අවසන් කොටස - මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීම ද?

 

මෙම ලිපිය මහ බැංකු අධිපති විසින් ජනවාරි 01 දින පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී, බැංකු විසින් පරාටේ නෛතික බලය ක්‍රියාත්මක කළ යුතු බවට කරන ලද දේශනයේ ඇතුලත් සාවද්‍ය කරුනු හෙළි කෙරෙන අවසන් ලිපිය යි. එහි පළමු ලිපි දෙක ජනවාරි 03 සහ 04 දින නිකුත් කරන ලදි (එය මෙතනින් කියවන්න) (පළමු ලිපිය) (දෙවැනි ලිපිය)

  • පසුගිය ලිපි දෙකෙන් මහ බැංකු අධිපති විසින් දැක්වූ සාවද්‍ය විෂය කරුනු 4 ක් පැහැදිලි කරන ලදි. 

  • මෙම අවසන් කොටස මගින් මහ බැංකු අධිපති විසින් දැක්වූ තවත් අදහස් 5 ක ඇති සාවද්‍ය භාවය සහ වගකීම් විරහිත භාවය කෙටියෙන් ඉදිරිපත් කෙරේ.

සමාජ මධ්‍යයෙහි පළ වූ එම වීඩියෝව පහත දැක්වෙයි. බැංකු අධිපති විසින් දැක්වූ මූලික අදහස් මෙම ලිපිය අවසානයේ සටහන් කොට ඇත.

බැංකු අධිපති විසින් දැක්වූ අදහස් 5 ක සාවද්‍ය සහ වගකීම් විරහිත භාවය 

1. කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදයේ බලපෑමට ලක් වූ ව්‍යාපාරයන්ට මහ බැංකුවෙන් සහනයන් ලබා දීම, එනම්, චක්‍රලේකන 8 ක් බැංකු වෙත නිකුත් කිරීම, ණය ඇප ආවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සහ ණය පොලී අනුපාතයන් පහළ දමන ලෙස බැංකු වෙත නියම කිරීම යනාදිය.
  • මෙම චක්‍රලේකනයන් හුදෙක් කිසිම නීතිමය පදනම් නොමැති බැංකු වෙත නිකුත් කොට ඇති මාර්ගෝපදේශයන් ය. මෙහි දී, කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතු කොට බැංකු මුහුණ දී ඇති පද්ධති ණය අර්බුදය නිරාකරණයට මහ බැංකුව සහ රජයේ ප්‍රතිපත්ති මැදිහත් වීමක් නොමැතිව එය බැංකුවලටම නිරාකරණය කර ගන්නා ලෙස බෝලය පාස් කිරීමකි. එය ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියා කැපීමකි.
  • අර්බුදයට පත් වී ඇති ව්‍යාපාරයන් නැවත නගා සිටුවන ආකාරය පිළිබඳ ව බැංකුවලට උපදෙස් දීමට මහ බැංකුවට දැනුමක් හෝ පදනමක් නොමැත.
  • මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ද එම විෂය සඳහා කිසිම නීතිමය බලයක් නොමැති ආයතනයකි. එබැවින්, යම් පැමිණිල්ලක් ලැබුණ විට දෙපාර්තමේන්තුව විසින් කරනුයේ අදාළ බැංකුවෙන් වාර්තාවක් ඉල්ලා එය විසඳන ලෙස බැංකුවටම දන්නා සිටීම යි. තව ද, මෙම දෙපාර්තමේන්තුව 2023 සැප්තැම්බර් 14 දින අවලංගු කරන ලද මුදල් නීති පනත යටතේ පිහිටුවන ලද්දක් බැවින් එම දෙපාර්තමේන්තුව ද අවලංගු වී ඇත. මූල්‍ය ගනුදෙනු කරුවන්ගේ ආරක්ෂාව හෝ පාරිභෝගික ආරක්ෂාව සඳහා බැංකු කෙරෙහි මැදිහත් වීමට අවශ්‍ය විශේෂ නීති මහ බැංකුව වෙත මෙතෙක් පවරා නොමැත.

  • ණය පොලී අනුපාතයන් පහළ දමන ලෙස මෑත දී බැංකු වෙත කරන ලද මුදල් මණ්ඩල විධානය නව මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ මෙවලමක් මිස හිඟ ණය අර්බුදයට මුහුණ දෙන ණය නිරාකරණ මෙවලමක් නොවේ. තව ද, එම විධානය 2023 සැප්තැම්බර් 14 දින අවලංගු කරන ලද මුදල් නීති පනත යටතේ නිකුත් කළ එකක් බැවින්, දැනට එම විධානයේ නීතිමය බලයක් නොමැත.

  • එම චක්‍ර ලේකන සහ මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ කටයුතුවල ප්‍රතිඵලයක් නොමැති බව බැංකු හිඟ ණය මෙතරම් ඉහළ යමෙන්ම පැහැදිලි වෙයි. එබැවින්, මේවා හුදෙක් මහ බැංකුවේ පුරාජේරුව කියමින් බැංකුවලට දොස් පැවරීමට පමණක් වැදගත් වේ.
  • ණය ඇප ආවරණය කොරෝනා වසංගතය අවස්ථාවේ 2020 දී හඳුන්වා දෙන ලද මෙවලමකි. එහෙත්, එහි ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාවන් මහ බැංකු වාර්තාවල නොමැත. එහෙත්, එම අවස්ථාවේ මහ බැංකුව විසින් ව්‍යාපාරයන්ට බැංකු ණය සැපයීම සඳහා ක්‍රියාත්මක කරන ලද රුපියල් බිලියන 150 ක පමණ 4% විශේෂ ප්‍රතිමූල්‍ය ණය ක්‍රමය සහ රාජ්‍ය ඉඳිකිරීම් කොන්ත්‍රාත් ආයතන සඳහා රාජ්‍ය ඇපය මත ක්‍රියාත්මක කළ ද්‍රවශීල ණය ක්‍රමය මහ බැංකු අධිපති විසින් සඳහන් කොට නොමැත. ඊට හේතුව, ඔහු විසින් ඊට විරුද්ධ වීමත්, එම ණය ප්‍රදානය ප්‍රමාද වීම පිළිබඳ ව එවක ජනාධිපති වරයා විසින් මහ බැංකු නිලධාරීන් කැඳවා ප්‍රසිද්ධියේ දොස් පැවරීමත් ය. මහ බැංකු අධිපති විසින් වත්මන් තනතුර භාර ගත් විගස ආර්ථිකයේ එවක ඉහළ යමින් පැවති අධි උද්ධමන පීඩනයට හේතුව එම ණය සඳහා මුදල් මුද්‍රණය කිරීම බවට එවක රජයට දැඩිව දෝෂාරෝපණය ද කරන ලදි. 

2. තැන්පතු හිමියන්ගේ කැමැත්තක් නොමැතිව එම මුදල්වලින් ණය ගෙන ණය පැහැර හරින්නේ නම්, තැන්පතු හිමියන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන බව. මේ දිනවල බැංකු ණය පැහැර හැර ඇති පිරිසක් සංවිධානය වී ණය අය නොකරන ලෙස ඉල්ලා සිටින බව. ඊට තැන්පතු හිමියන් කැමති නම් ප්‍රශ්නයක් නොමැති බව. එහෙත්, තැන්පතු හිමියන්ගේ කැමැත්තක් නැතිව ණය ගෙන, එම ණය පැහැර හැර ආපසු අය කර ගැනීමට නොහැකි නම්, ණය දීම අඩු කිරීමට බැංකුවලට සිදු වන බව. ඉන් රටේ ආර්ථිකයට අවශ්‍ය ණය සැපයීමට නොහැකි වන බව.

  • මෙය පදනම් විරහිත වන්නේ, බැංකු ණය ප්‍රදානය සඳහා තැන්පතු හිමියන්ගේ අවසරය ගැනීමේ ක්‍රම වේදයක් බැංකු පනතේ නොමැති අතර තැන්පතු ද අවදානම් සහිත මූල්‍ය මෙවලම් වන බැවිනි. එබැවින්, තැන්පතු හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ මූලධර්මයක් බැංකු සම්ප්‍රදාය තුළ හෝ බැංකු නියාමන නීති තුළ හෝ නොමැත.

  • එබැවින්, ණය කරුවන්ගේ සංවිධානයට තැන්පතු හිමියන්ගේ අවසරය ලබා ගැනීමක් පිළිබඳව කරන ප්‍රකාශය ද හාස්‍ය ජනකය. ණය කරුවන්ට පමණක් නොව ඕනෑම ගනුදෙනුකාර පාර්ශවයන්ට තම ව්‍යාපාරික අභිලාෂයන් ආරක්ෂා කර ගැනීම සඳහා සාමකාමීව සංවිධානය වීමට නීතිමය බාධාවක් නොමැත. එවැනි සංවිධාන රාශියක් දැකිය හැකිය.
3. ණය පැහැර හරින සුළු පිරිසකට සහනය දීම සඳහා බදු ගෙවන්නන් විසින් තවත් බදු ගෙවනවා ද, නැත්නම් බහුතර තැන්පතු හිමියන් විසින් එය ගෙවීමට කැමති ද, යන්න තීරණය කළ යුතු බව. බැංකු පද්ධතියට හානියක් වෙයි නම් බදු ගෙවන්නන් හෝ තැන්පතු හිමියන් එය දැරිය යුතු වීම.
  • ණය අවදානම් කළමනාකරණය බැංකුවල නෛතික සහ ව්‍යාපාරික වගකීමකි. ඒ සඳහා බැංකු ව්‍යාපාරික, මූල්‍ය වාර්තාකරණ සහ නියාමන ප්‍රමිතීන් රැසක් පවතී. හිඟ ණය වර්ග කිරීම, ණය අවදානම් සඳහා මුදල් වෙන් කිරීම, බැංකු හිමියන් විසින් අවදානම්වලට සාපේක්ෂව ප්‍රාග්ධනය සැපයීම සහ පරාටේ ඇතුළු ණය අයකර ගැනීමේ ක්‍රමවේදයන් යනාදිය ඉන් සමහරකි. එබැවින්, පැහැර හරින ලද ණයවල වගකීම පවතින්නේ බැංකු හිමියන් සහ කළමනාකාරිත්වය වෙතය. එබැවින්, බදු ගෙවන්නන් සහ තැන්පතු හිමියන් විසින් එම ණය අලාභ පියවීමේ අවශ්‍යතාවයක් පිළිබඳ ව දැක්වීම හාස්‍ය ජනකය.

  • මහ බැංකු නියාමනයේ දී ප්‍රමුඛත්වය දෙනු ලබන බැංකු ව්‍යාපාරික අංශයක් වන්නේ ණය ප්‍රදනය යි. එබැවින්, හිඟ ණය අර්බුදයකට මුහුණ දෙන බැංකු පිළිබඳ ව මැදිහත් වීමේ නෛතික බලතල රාශියක් මහ බැංකුව සතුව පවතී. අධ්‍යක්ෂක මණ්ඩල ඉවත් කොට නව අධ්‍යක්ෂක මණ්ඩල පත කිරීම, ණය අලාභ පියවීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනය සපයන ලෙස බැංකු හිමියන්ට නියම කිරීම සහ අවදානම්කාරී බැංකු පවරාගෙන ප්‍රතිව්‍යුහගත කිරීම යානා දී වැනි පුළුල් බලතල පවතී.

  • මෙහි දී, බැංකු හිමිකරුවන් විසින් නව ප්‍රාග්ධනය සැපයීමට අවශ්‍ය අරමුදල් ද ජනිත වන්නේ ණය හරහා ය. එසේ නැතිව, එම මුදල් ඔවුන් තම නිවෙස්වල දැනටමත් එකතු වී ඇති  කාසි සහ නෝට්ටුවලින් රැගෙන එන්නේ නැත. මුදල් සහ ණය අර්බුදයක් හෝ හිඟයක් පවතින විට බැංකු හිමිකරුවන්ට නව ප්‍රාග්ධන අරමුදල් සොයා ගැනීම ගැටළුවක් බව සාමාන්‍ය දැනුම යි. රජය විසින් රුපියල් බිලියන 450 ක නව ප්‍රාග්ධනය ලෙස රාජ්‍ය බැංකු වෙත සැපයෙන්නේ ද රජයේ ණය ගැනීමේ බලය හරහා ය. මෙය රාජ්‍ය බැංකු දෙකට නව ප්‍රාග්ධනය සැපයෙන පළමු අවස්ථාව නොවේ. එහෙත්, ප්‍රාග්ධනය යනු හුදෙක් හිඟ ණය අර්බුදයට ගණකාධිකරණ හෝ ශේෂ පත්‍ර විසඳුමක් මිස ආර්ථිකය මුහුණ දෙන පද්ධති ණය අර්බුදයට විසඳුමක් නොවේ. ඊට හේතුව, බැංකුවක සමස්ත ප්‍රාග්ධනය යනු සත්‍ය ණය අවදානම්වලින් සුළු ප්‍රතිශතයකි. මෙහි දී, රාජ්‍ය ණය යනු අවදානම් ශුන්‍ය වත්කම් ලෙස මහ බැංකුව විසින් නියම කොට ඇති බැවින් රජයට දී ඇති ණය (රාජ්‍ය සුරැකුම්පත් ඇතුළුව) සඳහා ප්‍රාග්ධනය වෙන් කිරීමක් අවශ්‍ය නොවේ. එබැවින්, ප්‍රාග්ධනය යනු හුදෙක් අර්ථ රහිත මූල්‍ය ස්ථායී මිනුමකි. එමගින්, හිඟ ණය හේතු කොට බැංකු මුහුණ දෙන ද්‍රවශීල අර්බුදයට පිළියමක් නොලැබේ. උදාහරණ ලෙස 1992 දී එවක මුදල් ඇමති විසින් බාසල් ජාත්‍යන්තර සම්මතය අනුව ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් රාජ්‍ය බැංකු දෙක සතු නොවූ බැවින්, එම බැංකු දෙක බංකොලොත් බැංකු දෙකක් බව පාර්ලිමේන්තුවේ දී ලෙස ප්‍රකාශ කරන ලදි. එහෙත්, මහජනයා විසින් එම බැංකු දෙකෙන් තම තැන්පතු ඉවත් කර ගැනීමට පැමිණීමක් හෝ බැංකු දෙක කඩා වැටීමක් සිදු වූයේ නැත.

  • තව ද, ආර්ථික අර්බුදය තුළ දැනටමත් බදු ආදායම කඩා වැටී ඇති රටක රජය ආරක්ෂා කිරීමට අමතරව තැන්පතු හිමියන් ආරක්ෂා කිරීමටත් බදු ගෙවන්නට සිදු වන බව මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කිරීම හාස්‍ය ජනකය. ඉන් පෙනෙන්නේ, වත්මන් රජයේ සිටින ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයන්ගේ විෂය දැනුමේ මද භාවය යි. එසේම, රජයට ඕන ඕන වෙලාවට බදු ගෙවීමට අවශ්‍ය මුදල් මහජනතාව තම නිවෙස්වල ඉතිරි කොට තබා ගන්නේ නැත. බදු මුදල් ජනිත වන්නේ, බැංකු ණය ප්‍රසාරණය හරහා නිෂ්පාදනය සහ ආදායම් ප්‍රසාරණය වේ නම් පමණි.

  • බදු යනු මහජනයා උපයා ගෙන ඇති මුදල් රජය විසින් චක්‍රීය ලෙස උකහා ගැනීමක් බැවින් නැවත නැවත බදු ගෙවීම සඳහා මුදල් ඉපැයීම පිණිස ණය සහ තැන්පතු අවශ්‍ය වනු ඇත. එබැවින්, බදු, ණය සහ තැන්පතු යනු එකම දාමයක පුරුක් වෙයි.
  • එබැවින්, මූල්‍ය සහ ආර්ථික අර්බුදයන් හේතුවෙන් පද්ධති ණය අර්බුදයක් පවතින අවස්ථාවල එය නිරාකරණයට අවශ්‍ය වන ජාතික මට්ටමේ විශේෂ රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම යි. එවැනි අවස්ථාවල රාජ්‍ය නායකයන් සහ මහ බැංකු අධිපතිවරු විසින් මෙවැනි පදනම් විරහිත ප්‍රකාශනයන් කරමින් තම මහජන තනතුරු දැරීම නීති විරෝධී වෙයි. ඊට හේතුව, එවැනි අර්බුදයන් හට ගන්නේ රාජ්‍ය පාලන අසමත් වීම් හේතු කොට ගෙන බැවිනි.
  • මීට ප්‍රතිවිරුද්ධව, රජය සහ මහ බැංකුව විසින් රාජ්‍ය ණය ගෙවීම අපහසු වීමේ අර්බුදය නිරාකරණය කරන්නේ, එම ණය හිමියන්ගේ කැමැත්ත ගෙන නොව, රාජ්‍ය බලය යෙදීමෙනි. රජය විසින් EPF එකෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන ලද්දේ EPF අරමුදල් හිමියන්ගේ කැමැත්ත ලබා ගෙන නොවේ. රාජ්‍ය ණය කළමනාකරණය කරනු ලැබුවේ, මහ බැංකු ආර්ථික විශේෂඥයන් ය. එහෙත්, රාජ්‍ය ණය ද පැහැර හැර ඇත. රාජ්‍ය බැංකු විසින් රජයට සහ රාජ්‍ය ව්‍යවසායන්ට ණය දී ඇත්තේ වත්කම් ඇපයට ගෙන නොවේ. එබැවින්, රාජ්‍ය ණය නිසි ලෙස අයකර ගැනීම සඳහා පරාටේ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැත. එබැවින්, බැංකු නියාමක ලෙස මහ බැංකුව විසින් කළ යුත්තේ, රජයට ණය සැපයීමේ දී ද දේපල ඇපයට ගන්නා ලෙස නියම කිරීම යි. 
  • එබැවින්, ආර්ථික අර්බුද කාලවල රාජ්‍ය ණය මෙන්ම පෞද්ගලික ණය ද අර්බුදයට ලක් වන අතර අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ, ආර්ථිකයේ පොදු ණය විශ්වාසය ඉහළ නැංවීමට අවශ්‍ය විශේෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් බවට මහ බැංකු අධිපතිට දැනුමක් නොමැත. එහි දී, මහ බැංකුව ප්‍රමුඛත්වය ගත යුතුය. ඊට හේතුව, බැංකු ණය යනු බැංකු සහ මූල්‍ය පද්ධතියේ පදනම වන බැවිනි. බැංකු ණය ක්‍රමය අක්‍රීය වුව හොත් මහ බැංකුවට මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ද නොහැකි වනු ඇත.

4. බැංකු ණය පැහැර හැර ඇති අයගේ ණය අය කරන ලෙස කරන ලෙස පාර්ලිමේන්තුවේ දී  ගෝෂාවක් පැවති බව.
  • මෙය නව ගැටළුවක් නොව අතීතය පුරා රාජ්‍ය බැංකු පිළිබඳ ව පැවති ගැටළුවකි. එබැවින්, මහ බැංකු අධිපති විසින් කළ යුත්තේ, මාධ්‍යයට කරුනු කීම නොව, තම බැංකු නියාමන බලතල යොදා බැංකු ළවා එම ණය අයකර වීම යි.

  • එසේම, පාර්ලිමේන්තුවේ සිදු කෙරෙන විවාදයන් පිළිබඳ ව විවේචනයන් සහ අදහස් දැක්වීමට අධිකාරී බලයක් මහ බැංකු අධිපති වෙත නොමැත. එම කරුනු පිළිබඳ මහ බැංකුවෙන් පිළිතුරු අවශ්‍ය නම්, පාර්ලිමේන්තුව විසින් එම තොරතුරු මහ බැංකුවෙන් ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් පවතී.

  • තව ද, පාර්ලිමේන්තු විවාදයේ දී වාර්තා වූයේ 2023 පළමු මාස 11 තුළ පරාටේ නීතිය අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 1,183 කට විරුද්ධව දේපළ අත්පත් කරගෙන තිබෙන බව යි. එම සංඛ්‍යාව පිළිබඳ ව අදාළ රාජ්‍ය අධිකාරිය විසින් වාර්තා කොට නැත. එහෙත්, මහ බැංකු අධිපති විසින් මාධ්‍ය දේශනයේ දී සඳහන් කරනු ලැබුවේ, එම කාලය තුළ බැංකු ණය කරුවන් 557 කට විරුද්ධව පරාටේ ක්‍රියාත්මක කොට ඇති බව යි. මින් කුමන සංඛ්‍යාව නිවැරදි ද? යන්න තහවුරු කර ගැනීමට මගක් මහජනතාව නොමැත.

  • එබැවින්, මෙහි දී මහ බැංකු අධිපති විසින් තම නිල බලය ඉක්මවා දේශපාලනික තත්ත්වයකින් ක්‍රියා කොට ඇත.
5. පරාටේ ක්‍රියාත්මක නොකොට, තවදුරටත් ණය පැහැර හැරීමට ඉඩ දෙනවා ද? යන්න සමාජයේ සාකච්ඡාවක් පැවැත් විය යුතු බව. මෙය බැංකු පද්ධතියේ ස්ථායිතාවයට, මහජනයාගේ තැන්පතු ආරක්ෂාවට සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ දී ඉදිරියේ ණය ලබා ගැනීමේ හැකියාවට සහ ව්‍යාපාරයන් වැඩි දියුණු කිරීමට වැදගත් කාරණයක් බව

  • පරාටේ බලය යනු මහ බැංකුව විසින් මාධ්‍යය හරහා ජනසමාජයට ඉදිරිපත් කොට තීරණය කළ යුතු දෙයක් නොව, රජය විසින් දේශපාලනික වශයෙන් ගත යුතු ප්‍රතිපත්ති තීරණයකි. 1990 දී පරාටේ බලය පාර්ලිමේන්තුව විසින් බැංකු වෙත ලබා දීමේ දී මාධ්‍යය සහ ජනසමාජය සමඟ කතිකාවතක් කළේ නැත.

  • තව ද, මීට පෙර ලිපියේ දැක්වූ පරිදි පරාටේ යනු බැංකු පද්ධතියේ හෝ තැන්පතුවල ආරක්ෂාව තීරණය කරන මෙවලමක් නොවේ. එය කළ හැකි නම් බැංකු නියාමනයට මහ බැංකුවක් අවශ්‍ය නොවේ.

  • එසේම, ඉදිරි ණය සහ ව්‍යාපාරික ප්‍රසාරණය සඳහා පරාටේ බලයේ පිහිට අවශ්‍ය නොවේ. ඊට හේතුව, ව්‍යාපාරික මොඩලය සහ වත්මන් ගෙවුම් සහ පියවුම් පද්ධතිය තුළ ණය මැවීමේ හැකියාව බැංකුවලට ඇති බැවිනි. එහෙත්, මෙහි දී, අවශ්‍ය වන්නේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා අවශ්‍ය පරිදි මහ බැංකුව විසින් බැංකු ණය ව්‍යාප්තිය සහ ණය පිරිවැය නියාමනය කිරීම යි. මෙහි දී, මහ බැංකු ප්‍රතිමූල්‍ය ණය සහ ඇපආවරණ සැපයීම අවශ්‍ය වෙයි.

  • තව ද, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය ණය ව්‍යාප්තිය පරාටේ බලය හේතු කොට වැළකෙනු ඇත. පළමුව, බැංකු විසින් ණය සඳහා දේපල වත්කම් ඇපයට ගැනීමට පෙළඹීම. එවැනි සුරැකුම් ඇපයන් සැපයීමට හැකියාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නොමත. දෙවනුව, බැංකු විසින් තිබෙන වත්කම් වෙළෙඳාම සහ සමපේක්ෂණය සඳහා ණය සැපයීමට පෙළඹෙනු ඇත. එම ණය නව මූර්ත ආයෝජනයන් සහ නිෂ්පාදනය ප්‍රවර්ධනයට සහ ආර්ථික වර්ධනය නැංවීමට ප්‍රයෝජනවත් නොවේ.

  • එහෙත්, නව මහ බැංකු පනත යටතේ ඒ සඳහා මහ බැංකුවට බලතල නොමැත. එහෙත්, අවලංගු කළ මුදල් නීති පනත යටතේ එවැනි බලතල රාශියක් පැවතින. එබැවින්, වත්මන් බැංකු හිඟ ණය අර්බුදය නිරාකරණය පිණිස මහ බැංකු අධිපතිට සහ රජයට කළ හැකි එකම කාර්යය වන්නේ, මාධ්‍යයට කථා පැවැත්වීම පමණි.

නිගමනය

සමස්තයක් ලෙස ගත් විට පරාටේ බලය සහ තැන්පතු හිමියන්ගේ මුදල්වල ආරක්ෂාව පදනම් කර ගෙන 2024 ජනවාරි 01 දින මහ බැංකු අධිපති විසින් පැවත්වූ මාධ්‍ය දේශනයේ අඩංගු වූ කරනුවලින් සනාථ වනුයේ,
  • මහ බැංකු අධිපති වෙත බැංකු විෂය පිළිබඳ මූලික දැනුමක් නොමැති බව,

  • මහ බැංකුවේ ප්‍රතිපත්ති අසමත් භාවය හේතු කොට ඇති වී ඇති වත්මන් මූල්‍ය සහ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වන බැංකු පද්ධතිය සහ මහජනතාව මුහුණ දෙන හිඟ ණය අර්බුදය නිරාකරණයට අවශ්‍ය විශේෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති බව.
  • එබැවින්, ඔහු තවදුරටත් මහ බැංකු අධිපති දුරය දැරීමට නුසුදුසු සහ පිළි ගත නොහැකි පුද්ගලයකු බවට පත් වී ඇති බව,

එබැවින්, මහජනයා මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බුදය ඉදිරියේ දී ණය සහ මුදල් හිඟය හේතු කොට තවත් කර්කෂක වී, ඉන් ගොඩ ඒම සඳහා දශක ගණනාවක් ගත වනු ඇත.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)





Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි