රටකට විදේශ මුදල් සංචිතයක් අවශ්‍ය ඇයි? විදේශ මුදල් සංචිතයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දායක වන්නේ කෙසේ ද?

 


විදේශ මුදල් සංචිතය යනු කුමක් ද?

සංචිතයක් යනු නුදුරු අනාගතයේ ඇති විය හැකි අනපේක්ෂිත අවදානම්වලට මුහුණ දීම සඳහා තබා ගන්නා ලද වත්කම් තොගය යි. එම වත්කම් අවශ්‍ය වූ වහාම ඉක්මනින් මුදල් බවට පත් කර ගත හැකි ඉතා අඩු අවදානම් සහිත ද්‍රවශීල වත්කම් විය යුතුය. එබැවින්, කුටුම්බ සහ ව්‍යාපාරිකයන් විසින් තබා ගන්නා සංචිතයන්  ප්‍රධාන වශයෙන් අතැති මුදල්, බැංකු තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනවලින් යුක්ත වෙයි.

විදේශ මුදල් සංචිතය යනු රටක අනාගතයේ විදේශ මුදල් ලැබීම් සහ ගෙවීම්වල ඇති විය හැකි හිඟයන් පියවීම සඳහා රැස් කොට තබා ගන්නා විදේශ මුදල් වත්කම් ය. විදේශ මුදල් ලැබීම් අතිරික්තයක් ඇති අවස්ථාවල සංචිතයට මුදල් එකතු වන අතර හිඟයන් පියවීම එම මුදල් යොදා ගෙන සිදු කෙරේ.

නූතන විවෘත ආර්ථිකයන් දුවන්නේ ගෝලීය මුදල් ප්‍රවාහයන් හරහා ය. ගෝලීය මුදල් ප්‍රවාහයන් සිදු වන්නේ සංවර්ධිත රටවල මුදල් ගනුදෙනු හරහා ය. එනම්, ඇමෙරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යුරෝ, යෙන් වැනි මුදල් ය. බොහෝ සංවර්ධනය වන රටවල් විසින් තම විදේශ මුදල් සංචිතය පවත්වා ගන්නේ මෙම මුදල් හරහා වන බැවින් මෙම මුදල් වර්ග ජාත්‍යන්තර සංචිත මුදල් ලෙස හැඳින් වෙයි. ඊට හේතුව, එම මුදල් ඉහළ ගෝලීය පිළි ගැනීමක් ඇති බැවින් විදේශ ගෙවීම් සඳහා ඉතා පහසුවෙන් යොදා ගත හැකි වීම යි. මීට අමතරව, ඈත අතීතයේ සිට රත්රන් ද විදේශ සංචිතයේ කොටසක් ලෙස තබා ගැනේ. අතීතයේ රටවල් විසින් මුදල් නිකුත් කරනු ලැබුවේ ද රත්රන් සංචිත පදනම් කර ගෙන ය.

එබැවින්, සියළු රටවල් විසින් තම ආර්ථිකයේ විදේශ ගනුදෙනු පරිමාවට යෝග්‍ය මට්ටමේ විදේශ මුදල් සංචිතයක් පවත්වා ගැනීම සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රමිතියක් වී ඇත. මෙය විශේෂයෙන් සංවර්ධනය වන රටවලට ඉතා වැදගත් වෙයි. බොහෝ රටවල විදේශ සංචිතය කළමනාකරණය මහ බැංකුවල ව්‍යවස්ථාපිත කාර්යයක්/වගකීමක් ලෙස දැකිය හැකිය.

ලෝකයේ මහ බැංකු සතු මුළු විදේශ මුදල් සංචිත ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 11.73 ක් පමණ වෙයි. ලෝකයේ ඉහළම විදේශ මුදල් සංචිතය චීනය සතු වෙයි. එය දැනට ඩොලර් ට්‍රිලියන 3.22 ක් පමණ වෙයි. ලෝකයේ ඉතාමත් ජනප්‍රිය සංචිත මුදල වන්නේ ඇමෙරිකානු ඩොලරය යි. ලෝකයේ විදේශ මුදල් සංචිතවලින් 57.9% ක් පමණ ඩොලර් මුදල් වත්කම්වලින් යුක්ත වෙයි. චීනයේ විදේශ සංචිතවලින් බහුතරය පවතින්නේ ඇමෙරිකානු ඩොලර් වත්කම්වල වෙයි.

විදේශ මුදල් සංචිත කෙරෙහි කොරෝනා වසංගතයේ බලපෑම

2020 වර්ෂය ආරම්භයේ සිට ගෝලීය කොරෝනා වසංගතය පැතිරීමත් සමඟ බොහෝ සංවර්ධනය වන රටවල විදේශ මුදල් සංචිතයන් පිරිහී ගිය බැවින් බොහෝ රටවල් විසින් එය ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත් බව නොරහසකි. ඊට හේතුව, කොරෝනා වසංගතය හේතු කොට ගෝලීය සැපයුම් ජාලයන් බිඳී ගිය බැවින් මෙම රටවල් වෙත පැවති අපනයන, සංචාරක, ප්‍රේෂණ, විදේශ ණය සහ ආයෝජන වැනි විදේශ මුදල් ලැබීම් මාර්ගයන් වැසී යාම යි. එහෙත්, ණය සහ ආයෝජන ආපසු ගෙවීම සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා විදේශයන්ට ගෙවීම් අඛණ්ඩව කිරීමට සිදු විය. එනම්, උග්‍ර ගෙවුම් ශේෂ හිඟයන් හට ගැනීම යි.

නව විදේශ ලැබීම් නොමැති වූ බැවින් එම හිඟයන් පියවීම සඳහා තම විදේශ මුදල් සංචිතයන් භාවිතා කිරීමට එම රටවලට සිදු වීමෙන් විදේශ මුදල් සංචිතයන් පිරිහී යන ලදි. රටක විදේශ මුදල් සංචිතය මෙසේ ඉතා පහළ මට්ටමකට වැටෙන විට එම රට බංකොලොත් වන බව දැක්වෙයි. එනම්, තම විදේශ ණය සහ ගෙවීම් කිරිමට එම රටට හැකියාවක් නොවීම යි. විදේශ මුදල් සංචිතය හීන රටවලට තව දුරටත් විදේශ ණය ලබා ගැනීමට නොහැකි වන්නේ එම රටවල් පිළිබඳ ණය ගනුදෙනු විශ්වාසයක් නොමැති බැවිනි.

මෙම විදේශ මුදල් සැපයුමේ හිඟ තත්ත්වය හේතු කොට එම රටවල විනිමය අනුපාතය හෙවත් විදේශ මුදල් මිල ගණන් අධික ලෙස ඉහළ යනු ඇත. දැඩි ආනයන හිඟය සහ විදේශ විනිමය අනුපාතය ඉහළ යාම හේතු කොට ආනයනවල දේශීය මිල ගණන් ඉහළ යාමෙන් ආර්ථිකය පුරා දැඩි උද්ධමනකාරී තත්ත්වයක් හට ගනු ඇත. එසේම, ආනයන කඩා වැටීම හේතු කොට ආර්ථිකය පුරා අපනයන සහ දේශීය නිෂ්පාදන ව්‍යාපාරයන් කඩා වැටීම තුළින් දැඩි ආර්ථික සහ සමාජ අසහනයන් හට ගන්නා බව රහසක් නොවේ.

එබැවින්, මෙම දැවෙන ආර්ථික ප්‍රශ්නය විසඳිම කළ හැකි වන්නේ, කෙසේ හෝ විදේශ සංචිතය ඉහළ නංවා විදේශ ගනුදෙනු විශ්වාසය නැවත ගොඩ නැගීම තුළින් පමණි. රජයේ වියදම් කැපීම, පොලී අනුපාතයන් ඉහළ දමා මූල්‍ය /ණය ප්‍රතිපත්තිය දැඩි කිරීම, ආනයන තහනම් කිරීම සහ තව තවත් විනිමය පාලනයන් දැමීම තුළින් එය කළ නොහැකි බව අවබෝධ කර ගැනීමට සාමාන්‍ය මහජන ආර්ථික දැනීම ප්‍රමාණවත්ය. එමගින් කළ හැකි වන්නේ තව තවත් පොදුජන ජීවන තත්ත්වය මිරිකා දැමීම පමණි.  එමගින්, රටට අත්‍යාවශ්‍ය තෙල් සහ බෙහෙත් ද්‍රව්‍ය ආනයනය සහ ඉදිරි වර්ෂ ගණනාවක් පුරා ගෙවීමට නියමිත විදේශ ණය සහ පොලී ගෙවීම සඳහා අවශ්‍ය වන විදේශ මුදල් සොයා ගැනීම කළ නොහැකිය.

කොරෝනා වසංගතය මැඩලීම සඳහා සංවර්ධිත රටවල් විසින් ගන්නා ලද ඓතිහාසික ළිහිල් මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට මෙම සංචිත මුදල් සැපයුම අධික ලෙස ඉහළ ගොස් ඇත. උදාහරණයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මුදල් මුද්‍රණය ඩොලර් ට්‍රිලියන 4.4 කින් හෙවත් 105% කින් පසුගිය මාස 22 ක කාලය තුළ ඉහළ ගොස් ඇත. එබැවින්, මෙම සංචිත මුදල්වල කිසිම හිඟයක් ලෝකයේ නොමැති අතර ගෝලීය සැපයුම් ජාලයන් අවහිර වීම හේතු කොට එම මුදල් සංවර්ධනය වන රටවලට ගලා යාමේ තාවකාලික අවහිරයක් පමණක් පවතී.

එබැවින්, එම අවහිරතාවන් ඉවත් කිරීම සඳහා සම්මතවාදී පියවයන් නොගෙන දේශීය ආර්ථිකය පාලනය කිරීමට යාම "පය බරවා අයට පිටිකර බෙහෙත් බැඳීම" යන ධර්මසේන හිමියන් විසින් සද්ධර්ම රත්නාවලියේ සඳහන් කොට ඇති උපමාවට සමානය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්යය

දෙවන ලෝක යුද්ධයෙන් කඩා වැටුන ලෝක ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම පිණිස 1944 දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) පිහිටු වන ලදි. ලෝක බැංකුවේ මූලික කාර්යය වනුයේ සාමාජික රටවල සංවර්ධනය සඳහා අවශ්‍ය දිගු කාලීන ණය, ආයෝජන සහ තාක්ෂණික සහයෝගය සැපයීම යි. ජා.මූ.අ. ලේ කාර්යය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය ආරක්ෂා කිරීම යි (IMF පිළිබඳ විශේෂ ලිපියක් මෙම වෙබ් අඩවියේ පළ කොට ඇත).

1944 දී ස්ථාපිත කළ ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය වූයේ ඇමෙරිකානු ඩොලරය සඳහා විනිමය අනුපාතය රත්රන් සමඟ බද්ධ කිරීමත් (රන් අවුන්සය = ඩොලර් 35), අනෙකුත් සාමාජික රටවල මුදල්වල විනිමය අනුපාතයන් ඩොලර් මුදලට බද්ධ කොට තීරණය කිරීමත් ය. ඒ අනුව, ඇමෙරිකාව විසින් ඕනෑම රත්රන් ප්‍රමාණයක් ඉහත දැක්වූ ඩොලර්-රත්රන් විනිමය අනුපාතය මත මිල දී ගැනීමට සහ විකිණීමට එකඟ විය. එබැවින්, අනෙක් රටවල මුදල් ඩොලරය හරහා වක්‍රව රත්රන් මත පදනම් විය. 

ඒ අනුව, සියළු රටවල් විසින් තම විනිමය අනුපාතයන් ස්ථාවරව පවත්වා ගැනීමට එකඟ විය. එය ආවේක්ෂණය කිරීම ජා.මූ.අ. ලේ ප්‍රධාන කාර්යය විය. මෙහිදී, ව්‍යුහාත්මක ගෙවුම් ශේෂ හිඟයන් පවතින රටවල විදේශ මුදල් සංචිතය ප්‍රමාණවත් නොවන විට විදේශ මුදල් සංචිතය ආරක්ෂා කිරීම සඳහා එම රටවලට කෙටි කාලීන ණය සැපයීම ද ජා.මූ.අ. ට බලය ලැබිණ. ඊට හේතුව, ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය/ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය ආරක්ෂා කර ගැනීමට යි.

1971 දී ඇමෙරිකාව විසින් තම ඩොලර්-රන් හුවමාරු විනිමය අනුපාතය අත්හිටුවීම හේතු කොට ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය බිඳ වැටුන අතර රටවල් විසින් විවිධ මුදල් සමඟ තම මුදල්වල විනිමය අනුපාතයන් අභිමතානුසාරී ලෙස තීරණය කිරීමට පටන් ගන්නා ලදි. බොහෝ සංවර්ධිත රටවල් විසින් නම්‍ය විනිමය අනුපාත ක්‍රමය අනුගමනය කළ අතර දැනට බොහෝ රටවල් විසින් එය වෙළෙඳපොළේ නිදහසේ තීරණය වීමට ඉඩ දී ඇත. එහෙත්, බොහෝ සංවර්ධනය වන රටවල රජය/මහ බැංකුව විසින් තම විදේශ මුදල් සංචිතය හරහා විනිමය අනුපාතයන් අභිමතානුසාරී ලෙස පාලනය කරමින් පවතී. එය භාණ්ඩ මිල පාලනයන්ට නොදෙවෙනි වෙයි.

එබැවින්, ජා.මූ.අ. විසින් තම සාමාජික රටවල ගෙවුම් ශේෂ හිඟයන් විසඳීම සඳහා ණය සහ තාක්ෂණික උපදෙස් සැපයීම අඛණ්ඩව සිදු කොට ඇත. මෙහිදී, ජා.මූ.අ. විසින් තම සාමාජික රටවල නම්‍ය ශීලී විනිමය අනුපාතයන් අනුගමනය කිරීම ප්‍රවර්ධනය කිරීම දැකිය හැකිය. ඊට හේතුව, එමගින් ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආයෝජනය ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය සහ ගෙවුම් පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කිරීම සඳහා ය. ගෙවුම් ශේෂ ප්‍රශ්නයන් හේතු කොට රටවල් විසින් තම විදේශ ගෙවීම් පැහැර හැරීම් සිදු වන විට එය ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයට තර්ජනයක් වන බැවින් ජා.මූ.අ. විසින් තම ණය සහ තාක්ෂණික ආධාර සැපයීම හරහා එම රටවල ගෙවුම් ශේෂයට හිතකර වන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙළඹුමක් ඇති කෙරේ.

එබැවින්, ජා.මූ.අ. යනු ලාභ අරමුණින් ක්‍රියා කෙරෙන ගෝලීය බැංකුවක් නොව, ගෝලීය ආර්ථික ස්ථායිතාවය සඳහා ක්‍රියා කරන ගෝලීය ආයතන පද්ධතියේ එක් ආයතනයකි (වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශනයන් වන ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව ග්‍රන්ථය බලන්න). එහෙත්, ජා.මූ.අ. විසින් ගෙවුම් ශේෂ ප්‍රශ්නයන්ට මුහුණ දෙන රටවල් පසුපස හඹා ගොස් එම රටවල රජයන් ඉල්ලා සිටින කොන්දේසිවලට අනුව තම මූල්‍ය සහ තාක්ෂනික ආධාරයන් ලබා දීමක් සිදු නොකෙරේ.

ජා.මූ.අ. විසින් පනවන කොන්දේසි මොනවා ද?

ඕනෑම මූල්‍ය ආයතනයක් හෝ ණය දෙන්නෙකු විසින් තම ණය ආපසු අයකර ගැනීමේ හැකියාව විමර්ශනය කොට ඒ ගැන සෑහීමට පත් වෙයි නම්, අනාගතයේ ණය ආපසු ගෙවීමට හැකි වන පරිදි ණය ගන්නාගේ ව්‍යාපාරික කටයුතු විචක්ෂණ ලෙස කළ යුතු ආකාරය පිළිබඳ ව යම් යම් කොන්දේසි පැනවීම සිදු වෙයි. ඊට හේතුව, ණය යනු පිනට දෙන මුදල් නොවන බැවිනි. ජා.මූ.අ. විසින් දෙන ණයවල මූලික අරමුණ වනුයේ ණය ගන්නා රටවල ගෙවුම් ශේෂ තත්ත්වය සහ විදේශ මුදල් සංචිතය ප්‍රවර්ධනය කිරීම හරහා ණය අයකර ගැනීම යි.

මෙහිදී, ජා.මූ.අ. විසින් අදාළ රටේ ගෙවුම් ශේෂ තත්ත්වය සහ ඊට සාධක වූ ආර්ථික හේතු/දුර්වලතාවන් පිළිබඳ ව පුළුල් විමර්ශනයක් කෙරේ (සාර්ව ආර්ථිකයක ගෙවුම් ශේෂ විග්‍රහය හඳුනා ගැනීම සඳහා මෙහි අඩංගු ලිපි බලන්න). ඒ අනුව, එම දුර්වලතාවන් යම් කාලයක් තුළ නිවැරදි කර ගැනීමට අවශ්‍ය කොන්දේසි රාශියක් සාකච්ඡාවන් මත එකඟ වනු ඇත. එහි ප්‍රගතිය පරික්ෂා කරමින් කොටස් වශයෙන් ණය මුදල් නිකුත් කරනු ඇත.

මෙහිදී, ජා.මූ.අ. යනු වෙළෙඳපොළ ආර්ථිකයන් අනුගමනය කරන සංවර්ධිත රටවල මැදිහත් වීමෙන් ක්‍රියා කරන ආයතනයක් බැවින් එම කොන්දේසි සාමාන්‍යයෙන් ණය ගන්නා රටවල ද වෙළෙඳපොළ පද්ධතිය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කෙරේ. එම කොන්දේසි පුළුල් වශයෙන් එම රටවල ආර්ථිකයන්ගේ මූර්ත සහ මූල්‍ය අංශයන්ගේ ශක්තිමත් භාවය ඉහළ දැමීමට දායක වන ප්‍රතිපත්ති පැකේජයක් ලෙස ඉදිරිපත් කෙරේ. බොහෝ සංවර්ධනය වන රටවල වර්තමානයේ පවතින ආර්ථික ක්‍රමයන් බොහෝ සේ මෙවැනි ප්‍රතිපත්ති මත විකාශනය වී ඇති අතර එහි ප්‍රතිඵලයන් පොදුජනතාව විසින් බුක්ති විඳින බව රහසක් නොවේ.

ශ්‍රී ලංකාව වැනි රටවලට සාමාන්‍යයෙන් නියම කෙරෙන කොන්දේසි අතර පහත ඒවා දැකිය හැකිය.

  • විනිමය අනුපාතය තීරණය වීමට වෙළෙඳපොළට ඉඩ දිය යුතුය. මෙම රටවල ගෙවුම් ශේෂ ප්‍රශ්නවලට මූලික හේතුව වන්නේ විනිමය අනුපාතය හිතකර ලෙස අවප්‍රමාණයට ඉඩ නොදී කෘතීම/අභිමතානුසාරී ලෙස අධි අගයක පාලනය කිරීම යි. එහිදී, හට ගන්නා අධි විදේශ මුදල් ඉල්ලුම සැපිරීම සඳහා විදේශ මුදල් සංචිතයෙන් වෙළෙඳපොළට මුදල් සැපයීම හේතු කොට සංචිතය හීන වන අතර ලාභ දායී ආනයන හේතු කොට ගෙවුම් ශේෂ හිඟය තවත් ඉහළ යනු ඇත. මුදල් අධිඅගය - ගෙවුම් ශේෂ හිඟය - සංචිතය හීන වීම ආර්ථික දගරයක් ලෙස ක්‍රියා කරනු ඇත.
  • වෙළෙඳපොළෙන් මිල දී ගන්නා විදේශ මුදල් හරහා විදේශ සංචිතය ඉහළ නැංවිය යුතුය. එනම්, මූර්ත වෙළෙඳ සහ ආයෝජන ගනුදෙනු හරහා ආර්ථිකයට ලැබෙන විදේශ මුදල් ඉපයුම් ය. මෙහිදී, රාජ්‍ය විදේශ ණය සහ මුදල් හුවමාරු හරහා අක්‍රමවත් ලෙස සංචිතයට ලබා ගන්නා විදේශ මුදල් සලකා නොබැලේ. ඒ අනුව, විදේශ සංචිතය වර්ධනය කිරීම පිළිබඳ කාලීන ඉලක්කයන් ලබා දෙයි.
  • මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළෙඳපොළ හරහා රජයට ලබා දෙන ණය අත්හිටුවා දැනට ලබා දී ඇති ණය ක්‍රමානුකූලව පහළ දැමිය යුතුය. එහෙත්, මූල්‍ය ප්‍රතිපත්ති අවශ්‍යතාවන් අනුව ද්වීතීය වෙළෙඳපොළේ මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම් කිරීම ප්‍රශ්නයක් නොවේ. මේ මගින් ඍජු රාජ්‍ය ණය සඳහා මුදල් මුද්‍රණය අඩු කොට රාජ්‍ය ණය වෙළෙඳපොළ සහ විනය ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ. මෑතදී, මෙම කොන්දේසිය පකිස්තානය වෙත පනවන ලදි.
  • මිල පාලනයන් සහ විදේශ වෙළෙඳ ගෙවුම් පාලනයන් ඉවත් කළ යුතුය.
  • රාජ්‍ය අයවැය හිඟය /ද.දේ.නි. ප්‍රතිශතය පහළ දැමීමට අවශ්‍ය ආදායම් සහ වියදම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුය.
  • පදනම් මුදල් වර්ධනය (මුදල් මුද්‍රණය) පිළිබඳ කාර්තුමය (සාමාන්‍ය) ඉලක්ක පැනවීම.
  • බැංකු පද්ධතියේ ආරක්ෂාව සඳහා නව නියාමනයන් පැනවීම.

මේ අනුව, ජා.මූ.අ. ලේ කොන්දේසි සාමාන්‍යයෙන් ආර්ථිකයේ සාර්ව පදනම තුළින් මැදි හා දිගු කාලීන ගෙවුම් ශේෂ සහ විදේශ සංචිත තත්ත්වය ප්‍රවර්ධනය මෙන්ම මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම ඉලක්ක කෙරේ. උදාහරණ ලෙස  දැනට කඩා වැටෙන මූල්‍ය සමාගම් බේරා ගැනීම සඳහා භාවිතා කෙරෙන තැන්පතු රක්ෂණ ක්‍රමය 2010 වර්ෂයේ දී මහ බැංකුව විසින් ස්ථාපනය කරනු ලැබුවේ ජා.මූ.අ. ලේ කොන්දේසියක් අනුව ය. ඊට පෙර දශකයක පමණ කාලයක් එය ස්ථාපිත කිරීමට උත්සාහ කළ ද සාර්ථක නොවිය. 

එසේම, වර්තමාන ජා.මූ.අ. යනු හුදෙක් උද්ධමනය පාලනය කිරීම පමණක් නොව ආදායම් ව්‍යාප්ති විෂමතාවයන් පහළ දැමීම සහ පරිසර ආරක්ෂාව වැනි ජාතික අරමුණු සඳහා ද මහ බැංකු විසින් තම මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බවට අදහස් දක්වන ආයතනයකි. එබැවින්, ජා.මූ.අ. සමඟ සාකච්ඡාවට සහභාගී වන නිලධාරීන්ට ජා.මූ.අ. විසින් අනුගමනය කරන ගෝලීය සාර්ව ආර්ථික මූලධර්මයන් පිළිබඳ මනා ප්‍රයෝගික දැනුමක් තිබිය යුතුය.

ජා.මූ.අ. විසින් කොරෝනා වසංගතයට හසු වූ සංවර්ධනය වන රටවලට සැපයූ ණය සහන

කොරෝනා වසංගතය හට ගත් විගස ජා.මූ.අ. විසින් ප්‍රකාශ කරනු ලැබූවේ ගෙවුම් ශේෂ අර්බුදයන්ට මුහුණ දෙන රටවලට ක්ෂණික ණය සැපයීම සඳහා ඩොලර් බිලියන 50 ක් වෙන් කරන බවත්, අවශ්‍ය වුව හොත් ඩොලර් ට්‍රිලියනයක් පමණ වන එහි අරමුදල් පදනම භාවිතා කිරීමට සුදානම් බවත් ය. එසේම, සාමාන්‍ය කොන්දේසිවලින් තොරව කොරෝනා වසංගතය මැඩලීම සඳහා කරන ලද වියදම් පිළිබඳ දත්ත පදනම් කර ගෙන ඉක්මනින් ණය ලබා දෙන බව පැවසීය.

නවතම දත්ත අනුව කොරෝනා වසංගතය හේතු කොට හට ගෙන ඇති ගෙවුම් ශේෂ ගැටළු විසඳීම සඳහා රටවල් 87 කට ඩොලර් බිලියන 167.7 ක පමණ ණය ලබා දී ඇත. එසේම, රටවල් 29 ක් වෙත ඩොලර් මිලියන 850.7 ක පමණ ණය ගෙවීමේ සහන ලබා දී ඇත. එසේම, පසුගිය අගෝස්තු මස ඩොලර් බිලියන 650 ක පමණ නව විශේෂ හැරගැනුම් හිමිකම් (එස්.ඩී.ආර්.) ප්‍රදානයක් කිරීම තුළින් සාමාජික රටවලට ආපසු ගෙවීමක් නොමැති නව විදේශ මුදල් ද්‍රවශීලතාවයක් සපයන ලදි. මින් 42.3% ක් පමණ සංවර්ධනය වන රටවලට ද, 3.2% ක් පමණ පහළ ආදායම් ලාභී රටවලට ද ලැබුණ අතර එය කොරෝනා ආර්ථික ආසාදනයට ලැබුණ ඔක්සිජන්/ජීව වාතය වැනිය. ශ්‍රී ලංකාවට ද ඩොලර් මිලියන 787 ක් පමණ (එස්.ඩී.ආර්. මිලියන 554.8 ක් පමණ) ලැබිණ. දැනට ජා.මූ.අ. විසින් සමස්ත වශයෙන් ඩොලර් බිලියන 250 ක පමණ ණය ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී.

ජා.මූ.අ. සමඟ මූල්‍ය ගිවිසුමකින් ඇති ආර්ථික ප්‍රතිලාභය

ජා.මූ.අ. ලේ ණය ගිවිසුමක් යනු ජා.මූ.අ. ආවේක්ෂණය මත පදනම් වූ වෙළෙඳපොළ ප්‍රවර්ධනය කෙරෙන මැදි කාලීන සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයක් වන බැවින් එමගින් ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජක විශ්වාසය ඉහළ යනු ඇත. විවෘත ආර්ථිකයන් මූල්‍යකරණය ජාත්‍යන්තර මූල්‍ය හරහා සිදු වන බැවින් ආර්ථික ස්ථායීතාවය සඳහා එම විශ්වාසය අත්‍යවශ්‍ය සාධකයකි. එබැවින්, ජාත්‍යන්තර ණය ශ්‍රේණිය ඉහළ යනු ඇත. එමගින්, රටට විදේශ මූල්‍ය ආයෝජනය ආකර්ෂණය කර ගැනීමට ක්‍රියා කළ හැකිය. බොහෝ සංවර්ධනය වන රටවලට විදේශ මූල්‍ය ආයෝජනය ලැබී ඇත්තේ ජා.මූ.අ. ණය ගිවිසුම් ක්‍රියාත්මක වන කාලවල ය. එහෙත්, මෙම ප්‍රතිලාභයන් ණය ගිවිසුම අත්සන් කොට එක රැයකින් නොලැබෙන අතර ඒවා ක්‍රමානුකූලව ලැබෙනු ඇත. එසේමජා.මූ.අ. ලේ ණය පොලිය ඉතා පහළ මට්ටමක පවතී. වර්තමානයේ එය 0.05% ක් පමණ වෙයි.

ශ්‍රී ලංකාවට මෙතක් ලැබී ඇති ජා.මූ.අ. ණය

1965 සිට 2020 වර්ෂය ආරම්භය දක්වා 16 වරක් පමණ ජා.මූ.අ. සමඟ ණය ගිවිසුම් ක්‍රියාත්මක කොට ඇත. එහි මුළු වටිනාකම එස්.ඩී ආර් මිලියන 4,426.2 ක් පමණ වන අතර ඉන් ලබා ගත් මුළු මුදල එස්.ඩී ආර් මිලියන 3,822.4 ක් හෝ 86.4% ක් පමණ වෙයි. එහෙත්, දැනට රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇත්තේ ජා.මූ.අ. න් ණය ගිවිසුමක් නොමැතිව වත්මන් අධික ගෙවුම් ශේෂ සහ විදේශ මුදල් අර්බුදය විසඳා ගත හැකි බව යි. මෙය 1997/98 ආසියානු මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා මැලේසියාව අනුගමනය කළ ප්‍රතිපත්තියට සමාන නිර්භීත ප්‍රතිපත්තියක් බව සමහරුන් විසින් දැක්වෙයි. එහෙත්, වත්මන් ශ්‍රී ලංකාව යනු එකල ආසියානු ව්‍යාඝ්‍රයකු ලෙස සැලකුණ මැලේසියාව තරම් ආර්ථික සහ භූදේශපාලනික ශක්තියක් සහිත රටක් නොවන බව අවබෝධ කර ගැනීම එතරම් අපහසු නොවේ.

මහ බැංකුව විසින් එවැනි මතයක සිට බොහෝ දෙනෙකුගේ විරුද්ධත්වය නොතකා 2008 වර්ෂයේ මැද සිට 2009 මාර්තු මස පමණ කාලය තුළ විදේශ මුදල් සංචිතයෙන් ඩොලර් බිලියන 2.3 ක් පමණ වැය කොට විනිමය අනුපාතය අධි අගයක පවත්වා ගැනීමට උත්සාහ කරන ලදි. පසුව ඩොලර් එස්.ඩී.ආර්. මිලියන 1,653.6 ක පමණ (ඩොලර් බිලියන 2.6 ක පමණ - මෙතෙක් ලබා ගෙන ඇති විශාලතම ජා.මූ.අ. ණය මුදල) ණය පහසුකමක් ජා.මූ.අ. න් ලබා ගෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳා විදේශ සංචිතය නැවත ගොඩ නැගීමට ක්‍රියා කරන ලදි. එම ගිවිසුම 2009 ජූලි සිට 2012 ජූලි දක්වා වර්ෂ 3 ක් පුර්ණ ලෙස ක්‍රියාත්මක විය.

එහෙත්, නැවත 2010 වර්ෂයේ සිට 2012 වර්ෂය ආරම්භය දක්වා මහ බැංකුව විසින් විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදි. ඒ සඳහා මහ බැංකුව විසින් 2010 ජූලි මස සිට 2012 පෙබරවාරි දක්වා තම විදේශ සංචිතයෙන් ඩොලර් බිලියන 3,560 ක් පමණ වැය කරන ලදි.  එහෙත්, මෙම මුදල් ප්‍රතිප්‍රමාණ ප්‍රතිපත්තියට විරුද්ධ වී රජය විසින් 2011 නොවැම්බර් මස අයවැය තුළින් විනිමය අනුපාතය 3% කින් අවප්‍රමාණය කොට, ඊට සරිලන ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය ගැලපුම් කර ගන්නා ලෙස මහ බැංකුවට නියම කරන ලදි. 2016 ජුනි මස එකඟ වූ ණය ගිවිසුම එස්.ඩී.ආර්. මිලියන 1,070.8 ක් පමණ වූ අතර එස්.ඩී.ආර්. මිලියන 852,2 ක් ලබා ගැනීමෙන් පසු 2020 වර්ෂය මුල දී ගිවිසුම කල්පිරීමට පෙර නිම කරන ලදි.

ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය සහ විදේශ මුදල් සංචිතය පිළිබඳ ප්‍රතිපත්ති/නියාමන අධිකාරීන්

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ සහ ආර්ථික කළමනාකරණය සඳහා ව්‍යවස්ථාපිතව පිහිටුවා ඇති රාජ්‍ය අධිකාරීන් විශාල සංඛ්‍යාවක් සිටි. විදේශ විනිමය සහ සංචිතය පිළිබඳ ව ප්‍රධාන වශයෙන් මුදල් නීති පනත යටතේ මුදල් ඇමති සහ මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවරී ඇත. 2002 වර්ෂය තෙක් මහ බැංකුවේ ව්‍යවස්ථාපිත අරමුණු හතරෙන් එකක් වූයේ ශ්‍රී ලංකා රුපියලේ සම අගය තීරණය කොට ඇත්නම් එය සහ ගෙවුම් ශේෂයේ ජංගම ගනුදෙනු සඳහා රුපියල නිදහසේ භාවිතා කිරීම ආරක්ෂා කිරීමත්, එසේ සම අගය නොමැති විටක රුපියලේ විනිමය අනුපාතයන්ගේ ස්ථායීතාවය ආරක්ෂා කිරීමත් ය. 2002 දී එම අරමුණ ඉවත් කළ ද, මුදල් නීති පනතේ ඇතුලත් විනිමය අනුපාතය සහ විදේශ මුදල් සංචිතය පිළිබඳ ව 1950 සිට වූ ව්‍යවස්ථාපිත වගකීම් එලෙසම පැවතින. ඉන් ප්‍රධාන ඒවා කිහිපයක් පහත දැක්වෙයි.

  • 3(1) සහ 3(2) අනුව මුදල් මණ්ඩලයේ නිර්දේශය මත මුදලේ සම අගය තීරණය කිරීම හෝ එසේ නොකර සිටීමට මුදල් ඇමති වෙත බලය ඇත.
  • 65 යටතේ මුදල් මණ්ඩලය විසින් තම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීමේ දී රුපියලේ සම අගය ආරක්ෂා කිරීම හෝ එවැනි සම අගයක් නොමැති විට ආර්ථිකයේ යටිදැරි උපණතීන්ට ගැලපෙන පරිදි පවතින විනිමය අනුපාතයන් පවත්වා ගෙන යාම සහ ගෙවුම් ශේෂයේ ජංගම ගනුදෙනු සඳහා වෙනත් මුදල් සමඟ හුවමාරු කරමින් රුපියල නිදහසේ භාවිතා කිරීම ආරක්ෂා කිරීම.
  • 66 යටතේ මුදල් මණ්ඩලය විසින් රුපියලේ ජාත්‍යන්තර ස්ථායීතාවය පවත්වා ගෙන යාමට සහ හැකි තරම් ජාත්‍යන්තර ජංගම ගනුදෙනුවල නිදහස තහවුරු කිරීම අරමුණු කොට නුදුරු අනාගතයේ මුහුණ දිය හැකි ගෙවුම් ශේෂ හිඟයන් පියවීමට ප්‍රමාණවත් විදේශ මුදල් සංචිතයක් පවත්වා ගෙන යාම.
  • 67(1) අනුව මහ බැංකුවේ විදේශ සංචිතය පවත්වා ගත යුතු වත්කම් වන්නේ රත්රන්, එස්.ඩි.ආර්. සහ විදේශ මුදල් වත්කම් වන පිළිගත් ජාත්‍යන්තර මුදල් පැවරුම් උපකරණ, විදේශ මහ බැංකු, වාණිජ බැංකු සහ භාණ්ඩාගාරවල තබා ගන්නා විදේශ මුදල් ඉල්ලුම් තැන්පතු සහ කාලීන තැන්පතු, විදේශ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන සහ විදේශ මුදල් කාසි සහ නෝට්ටු යනාදිය යි.
  • 67(2) අනුව විදේශ සංචිතය තුළ රත්රන් හෝ නිදහසේ රත්රන්වලට මාරු කළ හැකි විදේශ මුදල්වලින් යුත් න්‍යෂ්ටික සංචිතයක් පවත්වා ගත යුතුය.
  • 68(1) අනුව දැඩි ගෙවුම් ශේෂ හිඟයක් හෝ විදේශ සංචිත දැඩි පහළ යාමක් හෝ විනිමය අනුපාත ස්ථායිතාවයට හෝ ජාතික සුභසිද්ධියට තර්ජනයක් අපේක්ෂා කෙරේ නම් එය වැලැක්වීම සඳහා මුදල් නීති පනතේ බලය දී ඇති ක්‍රියාමාර්ග ගත යුතුය. එසේම, රජය විසින් ගත යුතු හෝ ගැනීමට නිර්දේශ කෙරෙන ක්‍රියාමාර්ගයන් දැක්වෙන වාර්තාවක් මුදල් මණ්ඩලය විසින් මුදල් ඇමති වෙත ඉදිරිපත් කළ යුතුය. එසේ ජාත්‍යන්තර ස්ථායිතාවයට ඇති තර්ජනය පහව යන තෙක් කාලීන පදනමක් මත මෙම වාර්තාවන් මුදල් ඇමති වෙත ඉදිරිපත් කළ යුතුය.
  • 111 අනුව ජා.මූ.අ. තුළ රජය නියෝජනය කරන්නේ මහ බැංකුව යි. එසේම, මහ බැංකුවේ ඉහළ නිලධාරියෙකු ජා.මූ.අ. ලේ විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවය කෙරේ.

එසේම, විදේශ විනිමය පනත යටතේ ද ආර්ථිකයට යෝග්‍ය වන පරිදි විදේශ මුදල් ගනුදෙනු නියාමනය සඳහා ප්‍රතිපත්ති බලතල රාශියක් මුදල් මණ්ඩලය සහ මුදල් ඇමති වෙත පවතී. 2017 වර්ෂය අවසාන වන තෙක් විනිමය පාලන පනත ක්‍රියාත්මක විය.

එබැවින්, දැනට ආර්ථිකය සහ මහජනයා මුහුණ දෙන විනිමය අනුපාතය සහ උග්‍ර විදේශ මුදල් හිඟය පිළිබඳ ප්‍රශ්නයන් සහ ඒ ආශ්‍රිතව හට ගෙන ඇති ජීවන මට්ටම කඩා වැටීමත් පිළිබඳ ව එම අධිකාරින්ගේ ව්‍යවස්ථාපිත වගකීම් නිවැරදි ලෙස ඉටු කර ඇත් ද? යන්න විමසිය යුතුය. එසේම, එම ප්‍රශ්නයන් විසඳීය යුත්තේ ද ඔවුන් විසින්ය. එසේ නොමැතිව, රජයට හෝ රාජ්‍ය නායකයට හෝ අපනයන කරුවන්ට සහ විදේශ සේවා නියුක්තිකයන්ට හෝ ඍජුව දොස් නැගීම යෝග්‍ය නොවේ. එම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන්හි කොරෝනා වසංගතය සදහන් නොවන බව දැක්වීම නිදහසට කාරණයක් නොවනු ඇත. එම ව්‍යවස්ථාපිත බලතල ඕනෑම අර්බුදයක් මැඩලීම සඳහා යෝග්‍ය බව ඉතා පැහැදිලිය. උදාහරණ ලෙස 2000 සහ 2001 වර්ෂවල හට ගත් විනිමය අනුපාත සහ විදේශ සංචිත ප්‍රශ්නය විසඳන ලද්දේ එම බලතල භාවිතා කරමිනි.  

ශ්‍රී ලංකාවට වැරදුන තැන කුමක් ද?

1977 නොවැම්බර් මස සිට විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ ද, මූල්‍ය නීති පනතේ නියම කොට ඇති පරිදි ආර්ථික සහ මිල ස්ථායිතාවයට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවයට හිතකර ලෙස විදේශ වත්කම් සංචිතයක් ගොඩ නැගීමටත්, මුදලේ ජාත්‍යන්තර ස්ථායිතාවය පවත්වා ගැනීමටත් ශ්‍රී ලංකාවට නොහැකි වී ඇත. ඒ සඳහා විවෘත ආර්ථික ප්‍රතිපත්තියට දොස් නගන්නේ එම ප්‍රතිපත්ති පිළිබඳ නිසි දැනුමක් නොමැති අය විසිනි. 

මුදල් මණ්ඩලය විසින් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයන් නිසි පරිදි යොදා ගැනීම දක්නට නොමැත. ඒ වෙනුවට පසුගිය දශක දෙක පුරා මුදල් මණ්ඩලය විසින් අනුගමනය කළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය වූයේ එක්දින අන්තර් බැංකු වෙළෙදපොළේ පොලී අනුපාතය ඉලක්ක මට්ටමක පවත්වා ගැනීම සඳහා බැංකුවල මුදල් වෙළෙඳුන් සමඟ දෛනික පදනමක් මත ගනුදෙනු කිරීම සඳහා මුදල්/ණය මුද්‍රණය කිරීම යි. එය කාර්යාල කාමරයක් තුළ සිට කළ හැකි ඉතා පහසු මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයකි.මෙය 2000 දශකය ආරම්භයේ ඇමෙරිකානු මහ බැංකුවෙන් අනුකරණය කළ ක්‍රමයක් වන අතර වර්තමානයේ ඇමෙරිකානු මහ බැංකුව ප්‍රමුඛ බොහෝ සංවර්ධිත රටවල මහ බැංකු පවා මෙම ක්‍රමවේදයෙන් බොහෝ සේ ඉවත් වී ඇත.

එහෙත්, මූල්‍ය ප්‍රතිපත්තිය යනු මහ බැංකුවේ ව්‍යවස්ථාපිත අරමුණු ඉටු කර ගැනීම සඳහා ආර්ථිකය පුරා ණය ව්‍යාප්තිය පවත්වා ගැනීමේ ප්‍රතිපත්තිය යි. ඒ සඳහා ඕනෑ තරම් ප්‍රතිපත්ති මෙවලම් මුදල් නීති පනතේ අඩංගු වෙයි. එහෙත්, රටේ විදේශ සංචිතය වර්ධනය කිරීම සඳහා ආනයන ආදේශන සහ අපනයන කර්මාන්තයන් ඉලක්ක කොට ණය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට නැත. මෙම ඓතිහාසික කොරෝනා අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය වූ සුළු හා මාධ්‍ය පරිමාණ ප්‍රතිමූල්‍ය ණය ක්‍රමයක් මහ බැංකුවෙන් ලබා ගැනීම සඳහා ජනාධිපතිට පවා ප්‍රසිද්ධියේ මැදිහත් වීමට සිදු විය.

විදේශ වත්කම් සංචිතය පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් මහ බැංකුව විසින් කරනු ලැබුවේ රජයට වැඩි වැඩියෙන් විදේශ ණය ලබා ගෙන, ඒ සඳහා රජයට රුපියල් ලබා දී එම විදේශ මුදල් මහ බැංකුවේ විදේශ සංචිතයට එක් කිරීම යි. එබැවින්, මුදල් මුද්‍රණයෙන් 70%-80% ක් පමණ විදේශ සංචිතය මත පදනම් විය. ස්වෛරීත්ව බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර සහ විදේශිකයන්ට රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම යනාදිය මේ සඳහා විශේෂයෙන් හඳුන්වා දෙන ලදි. එසේම, විදේශිකයන්ට රාජ්‍ය ණය සුරැකුම්පත් අළෙවි කිරීම පදනම් කොට බැංකු හරහා නිකුත් කරන ලද කෙටි කාලීන මුදල් හුවමාරු ගිවිසුම් ක්‍රමය ද ඉතා ජනප්‍රිය විදේශ සංචිත මූලයක් විය. දැනට මහ බැංකුව විසින් දේවත්වයෙන් දක්වන්නේ කිසිම විනිවිදභාවයක් නොමැති මෙම විදේශ මුදල් හුවමාරු උපකරණය යි. දැනට මෙම මහ බැංකු මුදල් හුවමාරු උගුලට හසු වී උග්‍ර මූල්‍ය අලාභ විඳමින් අර්බුදයට පත් වී ඇති රටක් ලෙස ලෙබනනය සැලකෙයි. එබැවින්, ලෙබනන රජය විසින් මහ බැංකුවේ මුදල් හුවමාරු ගනුදෙනු පිළිබඳ ව වෝහාරික විගණනයක් දියත් කොට ඇත.

එසේම, විදේශ සංචිත හිඟයක් හට ගන්නා විට ජ.මූ.අ. න් රජයට ණය ලබා ගෙන තාවකාලිකව එය විසඳීම කරන ලදි. මහ බැංකුව රාජ්‍ය ණය කළමනාකරු වීම නිසා එම වගකීම විදේශ වත්කම් සංචිතය ගොඩ නැගීම සඳහා භාවිතා කළ අතර එබැවින් රජයේ විදේශ ණය බර පාලනයෙන් තොරව අධික ලෙස ඉහළ යාම රහසක් නොවේ. විදේශ සංචිතය ගොඩ නැගීම සඳහා ඉදිරිපත් කරන වත්මන් සැලසුම්වල ද දක්නට ලැබෙන්නේ රජයට විදේශ ණය සහ මුදල් හුවමාරු ලබා ගැනීම සහ රාජ්‍ය දේපල විදේශිකයන්ට අළෙවි කිරීමේ ඉලක්කයන් ය. ඒ අනුව, ආනයන මත පදනම් වූ ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකය මහ බැංකුව විසින් මූල්‍යකරණය කරනු ලැබූවේ රාජ්‍ය විදේශ ණය හරහා ය. එබැවින්, කොරෝනා වසංගතය හේතු කොට රාජ්‍ය විදේශ ණය ලබා ගැනීමේ ගැටළු හට ගත් විට මෙම විවෘත ආර්ථික පදනම කඩා වැටී වත්මන් ආර්ථික අර්බුදය හට ගෙන ඇත.

එසේ විදේශ සංචිතය එහි ගුණාත්මකභාවය නොසලකා බිලියන ඉලක්කම් ඉලක්ක කොට කෙසේ හෝ මාසය අවසානයේ ඉලක්කම්වලින් වැඩි කර පෙන්වීමට උත්සාහ කරන ලදි. එහෙත්, රටක විදේශ සංචිතය යනු ආයෝජන බැංකුවක්/සමාගමක් විසින් ලාභ අරමුණු කොට මූල්‍ය වත්කම් කළඹක් කළමනාකරණය කිරීම වැනි සූදුවක් නොව, විවෘත ආර්ථිකයක පොදුජන ජීවන තත්ත්වය ස්ථායිකරණය කිරීම අරමුණු කොට ගත් පොදු මහජන සේවයක් බව ඕනෑම කෙනෙකුට දැන් අවබෝධ කර ගත හැකිය.

එබැවින්, වත්මන් ව්‍යවස්ථාපිත සාර්ව ආර්ථික කළමනාකරණ වගකීම් අනුව ක්‍රියා කරන්නේ නම්, වත්මන් ආර්ථික අර්බුදය විසඳිය යුත්තේ ද මුදල් මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රතිපත්තිය හරහා ය. එය ක්‍රියාත්මක කිරීමට මුදල් ඇමති වෙත ද බලතල රැසක් පවතී. ජා.මූ.අ. ණය පහසුකම් යනු රජය විසින් ක්‍රියාත්මක කළ යුතු එක් පියවරකි. ඊට හේතුව, එම ණය ලැබෙන්නේ රජයට බැවිනි. එබැවින්මෙම කාර්යය රජයට හෝ රාජ්‍ය නායකයාට ඍජුව කළ හැකි කාර්යයක් නොවේ. 

ඊට විසඳුම ලෙස නැවත ආර්ථිකය වසා දමා ශ්‍රී ලංකාව 1977 ට පෙර පැවති සමාජ ආර්ථික තත්ත්වයට ගෙන යාමට උත්සාහ කළ හොත් ඉන් ඇති විය සමාජ ආර්ථික ව්‍යසනය කුමක් විය හැකි ද? යන්න දැනටම පොදුජනයා මුහුණ දෙන ජීවන ගැටළුවලින් මනාව පැහැදිලි වෙයි. එබැවින්, අදාළ ව්‍යවස්ථාපිත අධිකාරීන්ට මෙම විදේශ සංචිත හිඟය හා බැඳි ආර්ථික අර්බුදය විසඳීමට නොහැකි නම්, විදේශ විනිමය හඹා යන සිංගප්පුරුව සහ හොං කොං වැනි ආර්ථිකයකට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම සඳහා ඉක්මනින් නැවත ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය ස්ථාපිත කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.

(විදේශ මුදල් ගනුදෙනු මූලධර්ම සහ ප්‍රතිපත්ති පිළිබඳ වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශයක් වන ජාත්‍යන්තර මූල්‍ය ආර්ථික විද්‍යාව ග්‍රන්ථය බලන්න.)

පී සමරසිරි

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති



Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි