රජයන් දෙදරුම් කවන මහජනතාව මත පෙරලෙන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury bonds)


සුගිය ලිපියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම තුළින් රජය ණය ලබා ගන්නා ආකාරයත්මහජනතාවට එහි මුදල් ආයෝජනය කළ හැකි ආකාරයත්, පසුගිය වර්ෂ දෙක තුළ භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළේ පැවති ප්‍රවණතාවන් පිළිබඳවත් ඉදිරිපත් කෙරින.

භාණ්ඩාගාර බිල්පත් යනු දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වර්ෂයකට නොවැඩි කාලයක් තුළ ආපසු ගෙවීම සඳහා මහජනතාවගෙන් ණය ගැනීම පිණිස මහ බැංකුව විසින් වෙන්දේසි මගින් නිකුත් කෙරෙන වෙළෙඳාම් කළ හැකි රාජ්‍ය පොරොන්දු පත්‍ර හෝ වගකීම් වෙයි. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කර යනු වර්ෂ 60 ක් නොඉක්මවන කාලයක් සඳහා රජයට ණය ගැනීම පිණිස ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත යටතේ  මහ බැංකුව විසින් වෙන්දේසි මගින් නිකුත් කෙරෙන වෙළෙඳාම් කළ හැකි රාජ්‍ය පොරොන්දු පත්‍ර වෙයි. මෙම පොරොන්දු පත්‍රයන් රජයට ණය ලබා දෙන ආයෝජකයන්ට ලැබෙන අතර ඒවා ඔවුන්ගේ වත්කම් වෙයි. එම වත්කම් ආයෝජකයන්ට අභිමත පරිදි ද්විතීය වෙළෙඳපොළ තුළ වෙළෙඳාම් කළ හැකිය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මුදල් මණ්ඩලයේ අනුමැතිය මත මහ බැංකුව විසින් 1997 මාර්තු මස රුපියල් මිලියන 500 බැගින් වූ වෙන්දේසි දෙකක් හරහා ආරම්භ කෙරින. එතෙක්, මැදි හා දිගු කාලීන වෙළෙඳපොළ ණය ලබා ගැනීම සඳහා යොදා ගනු ලැබුවේ ස්ථාවර පොලී අනුපාතයක් මත මුහුණත මිලට නිකුත් කරන ලද රුපියල් සුරැකුම්පත් ය. රාජ්‍ය ණය අවශ්‍යතාවය ඉහළ යාම සමඟ බැඳුම්කර වෙන්දේසි සඳහා ඉදිරිපත් කෙරෙන ණය ප්‍රමාණය සැලකිය ලෙස ඉහළ ගොස් ඇති අතර එය පසුගිය ජනවාරි 11 දින පැවැත්වූ වෙන්දේසියේ දී රුපියල් මිලියන 50,000 ක් ලෙස වාර්තා විය. මීට ඉහළ ණය අරමුදල් ප්‍රමාණයන් සපයා ගැනීම සඳහා ද බැඳුම්කර වෙන්දේසි මෑත අතීතයේ පවත්වා ඇත. ඒ අනුව, රුපියල් සුරැකුම්පත් නිකුත් කිරීම නවතා ඇත.

අනාගතයේ ගෙවීමට ඇති මුළු රාජ්‍ය ණය ප්‍රමාණයෙන් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ලබා ගෙන ගෙවීමට ඇති ණය ප්‍රමාණය 2020 අවසාන වන විට 37.8% ක් ද (මුළු රාජ්‍ය ණය තොගය රුපියල් බිලියන 15,117.2), 2021 සැප්තැම්බර් මස අවසාන වන විට 37.8% ක් ද (මුළු රාජ්‍ය ණය තොගය රුපියල් බිලියන 17,051.7) පමණ විය. එය භාණ්ඩාගාර බිල්පත් සඳහා 10.7% ක් ද,12.3% ක් ද විය. එබැවින්, වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමේ දී භාණ්ඩාගාර බැඳුම්කර වඩාත් ප්‍රචලිත මාර්ගයක් වී ඇත. ඒ අනුව, දැනට ගෙවීමට පවතින භාණ්ඩාගාර බැඳුම්කර ණය වරින් වර නිකුත් කරන ලද බැඳුම්කර 57 කින් පමණ ලබා ගෙන ඇති ණය වෙයි.

භාණ්ඩාගාර බිල්පත් සමඟ සැසඳීමේ දී භාණ්ඩාගාර බැඳුම්කරවල මූලික වෙනස්කම්

පළමුව, ණය ආපසු ගෙවීමේ කාලය හෙවත් පරිණත කාලය. භාණ්ඩාගාර බිල්පත්වල එය දින 91, දින 182 සහ දින 364 ලෙස තෙයාකාර වෙයි.  එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කරවල වර්ෂයට වැඩි වර්ෂ 30 දක්වා වෙනස් පරිණත කාලයන් දැකිය හැකිය.

දෙවනුව, භාණ්ඩාගාර බිල්පත්වල ප්‍රකාශිත පොලී අනුපාතයක් නොමැති අතර වට්ටම් මිලක් මත අළෙවිය කෙරේ. එම වට්ටම යනු භාණ්ඩාගාර බිල්පත්වල මුදල් ආයෝජනයෙන් ලැබෙන ඵලදාව හෙවත් ප්‍රතිලාභය (Yield) යි. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කරවල ප්‍රකාශිත ස්ථාවර පොලී අනුපාතයක් පවතින අතර එය වට්ටමක් හෝ අතිරික්තයක් මත අළෙවි කෙරේ. මෙම දෙවර්ගයේම ඒකකයක සම මිල හෙවත් මුහුණත මිල රුපියල් 100 කි. ඒ අනුවභාණ්ඩාගාර බිල්පත්වල අළෙවි හෝ වෙළෙඳපොළ මිල රුපියල් 100 ට වඩා අඩු අතර භාණ්ඩාගාර බැඳුම්කරවල එය රුපියල් 100 හෝ 100 ට වැඩි හෝ 100 ට අඩු විය හැකිය. එනම්, මුහුණත මිල හෝ අධි මිල හෝ වට්ටම් මිල යි.

තෙවනුව, භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික අළෙවි වෙන්දේසි සතිපතා පැවැත්වෙන අතර භාණ්ඩාගාර බැඳුම්කර සඳහා එම වෙන්දේසි සාමාන්‍යයෙන් මාසිකව හෝ වෙනත් අවශ්‍ය අවස්ථාවල පැවැත් වෙයි. මෙම වෙන්දේසි සඳහා ලංසු ඉදිරිපත් කිරීමට අවසර ඇත්තේ බලපත්‍ර ලාභී ප්‍රාථමික වෙළෙඳ ආයතනවලට ය. අවම ලංසුව රුපියල් මිලියන 5 ක් වන අතර ඊට වැඩි ලංසු රුපියල් මිලියනයේ ගුණාකාර විය යුතුය. ප්‍රාථමික වෙළෙඳ ආයතනයකට විවිධ මිල ගණන් යටතේ ලංසු ඕනෑම සංඛ්‍යාවක් ඉදිරිපත් කල හැකි අතර එම ලංසුවල එකතුවේ අවමය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට ඇති මුළු මුදල/ණය ප්‍රමාණය මෙන් 10% කි. ආයෝජකයන්ට ප්‍රාථමික වෙළෙඳ ආයතන හරහා වෙන්දෙසිවලට ලංසු ඉදිරිපත් කළ හැකි අතර එවැනි මූල්‍ය දැනුමක් නොමැති සිල්ලර ආයෝජකයන්ට ප්‍රාථමික වෙළෙඳ ආයතන සමඟ භාණ්ඩාගාර බිලපත් සහ බැඳුම්කර වෙළෙඳාම් කළ හැකිය. එය ද්විතීය වෙළෙඳපොළ ලෙස හැඳින් වෙයි.

එහිදී, පරිණත කාලය සඳහා හෝ ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් තුළින් වෙනත් කාලයක් සඳහා හෝ මුදල් ආයෝජනය කළ හැකිය. ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම්වල දී ප්‍රාථමික අළෙවිකරු සතු සුරැකුම්පත්වලින් කොටසක් ගිවිස ගත් ඵලදා අනුපාතයකට ආයෝජකයා වෙත වෙන් කෙරේ. එම කාලය අවසානයේ එම සුරැකුම්පත් කොටස නැවත ප්‍රාථමික අළෙවිකරුගේ කළඹට හෝ ගිණුමට එකතු කෙරේ.වර්තමානයේ මේවා නිර්ලේඛන ලෙස ආයෝජකයන්ගේ සුරැකුම්පත් ගිණුම් වෙත නිකුත් කෙරේ. ඒවා ආයෝජකයන්ගේ ගිණුමෙන් ගිණුමට වෙළෙඳාම් වන අතර එහිදී කඩදාසි සහතික පත්‍ර හුවමාරු නොකෙරේ. එහෙත්, ගිණුම් ප්‍රකාශනයක් ආයෝජකයා වෙත නිකුත් කෙරේ.

භාණ්ඩාගාර බැඳුම්කර පොලී අනුපාතය

මෙය බැඳුම්කර සලාක අනුපාතය (Coupon Rate) ලෙස හැඳින් වෙයි. එය මුහුණත වටිනාකමේ වාර්ෂික ප්‍රතිශතයක් ලෙස දැක්වෙයි. සලාක අනුපාතය යනු මාස 6 කට වරක් බැඳුම්කර ආයෝජකයන්ට රජය විසින් පොලී ගෙවන වාර්ෂික පොලී අනුපාතය යි. උදාහරණ ලෙස වර්ෂ 5 ක පරිණත කාලයක් සහිත භාණ්ඩාගාර බැඳුම්කරයක සලාක අනුපාතය 10% වෙයි නම්, එම භාණ්ඩාගාර බැඳුම්කරයෙහි ආයෝජකයන්ට සෑම මාස 6 කට වරක් රුපියල් 100 කට රුපියල් 5 ක් බැගින් පොලිය ලැබේ. මෙය ස්ථාවර පොලී අනුපාතයකි. එනම්, එම අවුරුදු 5 ක බැඳුම්කර පරිණත කාලය තුළ වෙළෙඳපොළේ පොලී අනුපාතයන් වෙනස් වුව ද, මෙම 10% පොලී අනුපාතය අනුව පොලී ගෙවීම සිදු කෙරේ.

භාණ්ඩාගාර බැඳුම්කර සලාක අනුපාතය සහ වෙළෙඳපොළ මිල අතර සබඳතාවය

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සහ වෙළෙඳාම් කිරීමේ මිල මුහුණත මිල හෝ අධි මිල හෝ වට්ටම් මිලක් විය හැකි බව ඉහත දැක්විණ.  එම මිල මූලික වශයෙන් බැඳුම්කරයේ සලාක අනුපාතය සහ එම බැඳුම්කරය සඳහා වෙළෙඳපොළේ පවතින අපේක්ෂිත පොලී අනුපාතය අතර වෙනස මත තීරණය වෙයි. සලාක අනුපාතය බැඳුම්කර පරිණත කාලය තුළ ස්ථාවරව පැවතිය ද, එහි ආයෝජනය සඳහා වෙළෙඳපොළ ආයෝජකයන් විසින් ඉල්ලා සිටින පොලී අනුපාතයන් සමකාලීන වෙළෙඳපොළ සාධක මත වෙනස් වනු ඇත. එනම්, එම බැඳුම්කරය සඳහා වෙළෙඳපොළේ පවතින ඉල්ලුම් සහ සැපයුම් සාධක මත ය.

ඒ අනුව, බැඳුම්කර සලාක අනුපාතය සහ වෙළෙඳපොළ මිල අතර සබඳතාවය පහත ලෙස දැක්විය හැකිය.

  • බැඳුම්කර සලාක අනුපාතය වෙළෙඳපොළ පොලී අනුපාතයට වඩා ඉහළ වීම - 

එවිට, වෙළෙඳපොළ මිල මුහුණත මිලට වඩා අධි මිලක් වෙයි. ඊට හේතුව, බැඳුම්කර ආයෝජකයාට රජයෙන් අතිරික්ත පොලියක් ලැබෙන බැවින් ඊට සරිලන ලෙස බැඳුම්කරය සඳහා මුහුණත මිලට වඩා වැඩි මිලක් ගෙවීමට ආයෝජකයා ඉදිරිපත් වෙයි. එසේ ගෙවන මිල අතිරික්තය සලාක පොලී අතිරික්තයෙන් පියවා ගනු ඇත. උදාහරණ ලෙස සලාක අනුපාතය 10% ක් ද, වෙළෙඳපොළ අපේක්ෂිත පොලී අනුපාතය 8% ක් ද වෙයි නම්, බැඳුම්කරය අතිරික්ත මිලකට අළෙවි වනු ඇත, එනම්, රුපියල් 100 ට වඩා වැඩි මිලකටය. මෙය අතිරික්ත බැඳුම්කරයක් (Premium Bond) ලෙස හැඳින් වෙයි.

  • බැඳුම්කර සලාක අනුපාතය වෙළෙඳපොළ පොලී අනුපාතයට වඩා අඩු වීම -

එවිට, වෙළෙඳපොළ මිල මුහුණත මිලට වඩා අඩු මිලක් වෙයි. ඊට හේතුව, බැඳුම්කර ආයෝජකයාට රජයෙන් ලැබෙන පොලිය ඔහු විසින් අපේක්ෂිත පොලී අනුපාතයට වඩා අඩු බැවින් ඊට සරිලන ලෙස බැඳුම්කරය සඳහා මුහුණත මිලට වඩා අඩු මිලක් ගෙවීමට ආයෝජකයා ඉදිරිපත් වෙයි. එනම්, වට්ටම් මිලකි. එම මිල වට්ටම මගින් සලාක පොලී හිඟය පියවා ගනු ඇත. උදාහරණ ලෙස සලාක අනුපාතය 10% ක් ද, වෙළෙඳපොළ අපේක්ෂිත පොලී අනුපාතය 11% ක් ද වෙයි නම්, බැඳුම්කරය වට්ටම් මිලකට අළෙවි වනු ඇත, එනම්, රුපියල් 100 ට වඩා අඩු මිලකට ය. මෙය වට්ටම් බැඳුම්කරයක් (Discount Bond) ලෙස හැඳින් වෙයි.

  • බැඳුම්කර සලාක අනුපාතය වෙළෙඳපොළ පොලී අනුපාතයට සමාන වීම - 

එවිට, වෙළෙඳපොළ මිල මුහුණත මිලට සමාන වෙයි. ඊට හේතුව, බැඳුම්කර ආයෝජකයාට රජයෙන් ලැබෙන පොලිය ඔහු විසින් අපේක්ෂිත පොලී අනුපාතයට සමාන බැවින් ඊට සරිලන ලෙස බැඳුම්කරය සඳහා මුහුණත මිල ගෙවීමට ආයෝජකයා ඉදිරිපත් වෙයි. මෙය මුහුණත වටිනාකම් බැඳුම්කරයක් (Par Value Bond) ලෙස හැඳින් වෙයි.

එබැවින්, බැඳුම්කර වට්ටම යනු ආයෝජකයාට ලාභයක්/වාසියක් ලෙස හෝ බැඳුම්කර අතිරික්තය යනු ආයෝජකයාට අලාභයක්/අවාසියක් ලෙස සැලකීම වැරදිය. එහෙත්, තරඟකාරී ලෙස බැඳුම්කර ආයෝජනයේ දී යම් ආයෝජකයකු විසින් බැඳුම්කරයක් 2% වට්ටමකටත්, තවත් ආයෝජකයකු විසින් එම බැදුම්කරය එම අවස්ථාවේ දීම 3% ක වට්ටමකටත් මිල දී ගනී නම්, පළමු ආයෝජකයාට සාපේක්ෂව දෙවැනි ආයෝජකයාට 1% ක මිල වාසියක් ලැබී ඇති බව කිව හැකිය. එහෙත්, එම වෙළෙඳාම ඔවුන්ගේ සමපේක්ෂණ අවශ්‍යතාවයන් සහ අරමුණු මත සිදු වී ඇති බැවින් වෙළෙඳාම් දෙක සැසදිය නොහැකිය. එබැවින්, වෙළෙඳපොළ සාධක මත ඵලදා අනුපාතයන් සහ බැඳුම්කර මිල ගණන් තීරණය වනු ඇත.

සලාක අනුපාතය තීරණය කිරීම

සලාක අනුපාතය තීරණය කිරීම සඳහා මූල්‍ය සූත්‍රයක් නොමැති අතර එය හුදෙක් බැඳුම්කර නිකුතුකරුගේ අභිමතය සහ තොරතුරු මත තීරණය කෙරේ. රජය විසින් අඩු ඉල්ලුමක් ඇති දිගු කාලීන බැඳුම්කර නිකුත් කරන විට ආයෝජකයන් දිරිමත් කිරීම සඳහා ඉහළ සලාක අනුපාතයන් ප්‍රදානය කිරීම දක්නට ලැබේ. එවිට, ආයෝජකයන්ට අර්ධ වාර්ෂිකව රජයෙන් ලැබෙන පොලී ආදායම ඉහළ බැවින් ඔවුන් දිරිමත් විය හැකිය.

එහෙත්, පරිණත කාලය තුළ සලාක පොලිය ගෙවීම සඳහා රජයේ වියදමට ඇති වන පීඩනය ඉහළ යනු ඇත. එබැවින්, රජය ණය ගැනීමේ දී මුහුණ දෙන වාර්ෂික පොලී වියදම පාලනය කිරීම සඳහා අඩු සලාක අනුපාතයන් ප්‍රදානය කිරීම ද දැකිය හැකිය. එහෙත්, බැඳුම්කරවලින් ආයෝජකයාට ලැබෙන ඵලදාව වෙළෙඳපොළ ඉල්ලුම් සහ සැපයුම් සාධක තුළින් තීරණය වනු ඇත. එබැවින්, නව බැඳුම්කර නිකුත් කිරීමේ දී හැකි තරම් සමකාලීන වෙළෙඳපොළ පොලී අනුපාතයන්ට ගැලපෙන සලාක අනුපාතයන් සහිත බැඳුම්කරයන් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත. එමගින්, ලංසු තරගකාරී/සමපේක්ෂණ  පරාසය සිමා වනු ඇත.

බැඳුම්කර නව නිකුතු සහ ප්‍රතිනිකුතු

රජයට ණය රැස් කිරීම සඳහා බැඳුම්කර වෙන්දේසි කිරීමේ දී දෙයාකාරයකට නිකුත් කෙරේ. එනම්, නව බැඳුම්කර නිකුතු (New Issuances) සහ ප්‍රතිනිකුතු (Re-issuances) යනාදිය යි. නව නිකුතු යනු දැනට ද්විතීය වෙළෙඳපොළේ නොමැති නව බැඳුම්කරයක් නව සලාක අනුපාතයක් සහ පරිණත කාලයක් සහිතව නිකුත් කිරීම යි. ප්‍රතිනිකුතු යනු අතීතයේ දිනක නිකුත් කොට ඇති බැඳුම්කරයක් එහි ඉතිරි පරිණත කාලය සඳහා ණය ගැනීම පිණිස නැවත වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම යි.

උදාහරණ ලෙස 10% ක සලාක අනුපාතයක් සහිත දස අවුරුදු බැඳුම්කරයක් රුපියල් බිලියන 10 ක ණය ගැනීම සඳහා යම් දිනක වෙන්දේසි කළ බව සිතමු. එදින වෙළෙඳපොළ සාධක අනුව ලබා ගත හැකි ණය ප්‍රමාණය (උදාහරණ ලෙස රුපියල් බිලියන 9 ක්) ලබා ගත් පසු බැඳුම්කර වෙන්දේසිය අවසන් වෙයි.

 එහෙත්, වර්ෂ දෙකකට පසුව එම බැඳුම්කරයම නැවත රුපියල් බිලියන 15 ක ණය ගැනීම සඳහා වෙන්දේසි කළ හැකිය. මෙය ප්‍රතිනිකුතුවකි. මෙහිදී, මෙම බැඳුම්කරයේ සලාක පොළී අනුපාතය 10% නොවෙනස්ව පවතින අතර ණය පරිණත කාලය වර්ෂ 8 ක් හෙවත් බැඳුම්කරයේ ඉතිරිව ඇති පරිණත කාලය යි. මෙම ප්‍රතිනිකුතු වෙන්දේසියෙන් රුපියල් බිලියන 12 ක ණය ලබා ගත් බව සිතමු. එවිට ආපසු ගෙවිය යුතු මුළු බැඳුම්කර ණය ප්‍රමාණය රුපියල් බිලියන 21 (නව නිකුතු රුපියල් බිලියන 9 + ප්‍රතිනිකුතු රුපියල් බිලියන 12) කි. පසුව මෙම බැඳුම්කරයම නැවත කිහිප වරක් ප්‍රතිනිකුතු මත කිකුත් කළ හැකිය.

එබැවින්, ප්‍රතිනිකුතු බැඳුම්කරවල වට්ටම හෝ අතිරික්තය තීරණය වනුයේ බැඳුම්කර සලාක පොලී අනුපාතය සහ ප්‍රතිනිකුතු දින බැඳුම්කරයේ ඉතිරි පරිණත කාලය සඳහා ආයෝජකයන් අපේක්ෂා කරන පොලී අනුපාතය අතර වෙනස මත යි. මෙවැනි බැඳුම්කරවල සලාක පොලී අනුපාතයන් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාත ව්‍යුහයට වඩා දැඩි ලෙස වෙනස් විය හැකි බැවින්, බැඳුම්කර වට්ටම හෝ අතිරික්තය ඉතා ඉහළ ප්‍රමාණයක් විය හැකිය. එබැවින්, මෙම වට්ටම හෝ අතිරික්තය යනු බැඳුම්කර නිකුතුවෙන් ලබන අලාභය හෝ ලාභය ලෙස සැලකීම බැඳුම්කර වෙළෙඳපොළ සංකල්පයන්ට විරුද්ධ වෙයි.

බැඳුම්කර ආයෝජනවල ඵලදා අනුපාතය 

භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනයෙන්  ආයෝජකයාට ලැබෙන මූල්‍ය ඵලදාව සංකල්පයන් තුනක් යටතේ ගණනය කෙරේ. එනම්, ජංගම/වර්තන ඵලදා අනුපාතය (Current Yield), සඵල ජංගම ඵලදා අනුපාතය (Effective Current Yield) සහ පරිණත  කාලයට  ඵලදා අනුපාතය (Yield to Maturity) යනාදිය යි. එබැවින්, මෙම අනුපාතයන් යනු රජයට හෝ ණය හිමියාට දරන්නට සිදු වන පොලී පිරිවැය ලෙස නොසැලකිය යුතුය. එම පොලී පිරිවැය වන්නේ සලාක අනුපාතය හෝ පොලී ප්‍රමාණය යි.

  • ජංගම ඵලදා අනුපාතය  

මෙය බැඳුම්කරයක ස්ථාවර වාර්ෂික සලාක මුදල සහ බැඳුම්කර වෙළෙඳ මිල අතර අනුපාතය ලෙස ගණනය කෙරේ.

ජංගම ඵලදා අනුපාතය  = වාර්ෂික කූපන් පොලී මුදල / වර්තමාන බැඳුම්කර වෙළෙඳපොළ මිල x 100

උදාහරණ ලෙස බැඳුම්කරයක සලාක පොලී අනුපාතය 10% ක් ද, එහි වර්තමාන මිල රුපියල් 95 ක් ද වෙයි නම්, වාර්ෂික ජංගම ඵලදා අනුපාතය 10.5% (10/95 100) ක් වෙයි. මෙසේ බැඳුම්කරය වට්ටමක් සහිතව වෙළෙඳාම් කෙරෙන්නේ සලාක පොලී අනුපාතය වෙළෙඳපොළ පොලී අනුපාතයට වඩා අඩු බැවිනි.

මේ අනුව, බැඳුම්කරයක වෙළෙඳපොළ මිල සහ ජංගම ඵලදා අනුපාතය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී. එනම්, බැඳුම්කර මිල ඉහළ යන විට ඵලදා අනුපාතය පහළ යනු ඇත. ඊට හේතුව, වාර්ෂික සලාක පොලී ආදායම ස්ථාවර බැවිනි. මෙහිදී, බැඳුම්කර හිමියන්ගේ ප්‍රාග්ධන ලාභ ඉහළ යයි. එනම්, බැඳුම්කරයේ මිල ඉහළ යාමේ ප්‍රමාණය යි. මීට ප්‍රතිවිරුද්ධව, වෙළෙඳපොළ මිල පහළ යන විට ඵලදා අනුපාතය ඉහළ යනු ඇත. මෙහිදී, බැඳුම්කර හිමියන්ගේ ප්‍රාග්ධන ලාභ පහළ යනු ඇත. ඵලදා අනුපාතය ඉහළ යන විට, එනම් බැඳුම්කර මිල පහළ යන විට, බැඳුම්කර ආයෝජන ඉල්ලුම ඉහළ යාම ද, ඊට ප්‍රතිවිරුද්ධව ඵලදා අනුපාතය පහළ යන විට, එනම් බැඳුම්කර මිල ඉහළ යන විට, බැඳුම්කර ආයෝජන ඉල්ලුම පහළ යාම ද සාමාන්‍යයෙන් දැකිය හැකිය.

  • සඵල ජංගම ඵලදා අනුපාතය

මෙහිදී, බැඳුම්කර ආයෝජනයක සලාක පොලිය සහ වට්ටම/අතිරික්තය සැලකිල්ලට ගෙන ඵලදා අනුපාතය ගණනය කෙරේ. එය පහත දැක්වෙයි.

සඵල ජංගම ඵලදා අනුපාතය = [වාර්ෂික කූපන් පොළිය  + බැඳුම්කර වට්ටම හෝ - බැඳුම්කර අතිරික්තය/ඉතිරි පරිණත කාලය]/බැඳුම්කර වත්මන් වෙළෙඳපොළ මිල x 100 

මෙහිදී, මූල්‍ය ඵලදාව ලෙස සැලකෙන්නේ සලාක පොලී මුදල සහ මිල වට්ටම හෝ අතිරික්තය යි. ඒ අනුව, වට්ටමේ ප්‍රමාණයෙන් මූල්‍ය ඵලදාව ඉහළ යන අතර අතිරික්තයේ ප්‍රමාණයෙන් මූල්‍ය ඵලදාව පහළ යයි. එහෙත්, මෙම ඵලදා අනුපාතය -ආයෝජන විග්‍රහවල දී එතරම් භාවිතා නොකෙරේ.

  • පරිණත  කාලයට  ඵලදා අනුපාතය

පරිණත  කාලයට  ඵලදා අනුපාතය යනු සංකීර්ණ තාක්ෂණික සංකල්පයකි. එහෙත්, බැඳුම්කර ආයෝජන විග්‍රහවල දී නිරන්තරයෙන් භාවිතා වන්නේ මෙම ඵලදා අනුපාතය යි. දිගු කාලීන මූල්‍ය ආයෝජන ඇගයීමේ විග්‍රහවල දී අභ්‍යන්තර ඵලදා අනුපාතය (Internal Rate of Return) ලෙස හැඳින්වෙන්නේ මෙම ඵලදා අනුපාතය යි. අභ්‍යන්තර ඵලදා අනුපාතය යනු දිගු කාලීන ආයෝජනයක වර්තමාන වෙළෙඳපොළ මිලට (එනම්, ආයෝජන මුදල), එම ආයෝජනය සඳහා ආයෝජන පරිණත කාලය තුළ අනාගතයේ ලැබෙන මුදල් ලැබීම්වල එකතුව සමාන කෙරෙන වට්ටම් අනුපාතය යි.

පරිණත කාලය තුළ ආයෝජනය සඳහා ලැබෙන මුදල් ලැබීම් වන්නේ වාර්ෂිකව ලැබෙන පොලිය සහ පරිණත කාලය අවසානයේ ලැබෙන මුල් ආයෝජන මුදල යනාදිය යි. ඒ අනුව, බැඳුම්කර ආයෝජනය සම්බන්ධව සලකන විට එහි වර්තමාන මිල යනු බැඳුම්කර වෙළෙඳපොළ මිල යි.  එය කලින් කලට වෙනස් වෙයි. පරිණත කාලය තුළ ලැබෙන මුදල් ලැබීම් යනු අර්ධ වාර්ෂිකව ලැබෙන සලාක පොලී මුදල් ප්‍රවාහය සහ බැඳුම්කර පරිණත කාලය අවසානයේ දී රජය විසින් ගෙවන බැඳුම්කර මුහුණත වටිනාකම යනාදියේ එකතුව යි.

ඒ අනුව, ආයෝජකයන් විසින් බැඳුම්කරයක වර්තමාන වෙළෙඳපොළ මිල ලෙස අපේක්ෂා කරන්නේ එම බැඳුම්කර ආයෝජනය සඳහා බැඳුම්කරයේ පරිණත කාලය තුළ අනාගතයේ වරින් වර ලැබෙන මුදල් ප්‍රවාහයේ වර්තමාන වටිනාකම (Present Value of Future Cash Flow) යි. අනාගතයේ දී ලැබෙන මුදල් ප්‍රවාහයක වර්තමාන වටිනාකම යනු එම මුදල් ප්‍රවාහය යම් කිසි පොලී අනුපාතයකින් වට්ටම් කිරීමෙන් ගණනය කෙරෙන වටිනාකම යි (Discounted Cash Flow).

එසේ වට්ටම් කිරීමට හේතුව ආයෝජකයෙකුට අනාගත දිනක දී ලැබෙන මුදල් ප්‍රමාණයේ වටිනාකම, ආයෝජකයා වෙත එම මුදල් ප්‍රමාණයම  වර්තමානයේ ලැබේ නම් එහි වටිනාකමට වඩා අඩු වන බැවිනි. ඊට හේතුව, වර්තමානයේ ලැබෙන මුදල් ප්‍රමාණය ආයෝජනය කිරීම තුළින් පොලී ආදායමක් ලබා ගත හැකි වීම යි. එහි අදහස වනුයේ අනාගතයේ ලැබෙන මුදල් ප්‍රමාණයෙන් ආයෝජකයාට මූල්‍ය පාඩුවක් සිදු වන බව යි. එම පාඩුව වනුයේ ඉහත දැක්වූ උපයා ගත හැකිව තිබූ පොලී ආදායම යි.

උදාහරණ ලෙස ආයෝජකයකු වෙත 2022 ජනවාරි 01 දින රුපියල් 100 ක් පවතින බවත්, එය ස්ථාවර තැන්පතුවක ආයෝජනය කිරීමෙන් වර්ෂය අවසානයේ 8% ක පොලී ඵලදාවක් (r) ලබා ගත හැකි බවත් සිතමු. එනම්, වර්ෂය අවසානයේ ඔහුට රුපියල් 108 ක් ආපසු ලැබේ. මෙහි අදහස වනුයේ වර්ෂය අවසානයේ ආයෝජකයාට ලැබෙන රුපියල් 108 ක මුදල් ප්‍රමාණයේ 2022 ජනවාරි 01 දින වටිනාකම වනුයේ රුපියල් 100 ක් බව යි. වර්තමාන වටිනාකම ලෙස දැක්වෙනේ මෙය යි. එය ගණනය කෙරෙන්නේ රුපියල් 108 ක මුදල් ප්‍රමාණය 8% පොලී අනුපාතයෙන් වට්ටම් කිරීමෙනි (Discounting). එනම්, 108/1+r හෝ 108/1.08. එම ආයෝජන මුදල වර්ෂ දෙකකට පසුව ලැබේ නම්, එය එසේ දෙවාරයක් වට්ටම් කෙරේ. එනම්, 108/(1+r)2.

ඒ අනුව, ආයෝජකයන් විසින් යම් පරිණත කාලයක් සඳහා මුදල් ආයෝජනයේ දී එම කාලය තුළ ආයෝජනය මුහුණ දිය හැකි විවිධ අවදානම් සැලකිල්ලට ගෙන එම අවදානම් ආවරණය සඳහා ප්‍රමාණවත් පොලී අනුපාතයක් හෝ ඵලදාවක් අපේක්ෂා කෙරේ. එම කාලය තුළ මුහුණ දෙන අවදානම් අතර ආයෝජන මුදල නොලැබී යාමේ අවදානම (ණය අවදානම) සහ උද්ධමනය ප්‍රධාන අවදානම් දෙකක් වෙයි. ඒ අනුව, අනාගතයේ ලැබෙන මුදල් ප්‍රමාණයක් හෝ ප්‍රවාහයක් වට්ටම් කිරීම සඳහා යොදා ගන්නේ එසේ අපේක්ෂිත පොලී අනුපාතය යි. එය වට්ටම් අනුපාතය (Discount Rate) ලෙස සැලකේ. ඉහත දැක්වූ අභ්‍යන්තර ඵලදා අනුපාතය හෝ පරිණත කාලයට ඵලදා අනුපාතය ලෙස අර්ථ දැක්වෙන්නේ මෙම වට්ටම් අනුපාතය යි. එය ආයෝජකයන් අතර වෙනස් විය හැකිය. ඊට හේතුව ඔවුන් අතර පවතින අවදානම් ඇගයීමේ වෙනස යි.

ඉහත දැක්වූ උදාහරණය අනුව වාර්ෂිකව R ප්‍රමාණයක සලාක පොලී මුදලක් ලැබෙන රුපියල් 100 මුහුණත වටිනාකම සහිත වර්ෂ තුනක බැඳුම්කරයක මුදල් ආයෝජනය කිරීම සඳහා ආයෝජකය විසින් ඉල්ලා සිටින බැඳුම්කර මිල ගණනය කිරීම පහත දැක්වෙයි.

  • බැඳුම්කර වර්තමාන වෙළෙඳපොළ මිල = බැඳුම්කර පරිණත කාලය තුළ මුළු මුදල් ලැබීම්වල වට්ටම් කරන ලද වටිනාකම

  • බැඳුම්කර වර්තමාන වෙළෙඳපොළ මිල = R /(1+r) + R/(1+r)2+(R+100)/(1+r)3

  • R: ස්ථාවර වාර්ෂික සලාක පොලී මුදල,  r: පරිණත කාලයට ඵලදා අනුපාතය හෝ වට්ටම් අනුපාතය

මෙය ගණනය කිරීමේ දී උපකල්පනයන් තුනක් භාවිතා කෙරේ. පළමුව, ආයෝජකයාට කලින් කලට ලැබෙන සලාක පොලී මුදල් ප්‍රමාණය නැවත නැවත බැඳුම්කර පරිණත කාලය අවසාන වන තෙක් r පොලී අනුපාතයට ආයෝජනය කරන බව.  දෙවනුව, ආයෝජකයා විසින් පරිණත කාලය පිරෙන තෙක් බැඳුම්කරය තමා වෙත තබා ගන්නා බව. තෙවනුව, ආයෝජනය සඳහා පවතින හෝ අපේක්ෂිත අවදානම පරිණත කාලය තුළ ස්ථාවර බව. ඒ අනුව, ප්‍රාථමික අළෙවි කරුවන් සහ ආයෝජකයන් විසින් බැඳුම්කර ආයෝජනයන් සඳහා මිල ලංසු ඉදිරිපත් කෙරන්නේ මෙම ඵලදා අනුපාත අපේක්ෂණයන් හෝ ඇස්තමේන්තු පදනම් කර ගෙන ය. එබැවින්, යම් ආයෝජකයකු විසින් යම් බැඳුම්කරයක් සඳහා මිලක් ඉදිරිපත් කළ විට ඊට අදාළ ඵලදා අනුපාතය පරිගණක ඇසුරින් ගණනය කළ හැකිය. එය ඉහත දැක්වූ ජංගම ඵලදා අනුපාතය මෙන් ඉලක්කම් ක්‍රමයට ගණනය කළ නොහැකිය.

මෙම වට්ටම් කිරීම මුදල්වල කාල වටිනාකම (Time Value of Money) සංකල්පය මත සිදු කෙරේ. එබැවින්, බැඳුම්කර ආයෝජකයන් විසින් වර්තමාන බැඳුම්කර මිල තීරණය කරනුයේ අදාළ පරිණත කාලය සඳහා අපේක්ෂා කෙරෙන වට්ටම් අනුපාතය හෝ පරිණත කාලයට ඵලදා අනුපාතය අනුව යි. බැඳුම්කරයක මුදල් ආයෝජනය කිරීමේ දී මුහුණ දිය හැකි අවදානම් පිළිබඳ ව විවිධ ආයෝජකයන් විසින් විවිධ අපේක්ෂණයන් මත විවිධාකර ඇගයීම් කෙරෙන බැවින් ඔවුන් විසින් ඉල්ලා සිටින ඵලදා අනුපාතයන් සහ බැඳුම්කර මිල ගණන් විවිධ වනු ඇත. මෙම අපේක්ෂණයන් සහ ඇගයීම් නිතර වෙනස් වන බැවින් බැඳුම්කර වෙළෙඳපොළේ බැඳුම්කර මිල සහ ඵලදා අනුපාතයන් ද ඒ අනුව නිතර වෙනස් වනු ඇත. වෙළෙඳපොළ සාධක හෝ බලවේග ලෙස පුළුල් වශයෙන් හැඳින් වෙන්නේ මෙම ක්‍රියාවලිය යි.

උදාහරණ ලෙස රජය සහ මහ බැංකුව විසින් රාජ්‍ය ණය කෙසේවත් පැහැර නොහරින බව නිරන්තරයෙන් ප්‍රකාශ කළ ද, ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිය දැඩි ලෙස පහළ ගොස් ඇති බැවින් එය සැලකිල්ලට ගෙන විදේශ ආයෝජකයන් විසින් ශ්‍රී ලංකා බැඳුම්කරවල මුදල් ආයෝජනයේ දී ඉතා පහළ මිල ගණන් හෝ ඉතා ඉහළ ඵලදා අනුපාතයන් ඉල්ලා සිටීම දැකිය හැකිය. ඊට හේතුව, ණය අවදානම යනු අනාගතයේ මුහුණ දෙන අවදානමක් වන අතර අතීතයේ දී ණය ගෙවූ පමණින් අනාගතයේ දී ද නිසැකව ණය ගෙවන බවට සහතිකයක් දිය නොහැකිය. එහෙත්, ඔවුන් විසින් ඇමෙරිකාව වැනි සංවර්ධිත රටවල රාජ්‍ය බැඳුම්කර ආයෝජනය සඳහා ඉතා ඉහළ මිල ගණන් හෝ පහළ පොලී අනුපාතයන් මත ඉල්ලුම් කරනු ඇත. ඊට හේතුව, එම බැඳුම්කරවල ඇති අවදානම ඉතා පහළ මට්ටමක් බවට ඇති ගෝලීය ඇගයීම හෝ පිළි ගැනීම යි.

භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි පැවැත්වීම

වෙන්දේසිවලින් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කිරීමට අවසරය ඇත්තේ ප්‍රාථමික අළෙවි කරුවන්ට සහ සේවක අර්ථසාධක අරමුදල වැනි වෙළෙඳුන් නොවන අනුමත ආයෝජකයන්ට ය. ඔවුන්ට විවිධ මිල ගණන් යටතේ ලංසු ගණනාවක් ඉදිරිපත් කල හැකිය. එම ලංසු ඉදිරිපත් කෙරෙන්නේ ඉහත දැක්වූ පරිදි ගණනය කෙරෙන අපේක්ෂිත පරිණත කාලයට ඵලදා අනුපාතයන් මත ය. ඒ අනුව, මහ බැංකුව විසින් තමා සතු මූල්‍ය වෙළෙඳපොළ තොරතුරු (ඉල්ලුම් සහ සැපයුම් තොරතුරු) පදනම් කර ගෙන යම් ලංසු ප්‍රමාණයක් පිළි ගෙන ඉතිරි ලංසු ප්‍රතික්ෂේප කෙරේ. එසේ පිළි ගත් ලංසු සඳහා ඒ ඒ ලංසු මිල ගණන්වලට ඉල්ලා ඇති බැඳුම්කර ප්‍රමාණය නිකුත් කෙරේ.

එබැවින්, ලංසු හිමියා විසින් තම ලංසු මිල ගණන් මත මුදල් රජයට ලබා දිය යුතු අතර පරිණත කාලය අවසාන දින රජය විසින් එදින බැඳුම්කර හිමි අයෝජකයන්ට එම බැඳුම්කරවල මුහුණත වටිනාකම ආපසු ගෙවනු ලැබේ. එසේම, සෑම මාස 6 කට වරක් එම අවස්ථාවේ බැඳුම්කර හිමි අයෝජකයන්ට රජය විසින් සලාක පොලිය ගෙවනු ලැබේ. වෙන්දේසි පැවැත් වීම පිළිබඳ විස්තර ප්‍රකාශනවල දී මහ බැංකුව විසින් පිළීගත් ලංසුවල ඵලදා අනුපාතයන් හෙළි නොකරන අතර එසේ පිළි ගත් සියළු ලංසුවල ඵලදා අනුපාතයන් ඇසුරින් ගණනය කරන ලද බරිත සාමාන්‍ය ඵලදා අනුපාතය පමණක් ප්‍රසිද්ධ කෙරේ. උදාහරණ ලෙස මහ බැංකුව විසින් පසුගිය ජනවාරි 11 දින පැවැත් වූ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිපල පහත දැක්වෙයි.


ඒ අනුව, මුල් බැඳුම්කර දෙක ප්‍රතිනිකුතු වන අතර තෙවැනි බැඳුම්කරය නව නිකුතුවකි. ප්‍රථම බැඳුම්කරය 2015 මාර්තු 15 දින ද, දෙවැනි බැඳුම්කරය 2017 දෙසැම්බර් 15 දින ද පළමුවෙන් නිකුත් කරන ලද ඒවා ය. එබැවින්, ඒවායේ ඉතිරි පරිණත කාලය පිළිවෙලින් මාස 38 ක් සහ මාස 59 ක් පමණ වෙයි. එබැවින්, ඒවායේ සලාක අනුපාතයන් වෙන්දේසි ඵලදා අනුපාතයන්ට (හෝ වෙළෙඳපොළ ඵලදා අනුපාතයන්ට) වඩා අඩු වෙයි. එබැවින්, මෙම බැඳුම්කර දෙක මෙම වෙන්දේසියේ දී වට්ටමකට නිකුත් වී ඇත. එහෙත්, තෙවැනි බැඳුම්කරය නව නිකුතුවක් බැවින් සමකාලීන වෙළෙඳපොළ ඵලදා අනුපාතයන් සැලකිල්ලට ගෙන සලාක අනුපාතය තීරණය කොට ඇති බව පෙනේ. එබැවින්, වෙන්දේසි ඵලදා අනුපාතය සලාක අනුපාතයට සමාන වී ඇති අතර එය මුහුණත වටිනාකම් බැඳුම්කරයක් වී ඇත. එහෙත්, ලංසුවල ඵලදා අනුපාතයන් මීට වඩා වෙනස් හැකිය.

මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා 2.5-3.0 ගුණයක ලංසු ලැබුණ ද, වෙන්දේසියට ඉදිරිපත් කොට ඇති මුදල ලබා ගැනීමට හැකි වී ඇත්තේ නව බැඳුම්කරය සඳහා පමණි. අනෙක් බැඳුම්කර දෙක සඳහා ලංසුවලින් ලබා ගැනීමට හැකි වී ඇත්තේ වෙන්දේසි මුදලින් පිළිවෙලින් 64% ක සහ 58% ක මුදල් ප්‍රමාණයන් ය. එබැවින්, බහුතර ලංසු ප්‍රතික්ෂේප වී ඇත්තේ ඉහළ ඵලදා අනුපාතයන් හෝ ඉහළ වට්ටම් ඉල්ලා ඇති බැවිනි. එවැනි ලංසු අධි සමපේක්ෂණ ලංසු වෙයි. වෙන්දේසිවලින් පිළි ගන්නා ලංසු ප්‍රමාණය තීරණය වන්නේ රාජ්‍ය අරමුදල් අවශ්‍යතාවය සහ පීඩනය, සමකාලීන මූල්‍ය වෙළෙඳපොළ තත්ත්වය සහ මූල්‍ය ප්‍රතිපත්ති දිසාව සහ තත්ත්වය යනාදිය සැලකිල්ලට ගෙන ය.

වෙන්දේසි සඳහා බැඳුම්කර ප්‍රමාණයන් ඉදිරිපත් කරන්නේ රජයේ අරමුදල් අවශ්‍යතාවය, පවතින අරමුදල් ප්‍රවාහය සහ මුලාශ්‍රයන්, රාජ්‍ය ණය තොගයේ පරිණත කාල ව්‍යුහය සහ ණය සේවාකරන ගෙවීම් ව්‍යුහය සැලකිල්ලට ගෙන ය. යම් ආකාරයකින් රජයේ ණය ගෙවීම වැනි ඉතා හදිසි අරමුදල් අවශ්‍යතාවයක් පවතී නම් අධි සමපෙක්ෂණ ලංසු පවා පිළි ගැනීමට සිදු විය හැකිය. ඊට හේතුව, එසේ නොවුව හොත් රජය ණය පැහැර හැරීමෙන් රාජ්‍ය ණය විශ්වාසය බිඳී සමස්ත මූල්‍ය සහ ආර්ථික අර්බුදයක් හට ගැනීමේ අවදානමක් පවතින බැවිනි. එවැනි ගෝලීය අත්දැකීම් සංවර්ධිත රටවලින් පවා වාර්තා වෙයි.

ඒ අනුව, මෙම වෙන්දේසියෙන් රුපියල් බිලියන 50 ක් රැස් කිරීමට මහ බැංකුව බලාපොරොත්තු වුව ද, රැස් කර ගැනීමට හැකි වී ඇත්තේ ඉන් 80% ක් පමණි. ඉතිරි 20% ක අරමුදල් ප්‍රමාණය රැස් කර ගැනීම සඳහා රජයට වෙනත් අරමුදල් මුලාශ්‍රයන් පවතින්නට ඇත. එහෙත්, එම ණය අරමුදල්වල කොන්දේසි මෙම බැඳුම්කර කොන්දේසිවලට වඩා වෙනස් විය හැකි බැවින් එමගින් රජයට ඇති මූල්‍ය වාසිය සැසදීමක් කළ නොහැකිය. උදාහරණ ලෙස ඉහත දැක්වූ පළමු බැඳුම්කර දෙකෙන් ලබා ගත නොහැකි වූ රුපියල් මිලියන 9,772 ක මුදල රාජ්‍ය බැංකු අයිරාවකින් හෝ මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් හෝ සපයා ගත හැකිය.

එහෙත්, එම ඉතා කෙටි කාලීන ණය මුලාශ්‍රයන් එම බැඳුම්කර දෙක සඳහා අදේශකයන් නොවේ. එසේ වෙන්දේසි දිගින් දිගට ප්‍රතික්ෂේප කරමින් අක්‍රමවත් ලෙස කෙටි කාලීන මුලාශ්‍රයන් වෙත යාම තුළින් රාජ්‍ය ණය කළඹ මෙන්ම මූල්‍ය පද්ධතිය ද දැඩි අවදානමකට ලක් වනු ඇත. එවැනි මුලාශ්‍රයන් පවතී නම්, මහ බැංකුව විසින් අඩු මුදල් ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට ලංසු සමපේක්ෂණය පාලනය කළ යුතුව පැවතින. එබැවින්, වෙළෙඳපොළ හරහා අරමුදල් රැස් කෙරේ නම්, රජය ද වෙළෙඳපොළ විනයට අනුගත වීමට පුරුදු විය යුතුය. ඊට හේතුව, නූතන මූල්‍ය වෙළෙඳපොළවල් දිගින් දිගට පාලනය කිරීමට හැකියාවක් රජයට හෝ මහ බැංකුවට නොමැති බැවිනි. වත්මන් රාජ්‍ය ණය සේවාකරණ ගැටළුවලට මූලික හේතුවක් වන්නේ රජය වෙළෙඳපොළ විනයට අනුගත නොවීම යි.

එබැවින්, සෑම වෙන්දේසියක ප්‍රතිපල එකිනෙකට වෙයි. එබැවින්, ඵලදා අනුපාතයන් හෝ පිළි ගත් ලංසු ප්‍රමාණයන් වෙන්දේසි අතර සැසදීම කොට එම වෙන්දේසි තීරණයන් කෙසේ ගත යුතුව තිබුනේ ද? යන්න පසුව විග්‍රහ කිරීම සඳහා පිළි ගත් ක්‍රමවේදයක් නොමැත. උදාහරණ ලෙස ඉහත වෙන්දේසියේ දස අවුරුදු බැඳුම්කරයේ 12.01% ක් වූ සාමාන්‍ය ඵලදා අනුපාතය, 2021 ජුලි මස 29 දින පැවති වෙන්දේසියේ දී පිළි ගත් වර්ෂ 10 ට ආසන්න පරිණත කාලයක් සහ 11.25% ක සලාක පොලී අනුපාතයක් සහිත බැඳුම්කරයේ 8.86% ක් වූ සාමාන්‍ය ඵලදා අනුපාතය සමඟ සසඳා, පසුගිය වෙන්දේසියේ 12.01% ක සාමාන්‍ය ඵලදා අනුපාතය යනු රජයේ ණය පිරිවැය ඉහළ යාමක් ලෙස අර්ථකතනය කිරීම මූල්‍ය ආර්ථික විද්‍යා මුලධර්මයන්ට පටහැනි වෙයි. 

එබැවින්, වෙන්දේසි ප්‍රතිපලවල පසුබිම අවබෝධ කර ගැනීම සඳහා රාජ්‍ය අරමුදල් සංරෝධකයන් සහ වෙන්දෙසිවල දී මුහුණ දෙන සමකාලීන මූල්‍ය වෙළෙඳපොළ සාධක පිළිබඳ ප්‍රයෝගික අත්දැකීම් අත්‍යවශ්‍ය වෙයි. උදාහරණ ලෙස වර්තමාන ඵලදා අනුපාතයන් අධික ලෙස ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ 2021 අගෝස්තු මස 19 දින සිට මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම යි.

ඉහත දැක්වූ වාර්ෂික සලාක අනුපාතයන් (සහ ඵලදා අනුපාතයන්) ඊට විකල්ප ආයෝජනයන් වන සමකාලීන බැංකු වාර්ෂික ස්ථාවර තැන්පතු පොලී අනුපාතයන් වන 6%-7% හා සැසදීමේදී ඉතා ඉහළ අගයන් බැවින් බැඳුම්කරවල මුදල් ආයෝජනයන් මහජනයාට ඉතාමත් වාසි දායක වෙයි. බැඳුම්කරවල ආයෝජනයන්හි ණය අවදානම ශූන්‍ය වන අතර ද්‍රවශීලතාවය ඉතා ඉහළ වෙයි. එසේම, භාණ්ඩාගාර බැඳුම්කර හරහා රැස් කෙරෙන අරමුදල් රාජ්‍ය සේවාවන් පවත්වා ගැනීම සහ පවතින රාජ්‍ය ණය සේවාකරණය සඳහා යොදා ගන්නා බැවින් එය ද මහජනයාට ලැබෙන ප්‍රතිලාභයකි. එහෙත්, වෙන්දේසියේ දී පිළි ගත හැකි ලංසු ප්‍රමාණය හිඟ වීමෙන් පෙනී යන්නේ මහජනයා අතර මෙම බැඳුම්කර සඳහා පවතින ඉල්ලුම ඉතා පහළ බව යි. 

ඊට හේතුව, බැඳුම්කර ආයෝජනය සහ එහි මූල්‍ය ප්‍රතිලාභ පිළිබඳ ව මහජනයා අතර මූල්‍ය සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පැවතීම යි. රට පුරා රාජ්‍ය බැංකු සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාමෙහි නිරත බැංකු පැවතිය ද, එවැනි කිසිම බැංකු ශාඛාවක රාජ්‍ය  සුරැකුම්පත් ආයෝජනය පිළිබඳ තොරතුරු මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමක් දැකිය නොහැකිය. රාජ්‍ය සුරැකුම්පත් සමඟ දෙමුහුන් වූ විවිධ ඉතුරුම් ක්‍රමයන් ඉදිරිපත් කිරීමට බැංකුවලට හැකියාව ඇත. එසේම, නිර්ලේඛන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක වන වෙළෙඳපොළක් ප්‍රවර්ධනය සහ සංවර්ධනය කිරීම ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත යටතේ මහ බැංකුවේ වගකීමකි.

ඵලදා වක්‍රය

ඵලදා වක්‍රය (Yield Curve) ලෙස හැඳින් වෙන්නේ ද්විතීය වෙළෙඳපොළේ වෙළෙඳාම් කෙරෙන විවිධ පරිණත කාලයන්ගෙන් යුත් බැඳුම්කරවල ඵලදා අනුපාතයන්ගේ රේඛාව හෙවත් වක්‍රය යි. එම වක්‍රයේ මට්ටම සහ ස්වරුපය වෙළෙඳ දිනවල නිරන්තරයෙන් වෙනස් වනු ඇත. ඊට හේතුව, බැඳුම්කර වෙළෙඳපොළ සාධක නිරන්තරයෙන් වෙනස් වීම යි.

ඵලදා වක්‍රය යනු ණය අවදානම රහිත මූල්‍ය ආයෝජනවල පොලී හෝ ප්‍රතිලාභ ව්‍යුහය ලෙස සැලකේ. සාමාන්‍යයෙන් රට තුළ කෙරෙන දේශීය මුදල් ණය/ආයෝජනවලින් ශුන්‍ය ණය අවදානමක් පවතින්නේ රාජ්‍ය ණයවල බවට පොදුවේ පිළි ගැනේ. එහෙත්, පරිණත කාලය තුළ සිදු විය හැකි උද්ධමනය තුළින් ආයෝජිත මුදලේ මූර්ත වටිනාකම පහළ යාම සහ ද්‍රවශීලතා ගැටළු වැනි වෙනත් මූල්‍ය අවදානම් පවතී. එබැවින්, එම අවදානම් ආවරණය සඳහා ඵලදා අනුපාතයක් ආයෝජකයන් විසින් ඉල්ලා සිටී. එබැවින්, රාජ්‍ය නොවන ණය/ආයෝජන ගනුදෙනු සඳහා අය කෙරෙන පොලී අනුපාතයන් තීරණය කිරීම සඳහා පදනම ලෙස ඵලදා වක්‍රය භාවිතා කෙරේ. මෙහිදී, රාජ්‍ය සුරැකුම්පත් ඵලදා අනුපාතයට තවත් ප්‍රතිශතයක් එකතු කිරීමෙන් අදාළ ණය/ආයෝජන මුදල සඳහා පොලී අනුපාතය ගණනය කෙරේ.

එම අතිරේක ප්‍රතිශතය අවදානම් වාරිකය (Risk Premium) නම් වෙයි. උදාහරණ ලෙස ද්විතීය වෙළෙඳපොළේ  වර්ෂ 5 ක පරිණත කාලය සහිත රාජ්‍ය බැඳුම්කරයක ඵලදා අනුපාතය 10% ක් නම්, ව්‍යාපාරික සමාගමක් විසින් වර්ෂ 5 ක පරිණත කාලයක් සඳහා නිකුත් කෙරෙන පෞද්ගලික බැඳුම්කරයක් සඳහා 12% ක පොලී හෝ ඵලදා අනුපාතයක් ආයෝජකයකු විසින් ඉල්ලා සිටිය හැකිය. එනම්, අවදානම් වාරිකය 2% කි. එසේම, වෙනත් ආයෝජකයන් විසින් මෙම බැඳුම්කරයේ අවදානම පිළිබඳ ව තම ඇගයීම අනුව වෙනත් ප්‍රමාණයේ අවදානම් වාරිකයන් පදනම් කර ගෙන තීරණය කරන ලද පොලී අනුපාතයන් ඉල්ලා සිටිය හැකිය.

ඵලදා වක්‍රයේ හැඩය හෝ ස්වරුපය විවිධ ආකාරයන් ගත හැකිය. ඉහළ නගින හෝ පහළ බසින හෝ පැතලි හෝ වැනි විවිධ හැඩයන් සහිත ඵලදා වක්‍රයන් කලින් කලට දැකිය හැකිය. සමහර අවස්ථාවල ඵලදා වක්‍රයේ යම් යම් කොටස්වල අක්‍රමවත් රටාවන් දැකිය හැකිය. එය රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ ප්‍රවණතාවන් අනුව තීරණය වනු ඇත.

              ඵලදා අනුපාතය                      ඵලදා වක්‍රයන්                                                                  

                                                                                            පරිණත කාලය                             

ඵලදා වක්‍ර විග්‍රහයේ දී ඵලදා වක්‍රය ප්‍රධාන කොටස් තුනකට බෙදිම දැකිය හැකිය. එනම්, ඉදිරි අන්තය හෝ කෙටි කාලීන කොටස, මැදි කාලීන කොටස සහ පසු අන්තය හෙවත් දිගු කාලීන කොටස යනාදිය යි. එම කොටස්වල ද විවිධ හැසිරීම් ද දැකිය හැකිය. එසේම, දස වාර්ෂික ඵලදා අනුපාතය වැනි වෙළෙඳපොළේ ප්‍රචලිත ඵලදා අනුපාතයක් පදනම් කර ගෙන ඵලදා වක්‍රයේ උපණතිය විග්‍රහ කිරීම ද දැකිය හැකිය. ඵලදා වක්‍ර විග්‍රහය නිරන්තරයෙන් ඇමෙරිකානු ඵලදා වක්‍රය ආශ්‍රිතව දැකිය හැකිය.

මෙසේ ඵලදා වක්‍රය ගොඩ නැගීම සහ විග්‍රහ කිරීම සඳහා ද්විතීය වෙළෙඳපොළ ගනුදෙනු පිළිබඳ තත්කාලීන වෙළෙඳ තොරතුරු අවශ්‍ය වෙයි. එම තොරතුරු කොටස් වෙළෙඳපොළවල මෙන් විද්‍යුත් වෙළෙඳ වේදිකාවන් හරහා ප්‍රසිද්ධ කළ යුතුය. එහෙත්, ශ්‍රී ලංකාව වැනි රටවල එවැනි විද්‍යුත් වෙළෙඳ වේදිකාවක් සහිත රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළක් නොමැති නිසා ආයෝජකයන්ට අවශ්‍ය විනිවිද තොරතුරු පද්ධතියක් නොමැත. එබැවින්, රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනය යනු ඉතා ආරක්ෂාකාරී ඉහළ ඵලදාවක් සහිත ආයෝජනයක් වුව ද, එය මහජනයා අතර ප්‍රචලිත වී නොමැත. 

උදාහරණ ලෙස 2020 අවසානයේ දී දේශීය පුද්ගල ආයෝජකයන් අත පැවති රාජ්‍ය සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර) ප්‍රමාණය 5.4% කි. එබැවින්, එම ආයෝජනවල ප්‍රතිලාභය බැංකු, රක්ෂණ, අර්ථසාධක අරමුදල් සහ වෘත්තීය ආයෝජකයන් කිහිප දෙනෙකු අතර සංකේන්ද්‍රණය වී ඇත. එමගින්, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ ද්‍රවශීලතාවය සිමා වී ඇති අතර රජයට තරගකාරීව අරමුදල් සපයා ගැනීමේ ගැටළුවලට මුහුණ දීමට සිදු වනු ඇත.

ඵලදා වක්‍රය කෙරෙහි බලපාන සාධක

රටක ආර්ථිකයේ සහ මූල්‍ය පද්ධතියේ පදනම් වෙළෙඳපොළක් වන්නේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ යි. ඊට හේතුව, රාජ්‍ය ණය ගනුදෙනු ඉහළ මට්ටමක පැවතීමත්, මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය සුරැකුම්පත් යොදා ගැනීමත්, ආයෝජකයන් විසින් අවදානම් කළමනාකරණය සඳහා තම ආයෝජනවලින් කොටසක් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීමේ නැඹුරුවත් ය. එබැවින්, රාජ්‍ය ණය හෝ සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වන ඉල්ලුම් සහ සැපයුම් සාධක මත ඵලදා වක්‍රය නිරන්තරයෙන් වෙනස් වනු ඇත. මෙහිදී, ඵලදා අනුපාතයන් ලෙස සැලකෙන්නේ ඉහත දැක්වූ පරිදි සුරැකුම්පත්වල පරිණත කාලයට ඵලදා අනුපාතයන් වන බැවින් විවිධ ඉදිරි අපේක්ෂණයන් ද ඒ කෙරෙහි බලපානු ඇත. එවැනි ඉල්ලුම් සහ සැපයුම් සාධක රාශියක් පවතී. එබැවින්, ආර්ථිකයේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු සහ අපේක්ෂණයන් අනුව ඵලදා අනුපාතයන් නිතර වෙනස් වන බව දැකිය හැකිය.

එබැවින්, රටවල් අතර ඵලදා වක්‍රයන් සැසදීම ප්‍රයෝගික නොවේ. ඊට හේතුව, රටවල ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ ව්‍යුහය සහ ඉල්ලුම්-සැපයුම් සාධක අතර විශාල වෙනස්කම් පැවතීම යි. උදාහරණ ලෙස 2022 ජනවාරි මස 12 දින ඇමෙරිකානු රාජ්‍ය සුරැකුම්පත් ඵලදා වක්‍රය මාසයක සුරැකුම්පත් සඳහා 0.04% සිට වර්ෂ 30 ක සුරැකුම්පත් සඳහා 2.08% අතර පරාසයක ඉහළ නගින වක්‍රයක් ලෙස වාර්තා වී ඇත. එහෙත්, ශ්‍රී ලංකාවේ 2022 දෙසැම්බර් මස 11 සහ 12 දින පැවති වෙන්දේසි සැලකීමේ දී ප්‍රාථමික ඵලදා වක්‍රය දින 91 භාණ්ඩාගාර බිල්පත් සඳහා 8.38% සිට වර්ෂ 10 භාණ්ඩාගාර බැඳුම්කර සඳහා 12.01% දක්වා ඉතා ඉහළ මට්ටමක සහ පරාසයක ඉහළ යන බව දැකිය හැකිය.

එසේම, 2022 ජනවාරි 14 දින ජර්මනියේ ඵලදා වක්‍රය ඉතාම පහළ මට්ටමක පැවතින. එනම්මාස 3 සඳහා -0.655% සිට වසර 10 සඳහා -0.097% සහ වසර 30 සඳහා 0.194% දක්වා කෙටි පරාසයක ඉහළ නගින වක්‍රයක් විය. මෙහිදී, වසර 12 පමණ දක්වා වූ බැඳුම්කරවල ඵලදා අනුපාතයන් ඍණ මට්ටමක පැවතීම (එනම්, රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා ආයෝජකයන් විසින් රජයට පොලී ගෙවීම) අප වැනි රටවල රාජ්‍ය ණය විශ්ලේෂකයන්ට වටහා ගැනීම පවා අපහසු වනු ඇත. එබැවින්, රටවල් අතර ඵලදා වක්‍රයන්හි පවතින වෙනස්කම් සඳහා හේතු වන සාධක ගණිතමය සුත්‍රයක් මත තහවුරු කළ නොහැකිය.

එසේම, ඕනෑම රටක ඵලදා වක්‍රය කෙරහි බලපාන සාධක විග්‍රහය හුදෙක් විවිධ සංකල්පයන් සහ අදහස් මත පදනම් වන අතර නිවැරදි විග්‍රහය කුමක් ද? යන්න නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් නොමැති අතර ඵලදා වක්‍රයේ හැසිරීම නිවැරදි ලෙස පුරෝකතනය කිරීම ද කළ නොහැකිය.

  • මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ දිසාව සහ යොදා ගන්නා මෙවලම්

ඕනෑම රටක පොලී අනුපාතයන්ගේ සහ මුදල්/ණය සංසරණ පරිමාව මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය මත පදනම් වෙයි. මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන විට ආර්ථිකයේ ඵලදා වක්‍රය සහ පොලී අනුපාතයන් ඉහළ යන අතර මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කෙරෙන කාලවල ඒවා පහළ යයි. එසේම, බැංකු සහ මූල්‍ය ආයෝජකයන් විසින් ඉදිරියේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් පිළිබඳ විවිධ අපේක්ෂණයන් මත ක්‍රියා කරන බැවින්, එම අපේක්ෂණයන් වෙනස් වන විට ද ඵලදා වක්‍රය වෙනස් වනු ඇත. 2020 සහ 2021 වර්ෂයේ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ඵලදා අනුපාතයන් ඓතිහාසික ලෙස පහළ යාමට ප්‍රධානම හේතුව වූයේ ගෝලීය කොරෝනා වසංගතයෙන් ආර්ථිකයන් ගොඩ ගැනීම සඳහා අනුගමනය කළ අතිලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය යි.

මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් දෙකක් වන විවට වෙළෙඳපොළ කටයුතු සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මූල්‍ය වෙළෙඳපොළ හරහා ඵලදා අනුපාතයන් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කෙරේ. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ 2021 අගෝස්තු මස 19 දින සිට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් ඉහළ දැමීම සහ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රතිමිල දී ගැනුම් හරහා බැංකු පද්ධතියේ පැවති අතිරික්ත යයි සැලකෙන අරමුදල් අවශෝෂණය කර ගැනීම හේතු කොට මූල්‍ය වෙළෙඳපොළවල ඇතිවූ අරමුදල් හිඟය තුළින් ඵලදා අනුපාතයන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.

සමහර අවස්ථාවල මහ බැංකු විසින් මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ ද්විතීය වෙළෙඳපොළ/විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තුළින් ආර්ථිකයේ පොලී අනුපාතයන් මෙහෙය වීමේ අරමුණ මත ඵලදා අනුපාතයන් හෝ ඵලදා වක්‍රය පාලනය කිරීම දැකිය හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ඵලදා අනුපාතයන් පාලනය කිරීම (ඵලදා වක්‍රයේ ඉතා ඉතා කෙටි කාලීන කොටස) සඳහා මුදල් මුද්‍රණය හරහා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම ද මීට උදාහරණයකි. පසුගිය වර්ෂ කිහිපය පුරා ජපාන මහ බැංකුව විසින් 10 අවුරුදු රාජ්‍ය සුරැකුම්පත් ඵලදා අනුපාතය ශුන්‍යය මට්ටමක පවත්වා ගැනීමේ ඉලක්කය මත විවට වෙළෙඳපොළ කටයුතු කෙරේ. එසේම, ඇමෙරිකානු මහ බැංකුව විසින් 2011-12 කාලයේ දිගු කාලීන රාජ්‍ය සුරැකුම්පත් ඵලදා අනුපාතයන් පහළ දැමීමේ විවට වෙළෙඳපොළ ප්‍රතිපත්තියක් අනුගමනය කොට ඇත.

  • රාජ්‍ය අයවැය හිඟය සහ අරමුදල් අවශ්‍යතාවය

අයවැය හිඟය ඉහළ ගොස් රජයේ අරමුදල් ඉල්ලුම ඉහළ යන විට ඵලදා අනුපාතයන් ඉහළ යනු ඇත. රජය විසින් ණය ගෙවීම සඳහා අරමුදල් සොයා ගන්නේ නව ණය ගැනීම හරහා බැවින් බැඳුම්කර පරිණත වන දිනවල අරමුදල් ඉල්ලුම ඉහළ ගොස් ඵලදා අනුපාතයන් ඉහළ යනු ඇත.

  • මූල්‍ය වෙළෙඳපොළ අරමුදල් සැපයුම හෙවත් ද්‍රවශීලතාවය

විවිධ සාධක හේතු කොට මූල්‍ය වෙළෙඳපොළ ද්‍රවශීලතාවය ඉහළ සහ පහළ යනු ඇත. උදාහරණ ලෙස විදේශ ණය සහ ආයෝජන ලැබෙන විට වෙළෙඳපොළේ අරමුදල් ප්‍රමාණය ඉහළ යනු ඇත. එවිට, රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනය සඳහා ඉල්ලුම් ඉහළ ගොස් බැඳුම්කර මිල ගණන් ඉහළ යාම තුළින් ඵලදා අනුපාතයන් පහළ යනු ඇත.

  • ද්විතීය වෙළෙඳපොළ ඉල්ලුම් සහ සැපයුම

කොටස් වෙළෙඳපොළවල මෙන් රාජ්‍ය බැඳුම්කර වෙළෙඳපොළේ ඉල්ලුම සහ සැපයුම විවිධ සාධක හේතු කොට වෙනස් වීම් තුළින් ඵලදා අනුපාතයන් ඉහළ පහළ යනු ඇත. දියුණු මූල්‍ය වෙළෙඳපොළවල් පවතින රටවල කොටස් වෙළෙඳපොළවල ගනුදෙනු සහ රාජ්‍ය සුරැකුම්පත් ද්විතිය වෙළෙඳපොළ ගනුදෙනු අතර විවිධ සම්බන්ධතාවන් දැකිය හැකිය. කොටස් වෙළෙඳපොළ අවදානම් ඉහළ යන විට සමහර ආයෝජකයන් විසින් කොටස් අළෙවි කොට එම අරමුදල් රාජ්‍ය බැඳුම්කර වෙළෙඳපොළේ ආයෝජනය කිරීම දැකිය හැකිය. එවිට, බැඳුම්කර මිල ගණන් ඉහළ ගොස් ඵලදා අනුපාතයන් පහළ යනු ඇත. ඊට ප්‍රතිවිරුද්ධ අවස්ථාවන් ද දැකිය හැකිය.  2020 වර්ෂයේ කොරෝනා වසංගතය ආරම්භක අවධියේ ඇමෙරිකානු රාජ්‍ය සුරැකුම්පත් ඵලදා අනුපාතයන් ඉතිහාසයේ ප්‍රථම වරට 1% මට්ටමට වඩා පහළ යාමට මූලික හේතුව වූයේ ආයෝජකයන් විශාල වශයෙන් කොටස් වෙළෙදපොළ ආයෝජනයෙන් ඉවත්වී තම අරමුදල්වල ආරක්ෂාව පතා රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනයට පෙළඹීම යි.

  • උද්ධමනය සහ උද්ධමන අපේක්ෂාවන්

මූල්‍ය ආයෝජකයන් විසින් මුදල් ආයෝජනය කිරීමේ දී මුදල්වල මූර්ත පොලී අනුපාතය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය හැසිරීම යි. මූර්ත පොලී අනුපාතය යනු ආයෝජන පරිණත කාලය තුළ ලැබෙන පොලී අනුපාතයෙන් එම කාලය තුළ අපේක්ෂිත උද්ධමන අනුපාතය අඩු කිරීමෙන් ගණනය කෙරෙන ශුද්ධ පොලී අනුපාතය යි. එබැවින්, ආයෝජකයන් විසින් බැඳුම්කරවල මිල ගණන් සහ ඵලදා අනුපාතයන් සඳහා ලංසු ඉදිරිපත් කිරීමේ දී අදාළ ආයෝජන කාලය සඳහා වන උද්ධමන අපේක්ෂාවන් සැලකිල්ලට ගනී. සාමාන්‍යයෙන් ආර්ථිකයක උද්ධමනය අඛණ්ඩව ඉහළ යන විට උද්ධමන අපේක්ෂාවන් ඉහළ යනු ඇත. එබැවින්, අපේක්ෂිත උද්ධමනයට සාපේක්ෂව ආයෝජකයන් විසින් ලංසු තබන ඵලදා අනුපාතයන් ඉහළ යනු ඇත. මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ස්ථාවරව පැවතිය ද, මූල්‍ය වෙළෙඳපොළ පොලී/ඵලදා අනුපාතයන් ඉහළ යන්නේ එබැවිනි.

මෙසේ පොලී/ඵලදා අනුපාතයන් වේගයෙන් ඉහළ යාමේ තත්ත්වය වර්තමානයේ ලෝකය පුරා දැකිය හැකිය. ඊට හේතුව, කොරෝනා වසංගතය හේතු කොට ගෝලීය සැපයුම් දාමයන් අවහිර වීම තුළින් හට ගත් සැපයුම් හිඟයන් හේතු කොට උද්ධමනය ඉහළ යාම යි. මිට ප්‍රතිවිරුද්ධව, උද්ධමනය පහළ යන විට වෙළෙඳපොළේ පොලී/ඵලදා අනුපාතයන් පහළ යාම දැකිය හැකිය. එසේම, උද්ධමන අපේක්ෂණයන්ට අදාළ කාල වකවානු අනුව මුළු ඵලදා වක්‍රය නොව ඵලදා වක්‍රයේ කෙටි හෝ මැදි හෝ දිගු කාලීන කොටසක ඵලදා අනුපාතයන් වෙනස් වීම දැකිය හැකිය. සාමාන්‍යයෙන් මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් කිරීම ආරම්භක අවස්ථාවේ දී ඵලදා වක්‍රයේ කෙටි කාලීන කොටස ක්ෂණිකව වෙනස් වීම දැකිය හැකිය. මැදි හා දිගු කාලීන උද්ධමන අපේක්ෂණයන් අනුව පසුව ඵලදා වක්‍රයේ අනෙක් කොටස්වලට එය සම්ප්‍රේෂණය වනු ඇත.

එබැවින්, ඵලදා වක්‍රයේ ස්වරුපය සහ මට්ටම යම් කාලයක් තුළ වෙනස්වීමේ උපණතීන් දෙස බලා ආර්ථිකයේ පවතින උද්ධමන අපේක්ෂාවන්ගේ ස්වරුපය ද හඳුනා ගත හැකිය. එහෙත්, යම්කිසි අවස්ථාවක පවතින යම් මැදි හෝ දිගු කාලීන බැඳුම්කරයක ඵලදා අනුපාතය දෙස බැලීමෙන් ආර්ථිකයේ උද්ධමන අපේක්ෂාවන්ගේ ස්වරුපය විග්‍රහ කළ නොහැකිය.

  • විනිමය අනුපාතයේ උපණතීන් සහ අපේක්ෂණයන්

රටවල විනිමය අනුපාතය අවප්‍රමාණය වන විට විදේශ ආයෝජන ලැබීම් ඉහළ යාම තුළින් රාජ්‍ය සුරැකුම්පත් ඉල්ලුම ඉහළ ගොස් ඵලදා අනුපාතයන් පහළ යනු ඇත. ඊට හේතුව, විනිමය අනුපාතය අවප්‍රමාණයේ දී විදේශ මුදල් සඳහා ලැබෙන දේශීය මුදල් ප්‍රමාණය ඉහළ යන බැවින් විදේශ ආයෝජනයන් ඉහළ යාම යි. මීට ප්‍රතිවිරුද්ධව, විනිමය අනුපාතය අවප්‍රමාණය වීමට ඉඩ නොදී පාලනය කෙරෙන විට, එය ඉදිරියේ දී අවප්‍රමාණය වන බවට අපේක්ෂණයන් හට ගන්නා අතර ඊට පෙර විදේශ ආයෝජනයන් ඉවත් කර ගැනීමට පෙළඹීමෙන් ද්විතීය වෙළෙඳපොළ සුරැකුම්පත් සැපයුම ඉහළ ගොස්  එහි මිල ගණන් පහළ යාම තුළින් ඵලදා අනුපාතයන් ඉහළ යනු ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාවේ විදේශ මූල්‍ය ආයෝජනයන් හිඟ වීමට මූලික හේතුවක් වන්නේ විනිමය අනුපාතය කෘතීම ලෙස අඩු අගයක පාලනය කිරීම සහ අධි අවප්‍රමාණ අපේක්ෂණයන් ය.

  • ඇමෙරිකානු මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියේ දිසාව

ඉතාම ප්‍රචලිත ගෝලීය සංචිත මුදල වන්නේ ඇමෙරිකානු ඩොලරය යි. එබැවින්, ඩොලර් ආයෝජකයන් ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති අතර ඇමෙරිකානු මූල්‍ය ප්‍රතිපත්තියේ දිසාව සහ අපේක්ෂණයන් අනුව ගෝලීය ඩොලර් ආයෝජන ප්‍රවාහයන් වෙනස් වනු ඇත. විදේශ රටවල ඩොලර් ආයෝජනයන් විශේෂයෙන් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළවල දැකිය හැකි අතර එම ආයෝජන ප්‍රවාහයන් වෙනස් වීම් තුළින් එම රටවල ඵලදා අනුපාතයන් වෙනස් වනු ඇත.

උදාහරණ ලෙස 2018-2019 කාලයේ ඇමෙරිකාවේ මුල්‍ය ප්‍රතිපත්තිය වේගයෙන් දැඩි කිරීම හේතු කොට ඇමෙරිකානු රාජ්‍ය සුරැකුම්පත් ඵලදා අනුපාතයන් ඉහළ ගිය බැවින්, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ සංවර්ධනය වන රටවල රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළවලින් විදේශ ආයෝජනයන් විශාල වශයෙන් ඉවත්ව යන ලදි.  එවිට, එම රටවල විදේශ සංචිත සහ මූල්‍ය වෙළෙඳපොළවල ද්‍රවශීලතාවය දැඩි ලෙස පහළ යාම හේතු කොට ඵලදා අනුපාතයන් දැඩි ලෙස ඉහළ යන ලදි. එබැවින්, විදේශ ආයෝජනයන් රඳවා ගැනීම සඳහා ලෝකය පුරා පොලී අනුපාතයන් ඉහළ දැමීමේ තරගකාරී මූල්‍ය ප්‍රතිපත්ති රැල්ලක් හට ගැනින. 

එබැවින්, රටවල ඵලදා අනුපාතයන් විදේශ ආයෝජනයන් හරහා ඇමෙරිකානු මූල්‍ය ප්‍රතිපත්තියට ද බොහෝ සේ සංවේදී වන බව ප්‍රයෝගික කරුණකි. පසුගිය 40 වසරක වාර්තා වූ ඉහළම මට්ටම වන 7% මට්මක උද්ධමනය ඉහළ යාම හේතු කොට නුදුරු අනාගතයේ දී ඇමෙරිකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය වේගයෙන් දැඩි කෙරෙන බවට කෙරෙන අපේක්ෂණයන් ද සංවර්ධනය වන රටවල ඵලදා අනුපාතයන් සහ මූල්‍ය ප්‍රතිපත්ති කෙරෙහි දැනටමත් විවිධ ආතතීන් ඇති කොට ඇත.

(මෙම ලිපිය රාජ්‍ය සුරැකුම්පත්හි ආයෝජනය කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වන සිසුන්, ගුරුවරුන් සහ වෘත්තිකයන් ඉලක්ක කොට සකසා ඇත. වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශයක් වන මා විසින් රචිත මූල්‍ය ආර්ථික විද්‍යාව ග්‍රන්ථය බලන්න. ඊළඟ ලිපියෙන් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර පිළිබඳ ව හැඳින්වීමක් ඉදිරිපත් කෙරේ.)

 

පී සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව


Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?