පණ අදින මහ බැංකු ස්වාධීනත්වය? මරණය නියත යි.

 


ලිපියේ පසුබිම 

පසුගිය දිනක පරීක්ෂණයක් සඳහා මහ බැංකුවේ නිලධාරීන් කැඳවූ පාර්ලිමේන්තු මහජන මුදල් කාරක සභාවේ දී හෙළි වූ කරුනු දෙස බැලීමේ දී, මහ බැංකු ස්වාධීනත්වය මියැදෙමින් පවතින බව නිසැකය. සමාජ මාධ්‍යයේ සංසරණය වූ නිල වීඩියෝව මෙහි ඉදිරිපත් කරමි (වීඩියෝව මෙතනින් නරඹන්න).

එම වීඩියෝව අනුව මහ බැංකු අධිපති විසින් මුදල් කාරක සභාපති වෙත ආයාචනය කරන්නේ, ආන්දෝලනාත්මක වැටුප් මාර්තු මාසය සඳහා ද ගෙවීමට අවසර දෙන ලෙස ය. එම ආයාචනය සාධාරනීකරණය සඳහා හේතු දෙකක් ඉදිරිපත් කෙරින. එනම්,

  • මාර්තු මාසය සඳහා වැටුප් පරිගණක ක්‍රියාවලිය ආරම්භ වී ඇති බැවින් එය ආපසු හැරවීමේ තාක්ෂණික ගැටළුව.

  • ඉහළ යාමට පෙර පරිමාණයට වැටුප් ගෙවීමේ දී සමහර සේවකයන්ගේ වැටුප් සෘණ වැටුප් වීම.

මුදල් කාරක සභාපති විසින් එම ආයාචනය ප්‍රතික්ෂේප කෙරෙන ලදි. ඊට හේතුව ලෙස දැක්වූයේ ඒ සඳහා මුදල් කාරක සභාවේ අනුමැතිය අවශ්‍ය බව යි. 

එබැවින්, මෙම ලිපියේ අරමුණ වන්නේ, මහ බැංකු අධිපති විසින් මුදල් කාරක සභාවේ දී හැසිරුණ ආකාරය අනුව මහ බැංකු ස්වාධීනත්වය සහ විද්වත්භාවය බින්දුවට බැස ඇති බවට දත්ත ඉදිරිපත් කිරීම යි (පසුගිය ලිපිය මෙතනින් කියවන්න).

වැටුප් පරිගණක ක්‍රියාවලිය

මෙය අසත්‍ය කරුනකි. 

  • 2024 මාර්තු 23 දින නිකුත් කළ මහ බැංකු පුවත්පත් නිවේදනය (මෙතනින් කියවන්න) අනුව මහ බැංකුව විසින් මෙම වැටුප් නැවත ප්‍රතිශෝධනය කිරීමට තීරණය කොට, ඒ බව 2024 මාර්තු 16 දින මුදල් කාරක සභාපති වෙත දන්වා ඇත. එය මුදල් කාරක සභාපතිගේ වාර්තාවටත් පෙර සිදු කළ බව දක්වා ඇත. 

  • මෙම වැටුප් පරීක්ෂණය සඳහා මුදල් කාරක සභාව 2024 මාර්තු 05 දින රැස් වූ අතර සභාපතිගේ වාර්තාව 2024 මාර්තු 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. 

  • ඒ අනුව, මෙතරම් මහජන ආන්දෝලනයන් නොතකා, මහ බැංකුව විසින් නව වැටුප් පරිමාණයන් අනුව මාර්තු මස වැටුප ගණනය කිරීමට පරිගණකයට ඉඩ දීම වැටුප් ඉහළ දැමීමට වඩා පුදුමයකි.

සෘණ වැටුප්

සෘණ වැටුප් යනු සේවකයා විසින් වැටුප් දින මහ බැංකුවට මුදල් ගෙවිය යුතු වීම යි. ඊට හේතුව, සේවක දළ වැටුපින් ණය වාරික, බදු සහ අර්ථ සාධක දායකවීම් අඩු කළ පසු වැටුප සෘණ වීම යි. මින් පෙනෙන්නේ, මහ බැංකු කළමනාකාරිත්වය විසින් රජය බංකොලොත් වන පරිදි රාජ්‍ය ණය කළමනාකරණය කළ පරිදිම තම සේවක මූල්‍ය කළමනාකරණය ද සිදු කොට ඇති බව යි.

නිවාස ණය දෙකක්, වාහන ණයක්, ආපදා ණය කිහිපයක් සහ මාස 3 කට වරක් අර්ථ සාධක අරමුදලින් 40% දක්වා ණය යානා දී ලෙස ඉතාම නාමික පොලියක් යටතේ ණය ප්‍රදානය කෙරෙන විට, ගැනීමට වැටුපක් නොමැතිවීම පුදුමයක් නොවේ. මෙහි දී, ණය ගැනීමේ දී අතට ලැබෙන වැටුප දළ මාසික වැටුපින් 40% කට නොඅඩු විය යුතුය යන නියමය ද කඩා ණය දී ඇති බව පෙනේ. අප්‍රේල් සහ දෙසැම්බර් මාසයන්වල ණය වාරිකයන් අත්හිටුවා වැටුප් ලබා දෙන විට, ගෙවීමට ඇති ණය ශේෂයන් පහළ යාම ලෙහෙසියෙන් සිදු නොවේ.

මෙවැනි අවස්ථාවක වැටුපින් බදු ගෙවීමට නියම කළ විට, ශුද්ධ වැටුප සෘණ වීමේ පුදුමයක් නැත. නුදුරේ දී රජය විසින් දේපල බද්ද පැනවූ විට, බොහෝ සේවකයන්ගේ ශුද්ධ වැටුප තවත් සෘණ වනු ඇත. එහෙත්, මහ බැංකුවේ බොහෝ සේවකයන් ආර්ථික සහ මූල්‍ය විද්වතුන් වන බැවින් ඉතා අඩු පොලියට මහ බැංකුවෙන් ගත් ණය මුදල් ආයෝජනය කොට ඇති විටෙක බදු යනු සේවක ආදායමට සහ ධනයට විශේෂ බරක් නොවේ. අති ඉහළ වැටුප් ඉල්ලීමේ දී හෝ ප්‍රදානය කිරීමේ දී මෙවැනි සැඟවූ කරුනු ද සලකා බැලිය යුතුය.

නිගමනය

  • කරුනු මෙසේ පවතිද් දී  මහ බැංකු සේවකයන්ට මාර්තු මස වැටුප ද ඉහළ තලයන්ගෙන් ගෙවා ඇත්නම්, එය රාජ්‍ය මූල්‍ය මෙන්ම පාලන අක්‍රමිකතාවයකි.

  • මෙම වැටුප් අර්බුදය මහ බැංකුවේ සියළු පාර්ශව කරුවන්ට (සේවකයන්, රජය, මහජනයා) බලපාන බැවින් මෑත දී පිහිටවූ මහ බැංකුවේ පාර්ශවකාර සහභාගිත්ව සභාවේ (Central Bank Stakeholder Engagement Committee) නිර්දේශයන් ද ලැබිය යුතුය. එහෙත්, එම සභාව මිය ගොස් ඇති බව නිශ්ශබ්ද තාවයෙන් පෙනේ.

  • දැනට මහ බැංකු පාලක මණ්ඩලය සහ රජය එකඟ වී ඇති පරිදි වැටුප් කොමිටියක් හරහා නව වැටුප් තලයක් නිර්දේශ කිරීමෙන් මහ බැංකු වැටුප් අර්බුදය විසඳිය නොහැකිය.

  • ආන්දෝලනාත්මක වැටුප් වර්ධකය ලබා දී ඇත්තේ, සෘණ වැටුප් ප්‍රශ්නයට විසඳුමක් ලෙස බව මහ බැංකු අධිපතිගේ ආයාචනයෙන් පැහැදිලි වෙයි. එනම්, මුදල් මුද්‍රණය කොට සේවකයන්ට විශාල වශයෙන් ණය දී, එම ණය අයකර ගැනීම සඳහා නැවත මුදල් මුද්‍රණය කොට ඉහළ වැටුප් ප්‍රදානය කිරීම යි. මෙය සර්පිලාකාර ලෙස අනගාතයේ දී සිදු වනු ඇත. එබැවින්, යෝජිත වැටුප් කොමිටියෙන් ඊට විසඳුමක් නොලැබේ. ඒ සඳහා මහ බැංකුවට ඇති විකල්පය වන්නේ, නව ස්වාධීනත්වය භාවිතා කොට සේවක ණය ද වැටුපට බරක් නොවීමට ප්‍රතිව්‍යුහගත කිරීම යි.

  • මෙම වැටුප් අර්බුදය මහ බැංකු මූල්‍ය කළමනාකරණයේ අසමත් වීමකි. එනම්, නොසැලකිලිමත් ලෙස ආයතනකික පරිපාලන වියදම් සඳහා මුදල් මුද්‍රණය කිරීම යි. එය, ආර්ථිකයේ රාජ්‍ය මූල්‍ය තත්ත්වයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව දැන් පැහැදිලි ය. ඊට හේතුව, රාජ්‍ය සේවකයන් ද ඉහළ වැටුප් ඉල්ලා වෘත්තීය අරගලවලට පිවිසීම යි. ඒ බව මුදල් කාරක සභාව හරහා පාර්ලිමේන්තුව විසින් ද පිළි ගෙන ඇත. එබැවින්, යෝජිත වැටුප් කොමිටිය විසින් වැටුප් පිටුපස ඇති මහ බැංකු මූල්‍ය අවකළමනාකරණය ද විමර්ශනය කොට සුදුසු නිර්දේශ ඉදිරිපත් කළ යුතුය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි