වැඩි දියුණු කළ මුදල් මුද්‍රණය. කාගේ යහපතට ද? පොදුජනයාට විකල්පයක් නැත් ද?

 


ලිපියෙහි අරමුණ සහ පසුබිම 

මෙම කෙටි ලිපියෙහි අරමුණ, මහ බැංකුව විසින් පසුගිය නොවැම්බර් 27 දින ඉදිරිපත් කළ වැඩි දියුණු කළ නව මුදල් ප්‍රතිපත්ති මොඩලය කිසිම නවතාවයක් නොමැති එතෙක් පැවති මොඩලයම බව තහවුරු කිරීම යි. එහි පසුබිම මෙසේ ය.

  • මහ බැංකුව විසින් මෙය මැලේසියාවේ මුදල් ප්‍රතිපත්තියට සමාන බව දැක්වීය. එහෙත්, එය අසත්‍යයක් බව මා විසින් මැලේසියාවේ මුදල් ප්‍රතිපත්තිය පසුගිය ලිපියෙන් ඉදිරිපත් කිරීමෙන් පැහැදිළි කරන ලදි. එම ලිපිය මෙතනින් බා ගෙන කියවන්න.

  • තව ද, මහ බැංකුව විසින් දැක්වූයේ, මෙම නව ප්‍රතිපත්තිය හේතු කොට වත්මන් ආර්ථිකය මුහුණ දෙන සියළු ප්‍රශ්න විසඳී, ආර්ථිකය ස්ථායිකරණය වන බව යි. ඒ පිළිබඳ ව අගය කෙරෙන විවිධාකාර පුවත් මාධ්‍යය සිසාරා පළ වන ලදි. සමහර ආර්ථික විද්‍යඥයන් විසින් මෙම නව මුදල් ප්‍රතිපත්තිය, මෙතෙක් ලොව පහළ වූ නවීන විද්‍යාවක් ලෙස ප්‍රශංසා කරන ලදි. එහෙත්, එම අදහස් සියල්ල පදනම් විරහිත බවට මෙම ලිපියෙන් කරුනු ඉදිරිපත් කෙරේ.

  • මෙම ලිපිය ආර්ථික විද්‍යාව අ.පො.ස.උ.පෙළ සහ උපාධි අපේක්ෂකයන්ට සහ ගුරුවරුන්ට මුදල් ප්‍රතිපත්ති පාඩම යාවත්කාලීන කර ගැනීමට ද උපකාරී වෙයි.

  • සමස්තයක් වශයෙන් ගත් විට, මෙම නව මුදල් ප්‍රතිපත්තිය ද, කිසිම විශ්වාසනීයත්වයක් නොමැති මෙන්ම, වත්මන් ආර්ථික අර්බුදයෙන් මහජනතාව ගොඩ ගැනීමට කිසිම දායකත්වයක් නොමැති මුදල් ප්‍රතිපත්තියක් බව නිගමනය කෙරේ.

මෙතෙක් පැවති මුදල් ප්‍රතිපත්තිය කුමක් ද?

මුදල් ප්‍රතිපත්තිය යනු මහ බැංකුව විසින් ආර්ථිකයට අවශ්‍ය සංචිත මුදල් මුද්‍රණය කිරීම සහ පාලනය කිරීම සඳහා අනුගමනය කෙරෙන ක්‍රමවේදය යි. 

මහ බැංකුව විසින් මුද්‍රණය කෙරෙන මුදල්, සංචිත මුදල් නම් වෙයි. ඒවා සංසරණයේ පවතින කාසි සහ නෝට්ටු සහ මහ බැංකුවේ ඇති බැංකු සහ රජයේ ගිණුම්වල තැන්පතු ශේෂවලින් යුක්ත වෙයි. සංචිත මුදල් යනු රටක මුදල් සංසරණයෙහි පවතින එක් මුදල් වර්ගයකි.

මහ බැංකුව විසින් එසේ මුදල් මුද්‍රණය සඳහා ප්‍රතිපත්ති මෙවලම් කිහිපයක් අනුගමනය කරන ලදි. ඒවා පහත දැක්වෙයි. 

1. ප්‍රතිපත්ති පොලී අනුපාතයන් දෙක

එනම්,  නිත්‍ය ණය පහසුකම් අනුපාතය (SLFR) සහ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (SDFR). ඒවා 9.25% සහ 8.25% විය.

  • නිත්‍ය ණය පහසුකම් අනුපාතය යනු එක් දිනක්/රාත්‍රියක් සඳහා මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් ඇප මත බැංකුවලට ණය දීමේ දී අය කෙරෙන පොලී අනුපාතය යි. එනම්, මහ බැංකුව විසින් නව සංචිත මුදල් ණය දීම යි.

  • නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය යනු බැංකු විසින් එක් රාත්‍රියක් සඳහා තමන් සතු අතිරික්ත සංචිත මුදල් මහ බැංකුවේ තැන්පත් කිරීමේ දී මහ බැංකුව විසින් ගෙවන පොලී අනුපාතය යි. මෙමගින්, සංචිත මුදල් අක්‍රීය ලෙස තබා ගැනීම සඳහා බැංකු දිරි ගැන්වෙයි. 

  • මෙම පොලී අනුපාතයන් දෙකෙහි අරමුණ වනුයේ, බැංකු අතර සිදු වන එක් රාත්‍රි ණය සඳහා ඔවුන් විසින් අය කෙරෙන පොලී අනුපාතයන් (අන්තර් බැංකු එක් රාත්‍රි පොලී අනුපාතයන් - Interbank Overnight Rate or Call Money Rate) දෛනිකව වෙනස් විය හැකි ඉලක්ක පරාසයක් හෝ කොරිඩෝවක් සැපයීම යි. එනම්, මහ බැංකුව විසින් නිත්‍ය ණය පහසුකම් අනුපාතය සහ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මත සීමාවක් නොමැතිව බැංකු සමඟ මුදල් ගනුදෙනු කරන බැවින් අන්තර් බැංකු එක් රාත්‍රි පොලී අනුපාතයන් මෙම කොරිඩෝවෙන් පිට යා නොහැකිය.

2. සංචිත මුදල් වෙන්දේසි 

මේවා කොටස් තුනකි. එනම්, ප්‍රති විකුණුම් ගිවිසුම් (Reverse Repo) වෙන්දේසි, ප්‍රති මිල දී ගැනුම් ගිවිසුම් (Repo) වෙන්දේසි සහ පූර්ණ වෙළෙඳ (Outright Trade) වෙන්දේසි යනාදිය යි. 

විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ලෙස ප්‍රචලිත මෙම වෙන්දේසි රාජ්‍ය සුරැකුම්පත් සුරැකුම්පත් වෙළෙඳාම හරහා සිදු විය.
  • ප්‍රති විකුණුම් ගිවිසුම් යනු එක් රාත්‍රියේ සිට ඉදිරි දින හෝ දින කිහිපයක්  හෝ  මාස කිහිපයක් සඳහා මහ බැංකුව විසින් බැංකුවලින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගෙන, නව සංචිත මුදල් සැපයීමේ ගිවිසුම් ය. 

  • ප්‍රති මිල දී ගැනුම් ගිවිසුම් යනු මහ බැංකුව විසින් බැංකුවල අතිරික්ත සංචිත මුදල් උකහා ගැනීම සඳහා තමන් සතු රාජ්‍ය සුරැකුම්පත් එක් රාත්‍රියේ සිට ඉදිරි දින හෝ දින කිහිපයක්  හෝ  මාස කිහිපයක් සඳහා බැංකුවලට අළෙවි කිරීමේ ගිවිසුම් ය.

  •  පූර්ණ වෙළෙඳ වෙන්දේසි යනු සුරැකුම්පත්වල ඉතිරිව ඇති පරිණත කාලයම සඳහා අයිතිය අළෙවි කිරීම හෝ මිල දී ගැනීම යි.මහ බැංකුව විසින් දිගු කාලීන සංචිත මුදල් ගනුදෙනු සඳහා මෙම වෙන්දේසි භාවිතා කරන ලදි.

  • මෙම සියළු සංචිත මුදල් ගනුදෙනු මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කෙරෙන වෙන්දේසිවලට ලැබෙන බැංකු ලංසු මත සිදු වෙයි. එනම්, විවිධ ලංසු පොලී අනුපාතයන් සහ මුදල් ප්‍රමාණයන්. 

  • මහ බැංකුවේ සංචිත මුදල් ඇස්තමේන්තු අනුව එක් දින සිට දින හෝ මාස කිහිපයක් දක්වා වූ කාලයන් සඳහා මෙම මුදල් වෙන්දේසි පැවැත් වෙයි. 

  • මෙම වෙන්දේසිවල අරමුණ වනුයේ, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව තුළ, අන්තර් බැංකු එක් රාත්‍රි පොලී අනුපාතයන්, තමන් මනාප අනුපාතයකට ආසන්න මට්ටමක හෝ දිසාවක පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි, බැංකු පද්ධතිය තුළ ඇති සංචිත මුදල් ප්‍රමාණය පාලනය සහ මෙහෙයවීම යි. එබැවින්, මෙය අතිශය අභිමාතානුසාරී ක්‍රියාවකි.

3. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 

එනම්, බැංකුවල තැන්පතු වගකිම්වලින් අවම වශයෙන් මහ බැංකුවේ තැන්පත් කළ යුතු සංචිත මුදල් ප්‍රතිශතයයි. එය දැනට 2% කි. එමගින්, බැංකු සතුව ඇති සංචිත මුදල් ශේෂවල අවම මට්ටමක් ආරක්ෂා කෙරේ. එම සංචිත මුදල් හදිසි අවස්ථාවල දී ප්‍රයෝජනට ගැනීමටත්, බැංකුවල ණය මැවීමේ හැකියාව යම් දුරකට පාලනය කිරීමටත් උපකාරී වෙයි.

නව මුදල් ප්‍රතිපත්තිය කුමක් ද?

පසුගිය නොවැම්බර් මස 27 දින සිට අනුගමනය කෙරෙන නව මුදල් ප්‍රතිපත්තිය යනු මූලික වශයෙන් ඉහත දැක්වූ මුදල් මුද්‍රණය කිරීමේ මොඩලයම සුළු වෙනස්කම් දෙකක් සහිතව ඉදිරිපත් කිරීමකි. ඒවා මෙසේ ය.

1. රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය (Overnight Policy Rate)

  • එනම්, අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතය (Call Money Rate) සඳහා මහ බැංකුවේ ඉලක්ක අනුපාතය යි. එබැවින්, මෙය ගනුදෙනු කෙරෙන සැබෑ පොලී අනුපාතයක් නොව, සංකල්පීය පොලී අනුපාතයකි.

  • මහ බැංකුව විසින් මීට පසු ගනු ලබන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති තීරණය වන්නේ, මෙම රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය කුමක් ද? යන්න යි.

  • මෙවර එය 8% ක් ලෙස නියම කරන ලදි. 

2. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 

  • පෙර පරිදිම, මහ බැංකුව විසින් බැංකු සමඟ කෙරෙන එක් රාත්‍රී නිත්‍ය පහසුකම් ගනුදෙනු සඳහා මෙම පොලී අනුපාතයන් දෙක භාවිතා කෙරේ.

  • නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය,  රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය මෙන් 0.50 ක් පහළ ද, නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතය, රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය මෙන් 0.50 ක් ඉහළ ද ලෙස නියම කිරීම.

  • එබැවින්, නව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 7.5% ක් ද, නව නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතය 8.5% ක් ද ලෙස තීරණය විය.

  • ඒ අනුව, රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය යනු ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝවේ මධ්‍ය ලක්ෂය යි. එබැවින්, එය හුදෙක් ගණිතමය ඉලක්කමකි. මීට පෙර එවැනි ප්‍රසිද්ධ කරන ලද මධ්‍ය පොලී අනුපාතයක් නොමැතිව, මහ බැංකුව විසින් කොරිඩෝව තුළ තමන් මනාප අනුපාතයක අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතයන් මෙහෙයවන ලදි (පහත රූප සටහන බලන්න).

3. සංචිත මුදල් වෙන්දේසි

  • ඉහත දැක්වූ ප්‍රති විකුණුම් සහ ප්‍රති මිල දී ගැනුම් වෙන්දේසි එක් රාත්‍රියක සිට දින 7 ක කාලයක් දක්වා පැවැත්වීම. එබැවින්, ඊට වඩා වැඩි කාලයක් සඳහා වන වෙන්දේසි හෝ පූර්ණ වෙන්දේසි මත සංචිත මුදල් ගනුදෙනු නොකෙරෙනු ඇත.
  • ප්‍රති විකුණුම් වෙන්දේසිවල දී (සංචිත මුදල් ණය දීමේ වෙන්දේසි), රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය හෝ ඊට පහළ පොලී අනුපාතයන් මත ඉදිරිපත් කෙරෙන ලංසු ප්‍රතික්ෂේප කොට, ඉතිරි ලංසු පිළි ගැනේ. එබැවින්, ප්‍රති විකුණුම් වෙන්දේසි පොලී අනුපාතයන් රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය අතර පවතිනු ඇත.
  • ප්‍රති මිල දී ගැනීමේ වෙන්දේසිවල දී (සංචිත මුදල් උකහා ගැනීමේ වෙන්දේසි), රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය හෝ ඊට ඉහළ පොලී අනුපාතයන් මත ඉදිරිපත් කෙරෙන ලංසු ප්‍රතික්ෂේප කොට, ඉතිරි ලංසු පිළි ගැනේ. එබැවින්, ප්‍රති මිල දී ගැනීමේ වෙන්දේසි පොලී අනුපාතයන්, රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය සහ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය අතර පවතිනු ඇත.

  • මීට පෙර මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව තුළ, තම අභිමතය මත ඕනෑම පොලී අනුපාතයන් සහිත ලංසු භාර ගැනීම සිදු විය. උදාහරණ ලෙස සමහර බැංකුවලට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට ආසන්න ඉතා පහළ පොලී අනුපාතයන්ට ප්‍රති විකුණුම් සංචිත මුදල් ණය සපයන ලදි.

  • නව මහ බැංකු පනත අනුව රාජ්‍ය සුරැකුම්පත් පමණක් නොව, වෙනත් පෞද්ගලික ණය සහ ආයෝජන සුරැකුම්පත් ද මෙම වෙන්දේසි සඳහා භාවිතා කළ හැකිය. එහෙත්, නව මුදල් ප්‍රතිපත්තිය සඳහා භාවිතා කෙරෙන සුරැකුම්පත් කුමක් ද? යන්න දක්වා නොමැත.

4. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයඑය පෙර පරිදිම පවතී.

ප්‍රතිපත්ති දෙක අතර වෙනස කුමක් ද?

  • ප්‍රතිපත්ති දෙකම සමාන ය. ඊට හේතුව, එම දෙකම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය යන ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව තුළ අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතය පවත්වා ගැනීම පිණිස මුදල් මුද්‍රණය කිරීමේ ක්‍රමවේදය වන බැවිනි.

  • එසේම, පෙර පරිදිම නව මුදල් ප්‍රතිපත්තියේ අරමුණ ද චල හෝ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරනය ලෙස දක්වා ඇත.

  • නව ප්‍රතිපත්තියෙහි රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය ලෙස නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය අතර මධ්‍ය ලක්ෂය හඳුන්වා දී ඇත. එය හුදෙක් අංක ගණිත මෙවලමක් මිස, මුදල් ගනුදෙනු කෙරෙන සැබෑ පොලී අනුපාතයක් හෝ මෙවලමක් නොවේ. එබැවින්, එහි කිසිම ප්‍රයෝගික වැදගත්කමක් නැත.

  • විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ද බොහෝ සමාන ය. එහි එකම වෙනස වන්නේ, නව ප්‍රතිපත්තියේ, ඒවා රාතියේ සිට දින 7 දක්වා සීමා කිරීමත්, වෙන්දේසිවල දී පිළි ගැනෙන ලංසු පොලී අනුපාතයන්හි පරාසය නියම කිරීමත් ය.

  • එබැවින්, රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය හඳුන්වා දීම තුළින් මුදල් ප්‍රතිපත්තියෙහි විශාල වෙනසක් සහ නව දියුණුවක් ඇති කළ බව පැවසීම අර්ථ විරහිත ය.

  • නොවැම්බර් 27 දින සිට ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව, අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතය සහ මහ බැංකු රාත්‍රී ප්‍රති විකුණුම් පොලී අනුපාතයේ හැසිරීමේ සිදු වූ වෙනස්කම් පහත රුපසටහනෙහි දැක්වෙයි.

  • ඒ අනුව, පසුගිය දින අට තුළ වාර්තා වූ විවට වෙළෙඳපොල දත්තවලින් කරුනු දෙකක් පැහැදිළි ය.

    • පළමුව, ප්‍රති විකුණුම් පොලී අනුපාතය, අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතයට වඩා පෙර පරිදිම පහළ මට්ටමක පවතී. එබැවින්, අන්තර් බැංකු වෙළෙඳපොළ පොලියට වඩා අඩු පොලියට සංචිත මුදල් සැපයීමේ මහ බැංකු පුරුද්ද වෙනස් නොවන බව පෙනේ.

    • දෙවනුව, අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතය, රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය වන 8% ට සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී. එබැවින්, නව ක්‍රමයේ අරමුණ වන අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතය, රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතයට ආසන්න මට්ටමක පාලනය සිදු නොවන බව පෙරේ. මේ පිළිබඳ ව වැඩිදුර අධ්‍යයනය ඉදිරි දත්ත මත සිදු කළ යුතුය.

මහ බැංකුව විසින් දැක්වූ පදනම් විරහිත අදහස්

  • මෙවර මහ බැංකු පොලී අනුපාතය 0.50 කින් පමණ පහළ දැමූ බව. 

    • එය, නව රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය වන 8.00% සහ පෙර දින පැවති සාමාන්‍ය අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතය වූ 8.55% අතර වෙනස ලෙස ඉදිරිපත් කොට ඇත. එය ගණිතමය වශයෙන් ද පදනම් විරහිත ය. ඊට හේතුව, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් හෝ කොරිඩෝව තුළින් සාමාන්‍ය අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතයක් ඉලක්ක නොකළ බැවිනි. 

    • එහෙත්, මෙවර  ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව, එනම්, නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතයන්, 8.25%-9.25% සිට 7.50%-8.50% දක්වා 0.75% කින් පහළ දමා ඇත. එබැවින්, සත්‍ය වශයෙන් මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයන්හි පහළ යාම 0.75 කි.

  • රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය හේතු කොට, මහජනයා වෙත මුදල් ප්‍රතිපත්ති සංනිවේදනය, මහජන උද්ධමන අපේක්ෂණයන් සහ මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය වඩාත් ශක්තිමක් වී, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරන මුදල් ප්‍රතිපත්තිය කාර්යක්ෂම වන බව. 

    • මෙය හුදෙක් තාක්ෂණික වචන කිහිපයක් වන අතර එය සනාථ කිරීම සඳහා කිසිම ආර්ථික පර්යේෂණ දත්ත නොමැත. මීට පෙර පැවති මුදල් ප්‍රතිපත්තිය ද එලෙසම හඳුන්වා දුන් එකකි. 

    • එහෙත්, ආර්ථිකයෙහි සැබෑ උද්ධමනය, මුදල් ප්‍රතිපත්තියෙහි නම්‍යශීලී උද්ධමන ඉලක්කය වූ 5% මට්ටමේ පවත්වා ගැනීමට නොහැකි වී ඇත. එසේම, පසුගිය මාස තුනක සිට ශ්‍රී ලංකාව අවධමනකාරී උගුලක හිර වී ඇත. ඉදිරි කාර්තු කිහිපයක ද එසේ අවධමනය පවතින බවට මහ බැංකුව පිළි ගෙන ඇත. 

    • රජය විසින් මහ බැංකුවට දී ඇති උද්ධමන ඉලක්කය වනුයේ, කාර්තු සාමාන්‍යය 3%-7% ක උද්ධමන කොරිඩෝව යි. 5% යනු එහි මාධ්‍ය ලක්ෂය යි. මුදල් ප්‍රතිපත්තියට උද්ධමනය පාලනය කිරීමේ හැකියාවක් පවතී නම්, අනපේක්ෂිත ලෙස 3%-7% උද්ධමන කොරිඩෝවෙන් බොහෝ පිටත අධි උද්ධමන හෝ අධි අවධමන තත්ත්වයන් හට ගත නොහැකිය. මහ බැංකුවට අවසර ඇත්තේ, 5% සිට 2% ක පරාසයක් තුළ කාර්තු සාමාන්‍ය උද්ධමනය පවත්වා ගෙන යාමට යි. එහෙත්, පසුගිය මාස 8 තුළ උද්ධමනය අඛණ්ඩ එම පරාසයෙන් පිට පැවතීම හේතු කොට, මුදල් ප්‍රතිපත්තිය අදාළ නීතිය උල්ලංගණය කොට ඇත. ඒ බව පහත දැක්වෙන රූප සටහනින් පැහැදිළි වෙයි. පසුගිය කාර්තු දෙකකට වඩා වැඩි කාලයක් උද්ධමනය 2% ක පරාසයෙන් පිට වෙනස් වී ඇත්නම්, මහ බැංකුව විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

    • රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය ද මහජනයා නොමග යවන වචනයන් ය. ඊට හේතුව, එය සැබෑ පොලී අනුපාතයක් නොව, හුදු ඉලක්කයක් පමණක් වීම යි. එබැවින්, ඇමෙරිකාවේ එය වඩාත් නිවැරදි ලෙස, "අන්තර් බැංකු ණය ඉලක්ක අනුපාතය" (Federal Funds Target Rate) යනුවෙන් දැක්වෙයි.

උද්ධමනය පාලනයට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බව දැක්වෙන්නේ කෙසේ ද?

  • ලෝකයේ සෑම මහ බැංකුවක්ම පවසන්නේ, එකම කථාවකි. එනම්, මහ බැංකුව විසින් අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතය ඉලක්කගත මට්ටමක පාලනය කළ විට, උද්ධමනය ද මහ බැංකුවේ ඉලක්ක මට්ටමට පැමිණෙන බව යි. එම කථාන්දරයේ සාරාංශය මෙසේ ය.

    • මහ බැංකුව විසින් තම මුදල් මුද්‍රණය හරහා අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතය යම් ඉලක්කයක පාලනය කිරීම.

    • ඒ අනුව, අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතය මගින් ආර්ථිකයේ සියළු පොලී අනුපාතයන් තීරණය වීම.

    • එම පොලී අනුපාතයන් තුළින් ආර්ථිකයෙහි ණය සහ මුදල් ප්‍රවාහය/පරිමාව කෙරෙහි බලපෑම.

    • ආර්ථිකයෙහි ණය සහ මුදල් ප්‍රවාහය තුළින් භාණ්ඩ හා සේවා සමස්ත ඉල්ලුම හෙවත් සමස්ත වියදම කෙරෙහි බලපෑම.

    • එමගින්, ආර්ථිකයෙහි මිල ගණන් හෙවත් පොදු මිල මට්ටම කෙරෙහි බලපෑම. එබැවින්, මුදල් ප්‍රතිපත්තිය යනු සමස්ත ඉල්ලුම පාලනය හරහා උද්ධමනය පාලනය කෙරෙන ප්‍රතිපත්තියක් ලෙස දැක්වෙයි.

  • මෙම රස කථාන්දරය මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය ලෙස දැක්වෙයි. මෙම සම්ප්‍රේෂණය සඳහා මාස 12-18 ක කාලයක් ගත වන බව ද නිකමට දැක්වෙයි. මෙහි දී, මහ බැංකුව විසින් සිදු කරන එකම දෙය වනුයේ, අන්තර් බැංකු රාත්‍රී ණය වෙළෙඳපොළේ මිල වන පොලී අනුපාතය තමන්ට මනාප ඉලක්කවල පාලනය යි. සීමාවක් නොමැතිව මුදල් මුද්‍රණය කොට සැපයිය හැකි බැවින් මහ බැංකුවට එසේ මිල පාලනය කළ හැකිය. රජයට සහල් මිල නියම කොට පාලනය කළ නොහැක්කේ, එම මිලට වෙළෙඳපොළට අවශ්‍ය සහල් සැපයීමට රජයට නොහැකි බැවිනි.

  • එහෙත්, අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතය තුළින් ආර්ථිකයෙහි අනෙක් පොලී අනුපාතයන් සහ භාණ්ඩ හා සේවා මිල ගණන්, මහ බැංකු උද්ධමන ඉලක්කයට අනුකූල ලෙස වෙනස් වන හෝ පාලනය වන බව පැවසීම සුරංගනා කථාවකි. ඒ බවට කිසිම ආර්ථික පර්යේෂණ දත්ත නොමැත. එය හුදෙක් ආදි කාලීන භක්තිමත් සංකල්පයක් පමණි.

  • එබැවින්, මහ බැංකු විසින් නිරන්තරයෙන් පවසන්නේ, මුදල් ප්‍රතිපත්තිය හේතු කොට, ඉදිරි මැදි සහ දිගු කාලයේ දී සැබෑ උද්ධමනය ඉලක්ක උද්ධමන මට්ටමට ලඟා වන බව යි. එබැවින්, සැබෑ උද්ධමනය ඉලක්ක උද්ධමනය  අවට හැසිරෙන විට, එය විචක්ෂණකාරී මුදල් ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය බවත්, උද්ධමනය අධික ලෙස ඉලක්ක උද්ධමනය ඉක්මවා යන විට, එය රාජ්‍ය ප්‍රතිපත්තිවල අහිතකර ප්‍රතිඵලය බවත් මහ බැංකුව විසින් දැක්වෙයි. උදාහරණ ලෙස වත්මන් ශ්‍රී ලංකාවේ අවධමනයට හේතුව ලෙස රාජ්‍ය පාලන මිල ගණන් පහත හෙළීම දැක්වෙයි. එහෙත්, මහ බැංකුවේ මහජන වගකීම වන්නේ, හේතු මත පදනම් වී උද්ධමනයන් තෝරා ගෙන පාලනය කිරීම නොව, හේතු කුමක් වුවත්, උද්ධමනය ඉලක්ක මට්ටමේ පාලනය කිරීම යි. ඒ සඳහා මහ බැංකුව අසමත් වී ඇත. ඒ බව ඉහත දැක්වූ රූප සටහනින් ඔප්පු වෙයි. 

  • මහ බැංකුවට එසේ උද්ධමනය පාලනය කළ හැකි නම්, ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව සෘජුවම උද්ධමන ඉලක්ක කොරිඩෝවට හෝ ඉලක්කයට හෝ උද්ධමනය ගණනය කෙරෙන පාරිභෝගික මිල දර්ශකයට බද්ධව තීරණය කිරීමේ හැකියාව තිබිය යුතුය. එවැනි හැකියාවක් කිසිම මහ බැංකුවකට නොමැත. එබැවින්, ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව සහ උද්ධමනය ඉලක්කය යන දෙකම හුදෙක් අංක ගණිතය වෙයි.

මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ ව මෑත දී පැන නැගුණ චෝදනාව කුමක් ද?

  • චෝදනාවන් කිහිපයකි.

    •  පළමුව, අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතය සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝවක් නියම කොට, ඒ සඳහා සීමා රහිත නිත්‍ය පහසුකම් ප්‍රදානය කෙරෙන විට, මහ බැංකුව විසින් විවට වෙළෙඳපොළ හරහා මුදල් මුද්‍රණය කෙරෙනේ ඇයි? 

    • දෙවනුව, විවට වෙළෙඳපොළ මගින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට ආසන්න පොලී අනුපාතයන් මත බැංකුවලට සංචිත මුදල් සැපයීමට මුදල් මුද්‍රණය කිරීමේ පදනම කුමක් ද? දින 7 ක සංචිත ණය මුදල් ද, එසේ අඩු පොලියට ප්‍රදානය කොට ඇත.

    • තෙවනුව, බැංකු පද්ධතියෙහි දැනට අතිරික්ත සංචිත මුදල් තොගයක් පවතින විට, මහ බැංකුව විසින් විවට වෙළෙඳපොළ හරහා අඩු පොලියට තවත් නව සංචිත මුදල් මුද්‍රණය කරන්නේ ඇයි? මෙම චෝදනාවන්ට පදනම් වූ දත්ත රූප සටහන් පහත දැක්වෙයි.


  • එබැවින්, මෙම විවට වෙළෙඳපොළ මුදල් මුද්‍රණය, මහ බැංකු මුදල් අක්‍රමිකතාවයක් ලෙස ද චෝදනා කෙරින. මහ බැංකුව යනු රාජ්‍ය මුදල් පාලනයට යටත් නොවන ස්වාධීන ආයතනයක් ලෙස සැලකෙන බැවින් මෙවැනි මුදල් අක්‍රමිකතාවන් යටපත් වී පවතී. මහ බැංකු පනත අනුව රජයට ණය දීම මහ බැංකුවට තහනම් වුව ද, රජයේ ජාත්‍යන්තර ණය උපදේශකයන්ට රුපියල් බිලියන 3.2 ක සේවා ගාස්තු රජය වෙනුවෙන් මුදල් මුද්‍රණය හරහා මහ බැංකුව විසින් ගෙවා ඇති බව ද පසුගිය දා පාර්ලිමේන්තු අතුරු සම්මත ගිණුම විවාදයේ දී හෙළිදරව් විය. එම මුදල මහ බැංකුවට ප්‍රතිපූරණය හෝ ආපසු ගෙවීම සඳහා මුදල් ඉල්ලා ඇත්තේ ජනධිපතිවරයා විසිනි. එබැවින්, මහ බැංකුවේ ප්‍රාග්ධනය රජයෙන් සැපයීමත්, මහ බැංකු ලාභය රජයට අයිති වීමත් හේතු කොට, මහ බැංකු මුදල් ද ව්‍යවස්ථානුකූලව රාජ්‍ය මුදල් පාලනයට යටත් වෙයි.

  • එබැවින්, නව මුදල් ප්‍රතිපත්තිය හරහා සිදු කොට ඇත්තේ, එම චෝදනාව වලකා, එම මුදල් මුද්‍රණය අඛණ්ඩව කර ගෙන යාමේ සැඟවුණ ප්‍රයත්නයක් දැරීම යි. රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතය නියම කොට ඇත්තේ ඒ සඳහා ය. එනම්, ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝවේ මාධ්‍ය ලක්ෂය අවට අන්තර් බැංකු රාත්‍රී පොලී අනුපාතය පවත්වා ගැනීම සඳහා මුදල් මුද්‍රණය කිරීම යි. මෙහි දී, එක් රාත්‍රී ණය පමණක් නොව, දින 7 දක්වා ණය ද, මහ බැංකුව විසින් මෙම එක් රාත්‍රී පොලී අනුපාත කොරිඩෝවේ පොලී අනුපාතයන්ට ප්‍රදානය කිරීමට ප්‍රතිපාදනයන් නියම කොට ඇත. දින 7 ක ණයක් දිනක ණය පොලී අනුපාතයට වඩා අඩු පොලී අනුපාතයකට දීමේ ආර්ථික පදනමක් නොමැත. එම පාඩුව මහජනයා විසින් දැරිය යුතුය. 2023 ජනවාරි සිට මේ දක්වා, නිත්‍ය ණය පහසුකම් අනුපාතයට වඩා පහළින් එක් රාත්‍රී ප්‍රති විකුණුම් වෙන්දේසි පොලී අනුපාතයන් ප්‍රදානය කිරීම හේතු කොට, මහ බැංකුවට අහිමි වූ ලාභය රුපියල් බිලියන 24 ක් පමණ වෙයි. එබැවින්, චෝදනාවට ලක් වූ විවට වෙළෙඳපොළ මහ බැංකු මුදල් අක්‍රමිකතාවය අඛණ්ඩව කෙරෙනු ඇත.

  • තව ද, බැංකුවල අතිරික්ත සංචිත මුදල් තැන්පතු (එනම්, නිත්‍ය තැන්පතු පහසුකම) සඳහා පොලී ගෙවීමට නෛතික ප්‍රතිපාදනයන් මහ බැංකු පනතේ නොමැත. එහෙත්, ව්‍යවස්ථාපිත සංචිත සඳහා පොලී ගෙවීමට අවසර පවතී. එබැවින්, බැංකු විසින් දෛනිකව විශාල පොලී මුදලක් නිත්‍ය තැන්පතු හරහා මහ බැංකුවෙන් ලබා ගනී. පසුගිය දිනවල නිත්‍ය තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 200 ඉක්මවා ගොස් ඇත. බැංකු විසින් ඉතුරුම් තැන්පතු සඳහා 2%-3% ක පොලියක් ගෙවා, එම මුදල් 7.50% ක පොලියක් (නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය) මත මහ බැංකුවේ තැන්පත් කොට, අවදානම් රහිත 5% ක පමණ පොලී ලාභයක් ලබා ගැනීමට අයුතු අවස්ථාවක් ලබා ඇත. එම පොලිය ද මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය හරහා ගෙවන අතර එය ද මහජනයාට පැටවෙන පාඩුවකි. එය මහ බැංකු මුදල් අක්‍රමිකතාවයකි.

වත්මන් මුදල් ප්‍රතිපත්තිය කාගේ යහපත සඳහා ද?

  • මෙම මුදල් ප්‍රතිපත්තිය හුදෙක් බැංකුවල එදිනෙදා අවශ්‍ය සංචිත මුදල් ශේෂ කළමනාකරණයට උදවු කිරීම සඳහා මුදල් මුද්‍රණය කිරීම පිණිස නිර්මාණය වී ඇත. එනම්, බැංකුවල එදිනෙදා ව්‍යාපාරික මුදල් ප්‍රවාහයන්හි හිඟයන් පියවීම සඳහා නව සංචිත මුදල් සැපයීමටත්, බැංකුවල අතිරික්ත සංචිත මුදල් මහ බැංකුවේ ආයෝජනයටත් අවස්ථාව සැපයීම යි. 

  • එහෙත්, දැනට බංකොලොත් භාවයට මුහුණ දී ඇති ආර්ථිකයෙන් ගොඩ ඒමට අවශ්‍ය ණය මුදල් ප්‍රසාරණයට සහ ව්‍යාප්තියට මෙම මුදල් ප්‍රතිපත්තියෙන් කිසිවක් සිදු නොවේ. එබැවින්, මෙම මුදල් ප්‍රතිපත්තිය හුදෙක් බැංකුවල සමපෙක්ෂණ මුදල් වෙළෙඳුන්ට හැර පොදු මහජනතාවගේ ආර්ථිකයට කිසිම සේවයක් සිදු නොවේ. වත්මන් ආර්ථිකය සහ පොදුජන ජීවන මට්ටම ගොඩ ගැනීමට ඇති එකම බාධකය මුදල් හිඟය යි. නම්‍යශීලී උද්ධමන ඉලක්කය පිළි පැදීමට ද මුදල් ප්‍රතිපත්තිය අසමත් වී ඇති බව වත්මන් අවධමන පීඩනයෙන් සනාථ වෙයි. එය මහ බැංකු පනත උල්ලංගණයකි.

  • එබැවින්, මහ බැංකු පොලී අනුපාතයන් අවම වශයෙන් 3% කින් පමණ පහළ දමා, ඉදිරි වසර 5 තුළ ප්‍රමුඛ ආර්ථික අංශ සංවර්ධනය තුළින් විදේශ මුදල් අතිරික්තයක් ජනිත කිරීමට ඉලක්ක කළ, මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ ණය ප්‍රසාරණය සහ ව්‍යාප්තියකට දායක වන පරිදි, අඩුම වශයෙන් රුපියල් ට්‍රිලියන 3 ක සංචිත මුදල් නිෂ්පාදනයක් නොමැතිව, වත්මන් ආර්ථිකය මෙතනින් සෙලවිය නොහැකිය. එය, එක් රාත්‍රී සිට දින 7 දක්වා එදිනෙදා මුදල් මුද්‍රණය කෙරෙන ප්‍රති විකුණුම් මුදල් ප්‍රතිපත්තියකින් කළ නොහැකිය. 

  • ඒ සඳහා අවශ්‍ය වන්නේ, මැදි හා දිගු කාලීන ණය ව්‍යාප්තිය ආශ්‍රිත ද්‍රවශීල අසමතුලිතතාවය තුළින් ජනිත වන අවදානම් කළමනාකරණය කිරීමට උපකාරී වන මැදි හා දිගු කාලීන සංවර්ධන සංචිත මුදල් සැපයෙන මුදල් ප්‍රතිපත්තියකි. එසේ සැපයෙන සංචිත මුදල් හුදෙක් රජයේ සහ පුද්ගලික මෝල්වල සහල් සහ වී සංචිතවලට සමාන ය. එය රජයේ සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය තුළ නූතන මුදල් සහ සැපයුම් ආර්ථික විද්‍යා මූලධර්මයන් මත සිදු කළ යුතුය. 

  • එහෙත්, එවැනි සංවර්ධන මුදල් ප්‍රතිපත්තියක් වත්මන් ස්වාධීන මුදල් රජයක් ලෙස ක්‍රියා කරන IMF - මහ බැංකුවෙන් බලාපොරොත්තු විය නොහැකිය. එසේ නොවේ නම්, වත්මන් ආර්ථික සහ බංකොලොත් අර්බුදයෙන් රට සහ මහජනතාව ගොඩ ගැනීමට කිසි දා කිසිවෙකුට නොහැකි වනු ඇත. දේශපාලන නායකයන් විසින් එවැනි සංවර්ධන පොරොන්දු දෙනු ලබන්නේ, මෙම සාර්ව ආර්ථික ව්‍යුහාත්මක සත්‍යය නොදැන ය. සැලසුම්ගත ණය සහ මුදල් ප්‍රසාරණයක් සහ ව්‍යාප්තියක් නොමැතිව රටක් සංවර්ධනය කළ නොහැකි බව තේරුම් ගැනීමට ආර්ථික විද්‍යා දැනුම අවශ්‍ය නොවේ. එහෙත්, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය "ලෙඩා මළත් බඩ ශුද්ධ යි" කියමන මෙන්, ස්වාධීන පිරිසිදු එකක් ලෙස හුවා දැක්වෙයි. 2022 දී සැපයුම අංශය කඩා වැටී ආර්ථිකය අර්බුදයට ලක් වූ විට, මහ බැංකුව විසින් පොලී අනුපාතයන් 32% දක්වා ඉහළ නංවා, ආර්ථිකය බිමට සමතලා කරනු ලැබුවේ, මෙම අද්භූත න්‍යාය හරහා ය.

  • එබැවින්, රජයට ඉතිරි වී ඇති එකම දේශපාලනික ආර්ථික විකල්පය වන්නේ, මෑත දශකවල දී පසුගිය රජයන් සිදු කළා මෙන්, IMF සහ බටහිර මූල්‍ය වෙළෙඳපොළ ආයෝජකයන් සමඟ සංධානගත වී, රජයට නව ඩොලර් ණය ප්‍රවාහයක් නැවත ජනිත කොට, ඒ හරහා ආනයන මත වූ ප්‍රාථමික පරිභෝජන ආර්ථිකයක් කළමනාකරණය කිරීම මගින් නැවත කෙටි කාලයක් මහජනයා පිනවීම යි. එහි ආදීනව, නව විදේශ ණය ගෙන 2028 දී, විදේශ ණය නැවත ගෙවීම ආරම්භ කෙරෙන විට, මහජනතාවට විඳීමට සිදු වනු ඇත. රජයේ වත්මන් IMF ආර්ථික කළමනාකරණ මොඩලයෙන් පොදු මහජනයාට අපේක්ෂා කළ හැකි එකම විකල්පය, එසේ කෙටි හුස්මක් ගැනීම යි.

  • එබැවින්, සමස්තයක් ලෙස ගත් විට, ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා රටේ ස්වෛරිත්ව මුදල් නිපදවීමේ සහ පාලනය කිරීමේ බලය රජය සතු ය. එහෙත්, එම මුදල් බලයෙන් රටේ පොදු සමාජ ආර්ථිකයට කිසිම ප්‍රතිඵලයක් නොමැති නම්, රටේ රජයකින්  ආර්ථිකය අර්බුදයකින් මුදවා ගැනීම සඳහා කළ හැකි කළමනාකරණය ඉතා සීමිත වෙයි. ඊට හේතුව, මුදල් නොමැතිව දුප්පත් රජයක් වීම යි. ශ්‍රී ලංකා රජය සහ මහජනතාව අතීතයේ සිට දුප්පත් රෝගයෙන් පෙළෙන බැවින්, ඉන් ගොඩ ඒම කියන තරම් පහසු නොවේ. ඊට හේතුව, දුප්පත් රෝගයට පුරුදු වී ජීවත් වීම යි. ඒ සඳහා තරගකාරී ධනවත් මානසිකත්වයක් ගොඩ නැගීම ද අවශ්‍යය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?