පොදුජන ආර්ථිකය බංකොලොත් කළ ස්වෛරීත්ව බැඳුම්කර (ISB) උගුලෙන් ගොඩ ඒමට හැකි ද?

 


මේ දිනවල දැඩි දේශපාලනික වාද විවාදවලට ලක් වී ඇති මාතෘකාවක් වන්නේ ඉදිරියේ දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (International Sovereign Bonds) ආපසු ගෙවීමට රජය විසින් මුහුණ දෙන මුදල් හිඟය යි. එය දෙයාකාර වෙයි. එනම්, මහ බැංකුව සතු විදේශ සංචිතය හීන වීම හේතු කොට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් ඩොලර් සංචිත නොමැති වීමත්, ඩොලර් කෙසේ හෝ සංචිතයට සපයා ගත්ත ද, ඒ සඳහා ගෙවීමට රජයට රුපියල් අරමුදල් හිඟ වීමත් ය. 

එබැවින්, පසුගිය ජනවාරි මස 18 දින අඛණ්ඩ රාජ්‍ය ණය ගෙවීමේ මානසික වාර්තාව පවත්වා ගැනීම සඳහා ඉතා අමාරුවෙන් ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවා දැමීම තුළින් පොදුජන ආර්ථිකය බංකොලොත් භාවයට දැමූ බව නොරහසකි. ආර්ථිකයේ හුස්ම පවත්වා ගැනීම සඳහා එය ජාත්‍යන්තර සම්මතයන් අනුව ප්‍රතිව්‍යුහගත කරන ලෙස ආර්ථික වියතුන් විසින් ඉල්ලා සිටිය ද, රාජ්‍ය ණය කළමනාකරු සහ නිල මූල්‍ය උපදේශක වන මහ බැංකුව විසින් එය නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරන ලදි. 

තවත් ඩොලර් මිලියන 1,000 ක බැඳුම්කරයක් පොලිය සමඟ එන ජූලි මාසයේ දී ගෙවීමට නියමිතය. මෙහිදී, අඛණ්ඩ රාජ්‍ය ණය ගෙවීමේ මානසික වාර්තාව බිඳීමට සිදු වන බව නොරහසකි. එබැවින්, රජය විසින් ණය ප්‍රතිව්‍යුහකරණ වැඩපිළිවෙලකට යොමු වී ඇති බව මාධ්‍යය විසින් වාර්තා කොට ඇති බැවින් මෙම ස්වෛරීත්ව බැඳුම්කර යනු මොනවා ද? යන්න පිළිබඳ දැනුමක් ලබා ගැනීම මහජනයාට ප්‍රයෝජනවත් වනු ඇත.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර 2007 වර්ෂයේ දී රාජ්‍ය ණය කළමනාකරු වශයෙන් මහ බැංකුව විසින් හඳුන්වා දුන් අතර මෙම බැඳුම්කර හරහා ලබා ගෙන ගෙවීමට නියමිත ණය ප්‍රමාණය 2021 අවසානයේ දී  ඩොලර් මිලියන 13,050 ක් විය. එය, ගෙවීමට ඇති මුළු රාජ්‍ය ණයවලින් (එනම් රුපියල් බිලියන 17,343) 15.1% ක් පමණ විය. එබැවින්, එය රාජ්‍ය ණය මූලයක් වශයෙන් ඉහළ මට්ටමක් ගෙන ඇත.

ස්වෛරීත්ව බැඳුම්කර හඳුන්වා දීමේ මූලික අරමුණ වූයේ එම මුදල් රජයේ විශේෂිත සංවර්ධන ව්‍යාපෘති සඳහා භාවිතා කිරීම නොව, එමගින් රැස් කර ගන්නා ඩොලර් මුදල් මහ බැංකුවේ විදේශ සංචිත මූලයක් ලෙස භාවිතා කිරීම යි. එබැවින්, මහ බැංකුව විසින් කලින් කලට මෙම බැඳුම්කර තම අභිමතය පරිදි රජයේ අනුමැතිය ද මත නිකුත් කොට ඩොලර් රැස් කර ගෙන, එහි වටිනාකම රුපියල්වලින් රජයට ප්‍රේෂණය කළ අතර එම ඩොලර් ප්‍රමාණය මහ බැංකුවේ සංචිතයට එකතු කෙරින. එසේම, එම බැඳුම්කර කල් පිරෙන විට නව බැඳුම්කර නිකුත් කොට රැස් කර ගන්නා ඩොලර්වලින් එම ණය පියවීම සාමාන්‍ය පිළිවෙත විය. එබැවින්, මහ බැංකුවේ විදේශ සංචිතය ගොඩ නැගීම සහ පවත්වා ගෙන යාම සඳහා ස්වෛරීත්ව බැඳුම්කරවලින් විශාල මෙහෙයක් ඉටු විය.

ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම

රජයේ අනුමැතිය මත මහ බැංකුව විසින් පත් කෙරෙන ජාත්‍යන්තර ආයෝජන බැංකු කණ්ඩාමක් විසින් මෙම බැඳුම්කර නිකුතු කළමනාකරණය සිදු කෙරේ. එම කණ්ඩායමට සිටි බැංකුව, ඩොයිෂ් බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව, එච් එස් බී සී බැංකුව, ජේපී මෝගන් චේස් බැංකුව වැනි ජාත්‍යන්තර බැංකුවල ආයෝජන බැංකු ඒකකයන් අයත් වෙයි.

ශ්‍රී ලංකාවේ අදාළ නිලධාරීන් සහ ආයෝජකයන් අතර බැඳුම්කර ප්‍රවර්ධන රැස්වීම් සංවිධානය, බැඳුම්කර අළෙවිකරණ වාර්තාව නිකුත් කිරීම, වෙන්දේසිය ප්‍රකාශයට පත් කොට ලංසු රැස් කිරීම, ප්‍රකාශිත මුළු මුදල සඳහා ලංසු අනුව සමස්ත පොලී අනුපාතය තීරණය කිරීම, තෝරා ගත් ලංසු ආයෝජකයන් වෙත බැඳුම්කර බෙදා හැරීම සහ බැඳුම්කර නිකුතුව සිංගප්පූරු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කිරීම යනාදිය ආයෝජන බැංකු කණ්ඩාමේ කාර්යය යි.

ඒ සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ශ්‍රී ලංකාවේ නීතිපති, ජාත්‍යන්තර නීති වේදීන් කිහිප දෙනෙකු සහ දේශීය නීති වේදීන් කිහිප දෙනෙකු විසින් සැපයේ.

ස්වෛරීත්ව බැඳුම්කර වෙන්දේසිය පැවැත්වීම

පළමුව, ආයෝජක බැංකු කණ්ඩායම විසින් බැඳුම්කර අළෙවිකරණ වාර්තාව මූල්‍ය වෙළෙඳපොළට නිකුත් කෙරෙන අතර එදින සිට වෙන්දේසි දිනය නිම වන තෙක් අදාළ බැඳුම්කරය හෝ ඊට බලපාන කරුණු පිළිබඳ ව ප්‍රකාශනයන් හෝ අදහස් නිකුත් කිරීමෙන් ශ්‍රී ලංකා රාජ්‍ය අධිකාරීන් වැලකී සිටිය යුතුය. ඊට පසුව, ආයෝජක බැංකු කණ්ඩායමේ නිර්දේශයන් සැලකිල්ලට ගෙන වෙන්දේසි සඳහා සුදුසු දිනය මහ බැංකුව විසින් තීරණය කරනු ඇත. ඒ අනුව, ආසියානු වෙළෙඳපොළ දිනය ආරම්භයේ ලංසු කැඳවීම ආරම්භ කොට, එය යුරෝපීය සහ ඇමෙරිකානු වෙළෙඳපොළ ආවරණය කොට දිනය තුළ නිම කරනු ඇත.

ලංසු කැඳවීම ආරම්භයේ ආයෝජක බැංකු කණ්ඩායම විසින් ආසියානු වෙළෙඳපොළට බැඳුම්කරය සඳහා අපේක්ෂිත ප්‍රථම මිල හෙවත් පොලී මාර්ගෝපදේශයක් (Initial Price Guidance) නිකුත් කෙරේ. මෙම පොලී අනුපාතය යනු බැඳුම්කර පරිණත කාලයට ඵලදා අනුපාතය යි. ඒ අනුව ලැබෙන ලංසු මිල ප්‍රවණතාවන් සැලකිල්ලට ගෙන අවසන් මිල/පොලී අනුපාත මාර්ගෝපදේශයක් (Final Price Guidance) නිව්යෝර්ක් වෙළෙඳපොළට සැපයෙයි. එය සාමාන්‍යයෙන් ප්‍රථම මිල/පොලී මාර්ගෝපදේශයට වඩා ශ්‍රී ලංකාවට වාසි දායක එකක් බව මෑත වෙන්දේසිවලින් පෙනේ.

එබැවින්, ඉහළ පොලී අනුපාත මාර්ගෝපදේශයක් සපයා ලංසු හරහා ඊට වඩා පහළ පොලී අනුපාතයක් ලැබීම තුළින් මාර්ගෝපදේශයේ නිර්ණායකය අභියෝගයට ලක් වනු ඇත. එසේම, ලංසු භාර ගැනීම අවසන් කිරීමට පෙර ලංසු ලැබෙන අතරම ඒවායේ මිල ගණන් ආයෝජක බැංකු නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන බව ද ඉන් පෙනේ. එය වෙන්දේසි සහ මිල ගවේෂණ මූල ධර්මයන්ට පටහැනි වෙයි. ජාත්‍යන්තර බැඳුම්කර හරහා අරමුදල් රැස් කිරීමේ දී ආයෝජන බැංකු විසින් සිදු කෙරෙන මූල්‍ය අක්‍රමිකතාවන් පිළිබඳ කදිම මෑත උදාහරණය වන්නේ මැලේසියාවේ 1MDB සංවර්ධන යෝජනා ක්‍රමය යි.

නිව්යෝර්ක් වෙළෙඳපොළ ලංසු ලබා ගැනීම අවසානයේ ආයෝජක බැංකු කණ්ඩායමේ නිර්දේශය අනුව බැඳුම්කරයේ පොලී අනුපාතය සහ ලබා ගන්නා මුදල් ප්‍රමාණය මහ බැංකුව විසින් තීරණය කරනු ඇත. මෙම තීරණය වෙන්දේසිය අවසාන වූ විගස මහ බැංකු නිලධාරීන් සහ ආයෝජක බැංකු කණ්ඩායම අතර පැවැත්වෙන සම්මන්ත්‍රණ දුරකතන සාකච්ඡාවක දී ගනු ලැබේ. එහෙත්, ලංසු මිල ගණන් පිළිබඳ විස්තර මහ බැංකු නිලධාරීන් වෙත මෙහිදී හෙළි නොකෙරේ. ඒ අනුව, තීරණය ගත් විගස මහ බැංකුව විසින් වෙන්දේසියේ ප්‍රතිපල පිළිබඳ  පුවත්පත් නිවේදනය නිකුත් කෙරේ. එමගින්, ලැබූ ලංසු ප්‍රමාණය, පිළි ගත් මුළු මුදල, පොලී අනුපාතය සහ ආයෝජක කණඩායම් අනුව පිළි ගත් ලංසු ප්‍රතිශතයන් පිළිබඳ කෙටි ප්‍රකාශනයක් ඉදිරිපත් කෙරේ.

ස්වෛරීත්ව බැඳුම්කර පොලී අනුපාතය 

මෙහිදී, වෙන්දේසියේ දී පිළි ගත් ලංසුවල භරිත සාමාන්‍ය ඵලදා අනුපාතය, බැඳුම්කරයේ මුහුණත ඒකක වටිනාකම වන ඩොලර් 100 මත පොලී ප්‍රදානය කෙරෙන වාර්ෂික පොලී හෝ සලාක අනුපාතය ලෙස ප්‍රකාශ කෙරේ. එබැවින්, එක් එක් ලංසුවල ඉදිරිපත් වී ඇති පොලී අනුපාතයන් හෝ මිල ගණන් නොසලකා පිළි ගත් සියළු ලංසු හිමියන් විසින් මුහුණත වටිනාකම ගෙවිය යුතු අතර ඒ සඳහා ඉහත දැක්වූ පොලී අනුපාතය මත වාර්ෂිකව පොලී ගෙවීම සිදු කෙරේ. එම පොලී අනුපාතය බැඳුම්කර පරිණත කාලය පුරා ස්ථාවරව පවතී.

ස්වෛරීත්ව බැඳුම්කර ද්විතීය වෙළෙඳපොළ

නිකුත් කරන ලද බැඳුම්කරය සඳහා වෙන්දේසි දිනට පසු දින සිට ද්විතීය වෙළෙඳාම සිංගප්පූරු කොටස් වෙළෙඳපොළේ ආරම්භ වනු ඇත. මෙතෙක් නිකුත් කොට කල් පිරීමට ඇති සියළු බැඳුම්කර එසේ වෙළෙඳාම් වනු ඇත. කල් පිරීමට ඉතිරි පරිණත කාලය, බැඳුම්කර පොලී අනුපාතය සහ ආයෝජකයන්ගේ අපේක්ෂණයන් සහ අවදානම් ඇගයීම අනුව ඒ ඒ බැඳුම්කරයේ වෙළෙඳ මිල ගණන් තීරණය වනු ඇත. එය මුහුණත මිල වන ඩොලර් 100 හෝ ඊට අඩු (වට්ටමක්) හෝ ඊට වැඩි (අතිරික්තයක්) විය හැකිය. 2020 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව බැඳුම්කරවල සමස්ත වෙළෙඳපොළ වටිනාකම සමස්ත මුහුණත වටිනාකමින් 2019 අවසානයේ දී 93.7% ක් (6.3% ක වට්ටම් මිලක්) ද, 2020 අවසානයේ දී 53.8% ක් (46.2% ක වට්ටම් මිලක්) ද විය.

ද්විතීය වෙළෙඳපොළේ මෙම බැඳුම්කර මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලට අවසර දී ඇත. මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව 2020 අවසානයේ මුළු ස්වෛරීත්ව බැඳුම්කර වටිනාකමින් 15.9% ක් පමණ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සතුව පැවතින.

ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු සහ ආපසු ගෙවීම් ප්‍රවණතාවන්

2007 වර්ෂයේ සිට 2019 වර්ෂය අවසානය තෙක් බැඳුම්කර 18 ක් නිකුත් කොට ඇත. ඉන් 8 ක් වර්ෂ 5 ක පරිණත කාලය සඳහා ද ඉතිරි 10 වර්ෂ 10 ක පරිණත කාලය සඳහා ද විය. බැඳුම්කර මගින් රැස් කර ගෙන ඇති මුළු මුදල ඩොලර් මිලියන 17,550 ක් වූ අතර ඉන් ඩොලර් මිලියන 5,000 ක් හෙවත් 28.5% මේ දක්වා නියමිත දින ආපසු ගෙවා ඇත (පහත සංඛ්‍යා සටහන බලන්න). ඒ අනුව, තවත් ඩොලර් මිලියන 12,550 ක පමණ මුදලක් (71.5% ක්) 2022-2029 කාලය තුළ ගෙවීමට නියමිතය. 2014-2019 කාලය තුළ බැඳුම්කර නිකුත් කිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එය මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 77% ක් පමණ විය.

බැඳුම්කර පොලී අනුපාතයන් වර්ෂ 5 ක පරිණත කාලය සඳහා 5.125% -8.25% දක්වා ද, වර්ෂ 10 ක පරිණත කාලය සඳහා 5.875% -7.85% දක්වා ද වාර්තා වෙයි. එබැවින්, වාර්ෂික පොලී ගෙවීම සඳහා ද ඩොලර් සොයා ගැනීමට රජයට සිදු වී ඇත. උදාහරණ ලෙස මෙම වර්ෂයේ දී ඩොලර් මිලියන 780 ක පමණ මුදලක් පොලී ගෙවීම සඳහා අවශ්‍ය වෙයි.

මෙම බැඳුම්කර රාජ්‍ය ණය රැස් කිරීමේ මූලයක් ලෙස අඛණ්ඩව ඉහළ ගොස් ඇත. එය ගෙවීමට ඇති මුළු රාජ්‍ය ණයවල ප්‍රතිශතයක් ලෙස 2007 වර්ෂයේ 1.8% සිට 2019 වර්ෂයේ දී 21% දක්වා ඉහළ ගොස් ඇත. 2020 සහ 2021 වර්ෂවල නව බැදුම්කර නිකුත් කිරීමක් නොමැතිව ඩොලර් මිලියන 2,000 ක පමණ බැඳුම්කර ආපසු ගෙවීම හේතු කොට එම ණය ප්‍රතිශතය 15.1% දක්වා පහළ ගොස් ඇත.

මෙසේ බැඳුම්කර ප්‍රමාණය ඉහළ යාමට හේතුව මහ බැංකුව විසින් තම විදේශ සංචිතය පවත්වා ගැනීමට අවශ්‍ය ඩොලර් මුදල් රැස් කර ගැනීම පිණිස වැඩි වැඩියෙන් මෙම බැඳුම්කර නිකුත් කිරීමට පෙළඹීම යි. උදාහරණ ලෙස 2019 වර්ෂයේ විදේශ සංචිතයෙන් 58% ක් පමණ රැස් කර ගෙන ඇත්තේ නව බැඳුම්කර නිකුතුව මගිනි. මුළු බැඳුම්කර ප්‍රමාණය මුළු විදේශ සංචිතයේ ප්‍රතිශතයක් ලෙස 2011 දී 44% සිට 2021 දී 575% දක්වා වේගයෙන් ඉහළ ගොස් ඇත.


වත්මන් ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කර අර්බුදය

එහෙත්, වර්තමානයේ මෙම බැඳුම්කර ණය ආපසු ගෙවීමේ හෝ සේවාකරණ අර්බුදයකට ශ්‍රී ලංකා රජය මුහුණ දෙන බව රහසක් නොවේ. ඊට හේතුව, මහ බැංකුවේ විදේශ සංචිතය මෑත දශක දෙක තුළ වාර්තා වූ පහළම මට්ටමකට හීන වීමත්, නව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමට නොහැකි වීමත් ය. 2020 වර්ෂය ආරම්භයේ සිට නව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම සිදු නොකළ අතර මේ දක්වා ඩොලර් මිලියන 2,500 ක පමණ බැඳුම්කර ප්‍රමාණයක් විදේශ සංචිතය සහ වෙනත් කෙටි කාලීන විදේශ ණය මූලාශ්‍රයන් ඇසුරින් ආපසු ගෙවා ඇත. මෙම වසර ජූලි මස තවත් ඩොලර් මිලියන 1,000 ක බැඳුම්කරයක් ආපසු ගෙවීමට නියමිතය.

2022-2029 කාලය තුළ ගෙවීම නියමිත බැඳුම්කර ප්‍රමාණය ඩොලර් මිලියන 12,550 ක් පමණ වන අතර වර්තමානයේ ආර්ථිකය මුහුණ දෙන විදේශ මූල්‍ය අර්බුදය දෙස බලන විට එතරම් මුදල් ප්‍රමාණයක් රැස් කිරීමේ ඉලක්කයන් පහසු නොවේ. ඊට අමතරව, බැඳුම්කර සඳහා පොලී ගෙවීම සඳහා ද අරමුදල් රැස් කළ යුතුය.

  • ජාත්‍යන්තර ණය ශ්‍රේණි ගැටළුව

නව ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් නොකිරීමට ප්‍රධාන හේතුවක් වූයේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිය ඉතා ඉහළ ණය අවදානමක් පෙන්වන පහළ මට්ටමකට වැටීම යි.

ශ්‍රී ලංකාව විසින් ලෝකයේ ප්‍රචලිත ණය ශ්‍රේණි ආයතන තුන මගින් ණය ශ්‍රේණි සේවය ලබා ගැනීම මූලික වශයෙන් ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම සඳහා අවශ්‍ය පදනම් සාධකයක් ලෙස සිදු කොට ඇත. දැනට ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ෆිච් ආයතනයට අනුව ඉහළම ණය ශ්‍රේණියේ සිට ශ්‍රේණි 18 ක් පමණ පහළ මට්ටමක පවතී. එනම්, පහළම ණය ශ්‍රේණිය වන ණය පැහැර හැරීමේ සිට මට්ටම් 2 ක් පමණක් ඉහළිනි. මෙය ණය පැහැර හැරීමට බොහෝ ඉඩකඩ ඇති මට්ටම ලෙස දැක්වෙයි.

පහළ ණය ශ්‍රේණියට හේතුව වනුයේ ණය ශ්‍රේණිය ඇගයීමේ නිර්ණායකයන් අනුව ශ්‍රී ලංකා ආර්ථිකයේ පවතින දුබලතාවයන් ය. දැනට ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළු විදේශ ණය වගකීම් ආපසු ගෙවීම සහ වෙළෙඳ හිඟය පියවීම පිණිස අවශ්‍ය විදේශ මුදල් සොයා ගැනීම සඳහා මුහුණ දෙන අර්බුදය දෙස බලන විට මෙසේ ණය ශ්‍රේණිය පහළ මට්ටමකට කපා දැමීම පිළිබඳ ව පුදුම විය යුතු නැත.

  • ඉහළ පොලී අනුපාත අවදානම

මෙවැනි ණය ශ්‍රේණියක් සමඟ වුව ද ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමට හැකියාව පවතී. එහෙත්, මෙහිදී ශ්‍රී ලංකාවේ ණය අවදානම ඉහළ බැවින් ඉහළ පොලී අනුපාතයක් ගෙවීමට සිදු වනු ඇත. උදාහරණ ලෙස පසුගිය ජනවාරි මස 22 දින දේශීය මූල්‍ය වෙළෙඳපොළේ වෙන්දේසි කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා තීරණය වූ පොලී අනුපාතයන් වූයේ මාස 5 සඳහා 7.7% සිට මාස 14 සඳහා 8.0% ලෙස ය. එසේම, අන්තර් බැංකු කෙටි කාලීන ඩොලර්-රුපියල් මුදල් හුවමාරු ගිවිසුම්වල ඉදිරි විනිමය අනුපාතයන් තීරණය කිරීමේ දී යොදා ගන්නා ඩොලර් පොලී අනුපාතය සඳහා 10% ක උපරිමයක් මෑතදී මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට නියම කොට ඇත.

දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 6 ක පමණ ණය වැඩපිළිවෙලක් සහ B - ස්ථායී ණය ශ්‍රේණියක් (ෆිච් ණය ශ්‍රේණිය) (ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියට වඩා මට්ටම් දෙකක් ඉහළ) සහිත පකිස්ථානය විසින් පසුගිය ජනවාරි 25 දින නිකුත් කරන ලද ඩොලර් බිලියනයක පමණ 7 අවුරුදු ජාත්‍යන්තර බැඳුම්කරය සඳහා පොලී අනුපාතය 7.95% ක් විය. එම ණය මුදල ස්ලාමීය සුකුක් බැඳුම්කරයක් වූ බැවින් ලාහෝර්-ස්ලාමාබාද් මෝටර් රථ මාර්ගයේ කොටසක් ද එයට ඇපයක් ලෙස තබන ලදි. 2007 සිට නිකුත් කොට ඇති ශ්‍රී ලංකා ස්වෛරීතව බැඳුම්කර පොලී අනුපාතයන් සාමාන්‍යයෙන් 5.75%-6.85% මට්ටමේ (නිකුතූන් 14 ක්) වූ අතර 7%-8.25% මට්ටමේ පොලී අනුපාතයන් සහිත බැඳුම්කර නිකුතූන් 4 ක් විය.

  • විකල්ප අරමුදල් මූලයන්ගේ අවදානම

එබැවින්, රජය විසින් විදේශ ණය ගෙවීම සඳහා අරමුදල් රැස් කර ගැනීම පිණිස මූල්‍ය ප්‍රවාහ සංකල්පය මත පදනම් වී විදේශ මුදල් හුවමාරු වැනි ඉතා කෙටි කාලීන ද්විපාර්ශවීය ණය කෙරෙහි යොමු වී ඇත. එසේම, වත්කම් මූල්‍යකරණය ලෙස හුවා දක්වමින් පොදු දේපළ අළෙවිය තුළින් විදේශ අරමුදල් රැස් කිරීම ද කෙටි කාලීන සැලසුම්වල දැක්වෙයි.

මීට හේතුව, ශ්‍රී ලංකාවේ සාපේක්ෂ වාසි ආර්ථික ශක්තිය තුළින් විදේශ විනිමය ජනිත කිරීම හරහා තම විදේශ සංචිතය ගොඩ නැගීම සඳහා මහ බැංකුව විසින් තිරසාර මූල්‍ය ප්‍රතිපත්ති නොගැනීම වන අතර තවදුරටත් රාජ්‍ය විදේශ ණය සහ වත්කම් ගනුදෙනු මත විදේශ සංචිත ඉලක්ක සැකසීම තුළින් සාර්ව ආර්ථික කළමනාකරණ පදනමේ පවතින අර්බුදය විදහා දැක්වෙයි.

මේ අනුව, ස්වෛරීත්ව බැඳුම්කර යනු මහ බැංකුවේ විදේශ සංචිතය කළමනාකරණය සඳහා මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යය යොදා ගැනීම තුළින් රාජ්‍ය ණය සහ විදේශ සංචිතය යන දෙකම අර්බුදයට පත් වීම විදහා දැක්වෙන කදිම නිදසුනකි. රාජ්‍ය ණය සහ විදේශ සංචිතය යනු සංවර්ධනය වන රටවල සාර්ව ආර්ථික කළමනාකරණයෙහි ප්‍රධාන කුළුණු දෙකකි. එම කුළුණු දෙක එකිනෙකට සම්බන්ධ වූ විට සාර්ව ආර්ථිකයට ඇති පද්ධති අවදානම ඉතා ඉහළ වෙයි. 

එබැවින්, රජයට අවම පිරිවැයක් සහ අවම අවදානමක් සහිතව රාජ්‍ය ණය කළමනාකරණය කෙරෙන බවට අදාළ අධිකාරීන් විසින් නිරන්තරයෙන් ප්‍රකාශ කොට ඇති බැවින් එය ස්වෛරීත්ව බැඳුම්කර සඳහා සිදු වී ඇත් ද? යන්න ඇගයීමට මෙය කදිම අවස්ථාවකි. එය වත්මන් සාර්ව ආර්ථිකය මුහුණ දෙන පද්ධති අවදානම කළමනාකරණය කිරීම සඳහා අතිශයින් උපකාරී වනු ඇත.

(මෙම ලිපිය රාජ්‍ය සුරැකුම්පත් පිළිබඳ අධ්‍යයනයට උනන්දුවක් දක්වන සිසුන්, ගුරුවරුන් සහ වෘත්තිකයන් ඉලක්ක කොට සකසා ඇත. මීට පෙර පළ කරන ලද ලිපි තුනෙන් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර යන රාජ්‍ය සුරැකුම්පත් පිළිබඳ ව හැඳින්වීමක් ඉදිරිපත් කෙරින)

පි. සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි