නව මහ බැංකු පනත - II කොටස - නව මහ බැංකුව හෙන්ඩුව නොමැති අලියෙක් ද? මහ බැංකු අධිපතිට මහජන මුදලින් ස්වාධීන මුදල් ආණ්ඩුවක් ද? රටේ මුදල් සහ මහ බැංකුව පොදුජනයාගෙන් මුදල් ව්‍යාපාරිකයන් අතට ද?

පසුගිය ජුලි මස 22 දින ඉදිරිපත් කළ මෙම ලිපියේ පළමු කොටස මගින් උද්ධමනයෙන් සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පසුගිය 20 දින පාර්ලිමේන්තුවෙන් සම්මත වූ නව පනත හරහා රජයෙන් ස්වාධීන වූ නව මහ බැංකුවක් වත්මන් රජය විසින් පිහිටුවීමේ තර්කයන් ආර්ථික විද්‍යාව අනුව පදනම් විරහිත බව පෙන්වා දෙන ලදි (එම ලිපිය මෙම ලිපිය අවසානයේ පිටපත් කොට ඇත).

එබැවින්, මෙම දෙවන කොටසේ අරමුණ වනුයේ මහ බැංකුව මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් නීති පනත අවලංගු කොට, ඉදිරිපත් කොට ඇති නව මහ බැංකු පනතේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් මගින් දැනට ආර්ථික සහ මූල්‍ය අර්බුදයකට හසු වී දරිද්‍රතාවයට පත් වී ඇති ශ්‍රී ලංකා ආර්ථිකයට නොගැලපෙන මුදල් නියාමන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම හරහා ඇතිවන අවදානම් දෙකක් පෙන්වා දීම යි. ලිපියේ මාතෘකාවේ දැක්වෙන්නේ එම අවදානම් දෙක යි. 

මුදල් නීති පනතේ මුදල් නියාමන ප්‍රතිපාදනයන්ගේ හරය

ශ්‍රී ලංකා ආර්ථිකයට අවශ්‍ය කෝකටත් තෛලය ස්වාධීන මහ බැංකුවක් බව දක්වමින් නව මහ බැංකු පනතට දෙඅත් එසවීමට පෙර, මුදල් නීති පනත පිළිබඳ ව පූර්ණ අවබෝධයක් තිබිය යුතුය. ඊට උපකාරයක් ලෙස, ආර්ථිකයෙහි මුදල් පාලනය පිළිබඳ ව මුදල් නීති පනතේ මූලික හරය ඉතා කෙටියෙන් පහත දක්වමි.

  • ශ්‍රී ලංකාවේ නිල මුදල් වටිනාකම් ඒකකය ලෙස ශත සියයකට බෙදෙන ශ්‍රී ලංකා රුපියල ස්ථාපිත කිරීම. එබැවින්, ආර්ථික ගනුදෙනු ගිවිසුම් සහ පිළිපැදීම රුපියල් භාවිතය හරහා කිරීම නිත්‍යානුකුල වෙයි.

  • ශ්‍රී ලංකාවේ ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගු මුදල ලෙස මහ බැංකුව විසින් රජය වෙනුවෙන් නිකුත් කෙරෙන කාසි සහ නෝට්ටු නියම කිරීම.

  • ශ්‍රී ලංකාවේ නිල මුදල් ගෙවුම් මාධ්‍යයන් ලෙස මහ බැංකුව විසින් නිකුත් කෙරෙන කාසි සහ නෝට්ටු සහ ඉල්ලුම් තැන්පතු වගකීම් (මහ බැංකුවේ සහ වාණිජ බැංකුවල ජංගම ගිණුම් වගකීම් ශේෂ) නීතිගත කිරීම.

  • රටේ සංසරණය වන මුදල් තොගය හෝ මුදල් සැපයුම ලෙස කාසි සහ නෝට්ටු සහ ඉල්ලුම් තැන්පතු නිර්වචනය කිරීම. මෙම නිර්වචනය පසුව අනෙක් තැන්පතු වගකීම් ශේෂයන් ද මුදල් සැපයුමට ඇතුළත් කළ හැකි වන පරිදි පුළුල් කොට ඇත.

  • ආර්ථිකයට යෝග්‍ය පරිදි රටේ මුදල් සැපයුම පාලනය කිරීම පිණිස මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට බලය පැවරීම.

  • මුදල් සැපයුම නිර්වචනය (කාසි සහ නෝට්ටු සහ තැන්පතු) අනුව ආර්ථිකයෙහි මුදල් ජනිත වන්නේ බැංකු ණය (මහ බැංකු සහ වාණිජ බැංකු ණය ප්‍රදානය) හරහාය ය. එබැවින්, බැංකු ණය පාලනය කිරීමේ මෙවලම් රැසක් මූලික වශයෙන් මූල්‍ය ප්‍රතිපත්ති බලතල ලෙස ඇතුළත් කරන ලදි. එනම්, මහ බැංකුවෙන් දෙන ණය සහ වාණිජ බැංකුවලින් දෙන ණය පරිමාව පාලනය කිරීමේ බලතල යි.

  • ඒ අනුව, ආර්ථිකයේ මුදල් සංසරණය කෙරෙහි බලපෑම හෝ මැදිහත්වීම පිණිස මුදල් සැපයුම, ණය මුදල් බෙදා හැරීම හෝ ව්‍යාප්තිය හෝ පරිමාව, පොලී අනුපාතයන්, විනිමය අනුපාතයන් සහ විදේශ විනිමය ගනුදෙනු කෙරෙහි මැදිහත් විය හැකි බලතල රාශියක් මූල්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් කොට ඇත. ඒවා කිහිපයක් පහත දැක්වෙයි.

  • දේශීය මුදල් පාලනය/ස්ථායිකරණය සඳහා බලතල - මෙහි දී, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය හරහා ණය දීම සහ බැංකුවල ණය පාලනය පිළිබඳ බලතල අයත් වෙයි.
    • ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය,
    • උපරිම මාස 6 ක් සහ රාජ්‍ය ආදායමින් 10% ක් දක්වා රජයට අත්තිකාරම් සැපයීම,
    • රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම සහ විකිණීම හරහා බැංකු පද්ධතියේ අරමුදල් සැපයුම සහ පොලී අනුපාතයන් පාලනය කිරීම (විවට වෙළෙඳපොළ කටයුතු), 
    • ආර්ථිකයේ ප්‍රමුඛ අංශ සංවර්ධනය සඳහා සුදුසු කොන්දේසි මත කෙටි, මැදි සහ දිගු කාලීන ප්‍රතිමූල්‍ය ණය සැපයීම,
    • බැංකු අර්බුද වැලක්වීම සඳහා සුදුසු ඇප මත හදිසි ණය සැපයීම (අවසාන ණය දෙන්නා),
    • බැංකුවල මුළු ණයවලින් ආර්ථිකයේ  විවිධ අංශවලට ලබා දිය යුතු අවම ණය ප්‍රතිශතය නියම කිරීම,
    • බැංකුවල ණය සහ ආයෝජන ප්‍රසාරණය පිළිබඳ උපරිම සීමා පැනවීම,
    • බැංකු තැන්පතු කාණ්ඩයන් සඳහා ගෙවන අවම පොලී අනුපාතයන්  සහ ණය කාණ්ඩයන් සඳහා අය කෙරෙන උපරිම පොලී අනුපාතයන් නියම කිරීම, 
    • මහ බැංකුවෙන් ණය ලබා ගන්නා බැංකුවල ණය ක්‍රියාකාරකම් පිළිබඳ කොන්දේසි පැනවීම.

  • විදේශීය මුදල් පාලනය/ස්ථායිකරණය සඳහා බලතල - මෙහි දී, දේශීය මුදලේ විනිමය අනුපාතයන් ස්ථායිකරණය සඳහා රටතුළ විදේශීය මුදල් ප්‍රවාහය (ඉල්ලුම සහ සැපයුම) පාලනය කිරීමේ බලතල අඩංගු වෙයි.
    • මහ බැංකුවේ විදේශ මුදල් වත්කම් සංචිතයක් පවත්වා ගැනීම,

    • මහ බැංකුවට විදේශ මුදල් ණය ලබා ගැනීමට අවසරය 
    • මහ බැංකුව විසින් වාණිජ බැංකු සමඟ විදේශ මුදල් වෙළෙඳාම සහ අදාළ විනිමය අනුපාතයන් තීරණය කිරීම,
    • වාණිජ බැංකුවල උපරිම අළෙවි විනිමය අනුපාතයන් සහ අවම මිල දී ගැනීමේ විනිමය අනුපාතයන් නියම කිරීම හෝ නොකිරීම,
    • වාණිජ බැංකුවල උපරිම කාරක විදේශ මුදල් ශේෂයන් නියම කිරීම,
    • වාණිජ බැංකුවල රුපියල් වටිනාකම මත පදනම් වූ විදේශ මුදල් වත්කම් සහ වගකීම් අතර අවම අනුපාතයන් නියම කිරීම,
    • ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ලබා ගත යුතු අවම මුදල් තැන්පතු ප්‍රමාණයන් නියම කිරීම.  

  • ඒ අනුව, මහ බැංකුව විසින් තම ජාතික මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ සමස්ත ආර්ථිකයේ මෙන්ම විවිධ ආර්ථික අංශවල මුදල් අවශ්‍යතාවන් ඉටු කෙරෙන පරිදි ය.  එය දේශීය මුදල් ස්ථායිකරණය සහ විදේශීය මුදල් ස්ථායිකරණය යන අරමුණු ප්‍රභේදයන් දෙක යටතේ කළ යුතුය.
  • ආර්ථිකයේ මුදල් සැපයීම සිදු වන්නේ වාණිජ බැංකු ව්‍යාපාරික කටයුතු (එනම්, තැන්පතු, ණය සහ මුදල් ප්‍රේෂණ) හරහා ය. 
    • එබැවින්, මහ බැංකුවට අවශ්‍ය පරිදි මුදල් සැපයුම පාලනය කිරීම කළ හැකි වන්නේ බැංකු සුමට ලෙස ව්‍යාපාරික කටයුතුවල යෙදේ නම් පමණි. එනම්, බැංකු මූල්‍ය අර්බුදයන්ට හසු නොවී මැනවින් කළමනාකරණය කිරීම හරහා ය. ඊට හේතුව, මුදල් සහ බැංකු ක්‍රමය ක්‍රියාත්මක වන්නේ බැංකු පිළිබඳ මහජන විශ්වාසය මත බැවිනි. දුර්වල හෝ වංචාකාරී මුදල් කළමනාකරණය හේතු කොට කලින් කළට බැංකු කඩා වැටීමේ අවදානමක් පවතී නම්, මුදල් සහ බැංකු පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටී මුදල් ක්‍රමය සහ මුදල් සංසරණය කඩා වැටෙනු ඇත. 

    • එබැවින්, මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක තනතුර ඇති කොට බැංකු අධීක්ෂණය ස්ථාපිත කරන ලදි. ඒ අනුව, දුර්වල බැංකු මාස 3 ක් ඇතුළත නිරාකරණයට අවශ්‍ය නියාමන ප්‍රතිපාදන සපයන ලදි. එය පසුව, මාස 6 ක් දක්වා දීර්ඝ කරන ලදි. එසේම, පසුව තැන්පතු හිමියන්ගේ ආරක්ෂාව සඳහා තැන්පතු රක්ෂණය කිරීමේ ප්‍රතිපාදනයන්  ගෙන එන ලදි. වත්මන් තැන්පතු රක්ෂණ ක්‍රමය ඒ මත ක්‍රියාත්මක වෙයි.

  • මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණයන් ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික පර්යේෂණ දත්ත සහ උපදෙස් මුදල් මණ්ඩලය වෙත සැපයීම පිණිස ස්වාධීන ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මහ බැංකුවේ පිහිටුවීම.

  • මහ බැංකු අරමුණු වන ආර්ථික සහ මිල ස්ථායිතාවය සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය යනු මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් වක්‍ර ලෙස අපේක්ෂිත න්‍යායාත්මක සාර්ව ආර්ථික තත්ත්වයන් ය. ඒවා කුමක් ද? යන්න මුදල් නීති පනතෙහි නිර්වචනය කොට නොමැත. එබැවින්, මහ බැංකුව විසින් තමන්ට රුචි සහ වාසිදායක වන පරිදි අරමුණු පිළිබඳ තම කාර්යසාදනය ඉදිරිපත් කිරීම දැකිය හැකිය. උදාහරණ ලෙස මෑත කාලීන උද්ධමන ඉලක්කකරණ මූල්‍ය ප්‍රතිපත්තිය දැක්විය හැකිය.

  • මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියට අනුරූප නොවන අවස්ථාවල මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ නියෝගයන් නිකුත් කිරීමට මුදල් ඇමති වෙත බලය ඇත. එම නියෝගයන් මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ යුතු අතර එහි වගකීම රජය භාර ගනී.

  • රාජ්‍ය ණය කළමනාකරණය සහ රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම මහ බැංකුව වෙත පැවරීම. මෙය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ආධාරකයක් ලෙස ලබා දී ඇත.

නව මහ බැංකු පනතින් මුදල්/ණය පාලන බලතල සිමා කිරීම

නව පනතේ ප්‍රතිපාදනයන් දෙස බලන විට ඉහත දැක්වූ මුදල්/ණය පාලන බලතල රැසක් ඉවත් වී ඇත. ආර්ථිකයක මුදල් පාලනය සිදු කෙරෙන්නේ මහ බැංකුව විසින් ණය සැපයීම සහ බැංකු විසින් ණය සැපයීම/මැවීම පාලනය කිරීම හරහා ය. ඊට හේතුව, මුදල් යනු ණයවල ප්‍රතිඵලයක් වන බැවිනි. එබැවින්, ණය පාලනය සඳහා මෙවලම් රැසක් මහ බැංකු සතුව පවතී. එහෙත්, නව පනතින් මුදල් නීති පනත යටතේ පැවති එම මෙවලම් රැසක් ඉවත් කොට ඇත. 

එබැවින්, නව පනත පනත යටතේ ආර්ථිකයේ මුදල් සහ ණය සැපයුම සහ ව්‍යාප්තිය හුදෙක් වෙළෙඳපොළ බලවේගයන් මත පදනම් වූ බැංකු සහ මූල්‍ය ආයතනවල මූල්‍ය ව්‍යාපාරික ක්‍රියාකාරකම් තුළින් තීරණය වනු ඇත. 

එබැවින්, ආර්ථිකයේ සංවර්ධන සහ ස්ථායිකරණ ප්‍රමුඛතාවන්ට අනුව මුදල් අවශ්‍යතාවන් සැපයෙන පරිදි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට හැකියාවක් නොමැත. ඊට හේතු කිහිපයක් නව පනත අනුව පහත දැක්වෙයි.

  • නිල මුදල් වටිනාකම් ඒකකයක් නොමැති වීම.
නව පනත අනුව මුදල් යනු කාසි සහ නෝට්ටු පමණි. එය නිල ගෙවුම් මාධ්‍යය යි. එබැවින්, මුදලේ අනෙක් කාර්යයන් ඉටු කෙරෙන කාසි සහ නෝට්ටු නොවන මුදල් වර්ග නීතියට අයත් නොවේ. එම මුදල් පාලනයට මූල්‍ය ප්‍රතිපත්තියට බලයක් නොමැත.

  • නව පනත සම්මත වී මාස 6 ක සිට රජයට සෘජු සහ වක්‍ර ලෙස ණය නොදීම හේතු කොට ආර්ථිකයට අවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම හෙවත් සංචිත මුදල් නිකුත් කිරීමේ හැකියාව සීමා වීම.
ශේෂ්ඨාධිකරණයේ නියෝගය මත හදිසි අවස්ථාවල දී පාර්ලිමේන්තුවේ පූර්ව අවසරය මත රජයට ණය ලබා දීමේ බලතල ඇතුලත් කළ බව මාධ්‍යය වාර්තා කොට ඇත.

  • රජයට වක්‍ර ලෙස හෝ ණය නොදීම හේතු කොට රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාමට අවසර නොතිබීම. 
මහ බැංකුව විසින් වෙළෙඳපොළ හරහා රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම යනු රජයට වක්‍ර ලෙස ණය දීමකි. එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තියේ විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් කළ යුත්තේ පෞද්ගලික ණයකර සහ කොටස් වැනි පෞද්ගලික සුරැකුම්පත් වෙළෙඳාම හරහා ය. එම සුරැකුම්පත්වල අවදානම් ඉහළ බැවින් විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සීමා වනු ඇත.

  • නව පනත යටතේ රාජ්‍ය ණය කළමනාකරණය සහ රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීමේ කාර්යයන් මහ බැංකුවෙන් ඉවත් කිරීම හේතු කොට මූල්‍ය ප්‍රතිපත්ති අවශ්‍යතාවන්ට යෝග්‍ය පරිදි පොලී අනුපාත කාල ව්‍යුහය පාලනය කිරීමට මහ බැංකුවට නොහැකි වීම. 
මෑත දශකවල මහ බැංකුව විසින් ආර්ථිකයේ පොලී අනුපාතයන් පාලනය කරනු ලැබුවේ රාජ්‍ය ණය කළමනාකරණ මෙවලම් හරහා ය. සුරැකුම්පත් නිකුත් කිරීමේ පෞද්ගලික ක්‍රමවේදය මේ සඳහා නිරන්තරයෙන් භාවිතා කොට ඇත. එබැවින්, මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් හැර ආර්ථිකයේ කෙටි හා දිගු කාලීන පොලී අනුපාතයන් ඉලක්ක හෝ පාලනය කිරීමට මහ බැංකුවට නොහැකි වනු ඇත.

  • මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වාණිජ බැංකුවලට අමතරව විශේෂිත බැංකු, මූල්‍ය සමාගම්, කල්බදු මූල්‍ය සමාගම් සහ ප්‍රාථමික වෙළෙඳුන් (එනම්, ඡායා බැංකු) ද විවට වෙළෙඳපොළ හවුල්කරුවන් ලෙස ඇතුළත් වනු ඇත. 
එබැවින්, ආර්ථිකයේ මුදල් අවශ්‍යතාවන්ට අනුව සංචිත මුදල් නිකුත් කළ හැකි වන්නේ, මෙම බැංකු සහ ඡායා බැංකු වෙත මහ බැංකුව විසින් සැපයෙන ණය හරහා ය. ඡායා බැංකු යනු අධිඅවදනම් ආයතන වන බැවින් ඔවුන් වෙත ණය සැපයීම සීමා වීමෙන් ආර්ථිකයට අවශ්‍ය සංචිත මුදල් සැපයීමේ අවහිරතාවන් හට ගනු ඇත (රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම මත අරමුදල් සැපයීම තහනම් නිසා). එම අවදානම් නොසලකා ණය ලබා දීම කළ හොත්, මුදල් ක්‍රමය සහ මහ බැංකුව බංකොලොත් වීමේ අවදානමක් පවතී.

  • බැංකු සහ ඡායා බැංකුවල ණය පාලනය සඳහා නව පනතේ ඇති එකම මෙවලම වන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යි. 
මුදල් නීති පනතේ අඩංගු වූ අනෙක් සියළුම බැංකු ණය පාලන මෙවලම් නව පනතින් අවලංගු කොට ඇත. එසේම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය හරහා ණය පාලනය කළ නොහැකිය. ඊට හේතුව, බැංකු විසින් මුදල් මවන්නේ තැන්පතුවලින් නොව ණය මැවීම හරහා ය. නූතන බැංකු ව්‍යාපාරික නවීකරණය අනුව තැන්පතු යනු ණය මැවීමේ ප්‍රතිඵලයකි. එබැවින්, ණය මැවීමට අවශ්‍ය වන්නේ බැංකු ද්‍රවශීලතාවය සහ ව්‍යාපාරික ණය ඉල්ලුම මිස තැන්පතු නොවේ. එබැවින්, ආර්ථිකයේ මුදල් සැපයුම හෝ සංසරණය පාලනය කිරීමට මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියට හැකියාවක් නොමැත.
  • මුදල් නීති පනතේ අඩංගු වූ ප්‍රතිමූල්‍ය ණය හරහා ආර්ථිකයේ ප්‍රමුඛ අංශවලට අවශ්‍ය මුදල් ව්‍යාප්ත කිරීමේ බලතල නව පනතින් අවලංගු කොට ඇත. 
නව පනත අනුව එවැනි ණය සැපයීම කළ හැකි වන්නේ රජය විසින් මහ බැංකුවට ඒ සඳහා අවශ්‍ය අරමුදල් සැපයිමෙනි. එබැවින්, සංවර්ධන ණය ව්‍යාප්තිය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙවලමක් වී ඇත.
  • මහ බැංකුවල සම්ප්‍රදායික බැංකු/මූල්‍ය ස්ථායිතා වගකීමක් වන අවසාන ණය දෙන්නාගේ කාර්යය නව පනතින් අවලංගු කොට ඇත. 
නව පනත අනුව, බැංකු අර්බුදයක දී මහ බැංකුව විසින් බැංකුවලට ණය ප්‍රදානය කළ හැකි වන්නේ එම ණය සඳහා රාජ්‍ය ඇපය සැපයේ නම් පමණි. මූල්‍ය අර්බුද කාලවල බැංකු පිළිබඳ විශ්වාසය බිඳී යන බැවින් ආර්ථිකයට අවශ්‍ය මුදල්/ණය ප්‍රවාහය පවත්වා ගැනීමට මහ බැංකුවේ අවසාන ණය දෙන්නාගේ සේවය අත්‍යවශ්‍ය මූල්‍ය පාලන මෙවලමකි. ඒ සඳහා පුළුල් බලතල මුදල් නීති පනතේ අඩංගු විය. එහෙත්, නව පනත අනුව එම සේවය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙවලමක් වෙයි. එබැවින්, බැංකු අර්බුද අවස්ථාවල ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට හැකියාවක් නොමැත.
  • විනිමය අනුපාතයන් පාලනය නව පනතින් ඉවත් කොට ඇත. 
ඊට හේතුව, නිදහස් වෙළෙඳපොළ විනිමය අනුපාත සංකල්පය නව පනතෙහි පිළිගැනීම යි. එහෙත්, මහ බැංකුවට විදේශ මුදල් සංචිතයක් පවත්වා ගැනීම, වාණිජ බැංකු, රාජ්‍ය ආයතන සහ විදේශීය ආයතන සමඟ විදේශ මුදල් වෙළෙඳාම කිරීම මෙන්ම වාණිජ බැංකුවල උපරිම කාරක විදේශ මුදල් ශේෂයන් නියම කිරීමේ බලතල පවතී. එබැවින්, මෙම විදේශ මුදල් ගනුදෙනු මෙවලම්වල මූල්‍ය ප්‍රතිපත්ති අරමුණ පැහැදිලි නොවේ. එබැවින්, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටක විදේශ විනිමය අනුපාතයන් පාලනය කිරීමට මහ බැංකුවට බලතල නොමැතිවීම ආර්ථිකයේ මුදල් පාලන හැකියාව සීමා කෙරෙන සාධකයක් වනු ඇත.
  • මහ බැංකුවේ ව්‍යවස්ථාපිත නිලයන් දෙකක් වන ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂක සහ බැංකු අධික්ෂණ අධ්‍යක්ෂක මෙන්ම සියළු මහ බැංකු දෙපාර්තමේන්තු නව පනතින් ඉවත් වී ඇත. එමගින්, මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අභ්‍යන්තර පාලනයන් බිඳී ගොස් ඇත.

  • මූල්‍ය ක්‍රමය ස්ථායීව පවත්වා ගැනීම සඳහා වාණිජ බැංකු සහ ඡායා බැංකු නියාමනය සාර්ව විචක්ෂණ නියාමනය නම් වූ පැරණි සංකල්පයක් යටතට ඒකාබද්ධ කොට ඇත. 

මෙහි දී, නියාමන ක්‍රියාමාර්ගයන් ගනු ලබන්නේ සමස්ත බැංකු පද්ධතියේ මූල්‍ය ප්‍රවණතාවන් තුළින් හඳුනා ගනු ලබන පද්ධති අවදානම් වැලැක්වීම සඳහා ය. මෙය 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ඉදිරිපත් වූ පැරණි නියාමන සංකල්පයක් වන අතර එය දැනට භාවිතයේ නොමැත. මුදල් පද්ධතිය ස්ථායී ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය වන්නේ, පද්ධතිය නොව දුර්වල කළමනාකරණයක් සහිත බැංකු සහ මූල්‍ය ආයතනයන් හඳුනා ගෙන නියාමනය සහ නිරාකරණය කිරීම යි. එය සාර්ව විචක්ෂණ සංකල්පයට බද්ධ කිරීමෙන් බැංකු නිරාකරණය සීමා හෝ දුර්වල වනු ඇත. 
    මෙම සංකල්පය දැනටමත් අසමත් වී ඇති බව පසුගිය මාර්තු මස කුඩා සහ ප්‍රාදේශීය බැංකු ආශ්‍රිතව ඇමෙරිකාවේ සහ යුරෝපයේ හට ගත් බැංකු තැන්පතු කැළඹීමෙන් පෙනේ. එබැවින්, නව සාර්ව විචක්ෂණ නියාමනය ආර්ථිකයේ මුදල් පාලනයට උපකාරී නොවනු ඇත. තවද, ලෝකයේ කිසිම මහ බැංකුවක් විසින් අධිව්‍යාපාරික අවදානම් ගන්නා ඡායා බැංකු ක්‍රමය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයට ඇතුළත් කර ගනු නොලබන අතර එය මුදල් පද්ධතියෙන් පිටත රජයේ නියාමනයට යටත් වෙයි. එසේම, මූල්‍ය පද්ධති ස්ථායිතාවය ආරක්ෂා කිරීම පිණිස තැන්පතු රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මහ බැංකුවේ කාර්යයක් ලෙස දැක්වුව ද, ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් සහ වත්මන් තැන්පතු රක්ෂණ ක්‍රමයේ නෛතික තත්ත්වය පිළිබඳ ව කිසිම ප්‍රතිපාදනයන් නව පනතේ අඩංගු නොවේ.

    • මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ ව මුදල් ඇමති විසින් නියෝග නිකුත් කිරීමේ බලය නව පනතින් ඉවත් කොට ඇත.
    එහෙත්, මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවිය යුතු උද්ධමන ඉලක්කය නියම කිරීමට මුදල් ඇමති වෙත බලය පවතී. උද්ධමන ඉලක්කකරණ මූල්‍ය ප්‍රතිපත්තිය හුදෙක් න්‍යායාත්මක සාර්ව ආර්ථික සංකල්පයක් වන බැවින් මෙම නෛතික ප්‍රතිපාදනයෙන් ආර්ථිකයට ඵලක් නොමැත. ඊට හේතුව, උද්ධමනය ඉලක්ක මට්ටමේ පාලනය කිරීමේ කාර්යසාදනයක් මහ බැංකු සතුව නොමැති අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය අසමත් වන විට මහ බැංකු විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු විවිධ ආර්ථික සිද්ධීන් දක්වමින් නිදහසට කරුණු ඉදිරිපත් කෙරේ. එහෙත්, උද්ධමනය පහළ මට්ටමක පවතින විට එහි සියළු ප්‍රසංශාව මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියට ජප කෙරෙනු ඇත. වත්මන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් අත්තනෝමතික ලෙස වෙනස් කිරීමෙන් ආර්ථිකයේ මිල ස්ථායිතාවය සහ උද්ධමනය පාලනය කිරීමට හැකි බවට කිසිම ආර්ථික පර්යේෂණ නිගමනයන් නොමැත. එය හුදෙක් මිත්‍යා විශ්වාසයක් පමණි.

    සමාප්ත සටහන

    • ඉහත දැක්වූ කරුණු දෙස බලන විට නව මහ බැංකුවේ මුදල් පාලන බලතල ඉතාමත් සීමා වෙයි. එබැවින්, මහ බැංකුවට හිතවත් මූල්‍ය ව්‍යාපාරිකයන්ට මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියෙහි ප්‍රමුඛතාවයක් ලැබෙනු ඇත.

    • මහ බැංකුවට ණය පාලන බලතල නොමැති බැවින් බලවත් මූල්‍ය ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳපොළ මත පදනම් වූ ණය ක්‍රියාකාරකම් තුළින් ආර්ථිකයේ මුදල් සහ ණය සැපයුම තීරණය වනු ඇත. එනම්, ආර්ථිකයේ මුදල් සම්පත බලවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු අත සංකේන්ද්‍රණය වීම යි. එය ආර්ථිකයේ නව ව්‍යාප්ති විෂමතාවයක් වන බැවින් එය සමාජ වෙළෙඳපොළ හෝ සමාජවාදී ආර්ථික අදහස් පිළි ගන්නා දේශපාලනික නායකයන්ගේ උදහසට ලක් විය යුතුය. 

    • නව මහ බැංකු පනත යටතේ විශාල මණ්ඩල සහ සභාවන් රැසක් ක්‍රියාත්මක වන අතර එම සියල්ලගේ සභාපති මහ බැංකු අධිපති වෙයි. ඒවායේ බහුතර සාමාජිකයන් රැස්වීම්වලට පමණක් සහභාගිවන බාහිර පුද්ගලයන් වෙයි. මහ බැංකුවේ අභ්‍යන්තර දත්ත සහ ක්‍රමවේදයන් පිළිබඳ ව ඔවුන් සතු දැනුම ඉතා සුළු බැවින් ඔවුන් හුදෙක් මහ බැංකු අධිපති විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ තොරතුරු මත පදනම් වී තීරණයන් ගනු ඇත. ඒවා හුදෙක් රබර් සීල් පමණක් වනු ඇත. ඊට හේතුව, මහ බැංකු අධිපතිගේ සහ ඔහුට සහාය වන නිලධාරීන්ගේ මතයන්ට එකඟ වීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නොමැති බැවිනි. ඊට හොඳම උදාහරණය පසුගිය වසරේ විනිමය අනුපාතය පාලනය කිරීම පිළිබඳ ව පාර්ලිමේන්තුවේ පැවති පරීක්ෂණයේ දී මුදල් මණ්ඩල සාමාජිකයන් දෙනු ලැබූ සාක්ෂීන් ය. එබැවින්, මෙම මණ්ඩල සහ සභාවන් හුදෙක් යහපාලන සංකල්පයක් පමණක් වන අතර කාර්යක්ෂම තීරණ ගැනීමේ ක්‍රමවේදයක් නොවේ.

    • මහ බැංකු අධිපතිගේ අධිබලයත්, මුදල් පාලන බලතල බොහෝ සීමා වීමත් හේතු කොට මහ බැංකුවේ මුදල් මුද්‍රණය/ණය ප්‍රදානයේ දී හුදෙක් ඔහුට හිතවත් මුදල් ව්‍යාපාරිකයන්ට ප්‍රමුඛත්වය ලැබෙනු ඇත. එය විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් හරහා සිදුවනු ඇත. එම ගනුදෙනුවලින් පාඩු සිදු වී මහ බැංකුව බුන්වත් වූ විට, ඊට අවශ්‍ය ප්‍රාග්ධනය රජය විසින් ඒකාබද්ධ අරමුදලින් සපයා දිය යුතුය.  එසේම, මහ බැංකුවේ ක්‍රියාකාරකම් රජයෙන් ස්වාධීන වන අතර නිලධාරින්ට කිසිම පෞද්ගලික වගකීමක් නොමැත. එබැවින්, නව මහ බැංකුව යනු මහ බැංකු අධිපතිට මහජන මුදලින් පිහිටුවා දෙනු ලබන මුදල් ආණ්ඩුවකි.

    • දැනටමත් ආර්ථිකයේ සංසරණය වන මුදල් තොගයෙන් 90.5% ක් පමණ සංයුක්ත වන්නේ පෞද්ගලික බැංකු විසින් ණය හරහා මවන ලද තැන්පතු මුදල් ය. එනම්, මහ බැංකුව විසින් සෘජුව පාලනය කෙරෙන සංචිත මුදල් ප්‍රමාණය මුළු මුදල් තොගයෙන් 9.5% ක් පමණි. තවද, සංචිත මුදල් ප්‍රමාණය ද බැංකුවල එදිනෙදා ද්‍රවශීල අරමුදල් මත තීරණය වන අතර එය තීරණය කිරීමට මහ බැංකුවට හැකියාවක් නොමැත. උදාහරණ ලෙස මහ බැංකුව විසින් මේ දිනවල දෛනිකව පවත්වන ප්‍රතිවිකුණුම් ණය වෙන්දේසි දැක්විය හැකිය. නව පනත මගින් මහ බැංකුවේ මුදල් පාලනය තවදුරටත් නීතිය මගින් සීමා කිරීම තුළින් ඉදිරියේ දී මුදල් මුද්‍රණයේ හෝ සංචිත මුදල්වල වැදගත්කම තවත් පහළ යනු ඇත. එබැවින්, මුදල් නීති පනත යටතේ වසර 74 ක් පමණ ක්‍රියාත්මක වූ මහ බැංකුවට සාපේක්ෂව නව ස්වාධීන මහ බැංකුවෙන් ආර්ථිකයට සහ පොදුජනයාට ඇති ප්‍රයෝජනය කුමක් ද? යන්න ප්‍රශ්නයකි.

    • ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 4.5% කින් මෑත දී පහළ දැමීමට අනුරූපව බැංකුවල ණය පොලී අනුපාතයන් පහළ හෙළා ආර්ථිකය නැවත ගොඩ නැගීමට ණය ප්‍රසාරණය කරන ලෙස පසුගිය සතියේ මහ බැංකු අධිපති විසින් ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් ඉල්ලා සිටීමට සිදුවූයේ මහ බැංකුවට මුදල් සහ ණය පාලන බලතල නොමැති බැවිනි. තවද, ශ්‍රී ලංකා බැංකු සංගමය යනු එවැනි මහ බැංකු ඉල්ලීම් ඉටු කිරීමට බලය ඇති සංවිධානයක් නොවේ. මහ බැංකුවට ආර්ථිකයේ මුදල් පාලන බලතල නොමැති විට, මහ බැංකුවේ සම්ප්‍රදායික ශිෂ්ට ප්‍රයෝග මෙවලම අක්‍රීය වනු ඇත. එබැවින්, මහ බැංකු අධිපති සහ ඉහළ නිලධාරීන් විසින් කරනු ලබන ඉල්ලීම් හෝ තර්ජනයන්ට බැංකු ව්‍යාපාරිකයන් සහ කළමනාකරුවන් හිස නොනමනු ඇත.

    • සමස්තයක් වශයෙන් ගත් විට මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මත පදනම් වූ මුදල් මුද්‍රණ මූල්‍ය ප්‍රතිපත්තියෙන් බැංකුවල එදිනෙදා ව්‍යාපාරික අරමුදල් කළමනාකරණයට හැර වෙනත් කිසිම සාර්ව ආර්ථික ප්‍රතිඵලයක් පොදුජනයාට නොමැත. මෙම මූල්‍ය ප්‍රතිපත්තිය මගින් උද්ධමන පාලන කථාන්දරය හුදෙක් මිත්‍යාවකි.

    • වෙළෙඳපොළ මත පදනම් වූ මෙම මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයේ ආරම්භය වර්ෂ 2000 ආරම්භයේ දී ලෝක බැංකුව සහ IMF උපදෙස් යටතේ මහ බැංකු නවීකරණ මොඩලය හරහා දැකිය හැකිය. ඒ අනුව, මහ බැංකුව විසින් සෘජු මුදල් පාලන මෙවලම් අතහැර දමන ලදි. එහෙත්, මුදල් නීති පනතේ ඒවා අඛණ්ඩව පැවති බැවින් අර්බුද සමයන්හි ඒවා භාවිතා කරන ලදි. එහෙත්, මෙම රාජ්‍ය විරෝධී නව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය දියුණු වෙළෙඳපොළ ආර්ථිකයන්හි අනුගමනය කිරීම ද සිදු නොවේ. එම රටවල මහ බැංකු මුදල් මුද්‍රණය සහ ආර්ථිකයේ ණය පාලනය සිදු කෙරෙන්නේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම හරහා ය. උදාහරණ ලෙස මෑත දී ඇමෙරිකානු මහ බැංකුවේ වත්කම්වලින් 92.1% ක් ද, යුරෝපීය මහ බැංකුවේ වත්කම්වලින් 62.1% ක් ද, එංගලන්ත මහ බැංකුවේ වත්කම්වලින් 76.1% ක් ද රාජ්‍ය සුරැකුම්පත් විය. එබැවින්, උද්ධමනය පාලනය සඳහා ශ්‍රී ලංකා නව මහ බැංකුව පමණක් රජයට එරෙහිව පෞද්ගලික මූල්‍ය ව්‍යාපාරිකයන් සඳහා මුදල් මුද්‍රණ කරුවකු වීමට හේතුව පැහැදිලි නැත.

    • නව මූල්‍ය ප්‍රතිපත්තිය වෙළෙඳපොළ මත පදනම් වෙයි නම්, මිල ස්ථායිතාවය සහ උද්ධමනය ද වෙළෙඳපොළ බලවේගයන් අනුව තීරණය වීමට ඉඩ නොදී, ඊට මහ බැංකුව මැදිහත් වීමේ සාර්ව ආර්ථික තාර්කිකත්වය කුමක් ද? යන්න ප්‍රශ්න කළ හැකිය. උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවල කාර්යසාදනයක් නොමැති වීම ද, උද්ධමනය යනු වෙළෙඳපොළ පද්ධතියේ ප්‍රතිඵලයක්  වීම ද ඊට අදාළ වෙයි.

    • තවද, මුදල් සංසරණය සඳහා වෙළෙඳපොළ බලවේගයන් වඩාත් යෝග්‍ය නම්, මහ බැංකුවක් සහ මුදල් නියාමනයක් අවශ්‍ය නොවේ. එය අතීතයේ මෙන් වෙළෙඳපොළටම ඉඩ හැරිය හැකිය. දැනටමත්, මුදල් නිෂ්පාදනයෙන්/මැවීමෙන් 90% කටත් වඩා සිදු කෙරෙන්නේ පෞද්ගලික බැංකු වෙළෙඳපොළ විසිනි.

    • එබැවින්, නුදුරු අනාගතයේ දී පුළුල් මුදල් පාලන බලතල ඇති මහ බැංකුවක් පිහිටුවීම සඳහා තවත් පනතක් සම්මත කිරීමට රජයට සිදුවනු ඇත. ඊට හේතුව, එවැනි මහ බැංකුවක් සහ මුදල් ක්‍රමයක් නොමැතිව සාර්ව ආර්ථිකය කළමනාකරණය පවත්වා ගත නොහැකි බැවිනි. මහ බැංකු අධිපති සහ මුදල් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ ඕනෑ එපාකම් අනුව රටේ මුදල් සංසරණය තීරණය කෙරේ නම්, අනාගත ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී දේශපාලනික රජයන්ගේ ස්ථායිතාවය ද ඔවුන් විසින් තීරණය කරනු ඇත. ඊට හේතුව, ක්‍රය ශක්ති මෙවලමක් ලෙස මුදල්වල ඇති අධිබලය යි.

    • සමස්තයක් ලෙස ගත් විට, මහ බැංකුව විසින් ක්‍රියාශීලී ලෙස ආර්ථිකයේ ප්‍රමුඛ අංශයන් වෙත මුදල් සහ ණය ව්‍යාප්ත කිරීම ඉලක්ක කෙරෙන මූල්‍ය ප්‍රතිපත්ති පැකේජයකින් තොරව පොදුජනයා වත්මන් ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩ ගත නොහැකිය. එහෙත්, ඉහත දැක්වූ පරිදි නව මහ බැංකුවෙන් එය කළ නොහැකිය. එබැවින්, ආර්ථික ප්‍රතිසංස්කරණයන් ලෙස ඉදිරිපත් කෙරෙන රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, IMF සහ ලෝක බැංකු ණය වැඩසටහන්, රාජ්‍ය මූල්‍ය සීමා කිරීම් වැනි ප්‍රතිපත්ති හුදෙක් තාවකාලික රාජ්‍ය ස්ථායිකරණ පිළියම් පමණක් වනු ඇත. එම තාවකාලික ප්‍රතිපත්තිවලින් ශ්‍රී ලංකා ආර්ථිකයේ දශක ගණනක් පුරා ගොඩ නැගී ඇති ව්‍යුහාත්මක දුර්වලතාවන් සහ අවදානම් නිරාකරණය කළ නොහැකි බවට ඕනෑ තරම් සාක්ෂි පවතී.

    (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

    පි සමරසිරි

    [ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

    හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

    (හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

    ජුලි 22 දින පළ කළ පළමු කොටස 

    පාර්ලිමේන්තුවේ මාස තුනක් පමණ හිර වී තිබූ ශ්‍රී ලංකා මහ බැංකු පනත පසුගිය 20 දින අනුමත වූ බව මාධ්‍යය විසින් වාර්තා කෙරින. ඊට අනුව, පනතට පක්ෂ ඡන්ද 66 ක් ද, විපක්ෂව ඡන්ද 24 ක් ද, නොපැමිණි 133 ක් ද වෙයි. එබැවින්, එය වැඩි ඡන්ද 175 කින් හෙවත් තුනෙන් දෙකකින් සම්මත වූ බව කිව හැකිය.

    මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ දෙවන වරට ආර්ථිකය සහ පොදුජන ජීවන මට්ටම අර්බුදයට ඇද දැමීමට නව මහ බැංකුවට ඇති ඉහළ අවදානම හුවා දැක්වීම යි. 2022 වර්ෂය ආරම්භයේ සිට විදේශ මුදල් සහ රාජ්‍ය ණය අර්බුදය හරහා පොදුජනයා මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බුදය ද, මහ බැංකුවේ නීති විරෝධී සහ දුෂිත මූල්‍ය ප්‍රතිපත්ති තුළින් ඇති වූ එකකි.

    වත්මන් දේශීය මුදල් ක්‍රමය බිඳ දමා නව මහ බැංකුවක් පිහිටුවීමට පනතක් ඉදිරිපත් කොට අනුමත කිරීම යනු දුෂණ වැලැක්වීමේ පනතක් හෝ ඇමතිවරුන්ට හිතෙන හිතෙන විට ඉදිරිපත් කෙරෙන වෙනත් පනත් මෙන් පරිපාලන කාර්යයක් නොවේ. ඊට හේතුව, මුදල් ක්‍රමය සහ මහ බැංකුව යනු නූතන ආර්ථික සහ පොදුජන ජීවිතයේ කොඳු නාරටිය වන බැවිනි. එබැවින්, එක් එක් අයගේ හිතුමතයට කොඳු නාරටිය වෙනස් කිරීමට යාම ජාතික වශයෙන් ඉතා අවදානම්කාරී වෙයි.

    රටේ මුදල් ක්‍රමය සහ මහ බැංකුව මේ දක්වා ක්‍රියාත්මක වූ මුදල් නීති පනත 1950 සිට ඉතා සුළු සංශෝධනයන් කිහිපයක් සහිතව අඛණ්ඩව භාවිතා කිරීමට හේතුව එය යි. එසේ නොමැතිව, නිතර නිතර මුදල් නීති පනත් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ හොත්, මුදල් ක්‍රමය අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය වී මහජන විශ්වාසය බිඳී යාමෙන් මුදල් ක්‍රමය සහ ආර්ථිකය නිරන්තර අර්බුදයන්ට මුහුණ දෙනු ඇත. මුදල් ක්‍රමයක් ස්ථායීව පවතින්නේ මහ බැංකුව හෝ එහි ආර්ථික විද්‍යාඥයන් නිසා නොව, මුදල් පිළිබඳ ව මහජනයා තුළ පවතින පොදු විශ්වාසය හේතුවෙනි. නව මහ බැංකු පනත යනු නුදුරු අනාගතයේ දී තවත් මහ බැංකු පනතක් ඉදිරිපත් කිරීමට මග පෑදීමකි. 

    නව මහ බැංකුව පිහිටුවීමට පක්ෂ මාධ්‍ය ජාලයේ මිත්‍යාව 

    වත්මන් මහ බැංකු අධිපති යනු රට ආර්ථික අර්බුදයෙන් බේරා ගැනීමට සුරපුරෙන් පැමිණි ශක්‍ර දේව නියෝජිතයකු ලෙස සලකන මාධ්‍යවේදී පිරිස විසින් වසර 74 ක ආයුකාලයකින් මහ බැංකුව වසා දැමීම කෙරෙහි සුභාශිංසනය පළ කොට ඇත. එය කරුණු කිහිපයක් මත පදනම් වී ඇත.

    • මහ බැංකුව කේන්ස් වාදය මත පිහිටුවා ඇති බැවින් මුදල් මුද්‍රණය හරහා රජයට ණය දීම තුළින් උද්ධමනය ඉහළ ගොස් ආර්ථිකය අර්බුදයකට ඇද දැමීම.

    • මහ බැංකුවට රජයෙන් ස්වාධීනත්වයක් නොලැබුණ බැවින් මහ බැංකුව කෙරෙහි දේශපාලනික මැදිහත්වීම හේතුකොට ආර්ථික ස්ථායිකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට නොහැකි වීම.

    • පසුගිය රජයේ නියමයෙන් මුදල් මුද්‍රණය කිරීමට සිදුවීම හේතුකොට උද්ධමන පාලන/ඉලක්කකරණ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට නොහැකි වීම. වත්මන් මහ බැංකු අධිපති විසින් වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබුවේ, 2020 දී තමාගේ විරුද්ධත්වය නොසලකා එවක ජනාධිපතිගේ උපදෙස් මත ප්‍රතිමූල්‍ය ණය සඳහා රුපියල් බිලියන 250 ක් මුද්‍රණය කිරීම හේතුකොට උද්ධමනය හට ගත් බව යි.

    • නව මහ බැංකු අධිපති විසින් ස්වාධීනව පොලී අනුපාතයන් 9% කින් ඉහළ දමා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම හේතුකොට උද්ධමනය 69% සිට මැදි තනි ඉල්ලක්කමක් දෙසට පහළ බසිමින් (2023 ජුනි මස 12%) ආර්ථිකය නැවත ස්ථායිකරණය වී ඇති බව.

    • කිසිම ආර්ථික විද්‍යා පදනමක් නොමැතිව වෙළෙඳපොළ අක්‍රමිකතා හරහා විනිමය අනුපාතය රුපියල් 300 දෙසට පහළ යාම ද ආර්ථික ස්ථායිකරණයේ  ප්‍රධාන සංරචකයක් ලෙස හුවා දැක්වීම.

    • අනාගතයේ දී නැවත ආර්ථික අර්බුදයන් ඇති නොවන ලෙස ක්‍රියා කිරීම සඳහා උද්ධමන ඉලක්කකරණ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට හැකි රජයෙන් ස්වාධීන මහ බැංකුවක් නව පනත මගින් පිහිටුවන බව.

    • රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෙවත් රාජ්‍ය ණය පැහැර හැරීම බංකොලොත් වී ඇති ආර්ථිකය නැවත තිරසාර ලෙස ප්‍රතිසංස්කරණය සඳහා මහ බැංකු අධිපති විසින් ගන්නා ලද නව ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස සැලකීම.

    ඒ අනුව, ඔවුන් විසින් ආර්ථික අර්බුදයේ සියළු පව් 2022 අප්‍රේල් දක්වා මහ බැංකුවේ මුදල් මුද්‍රණයට ද, දැනට උද්ධමනය පහළ ගොස්  ආර්ථිකය ස්ථායිකරණයවීම වත්මන් මහ බැංකු අධිපතිගේ දැඩි තීරණයන්ට ද ජප කොට ඇත.

    ලෝකයේ මහ බැංකු පිහිටුවා ක්‍රියාත්මක කෙරෙන සාර්ව ආර්ථික සහ මහ බැංකු මූලධර්මයන් මෙන්ම වත්මන් මහ බැංකුවල දුර්වල කාර්යසාදනය පිළිබඳ අවබෝධයක් නොමැතිව මෙවැනි මාධ්‍යවේදීන් විසින් අදහස් ප්‍රකාශ කරන බව නොරහසකි. අඩුවශයෙන් 1950 සිට ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වන මුදල් නීති පනතවත්  කියවා නොමැත.

    මෙහි පුදුමය වන්නේ වත්මන් මහ බැංකු අධිපතිට වත්මන් මහ බැංකුව තුළ මෙවැනි ආර්ථික ස්ථායිකරණ විශ්ම කර්මයක් කළ හැකි නම්, නොදන්නා නව මහ බැංකුවක් අවශ්‍ය වන්නේ ඇයි ද? යන්න කිසිවෙකුට කල්පනා නොවීම යි.

    ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ සැබෑ කතාන්දරය 

    පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික කළමනාකරණ දත්තවල අභ්‍යන්තරය සහ 2020 සිට ගෝලීය ආර්ථිකයේ සිදුවීම් දෙස බලන විට ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය මුදල් මුද්‍රණය ආශ්‍රිත උද්ධමනයේ ප්‍රතිඵලයක් නොවේ. මෙවර උද්ධමනය යනු හුදෙක් සමකාලීන දේශීය සහ විදේශීය කම්පනයන්ගේ ක්ෂණික ප්‍රතිඵලයක් පමණි. 

    පොදුජනයාගේ ආදායම් සහ රැකියා අහිමිවීම, දරිද්‍රතාවය ඉහළ යාම, රජය බංකොලොත්වීම වැනි තවත් බොහෝ ක්ෂණික ප්‍රතිඵලයන් හට ගෙන ඇත. එම කම්පනයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාවට නොහැකි වූයේ, මහ බැංකුවේ නිලධාරීන් විසින් පසුගිය දශක කිහිපය තුළ අනුගමනය කළ අදූරදර්ශී  මූල්‍ය ප්‍රතිපත්ති නිසා මිස ශ්‍රී ලංකා මහ බැංකු ක්‍රමයේ වැරැද්ද නිසා නොවේ. එම සියල්ලම එවක නියෝජ්‍ය අධිපති ලෙස වත්මන් මහ බැංකු අධිපතිගේ අධීක්ෂණය සහ මාර්ගෝපදේශය යටතේ ක්‍රියාත්මක වූ බව නොරහසකි.

    ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ මූලසාධක කිහිපය පහත දක්වෙන අතර ඊට මහ බැංකුවේ දායකත්වය ප්‍රධාන වෙයි. ඊට හේතුව, මෙම ආර්ථික අර්බුදයේ මූලය විදේශ මුදල් සහ රාජ්‍ය ණය අර්බුදය වන අතර 1950 සිට ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සහ රාජ්‍ය ණය කළමනාකරු වූයේ මහ බැංකුව වන බැවිනි.

    • මහ බැංකු විදේශ සංචිතය මත මුදල් මුද්‍රණය සහ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. උද්ධමන පාලනය යනු හුදෙක් අයිසිං වචනයක් පමණි.

    • රාජ්‍ය විදේශ ණය (දේශීය රාජ්‍ය සුරැකුම්පත් විදේශීය ආයෝජකයන්ට විකිණීම ඇතුළුව) සහ විදේශ මුදල් හුවමාරු ගිවිසුම් මත මහ බැංකු විදේශ සංචිතය පවත්වා ගැනීම. වත්මන් මහ බැංකු අධිපති විසින් 2022 අප්‍රේල් මස 12 දින පැහැර හරින ලද ස්වෛරිත්ව බැඳුම්කර සියල්ලම රැස් කරනු ලැබුවේ, විදේශ සංචිතය තර කිරීම පිණිස වත්මන් මහ බැංකු අධිපතිගේ ක්‍රියාශීලී මෙහෙය වීමෙනි. රාජ්‍ය විදේශ ණය අතිරසාර වූයේ එබැවිනි.

    • මහ බැංකු විදේශ සංචිතය හරහා විනිමය අනුපාතය අධිඅගයක පවත්වා ගැනීම සහ ආනයන ආර්ථිකය මූල්‍යකරණය කිරීම.

    • 2020-2021 ගෝලීය කොරෝනා වසංගතය හේතුකොට නව විදේශ ණය නොලැබීමත්, ගෙවුම් ශේෂ හිඟය විදේශ සංචිතයෙන් පියවීමත් හේතුකොට මහ බැංකු විදේශ සංචිතය කඩා වැටීම.

    • මහ බැංකු විදේශ සංචිතය කඩා වැටීම හේතුකොට විනිමය අනුපාතය මහ බැංකුව විසින් පාලනයෙන් ඉවත් කිරීම. ඒ හේතුකොට 2022 මාර්තු සිට මැයි මස වන විට විනිමය අනුපාතය 86% කින් පමණ ක්ෂණිකව ඉහළ යාම තුළින් අත්‍යාවශ්‍ය අනයනවල දේශීය මිල ගණන් අහස උසට ඉහළ යාම.

    • මහ බැංකු විදේශ සංචිතය කඩා වැටීම සහ විනිමය අනුපාතය ඉහළ යාම හේතුකොට ඛනිජ තෙල්, ගෑස්, කිරිපිටි, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ආනයන කඩා වැටී, දිගු පොලිම් හට ගෙන ආර්ථිකය අකර්මන්‍ය වීම.

    • 2020-2021 ගෝලීය කොරෝනා වසංගතය සහ 2021-2022 දේශපාලනික අරගලය හේතුකොට ආර්ථිකයේ සැපයුම් අංශය කඩා වැටීම හරහා හටගත් අධි සමාජ ආර්ථික සහ වෙළෙඳපොළ අස්ථායිතාවය තුළින් භාණ්ඩ හා සේවා මිල ගණන් අඛණ්ඩව අධික ලෙස ඉහළ යාම. දේශපාලනික අර්බුදයන්ට මුහුණ දෙන සෑම රටකින්ම පාහේ  අධි උද්ධමන පීඩනයන් වාර්තාවීම සාමාන්‍ය කරුණකි.

    • 2022 පෙබරවාරි අවසානයේ සිට හට ගත් යුක්‍රේන-රුසියානු යුද්ධය තුළින් බලශක්ති අර්බුදයක් හට ගෙන ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යාම හරහා ගෝලීය උද්ධමන රැල්ලක් හට ගැනීම සහ එය ශ්‍රී ලංකාවට ද බලපෑම.

    • 2022 අප්‍රේල් 12 දින රාජ්‍ය විදේශ ණය සේවාකරණය නීති විරෝධීව මහ බැංකු අධිපති විසින් පැහැර හැරීම හේතුකොට රජය බංකොලොත්වීම සහ ආර්ථිකයේ විදේශ වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු ප්‍රවාහය අඩපණ වීම.

    • දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය දේශීය රාජ්‍ය ණය උපකරණ හරහා ක්‍රියාත්මක කිරීම. මෙහි දී, රාජ්‍ය ආයතන අරමුදල් සහ පෞද්ගලික බැඳුම්කර නිකුතු හරහා රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් මූල්‍ය ප්‍රතිපත්තියට අවශ්‍ය ආකාරයට භාවිතා කොට ඇත. වත්මන් මහ බැංකු අධිපති විසින් 2022 අප්‍රේල් සිට රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් 25%-33% මට්ටමේ මෙහෙය වූයේ මූල්‍ය ප්‍රතිපත්තිය සඳහා ය. එසේම, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් දැනට පහළ දැමුව ද, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් ඉහළ දැමීම දැකිය හැකිය. දේශීය රාජ්‍ය ණය අතිරසාර වීමට හේතුව මහ බැංකුව විසින් මෙසේ දේශීය රාජ්‍ය ණය දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය සඳහා භාවිතා කිරීම හේතුවෙනි. එබැවින්, දේශීය ණය වෙළෙඳපොළ සංවර්ධනය නොකොට මහ බැංකුවේ අවිධිමත් පාලනය යටතේ පැවතී ඇත. 2016 දී හඳුන්වා දුන් බ්ලුම්බර්ග් විද්‍යුත් වෙළෙඳ වේදිකාවත්, 2017 දී කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සහ ඇමෙරිකානු භාණ්ඩාගාරයේ තාක්ෂණික උපකාරය හරහා පිහිටුවීමට ක්‍රියා කළ රාජ්‍ය සුරැකුම්පත් පොදු විද්‍යුත් වෙළෙඳ වේදිකාවත් අතරමග නවතා දමා ඇත.

    • රාජ්‍ය ණය ප්‍රතිසැකසුම හරහා ඉදිරියේ දී දේශීය මූල්‍ය අර්බුදයක් ජනිත වීමේ දැඩි අවදානමක් පැවතීම.

    මහ බැංකු උද්ධමන පාලනයේ මිත්‍යාව 

    • ඉහත දැක්වූ කරුණු දෙස බලන විට ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය යනු මහ බැංකුව විසින් දේශපාලනික අවශ්‍යතාවය මත මුදල් මුද්‍රණය කිරීම හේතුකොට හටගත් උද්ධමන අර්බුදයක් නොව, මහ බැංකුවේ වැරදි විදේශ මුදල් සහ ණය කලමනාකරණ ප්‍රතිපත්තිය හේතුකොට පැතිරී ගිය සාර්ව ආර්ථික අර්බුදයකි. දූරදර්ශී විදේශ මුදල් සහ ණය කලමනාකරණ ප්‍රතිපත්තියක් පැවතියා නම්, කොරෝනා වසංගතයේ ආර්ථික බලපෑම පාලනය කර ගත හැකිව තිබූ අතර පසුගිය දේශපාලනික අරගලයකට අවස්ථාවක් නොවනු ඇත.

    • තවද, ගෝලීය කොරෝනා වසංගතයේ ආර්ථික අවදානම් පාලනය සඳහා මුළු ලෝකයේම මහ බැංකු විසින් 2020-2021 දී ඓතිහාසික ප්‍රමාණයකින් මුදල් මුද්‍රණය කළ අතර එමගින් උද්ධමන රැල්ලක් හටගත් බවට සාක්ෂි තහවුරු වී නොමැත. එය හුදෙක් පැරණි මූල්‍යවාදී මිත්‍යා මතයක් පමණි. වත්මන් ගෝලීය උද්ධමන රැල්ල සැපයුම් අවහිරතා සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ සංසිද්ධියක් බව බහුතර ආර්ථික විද්‍යා මතය යි. එහෙත්, මහ බැංකු විසින් උද්ධමනය පහළ දැමීම සඳහා පොලී අනුපාතයන් ඉහළ දැමීම සිදු කරන්නේ, ඉන් නිසැකයෙන් උද්ධමනය පහළ යන නිසා නොව, සම්ප්‍රදායික ඉල්ලුම් කළමනාකරණ ගෝත්‍රික මූල්‍ය ප්‍රතිපත්තිය හැර වෙනත් දෙයක් කිරීමට ඔවුන්ට අවබෝධයක් හෝ හැඟීමක් නොමැති බැවිනි.

    • රජයට ණය දීම සඳහා මුදල් මුද්‍රණය කිරීම හේතුකොට උද්ධමනයක් සහ ආර්ථික අර්බුදයක් හට ගනී නම්, වත්මන් මහ බැංකු අධිපති විසින් ද අඛණ්ඩව ශුද්ධ වශයෙන් රුපියල් බිලියන 827.8 ක් පමණ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා එසේ මුදල් මුද්‍රණය කළ බැවින්, දැනට උද්ධමනය අනපේක්ෂිත ලෙස පහළ යාමට (2022 සැප්තැම්බර් මස 69% සිට 2023 ජුලි මස 12% දක්වා) හැකියාවක් නොමැත. ඊට හේතුව, මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීම යනු ගුවන් නියමුවකු විසින් ගුවන් යානය ගමනාන්තය වෙත ආරක්ෂිතව පැදවීම සඳහා භාවිතා කෙරෙන ගුවන් යානා විද්‍යාවක් මෙන්, උද්ධමනය පාලනය කිරීමේ ගණිතමය විද්‍යාවක් නොවන බැවිනි.
    • එබැවින්, වර්තමානයේ වාර්ෂික උද්ධමන පීඩනයේ අනපේක්ෂිත පහළ යාම හුදෙක් දේශපාලනික ස්ථායිතාවයේ වෙළෙඳපොළ පද්ධති ප්‍රතිඵලය මිස, මහ බැංකු පොලී අනුපාතය 9% කින් ඉහළ දැමීමේ මැජික් බලය හෝ මහජනයා ජීවත් වීමේ දී මුහුණ දෙන මිල ගණන් හෝ උද්ධමනය පහළ යාම හෝ නොවේ. වත්මන් මහ බැංකු අධිපති විසින් තනතුර භාර ගෙන සති කිහිපයකින් පසු බුර බුරා ඉහළ නගින ලද දේශපාලනික අස්ථායිතාවය හේතුකොට තනතුරින් ඉල්ලා අස්වීමට පවා ඔහු සුදානම් වූයේ උද්ධමනය සහ දේශපාලනික අස්ථායිතාවය අතර පවතින සෘජු සබඳතාවය පිළිබඳ ව ඔහුට හොඳ අවබෝධයක් පැවති බැවිනි. ඒ සඳහා මූල්‍ය න්‍යායන් අවශ්‍ය නොවේ.
    • උද්ධමනය යනු මහ බැංකු විසින් තම ප්‍රතිපත්ති පොලී අනුපාතයන් එහාට මෙහාට දැමීම හරහා තමන්ට ඕන ඕන ඉලක්කවල පාලනය කළ හැකි දෙයක් නොවේ. ඊට හේතුව, භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ නගින විට, ඒවා මහ බැංකුවල හිතුමතයට නැවත පහළ දැමිය නොහැකි බැවිනි. එය හුදෙක් වෙළෙඳපොළ ප්‍රතිඵලයකි. ආර්ථික විද්‍යාවේ පිළි ගැනෙන්නේ මිල ගණන් පහළ යාමේ දී ඇලෙන සුළු ස්වභාවයක් ගන්නා බව යි. සංවර්ධිත රටවල මහ බැංකු විසින් තම පොලී අනුපාතයන් ඉහළ දැමීම පසුගිය වර්ෂ එක හමාරකට වැඩි කාලයක් තුළ සිදු කළ ද, තවත් ඉහළ දැමීම සිදු කරන්නේ එබැවිනි. එසේම, පොලී අනුපාතයන් නැවත පහළ දමන කාලයක් පිළිබඳ ව කිසිම අනාවැකියක් නොදැක්වෙයි.
    • එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන්නේ හුදෙක් මූල්‍ය ප්‍රතිපත්ති මාධ්‍ය සංදර්ශනයකි. උද්ධමනය ගැන කථා කරමින් 2022 අප්‍රේල් සහ 2023 මාර්තු කාලය තුළ 9% කින් පොලී අනුපාතයන් ඉහළ දමා, අනපේක්ෂිත උද්ධමනය පහළ යන බව කියමින් හැරෙන තැපෑලෙන් 2023 මැයි මස 31 දින 2.5% කින් ද, ජූලි මස 05 දින 2% කින් ද ලෙස 4.5% කින් පොලී අනුපාතයන් පහළ දමා ඇත. එසේම, තවදුරටත් පොලී අනුපාතයන් සාමාන්‍යකරණය හෝ පහළ දමන බවට ඉඟි පළ කොට ඇත. ඊට හේතු ලෙස මහ බැංකුව දක්වන්නේ වාර්ෂික උද්ධමනය අනපේක්ෂිත වේගයෙන් පහළ යාම යි. උද්ධමනය සහ පොලී අනුපාතයන් මෙතරම් වේගයෙන් වර්ෂයක් තුළ ඉහළ නැගීම සහ පහළ බැසීම සාර්ව ආර්ථික විද්‍යා මූලධර්මයන්ට පටහැනි ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි සිද්ධියකි.
    • එහෙත්, මහජනයා 2020 ආරම්භයේ සිට 2023 ජුනි දක්වා ආර්ථික අර්බුද කම්පනයන් හේතුකොට මුහුණ දුන් මිල ගණන්වල ඉහළ යාම හෙවත් උද්ධමනය අඛණ්ඩව 86% දක්වා ඉහළ ගොස් ඇත.  මෙය මහ බැංකුව විසින් දක්වන වාර්ෂික උද්ධමනයේ අනපේක්ෂිත පහළ යාමට හාත්පසින් වෙනස් මහජනයා මුහුණ දෙන උද්ධමනය යි. මෙම උද්ධමනය පහළ දැමීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය යොදා ගැනීම පිළිබඳ ව කිසිම සඳහනක් මහ බැංකුව නොදක්වයි.

    සමස්තයක් ලෙස ගත් විට වත්මන් මහ බැංකු අධිපතිගේ නව මහ බැංකුවට පක්ෂ මාධ්‍ය ජාලයේ කිසිවෙකුට ආර්ථික අර්බුදයේ සැබෑ කථාන්දරය සහ මහ බැංකු උද්ධමන පාලන මිත්‍යාව පිළිබඳ කිසිම අවබෝධයක් නොමැත.

    එබැවින්, ඔවුන් නව මහ බැංකුවට පක්ෂග්‍රාහී වන්නේ, හුදෙක් IMF ඩොලර් බිලියන 3 ක ණය මුදල ගැනීමේ කොන්දේසියක් සැපිරීම සඳහා ය. එහි ඇති ජාතික ආර්ථික හිතෛෂීභාවය හෝ ආර්ථික අර්බුදයෙන් රට සහ මහජනයා නැවත ගොඩ ගැනීමේ හැකියාව කුමක් ද? යන්න පැහැදිලි නැත.


    Comments

    Popular posts from this blog

    මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

    සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

    මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?