මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - II කොටස - බැංකු විෂය නොදැනීම ද?
මෙම ලිපිය මහ බැංකු අධිපති විසින් ජනවාරි 01 දින පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී, බැංකු විසින් පරාටේ නෛතික බලය ක්‍රියාත්මක කළ යුතු බවට කරන ලද දේශනයේ ඇතුලත් සාවද්‍ය කරුනු හෙළි කෙරෙන II වැනි ලිපිය යි. එහි පළමු ලිපිය ජනවාරි 03 දින නිකුත් කරන ලදි (එය මෙතනින් කියවන්න).
එම ලිපියෙන් බැංකු විසින් තැන්පතු හිමියන්ගේ මුදල්වලින් ණය දෙන බවට මහ බැංකු අධිපති විසින් දැක්වූ අදහසේ සාවද්‍ය භාවය පැහැදිලි කරන ලදි.
එබැවින්, මෙම II කොටස මගින් මහ බැංකු අධිපති විසින් දැක්වූ තවත් අදහස් තුනක ඇති සාවද්‍ය භාවය සහ වගකීම් විරහිත භාවය කෙටියෙන් ඉදිරිපත් කෙරේ.
සමාජ මධ්‍යයෙහි පළ වූ එම වීඩියෝව පහත දැක්වෙයි.
මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ සාවද්‍ය අදහස් තුනක්
1. තැන්පතු හිමියන් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ මුදල් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සාධාරණ පොලියක් ලබා දීම මහ බැංකුවේ වගකීම බව.
- බැංකු සම්බන්ධව මහ බැංකුව විසින් ඉටු කෙරෙන විවිධ කාර්යයන්ගේ අරමුණ වනුයේ, බැංකුවල සහ බැංකු පද්ධතියේ මූල්‍ය ශක්තිමත් භාවය සහ බැංකු පද්ධතියේ ස්ථායිතාවය ප්‍රවර්ධනය කිරීම යි. ඒ සඳහා මහ බැංකුව විසින් බැංකු නියාමනය සිදු කෙරෙන අතර මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ බැංකුවල ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීමට උපකාරී වෙයි. මෙහි දී, බැංකු අර්බුදකාරී අවස්ථාවල අවසාන ණය දෙන්නා ලෙස ද මහ බැංකු ක්‍රියා කෙරේ. මෙම සියළු කාර්යයන් සිදු කෙරෙන්නේ, සියළු බැංකු ගනුදෙනු කරුවන්ගේ යහපත සහ රටේ මූල්‍ය පද්ධති ස්ථායිතාවය අරමුණු කොට ගෙන ය.
- තැන්පතු හිමියන් ආරක්ෂා කිරීම සඳහා පවතින එකම විශේෂ නියාමනය වන්නේ, මහ බැංකුව විසින් බැංකුවක ව්‍යාපාරික කටයුතු අත් හිටුවන අවස්ථාවල කුඩා තැන්පතු හිමියන්ගේ මුදල් ගෙවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන තැන්පතු රක්ෂණ ක්‍රමය යි. එහෙත්, තැන්පතු රක්ෂණ අරමුදල ඉතා කුඩා බැවින්, එමගින්, බැංකු අර්බුදයක දී තැන්පතු හිමියන් ආරක්ෂා කිරීමට මහ බැංකුවට හැකියාවක් නොමැත.
- එසේම, පසුගිය සැප්තැම්බර් 14 දින මහ බැංකුවේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව මහ බැංකු පනතින් අර්බුදකාරී අවස්ථාවල බැංකුවලට අවසාන ණය දෙන්නා ලෙස මහ බැංකුවේ සම්ප්‍රදායික කාර්යය ඉවත් කොට ඇත. බොහෝ බැංකු අර්බුදයන්ට ප්‍රධාන හේතුව වනුයේ තැන්පතු හිමියන් විසින් හදිසියේ බැංකුවලින් මුදල් ආපසු ගැනීමට පෙළඹීම යි. එවැනි අවස්ථාවල අවසාන ණය දෙන්නාගේ කාර්යය ඉතා වැදගත් වන්නේ, එමගින් බැංකුවල ද්‍රවශීලතාවය ඉහළ නැංවීම හරහා තැන්පතු හිමියන්ගේ විශ්වාසය ඉහළ නැංවෙන බැවිනි. එහෙත්, එම කාර්යය මහ බැංකුවෙන් ඉවත් කිරීම තුළින් පොදුවේ බැංකු තැන්පතු හිමියන් සඳහා පැවති එකම මහ බැංකු ආරක්ෂාව ද අහිමි කොට ඇත.
- තව ද, බැංකු විසින් තැන්පතු හිමියන්ට ගෙවන ලබන පොලිය නියාමනය කිරීම සඳහා මහ බැංකුව වෙත පැවති නෛතික බලය ද නව මහ බැංකු පනතින් ඉවත් කොට ඇත. එබැවින්, බැංකු තැන්පතු හිමියන්ට සාධාරණ පොලියක් ලබා දීමට කිසිම හැකියාවක් මහ බැංකුවට නොමැත.
- තැන්පතු භාර ගැනීම යනු බැංකුවල එක් ව්‍යාපාරික මෙවලමකි. මහජනයා විසින් බැංකුවල මුදල් තැන්පත් කරන්නේ ද පොලිය සහ වෙනත් බැංකු පහසුකම් ලබා ගැනීමේ ව්‍යාපාරයක් වශයෙනි. එබැවින්, තැන්පතු ව්‍යාපාරය බැංකුවලට මෙන්ම තැන්පතු හිමියන්ට ද අවදානම් ආර්ථික ගනුදෙනුවකි. මහ බැංකුව විසින් තැන්පතු රක්ෂණ ක්‍රමයක් ඉදිරිපත් කිරීමෙන්ම එය සනාථ වෙයි. මහජනතාව දැනුවත් කිරීම සඳහා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති " ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා පිළිබඳ අත්වැලක්" " A Guide to Financial Services in Sri Lanka" (දෙමළ භාෂාවෙන් ද නිකුත් කොට ඇත.) යන ප්‍රකාශනයේ ද මෙම අවදානම මෙන්ම තැන්පතු කිසිම මුදල් ගනුදෙනුවකට මහ බැංකුවේ වගකීමක් හෝ ඇපවීමක් නොමැති බව පැහැදිලිව දක්වා ඇත. මහ බැකුව විසින් රාජ්‍ය විදේශ ණය සේවාකරණය 2022 අප්‍රේල් 12 දින පැහැර හැරීමෙන් ද එය මනාව සනාථ වෙයි.
එබැවින්, මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය පූර්ණ අසත්‍යයක් වන අතර එය තැන්පතු හිමියන් මුළා කිරීමකි.
2. තැන්පතු හිමියන්ට 25% ක වැනි පොලියක් ගෙවීමට හැකි වූයේ, ණය කරුවන්ගෙන් 30% ක් වැනි පොලියක් අය කිරීමෙන් බව.
- පළමුව, බැංකු විසින් තැන්පතු හිමියන්ට 25% ක වැනි ඉහළ පොලියක් බැංකු විසින් ගෙවන ලද්දේ, ඔවුන්ට සාධාරණ පොලියක් ගෙවීමේ අරමුණින් හෝ බැංකු ව්‍යාපාරික පදනමකින් හෝ නොවේ. එය හුදෙක් මහ බැංකු අධිපති විසින් 2022 අප්‍රේල් 8 දින මහ බැංකු පොලිය 7% කින් ඉහළ දැමීම හරහා ක්‍රියාත්මක කළ අති දරුනු මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ බලකිරීම මත සිදු විය. 2022 දී පැවති බැංකු ව්‍යාපාරික පරිසරය සහ අවදානම් තුළ බැංකු විසින් තැන්පතු පොලී අනුපාතයන් එසේ ඉහළ දැමීමට මනාප නොවූ බැවින් තැන්පතු පොලී අනුපාතයන් ඉහළ දමන ලෙස මහ බැංකු නියෝගයක් ද 2022 අප්‍රේල් 21 දින බැංකු වෙත නිකුත් කරන ලදි.
- දෙවනුව, මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කරන පරිදි තැන්පතු හිමියාට සාධාරණයක් කිරීම සඳහා පළමුව ඉහළ තැන්පතු පොලියක් තීරණය කොට, ඒ අනුව, දෙවනුව ණය පොලී අනුපාතයන් තීරණය කිරීම බැංකු ව්‍යාපාරික ක්‍රමවේදයක් නොවේ. සියළු පොලී අනුපාතයන් තීරණය කෙරෙන්නේ ඒ ඒ බැංකු විසින් මුහුණ දෙන ණය අවදානම් සහ ව්‍යාපාරික මොඩලය පදනම් කර ගෙන ය. මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය ද එහි එක් අවදානම් සාධකයකි. එබැවින්, බැංකු විසින් තම මුදල් ප්‍රවාහ කළමනාකරණය සිදු කෙරෙන්නේ, ඉලක්ක ගත බැංකු පොලී අන්තිකය සහ වත්කම් මත ලාභ/ඉපැයීම් ප්‍රතිශතය මත පදනම් වීමෙනි. එබැවින්, "තැන්පතු හිමියන්ට සාධාරණ පොලියක් ගෙවීම" යන්න බැංකු ව්‍යාපාරයට අයත් මූලධර්මයක් නොවේ. මහ බැංකුව විසින් එවැන්නක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන්නේ නම්, ඊට අවශ්‍ය අතිරේක පොලිය මහ බැංකුව විසින් ලබා දිය යුතුය. ඊට හේතුව, එම සාධාරණ පොලී අනුපාතයට අදාළ අතිරේක අවදානම් දැරීමට බැංකු ඉදිරිපත් නොවන බැවිනි. ඊට උදාහරණ ලෙස 2015 දී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉහළ දේශපාලනික පොලී අනුපාතයක් මහ බැංකුව විසින් ක්‍රියාත්මක කිරීම දැක්විය හැකිය.
- තෙවනුව, බැංකු ව්‍යාපාරික සාධකවලින් පිටත ඉහළ තැන්පතු පොලී ගෙවීමෙන් හට ගන්නා අවදානම්වලට හොඳම උදාහරණය මහ බැංකු අධිපති විසින් දැක්වූ පරිදි වර්තමානයේ බැංකුවල ගෙවීම් අතපසු වූ බැංකු ණය ප්‍රතිශතය ඓතිහාසික මට්ටමට ඉහළ යාම යි. එය හුදෙක් මහ බැංකු අධිපති විසින් 2022 දී 25% ක් වැනි ඉහළ තැන්පතු පොලියක් ගෙවන ලෙස නියම කිරීමේ අතුරු ප්‍රතිඵලය යි.
- එම අවස්ථාවේ තැන්පතු හිමියන් උද්දාමයට පත් වී, නව මහ බැංකු අධිපති වෙත ප්‍රසංශා මුඛයෙන් බැංකු ඉදිරිපිට පෝලිම් ගැසී, දැනට තිබෙන තැන්පතු අවලංගු කොට ඉහළ පොලී අනුපාතයන් යටතේ නව තැන්පතු ආරම්භ කරන ලදි. ඔවුන්ට එසේ කොම්පියුටර් සටහනක් මගින් ඉහළ පොලියක් ගෙවීමට බැංකුවලට හදිසියේ මුදල් ලැබෙන්නේ කෙසේ ද? යන්න තැන්පතු හිමියන් හෝ මහ බැංකු අධිපතිට අවබෝධ වූයේ නැත.
- එබැවින්, ඉහළ තැන්පතු පොලියට සමාන්තරව බැංකු විසින් කරනු ලැබුවේ, දැනට දී ඇති ණය ඇතුළුව සියළු ණයවල පොලී අනුපාතයන් වැඩි වේගයකින් ඉහළ දැමීම යි. එය බැංකුවල පොලී ආන්තිකය සහ ලාභ ප්‍රතිශතය කළමනාකරණය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ඒ අනුව, මහ බැංකු අධිපති විසින් සාධාරණීය කරන ලද 30% ක් වැනි ඉහළ පොලී අනුපාතයන් මත ව්‍යාපාරයන් කිරීම සහ ණය සේවාකරණය කිරීම අර්බුදයට සහ බංකොලොත් භාවයට පත් ආර්ථිකයක ණය කරුවන්ට කළ හැකි දෙයක් නොවේ.
- එබැවින්, මහ බැංකු අධිපති විසින් දැක්වූ පරිදි වර්තමානයේ බැංකු මුහුණ දෙන අධික බැංකු ණය පැහැර හැරීමේ අර්බුදය යනු හුදෙක් මහ බැංකු අධිපති විසින්ම තම මිත්‍යා මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් 2022 අප්‍රේල් 8 දින සිට නිර්මාණය කරන ලද බැංකු පද්ධති අර්බුදයක් බව සාමාන්‍ය මුදල් ගනුදෙනු දැනුමක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය.
- සිවුවනුව, බැංකු ණය පොලී අනුපාතයන්හි උපරිම මට්ටම් නියම කොට, ණය පොලී අනුපාතයන් පහළ හෙළන ලෙස මහ බැංකුව විසින් 2023 අගෝස්තු 25 දින බැංකු වෙත නියෝග කොට ඇත. එහි දී, තැන්පතු පොලී අනුපාතයන්ගේ මට්ටම් ගැන සඳහන් නොවේ. එබැවින්, තැන්පතු හිමියන් වෙත සාධාරණ පොලියක් ලබා දිය යුතු බවට මහ බැංකු අධිපති විසින් ඉදිරිපත් කොට ඇති අදහස මෙම නියෝගය තුළින් මහ බැංකුව විසින්ම දැනටමත් ඉවත දමා ඇත.
එබැවින්, බැංකු විසින් පරාටේ බලය යොදා තැන්පතු හිමියන්ගේ මුදල් ආරක්ෂා කිරීම පිණිස හිඟ ණය අය කළ යුතු බවට මහ බැංකු අධිපති විසින් ඉදිරිපත් කරන ඝෝෂාව හුදෙක් හිඟ ණය අර්බුදයට ඔහුගේ හෝ මහ බැංකුවේ කිසි සබඳතාවයක් නොමැති ස්වාධීන පාර්ශවයක් බවට තැන්පතු හිමියන් අතර මතයක් ගොඩ නැගීමේ අරමුණින් කෙරෙන බව පෙනේ.
3. බැංකු පද්ධතියේ ස්ථායිතාවයට වඩා තැන්පතු හිමියන්ගේ ආරක්ෂාවට පරාටේ බලය වැදගත් වන බව.
- මෙය පරාටේ බලය භාවිතා කිරීම සාධාරණීකරණය කිරීම සඳහා දක්වන ව්‍යාජ මතයකි. එවැනි, අරමුණක් පරාටේ බලය දී ඇති පනතේ පවා නොදැක්වෙයි. පරාටේ යනු පැහැර හැර ඇති බැංකු ණය අය කිරීමේ එක් මෙවලමක් පමණි. එබැවින්, එය මගින් තැන්පතු හිමියන්ගේ ආරක්ෂාව සැපයෙන බව ප්‍රකාශ කිරීම පදනම් විරහිත ය. මහ බැංකු අධිපති විසින් දැක්වූ පරිදි බැංකු පද්ධතියේ මුළු තැන්පතු පරිමාව රුපියල් ට්‍රිලියන 16 ක් වන අතර පසුගිය මාස 11 තුළ පරාටේ මගින් අයකර ගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 38 ක් වැනි සුළු ප්‍රමාණයකි. එනම්, තැන්පතු පරිමාව මෙන් 0.23% කි. එබැවින්, මෙම පරාටේ ක්‍රමවේදයෙන් තැන්පතු හිමියන් අරක්ෂා කළ හැකි බවට ප්‍රකාශ කිරීම හුදෙක් පදනමක් නොමැති අතිශයෝක්තියකි.
- තව ද, බැංකු පද්ධතියේ ස්ථායිතාවය සහ තැන්පතු හිමියන්ගේ ආරක්ෂාව යනු වෙන් කොට ගත හැකි කාරණාවන් දෙකක් නොවේ. ඊට හේතුව, බැංකු පද්ධතියේ ස්ථායිතාවය යනු හුදෙක් තැන්පතු මුදල්වල ආරක්ෂාව පිළිබඳ ව තැන්පතු හිමියන් තුළ බැංකු කෙරෙහි පවතින විශ්වාසය මත පවතින තත්ත්වයක් බැවිනි. එම විශ්වාසය බිඳී යන අවස්ථාවක හොඳ බැංකු මේවා, නරක බැංකු මේවා, කියා බැංකු වර්ග කළ නොහැකිය. බැංකු අවදානම් කළමනාකරණයෙන් සහ මහ බැංකු නියාමනයෙන් සිදු කෙරෙන්නේ, තැන්පතු හිමියන්ට සැකයක් ඇති නොවන පරිදි බැංකුවල මූල්‍ය තත්ත්වය පවත්වා ගෙන යාම යි. එබැවින්, එය හුදෙක් පරාටේ බලය තුළින් ඉටු කර ගත හැකි දෙයක් නොවේ. එසේ කළ හැකි නම්, මහ බැංකුවක් අවශ්‍ය නොවේ. පරාටේ බලය තවත් වැඩි කර දීමෙන් එය රජයට කළ හැකි විය යුතුය. එහෙත්, ව්‍යාපාරික ආයතනයන්ට එවැනි අධිකරණ බලතල පැවරීම තුළින් එම ව්‍යාපාරයන් සමාජ විරෝධයට ලක් වී කඩා වැටෙනු ඇත.
- එහෙත්, මීට වඩා හිඟ ණය අර්බුදයට මුහුණ දෙන්නේ, මූල්‍ය සමාගම් සහ කල්බදු මූල්‍ය සමාගම් ය. 2023 වර්ෂය මැද දී මෙම බැංකු නොවන මූල්‍ය ආයතනවල අංශයේ ගෙවීම් අතපසු වූ ණය ප්‍රතිශතය 20% ක් ලෙස වාර්තා විය. එය 2019 හිඟ ණය ප්‍රතිශතය වූ 10% මට්ටම දෙගුණ වීමකි. එම ණය බොහොමයක් මෝටර් රථ සහ ප්‍රාග්ධන උපකරණ උගස් මත ලබා දී ඇති ණය යි. එහෙත්, එම ණය අයකර ගැනීමට එම ආයතනවලට පරාටේ බලයක් නොමැත. එබැවින්, එම අංශයේ තැන්පතු හිමියන්ගේ මුදල් ආරක්ෂා කිරීමට ක්‍රමවේදයක් මහ බැංකු අධිපති විසින් යෝජනා කරන්නේ නැත. එහෙත්, බැංකු මෙන් ගිණුම් සටහන් මගින් ණය දීමට මෙම ආයතනවලට හැකියාවක් නොමැති බැවින් මෙම ආයතනයන් ණය ප්‍රදානය කරන්නේ තැන්පතු හිමියන්ගේ අරමුදල්වලින් බැවින් හිඟ ණය අර්බුදය උග්‍ර වී ඇත්තේ මෙම අංශයේ ය.
එබැවින්, බැංකු විසින් පරාටේ බලය භාවිතා කිරීම මහ බැංකු අධිපති විසින් පදනම් විරහිත ලෙස සාධාරණීකරණය කිරීමට උත්සාහ කොට ඇති බව පැහැදිලි ය.
ඊළඟ කොටසින් මහ බැංකු අධිපතිගේ ඉතිරි අදහස්වල අසත්‍ය භාවය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
Comments
Post a Comment