වයස 72 දී ආර්ථිකය සමඟ ඝාතනය වන මහ බැංකුව - පරීක්ෂණයක් නැත් ද?


මෙම ලිපියේ අරමුණ වන්නේ දැනට පාර්ලිමේන්තුවේ ඇති නව මහ බැංකු පනත මගින් ආර්ථිකය සමඟ මහ බැංකුව ද ඝාතනය වීමට ඇති අවදානම ඉදිරිපත් කිරීම යි. ඊට හේතුව, ආර්ථික අවශ්‍යතාවන්ට යෝග්‍ය ලෙස ආර්ථිකයක මුදල් ක්‍රමය/අංශය නියාමනයට මහ බැංකුව අසමත් වන විට, ආර්ථිකයේ මූර්ත අංශය හෙවත් නිෂ්පාදන අංශය ද අර්බුදයට ලක් වන බැවිනි.

වත්මන් මහ බැංකුවේ ව්‍යවස්ථාපිත සහ ආර්ථික පදනම 

වත්මන් ශ්‍රී ලංකා මහ මහ බැංකුව 1950 අගෝස්තු මස දී පිහිටු වන ලද්දේ, 1949 මුදල් නීති පනත මගිනි. එම පනත මගින් ශ්‍රී ලංකාවේ මුදල් වටිනාකම් ඒකකය ලෙස රුපියලත්, නෛතික ගෙවුම් මාධ්‍යය ලෙස රුපියල් කාසි සහ නෝට්ටු සහ රුපියල් ඉල්ලුම් තැන්පතුත් මත පදනම් වූ දේශීය මුදල් ක්‍රමය ස්ථාපිත කොට, එය දේශීය ආර්ථිකයට යෝග්‍ය ලෙස පාලනය කිරීම සඳහා මහ බැංකුව පිහිටු වන ලදි. එසේම, මහ බැංකුවේ පාලනය මුදල් මණ්ඩලයට පවරන ලදි.

ඒ අනුව ස්ථාපිත කරන ලද මුදල් ක්‍රමය මුදල්, ණය සහ වාණිජ බැංකුවලින් යුක්ත වන අතර මූල්‍ය ප්‍රතිපත්තිය සහ බැංකු අධීක්ෂණය හරහා එය පාලනය කිරීමේ වගකීම මහ බැංකුවට පැවරිණ. මෙහි දී, ආර්ථිකයේ මුදල් පරිමාව, ණය ව්‍යාප්තිය සහ ප්‍රසාරණය සහ විදේශ විනිමය ගනුදෙනු සහ විනිමය අනුපාතය ආර්ථිකයේ යහපැවැත්ම සඳහා පාලනය කිරීමේ සහ මෙහෙය වීමේ ඒකාධිකාරී බලය මහ බැංකුව පැවරිණ .

මෙහි දී සිදු වූයේ, ආර්ථිකයේ නිල මුදල් ක්‍රමය හෝ මූල්‍ය අංශය ස්ථාපිත කොට, එය පාලනය හරහා ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාකාරකම් හෝ මූර්ත අංශය මෙහෙය වීමේ හෝ පාලනය කිරීමේ මහජන බලය මහ බැංකුව වෙත ලබා දීම යි. මුදල් ආර්ථිකයන්හි නිෂ්පාදන ක්‍රියාකාරකම් සිදු වන්නේ මුදල් ගනුදෙනු හරහා වන බැවින් මහජනයාගේ ආර්ථික සුභසාදනයට යෝග්‍ය ලෙස නිෂ්පාදන ක්‍රියාකාරකම් මෙහෙය වීම ආර්ථිකයේ මුදල් පාලනය හරහා කළ හැකිය. එම ක්‍රමවේදය වනුයේ මූල්‍ය ප්‍රතිපත්තිය යි.

එබැවින්, ලෝකයේ සියළුම රටවල මහ බැංකුවලට තම මූල්‍ය ප්‍රතිපත්තිය හරහා එම රටවල ආර්ථිකයන් කළමනාකරණය කිරීමේ විශාල බලයක් ලැබී ඇත. එසේම, තම රාජ්‍ය අයවැය (එනම්, බදු, වියදම් සහ ණය) සහ වෙළෙඳපොළ නියාමනයන් හරහා නිෂ්පාදන ක්‍රියාකාරකම් සෘජුව මෙහෙය වීමේ පරම බලයක් රජයන් ට ද ලැබී ඇත. එම බලය පුළුල් ලෙස රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස දැක්වෙයි. ඒ අනුව, ඕනෑම අවස්ථාවක පොදුජනයා මුහුණ දෙන විවිධ ආර්ථික තත්ත්වයන්ට රජය සහ මහ බැංකුව වගකිව යුතුය. ඊට හේතුව, එවැනි අවස්ථාවල මහජනයාට වෙළෙඳපොළවල් හරහා නිදහසේ ක්‍රියාත්මක වීමට රජය සහ මහ බැංකුව විසින් ඉඩ නොදෙන බැවිනි.

මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් දෙස බලන විට වත්මන් ආර්ථික අර්බුදය සෘජුවම මහ බැංකුවේ වගකීම් පැහැර හැරීමේ ප්‍රතිඵලයකි. එබැවින්, මහ බැංකු විදේශ මුදල් සංචිතය දිය වී උග්‍ර විදේශ මුදල් හිඟයක් හට ගැනීම, විනිමය අනුපාතය සහ උද්ධමනය අහස උසට ඉහළ යාම සහ රාජ්‍ය ණය පැහැර හැරීම යනාදියට මහ බැංකුව වගකිව යුතුය. එහි සංයුක්ත ප්‍රතිඵලය වන්නේ මෙම ආර්ථික අර්බුදය යි. එහෙත්, මහ බැංකු අධිකාරීන් විසින් දක්වනු ලැබුවේ, මහ බැංකුවට තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් ස්වාධීනත්වයක් නොලැබීම හේතු කොට එසේ වූ බව යි.

ඊට මූලික හේතුව ලෙස මුදල් මුද්‍රණය හරහා රජයට ණය සැපයීමට සිදු වීම දැක්වෙන ලදි. එසේම, දැනට මහ බැංකුව ක්‍රියාත්මක වන මුදල් නීති පනත 1949 දී සම්මත කරන ලද පැරණි පනතක් බව ද ප්‍රකාශ කෙරිණ. එබැවින්, ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා මහ බැංකුවට ස්වාධීනත්වය ලැබිය යුතු බව දක්වමින්, නව මහ බැංකු පනතක් 2023 පෙබරවාරි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. එය IMF කොන්දේසියක් අනුව 2023 අප්‍රේල් මාසය අවසාන වීමට පෙර කඩිනමින් අනුමත කිරීමට උත්සාහ කෙරිණ.

එහෙත්, තොරතුරු අධ්‍යයනය කිරීමේ දී මෙය සාවද්‍ය මතයකි. පළමුව, ආර්ථික අර්බුදයට හේතුව මුදල් නීති පනතේ ප්‍රතිපාදනවල දෝෂයන් නොව, වත්මන් මහ බැංකු අධිපති ඇතුළු මහ බැංකු නිලධාරීන් විසින් අනුගමනය කරන ලද අක්‍රමික සහ නීති විරෝධී ප්‍රතිපත්ති ය. දෙවනුව, මුදල් නීති පනත 1949 වර්ෂයේ සම්මත වූ පනතක් වුව ද, පසුව ආර්ථිකයෙහි අවශ්‍යතාවන් අනුව එයට සංශෝධනයන් රාශියක් ක්‍රියාත්මක කොට ඇත. දැනට ඇමෙරිකානු මහ බැංකුව ක්‍රියාත්මක වන පනත 1913 දී සම්මත වූ පනතක් වන අතර පසුකාලීනව සංශෝධනයන් රාශියක් හඳුන්වා දී ඇත. එසේම, කලින් කළට සමමත කෙරෙන වෙනත් පනත් මගින් ද එම මහ බැංකුවට කාර්යයන් පැවරී ඇත. එහෙත්, උද්ධමනය හෝ මූල්‍ය අර්බුදයන් පාලනයට ඇමෙරිකානු මහ බැංකුව අසමත් වූ විට, නව පනතක් අවශ්‍ය බව එම මහ බැංකුවේ කිසිවෙකු යෝජනා කිරීමක් සිදු වී නොමැත.

නව මහ බැංකු පනතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරි පත් වූ අතර එහි තීරණය වූයේ ප්‍රධාන වගන්ති 36 ක් යටතේ ප්‍රතිපාදනයන් රාශියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව යි. මීට පදනම් වී ඇත්තේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නීතිමය කරුණු ය. එහෙත්, මෙවැනි පැමිණිලිවල නෛතික ස්වරූපය අනුව නව මහ බැංකුව වත්මන් මහ බැංකුවට වඩා මහජනයාට හිතකර වෙයි ද? හෝ නව මහ බැංකුවක් පිහිටු වීමට අවශ්‍ය වන වත්මන් මහ බැංකුවේ දුර්වලතාවන් කුමක් ද? යන්න පිළිබඳ මෙහි දී සලකා බැලීමක් සිදු නොවේ. ලෝකයේ මහ බැංකු මූලධර්මයන් සහ මුදල් නීති පනත සැලකිල්ලට ගෙන නව මහ බැංකු පනතේ ප්‍රතිපාදනයන්ගේ දුර්වලතාවන් පිළිබඳ ව විමර්ශනයක් නීති වේදීන් විසින් ඉදිරිපත් කළ බවට තොරතුරු නොමැත.

නව පනතේ ප්‍රතිපාදනයන් සමස්තයක් ලෙස ගත් විට, වත්මන් මහ බැංකුවට සාපේක්ෂව නව මහ බැංකුවට ලැබෙන බලතලවලින් ආර්ථිකයට සහ මහජනයාට හිතකර ලෙස ශ්‍රී ලංකාවේ මුදල් ක්‍රමය පාලනය කිරීමට නව මහ බැංකුවට ඇති හැකියාව බොහෝ සිමා වන බව පෙනේ. ඊට හේතු ප්‍රධාන කරුණු 11 ක් යටතේ පහත ඉදිරිපත් කෙරේ.

1. සම්මත නිල මුදල් වටිනාකම් ඒකකයක් නොමැති වීම

නව පනත අනුව නිල මුදල් වටිනාකම් ඒකකයක් නොමැති අතර මහ බැංකුව විසින් ගෙවුම් මාධ්‍යය ලෙස රුපියල් කාසි සහ නෝට්ටු නිකුත් කෙරේ. එබැවින්, රුපියල් මත පදනම් වූ නිල මුදල් ක්‍රමයක් ආර්ථිකයෙහි නොපවතිනු ඇත. එය, මුදල් ගනුදෙනු සහ වෙළෙඳ ගිවිසුම්වල නීතිමය තත්ත්වයට ගැටළුවක් වනු ඇත. විශේෂයෙන්, ගිණුම් මාධ්‍යයක් සහ විද්‍යුත් බැංකු සහ ගෙවුම් කටයුතු සඳහා භාවිතා කළ යුතු මුදල් ඒකකය පිළිබඳ ගැටළු හට ගනු ඇත.

2. මුදල් ඇමති සමඟ උද්ධමන ඉලක්ක ගිවිසුමක් අත්සන් කිරීම

මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් ඇමති සමඟ වසර 3 ක උද්ධමන ඉලක්ක ගිවිසුමක් අත්සන් කිරීමත්, කාලය අවසාන වීමට පෙර එය සංශෝධනය කිරීමට බලතල මුදල් ඇමති වෙත ලැබීමත් හේතු කොට මහ බැංකුව වෙත දැනට පවතින මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වය අහිමි වනු ඇත.

3. ආර්ථිකයෙහි ණය ව්‍යාප්තිය සඳහා බලතල නොමැති වීම

ආර්ථිකයේ නිෂ්පාදන අංශයන් සහ අවශ්‍යතාවන් අනුව මහ බැංකුව විසින් ප්‍රතිමූල්‍ය ණය ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමේ සහ බැංකු ණය පාලනය කිරීමේ බලතල නොමැති බැවින් ආර්ථිකයේ නිෂ්පාදන අවශ්‍යතාවයන් අනුව ණය ව්‍යාප්ත කිරීමේ හැකියාව නව මහ බැංකුවට අහිමි වී ඇත.

4. මහ බැංකු ණය අවදානම ඉහළ යාම

රජයට ඍජු හෝ වක්‍ර ලෙස ණය සැපයීමට බලතල නව මහ බැංකුවට නොමැති බැවින් ආර්ථිකයට අවශ්‍ය පරිදි මුදල් මුද්‍රණය සහ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම බැංකු සහ මූල්‍ය ආයතන වෙත සැපයෙන ණය හරහා ක්‍රියාත්මක කිරීමට සිදු වනු ඇත. එය මහ බැංකුවේ මූල්‍ය තත්ත්වයට මෙන්ම රටේ මුදල් ක්‍රමයට දැඩි අවදානමකි. ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනයේ දී මහ බැංකුව විසින් රජයට ණය නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සමාන අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බැවින් අතිවිශේෂ අවස්ථාවල දී කෙටි කාලයක් සඳහා ණය සැපයීමට හැකි වන ලෙස එය සංශෝධනය කරන ලෙස තීරණය වී ඇත. ඉහළම ණය විශ්වාසයක් පවතින රජයට ණය දීම තහනම් වන ලෝකයේ එකම මහ බැංකුව මෙය වෙයි. සංවර්ධිත ඇතුළු සියළුම රටවල මහ බැංකු විසින් මුදල් ක්‍රමය මෙහෙය වන්නේ රාජ්‍ය ණය වෙළෙඳපොළ හරහා ය. එහෙත්, නව මහ බැංකුව රාජ්‍ය විරෝධී රාජ්‍ය බැංකුවක් වනු ඇත.

5. විවට වෙළෙඳපොළ කටයුතු සඳහා පෞද්ගලික සුරැකුම්පත් සහ ණය භාවිතා කිරීම

මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය තුළ විවට වෙළෙඳපොළ කටයුතු සඳහා සමාගම් කොටස් සහ ණය කර වැනි පෞද්ගලික සුරැකුම්පත් භාවිතා කිරීමට සිදු වනු ඇත. ඊට හේතුව, වර්තමානයේ ලෝකයේ සියළුම මහ බැංකු විසින් ඒ සඳහා රාජ්‍ය සුරැකුම්පත් භාවිතා කළ ද, නව මහ බැංකුවට ඒ සඳහා අවසර නොමැති වීම යි. ඊට හේතුව, රජයට ඍජු හෝ වක්‍ර ලෙස ණය සැපයීමට මහ බැංකුවට අවසර නොමැති බැවින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීමට මහ බැංකුවට නොහැකි වීම යි. එනම්, රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම යනු රජයට වක්‍ර වශයෙන් ණය දීමක් වන බැවිනි.

6. මූල්‍ය ප්‍රතිපත්තිය තුළ ඡායා බැංකු ඇතුළත් වීම

මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී මහ බැංකු විසින් බැංකු සමඟ ණය ගනු දෙනු කළ ද, නව මහ බැංකුව විසින් බැංකුවලට අමතරව මහ බැංකුවේ ලියා පදිංචි බැංකු නොවන මූල්‍ය ආයතන හෝ ඡායා බැංකු ද යොදා ගනු ඇත. එහෙත්, ඡායා බැංකු යනු මුදල් ක්‍රමයෙන් පිටත ආර්ථිකයේ ව්‍යාපාරික අවදානම් ගන්නා මූල්‍ය පද්ධතියෙහි කොටසක් වන බැවින් මහ බැංකු විසින් ඡායා බැංකු ක්‍රමය මුදල් ක්‍රමයෙන් පිටත් තබා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරේ. එබැවින්, ඡායා බැංකු ද මුදල් ක්‍රමයට ඇතුළු කිරීම තුළින් මහ බැංකුව මුහුණ දෙන අවදානම් ඉතා ඉහළ යනු ඇත.

7. අවසාන ණය දෙන්නාගේ කාර්යයේ නිදහස අහිමි වීම

රටක මුදල් ක්‍රමයේ ස්ථායිතාවය ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුවලට ඇති මූලික ප්‍රතිපත්ති මෙවලමක් වන්නේ බැංකුවලට අවසාන ණය දෙන්නාගේ කාර්යය යි. එමගින්, ද්‍රවශීල අර්බුදයන්ට මුහුණ දෙන බැංකු වෙත මහ බැංකුවෙන් හදිසි ණය ලබා දීම හරහා බැංකු අර්බුදයක් හට ගැනීම වැලැක් වෙනු ඇත. සාමාන්‍යයෙන් ඡායා බැංකු මුහුණ දෙන ද්‍රවශීල ගැටළු ද බැංකු වෙත පැතිරීමේ අවදානමක් ඇති බැවින් අවසාන ණය දෙන්නාගේ කාර්යය තුළින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය ආරක්ෂා කර ගැනීමට ද උපකාරී වන බව පිළි ගැනේ. එහෙත්, නව බැංකුවට මෙවැනි හදිසි ණය දීම කළ හැකි වන්නේ එම ණය සඳහා රාජ්‍ය ඇපයක් ලැබේ නම් පමණි. එබැවින්, සම්ප්‍රදායික මහ බැංකු කාර්යයක් වන මුදල් ක්‍රමයේ සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය රජයේ කාර්යයක් බවට පත් වනු ඇත.

8. විනිමය අනුපාත පාලනය ගිලිහී යාම

දියුණු වන රටවල මහ බැංකුවල මූල්‍ය ප්‍රතිපත්තියේ  ප්‍රධාන අංගයක් වන්නේ විනිමය අනුපාතය මෙහෙය වීම සහ පාලනය කිරීම යි. ඒ සඳහා බැංකු ගනුදෙනු සඳහා විනිමය අනුපාතයන් නියම කිරීම, විනිමය පාලනයන් පැනවීම, බැංකු සමඟ විනිමය වෙළෙඳාම කිරීම සහ විදේශ සංචිතයක් පවත්වා ගැනීම සඳහා බලතල පවතී. එහෙත්, නව මහ බැංකුවට විනිමය අනුපාතයන් නියම කිරීමේ හෝ මෙහෙය වීමේ බලය නොමැත. ඊට හේතුව, නව මහ බැංකු පනතින් වෙළෙඳපොළ බලවේග මත තීරණය වන විනිමය අනුපාත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම යි. එය සංකල්පීය උද්ධමන ඉලක්කකරණ මූල්‍ය ප්‍රතිපත්තිය මත පදනම් වී ඇත. එබැවින්, විනිමය අනුපාතය මහ බැංකු පාලනයෙන් පිටත පැවතීම ආර්ථිකයේ ස්ථායිතාවය පවත්වා ගැනීමට බාධකයක් වනු ඇත. දියුණු රටවල මහ බැංකු පවා වෙළෙඳපොළ විනිමය අනුපාතයේ විචලනයන් සැලකිල්ලට ගෙන මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් තීරණය කිරීම දැකිය හැකිය.

9. සංකල්පීය අරමුණු නියම කිරීම සහ අරමුණු අතර ගැටුම

මහ බැංකුවල අරමුණු අතර මිල ස්ථායිතාවය සහ මූල්‍ය ස්ථායිතාවය පවත්වා ගැනීම දැකිය හැකිය. නව මහ බැංකුවේ අරමුණු ද ඒවා වෙයි. එහෙත්, මේවා මහ බැංකුවට තනිව ඉටු කළ හැකි අරමුණු නොවන අතර ඒ සඳහා නොවරදින ප්‍රතිපත්ති මෙවලම් ද මහ බැංකු සතුව නොමැත. ඒ සඳහා ආර්ථිකයේ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශේෂයෙන් උපකාරී වනු ඇත. තව ද මෙම ස්ථායිතාවයන් අර්ථකථනය කිරීමක් ද මහ බැංකු පනත්වල දැකිය නොහැක. එබැවින්, මෙවැනි සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳ සංකල්පීය අරමුණු මහ බැංකු පනත්වල දැක්වීම යෝග්‍ය නොවේ. ඊට හේතුව, විවිධ දත්ත හුවා දක්වමින් ස්ථායිතාවය පවතින බවට නිරන්තරයෙන් ප්‍රකාශ කිරීමට මහ බැංකුවලට හැකි බැවිනි.

උදාහරණ ලෙස ලෝකයේ සංවර්ධිත ඇතුළු සෑම රටක්ම පසුගිය වසර ආරම්භයේ සිට අධිඋද්ධමනකාරී තත්ත්වයකට මුහුණ දෙන අතර ශ්‍රී ලංකාව ඇතළු දියුණු වන රටවල් රාශියක් ආර්ථික අර්බුදයකට ද මුහුණ දෙමින් සිටී. එහෙත්, එහි වගකීම මහ බැංකු විසින් ගැනීමක් සිදු වී නොමැත. එසේම, මහ බැංකු විසින් ගනු ලබන ප්‍රතිපත්ති හේතු කොට වෙනත් අස්ථායිතාවයන් හට ගැනීම ද දැකිය හැකිය. උදාහරණ ලෙස උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතයන් අධික ලෙස ඉහළ දැමීම හේතු කොට ආර්ථිකයන් දැඩි පසුබෑමත්, බැංකු ව්‍යාපාරික අවදානම් ඉහළ යාමත් සංවර්ධිත රටවලින් පවා වාර්තා වෙයි.

මෙම අරමුණු සංකල්පීය ආර්ථික අරමුණු වීමත්, මහ බැංකු පනත්වල ඒවා අර්ථ දක්වා නොමැති වීමත් හේතු කොට මහ බැංකුවල කාර්ය සාධනය ඇගයීම රජයන්ට ඉතා අපහසු වී ඇත. ඊට හේතුව, ඒ සඳහා නිර්නායකයන් නොමැති වීම යි. උදාහරණ ලෙස ලෝකයේ සෑම රටකම පසුගිය වසර ආරම්භයේ සිට භාණ්ඩ හා සේවා මිල ගණන් සහ උද්ධමනය දශක හතරක ඉහළම මට්ටමට ඉහළ ගොස් ඇති අතර එසේ මිල ස්ථායිතාවය කඩා වැටීම පිළිබඳ ව මහ බැංකුවල අදාළ නිලධාරීන්ට දඩුවම් දිය නොහැකිය.

10. සාර්ව විචක්ෂණ නියාමන ක්‍රමවේදය ප්‍රයෝගික නොවීම

එක් එක් බැංකුවක මූල්‍ය තත්ත්වය සහ අවදානම් ඇගයීම මත පදනම් වන වත්මන් මහ බැංකුවේ බැංකු අධීක්ෂණ ක්‍රමවේදය ඉවත් කොට, බැංකු සහ මූල්‍ය ආයතන සියල්ල ආවරණය වන පරිදි සාර්ව විචක්ෂණ නියාමන ක්‍රමය නම් සංකල්පීය ක්‍රමවේදයක් නව මහ බැංකු පනතින් හඳුන්වා දී ඇත. සාර්ව විචක්ෂණ නියාමනය යනු මූල්‍ය පද්ධතියේ සමස්ත වටිනාකම් සහ ප්‍රවණතාවයන් පදනම් කර ගෙන ආතති පරික්ෂණයන් ඇතුළු සංඛ්‍යාන ක්‍රමවේදයන් හරහා පද්ධති අවදානම් වේලාසනින් හඳුනා ගැනීම මත, එම අවදානම් වැලැක්වීමේ සහ පාලනය කිරීමේ අරමුණින් බැංකු සහ මූල්‍ය ආයතනයන් නියාමනය කිරීම යි.

එහෙත්, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල මෙම ක්‍රමවේදය අසමත් වී ඇත. ඊට හේතුව, මෙය හුදෙක් බැංකු සහ මූල්‍ය ආයතන නියාමනය කිරීමේ දී අනුගමනය කළ හැකි විවිධ අංගයන් අතර එක් අංගයක් පමණක් වීම යි. මහ බැංකුවේ දැනටම වසර ගණනාවක් පුරා සාර්ව විචක්ෂණ / මූල්‍ය ස්ථායිතා නියාමන දෙපාර්තමේන්තුවක් පැවතිය ද, 2021 වර්ෂයේ දී මහ බැංකුවේ විදේශ මුදල් සංචිතය කඩා වැටී, රාජ්‍ය ණය පැහැර හැර, ආර්ථිකය දැඩි අර්බුදයකට හසු ව ඇත. එය පුරෝකතනය කිරීමට හෝ වැලැක්වීමට සාර්ව විචක්ෂණ නියාමනයට නොහැකි විය. මූල්‍ය නියාමනයේ පදනම වන්නේ ඒ ඒ ආයතනයේ අවදානම් හඳුනා ගැනීම සහ පාලනය වෙයි. මෙය ක්ෂුද්‍ර විචක්ෂණ නියාමනය නම් වෙයි. එසේම, ඡායා බැංකු ද මහ බැංකුවේ මුදල් ක්‍රමය සම්බන්ධ නියාමනයට ඇතුළු කිරීම ඉතාම ගැටළු සහගත වෙයි.

ඊට හේතුව, ආර්ථිකයේ ව්‍යාපාරික අවදානම් ගනු ලබන ඡායා බැංකු ඉතා අවදානම්කාරී මූල්‍ය ව්‍යාපාරයක් බැවින් ඒවා මුදල් සහ බැංකු ක්‍රමයෙන් දුරස්ථව තැබීම සාමාන්‍ය පිළිවෙත වීම යි. තව ද, නව මහ බැංකුවට අවසාන ණය දෙන්නාගේ කාර්යයට ද නිදහසක් නොමැත. එබැවින්, නව මහ බැංකුවට බැංකු සහ මූල්‍ය අර්බුදයන් කළමනාකරණය කිරීමේ වගකීම ඉහළ යන අතර බැංකු සහ මූල්‍ය ආයතනවල සැබෑ මූල්‍ය තත්ත්වය නියාමනය කිරීමේ හැකියාව අඩු වී ඇත.

11. මහ බැංකුවේ පරිපාලන ව්‍යුහය සහ ආයතනික සංස්කෘතිය කම්පනයට පත් වීම

වසර 72 ක පමණ කාලයක් තුළ විකාශය වී ඇති මහ බැංකුවේ වත්මන් පරිපාලන ව්‍යුහය සහ ආයතනික සංස්කෘතිය දෙස බලන විට, එක රැයකින් නව පනත යටතට මාරුවන නව මහ බැංකුවේ පරිපාලන ක්‍රියාදාමය ඉතා ගැටුම්කාරී විය හැකි ප්‍රතිපාදනයන් රාශියක් පවතී.

  • පළමුව, මහ බැංකුවේ සමස්ත පරිපාලනය සඳහා පාලක මණ්ඩලයකුත්, මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයකුත් ලෙස මණ්ඩල දෙකක් පැවතීම මහ බැංකුවේ වගකීම් සහ බලතල පිළිබඳ ගැටුම් කාරී වනු ඇත. මෙහි දී, මහ බැංකුවේ නිලධාරීන්ට එකම විෂයක් සඳහා එම මණ්ඩල දෙකටම වාර්තා කිරීමට සිදු විය හැකිය.

  • දෙවනුව, මහ බැංකුව තුළ දැනට මුදල් නීති පනත යටතේ ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කරනු ලබන දෙපාර්තමේන්තු පවත්වා ගැනීම පිළිබඳ කිසිම ප්‍රතිපාදනයක් නොමැත. වත්මන් මහ බැංකුව ක්‍රියාත්මක වන්නේ එම දෙපාර්තමේන්තු හරහා වන බැවින් එම දෙපාර්තමේන්තු ක්‍රමවේදය නෛතික වශයෙන් අක්‍රීය වනු ඇත. එහෙත්, නව පනත යටතේ ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි මහ ශාඛාවන් සහ නියෝජිත ආයතන පිහිටු වීමට උත්සාහ කළ ද, එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත් හිටුවා ඇත. ඊට හේතුව, මහ බැංකුවේ කාර්යයන් කිරීම සඳහා එවැනි ආයතනයන් අවශ්‍ය නොවීම සහ එය ව්‍යවස්ථාවට පටහැනි වීම යි.

  • තෙවනුව, මුදල් නීති පනත යටතේ ස්වාධීන කාර්යාංශයන් දෙකක් වන බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ ඒවායේ බලතල ඉවත්ව යනු ඇත.

  • සිවුවනුව, ඇස්තමේන්තුගත වාර්ෂික අයවැයක් මත මහ බැංකුවේ පරිපාලනය සඳහා මුදල් මුද්‍රණය කළ හැකි බැවින් මහ බැංකු වියදම්වල බොහෝ අක්‍රමිකතාවන් හට ගනු ඇත.

  • පස්වනුව, මහ බැංකුවේ ප්‍රාථමික අරමුණ ලෙස දේශීය මිල ස්ථායිතාවය ද, අනෙක් අරමුණ ලෙස මූල්‍ය පද්ධති ස්ථායිතාවය ද දැක්වෙන බැවින් සහ අරමුණු දෙක අතර ප්‍රතිපත්ති මෙවලම් වෙන් කිරීමක් නොමැති බැවින් අරමුණු අතර තෝරා ගැනීම පිළිබඳ ව ව්‍යවස්ථාපිත ගැටුමක් හට ගනු ඇත. මෙහි දී, අරමුණු අතර පවතින අන්‍යෝන්‍ය රැඳීම ද බැරෑරුම් ගැටළුවක් වනු ඇත.

  • සයවනුව, නව මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය පෞද්ගලික සුරැකුම්පත් සහ ණය මත රඳන බැවින් අවදානම් සහ අලාභයන් හේතු කොට මහ බැංකුව බූන්වත් විය හැකි අතර එය පියවීමට අවශ්‍ය ප්‍රාග්ධනය රජය විසින් සැපයිය යුතුය. එබැවින්, නව මහ බැංකුව රාජ්‍ය අයවැයට බරක් වන තවත් රාජ්‍ය ව්‍යවසායක් විය හැකිය.

සමාප්ත සටහන 

සමස්තයක් ලෙස බැලීමේ දී නව මහ බැංකු පනත ඉදිරිපත් කරන ලද්දේ, ආර්ථික අර්බුදයට මහ බැංකුවේ වගකීම පිළිබඳ ව කිසිම ස්වාධීන සහ බාහිර අධ්‍යනයක් හරහා නොවේ. එය, ආර්ථික අර්බුදයට වගකිව යුතු වත්මන් නිලධාරීන්ගේ යෝජනාවකි. එබැවින්, 2022 වර්ෂය වන තෙක් වසර 72 ක් පමණ මෙවැනි ආර්ථික හෝ මූල්‍ය අර්බුදයක් හට නොගන්නා ආකාරයට ක්‍රියා කොට ඇති මහ බැංකුව, මහ බැංකු නිලධාරීන් කිහිප දෙනකුගේ අවශ්‍යතාවයට කඩිමුඩියේ උඩුයටිකුරු කිරීම ප්‍රයෝගික නොවනු ඇත.

එසේම, මහ බැංකුවේ මෑත කාලීන කාර්යසාදන වාර්තා දෙස බලන විට නව පනත අනුව මහ බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමට තරම් නවීකරණ හැකියාවන් ඇති නිලධාරීන් වත්මන් මහ බැංකුවේ සිටිනු ඇතැයි අනුමාන කළ නොහැකිය. ඊට හොඳම උදාහරණය වන්නේ මාධ්‍යය වාර්තා කළ පරිදි පසුගිය සතියේ මහ බැංකු මුදල් නිකුතු සුරක්ෂිතාගාරයෙන් අතුරුදහන් වූ රුපියල් ලක්ෂ 50 ක බණ්ඩලය සොයා ගැනීමට නොහැකි වීම සහ එහි ආරක්‍ෂිත කැමරා නොමැති වීම යි. 

එබැවින්, නව මහ බැංකුවේ ක්‍රියාකාරකම් හුදෙක් නව පනත අනුව නොව, දැනට  සුපුරුදු ආකාරයට කර ගෙන යනු ඇත. එබැවින්, ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා කිසිම නව ක්‍රියාකාරකමක් නව මහ බැංකුවෙන් බලපොරොත්තු විය නොහැකි අතර නෛතික සහ බාහිර කම්පනයන් හේතු කොට නව මහ බැංකුව බොහෝ කාලයක් අස්ථායි තත්ත්වයක පසු වනු ඇත. එබැවින්, නව මහ බැංකුවෙන් කිසිම ස්ථායිකරණ දායකත්වයක් ආර්ථිකයට නොලැබෙනු ඇත.

වත්මන් ආර්ථික අර්බුදය වැලැක්වීමට අදාළ මහ බැංකු නිලධාරීන්ට නොහැකි වීමේ වරද වසා ගැනීමට, වසර 72 ක් පුරා ජාතික ආයතනයක් ලෙස සේවය කළ මහ බැංකුව ඝාතනය කිරීම ජාතික අපරාධයක් වනු නිසැකය. මෙය, IMF ඩොලර් බිලියන 3 ක ණය මුදලේ කොන්දේසියක් වීම අතිශය ශෝක ජනක සිද්ධියකි.

සෑම අංශයකම ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිකයන් සිටින මහ බැංකුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම මහ බැංකු මූලධර්මයන්  මෙතරම් උල්ලංඝණය කෙරෙන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ විශේෂ පරීක්ෂණයකට භාජනය විය යුතු සිද්ධියකි. 

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි