මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?

 

මෙම ලිපියේ අරමුණ වනුයේ මහ බැංකු අධිපති විසින් 2024 ජනවාරි 1 දින කඩිමුඩියේ පැවැත් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී මහජනයා නොමඟ යවන ලද සාවද්‍ය ප්‍රකාශනයන් සහ මහ බැංකු අධිපතිගේ විෂය නොදැනීම පෙන්වා දීම යි. සමාජ මධ්‍යයෙහි පළ වූ එම වීඩියෝව පහත දැක්වෙයි.

එහි දී, මහ බැංකු අධිපති විසින් බැංකු තැන්පතු, බැංකු ණය සහ ණය අයකර ගැනීම පිළිබඳ ව අදහස් දැක්වූයේ, ඊට අදාළ වත්මන් ගැටළු විසඳීම මහ බැංකුවෙන් පරිබාහිර දෙයක් බවත්, වත්මන් මහ බැංකුව යනු ඇල් වතුරත් නිවා පානය කරන අහිංසකයකු බවත් හුවා දැක්වීම පිණිස ය. 

එම සම්පූර්ණ දේශනය පදනම් වූයේ, තැන්පතු හිමියන්ගේ මුදලින් බැංකු විසින් ණය දෙන බැවින්, තැන්පතු හිමියන්ගේ මුදල් ආරක්ෂා කිරීම සඳහා බැංකු විසින් පරාටේ නෛතික බලය යොදා හිඟ ණය අය කිරීම කළ යුතු බව සාධාරණීකරණය කිරීම සඳහා ය. එහෙත්, බැංකු විසින් පරාටේ බලය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම හෝ පාර්ලිමේන්තුව විසින් බැංකු පරාටේ බලය ඉවත් කිරීම හෝ මහ බැංකුවේ කාර්යයන්ට අයත් දේවල් නොවේ.

එම මාධ්‍ය දේශනය අසා සිටීමෙන් මට හැඟී ගියේ, දැන හෝ නොදැන මහජනතාව රැවටීමේ දී මහ බැංකු අධිපති සහ බොහෝ දේශපාලන නායකයන් අතර වෙනසක් නොමැති බව යි.

මහ බැංකු අධිපති විසින් දැක්වූ මූලික අදහස් 

  • බැංකු විසින් ණය ප්‍රදානය කරන්නේ තැන්පතු හිමියන්ගෙන් රැස් කර ගන්නා මුදල්වලින් බවත්, ණය පැහැර හැරෙන විට පාඩු වන්නේ බැංකුවලට වඩා තැන්පතු හිමියන්ට බවත්, එබැවින්, තැන්පතු හිමියන් ආරක්ෂා කළ හැක්කේ ණය නිසි ලෙස අයකර ගැනීමෙන් බව.

  • බැංකු ණය සඳහා උගස් කොට ඇති තෙවන පාර්ශවයන්ට අයත් දේපල පවා පරාටේ බලයට යටත්වන බව මෑත දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කොට ඇති අතර පරාටේ බලය යොදා බැංකු ණය අය කිරීම කළ යුතු බව. 

  • පරාටේ බලය බැංකු පද්ධතියේ ස්ථායිතාවයට වඩා තැන්පතු හිමියන්ගේ ආරක්ෂාවට වැදගත් වන බව.

  • බැංකු පද්ධතියේ මුළු තැන්පතු රුපියල් ට්‍රිලියන 16 ක් බවත්, මුළු බැංකු වගකීම්වලින් තැන්පතු හිමියන්ගේ  මුදල් 81% ක් ද බැංකු කොටස් හිමියන්ගේ අරමුදල් 7% ක් ද පමණක් බව.

  • මේ දිනවල බැංකු ණය පැහැර හැර ඇති පිරිසක් සංවිධානය වී ණය අය නොකරන ලෙස ඉල්ලා සිටින බව. ඊට තැන්පතු හිමියන් කැමති නම් ප්‍රශ්නයක් නොමැති බව. එහෙත්, තැන්පතු හිමියන්ගේ කැමැත්තක් නැතිව ණය ගෙන, එම ණය පැහැර හැර ආපසු අය කර ගැනීමට නොහැකි නම්, ණය දීම අඩු කිරීමට බැංකුවලට සිදු වන බව. ඉන් රටේ ආර්ථිකයට අවශ්‍ය ණය සැපයීමට නොහැකි වන බව.

  • පසුගිය මාස 11 තුළ පරාටේ ක්‍රියාත්මක කොට ඇත්තේ 557 දෙනෙකුට බවත්, එහි වටිනාකම රුපියල් බිලියන 38 ක් වන අතර එය  මුළු ණයවලින් 0.4% ක් ද, ගෙවීමට අපහසු වී ඇති මුළු ණය ට්‍රිලියන 1.4 න් 2.7% ක් ද පමණ බවත්, එසේ ගෙවීමට අපහසු වී ඇති ණය මුළු ණයවලින් 13% ක් පමණ බව.

  • තැන්පතු හිමියන්ගේ කැමැත්තක් නොමැතිව එම මුදල්වලින් ණය ගෙන ණය පැහැර හරින්නේ නම්, තැන්පතු හිමියන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන බව.

  • එසේම, හොඳ ණය කරුවන්ට ද ණය ලබා දීමට බැංකු මැලි වීමෙන් ඔවුන්ට ද අසාධාරණයක් වීම.

  • තැන්පතු හිමියන් ණය කරුවන් මෙන් සංවිධානය වී තම මුදල් ගැන ඉල්ලීම් නොකරන බව සහ ඔවුන් තම මුදල් අහිමි වීමෙන් පසුව පමණක් උද්ගෝෂණය කිරීම. උදාහරණ ලෙස ETI, ගෝල්ඩන් කී ද ෆිනෑන්ස් යන ආයතන දක්වා සිටීම.

  • ආර්ථික අර්බුදය තැන්පතු හිමියන්ට ද බලපාන බව. තැන්පතු හිමියන්ට 25% ක වැනි පොලියක් ගෙවීමට හැකි වූයේ, ණය කරුවන්ගෙන් 30% ක් වැනි පොලියක් අය කිරීමෙනි. තැන්පතු හිමියාට සාධාරණයක් කිරීමට නම්, ණය දෙන විට ද එවැනි පොලියක් අය කළ යුතුය. එසේ නැත්නම්, එම ගනුදෙනුව සිදු කළ නොහැකිය.

  • කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතු කොට විශාල වශයෙන් අමාරුවට පත් වී ඇති ව්‍යාපාරයන්ට සහන සැලසීම සඳහා මහ බැංකුව විසින් චක්‍ර ලේඛන 8 ක් බැංකු වෙත නිකුත් කොට ඇති අතර කඩා වැටී ඇති ව්‍යාපාරයන් නැවත ආරම්භ කිරීමේ ඒකක බැංකුවල ආරම්භ කරන ලෙස ද උපදෙස් දී තිබීම. එසේම, දැනට ණය ඇපවීමේ ක්‍රමයක් සහ ADB ණය ක්‍රමයක් ක්‍රියාත්මක කර ගෙන යන බව.

  • බැංකුවලින් සහනයක් නොලැබෙන ණය කරුවන්ට මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි අතර මහ බැංකුව ඊට මැදිහත් වන බව. 

  • එසේම, ණය පොලී  අනුපාතයන් අඩු කරන ලෙස ද මෑත දී බැංකුවලට උපදෙස් දී ඇති බව.

  • තැන්පතු හිමියන් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ මුදල් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සාධාරණ පොලියක් ලබා දීම මහ බැංකුවේ වගකීම බව. 

  • බැංකු පද්ධතියට ප්‍රාග්ධනය සැපයීම සඳහා රජය විසින් රුපියල් බිලියන 450 ක මුදලක් වෙන් කොට ඇති බව.

  • බැංකුවල ප්‍රාග්ධනය දුර්වල අවස්ථාවක ලාභ ලබා ගෙන ප්‍රාග්ධනය වැඩි කළ යුතු අතර ඉන් ණය දීමේ හැකියාව වැඩි කෙරෙන බව. එබැවින්, රාජ්‍ය බැංකුවලට බදු ගෙවන්නාගේ මුදලින් රුපියල් බිලියන 450 ක් ප්‍රාග්ධනය ලෙස ලබා දී ඇති බව.

  • බැංකුවල ලාභ සහ ප්‍රාග්ධනය වැඩි නොවේ නම්, එය බදු ගෙවන්නා හෝ තැන්පතු හිමියන් විසින් දැරිය යුතු බව. බැංකු පද්ධතියට හානියක් වෙයි නම් බදු ගෙවන්නන් හෝ තැන්පතු හිමියන් එය දැරිය යුතු වීම.

  • එබැවින්, ණය පැහැර හරින සුළු පිරිසකට සහනය දීම සඳහා බදු ගෙවන්නන් විසින් තවත් බදු ගෙවනවා ද, නැත්නම් බහුතර තැන්පතු හිමියන් විසින් එය ගෙවීමට කැමති ද, යන්න තීරණය කළ යුතු බව. 

  • මෑත දී පාර්ලිමේන්තුවේ දී  බැංකු ණය පැහැර හැර ඇති අයගේ ණය අය කරන ලෙස කරන ලෙස ගෝෂාවක් පැවති බව. පරාටේ බලය නොමැති විට එම ණය ද අයකිරීමට නොහැකි වන බව. එම ණය සඳහා පරාටේ ක්‍රියාත්මක වූවා නම්, තැන්පතු හිමියන්ගේ මුදල් අය කර ගැනීමට හැකියාව තිබූ බව.  එම ණය සඳහා පරාටේ බලය ක්‍රියාත්මක නොකිරීම නිසා තැන්පතු හිමියන්ගේ මුදල් බැංකු පද්ධතියට අහිමි වී ඇති බව. එබැවින්, මෙවැනි අවස්ථාවක පරාටේ ක්‍රියාත්මක නොකොට, තවදුරටත් ණය පැහැර හැරීමට ඉඩ දෙනවා ද? යන්න සමාජයේ සාකච්ඡාවක් පැවැත් විය යුතු බව සහ ඒ සඳහා මාධ්‍යය විසින් මහජනයා දැනුවත් කළ යුතු බව.

  • මෙය, බැංකු පද්ධතියේ ස්ථායිතාවයට, මහජනයාගේ තැන්පතු ආරක්ෂාවට සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ දී ඉදිරියේ ණය ලබා ගැනීමේ හැකියාවට සහ ව්‍යාපාරයන් වැඩි දියුණු කිරීමට වැදගත් කාරණයක් බව.

මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ සාවද්‍ය අදහස් 

මෙම කොටස යටතේ ඔහු විසින් ඉදිරිපත් කළ මිත්‍යා හෝ සාවද්‍ය අදහස් පිළිබඳ කෙටි විග්‍රහයක් ඉදිරිපත් කෙරේ. 

1. බැංකු විසින් තැන්පතු හිමියන්ගේ මුදල්වලින් ණය දෙන බව

මුළු මාධ්‍ය සාකච්ඡාවම පදනම් වූයේ, බැංකු විසින් තැන්පතු හිමියන්ගේ මුදල්වලින් ණය දෙන බැවින් ණය නිසි ලෙස අයකර ගැනීම හරහා තැන්පතු හිමියන්ගේ මුදල් සහ පොලී ආදායම ආරක්ෂා කිරීමේ කාලීන අවශ්‍යතාවයක් පවතින බව යි.

එහෙත්, බැංකු විසින් තැන්පතු හිමියන්ගේ මුදල්වලින් ණය දෙන බව මිත්‍යා මතයකි. මෙම මතයේ මූලය වන්නේ බැංකු විසින් තැන්පතු හරහා ණය මවන බවට ආර්ථික විද්‍යා සිසුන්ට පැහැදිලි කිරීම සඳහා විෂය ග්‍රන්ථයන්හි භාවිතා කෙරෙන සරල උදාහරණය යි. මෙය පූර්ණ මිත්‍යාවකි. එය පහත දැක්වෙන ලෙස පැහැදිලි කළ හැකිය.

  • ප්‍රයෝගික සත්‍යය වන්නේ බැංකු විසින් ණය දෙන්නේ තැන්පතු හිමියන්ගෙන් රැස් කර ගන්නා මුදල්වලින් නොව, හුදෙක් ගිණුම් සටහන් තැබීම මගින් වීම යි. එනම්, ණය මුදලක් ප්‍රදානය කිරීමේ දී එම මුදල බැංකුවේ වත්කමක් ලෙසත්, ඊට සමාන්තරව එම මුදල ණය කරුගේ බැංකු තැන්පතු ගිණුමට නව තැන්පතු වගකීමක් ලෙසත් සටහන් කිරීම යි. ණය කරුවන් විසින් එම තැන්පතු මුදල් වියදම් කිරීමේ දී, එම මුදල් බහුතරය තැන්පතු ලෙස බැංකු අතර හුවමාරු වනු ඇත. 

  • එහි දී, බැංකු විසින් කරනු ලබනුයේ තම මුදල් ලැබීම් සහ ගෙවීම් ප්‍රවාහය තුළින් හට ගන්නා ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීම යි. ඒ සඳහා නිරන්තරයෙන් මහ බැංකුවෙන් ද ණය ලබා ගනු ලැබේ. එය බැංකු විසින් ණය දීමෙන් පසුව කරනු ලබන ක්‍රියාවකි. එබැවින්, බැංකු විසින් දෙන ණය ප්‍රමාණය තීරණය කෙරෙන්නේ, තමා වෙත ලැබී ඇති තැන්පතු මුදල් ගණනය කිරීමෙන් නොවේ.

  • සමස්තයක් වශයෙන් ගත් විට ආර්ථිකයේ මුදල් ලෙස සංසරණය වන කාසි සහ නෝට්ටු සහ තැන්පතු යනු බැංකු ණය ප්‍රදානය තුළින් මැවී ඇති මුදල් ය. එය මහ බැංකුව සහ බැංකු විසින් දෙන ලද ණයවල අතුරු ප්‍රතිඵලයකි. රජයට දෙන ලද ණය ද එහි ප්‍රධාන කොටසකි. එසේ නැතිව, ණය යනු තැන්පතුවල අතුරු ප්‍රතිඵලයක් නොවේ. 

  • උදාහරණ ලෙස ආර්ථිකයේ ගනුදෙනු වන කාසි හා නෝට්ටු ප්‍රමාණය යනු, මහ බැංකුව විසින් බැංකුවලට සහ රජයට දෙන ලද ණය සහ මහ බැංකුව විසින් වෙනත් වත්කම්  මිල දී ගැනීම සහ වියදම් කිරීම සඳහා මුද්‍රණය කරන මුදල් ය. මහජනතාව විසින් බැංකු සමඟ සහ ඉන් පිටත ගනුදෙනු කරන මුදල්වලින් කොටසක් වන්නේ මෙම කාසි සහ නෝට්ටු ය. බහුතර මුදල් ගනුදෙනු සිදු කෙරෙන්නේ, තැන්පතු බැංකු හරහා හුවමාරු වීමෙනි. ඒ අනුව, තැන්පතු මුදල් යනු මහජනතාව විසින් තම පරම්පරාගත දේපලවලින් හෝ උදේ හවස දෙවියන්ගෙන් අයැද ලබා ගෙන බැංකු වෙත තැන්පත් කරන මුදල් නොවේ. එසේම, මහ බැංකු අධිපති විසින් දැක්වූ බැංකු ප්‍රාග්ධනය ලැබෙන්නේ ද ණය මගින් මවන ලද මුදල්වලිනි. රජයෙන් ප්‍රදානය කිරීමට නියමිත රුපියල් බිලියන 450 ක ප්‍රාග්ධනය ද එන්නේ අයවැය හරහා රජය ණය මැවීමෙන් මිස රාජ්‍ය නායකයන් සතු වත්කම්වලින් නොවේ.

  • බැංකු විසින් මෙසේ ගිණුම් සටහන් තුළින් ණය දීම හරහා තැන්පතු මැවීම නුතන බැංකුවල සිද්ධියක් නොව, මානව ඉතිහාසයේ මුදල් සහ බැංකු ආරම්භයේ සිට පැවත එන ව්‍යාපාරයකි. නූතන මුදල් ක්‍රමය ආරම්භ වූයේ 17 සහ 18 වැනි සියවස්වල යුරෝපයේ රන් සම්මතය යටතේ බැංකු විසින් හුදෙක් රන් සංචිත නොමැතිව මුදල් නෝට්ටු නිකුත් කිරීම හරහා ණය දීමෙනි. එය වත්මන් රාජ්‍ය මහ බැංකු විසින් කරනු ලබන මුදල් මුද්‍රණයට නොදෙවෙනි ක්‍රියාවකි. 

  • එබැවින්, බැංකු වෙත පවතින මෙම ගිණුම් සටහන් මගින් ණය මැවීමේ බලය භාවිතා කොට ව්‍යාපාර සහ ආර්ථික සංවර්ධනය කිරීම සඳහා දියුණු රටවල රජයන් විසින් අතීතය පුරා බැංකු ණය නියාමනය කිරීම සිදු කොට ඇත. ඊට හේතුව, නූතන මුදල් ආර්ථිකයන් බැංකු ණය සහ මුදල් මත ක්‍රියාත්මක වන බැවිනි.

  • එබැවින්, නූතන ලෝකයේ මහජනයාගෙන් තැන්පතු භාර ගැනීම යනු බැංකු විසින් ලාභ ඉපයීම සඳහා මහජනයාට සපයන මූල්‍ය සේවා හෝ ව්‍යාපාරවලින් එකක් පමණි. ඒ අනුව, බැංකු කලමනාකරණයේ දී සිදු කෙරෙනුයේ එම මූල්‍ය සේවා ව්‍යාපාරයන්ගෙන් ඇති විය හැකි ණය අවදානම සහ ද්‍රවශීලතා අවදානම ප්‍රමුඛ බැංකු අවදානම් කළමනාකරණය කිරීම යි. බැංකු නියමනයේ දී සිදු වන්නේ බැංකු අවදානම් කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම තුළින් බැංකු පද්ධතියේ විශ්වාසය සහ ස්ථායිතාවය ආරක්ෂා කිරීමට  ක්‍රියා කිරීම යි.

  • එසේම, මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියෙන් ඉලක්ක කෙරෙන්නේ ද, බැංකු පද්ධතියේ ණය ප්‍රවාහය සහ ප්‍රසාරණය මිස තැන්පතු නොවේ. එබැවින්, අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කෙරෙන මහ බැංකු මූල්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ද බැංකුවල අවදානම් කළමනාකරණය කෙරෙහි අනපේක්ෂිත බලපෑමක් කෙරෙන ප්‍රධාන මූලය වෙයි. උදාහරණයක් ලෙස ලෝකය පුරා මේ දිනවල බැංකු මුහුණ දෙන පොලී අනුපාත අවදානම සහ ද්‍රවශීල අර්බුදය මහ බැංකු විසින් වේගයෙන් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ප්‍රතිඵලයක් බව පිළි ගැනේ. මේ හේතු කොට ඇමෙරිකාවේ පවා බැංකු රාශියක් පසුගිය වසරේ දී බංකොලොත් විය.

එබැවින්, වත්මන් මහ බැංකු අධිපති විසින් ඉහත දැක්වූ පරිදි මිත්‍යා මතයක් මත පදනම් වී මහ බැංකුව, බැංකු පද්ධතිය සහ ආර්ථිකය කළමනාකරණය කිරීම තුළින් ඉදිරි කාලයේ දී බැංකු සහ මූල්‍ය පද්ධතියට සහ ආර්ථිකයට දැඩි අවදානම් ඇති කරන බව කිව යුතු නොවේ. එසේම, දැනටමත් ආර්ථිකය මුහුණ දෙන අර්බුදයේ මූලය වනුයේ, වත්මන් මහ බැංකු අධිපති විසින් අනුගමනය කළ මිත්‍යා මූල්‍ය මූලධර්මයන් ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී මහ බැංකු අධිපති විසින් ඉදිරිපත් කළ අනෙක් සාවද්‍ය සහ ප්‍රශ්නකාරී අදහස් පිළිබඳ පැහැදිලි කිරීමක් ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

ආර්ථිකයේ ණය සහ මුදල් මැවීම පිළිබඳ ව මා විසින් මෑත දී මෙම වෙබ් අඩවියේ පළ කරන ලද ලිපි කිහිපයක වෙබ් සබැඳිය පහත දැක්වෙයි.


(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි