වනුයේ, රටක නිෂ්පාදිතය හෝ ආදායම උපයෝජනයේ ව්‍යුහය යි. මෙහි දී රටක නිෂ්පාදන උපයෝජනය  පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය සහ විදේශීය අංශය අතර බෙදී යන ආකාරය සොයා බැලේ. එනම්, පෞද්ගලික වියදම, රාජ්‍ය වියදම සහ ශුද්ධ අපනයන යනාදිය සඳහා නිෂ්පාදනය උපයෝජනය කෙරේ.  එමගින්, සමස්ත නිෂ්පාදනය ක්‍රියාකාරකම් කෙරෙහි පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය සහ විදේශ වෙළෙඳ ක්‍රියාකාරකම් බලපාන ආකාරය විග්‍රහ කෙරේ.

පෞද්ගලික වියදම යනු රජයට බදු ගෙවීමෙන් පසු පෞද්ගලික පරිභෝජනය සහ ආයෝජනය යි. රාජ්‍ය වියදම යනු බදු ආදායම ඉක්මවා යන රජයේ පරිභෝජන සහ ආයෝජන වියදම හෙවත් අයවැය හිඟ යි. ශුද්ධ අපනයන යනු ආර්ථිකයෙහි සමස්ත භාණ්ඩ හා සේවා අපනයන සහ ආනයන අතර වෙනස යි. මෙය රටේ ගෙවුම් ශේෂයෙහි ජංගම ගිණුම් ශේෂය ලෙස දැක්වෙයි. 

ආර්ථිකය සහ ජීවන මට්ටම කෙරෙහි පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය සහ විදේශීය අංශය බලපාන ආකාරය විග්‍රහ කිරීමට ආර්ථික විද්‍යාඥයන් විසින් භාවිතා කෙරෙන විග්‍රහ මෙවලම වන්නේ මෙය යි. උදාහරණ ලෙස වත්මන් රාජ්‍ය ණය සහ විදේශ මුදල් අර්බුදයේ මූලයන් ලෙස කාලයක් තිස්සේ පැවති නිෂ්පාදන සහ ආදායම් මට්ටමට දැරිය නොහැකි රාජ්‍ය අයවැය හිඟය සහ විදේශ වෙළෙඳ හිඟය දැක්වෙන්නේ, මෙම විශ්ලේෂණය පදනම් කර ගෙන ය

මෙම විශ්ලේෂණයෙහි දළ නිගමනය වන්නේ,  රාජ්‍ය අයවැය හිගයක් පවතින විට, එය පියවීම සඳහා පෞද්ගලික අංශය විසින් ආයෝජනයට වඩා ඉතිරි කිරීමේ අතිරික්තයක් සහ විදේශීය අංශයේ හිගයක් තුළින් සම්පත් සැපයිය යුතු බව යි. එබැවින්, පෞද්ගලික සහ විදේශ අංශවල අසමතුලිතතාවය පහළ දැමීම සඳහා රාජ්‍ය අයවැය හිඟය පහළ දැමීමේ අවශ්‍යතාවය ඉදිරිපත් කෙරේ.

ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ස්ථායිකරණය

මේවා ඡන්ද පොරොන්දුවල මෙන්ම සාර්ව ආර්ථික විග්‍රහවල නිරන්තරයෙන් දැක්වෙන සංකල්පයන් තුනකි. 

ආර්ථික වර්ධනය යනු නිෂ්පාදනය හෙවත් සැපයුම් පරිමාව ඉහළ යාම යි. උදාහරණ ලෙස පසුගිය වසරේ සමස්ත නිෂ්පාදනය ඒකක 100 ක් ද, මෙම වසරේ එය 105 ක් ද වෙයි නම්, ආර්ථික වර්ධනය 5% කි. ආර්ථික වර්ධනය තුළින් රැකියා, ආදායම් සහ වියදම් වර්ධනය කෙරේ. එමගින්, ජීවන මට්ටම ඉහළ යනු ඇත. මෙහි දී, කුටුම්බ අතර නිෂ්පාදන ආදායම් ව්‍යාප්ත වීමේ ස්වභාවය නොසැලකේ.

ආර්ථික සංවර්ධනය යනු කාලයක් පුරා අඛණ්ඩ වර්ධනය තුළින් රටේ ඉහළ නිෂ්පාදන, ආදායම් සහ ජීවන මට්ටමක් ලඟා කර ගැනීම යි. මෙහි දී, ඉහළ ආදායම් රටවල පවතින ජීවන මට්ටම් ඉලක්ක කෙරේ.

ආර්ථික ස්ථායිකරණය යනු යම් යම් කාලවල සමස්ත සැපයුම සහ ඉල්ලුම අතර විශාල පරතරයක් හෝ අසමතාවයක් හට ගත් විට, එය තුලනයක් කරා මෙහෙයවීම යි. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ 2022 ආර්ථික අර්බුදය යනු සමස්ත සැපයුම කඩා වැටීම සහ ඉල්ලුම ඉහළ යාම තුළින් හට ගත් දැඩි ආර්ථික අස්ථායිතාවයක් බවත්, IMF ණය වැඩසටහන මගින් රාජ්‍ය අයවැය සහ පෞද්ගලික වියදම පාලනය හරහා ආර්ථිකය නැවත ස්ථායිකරණය කොට ඇති බවත් රජය විසින් දැක්වෙයි. එනම්, ඉහත දැක්වූ නිෂ්පාදන උපයෝජන විග්‍රහය භාවිතා කිරීම යි.

ආර්ථික කළමනාකරණය සහ මැතිවරණ පොරොන්දු

ආර්ථික කළමනාකරණය යනු වෙළෙඳපොළ පද්ධතිය තුළින් තීරණය වන නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ ජීවන මට්ටම පොදුජනයා කෙරෙහි සාධාරණ සහ යහපත් නොවන බවට රජය තීරණය කරන අවස්ථාවල, එය රජයේ ඉලක්කවලට මෙහෙයවීම සඳහා තෝරා ගත් වෙළෙඳපොළවලට මැදිහත් වීම යි. මේ සඳහා ඉතාම ප්‍රචලිත උදාහරණය වනුයේ, රජය විසින් කෙරෙන විවිධාකාරයේ මිල පාලනයන් ය. එයට, තෝරා ගත් භාණ්ඩ හා සේවා මිල ගණන්, වැටුප්, විනිමය අනුපාතයන් සහ පොලී අනුපාතයන් දැක්විය හැකිය.

ආර්ථිකය හෝ වෙළෙඳපොළ පද්ධතිය කෙරෙහි රජයේ මැදිහත්වීම ප්‍රතිපත්ති මෙවලම් රැසක් හරහා සිදු කෙරේ. ඒවා රාජ්‍ය ව්‍යවසායන්, ව්‍යාපාර බලපත්‍ර, වෙළෙඳපොළ/නිෂ්පාදන නියාමනය, රාජ්‍ය වියදම සහ මුදල් පාලනය  ලෙස පුළුල් කාණ්ඩයන්ට බෙදිය හැකිය. ඒවා තවදුරටත් විග්‍රහය තුළින් සියළුම ආර්ථික ප්‍රතිපත්ති මෙවලම් රාජ්‍ය මූල්‍ය හෝ අයවැය සහ මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ලෙස පුළුල් කොටස් දෙකකට බෙදිය හැකිය. 

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යනු ආර්ථිකය මෙහෙයවීමට යෝග්‍ය යැයි රජය තීරණය කරන ආකාරයට රාජ්‍ය ආදායම, වියදම සහ ණය මට්ටම සහ ප්‍රවාහය පාලනය කිරීම යි. එමගින්, ආර්ථිකයේ සෑම මුල්ලක් කෙරෙහි රජයේ බලපෑම ව්‍යාප්ත කළ හැකිය. මුදල් ප්‍රතිපත්තිය යනු ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාකාරකම්වලට යෝග්‍ය පරිදි ආර්ථිකයේ මුදල් සංසරණ ප්‍රවාහය පාලනය කිරීම යි. මෙය, සියළු වෙළෙඳපොළ හෝ ආර්ථික ගනුදෙනු මුදල් ගනුදෙනු හරහා සිදු වන බැවින් මුදල් සංසරණය පාලනය කිරීම මගින් ආර්ථිකය පාලනය කළ හැකි බවට විශ්වාස මත සිදු කෙරේ. 

සමස්තයක් ලෙස ගත් විට, රාජ්‍ය ආයතන පද්ධතිය ආර්ථික කළමනාකරණ දාමයෙහි විවිධ පුරුක් වෙයි. එබැවින්, දේශපාලන නායකයන් විසින් දෙනු ලබන සියළු ඡන්ද පොරොන්දු යනු ඊට පදනම් වන පොදුජන ජීවන ඉල්ලකයන් ලඟා කර ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයන් හරහා වෙළෙඳපොළ පද්ධතියට මැදිහත් වන ආර්ථික කළමනාකරණ ක්‍රියාකාරකම් ය. එයට, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව වැනි ආයතනයන් ප්‍රමුඛ වනු ඇත.

එබැවින්, සෑම පොරොන්දුවක්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආර්ථික කළමනාකරණ මෙවලම්, ඒවායේ සංයුතිය, කාල සීමාව සහ අපේක්ෂිත ප්‍රතිඵල හෝ පොදුජන ඉලක්කයන් පිළිබඳ ව දත්ත ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශනයන් නිකුත් කළ යුතුය. එහෙත්, දැනට ඉදිරිපත් වී ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයන් යනු හුදෙක් ජීවන මට්ටම පිළිබඳ ව කෙරෙන යම් යම් පොරොන්දු පමණි.

මේ දිනවල ඇමෙරිකාවේ ජනාධිපති වරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් දෙදෙනා විසින් ද මෙවැනි පොරොන්දු දෙන බව දැකිය හැකිය. සමහර බදු පහළ දැමීම, පාරිභෝගික භාණ්ඩ මිල සහ උද්ධමනය පහළ දැමීම, මධ්‍යම පංතික නිවාස හිමිකම ඉහළ දැමීම, අවම වැටුප් ඉහළ දැමීම, පොලී අනුපාතයන් පහළ දැමීම, ආනයන බදු ඉහළ දැමීම, දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීම සහ වර්ධනය කිරීම, ගෝලීය මුදලක් ලෙස ඩොලරය ශක්තිමත් කිරීම, තරගකාරී ආර්ථික අවස්ථාවන් ප්‍රවර්ධනය සහ දුෂණය පිටු දැකීම යනා දී පුළුල් පරාසයක පොරොන්දු ඉදිරිපත් කොට ඇත.

ඩොනල්ඩ් ට්‍රුම්ප්ගේ පොරොන්දුවක් වන්නේ, රුසියාව වැනි එදිරිවාදී රටවලට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කොට, ඉහළ තීරු බදු හරහා එම රටවල් සමඟ තරග කරන බව යි. සමහර රටවලට එරෙහිව 100% ක තීරු බදු පනවන බව ප්‍රකාශ කොට ඇත. ඊට හේතුව, සම්බාධක හේතු කොට ඩොලරයේ ජාත්‍යන්තර බලය පහළ යාම සිදු වන බැවින්, ජාත්‍යන්තර මුදලක් ලෙස ඩොලරය ශක්තිමත් කිරීම හරහා ඇමෙරිකානු ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට ක්‍රියා කරන බවට පොරොන්දුව යි. සමස්ත ෆෙඩරල් රජයේ මුදල් සහ කාර්යසාදනය විගණනය කොට අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් යෝජනා කිරීම සඳහා ඇමෙරිකාවේ ඉහළම පොහොසතෙකු වන එලාන් මස්ක් ගේ සභාපතිවයෙන් යුත් කාර්යක්ෂමතා කොමිසමක් පත් කොට, රාජ්‍ය  දුෂණය පිටු දකින බව ද ඔහු විසින් ප්‍රකාශ කොට ඇත. එය එලාන් මස්ක් ගේ යෝජනාවකි.

ආර්ථික කළමනාකරණ දර්ශනයන්

ඈත අතීතයේ රජ සමයේ සිට රජයන්ගේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ ආර්ථිකයට මැදිහත්වීම  හෙවත් ආර්ථික කළමනාකරණය යි. එබැවින්, ලෝකයේ ඕනෑම රටක වත්මන් ආර්ථිකය හුදෙක් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයකි. එබැවින්, ආර්ථිකයට වෙළෙඳපොළ පද්ධතියේ දායකත්වය තීරණය වන්නේ ආර්ථික කළමනාකරණයේ පරිමාව සහ ව්‍යුහය මතය. කලින් කලට ඉදිරිපත් වී ඇති ආර්ථික විද්‍යා අදහස් අනුව ආර්ථික කළමනාකරණය පදනම් වන දර්ශනයන් හෝ නිර්දේශයන් රැසක් දැකිය හැකිය. ඉන් ප්‍රධාන ඒවා හයක් පහත දැක්වෙයි.

  • 1776 දී ඇඩම් ස්මිත් විසින් ඉදිරිපත් කළ දර්ශනය අනුව රජයේ මැදිහත් වීමෙන් තොර නිදහස් වෙළෙඳපොළ ක්‍රියාත්මක වීමෙන් මිල ක්‍රමය හරහා මහජනතාවට රජයේ මැදිහත් වීමට වඩා හොඳ ආර්ථික සුභ සාදනයක් හිමි වන බව. ඔහුට අනුව මිල ගණන් සහ ස්වාර්ථය හරහා ආර්ථිකය ස්වයං නියාමනය සහ ස්වයං ස්ථායිකරණය  වනු ඇත. ධනවාදී හෝ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය ලෙස දැක්වෙන්නේ මෙම ආර්ථික දර්ශනය යි.

  • 1867 දී කාල් මාක්ස් විසින් ඉදිරිපත් කළ දර්ශනය අනුව ප්‍රාග්ධන හෝ නිෂ්පාදන මාර්ග හිමියන් විසින් නිෂ්පාදනයට යෙදෙන බහුතර ශ්‍රමිකයාට නිෂ්පාදන වටිනාකමින් සාධාරණ කොටසක් වැටුප් ලෙස නොදීම හේතු කොට, නිෂ්පාදන ආදායම සුළු පිරිසක් වෙත සංකේන්ද්‍රණය වීම සහ බහුතර ශ්‍රමික ජීවන මට්ටම පහළ මට්ටමක පවතින බව. එබැවින්, මෙම මාක්ස්වාදය මත පදනම් වී ධනවාදයට එරෙහි දේශපාලන ක්‍රියාකාරීන් විසින් රජයේ මැදිහත් වීමෙන් සමාජවාදය හෙවත් කොමිනිස්ට් ආර්ථික ක්‍රමයන් ඇති කිරීමේ දර්ශනයන් ක්‍රියාත්මක කිරීම දැකිය හැකිය. එහෙත්, කාල් මාක්ස් විසින් සමාජ හෝ දේශපාලනික විප්ලවයන් නිර්දේශ නොකළ අතර, ඔහුගේ දර්ශනය වූයේ පවතින නිෂ්පාදන ක්‍රමය බහුතර ශ්‍රමයේ වාසියට කඩා වැටෙන බව යි.

  • 1936 දී ජෝන් මෙනාඩ් කේන්ස් විසින් අවපාත සහ පසුබැසීම්වලින් ආර්ථිකයන් මුදවා ගැනීම සඳහා රාජ්‍ය වියදම් ප්‍රසාරණය හරහා සමස්ත ඉල්ලුම ප්‍රසාරණය කිරීමේ නිර්දේශය. මෙය වර්තමානයේ පවා සංවර්ධිත මෙන්ම සංවර්ධනය වන රටවල් කලින් කළට අනුගමනය කෙරේ. ආර්ථිකයන් උත්තේජනය කිරීම සඳහා අයවැය හිඟය යොදා ගැනීමේ පදනම මෙම කේන්ස් වාදය යි 

  • 1970 ගණන්වල සිට ඉදිරියට පැමිණි සම්භාව්‍ය මූල්‍ය වාදී දර්ශනය අනුව මුදල් ප්‍රසාරණය තුළින් කෙටි කාලයේ ආර්ථික වර්ධනයක් ඇති කළ හැකි වුව ද, දිගු කාලයේ එය උද්ධමනයකින් කෙලවර වන බව. මෙය බොහෝ රටවල මුදල් සහ අයවැය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී භාවිතා කෙරේ.

  • 2000 දශකයේ සිට ප්‍රචලිත වන නූතන මූල්‍ය වාදීන්ගේ දර්ශනය වන්නේ, ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා මුදල් ප්‍රසාරණය හරහා රාජ්‍ය වියදම් ප්‍රසාරණය තුළින් රැකියා සහ ජීවන මට්ටම ඉහළ යන අතර එය උද්ධමනකාරී නොවන බව යි. ඔවුන්ට අනුව මුදල් ප්‍රතිපත්තිය යනු හුදෙක් රාජ්‍ය අයවැයේ කොටසකි. රජයන් විසින් මෙම දර්ශනය අප්‍රකට ලෙස භාවිතා කෙරේ. ඊට හේතුව, සම්භාව්‍ය මූල්‍ය වාදීන්ගේ දැඩි විරෝධය යි.

  • IMF මතවාදය වනුයේ, රාජ්‍ය වියදම් හෝ අයවැය හිඟය ඉහළ යාම හේතු කොට ණය සහ මුදල් ප්‍රසාරණය හරහා උද්ධමනය ඉහළ යාමත්, එමගින් ගෙවුම් ශේෂ ජංගම ගිණුමේ හිඟය ඉහළ යාම හේතු කොට විදේශ සංචිතය පහළ යාමත් හරහා ආර්ථිකයන් අර්බුදයන්ට මුහුණ දෙන බව යි. එබැවින්, IMF ආර්ථික කළමනාකරණ දර්ශනය වන්නේ, බදු ඉහළ දැමීම සහ රාජ්‍ය වියදම් කපා හැරීම තුළින් රාජ්‍ය අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය පහළ දැමීම, පොලී අනුපාත ඉහළ දැමීම මගින් මුදල් ප්‍රසාරණය පහළ දැමීම සහ විදේශ මුදල් වෙළෙඳපොළ සාධක අනුව විනිමය අනුපාතය නම්‍යශීලී ලෙස තීරණය වීමට ඉඩදීම යනාදිය යි. ඊට උපකාරයක් ලෙස විදේශ සංචිතය තර කර ගැනීම සඳහා කොන්දේසි මත පදනම් වූ මැදි කාලීන ණය මුදලක් IMF විසින් ලබා දෙයි. සමස්ත IMF ආර්ථික දර්ශනය වන්නේ, රාජ්‍ය මැදිහත්වීම අඩු කොට, පෞද්ගලික වෙළෙඳපොළ පද්ධතිය හරහා ආර්ථිකය ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසීම යි. ආර්ථික ප්‍රතිසංස්කරණ ලෙස දැක්වෙන්නේ, ඊට උපකාරී වන ආර්ථික පරිසරය රජය විසින් සැකසීම යි.

මැතිවරණ පොරොන්දු සහ ආර්ථික දර්ශනයන් 

ඉහත දැක්වූ සෑම දර්ශනයක හෝ මතවාදයක අරමුණ වනුයේ, ආර්ථිකයේ ස්ථායී වර්ධනයක් හරහා ආර්ථික සංවර්ධනය තුළින් රැකියා සහ ආදායම් වර්ධනය සහ ජීවන මට්ටම හෝ ආර්ථික සුබසාදනය ඉහළ දැමීම යි. 

එහෙත්, රටවල රජයන් විසින් ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළෙඳපොළ සහ කාල් මාක්ස්ගේ ශ්‍රම සූරාකෑම යන ආර්ථික දර්ශනයන් තම ආර්ථික කළමනාකරණයේ මට්ටම තීරණය කිරීම සඳහා භාවිතා කෙරේ. 

එබැවින්, සෑම රටක්ම එම දර්ශනයන් දෙක අතර කලින් කලට දෝලනය වීමක් දැකිය හැකිය. බොහෝ සංවර්ධිත රටවල් නිදහස් වෙළෙඳපොළ පැත්තට ද (එනම්, දකුණ), සංවර්ධනය වන රටවල් සමාජවාදී පැත්තට ද (එනම්, වම) බර වී ඇත. අනෙක් දර්ශනයන් හුදෙක් කාලයෙන් කාලයට මුහුණ දෙන ආර්ථික උත්පාතයන් සහ අවපාතයන්/පසුබැසීම්වලින් සහ විවිධ කම්පනයන් සහ අස්ථායිතාවන්ගෙන් ආර්ථිකයන් ස්ථායිකරණය කිරීම සඳහා භාවිතා කෙරේ. එහෙත්, ඒවා ද නිදහස් වෙළෙඳපොළ සහ සමාජවාදය අතර සංකලනයකි. එබැවින්, සමහර නායකයන් විසින් තමන් සමාජවාදී වෙළෙඳපොළ හෝ සමාජ වෙළෙඳපොළ වාදීන් ලෙස හඳුන්වා දීම දැකිය හැකිය.

එහෙත්, මැතිවරණ පොරොන්දු දීමේ දී, ලෝකය පුරා බොහෝ විට විවිධාකාර සමාජවාදී හෝ ඉහළ රාජ්‍ය මැදිහත් වීම මගින් අඩු සහ මැදි ආදායම්ලාභී පන්තිවල ආර්ථික සුබසාදනය ඉහළ නැංවීමේ පොරොන්දු දැකිය හැකිය. එය සමකාලීන සමාජ ආර්ථික වටිනාකම් මත තීරණය වනු ඇත. උදාහරණ ලෙස ඉහළම ධනවාදී හෝ වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින ඇමෙරිකාවේ මෙවර ජනාධිපති වරණය සඳහා ඉදිරිපත් කෙරෙන පොරොන්දු බොහොමයක් දේශීය ආර්ථික ආරක්ෂණය සහ සමාජවාදී අදහස් මත පදනම් වී ඇත. එය, "සැමට හැකියාවන්ට අනුව තරගකාරී අවස්ථාවන් සහතික කෙරෙන ක්‍රමයක්" යන ධනවාදී වටිනාකමට වෙනස් වූ පොරොන්දු වෙයි.

ශ්‍රී ලංකාවේ වත්මන් මැතිවරණ පොරොන්දු සියල්ල සුපුරුදු පරිදි අතිශයින් සමාජවාදී ස්වරූපයක් ගනී. ඒ අනුව, මහජනයාගේ ඡන්දය හුදෙක් බහුතර සමාජ ආර්ථික වටිනාකම් මත තීරණය වනු ඇත.

ශ්‍රී ලංකා මැතිවරණ පොරොන්දු සහ IMF ණය වැඩසටහන

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකය යනු දේශපාලන නායකයන් විසින් අර්බුදයක් ඇති කොට, ඔවුන් විසින්ම ආර්ථිකය නැවත ස්ථායිකරණය කරමින් පවතින බවට හුවා දක්වෙන අර්බුදකාරී ආර්ථිකයකි. එම අර්බුදය හුදෙක් විදේශ ණය සහ විදේශ මුදල් අර්බුදයකි. 

සංවර්ධනය වන රටවල මෙවැනි අර්බුදයන් ළිහිල් කිරීම හෝ වාත්තු කිරීම සඳහා පවතින පහසුම දර්ශනය වන්නේ, IMF ණය වැඩසටහන යි. එහි කිසිම ලෝ පතල දේශීය ආර්ථික විශාරදයන්ගේ හැකියාවක් හෝ දැනුමක් අඩංගු නොවේ. ඔවුන් සියල්ල IMF ණය වැඩසටහන ක්‍රියාත්මක කරන ලිපි කරුවන් වෙයි. එබැවින්, මෙවර සියළු මැතිවරණ පොරොන්දුවල හරය වන්නේ, IMF වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම යි. ඉන් ඉවත් වුව හොත්, නැවත 2022 ආර්ථික තත්ත්වයට නිසැකයෙන් ආර්ථිකය තල්ලු වන බවට මහජනයා බිය ගැන්වෙන ප්‍රකාශනයන් ද ඉදිරිපත් කෙරේ. 

එහෙත්, ජීවන මට්ටම සහ සතුට ඉහළ දැමීම සඳහා දී ඇති මැතිවරණ පොරොන්දු රැසක් IMF වැඩසටහන් දර්ශනය තුළ ඉටු කළ නොහැකි පොරොන්දු වෙයි. ඊට හේතුව, පොරොන්දු ඉටු කිරීමට මුදල් වියදම් කිරීමේ දී  අයවැය හිඟය සහ ණය ඉහළ යාම හේතු කොට IMF කොන්දේසි බිඳී යාම යි. එබැවින්, සියළු පොරොන්දුවල විශ්වසනීයත්වයක් නොමැත. ඊට හේතුව, IMF දර්ශනයේ පදනම වන්නේ, රාජ්‍ය අයවැය සහ මුදල් සංකෝචනය හරහා ආර්ථිකයේ සමස්ත වියදම කප්පාදු කොට, ආර්ථිකය සමස්ත සැපයුම මට්ටමේ ස්ථායිකරණය කිරීම යි. 

එය හුදෙක් ආර්ථිකයේ වර්ධනය, උද්ධමනය, අයවැය හිඟය, මුදල් සැපයුම, රාජ්‍ය ණය, විදේශ සංචිත සහ විනිමය අනුපාතය ඇතුළත් පරිගණක ඉලක්කම් සැලසුමකි. එබැවින්, එහි මහජන ජීවන මට්ටමට කුමක් සිදු වෙයි ද? යන්න ඇතුළත් නොවේ. එහෙත්, ආර්ථික ඉලක්කම් කුමක් වුවත්, මුදල් හිඟය හේතු කොට එමගින් මහජන ජීවන මට්ටම කඩා වැටෙන බවට මහජනතාව දැනටමත් අත් දැක ඇත.

එබැවින්, මැතිවරණ පොරොන්දුවල දිගු කාලින ආර්ථික සහ පොදුජන ජීවන සංවර්ධන පදනමක් නොමැති බවට විශ්ලේෂණය කිරීම අපහසු නොවේ.

දුෂණ පිටුදැකීමේ පොරොන්දුවල අවදානම් 

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංවර්ධනයට දැඩි බාධාවක් බවට දැක්වෙන දුෂණය පිටු දැකීම සඳහා රාජ්‍ය පාලනයේ ක්‍රමවේදයන් වෙනස් කිරීමේ පොරොන්දු ද රාශියක් දැකිය හැකිය. 

දුෂණය යනු රාජ්‍ය ආයතනික පද්ධතියේ අකාර්යක්ෂමතාවයේ සහ අධීක්ෂණ දුබලතාවයේ ප්‍රතිඵලයකි. එය ආර්ථික කළමනාකරණ ව්‍යුහය තුළ සාධක මගින් තීරණය වෙයි. දුෂණය යනු හුදෙක් රාජ්‍ය අරමුදල් සොරා ගැනීම ලෙස අදහස් වුව ද, දුෂණයේ විවිධ සැඟවුන පැතිකඩවල් පවතී. මැතිවරණ පොරොන්දු මත ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ප්‍රතිපත්ති අදාළ ආයතනයන් විසින් කඩා කප්පල් කිරීම ද දුෂණයකි. එවැනි නිදසුන් ඕනෑ තරම් පවතී.

උදාහරණ ලෙස 2022 ඔක්තෝබර් මස බ්‍රිතාන්‍යයේ පත් වූ අගමැති ලිස් ට්‍රුස් රජය විසින් බදු පහළ දැමීම සහ කුටුම්බ බලශක්ති සහනාධාරය මත පදනම්ව කඩිනම් ආර්ථික වර්ධනය සඳහා ඉදිරිපත් කළ අතුරු අයවැයට දැක්වූ විරෝධතාවය තුළින් එම රජය දින 45 කින් බිඳ වැටිණ. එය, රජය තුළ ක්‍රියාත්මක වන බලවත් ස්වාධීන ආයතන කිහිපයක බලපෑමෙන් සිදු විය. එනම්, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ ස්වාධීන අයවැය පුරෝකථන කාර්යාලය යනාදිය යි. ඊට, අතුරු අයවැයට එරෙහිව IMF ප්‍රකාශනයන් ද දායක විය. ලිස් ට්‍රුස් රජය විසින් මෙම ආයතන පද්ධතිය වෙනස් කිරීමට සාකච්ඡා කළ ද, ඊට පෙර රජය බිඳ වැටිණ. 

එබැවින්, දුෂණයට හේතු භූත වූ සාධකයන් නිරාකරනය නොකොට, නීති පනවා දුෂණය පිටු දැකිය නොහැකිය. බොහෝ විට ක්‍රම වෙනස පිටිපස නව දුෂණ චෝදනාවන් පැන නැග, උපන් ගෙයිම රජය අස්ථායි විය හැකිය. 

උදාහරණ ලෙස මහ බැංකුව විසින් අත යටින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළ පෞද්ගලික නිකුතු ක්‍රමය අවලංගු කොට, 2015 පෙබරවාරි මස ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය ඉදිරිපත් කිරීමේ දී හට ගත් නව දුෂණ චෝදනාවන් හේතු කොට, එවක යහපාලන පොරොන්දු මත පත් වූ රජය භේද බින්න වී, ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් සිදු කළ බව නොරහසකි. 

මෙහි පුදුමය වූයේ දුෂණයට එරෙහි වූ බොහෝ දෙනා විසින් කිසිම විනිවිද භාවයක් නොතිබූ පෞද්ගලික නිකුතු ක්‍රමය, ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමයට වඩා රජයට වඩාත් වාසිදායක වූ බවට හඬ නැගීම යි. එබැවින්, වෙන්දේසි හේතු කොට රජයට සිදු වූ විවිධාකාර සංකල්පීය පාඩු ගණනය කිරීම සමහරුන්ගේ විනෝදාංශය විය. එම චෝදනාව මත ණය සහ මුදල් වෙළෙඳපොළ කෙරෙහි විවිධාකාර ආතතීන් ජනිත කරන ලදි. එහි බලපෑමට නතු වූ රජය විසින් ප්‍රසිද්ධ වෙන්දෙසිවලට පරිබාහිරව පෞද්ගලික නිකුතු ක්‍රමයකට ද නැවත අවසර දෙන ලදි.

එබැවින්, අවශ්‍ය වන්නේ රාජ්‍ය පාලන හෝ ආයතනික ක්‍රමවේදයන් ක්‍රමයෙන් නවීකරණය කිරීම මිස, දුෂණ චෝදනාවන් නගා කඩි මුඩියේ වෙනස් කිරීමට උත්සාහ කිරීම නොවේ. ඒ සඳහා අවශ්‍ය අභ්‍යන්තරික දැනුමක් ද නව රාජ්‍ය පාලකයන් වෙත නොමැත. ඡන්දෙන් පත් වන මන්ත්‍රී වරුන් 225 ට සහ කඩි මුඩියේ පාලනය සඳහා පත් කර ගන්නා ඔවුන්ගේ හිතවතුන්ට එම දැනුම ලබා ගැනීම සඳහා වසර ගණනාවක් ගත වනු ඇත.

එබැවින්, පවතින ක්‍රමයන් එක් රැයකින් වෙනස් කොට, කිසිවෙකු මෙතෙක් නොදන්නා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමට යාමේ ජාතික අවදානම් ඉතා විශාල වෙයි.

එය විශේෂයෙන් රාජ්‍ය ණය සැපයුම පහළ යාම, වෙළෙඳපොළ පොලී අනුපාතයන් ඉහළ යාම, විදේශ ආයෝජන ඉවත්වීම, විනිමය අනුපාතය ඉහළ යාම, මුදල් හිඟය සහ බැංකු ණය අක්‍රීය වීම වැනි මුදල් වෙළෙඳපොළ අස්ථායිතාවය හරහා ක්ෂණිකව හට ගත හැකිය. එය නව ජනාධිපතිට හෝ 225 ට හිතු මතේ පාලනය කළ හැකි වෙළෙඳපොළක් නොවේ.

ආර්ථික කළමනාකරණ වගකීම

ආර්ථික විද්‍යා මූල ධර්මයන් සියල්ලම බිහි වී ඇත්තේ, ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළෙඳපොළේ ඉල්ලුම් සහ සැපයුම් කරුවන් ක්‍රියා කරන හෝ හැසිරෙන ආකාරය පුරෝකතනය කිරීම සඳහා ය. එබැවින්, ආර්ථික කළමනාකරණය යනු හුදෙක් ආර්ථික විද්‍යා මූල ධර්මයක් නොව, වෙළෙඳපොළට මැදිහත් වන අභිමතානුසාරී දේශපාලනික පාලන ක්‍රමයකි.

එබැවින්, සෑම ආර්ථික කළමනාකරණ මෙවලමක් ක්‍රියාත්මක කළ පමණින්, එයට පදනම් වූ මහජන සුබසාදනය නිසැකයෙන් ඉටු වන බවට සතුටු විය නොහැකිය. ඊට හේතුව, ඊට වෙළෙඳපොළ ප්‍රතිචාර දැක්වීම තුළින් වෙළෙඳපොළ ගැලපුම් වීම යි.  එය වෙළෙඳපොළ මිල ගණන් වෙනස්වීම හරහා සිදු වෙයි. එමගින්, ආර්ථික කළමනාකරණ ඉලක්කයන් අවදානමට ලක් වනු ඇත. 

මීට හොඳම උදාහරණය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් පාලනය නිරන්තරයෙන් අසාර්ථක වීම යි. එම භාණ්ඩයන්හි අතිරික්ත ඉල්ලුම පාලන මිලට සැපයීමට රජය අසමත් වන බැවින් කළු කඩය වැලැක්විය නොහැකිය. 

වත්මන් ණය සහ විදේශ මුදල් අර්බුදයේ මූලය රජය විසින් විනිමය අනුපාතය පහළ මට්ටමක පාලනය කිරීම යි. ඊට අවශ්‍ය විදේශ මුදල් රාජ්‍ය විදේශ වෙළෙඳපොළ ණය හරහා සපයා ගන්නා ලදි. රට තුළ විදේශ ණය රෝලක් පැවති අතර විදේශ ණය හිඟ වූ විට ණය පැහැර හැර, විනිමය අනුපාතය අහස උසට ඉහළ ගොස්, ආර්ථිකය අර්බුදයට තල්ලු විය. රජය විසින් අර්බුදයෙන් ආර්ථිකය ස්ථායිකරණය සඳහා කරන්නේ, එම වරදම නැවත කිරීම යි. 

එබැවින්, ආර්ථික කළමනාකරණයේ පළමු අත්‍යාවශ්‍ය අංගය වන්නේ, වෙළෙඳපොළ ප්‍රතික්‍රියා සමීකරණය හඳුනා ගෙන, ඒ අනුව ප්‍රතිපත්තිය ගැලපුම් කිරීම යි. එහෙත්, සියළු ප්‍රතිපත්ති සම්පාදකයන්ට එවැනි හැකියාවක් නොමැති අතර ක්‍රියාත්මක කරන මෙවලම් පිළිබඳ ව උදම් අනමින්, වෙළෙඳපොළවලට ද්වේශ කරමින් කාලය ගෙවනු ඇත. 

එබැවින්, ආර්ථික කළමනාකරණ මෙවලම් නිරන්තරයෙන් අසමත් වීමේ අවදානමින් පෙළෙන බව රහසක් නොවේ. ඊට හේතුව, නීති මගින් ස්වාභාවික වෙළෙඳපොළ රටාව හෝ හැසිරීම පාලනය කළ නොහැකි වීම යි. ඉහත දැක්වූ පරිදි ලෝකයේ හට ගෙන ඇති බොහෝ ආර්ථික අර්බුදයන්ගේ මූල සාධකය වන්නේ, අපරික්ෂාකාරී ලෙස කෙරෙන ආර්ථික කළමනාකරණ මෙවලම් ය.

දෙවැනි අත්‍යාවශ්‍ය අංගය වන්නේ, අසමත් වන ආර්ථික කළමනාකරණ මෙවලම් තුළින් මහජනයාට ඇතිවන ආර්ථික අලාභයන්හි නෛතික වගකීම ගන්නේ කවුරුන් ද? යන්න යි. එය අධිකරණය හරහා විසඳා ගැනීමට මහජනයාට ඉඩ දීම යහකළමනාකරණය නොවේ. ඊට හොඳම විසඳුම වන්නේ, අසමත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ අදාළ නිලධාරීන් තම මහජන අසුන්වලින් කඩිනමින් ඉවත්වීම යි. ඊළඟ මැතිවරණය එන තෙක් බලා සිටීම යහපාලන මූල ධර්මයක් නොවේ. අධ්‍යාපන සුදුසුකම්වලට වඩා එවැනි මානසික මට්ටමක් සියළු රාජ්‍ය නිලධාරීන් ප්‍රගුණ කළ යුතුය. ඊට හේතුව, රාජ්‍ය පාලනය ස්ථාපිත කොට ඇති ප්‍රජාතාන්ත්‍රික සමාජ පරිසරය යි. එබැවින්, ප්‍රජාතාන්ත්‍රික වගකීමක් රහිත ආර්ථික කළමනාකරණය සහ ඒකාධිපතිවාදය අතර වෙනසක් නොමැත.

තෙවැනි අත්‍යාවශ්‍ය අංගය වන්නේ, රාජ්‍ය ආයතන අතර ප්‍රතිපත්ති සහයෝගය ප්‍රවර්ධන යි. ඊට හේතුව, ආර්ථික කළමනාකරණ මෙවලම්වල ඇතිවන ආයතනික ගැටුම් ය. එම ආයතනයන් වෙත නෛතික ස්වාධීනත්වයක් සහ ඉලක්කයන් පවතින බැවින් ආයතනික ගැටුම් නිරාකරණය රාජ්‍ය බලය යොදා කළ නොහැකිය. මෙහි දී, මහ බැංකුව, රාජ්‍ය වාණිජ බැංකු දෙක, EPF, භාණ්ඩාගාර මෙහෙයවුම් දෙපාර්තමේන්තුව අතිශය වැදගත් වනු ඇත. ඊට හේතුව, ඔවුන් අතර මත ගැටීම තුළින් රාජ්‍ය අයවැය මෙන්ම මුදල් ක්‍රමය ද කම්පනයට පත් විය හැකි බැවිනි. උදාහරණ ලෙස නව රාජ්‍ය ප්‍රතිපත්ති හරහා ආර්ථිකයෙහි උද්ධමනකාරී තත්ත්වයක් හට ගත හැකි අවදානමක් පිළිබඳ ව මහ බැංකු ආර්ථික විද්‍යාඥයන් විසින් ස්වාධීන මතයක් ප්‍රකාශ කොට මුදල් ප්‍රතිපත්තිය හදිසියේ තද කළ හොත්, නව රජයට දිවීමට පාර සොයා ගැනීමට නොහැකි වනු ඇත.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)






Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස