ශ්‍රී ලංකා සංවර්ධනය නොදුටු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (Sri Lanka Development Bonds)

 


ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර  යනු දේශීය වෙළෙඳපොළෙන් ඩොලර් මුදලින් ණය ගැනීම සඳහා නිකුත් කෙරෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ගයක් වෙයි. මහ බැංකුවේ පුවත් පත් දැන්වීම් අනුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර යනු ඇමෙරිකන් ඩොලර් වටිනාකමින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර (Treasury bonds denominated in US Dollar) වෙයි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරෙන්නේ ලියා පදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත (Registered Stocks and Securities Ordinance) යටතේ ය. මෙම ණය ඩොලර් මුදලින් රැස් කළ ද, එය දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් රැස් කෙරෙන බැවින් දේශීය රාජ්‍ය ණය යටතේ වාර්තා කෙරේ.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර 2001 වර්ෂයේ දී රාජ්‍ය ණය කළමනාකරු වශයෙන් මහ බැංකුව විසින් හඳුන්වා දුන් අතර මෙම බැඳුම්කර හරහා ලබා ගෙන ගෙවීමට නියමිත ණය ප්‍රමාණය 2021 සැප්තැම්බර් මාසය අවසානයේ දී  මුළු රාජ්‍ය ණයවලින් 2.7% ක් පමණ විය. එය 2010 වර්ෂයේ දී 3.5% සිට 2015 දී 7.9% දක්වා ඉහළ ගිය අතර ඊට පසුව අඛණ්ඩව 2021 දී 2.7% දක්වා පහළ ගොස් ඇත. එබැවින්, එය රාජ්‍ය ණය මූලයක් වශයෙන් එතරම් සැලකිය යුතු වැදගත්කමක් නොවීය.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හඳුන්වා දීමේ අරමුණ වූයේ එම මුදල් රජයේ විශේෂිත සංවර්ධන ව්‍යාපෘති සඳහා භාවිතා කිරීම නොව, එමගින් රැස් කර ගන්නා ඩොලර් මුදල් මහ බැංකුවේ විදේශ සංචිත මූලයක් ලෙස භාවිතා කිරීම යි. එබැවින්, මහ බැංකුව විසින් කලින් කලට මෙම බැඳුම්කර තම අභිමතය පරිදි නිකුත් කොට ඩොලර් රැස් කර ගෙන, එහි වටිනාකම රුපියල්වලින් රජයට ප්‍රේෂණය කළ අතර එම ඩොලර් ප්‍රමාණය මහ බැංකුවේ සංචිතයට එකතු කෙරේ. එසේම, එම බැඳුම්කර කල් පිරෙන විට නව බැඳුම්කර නිකුත් කොට රැස් කර ගන්නා ඩොලර්වලින් එම ණය පියවීම සාමාන්‍ය පිළිවෙත වී ඇත.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසි පැවැත්වීම

මෙම බැඳුම්කර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් වෙන්දේසි හරහා නිකුත් කෙරේ. ලංසුවක අවම අගය ඩොලර් 10,000 කින් යුක්ත වන අතර එය ඩොලර් 10,000 ගුණාකාරයෙන් වැඩි කළ හැකිය. දැනට වෙන්දෙසිවලට ලංසු ඉදිරිපත් කිරීමට අනුමත නියෝජිතයන් 22 ක් වෙයි. එනම්, වාණිජ බැංකු 17 ක් සහ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළෙඳුන් 5 ක් ඊට අයත් වෙයි.

විදේශිකයන්, විදේශ පුරවැසිකම් ලබා ඇති ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලංකාවේ පුද්ගලික විදේශ මුදල් ගිණුම්, ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් සහ එතෙර බැංකු ගිණුම් හිමියන්, විදේශ විනිමය වෙළෙඳුන් ලෙස බලපත්‍ර ලබා ඇති වාණිජ බැංකු සහ විදේශ මුදල් තැන්පතු භාර ගැනීමට අවසරය ඇති විශේෂිත බැංකු සහ මූල්‍ය සමාගම් යනාදියට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට අවසර ඇත.

නියමිත දින ණය සේවාකරණ ගෙවීම් (පොලී ගෙවීම සහ ණය මුදල ගෙවීම) රජයේ සංවර්ධන බැඳුම්කර ගෙවුම් නියෝජිතයා විසින් සිදු කෙරේ. වර්තමානයේ ලංකා බැංකුව ගෙවුම් නියෝජිතයා ලෙස ක්‍රියා කෙරේ.

සංවර්ධන බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම

මෙහිදී, භාණ්ඩාගාර බැඳුම්කර මෙන් ඒකක මිල ගණන් මත ලංසු ඉදිරිපත් නොකෙරේ. ඒ වෙනුවට, පොලී අනුපාතයන් සඳහා ලංසු ඉදිරිපත් කෙරේ. එනම්, ස්ථාවර පොලී අනුපාතය සහ විචල්‍ය/පාවෙන පොලී අනුපාතය ලෙස ය. භාණ්ඩාගාර බැඳුම්කරවල මෙන් මාස 6 කට වරක් බැඳුම්කර හිමියන්ට අදාළ ලංසු පොලී අනුපාතය මත පොලී ගෙවීම සිදු කෙරේ. ස්ථාවර පොලී අනුපාතය යනු පිළි ගත් ලංසු පොලී අනුපාතය බැඳුම්කර පරිණත කාලය පුරා නොවෙනස්ව පැවතීම යි. උදාහරණ ලෙස 2% හෝ 4% දැක්විය හැකිය.

විචල්‍ය පොලී අනුපාතය යනු බැඳුම්කර සඳහා පොලී ගෙවීම ලන්ඩන් අන්තර් බැංකු වෙළෙඳපොළේ පවතින ලයිබෝර් පොලී අනුපාතය අනුව සිදු කිරීම යි. මෙහිදී, ඒ ඒ බැඳුම්කරය සඳහා අදාළ ලයිබෝර් පොලී අනුපාතය වෙන්දේසියේ දී ප්‍රකාශ කෙරෙන අතර ඒ මත පොලී ලැබීම සඳහා අතිරේක පොලී ආන්තිකයක් ලංසුවල ඉල්ලා සිටිය හැකිය. උදාහරණ ලෙස වර්ෂ දෙකක බැඳුම්කරයක් සඳහා මාස 6 ලයිබෝර් (LIBOR) පොලී අනුපාතයට 2% ක ආන්තිකයක් මත ඩොලර් 20,000 ක ලංසුවක් ඉදිරිපත් කල හැකිය. එම ලංසුව පිළි ගැනේ නම්, පොලී ගෙවන දින පවතින මාස 6 ලයිබෝර් පොලී අනුපාතය සහ තවත් 2% ක් මත පොලිය ගෙවනු ලැබේ. එබැවින්, ලංසු හිමියන් විසින් තරගකාරීව ඉහළ ආන්තිකයක් ලබා ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කෙරේ.

සාමාන්‍යයෙන් ස්ථාවර පොලී අනුපාතය සහ විචල්‍ය පොලී අනුපාතය යන දෙකම සඳහා ලංසු කැඳවීම අතීතයේ දී සිදු කළ ද, මෑත කාලීන වෙන්දෙසිවල දී ස්ථාවර පොලී අනුපාතය සදහා පමණක් ලංසු කැඳවීම වාර්තා වෙයි. එසේම, වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන මුලු ණය ප්‍රමාණය පමණක් ප්‍රකාශ කෙරෙන අතර වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන බැඳුම්කර සඳහා ලංසු හිමියන්ගේ අභිමතය පරිදි ලංසු ඉදිරිපත් කළ හැකිය.

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලංසු තත්කාලීන විද්‍යුත් වේදිකාවක් හරහා ඉදිරිපත් කෙරෙන අතර ලංසු ලේඛනය ද විද්‍යුත් ක්‍රමයට සැකසෙයි. එහෙත්, සංවර්ධන බැඳුම්කර සඳහා එවැනි විද්‍යුත් වේදිකාවක් නොමැති අතර වෙන්දේසි නියෝජිතයන් විසින් විද්‍යුත් තැපෑල හරහා ලංසු ඉදිරිපත් කෙරේ. පසුව, ලංසු ලේඛනය සැකසීම අතින් සිදු කෙරේ.

සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම සහ ද්විතීය වෙළෙඳපොළ

එසේම, භාණ්ඩාගාර බැඳුම්කර නිර්ලේඛන ලෙස නිකුත් කිරීම සහ වෙළෙඳාම සිදු කළ ද, සංවර්ධන බැඳුම්කර ලේඛන/සහතික පත්‍ර ලෙස නිකුත් කෙරේ. එබැවින්, සංවර්ධන බැඳුම්කර ද්විතීය වෙළෙඳාමේ දී එම සහතික පත්‍රය පිටසන් කොට නව ආයෝජකයා වෙත භාර දිය යුතුය. එය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත ලියා පදිංචි කිරීම හරහා සිදු කළ යුතුය.

එබැවින්, භාණ්ඩාගාර බැඳුම්කරවල මෙන් නොව සංවර්ධන බැඳුම්කර දාරක බැඳුම්කර (Bearer Bonds) (පිටසන් නොකර පැවරිය හැකි බැඳුම්කර) නොවේ. එසේම, භාණ්ඩාගාර බැඳුම්කරවල මෙන් නොව සංවර්ධන බැඳුම්කර සඳහා සංවිධිත ද්විතීය වෙළෙඳපොළ පද්ධතියක් නොමැත.

සංවර්ධන බැඳුම්කර වෙන්දේසි ප්‍රතිපල

වෙන්දේසි ප්‍රතිපල ලෙස ඒ ඒ බැඳුම්කරය සඳහා පිළි ගත් පොලී අනුපාතයන්ගේ භරිත සාමාන්‍යය සහ පිළි ගත් මුළු මුදල ප්‍රසිද්ධ කෙරේ. උදාහරණ ලෙස 2022 ජනවාරි මස 22 දින පැවැත්වූ වෙන්දේසියේ ප්‍රකාශිත තොරතුරු වගුව පහත දැක්වෙයි.

 



ඒ අනුව, ඩොලර් මිලියන 100 ක් සඳහා ලැබූ ලංසු ප්‍රමාණය ඩොලර් මිලියන 86 ක් වූ අතර පිළි ගත් ලංසු ප්‍රමාණය ඩොලර් මිලියන 11.35 ක් (13.2% ක්) විය. මෙම බැඳුම්කර කෙටි කාලීන ඒවා වුව ද, පොලී අනුපාතයන් 7.7% සිට 8% දක්වා වූ ඉහළ මට්ටමක වීමෙන් වර්තමාන සංවර්ධන බැඳුම්කර ආයෝජනවල පවතින ඉහළ ණය අවදානම විදහා දැක්වෙයි.

එය, 2017 මාර්තු මස 15 දින පැවති වෙන්දේසියේ පහත දැක්වෙන ප්‍රතිපල වගුව තුළින් ද මනාව දැක්වෙයි.


ඒ අනුව, 2017 මාර්තු කාලයේ සංවර්ධන බැඳුම්කර සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බැවින් වෙන්දේසි කළ මුදල ඩොලර් මිලියන 830 ක් වුව ද, ඩොලර් මිලියන 973 ක ලංසු ප්‍රමාණයක් පිළි ගෙන ඇත. ඊසේම, පොලී අනුපාතය ද පහළ මට්ටමක විය. එනම්, ස්ථාවර පොලිය වර්ෂ 1 ක බැඳුම්කර සඳහා 4.2654% සිට වර්ෂ 3 ක බැඳුම්කර සඳහා 4.8% දක්වා සුළු වශයෙන් වෙනස් වී ඇත. එබැවින්, මෑත කාලයේ ඉතා ඉහළ ප්‍රගතියක් ලැබූ වෙන්දේසියක් ලෙස මෙය වාර්තා වෙයි.

2017 වර්ෂයේ දී ඇමෙරිකාවේ පැවති ප්‍රතිපත්ති පොලී අනුපාතය 0.25%-0.50% ට සහ මුදල් මුද්‍රණය ඩොලර් ට්‍රිලියන 4 ට සාපේක්ෂව වර්තමානයේ ප්‍රතිපත්ති පොලී අනුපාතය 0.0%-0.25% ක් සහ මුදල් මුද්‍රණය ඩොලර් ට්‍රිලියන 9 ක් ලෙස අති ලිහිල් මට්ටමක පවතී. එබැවින්, ශ්‍රී ලංකාවේ ඩොලර් සංවර්ධන බැඳුම්කර සඳහා වර්තමානයේ මෙතරම් ඉහළ පොලී අනුපාතයන් සහිත ඉතා අඩු ලංසු ප්‍රමාණයක් ඉදිරිපත් වීම තුළින් 2017 වර්ෂයට සාපේක්ෂව සංවර්ධන බැඳුම්කරවල අවදානම සැලකිය යුතු ලෙස ඉහළ යාම විදහා දැක්වෙයි.

සංවර්ධන බැඳුම්කර නිකුතු ප්‍රවණතාවන් සහ ආර්ථික වැදගත්කම 

සංවර්ධන බැඳුම්කර 2001 වර්ෂයේ දී හඳුන්වා දුන්න ද, බැඳුම්කර නිකුතූන් සැලකිය යුතු ලෙස ඉහළ යාම 2013 සිට 2018 කාලය තුළ දැකිය හැකිය. එබැවින්, වාර්ෂික බැඳුම්කර තොගය ඩොලර් බිලියන 2.8 - 4.1 මට්ටමට ඉහළ ගොස් ඇත (පහත සංඛ්‍යා සටහන බලන්න). මෙය එම වර්ෂවල මහ බැංකුවේ විදේශ සංචිතය ඉහළ යාමට ද බොහෝ සේ හේතු වී ඇත. උදාහරණ ලෙස විදේශ සංචිතය තුළ සංවර්ධන බැඳුම්කර ප්‍රතිශතය 2012 දී 25% සිට 2015 සහ 2016 වර්ෂවල 63% දක්වා ඉහළ ගොස් ඇත.  පසුව, එය 2020 දී 46% දක්වා පහළ ගිය අතර 2021 දී 83% දක්වා ඉහළ ගොස් ඇත.


සංවර්ධන බැඳුම්කර සඳහා ණය සේවාකරණය සාමාන්‍යයෙන් නැවත සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම හරහා ලබා ගන්නා අරමුදල් තුළින් සිදු කෙරේ. ඊට හේතුව, මහ බැංකුවේ විදේශ සංචිතයේ පහළ යාම වැලක්වීම සඳහා ය. එබැවින්, ගෙවීමට පවතින සංවර්ධන බැඳුම්කර තොගයේ පහළ යාම සෙමින් සිදු වීම දැකිය හැකිය. 

එබැවින්, රාජ්‍ය ණය මූලයක් වශයෙන් සංවර්ධන බැඳුම්කර එතරම් ඉහළ වැදගත් කමක් නොවුව ද, මහ බැංකුවේ විදේශ සම්පත් මූලයක් ලෙස එහි ඉහළ වැදගත් කමක් දැකිය හැකිය. එබැවින්, සංවර්ධන බැඳුම්කර ණය සේවාකරණය (පොලී සහ ණය මුදල ආපසු ගෙවීම) විදේශ සංචිතය කෙරෙහි ඉහළ බලපෑමක් සිදු කෙරෙන අතර එය ද වර්තමාන විදේශ සංචිත අර්බුදයට හේතුවක් වී ඇත.

තවද, මෙම බැඳුම්කර ශ්‍රී ලංකා සවර්ධන බැඳුම්කර ලෙස අළෙවි කෙරෙන බැවින් ඉන් ලැබෙන අරමුදල් රටේ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා උපයෝජනය කෙරෙන බව කෙනෙකුට අවබෝධ විය හැකිය. එහෙත්, එම අරමුදල් රජයේ එදිනෙදා රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම සිදු වී ඇත. එබැවින්, මෙම බැඳුම්කර හරහා විදේශ සංචිතයට උපකාරී වීම හැර ඒවා උපයෝජනය ඇගයීමේ ක්‍රමවේදයක් දැකිය නොහැකිය.

මේ අනුව, සංවර්ධන බැඳුම්කර යනු මහ බැංකුවේ විදේශ සංචිතය කළමනාකරණය සඳහා මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යය යොදා ගැනීම තුළින් රාජ්‍ය ණය සහ විදේශ සංචිතය යන දෙකම අර්බුදයට පත් වීම විදහා දැක්වෙන කදිම නිදසුනකි.


(මෙම ලිපිය රාජ්‍ය සුරැකුම්පත්හි ආයෝජනය කිරීම පිළිබඳ අධ්‍යයනයට උනන්දුවක් දක්වන සිසුන්, ගුරුවරුන් සහ වෘත්තිකයන් ඉලක්ක කොට සකසා ඇත. වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශයක් වන මා විසින් රචිත මූල්‍ය ආර්ථික විද්‍යාව ග්‍රන්ථය බලන්න. ඊළඟ ලිපියෙන් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර පිළිබඳ ව හැඳින්වීමක් ඉදිරිපත් කෙරේ.)


පි. සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව


Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?