රාජ්‍ය ණය බිය මිත්‍යාව. නිවැරදි ණය පිටු කියවමු. ණය නොබියව යොදමු මානව සංවර්ධනයට.

ණය බිය දේශපාලනය 

මේ දිනවල ලෝකයේ ණය අර්බුද රැල්ලක් හට ගෙන ඇත. ශ්‍රී ලංකාව, ඝානාව, සැම්බියාව සහ ඉතියෝපියාව දැනට විදේශ ණය පැහැර හැර, ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමේ දේශපාලනික අභ්‍යාසයක නිරත වෙයි. තවත් රටවල් රාශියක් හතරවරම් ගසමින් ණය පැහැර හැරීම වලකාලීමේ දේශපාලනික ව්‍යායාමයක නිරතය වෙයි. මෑත අතීතයේ ණය පැහැර හැර ප්‍රතිව්‍යුහගත කළ රටවල් තවමත් ණය ආපසු ගෙවීමේ දේශපාලනික අර්බුදයෙහි ගැලී ඇත.

මෙහි ණය යනු රාජ්‍ය ණය යි. රාජ්‍ය ණය යනු දේශපාලනික කරළියේ පවතින විෂයක් බැවින් රාජ්‍ය ණය ගැනීම, ගෙවීම, පැහැර හැරීම සහ ප්‍රතිව්‍යුහගත කරණය ගෝලීය භූදේශපාලනික විෂයක් වී ඇත. එබැවින්, ඒවා පිළිබඳ කථා පවත්වන්නේ දේශපාලනික නායකයන් සහ ඔවුන්ගේ ආර්ථික විද්‍යාඥයන් ය.

සාමාන්‍යයෙන් සෑම රටකම රාජ්‍ය බලය දේශපාලනික කණ්ඩායම් දෙකක් අතර කලින් කලට මාරු වන බැවින් රාජ්‍ය ණය බර පිළිබඳ ව එකිනෙකාගේ අතීත රාජ්‍ය පාලනයට දොස් පැවරීම පොදු දසුනකි. එනම්, පසුගිය රජය විසින් අධික ලෙස ණය ගෙන බංකොලොත් කළ රටක් තමන්ට ලැබුන බවත්, එම ණය ගෙවීමට ණය ගැනීමට සිදු වී ඇති බවත්, බලයේ සිටින සෑම පක්ෂයකම පොදු හැසිරීම යි. සමහරුන්, රාජ්‍ය ණය හරහා මෙතෙක් ලඟා කර ගෙන ඇති මානව සංවර්ධනය තඹ දොයිතුවකට මායිම් නොකොට, නිදහසින් පසු රට පාලනය කළ සියළු නායකයන්ට දොස් නගති. සමහරුන් එසේ දොස් නගන්නේ 1977 න් පසු විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කළ නායකයන්ට ය. එබැවින්, රාජ්‍ය බලයේ සිටින නායකයන් මෙන්ම බලයට ඒමට අර අදින නායකයන් ද තම රාජ්‍ය පාලන න්‍යාය පත්‍රයේ පළමු ශීර්ෂය ලෙස කථා කරන්නේ, පොදු ජනයාට යහපතක් සැලසෙන ලෙස ණය බර අඩු කිරීම ගැන ය.

මීට අනුබද්ධ අනෙක් දේශපාලනික මාතෘකාවන් දෙක වන්නේ, රාජ්‍ය අයවැය හිඟය සහ උද්ධමනය යි. එනම්, රජය විසින් තම ආදායම ඉක්මවා වියදම් කිරීමෙන් අයවැය හිඟයත්, එය හිඟය පියවීමට ණය ගැනීමෙන් ණය බරත්, එසේ ණය ගෙන වියදම් කිරීමෙන් උද්ධමනයත් හට ගෙන ඇති බව යි. මෙහි දී, තම හිතවතුන්ට බදු සහන දීම ද අයවැය හිඟය සහ ණය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වූ බව විරුද්ධ පක්ෂ නායකයන්ගේ නිරන්තර මැසිවිල්ල යි. අවසානයේ මේ සියල්ල රාජ්‍ය දුෂණයේ ප්‍රතිඵලයක් ලෙස කැටි කෙරේ.

එහෙත්, ව්‍යාපාරික පංතිය ඇතුළු බහුතර පොදුජනයා රාජ්‍ය අයවැයෙන් සැපයෙන ආර්ථික සුබසාදනය නිරන්තරයෙන් බලපොරොත්තු වන බැවින් අයවැය සහ ණය කෙරෙහි පොදුජන විරෝධයක් ඇති කිරීමට එම නායකයන් බිය වෙයි. ඊට හේතුව, එවැනි පොරොන්දු දුන හොත් ඡන්දය නොලැබෙන බැවිනි. එබැවින්, එම නායකයන් විසින් පොදුවේ අයවැය සහ ණය සංකෝචනය කිරීම පිළිබඳ ව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී, අයවැයේ යම් යම් අංශයන් විවේචනය කිරීම දැකිය හැකිය. 

උදාහරණ ලෙස සමහරුන් බදු ව්‍යුහය ද, සමහරුන් වියදම් ව්‍යුහය ද,  සමහරුන් ණය ව්‍යුහය ද පදනම් කොට රාජ්‍ය අයවැය විවේචනය කෙරේ. කලින් කලට ඇමෙරිකාවේ පාර්ලිමේන්තුව විසින් අනුමත ණය සිමාව දීර්ඝ කිරීම පමා කොට, රජය තාවකාලිකව වසා දැමීමේ දේශපාලනික ජවනිකාවන් වේදිකා ගත වන්නේ ද එම පදනම මත ය. මෙය හුදෙක් රජය විසින් දැනටමත් වියදම් සඳහා නිකුත් කොට ඇති චෙක්පත් සහ ගෙවුම් ඇනවුම් සඳහා ගෙවුම් කිරීම පිණිස රජයට ණය දීමට බැංකුවලට නොහැකි වීම යි. ඊට හේතුව, අනුමත ණය සීමාව ඉක්මවා යාම යි. එහෙත්, එම ජවනිකාවෙන් පසු වියදම් කිරීම සහ ණය ගැනීම සුපුරුදු ලෙස අඛණ්ඩව සිදු වනු ඇත. එසේ නැත්නම්, මේ වන විට ඇමෙරිකානු ආර්ථිකය කඩා වැටී ඇත. එබැවින්, ඇමෙරිකානු රාජ්‍ය අයවැය හිඟය සහ ණය යනු නළු නිලියන් ඉන්නා බව පෙන්වීම පිණිස කලින් කලට වේදිකා ගත වන දේශපාලන ජවනිකාවක් පමණි.

මෙම දේශපාලනික විශ්ලේෂණයන්ට මහ බැංකු ද නොමසුරුව දායක වෙති. ඊට හේතුව, උද්ධමන පාලනය මහ බැංකුවල දේව කාර්යයක් ලෙස රජයන් විසින් හුවා දක්වන බැවිනි. එබැවින්, මහ බැංකු විසින් ද තම උද්ධමන පාලන නොහැකියාව වසා ගැනීම සඳහා රාජ්‍ය අයවැය හිඟයට සහ ණයට නිරන්තරයෙන් දොස් පැවරීම සුලභ දසුනකි. එහි නවතම නිර්මාණය වනුයේ ණය නොතිරසර භාවය සංකල්පය යි. එබැවින්, මහ බැංකු ආර්ථික බමුණු කුල නිර්දේශය වී ඇත්තේ, වැඩි වැඩියෙන් බදු රැස් කොට අයවැය හිඟය පහළ දැමීම මගින් ණය අඩු කිරීම යි. ණය ප්‍රතිව්‍යුහගතකරණ නිර්දේශය ද මෑත දී ඊට එකතු වී ඇති රෝගයකි. 

මෙම කථාන්දරය සඳහා භාවිතා කෙරෙන ඉලක්කම් වෙනස් වුව ද, සංවර්ධිත, සංවර්ධනය වන සහ දුගී යන සෑම රටකම ප්‍රධාන දේශපාලනික මාතෘකාව වී ඇත්තේ මෙම ණය ගැටළුව යි. ජාතික ආරක්ෂාව සහ යහපාලනය දෙවැනි මාතෘකාවන් වී ඇත.

එබැවින්, බදු, අයවැය හිඟය, ණය, උද්ධමනය සහ දුෂණය සඳහන් නොවන දේශපාලන වේදිකාවක් හෝ මහ බැංකු වාර්තාවක් කිසිම රටක දැකිය නොහැකිය. සියළු නායකයන් විසින් පොරොන්දු දෙන්නේ, තමන්ට බලය ලැබුන විට පොදුජනතාව මින් මුදවා ගන්නා බව යි. එහෙත්, එය කරන ආකාරය පිළිබඳ ව කිසිම ඉලක්කම් සහිත ඉලක්කයන් සහ සැලසුම් දක්වන්නේ නැත. දක්වන සියළු දේවල් අතීත ඉලක්කම් සහ බිය ගැන්වීම් ය.

ලිපියේ පදනම 

නූතන ප්‍රයෝගික ආර්ථික විද්‍යා විග්‍රහයන් අනුව බදු, වියදම්, අයවැය හිඟය, ණය සහ මුදල් මුද්‍රණය පිළිබඳ දැක්වෙන සමස්ත දේශපාලන ආර්ථික විග්‍රහයම හුදු ගෝත්‍රීය මිත්‍යාවකි. සමහරු විසින් නූතන ජනසමාජයේ විවිධ මහජන කොටස් මෙහෙයවීම සඳහා සංවිධානාත්මකව පවත්වා ගැනීමට උත්සාහ කරන විවිධ මිත්‍යාවන් අතර මෙය ද එකකි. නූතන ශිෂ්ඨාචාරයන්හි කොතරම් විද්‍යාව සහ තාක්ෂණය අඛණ්ඩ දියුණු වෙමින් මිනිස් ඥානය සහ දැනුම වර්ධනය වුව ද, බොහෝ පැරණි මිත්‍යාවන් තුළින් මානව සංවර්ධනයට අඛණ්ඩව මහත් බාධාවන් ඇති කෙරෙන බව නොරහසකි. ඊට හොඳම උදාහරණය වනුයේ ආගමික සහ වර්ග භේද ආරවුල් ය. 

නූතන මානව සංවර්ධනය කෙරෙහි බදු, වියදම, අයවැය හිඟය, ණය සහ මුදල් මුද්‍රණය තුළින් සිදු වී ඇති මෙහෙය ප්‍රමුඛ එකකි. නූතන විද්‍යාව සහ තාක්ෂණ දියුණුවට ප්‍රධාන සාධකය වනුයේ ඒ මගින් ලැබුන රාජ්‍ය සහයෝගය යි. ලෝකය පුරා රටවල ජනයා වනචාරී සමාජයන්ගෙන් දියුණු සමාජයන්ට එසවීමේ පදනම වූයේ මෙම රාජ්‍ය ක්‍රියාකාරකම් ය. එහෙත්, නූතන ලෝකයේ පවා වනචාරී ගෝත්‍රික සමාජයන් මෙන්ම දුගී දුප්පත් සමාජයන් පවතින්නේ,  මිත්‍යා මතයන් හරහා එම ක්‍රියාකාරකම්වල ව්‍යාප්තිය අඩාල කිරීම හේතුවෙනි.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, රාජ්‍ය බදු, වියදම, අයවැය හිඟය, ණය සහ මුදල් මුද්‍රණය පිළිබඳ ව නූතන සමාජයේ පවතින පාරම්පරික දේශපාලන මිත්‍යාවන්ගේ අමනෝඥ භාවය හෙළි කිරීම යි. එය, වත්මන් පැරණි පංති කාමර ආර්ථික විද්‍යා විෂය නිර්දේශයන් සහ මූලධර්ම ග්‍රන්ථයන්හි අඩංගු නොවන බැවින් පාඨකයා සම්මතයට එරෙහිව යාමේ යම් අපහසුතාවයකට මුහුණ දීම ස්වභාවික ය. 

එබැවින්, මෙම ලිපියේ නිර්දේශය වන්නේ මෙවැනි මිත්‍යාවන්ගෙන් බැහැර වී, පොදු මානව සංවර්ධනය තව තවත් ව්‍යාප්ත කිරීම සඳහා ණය සහ උද්ධමනයට බිය නොවී පොදු ආර්ථික වර්ධනය මෙහෙය වීමට හැකි පරිදි මුදල් මුද්‍රණය සහ මැවීම හරහා ණය ගැනීම තුළින් රාජ්‍ය වියදම් ප්‍රසාරණය සැලසුම්ගතව කළමනාකරණය කරන ලෙස ය. දැනට වසර කිහිපයක සිට ඓතිහාසික ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ පොදුජනයා ඉන් මුදවා ගැනීමට ඇති එකම විකල්පය ද එය යි. 

එහෙත්, මෙම ලිපියේ අඩංගු තොරතුරු සහ නිර්දේශය බොහෝ බලවත් නායකයන් සහ ඔවුන්ගේ ආර්ථික නියෝජිතයන් විසින් කිසිම ප්‍රයෝගික අධ්‍යනයකින් තොරවම නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරනු ඇත. එය සාධාරණීකරණය සඳහා IMF-ලෝක බැංකු ප්‍රමුඛ ගෝලීය පිළිගැනීම්, සම්මත සාර්ව ආර්ථික මූලධර්මයන් සහ ඉලක්කම් ද ඉදිරිපත් කරනු ඇත. එහි සිරසෙහි උද්ධමනය වන්දනා කරනු ඇත. ඒ හැර, තම මතවාදය තහවුරු කිරීම සඳහා කිසිම ආර්ථික පර්යේෂණයන් මගින් තහවුරු වූ ඉලක්කම් සහ න්‍යායන් ඉදිරිපත් නොකරනු ඇත. ඊට හේතුව, මිත්‍යාවන් හැර එවැනි දත්ත ඔවුන් සතු නොවීම යි. 

එහෙත්, තම වාසිය සහ පහසුව සඳහා ගෝලීය මට්ටමින් සංවිධානය වී ඇති ඔවුන් මෙම මිත්‍යාව පිටු දැකීමට අකැමති ය. මිත්‍යාව පවතින පමණට ඔවුන්ගේ පැවැත්ම පවතින බව ඔවුන්ට මනා අවබෝධයක් ඇති බැවින් ඔවුන් ප්‍රමුඛත්වය දෙනු ලබන්නේ මානව සංවර්ධනයට නොව මිත්‍යාවට යි. ඒ බව, මේ දිනවල මාධ්‍යය පුරා පවතින ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ඊට IMF විසඳුම පිළිබඳ ව දක්වන දේශපාලන සහ ආර්ථික විද්‍යා අදහස්වලින් මනාව පැහැදිලි වෙයි.

උදාහරණ ලෙස බදු ආදායම ප්‍රමාණවත් නොවන බැවින් රාජ්‍ය වියදම් කප්පාදු කළ යුතු බව භාණ්ඩාගාර ලේකම් විසින් ප්‍රකාශ කිරීමත්, උද්ධමනය ඉහළ යන බැවින් රාජ්‍ය ණය සඳහා මුදල් මුද්‍රණය කළ නොහැකි බව මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කිරීමත්, මෙම මිත්‍යාවන්හි සෘජු ප්‍රතිඵලයකි. තව ද, මහ බැංකු අධිපති විසින් දක්වන්නේ, මහජන ඡන්දයෙන් පත්වන දේශපාලන නායකයන්ට මෙවැනි ආර්ථික කළමනාකරණ දැනුමක් නොමැති බව යි. එය සත්‍යයක් නම්, දේශපාලන නායකයන් විසින් මෙම මිත්‍යා මතයන් දරන්නේ, මෙවැනි දැනුවත් ආර්ථික විද්‍යාඥයන් විසින් දෙනු ලබන මිත්‍යා උපදෙස් මත විය යුතු ය. පුද්ගලයන් විසින් තම පෞද්ගලික ජීවිතය ගෙවීම සඳහා ඕනෑම මතයක් දැරීමේ දෝෂයක් නොමැත. එහෙත්, ගැටළුව වන්නේ එම මතයන් හරහා මානව සංවර්ධනයට බාධා කිරීමේ දී ය.

ලිපිය පදනම් වන ආර්ථිකයන්

මෙම ලිපියේ කරුනු රාජ්‍ය හෙවත් ස්වෛරීත්ව මුදල් භාවිතා වන ආර්ථිකයන්ට අදාළ වෙයි. එබැවින්, ස්වෛරීත්ව මුදල් නොමැති යුරෝපීය ආර්ථික හවුලේ රටවල් සහ දේශීය මුදල් ලෙස විදේශ මුදලක් භාවිතා කරන රටවල් මෙම ලිපියෙන් ආවරණය නොවේ. ඊට හේතුව, දේශීය ආර්ථික අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස මුදල් සංසරණය හැසිරවීමට එම රටවල රජයන්ට නොහැකි බැවිනි. යුරෝපීය ආර්ථික හවුලේ රටවල භාවිතා වන්නේ පොදු මහ බැංකුව වන යුරෝපීය මහ බැංකුවෙන් පාලනය කෙරෙන යුරෝ නම් වූ පොදු මුදලකි.  සමහර දූපත් ආර්ථිකයන්හි දේශීය මුදල් ලෙස භාවිතා වන්නේ ඩොලර් වැනි විදේශ මුදලක් ය. 

අනෙක් සියළුම රටවල ආර්ථිකයන් ක්‍රියාත්මක වන්නේ, රජය විසින් නියම කළ දේශීය මුදල් ඒකකයක්, එම මුදල් ඒකකය මත රජය විසින් මහ බැංකුව හරහා නිකුත් කරන ලද කාසි සහ නෝට්ටු සහ එම කාසි සහ නෝට්ටු පිළිබඳ විශ්වාසය මත රාජ්‍ය බලපත්‍ර ලාභී බැංකු සහ මහ බැංකුව විසින් මවන ලද ණය මුදල් පදනම් කර ගෙන ය. එබැවින්, මෙම රටවල මුදල් සංසරණය පාලනය කිරීමට බොහෝ හැකියාවක් රජයට පවතී. එය, රාජ්‍ය භාණ්ඩාගාරය සහ මහ බැංකුව හරහා සිදු කෙරේ. ඒ අනුව, මෙම රටවල සංසරණය වන මුදල් ප්‍රමාණයෙන් බහුතරය රාජ්‍ය ණය තුළින් ජනිත වී ඇති මුදල් ය.

ආර්ථිකයක මුදල් ජනිත වන ආකාරය

නූතන මුදල් ආර්ථිකයන්හි මුදල් ජනිත වන්නේ බැංකු (මහ බැංකුව ඇතුළු) විසින් තම ගනුදෙනු කරුවන්ට ගිණුම් සටහන් මගින් ප්‍රදානය කෙරෙන ණය හරහා ය (වැඩි විස්තර සඳහා කියවන්න). මෙහි දී, බැංකුවක් විසින් ප්‍රදානය කෙරෙන ණය මුදල බැංකුවේ වත්කමක් ලෙසත්, එම මුදල ගනුදෙනුකරුගේ තැන්පත් ගිණුමට එකතු කිරීම මගින් බැංකුවේ වගකීමක් ලෙසත් ගිණුම් ගත කෙරේ. බැංකු තැන්පතු යනු මුදල් ලෙස සැලකේ. ඊට හේතුව, තැන්පතු මුදල් ඕනෑම අවස්ථාවක කාසි සහ නෝට්ටු හෙවත් ව්‍යවහාර මුදල් බවට පරිවර්තනය කළ හැකි බවට පවතින පොදු විශ්වාසයත්,  තැන්පතු මුදල් මගින් මුදලේ කාර්යයන් ඉටු කළ හැකි වීමත් ය. 

එම තැන්පතු මුදල් බැංකු ක්‍රමය හරහා තැන්පතු ලෙස මාරු වීමෙන් සහ කොටසක් ව්‍යවහාර මුදල් ලෙස ආපසු ගැනීමෙන් සංසරණය වනු ඇත. එබැවින්, ආර්ථිකයට ව්‍යවහාර මුදල් ලැබෙන්නේ බැංකු ණය හරහා මැවෙන තැන්පතුවලින් කොටසක් කාසි සහ නෝට්ටු ලෙස ඉවත්කර ගැනීම තුළිනි. එම ව්‍යවහාර මුදල් බැංකු විසින් මහ බැංකුවෙන් ණය ගැනීම හරහා සපයා ගනු ඇත. ඕනෑම ආර්ථිකයක විශාලතම ණයකරු රජය වන බැවින් ආර්ථිකයේ සංසරණය වන මුළු මුදල් ප්‍රමාණයෙන් (ව්‍යවහාර මුදල් සහ තැන්පතු) බහුතරය රාජ්‍ය ණය හරහා ජනිත වී ඇත. එබැවින්, නූතන මුදල් ක්‍රමයන් යනු රාජ්‍ය ණය මුදල් ක්‍රමයන් බව කිව හැකිය.

රජය විසින් ණය ගැනීම මූලයන් 4 කින් සිදු වෙයි. එනම්, මහ බැංකුවෙන් ණය ගැනීම, බැංකුවලින් ණය ගැනීම, රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම හරහා මහජනයාගෙන් ණය ගැනීම සහ විදේශ මුදලින් ණය ගැනීම යනාදිය යි. මෙම සෑම මූලයකින්ම සිදු වනුයේ රාජ්‍ය ණය ප්‍රමාණයට සමාන දේශීය මුදල් ප්‍රමාණයක් රටෙහි ජනිත වීම යි. පෞද්ගලික අංශය විසින්  බැංකුවලින් ණය ගැනීමේ දී සිදු වන්නේ ද තවත් දේශීය මුදල් ප්‍රමාණයක් ජනිත වීම යි.

රාජ්‍ය ණය පිළිබඳ පෞරාණික මිත්‍යා විශ්වාසයන්

රාජ්‍ය ණය යනු මහජනයාට නිරන්තරයෙන් බරක් බවට නිර්මාණය කොට ඇති මතය හුදු පෞරාණික මිත්‍යා මතයකි. රාජ්‍ය ණය යනු අයවැය හිඟය පියවීමට සපයා ගන්නා මුදල් ප්‍රමාණය යි. එබැවින්, අයවැය හිඟය අඛණ්ඩව පවතින විට ගෙවීමට පවතින ණය තොගය ඉහළ යනු ඇත. එම ණය ගෙවීම සඳහා බදු අය කිරීමට සිදු වන බැවින් එය පොදු මහජනයාට බරක් බව පැවසෙයි. එබැවින්, රාජ්‍ය ණය මිත්‍යාව යනු හුදෙක් රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් සහ එමගින් ආර්ථිකය කෙරෙහි ඇති කෙරෙන අයහපත් බලපෑම පිළිබඳ මිත්‍යා මතයන් රාශියක සංකලනයකි. ඉන් කිහිපයක් පහත දැක්වෙයි.

1.  රාජ්‍ය අයවැය කුටුම්බ හෝ ව්‍යාපාරික අයවැයට සමාන බව

කුටුම්බ සහ ව්‍යාපාරික ආයතනවල අයවැය සැලසුම් කරනුයේ, අයවැය අතිරික්තයක දී එය ආයෝජනය කිරීමටත්, හිඟයක දී එය පියවීමටත් පවතින මූලයන් සහ අවදානම් සැලකිල්ලට ගෙන ය. ආදායමට වඩා වියදම් කළ හැක්කේ, වාසි දායක ලෙස ණය ගැනීමට හැකියාවක් පවතී නම් පමණි. එහෙත්, කුටුම්බ සහ ව්‍යාපාරික ආයතන මෙන් නොව, නව මුදල් නිකුත් කිරීම/මැවීම  හරහා අයවැය හිඟයන් පියවීමට රජයට හැකියාව පවතී. එය මහ බැංකුවෙන් සහ බැංකුවලින් රජයට සැපයෙන ණය හරහා සිදු වෙයි. 

එබැවින්, රජයන් විසින් වියදම් කෙරෙනුයේ, ලැබී ඇති බදු ආදායම ගණනය කිරීමෙන් නොවේ. හුදෙක් සැලසුම්ගත හෝ ඒ ඒ වෙලාවට අවශ්‍ය වියදම්/ගෙවීම් සඳහා බැංකු චෙක්පත් නිකුත් කිරීමෙනි. නිෂ්කාශනය සඳහා එම චෙක්පත් අදාළ බැංකුවලට ලැබුණ විට, එම බැංකු විසින් අවශ්‍ය අරමුදල් සපයා ගෙන චෙක්පත් සඳහා මුදල් සපයනු ඇත. එසේ ගෙවන මුදල රජයට දෙන ලද ණයක් ලෙස ගිණුම් ගත කරනු ඇත. එසේ නොමැතිව, රජයේ බැංකු ගිණුමෙහි මුදල් නොමැති බව පවසා චෙක්පත් ආපසු රජයට හරවා යවන්නේ නැත. එහි දී, අරමුදල් හෝ සංචිත හිඟයක් හට ගත් විට, එම බැංකු විසින් මහ බැංකුවෙන් ණය ගනු ඇත. මෙසේ චෙක්පත් සඳහා ගෙවන මුදල් නැවත තැන්පතු ලෙස බැංකු පද්ධතිය තුළ පවතින බැවින් අරමුදල් හිඟයකට බැංකු මුහුණ දෙන්නේ නැත. එසේ රජයට දෙන සෑම බැංකු ණයක්ම රජය විසින් ආපසු ගෙවන තෙක් නව මුදල් ලෙස සංසරණයේ පවතිනු ඇත. 

එබැවින්, කුටුම්බ සහ ව්‍යාපාරික ආයතනවල අයවැය කළමනාකරණ ගිණුම් විග්‍රහය රාජ්‍ය අයවැය කළමනාකරණය සඳහා ද භාවිතා කිරීම මිත්‍යාවකි.

2. රාජ්‍ය වියදම් බදු මගින් සිදු කළ යුතු බව

රාජ්‍ය නායකයන් සහ ආර්ථික විද්‍යාඥයන් විසින් රාජ්‍ය වියදම් සීමාවන් දක්වන්නේ බදු ආදායම සැලකිල්ලට ගෙන ය. එහෙත්, ප්‍රයෝගිකව ගත් විට බදු යනු වියදම් කිරීම සඳහා මුදල් සපයා ගැනීමේ මූලයක් නොව, රාජ්‍ය මුදල් සඳහා ඉල්ලුමක් ජනිත කිරීමේ මූලයකි. ඊට හේතුව, බදු ගෙවීම ව්‍යවහාර මුදල් හෙවත් රාජ්‍ය මුදල් මගින් කළ යුතු බැවිනි. එබැවින්, නිරන්තරයෙන් බදු ගෙවීම පිණිස රාජ්‍ය මුදල් සඳහා මහජනතාවගෙන් ඉල්ලුමක් පවතින අතර එම ඉල්ලුම සැපිරීමට අවශ්‍ය මුදල් මුද්‍රණය කොට නිකුත් කිරීම පිණිස නව වියදම් කිරීමේ හැකියාව රජයට ලැබී ඇත. එබැවින්, බදුවලින් සිදු වනුයේ දැනටමත් මුද්‍රණය කොට ආර්ථිකයේ සංසරණය වන මුදල් ප්‍රමාණයක් (ණය ප්‍රමාණයක්) අහෝසි වී යාම හෝ මහජනයාගෙන් ඉවත් වීමක් පමණි. එසේ නොමැතිව, වියදම් කිරීම සඳහා රජයට මුදල් ලැබීමක් නොවේ. ඊට හේතුව, ඉහත දැක්වූ පරිදි ණය හෝ මුදල් මුද්‍රණය හරහා වියදම් කිරීමට රජයට හැකියාව පවතින බැවිනි.

මිනිස් ඉතිහාසයේ රාජ්‍ය මුදල් ආරම්භයේ සිට සිදු වූයේ මෙය යි. එනම්, රජවරුන් විසින් නිල ලාංඡනය සහිත ලෝහ කාසි තැනීම හරහා රාජ්‍ය සේවාවන් සඳහා ගෙවුම් කළ අතර, මහජනයා විසින් රජයට බදු ගෙවීම සඳහා එම කාසි භාවිතා කළ යුතු විය. එබැවින්, රජු විසින් නිකුත් කරන ලද ලෝහ කාසිවලින් කොටසක් බදු හරහා නැවත භාණ්ඩාගාරයට ලබා ගන්නා ලදි. එමගින්, නැවත ලෝහ කාසි නිකුත් කිරීම හරහා වියදම් කිරීමේ හැකියාව රජුට ලැබුණි. රාජ්‍ය වියදම් ප්‍රසාරණය හේතු කොට එසේ මහජනයා අත සංසරණය වන ලෝහ කාසි ප්‍රමාණය ඉහළ යන විට, රජු විසින් බදු අනුපාතයන් ඉහළ දැමීම මගින් රාජ්‍ය වියදම් අඩු නොකොට සංසරණ කාසි මුදල් ප්‍රමාණය පහළ දමන ලදි. වර්තමාන රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් තුළ වියදම්, ණය සහ බදුවලින් සිදු වන්නේ ද එම කාර්යය මිස වියදම් කිරීම සඳහා මුදල් රැස් කිරීම නොවේ.

එබැවින්, රාජ්‍ය වියදම් නඩත්තු කිරීම සඳහා බදු අය කෙරෙන බවත්, ඒ සඳහා බදු ප්‍රමාණවත් නොවේ නම් ණය පරිමාව ඉහළ ගොස් ආර්ථිකය කඩා වැටෙන බවත් ප්‍රකාශ කිරීම හුදු මිත්‍යා මතයන් ය.

3. රාජ්‍ය ණය සේවාකරණය බදු ආදායමින් කළ යුතු බව

 ණය යනු මහජන යහපතට එරෙහි රාජ්‍ය ක්‍රියාවක් බවට මතයක් ගොඩ නගා ඇත්තේ මේ හරහා ය. එහෙත්, කිසිම රටක ණය තොගය පහළ යාමක් සිදු වන්නේ නැත. ඊට හේතුව, කලින් කලට ගෙවිය යුතු ණය ගෙවීම නව ණය ගැනීම හරහා සිදු කරන බැවිනි. ඊට අමතරව, අයවැය හිඟය පියවීම සඳහා ද නව ණය ගැනේ. එබැවින්, ණය තොගය ද අඛණ්ඩව ඉහළ යාම දැකිය හැකිය. 

කුටුම්බ සහ ව්‍යාපාරික අංශයෙහි සිදු වන්නේ ද එසේ ණය ප්‍රතිචක්‍රීය කිරීමකි. එසේ නොමැතිව, ණය සම්පූර්ණයෙන් ගෙවීම කළ හැක්කේ  කුටුම්බ සහ ව්‍යාපාරයන් වසා දැමීමෙනි. නව ණය ගැනීම මගින් ණය ගෙවිය හැකි නම්, බදු අවශ්‍ය නොවේ. මූලින් දැක්වූ පරිදි බදු මගින් සිදු වනුයේ ණය ගැනීමේ ධාරිතාවය ඉහළ දැමීම යි. එනම්, බදු ලැබීම හේතු කොට ශුද්ධ රාජ්‍ය ණය ප්‍රමාණය පහළ යාම යි. රජයට එවැනි ණය ප්‍රතිචක්‍රීය කිරීමේ හැකියාවක් ලැබී ඇත්තේ, රාජ්‍ය ණය සඳහා පවතින ඉහළ විශ්වාසය සහ ඉල්ලුම හේතු කොට ගෙන ය (එය ඉදිරියේ දී සාකච්ඡා කෙරේ).

එබැවින්, දේශීය මුදල් රාජ්‍ය ණය පැහැර හැරීමට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ එසේ කිරීමට කථා කිරීමේ අවශ්‍යතාවයක් හෝ ආර්ථික පදනමක් නොමැත. එය හුදෙක් තවත් දේශපාලනික රංගනයක් පමණි.

එබැවින්, ණය හේතු කොට ණය ගෙවීම සඳහා ඇති වන බදු බර පිළිබඳ ව පසුගිය රජයන්ට දොස් තැබීම මිත්‍යාවකි.

4. රාජ්‍ය ණය යනු උද්ධමනයට මූල හේතුව බව

මහ බැංකුව සහ විරුද්ධ පාක්ෂික නායකයන් විසින් නිරන්තරයෙන් නගන චෝදනාවක් වන්නේ රජය විසින් මුදල් මුද්‍රණය හරහා ණය ගැනීම හේතු කොට උද්ධමනය හෙවත් මිල ගණන් පොදුවේ ඉහළ යන බව යි. ආර්ථිකයේ උද්ධමනයක් නොමැති විට පවා ණය හේතු කොට අනාගත උද්ධමන පීඩනයක් ගොඩ නැගෙමින් පවතින බව ද පැවසෙයි. මොවුන් තුළ නිරන්තරයෙන් මෙම උද්ධමන භූතයා වැසී ඇත. රාජ්‍ය ණය සහ වියදම් ප්‍රසාරණය තුළින් සිදු වන සමස්ත ඉල්ලුම ප්‍රසාරණය හරහා මෙසේ මිල ගණන් ඉහළ යන බවත්, එමගින් ආර්ථිකය අස්ථායී වන බවත් මොවුන් විසින් වන පොත් කොට ඇති ආර්ථික විද්‍යා න්‍යාය යි. 

ඒ අනුව, මහ බැංකු විසින් කරනු ලබන්නේ ආර්ථිකයට මුදල් මුද්‍රණය කෙරෙන තම පොලී අනුපාතයන් ඉහළ දැමීම යි. ඉන් දඩුවම් දෙන්නේ පෞද්ගලික අංශය වෙත ය. ඊට හේතුව, රාජ්‍ය වියදම් හෝ ණය මහ බැංකු පොලී අනුපාතයන්ට සංවේදී නොවන බැවිනි. ඒ බව හොඳින් දන්නා මහ බැංකු විසින් කෙසේ හෝ උද්ධමනය පාලනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ ණය සහ ඉල්ලුම සංකෝචනය කිරීම ඉලක්ක කෙරේ. එය ආයෝජනය හෝ පරිභෝජනය හෝ කුමකින් සිදු වුව ද? මහ බැංකුවලට ගණනක් නැත. ඉහළ පොලී අනුපාතයන් හේතු කොට පෞද්ගලික නිෂ්පාදනය සහ වියදම සංකෝචනය වීමෙන් බදු පහළ ගොස් රාජ්‍ය ණය තවත් ඉහළ යාම පිළිබඳ ව ද මහ බැංකුවලට හැඟීමක් නොමැත.

මෙහි උද්ධමනය යනු හුදෙක් ගෝත්‍රීය මූල්‍ය න්‍යාය විශ්වාසය තුළින් ජනිත වී ඇති භුතයෙකි. මිල ගණන් යනු වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම සම්බන්ධ සාධකයන්ගේ ප්‍රතිඵලයක් බැවින් උද්ධමනය හට ගැනීමට හේතු පිළිබඳ ව නොයෙකුත් විග්‍රහයන් පවතී. කලින් කලට උද්ධමන පිදනයන් හට ගැනීම නූතන වෙළෙඳපොළ අපේක්ෂාවන් සහ සැපයුම් සධකවල් ප්‍රතිඵලයකි. එබැවින්, උද්ධමනය පිළිබඳ ව මූල්‍ය න්‍යාය හෝ වෙනත් කිසිම න්‍යායක් තවමත් ඔප්පු වී නොමැති අතර ඒ පිළිබඳ අතිවිශිෂ්ඨ න්‍යායක් නොමැත. ඒවා හුදෙක් මතවාදයන් හෝ සංකල්පයන් පමණකි. 

ක්‍රිස්තු වර්ෂ 600 ගණන්වල බිහි වූ එම මූල්‍ය න්‍යාය අනුව උද්ධමනය ඇති වේ නම්, එය පාලනය කිරීමට මහ බැංකුවලට හැකියාව පවතී නම්, ලෝකය පුරා රටවල මහ බැංකු තිබෙන බැවින් නව ලෝකය උද්ධමනයෙන් තොර විය යුතුය. එහෙත්, කලින් කලට ලෝකය පුරා උද්ධමන රැල්ලන් ව්‍යාප්ත වන බව නොරහසකි. මීට හොඳම උදාහරණය වනුයේ 2022 වර්ෂය ආරම්භයේ සිට දශක හතරකින් පසු අත් දුටු ඉහළම ගෝලීය උද්ධමන රැල්ල යි. දැනට වර්ෂ දෙකක් ගත වුව ද, එය පාලනය කිරීමට මහ බැංකුවලට නොහැකි වී ඇත. 

එබැවින්, උද්ධමනය යනු රාජ්‍ය ණය ප්‍රසාරණයේ ප්‍රතිඵලයක් නොවන බවට තහවුරු කිරීම සඳහා සංඛ්‍යා විද්‍යා පර්යේෂණයන් අවශ්‍ය නොවේ. රාජ්‍ය ණය හේතු කොට උද්ධමනය හට ගනී නම්, මේ වන විට ලෝකයම එකම උද්ධමන දුමාරයකින් පිරී යා යුතුය. ඊට හේතුව, අනාදිමත් කාලයක සිට ලෝකය පුරා රාජ්‍ය ණය අඛණ්ඩව ඉහළ ගොස් ඇති බැවිනි. තව ද, ලෝකයේ ඉහළ උද්ධමන අනුපාතයන් කාලයක් පුරා වාර්තාවන රටවල් වන්නේ දුර්වල දේශපාලන සංස්කෘතීන් හේතු කොට වෙළෙඳපොළ සහ සැපයුම් දාමයන් අවහිර වී ඇති රටවල ය. 2022/23 වර්ෂවල ශ්‍රී ලංකාවේ අධි උද්ධමනය ද එවැන්නකි.

සත්‍යය වනුයේ හිඟ අයවැය සහ ණය ප්‍රසාරණය තුළින් ආර්ථිකයේ බිහි වී ඇති නිෂ්පාදන ධාරිතාවය සහ සම්පත් උපයෝජනය මගින් සැපයුම් අංශය හරහා මිල ගණන් පාලනය වීම යි. උද්ධමන භූතයාගෙන් පෙළෙන කිසිවෙකුට රාජ්‍ය ණය ව්‍යුහය, එමගින් ජනිත වී ඇති නිෂ්පාදන ධාරිතා ව්‍යුහය සහ ඉන් සැපයුම් සහ ආදායම් දාමයන් කෙරෙහි ඇති යහපත් බලපෑම පිළිබඳ ව දැනුමක් නොමැත. එබැවින්, ඔවුන් විසින් ණය දෝෂාරෝපණය සඳහා ඉලක්ක කරන්නේ රාජ්‍ය බදු ආදායමේ දෝෂයන් ය. බදු දෝෂයන් යනු බදු පැනවීම සහ රැස් කිරීම කළමනාකරණයේ දෝෂයන් මිස ණයවල දෝෂයන් නොවේ.

එබැවින්, රාජ්‍ය ණය සම්බන්ධ මෙම උද්ධමන බිය ද මිත්‍යාවකි.

5. රාජ්‍ය ණය හේතු කොට විදේශ මුදල් අර්බුදයන් හට ගන්නා බව

බොහෝ රටවල ණය අර්බුදයන් හට ගන්නේ රාජ්‍ය විදේශ ණය ගෙවීමට අපහසු වී හට ගන්නා විදේශ මුදල් අර්බුදයන් මගිනි. රජයන් විසින් දේශීය මුදලින් ආදායම්, වියදම් සහ ණය ක්‍රියාකාරකම්වල නිරත වන බැවින් විදේශ ණය අර්බුදයන්හි පදනම කුමක් ද? යන්න ගැටළුවක් පැන නගී. විදේශ ණය අර්බුදයට හේතුව මහ බැංකු විසින් තම විදේශ සංචිතය ගොඩ නැගීම සඳහා රජයට විදේශ මුදලින් ණය ගැනීම යි. මෙය ගෙවුම් ශේෂ හිඟයන්ගෙන් පෙළෙන ආනයන ආර්ථිකයන්හි විශේෂයෙන් දැකිය හැකිය. මහ බැංකු විසින් එම විදේශ ණය මුදල් හරහා ගෙවුම් ශේෂ හිඟයන් පියවීම සහ විනිමය අනුපාතය ස්ථායිකරණය සිදු කෙරේ. 

රටක විදේශ සංචිතයක් ගොඩ නැගීම සඳහා මහ බැංකු විසින් විදේශ මුදල් අතිරික්තයක් ජනිත වන පරිදි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුය. එහෙත්, මහ බැංකු විසින් තම පහසුව සඳහා විදේශ මූල්‍ය වෙළෙඳපොළවලින් රාජ්‍ය ණය රැස් කිරීමත්, එම විදේශ මුදල් මහ බැංකුව විසින් මිල දී ගෙන දේශීය මුදල් මුද්‍රණය කොට අයවැය හිඟය පියවීමට එම මුදල් රජයට ලබා දීමත් සිදු කෙරේ. එබැවින්, දේශීය මුදල් මුද්‍රණය බහුතරය ද විදේශ ණය මත රැඳෙනු ඇත.

මෙහි දී, ආර්ථිකය මුහුණ දෙන ව්‍යුහාත්මක අවදානම වනුයේ, දේශීය මුදල් රාජ්‍ය ණය මෙන් නොව, විදේශ මුදල් ණය පාලනය රජයට නොමැති වීම යි. එනම්, රජය විදේශ මුදලින් අයවැය ගනුදෙනු නොකරන බැවින් විදේශ ණය සේවාකරණය සඳහා අවශ්‍ය විදේශ මුදල් රජයට නොමැති වීම යි. මෙහි දී, විදේශ ණය සේවාකරණය සඳහා අවශ්‍ය විදේශ මුදල් මහ බැංකුව සහ බැංකු විසින් රජයට සැපයිය යුතු ය. ඒ සඳහා රජය විසින් දේශීය මුදල් බැංකු වෙත සැපයෙනු ඇත. එහෙත්, මෙහි දී, රජය සහ ආර්ථිකය මුහුණ දෙන ගැටළුව වන්නේ, තව තවත් විදේශ ණය ගැනීමක් නොකෙරේ නම් හෝ නව විදේශ ණය සැපයුමේ හිඟයක් හෝ හට ගනී නම්, විදේශ සංචිතය දිය වී යාම යි. ගෝලීය කොරෝනා වසංගතය සමඟ ශ්‍රී ලංකාව ඇතුළු සමහර රටවල් විදේශ ණය අර්බුදයකට මුහුණ දීමේ කෙටි කථාව මෙය යි.

එබැවින්, රාජ්‍ය ණය සංයුතියෙහි විදේශ ණය ප්‍රතිශතය ඉහළ යන තරමට රාජ්‍ය ණය සහ මුදල් පාලනය කෙරෙහි රජයට ඇති අධිකාරිය ගිලිහී යනු ඇත. එවිට, රට තුළ දැකිය හැකි වන්නේ නාම මාත්‍ර ස්වෛරීත්ව මුදල් ක්‍රමයකි. ඊට හේතුව, විදේශ ණය හරහා මුදල් සහ ආර්ථිකය විදේශ මුදල්කරණය හෝ ඩොලර්කරණය වී ඇති බැවිනි. රටවල් විදේශ මුදල් අර්බුදයන්ට නතු වීමේ මූලය මෙය යි. 

මීට වගකිව යුත්තේ රාජ්‍ය ණය නොව, රාජ්‍ය ණය කළමනාකරුගේ අමනෝඥ ණය කළමනාකරණය යි. රාජ්‍ය ණය දේශීය මුදලින් කළමනාකරණය කොට, මූල්‍ය සහ විදේශ වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති හරහා විදේශ මුදල් සංචිතය කළමනාකරණය කෙරේ නම්, රාජ්‍ය ණය අර්බුදයක් හට නොගනී. වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රාශියක් විදේශ ණය පැහැර හැරීම හරහා උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දීමට හේතුව, එසේ නොකොට, මූල්‍ය ප්‍රතිපත්තිය විදේශ ණය කෙරෙහි අධික ලෙස රැඳිම යි.

එබැවින්, මෙය රාජ්‍ය ණය පැහැර හැරීමක් නොව, මහ බැංකුව විසින් තම විදේශ ගෙවුම් වගකීම් පැහැර හැරීමකි. එහෙත්, එය රාජ්‍ය ණය කළමනාකරණ දෝෂයක් ලෙස මහ බැංකුව විසින් රජයට පවරා ඇත. මෙහි දී, රාජ්‍ය ණය කළමනාකරු ද මහ බැංකුව වෙයි. එහෙත්, මින් දේශීය ණය පැහැර හැරීමේ තත්ත්වයක් පැන නොනගී. ඊට හේතුව, දේශීය මුදල් මුද්‍රණය හරහා දේශීය ණය සේවාකරණය කළ හැකි බැවිනි.

එබැවින්, හුදෙක් රාජ්‍ය ණය හේතුවෙන් විදේශ මුදල් සහ ණය අර්බුදයන් හට ගන්නා බව මිත්‍යාවකි. 

6. ආර්ථික අසමතුලිත තාවයන් නිරාකරණය සඳහා රාජ්‍ය අයවැය හිඟය සහ ණය අඩුකළ යුතු බව

මෙහි දී, සාර්ව ආර්ථික විද්‍යාවේ ආදි කල්පික සංකල්පයක් වන ජාතික ආදායම් සමීකරණය මත පදනම් වූ ජාතික ආදායම් සමතුලිත සංකල්පය භාවිතා කෙරේ. එනම්, ජාතික ආදායම් සමතුලිතය යනු ජාතික ආදායම ජාතික වියදමට සමාන වන අවස්ථාව යි. එනම්, සමස්ත ඉල්ලුම සහ සමස්ත සැපයුම අතර සමානත්වය යි. මෙහි දී, රාජ්‍ය වියදම් සහ බදු ආදයම ජාතික වියදමට සම්බන්ධ විචල්‍යයන් දෙකකි. එහි අනෙක් විචල්‍යයන් හතර වන්නේ පෞද්ගලික පරිභෝජනය, පෞද්ගලික ආයෝජනය, ආනයන සහ අපනයන යි. 

මෙම සමීකරණය මත ගොඩ නැගී ඇති පැරණි මතවාදයක් වන්නේ, රාජ්‍ය අයවැය හිඟයක්  පවතින විට, එය පියවීම සඳහා ආර්ථිකයේ අනෙක් අංශ දෙක වන පෞද්ගලික අංශය සහ විදේශීය අංශයෙන් සම්පත් සැපයිය යුතු බව යි. එනම්, පෞද්ගලික අංශය විසින් ආයෝජනයට වඩා ඉතිරි කිරීමත්, විදේශීය අංශය විසින් භාණ්ඩ හා සේවා අපනයනයට වඩා ආනයන කිරීමත් මගිනි. 

මෙම අපනයන සහ ආනයන අතර පරතරය යනු ගෙවුම් ශේෂ ජංගම ගිණුම් හිඟය යි. එය පියවීම කළ යුත්තේ විදේශීය ආයෝජනය (සෘජු ආයෝජන සහ ණය) සපයා ගැනීමෙනි. මෙහි දී, පෞද්ගලික අංශයට ලැබෙන විදේශීය ආයෝජන ප්‍රමාණවත් නොවන විට, විදේශීය ණය ලබා ගැනීමට රජයට සිදු වෙයි. ඊට හේතුව, ගෙවුම් ශේෂ හිඟය අනුව විනිමය අනුපාතය ඉහළ යාමට (දේශීය මුදල අවප්‍රමාණයට) රජය ඉඩ නොදෙන බැවිනි. 

එසේම, පෞද්ගලික අංශයේ අතිරික්ත ඉතුරුම් ද දේශීය මුදල් ණය ලෙස රජය විසින් ලබා ගැනේ. පෞද්ගලික ආයෝජන අධෛර්යමත් වීම ලෙස මෙය ප්‍රචලිතය. මහ බැංකු ඇතුළු ආර්ථික විද්‍යාඥයන් විසින් අර්ථ දක්වන්නේ අයවැය හිඟය හේතු කොට රාජ්‍ය ණය පොලී අනුපාතයන් ඉහළ යාම හරහා මෙය සිදු වන බව යි. තව ද, මහ බැංකු විසින් දක්වන්නේ, මේ නිසා මූල්‍ය ප්‍රතිපත්ති අරමුණුවලට යෝග්‍ය පරිදි ආර්ථිකයේ පොලී අනුපාතයන් පාලනය කිරීමට තමන්ට නොහැකි වී ඇති බව යි.

එබැවින්, ආර්ථිකයේ පහළ මට්ටමේ පෞද්ගලික ආයෝජනයටත්, ගෙවුම් ශේෂ හිඟයටත් පරම හේතුව ලෙස අයවැය හිඟය දැක්වෙයි. IMF විසින් රටවලට ආර්ථික ස්ථායිකරණ ණය වැඩසටහන් සහ කොන්දේසි පැනවීමේ දී අනුගමනය කරනු ලබන ආර්ථික එළඹුම වන්නේ මෙම පැරණි ජාතික ආදායම් සමතුලිත සංකල්පය යි.

එහෙත්, මෙය හුදෙක් අංක ගණිතය යි. ආර්ථිකයක රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ විදේශීය අංශය යනාදියේ අසමතුලිත තාවයන් ආර්ථික ව්‍යුහයේ සහ රාජ්‍ය නියාමනයන්හි ප්‍රතිඵලයක් මිස, හුදෙක් අයවැය හිඟයේ ප්‍රතිඵලයක් නොවේ. 

උදාහරණ ලෙස ගෙවුම් ශේෂ ජංගම ගිණුම් හිඟයට මූලික හේතුව පෞද්ගලික අංශයේ අපනයන හිඟය යි. රජය විසින් විදේශ මුදලින් අයවැය ක්‍රියාත්මක නොකරන බැවින් ආර්ථිකයේ විදේශ මුදල් හිඟය රජයේ වැරද්දක් නොවේ. එබැවින්, එය පියවීම සඳහා පෞද්ගලික අංශයට විදේශීය ආයෝජනය ප්‍රමාණවත් ලෙස නොලැබෙන විට, ආර්ථික ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා ගෙවුම් ශේෂ හිඟය පියවීම පිණිස විදේශ මුදල් ණය ගැනීමට රජයට සිදු වෙයි. එහෙත්, සමහර වර්ෂවල රාජ්‍ය විදේශ ණය ගැනීම හරහා ගෙවුම් ශේෂ අතිරික්තයක් ද පෙන්වන තරමට රාජ්‍ය විදේශ ණය ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ අඩු ආදායම් ලාභී රටවල් විදේශ ණය අර්බුදයකට මුහුණ දෙන්නේ එබැවිනි. ඒ අනුව, රාජ්‍ය විදේශ ණය බර මගින් පෙන්වන්නේ, හුදෙක් රාජ්‍ය අයවැය දුර්වලතාවයක් නොව, පෞද්ගලික අංශයේ සහ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති දුබලතාවය යි.

එසේම, පෞද්ගලික අංශය විසින් ඉතුරුම් අතිරික්තයක් ජනිත කිරීම පෞද්ගලික අංශයේ දුබලතාවයකි. ඊට හේතුව, පෞද්ගලික ආයෝජනය පහළ මට්ටමක පැවතීම යි. එබැවින්, පෞද්ගලික අංශයේ දුබලතාවය වළක්වා, ආර්ථික ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා අයවැය හිඟය සහ දේශීය ණය ගැනීම හරහා සමස්ත වියදම ඉහළ දැමීමට රජයට සිදු වී ඇත. එහෙත්, පෞද්ගලික අංශය  ක්‍රියාකාරී වෙයි නම්, අයවැය හිඟය සහ ණය පවත්වා ගැනීම මගින් ආර්ථිකය උත්තේජනය කිරීමට රජයට අවශ්‍ය නොවේ.

එබැවින්, ආර්ථිකයේ අසමතුලිතතාවන් පාලනය කිරීම සඳහා රාජ්‍ය අයවැය හිඟය සහ ණය මට්ටම පහළ දැමිය යුතු බවට කෙරෙන නිර්දේශය හුදෙක් ප්‍රයෝගික වැදගත්කමක් නොමැති පැරණි පංති කාමර ආර්ථික විද්‍යාව යි. ඊට හේතුව, තම අයවැය සහ ණය හරහා ආර්ථික වර්ධනයේ සහ ස්ථායිතාවයේ වගකීම ගැනීම පිණිස ඇඩම් ස්මිත් ආර්ථික දර්ශනයට අනුගත වීමට විසිරී පවතින පෞද්ගලික අංශයට තරගකාරි හැකියාවක් නොමැති බැවිනි.

 7. රාජ්‍ය ණය නොතිරසර භාවය

මෙය ද, නොගැලපෙන ආර්ථික ඉලක්කම් භාවිතයෙන් කෙරෙන ගිණුම්කරණ මිත්‍යාවකි. මෙහි දී, රාජ්‍ය අයවැය හිඟය සහ ණය රටෙහි ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම ඉතා ප්‍රචලිත වෙයි. මේවා මහජනයා නොමග යවන අර්ථ විරහිත ඉලක්කම් ය. 

  • පළමුව, රජය යනු ආර්ථිකයේ එක් අංශයක් පමණක් වන බැවින් රාජ්‍ය අයවැය හිඟය සහ ණය මට්ටම රටෙහි සමස්ත ආදායම සමඟ සැසඳීම අර්ථ රහිත ය. 

  • දෙවනුව, මෙම ප්‍රතිශතයන්ගේ ප්‍රශස්ත හෝ හිතකර මට්ටම පිළිබඳ ව කිසිම සම්මතයන් හෝ පොදු පිළිගැනීම් නොමැත. 

  • තෙවනුව, ණය මට්ටම සැසඳිය යුත්තේ රාජ්‍ය වත්කම් තොගය මත මිස වත්මන් ආදායම මත නොවේ. ඊට හේතුව, ණය මගින් වත්කම් අත්කර ගෙන ඇති අතර ණය ගෙවීම ඉදිරි වර්ෂ ගණනාවක් පුරා වත්කම්වලින් උපයන ආදායම් හෝ නව ණය මගින් සිදු වන බැවිනි. මෙහි දී, රාජ්‍ය ශේෂ පත්‍රයෙහි වත්කම් තොගය පිළිබඳ දත්ත නොමැත. 

  • සිව්වනුව, රටක ජාතික ආදායම ඇස්තමේන්තු කිරීම යම් යම් නියැදි දත්ත සහ ආර්ථික දර්ශකයන් භාවිතය හරහා සිදුවන අතර ඒවාට ආර්ථිකය පුරා සිදුවන සියළු නිෂ්පාදන සහ ආදායම් උත්පාදනය ආවරණය නොවේ. එබැවින්, රාජ්‍ය අයවැය සහ ණය මගින් ආර්ථිකයට සැපයෙන මුළු නිෂ්පාදන සහ ආදායම් දායකත්වය ජාතික ආදායම් ඉලක්කම්වල අඩංගු නොවේ.

එබැවින්, අයවැය හිඟය සහ ණය පිළිබඳ ජාතික ආදායම් ප්‍රතිශතය ඇසුරින් ණය නොතිරසර භාවය අර්ථ දැක්වීම හාස්‍ය ජනක ය.

රාජ්‍ය අයවැය හිඟය සහ ණයවල සාර්ව ආර්ථික සහ මානව සංවර්ධන මෙහෙය 

රජ කාලයේ සිට රාජ්‍ය අයවැය සහ ණය මගින් රටවල පමණක් නොව, ගෝලීය ආර්ථික සහ මානව සංවර්ධනයට ද ලබා දී ඇති දායකත්වය දෙස බලන විට ඉහත දැක්වූ මිත්‍යාවන් හුදෙක් පදනම් විරහිත උමතු රෝග ලක්ෂණයන් බව පැහැදිලි ය. නූතන ලෝකයේ පවා රටවල් සහ ජනසමාජයන් අර්බුදයන්ට සහ දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට, මහජනයා පමණක් නොව රාජ්‍ය අයවැය සහ ණය විරෝධී ආර්ථික විද්‍යාඥයන් පවා ඉල්ලා සිටින්නේ රාජ්‍ය මූල්‍ය සහාය හෙවත් ණය හරහා සහන සැපයීම බව නොරහසකි. එම රාජ්‍ය දායකත්වය පිළිබඳ කෙටි සටහනක් පහත ඉදිරිපත් කෙරේ.

1. රාජ්‍ය වියදම් හරහා සැපයෙන සම්පත් උපයෝජන සහ ආර්ථික/නිෂ්පාදන ධාරිතා වර්ධනය

ලෝකයේ සෑම රටකම ආර්ථික සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධනය රාජ්‍ය වියදම් සහ ණය හරහා සිදු වූ බවට විවාදයක් නැත. නූතන මානව සංවර්ධනය එහි ප්‍රතිඵලයකි. ප්‍රවාහනය, වාරි මාර්ග සහ ජල සම්පාදනය, බලශක්තිය, සෞඛ්‍යය, අධ්‍යාපනය, පරිසර සංරක්ෂණය යනාදිය රාජ්‍ය වියදම් ප්‍රතිපත්ති හරහා ගොඩ නැගී ඇත. එමගින්, ආර්ථිකයන්හි නිෂ්පාදන ධාරිතාවය, සම්පත් ගවේෂණය, ව්‍යාප්තිය  සහ උපයෝජනය හරහා නිෂ්පාදන, රැකියා සහ ජීවන මට්ටම ඉහළ දැමීමට කළ දායකත්වය අවබෝධ කර ගැනීමට ආර්ථික පර්යේෂණ දත්ත අවශ්‍ය නොවේ. ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා ආයෝජනය කිරීම නූතන රජයන්ගේ නව ප්‍රමුඛ වියදම් අංශයක් වී ඇත.

පෞද්ගලික අංශයේ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා පදනම සැපයෙන්නේ ද එම රාජ්‍ය වියදම් ව්‍යුහය හරහා ය. එසේම, බොහෝ පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් පවතින්නේ, රාජ්‍ය වියදම්වලට අදාළ භාණ්ඩ හා සේවා සැපයුම සඳහා ය. ඊට හේතුව, මුදල් නිෂ්පාදන අධිකාරිය සතු ආර්ථිකයේ තනි විශාලතම වියදම් ඒකකය රජය වන බැවිනි. ආර්ථිකය තුළ රාජ්‍ය වියදම් හරහා නිරන්තරයෙන් ක්‍රියාත්මක වන නිෂ්පාදන සහ ආදායම් ගුණක ක්‍රියාවලිය සාර්ව ආර්ථික විද්‍යාවේ පිළිගත් මූලධර්මයකි.

මෙහි දී, පෞද්ගලික අයවැයවල මෙන් වර්තන (පරිභෝජන) සහ ආයෝජන ලෙස රාජ්‍ය වියදම් වර්ග කිරීම යෝග්‍ය නොවේ. ඊට හේතුව, රාජ්‍ය පරිභෝජන වියදම් ලෙස සැලකෙන බොහෝ වියදම් ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය ඇති කෙරෙන ආයෝජන වියදම් වීම යි. උදාහරණ ලෙස සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා පවත්වා ගැනීම සඳහා කෙරෙන මෙහෙයවුම් වියදම් තුළින් සංවර්ධනය කෙරෙන්නේ ආර්ථිකයෙහි ශ්‍රම සම්පත යි. එය නිෂ්පාදන ධාරිතාවයෙහි ප්‍රධාන කොටසකි.

එබැවින්, අයවැය හිඟය සහ ණය හරහා ආර්ථිකයේ ආදායම් ජනන හැකියාව පිළිබඳ ව විවාදයක් නොමැත. එහෙත්, එම ආදායමින් බදු රැස් කර ගැනීම වෙනත් විෂයකි. එබැවින්, හුදෙක් බදු රැස් කිරීමේ දුර්වලතාවයන් පදනම් කර ගෙන රාජ්‍ය ණය පිළිබඳ ව සෘණාත්මක මතයක් දැරීම මිත්‍යාවකි.

2. රාජ්‍ය බදු ව්‍යුහය හරහා සැපයෙන සම්පත් ප්‍රතිව්‍යාප්තිය

ආර්ථිකයේ සම්පත් සහ ආදායම් වර්ධනය සහ ප්‍රතිව්‍යාප්තිය ඉලක්ක කොට රජයන් විසින් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව රහසක් නොවේ. මීට හොඳම උදාහරණ ලෙස ප්‍රමුඛ නිෂ්පාදන ක්‍රියාකාරකම් දිරිගැන්වීම සඳහා බදු පහළ දැමීම, තරගකාරී ආනයන වැලැක්වීම සඳහා ආනයන බදු ඉහළ දැමීම සහ ඉහළ ආදායම් ලාභීන්ගෙන් බදු අයකොට එමගින් පහළ ආදායම් ලාභීන් වෙත සහනාධාර සැපයීම දැක්විය හැකිය. එසේම, බොහෝ වෙළෙඳපොළ ආර්ථිකයන් පවතින රටවල ආර්ථික පසුබැසීම් පවතින කාලවල ආර්ථික වර්ධනය දිරිගැන්වීම අරමුණු කොට ආදායම් බදු අනුපාතයන් පහළ දැමීම විශේෂ ආර්ථික ප්‍රතිපත්තියක් වෙයි. 

එබැවින්, බදු යනු හුදෙක් රාජ්‍ය ආදායම් උපකරණයකට වඩා ආර්ථික කළමනාකරණ උපකරණයකි. මෙහි දී, රාජ්‍ය වියදම්/අයවැය හිඟය සහ ණය පරිමාව සමඟ බදුවල සබඳතාවයක් නොසැලකේ. එබැවින්, රාජ්‍ය බදු ආදායම ප්‍රමාණවත් නොවූ පමණින්, රාජ්‍ය ණය තිරසාර නොවන බව හෝ ආර්ථිකය කඩා වැටෙන බව හෝ පැවසීම මිත්‍යාවකි.

3. රාජ්‍ය ණය හරහා සැපයෙන බැංකු සහ මූල්‍ය ව්‍යුහය සහ ස්ථායිතාවය

ආර්ථිකයක් මූර්ත අංශය සහ මූල්‍ය අංශය අතර අන්තර් සබඳතාවය මත ක්‍රියාත්මක වෙයි. මෙම දෙඅංශයම කෙරෙහි රාජ්‍ය අයවැය සහ ණය මූලික වෙයි. ඉහතින් දැක්වූ ආදායම් ගුණක ක්‍රියාවලිය තුළින් ආර්ථිකයෙහි මූර්ත අංශය කෙරෙහි රාජ්‍ය දායකත්වය දැක්වෙයි. එසේම, මූල්‍ය අංශයේ පදනම සහ පරිමාව ද, රාජ්‍ය අයවැය හිඟය සහ ණය මත තීරණය වෙයි. ඊට හේතුව, නූතන රාජ්‍ය මුදල් ආර්ථිකයන්හි මුදල් පරිමාව සහ නියාමනය රාජ්‍ය ණය උපකරණ මත රඳා පැවතීම යි. එය සාධක කිහිපයක් යටතේ ඉදිරිපත් කළ හැකිය.

  • අවම අවදානම් මූල්‍ය වත්කම ලෙස රාජ්‍ය ණය සැලකීම

රජය වෙත පවතින අයවැය සහ මුදල් අධිකාරී බලය හේතු කොට ආර්ථිකයක පවතින ණය අවදානම අඩුම මූල්‍ය ආයෝජනය සහ වත්කම ලෙස රාජ්‍ය ණය සැලකෙයි. වර්තමානයේ ණය ආපසු ගෙවීමට අපහසු බව පවසමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිරත වුව ද, අඛණ්ඩව ණය ලබා ගැනීමට රජයට හැකි වී ඇත්තේ මෙම රාජ්‍ය ණය විශ්වාසය හේතුවෙනි. එබැවින්, ලෝකය පුරා ආර්ථිකයන්හි මූල්‍ය අංශය රාජ්‍ය ණය මත ගොඩ නැගීමට මෙම විශ්වාසය උපකාරී වී ඇත.

  • බහුතර මුදල් මැවීම සහ ආර්ථිකය තුළ මුදල් ව්‍යාප්තිය රාජ්‍ය ණය  සහ වියදම් හරහා සිදු වීම 
ආර්ථිකයෙහි ජනිත වන සහ සංසරණය වන මුදල් පරිමාවෙන් බහුතරය රජය විසින් ගෙන ඇති බැංකු ණය සහ මහජනයා වෙත නිකුත් කොට ඇති රාජ්‍ය සුරැකුම්පත් වෙයි. ආර්ථිකය තුළ ජනිත කෙරෙන එම මුදල්වල ප්‍රථම වටයේ ව්‍යාප්තිය සිදු වනුයේ, රාජ්‍ය වියදම් හරහා ය. ඊට පසුව, බැංකු තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත් හුවමාරු හරහා එම මුදල් නිරන්තරයෙන් ගනුදෙනු වනු ඇත.

එබැවින්, ආර්ථිකය තුළ මුදල් මැවීමේ සහ ව්‍යාප්ත කිරීමේ වාහකය වන්නේ රාජ්‍ය ණය යි. එය පෞද්ගලික ණය හරහා සිදු කිරීමට උත්සාහ කිරීම ඉතා අවදානම්කාරී ක්‍රියාවකි. ඊට හේතුව, පෞද්ගලික ණයවල විසිරීම සහ විවිධ මට්ටමේ අවදානම් ය. ඒ අනුව, රාජ්‍ය අයවැය සහ ණය යනු ආර්ථිකය තුළ මූල්‍ය සම්පත් නිෂ්පාදනයේ සහ සාධාරණ ලෙස ව්‍යාප්ත කිරීමේ ආර්ථික වාහකය යි.

මෙහි දී, රාජ්‍ය වියදම් සමාජ සාධාරණත්ව ප්‍රමුඛතාවන් මත සිදු වන බැවින් සමස්තයක් වශයෙන් රාජ්‍ය වියදම් යනු ආර්ථිකයේ ජනිතවන මුදල් සමාජය තුළ සාධාරණ ලෙස ව්‍යාපත කිරීමේ වාහකය ලෙස සැලකිය හැකිය. එමගින්, රටේ අඩු ආදායම් ලාභී සහ දුගී ජනයාගේ මානුෂීය අවශ්‍යතාවන් සෘජුව සැපිරීම සඳහා ද මුදල් ප්‍රතිව්‍යාප්ත කිරීමේ හැකියාව ලැබී ඇත. එහෙත්, එය වෙළෙඳපොළ පද්ධතිය හරහා පමණක් සිදු වෙයි නම්, සමාජයේ ආදායම් සහ ජීවන විෂමතාවයන් බොහෝ උග්‍ර වනු ඇත.

එබැවින්, ආර්ථික සහ මූල්‍ය අර්බුදයන් සහ පසුබැසීම් පවතින කාලවල මුදල් ප්‍රසාරණය හරහා ආර්ථිකය සහ සේවා නියුක්තිය ස්පෝටනය හෝ විකසිත කිරීම සඳහා රාජ්‍ය අයවැය හිඟය සහ ණය ප්‍රසාරණ ප්‍රතිපත්ති අනුගමනය කෙරේ. මෙය 1930 ගණන්වල ලෝකය මුහුණ දුන් මහා ආර්ථික අවපාතය සමයේ සිට කේන්ස්වාදය හරහා ලොව පුරා අනුගමනය කෙරෙන සාර්ව ආර්ථික ප්‍රසාරණ ප්‍රතිපත්තියකි. පසුගිය 2007/09 සංවර්ධිත රටවල ගෝලීය මූල්‍ය අර්බුදය මෙන්ම, 2020/22 ගෝලීය කොරෝනා අර්බුදය සමයේ ද අනුගමනය කරනු ලැබුවේ මෙම ප්‍රතිපත්තිය යි. ඊට හේතුව, එවැනි කාලවල ආර්ථිකයන් යාවත්කාලීන කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තියට තනිව ඉඩකඩ නොමැති බැවිනි. ඊට හේතුව, රාජ්‍ය ණය නොමැතිව කඩනමින් මුදල් ප්‍රසාරණයට සමත් සක්‍රීය මූල්‍ය උපකරණයන් මහ බැංකුවලට නොමැති බැවිනි.

  • බැංකු සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම්වලට අවශ්‍ය ද්‍රවශීලතාවය සඳහා රාජ්‍ය සුරැකුම්පත් යොදා ගැනීම

අවදානම අඩු මෙන්ම ද්‍රවශීලතාවය ඉහළම මූල්‍ය වත්කම ලෙස රාජ්‍ය ණය පිළිගැනේ. එබැවින්, බැංකු, මූල්‍ය, ව්‍යාපාරික සමාගම් සහ පුද්ගලයන් විසින් තම වත්කම් කළඹෙහි කොටසක් ලෙස රාජ්‍ය ණය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදයකි. ආර්ථිකයේ සහ මූල්‍ය ක්‍රමයෙහි පවතින අවදානම් කලින් කලට වෙනස්වීම අනුව ඔවුන්ගේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ප්‍රතිශතය ද වෙනස් කෙරේ. එසේම, ආර්ථිකයේ ආදායම සහ ඉතුරුම් මට්ටම ඉහළ යන විට, එය ආයෝජනය සඳහා ප්‍රමාණවත් නව රාජ්‍ය සුරැකුම්පත් මූල්‍ය වෙළෙඳපොළට සැපයීම ද අවශ්‍ය වෙයි. 

පෞද්ගලික සුරකුම්පත්වලට සාපේක්ෂව රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ ගනුදෙනු ඉල්ලුම සහ පරිමාව ඉතා ඉහළ බැවින් රාජ්‍ය සුරැකුම්පත්වල ද්‍රවශීලතාවය ඉහළ වෙයි. එබැවින්, ආයෝජකයන් විසින් තම එදිනෙදා ද්‍රවශීලතාවය කළමනාකරණය රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනය හරහා සිදු කෙරේ. මෙය විශේෂයෙන් බැංකු සහ මූල්‍ය ආයතනවල දැකිය හැකිය. එබැවින්, මහ බැංකුව සහ රාජ්‍ය නියාමකයන් විසින් බැංකු සහ මූල්‍ය ආයතනවල ද්‍රවශීල වත්කමක් ලෙස රාජ්‍ය සුරැකුම්පත් නම් කොට ඇත. ඒ අනුව, බැංකු සහ මූල්‍ය ආයතන විසින් පවත්වා ගත යුතු ද්‍රවශීල වත්කම්වලින් බහුතරය රාජ්‍ය සුරැකුම්පත්වලින් යුක්ත වෙයි. රක්ෂණ සමාගම් විසින් තම අරමුදල්වලින් අවම වශයෙන් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කළ යුතු ප්‍රමාණයන් ද නියම කොට ඇත. 

එසේම, බැංකු සහ මූල්‍ය ආයතනවල නුබුන්වත් භාවය සහතික කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ගණනය කිරීමේ දී භාවිතා කෙරෙන වත්කම් අවදානම ඇස්තමේන්තු කිරීමේ දී රාජ්‍ය ණය වත්කම් සඳහා වන අවදානම් අනුපාතය ශුන්‍ය බවට නියම කොට ඇත. 

එබැවින්, බැංකු සහ මූල්‍ය ආයතනවල ද්‍රවශීලතාවය මෙන්ම අවදානම් ආවරණ ප්‍රාග්ධනය පවත්වා ගැනීමට ද රාජ්‍ය ණයවල ආයෝජනය ප්‍රධාන මූල්‍ය මෙවලමක් වෙයි.

  • පෞද්ගලික ණය ගනුදෙනු සඳහා ගුණාත්මක ඇපසුරකුම් ලෙස රාජ්‍ය ණය සුරැකුම්පත් භාවිතා කිරීම

රාජ්‍ය ණයවල අවදානම ඉතා පහළ බැවින් බැංකු සහ පෞද්ගලික ණය ගනුදෙනු සඳහා ඉතා ගුණාත්මක ඇපසුරැකුමක් ලෙස රාජ්‍ය සුරැකුම්පත් පිළි ගැනේ. මීට ප්‍රධාන හේතුව, රාජ්‍ය ණය සුරැකුම්පත්වල පවතින ඉහළ ද්‍රවශීලතාවය සහ ශුන්‍ය ණය අවදානම යි. එබැවින්, ණය වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන රාජ්‍ය ණය සුරැකුම්පත් සැපයුමක් පැවතිය යුතුය. ඒ සඳහා රජය විසින් අයවැය හිඟයක් පවත්වා ගත යුතුය.

  • බැංකු සහ මූල්‍ය වෙළෙඳපොළ සඳහා පදනම ලෙස රාජ්‍ය ණය පොලී අනුපාතයන් භාවිතා කිරීම 

රාජ්‍ය ණය යනු අවදානම ඉතා පහළ ණය වන බැවින් පෞද්ගලික ණය ගනුදෙනුවල අවදානම් තීරණය කිරීමේ දී මූලික මිනුම් ලකුණ ලෙස රාජ්‍ය ණය භාවිතා කෙරේ. මුදල් ආයෝජනවල අවදානම මැනීම සඳහා භාවිතා කෙරෙන ප්‍රචලිත දර්ශකය වනුයේ පොලී අනුපාතය යි. එබැවින්, පෞද්ගලික ණය සහ ආයෝජන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාතයන් තීරණය කිරීමේ දී, රාජ්‍ය ණය පොලී අනුපාතයට ඒ ඒ පෞද්ගලික ණය ගනුදෙනුවට අදාළ අතිරේක අවදානම් සඳහා අවදානම් වාරිකයක් අය කිරීම සිදු කෙරේ. මෙහි දී, ඒ ඒ පරිණත කාලයට අදාළ රාජ්‍ය සුරැකුම්පත්වල පොලී අනුපාතයන් භාවිතා කෙරේ. 

එබැවින්, පරිණත කාලය අනුව රාජ්‍ය සුරැකුම්පත්වල පොලී අනුපාතයන් දැක්වෙන ඵලදා වක්‍රය පොලී අනුපාත කාල ව්‍යුහය ලෙස දැක්වෙයි. ඒ අනුව, පෞද්ගලික ණයවලට අදාළ පොලී අනුපාත වක්‍රය රාජ්‍ය සුරැකුම්පත් ඵලදා වක්‍රයට ඉහළින් පිහිටනු ඇත. එබැවින්, පෞද්ගලික ණය වෙළෙඳපොළ ඉල්ලුම, සැපයුම සහ මිල ගණන් තීරණය වීම කෙරෙහි පදනම රාජ්‍ය ණය වෙළෙඳපොළ මගින් සැපයෙනු ඇත.

4. මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය රාජ්‍ය ණය වෙළෙඳපොළ හරහා ක්‍රියාත්මක කිරීම 

ලෝකය පුරා මහ බැංකු විසින් තම මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස දක්වන්නේ, තම එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මත බැංකු සංචිත සහ අන්තර් බැංකු ඒක්ෂණ ණය පොලී අනුපාතයන් පාලනය කිරීම යි. ඒ හරහා ආර්ථිකයේ ණය ප්‍රසාරණය සහ සමස්ත ඉල්ලුම පාලනය කිරීම තුළින් ආර්ථිකයේ මිල ස්ථායිතාවය පවත්වා ගන්නා බව දැක්වෙයි. එහෙත්, ආර්ථිකයේ සංසරණය වන මුළු මුදල් පරිමාවට සාපේක්ෂව බැංකු සංචිත සහ අන්තර් බැංකු ඒක්ෂණ ණය ප්‍රමාණය ඉතා සුළු වන බැවින්, මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්තියට මහ බැංකු විසින් ප්‍රකාශ කරන තරම් ආර්ථික විශ්ව කර්මයන් කළ නොහැකිය.

එබැවින්, මහ බැංකු විසින් සත්‍ය ලෙස කරනුයේ රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් පාලනය කිරීම හරහා මූල්‍ය ප්‍රතිපත්තිය ආර්ථිකය තුළ සම්ප්‍රේෂණය කිරීමට උත්සාහ කිරීම යි. මෙහි දී, මහ බැංකු විසින් ද්විතීය වෙළෙඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම හරහා බැංකු පද්ධතියේ සංචිත ප්‍රමාණය කාල පදනමක් මත පාලනය කිරීමට උත්සාහ කෙරේ. එහි අරමුණ වනුයේ මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්ති මනාපයන්ට ගැලපෙන පරිදි රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් හෙවත් ඵලදා වක්‍රය පාලනය කිරීම යි. මෙහි දී, තෝරාගත් කෙටි කාලීන හෝ මැදි කාලීන හෝ දිගු කාලීන රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් ඉලක්ක කරනු ඇත. 

උදාහරණ ලෙස ආර්ථිකයක් දැඩි පසුබැසිමකට මුහුණ දෙන කාලවල මහ බැංකුව විසින් දිගු කාලීන රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් පහළ දැමීම ඉලක්ක කරනු ඇත. එහි අරමුණ වනුයේ ආර්ථිකයේ දිගු කාලීන ණය පොලී අනුපාතයන් පහළ දැමීම හරහා ආයෝජන ධෛර්යමත් කිරීම යි. එහෙත්, සාමාන්‍ය කාලවල මහ බැංකු විසින් ඉලක්ක කරන්නේ කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් ය. උදාහරණ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයේ දිසාව ඉලක්ක කිරීම මගින් මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ පොලී අනුපාතයන් මෙහෙයවීම දැකිය හැකිය. එහෙත්, මහ බැංකු විසින් ඒ බව නිල වශයෙන් ප්‍රකාශ නොකරන අතර මෙම මහ බැංකු ක්‍රමවේදය පිළිබඳ ව මූල්‍ය වෙළෙඳපොළ සහභාගි කරුවන් දැනුවත් වී ඇත. එබැවින්, මූල්‍ය වෙළෙඳපොළ ආයෝජකයන් රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන්ගේ හැසිරීම අනුව සමපේක්ෂණ වෙළෙඳාමේ නිරත වන බව රහසක් නොවේ.

මහ බැංකු විසින් මෙසේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම සහ පොලී අනුපාතයන් තම මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන්නේ, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ ඉහළ වැදගත්කම සහ ක්‍රියාශීලිත්වය හේතු කොට සමස්ත ආර්ථිකය  ඊට දක්වන ඉහළ සංවේදීතාවය හේතුවෙනි. එබැවින්, රාජ්‍ය අයවැය හිඟය සහ ණය සංකෝචනය කළ හොත්, මූල්‍ය වෙළෙඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් හිඟය හේතු කොට මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මහ බැංකුවලට අසීරු වනු ඇත.

මීට හොඳම උදාහරණය වන්නේ 1998 සිට 2001 දක්වා අඛණ්ඩව වර්ෂ හතරක් ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් දේශපාලනික මතවාදයක් මත අයවැය අතිරික්තයක් වාර්තා කිරීම යි. එම කාලයේ ඇමෙරිකානු මහ බැංකු සභාපති ඇලන් ග්‍රීන්ස්පාන් විසින් ඇමෙරිකානු ජනාධිපතිට පැමිණිලි කරන ලද්දේ අතිරික්ත අයවැය ප්‍රතිපත්තිය හේතු කොට මහ බැංකුවට මූල්‍ය ප්‍රතිපත්තියට අවශ්‍ය පරිදි පොලී අනුපාතයන් පාලනය කිරීමට නොහැකි වී ඇති බව යි. එහි දී, ඇමෙරිකානු ජනාධිපති විසින් දෙන ලද පිළිතුර වූයේ, ඇමෙරිකානු ආර්ථිකයෙහි අවසානයට විසඳීමට ඇති ප්‍රශ්නය වන්නේ පොලී අනුපාතය බවත්, කඩිනමින් විසඳිය යුතු දැවෙන ප්‍රශ්නය වන්නේ ණය ප්‍රශ්නය බවත් ය.

එබැවින්, ප්‍රමාණවත් රාජ්‍ය ණය ප්‍රසාරණයක් නොමැතිව ආර්ථිකයේ බැංකු සහ මූල්‍ය පද්ධතියක් සහ මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම දුෂ්කර වනු ඇත. ඊට හේතුව, ඒ සඳහා අවදානම්කාරී පෞද්ගලික ණය භාවිතා කිරීමෙන් හට ගන්නා පද්ධති අවදානම් ය. ශ්‍රී ලංකා නව මහ බැංකුව නුදුරු අනාගතයේ දී මෙම අර්බුදයට මුහුණ දෙනු ඇත. ඊට හේතුව, නව මහ බැංකු පනත මගින් රාජ්‍ය ණය වෙළෙඳාමෙහි යෙදීම මහ බැංකුවට තහනම් කොට ඇති බැවිනි.

සමාප්ත සටහන

  • ඉහත දැක්වූ පරිදි රාජ්‍ය අයවැය හිඟය සහ ණය රටට, ආර්ථිකයට සහ මහජනයාට බරක් බවට පවසමින් ඒවා කප්පාදු කළ යුතු බවට දැක්වෙන දේශපාලනික ආර්ථික මතවාදය හුදෙක් මිත්‍යාව මත පදනම් වූවකි. 

  • එම මතවාදයේ අරමුණ වනුයේ රාජ්‍ය අංශය කප්පාදු කිරීම යි. ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන රටවල IMF ණය වැඩසටහන් මගින් සිදු කිරීමට උත්සාහ කෙරෙන්නේ ද එය යි. එය, සංවර්ධිත රටවල ගෝලීය භූදේශපාලනික ක්‍රමෝපායේ අංගයකි. ඊට හේතුව, එම රටවල මූල්‍ය ආයෝජකයන්ට සංවර්ධනය වන රටවල පෞද්ගලික අංශය විවෘත  කිරීම යි.

  • එහෙත්, රාජ්‍ය අංශය එසේ කප්පාදු කොට ආර්ථිකය සහ මානව සංවර්ධනය මෙන්ම ස්වෛරීත්ව රාජ්‍යය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි ඇඩම් ස්මිත් දර්ශනය හිමි පෞද්ගලික අංශයක් සහ ව්‍යුහයක් ලෝකයේ කිසිම රටක දැකිය නොහැකිය.

  • එබැවින්, සියළු දේශපාලනික නායකයන් විසින් අඩු වැඩි වශයෙන් අනුගමනය කරනු ලබන්නේ ඉහතින් දැක්වූ අයවැය සහ ණය ක්‍රියාකාරකම් වෙයි. ඊට හේතුව, රාජ්‍ය අයවැය සහ ණයවල ආර්ථික සහ මානව සංවර්ධන යථාර්තය ඔවුන්ගේ යටිහිත දන්නා බැවිනි.

  • එබැවින්, සංවර්ධිත රටවල් අනුගමනය කළා මෙන්, ශ්‍රී ලංකාව වැනි රටවල් දියුණු කිරීම සඳහා ද බිය නැතිව අයවැය සහ ණය උපයෝජන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුය. මෙහි දී, රාජ්‍ය අයවැය දේශීය මුදලින් ක්‍රියා කරන අතර ගෙවුම් ශේෂය කළමනාකරණය කිරීම සඳහා විනිමය පාලනයන් ඉවත් කොට මූර්ත ආර්ථිකයට ඉඩ දිය යුතුය. මෙහි දී, විදේශ මුදල් යනු රටේ මුදල් නොව තවත් වෙළෙඳ භාණ්ඩයන් ලෙස සැලකිය යුතුය.

  • එසේ නැතිව විනිමය අනුපාතය පාලනය කිරීම පිණිස රජය විසින් විදේශ ණය ගැනීම හරහා ආර්ථිකය ඩොලර්කරණය කළ හොත්, කිසි දිනක මෙම රටවල් දියුණු කළ නොහැකි වනු ඇත. ඊට හේතුව, ඩොලර් සපයා ගැනීම පිණිස රජය සහ ආර්ථිකය කෙටි කාලීන විදේශ මූල්‍ය ආයෝජකයන්ගේ ග්‍රහණයට හසු වීම යි. වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදයේ මූලය ද එය යි. IMF ණය වැඩසටහන් මගින් උත්සාහ කරන්නේ ද, දැනට කඩා වැටී ඇති එම විදේශ ණය ග්‍රහණය යාවත්කාලීන කිරීම යි.

  • රාජ්‍ය අයවැය තුලනය කොට ණය තොගය පහළ දැමිය යුතු බවට අදහස් දක්වෙන්නේ, නූතන ණය සහ මුදල් ක්‍රමය පිළිබඳ කිසිම දැනීමක් නොමැති පුද්ගලයන් ය. රාජ්‍ය ණය ශුන්‍යයට පත් කළ හොත්, වත්මන් රාජ්‍ය මුදල් ක්‍රමය කඩා වැටී, පෞද්ගලික ණය මත පදනම් වූ පූර්ණ පෞද්ගලික මුදල් ක්‍රමයක් හට ගනු ඇත. එවිට, මහ බැංකුව ද පෞද්ගලික මුදල් මුද්‍රණය කරන බැංකුවක් බවට පත් වනු ඇත. පෞද්ගලික ණයවල පවතින අවදානම් හේතු කොට මහ බැංකුව, මූල්‍ය ක්‍රමය සහ ආර්ථිකය කෙරෙහි පවතින විශ්වාසය දුර්වල වනු ඇත. එවැනි රටවල ආර්ථික සහ මූල්‍ය ස්ථායිතාවයක් බලාපොරොත්තු විය නොහැකිය.

  • එබැවින්, සෑම රටකම මහජනයා මුහුණ දෙන උග්‍ර ආර්ථික අපහසුකම් නිරාකරණයට විසඳුම් පවතිනේ මානව සංවර්ධනය ඉලක්ක කළ භූදේශපාලනික සංකල්පයන් සහ සැලසුම් මත ය. ඊට හේතුව, ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළෙඳපොළ ආර්ථික දර්ශනයට රජයන් විසින් ඉඩ නොදෙන බැවිනි. එබැවින්, ඉදිරි මැතිවරණයන්ට සැරසෙන නායකයන් විසින් පොරොන්දු දීමේ දී, ශ්‍රී ලංකා වැසියන් මුහුණ දෙන ආර්ථික අර්බුදය නිරාකරණයට යෝජනා කෙරෙන විසඳුම් සැලසුම් ඉදිරිපත් කළ යුතුය. ඒවා, ඉහත දැක්වූ මිත්‍යාවෙන් තොර රාජ්‍ය අයවැය සහ ණය නොමැතිව කළ නොහැකිය. 

  • එබැවින්, එවැනි සැලසුම් ඉදිරිපත් නොකොට, රටේ දුෂණය අතු ගා යහපාලනය, ජාතික ආරක්ෂාව, සමෘද්ධිය සහ සතුට මහජනයාට ලබා දෙන බවට කෙරෙන ඡන්ද පොරොන්දු අර්ථ ශුන්‍ය වෙයි. එබැවින්, මහජනතාව විසින් ඡන්ද අපේක්ෂකයන්ගෙන් විමසිය යුත්තේ ඔවුන්ගේ මානව සංවර්ධන ඉලක්කයන් සහ ඒ සඳහා කෙරෙන අයවැය සහ ණය ප්‍රසරණයේ ව්‍යුහය සහ ප්‍රමාණය යි. යම් අපේක්ෂකයකු විසින් රාජ්‍ය අයවැය හිඟය සහ ණය පරිමාව පහළ දමා, රටට සියළු සෙත සලසන බවට පොරොන්දු වෙයි නම්, මෙම ලිපියේ අඩංගු කරුනු අනුව එය ප්‍රෝඩාකාරී පොරොන්දුවකි. ඊට හේතුව, රාජ්‍ය අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය නොමැතිව එවැනි පොදුජන සෙතක් සැලසීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගත නොහැකි බැවිනි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් ඔවුන්ගේ පෞද්ගලික වත්කම් මගින් සැපයෙයි නම්, තත්ත්වය වෙනස් විය හැකිය.

  • මුදල් යනු කිසිම නෛසර්ගික වටිනාකමක් නොමැති දෙයකි. මුදල්වල වටිනාකම යන සංකල්පය අනුව එම වටිනාකම ස්ථාවර කිරීමට මහ බැංකුවලට නොහැකි වී ඇත. එහෙත්, මුදල්වල වටිනාකම වන්නේ එය උපයෝජනයෙන් ජනනය කෙරෙන මානව සංවර්ධනය යි. එබැවින්, රජය විසින් නව ණය සහ නව මුදල් වියදම් කිරීම හරහා මානව සංවර්ධනය කඩිනමින් සැලසීමේ වරදක් නොමත. එහෙත්, ණය මිත්‍යාවන් මත බදු සහ ණය සීමාවන් අනුව වියදම් කිරීමෙන් සිදු කෙරෙන්නේ රාජ්‍ය වියදම් සහ මුදල්වලින් රාජ්‍ය පාලකයන් ඇතුළු සීමිත පිරිසකට ප්‍රයෝජනය සැලසීම යි. එය රජයන් විසින් සිදු කරන විශාල සමාජ අසාධාරණයකි.

  • එබැවින්, සත්‍ය වසන් කරමින් මිත්‍යාවන් පෙරටු කොට ගත් වත්මන් භාණ්ඩාගාර සහ මහ බැංකු අධිකාරීන් පවසන පරිදි බදු රැස් කොට, ණය තිරසාර කිරීමෙන් පසු රාජ්‍ය සේවා සඳහා වියදම් කිරීමේ රාජ්‍ය අයවැය සහ ණය සැලසුම් දෙස බලා සිටිය හොත්, වත්මන් ආර්ථික අර්බුදයෙන් පොදුජනයාට ගොඩ පැමිණිය හැක්කේ, ඊළඟ සියවස අවසානයේ දී විය හැකිය. 

 (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)




Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි