2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි


පිටකවරය 


පටුන 

පළමු පරිච්ඡේදය: 

ආර්ථිකයක ව්‍යුහය සහ ව්‍යුහාත්මක අවදානම් හඳුනා ගැනීම

දෙවන පරිච්ඡේදය: 
ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට මග පෑදු ව්‍යුහාත්මක අවදානම්

තෙවන පරිච්ඡේදය: 
ආර්ථික අර්බුදය පතිතවීම, පැතිරීම සහ සමාජ ආර්ථික ආදීනව

සිවුවන පරිච්ඡේදය: 
ආර්ථික අර්බුදය කළමනාකරණ රාජ්‍ය ප්‍රතිපත්ති

පිටු ගණන 319

මිල රුපියල් 1,100

විමසීම් - ශ්‍රීපාලි පෙරේරා, සරසවි ප්‍රකාශක කළමනාකරු, 0711999365

කතුවරයාගේ පණිවුඩය

කලින් කලට රටවල ආර්ථික අර්බුදයන් හට ගැනීම ගෝලීය ආර්ථිකයට පුරුදු සිද්ධියකි. ආර්ථික අර්බුදයක් යනු වර්ෂ ගණනාවක් පුරා පොදුජන ආර්ථික සුභසාදනය අඛණ්ඩව පහළ හෙළන සමස්ත නිෂ්පාදන පරිහානියකි. ස්වාභාවික කම්පනයකින් හෝ යුද වාතාවරණයකින් හෝ හට ගන්නා ආර්ථික පසුබැසීම් ආර්ථික අර්බුදයන් ලෙස නොසැලකේ. ආර්ථික අර්බුදයක සාමාන්‍ය හඳුනා ගැනීම වනුයේ, එය ආර්ථිකයේ මූල්‍ය අංශයේ ණය දාමයෙහි හිරවීමක් කෝ කඩා වැටීමක් හේතුකොට ආර්ථිකය සංකෝචනයවීම යි.

ආර්ථිකය සංකෝචනය වන්නේ ණය ප්‍රවාහය කඩා වැටීමෙනි. එය දේශීය හෝ බාහිර කම්පනයන් හේතුකොට අනපේක්ෂිත ලෙස ණය පිළිබඳ මහජන විස්වාසය කඩා වැටීමකින් සිදුවනු ඇත. ණය දාමයෙහි හිරවීමේ සිට ආර්ථිකය සංකෝචනවීම අතර වර්ෂයක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැකි අතර එය සෞඛ්‍ය වසංගතයක මෙන් ගෙයින් ගෙට පැතිරෙනු ඇත. ඊට හේතුව, මහජනයාගේ ආර්ථික ක්‍රියාකාරකම් සහ ණය අතර පවතින අන්තර් සබඳතාවය යි. මූල්‍ය අංශයෙහි ණය විශ්වාසය නැවත ගොඩ නගා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා අඩුම වශයෙන් දශකයක් පමණ ගතවනු ඇත.

සංවර්ධිත රවවල මූල්‍ය අංශයේ හිරවීම දේශීය මුදල් ගනුදෙනු ආශ්‍රිතව සිදුවනු ඇත. ඊට හේතුව, එම රටවල මුදල් ජාත්‍යන්තර ඉල්ලුමක් සහිත මුදල් වන බැවින් එම රටවල ආර්ථිකයන් දේශීය මුදල් ගනුදෙනු මත රැඳීම යි. එහෙත්, සංවර්ධනය වන රටවල මූල්‍ය අංශයේ හිරවීම සාමාන්‍යයෙන් විදේශ මුදල් හිඟය හරහා හටගනු ඇත. ඊට හේතුව, එම රටවල නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ගනුදෙනු විදේශ මුදල් ප්‍රවාහය මත දැඩි ලෙස රඳන බැවිනි. විදේශ මුදල් සහ ආර්ථිකය අතර පවතින දැඩි අන්තර් සබඳතාවය හේතුකොට, ආර්ථිකය මුහුණ දෙන විදේශ මුදල් හිඟයක් ඉක්මණින් ආර්ථික අර්බුදයක් බවට පත්වනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ද එසේ විදේශ මුදල් හිඟය තුළින් හටගත් අර්බුදයකි.

රටක ආර්ථික අර්බුදයක ස්වරූපය සහ පරිමාණය තීරණය වන්නේ, එරට ආර්ථිකයේ ව්‍යුහය සහ ව්‍යුහාත්මක අවදානම් මත ය. ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට හේතුව, ආනයන මත පදනම් වූ ආර්ථිකය ව්‍යුහයත්, ඉන් ජනිත වූ විදේශ ගෙවුම් හිඟය රාජ්‍ය කෙටි කාලීන විදේශ ණය හරහා පියවීමත් සහ දේශීය මුදල් ක්‍රමය එම විදේශ ණය මත රැඳීමත් යන ව්‍යුහාත්මක අවදානම් ය. ගෝලීය කොරෝනා වසංගතයෙන් හටගත් ගෝලීය සැපයුම් දාමයන්හි අනපේක්ෂිත අවහිරවීම සහ බිඳී යාම තුළින් එම ව්‍යුහාත්මක අවදානම් පිපිරී යාම හරහා ආර්ථික අර්බුදය පතිත විය.

රටක ආර්ථිකයෙහි ව්‍යුහය සහ ක්‍රියාශීලීත්වය තීරණය වන්නේ, එරට ක්‍රියාත්මක වන වෙළෙඳපොළ පද්ධතිය සහ ඒ කෙරෙහි මැදිහත් වන සාර්ව ආර්ථික කළමනාකරණයෙහි ස්වරූපය මත ය. වෙළඳපොළවල් ක්‍රියාත්මක වන්නේ මිල හරහා ලාභ අපේක්ෂාව මත ය. සාර්ව ආර්ථික කළමනාකරණය යනු රජය විසින් විවිධාකාරයේ පොදුජන සුබසාදන අරමුණු සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හරහා වෙළෙඳපොළ පද්ධතියට මැදිහත්වීම යි. ඕනෑම ආර්ථික අර්බුදයක ස්වරූපය වන්නේ වෙළෙඳපොළ පද්ධතිය අවහිරවීම හෝ බිඳීයාම යි. එමගින්, ආර්ථිකය සංකෝචනයවීම, විරැකියාව ඉහළ යාම සහ ආයෝජනය කඩා වැටීම වැනි තත්ත්වයන් හටගනු ඇත. එබැවින්, රටක් මුහුණ දෙන ඕනෑම ආර්ථික අර්බුදයකට රජය වගකිව යුතු වෙයි. ඊට හේතුව, වෙළෙඳපොළ පද්ධතිය තුළ රජයේ මැදිහත්වීම යි.

එබැවින්, ආර්ථික අර්බුදයන් වැලැක්වීමත්, අනපේක්ෂිත ලෙස හටගත හැකි ආර්ථික අර්බුදයන් නිරාකාරණය කිරීමත් සාර්ව ආර්ථික කළමනාකරණයේ වගකීමකි. ඊට හේතුව, ඒ සඳහා නිදහස වෙළෙඳපොළ පද්ධතියට නොමැති බැවිනි. එබැවින්, ආර්ථික අර්බුද කළමනාකරණය සඳහා විශේෂිත බලතල සහිත මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව වැනි රාජ්‍ය ආයතන පද්ධතියක් පවතී.

එහෙත්, රටවල් කලින් කලට ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන අතර අර්බුදයකින් ගොඩ ඒම සඳහා දශකයකට වඩා වැඩි කාලයක් ගතවනු ඇත. ඊට හේතුව, එම රාජ්‍ය ආයතන පද්ධතියේ කාර්යසාදනයේ අකාර්යක්ෂමතාවය බව පොදුවේ පිළිගැනේ. ඒ බව, සෑම රටකම ආර්ථික අර්බුද විමර්ශනයන්ගෙන් වාර්තා වෙයි. එය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ ව ද සත්‍ය බව රහසක් නොවේ.

එහෙත්, ආර්ථික අර්බුදයන් කළමනාකරණය කොට පොදුජනයා ආරක්ෂා කිරීමේ වගකීම දරන රාජ්‍ය අධිකාරීන් විසින් අර්බුදයක් හටගත් පසු ඒ සඳහා මහජනතාවට දොස් නැගීමත්, අර්බුදය නිරාකරණය කිරීම සඳහා බව පවසමින් තව තවත් මහජනයාගේ ආර්ථික සහ සමාජීය ක්‍රියාකාරකම් සීමා කිරීමත් පොදු සංසිද්ධියකි.

රාජ්‍ය සේවයේ සහ නිලධාරී හැසිරීමේ ව්‍යුහාත්මක දුර්වලතාවයන් දෙස බලන විට, ඕනෑම අර්බුදයක් කළමනාකරණයට රජයන් අසමත් වන බවත්, ඉන් හට ගන්නා සමාජ ආර්ථික පිරිවැය ඉතා විශාල බවත් රහසක් නොවේ. පැරණි සංකල්පයන්, කාර්යාලීය ලිපි ගොනු, දත්ත සහ කල් මරණ අභ්‍යන්තර පරිපාලන ක්‍රමවේදයන් තුළ රාජ්‍ය නිලධාරීන් හිරවීම හේතුකොට ආර්ථික අර්බුදයන් කළමනාකරණය කිරීමට අවශ්‍ය නව්‍යශීලී ප්‍රතිපත්ති මෙවලම් හඳුන්වා දීමට සහ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් අපොහොසත් වන බව පැහැදිලි ය.

එබැවින්, ඔවුන් විසින් නිරන්තරයෙන් සිදු කෙරෙන්නේ, කාර්යාලීය ලිපි ගොනුවල දැනටමත් හුරු පුරුදු ප්‍රතිපත්ති මෙවලම් කෝකටත් තෛල මෙන් ක්‍රියාත්මක කිරීම යි. එය ඔවුන්ට ඉතා පහසු කාර්යයකි. උදාහරණ ලෙස ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය කළමනාකරණය සඳහා ඔවුන් විසින් ප්‍රසිද්ධියේ කරනු ලැබුවේ, ආර්ථිකයේ රාජ්‍ය මූල්‍ය, මූල්‍ය, විදේශ වෙළෙඳ සහ විනිමය සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් හැකි තරම් සීමා කිරීම යි. ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය ආර්ථිකයෙහි මූර්ත සැපයුම කඩා වැටීමේ අර්බුදයකි. එහෙත්, රාජ්‍ය නිලධාරීන් විසින් ඉහත දැක්වූ සීමා කිරීම් හරහා සිදු කරනු ලැබුවේ, ආර්ථිකයේ සමස්ත ඉල්ලුම සහ වියදම සංකෝචනය කිරීම යි. එනම්, පැරණි ඉල්ලුම් කළමනාකරණ ආර්ථික සංකල්පය අනුගමනය කිරීම යි.

ආර්ථිකයෙහි සම්පත් ව්‍යුහය අනුව ආංශීය පදනමක් මත නිෂ්පාදන/සැපයුම් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට යෝග්‍ය නව ප්‍රතිපත්ති මෙවලම් හඳුන්වා දීමක් සිදු නොවීය. එබැවින්, ඉදිරියේ දී ආර්ථික අර්බුදය වට කිහිපයකින් තව දුරටත් ව්‍යාප්ත වීමේ දැඩි අවදානම් පවතී. උදාහරණ ලෙස දේශීය රාජ්‍ය ණය ප්‍රතිසැකසීම තුළින් දේශීය මූල්‍ය අර්බුදයක් හට ගැනීමේ දැඩි අවදානමක් පවතී. ඊට හේතුව, බැංකු සහ මූල්‍ය ආයතනයන් දේශීය රාජ්‍ය ණය සුරැකුම්පත් ආයෝජනය කෙරෙහි පවතින ඉහළ මට්ටමේ සංකේන්ද්‍රණය යි. මූල්‍ය අර්බුදයන් ජනිත කෙරෙන මූලික කාරකය මෙම ණය හෝ ආයෝජන සංකේන්ද්‍රණ අවදානම යි.

මෙම ග්‍රන්ථයේ අරමුණ වනුයේ, ඉහත සංක්ෂිප්තව දැක්වූ විෂය සංදර්භය තුළ මා සතු අත්දැකීම් සහ දැනුම පදනම් කර ගෙන 2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ පසුබිම පිළිබඳ ව කෙටි ආර්ථික විද්‍යා විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම යි. එබැවින්, ආර්ථික අර්බුදය නිරාකරණය කළ යුතු ආකාරය පිළිබඳ ව කිසිම යෝජනාවලියක් මෙහි ඉදිරිපත් නොකෙරේ. එය හුදෙක් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ඔවුන්ගේ උපදේශකයන් සතු වගකීමකි. ඒ සඳහා අවශ්‍ය සමාජ ආර්ථික දත්ත සහ මහජන බලතල පවතින්නේ ඔවුන් සතුව යි.

රාජ්‍ය අධිකාරීන් විසින් ආර්ථික අර්බුදය පිළිබඳ ව තවමත් ස්වාධීන විමර්ශනයක් සිදුකොට නොමැති බැවින් විශ්ලේෂණයන් සඳහා අවශ්‍ය දත්තවල දැඩි හිඟයක් පවතී. තව ද, ආර්ථික අර්බුද විෂය ඉතා සංකීර්ණ ප්‍රයෝගික විෂයක් වන බැවින් පුද්ගල අත්දැකීම් සහ දැනුම අනුව වෙනස් වන විවිධාකාර විශ්ලේෂණයන් ඉදිරිපත් විය හැකිය. කෙසේ වෙතත්, මෙම සියළු විශ්ලේෂණයන්ගෙන් ලැබෙන දැනුම වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමටත්, අනාගතයේ මෙවැනි අර්බුදයන් වලක්වා ගැනීමටත් රාජ්‍ය නිලධාරීන්ට සහ වෙළෙඳපොළ සහභාගී කරුවන්ට බෙහෙවින් උපකාරී වනු ඇත.

මා විසින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සිට ආර්ථික විද්‍යාව හැදෑරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වර්ෂ 35 ක පමණ සේවා කාලයක් තුළ ආර්ථික දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් ලබා ඇති න්‍යායාත්මක සහ ප්‍රයෝගික දැනුමින් යම් කොටසක් මෙම ග්‍රන්ථය මගින් ඔබ සියළු දෙනා වෙත බෙදා හැරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳ ව මම ඉමහත් ලෙස සතුටු වෙමි.

ඒ සඳහා මෙම ග්‍රන්ථය සරසවි අධ්‍යාපන කලාපයක් ලෙස ඔබ අතට පත් කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ව සරසවි සමූහ ව්‍යාපාරයේ අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මැතිතුමාටත්, සරසවි ප්‍රකාශන කලමනාකරු ශ්‍රීපාලි පෙරේරා මැතිතුමා, සරසවි මුද්‍රණාල කලමනාකරු ජානක සෙනෙවිරත්න මැතිතුමා සහ කාර්ය මණ්ඩලයටත්, මාගේ ගෞරව පූර්ව ස්තුතිය පිරි නමමි. මෙම ග්‍රන්ථය පරිශීලනය කොට නව ආර්ථික අවබෝධයක් වඩවා ගැනීම පිළිබඳ ව පාඨක සියළු දෙනාට ද මම බෙහෙවින් ස්තුති වන්ත වෙමි.


2023 ජුනි 28 දින                                                                                            පී. සමරසිරි


(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ග්‍රන්ථය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)





Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.