විප්ලවකාරී දේශීය සැපයුම් ආර්ථිකයක්. ඊළඟ මහ මැතිවරණ සටන් පාඨය ද?

 

ලිපියේ අරමුණ 

මෙම ලිපියේ අරමුණ වනුයේ, ඊළඟ මහ මැතිවරණ සඳහා දේශපාලනික සටන් පාඨය ලෙස 2015 වර්ෂයට පෙර මෙන් ආර්ථිකයෙහි සැපයුම් අංශය විප්ලවකාරී ලෙස නැවත නගා සිටුවීමේ තේමාවක සහ නායකයකුගේ කාලීන අවශ්‍යතාවය පෙන්වා දීම යි. එබැවින්, මෙය හුදෙක් සංකල්පීය ලිපියකි.

එම අවශ්‍යතාවය පැන නැගී ඇත්තේ, 2015 සිට අනුගමනය කෙරෙන IMF සහ විදේශ වෙළෙඳපොළ ණය හරහා ආනයන මත පදනම් වූ ආර්ථිකයෙහි ඉල්ලුම් අංශය පාලනය කිරීමේ දේශපාලනික ප්‍රතිපත්තියට ඉදිරියේ දී දැඩි මහජන විරෝධය පළ වන බැවිනි. පසුගිය රජය පරාජය වූයේ ද, එම විරෝධතාවයෙහි ආරම්භය ලෙස ය.

ඊට හේතුව, වත්මන් නව රජය විසින් මැතිවරණ වේදිකාවේ දී දේශීය නිෂ්පාදන සහ සැපයුම් ප්‍රවර්ධන අදහස් සහ පොරොන්දු දුන්න ද, බලයට පත් වූ විගස නව රජය ද IMF ඉල්ලුම් පාලන මතවාදයට හසු වී ඇති බැවිනි.

දේශීය සැපයුම් ආර්ථිකය ප්‍රවර්ධනය - අතීත රාජ්‍ය ප්‍රතිපත්තිය

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට 2015 දක්වා රාජ්‍ය ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිවල ප්‍රමුඛත්වය දෙනු ලැබුවේ, දේශීය සම්පත් උපයෝජනය හරහා නිෂ්පාදනය සහ සේවා නියුක්තිය ඉහළ නැංවීම සහ එමගින් මහජනයා ප්‍රාථමික දුප්පත් ජීවන තත්ත්වයේ සිට ක්‍රමයෙන් ඉහළ ජීවන තත්ත්වයකට එසවීම යි. 

බ්‍රිතාන්‍යන් පැමිණීමේ සිට 2022 දක්වා ශ්‍රී ලංකාවේ පොදුජන ජීවන මට්ටම දියුණු වී ඇති ආකාරය පිළිබඳ තොරතුරු දෙස බලන විට, එය රටේ නිෂ්පාදනය සහ සැපයුම් වර්ධනය සහ ධාරිතාවය තුළින් අත් කර ගෙන ඇති බව රහසක් නොවේ. ඒ සඳහා සංඛ්‍යා දත්ත අවශ්‍ය නොවේ. අන්තර් ජාලයෙහි ඇති පැරණි ඡායා රූප සහ නව ඡායා රූප සැසඳීමෙන් සනාථ වෙයි. 

විදුලිය, ජලනල, මෝටර් රථ, දුම්රිය, ගුවන් යානා, මහා මාර්ග, අධිවේගී මාර්ග, දුරකථන, රුපවාහිනී, විදුලි උපකරණ, පරිගණක, අන්තර්ජාලය, ස්ථීර නිවාස, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රථම වරට විඳීමට බහුතර ජනතාවට හැකියාව ලැබුණේ රජයන්ගේ එම ප්‍රතිපත්ති හේතුවෙනි. දැනට සිදු වන්නේ, එහි ගුණය ඉහළ යාම පමණි. එම කථාන්දරය ලුහුඬින් මෙසේය.

1. බ්‍රිතාන්‍ය පාලනය

තේ, පොල් සහ රබර් අපනයන කෘෂිකර්මය සහ ඊට අවශ්‍ය මාර්ග සහ දුම්රිය ප්‍රවාහනය ඇතුළු පසුතල පහසුකම් සංවර්ධනය. මින් ප්‍රාථමික ජීවන මට්ටමේ සිටි බහුතර මහජනයා අසල්වැසි රටවලට වඩා ඉහළ ජීවන මට්ටමකට පැමිණි බවට විවාදයක් නොමැත. ඒ බව මෙතෙක් එම අපනයන කෘෂිකර්මයෙන් මිදීමට ශ්‍රී ලංකාවට නොහැකි වීමෙන් මනාව පැහැදිළි වෙයි.

2. 1948-1970 දක්වා දේශීය ආර්ථික පුනරුදය

නව ජනාවාස සහ වාර්මාර්ග සංවර්ධනය තුළින් වී වගාව ප්‍රමුඛ දේශීය කෘෂිකර්මය සංවර්ධනය. මෙකල සහල්, අර්තාපල් සහ ලූනුවලින් ස්වයංපෝෂණය වීමේ ඉලක්කයක් අනුගමනය කෙරින. එකල, රජයන් වෙනස් කිරීමේ දේශපාලනික වේදිකාව වූයේ සහල් සැපයුම යි. දැනටත් එය පොදු ය. රජය විසින් රටේ ප්‍රධාන ආහාරය සහ සංස්කෘතිය වන සහල්වලින් ස්වයංපෝෂණය වීම සඳහා ගෙන ඇති ආර්ථික ප්‍රතිපත්ති සහ ආයෝජනය කොට ඇති මුදල් ප්‍රමාණය අතිවිශාල ය.

3. 1970-77 වගා සංග්‍රාම සමය

එකල අනුගමනය කළ ආර්ථික දර්ශනය වූයේ, වාරි මාර්ග ප්‍රතිසංස්කරණය, ඉඩම් ජනසතු කිරීම සහ ආනයන ආදේශන ප්‍රතිපත්ති මත ආවෘත ආර්ථිකයක් තුළ දේශීය කෘෂිකර්මය හරහා දේශීය ආර්ථිකය ගොඩ නැංවීම යි. සමුපකාර ව්‍යාපාරය සහ රාජ්‍ය සංස්ථාවන් හරහා රාජ්‍ය දේශීය සැපයුම් ආර්ථිකයක් මෙහෙයවන ලදි. දැඩි ආනය සහ විදේශ මුදල් පාලනය හේතු කොට රටෙහි ඉල්ලුම හුදෙක් දේශීය නිෂ්පාදනය සහ සැපයුම මත රඳා පැවතින.

4. 1977-1994 විවෘත ආර්ථිකය තුළින් සැපයුම අංශයේ නව පිම්මක් ගැනීම 

දේශීය සැපයුම් අංශය සහ ජන ජීවිතයේ ඉහළම පිම්ම මෙකල සිදු විය. කඩිනම් මහවැලි ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග සහ විදුලිබල උත්පාදනය, අපනයන ප්‍රවර්ධන කලාපයන්, රාජ්‍ය සංස්ථාවන් පෞද්ගලිකකරණය, වරාය සහ ගුවන් සේවා දියුණුව, ආනයන තරගකාරිත්වය සහ විනිමය පාලනයන් ළිහිල් වීම හරහා ආර්ථිකය නවීකරණය විය. 

රාජ්‍ය ප්‍රතිපත්ති තුළින් ක්‍රියාත්මක කළ විදුලිය, ජලය, මහා මාර්ග සහ නිවාස ඉඳිකිරීම් මගින් සැපයුම් අංශයට සහ පොදුජන සංවර්ධනය ලැබූ දායකත්වය ඓතිහාසික වෙයි. වී, සහල්, අල, ලූනු සහ එළවලු නිෂ්පාදනයේ සංවර්ධනය මෙන්ම අපනයන විවිධාංගකරණය, එකල සැපයුම් අංශය සංවර්ධන ප්‍රතිපත්තියේ සෘජු ප්‍රතිඵලයකි. සමස්තයක් වශයෙන් මෙම කාලය තුළ මහජනයා වඩ වඩාත් දේශීය සහ ගෝලීය ආර්ථිකයට විවෘතවීම හරහා ලැබූ මානව සංවර්ධනය ප්‍රශංසනීය වෙයි. 

එකල, හට ගත් දේශපාලනික බෙදුම් වාදී යුද්ධය නොවන්න, මේ වන විට ශ්‍රී ලංකාව නිෂ්පාදනය සහ ජීවන තත්ත්වය අතින් නැගෙනහිර ආසියානු රටවල් ඉක්මවා යාමට හැකියාව පැවතින. ඊට හේතුව, එම රටවල්, රුසියාව සහ චීනය විවෘත ආර්ථික නිෂ්පාදන සහ වෙළෙඳ තරගයට පිවිසියේ ශ්‍රී ලංකාවට පසුව බැවිනි.

5. 2006-2014 මහා පරිමාණ පසුතල සංවර්ධන යුගය

1994-2005 කාලය තුළ රජයන් විසින් සැපයුම් අංශය ප්‍රවර්ධනය සඳහා විශේෂ ප්‍රතිපත්ති ගත් බවට වාර්තා නොවන බැවින් එම කාලය මෙහි ආවරණය නොවේ. එම කාලය විශේෂයෙන් බෙදුම් වාදී යුද්ධයට හිර වී පැවති බැවින් නිෂ්පාදනය සහ සැපයුම් අංශය දැඩි සංකෝචනයකට ලක් වී පැවතින.

එහෙත්, 2006-2014 කාලය තුළ අධිවේගී මාර්ග, නව වරායන් සහ ගුවන් පහසුකම්, මාර්ග සංවර්ධනය, කෘෂිකාර්මික සහනාධාර, විදුලිය සහ සංනිවේදන සංවර්ධනය මගින් සැපයුම් අංශය හරහා ආර්ථිකය සහ ජීවන තත්ත්වයේ ඉහළ යාම කැපී පෙනින. දශක තුනක බෙදුම් වාදී යුද්ධය ජයග්‍රහණය කොට, එමගින් ආර්ථිකය සහ ජන ජීවිතය නැවත පන ගැන්වීම මෙකල සිදු වූ ඓතිහාසික දේශපාලනික වාර්තාවකි.

6. 2015-2019 මිත්‍යා යහපාලන සහ ඉල්ලුම් පාලන යුගය

දශක තුනක බෙදුම් වාදී යුද්ධය ජයග්‍රහණය සහ මහා පරිමාණ පසුතල පහසුකම් මත සැපයුම අංශය සහ ජන සංවර්ධනය යටපත් කොට, දේශපාලනික බලය ලබා ගැනීමේ තේමා ගීතය වූයේ, දුෂණය තුරන් කොට යහපාලනය ඇති කිරීම යි. එහෙත්, රජයේ අභ්‍යන්තරික යහපාලන ගැටුම් තුළ දේශීය සැපයුම් අංශය කෙරෙහි රාජ්‍ය ප්‍රතිපත්ති යොමු නොවීය. 

ඒ වෙනුවට, IMF ඉල්ලුම් පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රජය යොමු විය. විෂය නොදන්නා අය විසින් නව ලිබරල් වාදය ලෙස ලේබල් ගැසුවේ මෙම IMF ඉල්ලුම් කළමනාකරණ මොඩලය යි. එබැවින්, ආර්ථිකය හුදෙක් ආනයන මත පදනම් වූ පරිභෝජන ආර්ථිකයක් බවට පත් විය. එය මූල්‍යකරණය කරන ලද්දේ, විදේශ වෙළෙඳපොළ ණය හරහා ගොඩ නැගූ මහ බැංකු විදේශ සංචිතය මගිනි. 

දැනට ආපසු ගෙවීම පැහැර හැරීමට මුල් වූ සියළුම ස්වෛරිත්ව බැඳුම්කර සහ සංවර්ධන බැඳුම්කර ණය ලබා ගෙන ඇත්තේ මෙම කාලය තුළ ය. එම කාලය තුළ ගන්නා ලද ණය ප්‍රමාණය ඩොලර් මිලියන 19,974 ක් (ස්වෛරිත්ව බැඳුම්කර ඩොලර් මිලියන 12,050 සහ සංවර්ධන බැඳුම්කර ඩොලර් මිලියන 7,924) පමණ විය. එම ණය ගැනීමේ දී ක්‍රියා කළ පුරෝගාමිකයන්, ණය ගෙවීම පැහැර හැර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව රජයේ ද ආර්ථික විද්‍යාඥයන් ලෙස අඛණ්ඩව සිටීම බිය ජනක ය.

අවසානයේ දී යහපාලන අභ්‍යන්තර ගැටුම් තුළ, ජනාධිපති විසින් 2018 දී රජය පෙරළා දැමීම සහ 2019 දී පාස්කු ප්‍රහාරය හේතුවෙන් සැපයුම් අංශය මෙන්ම ඉල්ලුම් අංශය ද අර්බුදයට පත් විය. වත්මන් ආර්ථික අර්බුදයෙහි මූල බීජය එම මිත්‍යා යහපාලන ආර්ථිකය යි.

රුපියල් බිලියන 10 ක බැඳුම්කරයක දුෂණ චෝදනාවක් අල්ල ගෙන වසර 5 ම දැගලූ අතර අවසානයේ දී 1950 සිට දේශපාලන කරළියේ ඉහළම සිටි පක්ෂ දෙකට යහපාලනය අතහැර රාජ්‍ය බලය නව පක්ෂයකට භාර දී ගෙදර යාමට සිදු විය.

7. 2020-2024 බංකොලොත් IMF ඉල්ලුම් පාලන ආර්ථිකය 

2020 දී පත් වූ රජය විසින් නැවත දේශීය සැපයුම් ප්‍රවර්ධනය මත පදනම් වූ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සාහ කළ ද, ගෝලීය කොවිඩ් වසංගතය, රාජ්‍ය විරෝධී දේශපාලනික කැරැල්ල සහ IMF මහ බැංකු ජාල විරෝධය හේතු කොට, ජනාධිපති වරයා සහ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම තුළින් රජය කඩා වැටින. 

එහි මූලික මූලය වූයේ, 2015-2019 යහපාලනය සහ ඉල්ලුම් පාලනය මෙහෙයවූ ස්වෛරිත්ව බැඳුම්කර ණය සේවාකරණයට අවශ්‍ය විදේශ සංචිත සැපයීමට මහ බැංකුව අසමත් වීම යි. එබැවින්, මහ බැංකුව විසින් විදේශ ණය පැහැර හරින ලදි.

2022 මැද දී පත් වූ අන්තර් වාර රජය විසින් කිසිම පැකිලීමක් නොමැතිව සුපුරුදු IMF ඉල්ලුම් පාලන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය අනුගමනය කරන ලදි. ඒ සඳහා IMF උපදෙස් මත බදු ඉහළ දැමීම ඇතුළු අයවැය හිඟය සහ ණය සීමා කිරීම සහ මුදල් මුද්‍රණය සීමා කිරීම කරන ලදි. ඒ බව රාජ්‍ය ණය පොලී අනුපාතයන් 32% ට ඉහළ දැමීමෙන් පැහැදිළි ය. 

එසේම, දේශපාලනික සහ ණය අර්බුදයෙන් කඩා වැටී ඇති, දේශීය නිෂ්පාදනය සහ සැපයුම් අංශය ගොඩ නැගීම සඳහා කිසිම විශේෂ ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන ලදි. එබැවින්, ආර්ථිකයෙහි ඉල්ලුම් අංශය මෙන්ම සැපයුම් අංශය ද කඩා වැටී, පොදුජන ජීවන තත්ත්වය බිමට සමතලා විය. එම තත්ත්වය තුළ තරුණයන් සහ විද්වතුන් රට හැර යාම ආරම්භ වූ අතර එය අනාගත දේශීය සැපයුම් අංශයට දැඩි පහරක් වනු ඇත.

8. 2024 අවසානයේ සිට අඛණ්ඩ බංකොලොත් IMF ඉල්ලුම් පාලන ආර්ථිකය 

IMF ඉල්ලුම් පාලන කොන්දේසි පීඩනය සහ වසර 75 ක පාලන දුෂණය මැඩලීම සටන් පාඨය කර ගෙන, නව රජය විසින් ඓතිහාසික මැතිවරණ ජයක් වාර්තා කරන ලදි. මෙහි දී, ඉහත දැක්වූ ලෙස වර්ෂ 75 ක් තුළ දේශීය නිෂ්පාදනය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවූ නායකයන්ට, හුදෙක් 2022 ආර්ථික සහ ණය අර්බුදයට වගකිව යුතු බවට චෝදනාවන් මත, සැබෑ කරුනු නොවිමසා දඩුවම් දීමේ මහජන මතයක් ද නිර්මාණය කොට ඇත. එය හුදෙක් නිකන් සිට තමන්ට මනාප ලෙස සතුටින් ජීවත් වීමට ධනය රැස් නොකිරීම පිළිබඳ ව උරණ වූ දරුවන් විසින් වියපත් දෙමවුපියන් පාරට ඇද දැමීමට සමාන ක්‍රියාවකි.

ජනාධිපති වරයා විසින් විසින් නොවැම්බර් 24 දින තම ප්‍රථම පාර්ලිමේන්තු ප්‍රතිපත්ති කථාවේ දී, සැපයුම් අංශය ප්‍රවර්ධනය පිළිබඳ ව සංකල්පීය පදනමක් ඉදිරිපත් කළ ද, ඒවා ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවන බවට සඥාවක් ද සපයන ලදි. එය ජනාධිපති වරයාගේ කථාවෙහි ඇතුළත් පහත දැක්වෙන කොටසින් පැහැදිළි වෙයි.

මෙහි දැක්වෙන "සියුම් හූය" කුමක් ද? යන්න අර්ථ කථනය නොකළ ද, එය හුදෙක් ණය ප්‍රතිව්‍යුහගත කරණය සමඟ බැඳී ඇති IMF ඉල්ලුම් පාලනය සහ විදේශ ණය මත ආනයන ආර්ථිකය බව පැහැදිළි ය. එබැවින්, IMF ඉල්ලුම් පාලන මොඩලය පසෙක ලා, අතීතයේ මෙන් වත්මන් ආර්ථික අර්බුදයට පිළියම ලෙස දේශීය සැපයුම් අංශය විප්ලවකාරී ලෙස ඉදිරියට එසවීම සඳහා කළ යුතු විශාල හැරවුම්, අත් වැරදීම් සහ ඒ ආශ්‍රිත විශාල හෝ කුඩා කම්පනයන් වත්මන් ආර්ථිකයට ඔරොත්තු නොදෙන බව ගම්‍ය වී ඇත. එය හුදෙක් සංකල්පයක් පමණි. 

එහෙත්, බොහෝ රටවල නායකයන් විසින් අතීතයේ දී හැරවුම් සිදු කොට ඇත්තේ, අර්බුද අවස්ථාවල ය. ඊට හේතුව, එම අවස්ථාවල මහජනයා ද ඒ සඳහා සුදානම් බැවිනි. ශ්‍රී ලංකාවේ මහජනයා ඊට සුදනම් වූයේ 2022 දී ය. එහෙත්, එවක නායකයන් විසින් IMF ණය හරහා ආර්ථිකය පැරණි ක්‍රමයට වාත්තු කළ බැවින් එම මහජන සූදානම දැනට දිය වී ඇත.

එබැවින්, නව රජය ද පත් වූ විගස IMF ඉල්ලුම් පාලන ප්‍රතිපත්තිය එලෙසම අඛණ්ඩව කර ගෙන යන බවට ප්‍රතිඥා දී ඇත. එබැවින්, නව රජයට ඉතිරි වී ඇති සටන පාඨය වන්නේ, දුෂණය මර්ධනය ඔස්සේ ක්‍රියාත්මක වීම බව පෙනේ. 

එබැවින්, නව රජයෙන් ද දේශීය නිෂ්පාදන සහ සැපයුම් අංශය නැවත ගොඩ නැගීම හරහා වත්මන් ආර්ථික සහ ජීවන බංකොලොත් භාවයෙන් ගොඩ ඒමේ විශේෂ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති බලපොරොත්තු විය නොහැකිය. ඊට හේතුව, IMF ඉල්ලුම් පාලන ප්‍රතිපත්තියේ අරමුණ නැවත රජයට නව විදේශ වෙළෙඳපොළ ණය ප්‍රවාහයක් හරහා මහ බැංකු විදේශ සංචිතය ගොඩ නැගීම තුළින් ආනයන මත පදනම් වූ පරිභෝජන ආර්ථිකය පන ගන්වා, මහජනතාව තව ටික කලකට සතුටු කිරීම යි. එය දැනටමත් ආර්ථිකය ස්ථායිකරණය ලෙස අර්ථ දක්වා ඇත.

එහෙත්, 2028 දී විදේශ ණය නැවත ගෙවීම සඳහා මහ බැංකුව විසින් රජයට අවශ්‍ය ඩොලර් අඛණ්ඩව සැපයීමේ තහවුරුවක් නොකරන බැවින් වත්මන් IMF ඉල්ලුම් පාලන මොඩලය තුළ 2028 දී නැවත ණය පැහැර හැරීමට රජයට සිදු වනු ඇත. බොහෝ රටවල අත්දැකීම එය යි.

ඊළඟ මැතිවරණ සටන් පාඨයේ පදනම 

  • නව රජය ද අනුගමනය කරන IMF ඉල්ලුම් පාලන ප්‍රතිපත්ති තුළින් ගොඩ එන ලද කිසිම රටක් නොමැත. එමගින්, රටෙහි සැපයුම් අංශය නොසැලකෙන බැවින් නව රජයට ආර්ථිකය සහ ජීවන තත්ත්වය ගොඩ නැගිය නොහැක. IMF විසින් රාජ්‍ය අයවැය සහ මුදල් මුද්‍රණය එකිනෙකට වෙන් කොට, සීමාවන් පනවා ඇති බැවින්, දේශීය නිෂ්පාදනය සහ සැපයුම ගොඩ නැංවීමට කිසිම ප්‍රතිපත්ති මෙවලමක් නව රජයට නොමැත. අතීතයේ දී රජයන් විසින් සැපයුම් අංශය ගොඩ නැගුවේ, රාජ්‍ය අයවැය සහ මුදල් මුද්‍රණය සම්බන්ධීකරණය හරහා වියදම් කිරීම තුළිනි. එහෙත්, නව නීති මගින් එය දැනට වලකා ඇත. එනම්, රාජ්‍ය බලය සහ ස්වෛරිත්ව මුදල් බලය යනු විචල්‍යයන් දෙකක් ලෙස IMF විසින් ස්ථාපිත කොට ඇත. ඒ අනුව, ආර්ථිකය මෙහෙයවීම සඳහා වෙළෙඳපොළ ඩොලර් ප්‍රවාහයක් අවශ්‍ය වෙයි. එනම්, ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලරයට බද්ද කිරීම යි.

  • මෙහි දී, සම්මත සාර්ව ආර්ථික මූල ධර්මය ලෙස සැපයුම තුළින් ආදායම, සේවා නියුක්තිය, ඉල්ලුම සහ ජීවන තත්ත්වය තීරණය වන බව පිළි ගත යුතුය. එබැවින්, බාහිරව තීරණය වන ඉල්ලුම තුළින් සැපයුම ඇතුළු සමස්ත ජීවන තත්ත්වය රඳා පවතින බව මිත්‍යා මතයකි. ඉල්ලුම් පාලනය භාවිතා කෙරෙනුයේ, විශේෂයෙන් දියුණු රටවල කෙටි කාලීන ආර්ථික අස්ථායිතාවයන් හෝ වත්කම් බුබුළු පාලනය කිරීම සඳහා ය. එහෙත්, ශ්‍රී ලංකාව වර්තමානයේ දී මුහුණ දෙන්නේ, එවැනි කෙටි කාලීන ආර්ථික අස්ථායිතාවයක් නොව, දිගු කාලීන ව්‍යුහාත්මක සැපයුම්  අර්බුදයකි. ඒ සඳහා දිගු කාලීන සැපයුම් අංශ වර්ධනය ඉලක්ක කළ, අයවැය සහ මුදල් මුද්‍රණය ප්‍රතිපත්ති අවශ්‍ය ය. IMF මතවාදීන් එයට එරෙහි ය.

  • එබැවින්, IMF විසින් පාලනය කෙරෙන ඉල්ලුම හරහා නිෂ්පාදනය සහ සැපයුම දිරි ගැන් වී ජීවන තත්ත්වය ඉහළ යාමක් අපේක්ෂා කළ නොහැක. ඒ හැර වෙනත් විකල්පයක් රජයට සම්බන්ධ කිසිම ආර්ථික විද්‍යාඥයෙකුගෙන් මෙතෙක් ඉදිරිපත් වී නොමැත. පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් ද තම ජග්‍රහණය උදම් ඇනීම සහ පසුගිය රජයට අවලාද කිරීම හැර, නව සැපයුම් කළමනාකරණ ප්‍රතිපත්ති අදහස් ඉදිරිපත් කිරීමක් ද දැකිය නොහැක. එබැවින්, රජයට එරෙහි දේශපාලන නායකයන් විසින් දැනටමත් නව රජයේ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියට විරුද්ධව සටන් පාඨයන් ගෙතීම ආරම්භ කොට ඇත.

  • රාජ පුරුෂයන් විසින් අල්ලා ගෙන විත් චෝදනා කළ පමණින්, ඔවුන් උල තැබීමේ රාජ නීති වත්මන් ශ්‍රී ලංකාවේ නොමැති බැවින්, පැරණි රජයන්ට සම්බන්ධ දුෂණ චෝදනාවන් බොහෝ දුරට පුරාවිද්‍යාවට සමාන විෂයක් වනු ඇත. එබැවින්, ඉදිරි වර්ෂ 5 තුළ දුෂිතයන්ට දඩුවම් දීමෙන් කාර්යසාදනය පෙන්වා, රජයට මහජන ප්‍රසාදය ලබා ගැනීම මිරිගුවක් වනු ඇත.

  • පසුගිය කාලයේ සෑම රජයක්ම කෙටි සටන් පාඨයක් සමාජ මාධ්‍ය හරහා මහජනයාට අළෙවි කිරීම තුළින් ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයන් ලබා ගැනීමත්, ඊට සමානව ගෙදර යාමත්, බහුල දසුනක් විය. නව රජය දැනට ඉදිරිපත් කරන ආර්ථික සටන් පාඨය ද පසුගිය මැතිවරණ දෙකින් අන්ත ලෙස පරාජය වූ රජයේ IMF සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ සටන් පාඨය යි. එය අසාර්ථක වන බව දැක්වීමට ආර්ථික පර්යේෂණයන් අවශ්‍ය නොවේ.

  • මෙම තත්ත්වය තුළ පාලිත විවෘත ආර්ථිකයක් හරහා තරගකාරීව දේශීය නිෂ්පාදනය සහ සැපයුම ගොඩ නැගීම තුළින් විදේශ මුදල් අතිරික්තයක් ජනිත කිරීම සහ ජීවන තත්ත්වය නගා සිටුවීමේ ආර්ථික සටන් පාඨයන් ඉදිරියට එනු ඇත. එය නව ආර්ථික විප්ලවයක් වනු ඇත. එවැනි සාර්ව ආර්ථික දැක්මක් මත ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් ඉදිරිපත් කල හැකි නායකයෙකු බිහි වෙයි නම්, එය ජාතියේ වාසනාවක් වනු ඇත.

  • එසේ නොවේ නම්, IMF ප්‍රමුඛ විදේශ ආයෝජකයන්ගේ සහ නියෝජිතයන්ගේ අනුකම්පාව මත ජීවත් වන මහජනතාවක් සහිත දුප්පත් රටක් ලෙස, ශ්‍රී ලංකාව ඉදිරි වසර 75 තුළ නව නායකයන් විසින් පාලනය කරනු ඇත. ඉදිරි පරම්පරාව ඔවුන්ට කෙසේ සලකා වි ද? යන්න පුරෝකථනය කිරීම අපහසුය. ඊට හේතුව, බහුතර තරුණ පරපුර අනාගතය සොයා විදේශ ගත වීමේ ප්‍රවණතාවය ඉදිරියට යයි නම්, දේශීය නායකයන්ට එරෙහිව සමාජ විරෝධයක් නැගීමට පිරිසක් නොසිටින බැවිනි. 

  • වත්මන් නායකයන් විසින් දේශීය සැපයුම් අංශය නොව විදේශ ප්‍රේෂණ සෙවීමේ පෙළඹුම මෙය යි. මෙතරම් ස්වාභාවික සම්පත් ඇති දුපත් ආර්ථිකයක අවාසනාත්මක ආර්ථික පුරාවෘත්තය වනුයේ, එසේ විදේශ ප්‍රේෂණවලින් ජීවත් වීම යි. එබැවින්, ශ්‍රී ලංකාව බිහි කොට ඇති, රජය සමඟ සිටින IMF ඉල්ලුම් පාලනය පසුපස යන ජාත්‍යන්තර ආර්ථික විද්‍යඥයන්ගේ වැදගත්කම කුමක් ද? යන්න ප්‍රශ්න කිරීමට කාලය පැමිණ ඇත.

  • මෙහි ඇති සාමාන්‍යය වන්නේ, පසුගිය දශක කිහිපය තුළ හුදෙක් කෙටි සටන් පාඨයක් හරහා සිටින නායකයන් පලවා හැර නව නායකයන් පත් කර ගැනීමට බහුතර මහජනයා පුරුදු වී ඇති බැවිනි. එහි සිදු වී ඇති බිය දනවන නවීකරණය වන්නේ, ව්‍යවස්ථාපිත රාජ්‍ය කාලය නිම වීමට පෙර, උද්ගෝෂණ හරහා රජයන් පෙරළා දැමීමේ නව පුරුද්දක් ලැබීම යි. එබැවින්, ශ්‍රී ලංකා මැතිවරණ ජය පැන් බීම ඉතා අවදානම් ක්‍රියාවකි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)



Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?