මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

 


මේ දිනවල මහ බැංකුවේ 70% ක පමණ අධික වැටුප් වර්ධකයක් ලබා දීමේ සාධාරණත්වය පිළිබඳ ව පාර්ලිමේන්තුවේ සහ සමාජයේ දැඩි කථිකාවතක් හට ගෙන ඇත.

එය පරික්ෂා කිරීම සඳහා මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරියේ දී කැඳවන බව මුදල් රාජ්‍ය ඇමතිවරයෙකු පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කරන ලදි.

එබැවින්, මෙම ලිපියේ අරමුණ එම වැටුප් වර්ධකය පිළිබඳ ව රජයට හෝ පාර්ලිමේන්තුවට කළ හැකි දෙයක් නොමැති බව සනාථ කිරීම යි. ඊට හේතුව, එය 2023 සැප්තැම්බර් 14 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු පනතින් ලබා දී ඇති ස්වාධීනත්වය සහ වගකීම් අනුව ඉටු කිරීමත්, මහ බැංකු ක්‍රියාකාරකම්වලට මැදිහත් වීමට එම පනත තුළ පාර්ලිමේන්තුවට හෝ රජයට විශේෂ ප්‍රතිපාදන නොමැති වීමත් ය.

වැටුප් වර්ධකය පිළිබඳ ව මහ බැංකු පුවත් නිවේදනය 

එහි හරය මෙසේ ය. එම පුවත් නිවේදනය පහත දැක්වෙයි.
  • මෙය 2024-2026 කාලපරිච්ඡේදයට අදාළ ව වෘත්තීය සංගම් සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද වැටුප් සංශෝධනය බව.

  • ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 (2) (ආ) වගන්තිය ප්‍රකාර ව පාර්ලිමේන්තුව කමිටුවක් හරහා පාර්ලිමේන්තුවට මහ බැංකුවේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් සලසා දෙන ලෙස මුදල් අමාත්‍යවරයා වෙත අධිපති වරයා විසින් 2024 පෙබරවාරි මස 22 වන ලිඛිත ඉල්ලීමක් සිදු කොට ඇති බව.

ඒ අනුව, නිතර දෙවේලේ මහ බැංකුවේ ප්‍රතිපත්ති සහ ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳ ව මහජනයාට පුවත් මවන මහ බැංකුව විසින් මෙම මහජන මැසිවිල්ල ගැන වචනයක්වත් පිට කොට නැත. ඒ වෙනුවට, නීතිය අතට ගෙන රජය සමඟ නීති සටනකට බැස ඇත.

එහෙත්, මහ බැංකු වැටුප් ඉලක්කම් තල සහ මට්ටම් ඇගයීම පිළිබඳ ව සම්මත මිනුම් සලකුණු නොමැති බැවින් වත්මන් බංකොලොත් පොදුජන ආර්ථික තත්ත්වය තුළ මහ බැංකු වැටුප් ඉලක්කම්වල සමාජ සාධාරණත්වය ඒත්තු ගැන්වීම මහ බැංකු ආර්ථික විශේෂඥයන්ට පහසු නොවනු ඇත. මෙහි දී, මහ බැංකුවෙන් නියාමනය වන බැංකු සහ මූල්‍ය ව්‍යාපාරික අංශයේ ඉහළ නිලධාරීන් ලබන වැටුප් සහ දීමනාවලට ගැලපෙන ලෙස මහ බැංකු ඉහළ නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා පැවතිය යුතුය යන තර්කය පහසුවෙන්ම බිඳ වැටෙනු ඇත. 

ඊට හේතුව, මහ බැංකු නිලධාරීන් යනු මහජන වරප්‍රසාද ලත් රාජ්‍ය ඒකාධිකාරී නියාමන සේවකයන් වන අතර බැංකු සහ මූල්‍ය සේවකයන් යනු අවදානම්කාරී ලාභ උපයා බෙදා ගන්නා පිරිසක් වන බැවිනි. එම මහජන බලය සමහර පුද්ගලයන් සහ ව්‍යාපාරිකයන් ධනවත් කිරීමටත්, සමහරුන් විනාශ කිරීමටත්, රජයන් පවා අස්ථායී කිරීමටත් භාවිතා කිරීමේ හැකියාවක් මහ බැංකු නිලධාරීන් සතු බව රහසක් නොවේ.

එබැවින්, මෙය මහජනයාට කිසි අදාළත්වයක් නොමැති නීති විශාරදයන් අතර සටනක් වනු ඇත. එහි පදනම වන්නේ, මහ බැංකුව පාර්ලිමේන්තුවෙන් සහ රජයෙන් පූර්ණ ස්වාධීන රාජ්‍ය ආයතනයක් ද? යන්න යි.

මහ බැංකු පුවත් නිවේදනයේ දැක්වෙන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(2)(ආ) වගන්තිය

එහි මූලික ප්‍රතිපාදනයන් දෙකකි (පනතේ වගන්තිය පහත දැක්වෙයි).

  • සෑම මාස 4 කටම වරක් මහ බැංකුව පාර්ලිමේන්තු කමිටුවකට කැඳවා විමසීම.

  • මහ බැංකුව විසින් ස්වේච්ඡාවෙන් පාර්ලිමේන්තුවට කරුනු දැක්වීම හෝ ලේඛනයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවෙන් අවස්ථාව ඉල්ලා සිටීම.

ඒ අනුව, මහ බැංකුව විසින් මෙම අවස්ථාවේ දී ස්වේච්ඡා අවස්ථාව අනුගමනය කිරීමට සැලසුම් කොට ඇත.

එහෙත්, මින් කුමන හෝ අවස්ථාවක් හුදෙක් සාකච්ඡාවක් හෝ විමසීමක් පමණක් වන අතර මහ බැංකුව විසින් කරන ලද කිසිම දෙයක් ආපසු හැරවීමට හෝ ඉදිරියේ දී කළ යුතු දෙයක් නියම කිරීමට හෝ පාර්ලිමේන්තුව බලය දී ඇති ප්‍රතිපාදනයන් මහ බැංකු පනතේ අඩංගු නොවේ. එබැවින්, මෙය හුදෙක් පොදුජනයට කිසිම ප්‍රයෝජනයක් නොමැති තවත් දේශපාලනික ජවනිකාවක් පමණක් වනු ඇත.


මහ බැංකු පනත යටතේ මහ බැංකුවට පූර්ණ ස්වාධීනත්වය ප්‍රදානය

ඉහත වගන්තිය යටතේ කුමක් සඳහන් වුව ද, පාර්ලිමේන්තුව විසින් මහ බැංකු පනතේ 5 වගන්තිය මගින් මහ බැංකුවට පූර්ණ ස්වාධීනත්වය ප්‍රදානය කොට ඇත. එහි, පාර්ලිමේන්තුවට හෝ මුදල් ඇමතිට හෝ රජයට හෝ වගවීමක් නොමැති අතර මහ බැංකුව වගවන්නේ තමන්ට ම ය. මෙම ස්වාධීනත්වයේ මූලික අංගයන් දෙකකි (අදාළ වගන්තිය පහත දැක්වෙයි).

  • කිසිම තැනැත්තෙකු හෝ ආයතනයක් මහ බැංකුවට කිසිම බලපෑමක් හෝ බාධා කිරීමක් නොකළ යුතුය.

  • මහ බැංකු සේවකයන් කිසිම පුද්ගලයෙකුගෙන් උපදෙස් ඉල්ලීම හෝ ගැනීම නොකළ යුතුය.

ඒ අනුව, මෙම වැටුප් මැසිවිල්ල පිළිබඳ ව පාර්ලිමේන්තු කාරක සභාවකට කැඳවා විමර්ශණය කිරීමට උත්සාහ කිරීම මහ බැංකු පනත යටතේ නීති විරෝධී ක්‍රියාවකි. එසේම, ඉහත දැක්වූ පුවත් නිවේදනය අනුව මහ බැංකුව විසින් පාර්ලිමේන්තුවට කරුනු ඉදිරිපත් කිරීම ද මෙම වගන්තිය යටතේ වරදකි.

එබැවින්, මේ පිළිබඳ ව පාර්ලිමේන්තුවට ගත හැකි එකම නීතිමය ක්‍රියාව වන්නේ, ඉහත දැක්වූ 80(2)(අ) වගන්තිය යටතේ මාස 4 කට වරක් පාර්ලිමේන්තුවට කැඳවා විමසීමේ දී, වැටුප් වර්ධකය ගැන ද අසා සිටීම පමණි. එහෙත්, ඊට බලපෑම් හෝ බාධා කිරීම නීති විරෝධී වෙයි.

එසේම, මෙම කරුන පිළිබඳ ව 80(1) වගන්තිය යටතේ මහජනතාව දැනුවත් කිරීමේ නියමයක් ද මහ බැංකුවට නොමැත. එහෙත්, මහ බැංකුවට අවශ්‍ය නම්, මහ බැංකු අරමුණු සාක්ෂාත් කර ගැනීමට සම්බන්ධ අත්‍යවශ්‍ය අංගයක් ලෙස මහ බැංකු වැටුප් පිළිබඳ ව ද මහජනයා දැනුවත් කළ හැකිය.

එසේම, මහ බැංකු පනත අනුව පහත දැක්වෙන ලෙස අභිමතානුසාරී ලෙස වැටුප් සහ දීමනාවන් ලබා දීමට මහ බැංකු පාලක මණ්ඩලයට බලය පවතී.

නිගමනය
  • ඉහත දැක්වූ නීතිමය කරුනු අනුව මහ බැංකු වැටුප් වර්ධකය පිළිබඳ ව මැදිහත් වීමට හෝ බාධා කිරීමට පාර්ලිමේන්තුවට හෝ රජයට හෝ මුදල් ඇමතිට හෝ ජනාධිපති වරයාට හෝ නීතිමය අවසරයක් නොමැත. මෙහි දී, නීති සකසා ක්‍රීඩාව මෙහෙයවන IMF පිටියේ සිට බලා සිටින බැවින් සමස්ත රජයම අනාථ ය.

  • මහ බැංකු ක්‍රියාකාරකම් ස්වාධීන ලෙස ඒකාධිකාරී මුදල් මුද්‍රණය හරහා මූල්‍යකරණය වන බැවින් රාජ්‍ය අයවැයට හෝ පාර්ලිමේන්තුවේ මුදල් පාලනයට යටත් නොවේ. මහ බැංකුව විසින් කාසි සහ නෝට්ටු මුද්‍රණය කොට නිකුත් කරන්නේ ද රජය වෙනුවෙන් නොවේ.

  • එසේම, මහ බැංකුවේ මුදල් පාඩු හේතු කොට මහ බැංකුවට සපයා දී ඇති රාජ්‍ය ප්‍රාග්ධනය සෘණ වී මහ බැංකුව බුන්වත් හෝ බංකොලොත් තත්ත්වයට පත් වෙයි නම්, එය පියවා මහ බැංකුව කඩිනමින් නුබූන්වත් තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය රාජ්‍ය අරමුදල්වලින් සැපයීම ද නෛතික අවශ්‍ය තාවයකි.

  • එබැවින්, වත්මන් මහ බැංකුව යනු පුද්ගලයන් කිහිප දෙනෙකුට අවශ්‍ය පරිදි මුදල් මුද්‍රණය කොට පවත්වා ගැනීමට රජය විසින් පිහිටුවා දී ඇති ආයතනයකි. එබැවින්, මහ බැංකු පනතේ ප්‍රතිපාදනයන් දෙස බලන විට, ලෝකයේ බොහෝ රටවල මෙන් පොදුජන ආර්ථික යහපත සඳහා සේවය කිරීමට, මහජනයා විසින් පත් කෙරෙන රජයට වගකියන ලෙස  පිහිටුවා ඇති මහ බැංකුවක් ශ්‍රී ලංකාවට නොමැති බැවින්, වත්මන් මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව නොව පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මහ බැංකුවකි. එහෙත්, මුදල් නීති පනත යටතේ 1950 දී පිහිටුවා දැනට වයස්ගත බවට නිගමනය කොට මෑත දී වසා දමන ලද මහ බැංකුව ශ්‍රී ලංකා පොදුජන මහ බැංකුවකි (වැඩි විස්තර සඳහා කියවන්න).

  • එබැවින්, එවැනි මහ බැංකුවක් සමඟ වත්මන් ආර්ථික බංකොලොත් භාවයෙන් පොදුජනයා මුදා ගන්නේ කෙසේ ද? යන්න සාධාරණ ප්‍රශ්නයක් ඇසෙනු ඇත. ඊට හේතුව, රාජ්‍ය සේවය ක්‍රියාත්මක විය යුත්තේ සමකාලීන පොදුජන සුභසිද්ධිය සඳහා මිස පොදුජන සමාජයෙන් පිට ජීවත් වන විශේෂඥයන්ගේ පුද්ගල මානසික දර්ශනයන්ට ආවැඩීම සඳහා නොවන බැවිනි.

 (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)



Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි