වී/සහල් සහ විදේශ සංචිත කළමනාකරණය. පාලම හරි ද?
මෙම ලිපියේ අරමුණ වනුයේ, රජය විසින් මේ දක්වා වර්ෂ 76 ක කාලයක් තිස්සේ සමාජවාදී සහ ධනවාදී යන සියළු ආකාරයේ සංකල්පයන් දරන ජාතික නායකයන් සහ ආර්ථික විද්‍යාඥයන් විසින් කළමනාකරණය කළ,
- වී/සහල් සංචිතය සහ විදේශ මුදල් සංචිතය යන සාර්ව ආර්ථික මෙවලම් දෙකින්ම මේ දක්වා රජයන් අසමත් වී ඇති බවත්,
- පුරුදු අසමත් ක්‍රමවේදය ඉදිරියටත් අනුගමනය කළ හොත්, රජය ඉදිරියටත් අසමත් වන බවටත් සංකල්පීය නිගමනයක් ඉදිරිපත් කිරීම යි.
සංචිතවල අරමුණ
සංචිත යනු යම් භාණ්ඩයකින් හෝ සේවයකින් තොගයක් පවත්වා ගැනීම යි. රජයක් විසින් සංචිත පවත්වා ගැනීමේ අරමුණ, බොහෝ විට ඉල්ලුම් කරුවන්ට හිතකර වන ලෙස භාණ්ඩ හෝ සේවා මිල ගණන් පවත්වා ගැනීම සඳහා වෙළෙඳපොළ කෙරෙහි මැදිහත්වීමේ ප්‍රතිපත්ති මෙවලමක් ලෙස ය.
වී/සහල් සහ විදේශ සංචිතයන් සාර්ව ආර්ථික මෙවලම් ලෙස දැක්වූයේ, වී/සහල් සහ විදේශ මුදල් වෙළෙඳපොළ සහ මිල ගණන්වල ඇති ව්‍යුහාත්මක ආර්ථික වැදගත්කම හේතුවෙනි. දෙකම එක සේ වැදගත් ය. එය අවබෝධයට ආර්ථික විද්‍යා න්‍යායන් සහ ඉලක්කම් අවශ්‍ය නොවේ. එය මෑත කාලයේ දී රටේ වී/සහල් සහ ඩොලර් මිල ගණන් සහ ඉන් මහජනයා මුහුණ දෙන අමාරුකම්වලින් මනාව පැහැදිළි වෙයි.
සංචිතවල කාර්යය ලෙස ආර්ථික විද්‍යාඥයන් විසින් දක්වන්නේ, වෙළෙඳපොළ ස්ථායිකරණය කිරීමේ මෙවලමක් ලෙස ය. එම කථාන්දරය ඉතා සරල කොටස් දෙකකි.
- පළමුව, වෙළෙඳපොළ සැපයුම ඉහළ ගොස් මිල ගණන් පහළ යන විට, අතිරික්ත සැපයුම සංචිතයට මිල දී ගැනීම මගින් මිල ගණන් පහළ යාම වැලැක්වීම.
- දෙවනුව, වෙළෙඳපොළ සැපයුම පහළ ගොස් මිල ගණන් ඉහළ යන විට, සංචිතය අවශ්‍ය පරිදි වෙළෙඳපොළට අළෙවි කිරීම තුළින් සැපයුම් හිඟය සමනය කොට මිල ගණන් ඉහළ යාම වැලැක්වීම.
එබැවින්, වෙළෙඳපොළ ස්ථායිකරණය කෙසේ වෙතත්, වී/සහල් සහ විදේශ මුදල් වෙළෙඳපොළ විසින් රජයන් අර්බුදයන්ට හසු කොට, ගෙදර යවන බව රහසක් නොවේ. එහෙත්, රජයන් විසින් තම කෙටි කාලීන පැවැත්ම සඳහා 1948 සිට අඛණ්ඩව එකම ආකාරයේ වී/සහල් සහ විදේශ මුදල් වෙළෙඳපොළ ප්‍රතිපත්ති මෙවලම් අඩු වැඩි වශයෙන් අනුගමනය කොට ඇත. සංචිතයන් එහි ප්‍රධාන වෙයි.
වී/සහල් වෙළෙඳපොළ සහ සංචිත ප්‍රතිපත්ති
රජ කාලයේ සිට සෑම රජයකම ප්‍රතිපත්ති සහ ආයෝජනයන් මූලික වශයෙන් වී/සහල් නිෂ්පාදනය සහ වෙළෙඳපොළ ප්‍රවර්ධනය කෙරෙහි යොමු වී ඇත. ඒවා, වාරි මාර්ග, ඉඩම් ප්‍රතිසංස්කරණ, නිෂ්පාදන සහ පාරිභෝගික සහනාධාර, පර්යේෂණ සහ ප්‍රවර්ධන සේවය, රාජ්‍ය බැංකු ණය සහ වී අළෙවි මණ්ඩලය වැනි පුළුල් පරාසයක මෙහෙයවා ඇත.
ඒ සඳහා රජය විසින් ආයෝජනය කොට ඇති මුදල අති විශාල වෙයි. එහෙත්, එය හුදෙක් රජයට ආදායම් හෝ මූල්‍ය ප්‍රතිලාභයක් ලබා ගැනීම නොව, රට වී/සහලින් ස්වයංපෝෂිත කොට, පොදුජනයාට සධාරණ මිලකට බත සැපයීම අරමුණු කොට කරන ලදි. එහි ප්‍රගතිය 1950 ගණන්වල සහ වර්තමානයේ වී/සහල් වෙළෙඳපොළවල ස්වරූපය, පරිමාව සහ ගුණාත්මකභාවය සසඳන විට පැහැදිළි ය. ඒ සඳහ අටුවා ටීකා සහ ඉලක්කම් අවශ්‍ය නොවේ.
මෙහි දී, වී අළෙවි මණ්ඩලය හරහා වී/සහල් වෙළෙඳපොළට මැදිහත් වීමේ රජයේ උපක්‍රමය අසාර්ථක වී ඇති බව මණ්ඩලය බංකොලොත් වීමෙන් පැහැදිළි ය. ඊට හේතුව, තරගකාරී ව්‍යාපාරික හෝ වෙළෙඳපොළ පදනමක් මත රජයට එය සිදු කළ නොහැකි වීම යි. සහල් හිඟ අවස්ථාවල සහල් ආනයනය සහ සතොස ද හුදෙක් දේශපාලනික රඟ පෑමකි. රජයන් විසින් මෙතරම් ආයෝජනය කොට ස්වයංපෝෂණය කරන ලද සහල් නිෂ්පාදනය නොතකා, හුදු සහල් නිෂ්පාදකයන්ට දඬුවම් දී පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා සහල් ආනයනය කිරීමේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය තේරුම් ගැනීම අපහසු ය.
එබැවින්, වී/සහල් සංචිත මෙවලම වර්තමානයේ රජයට අහිමි වී ඇත. ඒ අනුව, මෑත කාලයේ දී රජයේ නව වෙළෙඳපොළ මැදිහත් වීමේ මෙවලම වී ඇත්තේ, ව්‍යාපාරිකයන්ගේ වී/සහල් සංචිතයන් නීති මගින් රජයේ අරමුණු සඳහා භාවිතා කිරීමට උත්සාහ කිරීම යි. එනම්, නීතිය සහ අධිකරණය විසින් වී/සහල් වෙළෙඳපොළ පාලනය කිරීම යි. එය අසාර්ථක වන බව මේ දිනවල මාධ්‍ය ප්‍රවෘත්ති කියවන විට පැහැදිළි ය.
උදාහරණ ලෙස වී සඳහා අවම මිලක් නියම කොට, සහල් සඳහා උපරිම තොග සහ සිල්ලර මිල දෙකක් පනවා, එය පවත්වා ගැනීම සඳහා වී/සහල් සංචිත කළමනාකරණය කරන ලෙස වී මෝල් හිමියන්ට සහ අළෙවි සැල්වලට නියම කිරීමෙන් ඒ සඳහා ආර්ථික විද්‍යා හෝ ව්‍යාපාරික දැනුමක් රජයට නොමැති බව පැහැදිළි ය. උදාහරණ ලෙස, නඩු සඳහා රුපියල් 110 ක් සහතික මිලක් ද, තොග මිල රුපියල් 225 ක් ද, සිල්ලර මිල රුපියල් 230 ක් ද, ලෙස නියම කිරීමේ නූතන ආර්ථික හෝ ව්‍යාපාර විද්‍යාව පැහැදිළි නැත. එය ගැසට් සහ නඩු පැවරීම හරහා කළ නොහැකි බව පසුගිය රජයේ ගැසට් සහ වැටලීම් අසාර්ථක වීමෙන් පැහැදිළි වෙයි.
පසුගිය දා ඇමෙරිකාවේ දැනට ධනවත්ම ව්‍යවසායකයා වන ටෙස්ලා කාර් සමාගමේ ප්‍රධාන විධායක එලෝන් මස්ක් වෙත අනුමත කරන ලද වාර්ෂික ඩොලර් බිලියන 56 ක ප්‍රතිලාභ පැකේජයට එරෙහිව කොටස් හිමියන් කිහිප දෙනෙකු විසින් අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ගෙන ඇත. ඊට ප්‍රතිචාර ලෙස ඔහු දක්වා ඇත්තේ, ව්‍යාපාර කළමනාකරණය කරන්නේ අධිකරණය නොව, කොටස් හිමියන් විසින් බව යි. නව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මධ්‍යම රජයේ වියදම් කාර්යක්ෂමතාවය ඉහළ දැමීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් කොට ඇත්තේ එලෝන් මස්ක් ය.
විදේශ මුදල් වෙළෙඳපොළ සහ සංචිත ප්‍රතිපත්ති
1948 සිට විවිධාකාර විනිමය පාලනයන් හරහා රජය සහ මහ බැංකුව විසින් විනිමය අනුපාතය සහ විදේශ සංචිතය කළමනාකරණය කරන ලදි. එය අග්‍ර ගණයේ ආර්ථික විද්‍යාඥයන්ගේ උපදෙස් සහ පාලනය මත සිදු කරන ලදි. ඒ පිළිබඳ විස්තර සහ ඉලක්කම්වලින් මහ බැංකු වාර්තාවන් පිරී ඇත.
එහෙත්, වී/සහල් මෙන් මෙය ද රජය විසින් සාර්ව ආර්ථික හෝ ව්‍යාපාරික පදනමකින් තොරව සිදු කරන ලදි. වී/සහල් මිල ගණන් වෙළෙඳපොළ දෙස බලා යම් දුරකට හෝ තීරණය කළ හැකි වුව ද, වෙළෙඳපොළ විනිමය අනුපාතය කුමක් ද? යන්න තීරණය කිරීමට දිව්‍ය දැනුමක් ලෝකයේ කිසිම ආර්ථික විද්‍යාඥයෙකුට නොමැත. වී/සහල් සංචිතය මෙන් විදේශ සංචිතය ද අනුන්ගේ ය. එනම්, විදේශ ණය හිමියන්ගේ මුදල් ය.
එබැවින්, එම ආර්ථික විද්‍යාඥයන් විසින් කරනු ලැබුවේ, රජයට විදේශ ණය ගෙන, එම ඩොලර් මහ බැංකු විදේශ සන්චිතයට එකතු කොට, එමගින් විදේශ මුදල් වෙළෙඳපොළ දෛනික පදනමක් මත පාලනය කිරීම යි. විදේශ ණය ගැනීම, විදේශ ණය ගෙවීම, අධික විදේශ වෙළෙඳ හිඟයක් පැවතිය ද විනිමය අනුපාතය ඉහළ යාමට ඉඩ නොදීම, එමගින් ආනයන පිරිවැය පාලනය කොට උද්ධමනය පහළ මට්ටමක තබා ගනිමින් ආර්ථික වර්ධනය ඉහළ දැමීම යන සියළු සාර්ව ආර්ථික ඉලක්කයන් එක් හීයකින් පාලනය කරන ලදි. එහෙත්, අවසානයේ, 2022 දී විදේශ සංචිතය කඩා වැටී, ණය පැහැර හැර, පොදුජනතාව සහ ආර්ථිකය බංකොලොත් වන ලදි.
එම ආර්ථික විද්‍යාඥයන්ම පසුගිය වසර තුන පුරා ණය ප්‍රතිව්‍යුහගත කොට, රජයට නව විදේශ ණය ටිකක් ගෙන, එමගින් විදේශ සංචිතය යාවත්කාලීන කිරීම සහ විනිමය අනුපාතය පහළ දැමීමේ සුපුරුදු සාර්ව ආර්ථික කළමනාකරණයේ යෙදී සිටින බව නොරහසකි. එසේ දැනට විදේශ සංචිතය ඩොලර් බිලියන 6 ක් දක්වා ඉහළ ගොස්, විනිමය අනුපාතය හැරෙන තැපෑලෙන් පහළ යාම හුවා දක්වමින්, ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බවට ඉලක්කම් කථාන්දරයක් ගොතා ඇත.
ඉදිරියේ දී වාහන ආනයනය කිරීමත්, 2028 සිට ප්‍රතිව්‍යුහගත විදේශ ණය නැවත අඛණ්ඩව සේවාකරණය කිරීමට හැකි බවටත්, ඔවුන් විසින් ඉලක්කම් නොමැතිව මාධ්‍ය කථාන්දරයන් ඉදිරිපත් කිරීම මේ දිනවල සුලභ දසුනකි. එබැවින්, තවමත් බංකොලොත් භාවයේ පසුවන මෙම විදේශ සංචිතයේ ණය ඩොලර් බිලියන 6 න් ඒ සියල්ල කළ නොහැකි බව ඔවුන්ට නොතේරුනාට, ඕනෑම කෙනෙකුට එය වැටහෙනු ඇත.
ඒ අනුව, ඔවුන්ගේ හුදු සැලසුම වන්නේ, IMF-ලෝක බැංකුව සහ එහි මූල්‍ය ණය ආයෝජක ජාලය හරහා ඉදිරියේ දී රජයට තවත් විදේශ ණය ප්‍රවාහයක් ජනිත කොට, විදේශ සංචිතය නැවත සුපුරුදු ආර්ථික විද්‍යාවෙන් කළමනාකරණය කිරීම යි. එනම්, තවත් ඩොලර් ණය උගුලකට රජය හිර කිරීම යි. එය ආර්ථික ස්ථායිකරණය නොවේ. එය පෙර කළා මෙන්, දැන දැනම ආර්ථිකය තවත් අස්ථායිකිරීම යි. ඒ බව සනාථ කිරීමට ආර්ථික ඉලක්කම් ඕනෑ තරම් පවතී.
සමාප්ත සටහන
- ඉහත දැක්වූ කරුනු අනුව, වී/සහල් සංචිතයත්, විදේශ සංචිතයත් යන දෙකම අසමත් ආර්ථික කළමනාකරණ මෙවලම් ය. එබැවින්, වී/සහල් සහ විදේශ මුදල් වෙළෙඳපොළ කෙරෙහි රාජ්‍ය මැදිහත්වීම් යනු අසාර්ථක මෙන්ම ආර්ථික පද්ධති අවදානම් සහිත ප්‍රතිපත්ති මෙවලම් දෙකක් වෙයි.
- සමස්තයක් ලෙස ගත් විට, වී/සහල් සංචිතය සහ විදේශ සංචිතය යන සංචිත දෙකම රජයේ නොව අනුන්ගේ සංචිතයන් ය. අනුන්ගේ සංචිත මගින් රජයට වෙළෙඳපොළවල් පාලනය කළ නොහැකිය. එබැවින්, මෙහි රජය යනු ගැටලුව මිස විසදුම නොවේ.
- නව රජය තුළ ආචාර්ය මහාචාර්ය ඇතුළු පුළුල් පරාසයක විද්වතුන් සිටින බව මාධ්‍යය වාර්තා කොට ඇත. එබැවින්, මෙම අවුල් ප්‍රතිපත්ති මෙවලම් දෙක පිළිබඳ ව ගත යුතු නව තීරණය ඔවුන්ට ඉතා සරල එකක් වනු ඇත.
- එසේ නොවේ නම්, නව රජයේ මග ද වැඩි කලක් යාමට පෙර කැඩී බිඳී යනු ඇත. ඒ පිටුපස සිටින ආර්ථික විද්‍යඥයන් සුපුරුදු ලෙස නව ඇඳුමකින් ඊළඟ රජයට එකතු වනු ඇත.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
Comments
Post a Comment