ශ්‍රී ලංකා ආර්ථිකය IMF ගරාජයේ. දේශීය කාර්මිකයන්ගේ සුදුසුකම් කුමකට ද?



ආර්ථිකය IMF ගරාජයට දැමීම

2022 අප්‍රේල් 8 දින එවක ජනාධිපති විසින් ලෝකයේ ඉහළම ගණයේ IMF ආර්ථික කාර්මිකයන් දෙදෙනෙකු මුදල් අමාත්‍යංශයට සහ මහ බැංකුවට  පත් කරනු ලැබුවේ, මහ බැංකු විදේශ සංචිතය කඩා වැටීමට මුහුණ දෙමින් පැවති ශ්‍රී ලංකා ආර්ථිකය ඉන් බේරා රෙපයාර් කිරීම සඳහා ය. 

එහෙත්, ඔවුන් දෙදෙනා විසින් කරනු ලැබුවේ, 2022 අප්‍රේල් 12 දින රාජ්‍ය විදේශ ණය පැහැර හැර, ආර්ථිකය කඩා දමා, මහජනයා පාරට දමා, වොෂින්ටන් නුවරට ගොස්, ආර්ථිකය රෙපයාර් කිරීමට IMF ගරාජයට දැමීම යි. ඔවුන්ගේ ආර්ථික කාර්මික ඥානය වූයේ, එවක ආර්ථිකය වට්ටවා, IMF හරහා නැවත ගොඩ නැගීම යි. ඊට පසු ඔවුන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ, මාස 4 ක් තුළ පැහැර හැර ඇති ණය ප්‍රතිසකසා, IMF ණය මුදලක් ගෙන, ආර්ථිකය නැවත ධාවනයට පත් කළ හැකි බව යි. 

මහජනයා පීඩනයට පත් කොට, IMF ණය මුදල ලැබුණේ 2023 මාර්තු මස ය. පැහැර හරින ලද ඩොලර් බැඳුම්කර ණය ප්‍රතිසැකසීම නිම කළ බවට නිල වශයෙන් වාර්තා වූයේ අද දින ය. විදේශ නිල ණයවල ප්‍රතිසැකසීම පිළිබඳ ව අවසන් නිල නිවේදනය තවමත් නොමැත.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වන්නේ, ආර්ථිකය IMF ගරාජයේම රෙපයාර් කෙරේ නම්, දේශීය ආර්ථික කාර්මිකයන්ගේ වෘත්තීය සුදුසුකම් සෙවීමේ ඵලක් නොමැති බවට අදහසක් ඉදිරිපත් කිරීම යි.

නව ශ්‍රී ලංකා ආර්ථික ගරාජයක් පිහිටුවීම  

මේ දක්වා IMF ගරාජයේ කාර්මිකයන්ට ආර්ථිකය රෙපයාර් කිරීම සඳහා දේශීය කාර්මිකයන් විසින් දෙන ලද අත් උදවු මොනවා ද? සහ ඊට මහජනයාට දැරීමට සිදු වූ පිරිවැය කුමක් ද? යන්න, අප සියළු දෙනා දැනුවත් ය. 

එබැවින්, IMF ගරාජයෙන් ආර්ථිකය ඉවත් කර ගෙන, එය දේශීය ගරාජයක සිට රෙපයාර් කිරීම සඳහා දේශීය ගරාජයක් පිහිටු වීමට සියළු සුදුසුකම් සහ හැකියාව ඇති බවට විශ්වාස කළ නව කළමනාකාරිත්වයක් මහජනයා විසින් පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල පත් කරන ලදි. ඊට හේතුව, වත්මන් මහජනයාට ඇති එකම උවමනාව වන්නේ, ආර්ථිකය රෙපයාර් කොට, නැවත ධාවනයට යොදවා, තම ජීවන මාර්ගය නැවත පාදා ගැනීම යි.


කාර්මික කළමනාකරුවන්ගේ කඩදාසි සුදුසුකම් සෙවීම

එහෙත්, "වදින්න ගිය දේවාලය ඉහ මතට කඩා වැටීම" මෙන්, මහජනයාට මුහුණ දීමට සිදු වූයේ, අනපේක්ෂිත ඇබැද්දියකි. එනම්, නව කළමනාකාරිත්වය විසින් දේශීය ආර්ථික ගරාජයක් ස්ථාපිත කිරීමේ යෝජනාව අත් හැර, එකම දේශීය අත් උදවු කාර්මිකයන් සමඟ IMF ගරාජයේ සේවාව අඛණ්ඩව ලබා ගැනීමට තීරණය කිරීම යි. 

ඒ පිළිබඳ ව හට ගත් වාද විවාදයන් මත නව කළමනාකරුවන්ගේ කඩදාසි සුදුසුකම් සෙවීමේ ජාතික ව්‍යාපෘතියක් මතු වී ඇත. එබැවින්, නව කළමනාකාරිත්වයට ආර්ථිකය රෙපයාර් කිරීම පසුවිපරම් කිරීමේ කාර්යයට මානසිකත්වයක් සහ කාල වෙලාවක් නොමැති වී ඇත. දිනෙන් දින සිදු වන විවාදයන් දෙස බලන විට, මෙම ව්‍යාපෘතිය කොතනින් කෙළවර වේ ද? යන්න සිතා ගත නොහැකිය. 

දැනට එය කඩදාසිය සෙවීමෙන් නොනැවතී, කඩදාසිය ලබා ගත් ආකාරය සහ එහි දේශීය නීත්‍යනුකුල භාවය සෙවීම දක්වා ව්‍යාපත් වී ඇත. එය පසුගිය වසර 76 ක අතීතයට ද පැතිරිය හැකිය. ආර්ථිකය IMF ගර්ජයට දැමීමට හේතුව අතීත නායකයන්ට නිසි කඩදාසි සුදුසුකම් නොමැති වීම බවට ද පැවසීමේ ව්‍යාපාරයක් දියත් විය හැකිය. 

දැනට සමාජයේ සෑම පුද්ගලයෙකුම වාගේ තමාගේ කඩදාසි සුදුසුකම්වල පිටපත් සහ අර්ථ නිරූපණයන් රැස් කිරීමට පටන් ගෙන ඇත. එසේම, මිය පරලොව ගොස් ඇති අයගේ කඩදාසි ද සෙවීම ආරම්භ වී ඇත. පාර තොටේ දී පාවා එම කඩදාසි ලිපි ගොනුව තබා ගැනීමේ  පුරුද්දක් ළඟදීම ඇති විය හැකිය.

කඩදාසි සුදුසුකම් යනු පුද්ගලයෙකු විසින් ලබා ගෙන ඇති තාක්ෂණික විෂය දැනුමේ වපසරිය පිළිබඳ ලිඛිත සාක්ෂියකි. එහෙත්, වැදගත් වන්නේ, හුදෙක් තාක්ෂණික විෂය දැනුම නොව, වත්මන් IMF ගරාජයේ ඇති ආර්ථිකය කඩිනමින් රෙපයාර් කර ගැනීමට දායක විය හැකි විවිධ විෂයන්හි ප්‍රයෝගික විෂය දැනුම හෝ පළපුරුද්ද යි. නව දේශීය කාර්මික කළමනාකරුවන්ට එම දැනුම පවතී නම්, කඩදාසි සුදුසුකම් පරීක්ෂා කිරීමේ ඵලයක් නොමැත. එබැවින්, අවශ්‍ය වන්නේ, ඔවුන්ගේ කාර්යසාදනය යම් කාලයක් තුළ පරික්ෂා කිරීම යි.

කාර්මික අත් උදව් කරුවන්ගේ විෂය දැනුම පරීක්ෂා කිරීම

ඔවුන් ද විවිධාකාර කඩදාසි සුදුසුකම් හුවා දැක්වීම හරහා එම තනතුරුවලට පත් වී ඇත. පෞද්ගලික හෝ ව්‍යාපාරික අංශය මෙන් නොව, සමස්ත රාජ්‍ය අංශයම සාමාන්‍යයෙන් කඩදාසි සුදුසුකම් පෝෂණය කිරීම සඳහා සැකසී ඇත. එම සුදුසුකම්වලින් කෙරෙන නිෂ්පාදනය හෝ දායකත්වය කෙරෙහි සැලකීමක් නොමැත. 

ශ්‍රී ලංකාවෙහි අධ්‍යාපන පද්ධතිය සැකසී ඇත්තේ, රාජ්‍ය අංශයට අවශ්‍ය කඩදාසි සුදුසුකම් සැපයීම පිණිස මිස, ආදායම සහ වත්කම් ඉපැයීම සඳහා ආර්ථික සහ ව්‍යාපාරික දැනුම සහ නිපුණතාවයන් ප්‍රවර්ධනය කිරීම සඳහා නොවේ. එබැවින්, ඔවුන්ගේ දැනුම වන්නේ, තිබෙන කාර්යාලීය ලිපි ගොනු නව වෙළුම් හරහා පවත්වා ගෙන යාමේ ලිපිකාර සේවය යි. 

මෑත දී, ලෝකයේ ධනවත්ම ව්‍යවසායකයා වන එලෝන් මස්ක් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ, ඇමෙරිකාවේ බොහෝ විශ්ව විද්‍යාල උපාධිවලින් වෘත්තීය අවස්ථාවන් ඇති නොකරන බැවින් ඒවා ඵලදායී නොවන බව යි. වීඩියෝව මෙතනින් බලන්න. (තවත් වීඩියෝවක්) නව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ෆෙඩරල් රජය කාර්යක්ෂම කිරීමේ නිලධාරියා ලෙස පත් කොට ඇත්තේ එලෝන් මස්ක් ය.

එබැවින්, දැනට විශේෂඥයන් හෝ විද්වතුන් බවට ප්‍රතිමූර්ති සකසා ගෙන ඇති, කඩදාසි සුදුසුකම් හිමියන්ගේ වෘත්තීය ප්‍රයෝගික සුදුසුකම් ද නව කළමනාකාරිත්වය විසින් විමසා බැලිය යුතුය. උදාහරණ ලෙස සැබෑ ලෝකයට කිසි වැඩක් නැති මානසික ආර්ථික මොඩලයක් ගණිතගත කොට, පරිගණකයේ අත්හදා බලා, උපයා ගෙන ඇති ආචාර්ය උපාධියක් හුදු කඩදාසි සුදුසුකමක් මිස, වෘත්තීය ආර්ථික සුදුසුකමක් නොවේ. 

ආචාර්ය සහතිකය කියවීමෙන් එය අවබෝධ කර ගත නොහැකිය. ඊට අදාළ පර්යේෂණ නිබන්ධනය කියවා බැලිය යුතුය. එය රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රයෝජනවත් නොවේ නම්, එම උපාධි සහතිකයෙන් ඵලක් නැත. ඔවුන් විසින් ආර්ථිකය උවමනාවෙන් බිඳ දමා, නැවත එය රෙපයාර් කිරීම සඳහා IMF ගරාජයට දමා ඇත්නම්, එම ආචාර්ය උපාධිවල කිසිම වෘත්තීය නිපුණතාවයක් නොමැති බව තීරණය කිරීමට, විද්වත් කමිටු පත් කිරීම අවශ්‍ය නොවේ.

ඉහළ රාජ්‍ය/මහජන තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීම සහ තනතුර දැරීමේ යෝග්‍යතාවය නිගමනය කිරීමේ නිර්නායකයන් සමහර පනත්වල නියම කොට ඇත. මෙහි දී, මහජන විශ්වාසය රැකීමට හැකි යෝග්‍යතාවය පරීක්ෂා කිරීම විශේෂයෙන් වැදගත් වෙයි. සමහර පනත්වල එය හුදෙක් පත් කිරීමේ අධිකාරියේ වගකීමක් ලෙස නියම කොට ඇත. සමහර නිලධාරීන් තම මහජන වගකීම් පැහැර හැර ඇති බවට ස්වාධීන විමර්ශන කොමිෂන් සභා විසින් නිගමනය කරන ලද පුද්ගලයන් ය.

එබැවින්, හුදෙක් ඉහළ රාජ්‍ය තනතුරුවලට පත් කිරීමේ දී, පුද්ගලයන්ගේ වෘත්තිමය නිපුණතාවය සංකල්පීය හෝ බාහිර සාධකවලින් ඉවත් වී, හුදෙක් අතීත කාර්යසාදන තොරතුරු මත පදනම් වී, නව කාර්යසාදන ඉලක්ක සහ කොන්දේසි මත සිදු කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.

එසේ නොවුව හොත්, නව දේශීය ආර්ථික ගරාජය කළමනාකාරීත්වය සතු කඩදාසි සුදුසුකම් පමණක් නොව, කාර්මික දැනුම සහ හැකියාව ද ප්‍රශ්න කිරීමට මහජනතාව පෙළෙඹෙනු ඇත. එය එතරම හිතකර තත්ත්වයක් නොවේ.

නිගමනය සහ නිර්දේශය

  • නව ආර්ථික කළමනාකරුවන්ගේ හෝ කාර්මිකයන්ගේ කඩදාසි සුදුසුකම් පිරික්සීමේ ජාතික ව්‍යාපෘතිය වහාම අත් හිටුවිය යුතුය. ඔවුන්ගේ නව පත්වීමට ඇති සුදුසුකම කඩදාසි සුදුසුකම නොවේ. එබැවින්, එම ව්‍යාපෘතිය හුදෙක් මහජනයා නොමග යැවීමකි. එය නායකයන් විසින් සියතින් දිවි නසා ගැනීමට කරන උත්සාහයක් වැනිය. 

  • දේශීය ගරාජයක ආර්ථිකය රෙපයාර් කිරීමට දායකත්වයක් සැපයීමේ කාර්මික දැනුමක් සහ නිපුණතාවයක් ඔවුන් සතුව පවතින බවට කාර්යසාදනය තුළින් සනාථ කළ යුතුය.

  • ඒ සඳහා දැනුමක් සහ නිපුණතාවයක් ඇති කාර්මික අත් උදවු කරුවන් පත් කළ යුතුය.

  • එසේ නොමැති නම්, IMF කාර්මිකයන් විසින් දේශීය ආර්ථික ගරාජය සහ නව කළමනාකාරිත්වය වැඩි කලක් යාමට පෙර ඈවර කරනු ඇත.

  • ඊට හේතුව, IMF ගරාජය විසින් උත්සාහ කරන්නේ, රටවල රජයන්හි අයවැය රෙපයාර් කිරීම මිස, ආර්ථිකයන් රෙපයාර් කිරීම නොවේ. ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රශ්නය වන්නේ, සම්පත් රාශිකරණය සහ උපයෝජනයට ප්‍රමාණවත් ලෙස මුදල් සංසරණ පද්ධතිය ක්‍රියාත්මක නොවීම යි. රාජ්‍ය අයවැය යනු ආර්ථිකයෙහි කුඩා කොටසක් වන අතර ආර්ථිකය කඩා වැටීමට හේතුව අයවැය නොවේ. එබැවින්, අයවැය රෙපයාර් කිරීමට යාම යනු හුදෙක් කඩදාසි සුදුසුකම් හිමි කාර්මිකයන්ගේ නොදැනුවත් භාවය යි. 

  • එහෙත්, IMF ගරාජය විසින් උත්සාහ කරන්නේ, තමා වෙත ලියාපදිංචි වී ඇති ගෝලීය සැපයුම් කරුවන්ගෙන් ඩොලර් ඉන්ධන සහ සේවා සැපයුමක් රජයට අඛණ්ඩව අළෙවි කිරීම මගින් රජය රෙපයාර් කිරීමට ය. එය හුදෙක් "පය බරවා අයට පිටිකර බෙහෙත් බැඳීමක්" වැනි ය. ඉන් IMF කාර්මිකයන්ගේ සහ සැපයුම් කරුවන්ගේ ව්‍යාපාරයන් සඳහා තිරසාර භාවයක් මිස, රටවල ආර්ථිකයන්හි තිරසාර ධාවනය පිළිබඳ සහතිකයක් නොසැපයෙයි. එබැවින්, IMF රෙපයාර්වල දී වරින් වර ඉදිරිපත් කෙරෙන ආර්ථික තත්ත්ව සහතිකයන්, කාර්මිකයන්ගේ කඩදාසි සුදුසුකම්වලට නොදෙවෙනි ඒවා වෙයි.


(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)



Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස