කොරෝනා වසංගතයෙන් කඩා වැටුන සංවර්ධනය වන රටවල පොදුජන ආර්ථික සෞඛ්‍යය නැවත ගොඩ නැගීමට, වත්මන් සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයන්ට හැකි වෙයි ද?

 

ගෝලීය කොරෝනා වසංගතයෙන් මහජනතාවගේ ශාරීරික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ විශේෂිත සෞඛ්‍ය ප්‍රතිපත්ති හේතු කොට, ගෝලීය සැපයුම් ජාලයන් කඩා වැටී රටවල මහජනතාවගේ ආර්ථික සෞඛ්‍යය විශාල ලෙස කඩා වැටුන බවත්, ආර්ථික විෂමතාවය ඉහළ ගොස් රටවල දරිද්‍රතාවය ඉහළ ගොස් ඇති බවත් සියළු දෙනා අත්දකින දෙයකි. එය අවබෝධ කර ගැනීම සඳහා ආර්ථික විද්‍යාඥයන්ට මෙන් ආර්ථික වර්ධන අනුපාතය, සේවා වියුක්ති අනුපාතය, ඒක පුද්ගල ආදායම, උද්ධමන අනුපාතය, රාජ්‍ය ණය අනුපාතය, විනිමය අනුපාතය සහ ගිනි සංගුණකය වැනි ආර්ථික ඉලක්කම් අවශ්‍ය නොවේ.

මහජනතාවගේ ආර්ථික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ නැවත ගොඩ නැගීම සඳහා සංවර්ධිත රටවල් විසින් ඓතිහාසික මට්ටමේ අති ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති උත්තේජන පැකේජයන් ක්‍රියාත්මක කරන ලදි. එවැනි රාජ්‍ය ප්‍රතිපත්ති නොමැතිව ආර්ථික වසංගතයකින් ගොඩ ඒම කළ නොහැකිය. ඊට හේතුව, මහජනයාට ගනුදෙනු සඳහා පවතින මුදල් ප්‍රමාණය සහ මුදල් ක්‍රමය පිළිබඳ ව විශ්වාසය රජය මගින් පාලනය කරන බැවිනි. එම ප්‍රතිපත්ති උත්තේජන පැකේජයන් අනුකරණය කරමින් සංවර්ධනය වන රටවල් විසින් ද යම් මට්ටමක උත්තේජන පැකේජයන් ක්‍රියාත්මක කරන ලදි.

එහෙත්, ගෝලීය මට්ටමෙන් පැතිරෙන අනපේක්ෂිත ආර්ථික අතුරුඵල රාශියකට සියළු රටවල් මුහුණ දීමට පටන් ගෙන ඇත. එබැවින්, පොදුජන ආර්ථික සෞඛ්‍යය නැවත ගොඩ නැගීම සඳහා දැනට පවතින සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රමවේදය සමත් නොවන බව පෙනේ.

වත්මන් ගෝලීය උද්ධමන පීඩනය

එන්නත්කරණය සමඟ ආර්ථිකයන් නැවත විවෘත කිරීමේ දී රටවල උද්ධමනය හෙවත් මිල ගණන් අධික ලෙස ඉහළ යාමට පටන් ගෙන ඇත. මීට හේතුව, වසංගතය හේතු කොට ගෝලීය සැපයුම් අංශයේ හට ගෙන ඇති අවහිරතාවන් හෙවත් සංකූලතාවයන් සහ වෙළෙඳපොළ අස්ථායීතාවයන්ය. ආර්ථිකයන් නැවත විවෘත වීමේ දී, මුදල් සැපයුම හරහා ඉල්ලුම් අංශය ප්‍රකෘතිමත් වන විට ඊට සරිලන සැපයුම් ක්‍රියාවලියක් නොමැති නම්, මිල ගණන් ඉහළ යාම සාමාන්‍ය සිද්ධිය යි. 

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් මෑත දී ප්‍රකාශ කරනු ලැබූවේ ඇමෙරිකාවේ දැනට පැන නැගී ඇති උද්ධමන පීඩනය ඇමෙරිකානු ආර්ථිකයේ සිද්ධියක් නොව ගෝලීය සිද්ධියක් බවත්, එය කොරෝනා වෛරසයෙන් ගොඩ ඒමේ දී හට ගෙන ඇති ස්වභාවික අතුරු ඵලයක් බවත් ය. මීට ප්‍රතිවිරුද්ධව, වසංගතය ආරම්භයේ දී සැපයුම මෙන්ම ඉල්ලුම ද කඩා වැටුන අතර මිල ගණන් පහළ යන ලදි.

එහෙත්, ආර්ථිකයන් නැවත විවෘත කොට නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ ආදායම ඉහළ ගොස්, ආර්ථිකයන් වසංගත අවපාතයෙන් ගොඩ එන බවට ආර්ථික විද්‍යාඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් සුපුරුදු පරිදි අදහස් දැක් වුව ද, මෙවැනි ගෝලීය අධි උද්ධමන පීඩනයක් ගැන කිසිවෙකු පුරෝකතනය කළේ නැත. එසේම, ඔවුන් විසින් රාජ්‍ය උත්තේජනයන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමක් ද නොකරන ලදි. ඊට හේතුව, මෙවැනි ගෝලීය වසංගතයකට මුහුණ දෙන අවස්ථාවක එවැනි අදහස් අමානුෂික ආර්ථික මතයන් වන බැවිනි.

උද්ධමන පීඩනය පිළිබඳ ව ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥ මතයන්

එහෙත්, මේ දිනවල ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන් විසින් ලෝකය පුරා උද්ධමනය, රාජ්‍ය අයවැය හිඟය, රාජ්‍ය ණය තොගය, මුදල් මුද්‍රණය සහ මුදල් සැපයුම යනාදිය ප්‍රසාරණය වීම පිළිබඳ ඉලක්කම් නිරන්තරයෙන් හුවා දක්වමින්, ආර්ථිකයන්හි පවතින අධි උද්ධමනකාරී අවදානම සහ පොදුජන ජීවන තත්ත්වය පහළ යාම ඇතුළු සාර්ව ආර්ථික අවදානම් පිළිබඳ විවිධාකාර මතයන් ප්‍රකාශ කිරීම සුලභ දසුනකි.

මිට අමතරව, බොහෝ සංවර්ධනය වන රටවල හට ගෙන ඇති අධික විදේශ මුදල් හිඟය සහ විනිමය අනුපාතය අවප්‍රමාණය වීම අංක එකේ සාර්ව ආර්ථික ප්‍රශ්නය ලෙස ඉදිරිපත් කෙරේ. ඊට හේතුව, එමගින් දේශීය ආර්ථිකයේ දැඩි භාණ්ඩ හිඟයක් සහ උද්ධමනකාරී තත්ත්වයක් හට ගැනීම යි. 

එබැවින්, බොහෝ ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන් විසින් දක්වන්නේ, මෙම අධික උද්ධමන පීඩනය සහ විදේශ මුදල් හිඟය රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය උත්තේජනයන්හි ප්‍රතිපලයක් බවත්, එය විසඳීම සඳහා වහාම රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කළ යුතු බවත් ය.

මූල්‍ය වෙළෙඳපොළ ප්‍රතික්‍රියාවන්

උද්ධමන පීඩනය ඉදිරියේ දී අඛණ්ඩව පවත්නා බවට කෙරෙන අපේක්ෂණයන් හේතු කොට, ඊට අනුරූපව බැංකු සහ මූල්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතයන් ඉහළ යාමට පටන් ගෙන ඇත. උද්ධමන අපේක්ෂණයන් ඉහළ යන විට මුදල්/ණය ගිවිසුම්වල පොලී අනුපාතයන් එසේ ඉහළ යාම සාමාන්‍ය හැසිරීම යි. ඊට හේතුව, ණය හිමියන් සහ මූල්‍ය ආයෝජකයන් විසින් තම අරමුදල්වල මූර්ත පොලී අනුපාතය, එනම් උද්ධමන බලපෑම ඉවත් කළ පොලී අනුපාතය, ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කිරීම යි.

එබැවින්, රාජ්‍ය ණය පිරිවැය ඉහළ යන අතර මූල්‍ය ප්‍රතිපත්තියේ ඉලක්ක පොලී අනුපාතයන් පවත්වා ගැනීමට අපහසු වෙයි. ඊට හේතුව, පොලී අනුපාතයන් තවදුරටත් පහළ මට්ටමක පාලනය කිරීම සඳහා මුදල් මුද්‍රණය කොට වෙළෙඳපොළට සැපයිම අඛණ්ඩව සිදු කළ නොහැකි බැවිනි. ඊට හේතුව, මෙය ද රජයේ මිල පාලන ක්‍රමයක් වන බැවිනි.

එබැවින්, ආයෝජකයන් සහ මූල්‍ය වෙළෙඳුන් විසින් නුදුරු අනාගතයේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කෙරෙන බවට අපේක්ෂා කෙරෙමින් සමපේක්ෂණ මූල්‍ය ආයෝජනවල නිරත වීම ආරම්භ කොට ඇත. එය මෙම අවස්ථාවේ ආර්ථිකයන්ට අහිතකර ක්‍රියාවකි.

රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිචාරය සහ අවදානම්

එබැවින්, ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන්ගේ සහ මූල්‍ය වෙළෙඳුන්ගේ අදහස්වලට අවනත වී බොහෝ සංවර්ධනය වන රටවල රජයන් සහ මහ බැංකු විසින් තම ප්‍රතිපත්ති දැඩි කිරීම ආරම්භ කොට ඇත.

මෙහි ඍජු ප්‍රතිපලය වන්නේ මූල්‍ය අංශයේ ද සැපයුම් අවහිරතාවන් හට ගෙන වත්මන් මූර්ත අංශයේ පවතින සැපයුම් අවහිරතාවන් තවත් ඉහළ යාම යි. එවිට, ණය සහ රාජ්‍ය වියදම් පහළ යාමෙන් ආර්ථික පසුබෑම ඉහළ යාමත්, උද්ධමන පීඩනය තවත් ඉහළ යාමත් සිදු වනු ඇත.  එසේම, මූල්‍ය හෝ ද්‍රවශීල හිඟය හේතු කොට මූල්‍ය හෝ බැංකු අර්බුදයක් ද හට ගැනීමේ අවදානමක් ද පවතී. කොරෝනා වසංගතය ආරම්භයේ ගෝලීය මූල්‍ය අර්බුදයක් හට ගැනීම වැලකී ගියේ මහ බැංකු විසින් අධික ලෙස මුදල් මුද්‍රණය කොට බැංකු සහ ණය වෙළෙඳපොළවලට මුදා හැරීම නිසා ය. එවැනි තත්ත්වයක් ඇති වුව හොත්, වත්මන් උද්ධමන පීඩනය සහ ආර්ථික පසුබෑම ලෝකය නොදන්නා මාදිලියේ ආර්ථික වසංගතයක් හෝ අවපාතයක් බවට පත් වනු ඇත.

තවමත් කොරෝනා වෛරසය විවිධ ප්‍රභේදයන් හරහා පැතිරෙන අතර පූර්ණ ප්‍රතිශක්තිකරණ එන්නත් සහ ඖෂධ නිපදවා නොමැති බැවින් ආර්ථික වසංගත අවදානම ඉහළ මට්ටමක පවතී. පසුගිය සතියේ ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වීමත් සමඟ ලෝකයම කලබල වී සමහර රටවල් විසින් විදේශීය පුරවැසියන් සඳහා දේශ සීමාවන් අගුළු දැමීම හරහා තවත් සැපයුම් අවහිරතාවන් සහ සමාජ ආර්ථික අස්ථායීතාවන් රැල්ලක් හට ගෙන ඇත.

උදාහරණ ලෙස ඔමික්‍රෝන් පුවත සැලවීමත් සමඟම නොවැම්බර් මස අවසාන දින කිහිපය තුළ ඇමෙරිකාවේ කොටස් විකුණා දැමීම ඉහළ යාම තුළින් කොටස් මිල දර්ශකයන් දැඩි ලෙස පහළ ගිය අතර, ඊට ප්‍රතිවිරුද්ධව ආයෝජකයන් විසින් අවදානම් අඩු රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනයට පෙළඹීම හේතු කොට මැදි හා දිගු කාලීන රාජ්‍ය සුරැකුම්පත් ඵලදා අනුපාතයන් සැලකිය යුතු ලෙස පහළ යන ලදි. ඇමෙරිකානු මහ බැංකු අධිපති විසින් පසුගිය 31 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ ඔමික්‍රෝන් ප්‍රභේදය තුළින් ආර්ථික අවදානම් සහ උද්ධමන අස්ථායීතාවය වැඩි කෙරෙන බව යි.

එබැවින්, කොරෝනා වෛරස් අවදානමෙන් ආර්ථිකයන් සහ පොදුජන ආර්ථික සෞඛ්‍යය නැවත ගොඩ ගැනීම සඳහා අඩුම වශයෙන් දශකයක් හෝ ගත වනු ඇත.

සාර්ව ආර්ථික මෙහෙයවුම් ක්‍රමවේදයක කඩිනම් අවශ්‍යතාවය

එබැවින්, ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන්ගේ සම්ප්‍රදායික සංකල්පයන් මත කෙරෙන දැනටමත් අසාර්ථක සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයෙන් සහ ක්ෂණික ඉලක්කම් ගත කාර්ය සැලසුම්වලින් ඉවත් වී, විමධ්‍යගත ආර්ථික ඉලක්කයන් මත පදනම් වූ සාර්ව ආර්ථික මෙහෙයවුම් ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුය.

එය ආර්ථිකයේ ජීවන මට්ටම සාධාරණ ව්‍යාප්තියක් සහිතව දිගු කාලීනව ඉහළ දැමීමේ ඉලක්කයන් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය හරහා ආර්ථිකයේ සමස්ත රාජ්‍ය සේවාවන් අඛණ්ඩ පදනමක් මත මෙහෙය විය හැකි ක්‍රමවේදයක් විය යුතුය. මෙම අවස්ථාව් ආර්ථිකය සහ පොදුජන ජීවන තත්ත්වය මුහුණ දෙන දිගු කාලීන අවදානම් සහ අස්ථායීතාවය සැලකිල්ලට ගෙන විශේෂ පාර්ලිමේන්තු පනතක් හරහා මෙම මෙහෙයවුම් ක්‍රමවේදය ස්ථාපිත කිරීම අවශ්‍ය වෙයි.

එය දැනට පවතින රාජ්‍ය ආයතන වෙත පවරා ඇති විමධ්‍යගත බලතල ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කළ නොහැකි වන්නේ, අදාළ රාජ්‍ය අධිකාරීන් විසින් තම තමන්ගේ විශේෂිත විෂය අරමුණු සඳහා නෛතික ස්වාධීනත්වය හෝ අභිමතයන් මත ක්‍රියාකරන බැවිනි. මෙහිදී, මධ්‍යම රජය විසින් තීරණය කොට අධීක්ෂණය කෙරෙන පොදු හෝ ජාතික ඉලක්කයන් හෝ අරමුණු මත ක්‍රියා කිරීමේ නෛතික වගකීමක් එම රාජ්‍ය අධිකාරීන් වෙත නොමැත. එබැවින්, ජාතික ආර්ථික මෙහෙයවුම් පනතක් යටතේ සියළු රාජ්‍ය සේවාවන් සම්බන්ධීකරණය සහ අධික්ෂණය කිරීම තුළින් රාජ්‍ය ප්‍රතිපත්ති අඛණ්ඩතාවය සහ ජාතික වගකීම තහවුරු කෙරෙනු ඇත.

ඇමෙරිකාව වැනි සංවර්ධිත රටවල් පවා එවැනි විශේෂ පනත් යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කරනු දැකිය හැකිය. උදාහරණ ලෙස 2020 මාර්තු මස කෙයාර්ස් පනත සහ පසුගිය නොවැම්බර් මස මැද අනුමත කරන ලද සමාජ වියදම් පනත සහ යටිතල පහසුකම් සංවර්ධන පනත දැක්විය හැකිය. එවැනි, ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ නොහැකි නම්, මෙම ගෝලීය ආර්ථික අස්ථායීතාවයෙන් ගොඩ ඒමට බොහෝ සංවර්ධනය වන රටවලට නොහැකි වී, එම රටවල පොදුජන ජීවන තත්ත්වයන් නැවත දශක තුනකට එපිට පැවති පහළ මට්මට ඇද වැටීමේ අවදානමක් පවතී. මෙහිදී, සංවර්ධිත රටවල් කොරෝනා වසංගතයෙන් ගොඩ ඒමෙන් පසුව, එම රටවලින් ගෝලීය ආර්ථිකයට කාන්දු වන ආර්ථික ඵල ප්‍රයෝජන අපේක්ෂාවෙන් සිටීමට සිදු වනු ඇත.

එම සාර්ව ආර්ථික මෙහෙයවුම් ක්‍රමවේදය පහත දැක්වෙන සම්භාව්‍ය සාර්ව ආර්ථික සමතුලිත මාදිලය විග්‍රහ කිරීමෙන් සැකසිය හැකිය. ඊට හේතුව, එමගින් ආර්ථිකයේ සියළු ක්‍රියාකාරකම් සංයුක්ත කොට ඉදිරිපත් කෙරෙන බැවිනි.


ඕනෑම ආර්ථිකයකට පොදු සාර්ව ආර්ථික ක්‍රියාකාරී ආකෘතිය අනුව විවෘත ආර්ථිකයක සියළු ක්‍රියාකාරකම්වල අන්තර් ප්‍රතිපලය රාජ්‍ය අයවැය හිඟය, පෞද්ගලික අංශයේ ඉතුරුම්-ආයෝජන පරතරය සහ විදේශ ගනුදෙනුවල ජංගම ගිණුමේ ශේෂය (භාණ්ඩ හා සේවා, සාධක ආදායම් සහ විදේශ ප්‍රේෂණ) යන විචල්‍යයන් තුන මගින් නිරුපනය වෙයි (වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවියේ පළ කොට ඇති සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳ ලිපිය බලන්න). 

ඒ අනුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය ආර්ථිකයේ ප්‍රමුඛ අංශයන් ඉලක්ක කොට ක්‍රියාත්මක කළ හැකි ලෙස නවීකරණය කිරීම කඩිනමින් අවශ්‍ය වෙයි (රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ලිපි පෙළක් මෙම වෙබ අඩවියේ පළ කොට ඇත).

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නවීකරණය

ඒ අනුව, රාජ්‍ය අයවැය හෙවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඕනෑම ආර්ථිකයක පදනම් කුළුණක් වන අතර රජය විසින් අයවැය හිඟයක් පවත්වා ගනී නම්, එය පියවීම සඳහා අවශ්‍ය සම්පත් පෞද්ගලික ඉතුරුම් අතිරික්තයක් සහ/හෝ විදේශ ජංගම ගනුදෙනු හිඟයක් මගින් සැපයිය යුතුය. එනම්, රජයට අයවැය හිඟයක් සහ පෞද්ගලික අංශයට දේශීය ඉතුරුම්වලට වැඩි ආයෝජනය කිරීමක් අවශ්‍ය නම්, එම සමස්ත දේශීය හිඟය පියවීම සඳහා විදේශ ජංගම ගිණුමේ හිඟය මගින් විදේශ මූල්‍ය සම්පත් හෝ ඉතුරුම් ලබා ගත යුතුය. එය ශුද්ධ විදේශ ණය සහ ආයෝජන ලැබීම හරහා සිදු කෙරේ.

ඒ අනුව, ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන් විසින් නිර්දේශ කරන පරිදි  වත්මන් කොරෝනා වසංගතය ආශ්‍රිත උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා රාජ්‍ය අයවැය හිඟය සහ ණය මට්ටම් පහල දැමීම කළ හැකි වන්නේ, පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ යාම සහ විදේශ ගනුදෙනුවල අපනයන සහ විදේශ ආමුඛ ප්‍රේෂණ වැනි ලැබීම් ඉහළ යයි නම් පමණි. එය මෙම අවස්ථාවේ පවතින දැඩි කොරෝනා සමාජ සහ ආර්ථික අස්ථායීතත්ත්වය තුළ කෙසේවත් බලාපොරොත්තු විය නොහැකිය. එසේම, රාජ්‍ය මූල්‍ය සංකෝචනය හේතු කොට ආර්ථිකය සහ පෞද්ගලික අංශය කෙරෙහි දැඩි අහිතකර බලපෑමක් හට ගනු ඇත. එබැවින්, අයවැය හිඟය සහ ණය සංකෝචනය කිරීම මෙම අවස්ථාවේ ප්‍රයෝගික ක්‍රියාවක් නොවේ.

එබැවින්, ඇත්ත වශයෙන් මෙම අවස්ථාවේ අවශ්‍ය වන්නේ, ඉදිරි දශකය තුළ විදේශ වෙළෙඳ ලැබීම්, ඍජු විදේශ ආයෝජන සහ ආනයන ආදේශන ඉහළ නැංවීම ඉලක්ක කොට, ඊට අවශ්‍ය ආර්ථික ක්‍රියාකාරකම්/නිෂ්පාදන අංශ වෙත රාජ්‍ය අයවැය හිඟය ඉහළ නැංවීම හරහා උත්තේජනයන් සැපයීම යි. එය වර්තමාන කෝකටත් තෛල අයවැය හරහා කළ නොහැකි බැවින් කොරෝනා වෛරස් ආර්ථික ප්‍රතිසංස්කරණය මත පදනම් වූ මැදි කාලීන විමධ්‍යගත අයවැයක් මගින් සිදු කල යුතුය.

විමධ්‍යගත යනු ගෝලීය පදනමක් මත ප්‍රධාන වශයෙන් දැවෙන ප්‍රශ්නයන් වන විදේශ මුදල් හිඟය විසඳීම, කඩා වැටි ඇති සැපයුම් අංශයන් ප්‍රකෘත්තිමත් කිරීම, තොරතුරු තාක්ෂණය වැනි නව ආර්ථික අංශයන් ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය දේශගුණික සංරක්ෂණ ඉලක්කයන් වැනි නව ස්වභාවික වසංගත අවදානම් පාලනය කිරීම වැනි විශාල පරාසයක ආර්ථික ක්‍රියාකාරකම් තෝරා ගෙන අයවැය සහනයන් සැපයිම යි.

එය වර්තමානයේ අනුගමනය කරන සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය තුළ විවිධ රාජ්‍ය අධිකාරීන් විසින් තැනින් තැනට පැන පැන කෙරෙන ආනයන පාලනය, ආහාර ද්‍රව්‍ය මිල පාලනය, විදේශ විනිමය පාලනය, විදේශ මුදල් හුවමාරු හෝ අතමාරු ලබා ගැනීම, රාජ්‍ය වත්කම් අළෙවි කිරීම වැනි අක්‍රමවත් කාර්යයන් මෙන් නොව, වත්මන් දැවෙන සමාජ ආර්ථික ප්‍රශ්නයන් සහ ඊට හේතුන් මොනවා ද? යන්න නිවැරදිව අදාළ බලධාරීන් විසින් හඳුනා ගැනීම තුළින් කළ යුතු මානව ආරක්ෂණ කාර්යයකි.

මූල්‍ය ප්‍රතිපත්ති නවීකරණය

ඉහත දැක්වූ සාර්ව ආර්ථික මාදිලිය තුළ මූල්‍ය ප්‍රතිපත්තිය යනු මූර්ත ආර්ථික ක්‍රියාවලියෙන් බාහිර කාර්යයකි. ඊට හේතුව, මුදල් යනු නිෂ්පාදනයක් නොවන අතර එය හුදෙක් රාජ්‍ය අධිකාරියක් වන මහ බැංකුව විසින් ආර්ථිකයේ මූර්ත ගනුදෙනු පහසු කිරීම සඳහා සපයා පාලනය කෙරෙන නෛසර්ගික වටිනාකමක් නොමැති නාමික වටිනාකමක් සහිත භාණ්ඩයකි. ආර්ථිකය තුළ මුදල්වල සේවය සැපයීමේ අතරමැදි බැංකු සහ මූල්‍ය ව්‍යාපාරික පද්ධතියක් පවතින අතර ඔවුන්ගේ සේවා වටිනාකම හෝ ආදායම ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන වටිනාකම තුළ අඩංගු වෙයි. එහෙත්, ඔවුන් හරහා ගනුදෙනුවන මුදල් ප්‍රමාණය නිෂ්පාදන වටිනාකමක් ලෙස තක්සේරු කිරීමේ ක්‍රමවේදයක් නොමැත. එම මුදල් ප්‍රමාණය මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ පොලී අනුපාතයන්, ණය, විනිමය අනුපාතයන් සහ බැංකු නියාමනයක් හරහා පාලනය කෙරේ.

නූතන ආර්ථිකයන් රාජ්‍ය හෝ නිල මුදල් ඒකකයන් හරහා ක්‍රියාත්මක වන ණය මැවීම මත පදනම් වූ මූල්‍ය ආර්ථිකයන් වන බැවින් මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය ආර්ථිකයේ සෑම අස්සක් මුල්ලක් කෙරෙහි බලපානු ඇත. එය ණය සැපයුම, පොලී අනුපාතයන් සහ විදේශ විනිමය වෙළෙඳපොළ විධිමත්කරණය හරහා සිදු වෙයි. එබැවින්, ආර්ථිකයේ සැපයුම් සහ ඉල්ලුම් ක්‍රියාකාරකම් සහ එමගින් නිෂ්පාදන පිරිවැය සහ මිල ව්‍යුහය කෙරෙහි මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් දැඩි බලපෑමක් ඇති කෙරේ.

එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය ද යෝජිත සාර්ව ආර්ථික මෙහෙයවුම් ක්‍රමවේදය යටතේ හඳුනා ගන්නා ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහන පොලී අනුපාතයන් සහ කොන්දේසි මත මැදි හා දිගු කාලීන ණය ව්‍යාප්ත කිරීමේ යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීම පිණිස විමධ්‍යගත කළ යුතුය. තවද, 2050 දී ගෝලීය ඉලක්කය වන ශුන්‍ය ශුද්ධ කාබන් විමෝචනය ලඟා කර ගැනීමේ මෙවලමක් ලෙස හරිත ණය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ද යුගයේ පොදුජන අවශ්‍යතාවයක් වී ඇත. දැනට පවතින මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය මෙම සංවර්ධන අරමුණු සඳහා යෝග්‍ය නොවේ. ඊට හේතු රාශියකි.

පළමුව, බොහෝ මහ බැංකු විසින් අන්තර් බැංකු වෙළෙඳපොළේ එක්දින ණය පොලී අනුපාතය සහ අරමුදල් සැපයුම පිළිබඳ ඉලක්කයන් මත මුදල් මුද්‍රණය සිදු කෙරේ. එය ඉලක්ක පොලී අනුපාතයන් මත (ප්‍රතිපත්ති පොලී අනුපාතයන්) එක්දින පරිණත කාලයක් සඳහා රාජ්‍ය සුරැකුම්පත් මත මහ බැකුව විසින් බැංකු වෙත ණය දීම සහ බැංකුවලින් අතිරික්ත අරමුදල් තැන්පතු භාර ගැනීම හරහා සිදු කෙරේ.

දෙවනුව, ආර්ථිකයේ ඉල්ලුම් සහ නිෂ්පාදන/ආයෝජන කටයුතු සඳහා අවශ්‍ය ණය සැපයීම බැංකුවල ව්‍යාපාරික ලාභ ප්‍රතිපත්ති මත තීරණය වෙයි. ඒ අනුව, බැංකු පොලී අනුපාතයන් සහ ණය කොන්දේසි ගනුදෙනු කරුවන්ගේ අවදානම් වර්ගීකරණය පදනම් කර ගෙන සිදු කෙරේ. එබැවින්, ආර්ථිකයේ ණය සැපයුම සමකාලීන ආර්ථික සංවර්ධන ප්‍රමුඛතාවන් මත නොව බැංකු ව්‍යාපාරික ප්‍රමුඛතාවන් මත තීරණය වනු ඇත. එබැවින්, ආර්ථිකයේ ව්‍යාපාරික සහ කුටුම්බ ඒකකයන් අතර කෙරෙන නිල මුදල් ව්‍යාප්තිය දැඩි විෂමතාවයක් ගනී. මහජනතාව අතර පවතින ආර්ථික විෂමතාවයට මූලික හේතුව මෙම මුදල්/ණය ව්‍යාප්ති විෂමතාවය යි. මෙය නූතන මූල්‍ය ධනවාදය ලෙස සැලකේ.

තෙවනුව, ආර්ථිකයේ මැදි හා දිගු කාලීන පොලී අනුපාතයන් සහ අරමුදල් සැපයුම කෙරෙහි බලපෑම කිරීම සඳහා මහ බැංකුව විසින් අනුගමනය කෙරෙන ප්‍රතිපත්ති මෙවලම වනුයේ රාජ්‍ය සුරැකුම්පත් ද්විතීය වෙළෙඳපොළේ බැංකු සමඟ වෙළෙඳාම් කිරීම යි. උදාහරණ ලෙස, දිගු කාලීන පොලී අනුපාතයන් පහළ දැමීම යෝග්‍ය යැයි සැලකෙන විට මහ බැංකුව විසින් දිගු කාලීන රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම කෙරේ. එවිට, රාජ්‍ය සුරැකුම්පත් මිල ගණන් ඉහළ ගොස් දිගු කාලීන රාජ්‍ය ණය පොලී අනුපාතයන් පහළ යනු ඇත. මෙහිදී, රජයට අඩු පොලී පිරිවැයක් යටතේ ණය ලබා ගැනීමට අවස්ථාව ලැබේ. එහෙත්, දිගු කාලීන බැංකු ණය පොලී අනුපාතයන් තීරණය වන්නේ බැංකුවල ව්‍යාපාරික අවදානම් ගැනීමේ ප්‍රතිපත්ති මතය.

එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී මහ බැංකු විසින් අවදානම් ගැනීමක් සිදු නොකෙරේ. එහෙත්, මෙම අවස්ථාවේ ආර්ථිකයට අවශ්‍ය වන්නේ රජය, කුටුම්බ සහ ව්‍යාපාරික ආයතනයන් මෙන් මහ බැංකුව ද අවදානම් ගෙන ආර්ථිකයේ ප්‍රමුඛ අංශ වෙත ණය ව්‍යාප්තිය පුළුල් කිරීම යි. ඒ සඳහා ප්‍රතිපත්ති මෙවලම් මහ බැංකු සතු වුව ද, ඔවුන් රජයෙන් ස්වාධීනව ක්‍රියා කිරීමට පෙළඹී ඇති බැවින් ඒවා ක්‍රියාත්මක කිරීමට මැලි කමක් දක්වන බව පෙනේ.

එහෙත්, සංවර්ධිත රටවල මහ බැංකු විසින් මෙම අවස්ථාව ඇතුළු ආර්ථික අර්බුදකාරී අවස්ථාවල අන්තර් බැංකු අරමුදල් සහ පොලී අනුපාතයන් ස්ථායීකරණයට වඩා මැදි හා දිගු කාලීන ප්‍රතිමුල්‍ය ණය සහන දායී පොලී අනුපාතයන් යටතේ ව්‍යාප්ත කිරීමට ක්‍රියා කොට ඇත. එසේම, සංවර්ධිත රටවල බැංකු ණය ප්‍රදානය මූල්‍ය ප්‍රතිපත්තියට අමතරව වෙනත් ජාතික සංවර්ධන පනත් යටතේ ද ආවරණය වෙයි. උදාහරණ ලෙස ඇමෙරිකාවේ කොමියුනිටි රිඉන්වෙස්ට්මෙන්ට් පනත සහ කෙයාර්ස් පනත දැක්විය හැකිය.

මෙවැනි නව ජාතික ආර්ථික මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය නොකොට, ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යඥයන්ගේ නිර්දේශවලට බිය වී මහ බැංකු විසින් මෙම අවස්ථාවේ නොදන්නා උද්ධමනයක් පාලනය කිරීම පිණිස පොලී අනුපාතයන් ඉහළ දමා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමට උත්සාහ කිරීමේ දී, ආර්ථිකයේ සියළු ණය පිරිවැය ඉහළ ගොස් ණය සැපයුම සංකෝචනය වී ආර්ථිකයන් මූල්‍ය අර්බුදයන්ට ලක් විය හැකිය. එසේම, මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් උද්ධමනය පාලනය කළ බවට හෝ හුදෙක් මුදල් සැපයුම ප්‍රසාරණය හේතු කොට උද්ධමනය හට ගන්නා බවට හෝ ආර්ථිකයකට යෝග්‍ය මුදල් සැපයුමේ හෝ පොලී අනුපාතයේ මට්ටම් කුමක් ද? යන්න පිළිබඳ ව කිසිම පිළි ගත් පර්යේෂණාත්මක නිගමනයන් සාර්ව ආර්ථික විග්‍රහවල දක්නට නොමැත.

එබැවින්, වත්මන් ආර්ථිකයන් මුහුණ දෙන දැවෙන සැපයුම් අවහිරතාවන් සහ උද්ධමනය හට ගැනීමේ නියම හේතු නොතකා, හුදෙක් සාර්ව ආර්ථික රෝග ලක්ෂණයක් වන උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මහ බැංකු විසින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම පදනම් විරහිත ක්‍රියාවකි. එමගින්, ආර්ථිකයන් තුළ විවිධ අස්ථායීතවාන් ඇති කිරීමේ අවදානම් පවතින බව මෑත කාලීන ප්‍රතිපත්ති අත්දැකීම්වලින් පෙනේ. එවැනි රටවල, දැනටමත් රාජ්‍ය ණය පොලී අනුපාතයන් දැඩි ලෙස ඉහළ යාමෙන් රාජ්‍ය පොලී පිරිවැය ඉහළ ගොස් ඇති අතර එය නව බදු හරහා ඉදිරියේ දී පොදුජනතාව වෙත විතැන් කිරීමට සිදු වනු ඇත. එසේම, පොලී අනුපාතයන් ඉහළ යාම් හේතු කොට ආර්ථිකයේ ආයෝජනය පහළ යාමෙන් සැපයුම් අංශය කෙරෙහි තවත් අවහිරතාවන් හට ගනු ඇත. එබැවින්, සම්ප්‍රදායික මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය මෙම අවස්ථාවේ යෝග්‍ය නොවේ.

යෝජිත සාර්ව ආර්ථික මෙහෙයවුම් ක්‍රමවේදයේ වාසි

දිගු කාලීන පොදුජන ජීවන මට්ටම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ඉලක්ක යටතේ නීති මගින් බලයලත් අධිකාරින්ගේ අධීක්ෂණයට යටත්ව අදාළ රාජ්‍ය සේවාවන් පවත්වා ගෙන යාමට හැකි වීම මෙහි විශේෂ වාසිය යි. එමගින්, අදාළ රාජ්‍ය අධිකාරීන් නෛතික වගකීමට බැඳේ.

උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ පවතින සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය යටතේ රාජ්‍ය ණය කළමනාකරණය, විදේශ මුදල් සංචිතය, විනිමය අනුපාතය, විදේශ විනිමය හිඟය, උද්ධමන පීඩනය, ආර්ථික අස්ථායීතාවය වැනි දැවෙන ආර්ථික ප්‍රශ්නයන් පිළිබඳ ව වගකීම පවතින්නේ මුදල් ඇමති සහ මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතය. ඔවුන් විසින් අදාළ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සහ බලතල අනුව ක්‍රියා කළේ නම්, එවැනි ගැටළු හට ගත නොහැකිය. එසේම, ඒවාට විසඳුම් ලබා දිය යුත්තේ ද ඔවුන් විසින් ය. එහෙත්, ඔවුන් විසින් ද එම ප්‍රශ්න ගැන විග්‍රහ කිරීම හැර තම ව්‍යවස්ථාපිත බලතල භාවිතා කොට ප්‍රයෝගික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවක් නොපෙනේ.

දෙවනුව, ජාතික ඉලක්ක සහ ප්‍රතිපත්ති අඛණ්ඩතාවය ලැබීම ඉතා වැදගත් වාසියකි. එහෙත්, පවතින සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය යටතේ භූදේශපාලනික සාධක මත ප්‍රතිපත්ති නිරන්තරයෙන් වෙනස් වන බැවින් නිරන්තර ආර්ථික අස්ථායීතාවයන්ට බොහෝ සංවර්ධනය වන රටවල් මුහුණ දීම දැකිය හැකිය. එම රටවල සංවර්ධනය වරින් වර දශක ගණන් කඩා වැටෙන්නේ එවැනි භූදේශපාලනික ආතතීන් හේතු කොට ගෙනය.

එහෙත්, මෙහිදී රාජ්‍ය නිලධාරීන් සම්ප්‍රදායානුකූල ලිපි ගොනුවලට සිමා වී සිටීමත්, නව ප්‍රතිපත්ති ක්‍රමවේදයන් දියත් කිරීමේ දී විවිධ අක්‍රමිකතාවන් හට ගැනීමත් මහත් අභියෝගයක් වනු ඇත. එහෙත්, නව ක්‍රමවේදයන් පාර්ලිමේන්තුව හරහා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කෙරේ නම්, නව ක්‍රමවේදයන් ඉක්මනින් ස්ථායීකරණය කළ හැකිය.

ආර්ථිකයක් අර්බුදයකින් නැවත ගොඩ නැගීම යනු බංකොලොත් ව්‍යාපාරික සමාගමක් මූල්‍ය කළමනාකරණ විශේෂඥයන් කිහිප දෙනෙකු විසින් එම සමාගමේ මූල්‍ය ප්‍රකාශනයන් නව්‍ය ගිණුම් උපක්‍රමයන් හරහා ශුද්ධ කොට එහි අලාභයන් ණය හිමියන් සහ කොටස් හිමියන් වෙත විතැන් කොට ගිණුම්වලින් හොද සමාගමක් බවට පෙන්වීම වැනි ඉලක්කම් අභ්‍යාසයක් නොවේ. 

ආර්ථික අර්බුදයක් යනු පරම්පරා කිහිපයක් පුරා පැතිරෙන පොදුජන ජීවන අර්බුදයක් වන අතර පොදුජනයා පාලනය කෙරෙන රජය විසින් එම අර්බුදයේ ආර්ථික ප්‍රතිවිපාකයන් පොදුජනයා වෙත විතැන් කොට තම ආර්ථික/මූල්‍ය ඉලක්කම් මූල්‍ය කළමනාකරණ විශේෂඥයන් සහ ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන් හරහා ශුද්ධ කර ගෙන ආර්ථිකය ශක්තිමත් බවට හුවා දැක්වීම ඉතා කෙටි කාලීන අභ්‍යාසයක් වන බවට ඕනෑ තරම් ගෝලීය උදාහරණ පවතී. මෙහි ඉතා කනගාටුදායක ප්‍රතිඵලය වන්නේ සිවිල් අරගල හරහා පරම්පරා ගණනක ආර්ථික සහ ජන ජීවිතය කඩා වැටීම බව අවබෝධ කර ගැනීම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ට එතරම් අපහසු නොවේ. එය අර්බුදයට ලක් වී ඇති පවුලක දෙමවුපියන් ඉන් මග හැර සිටීමට උත්සාහ කිරීමේ දී ප්‍රතිඵලයට දෙවැනි නොවේ. 

එබැවින්, වඩාත් හොඳ විකල්පය වනුයේ මෙහි යෝජනා කෙරෙන පරිදි නව නෛතික සාර්ව ආර්ථික මෙහෙයවුම් ක්‍රමවේදයක් දියත් කොට පොදුජනයා මෙම කොරෝනා ආර්ථික වසංගතයෙන් බේරා ගැනීම යි. එසේ නැතිව, තැන් තැන්වල හට ගැනෙන සුළු සුළු සැපයුම් ප්‍රශ්නයන් හෝ සිද්ධීන් විසඳීමට රාජ්‍ය තන්ත්‍රය කැප කිරීම තුළින් සිදු වන්නේ ආර්ථිකයේ පවතින දියවැඩියා තත්ත්වය වර්ධනය වීමට ඉඩ හැරීමට සමාන ක්‍රියාවකි.

පී සමරසිරි
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි