ආර්ථිකයේ මිල ගණන් සහ උද්ධමනය තීරණය වන්නේ කෙසේ ද? ඉහළ යන උද්ධමනය පාලනය කිරීමට 2022 වර්ෂයේ දී රජයට හැකි වෙයි ද?

 



වෙළෙඳපොළ මිල ගණන් තීරණය වීම පිළිබඳ ආර්ථික විද්‍යා මුලධර්ම පසුබිම

2021 වර්ෂය අවසාන වූයේ ලෝකය පුරා රටවල භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම සහ අධික හිඟයන් පිළිබඳ මහජන මැසිවිලි රැල්ලක් සමඟය. එහෙත්, බොහෝ රටවල රජයන්ගේ සහ මහ බැංකුවල ව්‍යවස්ථාපිත අරමුණක් වනුයේ මිල ස්ථායිතාවය අරක්ෂා කිරීම යි. මෙය ගෝලීය කොරෝනා වසංගතයේ අතුරු ආර්ථික ඵලයන්ගෙන් එකක් ලෙස 2021 වසරේ දෙවන භාගය ආරම්භයේ සිට උද්ධමනය ගෝලීය වශයෙන් සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ප්‍රවෘත්තිය හා සම්බන්ධ වෙයි. උදාහරණ ලෙස 2021 නොවැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය ඇමෙරිකාවේ 6.8% ක් ද, එංගලන්තයේ 5.1% ක් ද, යුරෝපයේ 5.2% ක් ද, ජර්මනියේ 5.2% ක් ද, ශ්‍රී ලංකාවේ 11.1% ක් ද ලෙස වාර්තා වී ඇත. මෙම උද්ධමනය ඉදිරි වර්ෂ කිහිපය තුළ තවත් ඉහළ යන බවට මහ බැංකු විසින් නිල පුරෝකතනයන් ඉදිරිපත් කොට ඇත.

උද්ධමනය ලෙස මෙහිදී දැක්වෙන්නේ ආර්ථිකයේ පොදු හෝ සාමාන්‍ය මිල මට්ටම වේගයෙන් ඉහළ යාම යි. සරල සාර්ව ආර්ථික විද්‍යාවට අනුව ආර්ථිකයක පොදු මිල මට්ටම එහි සමාහා.ර ඉල්ලුමේ සහ සමාහාර සැපයුමේ අන්තර් ක්‍රියාකාරීත්වයෙන් තීරණය වෙයි. ඒ අනුව, යම් කාලයක හෝ අවස්ථාවක පොදු මිල මට්ටම ඉහළ යාම ආර්ථිකයේ සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුමේ අතිරික්තයක් හේතු කොට සිදු වෙයි. එබැවින්, උද්ධමනයට හේතුව සමාහාර ඉල්ලුම කෙරෙහි සහ සමාහාර සැපයුම කෙරෙහි බලපාන සාධක ඇසුරින් හඳුනා ගත යුතුය.

ආර්ථික විද්‍යාවේ ජනප්‍රිය සාමාන්‍ය භාණ්ඩයක හෝ සේවයක ඉල්ලුම සහ සැපයුම තුළින් මිල තීරණය වීමේ සංකල්පය මේ සඳහා භාවිතා කෙරෙන අතර එය පහත දැක්වෙන රූප සටහනින් පැහැදිලි කෙරේ.



ඉහත රුපසටහනින් වෙළෙඳපොළේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය (D වක්‍රය) අතර ප්‍රතිවිරුද්ධ සබඳතාවක් ද, මිල සහ සැපයුම් ප්‍රමාණය (S වක්‍රය) අතර අනුලෝම සබඳතාවක් ද දැක්වෙයි. එනම්, මිල ඉහළ යන විට ඉල්ලුම පහළ යාමත්, සැපයුම ඉහළ යාමත් සිදු වීම යි. මෙහිදී, මිල හැර ඉල්ලුම සහ සැපයුම කෙරෙහි බලපාන වෙනත් අනේක විධ සාධක නොවෙනස්ව පවතින බවට උපකල්පනය කෙරේ. එවිට, ඉල්ලුම් කරුවන් සහ සැපයුම් කරුවන් අතර සිදු වන ප්‍රතිවිරුද්ධ හැසිරීම තුළින් වෙළෙඳපොළ මිල Po ලෙස තීරණය වනු ඇත. එය ඉල්ලුම් කරුවන් සහ සැපයුම් කරුවන් දෙපිරිසම සතුටු කෙරෙන මිල හෙවත් වෙළෙඳපොළ සමතුලිත මිල ලෙස හැඳින් වෙයි.

එහෙත්, ඉල්ලුම සහ සැපයුම කෙරෙහි බලපාන වෙනත් සාධක වෙනස් වූ විට මෙම ඉල්ලුම් සහ සැපයුම් වක්‍රයන්/තත්ත්වයන් වෙනස් වී නව සමතුලිත මිලක් හට ගනු ඇත. උදාහරණ ලෙස ඉල්ලුම් කරුවන්ගේ ආදායම ඉහළ ගිය හොත්, ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වී (D1) (සැපයුමේ වෙනසක් නොවී) වෙළෙඳපොළ සමතුලිත මිල P1 ලෙස ඉහළ යනු ඇත. එසේම, වෙනත් සාධක ස්ථාවරව පවතින විට රජය විසින් මෙම භාණ්ඩය ආනයනය සිමා කරන බවට අපේක්ෂණයක් හට ගන්නා විට, සැපයුම් කරුවන් විසින් සැපයුම අඩු කොට (සැපයුම් වක්‍රය වමට විතැන් වීම) භාණ්ඩ තොග රැස් කරනු ඇත. ඒ ආනයනයන් සිමා කිරීම හේතු කොට අනාගතයේ මිල ඉහළ යාමෙන් පසු ඉහළ මිලට අළෙවි කොට ලාභ වැඩි කර ගැනීමේ අරමුණිනි. එබැවින්, ආනයන සිමාවන් පැනවීමට පෙර ම වෙළෙඳපොළ සමතුලිත මිල ඉහළ යනු ඇත.

මෙම ඉල්ලුම් සහ සැපයුම් සංකල්පය සෑම භාණ්ඩයක, සේවයක සහ නිෂ්පාදන සාධකයක වෙළෙඳපොළ හැසිරීම් විග්‍රහ කිරීම සඳහා භාවිතා කෙරේ. එබැවින්, සර්ව ආර්ථික විද්‍යාවේ පොදු මිල මට්ටම තීරණය වන ආකාරය විග්‍රහ කිරීම සඳහා ද ආර්ථිකයේ සියළු භාණ්ඩ හා සේවාවන්ගේ සමස්ත ඉල්ලුම සහ සැපයුම නියෝජනය කෙරෙන වෙළෙදපොළ භාවිතා කෙරේ.

මේ දිනවල ගෝලීය උද්ධමනය ඉහළ යාමට හේතුව ලෙස දැක්වෙන්නේ රටවල් සෑහෙන කාලයක් අගුළු දමා තබා නැවත විවෘත කිරීමෙන් පසු සමාහාර ඉල්ලුම නැවත යථා තත්වයට ඉහළ ගිය ද, අගුළු දමා තැබූ කාලයේ සිදු වූ සැපයුම් දාමයන්ගේ බිඳී යාම සහ අවහිරතාවන් හේතු කොට සමාහාර සැපයුම යථා තත්වයට පත් වීම ප්‍රමාද වීම යි. ගොවිපොළවල සහ ගබඩාවල නිෂ්පාදනයන් විනාශ වී යාම, නිෂ්පාදන ක්‍රියාකාරකම් පෙර පැවති ධාරිතාවට ආරම්භ නොවීම, ප්‍රවාහන ජාලයන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ වරායන්වල බදු තොග ගැසීම මීට උදාහරණ ලෙස දැක්විය හැකිය.

එහෙත්, සාර්ව ආර්ථික විද්‍යාවට අනුව මෙය සමාහාර සැපයුමේ දුර්වලතාවය හේතු කොට හට ගෙන ඇති සමාහාර ඉල්ලුම් අතිරික්තයකි. එබැවින්, ඇමෙරිකාව ඇතුළු බොහෝ රජයන් පවසන්නේ වත්මන් උද්ධමනය තම පාලනයෙන් තොර සිද්ධියක් බවයි. එහෙත්, රජයන් විසින් රටවල් සහ සමාජයන් ඉවක් බවක් නැතිව වසා දැමීම පිළිබඳ වගකීම ඔවුන් නොගනී. එබැවින්, මෙම උද්ධමනයේ අයිතිකරු සැවොම හොඳින් හඳුනන කොරෝනා වෛරසය බවට පත් වී ඇත.

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ තෙල් මිල, කිරිපිටි මිල, ගෑස් මිල සහ බස් ගාස්තු ඉහළ දැමීමට සහ බොහෝ භාණ්ඩවල පාලන මිල ගණන් ඉවත් කිරීමට රජය විසින් අවසර දීම හේතු කොට ජීවන වියදම ඉහළ යාම පිළිබඳ ව බොහෝ මහජනයා විසින් රජයට දෝෂාරෝපණය කෙරේ. අතීතයේ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම තුළින් නව රජයන් පත් වීමේ ප්‍රවණතාවයක් ද දැකිය හැකිය.

ආර්ථිකයක පවතින වෙළෙඳපොළවල් සහ මිල ගණන්

ආර්ථිකයක සමාහාර සැපයුම සහ සමාහාර ඉල්ලුම යනු වෙළෙඳපොළ රාශියක සමස්තයකි. එය හුදෙක් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළවල එකතුවක් පමණක් නොවේ. භාණ්ඩ හා සේවා වෙළෙඳපොළවල ඉල්ලුම සහ සැපයුම ජනිත කිරීම සඳහා තවත් වෙළෙඳපොළවල් රාශියක් දායක වෙයි. ඒවා පුළුල් වශයෙන් සාධක වෙළෙදපොළ ලෙස දැක්විය හැකිය. එනම්, ශ්‍රමය, භුමිය, මූල්‍ය ණය/ප්‍රාග්ධනය සහ හිමිකම් ප්‍රාග්ධනය යන වෙළෙඳපොළවල් ය. එම වෙළෙඳපොළවල් ද ඉල්ලුම සහ සැපයුම අනුව ක්‍රියාත්මක වන අතර ඒ මගින් තීරණය වන මිල ගණන් ද පවතී. උදාහරණ ලෙස ශ්‍රම වෙළෙඳපොළේ වැටුප් ද, භුමි වෙළෙඳපොළේ බදු කුලිය ද, ණය ප්‍රාග්ධන වෙළෙඳපොළේ පොලිය ද, හිමිකම් ප්‍රාග්ධන (හෙවත් ව්‍යවසාය) වෙළෙඳපොළේ ලාභය/ලාභාංශ ද දැක්විය හැකිය.

ඒ අනුව, සාධක වෙළෙඳපොළවල අන්තර් ක්‍රියාකාරීත්වයෙන් භාණ්ඩ හා සේවා සැපයුම (සමාහාර සැපයුම) ඇති කෙරෙන අතර එම සාධක ආදායම තුළින් භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම (සමාහාර ඉල්ලුම) ඇති කෙරෙයි. මෙහිදී, භාණ්ඩ හා සේවා සැපයුම් කෙරෙන මිල ගණන් සාධක පිරිවැය වන සාධක මිල ගණන් මත තීරණය වන අතර භාණ්ඩ හා සේවා ඉල්ලුම් කෙරෙන මිල ගණන් සාධක ආදායම (හෙවත් සාධක පිරිවැය) වන සාධක මිල ගණන් මත තීරණය වෙයි. ඒ අනුව, ආර්ථිකයක භාණ්ඩ හා සේවා වෙළෙදපොළවල මිල ගණන් යනු ඒ ඒ නිෂ්පාදනයන්ට අදාළ සාධක මිල ගණන් හෙවත් සාධක පිරිවැය වෙයි. එබැවින්, ආර්ථිකයක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම යනු එහි පොදු සාධක මිල හෙවත් පිරිවැය යි.

තව ද, මෙම වෙළඳපොළවල බොහෝ උප වෙළෙඳපොළවල් පවතී. භාණ්ඩ හා සේවා උප වෙළෙඳපොළවලට උදාහරණ ලෙස විවිධ වී වර්ග, විවිධ සහල් වර්ග, විවිධ ආහාර වර්ග දැක්විය හැකිය. ශ්‍රම උප වෙළෙඳපොළවලට උදාහරණ ලෙස වෛද්‍ය, ගුරු, ලිපිකාර, කම්කරු වැනි වෘත්තීය වශයෙන් බෙදුන ශ්‍රම වෙළෙඳපොළවල් දැක්විය හැකිය. ණය උප වෙළෙඳපොළවලට රාජ්‍ය සුරැකුම්පත්, සමාගම් සුරැකුම්පත්, බැංකු ණය වෙළෙඳපොළවල් සහ විදේශ මුදල් වෙළෙඳපොළවල් දැකිය හැකිය. හිමිකම් ප්‍රාග්ධන උප වෙළෙඳපොළවල් ලෙස විවිධ සමාගම් කොටස් වෙළෙඳපොළවල් දැක්විය හැකිය. එම වෙළෙඳපොළවල ස්වභාවය අනුව වෙනස් මිල ගණන් පවතී.

එබැවින්, ආර්ථිකයේ පොදු මිල මට්ටම හෝ උද්ධමනය ඉහළ යාමක් විග්‍රහ කිරීමේ දී ඊට හේතු වී ඇති භාණ්ඩ හා සේවාවන් ද, ඊට පසුබිම් වූ සාධක මිල ගණන් ද, ඊට හේතු කාරක වූ බාහිර සාධකයන් ද හඳුනා ගත යුතුය. එය කෙටි කාලීන උද්ධමන අවස්ථාවක දී තරමක් පහසු වුවත්, ජාතික හෝ ගෝලීය කම්පනයක් පවතින අවස්ථාවක එසේ සාධක වෙන් කර ගැනීම පහසු නොවේ.

ස්වභාවික මිනිස් ආර්ථික හැසිරීම සහ මිල ගණන්

මිනිස් වර්ගයා ආරම්භයේ සිට ජීවත් වීමට අවශ්‍ය වුවමනාවන් තම පරිසරයෙන් සපුරා ගැනීම සඳහා පුද්ගලයන් අතර තරගකාරීව ක්‍රියා කොට ඇත. වර්තමානයේ සිදු වන්නේ ද එය යි. මෙහිදී, පුද්ගලයන් සතු සම්පත් හෝ හැකියාවන් තම වුවමනාවන් සැපිරීම පිණිස පිටතින් ලබා ගැනීමට අවශ්‍ය සම්පත් හෝ හැකියාවන් සමඟ හුවමාරු කිරීමක් සිදු කෙරේ. එම හුවමාරුව සිදු කෙරෙන්නේ අදාළ සම්පත් එකිනෙකට ඇගයීමෙනි. එනම්, හුවමාරුවේ මිල තීරණය කිරීම යි. එම මිල ගණන් ගණිතමය සමීකරණයකින් නොව පුද්ගලයන් සතු ආකල්ප හෝ අදහස් හෝ තොරතුරු අනුව තීරණය වෙයි. වර්තමානයේ සමහර භාණ්ඩ හා සේවා මිල ගණන් නියම කිරීම සඳහා රජය විසින් මිල සූත්‍රයන් යෝජනා කරන්නේ එම සමහර තොරතුරුවල විනිවිදභාවය පිණිස ය.

එබැවින්, මිල යනු හුදෙක් මානසික අගයක් මිස හුවමාරු කෙරෙන භාණ්ඩය හෝ සේවයේ හෝ සාධකයේ පවතින නෛසර්ගික හෝ භෞතික වටිනාකමක් නොවේ. එකම නිෂ්පාදන පිරිවැයක් සහිත භාණ්ඩයක් කෙටි කාලයක් තුළ විවිධ මිල ගණන්වලට හුවමාරු වන්නේ මේ නිසාය. උදාහරණ ලෙස ගෝලීය කොරෝනා වසංගතය ආරම්භක කාලයේ බොර තෙල් මිල ඉතා පහළ යාමත්, ඊට පසුව එය වර්තමානය වන විට කිහිප ගුණයකින් ඉහළ යාමත් දැක්විය හැකිය. අනාගත වෙළෙඳපොළ WTI බොරතෙල් බැරලයක මිල 2020 ජනවාරි මස 6 දින ඩොලර් 62.91 ක් වූ අතර එය 2020 අප්‍රේල් මස 20 දින කිසිවෙකු නොසිතූ පරිදි ඩොලර් ඍණ 37.99 දක්වා පහළ ගොස්, පසුගිය 2021 වර්ෂය අවසන් දිනවල නැවත ඩොලර් 77 පමණ දක්වා ඉහළ ගොස් ඇත. ඩොලර් ඍණ 37.99 යනු එදින එම බොරතෙල් ගිවිසුම මිල දී ගන්නා කෙනෙකුට බැරලයකට ඩොලර් 37.99 ගණනේ විකුණුම් කරුගෙන් මුදල් ලැබෙන බව යි.

මිල ගණන් තීරණය කිරීමේ දී පුද්ගලයන් (සැපයුම් කරුවන් සහ ඉල්ලුම් කරුවන්) විසින් තමාට උපරිම වාසිය ලැබෙන පරිදි හැසිරීම ස්වභාවික කරුණකි. නූතන ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත් විසින් මෙය ස්වාර්ථය අරමුණ ලෙස දක්වා ඇත.

බාටා වෙළෙඳපොළ ගනුදෙනු මිල, මුදල් වෙළෙඳපොළ ගනුදෙනු මිල සහ මුදල් සංසරණය

මුදල් භාවිතයට පෙර භාණ්ඩ හා සේවා එකිනෙකට හුවමාරු කළ බාටා වෙළෙඳපොළ ක්‍රමය තුළ ඕනෑම භාණ්ඩයක් හෝ සේවයක් සඳහා මිල ගණන් රාශියක් පැවතින. එනම්, එක් භාණ්ඩයක මිල ඒ සමඟ හුවමාරු වන අනෙක් සෑම භාණ්ඩයක් හෝ සේවයක් සමඟ නියම කිරීම හෙවත් බහුවිධ මිල ක්‍රමයකි. මුදල් හුවමාරුව හරහා භාණ්ඩ හා සේවා හුවමාරු කෙරෙන නුතන මූල්‍ය වෙළෙඳපොළ ක්‍රමය තුළ ඕනෑම භාණ්ඩයක හෝ සේවයක හෝ සාධකයක පවතින්නේ එක් මිලකි. එනම්, එහි වටිනාකම මුදල් ඒකක ගණනින් තීරණය කිරීම යි. එබැවින්, නූතන වෙළෙඳපොළ මිල ගණන් වක්‍ර ලෙස මුදලේ මිල ගණන් ලෙස ද සැලකේ. ආර්ථිකයේ පොදු මිල මට්ටම හෙවත් උද්ධමනය ඉහළ යන විට මුදලේ වටිනාකම පහළ යන බව දැක්වෙන්නේ මේ නිසාය. එනම්, මුදල් ඒකකයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය පහළ යන බව යි.

නූතන මූල්‍ය වෙළෙඳපොළ ආර්ථිකයන්හි මිල ගණන් වෙනස් වීමේ වේගය සහ ප්‍රවණතාවයන් සලකා පුද්ගලයන් විසින් භාණ්ඩ හා සේවාවන් අතර සාපේක්ෂ වටිනාකම් ඇගයීමක් කොට සමහර භාණ්ඩ හා සේවාවන් සඳහා ඉල්ලුම ඉහළ හෝ පහළ දැමීම දැකිය හැකිය. උදාහරණ ලෙස ආර්ථිකයේ උද්ධමන වේගය ඉහළ යන විට ඉඩ කඩම් සහ දේපල ඉල්ලුම ඉහළ දැමීම දැක්විය හැකිය. මෙය සමපේක්ෂණ හෙවත් මිල ඉහළ යාම තුළින් අනාගතයේ ලාභ ලැබීමේ අරමුණින් කෙරෙන වෙළෙඳ ගනුදෙනු ලෙස සැලකේ.

මූල්‍ය වාදී ආර්ථික විද්‍යාඥයන් විසින් ආර්ථිකයේ සංසරණය වන මුදල් ප්‍රමාණය ඉහළ යාමෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගොස් උද්ධමනය ඉහළ යන බව දක්වන්නේ මෙම මෙම මුදලේ වටිනාකම සංකල්පය මත යි. එනම්, මුදල් ප්‍රමාණය ඉහළ යාම නිසා සමස්ත භාණ්ඩ හා සේවා ඒකයක මිල ඉහළ යන බව යි (මුදල් ප්‍රමාණය / සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණය). එය, දැනට පවතින භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිල දී ගැනීම සඳහා ඉහළ ගිය මුදල් ප්‍රමාණය භාවිතා කොට ඉල්ලුම ඉහළ යාමෙන් සිදු වෙයි.

එහෙත්, මෙම මුදල් සාධකය එක් එක් වෙළෙඳපොළවල මිල ගණන් කෙරෙහි බලපාන ආකාරය විග්‍රහ කල නොහැකි අතර එය සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුම සංකල්පය ඇසුරින් පොදු මිල මට්ටම සහ උද්ධමනය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ ව සාර්ව ආර්ථික ඇසින් ඉදිරිපත් කෙරේ. එබැවින්, මහජනයාගේ ජීවන වියදම කෙරෙහි බලපාන ප්‍රධාන භාණ්ඩ හා සේවා මිල ගණන් පාලනය කිරීම හෝ මෙහෙය වීම සඳහා රජය විසින් ආර්ථිකයේ මුදල් සංසරණ ප්‍රමාණය හෝ මුදල් සැපයුම භාවිතා කිරීමේ ක්‍රමවේදයක් දැකිය නොහැකිය.

නිෂ්පාදක මිල සහ පාරිභෝගික මිල

නිෂ්පාදක මිල යනු භාණ්ඩයක් හෝ සේවයක් නිෂ්පාදනය කොට නිෂ්පාදකයා විසින් තම නිෂ්පාදන ආයතනයේ සිට අළෙවි කෙරෙන මිල යි. එම මිල මගින් නිෂ්පාදකයාගේ සාධක වියදම වන වැටුප්, බදු කුලිය, පොලිය සහ ලාභය (බදු ගෙවීම ඇතුළුව) නිරුපනය කෙරේ. එනම්, භාණ්ඩ හෝ සේවා ඒකකයක සාමාන්‍ය නිෂ්පාදන පිරිවැය යි. එහෙත්, ඒවා පාරිභෝගිකයාට නිෂ්පාදන ආයතනය වෙත පැමිණ මිල දී ගැනීම දුෂ්කර වනු ඇත. එබැවින්, ඒ සඳහා විවිධ මට්ටමේ අළෙවිකරණ ජාලයක් පවතී. එය ප්‍රදේශය තුළ, රට තුළ සහ විදේශීය ලෙස ව්‍යාප්ත විය හැකිය. ඒ අනුව, අළෙවිකරණ ජාලයේ සාධක වියදම (එනම්, ප්‍රවාහන, ගබඩා, වැටුප්, බදු, ණය පොලී, ලාභ) නිෂ්පාදක මිලට එකතු කිරීමෙන් පාරිභෝගික හෙවත් සිල්ලර මිල තීරණය වෙයි. එම ජාලය බොහෝ විට නිෂ්පාදනය සඳහා නිෂ්පාදකයාට පරිබාහිරව පවතින වෙළෙඳපොළ කොටසකි.

මෙය අයුතු ලාභ ගන්නා අතරමැදියන් හෝ අළෙවි මාපියාව ලෙස දේශපාලනික නායකයන් විසින් හංවඩු ගැසුව ද, එම අළෙවිකරණ ජාලය ද පාරිභෝගිකයා හෝ ඉල්ලුම්කරු වෙත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ සැපයුම් ක්‍රියාවලියේ කොටසකි. එබැවින්, එම සියළු නිෂ්පාදන සාධක පිරිවැය ඇතුලත් මිලක් වෙළෙඳපොළේ තීරණය වනු ඇත. සමහර අළෙවිකරණ අතරමැදියන් විසින් නිෂ්පාදකයන් සහ ඉල්ලුම් කරුවන් වෙත ණය සැපයීම සහ නිෂ්පාදන ප්‍රවර්ධන කටයුතු කිරීමේ සාධක සේවාවන් ද සැපයෙනු ඇත. උදාහරණ ලෙස වී සහ කෘෂි නිෂ්පාදන තොග මිල දී ගන්නන් දැක්විය හැකිය.

සමහර දේශපාලනික නායකයන් විසින් පාරිභෝගික මිල ගණන් පහළ දැමීම සඳහා එම අතරමැදි ජාලය ඉවත් කොට රජය මගින් භාණ්ඩ බෙදා හැරීම යෝජනා කෙරේ. එවිට, අතරමැදි වෙළෙඳ ජාලය ලෙස වියදම් අධික අකාර්යක්ෂම රාජ්‍ය සේවය එකතු එකතු වනු ඇත. එය අසාර්ථක යෝජනාවක් හෝ උත්සාහයක් බව වී වෙළෙඳපොළෙන් මනාව පැහැදිලි වෙයි. එබැවින්, අළෙවිකරණ අතරමැදියන් යනු අසාධාරණ පුද්ගල කණ්ඩායමක් ලෙස අර්ථ දැක්වීම ආර්ථික විද්‍යාවට අනුකූල නොවේ.

වර්තමාන මිල ගණන් සහ අනාගත මිල ගණන්

ආර්ථික විද්‍යාවේ මිල ගණන් තීරණය වීමේ විග්‍රහයන් වර්තමාන වෙළෙඳපොළ මිල ගණන්වලට සිමා නොවේ. නූතන මුදල් ආර්ථිකයන්හි අනාගත මිල ගණන් වර්තමානයේ තීරණය කෙරෙන වෙළෙඳපොළවල් ද ක්‍රියාත්මක වෙයි. එම සෑම මිල තීරණයක්ම පොදුවේ ඉල්ලුම් සහ සැපයුම් බලවේගයන් අනුව සිදු වනු ඇත. එදිනෙදා මිල ගණන් තීරණය වන්නේ තැන් වෙළෙඳපොළවල ය. අනාගත මිල ගණන් තීරණය වන වෙළෙඳපොළවල් ව්‍යුත්පන්න වෙළෙඳපොළවල් ලෙස හැඳින් වෙයි.

උදාහරණ ලෙස ඉදිරි වෙළෙඳපොළ, අනාගත වෙළෙඳපොළ සහ මනාප වෙළෙඳපොළ දැක්විය හැකිය. බොරතෙල්, පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ බොහෝ වෙළෙඳ භාණ්ඩ මෙන්ම විදේශ විනිමය, ණය ගනුදෙනු සහ මූල්‍ය ආයෝජන සඳහා ද දියුණු රටවල ක්‍රියාශීලී ව්‍යුත්පන්න වෙළෙඳපොළවල් පවතී. උදාහරණ ලෙස දින 30 ක් අවසානයේ බොරතෙල් වෙළෙඳාම සඳහා වූ මිල ගණන් අද දින තීරණය වනු ඇත. එබැවින්, රටවල බොරතෙල් ආනයන සමාගම් විසින් බොර තෙල් ඇනවුම් කරනු ලබන්නේ තමන් මනාප අනාගත කාලයන් සඳහා එදිනෙදා ව්‍යුත්පන්න වෙළෙඳපොළවල තීරණය වන මිල ගණන් මත ය. එබැවින්, අනාගතයේ මිල වෙනස් වීමේ අවදානම කළමනාකරණය කර ගැනීමට ව්‍යුත්පන්න වෙළෙඳපොළවල් උපකාරී වෙයි.

අනාගත මිල ගණන් තීරණය වීමේ දී අදාළ භාණ්ඩය හෝ සේවාවේ අනාගත වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳ ඉල්ලුම් සහ සැපයුම් කරුවන් සතු විවිධ තොරතුරු සහ අපේක්ෂණයන් බලපානු ඇත. උදාහරණ ලෙස පසුගිය කාලයේ කොරෝනා වෛරස් නව ප්‍රභේදයන් වාර්තා වූ විගස බොරතෙල් අනාගත මිල ගණන් පහළ ගිය අතර එම ප්‍රභේදයන් පාලනය කෙරෙන විට බොරතෙල් අනාගත මිල ගණන් ඉහළ යාම සිදු විය. එසේම, මූල්‍ය වෙළෙඳපොළවල සමාගම් කොටස් අළෙවිය ඉහළ ගොස් එම මිල ගණන් පහළ යාමත්, එම අරමුදල් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම සඳහා යෙදවීමෙන් රාජ්‍ය සුරැකුම්පත් මිල ගණන් ඉහළ යාමත් සිදු වූ අතර වෛරස් අස්ථායීතාවය ලිහිල් වීමෙන් පසුව නැවත වෙළෙදපොළ තත්ත්වය ආපසු හැරිණ.

එසේම, යම් භාණ්ඩයක හෝ සේවයක තැන් මිල තීරණය වීමේ දී ද ආර්ථික විද්‍යාවේ සාමාන්‍යයෙන් දැක්වෙන ඉල්ලුම් සහ සැපයුම් සාධක තුළ නොයෙකුත් වෙළෙඳපොළ තොරතුරු සහ අපේක්ෂණයන් ද අඩංගු වනු ඇත. උදාහරණ ලෙස පසුගිය කාලයේ හිටි හැටියේම ඉන්ධන හල්වල දිගු පෝලිම් හට ගැනීම හදිසි අපේක්ෂණයන්ගේ ප්‍රතිඵලයකි. යම් භාණ්ඩයක හිඟයක් අපේක්ෂා කෙරෙන විට එහි මිල ඉහළ යාම ද මීට උදාහරණයකි. එබැවින්, තොරතුරු තාක්ෂණය දියුණු නූතන වෙළෙඳපොළවල වෙළෙඳපොළ තොරතුරු හුවමාරුව තුළින් මිල ගණන් තීරණය වීම කාර්යක්ෂම වී ඇත. එබැවින්, ඉල්ලුම් සහ සැපයුම් සාධක හේතු කොට ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන් වෙනස් වීම ක්ෂණිකව ලෝකය පුරා ක්‍රියාත්මක වනු ඇත.

වෙළෙඳපොළ මිල ගණන් මෙහෙය වීම සහ පාලනය

ආර්ථික විද්‍යාවේ තරගකාරී ඉල්ලුම් සහ සැපයුම් බලවේගයන් මගින් මිල ගණන් තීරණය වන බව විග්‍රහ කළ ද, වෙළෙඳපොළේ තරගකාරී නොවන බලවේගයන් තුළින් වෙළෙඳපොළ මෙහෙය වීම සහ මිල ගණන් තීරණය කිරීමත්, ඒ පිළිබඳ ව මහජනයා විසින් විවිධ මැසිවිලි නැගීමත් කලින් කලට දැකිය හැකිය. එවැනි බලවේගයන් රාශියක් විවිධ වෙළෙඳපොළ දැකිය හැකිය. රජය, ඒකාධිකාරීන්, කතිපයාධිකාරීන්, අක්‍රමික වෙළෙඳුන්/අභ්‍යන්තරික වෙළෙඳුන් ඒ අතර දැකිය හැකිය.

රජය විසින් මිල පාලනයන් පැනවීම, බදු සහ සහනාධාර සැපයීම, රාජ්‍ය නිෂ්පාදන සහ අළෙවි ව්‍යවසායන් පවත්වා ගෙන යාම සහ සාධාරණ වෙළෙඳපොළ නියාමනයන් තුළින් වෙළෙඳපොළ බලවේගයන් සහ මිල ගණන් කෙරෙහි මැදිහත් වීම දැකිය හැකිය. එහෙත්, මේ දිනවල ශ්‍රී ලංකාවේ රජය විසින් කෙරෙන වෙළෙඳපොළ පාලනයන් සියල්ලම මහජන විවේඡනයන්ට ලක් වීම දෛනික සිද්ධියක් වී ඇත. ප්‍රකාශ කෙරෙන පරිදි මිල ගණන් හෝ වෙළෙඳපොළ තත්ත්වයන් පාලනය කිරීමට රජයන් අසමත් වී ඇත්තේ වෙළෙඳපොළ බලවේගයන්හි පවතින අධි බලය නිසා බව පැහැදිලිය. එසේම, මෙම රාජ්‍ය ක්‍රියාවලියේ දී සිදු වන වංචාවන් සහ අක්‍රමිකතාවන් පිළිබඳ ව ද තොරතුරු බොහෝ පළ වී ඇත.

ඒකාධිකාරයන් යනු තනි නිෂ්පාදකයකු හෝ අළෙවි කරුවකු විසින් වෙළෙඳපොළ මෙහෙය වීම යි. රාජ්‍ය බලපත්‍ර හෝ මහා පරිමාණ නිෂ්පාදන පිරිමැසුම් සහ කාර්යක්ෂමතාවය හේතු කොට ඒකාධිකාරීන් බිහි විය හැකිය. එසේම, සැපයුම් කරුවන් විසින් එකතු වී පිහිටුවා ගන්නා සංවිධානයන් ද ඒකාධිකාරින්ට සමාන වෙයි. ඔවුන් අතර නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ වෙනස්කකම් පැවතිය ද, සංවිධානය විසින් වෙළෙඳපොළ මිල ගණන් තීරණය කිරීම හරහා ලාභ තහවුරු කර ගනු ඇත.

උදාහරණ ලෙස ගෝලීය බොර තෙල් වෙළෙඳපොළ මෙහෙය වන ඔපෙක් සංවිධානය බොර තෙල් ඒකාධිකරුවකු ලෙස දැකිය හැකිය. ශ්‍රම වෙළෙඳපොළේ වෘත්තීය සමිතීන් ද ශ්‍රම සැපයුම් ඒකාධිකාරයට උදාහරණයකි. කතිපයාධිකාරීන් යනු වෙළෙඳපොළ සැපයුමේ බහුතර බලය අත්කර ගැනීම තුළින් වෙළෙඳපොළ මෙහෙය වීම යි. එය විශාල සැපයුම් කරුවන් කිහිප දෙනෙකු විසින් තරගකාරීව කෙරෙනු ඇත. රාජ්‍ය දේශපාලනික සහයෝගය සහ බලපත්‍රයන් තුළින් ද කතිපයධිකරුවන් බිහි කිරීම දැකිය හැකිය.

අභ්‍යන්තරික වෙළෙඳුන් යනු අසාධාරණ වෙළෙඳ ක්‍රමෝපායන් හරහා වෙළෙඳපොළ මෙහෙය වීම් තුළින් ලාභ උපයන වෙළෙඳුන් ය. රජය විසින් මෙහෙය වන වෙළෙඳපොළවල ඉදිරි රාජ්‍ය ප්‍රතිපත්ති වැනි වෙළෙඳපොළ සංවේදී රහස්‍ය තොරතුරු වේලාසන ලබා ගැනීම තුළින් සමහර නිෂ්පාදකයන් විසින් වෙළෙඳ වාසි ලබා ගැනීම ඉතා ප්‍රචලිත අක්‍රමිකතාවකි. මෙම අක්‍රමිකතාවන් මූල්‍ය වෙළෙඳපොළවල ඉතා ප්‍රචලිතව සිදු වෙයි.

රාජ්‍ය සුරැකුම්පත්, කොටස් සහ විදේශ විනිමය වෙළෙඳපොළවල දක්නට ලැබෙන මිල ගණන් ක්‍රමයෙන් ඉහළ නංවා, පසුව එක්වර අළෙවි කොට ලාභ ලබා ගෙන මිල ගණන් බැස්ස වීම ද නිතර දැක්වෙන වෙළෙඳ අක්‍රමිකතාවයකි. එසේ මිල ගණන් බැසීම හේතු කොට බොහෝ ආයෝජකයන්ට අලාභ සිදු වෙයි. ලංසු කැඳවීමක් නොමැතිව විවිධ පෞද්ගලික අළෙවි ක්‍රමවේදයන් යටතේ විනිවිද භාවයක් නොමැතිව වෙළෙඳ තීරණයන් ගැනීම තුළින් ද වෙළෙඳ අක්‍රමිකතාවන් සිදු වන බව ප්‍රචලිතය.

සමහර ආර්ථික විද්‍යාඥයන්ට අනුව මෙවැනි අභ්‍යන්තරික වෙළෙඳාම් ක්‍රමෝපායන් තුළින් කාර්යක්ෂමව වෙළෙඳපොළක් නියෝජනය කෙරේ. ඊට හේතුව, වෙළෙඳපොළ තොරතුරු සොයා ගෙන උපරිම වශයෙන් භාවිතා කිරීම යි. එබැවින්, නූතන වෙළෙඳපොළවල ප්‍රමිතියක් වන්නේ වෙළෙඳ තොරතුරුවල ඉහළ මට්ටමේ විනිවිදභාවයක් පවත්වා ගැනීම යි. එබැවින්, සාධාරණ වෙළෙඳපොළ නියාමනයන් යටතේ වෙළෙඳ ගනුදෙනුවලට අදාළ තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ නීති පනවා ඇත. මීට ඉතාම සරල උදාහරණය වනුයේ අළෙවි හලක මිල ගණන් ප්‍රදර්ශනය කිරීම යි. එම තොරතුරු මගින් ඉල්ලුම් සහ සැපයුම් තීරණයන් ගැනීම පහසු කෙරේ. බොහෝ මූල්‍ය වෙළෙඳපොළ අක්‍රමිකතාවන් වාර්තා වීමට හේතුව තොරතුරුවල විනිවිදභාවයක් නොමැති වීම යි.

එහෙත්, මෙවැනි වෙළෙඳ අක්‍රමිකතාවන් කෙටි කාලීන සිදු වීම් වන අතර ඉල්ලුම් සහ සෙසු සැපයුම් බලවේගයන් හේතු කොට වෙළෙඳපොළ සාමාන්‍ය බලවේගයට අවනත වනු ඇත. සාමාන්‍යයෙන් ඉල්ලුම් බලවේගයේ තරගකාරිත්වය වෙළෙඳපොළ තුළ අඛණ්ඩව දැකිය හැකිය. එබැවින්, වෙළෙඳපොළ මිල ගණන් තීරණය වීම කෙරෙහි වෙළෙඳපොළ බලවේගයන් සමස්තයක් ලෙස බලපානු ඇත. මීට උදාහරණයක් ලෙස මිල පාලනයන් වැනි ඍජු රාජ්‍ය මැදිහත් වීම් පවතින විට කළු කඩ වැනි ක්‍රමවේදයන් හරහා වෙළෙඳපොළ තරගකාරිත්වය ක්‍රියාත්මක වීම දැක්විය හැකිය.

වෙළෙඳපොළ බලවේගයන් පිළිබඳ ඇඩම් ස්මිත්ගේ සහ කාල් මාක්ස්ගේ මතයන්

  • ඇඩම් ස්මිත්ගේ මතය

මිනිස් හැසිරීම පිළිබඳ දර්ශන වාදියෙකු වන ඇඩම් ස්මිත්ට (1723-1790) අනුව "සෑම පුද්ගලයකු විසින් තමන් වෙනුවෙන් ක්‍රියා කරන විට, එමගින් අනපේක්ෂිත ලෙස සියළු දෙනාට හොඳම ප්‍රතිඵලය ගෙන ඒමට උපකාරී වෙයි. අපිට රාත්‍රී ආහාරය ලැබෙන්නේ මස් වෙළෙන්දා, බියර් වෙළෙන්දා සහ බේකරි හිමියාගේ පරිත්‍යාගශීලීභාවය නිසා නොව, ඔවුන් විසින් ඔවුන්ගේම යහපත සඳහා ක්‍රියා කිරීම හේතුවෙනි. ඔවුන් විසින් මහජනයාට අවශ්‍ය දේවල් අළෙවි කිරීමෙන් මුදල් ඉපැයීමට බලාපොරොත්තු වෙයි. තම ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාවන් සැපිරීමට ඔවුන් සමත් වෙයි නම්, මූල්‍ය ප්‍රතිලාභ බුක්ති විඳීමට ඔවුන්ට හැකියාව ලැබේ. ඔවුන් විසින් මහජනයාට අවශ්‍ය නිෂ්පාදනයන් සැපයීම හරහා මුදල් ඉපැයීමේ අරමුණින් ව්‍යාපාරයන්හි යෙදෙති. මෙවැනි ක්‍රමයක් තුළින් මස් වෙළෙන්දා, බියර් වෙළෙන්දා සහ බේකරි හිමියාට පමණක් නොව, තමන්ගේ මූල්‍ය අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සහ වඩාත් යහපත සඳහා ඵලදායීව ක්‍රියා කරනු ලබන මහජනයාගෙන් යුත් මුළු ජාතියටම ධනය බිහි කෙරේ.”

මෙසේ පුද්ගලයන් විසින් නිතරම තරගකාරීව තම ස්වාර්ථය උදෙසා ක්‍රියා කරන අතර එමගින් සමාජ සුබසාධනය ඇති වෙයි. අනපේක්ෂිත ලෙස ඇති වන මෙම සමාජ සුබසාධනය පුද්ගලයන් විසින් විශේෂයෙන් ඇති කිරීමේ අරමුණින් ක්‍රියා කිරීමේ දී ලබන සුබසාධනයට වඩා ඉහළ වෙයි. මෙම නිදහස් වෙළෙඳපොළ හැසිරීම ඇඩම් ස්මිත් විසින් “අදෘශ්‍යමාන හස්තය” ලෙස හඳුන්වා ඇත. එබැවින්, සමාජ සුබසාධනය සඳහා රාජ්‍ය මැදිහත් වීමෙන් තොර නිදහස් වෙළෙඳපොළ ක්‍රමය පැවතිය යුතු බව ඔහුගේ දර්ශනය විය. වෙළෙඳපොළ පදනම් වූ ආර්ථික පද්ධතිය ලෙස හැඳින් වෙන්නේ මෙසේ නිදහස් වෙළෙඳපොළවල් ක්‍රියාත්මක වන ආර්ථිකයන් ය.

ඇඩම් ස්මිත් ට අනුව ඕනෑම භාණ්ඩයකට ස්වභාවික මිලක් සහ වෙළෙඳපොළ මිලක් පවතී. ස්වභාවික මිල යනු භාණ්ඩයේ අඩංගු නිෂ්පාදන සාධක හෝ යෙදවුම් වටිනාකම යි. එහෙත්, පවතින වෙළෙඳපොළ තත්ත්වයන් අනුව එහි වෙළෙඳපොළ මිල ස්වභාවික මිලට වඩා ඉහළ හෝ පහළ යා හැකිය. එහිදී, වෙළෙඳපොළ මිල ස්වභාවික මිලට වඩා අඩු විට භාණ්ඩය සඳහා අධි ඉල්ලුමක් හට ගන්නා අතර වෙළෙඳපොළ මිල ස්වභාවික මිලට වඩා වැඩි විට අධි සැපයුමක් හට ගනී. එබැවින්, වෙළෙඳපොළ බලවේගයන් තුළින් වෙළෙඳපොළ මිල ස්වභාවික මිල දෙසට වෙනස් වනු ඇත. ආර්ථික විද්‍යාවේ දැක්වෙන සමතුලිත මිල යනු මෙම ස්වභාවික මිල යි. එසේ වෙළෙඳපොළ මිල ස්වභාවික මිල දෙසට වෙනස් වීමේ ක්‍රියාවලිය වෙළෙඳපොළෙහි සිදු වන ස්වයං නියාමනය ලෙස ඇඩම් ස්මිත් විසින් හඳුන්වා දී ඇත. එය ආර්ථිකය පුරා වෙළෙඳපොළවල ක්‍රියාත්මක වන තරගකාරී වෙන්දේසි ක්‍රමය තුළින් සිදු වනු ඇත. එබැවින්, ඒ සඳහා රාජ්‍ය නියාමනයන් අවශ්‍ය නොවේ.

  • කාල් මාක්ස්ගේ මතය

එහෙත්, කාල් මාක්ස්ගේ (1818-1883) මතය වන්නේ නිෂ්පාදනය මෙහෙය වන ප්‍රාග්ධන හිමියන් විසින් නිෂ්පාදන වටිනාකම හෙවත් වෙළෙඳපොළ වටිනාකමින් එම වටිනාකම ජනිත කෙරෙන ශ්‍රමයට හිමි නිවැරදි හෝ සාධාරණ කොටස ලබා නොදීමෙන් අයුතු ලාභ ලබන බව යි. ඔහු විසින් මෙය ශ්‍රම සුරාකෑම ලෙස හඳුන්වා ඇත. මේ නිසා ආර්ථිකයේ බහුතර වැඩ කරන පන්තිය සහ නිෂ්පාදන සම්පත් හිමි ධනවත් පන්තිය අතර ආදායම්/ධනයේ විෂමතාවයක් හට ගනී. එබැවින්, එය වැලැක්වීම සඳහා රාජකීය වැඩවසම් පාලනය වෙනුවට කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන පාලන ක්‍රමයක් යෝජනා කෙරේ.

ඔහුගේ චින්තනය වූයේ බහුතර වැඩකරන පන්තිය සහ නිෂ්පාදන සම්පත් හිමි ධනවත් පන්තිය අතර පවතින ගැටුම තුළින් අවසානයේ බහුතර වැඩ කරන පන්තිය විසින් නිෂ්පාදන සම්පත් තම පාලනයට ගෙන ධනවාදී ක්‍රමය අවසන් වන බව යි. එහෙත්, ඔහු විසින් ඒ සඳහා සන්නද්ධ අරගල යෝජනා කලේ නැත. එය සමාජ පරිණාමයක් ලෙස සිදු වෙයි. මෙම විග්‍රහය හෝ දර්ශනය 1700 මැද සිට 1800 මැද දක්වා සියවස තුළ එංගලන්තය සහ යුරෝපීය රටවල සිදු වූ ප්‍රථම කාර්මික විප්ලවය හෙවත් කාර්මීකරණය හේතු කොට හට ගත් නව සමාජ ආර්ථික අසමතුලිතතාවන් පදනම් කර ගෙන ඉදිරිපත් කොට ඇත. එහෙත්, කාල් මාක්ස් විසින් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයට වෙනත් විකල්පයක් ඉදිරිපත් කලේ නැත. එනම්, වැඩ කරන පන්තිය ද වෙළෙඳපොළ තුළ ක්‍රියා කරනු ඇත.

එහෙත්, කාල් මාක්ස්ගේ මෙම ආර්ථික දර්ශනය පසුකාලීන දේශපාලනික ක්‍රියාශීලීන් කොටසක් විසින් සමාජවාදය ලෙස අර්ථ නිරූපනය කොට, එය ධනවාදයට හෙවත් වෙළෙඳපොළ ආර්ථිකයට එරෙහිව රාජ්‍ය පාලනය කිරීමේ ආර්ථික දර්ශනයක් ලෙස ව්‍යාප්ත කොට ඇත. එය රාජ්‍ය බලය ලබා ගැනීමේ සටන් පාඨයක් ලෙස ද මේ දක්වා බොහෝ රටවල ක්‍රියාත්මකව පවතී. එහෙත්, ඇඩම් ස්මිත්ට අනුව එම බහුතර ශ්‍රමය සඳහා වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත තරගකාරීව තීරණය කෙරෙන මිලට හෝ වැටුපට නිෂ්පාදන ප්‍රතිලාභය සැපයී ඇත. එබැවින්, රාජ්‍ය ආර්ථික ඇගිලි ගැසීම්වලින් තොර නිදහස් වෙළෙඳපොළ ක්‍රමයක් තුළ ස්වාර්ථය සඳහා තරග කිරීම හේතු කොට සියළු දෙනාගේ සුභසාදනය උපරිම වන බව ඔහු විසින් දක්වා ඇත.

  • මතයන් දෙක සැසඳීම 

එහෙත්, පොදුජනයාට තම ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වඩාත් කාර්යක්ෂම ආර්ථික ක්‍රමවේදය වනුයේ කාල් මාක්ස් ගේ ආර්ථික දර්ශනය ද? නැත්නම් ඇඩම් ස්මිත් ගේ ආර්ථික දර්ශනය ද? යන්න තීරණය කිරීමට සැබෑ ලෝකයේ ප්‍රමාණවත් දත්ත නොමැත. එහෙත්, ලෝකයේ සෑම රටක්ම පාහේ වෙළෙඳපොළ  ඉල්ලුම් සහ සැපයුම් බලවේගයන් මත ආර්ථික ප්‍රශ්නයන් විසඳන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට නැඹුරු වී ඇත. එය සාධාරණ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය මැදිහත් වීමේ විවිධ ප්‍රමාණයන් අනුව දැකිය හැකිය.

මෙහිදී, යුරෝපය සහ ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවල් විසින් බොහෝ නිදහස් වෙළෙඳපොළ මුලධර්මයන් ද, දියුණු වෙමින් පවතින අනෙක් රටවල් විසින් පොදුජන සුබසාධනය ඉහළ දැමීමේ අරමුණින් රජයේ මැදිහත් වීම අධික වෙළෙඳපොළ මුලධර්මයන් ද අනුගමනය කිරීම දැකිය හැකි අතර වෙළෙඳපොළ බලවේගයන් තුළින් මිල ගණන් තීරණය වීමේ නිදහස ඒ අනුව වෙනස් වනු දැකිය හැකිය. සමහරුන්ට අනුව අධික රාජ්‍ය මැදිහත් වීම් සහිත රටවල දක්නට ලැබෙන්නේ රාජ්‍ය අනුග්‍රහය ලත් ධනවාදී ආර්ථික ක්‍රමයන් ය.

මූලික ආර්ථික ප්‍රශ්නයන් යනු ජීවත් වීමේ මිනිස් වුවමනාවන් ඉටු කිරීම පිණිස නිෂ්පාදනය හෙවත් ආර්ථික සම්පත් බෙදා හැරීමේ හෝ උපයෝජනය කිරීමේ දී මුහුණ දෙන ගැටළු ය. එය වෙළෙඳපොළ බලවේග විසින් තීරණය කෙරෙන මිල ගණන් මගින් වඩාත් කාර්යක්ෂමව සිදු කෙරෙන බව නිදහස් වෙළෙඳපොළ මතධාරීන්ගේ අදහස යි. ඊට හේතුව, ආර්ථික වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා තරගකාරීව ක්‍රියා කිරීම පුද්ගලයන්ගේ ස්වභාවික හැසිරීම වන බැවිනි. සමාජවාදී අදහස් මත වෙළෙඳපොළ කෙරෙහි රාජ්‍ය මැදිහත් වීම තුළින් එය කිරීම අපහසු බව රාජ්‍ය ආර්ථික කළමනාකරණය පවතින රටවල පොදුජනයා මුහුණ දෙන ආර්ථික ගැටළු දෙස බැලීමෙන් පැහැදිලි වෙයි. එසේම, 1980 ගණන්වල සිට සමාජවාදී බවට හුවා දැක්වූ රටවල් විසින් තම ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා වෙළෙඳපොළ බලවේගයන්ට ක්‍රමානුකූලව ඉඩ හැරීම හැකිය.

රජය විසින් උද්ධමනය පාලනය කිරීම

මේ සඳහා රජය විසින් උද්ධමනය මැනීම පිණිස පාරිභෝගික මිල දර්ශකයන් ගණනය කෙරේ. පාරිභෝගික මිල දර්ශකයක් යනු කුටුම්බවල පරිභෝජන පැසේ යම් අතීත මාසයක වියදම මත පදනම් වී, එම පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල ගණන්වල මාසික වෙනස් වීම හේතු කොට පරිභෝජන හෝ ජීවන වියදමේ වෙනස් වීමේ ප්‍රමාණය ගණනය කිරීම සඳහා සැකසෙන දර්ශකයකි. ඒ අනුව, ආර්ථිකයේ මිල ගණන් ඉහළ යන විට මිල දර්ශකය ඉහළ යනු ඇත. මිල දර්ශකය ඉහළ යාමේ ප්‍රතිශතය උද්ධමනය ලෙස සැලකේ. එබැවින්, මෙම උද්ධමනය සාර්ව ආර්ථික විද්‍යාවේ නිර්වචනය කෙරෙන පොදු මිල මට්ටම් ඉහළ යාම නියෝජනය කෙරෙන දර්ශකයක් ලෙස සැලකේ.

ආරම්භයේ දී මෙසේ මිල දර්ශකයන් ගණනය කරනු ලැබුවේ ආර්ථිකයේ පාරිභෝගික මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව කලින් කලට රාජ්‍ය අංශයේ කම්කරු වැටුප් සංශෝධනය කිරීම තුළින් කම්කරු ජීවන මට්ටම ආරක්ෂා කිරීමේ අරමුණ මත ය. පසුව මෙය ආර්ථිකයේ කුටුම්බ අංශයේ ජීවන වියදම හෙවත් ආර්ථිකයේ උද්ධමනය මැනීම සඳහා භාවිතා කෙරෙන ආර්ථික දර්ශකයක් ලෙස පරිණාමය විය. එබැවින්, මෙය සාමාන්‍ය ආදායම් ලාභී කුටුම්බවල ප්‍රධාන වශයෙන් ආහාර ද්‍රව්‍ය ප්‍රමුඛ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් නියෝජනය කෙරෙන දර්ශකයක් වී ඇත.

එබැවින්, කුටුම්බ බඩු පැසේ අඩංගු බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් පෞද්ගලික වෙළෙඳපොළ මගින් තීරණය වන බැවින් රජයට අවශ්‍ය ආකාරයට උද්ධමනය පාලනය කිරීම සඳහා එම මිල ගණන් පාලනය කළ නොහැකිය. එහෙත්, මිල පාලනයන්, බදු, සංක්‍රාම සහ රාජ්‍ය ව්‍යවසායන් මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සහන මිල ගණන් මත බෙදා හැරීම වැනි ඍජු ප්‍රතිපත්ති තුළින් පාරිභෝගික මිල ගණන් පාලනය කිරීම තුළින් උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගෙන යාමට රජයන් විසින් නිරන්තරයෙන් උත්සාහ කිරීම දැකිය හැකිය. මෙය ආර්ථික විද්‍යාවේ මූලධර්මයන්ට අනුකූල නොවන අතර එමගින් ආර්ථිකයේ වෙළෙඳපොළ අස්ථායීතාවයන් රාශියක් හට ගෙන, ඒවා පොදු මිල මට්ටම කෙරෙහි බලපානු ඇත. එබැවින්, මෙම ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වා ගැනීම අසීරු වෙයි. ඊට ප්‍රයෝගික හේතු රාශියක් දැක්විය හැකිය.

පළමුව, බදු, සංක්‍රාම සහ රාජ්‍ය ව්‍යවසායන් හේතු කොට රාජ්‍ය ආදායම පහළ යාම සහ රාජ්‍ය වියදම ඉහළ යාම තුළින් අයවැය හිඟයන් ඉහළ යනු ඇත. එය පියවීම සඳහා ණය ගැනීම තුලින් ආර්ථිකයේ පොලී අනුපාතයන් (ප්‍රාග්ධන මිල) ඉහළ ගොස් මිල ගණන් ඉහළ යනු ඇත. එබැවින්, රාජ්‍ය අයවැය ගැටළු අවම කිරීම සඳහා ආවෘත ආර්ථික ක්‍රමයන් පැවති කාලවල අනුගමනය කළ පරිදි සලාක ක්‍රමයන් යටතේ අඩු ආදායම් ලාභීන් සඳහා පාරිභෝගික සහනයන් සැපයිය යුතු බවට ද සමකාලීන දේශපාලනික අදහස් ඉදිරිපත් වෙමින් පවතී.

දෙවනුව, මිල පාලනයන් පවත්වා ගෙන යාමට අවශ්‍ය සම්පත් රජයට නොමැති වීමෙන් ඒවා අසාර්ථක වනු ඇත. උදාහරණ ලෙස කෘෂි නිෂ්පාදකයන්ගේ ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් පනවන අවම නිෂ්පාදන මිල ගණන් අසාර්ථක වන්නේ එම මිල ගණන්වලට එම නිෂ්පාදනයන් මිල දී ගෙන පාරිභෝගිකයා වෙත අළෙවි කිරීමේ ක්‍රමවේදයන් පවත්වා ගැනීමට රජයට නොහැකි වීම යි. මීට හොඳම උදාහරණය වී මිල ගණන් ය. එසේම, රජය විසින් කෙසේ හෝ නිෂ්පාදන මිල ගණන් ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට උත්සාහ කළ හොත්, එමගින් පාරිභෝගික මිල ගණන් ද ඉහළ ගොස් උද්ධමනය ඉහළ යනු ඇත.

අවම පාරිභෝගික මිල ගණන් අසාර්ථක වන්නේ එම මිල ගණන් පවත්වා ගෙන යාම සඳහා රජය විසින් භාණ්ඩ අළෙවි කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම යි. පසුගිය කාලයේ සහල් ඇතුළු සියළු පාරිභෝගික මිල පාලනයන් ඉවත් කොට, වෙළෙඳපොළ මිල තීරණයට ඉඩ දීමට රජයට සිදු වූයේ එබැවිනි.

තෙවනුව, බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් ආනයනය කෙරෙන බැවින් ඒවායේ මිල ගණන් ලෝක වෙළෙඳපොළ මිල ගණන් වෙනස් වීම අනුව වෙනස් වනු ඇත. රජයට කළ හැක්කේ තීරු බදු සහ වැට් බදු වෙනස් කිරීම මගින් ආනයනවල දේශීය මිල ගණන් කෙරෙහි තාවකාලික බලපෑමක් ඇති කිරීම පමණි. එයද, රාජ්‍ය ආදායම කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත.

එසේම, ආනයනවල දේශීය මිල ගණන් පාලනය කිරීමේ අරමුණින් මුදල් අවප්‍රමාණයට ඉඩ නොදී විනිමය අනුපාතය පහළ මට්ටමක පාලනය කිරීම තුළින් ආර්ථිකයේ විදේශ මුදල් සංචිතය හීන වී ආර්ථිකය දැඩි අර්බුදයකට ඇද දමනු ඇත. විදේශ සංචිත හිඟය හේතු කොට ආනයන පහළ ගොස් ආර්ථිකය පුරා භාණ්ඩ හිඟයක් සහ අධික මිල ඉහළ යාමක් සිදු වී උද්ධමනය දැඩි ලෙස ඉහළ යනු ඇත. වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍ර භාණ්ඩ හිඟය සහ ඉහළ උද්ධමනයට ප්‍රධාන හේතුව වනුයේ මෙසේ වෙළෙඳපොළ බලවේගයන්ට/මූලධර්මයන්ට එරෙහිව විනිමය අනුපාතය පාලනය කිරීම යි.

සිවුවනුව, ආර්ථිකයේ පාරිභෝගික මිල ගණන් ඉහළ යාමට අනුරූපව වැටුප් ඉහළ යාමට ඉඩ නොදුන හොත් වෘත්තීය අරගලයන් හට ගෙන, නිෂ්පාදනය/සැපයුම පහළ ගොස් උද්ධමනය ඉහළ යනු ඇත. එය මිල ගණන් ඉහළ යාම වැලැක්වීම සඳහා වැටුප් පාලනය කිරීමට උත්සාහ කිරීම නිසා ද හට ගනු ඇත.

පස්වනුව, මහ බැංකුව විසින් පොලී අනුපාතයන් ඉහළ දමා ආර්ථිකයේ ණය සහ මුදල් ප්‍රසාරණය පහළ දැමීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම සිදු කෙරේ. උද්ධමනය ඉහළ යාමට හේතුව ලෙස මහ බැංකුව පිළි ගන්නේ මුලින් දක්වා ඇති පරිදි මුදල් ප්‍රසාරණය හේතු කොට ආර්ථිකයේ අතිරික්ත සමාහාර ඉල්ලුමක් පැවතීම යි. එබැවින්, පොලී අනුපාතයන් ඉහළ දැමීම මගින් අතිරික්ත සමාහාර ඉල්ලුම ඉදිරි කාලය තුළ පහළ දැමීම හරහා උද්ධමනය පහළ දැමීම අපේක්ෂා කෙරේ. එහෙත්, උද්ධමන පාලනය සඳහා මූල්‍ය ප්‍රතිපත්තියේ ශක්‍යතාවය ප්‍රයෝගික දත්ත මගින් සනාථ වී නොමැත. එය හුදු මූල්‍ය වාදී සංකල්පයක් පමණි. උද්ධමනය ලෙස පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාම සැලකෙන අතර පාරිභෝගික බඩු පැසෙහි මිල ගණන් ඉහළ යාම කෙරෙහි පොලී අනුපාතයන් සහ බැංකු ණය පරිමාව බලපාන ආකාරය ද තහවුරු කළ නොහැකිය. 

එසේම, උද්ධමනය ඉහළ යන විට මූල්‍ය ආයෝජනවල මූර්ත පොලී අනුපාතය පහළ යන බැවින් මූර්ත පොලී අනුපාතය ආරක්ෂා කර ගැනීම සඳහා මූල්‍ය සහ ණය වෙළෙඳපොළවල පොලී අනුපාතයන් උද්ධමනය ඉහළ යාමට අනුරූපව ස්වභාවිකව ඉහළ යනු ඇත. එබැවින්, මහ බැංකුව විසින් ද පොලී අනුපාතයන් ඉහළ දැමීම තුළින් වෙළෙඳපොළ පොලී අනුපාතයන් ඉහළ යාම දෙගුණ වනු ඇත. මෙවැනි දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට ආර්ථිකයේ ණය ඉල්ලුම පහළ යන බැවින් ආර්ථික වර්ධනය සහ සේවා නියුක්තිය පහළ යන බව ප්‍රයෝගික ඇත දැකීම යි. එසේම, පොලී අනුපාතය යනු නූතන මූල්‍ය ආර්ථිකයන්හි නිෂ්පාදන සාධක පිරිවැයේ ප්‍රධාන කොටසක් වන බැවින් පොලී අනුපාතය ඉහළ යාම හේතු කොට නිෂ්පාදන පිරිවැය සහ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යනු ඇත. එය පවතින උද්ධමනය තවත් ඉහළ යාමට හේතු වෙයි. එබැවින්, ඉහත දැක්වූ උද්ධමන පාලන රාජ්‍ය ප්‍රතිපත්තිවලට (කුටුම්බ වියදම් ආරක්ෂණය) ප්‍රතිවිරුද්ධ ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය (කුටුම්බ වියදම් පහළ දැමීම) ක්‍රියාත්මක වනු ඇත.

එබැවින්, උද්ධමනය පාලනය කිරීමට ගන්නා ප්‍රතිපත්ති වෙළෙඳපොළ ආර්ථික සංකල්පයන්ට පටහැනි බැවින් අසාර්ථක වන බව පැහැදිලිය. ආර්ථිකයේ වෙළෙඳපොළ පද්ධතියේ අන්තර් ක්‍රියාකාරිත්වය දෙස බලන විට තෝරා ගත් වෙළෙඳපොළවල මිල ගණන් ස්වභාවික ඉල්ලුම් සහ සැපයුම් බලවේගයන්ට පිටතින් රාජ්‍ය ප්‍රතිපත්ති මගින් පාලනය කළ නොහැකි බව සරල ආර්ථික විද්‍යා දැනුමකි. එබැවින්, ඒවා හුදෙක් කෙටි කාලීන දේශපාලනික අරමුණු සඳහා ක්‍රියාත්මක කෙරෙන බවත්, ඒ මගින් සාර්ව ආර්ථික අස්ථායීතාවන් හෙවත් සමාහාර ඉල්ලුම සහ සැපයුම වෙනස් වීම තුළින් අතුරු ආර්ථික ඵලයන් රැසක් හට ගන්නා බවත් පැහැදිලිය. එසේම, රාජ්‍ය ආර්ථික/වෙළෙඳපොළ පාලනයන් තුළින් හට ගන්නා අකාර්යක්ෂමතාවන් ද නිෂ්පාදන පිරිවැයට එකතු වන බැවින් ආර්ථිකයේ මිල ව්‍යුහය නිදහස් වෙළෙඳපොළ මිල ව්‍යුහයට වඩා ඉහළ යනු ඇත. 

ඒ අනුව, ඉහත දැක්වූ සංකල්පීය පසුබිම තුළ ආර්ථිකයක මිල ගණන් සහ උද්ධමනය යනු ආර්ථික ඉතිහාසය පුරා පරිණාමය වී ඇති ඉතා සංකීර්ණ තොරතුරු මත පදනම් වූ වටිනාකම් ව්‍යුහයක ප්‍රතිපලයක් වෙයි. එබැවින්, රජය වෙත එම තොරතුරු නොමැති වීම හෝ එම තොරතුරු පිළිබඳ ව පාලනයක් නොමැති වීම හේතු කොට හුදු රාජ්‍ය අයවැය සහ මූල්‍ය ප්‍රතිපත්ති කිහිපයක් තුළින් රාජ්‍ය අධිකාරීන් විසින් ආර්ථිකයක මිල ගණන් සහ උද්ධමනය කෙරෙහි පාලනයක් ඇති කිරීමට අපේක්ෂා කිරීම ප්‍රයෝගික නොවේ.

එබැවින්, 2022 නව වසරේ ප්‍රදානය කළ හැකි හොඳම මහජන සේවය වනුයේ දේශපාලනික අරමුණු පසෙක ලා, රජයේ උද්ධමන පාලන නොහැකියාව පිළිබඳ ව සත්‍ය ආර්ථික පසුබිම මහජනයා වෙත අවබෝධ කිරීම සහ රජයේ අත්තනෝමතික ආර්ථික/වෙළෙඳපොළ පාලනයන් ඉවත් කිරීම තුළින් ස්වභාවික වෙළෙඳපොළ හැසිරීමට උපකාරී වීම යි. නූතන වෙළෙඳපොළවල් සම්ප්‍රදායික වාණිජ ලාභ අරමුණුවලින් ඔබ්බට ගොස් සමාජ ආරක්ෂණ ආයෝජනයන් කෙරෙන වෙළෙඳපොළ ක්‍රියාකාරකම් දෙසට පරිණාමය වී ඇත. මෙහි ඉතාමත් නූතන ක්‍රියාකාරකම වන්නේ ගෝලීය පරිසර/දේශගුණ සුරක්ෂණ ඉලක්ක ලඟා කර ගැනීම සඳහා හරිත නිෂ්පාදන සහ ආයෝජන වෙළෙඳපොළවල් බිහි වීම යි. වර්තමාන වෙළෙඳපොළ මිල ගණන් නිර්ණය වීමේ දී නිෂ්පාදන සහ උපයෝජන ක්‍රියාවලිය තුළ සිදු වන කාබන් විමෝඡනය තුළින් ජනසමාජයට ඇති කෙරෙන පිරිවැය ආවරණය නොවන බැවින් වත්මන් උද්ධමන අනුපාතයන් අවතක්සේරු වී ඇත. එහෙත්, හරිත නිෂ්පාදන වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තුළින් කාබන් පිරිවැය ද වෙළෙඳපොළ මිල යාන්ත්‍රණයට අඩංගු වනු ඇත.

එසේ නොමැතිව ස්වභාවික වෙළෙඳපොළ හැසිරීමට එරෙහිව උද්ධමනය පාලනය කිරීම ඇතුළු පාරිභෝගික සහනයන් ලබා දෙන බවට පොරොන්දු වී රාජ්‍ය බලයට පැමිණෙන ඕනෑම දේශපාලන නායකත්වයක්, ඒ හේතු කොට ගෙනම මහජනයා විසින් ප්‍රතික්ෂේප කිරීමේ පොදු ගැටළුවට ඉක්මනින් මුහුණ දීම පොදුවේ දැකිය හැකිය. එය ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකයේ දිගු කාලීන සංවර්ධනයට සහ ස්ථායීතාවයට එරෙහිව පවතින මූලික බාධකයක් ලෙස දැක්විය හැකිය.

(මෙම ලිපිය ආර්ථික මූලධර්ම සහ ප්‍රතිපත්ති පිළිබඳ ව උනන්දුවක් දක්වන ආර්ථික විද්‍යා සිසුන් සහ ගුරුවරුන් සහ වෘත්තීය වේදීන්ගේ ප්‍රයෝජනය සඳහා සකසා ඇත.)


පි සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි