බැංකු හිඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ සහන. මහ බැංකුවට බලයක් තිබේ ද? රජයේ වගකීම කුමක් ද?
ලිපියේ අරමුණ
අද දින පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී, මහ බැංකුව හරහා බැංකු හිඟ ණය ගැටළුව විසඳා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් නැවත නගා සිටුවීමේ ප්‍රතිපත්තියක් රජය විසින් ඉදිරිපත් කරන ලදි. පුවත්පත් සාකච්ඡාවේ වීඩියෝව මෙතනින් බා ගන්න. (වීඩියෝව)
මෙම ලිපියේ අරමුණ වනුයේ, මහ බැංකුවේ නෛතික තත්ත්වය පිළිබඳ නිසි දැනුමක් නොමැතිව එම ප්‍රතිපතිපත්තිය ඉදිරිපත් කොට ඇති බවත්, එය අසමත් ප්‍රතිපත්තියක් බවත් පෙන්වා දීම යි.
පුවත් පත් සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ මූලික කරුනු
- පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදයේ බලපෑමට ලක් වී බැංකුවලට ණය ආපසු ගෙවීමේ ගැටළුවට මුහුණ පා ඇති ව්‍යාපාරයන්ට ණය ගෙවීම සහ නව ණය ගැනීම සඳහා රජය විසින් සකස් කොට ඇති සහන පැකේජයක් මහ බැංකුවට ඉදිරිපත් කොට ඇති බව.
- මහ බැංකුව විසින් බැකු වෙත නිකුත් කොට ඇති උපදෙස්වල ඉන් කොටසක් පමණක් අඩංගු බව.
- මහ බැංකුව යනු ස්වාධීන ආයතනයක් බැවින් ඉදිරියේ දී නැවත මහ බැංකුව සමඟ සාකච්චා කොට රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව.
- ඉහළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සමහරු විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයන්හි මුදල් ආයෝජනය කරන බව සහ එය වැලැක්වීම සඳහා මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමට ක්‍රියා කරන බව.
නෛතික පසුබිම
මහ බැංකුව විසින් නින්දෙන් අවදි වී මෙන්, දෙසැම්බර් 19 දින බැංකු වෙත චක්‍රලේඛයක් යැවීමේ පදනම මෙම රාජ්‍ය උපදේශය යි. එම චක්‍රලේඛය මෙතනින් බා ගෙන කියවන්න. (චක්‍රලේඛය)
- රාජ්‍ය ආයතනයක් ක්‍රියා කළ යුත්තේ, රජය විසින් දෙන උපදෙස් අනුව නොව, ආයතනවල කාර්යයන් සහ බලතලවලට අදාළ ව පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ඇති නෛතික ප්‍රතිපාදනයන් මත ය. එබැවින්, මෙම චක්‍රලේඛය සහ රාජ්‍ය උපදෙස් පිළිබඳ නෛතික තත්ත්වය පහත දැක්වෙයි.
- නව මහ බැංකු පනත අනුව මහ බැංකුව රජයෙන් ස්වාධීන අතර මහ බැංකුවේ කාර්යයන් හෝ ප්‍රතිපත්ති කෙරෙහි මැදිහත් වීමට රජයට බලයක් නැත. එබැවින්, රජයේ උපදෙස් මෙන්ම ඒ අනුව නිකුත් කොට ඇති චක්‍රලේඛය ද නීති විරෝධී වෙයි. මීට පෙර පැවති මුදල් නීති පනත යටතේ රජයට එවැනි අවසාන නෛතික බලයක් පැවතින. එම පනත අවලංගු කිරීමට සෑම දේශපාලන පක්ෂයකම ආශීර්වාදය හිමි විය.
- මෙම චක්‍රලේඛය ද නෛතික ප්‍රතිපාදනයන් මත නිකුත් කළ එකක් නොව, හුදු මහ බැංකු පොදු උපදෙස් පත්‍රිකාවකි. ඊට හේතුව, මෙවැනි බැංකු ණය ප්‍රදානය, පොලී අනුපාතයන් සහ ණය සහන පිළිබඳ ව විධානයන් පැනවීම හරහා බැංකු ව්‍යාපාරයට මැදිහත් වීමට හැකි නෛතික ප්‍රතිපාදනයන් මහ බැංකු පනතේ හෝ බැංකු අධීක්ෂණ පනත්වල අඩංගු නොවීම යි. එබැවින්, මෙම චක්‍රලේඛය පිළිපැදීම හෝ නොපිළිපැදීම බැංකුවල අභිමතය වෙයි. එහෙත්, අවලංගු කළ මුදල් නීති පනත යටතේ එවැනි විධාන බලතල පැවතින. මීට පෙර ද මෙවැනි මහ බැංකු චක්‍රලේඛයන් රැසක් නිකුත් කළ ද, ගැටළුව ඔඩු දිවීම හැර ප්‍රතිකාරයක් නොවීය. මෙම චක්‍රලේඛයන් යනු ඌරාගේ මස් ඌරාගේ ඇග මත තබා කැපීමට සමාන ය. එනම්, ගැටළුවට මුහුණ දෙන බැංකුවලටම ගැටළුව විසඳ ලෙස නියම කිරීම ය.
- නව මහ බැංකු පනත අනුව මහ බැංකුව විසින් මහ බැංකු පනතේ ප්‍රතිපාදනයන්ට යටත්ව රජයේ පොදු ආර්ථික ප්‍රතිපත්ති රාමුවට සහයෝගය දිය යුතුය. එහෙත්, රජයේ මෙවැනි ණය සහන ආර්ථික ප්‍රතිපත්තියකට සහාය දීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදනයන් මහ බැංකු පනතේ නොමැත.
- තහනම් පිරමීඩ සහ අනවසර තැන්පතු යෝජනා ක්‍රමයන් වැලැක්වීම, පරීක්ෂා කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම මහ බැංකුවේ ව්‍යවස්ථාපිත කාර්යයන් ය. මෑත දී අධිකරණය විසින් ද තහනම් පිරමීඩවලට එරෙහිව ක්‍රියා කරන ලෙසත්, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, මහ බැංකුවට නියෝග කළ බව මධ්‍යයෙහි වාර්තා විය. එයට මැදිහත් වීමට රජයට හැකියාවක් නොමැත. රජයෙහි කාර්යය වන්නේ මහ බැංකුව විසින් තම මහජන වගකීම් ඉටු නොකරන්නේ නම්, අදාළ නීති අනුව ක්‍රියා කිරීම යි.
සමාප්ත සටහන
- බැංකු හිඟ ණය මට්ටම ඉහළ යාම යනු ආර්ථිකයෙහි මුදල් ක්‍රමය ආශිත ව්‍යුහාත්මක ගැටළුවකි. මහ බැංකු දත්ත අනුව බැංකු පද්ධතියෙහි සමස්ත අක්‍රමවත් ණය ප්‍රතිශතය 2023 දී 12.8% ක වාර්තා ගත ඉහළ මට්ටමක පැවතින. මෙම මට්ටම බැංකුවල මූල්‍ය ශක්‍යතාවය කෙරෙහි අහිතකර බව කිව යුතු නැත. එහි ආදීනව ඕනෑ තරම් කථා කළ හැකිය. මෙය, පෙර පැවති 3%-4% මට්ටමට පහළ දැමීම පහසු කාර්යයක් නොවේ.
- බැංකු විසින් හිඟ ණය කරුවන්ට ණය සහන දීමට නම්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් දායකත්වයක් රජයෙන් සැපයිය යුතුය. නව මහ බැංකු පනත අනුව ප්‍රතිමූල්‍ය ණය සැපයීමේ බලතල ද මහ බැංකුවට නොමැත. එසේ නොමැතිව, පවතින ආර්ථික අර්බුදය තුළ තව තවත් ණය අවදානම් ගැනීමට බැංකුවලට හැකියාවක් නොමැත. මහ බැංකු අධික්ෂණ විධානයන් අනුව ඒ සඳහා අවශ්‍ය ද්‍රවශීල අරමුදල් සහ ප්‍රාග්ධන අරමුදල් සපයා ගැනීමට ද බැංකුවලට අපහසු ය.
- රාජ්‍ය අයවැය වපසරිය IMF විසින් සීමා කොට ඇති බැවින් හිඟ ණය ගැටළුව නිරාකරණයට අවශ්‍ය අරමුදල් සැපයීමට ද රජයට කිසිම හැකියාවක් නොමැත.
- එබැවින්, රජය විසින් මහ බැංකුවට හෝ මහ බැංකු චක්‍රලේඛයන්ට වරද පැටවීමෙන් මෙම හිඟ ණය ගැටළුවට කිසිම පිළියමක් නොලැබේ. මහ බැංකුවට නෛතික බලයක් නොමැති කාර්යයන් කරන ලෙස බලපෑම් කිරීම පිළිබඳ ව IMF සහ ජාත්‍යන්තර මූල්‍ය ආයෝජක ප්‍රජාවගේ උදහසට ද රජය ලක් විය හැකිය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තම ධුරය හැර යාමට මුල් වෙඩිල්ල පත් වූයේ ද, කොරෝනා අර්බුදයෙන් ආර්ථිකයට ගොඩ ගැනීමට වෙනත් මහ බැංකු මෙන් මුදල් ප්‍රතිපතිපත්තිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව මහ බැංකුවට ප්‍රසිද්ධියේ දොස් පැවරීම ය. එය, එම අවස්ථාවේ පැවති ආර්ථිකය, මහ බැංකුවේ වගකීම් සහ රාජ්‍ය බලතල අනුව ජාතික වශයෙන් වැදගත් ඉල්ලීමක් විය. එම අවස්ථාවේ පැවති මුදල් නීති පනත, බලතල සහ වගකීම් අනුව මහ බැංකුව විසින් නිසි මුදල් ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක නොකළ බව රහසක් නොවේ. වත්මන් ණය පැහැර හැරීම සහ ආර්ථික අර්බුදයේ මූලයන් විමසීමේ දී ඒ බව පැහැදිළි ය.
- එබැවින්, රජය විසින් කඩිනමින් කළ යුත්තේ, බැංකු හිඟ ණය ගැටළුව කල් දැමීම නොව, එය තිරසාර ලෙස නිරාකරණයට අවශ්‍ය විශේෂ මූල්‍ය නීති පාර්ලිමේන්තුව මගින් සම්මත කොට ක්‍රියාත්මක කිරීම යි. ඊට හේතුව, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කළ බවට දැක්වෙන කථාන්දරයෙන් බැංකු හිඟ ණය ගැටළුව විසඳුමක් නොලැබෙන බැවිනි.
- සමස්තයක් වශයෙන් ගත් විට බැංකු හිඟ ණය අර්බුදයක් නිරාකරණය මූලික මහ බැංකු වගකීමකි. එහෙත්, ඒ සඳහා බලතල නොමැති මහ බැංකුවකින් දේශීය ආර්ථිකයට ඵලයක් තිබේ ද? යන්න තීරණය කිරීම රජයේ වගකීම යි. ඉන්දියාවේ මරුති කාර් සමාගම අද පවතින්නේ, රජය විසින් මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වන ලෙස නියම කොට, නව අධිපති වරයෙකු පත් කිරීම හරහා බැංකු උපරිම ණය සීමා නීතිය සංශෝදනය කිරීම තුළින් එම සමාගමට බැංකු ණය සැපයීම හේතුවෙනි. පසුගිය දා රජය විසින් ඉන්දියානු මහ බැංකු අධිපතිගේ සේවය හදිසියේ දීර්ඝ නොකිරීමට හේතුව ලෙස දැක්වෙන්නේ, මහ බැංකුව විසින් ආහාර උද්ධමනය ඉහළ බව පවසමින් මහ බැංකු පොලී අනුපාතයන් අඛණ්ඩව ඉහළ මට්ටමක තබා ගැනීම තුළින් ආර්ථික වර්ධනය කෙරෙහි වූ අහිතකර බලපෑම බව දැක්වෙයි. ඊට පෙර ජාත්‍යන්තර ප්‍රකට ආර්ථික විද්‍යාඥ (රඝුරාම් රාජන් ඇතුළු) අධිපතිවරුන් දෙදෙනාගේ සේවය ද තෙවසරක් වූ එක් වරකට සීමා කිරීමට ද හේතුව වූයේ, ඔවුන් විසින් බැංකු ණය කෙරෙහි දැඩි සීමාකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් රජය සමඟ හට ගත් ගැටුම යි.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
Comments
Post a Comment