මහ බැංකු අධිපතිගේ පරාටේ අඬහැරය - බැංකු ණය සහ මුදල් ක්‍රමය අනතුරේ ද?

  

මෙම ලිපිය මහ බැංකු අධිපති විසින් 2024 ජනවාරි 1 දින කඩිමුඩියේ පැවැත් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ සාවද්‍ය අදහස් හෙළි කිරීම සඳහා මා විසින් මෙම වෙබ් අඩවියට නිකුත් කළ ලිපි තුනේ එකතුව යි. එය පාඨකයාගේ පහසුව සඳහා ඉදිරිපත් කෙරේ.

මෙම ලිපි මගින් මහ බැංකු අධිපතිගේ සාවද්‍ය අදහස් මෙන්ම ඔහුගේ විෂය නොදැනීම ද පෙන්වා දෙයි. සමාජ මධ්‍යයෙහි පළ වූ එම වීඩියෝව පහත දැක්වෙයි.

එහි දී, මහ බැංකු අධිපති විසින් බැංකු තැන්පතු, බැංකු ණය සහ ණය අයකර ගැනීම පිළිබඳ ව අදහස් දැක්වූයේ, ඊට අදාළ වත්මන් ගැටළු විසඳීම මහ බැංකුවෙන් පරිබාහිර දෙයක් බවත්, වත්මන් මහ බැංකුව යනු ඇල් වතුරත් නිවා පානය කරන අහිංසකයකු බවත් හුවා දැක්වීම පිණිස ය. 

එම සම්පූර්ණ දේශනය පදනම් වූයේ, තැන්පතු හිමියන්ගේ මුදලින් බැංකු විසින් ණය දෙන බැවින්, තැන්පතු හිමියන්ගේ මුදල් ආරක්ෂා කිරීම සඳහා බැංකු විසින් පරාටේ නෛතික බලය යොදා හිඟ ණය අය කිරීම කළ යුතු බව සාධාරණීකරණය කිරීම සඳහා ය. එහෙත්, බැංකු විසින් පරාටේ බලය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම හෝ පාර්ලිමේන්තුව විසින් බැංකු පරාටේ බලය ඉවත් කිරීම හෝ මහ බැංකුවේ කාර්යයන්ට අයත් දේවල් නොවේ.

එම මාධ්‍ය දේශනය අසා සිටීමෙන් මට හැඟී ගියේ, දැන හෝ නොදැන මහජනතාව රැවටීමේ දී මහ බැංකු අධිපති සහ බොහෝ දේශපාලන නායකයන් අතර වෙනසක් නොමැති බව යි.

මහ බැංකු අධිපති විසින් දැක්වූ මූලික අදහස් කෙටියෙන් 

  • බැංකු විසින් ණය ප්‍රදානය කරන්නේ තැන්පතු හිමියන්ගෙන් රැස් කර ගන්නා මුදල්වලින් බවත්, ණය පැහැර හැරෙන විට පාඩු වන්නේ බැංකුවලට වඩා තැන්පතු හිමියන්ට බවත්, එබැවින්, තැන්පතු හිමියන් ආරක්ෂා කළ හැක්කේ ණය නිසි ලෙස අයකර ගැනීමෙන් බව.

  • බැංකු ණය සඳහා උගස් කොට ඇති තෙවන පාර්ශවයන්ට අයත් දේපල පවා පරාටේ බලයට යටත්වන බව මෑත දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කොට ඇති අතර පරාටේ බලය යොදා බැංකු ණය අය කිරීම කළ යුතු බව. 

  • පරාටේ බලය බැංකු පද්ධතියේ ස්ථායිතාවයට වඩා තැන්පතු හිමියන්ගේ ආරක්ෂාවට වැදගත් වන බව.

  • බැංකු පද්ධතියේ මුළු තැන්පතු රුපියල් ට්‍රිලියන 16 ක් බවත්, මුළු බැංකු වගකීම්වලින් තැන්පතු හිමියන්ගේ  මුදල් 81% ක් ද බැංකු කොටස් හිමියන්ගේ අරමුදල් 7% ක් ද පමණක් බව.

  • මේ දිනවල බැංකු ණය පැහැර හැර ඇති පිරිසක් සංවිධානය වී ණය අය නොකරන ලෙස ඉල්ලා සිටින බව. ඊට තැන්පතු හිමියන් කැමති නම් ප්‍රශ්නයක් නොමැති බව. එහෙත්, තැන්පතු හිමියන්ගේ කැමැත්තක් නැතිව ණය ගෙන, එම ණය පැහැර හැර ආපසු අය කර ගැනීමට නොහැකි නම්, ණය දීම අඩු කිරීමට බැංකුවලට සිදු වන බව. ඉන් රටේ ආර්ථිකයට අවශ්‍ය ණය සැපයීමට නොහැකි වන බව.

  • පසුගිය මාස 11 තුළ පරාටේ ක්‍රියාත්මක කොට ඇත්තේ 557 දෙනෙකුට බවත්, එහි වටිනාකම රුපියල් බිලියන 38 ක් වන අතර එය  මුළු ණයවලින් 0.4% ක් ද, ගෙවීමට අපහසු වී ඇති මුළු ණය ට්‍රිලියන 1.4 න් 2.7% ක් ද පමණ බවත්, එසේ ගෙවීමට අපහසු වී ඇති ණය මුළු ණයවලින් 13% ක් පමණ බව.

  • තැන්පතු හිමියන්ගේ කැමැත්තක් නොමැතිව එම මුදල්වලින් ණය ගෙන ණය පැහැර හරින්නේ නම්, තැන්පතු හිමියන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන බව.

  • එසේම, හොඳ ණය කරුවන්ට ද ණය ලබා දීමට බැංකු මැලි වීමෙන් ඔවුන්ට ද අසාධාරණයක් වීම.

  • තැන්පතු හිමියන් ණය කරුවන් මෙන් සංවිධානය වී තම මුදල් ගැන ඉල්ලීම් නොකරන බව සහ ඔවුන් තම මුදල් අහිමි වීමෙන් පසුව පමණක් උද්ගෝෂණය කිරීම. උදාහරණ ලෙස ETI, ගෝල්ඩන් කී ද ෆිනෑන්ස් යන ආයතන දක්වා සිටීම.

  • ආර්ථික අර්බුදය තැන්පතු හිමියන්ට ද බලපාන බව. තැන්පතු හිමියන්ට 25% ක වැනි පොලියක් ගෙවීමට හැකි වූයේ, ණය කරුවන්ගෙන් 30% ක් වැනි පොලියක් අය කිරීමෙනි. තැන්පතු හිමියාට සාධාරණයක් කිරීමට නම්, ණය දෙන විට ද එවැනි පොලියක් අය කළ යුතුය. එසේ නැත්නම්, එම ගනුදෙනුව සිදු කළ නොහැකිය.

  • කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතු කොට විශාල වශයෙන් අමාරුවට පත් වී ඇති ව්‍යාපාරයන්ට සහන සැලසීම සඳහා මහ බැංකුව විසින් චක්‍ර ලේඛන 8 ක් බැංකු වෙත නිකුත් කොට ඇති අතර කඩා වැටී ඇති ව්‍යාපාරයන් නැවත ආරම්භ කිරීමේ ඒකක බැංකුවල ආරම්භ කරන ලෙස ද උපදෙස් දී තිබීම. එසේම, දැනට ණය ඇපවීමේ ක්‍රමයක් සහ ADB ණය ක්‍රමයක් ක්‍රියාත්මක කර ගෙන යන බව.

  • බැංකුවලින් සහනයක් නොලැබෙන ණය කරුවන්ට මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි අතර මහ බැංකුව ඊට මැදිහත් වන බව. 

  • එසේම, ණය පොලී  අනුපාතයන් අඩු කරන ලෙස ද මෑත දී බැංකුවලට උපදෙස් දී ඇති බව.

  • තැන්පතු හිමියන් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ මුදල් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සාධාරණ පොලියක් ලබා දීම මහ බැංකුවේ වගකීම බව. 

  • බැංකු පද්ධතියට ප්‍රාග්ධනය සැපයීම සඳහා රජය විසින් රුපියල් බිලියන 450 ක මුදලක් වෙන් කොට ඇති බව.

  • බැංකුවල ප්‍රාග්ධනය දුර්වල අවස්ථාවක ලාභ ලබා ගෙන ප්‍රාග්ධනය වැඩි කළ යුතු අතර ඉන් ණය දීමේ හැකියාව වැඩි කෙරෙන බව. එබැවින්, රාජ්‍ය බැංකුවලට බදු ගෙවන්නාගේ මුදලින් රුපියල් බිලියන 450 ක් ප්‍රාග්ධනය ලෙස ලබා දී ඇති බව.

  • බැංකුවල ලාභ සහ ප්‍රාග්ධනය වැඩි නොවේ නම්, එය බදු ගෙවන්නා හෝ තැන්පතු හිමියන් විසින් දැරිය යුතු බව. බැංකු පද්ධතියට හානියක් වෙයි නම් බදු ගෙවන්නන් හෝ තැන්පතු හිමියන් එය දැරිය යුතු වීම.

  • එබැවින්, ණය පැහැර හරින සුළු පිරිසකට සහනය දීම සඳහා බදු ගෙවන්නන් විසින් තවත් බදු ගෙවනවා ද, නැත්නම් බහුතර තැන්පතු හිමියන් විසින් එය ගෙවීමට කැමති ද, යන්න තීරණය කළ යුතු බව. 

  • මෑත දී පාර්ලිමේන්තුවේ දී  බැංකු ණය පැහැර හැර ඇති අයගේ ණය අය කරන ලෙස කරන ලෙස ගෝෂාවක් පැවති බව. පරාටේ බලය නොමැති විට එම ණය ද අයකිරීමට නොහැකි වන බව. එම ණය සඳහා පරාටේ ක්‍රියාත්මක වූවා නම්, තැන්පතු හිමියන්ගේ මුදල් අය කර ගැනීමට හැකියාව තිබූ බව.  එම ණය සඳහා පරාටේ බලය ක්‍රියාත්මක නොකිරීම නිසා තැන්පතු හිමියන්ගේ මුදල් බැංකු පද්ධතියට අහිමි වී ඇති බව. එබැවින්, මෙවැනි අවස්ථාවක පරාටේ ක්‍රියාත්මක නොකොට, තවදුරටත් ණය පැහැර හැරීමට ඉඩ දෙනවා ද? යන්න සමාජයේ සාකච්ඡාවක් පැවැත් විය යුතු බව සහ ඒ සඳහා මාධ්‍යය විසින් මහජනයා දැනුවත් කළ යුතු බව.

  • මෙය, බැංකු පද්ධතියේ ස්ථායිතාවයට, මහජනයාගේ තැන්පතු ආරක්ෂාවට සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ දී ඉදිරියේ ණය ලබා ගැනීමේ හැකියාවට සහ ව්‍යාපාරයන් වැඩි දියුණු කිරීමට වැදගත් කාරණයක් බව.

මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ සාවද්‍ය අදහස් 09 ක් 

මෙම කොටස යටතේ ඔහු විසින් ඉදිරිපත් කළ මිත්‍යා හෝ සාවද්‍ය අදහස් 09 ක් පිළිබඳ කෙටි විග්‍රහයක් ඉදිරිපත් කෙරේ. 

1. බැංකු විසින් තැන්පතු හිමියන්ගේ මුදල්වලින් ණය දෙන බව

මුළු මාධ්‍ය සාකච්ඡාවම පදනම් වූයේ, බැංකු විසින් තැන්පතු හිමියන්ගේ මුදල්වලින් ණය දෙන බැවින් ණය නිසි ලෙස අයකර ගැනීම හරහා තැන්පතු හිමියන්ගේ මුදල් සහ පොලී ආදායම ආරක්ෂා කිරීමේ කාලීන අවශ්‍යතාවයක් පවතින බව යි.

එහෙත්, බැංකු විසින් තැන්පතු හිමියන්ගේ මුදල්වලින් ණය දෙන බව මිත්‍යා මතයකි. මෙම මතයේ මූලය වන්නේ බැංකු විසින් තැන්පතු හරහා ණය මවන බවට ආර්ථික විද්‍යා සිසුන්ට පැහැදිලි කිරීම සඳහා විෂය ග්‍රන්ථයන්හි භාවිතා කෙරෙන සරල උදාහරණය යි. මෙය පූර්ණ මිත්‍යාවකි. එය පහත දැක්වෙන ලෙස පැහැදිලි කළ හැකිය.

  • ප්‍රයෝගික සත්‍යය වන්නේ බැංකු විසින් ණය දෙන්නේ තැන්පතු හිමියන්ගෙන් රැස් කර ගන්නා මුදල්වලින් නොව, හුදෙක් ගිණුම් සටහන් තැබීම මගින් වීම යි. එනම්, ණය මුදලක් ප්‍රදානය කිරීමේ දී එම මුදල බැංකුවේ වත්කමක් ලෙසත්, ඊට සමාන්තරව එම මුදල ණය කරුගේ බැංකු තැන්පතු ගිණුමට නව තැන්පතු වගකීමක් ලෙසත් සටහන් කිරීම යි. ණය කරුවන් විසින් එම තැන්පතු මුදල් වියදම් කිරීමේ දී, එම මුදල් බහුතරය තැන්පතු ලෙස බැංකු අතර හුවමාරු වනු ඇත. 

  • එහි දී, බැංකු විසින් කරනු ලබනුයේ තම මුදල් ලැබීම් සහ ගෙවීම් ප්‍රවාහය තුළින් හට ගන්නා ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීම යි. ඒ සඳහා නිරන්තරයෙන් මහ බැංකුවෙන් ද ණය ලබා ගනු ලැබේ. එය බැංකු විසින් ණය දීමෙන් පසුව කරනු ලබන ක්‍රියාවකි. එබැවින්, බැංකු විසින් දෙන ණය ප්‍රමාණය තීරණය කෙරෙන්නේ, තමා වෙත ලැබී ඇති තැන්පතු මුදල් ගණනය කිරීමෙන් නොවේ.

  • සමස්තයක් වශයෙන් ගත් විට ආර්ථිකයේ මුදල් ලෙස සංසරණය වන කාසි සහ නෝට්ටු සහ තැන්පතු යනු බැංකු ණය ප්‍රදානය තුළින් මැවී ඇති මුදල් ය. එය මහ බැංකුව සහ බැංකු විසින් දෙන ලද ණයවල අතුරු ප්‍රතිඵලයකි. රජයට දෙන ලද ණය ද එහි ප්‍රධාන කොටසකි. එසේ නැතිව, ණය යනු තැන්පතුවල අතුරු ප්‍රතිඵලයක් නොවේ. 

  • උදාහරණ ලෙස ආර්ථිකයේ ගනුදෙනු වන කාසි හා නෝට්ටු ප්‍රමාණය යනු, මහ බැංකුව විසින් බැංකුවලට සහ රජයට දෙන ලද ණය සහ මහ බැංකුව විසින් වෙනත් වත්කම්  මිල දී ගැනීම සහ වියදම් කිරීම සඳහා මුද්‍රණය කරන මුදල් ය. මහජනතාව විසින් බැංකු සමඟ සහ ඉන් පිටත ගනුදෙනු කරන මුදල්වලින් කොටසක් වන්නේ මෙම කාසි සහ නෝට්ටු ය. බහුතර මුදල් ගනුදෙනු සිදු කෙරෙන්නේ, තැන්පතු බැංකු හරහා හුවමාරු වීමෙනි. ඒ අනුව, තැන්පතු මුදල් යනු මහජනතාව විසින් තම පරම්පරාගත දේපලවලින් හෝ උදේ හවස දෙවියන්ගෙන් අයැද ලබා ගෙන බැංකු වෙත තැන්පත් කරන මුදල් නොවේ. එසේම, මහ බැංකු අධිපති විසින් දැක්වූ බැංකු ප්‍රාග්ධනය ලැබෙන්නේ ද ණය මගින් මවන ලද මුදල්වලිනි. රජයෙන් ප්‍රදානය කිරීමට නියමිත රුපියල් බිලියන 450 ක ප්‍රාග්ධනය ද එන්නේ අයවැය හරහා රජය ණය මැවීමෙන් මිස රාජ්‍ය නායකයන් සතු වත්කම්වලින් නොවේ.

  • බැංකු විසින් මෙසේ ගිණුම් සටහන් තුළින් ණය දීම හරහා තැන්පතු මැවීම නුතන බැංකුවල සිද්ධියක් නොව, මානව ඉතිහාසයේ මුදල් සහ බැංකු ආරම්භයේ සිට පැවත එන ව්‍යාපාරයකි. නූතන මුදල් ක්‍රමය ආරම්භ වූයේ 17 සහ 18 වැනි සියවස්වල යුරෝපයේ රන් සම්මතය යටතේ බැංකු විසින් හුදෙක් රන් සංචිත නොමැතිව මුදල් නෝට්ටු නිකුත් කිරීම හරහා ණය දීමෙනි. එය වත්මන් රාජ්‍ය මහ බැංකු විසින් කරනු ලබන මුදල් මුද්‍රණයට නොදෙවෙනි ක්‍රියාවකි. 

  • එබැවින්, බැංකු වෙත පවතින මෙම ගිණුම් සටහන් මගින් ණය මැවීමේ බලය භාවිතා කොට ව්‍යාපාර සහ ආර්ථික සංවර්ධනය කිරීම සඳහා දියුණු රටවල රජයන් විසින් අතීතය පුරා බැංකු ණය නියාමනය කිරීම සිදු කොට ඇත. ඊට හේතුව, නූතන මුදල් ආර්ථිකයන් බැංකු ණය සහ මුදල් මත ක්‍රියාත්මක වන බැවිනි.

  • එබැවින්, නූතන ලෝකයේ මහජනයාගෙන් තැන්පතු භාර ගැනීම යනු බැංකු විසින් ලාභ ඉපයීම සඳහා මහජනයාට සපයන මූල්‍ය සේවා හෝ ව්‍යාපාරවලින් එකක් පමණි. ඒ අනුව, බැංකු කලමනාකරණයේ දී සිදු කෙරෙනුයේ එම මූල්‍ය සේවා ව්‍යාපාරයන්ගෙන් ඇති විය හැකි ණය අවදානම සහ ද්‍රවශීලතා අවදානම ප්‍රමුඛ බැංකු අවදානම් කළමනාකරණය කිරීම යි. බැංකු නියමනයේ දී සිදු වන්නේ බැංකු අවදානම් කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම තුළින් බැංකු පද්ධතියේ විශ්වාසය සහ ස්ථායිතාවය ආරක්ෂා කිරීමට  ක්‍රියා කිරීම යි.

  • එසේම, මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියෙන් ඉලක්ක කෙරෙන්නේ ද, බැංකු පද්ධතියේ ණය ප්‍රවාහය සහ ප්‍රසාරණය මිස තැන්පතු නොවේ. එබැවින්, අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කෙරෙන මහ බැංකු මූල්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ද බැංකුවල අවදානම් කළමනාකරණය කෙරෙහි අනපේක්ෂිත බලපෑමක් කෙරෙන ප්‍රධාන මූලය වෙයි. උදාහරණයක් ලෙස ලෝකය පුරා මේ දිනවල බැංකු මුහුණ දෙන පොලී අනුපාත අවදානම සහ ද්‍රවශීල අර්බුදය මහ බැංකු විසින් වේගයෙන් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ප්‍රතිඵලයක් බව පිළි ගැනේ. මේ හේතු කොට ඇමෙරිකාවේ පවා බැංකු රාශියක් පසුගිය වසරේ දී බංකොලොත් විය.

එබැවින්, වත්මන් මහ බැංකු අධිපති විසින් ඉහත දැක්වූ පරිදි මිත්‍යා මතයක් මත පදනම් වී මහ බැංකුව, බැංකු පද්ධතිය සහ ආර්ථිකය කළමනාකරණය කිරීම තුළින් ඉදිරි කාලයේ දී බැංකු සහ මූල්‍ය පද්ධතියට සහ ආර්ථිකයට දැඩි අවදානම් ඇති කරන බව කිව යුතු නොවේ. එසේම, දැනටමත් ආර්ථිකය මුහුණ දෙන අර්බුදයේ මූලය වනුයේ, වත්මන් මහ බැංකු අධිපති විසින් අනුගමනය කළ මිත්‍යා මූල්‍ය මූලධර්මයන් ය.

ආර්ථිකයේ ණය සහ මුදල් මැවීම පිළිබඳ ව මා විසින් මෑත දී මෙම වෙබ් අඩවියේ පළ කරන ලද ලිපි කිහිපයක වෙබ් සබැඳිය පහත දැක්වෙයි.

2. තැන්පතු හිමියන් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ මුදල් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සාධාරණ පොලියක් ලබා දීම මහ බැංකුවේ වගකීම බව.

මෙය අසත්‍ය ප්‍රකාශයක් වන්නේ, මහ බැංකුවට අදාළ කිසිම පනතක මෙවැනි වගකීමක් මහ බැංකුවකට පවරා නොමැති බැවිනි. 

  • බැංකු සම්බන්ධව මහ බැංකුව විසින් ඉටු කෙරෙන විවිධ කාර්යයන්ගේ අරමුණ වනුයේ, බැංකුවල සහ බැංකු පද්ධතියේ මූල්‍ය ශක්තිමත් භාවය සහ බැංකු පද්ධතියේ ස්ථායිතාවය ප්‍රවර්ධනය කිරීම යි. ඒ සඳහා මහ බැංකුව විසින් බැංකු නියාමනය සිදු කෙරෙන අතර මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ බැංකුවල ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීමට උපකාරී වෙයි. මෙහි දී, බැංකු අර්බුදකාරී අවස්ථාවල අවසාන ණය දෙන්නා ලෙස ද මහ බැංකු ක්‍රියා කෙරේ. මෙම සියළු කාර්යයන් සිදු කෙරෙන්නේ, සියළු බැංකු ගනුදෙනු කරුවන්ගේ යහපත සහ රටේ මූල්‍ය පද්ධති ස්ථායිතාවය අරමුණු කොට ගෙන ය.

  • තැන්පතු හිමියන් ආරක්ෂා කිරීම සඳහා පවතින එකම විශේෂ නියාමනය වන්නේ, මහ බැංකුව විසින් බැංකුවක ව්‍යාපාරික කටයුතු අත් හිටුවන අවස්ථාවල කුඩා තැන්පතු හිමියන්ගේ මුදල් ගෙවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන තැන්පතු රක්ෂණ ක්‍රමය යි. එහෙත්, තැන්පතු රක්ෂණ අරමුදල ඉතා කුඩා බැවින්, එමගින්, බැංකු අර්බුදයක දී තැන්පතු හිමියන් ආරක්ෂා කිරීමට මහ බැංකුවට හැකියාවක් නොමැත.

  • එසේම, පසුගිය සැප්තැම්බර් 14 දින මහ බැංකුවේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව මහ බැංකු පනතින් අර්බුදකාරී අවස්ථාවල බැංකුවලට අවසාන ණය දෙන්නා ලෙස මහ බැංකුවේ සම්ප්‍රදායික කාර්යය ඉවත් කොට ඇත. බොහෝ බැංකු අර්බුදයන්ට ප්‍රධාන හේතුව වනුයේ තැන්පතු හිමියන් විසින් හදිසියේ බැංකුවලින් මුදල් ආපසු ගැනීමට පෙළඹීම යි. එවැනි අවස්ථාවල අවසාන ණය දෙන්නාගේ කාර්යය ඉතා වැදගත් වන්නේ, එමගින් බැංකුවල ද්‍රවශීලතාවය ඉහළ නැංවීම හරහා තැන්පතු හිමියන්ගේ විශ්වාසය ඉහළ නැංවෙන බැවිනි. එහෙත්, එම කාර්යය මහ බැංකුවෙන් ඉවත් කිරීම තුළින් පොදුවේ බැංකු තැන්පතු හිමියන් සඳහා පැවති එකම මහ බැංකු ආරක්ෂාව ද අහිමි කොට ඇත.

  • තව ද, බැංකු විසින් තැන්පතු හිමියන්ට ගෙවන ලබන පොලිය නියාමනය කිරීම සඳහා මහ බැංකුව වෙත පැවති නෛතික බලය ද නව මහ බැංකු පනතින් ඉවත් කොට ඇත. එබැවින්, බැංකු තැන්පතු හිමියන්ට සාධාරණ පොලියක් ලබා දීමට කිසිම හැකියාවක් මහ බැංකුවට නොමැත.

  • තැන්පතු භාර ගැනීම යනු බැංකුවල එක් ව්‍යාපාරික මෙවලමකි. මහජනයා විසින් බැංකුවල මුදල් තැන්පත් කරන්නේ ද පොලිය සහ වෙනත් බැංකු පහසුකම් ලබා ගැනීමේ ව්‍යාපාරයක් වශයෙනි. එබැවින්, තැන්පතු ව්‍යාපාරය බැංකුවලට මෙන්ම තැන්පතු හිමියන්ට ද අවදානම් ආර්ථික ගනුදෙනුවකි. මහ බැංකුව විසින් තැන්පතු රක්ෂණ ක්‍රමයක් ඉදිරිපත් කිරීමෙන්ම එය සනාථ වෙයි. මහජනතාව දැනුවත් කිරීම සඳහා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති " ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා පිළිබඳ අත්වැලක්" " A Guide to Financial Services in Sri Lanka" (දෙමළ භාෂාවෙන් ද නිකුත් කොට ඇත.) යන ප්‍රකාශනයේ ද මෙම අවදානම මෙන්ම තැන්පතු කිසිම මුදල් ගනුදෙනුවකට මහ බැංකුවේ වගකීමක් හෝ ඇපවීමක් නොමැති බව පැහැදිලිව දක්වා ඇත. මහ බැකුව විසින් රාජ්‍ය විදේශ ණය සේවාකරණය 2022 අප්‍රේල් 12 දින පැහැර හැරීමෙන් ද එය මනාව සනාථ වෙයි.

එබැවින්, මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය පූර්ණ අසත්‍යයක් වන අතර එය තැන්පතු හිමියන් මුළා කිරීමකි.

3. තැන්පතු හිමියන්ට 25% ක වැනි පොලියක් ගෙවීමට හැකි වූයේ, ණය කරුවන්ගෙන් 30% ක් වැනි පොලියක් අය කිරීමෙන් බව.

මෙය සත්‍ය කරුනු වුවමනාවෙන්ම වසන් කිරීමකි. ඊට හේතු කිහිපයකි.

  • පළමුව, බැංකු විසින් තැන්පතු හිමියන්ට 25% ක වැනි ඉහළ පොලියක් බැංකු විසින් ගෙවන ලද්දේ, ඔවුන්ට සාධාරණ පොලියක් ගෙවීමේ අරමුණින් හෝ බැංකු ව්‍යාපාරික පදනමකින් හෝ නොවේ. එය හුදෙක් මහ බැංකු අධිපති විසින් 2022 අප්‍රේල් 8 දින මහ බැංකු පොලිය 7% කින් ඉහළ දැමීම හරහා ක්‍රියාත්මක කළ අති දරුනු මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ බලකිරීම මත සිදු විය. 2022 දී පැවති බැංකු ව්‍යාපාරික පරිසරය සහ අවදානම් තුළ බැංකු විසින් තැන්පතු පොලී අනුපාතයන් එසේ ඉහළ දැමීමට මනාප නොවූ බැවින් තැන්පතු පොලී අනුපාතයන් ඉහළ දමන ලෙස මහ බැංකු නියෝගයක් ද 2022 අප්‍රේල් 21 දින බැංකු වෙත නිකුත් කරන ලදි.

  • දෙවනුව, මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කරන පරිදි තැන්පතු හිමියාට සාධාරණයක් කිරීම සඳහා පළමුව ඉහළ තැන්පතු පොලියක් තීරණය කොට, ඒ අනුව, දෙවනුව ණය පොලී අනුපාතයන් තීරණය කිරීම බැංකු ව්‍යාපාරික ක්‍රමවේදයක් නොවේ. සියළු පොලී අනුපාතයන් තීරණය කෙරෙන්නේ ඒ ඒ බැංකු විසින් මුහුණ දෙන ණය අවදානම් සහ ව්‍යාපාරික මොඩලය පදනම් කර ගෙන ය. මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය ද එහි එක් අවදානම් සාධකයකි. එබැවින්, බැංකු විසින් තම මුදල් ප්‍රවාහ කළමනාකරණය සිදු කෙරෙන්නේ, ඉලක්ක ගත බැංකු පොලී අන්තිකය සහ වත්කම් මත ලාභ/ඉපැයීම් ප්‍රතිශතය මත පදනම් වීමෙනි. එබැවින්, "තැන්පතු හිමියන්ට සාධාරණ පොලියක් ගෙවීම" යන්න බැංකු ව්‍යාපාරයට අයත් මූලධර්මයක් නොවේ. මහ බැංකුව විසින් එවැන්නක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන්නේ නම්, ඊට අවශ්‍ය අතිරේක පොලිය මහ බැංකුව විසින් ලබා දිය යුතුය. ඊට හේතුව, එම සාධාරණ පොලී අනුපාතයට අදාළ අතිරේක අවදානම් දැරීමට බැංකු ඉදිරිපත් නොවන බැවිනි. ඊට උදාහරණ ලෙස 2015 දී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉහළ දේශපාලනික පොලී අනුපාතයක් මහ බැංකුව විසින් ක්‍රියාත්මක කිරීම දැක්විය හැකිය.

  • තෙවනුව, බැංකු ව්‍යාපාරික සාධකවලින් පිටත ඉහළ තැන්පතු පොලී ගෙවීමෙන් හට ගන්නා අවදානම්වලට හොඳම උදාහරණය මහ බැංකු අධිපති විසින් දැක්වූ පරිදි වර්තමානයේ බැංකුවල ගෙවීම් අතපසු වූ බැංකු ණය ප්‍රතිශතය ඓතිහාසික මට්ටමට ඉහළ යාම යි. එය හුදෙක් මහ බැංකු අධිපති විසින් 2022 දී 25% ක් වැනි ඉහළ තැන්පතු පොලියක් ගෙවන ලෙස නියම කිරීමේ අතුරු ප්‍රතිඵලය යි. 

    • එම අවස්ථාවේ තැන්පතු හිමියන් උද්දාමයට පත් වී, නව මහ බැංකු අධිපති වෙත ප්‍රසංශා මුඛයෙන් බැංකු ඉදිරිපිට පෝලිම් ගැසී, දැනට තිබෙන තැන්පතු අවලංගු කොට ඉහළ පොලී අනුපාතයන් යටතේ නව තැන්පතු ආරම්භ කරන ලදි. ඔවුන්ට එසේ කොම්පියුටර් සටහනක් මගින් ඉහළ පොලියක් ගෙවීමට බැංකුවලට හදිසියේ මුදල් ලැබෙන්නේ කෙසේ ද? යන්න තැන්පතු හිමියන් හෝ මහ බැංකු අධිපතිට අවබෝධ වූයේ නැත. 

    • එබැවින්, ඉහළ තැන්පතු පොලියට සමාන්තරව බැංකු විසින් කරනු ලැබුවේ, දැනට දී ඇති ණය ඇතුළුව සියළු ණයවල පොලී අනුපාතයන් වැඩි වේගයකින් ඉහළ දැමීම යි. එය බැංකුවල පොලී ආන්තිකය සහ ලාභ ප්‍රතිශතය කළමනාකරණය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ඒ අනුව, මහ බැංකු අධිපති විසින් සාධාරණීය කරන ලද 30% ක් වැනි ඉහළ පොලී අනුපාතයන් මත ව්‍යාපාරයන් කිරීම සහ ණය සේවාකරණය කිරීම අර්බුදයට සහ බංකොලොත් භාවයට පත් ආර්ථිකයක ණය කරුවන්ට කළ හැකි දෙයක් නොවේ. 

    • එබැවින්, මහ බැංකු අධිපති විසින් දැක්වූ පරිදි වර්තමානයේ බැංකු මුහුණ දෙන අධික බැංකු ණය පැහැර හැරීමේ අර්බුදය යනු හුදෙක් මහ බැංකු අධිපති විසින්ම තම මිත්‍යා මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් 2022 අප්‍රේල් 8 දින සිට නිර්මාණය කරන ලද බැංකු පද්ධති අර්බුදයක් බව සාමාන්‍ය මුදල් ගනුදෙනු දැනුමක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය.

  • සිවුවනුව, බැංකු ණය පොලී අනුපාතයන්හි උපරිම මට්ටම් නියම කොට, ණය පොලී අනුපාතයන් පහළ හෙළන ලෙස මහ බැංකුව විසින් 2023 අගෝස්තු 25 දින බැංකු වෙත නියෝග කොට ඇත. එහි දී, තැන්පතු පොලී අනුපාතයන්ගේ මට්ටම් ගැන සඳහන් නොවේ. එබැවින්, තැන්පතු හිමියන් වෙත සාධාරණ පොලියක් ලබා දිය යුතු බවට මහ බැංකු අධිපති විසින් ඉදිරිපත් කොට ඇති අදහස මෙම නියෝගය තුළින් මහ බැංකුව විසින්ම දැනටමත් ඉවත දමා ඇත.

එබැවින්, බැංකු විසින් පරාටේ බලය යොදා තැන්පතු හිමියන්ගේ මුදල් ආරක්ෂා කිරීම පිණිස හිඟ ණය අය කළ යුතු බවට මහ බැංකු අධිපති විසින් ඉදිරිපත් කරන ඝෝෂාව හුදෙක් හිඟ ණය අර්බුදයට ඔහුගේ හෝ මහ බැංකුවේ කිසි සබඳතාවයක් නොමැති  ස්වාධීන පාර්ශවයක් බවට තැන්පතු හිමියන් අතර මතයක් ගොඩ නැගීමේ අරමුණින් කෙරෙන බව පෙනේ. 

4. බැංකු පද්ධතියේ ස්ථායිතාවයට වඩා තැන්පතු හිමියන්ගේ ආරක්ෂාවට පරාටේ බලය වැදගත් වන බව.

  • මෙය පරාටේ බලය භාවිතා කිරීම සාධාරණීකරණය කිරීම සඳහා දක්වන ව්‍යාජ මතයකි. එවැනි, අරමුණක් පරාටේ බලය දී ඇති පනතේ පවා නොදැක්වෙයි. පරාටේ යනු පැහැර හැර ඇති බැංකු ණය අය කිරීමේ එක් මෙවලමක් පමණි. එබැවින්, එය මගින් තැන්පතු හිමියන්ගේ ආරක්ෂාව සැපයෙන බව ප්‍රකාශ කිරීම පදනම් විරහිත ය. මහ බැංකු අධිපති විසින් දැක්වූ පරිදි බැංකු පද්ධතියේ මුළු තැන්පතු පරිමාව රුපියල් ට්‍රිලියන 16 ක් වන අතර පසුගිය මාස 11 තුළ පරාටේ මගින් අයකර ගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 38 ක් වැනි සුළු ප්‍රමාණයකි. එනම්, තැන්පතු පරිමාව මෙන් 0.23% කි. එබැවින්, මෙම පරාටේ ක්‍රමවේදයෙන් තැන්පතු හිමියන් අරක්ෂා කළ හැකි බවට ප්‍රකාශ කිරීම හුදෙක් පදනමක් නොමැති අතිශයෝක්තියකි.

  • තව ද, බැංකු පද්ධතියේ ස්ථායිතාවය සහ තැන්පතු හිමියන්ගේ ආරක්ෂාව යනු වෙන් කොට ගත හැකි කාරණාවන් දෙකක් නොවේ. ඊට හේතුව, බැංකු පද්ධතියේ ස්ථායිතාවය යනු හුදෙක් තැන්පතු මුදල්වල ආරක්ෂාව පිළිබඳ ව තැන්පතු හිමියන් තුළ බැංකු කෙරෙහි පවතින විශ්වාසය මත පවතින තත්ත්වයක් බැවිනි. එම විශ්වාසය බිඳී යන අවස්ථාවක හොඳ බැංකු මේවා, නරක බැංකු මේවා, කියා බැංකු වර්ග කළ නොහැකිය. බැංකු අවදානම් කළමනාකරණයෙන් සහ මහ බැංකු නියාමනයෙන් සිදු කෙරෙන්නේ, තැන්පතු හිමියන්ට සැකයක් ඇති නොවන පරිදි බැංකුවල මූල්‍ය තත්ත්වය පවත්වා ගෙන යාම යි. එබැවින්, එය හුදෙක් පරාටේ බලය තුළින් ඉටු කර ගත හැකි දෙයක් නොවේ. එසේ කළ හැකි නම්, මහ බැංකුවක් අවශ්‍ය නොවේ. පරාටේ බලය තවත් වැඩි කර දීමෙන් එය රජයට කළ හැකි විය යුතුය. එහෙත්, ව්‍යාපාරික ආයතනයන්ට එවැනි අධිකරණ බලතල පැවරීම තුළින් එම ව්‍යාපාරයන් සමාජ විරෝධයට ලක් වී කඩා වැටෙනු ඇත.

  • එහෙත්, මීට වඩා හිඟ ණය අර්බුදයට මුහුණ දෙන්නේ, මූල්‍ය සමාගම් සහ කල්බදු මූල්‍ය සමාගම් ය. 2023 වර්ෂය මැද දී මෙම බැංකු නොවන මූල්‍ය ආයතනවල අංශයේ ගෙවීම් අතපසු වූ ණය ප්‍රතිශතය 20% ක් ලෙස වාර්තා විය. එය 2019 හිඟ ණය ප්‍රතිශතය වූ 10% මට්ටම දෙගුණ වීමකි. එම ණය බොහොමයක් මෝටර් රථ සහ ප්‍රාග්ධන උපකරණ උගස් මත ලබා දී ඇති ණය යි. එහෙත්, එම ණය අයකර ගැනීමට එම ආයතනවලට පරාටේ බලයක් නොමැත. එබැවින්, එම අංශයේ තැන්පතු හිමියන්ගේ මුදල් ආරක්ෂා කිරීමට ක්‍රමවේදයක් මහ බැංකු අධිපති විසින් යෝජනා කරන්නේ නැත. එහෙත්, බැංකු මෙන් ගිණුම් සටහන් මගින් ණය දීමට මෙම ආයතනවලට හැකියාවක් නොමැති බැවින් මෙම ආයතනයන් ණය ප්‍රදානය කරන්නේ තැන්පතු හිමියන්ගේ අරමුදල්වලින් බැවින් හිඟ ණය අර්බුදය උග්‍ර වී ඇත්තේ මෙම අංශයේ ය.

එබැවින්, බැංකු විසින් පරාටේ බලය භාවිතා කිරීම මහ බැංකු අධිපති විසින් පදනම් විරහිත ලෙස සාධාරණීකරණය කිරීමට උත්සාහ කොට ඇති බව පැහැදිලි ය.

5. කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදයේ බලපෑමට ලක් වූ ව්‍යාපාරයන්ට මහ බැංකුවෙන් සහනයන් ලබා දීම, එනම්, චක්‍රලේකන 8 ක් බැංකු වෙත නිකුත් කිරීම, ණය ඇප ආවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සහ ණය පොලී අනුපාතයන් පහළ දමන ලෙස බැංකු වෙත නියම කිරීම යනාදිය.
  • මෙම චක්‍රලේකනයන් හුදෙක් කිසිම නීතිමය පදනම් නොමැති බැංකු වෙත නිකුත් කොට ඇති මාර්ගෝපදේශයන් ය. මෙහි දී, කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතු කොට බැංකු මුහුණ දී ඇති පද්ධති ණය අර්බුදය නිරාකරණයට මහ බැංකුව සහ රජයේ ප්‍රතිපත්ති මැදිහත් වීමක් නොමැතිව එය බැංකුවලටම නිරාකරණය කර ගන්නා ලෙස බෝලය පාස් කිරීමකි. එය ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියා කැපීමකි.
  • අර්බුදයට පත් වී ඇති ව්‍යාපාරයන් නැවත නගා සිටුවන ආකාරය පිළිබඳ ව බැංකුවලට උපදෙස් දීමට මහ බැංකුවට දැනුමක් හෝ පදනමක් නොමැත.
  • මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ද එම විෂය සඳහා කිසිම නීතිමය බලයක් නොමැති ආයතනයකි. එබැවින්, යම් පැමිණිල්ලක් ලැබුණ විට දෙපාර්තමේන්තුව විසින් කරනුයේ අදාළ බැංකුවෙන් වාර්තාවක් ඉල්ලා එය විසඳන ලෙස බැංකුවටම දන්නා සිටීම යි. තව ද, මෙම දෙපාර්තමේන්තුව 2023 සැප්තැම්බර් 14 දින අවලංගු කරන ලද මුදල් නීති පනත යටතේ පිහිටුවන ලද්දක් බැවින් එම දෙපාර්තමේන්තුව ද අවලංගු වී ඇත. මූල්‍ය ගනුදෙනු කරුවන්ගේ ආරක්ෂාව හෝ පාරිභෝගික ආරක්ෂාව සඳහා බැංකු කෙරෙහි මැදිහත් වීමට අවශ්‍ය විශේෂ නීති මහ බැංකුව වෙත මෙතෙක් පවරා නොමැත.

  • ණය පොලී අනුපාතයන් පහළ දමන ලෙස මෑත දී බැංකු වෙත කරන ලද මුදල් මණ්ඩල විධානය නව මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ මෙවලමක් මිස හිඟ ණය අර්බුදයට මුහුණ දෙන ණය නිරාකරණ මෙවලමක් නොවේ. තව ද, එම විධානය 2023 සැප්තැම්බර් 14 දින අවලංගු කරන ලද මුදල් නීති පනත යටතේ නිකුත් කළ එකක් බැවින්, දැනට එම විධානයේ නීතිමය බලයක් නොමැත.

  • එම චක්‍ර ලේකන සහ මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ කටයුතුවල ප්‍රතිඵලයක් නොමැති බව බැංකු හිඟ ණය මෙතරම් ඉහළ යමෙන්ම පැහැදිලි වෙයි. එබැවින්, මේවා හුදෙක් මහ බැංකුවේ පුරාජේරුව කියමින් බැංකුවලට දොස් පැවරීමට පමණක් වැදගත් වේ.
  • ණය ඇප ආවරණය කොරෝනා වසංගතය අවස්ථාවේ 2020 දී හඳුන්වා දෙන ලද මෙවලමකි. එහෙත්, එහි ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාවන් මහ බැංකු වාර්තාවල නොමැත. එහෙත්, එම අවස්ථාවේ මහ බැංකුව විසින් ව්‍යාපාරයන්ට බැංකු ණය සැපයීම සඳහා ක්‍රියාත්මක කරන ලද රුපියල් බිලියන 150 ක පමණ 4% විශේෂ ප්‍රතිමූල්‍ය ණය ක්‍රමය සහ රාජ්‍ය ඉඳිකිරීම් කොන්ත්‍රාත් ආයතන සඳහා රාජ්‍ය ඇපය මත ක්‍රියාත්මක කළ ද්‍රවශීල ණය ක්‍රමය මහ බැංකු අධිපති විසින් සඳහන් කොට නොමැත. ඊට හේතුව, ඔහු විසින් ඊට විරුද්ධ වීමත්, එම ණය ප්‍රදානය ප්‍රමාද වීම පිළිබඳ ව එවක ජනාධිපති වරයා විසින් මහ බැංකු නිලධාරීන් කැඳවා ප්‍රසිද්ධියේ දොස් පැවරීමත් ය. මහ බැංකු අධිපති විසින් වත්මන් තනතුර භාර ගත් විගස ආර්ථිකයේ එවක ඉහළ යමින් පැවති අධි උද්ධමන පීඩනයට හේතුව එම ණය සඳහා මුදල් මුද්‍රණය කිරීම බවට එවක රජයට දැඩිව දෝෂාරෝපණය ද කරන ලදි. 

6. තැන්පතු හිමියන්ගේ කැමැත්තක් නොමැතිව එම මුදල්වලින් ණය ගෙන ණය පැහැර හරින්නේ නම්, තැන්පතු හිමියන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන බව. මේ දිනවල බැංකු ණය පැහැර හැර ඇති පිරිසක් සංවිධානය වී ණය අය නොකරන ලෙස ඉල්ලා සිටින බව. ඊට තැන්පතු හිමියන් කැමති නම් ප්‍රශ්නයක් නොමැති බව. එහෙත්, තැන්පතු හිමියන්ගේ කැමැත්තක් නැතිව ණය ගෙන, එම ණය පැහැර හැර ආපසු අය කර ගැනීමට නොහැකි නම්, ණය දීම අඩු කිරීමට බැංකුවලට සිදු වන බව. ඉන් රටේ ආර්ථිකයට අවශ්‍ය ණය සැපයීමට නොහැකි වන බව.

  • මෙය පදනම් විරහිත වන්නේ, බැංකු ණය ප්‍රදානය සඳහා තැන්පතු හිමියන්ගේ අවසරය ගැනීමේ ක්‍රම වේදයක් බැංකු පනතේ නොමැති අතර තැන්පතු ද අවදානම් සහිත මූල්‍ය මෙවලම් වන බැවිනි. එබැවින්, තැන්පතු හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ මූලධර්මයක් බැංකු සම්ප්‍රදාය තුළ හෝ බැංකු නියාමන නීති තුළ හෝ නොමැත.

  • එබැවින්, ණය කරුවන්ගේ සංවිධානයට තැන්පතු හිමියන්ගේ අවසරය ලබා ගැනීමක් පිළිබඳව කරන ප්‍රකාශය ද හාස්‍ය ජනකය. ණය කරුවන්ට පමණක් නොව ඕනෑම ගනුදෙනුකාර පාර්ශවයන්ට තම ව්‍යාපාරික අභිලාෂයන් ආරක්ෂා කර ගැනීම සඳහා සාමකාමීව සංවිධානය වීමට නීතිමය බාධාවක් නොමැත. එවැනි සංවිධාන රාශියක් දැකිය හැකිය.
7. ණය පැහැර හරින සුළු පිරිසකට සහනය දීම සඳහා බදු ගෙවන්නන් විසින් තවත් බදු ගෙවනවා ද, නැත්නම් බහුතර තැන්පතු හිමියන් විසින් එය ගෙවීමට කැමති ද, යන්න තීරණය කළ යුතු බව. බැංකු පද්ධතියට හානියක් වෙයි නම් බදු ගෙවන්නන් හෝ තැන්පතු හිමියන් එය දැරිය යුතු වීම.
  • ණය අවදානම් කළමනාකරණය බැංකුවල නෛතික සහ ව්‍යාපාරික වගකීමකි. ඒ සඳහා බැංකු ව්‍යාපාරික, මූල්‍ය වාර්තාකරණ සහ නියාමන ප්‍රමිතීන් රැසක් පවතී. හිඟ ණය වර්ග කිරීම, ණය අවදානම් සඳහා මුදල් වෙන් කිරීම, බැංකු හිමියන් විසින් අවදානම්වලට සාපේක්ෂව ප්‍රාග්ධනය සැපයීම සහ පරාටේ ඇතුළු ණය අයකර ගැනීමේ ක්‍රමවේදයන් යනාදිය ඉන් සමහරකි. එබැවින්, පැහැර හරින ලද ණයවල වගකීම පවතින්නේ බැංකු හිමියන් සහ කළමනාකාරිත්වය වෙතය. එබැවින්, බදු ගෙවන්නන් සහ තැන්පතු හිමියන් විසින් එම ණය අලාභ පියවීමේ අවශ්‍යතාවයක් පිළිබඳ ව දැක්වීම හාස්‍ය ජනකය.

  • මහ බැංකු නියාමනයේ දී ප්‍රමුඛත්වය දෙනු ලබන බැංකු ව්‍යාපාරික අංශයක් වන්නේ ණය ප්‍රදනය යි. එබැවින්, හිඟ ණය අර්බුදයකට මුහුණ දෙන බැංකු පිළිබඳ ව මැදිහත් වීමේ නෛතික බලතල රාශියක් මහ බැංකුව සතුව පවතී. අධ්‍යක්ෂක මණ්ඩල ඉවත් කොට නව අධ්‍යක්ෂක මණ්ඩල පත කිරීම, ණය අලාභ පියවීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනය සපයන ලෙස බැංකු හිමියන්ට නියම කිරීම සහ අවදානම්කාරී බැංකු පවරාගෙන ප්‍රතිව්‍යුහගත කිරීම යානා දී වැනි පුළුල් බලතල පවතී.

  • මෙහි දී, බැංකු හිමිකරුවන් විසින් නව ප්‍රාග්ධනය සැපයීමට අවශ්‍ය අරමුදල් ද ජනිත වන්නේ ණය හරහා ය. එසේ නැතිව, එම මුදල් ඔවුන් තම නිවෙස්වල දැනටමත් එකතු වී ඇති  කාසි සහ නෝට්ටුවලින් රැගෙන එන්නේ නැත. මුදල් සහ ණය අර්බුදයක් හෝ හිඟයක් පවතින විට බැංකු හිමිකරුවන්ට නව ප්‍රාග්ධන අරමුදල් සොයා ගැනීම ගැටළුවක් බව සාමාන්‍ය දැනුම යි. රජය විසින් රුපියල් බිලියන 450 ක නව ප්‍රාග්ධනය ලෙස රාජ්‍ය බැංකු වෙත සැපයෙන්නේ ද රජයේ ණය ගැනීමේ බලය හරහා ය. මෙය රාජ්‍ය බැංකු දෙකට නව ප්‍රාග්ධනය සැපයෙන පළමු අවස්ථාව නොවේ. එහෙත්, ප්‍රාග්ධනය යනු හුදෙක් හිඟ ණය අර්බුදයට ගණකාධිකරණ හෝ ශේෂ පත්‍ර විසඳුමක් මිස ආර්ථිකය මුහුණ දෙන පද්ධති ණය අර්බුදයට විසඳුමක් නොවේ. ඊට හේතුව, බැංකුවක සමස්ත ප්‍රාග්ධනය යනු සත්‍ය ණය අවදානම්වලින් සුළු ප්‍රතිශතයකි. මෙහි දී, රාජ්‍ය ණය යනු අවදානම් ශුන්‍ය වත්කම් ලෙස මහ බැංකුව විසින් නියම කොට ඇති බැවින් රජයට දී ඇති ණය (රාජ්‍ය සුරැකුම්පත් ඇතුළුව) සඳහා ප්‍රාග්ධනය වෙන් කිරීමක් අවශ්‍ය නොවේ. එබැවින්, ප්‍රාග්ධනය යනු හුදෙක් අර්ථ රහිත මූල්‍ය ස්ථායී මිනුමකි. එමගින්, හිඟ ණය හේතු කොට බැංකු මුහුණ දෙන ද්‍රවශීල අර්බුදයට පිළියමක් නොලැබේ. උදාහරණ ලෙස 1992 දී එවක මුදල් ඇමති විසින් බාසල් ජාත්‍යන්තර සම්මතය අනුව ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් රාජ්‍ය බැංකු දෙක සතු නොවූ බැවින්, එම බැංකු දෙක බංකොලොත් බැංකු දෙකක් බව පාර්ලිමේන්තුවේ දී ලෙස ප්‍රකාශ කරන ලදි. එහෙත්, මහජනයා විසින් එම බැංකු දෙකෙන් තම තැන්පතු ඉවත් කර ගැනීමට පැමිණීමක් හෝ බැංකු දෙක කඩා වැටීමක් සිදු වූයේ නැත.

  • තව ද, ආර්ථික අර්බුදය තුළ දැනටමත් බදු ආදායම කඩා වැටී ඇති රටක රජය ආරක්ෂා කිරීමට අමතරව තැන්පතු හිමියන් ආරක්ෂා කිරීමටත් බදු ගෙවන්නට සිදු වන බව මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කිරීම හාස්‍ය ජනකය. ඉන් පෙනෙන්නේ, වත්මන් රජයේ සිටින ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයන්ගේ විෂය දැනුමේ මද භාවය යි. එසේම, රජයට ඕන ඕන වෙලාවට බදු ගෙවීමට අවශ්‍ය මුදල් මහජනතාව තම නිවෙස්වල ඉතිරි කොට තබා ගන්නේ නැත. බදු මුදල් ජනිත වන්නේ, බැංකු ණය ප්‍රසාරණය හරහා නිෂ්පාදනය සහ ආදායම් ප්‍රසාරණය වේ නම් පමණි.

  • බදු යනු මහජනයා උපයා ගෙන ඇති මුදල් රජය විසින් චක්‍රීය ලෙස උකහා ගැනීමක් බැවින් නැවත නැවත බදු ගෙවීම සඳහා මුදල් ඉපැයීම පිණිස ණය සහ තැන්පතු අවශ්‍ය වනු ඇත. එබැවින්, බදු, ණය සහ තැන්පතු යනු එකම දාමයක පුරුක් වෙයි.
  • එබැවින්, මූල්‍ය සහ ආර්ථික අර්බුදයන් හේතුවෙන් පද්ධති ණය අර්බුදයක් පවතින අවස්ථාවල එය නිරාකරණයට අවශ්‍ය වන ජාතික මට්ටමේ විශේෂ රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම යි. එවැනි අවස්ථාවල රාජ්‍ය නායකයන් සහ මහ බැංකු අධිපතිවරු විසින් මෙවැනි පදනම් විරහිත ප්‍රකාශනයන් කරමින් තම මහජන තනතුරු දැරීම නීති විරෝධී වෙයි. ඊට හේතුව, එවැනි අර්බුදයන් හට ගන්නේ රාජ්‍ය පාලන අසමත් වීම් හේතු කොට ගෙන බැවිනි.
  • මීට ප්‍රතිවිරුද්ධව, රජය සහ මහ බැංකුව විසින් රාජ්‍ය ණය ගෙවීම අපහසු වීමේ අර්බුදය නිරාකරණය කරන්නේ, එම ණය හිමියන්ගේ කැමැත්ත ගෙන නොව, රාජ්‍ය බලය යෙදීමෙනි. රජය විසින් EPF එකෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන ලද්දේ EPF අරමුදල් හිමියන්ගේ කැමැත්ත ලබා ගෙන නොවේ. රාජ්‍ය ණය කළමනාකරණය කරනු ලැබුවේ, මහ බැංකු ආර්ථික විශේෂඥයන් ය. එහෙත්, රාජ්‍ය ණය ද පැහැර හැර ඇත. රාජ්‍ය බැංකු විසින් රජයට සහ රාජ්‍ය ව්‍යවසායන්ට ණය දී ඇත්තේ වත්කම් ඇපයට ගෙන නොවේ. එබැවින්, රාජ්‍ය ණය නිසි ලෙස අයකර ගැනීම සඳහා පරාටේ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැත. එබැවින්, බැංකු නියාමක ලෙස මහ බැංකුව විසින් කළ යුත්තේ, රජයට ණය සැපයීමේ දී ද දේපල ඇපයට ගන්නා ලෙස නියම කිරීම යි. 
  • එබැවින්, ආර්ථික අර්බුද කාලවල රාජ්‍ය ණය මෙන්ම පෞද්ගලික ණය ද අර්බුදයට ලක් වන අතර අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ, ආර්ථිකයේ පොදු ණය විශ්වාසය ඉහළ නැංවීමට අවශ්‍ය විශේෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් බවට මහ බැංකු අධිපතිට දැනුමක් නොමැත. එහි දී, මහ බැංකුව ප්‍රමුඛත්වය ගත යුතුය. ඊට හේතුව, බැංකු ණය යනු බැංකු සහ මූල්‍ය පද්ධතියේ පදනම වන බැවිනි. බැංකු ණය ක්‍රමය අක්‍රීය වුව හොත් මහ බැංකුවට මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ද නොහැකි වනු ඇත.

8. බැංකු ණය පැහැර හැර ඇති අයගේ ණය අය කරන ලෙස කරන ලෙස පාර්ලිමේන්තුවේ දී  ගෝෂාවක් පැවති බව.
  • මෙය නව ගැටළුවක් නොව අතීතය පුරා රාජ්‍ය බැංකු පිළිබඳ ව පැවති ගැටළුවකි. එබැවින්, මහ බැංකු අධිපති විසින් කළ යුත්තේ, මාධ්‍යයට කරුනු කීම නොව, තම බැංකු නියාමන බලතල යොදා බැංකු ළවා එම ණය අයකර වීම යි.

  • එසේම, පාර්ලිමේන්තුවේ සිදු කෙරෙන විවාදයන් පිළිබඳ ව විවේචනයන් සහ අදහස් දැක්වීමට අධිකාරී බලයක් මහ බැංකු අධිපති වෙත නොමැත. එම කරුනු පිළිබඳ මහ බැංකුවෙන් පිළිතුරු අවශ්‍ය නම්, පාර්ලිමේන්තුව විසින් එම තොරතුරු මහ බැංකුවෙන් ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් පවතී.

  • තව ද, පාර්ලිමේන්තු විවාදයේ දී වාර්තා වූයේ 2023 පළමු මාස 11 තුළ පරාටේ නීතිය අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 1,183 කට විරුද්ධව දේපළ අත්පත් කරගෙන තිබෙන බව යි. එම සංඛ්‍යාව පිළිබඳ ව අදාළ රාජ්‍ය අධිකාරිය විසින් වාර්තා කොට නැත. එහෙත්, මහ බැංකු අධිපති විසින් මාධ්‍ය දේශනයේ දී සඳහන් කරනු ලැබුවේ, එම කාලය තුළ බැංකු ණය කරුවන් 557 කට විරුද්ධව පරාටේ ක්‍රියාත්මක කොට ඇති බව යි. මින් කුමන සංඛ්‍යාව නිවැරදි ද? යන්න තහවුරු කර ගැනීමට මගක් මහජනතාව නොමැත.

  • එබැවින්, මෙහි දී මහ බැංකු අධිපති විසින් තම නිල බලය ඉක්මවා දේශපාලනික තත්ත්වයකින් ක්‍රියා කොට ඇත.
9. පරාටේ ක්‍රියාත්මක නොකොට, තවදුරටත් ණය පැහැර හැරීමට ඉඩ දෙනවා ද? යන්න සමාජයේ සාකච්ඡාවක් පැවැත් විය යුතු බව. මෙය බැංකු පද්ධතියේ ස්ථායිතාවයට, මහජනයාගේ තැන්පතු ආරක්ෂාවට සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ දී ඉදිරියේ ණය ලබා ගැනීමේ හැකියාවට සහ ව්‍යාපාරයන් වැඩි දියුණු කිරීමට වැදගත් කාරණයක් බව

  • පරාටේ බලය යනු මහ බැංකුව විසින් මාධ්‍යය හරහා ජනසමාජයට ඉදිරිපත් කොට තීරණය කළ යුතු දෙයක් නොව, රජය විසින් දේශපාලනික වශයෙන් ගත යුතු ප්‍රතිපත්ති තීරණයකි. 1990 දී පරාටේ බලය පාර්ලිමේන්තුව විසින් බැංකු වෙත ලබා දීමේ දී මාධ්‍යය සහ ජනසමාජය සමඟ කතිකාවතක් කළේ නැත.

  • තව ද, මීට පෙර ලිපියේ දැක්වූ පරිදි පරාටේ යනු බැංකු පද්ධතියේ හෝ තැන්පතුවල ආරක්ෂාව තීරණය කරන මෙවලමක් නොවේ. එය කළ හැකි නම් බැංකු නියාමනයට මහ බැංකුවක් අවශ්‍ය නොවේ.

  • එසේම, ඉදිරි ණය සහ ව්‍යාපාරික ප්‍රසාරණය සඳහා පරාටේ බලයේ පිහිට අවශ්‍ය නොවේ. ඊට හේතුව, ව්‍යාපාරික මොඩලය සහ වත්මන් ගෙවුම් සහ පියවුම් පද්ධතිය තුළ ණය මැවීමේ හැකියාව බැංකුවලට ඇති බැවිනි. එහෙත්, මෙහි දී, අවශ්‍ය වන්නේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා අවශ්‍ය පරිදි මහ බැංකුව විසින් බැංකු ණය ව්‍යාප්තිය සහ ණය පිරිවැය නියාමනය කිරීම යි. මෙහි දී, මහ බැංකු ප්‍රතිමූල්‍ය ණය සහ ඇපආවරණ සැපයීම අවශ්‍ය වෙයි.

  • තව ද, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය ණය ව්‍යාප්තිය පරාටේ බලය හේතු කොට වැළකෙනු ඇත. පළමුව, බැංකු විසින් ණය සඳහා දේපල වත්කම් ඇපයට ගැනීමට පෙළඹීම. එවැනි සුරැකුම් ඇපයන් සැපයීමට හැකියාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නොමත. දෙවනුව, බැංකු විසින් තිබෙන වත්කම් වෙළෙඳාම සහ සමපේක්ෂණය සඳහා ණය සැපයීමට පෙළඹෙනු ඇත. එම ණය නව මූර්ත ආයෝජනයන් සහ නිෂ්පාදනය ප්‍රවර්ධනයට සහ ආර්ථික වර්ධනය නැංවීමට ප්‍රයෝජනවත් නොවේ.

  • එහෙත්, නව මහ බැංකු පනත යටතේ ඒ සඳහා මහ බැංකුවට බලතල නොමැත. එහෙත්, අවලංගු කළ මුදල් නීති පනත යටතේ එවැනි බලතල රාශියක් පැවතින. එබැවින්, වත්මන් බැංකු හිඟ ණය අර්බුදය නිරාකරණය පිණිස මහ බැංකු අධිපතිට සහ රජයට කළ හැකි එකම කාර්යය වන්නේ, මාධ්‍යයට කථා පැවැත්වීම පමණි.

නිගමනය

සමස්තයක් ලෙස ගත් විට පරාටේ බලය සහ තැන්පතු හිමියන්ගේ මුදල්වල ආරක්ෂාව පදනම් කර ගෙන 2024 ජනවාරි 01 දින මහ බැංකු අධිපති විසින් පැවත්වූ මාධ්‍ය දේශනයේ අඩංගු වූ කරනුවලින් සනාථ වනුයේ,

  • බැංකු තැන්පතු, බැංකු ණය සහ ණය අයකර ගැනීම පිළිබඳ ව මූලික විෂය දැනුමක් මහ බැංකු අධිපති වෙත නොමැති බව,

  • බැංකු ණය අය කර ගැනීමේ පරාටේ බලය පිළිබඳ ව ඔහු විසින් අතිශයෝක්ති වැනුමක් ඉදිරිපත් කළ බව,

  • මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති අසමත් භාවය හේතු කොට ඇති වී ඇති වත්මන් මූල්‍ය සහ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වන බැංකු පද්ධතිය සහ මහජනතාව මුහුණ දෙන හිඟ ණය අර්බුදය නිරාකරණයට අවශ්‍ය විශේෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති බව.
  • එබැවින්, ඔහු තවදුරටත් මහ බැංකු අධිපති දුරය දැරීමට නුසුදුසු සහ පිළි ගත නොහැකි පුද්ගලයකු බවට පත් වී ඇති බව,

එබැවින්, මහජනයා මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බුදය ඉදිරියේ දී ණය සහ මුදල් හිඟය හේතු කොට තවත් කර්කෂක වී, ඉන් ගොඩ ඒම සඳහා දශක ගණනාවක් ගත වනු ඇත.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි