ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ රුපියලේ (ඩොලරයේ) වටිනාකමට කුමක් වෙයි ද? එය ආරක්ෂා කිරීමට මහ බැංකුවට හැකියාව පවතී ද?

 


වත්මන් ශ්‍රී ලංකාවේ උග්‍ර ඩොලර් හිඟයේ ආර්ථික පසුබිම

මේ දිනවල රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතු කොට රුපියල විදේශ විනිමය වෙළෙඳපොළේ සහ දේශීය වෙළෙඳපොළේ දිනෙන් දින කඩා වැටෙන බව නොදන්නා කෙනෙක් නැත.

රුපියල විදේශ විනිමය වෙළෙඳපොළේ කඩා වැටීම යනු ඩොලරයක මිල රුපියල්වලින් අධික ලෙස ඉහළ යාම යි. එනම්, ඩොලරයේ විනිමය අනුපාතය ඉහළ යාම යි. ඊට හේතුවආර්ථිකයේ පවතින ඩොලර් සැපයුමේ උග්‍ර හිඟය යි. ඩොලරයේ විනිමය අනුපාතය ඉහළ යාම යනු ඩොලර්වලින් රුපියලේ වටිනාකම හෝ මිල පහළ යාම හෙවත් රුපියලකින් මිල දී ගත හැකි ඩොලර් ප්‍රමාණය පහළ යාම යි. මෙහි අදහස වනුයේ රුපියලෙන් විදේශ වෙළෙඳපොළවලින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය පහළ යාම යි. 

දේශීය වෙළෙඳපොළේ රුපියල කඩා වැටීම යනු දිනෙන් දින ඉහළ යන බඩු මිල හෙවත් වේගවත් උද්ධමනය හේතු කොට රුපියල් ආදායමින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය දිනෙන් දින පහළ යාම යි.

මෙසේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමට හේතුව ද ඩොලර් හිඟය හේතු කොට ආනයනයන් සිමා කිරීම තුළින් ආනයන භාණ්ඩ හිඟයක් හට ගැනීමත්, ඩොලර් විනිමය අනුපාතය ඉහළ යාම හේතු කොට ආනයනවල දේශීය මිල ගණන් ඉහළ යාමත් ය. මෙය ආර්ථික විද්‍යාවේ පදනම වන ඉල්ලුම සහ සැපයුමේ ක්‍රියාකාරිත්වය තුළින් හට ගෙන ඇති ප්‍රතිඵලයකි.

එහෙත්, ආර්ථික විද්‍යාවේ ඉගැන්වෙන පරිදි වෙළෙඳපොළ සමතුලිතතාවක් හෝ සමතුලිත මිල ගණන් තවම දක්නට නොලැබෙන්නේ ඉල්ලුම් සහ සැපයුම් සාධක තවමත් විවිධ වෙළෙඳපොළ පවතින දැඩි අස්ථායීතාවන් හේතු කොට එදිරිවාදිව ක්‍රියාත්මක වන බැවිනි.

එබැවින්, මෙම ලිපිය මගින් නුදුරු අනාගතයේ දී විනිමය වෙළෙඳපොළේ ඩොලරයේ හෝ රුපියලේ මිලට හෙවත් විනිමය අනුපාතයට කුමක් වේ ද? යන්න කෙරෙන අපේක්ෂණයන් ඉදිරිපත් කෙරේ.

විදේශ විනිමය වෙළෙඳපොළ සහ විනිමය අනුපාතය

ඉතා නවීන තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන් හරහා ක්‍රියාත්මක වන ලෝකයේ ඉතාම දියුණු සහ ක්‍රියාශීලී මූල්‍ය වෙළෙඳපොළක් වන්නේ විදේශ මුදල් වෙළෙඳපොළ යි. ඩොලරය සඳහා වන විදේශ මුදල්/විනිමය වෙළෙඳපොළේ ඩොලරයේ සැපයුම සහ ඩොලරය සඳහා ඇති ඉල්ලුම අනුව එහි විනිමය අනුපාතය තීරණය වෙයි. ඩොලර් සැපයුම ඇති වන්නේ භාණ්ඩ හා සේවා අපනයන, විදේශ ප්‍රේෂණ ලැබීම සහ විදේශ ණය සහ ආයෝජන ලැබීම තුළිනි. ඩොලර් සඳහා ඉල්ලුමක් හට ගන්නේ භාණ්ඩ හා සේවා ආනයන, විදේශ ණය ගෙවීම සහ විදේශ ආයෝජන ඉවත්ව යාම සඳහා ය.

එබැවින්, මෙසේ විදේශ මුදල් ඉල්ලුම සහ සැපයුම වෙනස්වීම අනුව එහි විනිමය අනුපාතය වෙනස් වනු ඇත. උදාහරණ ලෙස ඩොලරය සඳහා අධි ඉල්ලුමක්  පවතින විට (සැපයුමට වඩා ඉල්ලුම ඉහළ යාම) විනිමය අනුපාතය ඉහළ යයි. මෙය රුපියල අවප්‍රමාණය වීම හෝ ඩොලරය ප්‍රතිප්‍රමාණය වීම ලෙස දැක්වෙයි. මිට ප්‍රතිවිරුද්ධව, ඩොලරය සඳහා අධි සැපයුමක් (ඉල්ලුමට වඩා සැපයුම ඉහළ යාම) පවතින විට විනිමය අනුපාතය පහළ යනු ඇත. මෙය රුපියල ප්‍රතිප්‍රමාණය වීම හෝ ඩොලරය අවප්‍රමාණය වීම ලෙස දැක්වෙයි.

මෙම ඉල්ලුම සහ සැපයුම විවිධ සාධක මත තිරණය වන බැවින් විනිමය අනුපාතය වෙනස් වන විට, ඊට හේතු වූ ඉල්ලුම් සහ සැපයුම් සාධක කුමක් ද? යන්න දේශීය ආර්ථිකයේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ පවතින සමකාලීන ප්‍රවණතාවන් තුළින් හඳුනා ගත යුතුය. ඊට හේතුව, විදේශ මුදල හෝ ඩොලරයේ ඉල්ලුම සහ සැපයුම කෙරෙහි ඇමෙරිකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු ද බලපාන බැවිනි.

උදාහරණ ලෙස මෙම කාලයේ ඇමෙරිකාවේ ඩොලර් මුදල් සැපයුම/මුද්‍රණය ඓතිහාසික වේගයකින් ඉහළ ගිය ද, ශ්‍රී ලංකාව වැනි සමහර රටවල ඩොලර් සැපයුම උග්‍ර ලෙස පහළ ගොස් ඇත. එයට මූලික හේතුව ලෙස ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට හට ගත් ගෝලීය සැපයුම් ජාලයන් කඩා වැටීම දැක්විය හැකිය.

අපනයන පහළ යාම නිසා ඩොලර් සැපයුම පහළ යාම, ආනයන ඉහළ යාම නිසා ඩොලර් ඉල්ලුම ඉහළ යාම, විදේශ ණය සහ ආයෝජන ලැබීම පහළ යාම නිසා ඩොලර් සැපයුම පහළ යාම, විදේශ ණය සහ ආයෝජන ගෙවීම ඉහළ යාම නිසා ඩොලර් ඉල්ලුම ඉහළ යාම වැනි සාධකවල ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාවේ ඩොලර් සඳහා අධි ඉල්ලුමක් හට ගැනීම හේතු කොට ඩොලර් විනිමය අනුපාතය වේගයෙන් ඉහළ ගොස් ඇත.

රටක ආර්ථික වර්ධනය/ආදායම ඉහළ යාම, මුදල් සැපයුම ඉහළ යාම සහ උද්ධමනය ඉහළ යාම සිදු වන අවස්ථාවල ආනයන ඉල්ලුම ඉහළ යාම තුළින් විදේශ මුදල් සඳහා ඉල්ලුම ඉහළ ගොස් විනිමය අනුපාතය ඉහළ යන බවට සාමාන්‍යයෙන් පිළි ගැනේ. එසේම, විනිමය අනුපාතය ඉහළ යන විට විදේශ මුදල් සඳහා ඉල්ලුම පහළ යාම සහ සැපයුම ඉහළ යාම ද, විනිමය අනුපාතය පහළ යන විට විදේශ මුදල් සඳහා ඉල්ලුම ඉහළ යාම සහ සැපයුම පහළ යාම ද, සිදු වන බව සාමාන්‍ය ඉල්ලුම් සහ සැපයුම් න්‍යායයන් අනුව පිළි ගැනේ. එබැවින්, විනිමය අනුපාතය වෙළෙඳපොළ මගින් තීරණය වීමට ඉඩ නොදී කෘතීම ලෙස පහළ මට්ටමක පාලනය කිරීම හේතු කොට විදේශ විනිමය ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ආර්ථිකය කෙරෙහි විවිධ අවදානම් හට ගන්නා බව පිළි ගැනේ. එබැවින්, නූතන ගෝලීය මතය වනුයේ භාණ්ඩ හා සේවා මිල ගණන් මෙන් විනිමය අනුපාතය ද වෙළෙඳපොළ මගින් තීරණය වීමට ඉඩ දිය යුතු බව යි.

විනිමය වෙළෙඳපොළ එක් ස්ථානයක නොව දන්නා නොදන්නා විවිධ ස්ථානවල එය ව්‍යාප්ත වී ඇත. සාමාන්‍යයෙන් මහජනයා දන්නේ බැංකු, මුදල් මාරුකරන්න් සහ මහ බැංකුව විසින් පවත්වා ගෙන යන වෙළෙඳපොළවල් ය. එහෙත්, ඕනෑම විදේශ මුදල් වෙළඳාමක් කෙරෙන තැන විනිමය වෙළෙඳපොළක් පවතී. ඒ ඒ වෙළෙඳපොළ තුළ එහි ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය වන විනිමය අනුපාතයක් හෝ මිලක් පවතී.

විනිමය වෙළෙඳ ගනුදෙනු වර්ග

ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දැකිය හැකි විනිමය වෙළෙඳ ගනුදෙනු ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදිය හැකිය. එනම්, මුදල් විනිමය ගනුදෙනු, තැන් විනිමය ගනුදෙනු, ඉදිරි විනිමය ගනුදෙනු සහ මුදල් හුවමාරු ගනුදෙනු යනාදිය යි. මේ හැර දියුණු වෙළෙඳපොළවල අනාගත විනිමය සහ මනාප විනිමය වැනි ඉතා සංකීර්ණ ව්‍යුත්පන්න විනිමය වෙළෙඳ ගනුදෙනු පවතී.

  • මුදල් විනිමය

මුදල් විනිමය යනු දිනය තුළ නිමාවන ගනුදෙනු ය. පුද්ගලයකු විසින් විදේශ ගමනක් සඳහා බැංකුවකින් ඩොලර් මිල දී ගැනීම මුදල් ගනුදෙනුවකි. මෙහිදී, පුද්ගලයා විසින් රුපියල් ගෙවීම සහ ඩොලර් මිල දී ගැනීම කවුන්ටරය හරහා එකවර සිදු වෙයි.

  • තැන් විනිමය

තැන් විනිමය යනු විනිමය ගනුදෙනුව එකඟ වී ඊට පසුව එළඹෙන දෙවැනි කාර්යාල දිනය තුළ මුදල් හුවමාරැ කර ගන්නා ගනුදෙනු ය. සාමාන්‍යයෙන් සංවිධානාත්මක අංශයේ බැංකු සහ විනිමය වෙළෙඳුන් අතර තැන් විනිමය ගනුදෙනු සිදු වෙයි.

  • ඉදිරි විනිමය

ඉදිරි විනිමය යනු ඉදිරි දිනයක මුදල් හුවමාරුව සඳහා ගිවිස ගන්නා වෙළෙද ගනුදෙනු ය. ඒ අනුව, මුදල් ප්‍රමාණය සහ විනිමය අනුපාතය ගිවිසුම එකඟ වන දින ගිවිස ගනී. උදාහරණ ලෙස ඩොලර් මිලියනයක් ඩොලරයක් රුපියල් 210 කට මිල දී ගැනීම සඳහා දින 30 ක ඉදිරි ගිවිසුමක් අද දින එකඟ විය හැකිය. එබැවින්, ඉදිරි 30 වෙනි දින (ගිවිසුම කල් පිරෙන දින) වෙළෙඳපොළේ විනිමය අනුපාතය කුමක් වුව ද, මෙම මුදල් හුවමාරුව රුපියල් 210 විනිමය අනුපාතයට සිදු වෙයි. අනාගතයේ විනිමය අනුපාතය වෙනස් වීමෙන් ඇති විය හැකි විනිමය අවදානම් ආවරණය කර ගැනීම සඳහා ආනයන කරුවන්, අපනයන කරුවන් සහ විනිමය වෙළෙඳුන් ඉදිරි විනිමය වෙළෙඳ ගනුදෙනුවල යෙදීම දැකිය හැකිය.

  • මුදල් හුවමාරු

මුදල් හුවමාරු යනු යම් දිනක විදේශ විනිමය වෙළෙඳාමක් සිදු කොට, නැවත එකඟ වූ ඉදිරි දිනයක එම ගනුදෙනුව එකඟ වූ විනිමය අනුපාතයකට ආපසු පියවීම හෙවත් ප්‍රතිවෙළෙඳාම යි. උදාහරණ ලෙස බැංකු දෙකක් ඩොලරයක් රුපියල් 200 විනිමය අනුපාතයට ඩොලර් මිලියන 10 ක් සහ රුපියල් මිලියන 2 ,000 ක් හුවමාරු කර ගන්නා අතර පසුව මාස 6 ක් අවසාන දින ඩොලර් ගැනුම්කාර බැංකුව විසින් එම ඩොලර් මිලියන 10 රුපියල් 215 ක විනිමය අනුපාතයට නැවත ඩොලර් විකුණුම්කාර බැංකුව වෙත රුපියල් මිලියන 2 ,150 කට අළෙවි කිරීමට එකඟ වෙයි.

එබැවින්, මෙම මුදල් ගනුදෙනුව ආපසු හැරවීම ප්‍රතිවිකුණුම්/ප්‍රති මිල දී ගැනුම් ගිවිසුමකි. එසේම, මෙම ආපසු හැරවීමේ ගනුදෙනු කොටස ඉදිරි විනිමය ගනුදෙනුවකි. එබැවින්, මෙම ඉදිරි ගනුදෙනු කොටස ඉදිරියේ ඇති විය හැකි විනිමය අවදානම ආවරණය සඳහා භාවිතා කෙරේ. ඩොලර්-රුපියල් විනිමය වෙළෙඳපොළේ පවතින සාධක අනුව මෙම ඩොලර් ප්‍රතිවිකුණුම්/ප්‍රතිගැනුම් හෝ ඉදිරි විනිමය අනුපාතය තීරණය වනු ඇත. මේ දිනවල මහ බැංකුව විසින් තම විදේශ සංචිතය වැඩි කර ගැනීම සඳහා ඩොලර් ලබා ගැනීම පිණිස නිරන්තරයෙන් හුවා දක්වන්නේ මෙම මුදල් හුවමාරු වෙළෙඳ ගනුදෙනු වන අතර ඒවායේ ගිවිසුම් කොන්දේසි මොනවා ද? යන්න තොරතුරු මහජනයා වෙත නිකුත් කිරීමක් හෝ විනිවිදභාවයක් නොමැත.

නිල විනිමය අනුපාතය සහ කළු කඩ වෙළෙඳපොළ විනිමය අනුපාතය

මේ දිනවල බැංකු පද්ධතිය තුළ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතු කොට කළු වෙළෙඳපොළ නමින් හැඳින්වෙන විවෘත වෙළෙඳපොළේ තැන් වෙළෙඳ ඩොලර් මිල රුපියල් 240 කට ආසන්න මට්ටමකට ඉහළ ගොස් ඇති බවට නිල නොවන තොරතුරු ප්‍රසිද්ධ වී ඇත. එහෙත්, එම වෙළෙඳපොළ තුළ ඩොලර් හිඟයක් පවතින බවට වාර්තා නොවේ. මහ බැංකු අධිකාරීන් මෑතක දී මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කරනු ලැබූවේ, එහි ගනුදෙනු වන ඩොලර් ප්‍රමාණය බිලියනයක් පමණ විය හැකි බව යි.

එහෙත්, විදේශ විනිමය පනත යටතේ අනුමත ගනුදෙනු කරුවන් සමඟ බැංකු විසින් ඩොලර් මුදල් ගනුදෙනු කිරීමේ දී භාවිතා කළ යුතු ඩොලර් මිල දී ගැනීමේ සහ ඩොලර් විකිණීමේ විනිමය අනුපාතයන් මහ බැංකුව විසින් මුදල් නීති පනතේ ප්‍රතිපාදන යටතේ මෑත දී නියම කොට ඇති බව වාර්තා වෙයි. නිල විනිමය වෙළෙඳපොළ ලෙස හැඳින්වෙන්නේ මෙම බැංකු වෙළෙඳපොළ යි.

ඒ අනුව, බැංකු විසින් භාවිතා කරන ඩොලර් මිල දී ගැනීමේ අනුපාතය රුපියල් 198.5008 ක් ලෙස ද, ඩොලර් විකිණීමේ අනුපාතය රුපියල් 202.9992 ක් ලෙස ද පසුගිය සැප්තැම්බර් මස ආරම්භයේ සිට මේ දක්වා මහ බැංකු වෙබ් අඩවියේ දක්වා ඇත. එනම්, ස්ථාවර හෝ පාලිත විනිමය අනුපාතයකි. ඊට අමතරව, විදේශ සේවකයින් විසින් රටට එවන ප්‍රේෂණ සඳහා ඩොලරයකට රුපියල් 10 ක් වැඩි පුර ලබා දීමට මහ බැංකුව විසින් නියම කොට ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ දැනට බහු විධ විනිමය අනුපාත ක්‍රමයක් පවතී.

එහෙත්, මෙම නිල විනිමය අනුපාතයන් වර්තමාන රට තුළ පවත්නා ඩොලර් වෙළෙඳපොළ සාධක අනුව තීරණය විය යුතු විනිමය අනුපාතයට වඩා ඉතා පහළ බවට පොදුවේ විශ්වාස කෙරේ. එය ඉහත දැක්වූ විවෘත වෙළෙඳපොළේ විනිමය අනුපාතය හා සැසඳීමේ දී මනාව පැහැදිළි වෙයි. එබැවින්, මෑතක සිට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය වෙත පවතින උග්‍ර ඩොලර් හිඟය හේතු කොට මහ බැංකුව විසින් නියම කොට ඇති විනිමය අනුපාතයන් අක්‍රීය වන බවට වාර්තා වෙයි. ඊට හේතුව, එම විනිමය අනුපාතයන් මත සිදු වන ගනුදෙනු විරල වීම යි. උදාහරණ ලෙස අවසර ලැබී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ වන කිරිපිටි, බෙහෙත් සහ තෙල් වැනි භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් සැපයීමට බැංකුවලට නොහැකි වී ඇති බවට වාර්තා පවතී.

විනිමය වෙළෙඳපොළ පාලන මිල ගණන්

එම නිල විනිමය අනුපාතයන් යනු වෙළෙඳපොළ මිලට වඩා පහළ මට්ටමේ පාලන මිල ගණන් ය. එය පසුගිය දා රටපුරා දක්නට ලැබුණ සහල්, සීනි, ගෑස්, පොල් වැනි භාණ්ඩයන් සඳහා රජය විසින් ක්‍රියාත්මක කළ සිල්ලර මිල පාලනයට සමාන වෙයි. ඒබැවින්, එම පාලිත විනිමය අනුපාතයන් පවත්වා ගෙන යා හැක්කේ එම පහළ මිල ගණන් හේතු කොට හට ගන්නා අතිරික්ත ඩොලර් ඉල්ලුම සැපිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මහ බැංකුව විසින් තම විදේශ මුදල් සංචිතයෙන් බැංකු වෙත සැපයේ නම් පමණි. එහෙත්, මහ බැංකුවේ විදේශ මුදල් සංචිතය ද ඉතා පහළ මට්ටමකට හීන වී ඇති බැවින් මහ බැංකුවෙන් බැංකු වෙත ඩොලර් සැපයීමක් සිදු නොවන බවට වාර්තා වෙයි. එසේම, මහ බැංකුවේ විදේශ මුදල් සංචිතය ඉදිරි කාලයේ දී සැලකිය යුතු ලෙස ස්ථායීව ඉහළ යන බවක් ද දැකිය නොහැකිය. ඊට හේතුව, ශ්‍රී ලංකාව වෙත සැලකිය යුතු විදේශ ණය සහ ආයෝජන ඉදිරියේ දී නොලැබෙන තත්ත්වයක් පවතින බැවිනි.

එබැවින්, මෙම පාලිත විනිමය/ඩොලර් මිල ගණන් පවත්වා ගැනීමට නොහැකි බැවින් බැංකු විනිමය අනුපාතයන් ඉදිරියේ දී ඉහළ යන බවට අපේක්ෂා කෙරේ. එය පසුගිය කාලයේ සතොස වැනි රාජ්‍ය වෙළෙඳ ආයතනවලින් පාලිත මිල ගණන්වලට භාණ්ඩ සැපයීමට නොහැකි වීමෙන් එම මිල පාලනයන් ඉවත් කිරීම හා සමාන ස්වභාවික වෙළෙඳපොළ ආර්ථික  සිද්ධියකි. එය ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල මෑත අතීතයේ දී අනුගමනය කළ විනිමය අනුපාත ප්‍රතිපත්තිවලින් මනාව පැහැදිලි වෙයි.

වර්තමාන විනිමය අනුපාත අපේක්ෂණයන් සහ සමපේක්ෂණය 

එබැවින්, ආර්ථිකයේ ඩොලර් සම්බන්ධ වන ව්‍යාපාරික කටයුතුවල නිරත වන සෑම පුද්ගලයකු විසින් නුදුරු අනාගතයේ දී ඩොලර් විනිමය අනුපාතය කොතරම් ප්‍රමාණයකින් ඉහළ යයි ද? යන්න පිළිබඳ විවිධ අපේක්ෂණයන් මත කටයුතු කරන බව දැකිය හැකිය. උදාහරහණ ලෙස ආනයන කරුවන්, අපනයන කරුවන්, බැංකු සහ මුදල් මාරුකරන්නන්, විදේශ ආයෝජකයන්, විදේශ රටවල සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දැක්විය හැකිය. එබැවින්, ශ්‍රී ලංකාව තුළ සිදු වන අභ්‍යන්තරික නිෂ්පාදන, පරිභෝජන, ආයෝජන සහ ඉතුරුම් යනා දී සියළු ආර්ථික කටයුතු කෙරෙහි ද මෙම අපේක්ෂණයන් බලපානු ඇත. සමහර කුටුම්බයන් විසින් භූමිතෙල් උඳුන් සහ දර ලිප් භාවිතයට මාරු වීම ද මෙම අපේක්ෂණයන්ගේ බලපෑමක් ලෙස දැක්විය හැකිය.

පසුගිය සතියේ රජය විසින් තෙල් මිල ඉහල දැමීම සිදු කරනු ලැබුවේ ඩොලර් ඉල්ලුම පහළ දමා විනිමය අනුපාතය කෙරෙහි ඇති අවප්‍රමාණ පීඩනය ලිහිල් කිරීම බව ප්‍රකාශ කොට ඇත. එය සත්‍යයක් නම්, තෙල් මිල ඉහළ යාම මගින් සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑමක් හට ගනු ඇත. එබැවින්, මේ දිනවල සමස්ත ආර්ථිකයම ඉදිරියේ දී ඩොලර් විනිමය අනුපාතය ඉහළ යන බවට දැඩි අපේක්ෂණයන් මත ක්‍රියාත්මක වන බව දැකිය හැකිය.

මෙවැනි අපේක්ෂණයන් මත ඉදිරියේ දී ලාභ අරමුණින් ක්‍රියා කරන පුද්ගලයන් සමපේක්ෂකයන් ලෙස හැඳින්වෙයි. සමපේක්ෂණය යනු විශේෂයෙන් මූල්‍ය වෙළෙඳපොළවල නිරන්තරයෙන් දක්නට ලැබෙන හැසිරීමකි. එය භාණ්ඩ වෙළෙඳපොළවල ද දක්නට ලැබේ. සමහර භාණ්ඩ මිල ගණන් ඉහළ යාමක් අපේක්ෂා කෙරෙන විට භාණ්ඩ හිඟයක් හට ගන්නේ සමපේක්ෂණය හේතුවෙනි. සමහර සමපේක්ෂක හැසිරීම් වෙළෙඳ අක්‍රමිකතාවන් ලෙස ද හංවඩු ගසන අවස්ථාවන් දැකිය හැකිය.

විනිමය වෙළෙඳ අක්‍රමිකතාවන්

උදාහරණ ලෙස විනිමය අනුපාතය ඉහළ යාම අපේක්ෂා කරමින් සමහර අපනයන කරුවන් සහ විදේශ ශ්‍රමිකයන් විසින් තම විදේශීය ආදායම් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම පමා කරන බවටත්, සමහර විදේශ ශ්‍රමිකයන් කළු කඩ/හවාලා වෙළෙඳපොළ හරහා ඉහළ විනිමය අනුපාතයන්ට තම ප්‍රේෂණයන් අළෙවි කරන බවටත් මහ බැංකුව විසින් චෝදනා කොට ඒ සඳහා විනිමය පාලන සහ වෙනත් නීති ක්‍රියාත්මක කිරීමට පෙළඹී ඇත.

උදාහරණ වශයෙන් එසේ විදේශ මුදල් ප්‍රේෂණයන් අළෙවි කටයුතු කිරීමේ නිරත වීම මුදල් විශුද්ධිකරණ අපරාධයක් ලෙස සලකා අධිකරණ ක්‍රියා මාර්ග  ආරම්භ කොට ඇති බව ප්‍රකාශ කොට ඇත. තවද, බැංකු හරහා එවන විදේශ මුදල් ප්‍රේෂණ සඳහා ඩොලරයකට රුපියල් 10 ක් වැඩිපුර ගෙවීමට ද මහ බැංකුව නියම කොට ඇත. එසේ විවිධ පිරිස් වෙත විවිධ විනිමය අනුපාතයන්/මිල ගණන් ප්‍රදානය කිරීම ද සාධාරණ වෙළෙඳපොළ ප්‍රමිතීන් අනුව විග්‍රහ කරන විට යම් ආකාරයක රාජ්‍ය වෙළෙඳ අක්‍රමිකතාවක් ලෙස හැඳින්විය හැකිය.

වෙළෙඳපොළ සංවේදී ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු සමහර වෙළෙඳපොළ ක්‍රියාශීලීන් වෙත කාන්දු වීමෙන් මූල්‍ය වෙළෙඳපොළවල සිදු වන සමපේක්ෂණ ක්‍රියාකාරකම් ඉතා ප්‍රචලිත කරුණකි. එබැවින්, මෑත දී එංගලන්ත මහ බැංකුව විසින් එහි මූල්‍ය ප්‍රතිපත්ති නිලධාරීන් විසින් වෙළෙඳපොළ ප්‍රවණතාවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ අරමුණින් මූල්‍ය/බැංකු නියෝජිතයන් සමඟ කෙරෙන රැස්වීම් තහනම් කරන ලදි. මහ බැංකු නිලධාරින් සහ මූල්‍ය/බැංකු නිලධාරීන් අතර කෙරෙන පෞද්ගලික දුරකතන සහ වෙනත් සාකච්ඡාවන් පටි ගත කිරීම සාමාන්‍ය ප්‍රමිතියකි.

ඇමෙරිකානු මහ බැංකුව විසින් මහ බැංකු ඉහළ නිලධාරීන් විසින් කෙරෙන වෙළෙඳපොළ මූල්‍ය ආයෝජනයන්හි පිළිබඳ විනය ප්‍රමිතීන් මාලාවක් මෑත දී  හඳුන්වා දුන්නේ ද එවැනි සංවේදී තොරතුරු කාන්දු වීම සහ ළබැඳියා ගැටුම පාලනය කිරිම සඳහා ය. එසේම, ලෙබනන මහ බැංකුව විසින් තම විදේශ සංචිතය වර්ධනය කර ගැනීම සඳහා බහුල ලෙස යොදා ගත් විදේශ මුදල් හුවමාරු වෙළෙඳ ගනුදෙනු පිළිබඳ ව ලෙබනන රාජ්‍ය විසින් වෝහාරික විගණනයක් ආරම්භ කරනු ලැබුවේ එහි සිදු වී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවන් පිළිබඳ චෝදනාවන් පරික්ෂා කිරීම සඳහා ය.

වර්තමානයේ නිල විනිමය වෙළෙඳපොළ තුළ සිදු වන සමපේක්ෂණය

අපනයන කරුවන්ගේ සහ විදේශ සේවකයන්ගේ සමපේක්ෂණ විනිමය ගනුදෙනු වැලැක්වීම සඳහා නීති පැන වුව ද, විනිමය අනුපාතය තව දුරටත් ඉදිරියේ දී ඉහළ යන බවට අපේක්ෂා කෙරෙමින් නිල විනිමය වෙළෙඳපොළ වන බැංකු අතර ද විවිධාකාරයේ සමපේක්ෂණ ගනුදෙනු කෙරෙන බව ද දැකිය හැකිය. මෙම අන්තර් බැංකු විනිමය ගනුදෙනු මහ බැංකුවේ විද්‍යුත් වෙළෙඳ පද්ධතිය හරහා සිදු වන බැවින් එම සෑම ගනුදෙනුවක්ම මහ බැංකුවේ නිරන්තර ආවේක්ෂණයට හසු වනු ඇත.

මෙම සමපේක්ෂණ විනිමය ගනුදෙනුවලට උදාහරණයක් වශයෙන් ECONOMYNEXT වෙබ් අඩවියේ දෙසැම්බර් 24 දින වාර්තා කරන ලද අන්තර් බැංකු මුදල් හුවමාරු ගනුදෙනු දැක්විය හැකිය. එම වාර්තාවට අනුව පහත තොරතුරු ඉදිරිපත් කෙරේ. වෙනත් වෙළෙඳපොළවල ද විවිධ අපේක්ෂණයන් සහ සමපේක්ෂණයන් සහිතව ඩොලර්-රුපියල් ගනුදෙනු කරනු ඇත.

  • අන්තර් බැංකු එක් මාසික ඩොලර් රුපියල් මුදල් හුවමාරු ගිවිසුම්

මෙහිදී ඩොලර් අළෙවිකාර බැංකුව විසින් ඩොලරයක් රුපියල් 200 කට තැන් විනිමය යටතේ සපයා, දින 30 ක් අවසානයේ එම ඩොලරය රුපියල් 192.25 කට නැවත ඩොලර් මිල දී ගත් බැංකුවෙන් මිල දී ගැනීමට එකඟ වෙයි.

මෙහි අදහස වනුයේ මෙම ඩොලර් අළෙවියෙන් දින 30 අවසානයේ සෑම ඩොලරයක් සඳහා රුපියල් 7.75 ක ඍජු ලාභයක් ඩොලර් අළෙවි බැංකුව විසින් ලබා ගන්නා බව යි. එනම්, ඉදිරි දින 30 තුළ ඩොලරයේ විනිමය අනුපාතයේ අපේක්ෂිත ඉහළ යාම රුපියල් 7.75 ක් බවත්, මුදල් හුවමාරු ගිවිසුම යටතේ ඩොලරය විකිණීම නිසා ඩොලර් අළෙවි බැංකුවට එය අහිමි වී ඇති බවත්, එබැවින් එම අලාභය ආවරණය සඳහා දින 30 අවසානයේ දී රුපියල් 7.75 ක වට්ටමක් මත එම බැංකුව විසින් ඩොලර් මිල දී ගත් බැංකුවෙන් නැවත ඩොලරය මිල දී ගන්නා බවත් ය.

එබැවින්, මෙම මුදල් හුවමාරු ගිවිසුම අනුව ඩොලරය දින 30 අවසානයේ දී අඩුම වශයෙන් රුපියල් 7.75 කින් හෝ වත්මන් තැන් විනිමය අනුපාතයට සාපේක්ෂව 3.875% කින් ඉහළ යන බවට (රුපියල අවප්‍රමාණය වන බවට) අපේක්ෂා කෙරේ. එබැවින්, මෙම ගනුදෙනුව අනුව දින 30 අවසානයේ ඩොලරය සඳහා බැංකු වෙළෙඳපොළ තුළ අපේක්ෂිත ඉදිරි විනිමය අනුපාතය රුපියල් 207.75 කි. මෙහි අපේක්ෂිත වාර්ෂික ඩොලර් ප්‍රතිප්‍රමාණය හෝ ඉහළ යාම 46.5% කි. එනම්, මාස 12 ක් අවසානයේ ඩොලරයක් රුපියල් 293 ක් වන බව යි.

  • අන්තර් බැංකු මාස දෙකක ඩොලර් රුපියල් මුදල් හුවමාරු ගිවිසුම්

එම මාධ්‍ය වාර්තාවට අනුව මාස දෙකක පරිණත කාලයක් සහිත මුදල් හුවමාරු ගිවිසුම්වල දින 60 අවසානයේ දී ඩොලර් අළෙවි බැංකුව විසින් ඩොලරයක් නැවත මිල දී ගන්නා මිල රුපියල් 186 ක් බව දැක්වෙයි. එනම්, රුපියල් 14 ක වට්ටමකි.

මෙහි අදහස වනුයේ දින 60 ක කාලයක් තුළ ඩොලරයේ විනිමය අනුපාතය රුපියල් 214 ක් ලෙස 7% කින් ප්‍රතිප්‍රමාණය (රුපියල අවප්‍රමාණය) වන බව යි. එනම්, අපේෂිත වාර්ෂික ප්‍රතිප්‍රමාණය 42% කි. එනම්, මාස 12 ක් අවසානයේ ඩොලරයක් රුපියල් 284 ක් වන බව යි.

  • ඉදිරි විනිමය අනුපාතයන් තීරණය කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය

විදේශ විනිමය අනුපාත න්‍යායන් ට අනුව සාමාන්‍යයෙන් විදේශ මුදල් වෙළෙඳපොළවල ඉදිරි විනිමය අනුපාතයන් තීරණය වැන්නේ අදාළ මුදල් දෙකේ පොලී අනුපාතයන්ගේ පරතරය මතය. මෙය ආවරණිත පොලී සාම්‍ය න්‍යාය ලෙස ප්‍රචලිතය.

එම න්‍යායට අනුව මුදල් දෙකක් අතර ඉදිරි විනිමය අනුපාතය තීරණය වන්නේ එම මුදල් දෙකේ අවදානම් රහිත පොලී අනුපාතයන් අතර පරතරය වත්මන් තැන් විනිමය අනුපාතයට එකතු කිරීමෙන් බව දැක්වෙයි. මෙහිදී, ඉහළ පොලී අනුපාතයක් සහිත මුදලේ ඉදිරි විනිමය අනුපාතය වත්මන් තැන් විනිමය අනුපාතයට වට්ටමක් සහිතව තීරණය වනු ඇත. එම වට්ටම ආසන්න වශයෙන් පොලී අනුපාත පරතරයට සමාන වෙයි.

එහි අදහස වනුයේ, අනෙක් මුදලේ ඉදිරි විනිමය අනුපාතය එම ප්‍රමාණයෙන් අධි අගයක් හෝ ඉහළ අගයක් ගන්නා බව යි. මෙය ගණනය කිරීම සඳහා මුදල් අදාළ රටවල් දෙකේ රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන්ගේ පරතරය භාවිතා කෙරේ. උදාහරණ ලෙස මේ දිනවල වාර්ෂික ශ්‍රී ලංකා භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 8.02% ක් ද, වාර්ෂික ඇමෙරිකානු භාණ්ඩාගාර සුරැකුම්පත් අනුපාතය 0.25% ක් ද ලෙස වාර්තා වී ඇත.

ඒ අනුව, ඩොලරයේ වාර්ෂික (මාස 12 අවසානයේ) ඉදිරි විනිමය අනුපාතය වත්මන් තැන් අනුපාතයට වඩා 7.77% (පොලී අනුපාත පරතරය) කින් ඉහළ යනු ඇත. එනම්, ඩොලරයේ වත්මන් තැන් විනිමය අනුපාතය රුපියල් 200 නම්, එක් අවුරුදු ඉදිරි විනිමය අනුපාතය රුපියල් 215.54 කි.

එහෙත්, ඉහත දැක්වූ අන්තර් බැංකු මුදල් හුවමාරු ගනුදෙනුවේ අපේක්ෂිත එක් මාසික ඉදිරි විනිමය අනුපාතය අනුව අපේක්ෂිත ඉදිරි වාර්ෂික විනිමය අනුපාතය වන්නේ රුපියල් 293 කි. එනම්, ඉහත දැක්වූ ඉදිරි විනිමය අනුපාත න්‍යාය අනුව තීරණය විය යුතු ඉදිරි වාර්ෂික විනිමය අනුපාතයට වඩා රුපියල් 77.46 ක ඉහළ යාමකි.

මීට හේතුව, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඩොලර් මුදල් වෙළෙඳපොළ තුළ පවතින අධි සමපේක්ෂණ වෙළෙඳ හැසිරීම යි. එහෙත්, ඉහත දැක්වූ ආවරණිත පොලී සාම්‍ය න්‍යාය තුළින් නියෝජනය වන්නේ විනිමය අවදානම ආවරණය කෙරෙන ඉදිරි වෙළෙඳපොළ සමතුලිත මට්ටමේ තීරණය වන ඉදිරි විනිමය අනුපාතය යි.

එහෙත්, ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින්නේ අධි අපේක්ෂණ විනිමය වෙළෙඳපොළකි. ඒ බව ඉහත දැක්වූ නිල අන්තර් බැංකු මුදල් හුවමාරු ගනුදෙනුවලින් මනාව පැහැදිලි වෙයි. එබැවින්, එම අධි අපේක්ෂණය පොලී අනුපාත පරතරයට වඩා කිහිප ගුණයක් විශාල වෙයි. එය එක් පුද්ගලයකු විසින් තීරණය කෙරෙන දෙයක් නො වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම් බලවේග අනුව අදෘශ්‍යමාන ලෙස තීරණය නු ඇත.

මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් හිඟකම අර්බුදය විසඳීම සඳහා ගනු ලබන බවට වාර්තා වන වෙනත් ප්‍රතිපත්ති

ඉහත දැක්වූ විනිමය පාලන නීතිවලට අමතරව මහ බැංකුව විසින් වෙනත් ප්‍රතිපත්ති කිහිපයක් ගන්නා බව වාර්තා වී ඇත.

පළමුව, විදේශ මූල්‍ය ආයතනවලින් රජය වෙත කෙටි කාලීන විදේශ මුදල් හුවමාරු සහ ණය හරහා ඩොලර් ලබා ගැනීම. එමගින්, දැනට ඩොලර් මිලියන 1,500 ක පමණ පහළ මට්ටමකට හීන වී ඇති මහ බැංකුවේ විදේශ මුදල් සංචිතය මෙම දෙසැම්බර් අවසානයේ දී ඩොලර් මිලියන 3,500 ක් පමණ දක්වා ඉහළ යන බවට නිල පුරෝකතනයන් ඉදිරිපත් වී ඇත. එහෙත්, එමගින් මහජනයාගේ විනිමය අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා වත්මන් පාලිත විනිමය අනුපාතය මත ඩොලර් නිකුත් කිරීම හෝ පවතින ඩොලර් අර්බුදය විසඳීම සඳහා එම සංචිතයේ ප්‍රමාණවත්භාවය පිළිබඳ ව කිසිම සඳහනක් නොදැක්වෙයි.

දෙවනුව, පසුගිය දෙසැම්බර් මස 21 දින තෙල් මිල ඉහළ දැමීමට රජයට නිර්දේශ කිරීම. මෙය මහ බැංකුව විසින් මුදල් නීති පනතේ 68(1)(ආ) වගන්තිය ප්‍රකාරව මුදල් ඇමති වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශයක් විය යුතුය. එසේ තෙල් මිල අධික ලෙස ඉහළ දැමීම මගින් බලාපොරොත්තු වන අරමුණු දෙකක් දක්වා ඇත.

පළමු අරමුණ වන්නේ තෙල් පරිභෝජනය පහළ දැමීම තුළින් තෙල් ආනයනය අඩු කොට විදේශ විනිමය ඉතිරි කර ගැනීම යි. එහෙත්, මූලික ආර්ථික විද්‍යා සිසුන් පමණක් නොව සැවොම දන්නා කරුණක් වන්නේ තෙල්වල මිල ඉල්ලුම් නම්‍යතාවය හෙවත් තෙල් මිල වෙනස් වීමට තෙල් ඉල්ලුම දක්වන සංවේදීතාවය ඉතා සුළු බව යි. ඊට හේතුව, ආර්ථිකය සහ පොදුජන ජීවිතය තෙල් පරිභෝජනය මත අධික ලෙස රැඳෙන බැවිනි. දුම්වැටි සහ මත්පැන් සඳහා වන ඉල්ලුම ද එවැනි ඉතා අඩු නම්‍යතාවයක් සහිත භාණ්ඩ බව බොහෝ දෙනා දනී. මේ දිනවල ගෝලීය උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වන්නේ ගෝලීය තෙල් මිල ගණන් ඉහළ යාම යි. මහ බැංකුව විසින් පිළි ගන්නා පරිදි තෙල් මිල ඉහළ යන විට තෙල් පරිභෝජනය පහළ යයි නම්, මෙසේ ගෝලීය උද්ධමනය දිනෙන් දින ඉහළ යා නොහැකිය. මෙම ආකල්පය මත අතීතයේ ද කිහිප වරක් මෙසේ රජය විසින් තෙල් මිල ඉහළ දැමුව ද, ඉන් විදේශ විනිමය ඉතිරි කර ගෙන මුදල් අවප්‍රමාණය පාලනය කිරීමට නොහැකි විය.

දෙවැනි අරමුණ වන්නේ තෙල් මිල ඉහළ දැමීම මගින් ලංකා තෙල් සංස්ථාවේ ආදායම ඉහළ නංවා බැංකු වෙත ගෙවීමට ඇති අධික ණය තොගය පියවීමට ක්‍රියා කිරීම යි. මෙම අරමුණ මත මීට පෙර වතාවේ ද තෙල් මිල ඉහළ නංවන ලදි.  එහෙත්, ලංකා තෙල් සංස්ථාවේ බැංකු ණය තොගය ගෙවීමට මෙය පහසුවක් විය හැකි වුවත්, එම ණය බහුතරය ඩොලර් ණය වන බැවින් තෙල් මිල ගණන් ඉහළ දැමීම ඊට විසඳුමක් නොවේ.

එබැවින්, තෙල් මිල ගණන් ඉහළ දැමීම දැනට පවතින උග්‍ර ගෙවුම් ශේෂ හිඟය සහ එමගින් හට ගෙන ඇති ඩොලර් හිඟයට විසඳුමක් නොවේ. ඊට විසඳුම ලෙස ආර්ථික විද්‍යවේ නිර්දේශ කෙරෙන්නේ මුදල් අවප්‍රමාණය හෙවත් විනිමය අනුපාතය ඉහළ යාමට ඉඩ දීමයි යි.

ඩොලර් හිඟකම අර්බුදය විසඳීමට සහ මුදල් අවප්‍රමාණය වැලැක්වීමට ඉහත ප්‍රතිපත්ති මගින් මහ බැංකුවට හැකියා පවතී ද?

එය නොහැකි බව දැනටම පැහැදිලිය. ඊට හේතුව, මුදල් අවප්‍රමාණය යනු ඩොලර් හිඟය සහ සාර්ව ආර්ථික කළමනාකරණ කාර්යසාධනය හා බැඳි සිද්ධියක් වන බැවිනි. එබැවින්, ආර්ථිකයට සැපයෙන ඩොලර් ප්‍රමාණය ඉදිරි මාස කිහිපය තුළ අඩුම වශයෙන් ඩොලර් බිලියන 6 කින් පමණ ඉහළ දමා එය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුය.

එහෙත්, මහ බැංකුවට ඩොලර් මුද්‍රණය කිරීමට හැකියාව නොමැත. ඩොලර් මුදල් මුද්‍රණ හැකියාව පවතින්නේ ඇමෙරිකානු මහ බැංකුවට වන අතර ඩොලර් මුදලේ විනිමය අනුපාතයන් පාලනය කිරීමට ඇමෙරිකානු මහ බැංකුවටවත් හැකියාවක් හෝ වුවමනාවක් නොමැත. එබැවින්, ඩොලරයේ විනිමය අනුපාතය වෙළෙඳපොළ මගින් තීරණය වන අතර එයට මැදිහත් වීම ඇමෙරිකානු මූල්‍ය ප්‍රතිපත්තියේ අරමුණක් නොවේ.

එසේ නම්, ශ්‍රී ලංකාවේ ඩොලර් විනිමය අනුපාතය මහ බැංකුව විසින් නියම කොට ඇති මට්ටමේ පාලනය කිරීම සඳහා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ ගත හැකි පියවරක් වන්නේ ආර්ථිකයේ රුපියල් මුදල් සංසරණය හෝ මුද්‍රණය විශාල වශයෙන් කපා හැරීම යි. එමගින්, ආනයන වැනි ඩොලර් ඉල්ලුම සඳහා වෙළෙඳපොළේ පවතින රුපියල් මුදල් ප්‍රමාණය හිඟ වීමෙන්, ඩොලර් ඉල්ලුම විශාල ලෙස පහළ ගොස් විනිමය අනුපාත/මුදල් අවප්‍රමාණ පීඩනය හෝ අපේක්ෂණයන් පහළ යනු ඇත. එහෙත්, මහ බැංකුවට එවැනි පියවරක් ගත නොහැක්කේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන ව්‍යවස්ථාපිත අරමුණක් වන්නේ රටේ මිල සහ ආර්ථික ස්ථායිතාවය පවත්වා ගැනීම වන බැවිනි. එසේ මුදල් මුද්‍රණය කපා හැරිය හොත්, ආර්ථිකයේ පොලී අනුපාතයන් ඉහළ ගොස් අධික ණය හිඟයක් හට ගෙන සමාහාර ඉල්ලුම කඩා වැටී ආර්ථිකය මහා අවපාතයකට මුහුණ දෙනු ඇත.

මීට උදාහරණයක් ලෙස පසුගිය අගෝස්තු මස 18 දින මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 0.50% කින් සහ බැංකු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් ඉහළ දැමීම හේතු කොට දැනටමත් බැංකු පද්ධතියේ අරමුදල් හිඟයක් හට ගැනීමත්, කෙටි කාලීන පොලී අනුපාතයන් දැඩි ලෙස ඉහළ යාමත් දැක්විය හැකිය. ඒ අනුව, බැංකු පද්ධතියේ දෛනික ද්‍රවශීලතාවය අගෝස්තු 18 දිනට පෙර සතියේ රුපියල් බිලියන 38 ක සාමාන්‍ය අතිරික්තයක සිට පසුගිය සතියේ රුපියල් බිලියන 377 ක සාමාන්‍ය හිඟයක් දක්වා දැඩි ලෙස මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ පහත වැටි ඇත.

එබැවින්, මහ බැංකුව විසින් පසුගිය සතියේ රුපියල් බිලියන 2,305 ක පමණ එක් දින මුළු ණය ප්‍රමාණයක් (රුපියල් බිලියන 461 ක දෛනික සාමාන්‍යාය) 6% ක පොලී අනුපාතයටත්, දෙසැම්බර් 23 දින රුපියල් බිලියන 100 ක පමණ ණය ප්‍රමාණයක් දින 60 ක ප්‍රතිවිකුණුම් ගිවිසුම් වෙන්දේසි හරහා 7%-7.22% පොලී අනුපාතයටත් බැංකු පද්ධතිය වෙත ලබා දීම සිදු විය. එසේම, මෙම කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 2.7% කින් ද, ප්‍රමුඛ ණය පොලී අනුපාතය 2.52% කින් ද පමණ ඉහළ ගොස් ඇත. එමගින්, ආර්ථිකය පවත්වා ගෙන යන රජය සහ විශාල ව්‍යාපාරික අංශයට නව ණය ලබා ගැනීමත්, ණය ආපසු ගෙවීමත් කෙරෙහි අරමුදල් හිඟයක් හට ගෙන ඇති බව පැහැදිලිය.

එසේම, සාමාන්‍ය කාලවල පවා වෙළෙඳපොළ පොලී අනුපාතයන් මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ පාලනය කර ගැනීමට හැකියාවක් මහ බැංකුවට නොමැති බව මූල්‍ය දත්ත දෙස බලන විට පැහැදිලිය. ඊට ප්‍රධාන හේතුව වන්නේ රජය විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා විශාල වශයෙන් බැංකු පද්ධතියෙන් ණය ගැනීමට සිදු වීම යි. එබැවින්, මුදල් මුද්‍රණය සහ මුදල් සැපයුම ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මත තීරණය වනු ඇත. එබැවින්, ඩොලර් හිඟය විසඳීමට මහ බැංකුව විසින් ප්‍රකාශ කරන සම්ප්‍රදායික ප්‍රතිපත්තිවලට හැකියාවක් නොමැත.

බැංකු විසින් අපනයන සහ විදේශ ප්‍රේෂණ ගනුදෙනු කරුවන්ගෙන් මිල දී ගන්නා ඩොලර් ප්‍රමාණයෙන් කොටසක් (25% ක්) දිනපතා හෝ සතිපතා මහ බැංකුව වෙත අළෙවි කරන ලෙස බැංකුවලට අණ කිරීමෙන් ආර්ථිකයට හෝ බැංකු පද්ධතියට ලැබෙන ඩොලර් ප්‍රමාණයේ ඉහළ යාමක් සිදු නොවේ. ඉන් සිදු වන්නේ මහ බැංකුවේ නිල විදේශ සංචිතය තරමක් ඉහළ යාම පමණි. ඉන් ඉහත දැක්වූ බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වගකීම්වල පහළ යාමක් සිදු නොවේ. දැනටමත් රටට ලැබෙන එවැනි විදේශ ආදායම් පහළ ගොස් ඇති බැවින් මෙම ප්‍රතිපත්තිය තුළින් මහ බැංකු විදේශ සංචිතය වාසිදායක ලෙස ඉහළ නැංවීමට හැකියාවක් නොමැත. 

එමගින් සිදු වන්නේ මහජනයාගේ හදිසි විදේශ විනිමය අවශ්‍යතාවන් සැපිරීම සඳහා බැංකු වෙත පවතින ඩොලර් ප්‍රමාණය තවත් පහළ ගොස් මහජනතාව තවත් පීඩනයට පත් කිරීම පමණි. එසේම, ආර්ථිකයේ අවදානම් දරන බැංකු වැනි ව්‍යාපාරික අංශ වෙත පවතින විදේශ විනිමය අරමුදල් මෙසේ මහ බැංකුව වෙත ලබා ගැනීම ව්‍යවස්ථාපිත නොවන ක්‍රියාවකි (අදාළ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් ප්‍රකාශ කොට නැත). එබැවින්, මහ බැංකුව විසින් කළ යුත්තේ ආර්ථිකයේ ඩොලර් ඉපයුම් පරිමාව වර්ධනය කිරීමට දායක වන විශේෂ ණය/මූල්‍ය උත්තේජන ප්‍රතිපත්ති තම ව්‍යවස්ථාපිත මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ කඩිනමින් ක්‍රියාත්මක කිරීම යි.

එබැවින්, විනිමය අනුපාතය කෘතීම ලෙස නීති මගින් රුපියල් 200 මට්ටමේ පවත්වා ගෙන යාමේ එකම ප්‍රයෝජනය වන්නේ, රජයේ විදේශ ණය සේවාකරණය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අඩු මිලකට මහ බැංකුවේ විදේශ මුදල් සංචිතයෙන් ලබා දීමෙන් රජයේ දේශීය මුදල් අයවැය හිඟයට යම් සහනයක් සැපයීම පමණි. එම විනිමය අනුපාතය යටතේ වෙළෙඳපොළට ඩොලර් නොසැපයීම හේතු කොට මහ බැංකුව සහ බැංකු විසින් අදාළ විදේශ විනිමය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් උල්ලංඝණය කරමින් පවතී.

මෙසේ ප්‍රධාන ආර්ථික මූලධර්ම සහ පරිචයට එරෙහිව මහ බැංකුව විසින් ඩොලරයේ විනිමය අනුපාතය රුපියල් 200 යේ බලයෙන් තබා ගන්නේ මහ බැංකුව විසින් කළමනාකරණය කෙරෙන රජයේ විදේශ ණය ආපසු ගෙවීමේ දේශීය පිරිවැය පහළ මට්ටමක පාලනය කිරීමේ අරමුණින් නම්, ඊට හොඳම විකල්ප ප්‍රතිපත්තිය වන්නේ මූල්‍ය නීති පනතේ ප්‍රතිපාදන අනුව විනිමය අනුපාතය වෙළෙඳපොළේ තීරණය වීමට ඉඩ හැර (රජය විසින් මෑතදී භාණ්ඩ පාලන මිල ගණන් ඉවත් කළා මෙන්), එම ණය ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රුපියල් 200 මිලට රාජ්‍ය ණය කළමනාකරු ලෙස මහ බැංකුවේ විදේශ සංචිතයෙන් සැපයීම යි. මහ බැංකු විදේශ සංචිතයට අරමුදල් ලැබෙන්නේ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ දක්ෂතාවයෙන් නොව රජයේ විදේශ ණය හරහා වන බැවින් රාජ්‍ය විදේශ ණය ආපසු ගෙවිම සඳහා එම විදේශ සංචිතය වෙන් කොට තැබීම වඩාත් යෝග්‍ය ප්‍රතිපත්තිය වෙයි. එවිට, දැනටමත් මහ බැංකුවේ විදේශ විනිමය ප්‍රතිපත්තියෙන් විනාශ වී ඇති ආර්ථිකය වෙළෙඳපොළ ඉල්ලුම් හා සැපයුම් බලවේගයන් හරහා ක්‍රමයෙන් ගොඩ නැගෙනු ඇත. මෙම ප්‍රතිපත්තිය ගැන රජය සහ රාජ්‍ය ණය ආපසු ගෙවීමේ වැදගත්කම ගැන සිතන කිසිවෙකු මැසිවිලි නොගනු ඇත.

එබැවින්, එම අක්‍රීය විනිමය අනුපාතයන් හුවා දක්වමින් මහ බැංකුවේ ආර්ථික වාර්තාවල ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතයේ ස්ථායිතාවය පවතින බව දැක්වීමත්,  සාර්ව ආර්ථික කළමනාකරණය සාර්ථකව සිදු කොට ඇති බවට විනිමය අනුපාත ස්ථායිතාවයෙන් තහවුරු වන බවට සමහර දේශපාලනික නායකයන් විසින් ප්‍රකාශ කිරීමත් හාස්‍ය ජනක වෙයි.

මූල්‍ය අර්බුද අවදානම

එබැවින්, අදාළ ප්‍රතිපත්ති අධිකාරීන් වන මුදල් මණ්ඩලය/මහ බැංකුව සහ මුදල් ඇමති විසින් මෙම ඩොලර් හිඟය සහ විනිමය අනුපාත ප්‍රශ්නය විසඳීම සඳහා නිසි ව්‍යවස්ථාපිත ප්‍රතිපත්ති කෙටි හා මැදි කාලීන පදනමක් මත ඉක්මනින් ක්‍රියාත්මක නොකළ හොත්, ආර්ථිකය තුළ රුපියලේ විදේශීය වටිනාකම මෙන්ම දේශීය වටිනාකම කඩා වැටීමට දඑමගින් රුපියල කෙරෙහි විශ්වාසය බිඳ වැටී වෙනත් රටවල සිදු වූ ආකාරයට ආර්ථිකය නිල මූල්‍ය පද්ධතියෙන් පිට ඩොලර්කරණය වීමට ද හැකියාව පවතී. ඊට හේතුව, මහජනයා විසින් මුදල් ලෙස ඩොලර් කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමට පෙළඹීම යි.  එබැවින්, වත්මන් උග්‍ර ඩොලර් හිඟය යනු මහ බැංකුව විසින් පවසන පරිදි මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ අධිකරණ ක්‍රියා මාර්ගයන් තුළින් විසඳිය හැකි සාර්ව ආර්ථික ගැටළුවක් නොවේ.

එසේම, බැංකු පද්ධතිය තුළ පවතින අධි ශුද්ධ විදේශ වගකීම් තත්ත්වය (විදේශ වත්කම්වලට වඩා විදේශ වගකීම් ඉහළ වීම) හේතු කොට බැංකු සහ මූල්‍ය අර්බුදයක් හට ගැනීමේ අවදානමක් ද පවතී. 2021 ඔක්තෝබර් මස අවසාන් වන විට බැංකු ශුද්ධ විදේශ වගකීම ප්‍රමාණය ඩොලර් මිලියන 4,167 ක් (රුපියල් බිලියන 836.6) පමණ වූ අතර මහ බැංකු සංචිතයේ ශුද්ධ විදේශ වගකීම ප්‍රමාණය ඩොලර් මිලියන 1,258 ක් (රුපියල් බිලියන 252.6) විය. එබැවින්, ඉදිරියේ බැංකු පද්ධතිය මුහුණ දිය හැකි ඩොලර් අර්බුදයක් විසඳීම සඳහා තම විදේශ සංචිතයෙන් ඩොලර් සපයා දීමට මහ බැංකුවට හැකියාවක් නොමැත. ඒ සඳහා රජයට හෝ මහ බැංකුවට හදිසි විදේශ ණය ගැනීමට සිදු වෙයි. එය මෙම අවස්ථාවේ පහසු කරුණක් නොවන බව මහ බැංකුව විසින් දැනටමත් මුහුණ දෙන තම විදේශ සංචිත හීන වීමේ අර්බුදයෙන් මනාව පැහැදිලි වෙයි.

බැංකුවල රුපියල් වත්කම් සහ වගකීම් අතර පවතින පරිණත කාල අසමතාවය සැලකීමේ දී සාමාන්‍යයෙන් තැන්පතු කෙටි කාලීන වගකීම්වලින් මැදි හා දිගු කාලීන වත්කම් මූල්‍යකරණය කොට ඇති බැවින් ද්‍රවශීල අවදානම ඉහළ මට්ටමක පවතී. මුලින් දැක්වූ පරිදි සාමාන්‍ය කාලවල හට ගන්නා එක් දින ද්‍රවශීල අරමුදල් හිඟයක් පියවා ගැනීමට රාජ්‍ය සුරැකුම්පත් ඇපය මත මහ බැංකුවෙන් ණය ලබා ගැනීමට බැංකුවලට හැකියාව පැවතිය ද, මූල්‍ය අර්බුදයක් හමුවේ තැන්පතු ආපසු ගැනීමේ දී හට ගන්නා ද්‍රවශීල හිඟයක් පියවීම සඳහා මහ බැංකුවෙන් විශාල වශයෙන් ණය ගැනීමට අවශ්‍ය ඇප සුරැකුම් ලබා දීමට බැංකුවලට හැකියාව නොමැත.

ලංකා තෙල් සංස්ථාවේ අධික ණය තොගය හේතු කොට බැංකු අර්බුදයක් හට ගැනීමේ අවදානමක් පවතින බව රජය විසින් ද මීට පෙර තෙල් මිල ඉහළ දැමීමේ දී ප්‍රකාශනයක් කරන ලදි. එසේ විදේශ විනිමය හිඟය සහ මුදල/විනිමය අනුපාතය අවප්‍රමාණයට ඉඩ නොදී කෘතිමව අධි අගයක පාලනය  කිරීම හේතු කොට මූල්‍ය අර්බුදයක් හට ගැනීමේ අවදානම පිළිබඳ ව නැගෙනහිර ආසියාව ඇතුළු බොහෝ රටවලින් අත් දැකීම් පවතින අතර එසේ මූල්‍ය අර්බුදයක් ඇති විය හැකි අවස්ථාව හෝ එය වැලැක්විමට ගත හැකි සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති උපකරණයන් පිළිබඳ ව පුරෝකතනය කිරීමේ හැකියාවක් මහ බැංකුවලට නොමැති බව මෙතෙක් සිදු වී ඇති ගෝලීය මූල්‍ය අර්බුදයන්ගෙන් මනාව පැහැදිලි වෙයි.

ඊට හේතුව, මූල්‍ය පද්ධතියක් සුමට ලෙස ක්‍රියාත්මක වන්නේ එහි බැංකුවල සහ ආයෝජකයන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ව පවතින මහජන විශ්වාසය මත වන අතර එය බිඳී යන අවස්ථාව කුමක් ද? සහ කෙසේ ද? යන්න වේලාසනින් හඳුනා ගැනීමට මෙතෙක් මූල්‍ය අර්බුදයන් හට ගත් කිසිම රටක මහ බැංකුවට හැකි වී නොමැත. සාමාන්‍යයෙන් නීති විරෝධී හෝ අධි අවදානම්කාරී මූල්‍ය ආයතන සහ ආයෝජනයන් කඩා වැටීම මූල්‍ය අර්බුදයන්ගේ බීජය වන අතර එය නිල බැංකු සහ මූල්‍ය වෙළෙඳපොළ පද්ධතිය වෙත ක්ෂණිකව පැතිරී යනු ඇත. එමගින් ආර්ථිකය පුරා හට ගන්නා අරමුදල් සහ ණය හිඟය හේතු කොට රාජ්‍ය ණය පැහැර හැරීමේ අර්බුදයක් හෝ රාජ්‍ය මූල්‍ය අර්බුදයක් ද හට ගැනීමේ අවදානම පවතී. මහ බැංකුවල සාර්ව විචක්ෂණ විශේෂඥයන්  විසින් කලින් කලට ආතති පරික්ෂණයන් කිරීම තුළින් මෙවැනි මූල්‍ය/බැංකු පද්ධති අවදානම් හඳුනා ගන්නා බව ප්‍රකාශ කළ ද, ඒවා හුදෙක් පරිගණක දත්ත අභ්‍යාසයන් වන අතර මෙවැනි මහජන විශ්වාසය කඩා වැටීමක් හදිසියේ හට ගන්නා ආකාරය පිළිබඳ දත්ත එම පරීක්ෂණ ආකෘතිවල දක්නට නොමැත. එවැනි මූල්‍ය අර්බුදයක් හට ගැනීම පසුගිය දිනවල ඉන්ධන පිරවුම්හල් අවට පෝලිම් හට ගැනීමට සමාන වෙයි.

රටේ අවාසනාවකට එවැනි මූල්‍ය අර්බුදයක් හට ගත හොත් ආර්ථිකය සහ ජීවන තත්ත්වයේ කඩා වැටීම ඉතා රුදුරු වන අතර ඉන් ගොඩ ඒමට අඩු වශයෙන් දශකයක පමණ කාලයක් ගත වනු ඇත. උදාහරණ ලෙස 2008 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගම්වල හට ගත් අර්බුදයෙන් එම සමාගම් සහ තැන්පතු හිමියන්ට තවමත් ගොඩ ඒමට නොහැකි වී ඇති බව මෑත කාලීන මහ බැංකු වාර්තාවලින් අනාවරණය වෙයි. එසේම, කොතරම් දත්ත පැවතියත් වත්මන් ඩොලර් අර්බුදය පුරෝකතනය කොට එය වැලැක්විමට ක්‍රියා කිරීමට මහ බැංකුවට නොහැකි වී ඇති බව වත්මන් ආර්ථික තත්ත්වය සාක්ෂි දරයි.

මූල්‍ය අර්බුදයක් හේතු කොට තැන්පතු හිමියන්ගේ සහ ආයෝජකයන්ගේ මුදල් අහිමි වීම මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහා නව ණය නොලැබීම හේතු කොට නිෂ්පාදනය සහ සේවා නියුක්තිය කඩා වැටෙනු ඇත. එබැවින්, මූල්‍ය අර්බුදය විසඳීමට ද මහ බැංකුවට නොහැකි අතර ඒ සඳහා ක්‍රියා කිරීම ද රජයේ කාර්යයක් සහ වගකීමක් වනු ඇත.

එබැවින්, ඉදිරියේ දී ජීවන මට්ටම තවත් කඩා වැටීමේ අවදානමෙන් පොදුජනයා බේරා ගැනීම පිණිස ප්‍රතිපත්ති සංතුෂ්ටිය රෝගයෙන් මිදී දැනටමත් පවතින ආර්ථික කළමනාකරණ ව්‍යවස්ථාපිත බලතල උපරිම ලෙස භාවිතා කොට කෙටි කාලයක් තුළ රටට අඩුම වශයෙන් ඩොලර් බිලියන 6 ක පමණ විදේශ ණය සහ ආයෝජන සපයා ගැනීමට සමත් වන හදිසි ආර්ථික ආපදා කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම අදාළ ප්‍රතිපත්ති අධිකාරීන්ගේ ව්‍යවස්ථාපිත වගකීම වෙයි.

(විනිමය අනුපාත ප්‍රතිපත්ති පිළිබඳ වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශනයක් වන මා විසින් රචිත "ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව" ග්‍රන්ථය බලන්න. වත්මන් ඩොලර් අර්බුදයට විසඳුම් ලෙස මා විසින් කෙටියෙන් ඉදිරිපත් කොට ඇති නව ප්‍රතිපත්තිමය අදහස් මෙම වෙබ් අඩවියේ පළ කොට ඇති ශ්‍රී ලංකාවේ වත්මන් විදේශ මුදල් වසංගතය, රටකට විදේශ මුදල් සංචිතයක් අවශ්‍ය ඇයි? සහ Foreign Currency Pandemic in Sri Lanka යන ලිපි බලන්න.)

(මෙම ලිපිය සමකාලීන ආර්ථික ප්‍රවණතාවන් සහ ප්‍රතිපත්ති පිළිබඳ ව උනන්දුවක් දක්වන ආර්ථික විද්‍යා සිසුන් සහ ගුරුවරුන් සහ වෘත්තීය වේදීන්ගේ ප්‍රයෝජනය සඳහා සකසා ඇත.)

පි සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි