ශ්‍රී ලංකාවේ වත්මන් විදේශ මුදල් වසංගතය ගැන ගොළු ආර්ථික ඉලක්කම් කථා කරයි. එය යථානුකූලව අවබෝධ කර ගෙන තීරණ ගැනීම ආර්ථික ප්‍රතිපත්ති බලධාරීන් සතු කාර්යයකි.

 

මේ දිනවල උග්‍ර වී ඇති විදේශ මුදල් හිඟය සහ ඒ හේතු කොට පොදු ජනතාව මුහුණ දෙන අධි භාණ්ඩ හිඟය, රැකියා හිඟය, ආදායම් මාර්ග කඩා වැටීම සහ ඉහළ යන උද්ධමනය වැනි ජීවන ගැටළු පිළිබඳ විවිධ විග්‍රහයන් දැකිය හැකිය. එහෙත්, බොහෝ විග්‍රහයන් තුළින් ප්‍රශ්නයන් සෝද සෝදා මඩේ දැමීම පමණක් සිදු කෙරෙන අතර විදේශ මුදල් වසංගතය මර්දනය කිරීම සඳහා සත්‍ය විෂ බීජය සෙවීමක් සිදු නොකෙරේ. මා විසින් දෙසැම්බර් 11 දින මෙම වෙබ් අඩවියේ පළ කරන ලද ලිපිය තුළින් මෙම විෂ බීජය කුමක් ද? යන්න හෙළි කළ අතර එය ආර්ථික පරීක්ෂණ දත්ත තුළින් තහවුරු කිරීම මෙම ලිපියේ අරමුණ යි. එම දත්ත නිරූපනය කෙරෙන ආර්ථික ඉලක්කම් වගුවක් පහත දැක්වෙයි.

එම ගොළු ඉලක්කම්වලින් ප්‍රකාශ කෙරෙන සත්‍ය කථාව තේරුම් ගැනීම තරමක් අපහසු වුවත්, විදේශ මුදල් වසංගතයට පිළියම් කිරීම සඳහා එය තේරුම් ගත යුතුය. එහි පළමු පියවර ලෙස එම ඉලක්කම්වලින් දැක්වෙනේ කුමක් ද? යන්න තේරුම් ගත යුතුය. එම ඉලක්කම්වලින් 1950 වර්ෂයේ සිට ආර්ථිකයේ සිදු වූ විදේශ වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳ තෝරා ගත් තොරතුරු සමුදායක් වගුවේ තීරයන්ගෙන් දැක්වෙයි. එම තීරයන්වල දැක්වෙන තොරතුරු මොනවා ද? යන්න කෙටියෙන් පහත දැක්වෙයි.

ගොළු ආර්ථික ඉලක්කම් වගුව අර්ථ නිරූපනය

තීරු අංක 1 - ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන ලද භාණ්ඩවල සමස්ත වටිනාකම.

තීරු අංක 2 - ශ්‍රී ලංකාව විසින් ආනයනය කරන ලද භාණ්ඩවල සමස්ත වටිනාකම.

තීරු අංක 3 - ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන සහ ආනයනවල ශේෂය හෙවත් වෙළෙඳ ශේෂය, එනම් අපනයන ලැබීම් සහ ආනයන ගෙවීම් අතර වෙනස.

තීරු අංක 4 - ශ්‍රී ලංකාව විසින් කරන ලද සේවා වෙළෙඳාම, සාධක ගෙවීම් සහ ප්‍රේෂණ ගනුදෙනුවල ලැබීම් සහ ගෙවීම් අතර ශේෂය, එනම්, භාණ්ඩ නොවන වෙළෙඳ ගනුදෙනුවල ශේෂය හෙවත් ලැබීම් සහ ගෙවීම් අතර වෙනස. උදාහරණ ලෙස සංචාරක පැමිණීම, වරාය සහ ගුවන් සේවා, විදේශ සාධක සඳහා කෙරෙන වැටුප් සහ පොලී ගෙවීම්, විදේශ ප්‍රේෂණ වැනි ගනුදෙනුවල ලැබීම් සහ ගෙවීම් අතර වෙනස.

තීරු අංක 5 - ශ්‍රී ලංකාවේ විදේශ ගනුදෙනුවල ජංගම ගිණුමේ ශේෂය ලෙස දැක්වෙන ඉහත වෙළෙඳ ශේෂය සහ භාණ්ඩ නොවන ගනුදෙනුවල ශේෂය යනාදියේ එකතුව හෝ ශුද්ධ වටිනාකම.

තීරු අංක 6 - ශ්‍රී ලංකාවේ රජය සහ පුරවැසියන් විසින් විදේශිකයන් සමඟ කරන ලද ණය සහ කොටස් ආයෝජන ගනුදෙනු (ප්‍රාග්ධන ගනුදෙනු) මත මුදල් ලැබීම් සහ ගෙවීම් අතර ශේෂය. මෙය මූල්‍ය හෝ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ලෙස හැඳින්වෙයි. ප්‍රාග්ධන ගනුදෙනු පිළිබඳ ව පවතින විනිමය පාලනයන් හේතු කොට පෞද්ගලික අංශයේ විදේශ මූල්‍ය ගනුදෙනු පරිමාව පහළ මට්ටමක පවතින බැවින් රජය සහ රාජ්‍ය ආයතනවල විදේශ මූල්‍ය ගනුදෙනු මෙහි මූලික ස්ථානයක් ගනී.

තීරු අංක 7 - ඉහත දැක්වූ ජංගම ගිණුමේ ශේෂය සහ මූල්‍ය ගිණුමේ ශේෂය යන ගිණුම් දෙකේ එකතුව හෙවත් ගෙවුම් ශේෂයේ සමස්ත ගිණුමේ ශේෂය. එය මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිතයේ වෙනස් වීමයි.  ශුද්ධ විදේශ සංචිතය යනු විදේශ සංචිත වත්කම්වලින් විදේශ සංචිත වගකීම අඩු කිරීමෙන් ලැබෙන ශේෂය යි. ඊට හේතුව, ශ්‍රී ලංකාවේ (හෝ ඕනෑම රටක) ගෙවුම් ශේෂ හිඟයක් ඇති විට එය පියවීම සඳහා අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය මහ බැංකුවේ විදේශ සංචිතයෙන් සැපයිය යුතු අතර ගෙවුම් ශේෂ අතිරික්තයක් ඇති විට එම විදේශ විනිමය ප්‍රමාණය මහ බැංකුව විසින් මිල දී ගෙන තම  විදේශ සංචිතයට එකතු කෙරේ. 

මෙය සිදු වන්නේ ආර්ථිකයේ විදේශ ගෙවුම් හෙවත් විදේශ විනිමය ඉල්ලුම සහ විදේශ ලැබීම් හෙවත් විදේශ විනිමය සැපයුම වෙනස් වීම අනුව විදේශ විනිමය වෙළෙඳපොළේ විනිමය අනුපාතය වෙනස් වීමට ඉඩ නොදීම හේතු කොට ගෙන ය. එබැවින්, ගෙවුම් ශේෂ හිඟයන් හෝ අතිරික්තයන් හෙවත් විනිමය වෙළෙඳපොළ අසමතුලිතතාවන් හට ගනු ඇත. එහෙත්, විනිමය අනුපාතය වෙළෙඳපොළේ නිදහසේ තීරණය වීමට අවකාශය පවතී නම්, ඊට අනුරූපව ආර්ථිකයේ විදේශ ගනුදෙනු වෙනස්වීම හේතු කොට ගෙවුම් ශේෂ අසමතුලිතතාවන් පහළ යනු ඇත.

තීරු අංක 8 - බැංකුව සතු විදේශ විනිමය සංචිතය. එය ගෙවුම් ශේෂ අතිරික්තයක් පවතින විට එම අතිරික්ත විදේශ විනිමය මිල දී ගැනීමෙන් ඉහළ යන අතර ගෙවුම් ශේෂ හිඟයක් ඇති විට එය පියවීම සඳහා විදේශ විනිමය මහ බැංකුව විසින් අළෙවි කිරීම හේතු කොට විදේශ සංචිතය පහළ යනු ඇත. එම ගනුදෙනු හේතු කොට විදේශ සංචිතය දින පතා වාගේ නිරන්තරයෙන් ඉහළ පහළ යනු ඇත. එහෙත්, මෙම තීරයෙන් පෙන්වන්නේ වර්ෂය අවසානයේ පැවති විදේශ සංචිත ප්‍රමාණය යි.

තීරු අංක 9 - විදේශික මූලයන්ගෙන් ලබා ගෙන වර්ෂය අවසානයේ දී ඇති රාජ්‍ය ණය තොගය. මෙහි මධ්‍යම රජයේ ණය ඇතුලත් වෙයි. මෙම ණය විවිධ ණය ක්‍රම/උපකරණ සහ විවිධ මුදල් වර්ග හරහා විවිධ කාලවල ලබා ගෙන ඇති අතර ඉදිරි කාලවල ගෙවීමට නියමිතය. වර්ෂයක් අවසානයේ ඇති ණය තොගය ඉහළ යන්නේ වර්ෂය තුළ ණය ආපසු ගෙවන ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් ගැනීම හේතු කොට ගෙනය.

විවිධ මුදල්වලින් මෙම ණය යුක්ත බැවින් මෙය ඩොලර් මුදලින් ඇස්තමේන්තු කොට ඇති අතර විනිමය අනුපාතය වෙනස් වන විට එහි රුපියල් වටිනාකම වෙනස් වනු ඇත. විදේශ ණය ලැබීම ගෙවුම් ශේෂයේ මූල්‍ය ගිණුමට ලැබීමක් ලෙස ද, විදේශ ණය ගෙවීම් මූල්‍ය ගිණුමෙන් ඉවත් වීමක් ලෙස ද සටහන් වෙයි. එහෙත්, විදේශ ණය සඳහා ගෙවන පොලිය ජංගම ගිණුමේ මුදල් ඉවත් වීමක් ලෙස සාධක ගෙවීම් යටතේ වාර්තා වෙයි.

තීරු අංක 10 - වර්ෂය අවසානයේ දී එම වර්ෂය තුළ රාජ්‍ය විදේශ ණය තොගයේ ඉහළ යාම දැක්වෙයි. වර්ෂය තුළ නව ණය ගැනීමත්, සමහර පැරණි ණය ගෙවීමත් සිදු වන බැවින් ශුද්ධ ණය ප්‍රමාණයේ ඉහළ යාම මෙයින් දැක්වෙයි. එබැවින්, වර්ෂය තුළ මුහුණ දෙන ණය බර පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම අපහසුය. සාමාන්‍යයෙන් වර්ෂය තුළ ණය ගෙවීම සිදු වන්නේ නව ණය ගැනීම තුළින් වන බැවින් සහ වෙනත් වියදම් පියවීම සඳහා ද නව ණය ගන්නා බැවින් සෑම වර්ෂයක් අවසානයේ ණය තොගය පසුගිය වසර අවසානයේ ණය තොගයට වඩා ඉහළ යනු ඇත. වර්ෂය තුළ ගන්නා ලද මුළු ණය ප්‍රමාණය සහ ගෙවන ලද ණය ප්‍රමාණය පිළිබඳ ව විස්තර නොමැත.

තීරු අංක 11 - වර්ෂය අවසානයේ රජය, රාජ්‍ය ආයතන, බැංකු සහ මහජනයා ඇතුළු සියළු පාර්ශවයන් විසින් ලබා ගෙන ඉදිරි කාලවල ගෙවීමට නියමිත මුළු විදේශ ණය තොගය දැක්වෙයි. මෙයට පෙර වර්ෂවල ගෙන ගෙවීමට ඇති ණය ද ඇතුලත් වෙයි. ප්‍රාග්ධන ගනුදෙනු පිළිබඳ ව පවතින විනිමය පාලනයන් හේතු කොට පෞද්ගලික අංශයේ විදේශ මූල්‍ය ගනුදෙනු පරිමාව පහළ මට්ටමක පවතින බැවින් රජය සහ රාජ්‍ය ආයතනවල සහ බැංකුවල විදේශ ණය ගනුදෙනු මෙහි මූලික ස්ථානයක් ගනී.

තීරු අංක 12 - වර්ෂය අවසානයේ දී එම වර්ෂය තුළ  මුළු විදේශ ණය තොගයේ ඉහළ යාම දැක්වෙයි. ඉහත තීරු අංක 10 හි දෙන ලද පැහැදිලි කිරීම මෙයට ද අදාළ වෙයි.

තීරු අංක 13 - මුළු විදේශ ණය තොගයෙන් රාජ්‍ය විදේශ ණය තොගය අඩු කිරීමෙන් මෙය ඇස්තමේන්තු කොට ඇත. එබැවින්, දත්ත මූලයන්ගේ දෝෂයන් හේතු කොට 1952 සිට 1971 දක්වා කාලය තුළ රාජ්‍ය විදේශ ණය තොගය මුළු විදේශ ණය තොගයට වඩා ඉහළ අගයක් වාර්තා වෙයි.

තීරු අංක 14 - මධ්‍යම රජය නොවන විදේශ ණය තොගය වර්ෂය තුළ ඉහළ යාමේ ප්‍රමාණය දැක්වෙයි.

තීරු අංක 15 සහ 16 - රාජ්‍ය විදේශ ණය සහ මුළු විදේශ ණය ආර්ථිකයෙහි ද.දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස දැක්වෙයි. එමගින්, ආර්ථිකයේ මුළු ආදායමට හෝ නිෂ්පාදන වටිනාකමට සාපේක්ෂව විදේශ ණය පරිමාවේ තත්ත්වය හෝ වැදගත්කම විදහා දැක්වෙයි.

තීරු අංක 17 - ඩොලරය සඳහා විනිමය අනුපාතය හෙවත් ඩොලරයේ මිල රුපියල්වලින් දැක්වෙයි. විනිමය අනුපාතය දිනය තුළ පවා වෙනස් වන අතර වර්ෂයේ සාමාන්‍ය විනිමය අනුපාතය වගුවෙහි දැක්වෙයි. මේවා මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කොට ඇති නියෝජන විනිමය අනුපාතයන් වන අතර ගනුදෙනු සඳහා භාවිතා කොට ඇති සත්‍ය විනිමය අනුපාතයන් නොවේ. විනිමය අනුපාත පාලන ක්‍රමයන්හි වෙනස් වීම අනුව විනිමය අනුපාතය වෙනස් වන බැවින් මෙම විනිමය අනුපාතයන් එකිනෙකට සැසඳිය නොහැකිය.

1950 සිට 1977 දක්වා දැඩි විනිමය පාලනයන් සහිත ස්ථාවර/පාලිත විනිමය අනුපාත ක්‍රමයක් ද, එතැන් සිට 2001 දක්වා විනිමය පාලනයන් ලිහිල් කරමින් පාලිත පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් ද, 2001 සිට ජංගම ගිණුමේ ගනුදෙනු සඳහා සහ බොහෝ ප්‍රාග්ධන ගිණුමේ ගනුදෙනු සඳහා විනිමය පාලනය ලිහිල් වූ විවිධ පරිමාණයේ පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් ද පැවතින. එබැවින්, 1950 විනිමය අනුපාතය සහ මෑත විනිමය අනුපාතය සසඳා අද වන විට රුපියල සහ ආර්ථිකය කඩා වැටී ඇති බව ප්‍රකාශ කිරීම පදනම් විරහිත වෙයි.

ආර්ථික ඉලක්කම්වලින් ගොළු භාෂාවෙන් කියන කථාව

ඉහත අර්ථ නිරූපනය කරන ලද ඉලක්කම්වලින් නියෝජනය වන ආර්ථික ක්‍රියාකාරකම් සහ ඒවා අතර පවතින අන්තර් සබඳතාවය පිළිබඳ ව විවිධ සංකීර්ණ ආර්ථික සංකල්ප සහ විග්‍රහයන් පවතී. එසේම, එම ආර්ථික ඉලක්කම් ගණනය කිරීමේ ක්‍රමවේදය සහ අන්තර් ගත දත්තවල විනිවිද භාවයක් ද දැකිය නොහැකිය. එහෙත්, එම කරුණු පිළිබඳ ව තැකීමක් නොකොට මෙම ඉලක්කන් දෙස බලන විට ගෙතිය හැකි කථාව ඉතා සරල වෙයි. එය පහත ලෙස ඉතා කෙටියෙන් දැක්වෙයි. මෙම වෙබ් අඩවියේ මා විසින් දෙසැම්බර් 11 දින පළ කරන ලද ලිපියෙහි (English Article on December 22 in the blog "economyforward" indicated on the menu above) ඉලක්කම් නොමැතිව විග්‍රහ කොට ඇත්තේ ද මෙම කථාව යි.

  • ආර්ථිකයේ විදේශ සේවා අංශය සැලකිය යුතු අතිරික්තයක් ජනිත කරමින් වර්ධනය වුව ද, ආර්ථිකයේ ආනයන රැඳියාව හේතු කොට ඉහළ යන භාණ්ඩ වෙළඳ හිඟය පියවීමට එය ප්‍රමාණවත් නොවූ බැවින් ආර්ථිකයේ ජංගම ගනුදෙනු ගිණුමේ හිඟය ඉහළ මට්ටමක උච්ඡාවචනය වී ඇත.

  • ජංගම ගිණුමේ හිඟය පියවීම සඳහා විදේශ අරමුදල්, එනම් විදේශ ණය සහ ආයෝජන, ලබා ගැනීමට සිදු විය. ඊට හේතුව, විනිමය අනුපාතය වෙළෙඳපොළ සාධක අනුව වෙනස් වීමට ඉඩ නොදී රජය/මහ බැංකුව විසින් පාලනය කිරීම යි. එසේ නැතිව,  විනිමය අනුපාතය වෙනස් වීමට ඉඩ ලැබී නම්, ආනයන, අපනයන සහ දේශීය නිෂ්පාදනයන් විනිමය අනුපාතයේ වෙනස් වීම අනුව වෙනස් වී ජංගම ගිණුමේ හිඟය පහළ මට්ටමක පාලනය වීමට හෝ අතිරික්තයක් ලැබීමට හෝ හැකියාව පැවතින.

  • ආර්ථිකයේ ප්‍රාග්ධන ගනුදෙනු කෙරෙහි බොහෝ සිමා කාරී විනිමය පාලනයන් ක්‍රියාත්මක වූ බැවින් පෞද්ගලික අංශය හරහා විදේශ ණය සහ ආයෝජන ලැබීම සිමා විය. එබැවින්, රාජ්‍ය සහ රාජ්‍ය ආයතන හරහා ලබා ගන්නා කෙටි හා මැදි කාලීන විදේශ ණය මගින් ආර්ථිකයේ ගෙවුම් ශේෂ හිඟයන් පියවීමට සිදු විය. එය රාජ්‍ය විදේශ ණය සහ මුළු විදේශ ණය පරිමාව ඉහළ යාමෙන් පැහැදිළි වෙයි.

  • විනිමය අනුපාතය පහළ මට්ටමක පාලනය කිරීම සඳහා මහ බැංකුවේ විදේශ සංචිතය මගින් විදේශ මුදල් ආර්ථිකය වෙත සැපයූ යුතු අතර එසේ අවශ්‍ය විදේශ සංචිතය රාජ්‍ය අංශයේ විදේශ ණය හරහා මහ බැංකුව විසින් සපයා ගන්නා ලදි. එම ණය වර්ධනය හරහා ගෙවුම් ශේෂ අතිරික්තයක් ඇති කොට විදේශ සංචිතය ඉහළ නැංවීම ද දැකිය හැකිය. එහෙත්, ආර්ථිකයක ගුණාත්මක සහ වාසිදායක විදේශ සංචිතයක් ඇති කළ හැකි වන්නේ ජංගම ගිණුමේ අතිරික්තයක් සහ දිගු කාලීන විදේශ ආයෝජන හරහාය. එහෙත්, කෙටි කාලීන රාජ්‍ය ණය හරහා විදේශ සංචිතය පවත්වා ගෙන යාම හේතු කොට විදේශ සංචිතය දැඩි ලෙස අස්ථායි වී ඇත.  එබැවින්, මහ බැංකුව විසින් විදේශ මුදල් හුවමාරු වැනි ඉතා කෙටි කාලීන ණය සහ කෙටි කාලීන බැංකු විදේශ ණය හරහා විදේශ සංචිතය පවත්වා ගෙන ගොස් ඇත. වර්තමානයේ සිදු කරන්නේ ද ඒ බව පුවත් පත් වාර්තාවලින් පැහැදිලි වෙයි. 

  • මුදල් ප්‍රවාහ (මුදල් ලැබීම් සහ ගෙවීම්) ව්‍යාපාරික මූල්‍ය සංකල්පය යටතේ වත්කම් සහ වගකීම් අසමතාවන් කිසිවක් නොසලකා හුදෙක් කෙටි කාලීන පදනමක් මත සිදු කළ මෙම සංචිත කළමනාකරණය අති අවදානම්කාරී පොන්සි මූල්‍ය යෝජනා ක්‍රමයන්ට සමාන වන බැවින් එය සාර්ව ආර්ථික කළමනාකරණයට අත්‍යාවශ්‍ය විදේශ සංචිත කළමනාකරණයට යෝග්‍ය නොවන බව සරල කරුණකි. විදේශ ණය හිඟය හේතු කොට විදේශ සංචිතය කඩා වැටීම යනු නව මූල්‍ය ආයෝජන හිඟය හේතු කොට පොන්සි මූල්‍ය යෝජනා ක්‍රමයක් කඩා වැටීමට සමාන වෙයි. තවද, විදේශ සංචිතය ගොඩ නැගීම සඳහා මහ බැංකුව විසින් තම ව්‍යවස්ථාපිත මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ අනුගමනය නොකොට ඒ සඳහා රාජ්‍ය ණය කළමනාකරණ නියෝජිත කාර්යය භාවිතා කිරීම සිදු කොට ඇත. එමගින්, ආර්ථිකයේ පදනම වන රාජ්‍ය ණය කළමනාකරණය සහ විදේශ සංචිත කළමනාකරණය යන දෙකම විනාශ වී ඇති බව නොරහසකි. 

  • ගෝලීය කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා රජයන් විසින් අනුගමනය කරන ලද සමාජ සහ රටවල් අගුළු දැමීමේ ප්‍රතිපත්ති හේතු කොට ගෝලීය සැපයුම් ජාලයන් කඩා වැටීම සිදු විය. එබැවින්, ආර්ථිකයන් පහළ ගිය අතර ශ්‍රී ලංකා රජයට විදේශ ණය ලබා ගැනීමට අසීරු විය. සාමාන්‍යයෙන් වාර්ෂික ණය ගෙවීම් සිදු කෙරන්නේ නව විදේශ ණය ගැනීමෙන් වන බැවින් විදේශ සංචිතය ආරක්ෂා කර ගැනීමට අතීතයේ හැකි විය.

  • එහෙත්, 2020 වර්ෂයේ සිට නව ණය ගැනීම අසීරු වූ බැවින් විදේශ සංචිතය භාවිතා කොට ණය ගෙවීමට සිදු විය. එබැවින්, 2020 වර්ෂය අවසානයේ දී රාජ්‍ය විදේශ ණය තොගය පහළ ගොස් ඇත. එබැවින්, 2020 වර්ෂයේ දී වෙළෙඳ හිඟය සහ ජංගම ගිණුමේ හිඟය පහළ ගිය ද, ගෙවුම් ශේෂ හිඟය අධික ලෙස ඉහළ ගොස් ඇත. 2020 වර්ෂයේ මූල්‍ය ගිණුමේ සහ සමස්ත ගෙවුම් ශේෂයේ අධික හිඟයන්ගෙන් ඒ බව පෙනේ. 2021 වර්ෂයේ දී ද මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇත.

  • උදාහරණ ලෙස 2021 ජනවාරි-ඔක්තෝබර් මාස 10 ක කාලය තුළ සමස්ත ගෙවුම් ශේෂ හිඟය හෙවත් ශුද්ධ විදේශ සංචිතයේ පහළ යාම ඩොලර් මිලියන 3,261 ක් වන අතර එය 2020 එම කාලයේ  ගෙවුම් ශේෂ හිඟය වූ ඩොලර් මිලියන 2,083 ට සාපේක්ෂව ඩොලර් මිලියන 1,178 කින් ඉහළ යාමකි (පහත වගුව බලන්න). ඒ අනුව, 2020 ජනවාරි සිට 2021 ඔක්තෝබර් මස දක්වා විනිමය අනුපාතය පහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ගෙවුම් ශේෂ හිඟය පියවීම පිණිස ඩොලර් මිලියන 5,589 ක් පමණ මහ බැංකුවේ විදේශ සංචිතයෙන් ආර්ථිකයට (රජයට සහ බැංකුවලට) සපයා ඇත. එනම්, ශුද්ධ විදේශ සංචිතය ඍණ ඩොලර් මිලියන 1,300 ක පමණ මට්ටමක, එනම් විදේශ සංචිත වත්කම්වලට වඩා විදේශ සංචිත වගකීම් වැඩි මට්ටමක වාර්තා විය. එබැවින්, පසුගිය සතියේ වාර්තා වූ පරිදි දළ විදේශ සංචිතය ඩොලර් මිලියන 1,500 ට ආසන්න මට්ටමකට පහළ ගොස් ඇත. එය සුපුරුදු මුදල් හුවමාරු සහ වෙනත් කෙටි කාලීන රාජ්‍ය ණය ගැනීම් හරහා දෙසැම්බර් අවසානයට පෙර ඩොලර් මිලියන 3,500 දක්වා ඉහළ යන බවට ද නිල පුරෝකතනයන් වාර්තා වී ඇත.

ගෙවුම් ශේෂය: ජනවාරි-ඔක්තෝබර් කාල පරිච්ඡේදය, ඩොලර් මිලියන

ශීර්ෂය

2019

2020

2021

අපනයන

9,961

8,299

10,134

ආනයන

16,412

13,145

16,632

වෙළෙඳ ශේෂය

-6,451

-4,846

-6,498

සේවක ප්‍රේෂණ ලැබීම්

5,537

5,680

4,895

රජයට ලැබුණ දළ විදේශ අරමුදල්

6,266

1,814

2,135

සමස්ත ගෙවුම් ශේෂය

667

-2,083

-3,261

ශුද්ධ නිල සංචිතය වෙනස් වීම

 

 

 

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

  • 2020 සිට ආර්ථිකයේ ආනයන පරිමාව සහ විදේශ ගෙවීම් දැඩි ලෙස පාලනය කළ ද, ගෙවුම් ශේෂ හිඟය ඉහළ යමින් විදේශ සංචිතය උග්‍ර ලෙස පහළ යාම සිදු වී ඇත. වර්තමාන පොදු ජන ජීවිතය මුහුණ දෙන උග්‍ර විදේශ මුදල් හිඟයට හේතුව මෙම තත්වය යි. ආර්ථිකයේ අධික භාණ්ඩ හිඟය සහ මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුව මෙම විදේශ මුදල් හිඟය බව රහසක් නොවේ. මෙහි භයානක අවදානම වන්නේ රාජ්‍ය විදේශ ණය සේවාකරණය සහ බැංකු විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරීමට ලක් විය හැකි වීමයි. දැනට ඉතා අපහසුවෙන් අත මාරු ණය සොයා ගෙන ණය ආපසු ගෙවන බැවින් ණය පැහැර හැරීමේ  අවදානම ඉතා පැහැදිලිය.

එබැවින්මෑත වර්ෂවල පැවති විදේශ සංචිතය හා සැසදීමේ දී ආර්ථිකයට ලැබෙන විදේශ ණය ප්‍රමාණය ඉදිරි මාස දෙක තුළ අඩුම වශයෙන් ඩොලර් මිලියන 6,000 කට පමණ ඉහළ නැංවීමට නිසි බලධාරීන් වන මුදල් ඇමති සහ මහ බැංකුව/මුදල් මණ්ඩලය අසමත් වෙයි නම්, රාජ්‍ය විදේශ ණය සේවාකරණය පැහැර හැරීමට ලක් වී පොදුජන ජීවිතය තවත් කඩා වැටීම නියතය. 

එසේ අරමුදල් සපයා ගැනීමට සමත් වෙයි නම්, වගුවේ ඉලක්කම්වලින් ප්‍රකාශ කෙරෙන ආර්ථිකයේ විදේශ වෙළෙඳ සහ මූල්‍ය ව්‍යුහාත්මක දුර්වලතාවයන් (මූලික වශයෙන් රාජ්‍ය විදේශ ණය හරහා මූල්‍යකරණය කෙරෙන ආනයන මත රැඳි ආර්ථිකය) මැදි කාලීන පදනමක් මත මුදල් ඇමති සහ මහ බැංකුව/මුදල් මණ්ඩලය ප්‍රමුඛ අදාළ ආර්ථික කළමනාකරණ බලධාරීන් විසින් විසඳීම අතපසු වෙයි නම්, වත්මන් පොදුජන ආර්ථික අවදානම්කාරී තත්ත්වය තවත්  ඉහළ යනු ඇත. 

මෙහිදී අවශ්‍ය වන්නේ අසාධ්‍ය රෝගියාට අවශ්‍ය හදිසි ඔක්සිජන් ලබා දී ඔහු සුව කොට, ඊළඟට ආරෝග්‍යශාලාව නවීකරණය කිරීමේ ප්‍රතිපත්තිය යි. එසේ නැතිව, විදේශ මුදල් වසංගතයට පිළියම් ලෙස මූල්‍යවාදී ආර්ථික සංකල්ප මත දැනට යෝජනා කෙරෙන පරිදි රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම සිදු කිරීම තුළින් සිදුවන්නේ ආර්ථිකය සහ පොදුජන ජීවිතය වෙත තවත් මාරාන්තික පිළිකාවක් වැපිරීම යි. මෙවැනි විදේශ මුදල් අර්බුදයක් සාමාන්‍යයෙන් බැංකු අර්බුදයක් බවට පත් වන බව ගෝලීය අත්දැකීම වන බැවින් එම අවදානම මෙම පිළිකා බීජය විය හැකිය.


(මෙම ලිපිය ශ්‍රී ලංකාවේ සමකාලීන ආර්ථික සහ විදේශ මූල්‍ය ප්‍රවණතාවන් පිළිබද ව උනන්දුවක් දක්වන ආර්ථික විද්‍යා සිසුන් සහ ගුරුවරුන් සහ වෘත්තිය වේදීන්ගේ ප්‍රයෝජනය සඳහා සකසා ඇත.)


පී සමරසිරි
හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි