අර්ථසාධක අරමුදල් පොලිය - මහ බැංකු අධිපතිගේ මහ බොරුව - අර්ථසාධක අරමුදල්වලට ප්‍රතිලාභ ගෙවීමේ සුත්‍රයන්?

 


පසුගිය 6 වැනි දින මුදල් ප්‍රතිපත්ති මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියකු අසන ලද කෙටි පැනයකට මහ බැංකු අධිපති විසින් දෙන ලද අසත්‍ය පිළිතුර මෙම වීඩියෝ පටයේ දැක්වෙයි. https://fb.watch/lEB8U5I3X5/?mibextid=2Rb1fB

මාධ්‍ය වේදියා ඇසූ ප්‍රශ්නය 

  • මහ බැංකුවට එල්ල වන චෝදනාවක් වන්නේ 2022 දී සේවක අර්ථසාධක අරමුදලට 9% ක ප්‍රතිලාභයක් ද, මහ බැංකුවේ සේවකයන්ගේ අර්ථසාධක අරමුදලට 29% ක් ප්‍රතිලාභයක් ද දී ඇති බව බව.

  • එම අරමුදල් දෙකම මහ බැංකුව විසින් කළමනාකරණය කෙරෙන බැවින්  අරමුදල් දෙකටම එකම විදියට සලකන්න බැරි ඇයි?

මහ බැංකු අධිපති දෙන ලද පිළිතුර

  • සේවක අර්ථසාධක අරමුදල වෙනම පනතක් යටතේ රටේ සමස්ත  ජනයාගේ තැන්පතු පුළුල් ආකාරයට කලමනාකරණය කෙරේ.

  • මහ බැංකුවේ යෝජනාව මත කම්කරු ඇමැති විසින් ප්‍රතිලාභ ගෙවන පුළුල් ක්‍රමවේදයක් සේවක අර්ථසාධක අරමුදලෙහි පවතී.

  • එහෙත්, මහ බැංකුව, ලංකා බැංකුව, විදුලිබල මණ්ඩලය වැනි පුද්ගලික අර්ථසාධක අරමුදල් 50 කට වැඩි ප්‍රමාණයක් ඇත. ඒවායේ ද්‍රවශීලතාවය, ආයෝජන ක්‍රමවේදය, අවදානම් පැතිකඩ යනාදිය අරමුදල් අතර වෙනස් වන අතර ඒ අනුව ප්‍රතිලාභය තීරණය කෙරෙන ක්‍රමවේදයන් ඇත.

  • 1994 සිට ක්‍රියාත්මක වන මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ප්‍රතිලාභ ගෙවන විශේෂිත සුත්‍රයක් පවතී. ඒ අනුව පසුගිය කාලයේ දී  අසාමාන්‍ය ලෙස පොලී අනුපාතයන් ඉහළ ගිය බැවින් එයට අනුව ප්‍රතිලාභය ඉහළ ගොස් ඇත. එහෙත්, මෙහි වෙනසක් කළ යුතු බව මුදල් මණ්ඩලය පිළිගෙන ඇති අතර එය ඉදිරියේ දී වෙනස් කෙරෙනු ඇත.

සත්‍යය කුමක් ද?

මහ බැංකු අධිපති විසින් අරමුදල් අතර ප්‍රතිලාභ වෙනස් වන ආකාරය සාධාරණියකරණය කිරීම සඳහා ව්‍යාජ පිළිතුරක් දීමට උත්සාහ කළ ද, 9% සහ 29% ප්‍රතිලාභයන් සාධාරණියකරණය කිරීමට ඔහු අසමත් වූ බව මහ බැංකුවේ අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමවේදය වෙනස් කෙරෙන බව දැක්වීමෙන් පැහැදිලි වෙයි.

  • ඔහු දෙන ලද පිළිතුර පුළුල් ආයෝජන වෙළෙඳපොළවල් පවතින ඇමෙරිකාව වැනි රටවල අරමුදල්වලට ගැලපෙයි. එම රටවල ඉහළ අවදානම් සහිත ආයෝජනවල අරමුදල් යෙදවීමෙන් ඉහළ ප්‍රතිලාභයන් ලබා දිය හැකිය.

  • එහෙත්, ශ්‍රී ලංකාවේ අර්ථසාධක අරමුදල් බහුතරය ආයෝජනය කෙරෙන්නේ රාජ්‍ය සුරකුම්පත්වල ය. පසුගිය කාලයේ රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් ඔහු පවසන පරිදි අසාමාන්‍ය ලෙස ඉහළ ගිය ද (එනම්, 25%-33%), මෙම අරමුදල්වල ආයෝජනයන් සියල්ල පසුගිය කාලයේ කරන ලද ආයෝජනයන් නොවන බැවින් එතරම් ඉහළ ප්‍රතිලාභයන් ලබා දිය නොහැකිය. ඊට පෙර කාලයේ භාණ්ඩාගාර බැඳුම්කරවල කරන ලද ආයෝජන සඳහා ලැබෙන්නේ 8%-12% වැනි පොලී අනුපාතයන් ය. එබැවින්, සමස්ත ප්‍රතිලාභය 29% වැනි ඉහළ මට්ටම් විය නොහැකිය.

  • එබැවින්, මහ බැංකු අර්ථසාධක අරමුදලට 29% ක ප්‍රතිලාභයක් ගෙවීම ඔහුගේ තාක්ෂණික පිළිතුරෙන් ඔප්පු කළ නොහැකිය. ඊට හේතුව, මහ බැංකු අරමුදල් ද අතීතයේ සිට රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කොට ඇති බැවිනි.

  • ඔහු සැඟවූ පිළිතුර වන්නේ මුදල් මණ්ඩලය විසින් තම සේවක අරමුදලට ප්‍රතිලාභ ගෙවීම සඳහා අනුගමනය කෙරෙන සුත්‍රය යි. එනම් පසුගිය වසරේ සැබෑ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය හෝ පසුගිය වසර අවසානයේ දින 364 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ඵලදා අනුපාතය යනාදියෙන් ඉහළ අනුපාතය ගෙවීම යි.

  • ඒ අනුව, සැබෑ ආයෝජන ප්‍රතිලාභ අනුපාතයට වඩා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ඵලදා අනුපාතය ඉහළ නම්, ගෙවන ප්‍රතිලාභ අනුපාතය වනුයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ඵලදා අනුපාතය යි. තවද, එම අනුපාතය වර්ෂය අවසානයේ සාමාජිකයන් සතු මුලු අරමුදල් ශේෂයට ලබා දෙනු ඇත. එම ප්‍රතිලාභ පරතරය පියවීම සඳහා අවශ්‍ය මුදල්, මහ බැංකු ලාභයෙන් හෝ මුදල් මුද්‍රණය මගින් ලබා දෙනු ඇත. එය රජයට පාඩුවකි.

  • 2022 අවසාන සතියේ දින 364 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ඵලදා අනුපාතය 29.27% ක් විය. 29% ක ප්‍රතිලාභ අනුපාතය යනු එය යි. 

  • එසේ නැතිව, මහ බැංකුවේ ආයෝජන විශේෂඥයන් විසින් ඉහළ ප්‍රතිලාභ ලැබෙන ලෙස අරමුදල් ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් නොවේ.

  • මෙම කරුන මහජනතාව මුලා නොකොට සත්‍යවාදී ලෙස එක් වැකියකින් ප්‍රකාශ කිරීමට මහ බැංකු අධිපතිට දැනීමක් පැවතින.

  • එම මාධ්‍ය වේදියා ඇසූ ප්‍රශ්නය යෝග්‍ය වුව ද, එහි පසුබිම අධ්‍යයනය නොකොට ගොස් ප්‍රශ්නය ඇසීම තුළින් මහ බැංකු අධිපතිට එවැනි අසත්‍ය පිළිතුරක් දීමට අවස්ථාව ලැබිණ.

සමාප්ත සටහන

මෙම අසාධාරණ ප්‍රතිලාභ ගෙවීම මා විසින් එක් අවස්ථාවක ප්‍රශ්න කළ ද, වෘත්තීය සමිති ගැටළු ඇතිවන බැවින් නිශ්ශබ්දව සිටින ලෙස උපදෙස් ලැබිණ.

එබැවින්, මහ බැංකු අධිපති විසින් පැවසූ පරිදි මුදල් මණ්ඩලය විසින් මෙම ක්‍රමවේදය ඉදිරියේ දී නිවැරදි කෙරේ නම් එය සාධාරණ ප්‍රතිපත්තියක වනු ඇත.

එසේම, සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මහ බැංකුව විසින් කළමනාකරණය කෙරෙන සියළුම අරමුදල්වල වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයන් මහ බැංකු වාර්ෂික වාර්තාවේ ප්‍රසිද්ධ කිරීමෙන් මහ බැංකුවේ විනිවිදභාවය ඉහළ නැංවිය හැකිය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)



Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි