මහ බැංකුවේ මුදල් ක්‍රියාකාරකම් - කවුරුන්ගේ යහපත සඳහා ද? පොදුජනයා ද? නැත්නම් මුදල් වෙළෙඳුන් ද?

 


මහ බැංකුවේ මුදල් ක්‍රියාකාරකම් ලෙස දැක්වෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය මගින් තීරණය කෙරෙන ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට  අනුරූපී ලෙස මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතයන් පවත්වා ගැනීම සඳහා සිදු කෙරෙන මුදල් මුද්‍රණය යි.

මෙය දේශීය විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ලෙස ප්‍රචලිත වෙයි. මෙහි දී, මහ බැංකුව විසින් සිදු කරන්නේ ඉලක්ක පොලී අනුපාතයන්ට ගැලපෙන පරිදි මුදල් වෙළෙඳපොළ හෝ බැංකු පද්ධතියෙහි ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීම යි. මේ සඳහා, වත්මන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිතා කෙරෙන මෙවලම් කිහිපයක් පවතී.

මෙම ලිපියෙන් 2023 පළමු මාස 7 තුළ මහ බැංකු විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම්වල ප්‍රගතිය පිළිබඳ ව ආර්ථික විද්‍යා සිසුන් සහ ගුරුවරුන් ඉලක්ක කොට කෙටි විග්‍රහයක් ඉදිරිපත් කෙරේ.

මහ බැංකු විවට වෙළෙඳපොළ මෙවලම් 

  • නිත්‍ය තැන්පතු පහසුකම

මෙය, බැංකුවලට තම එදිනෙදා අතිරික්ත අරමුදල් මුදල් එක් දිනක් සඳහා මහ බැංකුවේ තැන්පත් කිරීමේ පහසුකම යි. ඒ සඳහා මහ බැංකුව විසින් ගෙවන පොලිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) ලෙස හැඳින්වෙයි.

  • නිත්‍ය ණය පහසුකම

මෙය අරමුදල් හිඟ බැංකුවලට එක් දිනක් සඳහා රාජ්‍ය සුරැකුම්පත් ඇපය මත මහ බැංකුවෙන් ණය ලබා ගැනීමේ පහසුකම යි. ඒ සඳහා මහ බැංකුව විසින් අය කරන පොලිය නිත්‍ය ණය පහසුකම් අනුපාතය (SLFR) ලෙස හැඳින්වෙයි.

  • රාජ්‍ය සුරැකුම්පත් ප්‍රති මිල දී ගැනුම් ගිවිසුම් (Repos)

මෙහි දී, මහ බැංකුව විසින් වෙන්දේසි හරහා තමන් සතු රාජ්‍ය සුරැකුම්පත් ගිවිසුම් තුළින් අළෙවි කෙරේ. අතිරික්ත අරමුදල් ඇති බැංකු විසින් එම ගිවිසුම්වල මුදල් ආයෝජනය කෙරේ. මෙම ගිවිසුම්වලින් කෙරෙන්නේ මහ බැංකුව විසින් ගිවිසුම් කාලය අවසානයේ එම රාජ්‍ය සුරැකුම්පත් එම බැංකුවලින් නැවත මිල දී ගැනීමට එකඟ වීම මත අළෙවි කිරීම යි. ඒවා එක් දින හෝ දින කිහිපයක (කෙටි කාලීන) ගිවිසුම් විය හැකිය. ඒ අනුව, මහ බැංකුව විසින් වෙන්දෙසිවල දී තරගකාරීව තීරණය වන පොලී අනුපාතයන් ගෙවනු ලැබේ. ඒ අනුව, මෙම ගිවිසුම් තුළින් මහ බැංකුව විසින් බැංකු පද්ධතියෙන් අරමුදල්/ද්‍රවශීලතාවය ගිවිසුම් කාලය සඳහා උකහා ගැනීම සිදු කෙරේ.

  • රාජ්‍ය සුරැකුම්පත් ප්‍රති විකුණුම් ගිවිසුම් (Reverse Repos)

මෙය ප්‍රති මිල දී ගැනුම් ගිවිසුම්වලට විරුද්ධ ගිවිසුම් ය. එනම්, මහ බැංකුව විසින් වෙන්දේසි හරහා ගිවිසුම් තුළින් රාජ්‍ය සුරැකුම්පත්  බැංකුවලින් මිල දී ගැනීම යි. අරමුදල් හිඟ බැංකු විසින් එම ගිවිසුම් හරහා මහ බැංකුවෙන් මුදල් ලබා ගැනේ.  මෙම ගිවිසුම්වලින් කෙරෙන්නේ මහ බැංකුව විසින් ගිවිසුම් කාලය අවසානයේ රාජ්‍ය සුරැකුම්පත් එම බැංකු වෙත නැවත අළෙවි කිරීමේ ගිවිසුම මත මිල දී ගැනීම යි. ඒවා එක් දින හෝ දින කිහිපයක (කෙටි කාලීන) ගිවිසුම් විය හැකිය. ඒ අනුව, මහ බැංකුව විසින් තරගකාරී පොලී අනුපාතයන් අය කරනු ලැබේ. මෙම ගිවිසුම් තුළින් මහ බැංකුව විසින් ගිවිසුම් කාලය සඳහා බැංකු පද්ධතිය වෙත අරමුදල්/ද්‍රවශීලතාවය සැපයීම සිදු කෙරේ.

  • රාජ්‍ය සුරැකුම්පත් පූර්ණ අළෙවිය හෝ මිල දී ගැනීම

මෙහි දී, මහ බැංකුව විසින් වෙන්දේසි හරහා මිල ලංසු මත රාජ්‍ය සුරැකුම්පත් බැංකුවලින් මිල දී ගැනීම හෝ බැංකු වෙත අළෙවි කිරීම හෝ තුළින් සුරැකුම්පත් අයිතිය වෙළෙඳාම් කෙරේ. එනම්, රාජ්‍ය සුරැකුම්පත් පරිණත වීමට ඇති කාලයම සඳහා මහ බැංකුව විසින් බැංකු පද්ධතියෙන් අරමුදල් උකහා ගැනීම (සුරැකුම්පත් අළෙවිය) හෝ සැපයීම (සුරැකුම්පත් මිල දී ගැනීම) සිදු කිරීම යි.

  • මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සතිපතා වෙන්දේසිවලින් හෝ බාහිර ලෙස සෘජුව මි දී ගැනීම

මෙය, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය හරහා රජයට ණය අරමුදල් සැපයීම මෙන්ම කෙටි කාලීන වෙළෙඳපොළ පොලී අනුපාතයන් පාලනය කිරීමේ අරමුණින් සිදු කෙරේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතයන්

ප්‍රතිපත්ති පොලී අනුපාතයන් යනු ඉහත දැක්වූ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය යි. මහ බැංකුව විසින් වරින්වර ගනු ලබන ප්‍රධාන මූල්‍ය ප්‍රතිපත්ති තීරණය වනුයේ ඒවා වෙනස් කිරීම හෝ නොවෙනස්ව පවත්වා ගෙන යාම යි. මෙම පොලී අනුපාතයන් ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව ලෙස හැඳින්වෙන අතර එමගින් අන්තර් බැංකු එක් දින පොලී අනුපාතයන් එම කොරිඩෝව තුළ පවත්වා ගැනීම අරමුණු කෙරේ. එය සීමාවකින් තොරව සැපයෙන නිත්‍ය තැන්පතු පහසුකම සහ නිත්‍ය ණය පහසුකම තුළින් සිදු කෙරේ (පහත රූපසටහන බලන්න). එබැවින්, මෙය පාලිත පාවෙන විනිමය අනුපාත ක්‍රමයේ දී අනුගමනය කෙරෙන විනිමය අනුපාත කොරිඩෝවට සමාන මෙවලමකි.

බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය පහළ දැමීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීම ද, ද්‍රවශීලතාවය ඉහළ දැමීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීම ද සිදු කෙරේ. මහ බැංකුව විසින් පවසන්නේ ආර්ථිකයේ උද්ධමන අනුපාතය ඉලක්ක මට්ටමේ පාලනය කිරීම සඳහා මෙසේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් වෙනස් කිරීම සිදු කරන බව යි (මෙම ලිපියෙන් එම කරුන විග්‍රහ නොකෙරේ). මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ගුවන් යානා විද්‍යාවක් ලෙස මහ බැංකු ආර්ථික විද්‍යාඥයන් විසින් දැක්වුව ද, ඒවා තීරණය කිරීමේ ගණිත හෝ ආර්ථික විද්‍යා සුත්‍රයක් නොමැත. එය හුදෙක් මහ බැංකු මුදල් මුද්‍රණ ඒකාධිකාරය මත කෙරෙන අත්තනෝමතික මිල තීරණයකි.

ඒ අනුව, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව තුළ යම් මට්ටමක එක් දින අන්තර් බැංකු පොලී අනුපාතයන් ස්ථායිකරණය කිරීමේ අරමුණින් ඉහත දැක්වූ විවට වෙළෙඳපොළ මෙවලම් හරහා බැංකු ද්‍රවශීලතාවය පාලනය කෙරේ. මෙය හුදෙක් අභිමතය මත සිදු කෙරේ. 

මෙහි දී, එක් දින අන්තර් බැංකු පොලී අනුපාතයන් නිරන්තරයෙන් SLFR මට්ටමට ආසන්නව පවතී නම්, බැංකු පද්ධතිය තුළ ද්‍රවශීලතාවය/අරමුදල් සැපයුම හිඟ මට්ටමක පවතී. එබැවින්, මහ බැංකුව විසින් ප්‍රති විකුණුම් සහ පූර්ණ මිල දී ගැනුම් වෙන්දේසි හරහා බැංකු පද්ධතියට මුදල් නිකුත් කෙරේ. 

මීට ප්‍රතිවිරුද්ධව, එක් දින අන්තර් බැංකු පොලී අනුපාතයන් නිරන්තරයෙන් SDFR මට්ටමට ආසන්නව පවතී නම්, බැංකු පද්ධතිය තුළ ද්‍රවශීලතාවය/අරමුදල් සැපයුම අතිරික්ත මට්ටමක පවතී. එබැවින්, මහ බැංකුව විසින් ප්‍රති මිල දී ගැනුම් සහ පූර්ණ අළෙවි වෙන්දේසි හරහා බැංකු පද්ධතියෙන් මුදල් උකහා ගැනේ. 

මීට අමතරව, නිත්‍ය තැන්පතු පහසුකම සහ නිත්‍ය ණය පහසුකම යනාදී මෙවලම් බැංකුවල අභිමතය අනුව දෛනික ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීම සඳහා භාවිතා කළ හැකිය.

2023 පළමු මාස 7 තුළ විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් 

1. ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 

මහ බැංකුව විසින් මාර්තු මස 03 දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 1% කින් ඉහළ දැමූ අතර ඉන් පසු මැයි මස 31 දින 2.5% කින් ද, ජූලි මස 5 දින 2% කින් ද පහළ දැමීය. ඒ අනුව, වත්මන් නිත්‍ය තැන්පතු අනුපාතය 11% ක් ද, නිත්‍ය ණය අනුපාතය 12% ක් ද වෙයි. එය, 15.5% සහ 16.5% සිට 4.5% කින් පහළ යාමකි. 

ඒ අනුව, 2023 ජූනි මස ආරම්භයේ සිට ළිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් සහ බැංකු ද්‍රවශීලතාවය ඉහළ දැමීමේ ප්‍රතිපත්තියක් මහ බැංකුව විසින් අනුගමනය කිරීම දැකිය හැකිය. ඊට හේතුව ලෙස, වාර්ෂික උද්ධමනය 2022 සැප්තැම්බර් මස 70% (උපරිමය) සිට 2023 ජුනි මස 12% (ජූලි මාසයේ දී 6.3%) දක්වා වේගයෙන් පහළ බැසීම දැක්වෙයි.

2. 2023 ජනවාරි මස16 දින සිට නිත්‍ය පහසුකම් සීමා කිරීම හෙවත් සලාක කිරීම

  • ඕනෑම බැංකුවකට නිත්‍ය තැන්පතු පහසුකම මසකට උපරිම 5 වරක් පමණක් ඉඩ දීම
  • ඕනෑම බැංකුවකට නිත්‍ය ණය පහසුකම ඕනෑම දිනක බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණය මෙන් උපරිම 90% දක්වා ඉඩ දීම

මීට හේතුව ලෙස මහ බැංකුව දක්වන ලද්දේ, මහ බැංකුවේ නිත්‍ය අරමුදල් පහසුකම් අඩු කිරීම තුළින් බැංකු අරමුදල් හරහා අන්තර් බැංකු ණය වෙළෙඳපොළ ක්‍රියාශීලී කිරීම යි. මෙහි දී, අතිරික්ත අරමුදල් ඇති බැංකුවලට මහ බැංකු නිත්‍ය තැන්පතුවල නිදහසේ තැන්පත් කිරීමට නොහැකි බැවින් එම මුදල් අන්තර් බැංකු වෙළෙඳපොළේ ණය දීමට සිදු වනු ඇත. එසේම, නිත්‍ය ණය පහසුකම සීමා වන බැවින් අරමුදල් හිඟ බැංකුවලට අන්තර් බැංකු වෙළෙඳපොළෙන් ණය ගැනීමට සිදු වනු ඇත. 

එහෙත්, මෙය ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝවට එරෙහි ක්‍රියාවකි. ඒ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝ මුලධර්මය සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය/සංකල්පය බිඳී ගොස් ඇත. මෙය භාණ්ඩ වෙළෙඳපොළේ පාලන මිල ගණන් මත භාණ්ඩ අළෙවිය සලාක කිරීමට සමාන වෙයි. එවිට කළු කඩයක් හට ගන්නා බව සාමාන්‍ය ආර්ථික විද්‍යා න්‍යාය යි.

3. මහ බැංකුව විසින් විශාල වශයෙන් බැංකු පද්ධතියට නව මුදල් නිකුත් කිරීම

මීට හේතුව, ජනවාරි 16 දින සිට මහ බැංකු නිත්‍ය ණය පහසුකම සීමා කිරීමත්, ඉහළ පොලී අනුපාතයන්ගේ අවදානම් හේතු කොට බැංකුවල ද්‍රවශීලතාවය හැකිළීමත්, එබැවින්, අන්තර් බැංකු වෙළෙඳපොළේ ණය දීමට බැංකු මැළි වීමත් හේතුවෙන් බැංකු පද්ධතිය තුළ ද්‍රවශීල අරමුදල් හිඟයක් හට ගැනීම යි. එබැවින්, පූර්ණ මිල දී ගැනීම සහ ප්‍රති විකුණුම් හරහා විශාල වශයෙන් දෛනික පදනමක් මත අරමුදල් සැපයීමට මහ බැංකුවට සිදු විය.

එසේ සැපයූ මුළු අරමුදල් ප්‍රමාණය රුපියල් බිලියන 4,529 ක් විය. ඒ සඳහා මහ බැංකුව විසින් වෙන්දේසි සඳහා ඉදිරිපත් කළ මුදල රුපියල් බිලියන 6,040 ක් විය. සැපයූ මුළු අරමුදල් ප්‍රමාණයෙන් 63% එක් දින ප්‍රති විකුණුම් ද, 22% ක් සත් දින ප්‍රති විකුණුම් ද විය.

මහ බැංකුව විසින් දෛනිකව එක් දින ප්‍රති විකුණුම් හරහා රුපියල් බිලියන 60 ක් ද, දින 7 ප්‍රති විකුණුම් හරහා රුපියල් බිලියන 30 ක් ද පමණ බැංකු පද්ධතියට සැපයෙයි. මෙම අරමුදල් බැංකු කිහිපයක් පමණක් ලබා ගන්නා බව පෙනේ.

මෙහි දී, නිත්‍ය ණය අනුපාතයට වඩා පහළ පොලී අනුපාතයන්ට මහ බැංකුව විසින් එක් දින සහ කෙටි කාලීන ප්‍රති විකුණුම් ණය සැපයීම හේතු කොට බැංකුවලට පොලී ලාභයක් ලැබී ඇත. එය රාජ්‍ය අරමුදල්වලට පාඩුවකි.

සලාකයන්/උපරිම සීමාවන් හේතු කොට දෛනික නිත්‍ය ණය සහ නිත්‍ය තැන්පතු ප්‍රමාණයන් පහළ මට්ටමක පැවති අතර අධික ලෙස උච්ඡාවචනය වී ඇත. දෛනික සාමාන්‍යය නිත්‍ය ණය පහසුකම රුපියල් බිලියන 150 ක් ද, නිත්‍ය තැන්පතු පහසුකම රුපියල් බිලියන 87 ක් ද පමණ විය. බැංකු පද්ධතියෙහි දැඩි ද්‍රවශීල අරමුදල් හිඟයක් පවතින බැවින් නිත්‍ය තැන්පතු පහසුකමේ සහ පොලී අනුපාතයේ ආර්ථික තර්කානුකූල බවක් දැකිය නොහැක.

4. මහ බැංකුව විසින් රජයට ණය සැපයීම සඳහා අධික ලෙස භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම

2023 ජුලි මස අවසානයේ මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත් වටිනාකම (මුහුණත මිල) රුපියල් බිලියන 2,676 කි. මෙය 2022 දෙසැම්බර් අවසානයේ සිට ශුද්ධ වශයෙන් රුපියල් බිලියන 78 කින් ඉහළ යාමකි. එහෙත්, මෙම කාලය තුළ මහ බැංකුව විසින් වරින් වර මිල දී ගත් දළ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 1,247 කි. මෙම නව අරමුදල් හරහා ද බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය ඉහළ ගොස් ඇත.

මේ දක්වා 2023 වර්ෂය තුළ රජයට ණය ලබා ගැනීම සඳහා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි 30 ක් පවත්වා ඇති අතර ඉන් මුළු වශයෙන් රුපියල් බිලියන 4,006 ක් පමණ රැස් කරගෙන ඇත. එයට ප්‍රධාන වශයෙන් දින 91 බිල්පත් අඩංගු වෙයි. රාජ්‍ය අරමුදල් ඉල්ලුම ඉහළ ගිය ද, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් ජුලි මස ආරම්භ වන තෙක් අසාමාන්‍ය ලෙස පහළ ගොස් ඇත. 

ඊට මූලික හේතුව, පොලී අනුපාතයන් පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් සෘජුව වෙන්දේසිවලින් පිටත භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා පෞද්ගලික ලංසු ප්‍රතික්ෂේප කිරීම යි. එහෙත්, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 2% කින් පහළ ගිය ද, පසුගිය වෙන්දේසි තුනෙහි දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් ඉහළ යාම ප්‍රශ්නකාරී වෙයි.

2023 පළමු මාස 7 තුළ මුදල් වෙළෙඳපොළ ප්‍රවණතාවන්

  • බැංකු ද්‍රවශීලතාවය අධික ලෙස උච්ඡාවචනය වී ඇත. එය බැංකු ස්ථායිතාවයට ගැටළුවකි.

  • මහ බැංකුව විසින් අධික ලෙස නව අරමුදල් සැපයුව ද, අන්තර් බැංකු එක් දින පොලී අනුපාතයන් (ඒක්ෂණ ණය අනුපාතය සහ  ප්‍රති මිල දී ගැනුම් අනුපාතය) මහ බැංකු නිත්‍ය ණය අනුපාතය ආසනයේ විචලනය වී ඇත. එබැවින්, බැංකු පද්ධතියේ අඛණ්ඩව පවතින ද්‍රවශීල අරමුදල් හිඟය නිරූපනය කෙරේ. මහ බැංකුව විසින් පසුගිය මාස දෙක තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 11% සහ 12% දක්වා 4.5% කින් පහළ දැමුව ද, ඊට අනුරූපව බැංකු පද්ධතිය තුළ අරමුදල් සැපයුම/ද්‍රවශීලතාවය ඉහළ ගොස් නොමැති බව ඉන් පැහැදිලි වෙයි.

  • මහ බැංකුවේ නව සීමාකාරී නිත්‍ය පහසුකම් ප්‍රතිපත්තියෙන් අපේක්ෂා කළ පරිදි අන්තර් බැංකු ණය ගනුදෙනු ඉහළ යාමක් සිදු වී නොමැත. අන්තර් බැංකු එක් දින ඒක්ෂණ ණය සහ ප්‍රති මිල දී ගැනුම් ණය ප්‍රමාණයන් ඉතා පහළ වටිනාකම් සහිතව දැඩි ලෙස විචලනය වී ඇත.
ප්‍රශ්තාරික ඉදිරිපත් කිරීම 













සමාප්ත සටහන

  • ඉහත දැක්වූ මහ බැංකු විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් හුදෙක් බැංකුවල එදිනෙදා ද්‍රවශීලතාවය කළමනාකරණයට උපකාරී ලෙස සිදු කොට ඇති අතර එමගින් වත්මන් ආර්ථික අර්බුදයෙන් සහ බංකොලොත්භාවයෙන් ගොඩ ඒම පිණිස පොදුජනයාට උපකාරී වන බවක් දැකිය නොහැකිය.

  • මෙම මූල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ අධි උද්ධමනය පහළ දැමීමට හේතු වූ ආකාරය හඳුනා ගත නොහැකිය. මහ බැංකුවට අනුව වාර්ෂික උද්ධමනය 2022 සැප්තැම්බර් මස 70% සිට 2023 ජුලි මස 6.3% දක්වා පහළ ගොස් ආර්ථිකය ස්ථායිකරණය වී ඇත. එහෙත්, 2020 ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ පොදුජනයා මුහුණ දෙන උද්ධමනය හෙවත් ජීවන වියදම ඉහළ යාම 95% කි. එය පහළ දැමීමට මහ බැංකුවට හැකියාවක් නොමැත.

  • නිත්‍ය පහසුකම් සීමා කිරීම හෝ සලාක කිරීම හේතු කොට ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්ති සංකල්පය බිඳී ගොස් ඇත. එසේම, එම සීමා ප්‍රතිපත්තියේ අරමුණු ඉටු වී නොමැත.

  • පසුගිය ජුලි 20 දින නව මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ දී සම්මතවීම හේතු කොට ඉදිරියේ දී ඉහත දැක්වූ විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ක්‍රමවේදය උඩුයටිකුරු වනු ඇත. ඊට ප්‍රධාන හේතු තුනකි.

    • බැංකුවලට අමතරව බැඳුම්කර වෙළෙඳුන්, මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් ද (ඡායා බැංකු) ඊට ඇතුළත් වනු ඇත.

    • සෘජු සහ වක්‍ර ලෙස රජයට ණය සැපයීම මහ බැංකුවට තහනම් වන බැවින් විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය සුරැකුම්පත් භාවිතා කළ නොහැකි වනු ඇත. ඒ සඳහා ව්‍යාපාර කොටස්, ණය කර සහ පොරොන්දු පත්‍ර වැනි අධි අවදානම් සහිත පෞද්ගලික සුරැකුම්පත් භාවිතා කිරීමට සිදු වනු ඇත. ඒ හරහා නොයෙකුත් මූල්‍ය වෙළෙඳපොළ අක්‍රමිකතාවන් සිදු වනු ඇත.

    • රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි පැවැත්වීම මහ බැංකුවෙන් ඉවත් කෙරෙන බැවින් විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සහ මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතයන් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර බිල්පත් යොදා ගැනීමට මහ බැංකුවට නොහැකිවීම.

  • නව ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මහ බැංකු මූලධර්මයන්ගෙන් පිටත ක්‍රියා කෙරෙන බැවින් අපොස (උ.පෙළ) සහ ඉහළ විභාගයන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ විෂය නිර්දේශය වහාම වෙනස් කළ යුතු වීම.

  • ආර්ථිකය, රජය සහ මහජනතාව මුහුණ දෙන වත්මන් ණය සහ ආර්ථික අර්බුදය දෙස බලන විට, ඊට වත්මන් මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයෙන් කිසිම විසඳුමක් නොලැබේ. ඊට හේතුව, එය හුදෙක් බැංකු මුදල් වෙළෙඳුන්ගේ අරමුදල් ව්‍යාපාරයන් සඳහා පමණක් භාවිතා වන බැවිනි. 

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)


Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?