ශ්‍රී ලංකාව ආර්ථික ගාසා තීරයක IMF ප්‍රාණ ඇපකරුවකු කළ Soft Default
ලිපියේ පසුබිම
වත්මන් මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් 2022 අප්‍රේල් මස 7 දින තම තනතුරු භාර ගත් විගස, ආර්ථිකය සහ මහජනයා බංකොලොත් කිරීමේ ප්‍රතිපත්ති කිහිපයක් ගන්නා ලදි. එනම්,
- අප්‍රේල් 8 දින මහ බැංකු පොලී අනුපාතය 7% කින් ඉහළ දැමීම.
- අප්‍රේල් 12 දින විදේශ ණය සේවාකරණය අත්හිටුවීම. මෙය මෘදු ණය පැහැර හැරීම (soft default) ලෙස හුවා දැක්විණ.
- අප්‍රේල් 18-24 කාලයේ IMF ණය වැඩසටහනක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීම පිණිස IMF-ලෝක බැංකු වාර්ෂික රැස්වීමට සහභාගී වීම.
මෙම ප්‍රතිපත්ති තුනම බද්ධ මෙවලම් තුනකි. ඊට හේතුව, ඒවා ඉදිරියේ දී රටෙහි ආර්ථික අර්බුදයක් හට ගැනීම වැලැක්වීම පිණිස IMF ණය වැඩසටහනක් ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීම යි.
ඊට අමතරව, මහ බැංකු අධිපති විසින් අප්‍රේල් 11 දින පැවැත් වූ විදේශ ණය පැහැර හැරීමේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු ඊළඟ දින ලෝකවාසී පරිත්‍යාග ශීලීන්ගෙන් විදේශ මුදල් ආධාර ඉල්ලා සිටීමේ නිවේදනයක් නිකුත් කරන ලදි. එමගින්, අර්බුදයට පත් වී සිටින මහජනයාට අවශ්‍ය ආහාර, ඉන්ධන සහ ඖෂධ ආනයනය සඳහා විදේශ මුදල් ආධාර අයදින ලදි. එහෙත්, මෙතෙක් ලැබූ විදේශ මුදල් ආධාර ප්‍රමාණය ඩොලර් 110,000 ක් පමණ බව වාර්තා වෙයි. මෙසේ, එසේ විදේශ ආධාර අයැදීම මහ බැංකුවකට අයත් කාර්යයක් නොවේ.
එහෙත්, ඉන් පසු මහජනතාව ආර්ථික අර්බුදයකට ගොදුරු වූ ආකාරයත්, තවමත් ඉන් ගොඩ ඒමට නොහැකිව විඳවන ආකාරයත්, අප සියළු දෙනා දන්නා බැවින් එම කරුණු මෙහි විස්තර කළ යුතු නැත.
ආර්ථික කළමනාකරණ බලධාරීන් නිරන්තරයෙන් මහජනයා වෙත ප්‍රකාශ කරනු ලැබුවේ, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණය ද සමඟ IMF ණය වැඩසටහන මාස 4 කින් ලැබෙන බවත්, ඉන් ආර්ථිකය ප්‍රකෘතිමත් වන බවත් ය. තවද, IMF ණය වැඩසටහන යනු බංකොලොත් වී ඇති ආර්ථිකයට නැවත විදේශ ආයෝජන ලබා ගැනීම සඳහා බලපත්‍රයක් බව දැක්විණ.
එහෙත්, IMF ණය වැඩසටහන ලැබීමට වසරක පමණ කාලයක් ගත වී, ඩොලර් බිලියන 3 ක් පමණ 2023 මාර්තු මස 21 දින අනුමත වුව ද, ඉන් ඩොලර් මිලියන 333 ක් පමණක් ලැබී, ඉදිරි ණය වාරිකයන් අත්හිටුවීමේ අවදානම් හේතු කොට, IMF ණය වැඩසටහන සිහිනය බොඳ වී ඇත. පැහැර හරින ලද විදේශ ණය තවමත් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවී, මෘදු පැහැර හැරීම තද පැහැර හැරීමක් (hard default) බවට පත් වී ඇත. එබැවින්, නව දේශපාලනික ස්ථායිතාවය තුළින් ආර්ථිකය නැවත විවෘත වුව ද, බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ආර්ථිකයට හැකියාවක් ලැබී නොමැත.
එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ මහ බැංකු අධිපති සහ මුදල් ලේකම්ගේ කඩිමුඩි මෘදු ණය පැහැර හැරීම මහජනයාට තද ණය පැහැර හැරීමක් වී, ශ්‍රී ලංකාව IMF ප්‍රාණඇපකරුවකු බවට පත් වී ඇති ආකාරය ඉදිරිපත් කිරීම යි.
මෘදු ණය පැහැර හැරීම යනු කුමක් ද?
මෘදු ණය පැහැර හැරීම ලෙස දැක්වූයේ, ණය ප්‍රතිව්‍යුහගත කොට නැවත ණය සේවාකරණය ආරම්භ කරන තෙක්, තාවකාලිකව ණය සේවාකරණය අත්හිටුවීම යි. එබැවින්, එය මුදල් නොමැතිකම හේතුකොට දින නියමයක් නොමැතිව ණය පැහැර හැරීමක් හෙවත් තද ණය පැහැර හැරීමක් (hard default) නොවන බවට අදහසක් එහි අන්තර්ගත විය.
අප්‍රේල් 9 දින ජාත්‍යන්තර ණය උපදේශකයන් පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අඩංගු IMF ණය වැඩසටහනක් ඉල්ලා සිටීම යනාදිය මෘදු ණය පැහැර හැරීමට අනුබද්ධ ප්‍රධාන කොටස් දෙකක් විය. මහ බැංකු අධිපති විසින් පුන පුනා ප්‍රකාශ කරනු ලැබුවේ, IMF ණය වැඩසටහන මාස හතරකින් ලැබෙන බවත්, ඉන් ආර්ථිකය නැවත ගොඩ එන බවත් ය. ඒ අනුව යමින් බොහෝ දේශපාලනික නායකයන් විසින් දැක්වූයේ, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට ඇති එකම විකල්පය IMF ණය වැඩසටහන බව යි.
එහෙත්, අප්‍රේල් 12 දින සත්‍ය වශයෙන් සිදු වූයේ, තද ණය පැහැර හැරීමකි. එබැවින්, මෘදු ණය පැහැර හැරීමක් ලෙස දැක්වීමෙන් උත්සාහ කරනු ලැබුවේ, දැන දැනම රජය සහ මහජනයා නොමග යැවීමට ය. ඒ බව පහත දැක්වෙන කරුණුවලින් සනාථ වනු ඇත.
- 2022 අප්‍රේල් මස වන විට විදේශ ගෙවුම් සඳහා යොදා ගත හැකි, මහ බැංකුව සතුව පැවති විදේශ සංචිතය ඩොලර් මිලියන 50 කට අඩු වූ බව වාර්තා විය.
- අප්‍රේල් මස සිට 2022 වර්ෂයේ දී පමණක් විදේශ ණය සේවාකරණය සඳහා ඩොලර් බිලියන ගණනක් අවශ්‍ය විය. එතරම් විදේශ මුදල් ප්‍රමාණයක් රජයට හෝ මහ බැංකුවට සපයා ගත හැකි බවට කිසිම තොරතුරක් නොවීය. පැහැර හරින ලද ණයවලට අදාළ සේවාකරණය ඩොලර් මිලියන 2,800 ක් පමණ විය.
- එවක රජයේ එකම අපේක්ෂාව වූ IMF ණය වැඩසටහන ද, එන්න එන්නම ඇස් ඉදිරිපිට කල් යන ලදි.
- ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු දින වකවානු ඉලක්ක මත සිදු කළ නොහැකි අති සංකීර්ණ ක්‍රියාවලියක් බවට විදේශ තොරතුරු එමට පැවතිණ.
- දැනට මාස 19 ක් පමණ ගත වුව ද, විදේශ ණය සේවාකරණය ආරම්භ කිරීමට නොහැකි වීම.
ණය පැහැර හැරීමට සිදු වන්නේ ඇයි?
ණය පැහැර හැරීමට සිදු වන්නේ ඉදිරියේ ණය සේවාකරණය කිරීමට අවශ්‍ය අරමුදල් ප්‍රවාහය නොමැති වීමෙනි. එම අරමුදල් ප්‍රවාහය කොටස් දෙකකින් යුක්ත වෙයි. එනම්, ණය කරුගේ ආදායම් වියදම් ප්‍රවාහය සහ නව ණය රැස්කිරීම යනාදිය යි.
ආදායම් අතිරික්තයක් පවතී නම්, එය ණය සේවාකරණය සඳහා යොදා ගත හැකිය. ආදායම් අතිරික්තය තීරණය වනුයේ වියදම් ප්‍රවාහය සහ අතීතයේ ණය උපයෝජන කාර්යක්ෂමතාවය තුළින් ජනිත වන ආදායම් ප්‍රවාහය මත ය.
ආදායම් අතිරික්තයක් නොවූව ද, නව ණය ගැනීම තුළින් සපයා ගන්නා අරමුදල්වලින් ණය සේවාකරණය කළ හැකිය. එසේ නව ණය ගැනීමේ හැකියාව ණය හිමියන් සහ ආයෝජකයන් අතර ණය කරු කෙරෙහි පවතින ණය විශ්වාසය මත රඳා පවතී.
එබැවින්, සමස්තයක් ලෙස ගත් විට, ණය කළමනාකරණය කළ යුත්තේ, ණය තොගයේ ව්‍යුහය සහ ආදායම් ප්‍රවාහයේ ව්‍යුහය අතර මනා ගැලපීමක් පවතින ආකාරයට ය. එනම්, ණය සේවාකරණය කිරීමේ හැකියාව ආරක්ෂා කර ගැනීම යි. ණය තොගයේ ව්‍යුහය යනු අනාගතයේ ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය, ගෙවිය යුතු පොලිය, ණය වාරිකය, ණය ගෙවා නිම කෙරෙන කාලය වැනි තොරතුරු දෛනික, මාසික, කාර්තු සහ වාර්ෂික වැනි කාල රාමුවක් අනුව සැකසූ දත්ත පද්ධතිය යි.
එබැවින්, ආදායම් කළමනාකරණය සහ ණය කළමනාකරණය යනු අන්තර් සබැඳියාවක් සහිත කාර්යයන් දෙකකි. එසේ නොවූ විට, ණය තිරසරභාවය ගිලිහී යනු ඇත. එනම්, මූල්‍ය බංකොලොත් භාවය පත්විය හැකි වීමේ ඉහළ අවදානම යි. මෙය රජයක්, ව්‍යාපාරයක්, කුටුම්බයක්, පුද්ගලයෙක් යන ඕනෑම කෙනෙකුට අදාළ වෙයි.
එබැවින්, අප්‍රේල් මස 12 දින විදේශ ණය පැහැර හැරීම ණය තිරසරභාවය නොමැති වීමේ ප්‍රතිඵලයකි. ඒ ආකාරයට රාජ්‍ය ණය කළමනාකරණය සිදු වූයේ ඇයි ද? යන්නට විවිධාකාර හේතු පවතී. එය විමර්ශනය කිරීම පාර්ලිමේන්තුවේ වගකීමකි. ඊට හේතුව, රාජ්‍ය මුදල් පාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ වගකීමක් වන බැවිනි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු කුමක් ද?
ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු ණය සේවාකරණය පහසු වන පරිදි ණය තොගයේ ව්‍යුහය නැවත සැකසීම යි. ඒ සඳහා ණය ගිවිසුම් සංශෝධනය කොට නැවත සැකසීම සිදු වෙයි. එය කොටස් කිහිපයකින් යුක්ත විය හැකිය. එනම්, ණය මුදලින් කොටසක් කපා හැරීම, පොලී අනුපාතයන් පහළ දැමීම, ණය ගෙවීම නැවත ආරම්භ කිරීම සඳහා සහන කාලයක් ලබා දීම සහ ණය ගෙවිය යුතු කාලය දීර්ඝ කිරීම යනාදිය යි.
මෙය, ණය තිරසරභාවය නැවත ලබා ගැනීම සඳහා යෝග්‍ය යැයි සැලකෙන ණය ව්‍යුහයක් ඇති කිරීම පිළිබඳ ඉලක්කයන් පදනම් කර ගෙන සිදු කෙරේ. උදාහරණ ලෙස ණය ප්‍රතිශතය (එනම්, මුළු ණය තොගය, වාර්ෂික ආදායමට හෝ වත්කම් තොගයට ප්‍රතිශතය ලෙස), ණය සේවාකරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය, සමස්ත පොලී ප්‍රතිශතය සහ ණය තොගය ගෙවා නිම කිරීමේ සාමාන්‍ය කාලය වැනි සංඛ්‍යාවන් පහළ දැමීමේ ඉලක්කයන් දැක්විය හැකිය.
එහෙත්, මෙම ඉලක්කයන් තීරණය කළ යුත්තේ, ආදායම් සහ වියදම් ප්‍රවාහය මෙන්ම ණය වෙළෙඳපොළ ද ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ය. එසේම, ණය ප්‍රතිව්‍යුහගත කරණය තුළින් ණය කරුට ලැබෙන මූල්‍ය වාසි යනු ණය හිමියන් මත පැටවෙන මූල්‍ය අවාසි වෙයි. ණය හිමියන් විවිධාකාර පාර්ශවයන්ගෙන් යුක්ත වන බැවින් ඔවුන්ට සිදුවන අවාසි දැරීමේ හැකියාව වෙනස් වනු ඇත. එබැවින්, ණය ගිවිසුම් ප්‍රතිසැකසීම සඳහා ණය හිමියන්ගේ එකඟතාවය ලැබීම පහසු නොවේ. එබැවින්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු බලධාරීන් නිරන්තරයෙන් ප්‍රකාශ කරන පරිදි සැහැල්ලු සහ සුමට කාර්යයක් නොවේ.
ශ්‍රී ලංකාවේ විදේශ ණය පැහැර හැරීමට සිදු වූයේ ඇයි?
ඊට හේතුව, විදේශ ණය සේවාකරණයට අවශ්‍ය විදේශ මුදල් රැස් කර ගැනීමට මහ බැංකුව අසමත් වීම යි. විදේශ ණය ගෙවීම විදේශ මුදල් ආදායමින් කළ යුතුය. රජය විසින් විදේශ මුදලින් ණය ලබා ගත්ත ද, රජයට විදේශ මුදල් ආදායම් මූලයන් නොමැත. ඊට හේතුව, රාජ්‍ය ආදායම දේශීය මුදලින් රැස් කෙරෙන බැවිනි. එබැවින්, රාජ්‍ය ණය සේවාකරණය සඳහා අවශ්‍ය විදේශ මුදල් මහ බැංකු විදේශ සංචිතයෙන් සැපයිය යුතුය. දේශීය ආර්ථිකයේ විදේශ මුදල් අවශ්‍යතාවන්ට සහ විනිමය අනුපාතය ස්ථායිකරණයට යෝග්‍ය පරිදි විදේශ සංචිතය ගොඩ නැගීම සහ පවත්වා ගෙන යාම මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීමකි.
එබැවින්, දත්ත දෙස බලන විට විදේශ ණය පැහැර හැරීම මහ බැංකුව විසින් විදේශ ණය කළමනාකරණය කිරීමේ දී පැවති ව්‍යුහාත්මක දුර්වලතාවන්ගේ ප්‍රතිඵලයකි. ඊට හේතු කිහිපයකි. වැඩි විස්තර සඳහා කියවන්න.
- විදේශ වෙළෙඳපොළ ණය ගැනීම මහ බැංකුව විසින් තම විදේශ මුදල් සංචිතය පවත්වා ගැනීමේ අරමුණින් අඛණ්ඩව සිදු කිරීම. මෙහි දී, ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ණය කෙරෙහි අහිතකර සංකේන්ද්‍රණයක් පැවතින.
- විදේශ රැස් කිරීමේ දී පැවති අක්‍රමිකතාවන් තුළින් ණය බර ඉහළ යාම.
- උදාහරණ ලෙස ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමේ දී වෙළෙඳපොළ ලංසු මිල ගණන් මහ බැංකු හෝ මුදල් අමාත්‍යංශ නිලධාරීන් නොදුටු අතර පොලී අනුපාතය සහ ආයෝජකයන් අතර බැඳුම්කර බෙදා හැරීම තීරණය කරනු ලැබුවේ, බැඳුම්කර නිකුතු සේවාව සැපයූ ආයෝජන බැංකු සමුහය විසිනි. එහෙත්, ඒවා තීරණය කළ පදනම පිළිබඳ කිසිම ටෙන්ඩර් මණ්ඩල සටහන් නොමැත. වැඩි විස්තර සඳහා කියවන්න .
- මෙම සෑම බැඳුම්කර නිකුතුවක් සඳහා ආයෝජක රැස්වීම් ඇතුළු තීරණ ගැනීමේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරනු ලැබුවේ, එවක මූල්‍ය ප්‍රතිපත්තිය සහ විදේශ සංචිත කළමනාකරණය අධීක්ෂණය භාරව සිටි වත්මන් මහ බැංකු අධිපති ය.
- උදාහරණ ලෙස 2007 සිට 2019 දක්වා නිකුත් කරන ලද මුළු බැඳුම්කර 18 න් ඩොලර් මිලියන 17,550 ක් රැස් කර ගත් අතර ඒ සියල්ලෙම තීරණ ගැනීමේ ඉහළින්ම සිටියේ ඔහු ය. ඉන් ඩොලර් මිලියන 13,550 ක් (එනම්, 77% ක්) රැස් කොට ගත් බැඳුම්කර 13 ක් නිකුත් කරනු ලැබුවේ නියෝජ්‍ය අධිපති ලෙස ඔහුගේ මෙහෙයවීම යටතේ ය. මේවා වර්ෂ 5 සහ 10 ක ආපසු ගෙවීමේ කාලයන් සඳහා 5%-8% අතර පොලී අනුපාතයන්ට නිකුත් කොට ඇත.
- ආර්ථිකයෙහි සමස්ත විදේශ මුදල් හිඟය මහ බැංකුව විසින් විදේශ ණය හරහා රැස් කෙරෙන විදේශ සංචිතය තුළින් පියවීමේ සහ විනිමය අනුපාතය ආරක්ෂා කිරීමේ පුරුද්ද. එබැවින්, මූර්ත නිෂ්පාදනය මත පදනම් වූ විදේශ මුදල් අතිරික්තයක් ජනිත කෙරෙන පරිදි මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවීය.
- මුදල් මුද්‍රණය සහ මූල්‍ය ප්‍රතිපත්තිය විදේශ සංචිතය මත තීරණය වීම. මහ බැංකු වත්කම්වලින් 70%-90% ක් විදේශ සංචිතය වීමෙන් ඒ බව පැහැදිලි වෙයි. 2020-2021 කොරෝනා සහ දේශපාලනික කම්පනය තුළ ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදය පතිත වූයේ, මහ බැංකුව විසින් කාලයක් පුරා අනුගමනය කළ මෙම විදේශ ණය - සංචිතය මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්ති මොඩලය හේතුවෙනි.
- විදේශ ණය උපයෝජනය කිරීමේ දී ආර්ථිකයෙහි විදේශ ආදායම් ජනනය කොතරම් ප්‍රවර්ධනය කෙරේ ද? යන්න කෙරෙහි සැලකිලිමත් නොවීම.
එබැවින්, විදේශ ණය පැහැර හැරීම යනු හුදෙක් මහ බැංකුවේ රාජ්‍ය ණය සහ විදේශ සම්පත් කළමනාකරණ වගකීම් පැහැර හැරීමේ සෘජු ප්‍රතිඵලයකි. ඒ පිළිබඳ විමර්ශනය නොකොට, විදේශ ණය පැහැර හැරීමේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ බර පොදුජනතාවට පැටවීම ජාතික අසාධාරණයකි. එය, වත්මන් ගාසා තීරයෙහි වෙසෙන ජනයා මුහුණ දෙන තත්ත්වයට සමරූපී වෙයි.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම IMF ණය වැඩසටහනේ කොටසක් ද?
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම IMF ණය වැඩසටහනේ කොටසක් ලෙස, IMF මැදිහත්වීම හරහා සිදුවන බවට අදහස් මහ බැංකු අධිපති විසින් ඉදිරිපත් කළ ද, සිදු වූයේ ඊට හාත්පසින් වෙනස් දෙයකි. එනම්, ණය ප්‍රතිව්‍යුහගත කරන බවට විදේශ ණය හිමියන්ගෙන් ලිඛිත සහතිකයක් ලබා ගෙන, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්ක සහ කොන්දේසි සමඟ IMF ණය වැඩසටහන අනුමත කිරීම යි. එම සහතිකයන් ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා රජයේ වගකීමක් විය. ඒ සඳහා වර්ෂයක පමණ කාලයක් ගත විය.
තව ද, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය ද, තවත් IMF කොන්දේසියක් ලෙස ඉදිරිපත් වී ඇත. එබැවින්, විදේශීය ණය මෙන්ම දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට රජයට සිදු වී ඇත. එය, IMF විසින් නියම කොට ඇති රාජ්‍ය ණය තිරසාර කිරීමේ ඉලක්කයන් සපිරෙන පරිදි කළ යුතුය.
එහෙත්, 2023 සැප්තැම්බර් මස IMF විසින් තම ණය වැඩසටහන පිළිබඳ ව සිදු කළ පළමු විමර්ශනයේ දී තීරණය කොට ඇත්තේ, ණය ප්‍රතිව්‍යුහගත කරණයට අදාළ මූල්‍ය සහතිකයන් රජය විසින් තවමත් සම්පූර්ණ කොට නොමැති බව යි. එබැවින්, එය සම්පූර්ණ කෙරෙන තෙක්, IMF දෙවන ණය වාරිකය වන ඩොලර් මිලියන 330 ක පමණ මුදල අත්හිටුවීමකට ද මුහුණ දුනි.
එබැවින්, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ණය වැඩසටහනේ අංගයක් ලෙස IMF විසින් මෙහෙය වීමක් සිදු කොට නොමැත. එය, හුදෙක් IMF ණය වැඩසටහනේ කොන්දේසියක් පමණක් වී ඇත.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ උගුලට ශ්‍රී ලංකාව හසු වූයේ ඇයි?
මෙය IMF සහ විදේශීය ණය හිමියන් විසින් පැනවූ කොන්දේසි හේතුකොට සිදු වී ඇත. ශ්‍රී ලංකාව විසින් පැහැර හරින ලද්දේ විදේශ ණය යි. ඊට හේතුව, මහ බැංකුව මුහුණ දුන් උග්‍ර විදේශ මුදල් සංචිත හිඟය හේතු කොට රාජ්‍ය විදේශ ණය සේවාකරණයට අවශ්‍ය විදේශ මුදල් සැපයීමට අපොහොසත්වීම යි. එහෙත්, IMF විසින් සමස්ත රාජ්‍ය ණය තොගය තිරසාර නොවන බවට ඔවුන්ගේ මත මතවාදයන් සහ ඉලක්කම් මත තීරණය කොට, ඊට ගැලපෙන ලෙස දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කරන ලෙස කොන්දේසි පනවා ඇත. එසේම, පැහැර හැරීමට ලක් වී ඇති විදේශීය ණය හිමියන් විසින් ද යෝජනා කරන ලද්දේ, ණය ප්‍රතිව්‍යුහගතකරණ අවාසිය දේශීය ණය හිමියන් ද දැරිය යුතු බව යි.
එහෙත්, දේශීය මුදලින් ලබා ගෙන ඇති රාජ්‍ය ණය පැහැර හැරීමක් හෝ තිරසාර නොවීමක් පිළිබඳ ව ණය කළමනාකරණ විෂයෙහි දැකිය නොහැකිය. ඊට හේතුව, දේශීය මුදල් අධිකාරිය රජය වන බැවින් දේශීය මුදල් නිකුත් කොට ණය සේවාකරණය කිරීමේ බලය සහ හැකියාව රජයට පවතින බැවිනි.
තව ද, පෞද්ගලික ඉතුරුම් ආයෝජනය සඳහා රාජ්‍ය දේශීය ණය සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. ඊට හේතුව, රාජ්‍ය ණය යනු ආරක්ෂාකාරී, ද්‍රවශීල මූල්‍ය වත්කමක් හෝ ආයෝජනයක් ලෙස පෞද්ගලික අංශය විසින් සලකන බැවිනි. තව ද, බැංකු සහ මූල්‍ය ආයතනයන් විසින් තම ආයෝජනයන් රාජ්‍ය ණය ආයෝජනයන්හි තබා ගන්නා ලෙස නියාමන කොන්දේසි පනවා ඇත. එබැවින්, දේශීය ආදායම් සහ ඉතුරුම් වර්ධනයට අනුකූලව ආර්ථිකයෙහි රාජ්‍ය දේශීය ණය වර්ධනයක් ද පැවතිය යුතුය. තව ද, රාජ්‍ය ණය උපයෝජනය තුළින් ලබා ඇති සමාජ ආර්ථික සංවර්ධන ධාරිතාවය ඉතා ඉහළ ය. එහෙත්, ඒ පිළිබඳ නිසි අධ්‍යනයක් ඉදිරිපත් නොවේ.
එබැවින්, දේශීය ණය තිරසරභාවය පිළිබඳ ඉලක්කම් බාහිර සාධකයන් මත තීරණය කිරීම පදනම් විරහිත වෙයි. එහෙත්, 2022-23 කාලයේ මහ බැංකු අධිපති විසින් අනුගමනය කළ අති ධාවනකාරී පොලී අනුපාත ප්‍රතිපත්තිය හේතුකොට රාජ්‍ය ණය පොලී අනුපාතයන් 25%-33% මට්ටමට ඉහළ යාම තුළින් දේශීය ණය සේවාකරණ පිරිවැය ඓතිහාසික ලෙස ඉහළ ගිය බවට විවාදයක් නොමැත.
එබැවින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය යනු හුදෙක් විදේශිකයන්ගේ බලපෑම මත දේශීය ණය හිමියන් උගුලකට හිර කිරීමකි. ඒ බව, රාජ්‍ය විශ්‍රාමික අරමුදල් සහ මහ බැංකුව විසින් රජයට දී ඇති ණය කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පැහැදිලි වෙයි. එම ආයතන රජය විසින් පාලන කෙරෙන අතර එම ආයතනවලින් රජය ලබා ගෙන ඇති ණය ද බොහෝ විට රජයට වාසි වන ආකාරයට තීරණය කොට ඇත. එසේම, එම ණය නැවත නැවත යාවත්කාලීන කෙරෙන බැවින් ණය ආපසු ගෙවීම සඳහා රජයට නව අරමුදල් රැස් කිරීම අවශ්‍ය නොවේ. එබැවින්, මෙම ණය ප්‍රතිව්‍යුහගත කරණය හුදෙක් IMF සහ විදේශීය ණය හිමියන් සතුටු කිරීමේ අරමුණ මත සිදු කොට ඇත.
එහෙත්, ණය තිරසාර නොවීමේ ගැටළුව පවතින්නේ රාජ්‍ය විදේශ ණය සඳහා ය. එබැවින්, එහි අවදානම් දැරිය යුත්තේ තිරසාර නොවන ලෙස ණය දී ඇති විදේශ ණය හිමියන් මිස දේශීය ණය හිමියන් නොවේ. ලෝකප්‍රකට ආයෝජක වොරන් බෆට් විසින් මෑත දී පැවසුවේ, තිරසර නොවන ලෙස ණය ගෙන ඇත්නම් එහි පාඩුව එසේ ණය දුන් ණය හිමියන් දැරිය යුතු බවත්, එසේ ණය ගැනීමට ක්‍රියා කළ කළමනාකරුවන් සේවයෙන් පහ කළ යුතු බවත් ය. මෙය රජයකට ද අදාළ අනගි ප්‍රකාශයකි.
Soft Default එකෙන් ශ්‍රී ලංකාව IMF ප්‍රාණ ඇපකරුවකු බවට පත් වූයේ ඇයි?
වත්මන් මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් විසින් මෘදු ණය පැහැර හැරීමේ නිවේදනය කරනු ලැබුවේ, IMF ණය වැඩසටහන අරමුණු කොට ගෙන ය. ඔවුන් විසින් 2022 මැයි 25 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුවේ, 2020 අප්‍රේල් මස දී කොරෝනා වසංගතය හමුවේ රජය විසින් IMF ණය මුදලක් ඉල්ලා සිටිය ද එය නොලැබුණ බව යි. ඊට හේතුව ලෙස ඔහු දැක්වූයේ, එම අවස්ථාවේ IMF ණය සලකා බැලීමේ පළමු පියවර ලෙස ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ ව ඇගයීමක් කොට, IMF උපකල්පනයන් අනුව ඉදිරි වසර 5 තුළ ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බවට නිගමනය කිරීමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදේශකයන් පත් කළ යුතු බවටත්, IMF විසින් කරන ලද යෝජනාවට රජය එකඟ නොවීම බව යි.
එබැවින්, මෙවර මූල්‍ය උපදේශකයන් පත් කිරීමේ ක්‍රියාවලිය 2022 අප්‍රේල් 9 දින ආරම්භ කොට, අප්‍රේල් 12 දින විදේශ ණය මෘදු පැහැර හැරීම නිවේදනය කරනු ලැබුවේ, IMF ණය වැඩසටහනකට අවතීර්ණ වීමේ අරමුණින් බව පැහැදිලි ය. එහෙත්, 2020 දී මෙන්ම මෙවර ද ඉල්ලනු ලැබුවේ IMF හදිසි ණය මුදල් ක්‍රමය වන සීඝ්‍ර මූල්‍යකරණ මෙවලම ණයකි.
එහෙත්, මෙවර IMF විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට, දීර්ඝගත අරමුදල් පහසුකම යටතේ ණය මුදලක් සලකා බැලීමට තීරණය කරන ලදි. දීර්ඝගත අරමුදල් පහසුකම් ණය යනු කොරෝනා වසංගත අර්බුදයට සහනයක් ලෙස ශ්‍රී ලංකාව හැර ණය බරින් පිරි සියළුම රටවල් ඇතුළු රටවල් 85 කට පමණ කඩිනමින් ඩොලර් බිලියන 110 ක් පමණ ලබා දුන් සීඝ්‍ර මූල්‍යකරණ මෙවලම සහ සීඝ්‍ර ණය පහසුකම වැනි ලිහිල් ණය ක්‍රමයක් නොවේ. එමගින් ණය සැපයෙනුයේ, රටෙහි සාර්ව ආර්ථික කළමනාකරණ දත්ත පිළිබඳ දීර්ඝ ඇගයීමක් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කොන්දේසි රාශියක් පදනම් කර ගෙන ය.
එබැවින්, එම කොන්දේසි හරහා ඩොලර් බිලියන 3 ක ණය මුදලක් සඳහා ශ්‍රී ලංකාව IMF ප්‍රාණ ඇපකරුවකු බවට පත් වී ඇත. එනම්, IMF ණය වැඩසටහන අනුමත වීමට පෙරත්, පසුවත්, එවැනි කොන්දේසි රාශියක් ඉටු කිරීමට රජයට සිදු වීම යි.
පෙර කොන්දේසි සඳහා උදාහරණ ලෙස බදු ඉහළ දැමීම, රාජ්‍ය වියදම් සීමා කිරීම, නව සමාජ සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ව්‍යවසායන් රැසක් ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීම, විදේශ ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයන් ලබා දීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මහ බැංකු පනත අහෝසි කොට නව ස්වාධීන මහ බැංකු පනතක් සම්මත කිරීම සහ දුෂණ මර්දන නව නීති පැනවීම යනාදිය දැක්විය හැකිය. එබැවින්, රාජ්‍ය අධිකාරීන් විසින් සෑම ප්‍රතිපත්තියක්ම IMF කොන්දේසි බවට හුවා දක්වන ලදි. එහෙත්, ආර්ථිකයක් යනු IMF කියන කියන කොන්දේසි අනුව ක්‍රියාත්මක කළ හැකි යන්ත්‍රයක් නොවන අතර ශ්‍රී ලංකා රාජ්‍ය අධිකාරීන්ට එය අවබෝධ කර ගැනීමට තවත් කාලයක් යනු ඇත.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය විසින් මෙහෙයවන IMF භූදේශපාලනය ද රහසක් නොවේ. කොන්දේසි පැනවීම, ණය ප්‍රමාද කිරීම, ණය වාරික අත්හිටුවීම, අශුභවාදී ආර්ථික මතයන් සහ පුරෝකතනයන් නිකුත් කිරීම හුදෙක් IMF භූදේශපාලනයේ කොටසකි. ඒ සියල්ල ඉහළ දේශපාලනයෙන් නිරාකරණය කළ හැකිය. මෙවර IMF ණය වැඩසටහනේ කොන්දේසියක් ලෙස දුෂණ මර්දනය ඇතුළු රාජ්‍ය පාලන තන්ත්‍රය පවත්වා ගෙන යන ආකාරය පිළිබඳ ව ද මූලධර්මයන් සහ මෙවලම් නියම කොට ඇත. එය IMF වැඩසටහන්වල ප්‍රථම වරට හඳුන්වා දී ඇති භූදේශපාලනික අංගයකි. එමගින්, රටේ ආර්ථික කළමනාකරණයට අමතරව ව්‍යවස්ථාව සහ රාජ්‍ය පාලනයට ද ඩොලර් බිලියන 3 ක ණය මුදල හරහා IMF මැදිහත් වී ඇත. එය, රටේ ස්වෛරීත්වය විදේශීය බලවේගයන්ට නැවත පාවා දීමකි. IMF යනු සමස්ත ඉල්ලුම සහ මුදල් පාලනය හරහා සාර්ව ආර්ථික කළමනාකරණය කිරීමේ සංකල්පය පෙර දැරි කර ගත් සම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන්ගෙන් පිරි ආයතනයකි. එබැවින්, රාජ්‍ය යහපාලනය එම ආර්ථික මොඩලයේ විචල්‍යයක් නොවන අතර IMF ආර්ථික විද්‍යාඥයන්ගේ විෂයක් නොවේ.
දැනටමත් IMF කොන්දේසි ඉටු කිරීම හරහා ආර්ථිකය IMF නිලධාරීන්ගේ දැඩි ග්‍රහණයට හසු වී ඇති අතර ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ IMF පක්ෂපාතිත්වය හේතුකොට IMF ණය වැඩසටහනින් ඉවත් වීමට හැකියාවක් ද නොමැත. පසුගිය මස කරන ලද IMF ණය වැඩසටහන් පළමු විමර්ශනය සහ දෙවන වාරිකය අත්හිටුවීමේ පසුබිම තුළ, මෙම IMF ණය වැඩසටහන සමකාලීන ශ්‍රී ලංකා ආර්ථිකයට නොගැලපෙන බවටත්, ඉන් බහුතර පොදුජනයාට දැරිය නොහැකි බරක් පැටවෙන බවත්, ඉහළ රාජ්‍ය අධිකාරීන්ට පසක් වී ඇති බව වාර්තා වෙයි. එහෙත්, පාර්ලිමේන්තුවේ ද බහුතර සම්මතය මත ක්‍රියාත්මක කෙරෙන මෙම IMF ණය වැඩසටහන ආපසු හැරවීමට ඔවුන්ට හැකියාවක් හෝ ධෛර්යයක් හෝ විකල්පයක් නොමැති බව පැහැදිලි ය.
එබැවින්, මෘදු ණය පැහැර හැරීමේ ප්‍රතිඵලය ලෙස, ශ්‍රී ලංකාව දැන් IMF ප්‍රාණ ඇපකරුවකු බවට පත් වී ඇති බව ප්‍රකාශ කිරීමේ වරදක් නොමැත.
සමාප්ත සටහන
- ඉහත කරුණු දෙස බලන විට, IMF ණය ඉලක්කයන් ඉටු කෙරෙන පරිදි විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණය සිදුවීමේ කිසිම බලාපොරොත්තුවක් තැබිය නොහැකිය. එහෙත්, ශ්‍රී ලංකාව අන්ත අසරණ ජාතියක් බවට විදේශ ණය හිමියන්ට හැඟී ගිය හොත්, එම අනුකම්පාව මත සැලකිය යුතු ණය වාසියක් රජයට ලැබෙනු ඇත. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යනු අනවශ්‍ය ලෙස කරේ දා ගන්නා ලද උගුලකි.
- සමස්තයක් ලෙස ගත් විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු බංකොලොත් ව්‍යාපාරික සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමේ මූල්‍ය කළමනාකරණ ක්‍රමයක් වන අතර එය රාජ්‍ය ණයවලට යෝග්‍ය නොවේ. ඊට හේතුව, රාජ්‍ය ණය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සංකල්පයන් සහ ක්‍රියාකාරකම් ව්‍යාපාරික මූල්‍ය ක්‍රියාකාරකම් සමඟ සැසඳිය නොහැකි බැවිනි. එබැවින්, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිරන්තරයෙන් අසමත්වන බව ගෝලීය අත්දැකීම්වලින් පැහැදිලි වෙයි.
- එබැවින්, ආර්ථික බලධාරීන් විසින් මෙතෙක් තම අසාර්ථකත්වය වසා ගැනීම සඳහා ළඟදීම IMFවලින් වෙනස් වූ තවත් විකල්පයන් ඉදිරිපත් කිරීමට පෙළඹෙනු ඇත. එය ද මහජන යහපත සඳහා කෙරෙන බවට දේශනාවන් කරනු ඇත.
- එහෙත්, සත්‍ය වශයෙන් සිදු වනුයේ, ඔවුන් විසින් පැරණි අත්සන් තබමින් මහජන තනතුරු බුක්ති විඳීම යි. එය ඕනෑ කෙනෙකුට කළ හැකිය. ඒ සඳහා ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් අවශ්‍ය නොවේ.
- එබැවින්, අඛණ්ඩව පවතින බංකොලොත් ආර්ථික තත්ත්වය තුළ ජාතිය වෙනුවෙන් ඔවුන්ට කළ හැකි එකම සේවය වන්නේ, තම අසාර්ථකත්වය තේරුම් ගෙන, එම තනතුරුවලින් ඉවත් වී, නව ආර්ථික සංවර්ධන එළඹුමක් ඉදිරිපත් කොට වගකීම භාර ගන්නා පුද්ගලයන්ට ඉඩ දීම යි. එසේ නොවුව හොත්, පලස්තීන ගාසා තීරයේ ජනතාවට සිදු වී ඇති ආකාරයට, ඉදිරි පරම්පරා කිහිපයක ශ්‍රී ලාංකික පොදුජනතාවට ගෝලීය ආර්ථික ගාසා තීරයක ජීවත් වීමට සිදු වනු නියතය. රාජ්‍ය නායකයන් ද තම පැවැත්ම සඳහා උපකාරී වන බැවින් ගාසා තීරයන්ට ඇල්ම දැක්වීම සුලබ දසුනකි.
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
Comments
Post a Comment