නව මහ බැංකු පනත - මහ බැංකු අධිපතිට මහජන මුදලින් ස්වාධීන මුදල් ආණ්ඩුවක්? රටේ මුදල් සහ මහ බැංකුව පොදුජනයාගෙන් මුදල් ව්‍යාපාරිකයන් අතට?

 


පාර්ලිමේන්තුවේ මාස තුනක් පමණ හිර වී තිබූ ශ්‍රී ලංකා මහ බැංකු පනත පසුගිය 20 දින අනුමත වූ බව මාධ්‍යය විසින් වාර්තා කෙරින. ඊට අනුව, පනතට පක්ෂ ඡන්ද 66 ක් ද, විපක්ෂව ඡන්ද 24 ක් ද, නොපැමිණි 133 ක් ද වෙයි. එබැවින්, එය වැඩි ඡන්ද 42 කින් හෙවත් තුනෙන් දෙකකින් සම්මත වූ බව කිව හැකිය.

මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ දෙවන වරට ආර්ථිකය සහ පොදුජන ජීවන මට්ටම අර්බුදයට ඇද දැමීමට නව මහ බැංකුවට ඇති ඉහළ අවදානම හුවා දැක්වීම යි. 2022 වර්ෂය ආරම්භයේ සිට විදේශ මුදල් සහ රාජ්‍ය ණය අර්බුදය හරහා පොදුජනයා මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බුදය ද, මහ බැංකුවේ නීති විරෝධී සහ දුෂිත මූල්‍ය ප්‍රතිපත්ති තුළින් ඇති වූ එකකි.

වත්මන් දේශීය මුදල් ක්‍රමය බිඳ දමා නව මහ බැංකුවක් පිහිටුවීමට පනතක් ඉදිරිපත් කොට අනුමත කිරීම යනු දුෂණ වැලැක්වීමේ පනතක් හෝ ඇමතිවරුන්ට හිතෙන හිතෙන විට ඉදිරිපත් කෙරෙන වෙනත් පනත් මෙන් පරිපාලන කාර්යයක් නොවේ. ඊට හේතුව, මුදල් ක්‍රමය සහ මහ බැංකුව යනු නූතන ආර්ථික සහ පොදුජන ජීවිතයේ කොඳු නාරටිය වන බැවිනි. එබැවින්, එක් එක් අයගේ හිතුමතයට කොඳු නාරටිය වෙනස් කිරීමට යාම ජාතික වශයෙන් ඉතා අවදානම්කාරී වෙයි.

රටේ මුදල් ක්‍රමය සහ මහ බැංකුව මේ දක්වා ක්‍රියාත්මක වූ මුදල් නීති පනත 1950 සිට ඉතා සුළු සංශෝධනයන් කිහිපයක් සහිතව අඛණ්ඩව භාවිතා කිරීමට හේතුව එය යි. එසේ නොමැතිව, නිතර නිතර මුදල් නීති පනත් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ හොත්, මුදල් ක්‍රමය අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය වී මහජන විශ්වාසය බිඳී යාමෙන් මුදල් ක්‍රමය සහ ආර්ථිකය නිරන්තර අර්බුදයන්ට මුහුණ දෙනු ඇත. මුදල් ක්‍රමයක් ස්ථායීව පවතින්නේ මහ බැංකුව හෝ එහි ආර්ථික විද්‍යාඥයන් නිසා නොව, මුදල් පිළිබඳ ව මහජනයා තුළ පවතින පොදු විශ්වාසය හේතුවෙනි. නව මහ බැංකු පනත යනු නුදුරු අනාගතයේ දී තවත් මහ බැංකු පනතක් ඉදිරිපත් කිරීමට මග පෑදීමකි. 

නව මහ බැංකුව පිහිටුවීමට පක්ෂ මාධ්‍ය ජාලයේ මිත්‍යාව 

වත්මන් මහ බැංකු අධිපති යනු රට ආර්ථික අර්බුදයෙන් බේරා ගැනීමට සුරපුරෙන් පැමිණි ශක්‍ර දේව නියෝජිතයකු ලෙස සලකන මාධ්‍යවේදී පිරිස විසින් වසර 73 ක ආයුකාලයකින් මහ බැංකුව වසා දැමීම කෙරෙහි සුභාශිංසනය පළ කොට ඇත. එය කරුණු කිහිපයක් මත පදනම් වී ඇත.

  • මහ බැංකුව කේන්ස් වාදය මත පිහිටුවා ඇති බැවින් මුදල් මුද්‍රණය හරහා රජයට ණය දීම තුළින් උද්ධමනය ඉහළ ගොස් ආර්ථිකය අර්බුදයකට ඇද දැමීම.

  • මහ බැංකුවට රජයෙන් ස්වාධීනත්වයක් නොලැබුණ බැවින් මහ බැංකුව කෙරෙහි දේශපාලනික මැදිහත්වීම හේතුකොට ආර්ථික ස්ථායිකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට නොහැකි වීම.

  • පසුගිය රජයේ නියමයෙන් මුදල් මුද්‍රණය කිරීමට සිදුවීම හේතුකොට උද්ධමන පාලන/ඉලක්කකරණ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට නොහැකි වීම. වත්මන් මහ බැංකු අධිපති විසින් වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබුවේ, 2020 දී තමාගේ විරුද්ධත්වය නොසලකා එවක ජනාධිපතිගේ උපදෙස් මත ප්‍රතිමූල්‍ය ණය සඳහා රුපියල් බිලියන 250 ක් මුද්‍රණය කිරීම හේතුකොට උද්ධමනය හට ගත් බව යි.

  • නව මහ බැංකු අධිපති විසින් ස්වාධීනව පොලී අනුපාතයන් 9% කින් ඉහළ දමා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම හේතුකොට උද්ධමනය 69% සිට මැදි තනි ඉලක්කමක් දෙසට පහළ බසිමින් (2023 ජුනි මස 12%) ආර්ථිකය නැවත ස්ථායිකරණය වී ඇති බව.

  • කිසිම ආර්ථික විද්‍යා පදනමක් නොමැතිව වෙළෙඳපොළ අක්‍රමිකතා හරහා විනිමය අනුපාතය රුපියල් 300 දෙසට පහළ යාම ද ආර්ථික ස්ථායිකරණයේ  ප්‍රධාන සංරචකයක් ලෙස හුවා දැක්වීම.

  • අනාගතයේ දී නැවත ආර්ථික අර්බුදයන් ඇති නොවන ලෙස ක්‍රියා කිරීම සඳහා උද්ධමන ඉලක්කකරණ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට හැකි රජයෙන් ස්වාධීන මහ බැංකුවක් නව පනත මගින් පිහිටුවන බව.

  • රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෙවත් රාජ්‍ය ණය පැහැර හැරීම බංකොලොත් වී ඇති ආර්ථිකය නැවත තිරසාර ලෙස ප්‍රතිසංස්කරණය සඳහා මහ බැංකු අධිපති විසින් ගන්නා ලද නව ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස සැලකීම.

ඒ අනුව, ඔවුන් විසින් ආර්ථික අර්බුදයේ සියළු පව් 2022 අප්‍රේල් දක්වා මහ බැංකුවේ මුදල් මුද්‍රණයට ද, දැනට උද්ධමනය පහළ ගොස්  ආර්ථිකය ස්ථායිකරණයවීම වත්මන් මහ බැංකු අධිපතිගේ දැඩි තීරණයන්ට ද ජප කොට ඇත.

ලෝකයේ මහ බැංකු පිහිටුවා ක්‍රියාත්මක කෙරෙන සාර්ව ආර්ථික සහ මහ බැංකු මූලධර්මයන් මෙන්ම වත්මන් මහ බැංකුවල දුර්වල කාර්යසාදනය පිළිබඳ අවබෝධයක් නොමැතිව මෙවැනි මාධ්‍යවේදීන් විසින් අදහස් ප්‍රකාශ කරන බව නොරහසකි. අඩුවශයෙන් 1950 සිට ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වන මුදල් නීති පනතවත්  කියවා නොමැත.

මෙහි පුදුමය වන්නේ වත්මන් මහ බැංකු අධිපතිට වත්මන් මහ බැංකුව තුළ මෙවැනි ආර්ථික ස්ථායිකරණ විශ්ම කර්මයක් කළ හැකි නම්, නොදන්නා නව මහ බැංකුවක් අවශ්‍ය වන්නේ ඇයි ද? යන්න කිසිවෙකුට කල්පනා නොවීම යි.

ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ සැබෑ කතාන්දරය 

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික කළමනාකරණ දත්තවල අභ්‍යන්තරය සහ 2020 සිට ගෝලීය ආර්ථිකයේ සිදුවීම් දෙස බලන විට ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය මුදල් මුද්‍රණය ආශ්‍රිත උද්ධමනයේ ප්‍රතිඵලයක් නොවේ. මෙවර උද්ධමනය යනු හුදෙක් සමකාලීන දේශීය සහ විදේශීය කම්පනයන්ගේ ක්ෂණික ප්‍රතිඵලයක් පමණි. 

පොදුජනයාගේ ආදායම් සහ රැකියා අහිමිවීම, දරිද්‍රතාවය ඉහළ යාම, රජය බංකොලොත්වීම වැනි තවත් බොහෝ ක්ෂණික ප්‍රතිඵලයන් හට ගෙන ඇත. එම කම්පනයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාවට නොහැකි වූයේ, මහ බැංකුවේ නිලධාරීන් විසින් පසුගිය දශක කිහිපය තුළ අනුගමනය කළ අදූරදර්ශී  මූල්‍ය ප්‍රතිපත්ති නිසා මිස ශ්‍රී ලංකා මහ බැංකු ක්‍රමයේ වැරැද්ද නිසා නොවේ. එම සියල්ලම එවක නියෝජ්‍ය අධිපති ලෙස වත්මන් මහ බැංකු අධිපතිගේ අධීක්ෂණය සහ මාර්ගෝපදේශය යටතේ ක්‍රියාත්මක වූ බව නොරහසකි.

ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ මූලසාධක කිහිපය පහත දක්වෙන අතර ඊට මහ බැංකුවේ දායකත්වය ප්‍රධාන වෙයි. ඊට හේතුව, මෙම ආර්ථික අර්බුදයේ මූලය විදේශ මුදල් සහ රාජ්‍ය ණය අර්බුදය වන අතර 1950 සිට ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සහ රාජ්‍ය ණය කළමනාකරු වූයේ මහ බැංකුව වන බැවිනි.

  • මහ බැංකු විදේශ සංචිතය මත මුදල් මුද්‍රණය සහ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. උද්ධමන පාලනය යනු හුදෙක් අයිසිං වචනයක් පමණි.

  • රාජ්‍ය විදේශ ණය (දේශීය රාජ්‍ය සුරැකුම්පත් විදේශීය ආයෝජකයන්ට විකිණීම ඇතුළුව) සහ විදේශ මුදල් හුවමාරු ගිවිසුම් මත මහ බැංකු විදේශ සංචිතය පවත්වා ගැනීම. වත්මන් මහ බැංකු අධිපති විසින් 2022 අප්‍රේල් මස 12 දින පැහැර හරින ලද ස්වෛරිත්ව බැඳුම්කර සියල්ලම රැස් කරනු ලැබුවේ, විදේශ සංචිතය තර කිරීම පිණිස වත්මන් මහ බැංකු අධිපතිගේ ක්‍රියාශීලී මෙහෙය වීමෙනි. රාජ්‍ය විදේශ ණය අතිරසාර වූයේ එබැවිනි.

  • මහ බැංකු විදේශ සංචිතය හරහා විනිමය අනුපාතය අධිඅගයක පවත්වා ගැනීම සහ ආනයන ආර්ථිකය මූල්‍යකරණය කිරීම.

  • 2020-2021 ගෝලීය කොරෝනා වසංගතය හේතුකොට නව විදේශ ණය නොලැබීමත්, ගෙවුම් ශේෂ හිඟය විදේශ සංචිතයෙන් පියවීමත් හේතුකොට මහ බැංකු විදේශ සංචිතය කඩා වැටීම.

  • මහ බැංකු විදේශ සංචිතය කඩා වැටීම හේතුකොට විනිමය අනුපාතය මහ බැංකුව විසින් පාලනයෙන් ඉවත් කිරීම. ඒ හේතුකොට 2022 මාර්තු සිට මැයි මස වන විට විනිමය අනුපාතය 86% කින් පමණ ක්ෂණිකව ඉහළ යාම තුළින් අත්‍යාවශ්‍ය අනයනවල දේශීය මිල ගණන් අහස උසට ඉහළ යාම.

  • මහ බැංකු විදේශ සංචිතය කඩා වැටීම සහ විනිමය අනුපාතය ඉහළ යාම හේතුකොට ඛනිජ තෙල්, ගෑස්, කිරිපිටි, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ආනයන කඩා වැටී, දිගු පොලිම් හට ගෙන ආර්ථිකය අකර්මන්‍ය වීම.

  • 2020-2021 ගෝලීය කොරෝනා වසංගතය සහ 2021-2022 දේශපාලනික අරගලය හේතුකොට ආර්ථිකයේ සැපයුම් අංශය කඩා වැටීම හරහා හටගත් අධි සමාජ ආර්ථික සහ වෙළෙඳපොළ අස්ථායිතාවය තුළින් භාණ්ඩ හා සේවා මිල ගණන් අඛණ්ඩව අධික ලෙස ඉහළ යාම. දේශපාලනික අර්බුදයන්ට මුහුණ දෙන සෑම රටකින්ම පාහේ  අධි උද්ධමන පීඩනයන් වාර්තාවීම සාමාන්‍ය කරුණකි.

  • 2022 පෙබරවාරි අවසානයේ සිට හට ගත් යුක්‍රේන-රුසියානු යුද්ධය තුළින් බලශක්ති අර්බුදයක් හට ගෙන ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යාම හරහා ගෝලීය උද්ධමන රැල්ලක් හට ගැනීම සහ එය ශ්‍රී ලංකාවට ද බලපෑම.

  • 2022 අප්‍රේල් 12 දින රාජ්‍ය විදේශ ණය සේවාකරණය නීති විරෝධීව මහ බැංකු අධිපති විසින් පැහැර හැරීම හේතුකොට රජය බංකොලොත්වීම සහ ආර්ථිකයේ විදේශ වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු ප්‍රවාහය අඩපණ වීම.

  • දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය දේශීය රාජ්‍ය ණය උපකරණ හරහා ක්‍රියාත්මක කිරීම. මෙහි දී, රාජ්‍ය ආයතන අරමුදල් සහ පෞද්ගලික බැඳුම්කර නිකුතු හරහා රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් මූල්‍ය ප්‍රතිපත්තියට අවශ්‍ය ආකාරයට භාවිතා කොට ඇත. වත්මන් මහ බැංකු අධිපති විසින් 2022 අප්‍රේල් සිට රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් 25%-33% මට්ටමේ මෙහෙය වූයේ මූල්‍ය ප්‍රතිපත්තිය සඳහා ය. එසේම, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් දැනට පහළ දැමුව ද, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් ඉහළ දැමීම දැකිය හැකිය. දේශීය රාජ්‍ය ණය අතිරසාර වීමට හේතුව මහ බැංකුව විසින් මෙසේ දේශීය රාජ්‍ය ණය දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය සඳහා භාවිතා කිරීම හේතුවෙනි. එබැවින්, දේශීය ණය වෙළෙඳපොළ සංවර්ධනය නොකොට මහ බැංකුවේ අවිධිමත් පාලනය යටතේ පැවතී ඇත. 2016 දී හඳුන්වා දුන් බ්ලුම්බර්ග් විද්‍යුත් වෙළෙඳ වේදිකාවත්, 2017 දී කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සහ ඇමෙරිකානු භාණ්ඩාගාරයේ තාක්ෂණික උපකාරය හරහා පිහිටුවීමට ක්‍රියා කළ රාජ්‍ය සුරැකුම්පත් පොදු විද්‍යුත් වෙළෙඳ වේදිකාවත් අතරමග නවතා දමා ඇත.

  • රාජ්‍ය ණය ප්‍රතිසැකසුම හරහා ඉදිරියේ දී දේශීය මූල්‍ය අර්බුදයක් ජනිත වීමේ දැඩි අවදානමක් පැවතීම.

මහ බැංකු උද්ධමන පාලනයේ මිත්‍යාව 

  • ඉහත දැක්වූ කරුණු දෙස බලන විට ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය යනු මහ බැංකුව විසින් දේශපාලනික අවශ්‍යතාවය මත මුදල් මුද්‍රණය කිරීම හේතුකොට හටගත් උද්ධමන අර්බුදයක් නොව, මහ බැංකුවේ වැරදි විදේශ මුදල් සහ ණය කලමනාකරණ ප්‍රතිපත්තිය හේතුකොට පැතිරී ගිය සාර්ව ආර්ථික අර්බුදයකි. දූරදර්ශී විදේශ මුදල් සහ ණය කලමනාකරණ ප්‍රතිපත්තියක් පැවතියා නම්, කොරෝනා වසංගතයේ ආර්ථික බලපෑම පාලනය කර ගත හැකිව තිබූ අතර පසුගිය දේශපාලනික අරගලයකට අවස්ථාවක් නොවනු ඇත.

  • තවද, ගෝලීය කොරෝනා වසංගතයේ ආර්ථික අවදානම් පාලනය සඳහා මුළු ලෝකයේම මහ බැංකු විසින් 2020-2021 දී ඓතිහාසික ප්‍රමාණයකින් මුදල් මුද්‍රණය කළ අතර එමගින් උද්ධමන රැල්ලක් හටගත් බවට සාක්ෂි තහවුරු වී නොමැත. එය හුදෙක් පැරණි මූල්‍යවාදී මිත්‍යා මතයක් පමණි. වත්මන් ගෝලීය උද්ධමන රැල්ල සැපයුම් අවහිරතා සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ සංසිද්ධියක් බව බහුතර ආර්ථික විද්‍යා මතය යි. එහෙත්, මහ බැංකු විසින් උද්ධමනය පහළ දැමීම සඳහා පොලී අනුපාතයන් ඉහළ දැමීම සිදු කරන්නේ, ඉන් නිසැකයෙන් උද්ධමනය පහළ යන නිසා නොව, සම්ප්‍රදායික ඉල්ලුම් කළමනාකරණ ගෝත්‍රික මූල්‍ය ප්‍රතිපත්තිය හැර වෙනත් දෙයක් කිරීමට ඔවුන්ට අවබෝධයක් හෝ හැඟීමක් නොමැති බැවිනි.

  • රජයට ණය දීම සඳහා මුදල් මුද්‍රණය කිරීම හේතුකොට උද්ධමනයක් සහ ආර්ථික අර්බුදයක් හට ගනී නම්, වත්මන් මහ බැංකු අධිපති විසින් ද අඛණ්ඩව ශුද්ධ වශයෙන් රුපියල් බිලියන 827.8 ක් පමණ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා එසේ මුදල් මුද්‍රණය කළ බැවින්, දැනට උද්ධමනය අනපේක්ෂිත ලෙස පහළ යාමට (2022 සැප්තැම්බර් මස 69% සිට 2023 ජුලි මස 12% දක්වා) හැකියාවක් නොමැත. ඊට හේතුව, මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීම යනු ගුවන් නියමුවකු විසින් ගුවන් යානය ගමනාන්තය වෙත ආරක්ෂිතව පැදවීම සඳහා භාවිතා කෙරෙන ගුවන් යානා විද්‍යාවක් මෙන්, උද්ධමනය පාලනය කිරීමේ ගණිතමය විද්‍යාවක් නොවන බැවිනි.
  • එබැවින්, වර්තමානයේ වාර්ෂික උද්ධමන පීඩනයේ අනපේක්ෂිත පහළ යාම හුදෙක් දේශපාලනික ස්ථායිතාවයේ වෙළෙඳපොළ පද්ධති ප්‍රතිඵලය මිස, මහ බැංකු පොලී අනුපාතය 9% කින් ඉහළ දැමීමේ මැජික් බලය හෝ මහජනයා ජීවත් වීමේ දී මුහුණ දෙන මිල ගණන් හෝ උද්ධමනය පහළ යාම හෝ නොවේ. වත්මන් මහ බැංකු අධිපති විසින් තනතුර භාර ගෙන සති කිහිපයකින් පසු බුර බුරා ඉහළ නගින ලද දේශපාලනික අස්ථායිතාවය හේතුකොට තනතුරින් ඉල්ලා අස්වීමට පවා ඔහු සුදානම් වූයේ උද්ධමනය සහ දේශපාලනික අස්ථායිතාවය අතර පවතින සෘජු සබඳතාවය පිළිබඳ ව ඔහුට හොඳ අවබෝධයක් පැවති බැවිනි. ඒ සඳහා මූල්‍ය න්‍යායන් අවශ්‍ය නොවේ.
  • උද්ධමනය යනු මහ බැංකු විසින් තම ප්‍රතිපත්ති පොලී අනුපාතයන් එහාට මෙහාට දැමීම හරහා තමන්ට ඕන ඕන ඉලක්කවල පාලනය කළ හැකි දෙයක් නොවේ. ඊට හේතුව, භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ නගින විට, ඒවා මහ බැංකුවල හිතුමතයට නැවත පහළ දැමිය නොහැකි බැවිනි. එය හුදෙක් වෙළෙඳපොළ ප්‍රතිඵලයකි. ආර්ථික විද්‍යාවේ පිළි ගැනෙන්නේ මිල ගණන් පහළ යාමේ දී ඇලෙන සුළු ස්වභාවයක් ගන්නා බව යි. සංවර්ධිත රටවල මහ බැංකු විසින් තම පොලී අනුපාතයන් ඉහළ දැමීම පසුගිය වර්ෂ එක හමාරකට වැඩි කාලයක් තුළ සිදු කළ ද, තවත් ඉහළ දැමීම සිදු කරන්නේ එබැවිනි. එසේම, පොලී අනුපාතයන් නැවත පහළ දමන කාලයක් පිළිබඳ ව කිසිම අනාවැකියක් නොදැක්වෙයි.
  • එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන්නේ හුදෙක් මූල්‍ය ප්‍රතිපත්ති මාධ්‍ය සංදර්ශනයකි. උද්ධමනය ගැන කථා කරමින් 2022 අප්‍රේල් සහ 2023 මාර්තු කාලය තුළ 9% කින් පොලී අනුපාතයන් ඉහළ දමා, අනපේක්ෂිත උද්ධමනය පහළ යන බව කියමින් හැරෙන තැපෑලෙන් 2023 මැයි මස 31 දින 2.5% කින් ද, ජූලි මස 05 දින 2% කින් ද ලෙස 4.5% කින් පොලී අනුපාතයන් පහළ දමා ඇත. එසේම, තවදුරටත් පොලී අනුපාතයන් සාමාන්‍යකරණය හෝ පහළ දමන බවට ඉඟි පළ කොට ඇත. ඊට හේතු ලෙස මහ බැංකුව දක්වන්නේ වාර්ෂික උද්ධමනය අනපේක්ෂිත වේගයෙන් පහළ යාම යි. උද්ධමනය සහ පොලී අනුපාතයන් මෙතරම් වේගයෙන් වර්ෂයක් තුළ ඉහළ නැගීම සහ පහළ බැසීම සාර්ව ආර්ථික විද්‍යා මූලධර්මයන්ට පටහැනි ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි සිද්ධියකි.
  • එහෙත්, මහජනයා 2020 ආරම්භයේ සිට 2023 ජුනි දක්වා ආර්ථික අර්බුද කම්පනයන් හේතුකොට මුහුණ දුන් මිල ගණන්වල ඉහළ යාම හෙවත් උද්ධමනය අඛණ්ඩව 86% දක්වා ඉහළ ගොස් ඇත.  මෙය මහ බැංකුව විසින් දක්වන වාර්ෂික උද්ධමනයේ අනපේක්ෂිත පහළ යාමට හාත්පසින් වෙනස් මහජනයා මුහුණ දෙන උද්ධමනය යි. මෙම උද්ධමනය පහළ දැමීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය යොදා ගැනීම පිළිබඳ ව කිසිම සඳහනක් මහ බැංකුව නොදක්වයි.
සමස්තයක් ලෙස ගත් විට වත්මන් මහ බැංකු අධිපතිගේ නව මහ බැංකුවට පක්ෂ මාධ්‍ය ජාලයේ කිසිවෙකුට ආර්ථික අර්බුදයේ සැබෑ කථාන්දරය සහ මහ බැංකු උද්ධමන පාලන මිත්‍යාව පිළිබඳ කිසිම අවබෝධයක් නොමැත.

එබැවින්, ඔවුන් නව මහ බැංකුවට පක්ෂග්‍රාහී වන්නේ, හුදෙක් IMF ඩොලර් බිලියන 3 ක ණය මුදල ගැනීමේ කොන්දේසියක් සැපිරීම සඳහා ය. එහි ඇති ජාතික ආර්ථික හිතෛෂීභාවය හෝ ආර්ථික අර්බුදයෙන් රට සහ මහජනයා නැවත ගොඩ ගැනීමේ හැකියාව කුමක් ද? යන්න පැහැදිලි නැත.

(මෙම ලිපියේ අවසානය ලෙස නව මහ බැංකුවේ ජාතික ආර්ථික අවදානම් පිළිබඳව ඊළඟ කොටසින් ඉදිරිපත් කෙරේ.)

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ග්‍රන්ථය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)



Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි