මුදල් මුද්‍රණ සාක්ෂරතාවය - ඇමෙරිකානු මහ බැංකු අධිපතිගේ අදහස්. මූල්‍ය සාක්‍ෂරතා අත්වැල 04

 

ලිපියේ අරමුණ

මහ බැංකු කාර්යයන් පිළිබඳ ව බොහෝ දෙනා විසින් විවිධාකාර සංකල්පීය අදහස් ඉදිරිපත් කෙරේ. මුදල් මුද්‍රණය ද ඉන් එකකි. සමහරුන්ට අනුව මුදල් මුද්‍රණය යනු මහ බැංකුවල දේව කාර්යයකි.

එහෙත්, ඇමෙරිකානු මහ බැංකු අධිපති විසින් පසු ගිය 14 දින පැවති දේශනයක දී ඇමෙරිකානු මහ බැංකුව විසින් මෑත කාලයේ දී එරට ආර්ථික සහ මූල්‍ය අස්ථායිතාවයන් නිරාකරණය සඳහා මුදල් මුද්‍රණය භාවිතා කළ ආකාරය සරල බසින් ඉදිරිපත් කරන ලදි. එම දේශනයේ පිටපත සහ වීඩියෝව මෙහි ඇතුළත් කොට ඇත. (දේශන පිටපත) (වීඩියෝව)

මෙම ලිපියේ අරමුණ එම දේශනයේ සාරාංශයක් දැක්වීම යි. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ මහ බැංකු විසින් ඇමෙරිකානු මහ බැංකු මුදල් මුද්‍රණ මොඩලය භාවිතා කරන බැවින් අනෙක් මහ බැංකුවල සැබෑ කාර්යයන් හඳුනා ගැනීමට ද මෙම අදහස් වැදගත් වනු ඇත.

එසේම, මහජනයාගේ සියළු මුදල් ගනුදෙනු කෙරෙහි මහ බැංකු මුදල් මුද්‍රණ හෝ මුදල් ප්‍රතිපත්ති තීරණයන් විවිධාකාරයෙන් බලපාන බැවින් මෙය පුද්ගල මූල්‍ය සාක්ෂරතාවයට ද ඉතා වැදගත් මාතෘකාවකි. ඊට හේතුව, මුදල් මුද්‍රණය වන ආකාරය නොදැන මුදල් කළමනාකරණය කිරීමේ සාක්ෂරතාවයක් ප්‍රයෝගික නොවීම යි.

ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය ශ්‍රී ලංකාවේ මුදල් ගනුදෙනු කෙරෙහි බලපාන ආකාරය දැක්වෙන ලිපියක් මෙම වෙබ් අඩවියේ පළ කොට ඇත. එසේම, පුද්ගල මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ ලිපි රාශියක් ද මෙහි පළ කොට ඇත. මෙම ලිපි සඳහා පුද්ගල මූල්‍ය සාක්‍ෂරතාවය යනු පුද්ගලයකු විසින් තම ජීවන රටාව සහ ඉලක්ක සඳහා යම් ප්‍රතිලාභ-අවදානම් තුලනයක් මත තම මුදල් කළමනාකරණය කිරීම ලෙස අර්ථ නිරූපණය කෙරේ. (පළමු ලිපිය මෙතනින් කියවන්න)

එහෙත්, මෙම ලිපිය මගින් මුදල් මුද්‍රණය හෝ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ ව කිසිම ආකාරයක ගුණදොස් විමසීමක් සිදු නොකෙරේ.

ඇමෙරිකානු මහ බැංකුවේ මුදල් මුද්‍රණ ප්‍රතිපත්තියේ ස්වරූපය

මුදල් මුද්‍රණය යන වචනය ඇසූ පමණින් සමහර ආර්ථික විද්‍යාඥයන් සහ දේශපාලන නායකයන්ට අහස බිමට කඩා වැටෙන්න යන බියක් දැනේ. එනම්, මුදල් මුද්‍රණය හේතු කොට උද්ධමනයක් හට ගෙන ආර්ථිකය සහ ජන ජීවිතය කඩා වැටෙන බව යි.

ඇමෙරිකානු මහ බැංකු අධිපතිට අනුව මහ බැංකුවේ මූලික මෙහෙවර වනුයේ, මූල්‍ය ක්‍රමයට සහ ආර්ථිකයට අවශ්‍ය මුදල් අත්තිවාරම සැපයීම යි. මෙම අත්තිවාරම මහ බැංකු වගකීම් තුළින් සැපයෙයි. මහ බැංකු වගකීම් යනු මහ බැංකුව විසින් නිකුත් කෙරෙන මුදල් හෝ සංචිත මුදල් ය. මුදල් මුද්‍රණය යනු එසේ සංචිත මුදල් නිකුත් කිරීම යි.

මුදල් මුද්‍රණය හරහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තියට අයත් ප්‍රතිපත්ති මෙවලම් දෙකක් ක්‍රියාත්මක කෙරේ. එනම්, ආර්ථිකයට අවශ්‍ය සංචිත මුදල් සැපයීම සහ පොලී අනුපාත පාලනය යි.

මුදල් මුද්‍රණය පිටුපස ඇති මහ බැංකු වගකීම් සහ වත්කම් 

මුදල් මුද්‍රණ ක්‍රියාවලිය මහ බැංකුවේ වත්කම් සහ වගකීම් දැක්වෙන ශේෂ පත්‍රයෙන් විමර්ශනය කළ හැකිය. 

එහි වගකීම් යනු මුදල් මුද්‍රණය හෙවත් නිකුත් කොට ඇති සංචිත මුදල් ප්‍රමාණය යි.  ඇමෙරිකානු මහ බැංකුවේ ඔක්තෝබර් 8 දිනට මුළු වගකීම් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 6.5 ක් පමණ විය. ඉන් 95% ක් පමණ ප්‍රධාන වගකීම් තුනකට අයත් වෙයි. එනම්, මහ බැංකුව විසින් නිකුත් කොට ඇති සංචිත මුදල් හිමි කර ගෙන ඇති ප්‍රධාන මූලයන් ය.

  • සංසරණයේ පවතින කාසි සහ නෝට්ටු - දැනට ඩොලර් ට්‍රිලියන 2.4 ක් පමණ. මෙම සංචිත රටේ මුදල් ක්‍රමය කෙරෙහි මහජන විශ්වාසය රැකීමට උපකාරී වෙයි.

  • තැන්පතු ආයතන විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන සංචිත තැන්පතු - දැනට ඩොලර් ට්‍රිලියන 3.0 ක් පමණ. මෙම සංචිත අන්තර් බැංකු ගෙවුම් පද්ධතියෙහි ස්ථායිතාවය සහ ආරක්ෂාවත් සහ එමගින් මූල්‍ය පද්ධතියෙහි ස්ථායිතාවයත් පවත්වා ගැනීම සඳහා උපකාරී වෙයි.

  • මහ බැංකුවේ ඇති භාණ්ඩාගාර ගිණුමේ ශේෂය - දැනට ඩොලර් බිලියන 800 ක් පමණ. මෙම සංචිත එදිනෙදා රාජ්‍ය අයවැය  ක්‍රියාකාරකම් ආශ්‍රිත මුදල් පියවුම් පවත්වා ගෙන යාමට උපකාරී වෙයි.

ඉහත දැක්වූ සංචිත මුදල් නිකුතුව මහ බැංකුව විසින් වත්කම් මිල දී ගැනීම මගින් සිදු කෙරේ. එනම්, මහ බැංකුව විසින් වත්කම් මිල දී ගනු ලබන්නේ, මහ බැංකුව සතුව දැනට පවතින මුදල් හෝ ලාභයකින් නොව, හුදෙක් මිල දී ගන්නා වත්කම් වටිනාකමට සමාන නව සංචිත මුදල් හෝ වගකීම් ප්‍රමාණයක් එම වත්කම් අළෙවි කරුවන් වෙත නිකුත් කිරීමෙනි. එනම්, කාසි සහ නෝට්ටු නිකුත් කිරීම සහ භාණ්ඩාගාර සහ තැන්පතු ආයතනවල ගිණුම්වලට ගිණුම් සටහනක් මගින් සංචිත මුදල් තැන්පත් කිරීම යි. 

උදාහරණ ලෙස මහ බැංකුව විසින් යම් බැංකුවකට ණය මුදලක් සැපයෙන විට, එම මුදල් ප්‍රමාණය මහ බැංකුවේ ඇති එම බැංකුවේ සංචිත ගිණුමට නව තැන්පතුවක් (වගකීමක්) ලෙසත්, එය මහ බැංකුවට නව ණය වත්කමක් ලෙසත් ගිණුම් සටහන් තැබේ. එවිට, එම මුදල් ප්‍රමාණයෙන් මහ බැංකුවේ ශේෂ පත්‍රයේ මුළු වටිනාකම ඉහළ යනු ඇත. එබැවින්, බැංකුවක් විසින් මහ බැංකුවට ණය ආපසු ගෙවීමේ දී, ඊට ප්‍රතිවිරුද්ධ ගිණුම් සටහන් හේතු කොට, මහ බැංකු ශේෂ පත්‍රයේ ප්‍රමාණය සංකෝචනය වනු ඇත. 

එසේම, ආර්ථිකයෙහි ගනුදෙනු අවශ්‍යතාවන් අනුව කාසි සහ නෝට්ටු සහ සංචිත තැන්පතු අතර සංචිත මුදල් හුවමාරු වීම තුළින් සංචිත මුදල් සංයුතිය වෙනස් වනු ඇත.

ඇමෙරිකානු මහ බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණයම පාහේ මහ බැංකුව විසින් මිල දී ගෙන ඇති සුරැකුම්පත්වලින් යුක්ත වෙයි.

  • දැනට ඩොලර් ට්‍රිලියන 4.2 ක් පමණ භාණ්ඩාගාර සුරැකුම්පත් ය.

  • දැනට ඩොලර් ට්‍රිලියන 2.1 ක් පමණ රජයේ ඇපය සහිත නියෝජිත උගස් වෙළෙඳපොළ සුරැකුම්පත් ය.

මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය හෝ සංචිත මුදල් නිකුත් කිරීමේ දී සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ, විවෘත වෙළෙඳපොළ වෙන්දේසි හරහා භාණ්ඩාගාර සුරැකුම්පත් මිල දී ගැනීම යි. එහි දී, එම සුරැකුම්පත් මහ බැංකුවට අළෙවි කළ බැංකුවල බැංකුවල සංචිත ගිණුම්වලට අදාළ වටිනාකම සඳහා ගිණුම් සටහන් මගින් නව සංචිත එකතු කෙරේ. මෙම ක්‍රියාවලිය තුළින් මහජනයා විසින් දැනට ආයෝජනය කොට ඇති රාජ්‍ය සුරැකුම්පත් සංචිත මුදල් බවට පත් කෙරේ. එහෙත්, එමගින්, මහජනයා අතැති මුළු රාජ්‍ය වගකීම් ප්‍රමාණයේ (එනම්, රාජ්‍ය සුරැකුම්පත් සහ සංචිත මුදල්) වෙනසක් නොවේ.

එබැවින්, මහ බැංකු ශේෂ පත්‍රය යනු මුදල් ප්‍රතිපත්ති මෙවලමක් ලෙස සැලකෙයි. ඒ අනුව, පසුගිය ගෝලීය කොරෝනා වසංගත අස්ථායිතාවන්ගෙන් මූල්‍ය පද්ධතිය සහ ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා 2020 මාර්තු මස සිට 2021 ඔක්තෝබර් දක්වා කාලය තුළ ඩොලර් ට්‍රිලියන 4.6 කින් පමණ මහ බැංකුව සතු සුරැකුම්පත් තොගය ප්‍රසාරණය කරන ලදි. එනම්, නව සංචිත මුදල් මුද්‍රණය යි. 

එහෙත්, 2022 ජුනි මස සිට මේ දක්වා සමස්ත මහ බැංකු ශේෂ පත්‍රයේ ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 2.2 කින් සංකෝචනය කොට ඇත. එනම්, මහ බැංකු ශේෂ පත්‍රය හෙවත් මුද්‍රණය කොට ඇති මුළු සංචිත මුදල් ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස 35% සිට 22% දක්වා සංකෝචනයකි (ඔක්තෝබර් මස 15 දිනට ශේෂ පත්‍රය ඩොලර් ට්‍රිලියන 6.6 ක් පමණ විය).

මුදල් මුද්‍රණය සහ පොලී අනුපාත පාලනය

ප්‍රමාණවත් මට්ටමක සංචිත මුදල් හෝ මුදල් මුද්‍රණය පවත්වා ගැනීම තුළින් බැංකු පද්ධතියෙහි ද්‍රවශීලතාවය මෙන්ම ආර්ථිකයෙහි පොලී අනුපාතයන් පාලනය කෙරේ. අන්තර් බැංකු එක් දින ණය පොලී අනුපාතයන් ඉලක්ක කිරීම හරහා පොලී අනුපාත පාලනය සිදු වෙයි. අන්තර් බැංකු එක් දින ණය පොලී අනුපාතය යනු බැංකු පද්ධතිය තුළ බැංකු අතර සිදු වන සංචිත මුදල් ගනුදෙනු මිල යි. 

ඇමෙරිකානු මහ බැංකුව විසින් අන්තර් බැංකු එක් දින ණය පොලී අනුපාතයන් සඳහා කාලින් කලට ඉලක්ක පරාසයක් නියම කෙරේ (දැනට එය 4%-4.25% වෙයි). මුදල් ප්‍රතිපත්ති තීරණය ලෙස එය දැක්වෙයි. ඊට පසු, එම ඉලක්ක පරාසය තුළ අන්තර් බැංකු එක් දින ණය පොලී අනුපාතයන් තීරණය වන පරිදි මහ බැංකුව විසින් පරිපාලන පොලී අනුපාතයන් මත බැංකු සමඟ එදිනෙදා සංචිත මුදල් ගනුදෙනු කෙරේ. මෙය මුදල් ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් ලෙස දැක්වෙයි. 

එබැවින්, මහ බැංකු පොලී අනුපාතයන්හි කෙරෙන වෙනස්කම් ක්ෂණිකව අන්තර් බැංකු එක් දින ණය පොලී අනුපාතයන් කෙරෙහි බලපාන අතර එය ආර්ථිකයෙහි අනෙක් පොලී අනුපාතයන් කෙරෙහි ද ව්‍යාප්ත වනු ඇත. ඊට හේතුව, ආර්ථිකයට අවශ්‍ය සංචිත මුදල් මිල වෙනස්වීම යි.

එසේ පොලී අනුපාත පාලනය ඇමෙරිකානු මහ බැංකුව විසින් පරිපාලන පොලී අනුපාතයන් කිහිපයක් මත බැංකු සමඟ සංචිත මුදල් ගනුදෙනු කිරීම තුළින් සිදු කෙරේ.

  • මහ බැංකුවේ ඇති බැංකුවල සංචිත මුදල් තැන්පතු සඳහා දෛනිකව ගෙවන පොලී අනුපාතය (දැනට 4.15% ක් වෙයි)

  • බැංකු විසින් මහ බැංකුවේ දෛනික භාණ්ඩාගාර සුරැකුම්පත් ප්‍රතිවිකුණුම් ගිවිසුම්වල කරන ලද සංචිත මුදල් ආයෝජනය සඳහා මහ බැංකුව විසින් ගෙවන පොලී අනුපාතය (දැනට 4.00% ක් වෙයි)

  • මහ බැංකුව විසින් දෛනිකව බැංකුවලට සංචිත මුදල් ණය සපයන භාණ්ඩාගාර සුරැකුම්පත් ප්‍රති මිල දී ගැනීමේ ගිවිසුම් සඳහා මහ බැංකුව විසින් අය කෙරෙන පොලී අනුපාතය (දැනට 4.25% ක් වෙයි)

  • මහ බැංකුව විසින් භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපය මත බැංකුවලට ඉතා කෙටි කාලීන සංචිත මුදල් ණය සපයන වට්ටම් අනුපාතය (දැනට 4.25% ක් වෙයි)

එබැවින්, මුදල් ප්‍රතිපත්ති මෙවලම ලෙස සාමාන්‍යයෙන් දැක්වෙන්නේ, මහ බැංකුවේ පොලී අනුපාත පාලනය යි. එහෙත්, එය මුදල් මුද්‍රණය හෙවත් මහ බැංකු ශේෂ පත්‍රය හරහා සිදු වෙයි. එනම්, පොලී අනුපාතයන්ට ගැලපෙන පරිදි සංචිත මුදල් ප්‍රමාණය පාලනය කිරීම යි.

එහෙත්, ඇමෙරිකානු මහ බැංකු අධිපතිට අනුව මෙහි වෙනස වන්නේ, මහ බැංකු පොලී අනුපාතයන් ශුන්‍ය මට්ටමක පවතින අවස්ථාවල දී තවදුරටත් ළිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා මහ බැංකු ශේෂ පත්‍රය ප්‍රසාරණය කිරීම යි. 2007/09 ගෝලීය මූල්‍ය අර්බුද සමයේ සහ 2020/21 ගෝලීය කොරෝනා වසංගත සමයේ ආර්ථිකයෙහි විවිධ අංශයන් වෙත සංචිත මුදල් ව්‍යාප්ත කිරීම සඳහා එසේ මුදල් මුද්‍රණය කරන ලදි.  එසේම, 2013 අප්‍රේල් මස හට ගත් හදිසි බැංකු කම්පනය නිරාකරණය සඳහා ද පවතින පොලී අනුපාතයන් යටතේ හදිසි සංචිත මුදල් ණය සපයන ලදි. ඊට ප්‍රතිවිරුද්ධව, එම ශේෂ පත්‍ර ප්‍රසාරණ ප්‍රතිපත්තිය ආපසු හැරවීමේ දී, ශේෂ පත්‍රය සංකෝචනය කිරීම සිදු කෙරේ.

ලිපියේ  සමාප්ත සටහන 

  • ඇමෙරිකානු මහ බැංකුවේ මුදල් මුද්‍රණය මුළු මනින්ම පාහේ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම හරහා සිදු කෙරේ. එමගින්, ආර්ථිකයට අවශ්‍ය සංචිත මුදල් සැපයීම මෙන්ම පොලී අනුපාතයන් පාලනය කිරීම සිදු කෙරේ. මෙහි දී, මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම හරහා රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ පොලී අනුපාතයන්හි ස්ථායිතාවය පවත්වා ගැනීම වැදගත් වෙයි. ඊට හේතුව, ආර්ථිකයෙහි පොලී අනුපාතයන්හි පදනම ලෙස රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් ක්‍රියා කරන බැවිනි.

  • මුදල් ප්‍රතිපත්තිය තුළ මහ බැංකු පොලී අනුපාතයන් මෙන්ම මහ බැංකු ශේෂ පත්‍රයේ වර්ධනය සහ ව්‍යුහය ද සංචිත මුදල් මුද්‍රණය සහ බෙදා හැරීම කෙරෙහි වැදගත් වනු ඇත. එම තීරණයන් හුදෙක් අදාළ නිලධාරී සභාවන් විසින් අභ්‍යන්තරික ක්‍රමවේදයන් තුළ ගනු ලබන සංකල්පීය තීරණයන් වන අතර ඒ සඳහා භාවිතා කෙරෙන ගණිත සුත්‍රයන් නොමැත.

  • ශ්‍රී ලංකාව වැනි අධික ලෙස ආනයන සහ විදේශ ණය හරහා ඩොලර්කරණය වී ඇති රටවල මුදල් මුද්‍රණය ප්‍රධාන වශයෙන් රාජ්‍ය විදේශ ණය හරහා රැස් කෙරෙන ඩොලර් සංචිතය මත රඳා පවතී. එබැවින්, මෙම රටවල මහ බැංකු ශේෂ පත්‍රය සහ පොලී අනුපාතයන් දේශීය ආර්ථික සංවර්ධන අවශ්‍යතාවන් සඳහා නොව, ණය ඩොලර් සංචිතය ප්‍රවර්ධනය කෙරෙහි යොමු වී ඇත.

  • සමස්තයක් වශයෙන් මහ බැංකු මුදල් මුද්‍රණය හුදෙක් රාජ්‍ය ණය මත පදනම් වෙයි. එනම්, ඇමෙරිකානු මහ බැංකුවේ මුදල් මුද්‍රණය ඇමෙරිකානු රජයේ දේශීය සුරැකුම්පත් ණය ද, ශ්‍රී ලංකාව වැනි ඩොලර්කරණය වූ රටවල මහ බැංකුවල මුදල් මුද්‍රණය රාජ්‍ය විදේශ ණය (එනම්, ඩොලර් සංචිතය) මත ද සිදු වීම යි. එබැවින්, මහ බැංකු විසින් අදහස් දක්වන පරිදි රටක අයවැය හිඟය සහ රාජ්‍ය ණය මට්ටම පහළ දැමීම කළ හොත්, මුදල් මුද්‍රණය සහ බැංකු/මූල්‍ය පද්ධතිය සංකෝචනය වී, ආර්ථිකයන් හැකිළෙනු ඇත. එබැවින්, රාජ්‍ය අයවැය හෝ රජයෙන් ස්වාධීනව මූල්‍ය ස්ථායිතාවය, ආර්ථික ස්ථායිතාවය සහ මිල ස්ථායිතාවය රකින මහ බැංකු ලෙස සැලකෙන මහ බැංකු යනු හුදෙක් මිථ්‍යා ආර්ථික සංකල්පයකි. 

  • නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන් මහ බැංකු සංචිත මුදල් මත ගොඩ නැගී ඇති බැවින් මහ බැංකුවල මූලික වගකීම වන්නේ, බැංකු සහ මූල්‍ය පද්ධතියට අවශ්‍ය සංචිත මුදල් සැපයීමේ කාර්යය යි. එය, බැංකු සහ මූල්‍ය පද්ධතියෙහි ස්ථායිතාවයට අත්‍යාවශ්‍ය කාර්යයකි. ඊට හේතුව, බැංකු සහ මූල්‍ය පද්ධතිය යම් සංචිත මුදල් අනුපාතයක් මත ගනුදෙනු කිරීම හරහා ව්‍යාපාරික මුදල් මැවීමත්, එම ගනුදෙනු සංචිත මුදල් පිළිබඳ මහජන විශ්වාසය මත සිදු වීමත් ය. එබැවින්, මහ බැංකුවල ඉහළින් දැක්වෙන ආර්ථික සහ මිල ස්ථායිතා කාර්යයන් යනු හුදෙක් තහවුරු කළ නොහැකි සංකල්පීය කථාන්දරයන් ය.

  • එබැවින්, මහ බැංකුවල අයිතිය කරුවන් වන රජයන් විසින් මුදල් මුද්‍රණය පිළිබඳ සත්‍ය තත්ත්වය අවබෝධ කර ගෙන, ආර්ථිකයේ නව අවශ්‍යතාවන්ට යෝග්‍ය පරිදි මහ බැංකුවල ප්‍රධාන වගකීම ඉටු කර ගැනීමට ක්‍රියා කළ යුතුය.

  • එසේ නොමැතිව මහ බැංකු විසින් උපදෙස් දෙන පරිදි රජයන් විසින් රාජ්‍ය අයවැය සහ ණය සංකෝචනය කිරීමට උත්සාහ කළ හොත්, ආර්ථිකයන් සහ ජන ජීවිතය සංකෝචනය වී, රාජ්‍ය විරෝධී අරගල හට ගනු ඇත.

  • මහ බැංකු විසින් මුද්‍රණය කෙරෙන මුදල්වල හෝ මහ බැංකු ශේෂ පත්‍රයෙහි කිසිම මූර්ත වටිනාකමක් නොමැත. එබැවින්, එම මුදල් මුද්‍රණය හුදෙක් සම්පේක්ෂණ ව්‍යාපාරයන් මූල්‍යකරණය සඳහා නොව, ආර්ථිකයෙහි මූර්ත වටිනාකමක් බිහි කෙරෙන නිෂ්පාදන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කෙරෙන පරිදි සිදු කෙරෙන බවට මහ බැංකු සහ රජයන් වග කිව යුතුය. එසේ නොමැතිව, මුදල් මුද්‍රණයෙන් උද්ධමනය හට ගන්නා බවට සංකල්පීය ආර්ථික කථාන්දරයන් හුවා දක්වමින් මුදල් මුද්‍රණය හැකිලිමෙන් මහ බැංකු වගකීම් ඉටු නොවනු ඇත.

(මහජනයාගේ මූල්‍ය සාක්‍ෂරතාවය ප්‍රවර්ධනයට උපකාරී වීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. )

පි සමරසිරි
[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
(හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව) 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

ආර්ථික කළමනාකරණ දත් නැති නව කැබිනෙට්ටුව. ජීවන තත්ත්වය ගොඩ එයි ද?

රටම කැළඹු මුදල් මුද්‍රණය. කළා ද? නැත් ද? එය, කවුරුන්, කෙසේ, කා සඳහා, කළා ද?

මහ බැංකුව මුද්‍රණය කරනුයේ මුදල් ය. කාසි සහ නෝට්ටු නොවේ.