රාජ්‍ය ණයට දේව සාපයක් ද? ණය ප්‍රතිසැකසුම තවත් සාපයක් ද?

මේ දිනවල මහ බැංකු අධිපති විසින් රාජ්‍ය ණය ප්‍රතිසැකසීම පිළිබඳ ව කෙරෙන නිර්භීත අදහස් ඇසෙන විට, මට හැඟෙන්නේ රාජ්‍ය ණයට දෙවියන්ගේ සාපය වැදුනා ද? යන්නය.

ඊට හේතුව, පසුගිය දශක එක හමාරක පමණ කාලයක් පුරා, මහ බැංකුවේ විදේශ සංචිතය ඇතුළු මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වා ගැනීම රාජ්‍ය ණය හරහා කිරීමත්, භාණ්ඩාගාර නිලධාරීන් විසින් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මහ බැංකුව සපයා දෙන මුදල් භාවිතා කිරීමත් යන අමානුෂික වැරදි ය. එය "බල්ලන් මරා හෝ මුදල් ලැබෙනව නම් කමක් නැත" යන උපමාවට ගැලපෙයි.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, මහ බැංකුව විසින් තම මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නීති විරෝධී ලෙස රාජ්‍ය ණය කළමනාකරණය කිරීම තුළින් වත්මන් රාජ්‍ය ණය පැහැර හැරීමේ අර්බුදය හට ගත් බවට තාක්ෂණික අදහසක් ඉදිරිපත් කිරීම යි.

මහ බැංකු රාජ්‍ය ණය ක්‍රමෝපාය 

ස්වෛරිත්ව බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මහ බැංකුව නිකුත් කරනු ලැබුවේ, රාජ්‍ය ණය විනය සහ උපයෝජන කාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය කරමින් නොව, පොලී අනුපාතයන් සහ විනිමය අනුපාතයන් මහ බැංකුවට රිසි ලෙස පාලනය කිරීම සඳහා වූ මූල්‍ය ප්‍රතිපත්තියේ නිල නොවන උපකරණයක් ලෙස ය.

  • ස්වෛරිත්ව බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර සහ දේශීය බැඳුම්කරවල විදේශ ආයෝජනය හරහා විදේශ මුදල් සංචිතය ගොඩ දමමින් විනිමය අනුපාතය සහ ගෙවුම් ශේෂය රහසේ කළමනාකරණය කෙරින.

  • භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුවට නිකුත් කිරීම හරහා මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතයන් යටපත් කොට ඉලක්ක මට්ටමේ පවත්වා ගන්නා ලදි. 

  • ඉවක් බවක් නොමැතිව භාණ්ඩාගාර බැඳුම්කර පෞද්ගලිකව නිකුත් කිරීමෙන් පොලී ව්‍යුහය සහ ඵලදා වක්‍රය පාලනය කරන ලදි. එයට ගොදුරු වූයේ EPF, ETF සහ රාජ්‍ය බැංකු ය. බැඳුම්කර වෙන්දේසි මිල ගණන් පාලනයට පමණක් නොව, ප්‍රාථමික බැඳුම්කර වෙළෙඳුන්ගේ බැඳුම්කර ද ගාල්  කිරීම සඳහා භාවිතා කරන ලද්දේ මහ බැංකුවේ පාලනය යටතේ පවතින EPF ය.

උදාහරණ ලෙස රජයට රුපියල් බිලියන 40 ක අරමුදල් අවශ්‍ය විට, රුපියල් බිලියනයක බැඳුම්කර වෙන්දේසියක් කැඳවා, රුපියල් බිලියන 2 ක EPF ලංසුවක් පහළ ඵලදා අනුපාතයකට ඉදිරිපත් කොට, බැඳුම්කර වෙන්දේසිය EPF එකෙන් අවසන් කෙරෙන අතර එදින සවස් වරුවේ තවත් බිලියන 20-30 ක් EPF එකටත්, රාජ්‍ය බැංකුවලටත් වෙන්දේසි මිලට ආසන්න මිල ගණන්වලට පෞද්ගලික ක්‍රමයට නිකුත් කොට අවශ්‍ය අරමුදල් ප්‍රමාණය රැස් කෙරෙනු ඇත. 

ආර්ථිකයේ පොලී අනුපාතයන් පාලනය කිරීමේ ශක්තිමත් මූල්‍ය උපකරණය ලෙස පෞද්ගලික බැඳුම්කර නිකුතූන් වර්ණනා කරන ලදි. නැවතත් එය හඳුන්වා දී ඇත්තේ ඊට ගරුසර දැක්වීමක් ලෙස ය. මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති විවට වෙළෙඳපොළ කටයුතු ද සමහර කාලවල EPF සතු බැඳුම්කර ණයට ගැනීම හරහා සිදු විය.

මහ බැංකුව විසින් නිරන්තරයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ, මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය ණය කළමනාකරණය අති විචක්ෂණකාරී බව යි. අවම පිරිවැය සහ අවම අවදානම තහවුරු කරමින් රාජ්‍ය ණය කළමනාකරණය කරන බවත්, කිසි දිනක ණය පැහැර නොහැර ඇති බවත්, නිරන්තරයෙන් යාඥා කරන ලදි. 

අවදානම යනු අනාගතයේ දී මුහුණ දෙන තත්ත්වයක් බවත්, රාජ්‍ය ණයවල ද අවදානමක් පවතින බවත් ප්‍රකාශ කළ විට, ඔවුන්ව ණය කළමනාකරුවන්ගේ  දැඩි උදහසට ලක් විය. ණය කළමනාකරණය කිරීමේ ඉතාමත් විචක්ෂණකාරී ක්‍රමය ලෙස පෞද්ගලික නිකුතු වන්දනාව ඉතා ප්‍රචලිත විය. ආර්ථිකයේ මිල ස්ථායිතාවය ආරක්ෂා කෙරෙන දේවතාවකු ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය පිදුම් ලැබීය.

ණය සහ ආර්ථික අර්බුදයේ මූල සාධකය

අදාළ නෛතික සහ අභ්‍යන්තර පාලන ප්‍රතිපාදනයන් අනුගමනය නොකිරීමත්, ණය වෙළෙඳපොළක් සංවර්ධනය නොකොට. එය මූල්‍ය ප්‍රතිපත්තිය තුළ සඟවා ගෙන කළමනාකරණය කිරීමත් හේතු කොට රජය තුළින් රාජ්‍ය ණය විනයක් ඇති නොවීය. 

උදාහරණ ලෙස මේ දක්වා නිකුත් කොට ඇති සියළු භාණ්ඩාගාර බැඳුම්කර ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත උල්ලංගණය කරමින් සිදු කොට ඇත. මුදල් ඇමති විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ කිසිම කොන්දේසියක් තීරණය කොට නොමැත. ඒ සියල්ල රාජ්‍ය ණය අධිකාරී සහ මහ බැංකු අධිපති විසින් සිදු කොට ඇත. මහ බැංකුව විසින් ප්‍රාථමික වෙන්දේසිවලින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඇත්තේ මුදල් නීති පනත උල්ලංගණය කරමින් මුදල් මුද්‍රණය හරහා ය.

ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම ආයෝජන බැංකු නියෝජිතයන්ගේ කාර්යයක් වූ අතර ආයෝජක ලංසු කිසිවෙකු දැක නැත.

එබැවින්, රාජ්‍ය ණය රැස් කිරීමේ සහ කළමනාකරණය කිරීමේ කිසිම විනිවිද විනයක් නොවීම ණය අර්බුදයේ මූල සාධකය යි. එහි දී, රාජ්‍ය ණය හරහා කළමනාකරණය කළ මූල්‍ය ප්‍රතිපත්තිය කඩා වැටී, උද්ධමනය 70% ට ඉහළ නැගීම අහම්බයක් නොවේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය මෙය යි.

එහෙත්, අදාළ ණය සහ මූල්‍ය කළමනාකරුවන් විසින් එය කළමනාකරණය කරනු ලැබුවේ, ආයෝජන බැංකු, ආයෝජන සමාගම්, IMF සහ ණය ශ්‍රේණි ආයතන සමඟ නිරන්තර ගුවනේ රැඳීමෙනි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු ණය පැහැර හැරීම යි  

මහ බැංකු අධිපති විසින් විදේශ ණය පැහැර හැරීම නිර්වචනය කරනු ලැබුවේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෘදු ණය පැහැර හැරීමක් ලෙස ය. ඉන් වසරක් ගත වුව ද, ප්‍රතිව්‍යුහගත මන්ත්‍රයේ කිසිම වචනයක් තවම එළි දක්වා නොමැත. ප්‍රතිව්‍යුහගත මන්ත්‍රයේ නවතම වැකිය වන්නේ, දේශීය ණය ස්වේච්ඡා ප්‍රතිව්‍යුහගත කිරීම යි. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු දැනට ආපසු ණය ගෙවීමට නොහැකි බැවින් ණය ගිවිසුම් සංශෝධනය කිරීම යි. එහි මූලික අංග 4 කි. එනම්, ගෙවීමට ඇති ණය මුදලින් කොටසක් කපා හැරීම, පොලී අනුපාතය පහළ දැමීම, නව පොලිය සහ ණය මුදල ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම සහ නැවත ණය ගෙවීම ආරම්භ කිරීමට සහන කාලයක් ලබා දීම යනාදිය යි. එහෙත්, මෙහි සංකීර්ණත්වය වන්නේ, ණය හිමියන් සමඟ පොදු එකඟතාවයකට පැමිණීම යි. එබැවින්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ණය පැහැර හැරීම අතර කිසි වෙනසක් නොමැත. ඇත්ත වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු ණය පැහැර හැරීමෙන් බිඳී එන වචනයකි. 

එහෙත්, මහ බැංකු අධිපති සහ රාජ්‍ය අධිකාරීන් විසින් එය ඉදිරිපත් කරන්නේ, ජාත්‍යන්තර සුදු කරපටි වෘත්තියක් ලෙස ය. එය, ඔවුන් විසින් ණය දුෂ්කළමනාකරණය කොට ආර්ථිකය සහ පොදුජනයා අර්බුදයකට ඇද දැම්මේ ජාතික වරද වසා ගැනීමටත්, ඔවුන් දැන් පොදුජනයා අර්බුදයෙන් මුදා ගැනීමට ක්‍රියා කරන ජාතික වීරයන් ලෙස හුවා දැක්වීමටත්, නව විචිත්‍ර ඇඳුමක් ලෙස භාවිතා කෙරේ. දේශපාලන නායකයන්ට එය ඔවුන්ගේ එකම ගැලවුම්කරු ලෙස පෙනේ.

ලෝපතල ඇමෙරිකානු ආයෝජකයකු වන වොරන් බෆට් විසින් පසුගිය සතියේ දී සී එන් බී සී මූල්‍ය මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබුවේ, දැන දැන පමණ ඉක්මවා ණය දී ඇත්නම්, ණය පැහැර හැරීමේ අලාභය ණය හිමියන් විසින් දැරිය යුතු බවත්, එසේ ණය කළමනාකරණය කළ කළමනාකරැවන් සේවයෙන් ඉවත් කළ යුතු බවත් ය. එසේ නැතිව ණය ප්‍රතිව්‍යුහගත කොට ණය කරුවා නැවත ණය උගුලට හසු කිරීම මගින් අනාගතයේ දී නැවත ණය අය කර ගැනීමට හැකියාවක් නොමැත.

දේශීය ණය ස්වේච්ඡා ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රෝඩාව

මහ බැංකු අධිපතිගේ ප්‍රකාශයන් අනුව දේශීය ණය ස්වේච්ඡා ප්‍රතිව්‍යුහගත කිරීම මූලික වශයෙන් කොටස් දෙකකි.

  • පළමුව, මහ බැංකුව විසින් තම භාණ්ඩාගාර බිල්පත් ආයෝජන කළඹ, රජයට දෙන ලද දිගු කාලීන ණයක් බවට පත් කිරීම.

  • දෙවනුව, භාණ්ඩාගාර බැඳුම්කර ආයතනික ආයෝජකයන් විසින් තම ආයෝජන කළඹ ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරිපත් වීම.

එහෙත්, මේ දෙකම පවතින නීතියට එරෙහි වීමකි.

  • පළමුව, තම භාණ්ඩාගාර බිල්පත් ආයෝජන කළඹ එසේ දිගු කාලීන ණය බවට පත් කිරීමට මහ බැංකුවට අවසරය දෙන ප්‍රතිපාදනයන් මුදල් නීති පනතේ නොමැත. එම භාණ්ඩාගාර බිල්පත් මහ බැකුව විසින් මිල දී ගෙන ඇත්තේ ද, මුදල් නීති පනත අමු අමුවේ උල්ලංගණය කිරීමෙනි. මහ බැංකු අධිපති විසින් නව මහ බැංකුවක් මෙම මස පිහිටු වන්නේ ඒ සඳහා නිසි ප්‍රතිපාදනයන් සහිතව ය.

  • දෙවනුව, භාණ්ඩාගාර බැඳුම්කර එසේ ප්‍රතිව්‍යුහගත කිරීමට ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතෙහි ප්‍රතිපාදන නොමැත. ඊට හේතුව, මේ දක්වා නිකුත් කොට ඇති බැඳුම්කර එවැනි ප්‍රතිව්‍යුහගත මනාපයක් සහිතව නිකුත් කළ ඒවා නොවන බැවිනි.

  • තෙවනුව, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුත්තේ 2018 සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ ප්‍රතිපාදනයන් අනුව ය. එහෙත්, යෝජිත ස්වේච්ඡා ණය ප්‍රතිව්‍යුහගත කරණය එම ප්‍රතිපාදනවලින් පිටත ක්‍රියාවකි.
  • සිවුවනුව, මහ බැංකුව විසින් අර අඳින්නේ, EPF, ETF, NSB වැනි රාජ්‍ය ආයතනයන් වෙත බලයෙන් පෞද්ගලික ක්‍රමයට අවාසි දායක ලෙස භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ දඩුවම නොතකා, ස්වේච්ඡා ඇඳුම යටතේ ණය පැහැර හැරීම හරහා නැවතත් දඩුවම් දීම යි. ඉන් පහර වදින්නේ එම ආයතනවල කළමනාකරුවන්ට නොව දායකයන්ට ය. මෙහි දී, EPF පනත අනුව එවැනි සුරැකුම්පත් ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා මුදල් මණ්ඩලයට බලයක් ලැබී නොමැත.
  • එබැවින්, යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ලිපි ලේඛනවලට තම අත්සන් තැබීම යනු අදාළ පනත් උල්ලංඝනය කිරීමේ වරදට හසු වීමකි.
මෙහි දී, යෝජිත ප්‍රතිව්‍යුහගතයට හසු වන්නේ, අවම අවදානම සහ අවම පිරිවැය මත විචක්ෂණකාරී ලෙස පුද්ගලිකව නිකුත් කළ බැඳුම්කරයන් ද, විනිවිද වෙන්දේසි හරහා ඉහළ පොලියට නිකුත් කළ බවට චෝදනා වූ බැඳුම්කරයන් ද, වත්මන් මහ බැංකු අධිපතිගේ විචක්ෂණ මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් 25%-30% පොලියට නිකුත් කළ බැඳුම්කරයන් ද හෝ ඒවායේ මිශ්‍රණයක් ද හෝ යන්න විස්තර ලේඛනයක් ඉදිරිපත් කිරීම වඩා යෝග්‍ය වනු ඇත.

සමාප්ත කෙටි සටහන

පවතින නීති බිඳමින් විචක්ෂණකාරී බව පවසමින් රාජ්‍ය ණය සහ මුදල් දුෂ්කළමනාරණය කිරීමේ දේව සාපය වනුයේ, ණය අර්බුදයක් හට ගෙන එම ණය කළමනාකරුවන්ටම ණය පැහැර හැරීමට සිදු වීම යි.

එසේම, ණය ප්‍රතිව්‍යුහගත කරණය බව දක්වමින්, තවදුරටත් නීති බිඳ ණය පැහැර හරිමින්, ඔවුන් ඉහළ මහජන තනතුරුවල රැඳීමෙන්, නුදුරු අනාගතයේ තවත් දේව සාපයක් එල්ල විය හැකි ය. එය බොහෝ විට බැංකු අර්බුදයක් හට ගෙන ආර්ථිකය සහ මහජනයා මහ මගට ඇද දැමීමේ සාපයක් විය හැකිය. එවිට, IMF ණය දේව මෙහෙය ද, ඔවුන්ගේ කපු සහ ආවතේව නියෝජිතයන් සමඟම සෝදා යනු ඇත.

මේ මස අග දී නව මහ බැංකුවක් පිහිටු වීමෙන් පසු, බොහෝ වැරදි පරීක්ෂා කළ නොහැකි ලෙස වැසී යනු ඇත. ඊට හේතුව, අදාළ මුදල් නීති ප්‍රතිපාදනයන් අහෝසි වීම යි.

එහෙත්, අප බොහෝ දෙනාගේ ආධ්‍යාත්මික විශ්වාසය වන්නේ, දැන දැන කෙරෙන වැරදිවලට කවදා හෝ නියතයෙන් දඬුවම් ලැබෙන බව යි. ආර්ථික අර්බුදයන් යනු දුෂ්කළමනාරණය ඉවසමින් බලා සිටින පිරිසට ද දඩුවම් ලැබීමකි.

සාමාන්‍යයෙන් අප පාඩම් ඉගෙන ගන්නේ, නැත්තටම නැති වෙන්න දේව සාපය ලැබීමෙන් පමණි. එබැවින්, මෙම නව වසරේ දී වත් එවැනි පාඩමක් අප සියළු දෙනාට ඉගෙනීමට අවස්ථාව ලැබේවා යි ප්‍රර්ථනා කිරීම රටේ නොඉප දී ඇති පරපුරේ යහපත සඳහා කෙරෙන  සත් ක්‍රියාවක් වන බව මාගේ විශ්වාසය යි.

එසේම, මෙම ණය සහ ආර්ථික අර්බුදයෙන් පොදුජනයා මුදා ගැනීම සඳහා රජයට නව මහ බැංකු පනතින් හෝ මහ බැංකුවෙන් ස්වාධීනත්වයක් නව වසරේ දී ලැබේවා යි පැතීම ද මෙම අවස්ථාවේ ජාතියට හිතකර පැතුමකි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි