මුදල් මුද්‍රණයෙන් රජයට ණය මැවෙන, මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන භාණ්ඩාගාර බිල්පත් (Treasury bills)

 

මෑත කාලයේ රාජ්‍ය ණය තොගය සහ සමහර රාජ්‍ය ණය උපකරණයන් ගැන විවිධ දේශපාලනික මතවාදයන් දැකිය හැකිය. එසේම, මුදල් මුද්‍රණය තුළින් අධික ලෙස රාජ්‍ය ණය ලබා ගැනීම පිළිබඳව ද මේ දිනවල දේශපාලනික මැසිවිලි නැගීම දැකිය හැකිය. එබැවින්, මෙම ලිපිය මගින් විවෘත මූල්‍ය වෙළෙඳපොළ හරහා රජය විසින් ණය ලබා ගන්නා ණය උපකරණයන් හතර පිළිබඳ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කෙරේ. එනම්, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර යනාදිය යි. මේවා පොදුවේ රාජ්‍ය සුරැකුම්පත් ලෙස හැඳින් වෙයි. අනාගතයේ ගෙවීමට ඇති මුළු රාජ්‍ය ණය ප්‍රමාණයෙන් මෙම රාජ්‍ය සුරැකුම්පත් හරහා ලබා ගෙන ඇති ණය ප්‍රමාණය 2020 අවසාන වන විට 66.5% ක් ද, 2021 මැයි මස වන විට 67.7 ක් ද පමණ විය.

මෙම ණය උපකරණයන් වෙළෙඳපොළ ට නිකුත් කිරීම හරහා මුදල් රැස් කිරීම, ගිණුම් පවත්වා ගෙන යාම සහ ණය සේවාකරණය යන කාර්යයන් රජයේ ණය කළමනාකරු සහ ෆිස්කල් නියෝජිතයා වශයෙන් මහ බැංකුව විසින් සිදු කෙරේ. එබැවින්, එම ණය රැස් කිරීම ගෝලීය ණය වෙළෙඳපොළ ප්‍රමිතියක් වන තරගකාරී වෙන්දේසි පැවැත් වීම හරහා සිදු කෙරේ.

භාණ්ඩාගාර බිල්පත් හැඳින් වීම

භාණ්ඩාගාර බිල්පත් දින 91, දින 182 සහ දින 364 කාලයන් (පරිණත කාලය) සඳහා මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ගැනීමට නිකුත් කෙරේ. එබැවින්, භාණ්ඩාගාර බිල්පත් යනු රජයේ මූල්‍ය වගකීමක් වන අතර ආයෝජකයා හෝ බිල්පත් දරන්නාගේ මූල්‍ය වත්කමක් වෙයි. වෙනත් ණය සුරැකුම්පත් මෙන් භාණ්ඩාගාර බිල්පත් ද පොරොන්දු පත්‍ර වෙයි. එනම්, ණයකරු විසින් ගන්නා ලද ණය මුදලක් ආපසු ගෙවීමේ වගකීම සඳහන් නෛතික ලේඛනයකි. එබැවින්, එම පොරොන්දු පත්‍රයෙන් තහවුරු කෙරෙන්නේ එහි දැක්වෙන ණය මුදලේ ප්‍රමාණය සහ කොන්දේසි යනාදිය යි. එනම්, ණයකරුගේ මූල්‍ය වගකීම යි. ණය හිමියන් විසින් එම පොරොන්දු පත්‍රය වෙළෙඳාම් කිරීමේ දී සිදු වනුයේ ණය හිමියා මාරු වීම පමණි. 

එබැවින්, සමහර අර්ථ නිරූපනයන්හි භාණ්ඩාගාර බිල්පත් හෝ රාජ්‍ය ණය සුරැකුම්පත් රාජ්‍ය දේපලක් ලෙස දැක්වීම සාවද්‍යය. මෙහිදී, රාජ්‍ය දේපලක් වන්නේ පොරොන්දු පත්‍රය නොව එය නිකුත් කිරීමෙන් ලබා ගන්නා මුදල් ප්‍රමාණය යි. එම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට එකතු කෙරේ. එබැවින්, භාණ්ඩාගාර බිල්පත්  යනු ආයෝජකයන්ට වෙළෙඳපොළේ නිතර නිතර වෙළෙඳාම් කිරීම හෝ වෙනත් පුද්ගලයන් වෙත අදාළ ණය අයිතිය පැවරිය හැකි ගනුදෙනු කළ හැකි රාජ්‍ය බැඳුම්කර හෝ වගකීම් වන අතර භෞතික දේපලක් ලෙස එම ලේඛන හෝ සහතික පත්‍රවල  වටිනාකමක් නොමැත. එසේ වෙළෙඳාම් කිරීමේ දී හුවමාරු වන්නේ පෞද්ගලික අරමුදල් හෝ දේපල වන අතර එයට රජයේ හිමි කමක් නොමැත. ඊට හේතුව, එසේ වෙළෙඳාම් වන මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට සම්බන්ධ නොමැති බැවිනි. රජය විසින් එම සුරකුම්පත් නිකුත් කිරීමෙන් රැස් කර ගත් මුදල් හෙවත් දේපල දැනටමත් ඒකාබද්ධ අරමුදලට එකතු කොට භාවිතයට ගෙන ඇත.

වරින් වර සංශෝධිත 1923 අංක 08 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ ප්‍රතිපාදන යටතේ නිකුත් කෙරෙන මේවා ලිඛිත සහතික පත්‍ර හෝ විද්‍යුත් සහතික පත්‍ර ලෙස නිකුත් කළ හැකි අතර දැනට විද්‍යුත් සහතික පත්‍ර ලෙස ආයෝජකයන්ගේ සුරැකුම්පත් ගිණුම් වෙත නිකුත් කෙරේ. එම ප්‍රතිපාදනයන් අනුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජයට ණය ලබා ගැනීමේ අධිකාරිය හිමි වී ඇත්තේ මුදල් ඇමතිගේ අනුමැතිය මත නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් වෙත වන අතර බිල්පත් පරිණත කාලය වර්ෂය නොඉක්මවිය යුතුය.

භාණ්ඩාගාර බිල්පත් මගින් යම් අවස්ථාවක ලබා ගත හැකි මුළු ණය ප්‍රමාණය පාර්ලිමේන්තුව විසින් අනුමත කෙරෙන ණය සීමාවට යටත් වෙයි. 2021 සැප්තැම්බර් මස අවසාන වන විට ගෙවීමට ඇති මුළු රාජ්‍ය ණය තොගය රුපියල් බිලියන 17,051.7 ක් වූ අතර ඉන් 12.5% ක් හෝ රුපියල් බිලියන 2,106.1 ක් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබා ගත් ණය විය. 2021 වර්ෂය අවසානයේ දී පැවති මුළු භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,424.1 ක් විය.

භාණ්ඩාගාර බිල්පත් මිල සහ ඵලදා අනුපාතය

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සහ වෙළෙඳාම් කිරීම සිදු වන්නේ ඒකක මිලක් මත යි. එක් භාණ්ඩාගාර බිල්පත් ඒකකයක් යනු රුපියල් 100 ක ණය ප්‍රමාණයකි. එය, නාමික/මුහුණත මිල හෝ වටිනාකම (Face Value) ලෙස දැක්වෙයි. එහෙත්, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සහ ද්විතීය අළෙවිය සිදු වනුයේ මුහුණත මිල මත වට්ටමක් (Discount) සහිතව ය. එනම්, රුපියල් 100 ට වඩා අඩු මිලකට ය (උදාහරණ ලෙස රුපියල් 95). එම වට්ටම් මිල වෙළෙඳපොළ මිල වෙයි. ඒ අනුව, ආයෝජකයෙකුට තමා කැමැති මුදල් ප්‍රමාණයක් වෙළෙඳපොළ මිල (Market Price) මත භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම සහ වෙළෙඳාම් කිරීම කළ හැකිය.

ඊට හේතුව, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ දී ඒ සඳහා විශේෂික පොලී අනුපාතයක් ප්‍රකාශ නොකිරීම යි. එබැවින්, භාණ්ඩාගාර බිල්පත් ශූන්‍ය කූපන් බැඳුම්කර (Zero Coupon Bonds) ලෙස හැඳින් වෙයි. එබැවින්, භාණ්ඩාගාර බිල්පත්හි ආයෝජනයෙන් ලැබෙන ආදායම හෝ ඵලදාව වන්නේ මිල දී ගැනීමේ දී ලැබෙන වට්ටම් වටිනාකම යි. උදාහරණ ලෙස දින 364 භාණ්ඩාගාර බිල්පත්වල වෙළෙඳපොළ මිල රුපියල් 90 ක් වෙයි නම්, ආයෝජකයෙකුට රුපියල් 90,000 ක් ගෙවීමෙන් මුහුණත වටිනාකම රුපියල් ලක්ෂයක් වන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැකිය. මෙහිදී, වට්ටම රුපියල් 10 ක් හෙවත් මුහුණත මිලෙන් 10% ක් වන අතර ආයෝජනය කළ මුදල එක් භාණ්ඩාගාර බිල්පත් ඒකකයකට රුපියල් 90 කි.

එහෙත්, රජය විසින් දින 364 අවසානයේ දී (ණය කල් පිරීමේ දී) ආයෝජකයාට රුපියල් ලක්ෂයක් හෙවත් මුහුණත වටිනාකම ගෙවනු ලැබේ. එනම්, ආයෝජකයා විසින් රජයට දුන් රුපියල් 90,000 ක් වූ ණය මුදල ආපසු ගෙවීමේ දී රජය විසින් ඔහුට රුපියල් ලක්ෂයක් දෙනු ලැබේ. එබැවින්, ආයෝජකයා දින 364 ක කාලයක් සඳහා රජයට දුන් ණය මුදල වන රුපියල් 90,000 සඳහා රජයෙන් ලැබෙන ආදායම හෙවත් පොලී මුදල වනුයේ රුපියල් 10,000 කි. එබැවින්, භාණ්ඩාගාර බිල්පත් පොලී හෝ ඵලදා අනුපාතය (Treasury bill Yield Rate) වනුයේ වර්ෂයකට 11.14% කි. එය ගණනය කෙරෙන ආකාරය පහත දැක්වෙයි.

භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතය = [(10/90)X(365/364)X100] = 11/14%

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සති පතා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කොට රජයේ අරමුදල් අවශ්‍යතාවන් සැපිරීම සඳහා ණය රැස් කෙරේ. එය සාමාන්‍යයෙන් සෑම බදාදා දින සිදු කෙරේ. එය ප්‍රාථමික වෙළෙඳුන් සහ වෙළෙඳුන් නොවන අනුමත ලංසු කරුවන් (උදාහරණ ලෙස සේවක අර්ථසාධක අරමුදල) විසින් ලංසු (Bids) හෙවත් මිල ගණන් ඉදිරිපත් කෙරෙන වෙන්දේසි තුළින් සිදු කෙරේ. එය ප්‍රාථමික වෙළෙඳපොළ ලෙස හැඳින් වෙයි. දැනට එවැනි අනුමත ප්‍රාථමික වෙළෙඳ සමාගම් 10 ක් පවතී. එක් ලංසු කරුවෙකුට විවිධ මිල ගණන් මත අවශ්‍ය ඕනෑම ලංසු ප්‍රමාණයක් ඉදිරිපත් කළ හැකිය. මෙහිදී, ඉදිරිපත් කෙරෙන ලංසුවක මුහුණත වටිනාකමේ අවමය රුපියල් මිලියන 5 ක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියනය බැගින් වැඩි කළ හැකිය. සෑම ලංසුවකම මුහුණත වටිනාකම සහ අයදුම් කෙරෙන වටිනාකම හෙවත් වට්ටම සහිත වටිනාකම ඉදිරිපත් කෙරේ.

මහ බැංකුව විසින් එම ලංසු ඉහළම මිලේ සිට පහළම මිල දක්වා ලැයිස්තු ගත කොට, ඉන් එම අවස්ථාවේ පවතින මූල්‍ය වෙළෙඳපොළ සාධක අනුව සුදුසු යැයි සැලකෙන යම් මිලක් දක්වා වූ ලංසු පිළි ගැනේ. ඊට අඩු මිල ගණන් සහිත ලංසු ප්‍රතික්ෂේප කෙරේ. එය ලංසු ඉවත් කිරීමේ හෝ කපා හැරීමේ මිල (Cut -off point) ලෙස හැඳින් වෙයි. එසේ පිළිගත් ලංසු සඳහා ඒ ඒ ලංසු මිල ගණන් මත අදාළ ලංසු කරුවන්ට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ. එබැවින්, ඒ ඒ ලංසුවලට අදාළ වට්ටම් අනුපාතයන් සහ ඵලදා අනුපාතයන් වෙනස් වනු ඇත. එබැවින්, මෙම වෙන්දේසි බහුවිධ මිල වෙන්දේසි ලෙස හැඳින් වෙයි. මෙවැනි වෙන්දේසිවල ස්වභාවය වන්නේ ලංසු කරුවන් විසින් තම අපේක්ෂණයන් හෝ සමපේක්ෂණයන් අනුව තරගකාරී ලෙස ලංසු මිල ගණන් ඉදිරිපත් කිරීම යි.

එහෙත්, මහ බැංකුව විසින් වෙන්දේසිය අවසානයේ දී මහජනයා වෙත ප්‍රසිද්ධ කෙරෙන්නේ ඒ ඒ භාණ්ඩාගාර බිල්පත් ශ්‍රේණිය සඳහා වූ බර තැබූ සාමාන්‍ය ඵලදා අනුපාතය, වෙන්දේසියට ඉදිරිපත් කළ මුළු මුහුණත වටිනාකම, ඊට ලැබූ ලංසුවල මුළු මුහුණත වටිනාකම සහ පිළිගත් ලංසුවල මුළු මුහුණත වටිනාකම යනාදිය පමණි. උදාහරණ ලෙස පසුගිය ජනවාරි 5 දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පිළිබඳ ව මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත පහත දැක්වෙයි.


ඒ අනුව, ඉහළ ඉල්ලුමක් දින 91 බිල්පත් සඳහා පැවති අතර වෙන්දේසියට ඉදිරිපත් කළ මුදල මෙන් 4 ගුණයක ලංසු ලැබූ අතර 2.8 ගුණයක ලංසු පිළි ගෙන ඇත. ඊට හේතුව, එම ලංසු මිල ගණන් එම අවස්ථාවේ පැවති වෙළෙඳපොළ සාධක අනුව රජයට වාසි දායක වන බැවිනි. එහෙත්, වෙන්දේසියට ඉදිරිපත් කළ මුදල වූ රුපියල් බිලියන 25 දක්වා පමණක් ලංසු පිළි ගත්තා නම්, රජය විසින් ගෙවන පොලී හෝ ඵලදා අනුපාතය 8.26% වඩා ඉතා පහළ වනු ඇත. එහෙත්, එවිට අවශ්‍ය අරමුදල් නොලැබීමෙන් රජය දැඩි අරමුදල් හිඟයකට මුහුණ දෙනු ඇත. එසේම, ඒ සඳහා ඉහළ පොලී අනුපාතයන්ට බැංකු ණය ගැනීමට සිදු වනු ඇත. 

පසුගිය කාලයේ වෙන්දෙසිවල දක්නට ලැබුන මූලික ලක්ෂණය වූයේ මෙසේ දින 91 බිල්පත් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම යි. ඊට හේතුවක් වනුයේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම සහ උද්ධමනය ඉහළ යාම තුළින් ඉදිරි කාලයේ දී පොලී අනුපාතයන් ඉහළ යාම අපේක්ෂා කෙරෙන බැවිනි. එවිට, පොලී අනුපාතය ඉහළ යාමෙන් පසු දිගු කාලීන ආයෝජනයන් කිරීමේ අරමුණින් වර්තමානයේ ඉතා කෙටි කාලීන ආයෝජන වෙත යොමු වීම සාමාන්‍ය ආයෝජක හැසිරීම යි. එබැවින්, වෙන්දේසිවලට ලංසු ඉදිරිපත් කිරීම විවිධ අපේක්ෂණයන් මත පදනම් වන අතර එය නිදහස් හෝ තරගකාරී වෙළෙඳපොළ ක්‍රමයක පවතින මූලික ලක්ෂණය යි.

මහජනයා විසින් භාණ්ඩාගාර බිල්පත්වල මුදල් ආයෝජනය කිරීම

ප්‍රාථමික වෙළෙඳුන් නොවන ආයෝජකයන්ට තම ලංසු (අවම මුහුණත මිල රුපියල් මිලියන 5 සහ ඊට රුපියල් මිලියනයේ ගුණාකාරයෙන් යුත් ලංසු) නියමිත ගාස්තු ගෙවා ප්‍රාථමික වෙළෙන්දෙකු හරහා ඉදිරිපත් කළ හැකිය. එසේ නොවන සිල්ලර ආයෝජකයන්ට ඕනෑම ප්‍රාථමික වෙළෙන්දෙකුගෙන් කේවල් හෝ ප්‍රකාශිත මිලකට හෙවත් වට්ටමකට ආයෝජනය කළ හැකිය. එසේම, පරිණත කාලයට පෙර මුදල් අවශ්‍ය ආයෝජකයෙකුට තම බිල්පත් ඕනෑම ප්‍රාථමික වෙළෙන්දෙකු වෙත පවතින වෙළෙඳපොළ මිලට අළෙවි කළ හැකිය. ප්‍රාථමික වෙළෙඳුන් විසින් මෙසේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිවලින් මිල දී ගෙන ද්විතීය වෙළෙඳපොළේ ආයෝජකයන් වෙත අළෙවි කිරීමෙන් සහ ද්විතීය වෙළෙඳපොළේ වෙළෙඳාම් කිරීමෙන් ලාභ ලබා ගැනේ. එම ලාභයන් හුදෙක් වෙළෙඳාමේ දී ලැබෙන ශුද්ධ වට්ටම් මත තීරණය වෙයි.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි සහ මුදල් මුද්‍රණය

මුදල් මුද්‍රණය තුළින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම යනු ප්‍රාථමික නිකුතු අවස්ථාවේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම යි. වෙන්දේසියට  ඉදිරිපත් වී ඇති ලංසු මිල ගණන් මහ බැංකුව විසින් අපේක්ෂිත මිල ගණන්වලට වඩා පහළ යන විට (වට්ටම ඉහළ යාම හෝ ඵලදා අනුපාතයන් ඉහළ යාම)එම ලංසු ප්‍රතික්ෂේප කෙරේ. මෙහිදී, පිළිගත් ලංසු ප්‍රමාණයෙන් ලැබෙන ණය ප්‍රමාණය මහ බැංකුව විසින් වෙන්දේසි කරන ලද මුළු ණය ප්‍රමාණයට වඩා අඩු වෙයි නම්, එම අරමුදල් හිඟය පියවීමට අවශ්‍ය බිල්පත් ප්‍රමාණය මහ බැංකුව විසින් මිල දී ගෙන රජයට අවශ්‍ය මුදල් ලබා දීම සිදු කෙරේ. එය වෙන්දේසියේ දී පිළිගත් ලංසුවල භරිත සාමාන්‍ය මිල ගණන් මත සිදු කෙරේ. මුදල් මුද්‍රණය ලෙස හැඳින් වෙන්නේ මෙය යි.

එබැවින්, මෙය මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති ඉලක්ක/අපේක්ෂණයන්ට යෝග්‍ය මට්ටමේ භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතයන් මෙහෙයවීම හෝ පාලනය කිරීම තුළින් කෙටි කාලීන මූල්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතයන් පාලනය කිරීමේ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක් ලෙස අතීතයේ සිට මහ බැංකුව විසින් භාවිතා කොට ඇත. බොහෝ අවස්ථාවල මහ බැංකුව විසින් තම මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාතයන් වෙනස් නොකොට හෝ සුළු වශයෙන් වෙනස් කොට, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ඵලදා අනුපාතයන් වෙනස් කිරීම හරහා ආර්ථිකයේ පොලී අනුපාතයන් මෙහෙය වීම දැකිය හැකිය. මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාතයන් එක් දින අන්තර් බැංකු පොලී අනුපාතයන් සඳහා ඉලක්කයන් වන බැවින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ඵලදා අනුපාතයන් ආර්ථිකයේ කෙටි කාලීන පොලී අනුපාතයන්  පාලනය කිරීම සඳහා වඩාත් යෝග්‍ය වෙයි. එබැවින්, මෙය ඵලදා වක්‍රයේ ඉදිරි කොටස හෝ කෙටි කාලීන කොටස පාලනය කිරීම ලෙස සැලකේ. ඵලදා වක්‍රය යනු යම් අවස්ථාවක සියළු පරිණත කාලයන් ඇතුලත් රාජ්‍ය සුරැකුම්පත්වල ඵලදා අනුපාතයන්ගේ රේඛාව යි. 

බොහෝ විට ඵලදා අනුපාතයන්ගේ දිසාව අනුව මහ බැංකුව විසින් කාල පමාවක් සහිතව තම මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාතයන් වෙනස් කිරීම දැකිය හැකිය. එබැවින්, මෙම වෙන්දේසි ඵලදා අනුපාතයන් නිල නොවන මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ලෙස සැලකෙන අතර ඒවා හුදෙක් තරගකාරී වෙළෙඳපොළ බලවේග අනුවම තීරණය වන බව කිව නොහැකිය. ඉට හේතුව, ඉහත දැක්වූ පරිදි මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය හරහා වෙන්දේසි ඵලදා අනුපාතයන් පාලනය කෙරෙන බැවිනි. එහෙත්, රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් පාලනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක් ලෙස මහ බැංකුව වෙත බලය ලැබී ඇත්තේ විවට වෙළෙඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම යි.

2021 වර්ෂය අවසාන වන විට මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුළු මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,416.8 ක් පමණ විය. එනම්, ගෙවීමට ඇති මුළු භාණ්ඩාගාර බිල්පත් ණයවලින් 58.4% ක් පමණ විය. මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තියේ විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරනුයේ මෙසේ මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත් කළඹ යි. එබැවින්, විවට වෙළෙඳපොළේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සහ විකිණීම අනුව ද මෙම බිල්පත් කළඹේ ප්‍රමාණය වෙනස් විය හැකිය.

එබැවින්, මහ බැංකුව විසින් විවට වෙළෙඳපොළේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම තුළින් ද මුදල් මුද්‍රණය වෙයි. මෙහිදී, පෞද්ගලික ආයෝජකයන් විසින් රජයට ලබා ද ඇති භාණ්ඩාගාර බිල්පත් ණයවල අයිතිය මහ බැංකුව වෙත මාරු වීමක් සිදු වෙයි. සංවර්ධිත රටවල මහ බැංකු විසින් මෙසේ විශාල වශයෙන් විවට වෙළෙඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීමෙන් රජයට වෙළෙඳපොළෙන් අඩු පිරිවැයකට ණය ලබා ගැනීමේ හැකියාව වැඩි කෙරේ. ඊට හේතුව, මහ බැංකුව විසින් එසේ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීමේ දී වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් පහළ යාමත්, මූල්‍ය /ණය වෙළෙඳපොළට නව අරමුදල් මහ බැංකුවෙන් ලැබීමත් නිසා ය.

එබැවින්, මහ බැංකු විසින් මුදල් මුද්‍රණය කිරීමේ අවදානම් රහිත ප්‍රධාන මූලයක් වන්නේ මෙසේ රාජ්‍ය/භාණ්ඩාගාර සුරැකුම්පත් මිල දී ගැනීම යි. උදාහරණ ලෙස 2021 වර්ෂය අවසානයේ දී ඇමෙරිකානු මහ බැංකුව සතු මුළු භාණ්ඩාගාර සුරැකුම්පත් ප්‍රමාණය එහි මුළු මුදල් මුද්‍රණයෙන් (මහ බැංකු මුළු වත්කම්වලින්) 65% ක් පමණ විය. එබැවින්, භාණ්ඩාගාර සුරැකුම්පත් සඳහා ලැබෙන ඵලදාව හෙවත් පොලී ආදායම මහ බැංකුවේ මුදල් මුද්‍රණ ලාභයට බොහෝ සේ දායක වනු ඇත. එම ලාභය ද නැවත ලාභාංශ ලෙස රජයට සංක්‍රාම කෙරෙනු ඇත.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දෙසිවල මෑත කාලීන ප්‍රවණතාවන්

වෙන්දේසි ඵලදා අනුපාතයන් සහ මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් කළඹේ ප්‍රමාණය දෙස බැලීමේ දී භාණ්ඩාගාර බිල්පත් හරහා ණය ලබා ගැනීමට ඇති පහසුව හෝ අපහසුව පැහැදිලි වෙයි. එය රජයේ ණය අවශ්‍යතාවයට අමතරව මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ දිසාව අනුව බොහෝ දුරට තීරණය වනු ඇත.  2020 සහ 2021 වර්ෂයට අදාළ දත්ත පහත රූප සටහන් දෙකින් දැක්වෙයි. 





ඒ අනුව, මහ බැංකුව විසින් තම ප්‍රතිපත්ති පොලී අනුපාතයන් සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දමා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන විට ඵලදා අනුපාතයන් වේගයෙන් ඉහළ ගොස් ඇත. එය 2021 අගෝස්තු මස මැද සිට දැකිය හැකිය.

මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කෙරෙන විට මීට ප්‍රතිවිරුද්ධ තත්ත්වය දැකිය හැකිය. එය 2020 පෙබරවාරි මස ආරම්භයේ සිට දැකිය හැකිය. 2020 අප්‍රේල් මස මැද සිට මූල්‍ය ප්‍රතිපත්තිය වේගයෙන් ලිහිල් කිරීම හේතු කොට ඵලදා අනුපාතයන් මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව තුළ මට්ටමට පහළ යන ලදි. එසේම, 2020 අප්‍රේල් මස සිට මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම වේගයෙන් ඓතිහාසික මට්ටමින් ඉහළ දැමීම හරහා ඵලදා අනුපාතයන් දැඩි ලෙස පාලනය කිරීම දැකිය හැකිය. එය ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට රජය මුහුණ දුන් ණය අරමුදල් හිඟයට පිළියමක් ලෙස සිදු කෙරින. එබැවින්, මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් කළඹ 2019 වර්ෂය අවසානයේ දී පැවති රුපියල බිලියන 75 සමඟ සැසදීමේ දී 2021 අවසානයේ දී රුපියල් බිලියන 1,417 දක්වා රුපියල් බිලියන 1,342 කින් හෙවත් 1,789% කින් ඉහළ ගොස් ඇත.

එහෙත්, 2021 අගෝස්තු මස් 19 දින මහ බැංකුව විසින් තම පොලී අනුපාතයන් 0.50% කින් සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් ඉහළ දමමින් මූල්‍ය ප්‍රතිපත්තිය නැවත දැඩි කිරීම ආරම්භ කිරීමත් සමඟ මූල්‍ය වෙළෙඳපොළේ හට ගත් අරමුදල් හිඟය හේතු කොට ඵලදා අනුපාතයන් වේගයෙන් ඉහළ යාම ආරම්භ විය. එබැවින්, එය මූල්‍ය වෙළෙඳපොළ සාධකවලින් පිට පාලනය කිරීමට අවශ්‍ය නම්, තව තවත් මුදල් මුද්‍රණය හරහා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමට මහ බැංකුවට සිදු වනු ඇත.

දැනට මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම ආරම්භ කොට ඇති අතර ආර්ථිකයේ උද්ධමනය වේගය අඛණ්ඩව ඉහළ යාම සිදු වන බැවින් ඉදිරියේ දී මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම ඇතුළු වෙළෙඳපොළ පොලී අනුපාතයන් තවත් ඉහළ යන බවට අපේක්ෂා කෙරෙන බැවින් ඉහත දැක්වූ පරිදි දින 91 බිල්පත් සඳහා ඉහළ ඉල්ලුමක් දැකිය හැකිය. එබැවින්, ඵලදා අනුපාතයන් ද සැලකිය යුතු ලෙස ඉහළ යාම දැකිය හැකිය. මහ බැංකුව විසින් ද දෙසැම්බර් මාසයේ දී මුදල් මුද්‍රණය තරමක් අඩු කොට ඵලදා අනුපාතයන් ඉහළ යාමට ඉඩ දී, ඉහළ යන උද්ධමනයට එරෙහිව ආර්ථිකයේ පොලී අනුපාතයන් සහ ණය පාලනය කිරීමේ උත්සාහයක් ගන්නා බව පෙනේ.

භාණ්ඩාගාර බිල්පත් ඉතා පැරණි අවදානම් රහිත ආයෝජන මාර්ගයක් වුව ද, භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ දෙස බැලීමේ දී දකින මූලික දුර්වලතාවය වනුයේ එය මහජනයා අතර ව්‍යාප්ත නොවී බැංකු , රක්ෂණ සහ විශ්‍රාම අරමුදල් අතර ව්‍යාප්ත වීම යි. එබැවින්, වෙළෙඳපොළ තරගකාරිත්වය පහළ මට්ටමක පැවතීම රජයට සාධාරණ පිරිවැයක් යටතේ ණය රැස් කිරීමට අවහිරයක් වී ඇත. එහෙත්, ප්‍රාථමික වෙළෙඳ ක්‍රමය දියත් කරනු ලැබූවේ භාණ්ඩාගාර බිල්පත් ඇතුළු රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ මහජනයා අතර ව්‍යාප්ත කිරීමේ අරමුණ මත ය. මේ දිනවල භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතයන් 8% ක් පමණ වන අතර එය බැංකු ස්ථාවර තැන්පතු පොලී අනුපාතය වන 6%-7% සැලකීමේ දී ඉහළ අගයක් ගන්නා අතර අවදානම ද ශුන්‍ය වෙයි. එහෙත්, භාණ්ඩාගාර බිල්පත් ආයෝජනය සඳහා මහජනතාව වැඩි වැඩියෙන් ඉදිරිපත් වීමක් දැකිය නොහැකිය. එය භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතයන් ඉහළ යාමෙන් පැහැදිලි වෙයි.

(ඊළඟ ලිපියෙන් භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව හැඳින් වීමක් ඉදිරිපත් කෙරේ.)

 

පී සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි